Monday, October 10, 2016

නපුරු කොළඹ, ලස්සන අතීතය සහ ඉන්න තැන හිඳ සඳ බැලීම


මං සැනසිල්ලෙ නිදහසේ වාඩි වෙලා ඉන්න ආස තැන් මහ ගොඩක් තියෙනවා. මහ කළුවර රැයක රුවන්වැලි සෑ මළුවෙ වාඩි වෙලා අහස පසුබිම් කරන් පේන සෑ රදුන් දිහා බලන් ඉන්න තමා වඩාත් ම ආස. දෙවනු ව, ශ්‍රී මහා බෝධිය ළඟ - හැබැයි සෙනඟ නැති දවසට. තෙවනුව, නුවර වැව අයිනෙ සීතල සුළඟ හමන උදා වරුවට.. තව මහ ගොඩක් දේවල් තියෙනවා. දියවන්නා රක්ෂිතය අද්දර අර පඳුරු ගැහෙන ගොහොරු බිම් ආසන්නයෙ සියක්කාරයන්ගෙ කටඅඬ අහමින්.. වැඩිය සෙනඟ නොඑන ගස්වැල්වලින් වට වුණු අවහන්හල්වල කාලෙ කමින් ඉන්න.. ගෙදර ඔක්කොම විදුලි පහන් නිවා දාලා ගෙවත්තෙ තණකොළ බිස්සෙ ඉඳගෙන හඳ දිහා බලා ඉන්නත්.. ඒ වගෙම සැන්දෑ වරුවක කොහේ හරි මනරම් වටපිටාවක බංකුවක වාඩි වෙලා ඉන්නත්... 




උපන් දා පටන් ජීවත් වෙන කොළඹ අවට නම් නිදහසේ පිරිසිදු හුස්මක් ගන්න තරමක් අපහසුයි. උස ගොඩනැගිලිත් - පාර පුරා ධාවනය වන රථවාහනත් අතරෙ කවර නම් නිදහසක් ද? ඉඳහිටක හරි ජීවිතය විඳින්න හිතාගන ගැමි පරිසරයක ඇවිදින්න යන්නෙ ඒ නිසයි. එතකොට දැනෙන සතුට සැනසිල්ල කවදාකවත් නගරයෙ කිලුටු වෙච්ච හුළඟ ආශ්වාස කරලා ලබන්න බැහැ. ඒත් ඉතින් මොනවා කරන්නද.. නාගරික ජීවිතේට කොයි තරම් අකැමැති වුණත් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ නගරයෙ නම්..

ඉස්සර නම් වැසි දැරියගෙ ගෙදරත් වටපිටාව හරි නිස්කලංකයි. ගෙවල් ගොඩක් වෙනුවට තිබුණෙ ගස් ගොඩක්. ගෙදර වටේටම ගස් වැල් කැපිලා - හිස් ඉඩම් විකිණිලා - අලුත් ගෙවල් හැදෙන කොට වැසි දැරියට කෑ ගහලා අඬන්න තරම් හිතෙනවා. වැසි දැරියත් එක්ක කතා කරන්න පුරුදු වෙලා උන්න ගස් යෝධ දැති රෝදවලට අහුවෙලා බිමට වැටුණ දවසෙ පුංචි අම්මත් මාත් ඒ දිහා බලන් උන්නෙ අඬන්න බැරිකමට. නෑනා නිවාඩුවට ගමේ ඉඳල ආවම ඒ ගස් යට අපි දවස් කීයක් සෙල්ලම් කරන්න ඇතිද.. බට්ටො පනින්න ඇතිද.. ඒ ගස් කඳන්වල උන්න ගොලුබෙලි යාලුවො එක්ක කතා කරන්න ඇතිද.. අද ඒ ගස් යාය තියෙන තැන තියෙන්නෙ මහ විසාල ගෙවල් දෙකක්. ඒ ගෙවල්වල පදිංචිකාරයොත් ඒ තරම් සුහද සම්බන්ධතා පවත්වන්න නම් කැමැත්තක් ඇති වගක් පෙනෙන්නෙ නැහැ. ඉස්සර ඒ ගෙවල් තියෙන තැන තිබුණ ගස් ඊට වඩා ආදරණීය විදියට මිනිස්සුත් එක්ක සම්බන්ධ වුණා. ඒත් ඉතින් මොනවා කරන්නද.. අපි හැම දෙනාම අඩු වැඩි වශයෙන් යාන්ත්‍රීකරණයට ලක් වෙමින් ඉන්න කාලයක මේ විදියටවත් මිනිස්සු මානව සම්බන්ධකම් පවත්වනවා ඇති..

ඔහොම අජීවි මිනිස්සු ඉන්න අජීවි වටපිටාව ගැන වෙලාවකට වැසි දැරියට කණගාටුයි.. හරියට කෑ ගහලා සින්දුවක්වත් කියන්න බැහැ. ඒ තරම් කිට්ටුවෙන් අවට ගෙවල් දෙක තුනක් පිහිටලා තියෙන්නෙ. රොබෝ කෙනෙක් වාගෙ ගේ ඇතුළටම වැදිලා ඉඳලා එපා වෙන මොහොතක ඒ ගැන අවලාද කියන වැසි දැරියට තාත්තා නිතරම කියන කවියක් තියෙනවා. මට මතක හැටියට ඒ කවිය තිබුණෙ ලක්ෂ්මන් පියසේන කවියාගෙ නිවෙන මිහිර කියන කවි පොතේ..

නිදි නැති සිතිවිලි ලිහා
එළිමහනට විසි කළා
ඉන්න තැන ම ඉඳගෙන හරි
බලන්න ඔය සඳ දිහා..

24 comments:

  1. අපි තරුණ කාලෙ කථා කරන්න කැමති නැති අසල්වැසියො කථා කරවන ක්‍රම තිබ්බා. පුළුවන් නම් අත්හදා බලන්න. ඕන කරන්නෙ රතිඥ්ඥ වැලකුයි හඳුන්කූරක් නැත්නම් දෙකක්. රතිඥ්ඥ වැලට හඳුන්කූරෙන් භාගයක් ගහල හඳුන් කූර පත්තු කරල ඒ ගෙදර තව්වකින් ඇතුලට දාන්න. පුරාණ පොත් වල කියල තියෙන්නේ රෑ 12 ට විතර පස්සේ මෙහෙම දාන්න කියල. ඊට පස්සේ දවස් කීපයක්ම ඒගොල්ලො කථා කරයි. අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.

    ReplyDelete
    Replies
    1. පොඩි එකා කාලෙ ඕවා තමා එහෙනං කරල තියෙන්නෙ...)))

      Delete
  2. ලස්සන කවිය...!! වැසි දැරිය රස්සාවක් කරන කාලෙකදි මීටත් වඩා බරට දැනේවි ජීවිතේ කොයි තරම් යාන්ත්‍රික වෙලාද කියල...

    අහෝ දුකක්... ජීවත් වෙන්නය කියල අපි කරන්නෙම ජීවිතය අත්හරින එක...

    ReplyDelete
    Replies
    1. ඇත්ත තරු අක්කේ.. ස්තූතියි මේ පැත්තෙ ඇවිත් ගියාට..))

      Delete
  3. / ඒ ගෙවල්වල පදිංචිකාරයොත් ඒ තරම් සුහද සම්බන්ධතා පවත්වන්න නම් කැමැත්තක් ඇති වගක් පෙනෙන්නෙ නැහැ. /

    "මේ අපි මෙහෙ පදිංචියට ඇවිල්ල දැං සති දෙහෙකුත් වගෙ වෙන්ට ආවනෙ. අහල පහල අය අඳුනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනෙ. අනික එහෙම නැත්තං හිතයි අපි මහ ආඩම්බරකාරයො කියල. මොකද කියන්නෙ? හවස් අතේ යමුද ඔය මොනව හරි කේක් එකක් වගෙ අරගෙන අල්ලපු ගෙදරට?"

    "ආපෝ...ඔයාට පිස්සුද? මම මේ කියන්නමයි හිටියෙ.."

    "මොකද්ද?"

    "අර ඒ ගෙදර ඉන්නෙ වයස විස්සක විසිදෙකක වගෙ ගෑණු ළමයෙක්….."

    "ඔව්...අර නහයට කෙලිං ඉස්සරහ බලාගෙන පාරෙ යන්නෙ...නිකං කුවීන් එළිසබත් කියල හිතාගෙන ඉන්නව වාගෙ.."

    "අන්න හරි එයා තමයි..ඒ ළමයට තියනව මේ..නුහුගුණයක් වගෙ මොකක් හරි.."

    "නෑ?...ඔයා කොහොමද දන්නෙ?"

    "මට ඔයාට කියන්ට අමතක වුනා..මේ පෙරෙයිද රෑ බල්ලො එක සීරුවට බුරනව ඇහිල මම දොර ඇරගෙන පොඩ්ඩක් එළියට ගියා බලන්ට.."

    "ඉතිං?"

    " එතකොට වෙලාව පාන්දර දෙකයි විස්සයි. අර ඔය කියන ගෑණු ළමය මෙන්න ජනේලෙත් ඇරගෙන හඳ දිහා බලාගෙන ඉන්නව."

    "නෑ? නිකම්ම එහෙම හඳ දිහා බලාගෙන ඉන්නව?"

    "නෑ. මොනවද සුටු උටු ගගා තොල මතුරනවත් මම දැක්ක හඳ එළියට.."

    "ඉතිං ඔයා මොකද කලේ?"

    "මගෙ හිරිගඩු පිපුන ඒයි බය වෙච්චි පාරට. මම එහෙම්මම ඉක්මනට ගෙට ඇවිල්ල දොර වහ ගත්ත. ඔයාට කියන්ට එළිවෙනකල් මට නින්ද ගියෙත් නෑ බයටම,"

    "ආපෝ..ඔයා නොකිව්ව එක හොඳයි..කිව්ව නම් මටත් එලිවෙනකල් නින්දක් නෑ.."

    "ඒකනෙ ඒ හින්ද සුහද සම්බන්ධතාවලින් කාරියක් නෑ. ඒ ගෙදර පැත්ත පළාතෙ නොගිහිල්ල ඉන්න එකයි තියෙන්නෙ."

    " ඔව්..ඒ මිනිස්සු ඕන දෙයක් හිතපුවාවෙ. අපේ මොකෝ..ඇඟේ ඇලෙනවය? ඒ වගේද ඔය වගෙ මෙන්ටල් අප්සෙට් එකක් තියෙන ගර්ල් කෙනෙක් ඉන්න පවුලක් එක්ක කිට්ටු ආශ්‍රයක් තියාගන්න එක පස්සට මහ කරදරයක් වෙන්න පුලුවන්."

    "මතක ඇතුව දුවටත් කියන්න ඒ ළමයා මඟදි දැක්කත් අහක බලාගන්න... හිනාවට කතාවට යන්ට එපා කියල."

    " ඔව්..ඒක හොඳයි."

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එක කියෙව්වෙ කෝල් එකක ඉන්න අතරෙ.හිනාවෙච්ච හිනාවිල්ලට උන්දැ හිතුව වැහි දැරිවිට ඇත්තටම නුහුගුණේ කියල.. මගෙ අනාගතෙත් අඳුරු වෙනවා අප්පා මේ බ්ලොග් ලිවිල්ලෙන්..))

      ඔය කියන කතාව ටක්කෙටම ඇත්ත වුණාට එකම එක සංශෝධනයක් වෙන්න තියෙනවා - ඔය කතාවෙ ඉන්න දැරිවිගෙ වයස දහනවයක් වෙන්නෝනැ.මොකෝ විස්ස පිරෙන්න තව සතියක් තියනව.

      Delete
  4. http://maheshslife-multiaxial.blogspot.com/2016/10/blog-post.html මාත් අද ලීව එකක් ඔය වගේ කථාවක්

    ReplyDelete
    Replies
    1. අද තමා ඒ පැත්තෙ ගොඩ වැදුණේ මහේෂ්.. ස්තූතියි ලින්ක් එකට..

      Delete
    2. මාත් මේ පැත්තට පලමු වතාවට ගොඩ වුනේ ලස්සනයි වැඩේ

      Delete
  5. ඔයාගේ අත්දැකීමට ටිකක් සමානයි මම නුවරින් කොලඹ ආපු කාලේ.. හැබැයි හොඳ වෙලාවට අදටත් කොලඹ අපේ ගෙවල් තියන හරියේ ගස් කොලන් තියනවා, ඇත්තටම ඒ හරියේ තාම කොලඹ කියන්න බැරි ගමේ ගතියක් තියනවා..දුර්ලභ කුරුල්ලෝ ජාතිත් ඉන්නව.. මම පුතා පොඩි කාලේ අඹ කවද්දි කහ කුරුල්ලෙක් එනවා හැමදාම ජනේලේ ලඟ ගහකට.. එයාට කිරිල්ලියෙකුත් හම්බුනා ටික දවසකින්, සුදු රෙදි හොරුත් හිටියා.

    ගෙවල් තියෙන්නේ ටිකක් ඈතින් ඈතින්, එක ලඟ තියන හැම ගෙයක්ම අපේම නැදැයින්ගේ...

    ReplyDelete
    Replies
    1. මේ පැත්ත නම් දැන් සෑහෙන්න නාගරික වෙලා.කොළඹ වුණත් මේ හරියෙ මීට අවුරුදු හතඅටකට විතර කලින් හරිම නිස්කලංක බවක් තිබුණා.දැන් ගස් කැපිලා,ගෙවල් හැදිලා හරිම ජනාකීර්ණයි.

      ඉන්න තැන ම ඉඳගෙන හඳ බලන එක තමා ඉතින් විසඳුම..

      Delete
  6. // හීනයෙන් හරි ඔබේ උරහිසේ හිස රඳවගෙන
    ඔ්ක එහෙමම ඉන්න ඔ්න කියල නීතියක් නෑ. ඉඳගෙන කොන්ද හිස කෙලිං තියාගෙන උනත් පුලුවං :D

    මමත් කැමති අන්න එ් වගේ එ්රියා එකක් තියනව. එහෙට කියන්නෙ හල්වල කියල. අන්තිමටම ගියෙ රාත්‍රී කාලෙක, නමුත් දැක්ක විදියට හැම ගහක් වැලක්ම යහතිං තියනව.

    නමුත් වැස්සගෙ අත්දැකීම මටත් වලංගුයි. මොකද ඉස්සර පිලිවෙලට තිබ්බ එ් අයගෙ ගෙරද දැං පොදුවැසිකිලියක් වගේ :(

    ReplyDelete
    Replies
    1. ඔයා ඔය කිව්ව විදියට දසක දෙකක් ම හිටියා මදෑ ඉතින්..

      ඔය කොයි ඒරියා එකත් දැන් විනාස වේගෙන තමා යන්නෙ.ළඟපාතක රක්ෂිතයක් වගේ තියෙනවා නම් ඉතින් ටිකක් හරි තත්වේ හොඳයි..

      ඒක නෙමේ.. you r not fat as I imagined Elephant boy..)))

      Delete
    2. පවුරුකන්ද රක්ශිතය?

      මේ ළමය අා පයිම්ම ගිහිල්ලනෙ :D

      Delete
    3. වැහි දැරිවි නිතර ෆේස්බුක් ඩිඇක්ටිවේට් කරන්නියක්.අත්‍යවශ්‍ය හේතුවකට ආවත් ඉක්මනට ආපහු අයින් වෙනවා..))

      Delete
  7. අපි නුගේගොඩින් අතුරුගිරියට ගියා. අතුරුගිරියෙන් යන්න වෙන්නේ වංකගිරියකට තමා. මා දුටු නුගේගොඩ බිල්ඩින්ගොඩක් වෙලා. අතුරුගිරියත් මැදුරුගිරියක් වෙමින් පවතිනවා.

    ReplyDelete
    Replies
    1. නුගේගොඩ නම් මං යන්නවත් ආස නැහැ දැන්.ඒත් සරසවි බාගේන් ෂොප් එකට යන්න තියෙන පෙරේතකමට කොහොම හරි යනවා,හිරුත් හිම පියල්ලක පොතේ,දයාබර නුගේගොඩ කවිය මතක් කර කර..))

      Delete
  8. වර්ෂා , මගේ ලැයිස්තුවේ නම් ඉර බැහැගෙන යන වෙලාවක මූදු වෙරළකුත්, මගේ සිහින දේශය, භූතානයේ ජන සංගීතයට සවන් දීමත්, අපේ වත්තේ තිබුණු රූස්ස වල් දෙල් ගහ දිහා බලාගෙන ඉන්න එකත් තියෙනවා . ඒත් ඒ වල්දෙල් ගහ කපලා දැම්මා . මං ඒක දකින්න ඒ දිහාවටවත් ගියෙ නෑ. ඔබේ හැම අදහසකටම එකඟයි. ඒ වගේම ඒ ලස්සන කවිය වෙනුවෙනුත් බොහොම තුති .

    ReplyDelete
    Replies
    1. අපූරුයි මෙත්මා.. අලුත් යෙහෙළියක් නේද.. ආදරෙන් පිළිගන්නවා වැස්සෙ තෙමෙන්න..))

      වල්දෙල් ගහ කපපු එක නම් අපරාදෙ.අපේ රටේ පුරාතනම මානවයන් කාලා තියෙන ආහාර වර්ගවලින් එකක් විදියටත් වල්දෙල් හඳුනාගෙන තියෙනවනේ.ඒත් තරුණ අයට නම් ඕවා කන්න දෙන්නෙ නෑ නේද-චයිල්ඩ්ලස් වෙනවා කියලා විශ්වාසයක් තියෙන නිසා..

      ඒ වාගෙම මං භූතානයේ ජන සංගීතය අහලාම තිබුණෙ නෑ මෙච්චර කල්.මෙත්මාගෙ කමෙන්ට් එක නිසා ගූගල් දෙය්යන්ගෙන් භූතාන් සංගීතය ඉල්ලා ගත්තා ඔන්න.ඇත්තමයි-අපූරුයි.බොහොම ස්තූතියි ඒ සුන්දර මතක් කිරීමටත්..))

      Delete
  9. අපි නං තාමත් ගමේ..පට්ට දවාලෙත් මීදුම් සළු පොරවගත්ත කඳු දිහා බලබලයි ළමයින්ට උගන්නන්නේ..මේ පෑවිල්ලට කලින් දවල්ටත් ටිකක් හීතලයි...අපි එඳ දිහාට වඩා රෑට බලන්නෙ සිරීපාදෙ ලයිට් පත්තු වෙන දිහා

    ReplyDelete
    Replies
    1. ඉරිසියා හිතෙන කතා කියන්නෙපා.ඉස්කෝලෙට ඇවිත් ඔයාව පන්නලා දාලා මං ඔයාගෙ ගුරු පත්වීම ඉල්ලාගන්නවා..))

      Delete
  10. රෑ අහස දිහා බලන් ඉන්න එක මගෙ විනෝදාංශයක් වර්ෂා... හුඟක් දේවල් හිත හිත කල්පනා කරන්න, මවාගන්න අපූරුම වෙලාව තමයි රෑ අහස.

    ReplyDelete
    Replies
    1. ඔව්.. හැන්දෑ අහසත් ඒ වගේ.මොකද වළාකුළුවල හැඩේ වෙනස් වෙන හැටි අපූරුවට ම පේන්නේ හැන්දෑවට නිසා.. ලේ පාට වලාකුළු තමා ඒ වෙලාවට තියෙන්නෙ..))

      Delete