Friday, August 26, 2016

මල්හාර 05


පුරා දෙහෝරාවක් අපි පුස්තකාලයේ කෙළවර ම මේසයට වාඩි වී පහත් හඬින් දොඩමළු වීමු. පාසල නිම වෙන්නට අඩ හෝරාවක් තිබිය දී මම හිත හදාගෙන ඉරණම් වාක්‍යය ප්‍රකාශ කළෙමි. 

අපි මේක කෙළින් කතා කරමු. මට බෑ ඔයාට කැමති වෙන්න. ඒක තේරුම්ගන්න. ඔයා මගෙ හොඳම යාලුවා. මං කොහොමද දෙය්යනේ ඔයා ගැන එහෙම හිතන්නෙ..? ඕක හිතින් අතෑරලා දාන්න. කවදාවත් ම මට ඔයාට ආදරය කරන්න බැහැ.

පෙර මා දක්වන දක්වන හේතුවට ප්‍රතිහේතු දැක්වූ යෞවනයා එවර ගොළු වී ගියේ ය. ඔහු මා දෙස බලා උන්නේ කුඩා ළමයෙකු සැර ගුරුවරියක දෙස බලන අන්දමේ අඩ බියපත් බැල්මකිනි.

ඔහු ගැන හද පුරා විසල් වේදනාවක් ඉපිදෙද්දී මම නොනවත්වා උමාලි සිහි කළෙමි. අප අතර වූ මතක ගොන්න.. ආපන ශාලාවේ ඉඳ එක ම බත්පත බෙදාගෙන කෑ හැටි.. නිවාස දෙකක උන් අප දෙදෙන ක්‍රීඩා උත්සව කාලයට දෙදෙනාගේ ම නිවාසවලට ජය පැතූ යුරු..

ඔහු මහා හිස් බැල්මකින් මගේ දෑස් දෙස බලා සිටියේය.

මං නරක කොල්ලෙක් ද?

මම නැතැයි කියන්නට හිස දෙපසට සෙලවීමි. එහෙත් මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි යන සාම්ප්‍රදායික විහිලුව නොකොට සිටියෙමි.

ඔහුගේ දෑස් අග රත් පැහැයට හැරෙන්නට විය.

කිසිදාක නොවූ තරම් තදබල ලෙස ඔහු කෙරේ මසිත බැඳෙද්දී මගේ අත කැපුණු දා උමාලි සිය සුදු ගවුමේ පටිය ඉරා ලේ නැවැත්වූ යුරු මතක් කර ගතිමි.

ඔහු යමක් කියන්නට තැත් කළේය. එහෙත් එය පවසන්නට ඔහුට නොහැකි විය. හෘදය වංචාව නවතා දමන්නට සිත් වෙද්දී උමාලි මට වසර ගණනක් තිස්සේ ගෙදරින් බත්මුල් බැඳගෙන ආ යුරු සිහි කළෙමි.

ඔහු අයිති මට නොවේ. ඇයට ය.

ආයෙ කවදාවත් මං ගැන හිතන්නෙපා.. හිත රිදුණ නම් මට සමාවෙන්න. ඔයා තමා ජිවිතේ මට මුණ ගැහුණ හොඳ ම යාලුවායි කියූ මම ඔහු තනි කොට පුස්තකාලයෙන් පිටතට දිව ගියෙමි. පිට්ටනිය හරහා දුව යන කල මා කොපුල් මත උණුසුමට කඳුළු පිපෙන්නට පටන් ගෙන තිබිණි. උගුර අස යමක් හිර ව ඇතුවාක් මෙන් දැනෙන වේදනාව අබියස මම වේගයෙන් දිව යන්නට අපොහොසත් වීමි. ඔහු මා වෙතට ළං වූයේ මා පිට්ටනිය ඔස්සේ අරමුණක් නැති ව ඇවිද යන කල ය.

මගේ මුහුණට එබී බැලූ ඔහු එහි ගලා යන කඳුළු දුටුවේය.

මට ඔච්චර අකමැති නම් අඬන්නෙ ඇයි..?’ ඔහු ඇසුවේ බිඳී ගිය ස්වරයකිනි.

හොඳ ම යාලුවෙක් මට නැති වෙන නිසා..
මා පිළිවදන් දුන්නේ ඉවත බලාගෙන ය. 

මා හොඳ ම යාලුවා යැයි එතැනදී අදහස් කළේ ඔහු ගැන ද - ඇය ගැන ද යන්න අදටත් මට සිතාගත නොහැකි ය. සමහර විට ඒ දෙදෙනා ගැන ම වන්නට ද පුළුවන.

කවදාවත් අපිට අපි නැති කර නොගෙන ඉන්න පුළුවන්.
ඔහු එසේ කියද්දී මම දෑස් පියාගෙන උමාලි සිහි කළෙමි. ඈ මට දවස් කීයක් බත් කවා ඇද්ද..

මේ බලන්න.. ඔහු එවර මගේ දෑතින් ඇද මුහුණට එබුණේය.

මං අවුරුදු කීයක් හරි බලං ඉන්නම්. අවුරුදු දහයක් පහළොවක් හරි.. මං ඔයා ගැන බලාපොරොත්තු තියාගන්න ද..

හිතට දුකක් ආ කී වරෙක මා උමාලිගේ උරහිසෙහි හිස තබා අඬා වැළපී ඇද්ද..?

එපා.. මට කවදාවත් ඔයා ගැන එහෙම හිතන්න බැහැ. ඒක මං දන්නවා..
එසේ කියාගෙන ම මම පන්තිය දෙසට දිව ගියෙමි.

අලුත් කඳුළු අනවරතයෙන් මා කොපුල් මත්තෙහි පිපෙමින් තිබිණ.
                                                 
අයිතිය ප්‍රේමයක් කර ගත් මිනිසුන් ද, ප්‍රේමය අයිතියක් කර ගත් මිනිසුන් ද, අයිතියට පමණක් ප්‍රේම කරන මිනිසුන් ද, ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද, ප්‍රේමයක් නැති ව ම අයිතිය කියන මිනිසුන් ද අතර මම නුඹට අයිතියක් නොමැති ව ම  ප්‍රේම කරමි - තිළිණි ලියනාරච්චි

6 comments:

  1. ඔහු ගැන මට ඇතිවෙන්නේ දුකක්. පව්. ඒ හදට ඔච්චර දුකක් දෙන්න එපා ඉදිරියට. කථාව දැන් දැන් සංවේදී බවක් දැනෙනවා.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද.. මුල ඉඳලාම කතාවත් එක්ක හිටියට.තව එක කොටසින් ඉවර කරනවා.

      නැවතත්, ස්තූතියි..!

      Delete
  2. තුන්කොන් ආදර හැමවිටම ශෝකාන්ත !

    ReplyDelete
  3. "අයිතිය ප්‍රේමයක් කර ගත් මිනිසුන් ද, ප්‍රේමය අයිතියක් කර ගත් මිනිසුන් ද, අයිතියට පමණක් ප්‍රේම කරන මිනිසුන් ද, ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද, ප්‍රේමයක් නැති ව ම අයිතිය කියන මිනිසුන් ද අතර මම නුඹට අයිතියක් නොමැති ව ම ප්‍රේම කරමි - තිළිණි ලියනාරච්චි"

    මම හිතන්නෙ කියන්න තියන හැමදේම මෙතන කියල තියනව :) මේක කියවද්දි මටත් දෙතුන් දෙනෙක්වම මතක් උනා :) :(

    ReplyDelete