Friday, December 2, 2016

ගමේ මතක - වතුර ටැංකිය + සහෝදරකම්..

කොළඹ ක්ලෝරීන් වතුරෙන් නෑවම දැනෙන හැඟීමට වඩා සම්පූර්ණ වෙනස් හැඟීමක් එක්ක මම හීතල වතුරේ බැහැගෙන ඉන්නේ හුඟක් වෙලාවක ඉඳන්.. 

නෑනා නම් තාම වතුරට බැස්සෙ නැහැ.ෂැම්පු ගෙනෙන්න කඩේට යවපු නගා එන තුරු ඈ ටැංකියෙ ගැට්ට උඩට වෙලා ඉඳගෙන ඉන්නවා. 

අන්න එනවා.. ඈ කියන්නෙ ඇස් පියාගෙන කල්පනා කරමින් ඉන්න මට ඇහෙන්න. අම්මලාගෙ මහගෙදර බිම ඇතිරුණ සුදු වැලි මත පොඩි නෑනගේ බයිසිකලේ රෝද ඇතිල්ලෙන සද්දෙට මං ඇස් අරිනවා. කෙල්ල බයිසිකලේ එනවා නෙමේ පියාඹනවා. වැලි පොළොව දිගේ වේගෙන් ආපු බයිසිකලේ ටැංකිය ගාව නතර කරලා ඈ ෂැම්පු එක දෙන්නේ අක්කා අතට.

නාලා ඉවර වෙලා වර්ෂක්කා මට චිත්‍රයක් ඇඳලා දෙන්න ඕන..

පොඩි එකාගෙ ඉල්ලීමට මං එකඟ වෙන්නෙ හිනාවක් පාමින්. වැහි දැරිවි ගෙදරදී චිත්‍ර අඳින්නෙ කළාතුරකින්. ඉසිඹුවක් ලැබෙන වෙලාවට චිත්‍රයක් නොඇඳ අන්තර්ජාලයෙ සැරිසන්න පුරුදු වෙලා ඉන්න වග මතක් වෙද්දි හිතට දැනෙන්නෙ කණගාටුවක්. පොත්හලකට ගියත් පොත් රාක්ක අතරටම පය ඇදෙනවා මිසක පාට පෙට්ටියක් ගන්න මතක් වෙන්නේ නැහැ. පොත්හලෙන් එළියට බැහැලා ගෙදරත් ආවට පස්සෙ තමා දියසායම් හීනයක් තිබුණා නේද කියලා මතක් වෙන්නෙ. සිත්තර ජීවිතේ ගැන තිබුණ ආසාව ඒ තරමට ම හිතෙන් පළා ගිහින් කියා හිතෙද්දි දුකයි. ඒත් මාස පහ හයකට සැරයක් ගමේ ගියාම මාමාගෙ පුංචි හුරතලී මගේ සිත්තර අපේක්ෂාවන් ඔක්කෝම එළියට ඇදලා ගන්නවා. කෙල්ලටත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. පොඩි එකී මං ඇඳලා දෙන චිත්‍ර මනරම් ව පාට කරද්දි ඈ වෙතින් වැසි දැරිය දකින්නේ වැසි දැරියගේ පුංචි අවදිය. කොළඹ යන්න කලින් කෙල්ලට පාට පැන්සල්, දියසායම්, චිත්‍රපොත් අරන් දීලා යන වැසි දැරියගේ අම්මටත් මතක් වෙනවා ඇත්තෙ පාට කූරුවලින් - ෆැබ්රික් පේන්ට්වලින් පිරිච්ච වැසි දැරියගේ බාල කාලේ තමා..

චිත්‍ර අඳින්න පුළුවන් පස්සෙ.. දැන් යනවා ගිහිල්ලා පාඩමක් බලාගන්න..

ලොකු නෑනා තමුන්ගෙ ජ්‍යෙෂ්ඨ භාවයේ ආධිපත්‍යය පතුරුවමින් පොඩි නෑනාව එතනින් පන්නලා දාන්නෙ මෙතන හිටියොත් කෙල්ල හෝම්වර්ක් නොකර වතුරේ නටන්න පෙළඹෙන බව දන්න නිසයි. ඊළඟ මොහොතෙ ලොකු නෑනා කණ්ඩියෙන් මෙහා පැත්තට පැනලා වතුර ටැංකියට බහිනවා. 



මේ වතුර ටැංකියටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. මට මතක ඇති කාලෙ පටන් අම්මලාගෙ මහගෙදර මිදුලේ කොහොඹ ගස් හෙවණ යට මේ ටැංකිය තිබුණා. ඒක මධ්‍යම ප්‍රමාණයෙ සිමෙන්ති ටැංකියක්. හතරැස් හැඩයෙ මේ ටැංකිය ඇතුළෙ අඩි පහක් උස කෙනෙක් හිටගත්තම බෙල්ල ගාවට වතුර පිරෙනවා. අපේ ගෙදර කවුරුවත් මහගෙදර ආපුවාම නානකාමරයෙන් නාන්නේ ම නැහැ. හැමෝම තරඟෙට පොරකන්නේ ටැංකියෙන් නාන්න. අනිත් හැමෝම ටැංකියෙන් වතුර ඇදගෙන - එහෙම නැත්නම් ටැංකිය ළග තියෙන ෂවර් එකෙන් නෑවත්, නෑනාත් - මාත් හැමදාම නෑවේ ටැංකිය ඇතුළට බැහැලා.

එක ම අවුරුද්දෙ මාස දෙකක ඉපදිච්ච අපි දෙන්නාට දැන් අවුරුදු විස්සක් වුණත් තාම ඒ පුරුද්ද අතහැරිලා නෑ. මහගෙදර ආවාම නාන්නේ ටැංකියේ බැහැලා ම තමා. සිහින් සිරුරැති වීමේ ආනිසංස හේතුවෙන් ටැංකියට බහින්න කිසි කරදරයකුත් නැහැ. 

අඩුම වශයෙන් ටැංකියේ බැහැලා නාන්න අපිට යනවා පැය හතරක්වත්. අම්මා හරි මාමා හරි නැන්දා හරි ඇවිල්ලා දෙස් දෙවොල් තියන තුරු අපි දෙන්නා නෙමේ ටැංකියෙන් එළියට එන්නෙ. අපිට මුණ ගැහෙන්න බැරි වුණ කාලෙ දෙන්නා කියවපු අලුත් පොත්.. බලපු අලුත් චිත්‍රපටි.. ඒ චිත්‍රපටිවල හිටපු ලක්සන කොල්ලෝ.. කොච්චරක් නම් ජාති තියෙනවද අප්පා කතා කරන්න.. 

ඒ කතාබහ අතරෙ පොඩි එකා වගේ කෝප්පෙන් වතුර ඔලුවට දාගන්න වැහි දැරිවිට නින්දා අපහාස කරන්නත් නෑනා අමතක කරන්නේ නැහැ. මක් කරන්නද.. වතුර යට ඔලුව ඔබා ගත්තම හුස්ම ගන්න බැරුව යාවි කියලා වැහි දැරිවිට බයයි නෙව. ඔක්කොටම හපන් වැහි දැරිවිගේ තාත්තා බයයි වැහි දැරිවි එහෙම දිය යට ඔලුව ඔබාගන්නවට. ඇළක දොළක නාන්න ගියත් ඉතින් බාල්දියේ පිහිට තමා. එහෙමයි කියලා ඔය පිහිනුම් සූරයෝ සූරියෝ දැන් මට හිනාවෙන්න තියාගන්නවා එහෙම නෙමේ.. හරිය..

වැහි දැරිවිගෙ දණිස්ස ගාවට තරම් දිග කෙස් කළඹෙ ෂැම්පු ආලේප කරන්න වුණාම නෑනා දොස් කියන්න අමතක කරන්නෙත් නෑ.පැය දෙක තුනක් තිස්සේ වතුරේ නටන ගමන් අපි විසි අවුරුද්දක මතක - ජීවිතේ පුංචි පුංචි දේවල් ගැන දොඩමළු වෙන්නෙ නෑනාවරු නෙමේ - එක කුසේ උපන් සහෝදරියෝ දෙන්නෙක් වගේ.

හැන්දෑ කළුවරත් මෝදු වෙලා - හයහමාර හත විතර වෙද්දි වතුරෙ ඉඳලා වැඩි වෙලා ඇසුත් රිදෙන්න පටන් ගන්නවා. වැඩිහිටි ඇත්තන්ගෙ දෝසාරෝපණ සද්දෙත් ටික ටික වැඩි වෙනවා. ඒ වෙලාවට තමා ඉතින් අපේ වාර්ෂික ස්නානය අහවර වෙන්නෙ.. 

ජීවිතේ කොයි තරම් යාලුවෝ මුණ ගැහුණත්, නෑනා තරම් අපූරුවට වැහි දැරිවිගේ හිත යාලුකමින් පුරවන්න පුළුවන් කෙනෙක් නම් කිසිදවසක මුණ ගැහෙන එකක් නෑ කියලා ගමේ ගෙවෙන හැම දවසකදි ම මට හිතෙනවා.. වතුර ටැංකිය කොයි තරම් පරණ වුණත් ඒ එක්ක බැඳිලා තියෙන මතක සීත උල්පත් දිය වාගේ ම හැමදාම නැවුම්.. හිත ජීවයෙන් පුරවනවා..

29 comments:

  1. මමත් මහවැලි ගඟේ වතුර දනේ ලඟට තිබුන කාලෙක බාල්දියෙන් නාපු කෙනෙක් වර්ෂා...මාත් වතුර යට ගිලෙන්න මර බය කාලයක් තිබුනා...සුන්දර මතකයක් හරිම රහට ගලපලා තියනවා ඔයා...

    ReplyDelete
    Replies
    1. මං නං ඉතින් තාම බයයි.. මේ ළඟදිත් පරාක්‍රම සමුද්‍රෙන් නෑවා බාල්දියෙන් වතුර ඇදගෙන..

      ස්තූතියි අක්කේ අගය කිරීමට..

      Delete
  2. මම නම් පොඩිකාලේ ඉස්කෝලේ නිවාඩුවක් එනකම් බලාගෙන ඉන්නේ නැන්දලගේ ගමේ වැවට පනින්න රාජාංගනයේ සාලියවැව.ඊට අමතරව අම්මලගේ ගමේ කඩවතත් ලස්සන ඇලපාරක් තිබ්බා වුනත් දැන් ඒ දෙකම මගේ හිතේ තියෙන මතකයක් විතරයි. කඩවත ඇලපාර දැන් තනිකරම කුණුවලක් වගේම අනිත් තැන තියෙන්නේ ශෝකාන්තයක්.
    අපෙත් උන්නා බැචෙක් දණිස්ස ලගට වතුර තිබ්බත් ගොඩ ඉදගෙන බාල්දියකින් ඇදගෙන නාන. කොටින්ම මාබල්බීච් ගිහිල්ලත් මේකා නෑවේ බාල්දියෙන්

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ ජල මූලාශ්‍ර එන්න එන්නම අපිරිසිදු වෙමින් තියෙන්නෙ.මිනිස්සු එකතු වෙලා මොන මොනවා හරි නොකළොත් මිසක රජයෙන් නම් ඒවාට පිළියම් කෙරෙන පාටක් නෑ..කලකට කලින් ග්‍රෙගරි වැව පැත්තේ ගියා.පුදුම කණගාටුවක් දැනෙන්නේ දැක්කම.

      පූසාගේ බැචාට ජය වේවා.. මං ජාතියෙ තවත් උන් ඉන්නවා කියල දැනගත්තම පුදුමාකාර සන්තෝසයක් හිතට දැනෙන්නෙ..))

      Delete
    2. හහ් හහ් බචාලා විතරක් නෙවෙයි දණිස්සටත් පහලින් වතුර තියෙද්දිත් ගිලිලා මැරෙන්න පුලුවන්ය කියලා වතුරට නොබහින බැචීලත් උන්නා.එකෙක් ලමාසාරි අදින් ලංකාවේ එකම ඉස්කෝලෙන් ආව කෙනෙක් අනිකා ටයි ඒකේ පහනක් ගහගෙන් ඉන්න ඉස්කෝලේ අනිත් උන් ගැන කියන්න බෑ බ්ලෝග් කියවන හින්දා.
      අපි අන්තිම බැච් ට්‍රිප් එක ගිය වෙලාවේ කට්ටියම බලෙන් අල්ලලා විසිකලා වතුරට බය යන්න ට්‍රින්කෝ බීච් එකේ. පරණ මතක ඇවිස්සෙනවා මේවා කියවද්දී

      Delete
    3. පරණ මතක ගැන ලිව්ව නම් මක් වෙනවද කම්මැලිකම පැත්තකින් තියලා.ඒ කෝක වෙතත් ඒ බැචීලාටත් මගේ හද පිරි ප්‍රණාමය පළ කර සිටිනවා..)))

      මේ ළඟදි පොළොන්නරුවෙ ට්‍රිප් එකක් ගිහින් පරාක්‍රම සමුද්‍රෙදි එක අක්කා කෙනෙක් අනිත් ඔක්කොම කෙල්ලන්ව කරේ තියන් පීනුවා,මං ඇර..!
      ඇයි වදේ ඕකි මාව වතුරෙදි අතෑරියොත් අපරාදෙ නෙව,තාම මංගල ඡන්දෙවත් පාවිච්චි කරලා නැති එකේ මගේ වටිනා කියන ඡන්ද අයිතිය..))

      Delete
    4. ඡන්ද අයිතිය විතරක්යෑ තාම කැලණියේ තෙල් බැම්ම පහුකලෙත් නෑනේ.
      පරණ මතක අවුස්සන්න කෝ වෙලාවක් රාජකාරි ස්ථානෙන් නිවාඩු දෙන්නේ නෑ නේ. අපි ඉතින් ජාතියේ මහා පහන් ටැබ රත්කර කර ඉන්නවා

      Delete
    5. ඒක හැබෑව.. ඡන්ද අයිතිය නම් මක්කටද කියලා හිතෙනවා අර පාර්ලිමේන්තුවෙ ඉන්න දෙසිය විසිපස් දෙනා ගැන මතක් වෙන කොට..))

      ඉඩ තියෙන හැටියට ලිව්වා නම් හොඳයි කියන එක තමා මගේ යෝජනාව.නැත්නම් කාලයක් ලැබෙයි කියලා හිටියොත් හැමදාම ලියන එක මඟඇරේවි..))

      Delete
  3. මට නම් මෙහෙම මිරිදිය පිහිනීම ගැන මෙලෝ අත්දැකීමක් නෑ. කරදිය වුනත් වැඩිය නෑ. පීනනවනම් හරියට කිලෝමීටර් 2-3 පීනන්න පුලුවන්.

    ජය වේ !

    ReplyDelete
    Replies
    1. මට වඩා හොඳයිනේ ඉතින්.. කිලෝමීටරයක් තියා මීටර් සීයක්වත් පීනන්න බැහැනෙ මට...)))

      Delete
  4. මටත් ඉතිං වතුරට බැහැපුහාම දෙව් ලෝ සැප තමා :D

    ReplyDelete
  5. අපෙ උන්දලගෙ ගෙදර ගිහාම නාන්නෙ පීල්ලෙං...පුවක් කඳක් දෙකටකපල මහ විසාල තනි කෙලිං අඩි තිහක් වගෙ ඉහලට නැඟුනු ගල් පර්වතයක් අස්සෙන් එන සීතලම සීතල දිය පාරකට අල්ලල කූඤ්ඤ ගහල ඒ පුවක් පීල්ල රඳවල තියෙන්නෙ. ඒකෙං එන වතුර පාර හරියට උත්තර ධ්‍රැවයෙන් එනව වගෙ හීතලයි. උපරිම විනාඩි දෙකයි ඔලුව අල්ලගෙන ඉන්ට පුලුවන්. දත් ඇඳි එකට ගැටෙන්නෙ කට කට ගෑවිල්ලෙ.

    ස්තූතියි මැඩම් පීල්ල ගැන මතකය අවදි කලාට. ගුරුවරියක සමඟ මගේ ජීවිතය තව කොටසක් ලිව්වැහැකි පීල්ලට නාන්ට යෑමේ මහෝත්සවය සහ තවත් කථා කියල...හෙහ්,හෙහ්,

    ReplyDelete
    Replies
    1. අන්න හරි.. මං මෙව්වා ලියන්නෙ නිදහස් සිතුවිලි බ්ලොග් එකේ පෝස්ට් එකක් පළ කරවීමේ පරම පිවිතුරු අභිප්‍රායෙන්..))

      Delete
  6. පීන පීන නාමු ජලේ ඔය ටැංකිවල නාල ගන්න ආස්වාදෙට වැඩියි හික්කඩුව සිබාත් උනවටුන වැල්ල මාතර පොල්හේන. මේවානම් ආක්ෂිතයි.කල්කුඩා.පාසිකුඩා.නිලාවේලි.කුච්චවේලි.මුහුදේ කිලොිමිටරයක් විතර ඇවිදගෙන යන්න පුළුවන්.කුච්චවේලි නම් ගොඩ හරියෙම මඩුවෝ ඉන්නවා උන් පැගුනොත් මඩු ප්‍ර‍හාර වලට ලක්වෙන්න වෙනවා.
    මිරදියත් නැම හොදයි.මහවැලිගග ,ගිංගග.මැනික්ගග වගේම රට ඇතුලෙ දොලපාරවල් පිලි කෙච්චරනම් තියෙනවද රටරටවල ඉදං විදේශකයො ඇවිත් ඒවගෙ ප්‍ර‍ථිපල ලබාගන්නවා නැද්ද
    -කපිතන්-

    ReplyDelete
    Replies
    1. ඔය කියන ගොඩක් තැන්වලින් මම නාලා තියෙනවා.ඒත් මේ වතුර ටැංකිය ගැන ලිවිවේ විශේෂ හේතුවක් නිසා.ඒක හදවතට බද්ධ තැනක්.. එතනින් නාන කොට දැනෙන හැඟීම අතීතකාමයක් එක්ක බැඳුණු මේ යැයි විස්තර කළ නොහැකි හැඟීමක්.ඉතින් ලෝකේ තියෙන ලස්සන ම තැනින් නෑවත් වතුර ටැංකියෙන් නෑවම දැනෙන හැඟීම මට දැනෙන එකක් නැහැ..

      Delete
    2. වැසි දැුරිය ඒකට විස්සොප වෙන්ට එපා.ජිවිතේත් එක්කම බැදුනු දේවල් ඒහෙම තමයි.ඒට වැඩිය කොච්චර හොද දේවල් අපට ලැබුනත් පුංචි සන්දියෙ තියෙන මතකය හරිම සුන්දරයි.ඒක ලොකෙ හැම කෙනාටම පොදු ධර්මතාවයක්.අපි හිතින් අතිතයට යෑම හරිම සුනදර කාරනවක්

      Delete
    3. ඒක ඇත්ත.. අපිට යම් යම් තැන්,යම් යම් පුද්ගලයන් වඩාත් ප්‍රබල ව දැනෙන්නෙ ඒ හා බැඳුණු අතීතකාමය නිසා විය යුතුයි..

      Delete
  7. ස්නානය වාර්ශික නිසා පැය හතරක් පහක් නාන එක බොහොම හොඳයි :

    වැසි දැරිවි චිත්‍ර අඳින එක අමතක කරන්න එපා. මම හඳුනන ලෝකයේ ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිනියක් ඉන්නවා. ඇය දැන් වියපත් කෙනෙක්. ඇයගේ චිත්‍ර මිල අධිකයි. එයා කියන්නේ චිත්‍ර ඇඳීම භාවනාවක් කියලා. හිනාවෙලා කියනවා සල්ලි හම්බකරන භාවනාව කියලා.

    ReplyDelete
    Replies
    1. වාර්ෂික ස්නානයටත් අතීත කතාවක් තියෙනවා.ඉස්සර මං නාලා ලිට් පන්ති යද්දි මිස් කියන්න පුරුදු වෙලා හිටියා,වර්ෂා අද ඇනුවල් බාත් එක අරගෙන.අපිට හුස්මක් කටක් අරන් පන්තියෙ ඉන්න පුළුවන් කියලා..))

      චිත්‍ර ඇඳීම රස්සාවක් කරගන්න පුුළුවන් තමා.ඒත් මං ඒක කරන්නෙ ආත්ම තෘප්තිය සඳහා.මගේ මහප්පාත් චිත්‍ර ශිල්පියෙක්.ඔහු දැන් ජීවතුන් අතර නැහැ.ඔහු හිටියා නම් මං මීට වඩා උනන්දුවෙන් චිත්‍ර අඳීවි.විවිධ කටයුතුත් එක්ක අපි කාර්යබහුල වෙද්දි චිත්‍ර ඇඳීම වගේ භාවනාමය කටයුත්තකට හිත එකඟ කරගන්නත්,වෙලාව හොයාගන්නත් අපහසු වෙලා තියෙනවා දැන්.ඒ ගැන ඇත්තටම මට කණගාටුයි..))

      Delete
  8. අවුරුද්දකට සැරයයිද වර්ෂා නාන්නේ. සෝයා අයිස් කිරිම් කෑවම වගේ නෑවම චුරුස් චුරුස්ද?
    K නැන්දා

    ReplyDelete
    Replies
    1. දන්න කෙනෙක්ද මන්දා.. ඇනුවල් බාත් එක නොවැ මගෙ..

      Delete
    2. ඔයා මාව දන්නෙ නෑ. මං දුවව දන්නෙ ඔයා ලියන ඒවා මඟ නෑර කියවන හින්දා. සෝයා Ice cream කතාවත් ඔයා ලියපු නිසා දන්නේ.
      K නැන්දා

      Delete
    3. හානේ.. ගොඩාක් ස්තූතියි නැන්දේ.. හැමදාම වැහි වැටෙන තැනට ආදරෙන් පිළිගන්නවා..!!

      Delete
  9. මමත් පොඩි කාලේ ඇලේ, වෙලේ, ඔයේ, පින් ලිඳේ, වැස්සේ ඇති පදම් නාලා තියෙනවා. ෂහ් එහෙම කාලයක්.

    ReplyDelete
    Replies
    1. කියන කොටත් ඉරිසියා හිතනෙවා.අපිට ඉතින් එහෙම නාන්න ට්‍රිප් එකක් යන්නම එපායැ..))

      Delete
  10. අපිට කොයින්ද බැදපු මාලු. shower එකේ පිහිට තමා ඉතින්

    ReplyDelete