Tuesday, April 30, 2013

සරස වසන්තය ආයෙත් එනවා නම්..

සෑම ගීතයක් ම එක සේ හිත නළවන්නේ නැත. හිත රිදවන්නේ ද නැත.එලෙසින් මා එක විට රිදවූත්, නැළවූත්, මා ජීවිතයේ වඩාත් ම ආසා කළ,ආදරය කළ,අදටත් එලෙසින් ම ආසා කරන,ආදරය කරන,ගීතය ගැන මම මීට පෙර ලියා තබා ඇත්තෙමි.ඒ රෝහණ වීරසිංහයන් ගයන මුතු කුඩ ඉහලන මල් වරුසාවේ ගීතයයි.. ඒ ගීතය ළගට මා ආසා කරන ගීත බොහෝමයක් ඇත.ඒ අතරින් මෑතකදී කණ වැකුණු මේ ගීතයටද මම ආසා කරමි.... ඇතැම් විට.. ඇතැම් විට.. මේ ගීයත් ඒ ගීය මෙන්ම සෙංකඩගල පසුබිම් කොට ලියැවුණු නිසා හෝ ඒ පරිසරය මතක් කරමින් මේ පදවැල් මට දැනෙන නිසා වෙන්නට පුළුවන.

හේතුවක් ඇතුව හෝ නැතුව මම ඒ පරිසරයට ආසා කරමි.ඉතින් ඒ හා බැදුණු පද පෙළක්, කටහඩක් සහිත ගීයකට ලොබ බැදීම වරදක් ද?

පුද්ගලිකව මේ ගීයට ආසා කරන්නට මට තවත් හේතුවක් තිබේ.ඒ මේ ගීයට රූප රචනාවක් තිබුණද මා එය නරඹා නැති වීමයි.රූප රචනා සහිත ගී හදවතට දැනෙන්නේ නැත.ඒවා දැනෙන්නේ ඔලුවටය.යමක් ජීවිතය හා බැදෙන්නට නම් එය හදවතට දැනිය යුතුයැයි සිතමි.ඔලුවේ රැදුණු පමණින් පාඩම් මතක හිටින්නේ නැත්තේත් ඒ නිසාය.පාඩමක් වුව මතක හිටින්නට නම් එය හදවතට දැනිය යුතුය.

ගීතයක් ඇහෙද්දී දෑස පියත්ම අප ඇස් ඉදිරියේ මැවෙන්නේ අප සිතේ රැදෙන අවංක රූප රචනාව නොවේ නම් එය අවාසනාවකි.එහෙත් රූපරචනාවලින් තොර ගීතවල රූප රචනාව අපට කැමති විදියකට ඇද ගන්නට පුළුවන.එය වාසනාවකැයි හගිමි....

..මේ ගීයත් එවන් ගීයකි.ගයන්නේ අපේ යුගයේ දයාබර මහලු ප්‍රේමවන්තයා සමග අනෝමා රාසපුත්‍ර ගායිකාව ය.ලියා ඇත්තේ නිලාර්.එන්.කාසිම්ය.නාද මාලාව ජගත් වීරසිංහගෙනි.ගීය මෙතැනින් අසන්නට පුලුවන.

සරස වසන්තය ආයෙත් එනවා නම්
මගේ තරුණ විය මං ඉල්ලාගන්නම්
අපේ  අතීතයෙ මල් මාවත්වල ඇවිදන් යන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

ලියූ සුපෙම් කවි හසුන් පුරාවට
පොත් පිටුවක ඒ හංගා ගන්නට
බොරු විස්සෝපෙන් අහක බලන්නට 
ආයෙත් හමු වී හිනා නගන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම්

දෙනෝදහක් මැද සිත් හංගන්නට 
සැගවූ ප්‍රේමය නෙතින් කියන්නට
කාත් කවුරුවත් නැති සීමාවක
හොරෙන්ම හමු වී පෙමින් දොඩන්නට
සරස වසන්තය ආයෙත් එනවා නම

..ඉතින් සරස වසන්තය යළිත් කවදාක හෝ උදා වේ.වසන්තය එක ම ආකාරයෙන් උදා නොවන්නට ඉඩ තිබේ.නිවැරදි ඇසැකින් බලන්නේ නම් ජීවිතය ගැඹුරුය.ඒත් ගැඹුරේත් සුන්දරත්වයක් තිබේ.ඉදහිට බොළද බවක් වැළදගන්නා ගැඹුරු ජීවිතයද ලස්සනය.කෙලෙසින් හෝ උදා වන වසන්තය ජීවිතයට පිළිගනු මැනවි.වසන්තයේ සිනහසෙන කුසුම් කැකුළු ජීවිතයට සුගන්ධය ඉසිනු ඇත!!!

ප.ලි
සොදුරු කවිපද ලියැවෙන තවත් බ්ලොගයකට පාර මෙතැන සටහන් කරමි.කුරුටු ගෑ ගී පොත

Tuesday, April 2, 2013

වසත් සංධ්වනිය ගිනි අවුලා-යන්ට ගිය අසමසම කොවුලා!


නුඹ ගැන ලියන්නට බොහෝ දේවල්..... බොහෝ දේවල්.... බොහෝමයක් දේවල් තියේ. හැම ගායකයෙක් ගැනම,හැම මිනිහෙක් ගැනම එහෙම ලියන්නට දේවල් නැත.නුඹ ගැන ලියන්නට තියෙන්නේ නුඹ වෙනස් මිනිහෙක් වූ නිසාය.නුඹ බොහෝ වෙනස් ගායකයෙක් වූ නිසාය.

ජනප්‍රිය ගායකයන් සහ ආදරණීය ගායකයන් කියා දෙවගයක් සිටිති.ආදරණීය ගායකයන් හැමදාම බිහි වන්නේ නැත.එවන් මිනිස්සු,සුන්දර කටහඩක් සේම සුන්දර හදවතක්ද තිබූ මිනිස්සු අපේ පුංචි රට ඇතුළේ සිටියහ.ඒත් එවන් මිනිස්සු තමන්ගේ වටිනාකම තේරුම් නොගනිති.මේ මිනිසාගේත් අවසන් ජන්ම දිනය දවසේ ලූෂන් බුලත්සිංහලයන් කපුගේගේ වටිනාකම නොදන්නා අයෙක් ඇත්නම් ඒ කපුගේම පමණක් බව කියා තිබිණී.කෙලෙස හෝ ඔහු ඉක්මණින් යන්ට ගියේය.දැන් ඔහු යන්ට ගොස් අවුරුදු දහයකි.

එදා සිට අද දක්වා බොහෝ ගායක ගායිකාවන්,වඩාත් සුන්දර අන්දමකින් කියනවා නම් කොවුලන් කෙවිලියන් අනන්ත අප්‍රමාණ සංඛ්‍යාවක් බිහි වී තියේ.මම ඔවුන්ගේ ගීතද අසමි.කපුගේගේ කටහඩට වඩා අතිශය රොමාන්තික වූද,ජවයෙන් පිරුණා වූද කටහඩවල් බොහෝ ඒ අතර තිබේ.ඒත් ඒ කිසිම හඩකට මගේ මනැසේ කපුගේ නම් කෙසග මිනිසාට හිමි ව ඇති ආස්ථානය සොරකම් කරන්නට හැකියාව ලැබී නැත.ඒ මන්දැයි අලුතින් අටුවා ටීකා ටිප්පණි සපයන්නේ කිම..? මම හේතුව හදුනන්නේ වෙමි.

..කපුගේගේ කටහඩ රොමාන්තික නැත.ඔහු රොමාන්තික ගී කීවේ නැත.අලුත් පරම්පරාව අපේ පරම්පරාව නොදැක ඉන්න බෑ කියා හඩා වැටෙනා කල ඔහු වසර ගණනකට පෙර රැය ගෙවේ සදත් නිවේ දුරයි ජීවිතේ,ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ කියා ගැයුවේය.නොදැක ඉන්න බැරි වීම වරදක් නොවේ.එහෙත් එතැන ඇත්තේ රොමාන්තික බව මිසක ආදරය ද?ආදරය යනු දොඹ මල් කැළෑවේ බඹරුන් ගැයූ ගීතයකැයි කියූ,ගනදුරේ සැගව ඇති ශාන්තිය සහ නින්ද ඔබට පුද දී සැගව යන්නෙමැයි කියූ මේ මහලු පෙම්වතාගේ කටහඩ තුළ අවසානය තෙක්ම සැබෑ ආදරය තිබුණි...

එලෙසම ඔහු ට අරමුණක් තිබුණි.හරි හෝ වැරදි වේවා ඔහු සිය අරමුණ වෙනුවෙන් පෙනී සිටියේය.ගිනි ගහන අව්වේ තාර පාරේ වාඩි වී අපට අහිමි වන්නට යන ඌව වෙල්ලස්ස වෙනුවෙන් ගායනා කරන්නට ඔහුට ශක්තිය තිබුණි.අද අපේ පරපුරේ ඇතැම් ගායකයන්ගේත් ගායිකාවන්ගේත් ලොකුම අරමුණ රින්ගින් ටෝන්ස්වලට ගීත විකුණා ගැනීමත්,චාට් ෂෝවල මුලට සිය ගීතය දමා ගැනීමත්ය.ඔවුන්ට පමණක් නොවේ අතීතයේ විසූ ඇතැම් ගායක ගායිකාවන්ටද උතුම් අරමුණක් තිබුණේ නැත.එහෙත් කපුගේට අරමුණක් තිබුණි.ඔහු ළග අසමාන මනුෂ්‍යත්වයක් තිබුණි.රත්න ශ්‍රී විජේසිංහයන් ඒ මනුෂ්‍යත්වය ගැන කීවේ සොදුරු ගුණෙන් කවියකටත් අසමාන-මිතුරු,නුඹය මා ඉස පිට සදපාන යනුවෙනි.

ඉතින් එලෙසම ඔහු විවිධ තැන්වල කටහඩ අළෙවි කළා යැයි ඇතැමුන් කියති.ඔහු සිය ජීවිතයේ මුදල නමැති සාධකයට දුන්නේ කෙතරම් නම් අඩු නොවටිනා තැනක්ද යන්න අපට සිතාගන්නටත් බැරි තරම්ය.බොහෝ දෙනා කළේ ඔහුගේ හඩින් අයුතු පල ලැබීමය.රත්න ශ්‍රී ම පවසන්නා සේ ඔහු හඩක් නැති උන්ට ස්වර තන්ත්‍ර දන් දුන් කොවුලෙකි.(කපුගේ ගුණ සමරුවේ එතුමා කළ දේශනය මෙතැනට අමුණමි.)



                             (රත්න ශ්‍රී විජේසිංහ-කපුගේ සමරු දේශනය)

ඉතින් තව බොහෝ දේවල් කිව යුතු නැත.ඒත් අලුත් පරපුරෙන් දයාබර ආයාචනාවක් කරමි.ඒ ජනප්‍රිය නොව ආදරණීය ගායකයන් ගායිකාවන් වන්නට තැත් දරන ලෙසිනි.කිසිම දිනයක අප වෙතින් කපුගේ නම් ගායකයාගේ මතකය නික්ම නොයන්නේ ඔහු ගායකයෙක් නිසා නොව ඔහු මිනිසෙක් වූ හෙයිනි.සෑම ආකාරයේම මිනිසුන් ගැන ගැහැණුන් ගැන සැබෑම හැගීමකින් ගායනා කළ බැවිනි.ඉතින් ඔහු ගිය මගම යා යුතු නැත.එහෙත් අඩුම තරමේ ඔවුන් වැනි මිනිසුන්ගෙන් සිය ජීවිතයට එක් කර ගත හැකි දයාබර පා සටහන් එක් කර ගන්නා මෙන් සෙනෙහසින් ඉල්ලා සිටිමි.

රිදී උල්පත් වතුර-ඉනූ ජීවිත පතුල
වේදනා පිරි තුඩග තවරා
දිවා රෑ ගී ගැයූ කොවුලා
ගියේ යන්නට නික්ම-කාටවත් නොකියාම
වසත් සංධ්වනිය ගිනි අවුලා

රූණු දෙනි බිම්කඩක-පිදුරු පොල් අතු අතර
ඉපිද ප්‍රේමයෙ පෙරුම් සපුරා
සුවාසක් හදවතක-ස්වර තන්ත්‍ර පිරිමදින
දෑත ඔබ වෙනුවෙන්ම දිනුවා
ඒ මධුර ස්වර ඔබට පිදුවා

ඈත රජරට වැවක-පාලු හේනක පැලක
පිපි නෙලුම් කරඹ මල් නෙලුවා
උපන් ගම් බිම් නැතිව-සටන් අරගල අතර
දනන් උන් ඉසව් ඔහු දුටුවා
නැණ පුළිගු අවුළුවන-වෙර විරිය පිරිනමන
ඔහු තුඩින් රන් ස්වරය නැගුණා
උතුම් මානව ගුණය උතුරා

(ගුණදාස කපුගේ උපහාර ගීතය)