Sunday, October 16, 2016

සිනමාහල් ප්‍රේමය සහ ඒ අකුරු හතරේ තේරුම..

පාසල් කාලයෙන් ඉක්බිති නොඑක් සරසවිවලට බෙදී විසි වී ගිය අපට එක් වන්නට ලැබෙන්නේ කලාතුරකින් දවසක ය. එහෙයින් මාත් තාත්තාත් මගේ මිතුරියන් තිදෙනෙකු සමඟ සිනමා පටයක් නරඹන්නට තීරණය කළේ අහම්බෙන් ය. සිනමාපටය හොඳ යැයි හිතා බලන්නට ගිය ද ඉන් බලාපොරොත්තු වූ සමාජ ශෝධනය නම් කිසිසේත් ම ඉටු වී ඇත්තේ නොවේ. එහෙයින් ඒ ගැන කතා නොකර ම සිටීම වඩා හොඳ ය. සිනමා පටයක් වේවා, නවකතාවක් වේවා, මොනයම් ම අන්දමේ නිර්මාණයක් වේවා, පවතින සමාජය උසස් කිරීමට දායක විය යුතු යැයි විශ්වාස කරන වැසි දැරියට ඒ ජාතියේ නිර්මාණ දිරවන්නේ නැත. එහෙයින් ඒ ගැන කතා නොකරමි.

මට කියන්නට වුවමනා වූයේ එය නොවේ. වැහි දැරිවිගේ මිතුරියන් අතිශයින් ම කලට වේලාවට වැඩ කරන පිරිසක් වීම හේතුවෙන් තාත්තාටත් වැහි දැරිවිටත් පැය බාගයක් පමණ චිත්‍රපට ශාලාව ඉදිරිපිට රස්තියාදු වෙන්නට සිදු විය. අප එතැන සිටි ඒ මොහොතේ බොක්ස් ටිකට්පත් මිළ දී ගැනීමට පැමිණි පෙම් ජෝඩුවලින් සියයට අනූනමයයි දසම නමයක් ම අවුරුදු දොළහ - දහතුන තරම් ළාබාල වයසේ ළමුන් ය. අඩුම තරමේ ඔවුන් සාමාන්‍ය පෙළ කරන වයසකවත් උන් පෙම්වතුන් නොවේ. දැලි රැවුලවත් මෝදු නොවූ කොල්ලන් ද - ඇඟපතවත් හරියට නොවැඩුණු කෙල්ලන් ද බොක්ස් ටිකට්ස් මිළ දී ගන්නා ආකාරය ඇත්තෙන් ම මා තුළ මවිතයක් ඇති කළේය.

වැසි දැරිය ආදරය දකින අන්දම වෙනස් ය. ඒ බව පිළිගනිමි. ඒ විදියට අවට ලෝකයා ආදරය කළ යුතු යැයි මා කිසිසේත් ම සිතන්නේ ද නැත. අපේ ලෝකය තුළ ආලය යනු අපට සංසාර බන්ධනයකි. උනුන් උදෙසා සේ ම ලෝකය උදෙසා කැප වීමකි. ප්‍රේම කරන අතරේ සමාජය ද තැනිය යුතු ය යන ආකල්පයෙන් වැඩ කරන අප මෙන් අන් අය සිතිය යුතු යැයි මා අපේක්ෂා කිරීම අතිශය අසාධාරණ ය. ඒ බව ද පිළිගනිමි. මන්ද, එක් එක් පුද්ගලයන්ගේ සමාජ වටපිටාවන් එකිනෙකට වෙනස් වන හෙයිනි. අප පවා ආල වඩන යන තේරුම බෝසත්කම කියා සිතන්නේ නැත. අපට ද ආදරය තුළ ලෞකික අපේක්ෂාවන් තිබේ. එහෙත් ඒ අපේක්ෂා සංයමයකින් තොර ව, දුවන්නන් වාලේ දුව ගොස්, මොහොතකින් සංසිඳවා ගැනීමේ පිස්සුව ආදරය යැයි මම විශ්වාස නොකරමි. 

යුවතියක විසින් තෝරා ගත යුත්තේ ඉඩ ලැබෙන පළමු මොහොතේ ම ඇගේ සලුපිලි මුදන්නට සැරසෙන තරුණයෙකු නොවේ. කිසිම කෙල්ලක් පෙම්වතා තමාට අහුමුලුවලට හෝ හෝටල් කාමරයකට හෝ රිංගන්නට කතා කරනු ඇතැයි ඇතැයි සැකමුසුව සිටිය යුතු නැත. ඇයට ඔහුගේ අතේ එල්ලී නිදහසේ ගමන් කළ හැකි විය යුතු ය. හිතේ සැකයකින් තොර ව ඔහු හා ඕනෑ තැනක යා හැකි විය යුතු ය. පෙම්වතෙක් යනු ගණිකාවක් සොයා එන කෙනෙකු නොවේ. තවත් ජීවිතයකට පෙම් කරන්නෙකි. ඒ ජීවිතය අප්‍රමාණ ආදරයකින් සුරකින්නෙකි. එසේ ම පෙම්වතියක යනු තවත් ජීවියෙකුගේ අතේ ඇති මුදලට, ඔහුගේ වාහනයට ආදරය කරන්නියක් නොවේ. ඔහුගේ හදවතට ප්‍රේම කරන්නියකි. 

ආදරය යනු අනන්තාපරිමාණ ඉවසීමකි. කැපවීමකි. ජීවිත කාලයක් පුරා ජීවීන් දෙදෙනෙකු විසින් එකිනෙකාගේ සිරුරට සහ හදවතට අවංක ව බැඳී සිටීමකි. එවන් බරපතළ සත්තාවක් අට-නවය පන්තිවල ළමුන්ට වටහා ගත හැකි ද යන්න කල්පනා කරමින් අපි බියපත් ව මේ ළමා ජෝඩු දෙස බලා උන්නෙමු. ඔවුන් මේ වියදම් කරන්නේ සිය මව්පියන් දහදුක් විඳ ටියුෂන් පන්ති ගාස්තු ලෙස අතට වඩම්මවනා මුදල ය. ෆිල්ම් එක බලන්නේ ඒ මුදලිනි. සිප්සතර හදාරා වෙහෙසතැයි උණු වූ ළයින් යුතු ව මව්වරුන් උදෑසන නැගිට සිය දියණියට හෝ පුතුට බැඳ දෙන බත් මුල ඔවුන් කන්නේ චිත්‍රපටියක් බලා ඉක්බිති කොහේ හෝ අහුමුල්ලක ඇති අවන්හලකට රිංගා ගෙන ය. සිය පාසල් නිළ ඇඳුම් පිටින් ම අවන්හල් ගානේ අත් පටලවාගෙන රස්තියාදු වෙන පෙම්වතුන් ඕනෑ තරම් මම නුගේගොඩ අවට දැක ඇත්තෙමි. 

තාත්තාත් මාත් ඔවුන් දෙස බලා උන්නේ කළකිරීමකින් නොවේ. දුකකිනි. විවාහයකින් කෙළවර වෙතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකි මේ ශාරීරික බන්ධන - අරටුවක් නැති ෆැන්ටසි බන්ධන ගැන කල්පනා කරමින් ඉන්නා කල වැහි දැරිවිගේ මිතුරියෝ ද සිනමාහලට ළඟා වූහ.

එතැන පොදි කකා උන් අවුරුදු පහළවක්වත් නුවූ තරම් ඉතා ළාබාළ පෙනුමැති පෙම්වතුන් යුවළක් දෙස බලා උන් මගේ මිතුරියක් සුසුමක් හෙළා මෙසේ කීවා ය.

"මගේ කොල්ලා කවදාවත් මෙහෙම තැනකට යන්න මට කතා කරලා නැහැ වැස්ස. අපි හැමදාම මුණ ගැහෙන්නෙ මිනිස්සු යන එන එළිමහන් තැන්වල. අන්ධකාර අහුමුළුවල නෙමේ. අපි කතා කරන්නෙ බරක්පතළක් සහිත දෙයක් ගැන. මේ ලෝකෙ තියෙනවට වඩා යහපත් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ ළමයි ආදරේ කියන්නෙ මොකක්ද කියලාවත් දන්නව ඇති ද වැස්ස... අඩුම තරමෙ ඒ අකුරු හතරෙ තේරුම?"

18 comments:

  1. "අඩුම තරමෙ ඒ අකුරු හතරෙ තේරුම?"
    බොහොම අගය කළ යුතු ලිපියක් . ප්‍රශ්නය වගේම පිළිතුරුත් අවැසියි වැසි. දහසක් අවශ්‍යතා මැද සල්ලි පස්සෙ හති හලාගෙන නොනැවතී දුවං යන අම්මලා තාත්තලා ඉන්න ගෙවල්වල හරි හැටි ආදරේ නොලැබෙන ළමයි, ආදරේ ගැන දැන ගන්නෙ සමවයස් නැත්නම් වැඩිමල් යාළුවන් ගෙන්, අන්තර්ජාලයෙන්, කසි කබල් සඟරා වලින් , සංයුක්ත තැටි වලින් . ඒ ගැන කියන්න කමෙන්ටුවකින් බැරිවේවි . ඒත් මං විශ්වාස කරනවා ඔබට පුළුවන්වේවි ඒ ගැනත් ලියන්න .

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මෙත්මා..ඔයා අක්කා කෙනෙක් විය යුතුයි?

      පිළිතුරු අවශ්‍ය බව මාත් පිළිගන්නවා.මීට වඩා බරපතළට ජීවිතේ කියවන්න ඒ ළමයින්ට පුරුදු කළ යුතුයි.

      මං හිතනවා ඒක මංම ලියන්න වුවමනා නැහැ.ඔයා හෝ වෙන කවුරු හරි අතින් ලියැවුණත් හරි.

      කමෙන්ටුවට ස්තූතියි මෙත්මා..!

      Delete
  2. මෙහෙම හිතන්න පුළුවන් අය ඉන්නව කියන එකත් සතුටක්.

    ආදරේ කියන්නේ ඔය තාවකාලික හැඟීම් නෙමෙයි කියන එක අද ගොඩක් දෙනෙක් දන්නේ නෑ. කෙටි සතුටක් පදනම් වුන බැඳිම් තමයි අද හිරිමල් යෞවනේ අය වැඩියෙන්ම හොයන්නේ.

    ReplyDelete
    Replies
    1. බරපතළම දේ තමා, ඒ පරම්පරාව ඊළඟට අනාගතේ බාරගන්න ඉන්න උදවිය වීම..

      Delete
    2. ඔව් දිනේෂ් ,වැසි ඔයාගේ ඔය හැඟීම් මටත් දැනිලා තියෙනවා , ළමයි තනියම වෙනස් වෙන්නද, අධ්‍යාපන ක්‍රමය තුල යම් වෙනසක් වෙනවා නම් කොච්චර හොඳද

      Delete
    3. ඇත්තම කතාව ඉස්කෝලවල ගුරුවරුත් ළමයින්ට සිලබස් කවර් කරනවා මිස ජීවිතේ ගැන කියාදෙන්නෙ හරි අඩුවෙන්.එහෙම ජීවිතේ කියාදෙන ගුරුවරු ඉන්නවා.ඒත් හරි අඩුයි..

      Delete
  3. මේ අවසන් පරිච්චේදය කියන්න ඇත්තේ වැසි ගේ මිතුරියක නොව ඇය විසින්ම විය යුතු යැයි අනුමාන කරමි.

    කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා... මේ හුලවාලි චිත්‍රපටයේ ගීතය මතක් කලාට බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. අප්පේ නෑ.. වැසි දැරිවිගේ හොඳම මිතුරිය කිව්වේ.එයා වැහි දැරිවිට වඩා දාස් ගුණයක් පණ්ඩිතයි.එතුමී බ්ලොග් එකක් ලියන දවසක ලින්ක් එක දෙන්නම්කො.ඒකිට ලියන්න කිව්වට කම්මැලිකමට බ්ලොග් එකක් පටන් ගන්නෙ නැහැ.මංවත් හදලා දෙන්නෝනැ..))

      මාත් ආසම ගීතයක් තමා.. ආල වඩන යන තේරුම බෝසත්කම සකි.. ඒක ගැන මොනවා හරි ලියන්නකෝ ඉයන් මාමේ..))

      Delete
  4. ඔය බලන්න ගියා කිව්ව චිත්‍රපටිය, මොකක් හරි නැගල යන එකක්ද? :)

    අාදරය ..... නොතේරේ!

    ReplyDelete
    Replies
    1. ඉන්බොක්ස් බලන්ඩ සහෝදරයා.. ඒ චිත්තරපටිය ගැන මෙතන කතිකාවතක් හදන්න මං කැමති නෑ.ඒ තරම් විප්‍රකාරයි..

      Delete
  5. ආදරය නේද....හ්ම් හ්ම්.

    අපි දැන් අපේ දුව ප්‍රේම කරනවා දකිනවා. ඔවුන් ආදරය නිවැරදිව හඳුණාගෙන තිබෙන බව පේනවා. අපි ඉතින් සීනියර් ලවර්ස්ලා නේ ලමයෝ :D

    ReplyDelete
    Replies
    1. මාමා කෙනෙක්නේ එහෙනම්..

      ඔන්න පිළිගන්නවා එහෙනම් වැස්සේ තෙමෙන්න...)))))

      Delete
  6. දෙයියම්පල්ල මේ ඇත්තමයි..උඹල යාලුවො හතරදෙනා එකතුවෙලා කතා කරන්නෙ මොනවද කියල හොරෙං අහගෙන ඉන්ට තියනවනං මම මගෙ මුලු සේසතම උනත් දෙන එක දෙනව....:)

    ReplyDelete
    Replies
    1. දේසපාලන - සමාජ - ආර්ථික සේරොම ජාති ගැන බරපතළ වාද විවාද පවත්වනවා ඕං..

      ඉතිං ඉස්කෝලෙ සමහරු අපි කට්ටියව ගණන් ගත්තෙ නිකං බාගෙට ඔලුව නරක් වෙච්චි ඔල්මාදකාරියො ගානට..))

      Delete
  7. බොහොම දුරට සංවාදයක යෙදිය යුතු මාතෘකාවක් නංගා මේක. මමත් ෆේස්බුක් එකේ වුනත් දකින දේවල් මගේ මහත්තයා එක්ක කතාවෙන වෙලාවල් තියෙනව. ඇත්තටම මිනිස්සු ආදරය කියල දකින්නෙ මොකක්ද කියල මට වෙලාවකට ගැටලුවක්.

    නංගිගෙ තැන මම ඉන්නෙත්. ආදරය කියන්නෙ කිවු සැනින් සළුපිලි ලිහන එකක් නෙමෙයි. ඒත හරි උත්තම හැගීමක්. නමුත් ඒ උත්තම සාංසාරික බැදීමකට හරි වටිනාකමක් දෙන්න මහන්සි නොගෙන්නෙ ඇයි මේ මිනිස්සු කියල මට හිතෙන්නෙ

    ReplyDelete
    Replies
    1. ෆේස්බුක් එකෙන් මං නිතර අතුරුදන් වෙන්න හේතුවත් ඒකයි.මිනිස්සු සමාජ මාධ්‍ය ජාල තුළ හැසිරෙන විදිය දැක්කම වෙලාවකට ඔළුව නරක් වෙනවා අක්කේ.

      යාලුවෙලා සතියයි,රිලේෂන්ෂිප් දානවා.අතිශය පුද්ගලික ෆොටෝ පබ්ලික් දානවා.තරහ වුණ ගමන් දෙන්නා තම තමන්ගේ වෝල්ස්වල අනිත් කෙනාගෙ වැරදි කිය කියා පෝස්ට් කරනවා.ආයෙ තව කෙනෙක් එක්ක යාලු වෙනවා.

      ඔය අපි කියන එක නෙමේ අද කාලෙ ආදරේ කියන්නෙ..

      Delete
  8. සරලවම කියනවා නම් ආදරේ කියන දේ අකුරු හතර ඇතුලෙවත් ඉතිරි වෙන පාටක් නැහැ මේ වෙන දේවල් දිහාවේ බැලුවම...

    අගේ ඇති සටහනක් වර්ෂා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොකුරු වැහි..))

      Delete