Tuesday, April 2, 2013

වසත් සංධ්වනිය ගිනි අවුලා-යන්ට ගිය අසමසම කොවුලා!


නුඹ ගැන ලියන්නට බොහෝ දේවල්..... බොහෝ දේවල්.... බොහෝමයක් දේවල් තියේ. හැම ගායකයෙක් ගැනම,හැම මිනිහෙක් ගැනම එහෙම ලියන්නට දේවල් නැත.නුඹ ගැන ලියන්නට තියෙන්නේ නුඹ වෙනස් මිනිහෙක් වූ නිසාය.නුඹ බොහෝ වෙනස් ගායකයෙක් වූ නිසාය.

ජනප්‍රිය ගායකයන් සහ ආදරණීය ගායකයන් කියා දෙවගයක් සිටිති.ආදරණීය ගායකයන් හැමදාම බිහි වන්නේ නැත.එවන් මිනිස්සු,සුන්දර කටහඩක් සේම සුන්දර හදවතක්ද තිබූ මිනිස්සු අපේ පුංචි රට ඇතුළේ සිටියහ.ඒත් එවන් මිනිස්සු තමන්ගේ වටිනාකම තේරුම් නොගනිති.මේ මිනිසාගේත් අවසන් ජන්ම දිනය දවසේ ලූෂන් බුලත්සිංහලයන් කපුගේගේ වටිනාකම නොදන්නා අයෙක් ඇත්නම් ඒ කපුගේම පමණක් බව කියා තිබිණී.කෙලෙස හෝ ඔහු ඉක්මණින් යන්ට ගියේය.දැන් ඔහු යන්ට ගොස් අවුරුදු දහයකි.

එදා සිට අද දක්වා බොහෝ ගායක ගායිකාවන්,වඩාත් සුන්දර අන්දමකින් කියනවා නම් කොවුලන් කෙවිලියන් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් බිහි වී තියේ.මම ඔවුන්ගේ ගීතද අසමි.කපුගේගේ කටහඩට වඩා අතිශය රොමාන්තික වූද,ජවයෙන් පිරුණා වූද කටහඩවල් බොහෝ ඒ අතර තිබේ.ඒත් ඒ කිසිම හඩකට මගේ මනැසේ කපුගේ නම් කෙසග මිනිසාට හිමි ව ඇති ආස්ථානය සොරකම් කරන්නට හැකියාව ලැබී නැත.ඒ මන්දැයි අලුතින් අටුවා ටීකා ටිප්පණි සපයන්නේ කිම..? මම හේතුව හදුනන්නේ වෙමි.

..කපුගේගේ කටහඩ රොමාන්තික නැත.ඔහු රොමාන්තික ගී කීවේ නැත.අලුත් පරම්පරාව අපේ පරම්පරාව නොදැක ඉන්න බෑ කියා හඩා වැටෙනා කල ඔහු වසර ගණනකට පෙර රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ,ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කියා ගැයුවේය.නොදැක ඉන්න බැරි වීම වරදක් නොවේ.එහෙත් එතැන ඇත්තේ රොමාන්තික බව මිසක ආදරය ද?ආදරය යනු දොඹ මල් කැළෑවේ බඹරුන් ගැයූ ගීතයකැයි කියූ,ගනදුරේ සැගව ඇති ශාන්තිය සහ නින්ද ඔබට පුද දී සැගව යන්නෙමැයි කියූ මේ මහලු පෙම්වතාගේ කටහඩ තුළ අවසානය තෙක්ම සැබෑ ආදරය තිබුණි...

එලෙසම ඔහු ට අරමුණක් තිබුණි.හරි හෝ වැරදි වේවා ඔහු සිය අරමුණ වෙනුවෙන් පෙනී සිටියේය.ගිනි ගහන අව්වේ තාර පාරේ වාඩි වී අපට අහිමි වන්නට යන ඌව වෙල්ලස්ස වෙනුවෙන් ගායනා කරන්නට ඔහුට ශක්තිය තිබුණි.අද අපේ පරපුරේ ඇතැම් ගායකයන්ගේත් ගායිකාවන්ගේත් ලොකුම අරමුණ රින්ගින් ටෝන්ස්වලට ගීත විකුණා ගැනීමත්,චාට් ෂෝවල මුලට සිය ගීතය දමා ගැනීමත්ය.ඔවුන්ට පමණක් නොවේ අතීතයේ විසූ ඇතැම් ගායක ගායිකාවන්ටද උතුම් අරමුණක් තිබුණේ නැත.එහෙත් කපුගේට අරමුණක් තිබුණි.ඔහු ළග අසමාන මනුෂ්‍යත්වයක් තිබුණි.රත්න ශ්‍රී විජේසිංහයන් ඒ මනුෂ්‍යත්වය ගැන කීවේ සොදුරු ගුණෙන් කවියකටත් අසමාන-මිතුරු,නුඹය මා ඉස පිට සදපාන යනුවෙනි.

ඉතින් එලෙසම ඔහු විවිධ තැන්වල කටහඩ අළෙවි කළා යැයි ඇතැමුන් කියති.ඔහු සිය ජීවිතයේ මුදල නමැති සාධකයට දුන්නේ කෙතරම් නම් අඩු නොවටිනා තැනක්ද යන්න අපට සිතාගන්නටත් බැරි තරම්ය.බොහෝ දෙනා කළේ ඔහුගේ හඩින් අයුතු පල ලැබීමය.රත්න ශ්‍රී ම පවසන්නා සේ ඔහු හඩක් නැති උන්ට ස්වර තන්ත්‍ර දන් දුන් කොවුලෙකි.(කපුගේ ගුණ සමරුවේ එතුමා කළ දේශනය මෙතැනට අමුණමි.)



                             (රත්න ශ්‍රී විජේසිංහ-කපුගේ සමරු දේශනය)

ඉතින් තව බොහෝ දේවල් කිව යුතු නැත.ඒත් අලුත් පරපුරෙන් දයාබර ආයාචනාවක් කරමි.ඒ ජනප්‍රිය නොව ආදරණීය ගායකයන් ගායිකාවන් වන්නට තැත් දරන ලෙසිනි.කිසිම දිනයක අප වෙතින් කපුගේ නම් ගායකයාගේ මතකය නික්ම නොයන්නේ ඔහු ගායකයෙක් නිසා නොව ඔහු මිනිසෙක් වූ හෙයිනි.සෑම ආකාරයේම මිනිසුන් ගැන ගැහැණුන් ගැන සැබෑම හැගීමකින් ගායනා කළ බැවිනි.ඉතින් ඔහු ගිය මගම යා යුතු නැත.එහෙත් අඩුම තරමේ ඔවුන් වැනි මිනිසුන්ගෙන් සිය ජීවිතයට එක් කර ගත හැකි දයාබර පා සටහන් එක් කර ගන්නා මෙන් සෙනෙහසින් ඉල්ලා සිටිමි.

රිදී උල්පත් වතුර-ඉනූ ජීවිත පතුල
වේදනා පිරි තුඩග තවරා
දිවා රෑ ගී ගැයූ කොවුලා
ගියේ යන්නට නික්ම-කාටවත් නොකියාම
වසත් සංධ්වනිය ගිනි අවුලා

රූණු දෙනි බිම්කඩක-පිදුරු පොල් අතු අතර
ඉපිද ප්‍රේමයෙ පෙරුම් සපුරා
සුවාසක් හදවතක-ස්වර තන්ත්‍ර පිරිමදින
දෑත ඔබ වෙනුවෙන්ම දිනුවා
ඒ මධුර ස්වර ඔබට පිදුවා

ඈත රජරට වැවක-පාලු හේනක පැලක
පිපි නෙලුම් කරඹ මල් නෙලුවා
උපන් ගම් බිම් නැතිව-සටන් අරගල අතර
දනන් උන් ඉසව් ඔහු දුටුවා
නැණ පුළිගු අවුළුවන-වෙර විරිය පිරිනමන
ඔහු තුඩින් රන් ස්වරය නැගුණා
උතුම් මානව ගුණය උතුරා

(ගුණදාස කපුගේ උපහාර ගීතය)

14 comments:

  1. එතුමා ගැන ලියන්න ඇති සියල්ලම ඔබම ලියා ඇති බැවින් කුමක් ලියන්නද දියණියනි ?

    ReplyDelete
    Replies
    1. මේ අපි හැමෝගෙම හැගීම කියල හිතුණා.

      Delete
  2. හන්තානේ කඳු දණ ඇන නමදින
    සිරි දළඳා හාමුදුරුවනේ
    ඔබ වහන්සේ ළඟ ඉගෙන ගන්න ගිය
    මගෙ දරුවා හාමුදුරුවනේ
    පිරුවට අන්ඳා ඇස් දෙක පියවා
    ගෙන ආවලු හාමුදුරුවනේ
    දළඳා නාමෙට උත්තර දෙනවද
    මතු බුදු වෙන හාමුදුරුවනේ...

    කපුගේ කලා කරුවාණෙනි,
    ඔබ අසහාය කලා ශිල්පියෙකි, සමාජ යතාර්තවාදිය. ඔබ නැනි අඩුව කලාවට අද හොඳින් දැනේ....

    ගුණදාස කපුගේ
    රත්න ශ්‍රි විජේසිංහ
    http://www.youtube.com/watch?feature=player_detailpage&v=9tYcorpB8oQ

    ReplyDelete
    Replies
    1. දේශපාලන මතවාදය කොහොම වුණත් මේ මනුස්සයා තරම් සමාජ යථාර්තය කවුරුවක්වත් කතා කළේ නෑ නේද?මේ සින්දුවත් මං බොහොම ආස එකක්.කාලයකට පෙර නුවන් අය්යා ස්වායක්ත සිද්ධියෙ මේ සින්දුව ගැන විචාරයක් ලියලා තිබුණා...මේ වගේම දැනෙන සින්දු තමයි අහස උසට නැග ගියාට,පලංචියේ වැඩ ඉදගෙන මහ සෑයේ හුණු තවරන පියාණනේ,ලෙලි තලන දෝණි,පියසටහන්,වියළි ගිය දෙතනේ,සබද අපි,මිරිවැඩි සගලක් වගෙ ඒවා.මේ මතක් වෙන ටික විතරයි.තව කොයි තරම් නම් තියෙනවද..ස්තූතියි අක්කේ කමෙන්ට් එකට!

      Delete
  3. මම ආසම ගායකයෙක්!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රජතුමා..සින්දු ටිකක් අප්ලෝඩ් කරන්න බැරි වුණාට කණගාටුයි!

      Delete
  4. ජනප්‍රිය මාතෘකා වලින් ඔබ්බට ගිය වැඩි දෙනෙක් නොහිතන දේවල් ගැන ඔහු ගායනා කලා.බිම්බරක් සෙනග,අයියණ්ඩියේ වගේ ගීත ඊට සාක්ෂි දරනව. සබඳ අපි කඳු නොවෙමු, අහස උසට වගේ ගීත අහල ඉවර උනාට පස්සෙ ඒ තුලින් හිතන්නත් යමක් ඉතුරු කරනව. ඔහු අප අතර නැති උනත් ඔහුගේ ගීත තවමත් අපි අතරෙ රැඳිලා තියෙන්නෙ ඒ නිසා කියලයි මට හිතෙන්නෙ.

    // සංසාරේ හැටි තමයි වියෝග ඇති වන්නේ
    නිවනට ගිය දා මේ හැම ‍දුක් නැතිවන්නේ... //

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කෝ.පුස්ස බින්දා වගේ සින්දු ඇහෙන කාලෙක කපුගේගෙ නම මතක් වුණත් හිත නිවෙනවා.ස්තූතියි ඔයාට.

      Delete
  5. මට නිතරම හිතෙන්නේ කපුගේ ගේ කටහඬේ මොකක් හරි දුක්මුසු ගතියක් හිර වෙලා තියනවා කියලා. ඒ අමුතු සුන්දරත්වය ඒක වෙන්න ඇති සමහරවිට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මං කියන්නේ කපුගේගේ කටහඩ රොමෑන්ටික් නැහැ කියලා...ඒ දුක්බර ගතිය හරිම ආදරණීයයි.අපිට දැනෙන්නේ ඒක වෙන්නැති අක්කෝ!

      Delete
  6. මේ මම බුකියෙ දාපු එකම මෙතනටත් දානව මගෙ නංගිටග පෝස්ට් එකට..

    ගුණදාස කපුගේයන් ගැන වැඩියෙන් මගේ සවනත වැකුණේ, ඔහුගේ සිංදු ගැන ඇහුවෙ හොරණ "සුමඟ" ඉංග්‍රිසි විදුහලේදි... හැම සෙනසුරාදාවකම උදේ 8 සිට සවස 1 දක්වා ඉංග්‍රිසි භාෂාවේ විවිධ අංශයන් ගැන කාල ඡේද බේදා අපිට භාෂා ඥානය ලබා දුන් එහි විවේක කාලයේදි මනෝරි අක්කා සහ තිසර අයියා කපුගේගේ එක එක සිංදු කිවුව.. පාසලේ නම වන ශ්‍රේණියේ වගේ ඉගෙන ගන්නා මට එය වෙනස් අත්දැකීමක් වුනා...

    මං නොදන්න කපුගේ නම් ගායකය ගැන, ඔහුගෙ සිංදු ගැන හොයන්න මට ආස හිතුණ.. ඔහු ගැන තියෙන පත්තරවල ලිපි කියෙවුව දැක්ක තැනදි...

    එහෙම කාලය ගෙවෙද්දි දහම් පාසැල් අවසන් සහතික පත්‍ර විභාගය පැවැත්වෙන දිනක එම විභාග මධ්‍යස්ථානයේම රංග ශාලාවේදී ඔහුගෙ "කම්පන" ප්‍රසංගයක් පැවැත්වෙන බව දැන ගත්තා...ඉතින් විභාගයේ ප්‍රශ්න පත්තර වලට පිළිතුරු ලිවුවට හිත තිබුණෙම අර අසහාය ගායකව දකින්න.. ඔන්න විභාගෙත් ඉවර වුනා.. වැස්සකුත් වැටෙනව.. ගෙදර යන්නත් බැහැ...නොගිහිනුත් බැහැ...අන්තිමේ අර ප්‍රසංගය පැවැත්වෙන ශාලාව පැත්තට දෙපා එසවුනා..ෆයිල් කවරයෙ සමරු අත්සනක් ලියා ගත්තා... මගෙ ඇස් දෙකින්ම ඒ ගායකයාව දැක්ක..හිතට ලොකු ආඩම්බරයක් ආව..ගෙදරි ගිහින් අම්මගෙන් කෝටු පාරවල් දෙකකුත් කන්න වුනා... ඒ රෑ වෙලා ගෙදර ගිය නිසා...මොකද ළමා සාරිය පිටින්ම අර ප්‍රසංගය නරඹන පිරිස අතර කෙනෙක් මමත් වුනා...

    එදා සිටන් අද වෙනතුරු ඔහු එකම විදිහට මා ප්‍රිය කරන ගායකයින් මැද්දෙ ඉන්නව.. මෙහෙම ලිවුවෙ ඇයි දන්නවද... එවන් මිනිසෙකු සමුගෙන අදට වසර 10 ක් වෙනව.... ඉදින් එතුමාගේ මා වඩාත්මකැමති ගිතය " මා එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවාද අම්මේ "

    ReplyDelete
    Replies
    1. අනේ අක්කා කපුගේව දැකල තියෙනවද..මං නං අවාසනාවන්තයි අක්කො කපුගේ නැති වෙන කොට මම දෙක වසරෙ හරි තුන වසරෙ හරි.අම්මලා ඔහුගෙ මරණය ගැන කතා වුණා.මට ඒ තරම් දෙයක් දැනුණෙ නැහැ.පස්සෙ වයසින් වැඩෙද්දි මගෙ ප්‍රියතම ගායකයා ඔහු වුණා..

      Delete
  7. i had that rare & priceless opportunity to see Kapuge & smile with him, when i was in grade 7. Back then i didn't like him that much. It took me few years to realize his music.
    People just born & die. But people like him lives within our hearts forever & ever.

    ~~~Kapuge obata niwan suwa~~~~

    ReplyDelete
    Replies
    1. hmm... actually you r so lucky Mr.Lonely.everyone do not have that much of luckyness to see a man like Kapuge,not a singer.anyone can go and meet a singer he or she like.but Kapuge is not only a singer.

      Delete