Monday, August 15, 2016

මල්හාර 03

මල්හාර 01 කොටස

මල්හාර 02 කොටස

මිත්‍රත්වයට සහ ප්‍රේමයට කැපකිරීම් කළ හැකි බව දැන උනිමි. ඒත් මා ඇගෙන් මෙබඳු වදනක් කිසිදා අපේක්ෂා කළේ නැත. අනපේක්ෂිත ව ඈ එසේ කීවත්, මට එය පිළිගන්නට ද නොහැකි ය.

නැහැ උමාලි. එයා මගෙ යාලුවෙක් විතරයි. මට කවදාවත් එහෙම එයා ගැන හිතන්න බැහැ. මං එයාට බැහැ කියලා එයාගෙන් ඈත් වෙන්නම්. ඔයා දිගටම එයාව ආශ්‍රය කරන්න. එතකොට කවදහරි එයා ඔයාගෙ හිත තේරුම් ගනීවි.

මා එසේ කියද්දී මට ම දැනෙමින් තිබුණේ අතිශය නුුහුරු හැඟීමකි. කිසිදාක අප දෙදෙන අතර ඇති වේ යැයි සිහිනෙකිනුදු සිතූ සංවාද ද මේ..?

මගේ වදන්වලට උමාලි එකඟ වූයේ නැත.

නැහැ. එයා ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා නොදැන හිටියට ඒක මට තේරිලා ගොඩක් කල්. ඒත් ඒක පිළිගන්න මේ වෙනකම් මට හිත හදාගන්න බැරි වුණා.. එසේ කියා ඈ අසීරුවෙන් මා දෙස බලා දුබල සිනාවක් මුවට නගා ගත්තාය. එහෙත් සිනාවක් වෙනුවට ඇගේ මුවේ රැඳුණේ හැඬුම්බර බැල්මකි. 

එයාට දුක් දරන්න බැරි වෙයි. කවදාවත් දුකක් දෙන්නෙපා.
එසේ කියා ඈ හිස් බැල්මකින් මා දෙස බලා සිටියාය.

මං මේ තරහ වෙනවා නෙමෙයි. ඒත් තව දුරටත් ඔයා එක්ක ආශ්‍රය කරන්න තරම් මගෙ හිත හය්ය නෑ. මෙච්චර කලක් මට දුන්න යාලුකමට පින්..

ඈ නිසංසල ව එසේ කියද්දී මා උන්නේ අකර්මණ්‍ය වී ය. එහෙත් ඇගෙන් මට ඔයා ගැන එයාට කියන්න ඉඩ දෙන්නැයි ඉල්ලා සිටීමට මම සමත් වීමි. ඈ තරයේ සිය හිස දෙපසට සෙලවූවාය.

නැහැ. මේක මගෙ ආත්ම ගෞරවය ගැන ප්‍රශ්නයක්. ඔයා එයාට මගෙ හිතේ තියෙන හැඟීම ගැන කියලා එයා ඊටපස්සෙ මගෙ ළඟට ආවත් ඇති පලේ මොකක්ද.. මගෙ ආත්ම ගෞරවයට මොකද වෙන්නෙ. එපා.. කවදාවත් ඒක කරන්නෙපා. මේක ඔයා විතරක් දැනගන්න රහසක් වුණා ම ඒ ඇති.

මට කියන්නට කිසිවක් ඉතිරි ව තිබුණේ නැත. වසර ගණනක් පුරා එක බත්පත බෙදා කෑ මිතුරිය.. නිවාඩු දිනවල අපේ නිවසට විත් මිදුල පුරා දුව පැන නැටූ යෙහෙළිය.. කතන්දර පොත් හුවමාරු කරගෙන කියැවූ සාහිත්‍ය සහායිකාව.. හැරීවත් නොබලා කොරිඩෝරය දිගේ පන්තිය වෙතට ඇවිද ගියා ය.

එක පිරිමියෙකු බෙදා ගන්නට නොහැකි වූ විට කෙහෙවලු පටලවා ගන්නා ගැහැණුන් සිටින ලෝකයක අප උනුන් වෙනුවෙන් එක පිරිමියෙකු - යුවතියකට අත හරින්නට නොසිතෙන අන්දමේ හොඳ තුරුණුවෙකු පරිත්‍යාග කරගන්නට යත්න දරන යුරු, ප්‍රේමයේ කුමන ප්‍රවර්ගයකට අයත් වන්නේ ද යන්න සිතා ගැනීම මට අපහසු විය.

එදා රාත්‍රිය ඉතා දිගු වි ය. වෙනදාට ඇඳට වැටුණු පමණින් නිදාගන්නා මට එදා එක විනාඩියකට හෝ නිදාගන්නට නොහැකි විය.මුළු රැය පුරා ම මා උන්නේ ඇහැරගෙන ය.

ප්‍රේමය ගැන මා දැන සිටියේ නවකතාවලිනි.කවිවලිනි.එය මේ තරම් අසීරු යමකැයි දැන උන්නා නම් මා අඩු ම තරමේ ප්‍රේමය ගැන ලියැවුණු ගීයකටවත් සවන් දෙන්නේ නැත.

මා සෑහෙන කාලයක සිට ඔහුට යටි සිතින් ආදරය කළ වග මා වටහා ගත්තේ එදින ය. අඩුම තරමේ උමාලි ඔහු කෙරේ තමා පෙම් බැඳ සිටින වග කියා සිටින කලවත් මසිතෙහි වේදනාවක් හට ගත්තේ නැත. එහෙත් මා වෙත ආදරය ප්‍රකාශ කර සිටින කල ඔහුගේ ඇස්වල වූ බැල්මෙන් ප්‍රථම වරට මගේ හදවත ඇදුම් කන්නට පටන් ගත්තේය. ඔහු හා ගෙවී ගිය කාලය සිනමාපටයක රාමු මෙන් මා නෙත් ඉදිරියේ පෙළින් පෙළට මැවී ගියේය.

මගේ කෙටි කොණ්ඩයෙන් ඇද දිව දික් කොට දිව යන දඟකාරයා කවදාක හෝ මගේ සෙනෙහස අයැද සිටී යැයි සිතුවේ කවුද? චිත්‍ර පන්තියේ දී මගේ දිය බඳුනට පින්සල දමා අලුත් වර්ණ තනන කලාකාරයා මහද කැන්වසය මත සිත්තමක් අඳින්නට ඉඩ ඉල්ලතැයි සිතුවේ කවුද? ශ්‍රේණියේ ම සිසුවියන්ගේ සිහිනවල හුන් කැරලි කෙසැති සිහින කුමාරයා මා අස නතර වෙතැයි සිතුවේ කවුද?

එහෙත් මට ඔහු ගැන දිගින් දිගට සිතන්නට ශක්තියක් තිබුණේ නැත. උමාලිගේ කඳුළුබර දෑස් වරින් වර ඔහු ගැන මතකයන්ට බාධා කළේය. එපමණක් නොව ඇගේත් මගේත් අට වසක් පැරණි මිතුදමෙහි මතක රැල් රැල් වරින් වර උඩට මතු වෙමින් මතකයත් - නින්දත් අවුල් කර දැම්මේ ය.

එදින රැය නිදිවර්ජිත ව පහන් කෙළෙමි.

ඔබ සඳක් තමයි පළවා හළ
අමිහිරි කළුවර
ඒ සඳ දකින්න ඇස් කීයක්
පෙරුම් පුරනවද?
ඉතින්, මට විතරක් ඇයි කියන්න
ඔබගෙන් අවසර..?

(රත්න ශ්‍රී - ආලකමන්දා - පිටුව 49 )

20 comments:

  1. ඔහුද? මිතුරියද ?....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බලමු කාවද තෝරගන්නෙ කියලා..

      ස්තූතියි බැලීමෙන් නොනැවතී කමෙන්ට් කරන්නත් නවතිනවට..))

      ජය..!

      Delete
  2. Replies
    1. ලිඛිතා හා හා පුරා කියලා වැස්සෙ තෙමෙන්න ඇවිත්.. ආදරෙන් පිළිගන්නවා එහෙනම්..))

      Delete
  3. තනි අලියාAugust 16, 2016 at 8:48 AM

    මිතුරා පෙරට!
    මිතුරාට අපහාස වන බැවින් හිතින් පෙම් කල කෙල්ල සමග අවුරුද්දක්ම කතා නොකර සිටියෙමි. මේ යන්තං පෙරේද කතා කලේ :D

    ReplyDelete
    Replies
    1. අලියටත් හැම ලිපියකට ම අදාළ කතා වස්තුවක් තියෙනව නේද අලියො..??

      Delete
  4. බලමුකෝ ඊළගට මොකද වෙන්නේ කියලා?

    ReplyDelete
  5. ලස්සනයි... එහෙම කෙල්ලො ඇත්තටත් ඉන්නවා...

    ReplyDelete
    Replies
    1. ඔව් හීන දකින්නී.. එහෙම ඉන්නවා තමයි..))

      Delete
  6. පලිගැනීම අන්‍යන්ගෙන් මෙන්ම තමන්ගෙන් ද සිදු කළ හැකිය........අපි බලමු...

    ReplyDelete
  7. ආදරය වගෙම යාලුකම අතර මේ වගෙම අවුලක පැටලුනු කාලයක් මටත් A/L පන්තියෙදි තිබුනා..මීට ටිකක් වෙනස් වුනත් මට ඒක මතක් වුනා..අවසානෙදි වුන දේ මන් කතාවකින්ම ලියන්නන්කො..නියමයි වැසි...දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. අන්න හොඳයි.. ලියමු ලියමු ඒ කතාව ඉක්මණින් ම..))

      Delete
  8. ....ලොකු සුසුමක් හෙලා මම බලා හිඳීමි...ඊළඟ කොටස වෙනතෙක්...

    හරිම රහට ලියනවා නගෝ...ඔයාගේ භාෂා විලාසයට මං බොහොම කැමතියි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කෝ.. ගොඩක් ස්තූතියි..))

      ඊළඟ කොටස පොඩ්ඩක් අතපසු වුණා ලියන්න.. වැඩත් එක්ක.. ඉක්මණට ලියන්නම්කෝ..))

      Delete
  9. දෙයියනේ . . !!!

    මොනවා නමුත් ලස්සනට ලියනවා ඔයා. නියමයි මේ ස්ටයිල් එක

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුකා.. බොහොම ස්තූතියි..

      Delete