Monday, January 27, 2014

පන්තියේ දී නින්ද යනවාට උපදෙසක් පතමි...!!

මගේ විතරක් නොව අපි හැමෝගේම කැතම පුරුද්ද ටියුෂන් පන්තියේ දී දවස් ගාණක් තොවිල් බැලුවාක් මෙන් නිදා ගැනීමය.අප තරම් ඊට හපන් පිරිසක් මේ තුන් ලෝකයේ ඇතැයි මම විස්වාස නොකරමි.නිදාගන්නට අපිට ඕනෑ තැනක පුළුවන් ය.ඊට ටියුෂන් පන්තිය යනු අපූරුම ස්ථානයයි.. ඊට අපගේ දයාබර ගුරුභවතුන්ද ලබාදෙන සහයෝගය මෙතෙකැයි කියා ප්‍රමාණ කළ නොහැකිය.

මෙය ලියන්නට සිතුණේ අද මගේ යෙහෙළියකට සිදු වූ දෙයක් නිසාය.ඇයට එක්තරා පන්තියක දී (නම කීම නුසුදුසු නිසා නොකියමි.) හොඳටම නින්ද ගොස් ඇත.ඈ හැමදාම වාඩි වෙන්නේත් ගුරුතුමියගේ නාහයට කෙළින්ය.එහෙම වීත් ඈ කොතරම් තද නින්දකට වැටී සිටියාද කියතොත් ගුරුතුමියගේ අණින් තමා ව ඇහැරවන්නට උත්සාහ කරන ශිෂ්‍යාව ඇයට පෙනී ගොස් ඇත්තේ තමාව උදේ පාසල් එන්නට සූදානම් කරවන මව ලෙසිනි.. එතැනින් එහා ඈ කියවන ලද බයිලා ටිකත්, ඇයට මුහුණ දෙන්නට සිදු වූ අපහාස උපහාස පිළිබඳවත් සඳහන් කළ යුතු නැතැයි සිතමි...)))))))

....ඉතින් ඇයට පමණක් නොව මටත් අපේ අනිත් සියලු ම මිතුරියන් පිරිසටත් මේ නින්ද යෑමේ රෝගය තදින් ම වැළඳී තියේ.හැමදාම මම ටියුෂන් පන්තියේ මැද හරියේ දී අවදි වන්නේ වර්ෂා,දැන් නිදාගත්තා ඇති කියා මිස් තෙපළන හඬටය.ඒ නිසා පෙර කී මිතුරියට සිදු වූ දෙය මටත් ඉතාම නොබෝ දිනකදී සිදු වෙන්නට ඉඩ ඇත.එහෙයින් මේ ගැත්තිය කෙරෙහි අනුකම්පාවෙන් යුතු ව මේ කුම්භකර්ණ නිද්‍රාවට පිළියමක් පවසන මෙන් අයැද සිටිමි...!!!!!



Friday, January 24, 2014

සමනළ සංධ්වනිය බැලුවෙමි...

මම සමනළ සංධ්වනිය බැලුවේ එය තිරගත වූ අවසාන දවස්වල ය.එක් එක්කෙනා විවිධ විදියේ නිර්වචන දුන්නාට මෙය බැලිය යුතු ම යැයි යන අදහසක් මහිතේ පහළ වූයේ එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් පළ වූ 2011 අවුරුද්දේමය.මම ඒ ගැන ලියැවුණු පුවත්පත් ලිපි කීපයක් ම කපා ගෙන ළඟ තබා ගත්තේ කවදාක හෝ මෙය තිරගත වූ විට බලන්නට යන්නේ මැයි සිතේ තබාගෙන ය... ඒ නිසා මෙය සංධ්වනියක් නොව සන්නියකැයි ලියා තිබුණු විචාර දුටුව ද මහිත වෙනස් වූයේ නැත.

පෞද්ගලික ව ගත් කළ මම සමනළ සංධ්වනියේ වැඩිපුර ම ආසා කරන ගීතය මගේ සිහින මැදුරේ..  ය.එහි නව යෞවනයේ පැටලිලි සහගත වූ දුක්බර බලාපොරොත්තුවල ඡායාව තැවරී තියේ.එසේ ම සිනමා පටයේ මුල් භාගයේ වටපිටාවට ද මම අතිශය ආදරය කරමි.ඒ කොහොමටත් සීතල කඳුකරයට මා තුළ පවතින විකාර ආසාව නිසා විය යුතුය... 

අනික් අතට මේ කතාන්දරයට හේතු වූ වස්තු බීජය සිදු විය නොහැක්කක් ලෙස යමෙකුට පෙනී යන්නට පුළුවන.එහෙත් ජීවිතයට කයෙහි පමණක් නොව හැගීම්වලද සම්බන්ධයක් ඇතැයි විස්වාස කරන්නවුනට - සැබෑ මිනිසුන්ට මෙවැනි දෑ අරුමයක් වන්නේ නැතැයි මම සිතමි.

අනික් අතට චිත්‍රපටයේ වාදීෂ ගේ චරිතය ලක් වන විපර්යාසය අපට අප දෙස බලන්නට ඇසක් ඇති කරවයි.මුල දී ඔහු නිහඬ මුත් හෘදයංගම කලාකරුවෙකි.ඒත් සමාජය කලාකරුවා යැයි ගසන ලේබලය පැළඳගත් විට ඔහු ව්‍යාජ පරාධීන මිනිසෙකු බවට පත් වී තමාට තමා අහිමි කොට ගෙන ඇත.අද බොහෝ කලාකරුවන්ට සිදු වී ඇත්තේ මේ ඛේදවාචකය ම නොවේ ද..?? 

ඕනාවට වඩා පණ්ඩිත කතා තවත් කිව යුතු යැයි මම නොසිතමි.මා නොලිව්වාට බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා මේ සිනමා සිත්තම ගැන බොහෝ දෑ ලියා තිබුණි.වැඩිපුර ම අප සිත ආකර්ශණය කළ දසුන් ගැන ලියා තියන්නට පමණි මට වුවමනා...

මගේ දෑසට කඳුළු ඉනූ පළමු අවස්ථාව වාදීෂ ව වට කරගෙන බෝඩිමේ නවාතැන්කාරියන් පහර දෙන්නට හදන අවස්ථාවේ පුණ්‍යා ඇයි මේ පොඩි දරුවට ගහන්නේ? යනුවෙන් විමසූ ආකාරයයි.එහි තැවරී ඇති පුණ්‍යාගේ මව්වත් ගුණය ඇගේ චරිතය පිළිබඳව සම්පූර්ණ විචාරයක් කරන්නට තරම් සෑහේ.

එවන් තවත් මොහොතකි, කුමාරි උද්‍යානයේ දී වාදීෂ මැරයන් දෙදෙනාට පහර දෙන අවස්ථාවත්,ඉන් පසු සිය සොහොයුරා වෙත ගොස් සැඟවෙන අවස්ථාවත්...! පොඩි එකාට ඒ මොහොතේ තමන් දකින අසාධාරණය වෙනුවෙන් කළ හැකි දෙය ඔහු ඉටු කරන යුරු ඉතා අපූරුවට සිත්තම් වී තිබේ.එසේ ම අනික් අතට ඔහු තවමත් පොඩි එකෙකි.ඔහුගේ රැකවරණය සහෝදරයා ය.

එවන් තවත් අවස්ථාවකි වාදීෂ ගේ සොහොයුරා ඔහුට ලිපිය පිළිබඳ සිතුවිල්ල අත හරින්නට යැයි කියන අවස්ථාව.ඒ මොහොතේ වාදීෂගේ සිරුර සුදු පැහැති පොරෝනයකින් සම්පූර්ණයෙන් ම වසා දැමීමත්, චිත්‍රපටයේ මැද භාගයේ වාදීෂගේ මුවින් පිට වන "මම ආදරයත් ආදරය මාවත් මරාගෙන මැරුණා" යන වචනත් අතර අපූර්ව සම්බන්ධයක් මට පෙනේ.

චිත්‍රපටයේ අඩුපාඩු තියෙනවා විය හැකිය.මම පිළිගනිමි.නමුත් පීටර් වන්,ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ වැනි චිත්‍රපට නිර්මාණය වන රටක සමනළ සංධ්වනිය යනු ඉතා විශාල පිම්මකි.එතෙකුත් වීත් ජයන්ත චන්ද්‍රසිරි නම් කලාකරුවාට මීට වඩා යමක් චිත්‍රපටය තුළ කරන්නටත් හැකියාව තිබුණා ය යන්න මම තරයේ විස්වාස කරමි.