Saturday, August 13, 2016

මල්හාර 02


අප තිදෙන අපූර්ව මිතුදමකින් බැඳී - වෙළී ගෙවාලූ ඒ සමය මිහිරි මලින් සපිරුණු චාරුතර වසන්තයක සිරි ඉසිලීය. ඊට හේතුව අප අතර වූ සුපිරිසිදු මිත්‍ර සන්ථවය බව අද ආපස්සට කල්පනා කර බලද්දී මට නිරන්තරයෙන් ම හැඟෙයි.

ඒ මධුර මනෝහර වසන්තයට ගිනි වැදුණේ එක් භයානක දවල් වරුවක ය. 


ඒ වෙද්දී සාමාන්‍ය පෙළ විභාගයට වැඩි කලක් තිබුණේ නැත. පාසලේ විවේක සමයේ අන් බොහෝ දෙනා පිට්ටනියේත් පන්තියේ සිටියදී අප තිදෙන සුපුරුදු ලෙස පන්තියේ කොට බිත්තියේ වාඩි වී උන්නෙමු. එදවස පුරා ම ඔහු උන්නේ යම් කැළඹුමකින් වග මට දැනී තිබිණ. නිකම් ම මිතුරියක වීත් මට එය හැඟුණි නම් ඔහුට සිතින් පෙම් බඳින ඇයට එය නිසර්ගයෙන් ම හැඟී යාම ස්වභාවිකව ය. ඉතින් විය යුතු පරිද්දෙන් ම ඒ කැළඹුමට හේතුව ඔහුගෙන් විමසුවේ ඈ ය. ඇගේ අහඹු ප්‍රශ්නයෙන් තිගැස්සී ගිය ඔහු ටික වේලාවක් ඉවත බලාගෙන උන්නේය. ඉක්බිති එක් වර ම ඍජු ව මා දෙස බලා මාතින් අල්ලා ගත්තේය.

තවත් මේක හංගගෙන ඉන්න මට බැහැ.. මං ඔයාට ආදරෙයි.

එවර තිගැස්සී ගියේ මා ය. මා ඔහුගේ අත මත සිර ව තිබූ මගේ අත ඇදගත්තේ ද, ඇය වහා කෙටි බිත්තියෙන් බැස්සේ ද එක ම නිමේෂයේ දී ය. හුස්ම ගන්නා සුපුරුදු රටාව අමතක වී ගියෙන් මම මොහොතක් හුස්ම අල්ලාගෙන උනිමි. දෙවියනි, ඇයට කළ යුතු ආරාධනාව ඔහු මට කරන්නේ ඇයි? ඇයටත් මටත් දෙදෙනාට ම කිසිවක් සිතාගැන්මට ඉඩ නොදී විවේක කාලය නිම වන සීනුව නාදවන්නටත් පෙර ගුරුතුමිය පන්තියට පැමිණියා ය.  

ජීවිතයේ ප්‍රථම වතාවට ඉතිහාසය පාඩමේ දී මට හිත එකඟ කරගන්නට නොහැකි විය. එදා කියා දුන් පාඩම කුමක් ද කියාවත් මට මතක නැත. ගුරුතුමිය කියූ එකදු වදනකුදු මසිතේ සටහන් නොවීය. ඔහු වරින් වර මා දෙස බලනු ද, ඇය කිසිත් නොදොඩා මා පසෙකින් සෙල්රුවක් සේ සිටිනු ද, දැනෙද්දී මසිත් යුද පිටියෙහි තුන් වන ලෝක මහා යුද්ධය පැවැත්වෙමින් තිබිණ.

කල්පයකට වඩා දිගු වූ කාලපරිච්ජේද දෙක අවසන් වූ පසු මගේ දෙපා සීතල ව යන වගකි දැනුණේ. මේසය අද්දර දිදුලන දෑසින් ද, අවුල් වූ කැරළි හිසකෙසින් ද යුතු ව සිටගෙන සිටියේ ඔහු ය. හෙට උදේට මට පොසිටිව් උත්තරයක් ඕනෑ යි කියමින් ඔහු ක්ෂණික ව පන්තියෙන් නික්ම ගියේ ය. කාරණය තේරුම් ගත් අවට මේසවල හුන් සිසු සිසුවියෝ අතපොළොසන් දෙන්නටත්, කෑ මොර ගසන්නටත්, සුබ පතන්නටත් පටන් ගත්හ. ප්‍රහර්ෂයට පත් වනු වෙනුවට කෑ ගසා හඬන්නට තරම් පීඩනයක හුන් මම මගේ අවාසනාවත් මිතුරියත් ඇදගෙන ම පන්තියෙන් පිට වුණෙමි.

අප දෙදෙනා නැවතුණේ අපේ පන්ති කෙළවර වන තැන කොරිඩෝරයේ ය. පැය එකහමාරකට පසු ප්‍රථම වරට ඈ ඇසොසවා මා දෙස බැලුවාය. මෙතෙක් ඇගේ දෑසෙහි පිරී තිබූ කඳුළු කඩා වැටුණේ ඒ මොහොතේ ය. මා නොදැනුවත් ව යටි හිතෙක හෝ ඔහු පිළිබඳ ව යම් තෘෂ්ණාවක් මා තුළ වී නම් මේ ප්‍රාණසම මිතුරියගේ කඳුළු අස ඒ සියලු තෘෂ්ණාවන් මා වෙතින් පලා ගියේය. මම කෙදිනකවත් නොවූ තරම් ආදරයකින් ඈ වැළඳගතිමි.

මං එයාට පැහැදිලි කරල දෙන්නම් උමාලි. අඬන්නෙපා. මං එයා එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ නෑ.

මා කීවේ අටවසක් පුරා එක බත්පත බෙදාගෙන කෑ සෝවුරියගේ උරහිසෙහි හිස රඳවාගෙන ය. ඈ නිමේෂයකින් මා වෙතින් ඈත් වූවා ය.

එපා
ඇගේ වදනෙහි මෙන් ම වතෙහි ද වූයේ තිර බවකි.

එපා. මට කියලත් ආත්ම ගෞරවයක් තියෙනව. එයාට කියන්නෙපා. ඔයාලා තීරණයක් ගන්න. මං ඈත් වෙන්නම්.

මම මහා මවිතයකින් ඈ දෙස බලා උන්නෙමි.


Friendship often ends in love. But love in friendship, never! - unknown

20 comments:

  1. බලමුකො ඉතින් දැන් මොකද වෙන්නෙ කියලා

    ReplyDelete
    Replies
    1. කැමති දෙයක් හිතාගන්න නිදහස තියෙනවා ඉතින්..)))

      Delete
    2. හිත හිතා වදවෙන්නෙ මොකටද? වෙච්ච හරිය ඔයාම කියලා ඉවර කරන්නැතෑ

      Delete
    3. බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමා..))

      Delete
  2. කම්ම්මැලිකම, කම්මැලිකම තව ටිකක් ලියන්න තිබ්බනේ. මේකථාවට සමාන දෙයක් මට සිද්ධ වෙලා තියෙනවා. ඒගැන පසුව.

    ReplyDelete
    Replies
    1. මං ඉතින් කොහොමත් කම්මැලියා නොවැ..)))

      ඒ කතාවත් ලියමු ඉතින්..!!

      Delete
  3. කෙල්ලො ගේම ගහන්නෙ යටින්......හා නැද්ද?...:D

    ReplyDelete
    Replies
    1. නෑ නෑ මෙහෙමනෙ....තමන්ට ලැබෙන්නෙ නෑ කියල ටක්කෙට ම දැනගත්තහම ඒක අත ඇරල ලැබෙන එකාටත් සුභ පතල යටින් උට ගේමක් සෙට් කොරනව....(සියල්ලෝම නොවෙති) දිගට ලීවොත් එහෙම සීන් එකක් යයි වගේ...හැක් හැක්...

      Delete
    2. එහෙමත් එවුන් ඉන්නවා ඇති තමා ඉතින්.. අපි බලමු මේ කතාවෙ මොකෝ වෙන්නෙ කියලා..

      කතාව දිග්ගස්සන්නේ නැති විත්තිය මං කලින් ම කිව්වා නොවැ..))

      Delete
  4. "මම ඈත් වෙන්නම් "
    හොදකට නෙමෙයි වගේ.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩ වැදුණට.. බලමු මොකද වෙන්නෙ කියලා..))

      Delete
  5. තනි අලියාAugust 14, 2016 at 8:44 AM


    ‘එපා. මට කියලත් ආත්ම ගෞරවයක් තියෙනව. එයාට කියන්නෙපා. ඔයාලා තීරණයක් ගන්න. මං ඈත් වෙන්නම්.’

    අාදරේ හමුවේ යාලුකං කැලේ!

    ReplyDelete
    Replies
    1. ඒකත් එහෙමද.. but this story is different aliyo..))

      Delete
  6. කොටයි කොටයි, බොහොම කොටයි මේ පෝස්ට් එක. ඊළඟ එක මීට වඩා දිගට ඕනැ.

    ReplyDelete
    Replies
    1. කම්මැලි හිතුණා.. මට කම්මැලි හිතුණා..))

      Delete
  7. මේකේ පලවෙනි කොටසේ ලින්කුව දාන්නකෝ නගේ...

    කෙනෙකුගේ හිතේ ආදරයක් ඇති වෙන කොහොම නවත්තන්නද ඉතින්...ඒක පිළිගන්න, නොගන්න එක වෙනම දෙයක්...

    ReplyDelete
    Replies
    1. http://wehimandarama.blogspot.com/2016/08/01.html

      ඕන්න පළවෙනි කොටස..

      මේ පැත්තෙ ආවට ස්තූතියි අක්කේ..))

      Delete
  8. බොරදිය පොකුනේ ගෝතමීව එක සැරේට මතකෙට ආවා. ඒක මේ කතාවට කිසි සම්බන්ධයක් නැතුව ඇති. ඒත් ආදරය කරන කෙනාගෙන් ප්‍රතික්ෂේප වීම යාලුවට මාර ශොක් එකක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ඔව්.. ඒක යමෙක්ව සම්පූර්ණයෙන් ම වෙනස් කෙනෙක් කරන්න තරම් ප්‍රබල දෙයක්..

      Delete