Wednesday, August 10, 2016

මල්හාර - 01

                                                                 
අපි ඉතා ම හොඳ මිතුරන් වීමු. එවකට පාසලේ වඩාත් සවිමත් ම මිතුදම පැවතුණේ අපේ පන්තියේ ය. අප තිදෙනෙකු අතර ය. අප තිදෙනා අතරින් දෙදෙනෙකු ගැහැණු ළමුන් වීමු. අනෙකා පිරිමි ළමයෙකු විය. මිත්‍රත්වයට ලිංගභේදයක් අදාළ නොකරගත් අපි ඉතාමත් සන්තෝෂයෙන් උන්නෙමු. මගේ පාසල් ජීවිතයේ චමත්කාරජනක ම අවධිය වූයේ ද එසමය යි. අප සාමාන්‍ය පෙළ හැදැරූ අවධිය යි.

පාසල කෙළවරේ වූ කොට්ටම්බා ගස යටට වී විවේක වෙලාවට අප තිදෙනා පාඩම් කළේ එකට ය. පන්තියේ දැල් ගසා නොතිබූ බිත්ති මත වඳුරු පැටවුන් තිදෙනෙකු සේ වාඩි වී උන්නේ ද එකට ය. පුස්තකාලයට ගියේ ද, තනි කෙනෙකුට ඔසවාගෙන ආ නොහැකි පොත් ගොඩ ඔසවා ගෙන ආවේ ද එක් ව ය.

නිරතුරු ඇස් මතට කඩා වැටෙන මගේ කෙටි කොණ්ඩය සුරතින් අවුල් කරන්නට ඔහු පුරුදු වී හුන්නේ ය. එවන් මොහොතක අපේ රජ තුන් කට්ටුවේ සිඟිති නොරිස්සුම් මතු වූ බව මට සිහි වන්නේ දැන් ය. අලංකාර ව චිත්‍ර අඳින්නට දැන හුන් ඔහු මගේ වමතේ යමක් සිත්තම් කරන මොහොතක යෙහෙළියගේ දෑස්වල නැගී ආ අඳුරු පැහැය ඊර්ෂ්‍යාවක් යැයි කියවන්නට එකල මා දැන උන්නේ නැත. ඔහු බලෙන් ම මගේ පොත් ටික උස්සාගෙන යන කල ඈ බිම බලා හුන්නේ වේදනාවෙන් බව දැනගන්නට මා වැඩී උන්නේ නැත. එපමණට ම මම අභ්‍යන්තරයෙන් කුඩා දැරියක වීමි.

ඔහු නොපැමිණි එක්තරා දවසක මිතුරියත් මාත් අනෙක් සිසුන් සමඟ කොරිඩෝරය දිගේ පන්තියට යමින් සිටියෙමු.

මට දෙයක් කියන්න තියෙනවායි ඈ එවිට ඇහෙන නෑහෙන හඬකින් කොඳුරා සිටියාය. මවිතයෙන් යුතු ව ඈ දෙස බැලූ මම ඇගේ ඇස් අභ්‍යන්තරයෙහි වූ නැවුම් බව දැක යළි මවිතයට පත් වීමි.

මං කෙනෙක්ට ආදරය කරනවා.. යි ඈ රහසින් මෙන් කීවා ය. 

හොඳින් විභාග සමත් වී අප එකට සරසවි යා යුතු බව මිස අප තිදෙනා කවරදාක හෝ යම් පිටස්තරයන් තිදෙනෙකුට ආදරය කරතියි විවාහ වෙතියි වැනි හැඟීමක් කිසිදා මසිතෙහි ඒ වන තෙක් ඇති වී තිබුණේ නැත. ආලය පිළිබඳ හැඟීම් නවකතාවලින් - කවිවලින් මිස සැබෑ ලෝකය තුළ ඒකපාර්ශ්වික ව හෝ මා අත්විඳ තිබුණේ ද නැත. ඒ විමතියෙන් යුතු ව ම මුත් මිතුරියගේ ආදරය දිනා ගත්තේ කවුදැයි මම මඳසිනාවකින් යුතු ව ඇගෙන් ප්‍රශ්න කෙළෙමි.

ඈ ඉතාමත් හිමිහිට, මට හැර කොරිඩෝරයේ සිමෙන්ති පොළොවටත් නෑසෙන තරම් හිමිහිට ඔහුගේ නම තෙපළුවාය. මම සන්තෝෂයට පත් වීමි. ප්‍රේමය ගැන දැන නොසිටි මට වුවමනා වූයේ මගේ මිතුරන් සතුටින් සිටීම පමණි. අප තිදෙනා අතුරින් දෙදෙනෙකු එකිනෙකාට ප්‍රේම කිරීම මට ගැටලුවක් නොවී ය. එය ඉතා සාමාන්‍ය දෙයක් වනු ඇත. ඔවුන් දෙදෙනා එකිනෙකාට ආලය කිරීම මට ගැටලුවක් නොවේ. මට ඒ දෙදෙනා දෙස බලා සතුටු වන්නට පිළිවන. මා සිතුවේ එසේ ය. ඒත් ඒ එදා ඇය නොකියා කීවේ ඔහු වෙතින් මා ඉවත් වී සිටිය යුතු ය යන්න වග වටහාගැන්මට තරම් මම මුහුකුරා ගොස් නොසිටියෙමි.

ගැහැණු ළමයකු ප්‍රේමය සම්බන්ධයෙන් ඉස්සර වීම අසෝබන යැයි විශ්වාස කළ මිතුරිය යම් දිනෙක ඔහු ම තමන්ට ආදරය ප්‍රකාශ කරන තෙක් ඉවසා සිටින්නෙමැයි කියා මට එදින කීවා ය. මේ ගැන ඔහුට නොහඟවන වගට මා ශපථ කර ගත්තාය. ප්‍රේමය ඇගේ ය. ඉතින් සියල්ල සිදු විය යුත්තේ ඈට වුවමනා විදියට ය. මම ඈට එකඟ වීමි. එහෙත් ඔහු නොමැති තැනක ඔහු ගැන කියා ඈට විහිළුවක් කරන්නට මම අමතක නොකෙළෙමි.

එහෙත් අවාසනාවකට මෙන් ඔහු මගේ මිතුරියගේ ප්‍රේමය තේරුම් ගත්තේ නැත. අප තිදෙන එක් ව ඉන්නා කල මට වඩා ඇයට අවධානය දක්වන්නැයි වචනයෙන් කියන්නට පවා මට විටෙක සිත් විය. ඔහු වඩා රුචි කළේ මගේ ඇසුර ය. අප කතාබහේ යෙදී හුන් මොහොතක ඔහු දඟකාර දිදුළන ඇස්වලින් එක එල්ලේ මා දෙස බලා උන්නේ ය. වුවමනාවට වඩා වැඩියෙන් මා අගය කළේ ය. එවන් මොහොතක මම පීඩාවට පත් වීමි. එහෙත් ඇගේ ඒකපාර්ශ්වික ප්‍රේමය ඔහු දැනගන්නවාට ද ඈ තුළ වූයේ දැඩි අකැමැත්තකි. එහෙයින් මම ඔවුන් දෙදෙනා මැද දැඩි සේ අතරමං වී හුනිමි.


Love is like the wind. You can’t see it, but you can feel it. - Nicholas Sparks

22 comments:

  1. ලස්සන ආරම්භයක්. අවසානයේ හදවතට ගොඩක් සමීප කියමනක්. :)

    ඉක්මණටම ඊලඟ කොටසත් කියවන්න ලැබෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී අක්කා.. ඔයාව වැහි වැටෙන තැන දකින්න ලැබීම පවා සතුටක්!

      ඉක්මණට ලියන්නම්කෝ.. කොටස් ගොඩක් නම් නැහැ.මේක කෙටි ම කෙටි නවකතාවක්, පරිච්ඡේද හය හතක..!

      ඔයත් ස්පාර්ක්ස් ෆෑන් කෙනෙක් වාගෙයි පේන්නෙ..))

      Delete
  2. ම්ම්ම් නියමයි. ඊලඟ කොටස තෙක් බලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි...

      ඉක්මණට ලියන්නම්කෝ...)))))

      Delete
  3. ලස්සන ආරම්භයක්...
    "මම ඔවුන් දෙදෙනා මැද දැඩි සේ අතරමං වී හුනිමි."
    ඒ අතරමන්වීම තමයි අමාරුම දේ...

    ඉක්මනට ඊළග කොටස ලියන්නෝ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.. ඒත් ගොඩක් වෙලාවට මිනිස්සු සමහර හැඟීම් එක්ක ජීවිතේ තැන් තැන්වලදි අතරමං වෙනවානේ__ විශේෂයෙන්ම මේ කතාවෙ වගෙ පාසල් වයසෙදි එහෙම වෙන එක හරි ස්වභාවිකයි

      ස්තූතියි ගිම්මියෝ..

      Delete
  4. සිතූ ෆැසිනෝවෙල්වල අතරමං කරපු මාව මහ වැස්සකට අහුවෙන්න යනවා වගේ. අයියෝ කොයි තරම් කුරිරුද මේ බ්ලොග්කාරියෝ...

    ReplyDelete
    Replies
    1. හප්පේ.. බයවෙන්නෙපා අක්කණ්ඩි.. මේක හරි ඇබිත්තන් වැස්සක්..)))

      Delete
  5. කියෙව්වා,ආරම්භය හොඳයි.ලියාගෙන යමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ස්තූතියි.. පින්තූරෙ හැටියට නම් හැලප මාමා කියා තමයි කතා කරන්න ඕනෑ මයෙ හිතේ..))

      Delete
  6. හරිම ලස්සනට පටන් ගත්තු ලිවීමක්. ඊලඟ කොටස එන තුරු ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා අය්යේ.. ලියන්නම් ඉක්මණට..))

      Delete
  7. ඔයා ලස්සන කතාවක් පටන්ගෙන මට ලස්සන අතීතයකුත් මතක් කරා.

    ඉක්මණින් ඉතුරු ටික ලියන්නකො නැතිනං මං වැසි දැරිවිට කියලා අකුණු එක්ක වැස්ස ගෙන්නනවා

    ReplyDelete
    Replies
    1. ඔය ආවේ එළියට.. පරණ කතන්දර.. හී..!!

      දැන් අක්කා අකුණු ගෙන්නගන්න ඉන්න වැසි දැරිවි මං ද..? නිකං දැනගන්න ඇහුවෙ..))

      Delete
    2. ඒක පරණ වෙන්නැති දවස ගානෙ අලුත්වෙන කතන්දරයක්. දැන් ජීවත්වෙන්නෙ වර්තමානෙ නිසයි මේක කියවනකොට අතීත කතාව මතක් වුණේ

      තමන්ගෙ හොදම යාළුවා එක්ක ජීවිතේම බෙදාගන්න සෑහෙන්න පිං කරන්න ඕනි. බලමු ඔයාගෙ කතාවෙ යාළුවාගෙ පින කොහොමද කියලා

      අනේ නෑ මං කිව්වෙ ඔයා වගේ අහිංසක දැරිවියක් ගැන නෙවෙයි නිතර තර්ජන ගර්ජන කරන වැසි දැරියෙක් ගැන

      Delete
    3. ම්ම්.. ලස්සන මතකයන් කවදාවත් පරණ වෙන්නෙ නැහැ.මේ කතාව නිසා සුන්දර අතීතයක් මතක් වුණා නම් ඒ ගැනත් මට සතුටු වෙන්න පුළුවන්..))

      සමහර හොඳම යාළුවෝ ආදරවන්තයෝ බවට පත් වෙනවා.ඒ නැතත් ඕනම පෙම්වතුන් යුවළකට හැකි වෙන්න ඕන එකිනෙකාගේ හොඳම මිතුරන් දෙදෙනා වෙන්න..

      මේ වැසි දැරියත් අහිංසකයි තමා.. හැබැයි ඉතින් පෝස්ට්ස් පරක්කු වෙන කොට ඔය ඔයා කියන වැසි දැරිය වාගෙ අසනි වර්ෂාවක් වෙන්නත් ඉඩ තියෙනවා..))

      Delete
  8. මෙය සත්‍ය සිදුවීමකි" ටයිටල් එක ඇතුලෙමයි පෙව්නෙ......හැක් හැක්...ආය කමෙන්ට් කියවද්දි මතක් උනා

    ReplyDelete
    Replies
    1. ආවා මෙතන කතන්දර හදන්න...!!

      පොඩි එවුන් දැනගන්නෝනැ පොඩි එවුන් වාගෙ ඉන්න.. ගර්ර්ර්ර්ර්..))))))

      Delete
  9. තුන්කොන් පෙමක් වගයි. අගෙයි. කිව්වා වගේම කොටස් වැඩි නොකර ලියන්න.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොමත් ම ස්තූතියි..

      අනිවාර්යෙන් කොටස් හතකින් මෙහා නවත්වනවා. මේක කෙටි ම කෙටි කතාවක්..!!

      Delete
  10. දැන් ඔහේ මේ මල්හාර කියල මේ කතාවට නම දැම්මෙ මොකෝ?

    මල්හාර කියල රාගයක් තියනව උතුරු ඉන්දීය සංගීතයෙ...එහෙම අදහස් කරලද නැත්නම් මල්හාර = මල්දම කියල අදහස් කරලද?

    ReplyDelete
    Replies
    1. මල්හාර කියන්නෙ නව යොවුන් වයසට සමාන පදයක් කියා හිතුණා.මේ කතාවෙ කියැවෙන්නෙ අවුරුදු දහසයක - දාහතක ළමයි ටිකක් ගැනනේ.අනිත් එක මල්හාර කියන එකේ මල් වරන කාලය කියන අදහසත් තියෙනවා.

      Delete