Thursday, September 1, 2016

මල්හාර - අවසන් කොටස


එදායින් පසු ජීවිතය අතිශය අපහසු විය. මේ කතාන්දරය මාත්-ඔහුත්-ඇයත් ඉතා හොඳ මිතුරන් යැයි දැන සිටි මගේ මව්පියන්ට කිව හැකි එකක් ද නොවීය. එහෙයින් ඒ හැඟීම් හද තුළ හිර කර ගෙන දුක් විඳිනවා මිස අන් කළ හැකි කිසිවක් මට තිබුණේ නැත. මා පාඩම් කොට වැඩි වී දුර්වල වී ඇතැයි කියා බොහෝ දෙනා සිතූහ. එපමණට ම මම ඇදී ගියෙමි. කෙසඟ වූයෙමි. 

උමාලි සදහට ම මගේ මිතුදම අතැර දමා තිබුණා ය. මට එහි වරදක් පෙනුණේ නැත.

ඔහු එදායින් පසු පාසල් ආවේ කොණ්ඩය බූ ගා ගෙන ය.

ඔයාට තියෙන්නෙ කෙල්ලෙක්ටත් ඉරිසියා හිතෙන තරම් ලස්සන කොණ්ඩයක්..

මා එසේ කීවේ මාස කිහිපයකට පෙර ය. ඔහුගේ හිසකෙස් මුදු මුදු ව ළඟ ළඟ කැරළි ගැසී තිබුණි. අපේ පන්තියේ බොහෝ ළමයි ඒ කොණ්ඩයට ලෝබකම් කළහ.

මා ආශා කළ කොණ්ඩය ඔහු බූ ගා තිබුණි.

රාත්‍රියේ ඇහැරී සිටින්නට මා පුරුදු වූයේ මේ ගන්ධබ්බ අවදියේ දී ය. එදවස ලියූ දිනපොත් පසු ව මම කැබලි කොට පුළුස්සා දැමීමි. ඇතැම් කවි ඉතිරි කොට ගතිමි. එසේ ඉතිරි ව තිබුණ කවි කිහිපයක් සමඟ මේ කතාන්දරයත් හමු වුණේ පරණ ලිපිගොනුවක් අස්පස් කරන මොහොතක ය. එය හමු නොවුණා නම් කිසිදාක මේ සිදුවීම් මෙහි නොලියැවෙන්නට පවා ඉඩ තිබුණි. 

ඔහු එදා සිට අද දක්වා මා සමඟ වචනයකුදු කතා කොට නැත. ඈත කොරිඩෝරයක මා එනු දකින කල ඔහු වෙනතකට හැරි මඟ හැර ගියේය. ගුරුතුමියකගේ අණකින් විෂය කරුණක් හෝ කතා කරන්නට වුවහොත් ඔහු එය මට දැන්වූයේ වෙනෙකෙකු අත ය.

ජීවිතය දරාගැන්මට අපහසු තැනකට පැමිණ තිබිණ. එහෙත් මම ඉවසීමි. කාලයත් සමඟ මා පෙළු දරුණු වේදනාව ටිකෙන් ටික මඟ හැරී ගියේය. එහෙත් බරපතළ තුවාලයක සීරුම් ඔහු දකින දකින වාරයක් පාසා අලුත් වෙමින් මා රිදවූයේ ය.

එහෙත් වේදනාව නිසා අප තිදෙනාගෙන් කිසිවෙකු කඩා වැටුණේ නැත. පාසල් ජීවිතය නිම වෙන තුරු වෙනත් කිසිවකු සමඟ පෙම් පටලැවිලි හදාගත්තේ ද නැත. එයිනික්බිති සාමාන්‍ය පෙළ විභාගය දක්වා ම පන්තියේ වැඩි ම ලකුණු ගත්තේ අප තිදෙනාගෙන් එක් අයෙකු ය. අපි හොඳින් උගත්තෙමු. මහන්සි වී පාඩම් කළෙමු. වේදනාව මඟ හරවා ගැන්මට අප සතු වූ එක ම සහ හොඳ ම විසඳුම එය විය.

ප්‍රේමය අහිමි වූ කල දිවි නසාගන්නවුනි, පෙම්වතියට පිහියෙන් අනින්නවුනි, පෙම්වතාට ඇසිඩ් ගසන්නවුනි, ප්‍රේමයේ වියෝගය දරාගන්නට ඊට වඩා හොඳ පිළියම් තිබේ. දරාගැන්ම ඉන් පළමුවැනි පිළියම ය. අප විවිධාකාරයෙන් ඒ වේදනාව දරාගතිමු.

ප්‍රේමයට සියල්ල කළ හැකි ය. සංයෝගය මෙන් ම වියෝගය ද දරාගැන්මට ප්‍රේමය අපට උගන්වයි. අපි එය උගත යුතු වෙමු. එය උගත් විට ජීවිතය උහුලා සිටින්නට මහා ශක්තියක් ලැබේ.

තුන් අතකට විසි වී ගිය අප තිදෙන තෙආකාරයකින් ඒ පාඩම උගත්තෙමු. අද අප තිදෙනා කොහේ උන්න ද අපට ම අප ගැන සන්තෝෂයට පත් විය හැකි වග දනිමි. 

මල්හාර සමයේ පිපෙන නොමේරූ මල්වලට ආයුෂ අඩු ය. වඩාත් සුවඳවත් ව, පැහැපත් ව පිපෙන්නේ වසන්තය ගැනත්,  ජීවිතය ගැනත් අවබෝධයෙන් පිපෙන සුහුඹුල් කුසුම් ය. 

                                      ***************
මේ කතාන්දරය මුල සිට අගට අසා සිටි හදවතේ වෙසෙන්නා කී කතාවක් මේ කෙටි ප්‍රබන්ධයට හිමි සුදුසු ම පසුවදන යැයි විශ්වාස කරමි.

ඔයාගෙන් කොල්ලො දෙතුන් දෙනෙක් ආදරේ ඉල්ලලා තියෙනවා. ඒත් ඔයාට ඇත්තටම ආදරේ කරලා තියෙන්නෙ උෟ විතරයි. කවදහරි දවසක ඌව මගතොටේ හරි දැක්කොත් මට පෙන්නන්න. ඔයා කතා නොකළත් මං ඌ එක්ක කතා කරනව.. 

28 comments:

  1. ඉතාමත් අගනේය...මේ වනාහී ඒ කතාවට සුදුසුම අවසානයයි...කතාව සත්‍යයක් වුවද ප්‍රබන්ධයක් වුවද ඒ වෙනසක් නොමැත්තේය....:)

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි රවී මාමේ..

      මේ කතාව අර කලකට පෙර ඔයා ලියූ Her haunting blue eyes එකේ තත්වයේ තියෙන්නේ. ඉතින් සත්‍යයක් ද ප්‍රබන්ධයක් ද කියා හිතාගන්නකෝ..))

      Delete
  2. //ප්‍රේමයේ වියෝගය දරාගන්නට ඊට වඩා හොඳ පිළියම් තිබේ.

    මිතුරාගේ බලවත් ඉල්ලීම පිට මේ වැනි තත්වයක් යටතේ ගමන් මග වෙනස් කලෙමි.

    දැන් මම මෙතනය.

    http://www.ibmbb.cmb.ac.lk/

    ReplyDelete
    Replies
    1. සතුටුයි අලියෝ...

      ජීවිතය කියන්නෙ තෝරාගැනීම්, හැම විටෙක ම..!

      සමහර අහිමි වීම් කියන්නෙ ඊට වඩා අපූරු හිමිවීම්වලට පාර පෙන්නන ඊතල..))

      Delete
    2. ඉහත ඉල්ලීම පිට යන්න බලවත් විරෝධය යටතේ වුවද ලෙස වෙනස් විය යුතුය. ඔහු කී යමක් වැරදුනු පලමු හා අවසාන අවස්ථාව, මා දන්නා තරමින් එයයි!

      Delete
    3. It is too bad that u dnt write anymore..

      u have really good stories.. real stories..!!

      Delete
    4. I wrote a story and while it is there my machine got a problem. the machine i m using currently is an old one. when i get my machine repaired i will begin :)

      Delete
  3. "මල්හාර" ආරම්භයේදීම ඔබ පැවසුවේ මෙය කොටස් 5කින් 6කින් නිමාකරන බවයි. මම කථාව කියවීමට පටන් ගත්තේද ඒ නිසයි. (දිග කථා කියවීමට කැමැත්තක් නැත) ඔබ කී ලෙසම කථාව නිම කිරීම පිළිබදව මගේ ස්තූතිය.
    "මල්හාර" යනු මල් වැටෙන් කාලෙද?
    තුන් සිතටම සධාරණයක් කරඇත.
    අපූරු ආදර්ශයක් තිළිනකර ඇත.
    ප්‍රේමය නැතිවූවිට දරාගැනීමට අසීරුවුනත් එය දරාගත යුතුයි. කුඩා කල පටන්මතිබූ මගේ කලා හැකියාව පසු කලක චිත්‍ර ඇදීමට කවි කථා ලිවීමට තවතවත් හුරුවූයේ ඔයවගේ අත්දැකීමක් නිසාවෙනි. කථාවට නැවතත් ස්තූතියි.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඉතා ම කෙටි කාල වකවානුවක් තුළ සිදු වුණ මේ කතාව දිග්ගස්සන්න බැරි වග මං දැනන් උන්නා.ඒ නිසා පොරොන්දුවත් ඉබේ ම ඉටු වුණා..!

      ඒ වගේම ඔබ හැම කොටසක් ම කියවා සටහනක් තබා තිබුණා. ඒ ගැන මගේත් ස්තූතිය.. අවසානය වන තෙක් මල්හාර කියැවීම ගැන බෙහෙවින් ස්තූතියි..))

      මල්හාර කියා අදහස් කළේ මල් වරන කාලය තමා.ඒ වගෙම නව යොවුන් වියටත් එය සමාන පදයකැයි හැඟීමක් ඇති වුණා.

      යළිත් කියන්නෙ, ඇතැම් අහිමි වීම් කියන්නෙ අපූරු හිමි වීම්.

      නැවතත් ස්තූතියි..

      ජය වේවා..!!

      Delete
  4. සුදුසුම අවසානයක්. වටිනා ආදර්ශයක්. පසුවදනේ පේළි කීපය ඇතුළෙනුත් ලොකු කතාවක් කියෙව්වා.

    අපූරු වියමනක් නංගි. ඔයාගේ ලියමන් කොහොමත් ඔයාගේ වයසට වඩා ගොඩාක් පරිණතයි. සුබ පැතුම්. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිත්තමී අක්කා.. දිගටම මල්හාර කියෙව්වාටත්, අගය කළාටත් නැවතත් ස්තූතියි..!!

      Delete
  5. //මල්හාර සමයේ පිපෙන නොමේරූ මල්වලට ආයුෂ අඩු ය. වඩාත් සුවඳවත් ව, පැහැපත් ව පිපෙන්නේ වසන්තය ගැනත්, ජීවිතය ගැනත් අවබෝධයෙන් පිපෙන සුහුඹුල් කුසුම් ය. //

    අනිවාර්යෙන්ම...එය බොහෝ අවස්ථා වලදී දකින්නට ලැබෙන දෙයක්...

    ලියමන බොහොම රස වින්දා...හිතට දැනුනා...මේ වගේ දුර දිග කල්පනා කරලා අපේ තරුණ පරම්පරාව තීරණ ගන්නවා නම්, ජිවිතේ මුහුණ දෙන බොහොමයක් ප්‍රශ්න වලට සරල විසඳුම් ලැබෙනවා...

    අහිමි වීම් දරා ගන්නට ඇති හොඳම ක්‍රමයක් තමයි යහපත් අරමුණක සිත යෙදවීම...සමහර වෙලාවට ඒ දේ කරන්න බොහොම අමාරු උනත්, ජිවිතේ ආපස්සට හැරිලා බලද්දී අනිවාර්යෙන්ම සතුටු වෙන්න පුළුවනි...

    ReplyDelete
    Replies
    1. මෙහෙම කතාවකට විවාහයක් දක්වා යන්න පුළුවන් වුණත් අධ්‍යාපනය පැත්තෙන් හරි ජීවිතේ හිස්තැනක් ඉතුරු වෙලා තියෙනව.. ගොඩක් වෙලාවට.. හැම කතාවක් ම එක වගේ නූනත්.

      මල්හාර දිගටම කියෙව්වාටත්, අදහස් දැක්වුවාටත් පොකුරු වැස්සටත් බොහොම ස්තූතියි...

      අහිමි වීම් කියන්නෙ වෙස් වලාගෙන එන හිමිවීමක් කියා හිතුවාම ජීවත් වෙන්න ලොකු පහසුවක් දැනෙනවා..

      නැවතත් ස්තුතියි..))

      Delete
  6. කලින් කොටස් වලට කමෙන්ට් නොකලට ඔබේ මේ කතාවෙ කොටස් කීපයම මා රස වින්දා. ඔබේ පුද්ගලික අත්දැකීමක් වුවත් ඉතා සාර්ථක ලෙස ඔබ එය පොදු අත්දැකීමක් බවට පත්කර තිබුණා. කතාව හමාර කළ ආකාරයත් අපූරුයි. විශේෂයෙන්ම ආඛ්‍යාන රීතිය මතු නොවැ ඔබේ නිවැරදි අක්ෂර වින්‍යාසයත් ව්‍යාකරණත් කියැවීම ඉතා පහසු කරන බව කිව යුතුමැයි. සුබ පතන්නේ හද පිරි සතුටිනි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි.. ඔබේ මේ ප්‍රතිචාර තමා ලියන්නට මා මෙහෙයවන ගාමක බලවේගය..!

      Delete
  7. කිසිදිනක පාසල් පෙළ පොතක නොතිබූ ,නියමිත ම පාඩමකි , පාසල් ප්‍රේමය.....

    ReplyDelete
  8. අපූරු මතකය වැහි

    //ඔහු එදායින් පසු පාසල් ආවේ කොණ්ඩය බූ ගා ගෙන ය.ඈත කොරිඩෝරයක මා එනු දකින කල ඔහු වෙනතකට හැරි මඟ හැර ගියේය. ගුරුතුමියකගේ අණකින් විෂය කරුණක් හෝ කතා කරන්නට වුවහොත් ඔහු එය මට දැන්වූයේ වෙනෙකෙකු අත ය.?//


    //කවදහරි දවසක ඌව මගතොටේ හරි දැක්කොත් මට පෙන්නන්න. ඔයා කතා නොකළත් මං ඌ එක්ක කතා කරනව..//

    ඔබගේ පෙම්වතා කියා ඇති දේ වැරදියි.

    දෙදෙනාගෙන් වඩාත්ම ඔබට ආදරය කර ඇත්තේ (කරන්නේ) ඔහුයි. තමන් ආදරය කරන කෙනාට ආදරය කල කෙනෙක් ගැන ඔහු කියා ඇතිදෙයින් පැහැදිලි වන්නේ ඔහු ඔබට ඇති කොන්දේසි විරහිත ආදරයයි. (He has the respect (not jealousy) towards someone who had loved his love). එවන් කෙනෙකුගේ ආදරය ලබන්න ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි පළමුවෙන් ම.. ඔබත් මේ කතාව ඇතුළෙ ජීවත් වුණ වග මට වැටහුණා..

      And ur comment about him.. It's like a gift.. Thank you...!!

      Delete
  9. කියවලාම කමෙන්ට් කරන්නම්. භාෂා විලාසය නම් perfect වගේ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රතී.. කාලෙකින් දැක්කෙ..

      Delete
  10. Ian's comment is the most accurate one :) love beyond jealousy

    ReplyDelete
    Replies
    1. yeah.. when I told my precious one this story for the first time,he smiled and uttered the epilogue of 'MALHARA'

      honestly, I was amazed.

      Delete
  11. වර්තමාන පරම්පරාවට ආදර්ශමත් කතාවක්.සුබ පැතුම් අක්කට.

    ReplyDelete
  12. ඇත්තටම ගොඩක් ලස්සන කතාවක්.. අවසානයත් සුදුසුම එකක්..

    ReplyDelete
  13. අද මේ දැන් ඔක්කොම කියෙව්වා... හරිම ලස්සන කතාවක්... ඒ වගේම පාසල් ළම්ට හොඳ පනිවිඩයක් දෙන කතාවක්...

    ReplyDelete