Sunday, July 17, 2016

කොණ්ඩය වැවීම නම් ඒ මහා පාප කරුමය..


වලස් තෙල් ගෑවත් කොණ්ඩෙ වැවෙන්නැති සමහර කෙල්ලෝ අනන්ත අප්‍රමාණ ව හීන දකිනවා, දිග කොණ්ඩෙකට හිමිකම් කියන්න. උන් හිතාගෙන ඉන්නෙ දිග නීල වරලසක් කියන්නෙ පූරුවෙ කරන ලද පින් බලයෙන් හිමි වන මහාර්ඝ වස්තුවක් කියලයි.. 

ඒත් ඒ පුණ්‍යකර්මයෙ විපාක අත් විඳින්න කොණ්ඩෙ වවලා ම බලන්න ඕනැ..

ඇච්චා කාලෙ මං හිතුවෙත් දිගු නීල වරලසක් කියන්නෙ වටින වස්තුවක් කියලා තමා. ඒත් බෙල්ලට වඩා අඟලක් හරි උසට කොණ්ඩෙ දික් වෙන එක අම්මා සැලකුවේ මහා භයානක අපරාධයක් විදිහටයි. ආන් ඒ නිසා අනිවාර්යෙන් ම මාස තුනකට පාරක් ක්‍රියාත්මක වෙන බාබර් සාප්පුවක් තිබුණා අපේ ගෙදර. අම්මා තමා බාබර්. මහ විසාල කතුරකුයි, තඩි කණ්ණාඩියකුයි අරන් මිදුලට බැහැලා මගෙ බෙල්ල වටේට ගොරෝසු රෙද්දක් පොරවන කොට ඔන්න මං මරන්න ගෙනියන හරකෙක් වගේ මරහඬ තලන්න පටන් ගන්නවා. අල්ලපු ගෙවල්වල උන්දැලා එතකොට තමා දැනගන්නෙ ආන් අදත් වැසි දැරියගෙ හිස මුඩු කරනව කියල. අපේ අම්මා ඉස්සර නෑදෑ කෙල්ලෙක්ගෙ කොණ්ඩෙ කපන්න ගිහින් ඇගේ කන කපා දමලා වාර්තාවකුත් පිහිටුවලා තිබුණ නිසා මං ඇච්චා කාලෙ එහෙම කෑ ගහපු එක ඉතා ම සාධාරණයි.. 

උසස් පෙළ නිම වෙන තුරු ම කොල්ලෙක් වාගෙ තමුන්ගෙ කොණ්ඩෙත් කපලා උන්නු අම්මා මගේ කොණ්ඩෙත් කිසිම හිතක් පපුවක් නැතුව කපලා දාන්න හේතුව මට තේරුම් ගියේ පස්සෙන් පහුයි. පොඩි කෙල්ලෙක්ට කොණ්ඩෙ දිගට වවන එක මහා කරදරයක්. තමන්ගෙ ළමයි ලස්සනට ඉන්න ඕනෑ කියලා විස්වාස කරන ඇතැම් අම්මලා පොඩි උන්ට හතරක් නොතේරෙන කාලෙ ඉඳන් උන්ගේ කෙහෙවලුවලට තෙල් ගගා, රිබන් ගැට ගගහා අපායෙවත් නැති ජාතියෙ දණ්ඩ නීති ක්‍රියාත්මක කරනවා නොවැ. අපරාදෙ කියන්න බෑ අපේ අම්මට නම් ඕනැ වුණේ මං හිතේ හැටියට නිදහසේ ඉන්නවා දකින්නයි. ඒ හින්දා සාමාන්‍ය පෙළ නිම වෙන තුරු වැසි දැරියගේ වරලස උරහිසෙන් මෙහාට වැවුණේ නැහැ. සමාවෙන්න. වැවුණේ නැහැ නෙමෙයි නිසි බලධාරිනියගේ අණ පරිදි වැව්වේ නැහැ. ‍

දැහැමෙන් සෙමෙන් සාමාන්‍ය පෙළ විභාගයට මූණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගත කරපු සුන්දර සමයෙ තමා මට ඒ භයානක අදහස පහළ වුණේ. මට තමන්ගෙ වරලස නඩත්තු කරගන්න වෙලාවයි - ආසාවයි ඒ වෙද්දි පහළ වෙලා කියල හිතපු නිසා නිසි බලධාරිනියගෙනුත් ඒකට අවසර හම්බ වුණා. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය වැසි දැරිය ඕං එතකොට ඇගේ නීල වරලස වවන්න පටන් ගත්තා.

ඒත් ඒක කිසිසේත් ම පහසු කටයුත්තක් නම් වුණේ නෑ.

බොහොම කෙටි කොණ්ඩයක් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා හිටිය වැසි දැරියට ඒ වෙන තුරු කොණ්ඩෙ පීරන්න වුවමනාවක් දැනිලා තිබුණෙ නෑ. හැමදාම උදේට අම්මා එක පාරක් පීරුවාම ඇති. කොට කොණ්ඩයක් නොපිරුවාට අවුල් වෙන්නෙ නැහැ නොවැ. ඒ නිසා පනා, හෙයාර් බ්‍රෂ් ආදිය එක්ක මට තිබුණෙ ඉතා ම දුරස්ථ සම්බන්ධයක්.. හරියට ඔරායන් සහ ගෝනුස්සා වගේ. පනාවලට වැසි දැරිය කැමති නෑ. වැසි දැරියට පනා කැමතිත් නෑ. ආන්න ඒ නිසා කොණ්ඩෙ වවන කොටවත් පනා එක්ක යහපත් මිත්‍ර සන්ථවයක් ගොඩ නගා ගන්න මං මැළි වුණා. දැනුත් එහෙම තමා. තමුන් පීරන තුරු ම නොපීරෙන වැසි දැරියගේ වරලසට අම්මා කියන්නෙ වලස් තොප්පිය කියලයි.. 

ගෙදරට යන එන අය වැසි දැරියගේ වරලස කොයි තරම් සුන්දරයි,දිගයි කියලා වර්ණනා කළත් අම්මා නෙමේ වලස් තොප්පිය කියලා අපහාස මුඛයෙන් කතා කරන එක නවත්තන්නේ. ඇත්තනේ ඉතින්.. ඕක යස අපූරුවට තියෙන්නෙ අම්මා පැය කීයක් වදවේදනා විඳලා අවුල් කඩලා පීරුවට පස්සෙද කියලා ඒ වර්ණනා කරන ඇත්තෝ දන්නෙ නැහැ නොවැ.

ඒ මදිවට මේක මේන්ටේන් කොරන්න තෙල් ගාන්න ඕනෑ. ෂැම්පු - කන්ඩිෂනර් - උළුහාල් ආදී මෙකී නොකී සියලු දෑ ආලේප කරන්නත් ඕනෑ. නිවාඩු සමය නිසා නිතර නිතර ගමෙන් නගරයටත්, නගරයෙන් ගමටත් සැරිසරන හින්දා නාන වතුරත් වෙනස් වෙනවා. ඒ නිසාද කොහෙද මහතට හිටපු කොණ්ඩෙට නිතර ම මන්ද පෝෂණෙත් හැදෙනවා. එතකොට ඊ විටමින් පොවන්නත් ඕනැ. අනික් අතට කොණ්ඩෙ දික් වෙන්න දික් වෙන්න අම්මා දවසකට එක පාරක් පීරුවාම මදි. තමන්ටමත් කොණ්ඩෙ පීරගන්න සිද්ධ වෙනවා දකුණු අත රිදෙන්න පටන් ගන්න තුරු ම.

ඔන්න ඔය වෙලාවට ඉවසීමේ සීමාව පනින එක අහන්නත් දෙයක්යැ..

52 comments:

  1. මටත් තිබුනා ඒ කාලේ ඔය වගේ ආදරෙන් නඩත්තු කරපු දිග කොණ්ඩයක්...බිත්තර..ඊ විටමින් වලින් අඩුවක් තිබුනේ නැති...ඒක ඉපල වගේ උනා BSc කරලා ඉවර වෙද්දී...දැන් නම් ඉතින් කිසිම කරදරයක් නෑ, ගෙදරදී මම ම කපා ගන්නවා කොටටම :)

    ReplyDelete
    Replies
    1. රෑ ඇහැලා පාඩම් කරන කොට කොණ්ඩෙ යනවා අත්දුටුයි ප්‍රත්‍යක්ෂයි..

      13 වසර ඉවර වෙන කොට මගෙ කොණ්ඩෙත් සෑහෙන්න දුප්පත් වෙලා.කැම්පස් පටන් ගන්ද්දි දණහිස ගාවටවත් වවන්න ඕන කියල හිතන් හිටියෙ.දිග කොණ්ඩ තියෙන නංගිලාට සීනියර්ස්ලා රැග් කරනවා අඩුයි කියල කතාවක් තියෙනව නෙව..))

      ඒත් මිෂන් ඉම්පොසිබල් වගේ.දැන් ඊළඟ බැච් එකත් ඒලෙවල් ලියනව.අවුරුද්දකුත් ගත වෙලා.මේ අටමගල වැවෙන පාටක් නෑ.කැම්පස් යන්න වෙන්නෙ උන්නු හැටියටම තමා..!

      Delete
  2. කොන්ඩෙ....හැක්...මාත් වවන්ඩ ඉන්නෙ...:P

    ReplyDelete
    Replies
    1. වවන්න වවන්න.. රසික අහල නැද්ද කතාවක් වවන්නෝ දිනන්නෝ කියල..))

      Delete
  3. සිතූ ගේ කතාවත් කියන්නම්කෝ ඈ..

    සිතූගෙ නෑදෑ පරපුර කියන විදියට ලස්සන කොණ්ඩයක් තිබ්බලු සිතූට ඒ කාලෙ. ඒත් සිතූ ගෙදර ඉන්න කාලෙ නම් ඉතින් අම්මා තෙල් ගාල, පීරලා ඒක ලස්සනට තියාගත්තා නේ. කැම්පස් ගියාට පස්සෙ ඕවා කරන්නෙ කවුද? රෑට නාන එකයි, කොණ්ඩෙ තෙත පිටින් නිදාගන්න එකයි නිසා කොණ්ඩෙට අත් වුණේ ශෝකජනක ඉරණමක්. ඊට පස්සෙ ඉතින් යාළුවෙක් කොණ්ඩෙ කපන්න යද්දි එයා එක්ක ගිහින් තනියට, සිතූටත් කොණ්ඩෙ කපාගන්න ආසාවක් ඇති වෙලා කැපුව උරහිස් ගාණට. ඊට පස්සෙ ඉතින් දැන් තියන ගාන වුණේ කොන්ඩෙ.

    අදටත් නෑදැ පරපුරම බනිනවා අර ලස්සනට තිබ්බ කොණ්ඩෙ කපාගත්තයි කියලා.

    අපි ඔය කොණ්ඩෙ ගැන හිතන්නෙ නැති වුනාට නංගි, සමහර කොල්ලො එහෙමත් එයාලගෙ කොණ්ඩෙ ලස්සනට තියාගන්න හරි උනන්දුයි නේ. දවසක් මං දැක්කා හයදාස් ගාණක ඔය ෂැම්පු, කන්ඩිෂනර් වගේ විශේෂයෙන්ම පිරිමි ළමයින්ට හදපු දේවල් ගත්ත පිරිමි ළමයෙක්ව කඩේකදි..

    ReplyDelete
    Replies
    1. හැමෝටම තියෙනවා වගේ හිසකෙස් පිළිබඳ සෝකජනක වෘත්තාන්තයක්..))

      මක් කොරන්නද ඉතින්.. නිරෝගී නැති දිග කොණ්ඩයක් තියාගන්නවට වඩා කපලා දාන එක තමා හොඳ.

      ආයෙත් අහලා දොස්තර නෝනේ.. අපිට තමා වුවමනාවක් නැත්තෙ..))

      Delete
  4. මම නං කොණ්ඩෙ වවනවා..පෝනිටේල් නං චැහ්.පහුගිය ටිකේ ඉස්මුදුනට කරල බෑන්ඩ් එකක් දාං හිටියා..වයිෆ් හරි ආසයි ඒ ස්‍ටයිල් එකට :D එයාට මොකෑ මමනෙ කුණ කන්නෙ.හැක්

    ReplyDelete
    Replies
    1. අර ඉස් මුදුනෙන් බඳින ස්ටයිල් එක නේද ඔය කියන්නෙ.. ඒක දැන් සෑහෙන්න ජනප්‍රියයි නොවැ..!!

      මොනවා වුණත් ඔය වගේ කොණ්ඩෙ වවනවට කැමති වයිෆ් කෙනෙක් ඉන්න එක ගැන සන්තෝස වෙන්න ඕනැ හරිය.. ඇයි කොණ්ඩෙ වැව්වාම කෙල්ලො බලනවා වැඩිනේ..))

      Delete
  5. කොන්ඩෙ නං මොනාද හලෝ අර රපුන්සල්ටත් තිබ්බේ :D

    ReplyDelete
    Replies
    1. රපුන්සල්ට එහෙම කොණ්ඩයක් නොතිබ්බ නං අර කුමාරයා කියන හාදයා ඔය එක්ටැම්ගෙට නැගගන්නෙ කොහොමද මං අහන්නෙ..?

      Delete
  6. මගෙයි නංගිගෙයි කොණ්ඩෙ කැපුවෙ අප්පච්චි. අනේ ඉතින් පහුවදාට අපි දෙන්න රිලා පැටවු දෙන්නෙක් වගේ ඉස්කෝලෙ ගියානෙ . ඊට පස්සෙ නම් අම්ම සැලූන් එකකට එක්කන් ගියා අපිව 9 වසරෙ විතර ඉඳන්.

    මමත් කොණ්ඩෙ වවන්න ගත්තෙ 12වසරෙදි. මම නම් ඇත්තටම ඉතාම සැලකිලිමත් කොණ්ඩෙ ගැන. කොච්ංහර සැලකිලිමත් ද කියනව නම්, බේබි ක්‍රීම් ගාල කොණ්ඩෙ පීරන්නෙ ඉස්කෝලෙ යද්දි,අවුල් වෙයි කියලා.
    ඒ කාලෙ කොහෙද අපිට එක එක ජාති ඔලුවෙ ගාන්න. ඒවා ඉල්ලන්න ගියා නම් ආපහු කොණ්ඩෙ කපන්න නියෝග ලැබෙනව සිකුරුයි.

    දැනුත් ඉතින් අවධානය කොණ්ඩෙට විතරයි. ඒත් ඒක විනාශ වෙලා... විනාශ කරගෙන.

    ReplyDelete
    Replies
    1. බේබි ක්‍රීම්.. ඉකේය්යා.. මට ඒවයේ ගඳ තමා උහුලන්න බැරි.මං නං දැන් ෂැම්පු ඇර වෙන කිසිම ප්‍රඩක්ට් එකක් පාවිච්චි කරන්නෙ නෑ.ගමේ ආච්චි තෙල් හිඳලා දෙනවා.ඒවයි,උළුහාලුයි,කහයි අරකයි මේකයි තමා.. හෙන දේශීය කොණ්ඩයක් තියෙන්නෙ මට.. අක්කා ඉතින් දැකලා තියෙනව නොවැ මගෙ වරලස..))

      ඔයාගෙ කොණ්ඩෙ මට නම් ඒ හැටි අවුලක් පේන්නෙ නෑ.. ස්ට්‍රේට් කරලා නොවැ තියෙන්නෙ නේද..? මං මේ ඒත් එක්ක කල්පනා කළේ කොණ්ඩෙට විතරක් අවධානය තිබුණම අර අසරණ අහිංසක ලෙඩ්ඩුන්ට මොකෝ වෙන්නෙ කියලා..))

      Delete
  7. මෙන්න ඉතින් දැවෙන ප්‍රශ්ණ..

    ReplyDelete
    Replies
    1. මේ රටේ දැවෙන ප්‍රශ්න ඇති වෙන්න කලින් අපි ඔව්වා ගැන කස්ටියට අනතුරු ඇඟෙව්වා.. වැඩක් නෑ ඉතිං එව්වා ගැන කතා කරලා..

      ප්‍රශ්න කියන කොට ණ නෙමේ න...)))))

      Delete
  8. මෙන්න තුශානිගෙ විස්තරේ...

    පොඩි කාලේ තුශානිටත් කොන්ඩෙ දිගට වවන්න ගෙදරින් අවසර තිබුනෙ නෑ.. O/L කාලේ වෙනකන් පෝනි ටේල් දාන තරමට තමයි කොන්ඩෙ තිබුනෙ. කොහොමින් කොහොමහරි දණිස්සෙන් පල්ලෙහාට තරම් කොන්ඩයක් ඊට පස්සේ තිබුනා. ඒත් මේ වෙනකොට ඒක ටික ටික අඩුවෙමිනුයි තියෙන්නේ. මොකද කොන්ඩෙට සාත්තුකරන්න කාලේ මදි කම නිසා. දැන්නම් තියෙන එකම ආසාව කොන්ඩෙ කපන එක. ඒත් ඒකට දැන් ගෙදරින් පර්මිශන් නෑ..

    ReplyDelete
    Replies
    1. හප්පා.. බලන් ගියාම හැමෝටම කොණ්ඩ ගැන තියෙන්නෙ ඛේදජනක කතා ප්‍රවෘත්තිමනේ..

      ඕක මෙහෙමයි.කොණ්ඩෙ කපලා තියෙන කොට ලොකු සැහැල්ලුවක් තියෙනවා තමා.ඒත් දිග කොණ්ඩයක් තියෙද්දි ඊට වඩා මාර ගති.පාරක තොටක වුණත් කොට කොණ්ඩ තියෙන ගොඩක් දෙනා මැද අපේ ඇහැ යන්නෙ දිග කොණ්ඩයක් දිහාවටනෙ.

      සාත්තු කරන්න කියලත් ගොඩක් දේවල් කරන්න ඕන නෑ.හැමදාම තෙල් ගානවා නම්,සතියකට සැරයක් ඊ විටමින් හරි උළුහාල් හරි දානවා නම් ඒ ඇති.වෙලා තියෙන්නෙ අපේ කම්මැලිකමට ඕවා කරන්න නොහිතෙන එකනේ..

      Delete
    2. දැන් නම් ඉතින් හස්බන්ඩාගෙන් තමා පර්මිෂන් නැතුව ඇත්තෙ නේද අක්කෙ..?

      Delete
    3. ඒක නම් ඇත්ත... හුඟක්ම තියෙන්න ඕවා කරන්න තියෙන කම්මැලිකම..

      හි.. හි... ඔව් ඔව් හස්බන්ඩා ගෙන් තමයි පර්මිෂන් නැත්තේ දැන්.. මට වඩා මගේ කොන්ඩෙ ගැන හිතලා එයාම එක එක සාත්තු මගේ කොන්ඩෙට කරනවා...

      Delete
    4. එයානේ කොණ්ඩෙට ආස.ඒ නිසා එයාම ඕක නඩත්තු කරන එක හොඳයි.. ඒත් ඉතින් පව් අප්පා.. අසරණ මනුස්සයා.වෙලාවකට හිතෙනව ඇති කොණ්ඩෙ බෙල්ල ගාවට කපපු කෙල්ලෙක් බැන්දා නම් හොඳයි කියල..)))

      Delete
  9. මම නම් තාම කොන්ඩෙ හරියට වවන්න පටන් අරගෙන නෑ. හිතෙන හිතෙන වෙලාවට කපලා දානවා... :)

    ReplyDelete
    Replies
    1. එක හිතක් තියාගන්න අක්කණ්ඩි..))

      Delete
  10. මෙන්න කියාස්ගේ කතාව...
    මාත් ඉතින් අපරාදේ කියන්න බෑ උසස්පෙළ වෙනකම් කොල්ලා වගේ හිටියා කොන්ඩේ කපලා. මොකද ඕක නඩත්තු කරන්න ( ඒ කිව්වේ අඩුම තරමේ පීරන්නවත්) කියාස්ට සිහි කල්පනාවක් නෑ. අම්මයි තාත්තයි දෙන්නම ගෙදරත් නෑ නේ ඉතින්. උසස් පෙලින් පස්සේ නම් කොන්ඩේ වැව්වා ඉනෙන් චුට්ටක් පල්ලෙහාට වෙනකන්ම. ඊට පස්සේ අසනීප වෙලා හොස්පිටල් එකේ ඩොකා මාමලා දීපු බෙහෙත් බීලම කොන්ඩේ ගියා ගෙදර එන්න කලින්ම. ඊටත් පස්සේ යන්තම් හදාගත්තා. එතකොටම වගේ උසස් අධ්‍යාපනේට ගියා... හොස්ටල් ජීවිතේ ඉතින් රෑට නානවා ඉවරයක් නෑ නේ ඉතින් ඒ ටිකත් ඉවරයි. මේ ලගදි ඉතින් පිට මැදට වගේ වෙන්න කැපුවා. :/

    ReplyDelete
    Replies
    1. කියාස්ව දැක්කෙ අවුරුදු විසිඅටදාස් පන්සීයකින් විතර මගෙ හිතේ..))

      අන්තිමට බැලුවාම කාටවත් නෑ කොණ්ඩ ගැන ලස්සන කතාවක්.. මොනවා කරන්නද ඉතින්.. කේසා,ලෝමා,නඛා,දන්තා කියලා හිත හදාගන්නව මිසක..!!

      Delete
    2. හම්මේ ඔව්මයි නේන්නම්.... දැන් ඉතින් උසස් අධ්‍යාපනේ ඉවර කොරලා පත්වීම් පොජ්ජක් හම්බවෙනකම් ගෙදරට වෙලා ඉන්නෝ ඉතින්...

      සියලු දේ අනිත්‍ය යි නොවැ

      Delete
    3. ඉතින් නිකං ඉන්න කාලෙ බ්ලොග් එක ලියන්නකෝ.. කම්මැලියා...))

      Delete
    4. ලිව්වා මේ පටා.....න් ගත්තා

      Delete
    5. තාම එන්න බැරි වුණා අනේ.. බකමූණු ඩේටාවලින් තමා කියවන්න වෙන්නෙ..))

      Delete
    6. කියා අක්කව කාලෙකින් දැක්කේ :D බුකියේත් නෑ දැන්

      කොහොමද ඉතින්. ජොබ හරි ද. ඩොකා අයිය හම්බුනා ද :D (just Kidding)

      Delete
  11. පොඩි එවුන්ට තියෙන ප්‍රශ්ණ? හෙහ් හෙහ්. මට තියෙන කොණ්ඩ ප්‍රශ්ණය සුමාන දෙකකට සැරයක් ඩයි ගාන්න ඕන එක විතරයි.

    ReplyDelete
    Replies
    1. හී හී... මගෙ නම් අදහස කොණ්ඩෙ ඉදෙන කාලෙක ඩයි නොගා ඉන්නයි.. ඔන්නොහෙ සුදු වෙච්චදෙන් කියලා..))

      Delete
  12. අවංකවම කිව්වොත් ඉතිං දිග කොණෟඩයක් දිහාවට කාගෙත් ඇහැ යනවා. හැබැයි ඉතිං ඒක නඩත්තු කරන්න වෙන කට්ට දැක්කාම පව් කියලා හිතෙනවා. අපිට ඉතිං ඔය ප්‍රශ්න නෑනේ. මාසෙකට සැරයක් නෝට් ගහපුවාම ඔක්කොම ශේප්..........

    ReplyDelete
    Replies
    1. මගෙ කොණ්ඩෙ සම්බන්ධයෙන් නම් පව් කියලා හිතන්න ඕනෙ අම්මා ගැනයි.. එයා නොවැ දුක් විඳින්නෙ.. වෙලාවකට කොටට කපලා දාන්න හිතුණත් මගේ මොකෝ, අම්මගේ කොණ්ඩෙනේ කියලා ඔන්නොහේ වවනවා..)))

      Delete
  13. ඔය දුෂ්ට වැඩේටනම් මාත් පුංචිකාලෙ අහුවුණා. පේන්න බෑ අම්මා කොණ්ඩෙ වැවිල තියෙනව, කිරිඅම්ම එක්ක බාබර් සාප්පුවට යවනව.මන් ඉස්කෝලෙ අට වසරෙදි කොණ්ඩෙ වවන්න අවසර ගත්තෙ තඩි බොරුවක් කියල. සෞන්දර්ය විෂය තෝරගන්න තිබුණ වර්ෂා..., මන් කිව්ව කොණ්ඩෙ දික් කරල නැති ළමයින්ට ඩාන්සින් කරන්න දෙන්නෑ කියල. කොහොමද ටිකිරි මොලේ...?

    ReplyDelete
    Replies
    1. කපටියා.. ඒත් ඉතින් අපේ අම්මට ඔහොම කතාවක් කිව්ව නම් අම්මා ගිහින් ටීචර් හම්බවෙලා අහයි ඒක ඇත්තද කියලා..)))

      Delete
  14. ඉස්සර ඉඳලම මම කොන්ඩෙ දිගට වවල හිටිය නිසා දැන් ආස කොට කරන්න , තට්ටු තට්ටු කපන්න :D මටනම්දි ගට තිබ්බ වගේ නෙවේ කොටට කැපුවම හරි සැහැල්ලු වගේ දැනුන . දැන් ආසයි කොල්ලෙක් වගේ කොටටම කපන්න. ඒත් ඉස්සර වගේ මහතට කොන්ඩෙ නැනෙ කැපුවොත් තට්ට ගෙඩියක් පෙනේවි. ඒ නිසා කපන්නදෝ නැද්දෝ කියල හිත හිත ඉන්නෙ :)

    ReplyDelete
    Replies
    1. දැන් ලේයර් කරල නම් තියෙන්නෙ කොටට කපන්න එපා.මොකද ලේයර්ඩ් නම් එන්න එන්න කොණ්ඩෙ යනවා.එතකොට කොටට කැපුවාම ඔළුවේ කෙස්ගස් දෙක තුනක් විතරක් ඉතුරු වෙයි.මැදි වයසේ අංකල් කෙනෙක් වගේ ඉන්න පුළුවන් එතකොට ඔයාට..)))

      Delete
  15. වැසි දැරිවි කවුද කියල අදයි දැනගත්තෙ. හරිම සංතෝසයි නංගියෙ.

    ලංකාවෙන් එනකොට අත් දෙකෙන්ම බදපු කොන්ඩය මගෙ දැන් තනි අතටවත් මැදි කරන්න නැහැ. බලු නැට්ට වගේ. හොඳම දේ සියල්ල අනිත්‍යයි කියල හිතන එක දරුවො.

    ReplyDelete
    Replies
    1. මට කිව්ව ගමන් මතක් වුණා.. ආලවන්ත හුදෙකලාව..!!

      හැබැයි ඉතින් බ්ලොග් එකේ ලියැවෙන දේවල් තව කාලයක් යනකම් රහස් හොඳේ..))

      මාත් මේ කේසා,ලෝමා,නඛා.. කියලා පිළිකුල් භාවනාවවත් වඩන්න තමා යන්නේ.. ඒ තරමට කොණ්ඩෙ යනවා..

      Delete
    2. හරි හරි රහස් රකිමි. ඒක ෂුවර්. :-)

      Delete
    3. ෂෝයි.. ඒක නෙමේ.. පොතේ වැඩේට අක්කා ලංකාව බලා පියාඹනවා නේද..??

      Delete
  16. මගේ කොණ්ඩ සංස්කෘතිය ගැන... ලියම්දෝ... නොලියම්දෝ.....???

    ReplyDelete
    Replies
    1. ඒකත් ඉතින් අහන්න දෙයක් නෑ කඳුළු කතාවක් වෙන්නැති..))

      Delete
  17. වැඩිය හිතන්න එපා නංගි. හිතන තරමට ඕක කරදරයක්.
    නාන්න පැය හයකට විතර කලින් හොඳට තෙල් ගාන්න. තමන්ගේ කොන්දෙට ගැලපෙන ෂැම්පු එකක් , ෂැම්පු එකට ගැලපෙන කන්ඩිෂනර් විතරක් පාවිච්චි කරන්න. නාල කොන්ඩේ තෙතට තියාගන්න එපා.
    තෙල් නැතුව වේලෙන්න දෙන්නෙපා.

    මාස 23 ක අත්දැකීමෙන් කියන්නේ. අවුලක් නෑ අඩි දෙකකට තව ටිකක් විතර ;)

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කියපු කිසි දෙයක් මම කරන්නෙ නැහැ.අම්මට හොරෙන් නාන්න පුළුවන් වුණොත් තෙල් ගාන්නෙම නෑ.නාන්න කලින් අම්මා දැකලා ගෑවොත් තමා.නාන්නේ නැත්නම් කොහෙත්ම තෙල් ගාන්නෙම නෑ.ෂැම්පු සහ කන්ඩිෂනර්ත් අතට අහුවෙන එකක් තමා.එක බ්‍රෑන්ඩ් එකක් කියලා නැහැ.ඒ මදිවට ගෙදර කවුරු හරි කෑ ගහන තුරු කොණ්ඩෙ පිහදාන්නත් අමතක වෙනවා.

      ඔන්න ඔය වගෙ දේවල් සලකා බලද්දි මෙච්චර කාලයක් මේ කොණ්ඩෙ මෙහෙම තියෙන එක ගැන මට ම පුදුමයි..!!

      ඒ කොයිහැටි වෙතත් මගෙ අවුරුදු හතරට වඩා බරපතළයි වගේ කසුන් අය්යගෙ මාස විසිතුනේ අත්දැකීම්..))

      Delete
    2. මන් කිව්ව විදියට පුරුදුවෙන්න බලන්න. නාන දාට වැඩිපුර පැය බාගයක් යයි. උරුද්දට ගියහම ගානක් නැහැ. කොන්ඩෙත් හොදට වැවෙනවා ;)

      හැමෝගෙම අකමැත්ත පිට මාත් වැව්වා අවුරුදු දෙකක් .. හෙළයෙක් වගේ ))

      Delete
    3. ඒක තමා ට්‍රයි කරලා බලන්න ඕනෑ.. කොණ්ඩෙ තව දික් කරගන්න ට්‍රයි කරන්නේ කැම්පස් පටන් ගන්න කලින්..)))

      Delete
  18. තනි අලියාJuly 31, 2016 at 9:41 AM

    අනිත් අයට මං දන්නෙ නෑ! මට නං රැවුල වැවුනමත් මළ කරදරේ :)

    ReplyDelete
    Replies
    1. එහෙනං ඉතින් අනිත් බ්ලොග්කාරයො වගේ අලියා නම් කීයටවත් කොණ්ඩෙ වවන එකක් නැහැ..))

      කොණ්ඩෙ කරදරයක් කියල හිතෙන නිසා තමා මාත් මේක ලිව්වෙ.. හිහ්.. නිදහසේ පාරතොටක යන්නත් නෑ.කොල්ලන්ගෙ ඇස් තොරන් වගේ වෙනව නෙව කොණ්ඩෙ නිකං බැඳගෙන ගියත්..

      Delete
  19. කොණ්ඩය කොට කෙල්ලන් වර්ජනය කරනු..
    කොල්ලෝ නම් කැමති දිග කොන්ඩ තියෙන කෙල්ලන්ට.. මට නම් අල්ලන්නෙම නැහැ අර පුවක් ගෙඩියෙන් හදපු බෝනික්කෝ වගේ කොන්ඩ තියෙන කෙල්ලෝ..

    ReplyDelete
    Replies
    1. කොල්ලො කැමති දිග කොණ්ඩ තියෙන කෙල්ලන්ට කියන එක හොඳට තේරෙනවා පාරකට බැස්සහම..))

      Delete
    2. හේතු පහදන්න..

      Delete
    3. කොල්ලන්ගෙ ඇස් තොරණෙ බල්බ් සෙට් එක වගෙ වෙන හින්දනේ..))

      Delete