Saturday, February 27, 2016

ඒ සීත දිය පොදේ නහවන්න...


හිතට දුර නැති දුරක
ඇහැට අහු වෙන තැනක
අහම්බෙන් ඔබ පිපීගෙන ඉන්න
නොහිතපු ම විරාමෙක
එක්තරා අහම්බෙක
නෙළාගෙන යන්න මට ඉඩ දෙන්න..

අනවරත වැසි වසින
වැසි වනන්තරය අස
පුංචි ඔසු පැළයක් ව ඉපදෙන්න
සුව කරන්නට නොහැකි
සියලු රෝ දුක් රිදුම්
සෙනේ ඔසු ගල්වමින් සනහන්න..

රලු පරලු පොළොව මත
ලා තෙතක් ඇති බිමක
සීත දිය ඌලක් ව මතු වෙන්න
සපුන් විද රිදුම් දෙන
මහද දෝතට රැගෙන 
ඒ සීත දිය පොදේ නහවන්න..

Tuesday, February 16, 2016

දැඟලිලි, කියවිලි, පෙම්කෙළි සහ පාසල් බස් ගැන තවත් කථා

දෙපන්හිඳ බ්ලොගියේ ලියැවිලා තිබුණ ලිපියක් දැක්කම මට අපේ පාසල් බස් රිය  සහ ඒ හා බැඳුණු සිදුවීම් අටෝරාසියක් මතක් වුණා. වැසි දැරිය උසස් පෙළ හැදැරූ පාසල බාලිකාවක්. මගේ පාප මිත්‍රයන් අතරින් මාත් තව කෙනෙකුත් එක ම පුරවරයට යන බැවින් අපි අපේ පාසල් බස් රියේ නිත්‍ය සාමාජිකාවන් බවට පත් වුණා. තවත් හතර පස් දෙනෙක් අමතර පන්ති තියෙන දවස්වලට අපේ සුපුරුදු චාරිකාවට එක් වුණා. මුලින් ඉතා ම අහිංසක ආකාරයෙන් බස් රියේ ගමන් කල අපි දහතුන වසරේ ජ්‍යෙෂ්ට උත්තමාවියන් පාසලට සමු දීමත් සමඟ බස් රියේ අසහාය කෙරුම්කාරයන් වුණේ හය,හත වසරවල අහිංසක ළමයින් භීතියට පත් කරමින්. සමහර අටේ නමයේ කෙල්ලන්ට දොළහ පන්තියේ අපිට වඩා දැවැන්ත, උත්තුංග සරීර තිබුණත් ඒවායින් අපි නෙමේ සැලුණේ.




අපිට එක් එක් දිනවලට හම්බවුණේ නානාවිධ ලංගම බස් රථ. වැඩිය ඕන නෑ පණ්ඩුකාභය ස්වර්ණපාලිත් එක්ක පැනලා යන්න පාවිච්චි කරපු බස් රථයෙ යන්නත් දවසක් අපිට වාසනාව ලැබුණා. තවත් දවසක අපේ පාසල් බස්රිය වුණේ විජය කුමාරයා තම්බපණ්ණියෙ ඉඳලා සිරිසවත්ථුපුරයට ගියපු බස් එක. ඔය බස් රථවල විවිධත්වයට අනුලෝම ව සමානුපාතික ව කොන්දොස්තරවරුත් වෙනස් වුණා. අපරාදෙ කියන්න බෑ සමහර දවසට ආවෙ හොඳට ඇහැට, කනට පේන, කඩවසම් කොන්දොස්තරලා. අපිත්  ඉතින් ලස්සන කොල්ලෙක් හෙම දැක්කාම බලනවා. ඒ වාගෙ අහිංසක කොන්දොස්තර අය්යා කෙනෙක් ආවා එක දිගට මාස දෙක තුනක්. හරි අහිංසක කොලුවා. හරස්කඩ පෙනුම සිද්ධාර්ත් සූර්යනාරායන් වාගෙයි. ඒකා ආව දවසට බස් එකට පෝදා හඳ පායලා වගේ. හරි එළියයි. ඉතින් ඉස්කෝලෙ යන්න කම්මැලි දවසට වුණත් මාත්, මගේ අතිජාත මිතුරියත් හරි කැමැත්තෙන් ඉස්කෝලෙ එනවා සිද්ධාර්ත් ව දැක බලාගන්න. ආන් එහෙම පෙරුම් පුරාගෙන ඉස්කෝලෙ යන දවසට එන්නෙම නාකි ම නාකි කොන්දොස්තර අංකල් කෙනෙක්. සිද්ධාර්ත් අය්යගෙ ප්‍රියතම සින්දුව මල් පිබිදෙන එක වසන්ත සමයක.. මොකද හැමදාම බස් එකෙන් ගෑල්ලමයි බහින කොට මේකා දොරටුපාල රූපෙ වාගෙ දොර ගාව හිටගෙන ඔය සින්දුව හම් කරනවා. ආං ඒ හින්දා අපි එයාට නමක් දැම්මා දයා කියලා. දැන් දයා කොහෙ ඉන්නවද දන්නෑ.. හැබැයි අපේ මිතුරියො කොහේ හරි බස් එකක සිද්ධාර්ත් වාගෙ කොන්දොස්තර අය්යා කෙනෙක් දැක්කොත් අදටත් මගෙයි, මගෙ යාලුවගෙයි දුරබණුවලට කෙටි පණිවිඩ එවන්න අමතක කරන්නෙ නෑ..)) 

එක දවසක් අපේ යාලුවෝ අතරින්  හය දෙනෙක්ටම අපේ පාසල් බස් රථයේ යන්න සිද්ද වුණා. පහුගිය ආත්මවල කර්ම පටිසන් දීලා එදා අපි ඔක්කොටම යන්න වුණේ හිටං. ඒ දවස්වල ඡන්ද උණුසුම නිසා ජනාධිපතිතුමාවත් මතක් කරමින් අපි වාඩිවෙලා ඉන්න උන්ට රැවුම් ගෙරවුම් නින්දා අපහාසවලින් පහර දෙමින් ගමනාන්තය දක්වා හිටං තමා ගියේ. ඔය අතරේ අපෙන් එකියක්ට රහස් කෝච්චිය කිරීමේ මොන්ටිසෝරි ආසාවක් පැන නැගුණා. ඕං ඉතින් එහා කොණේ සිට මේ කොණ දක්වා අපි හය දෙනා රහස් කියන්ට පටන් ගත්තා. එහා කොණේ උන්නේ ඉංග්‍රීසි සාහිත්‍යයෙහි කෙළ පැමිණි විද්වතියක්. කොටින් ම එතුමියට පාරේ යන කපුටෙක් දැක්කාම පවා කීට්ස්ගේ කවි පන්ති මතක් වෙන තත්වයක් තිබුණා. ඉතින් එතුමිය තමුන්ට එහා පැත්තේ උන්න එවැනිම සාහිත්‍යකාරියකට සී ගල් නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වන ට්‍රිප්ලොව් කියන අහිංසක කොලුවාගෙ නම තමා කනට කොඳුරලා කියලා තියෙන්නෙ. එතුමියට එහා පැත්තේ හිටියේ මං. සීගල් මගෙත් ප්‍රියතම නාට්‍යයක් වෙච්ච හන්දා මාත් බොහොම සන්තෝෂයෙන් එහා පැත්තෙ උන්නු තැනැත්තිගෙ කනට ට්රිප්ලොව් කියා කොඳුරා හිටියා. අවාසනාවක මහත! එතැනින් පස්සේ උන්නු කිසිම කෙනෙක් වැරදීමකින්වත් ඇන්ට්න් චෙකොෆ්ගේ පොතක් අල්ලලා තිවුණ එවුන් නෙමෙයි. ඒත් තමුන්ට ඇහිච්ච විදියට ඒ වචනේ හැමෝම ළඟ ඉන්න එකාගේ කනට කොඳුරලා තිබුණා. ඒ වටය ඉවර වුණා ම බස්රිය මැද්දෑවෙ තිබුණ කණුවක එල්ලිලා උන්න අටවෙනියා බොහොම ගරුගාම්භීරව බස් එකටම ඇහෙන්න තමුන්ට ඇහිච්ච වචනේ ප්රකාශ කළා.

                                    _ත්‍රීවීල් එක.._

මහින්ද - මෛත්‍රී ඡන්ද කැම්පේන් පටන්ගත් සමය තමා අපි අන්තිමට ඉස්කෝලෙ ගිය කාලෙ. ඔය දෙපැත්තටම අයිති ඡන්ද දායිකාවො අපේ බස් රථයෙ උන්නා. ඒ දවස්වල බස් එකේ තිබුණෙ දැඩි ලෙස උණුසුම් දේශපාලන වාතාවරණයක්. දොළහ දහතුනේ දේශපාලන විචාරකයෝ බස් එක ඇතුළේ මිනී මරා ගනිද්දි පුංචි බටු ඇට කෙල්ලො ඒ දිහා බලන් උන්නෙ මහා භීතියකින් ගල් ගැහෙමින්. වාසනාවකට වගේ ජනවාරි 8 වෙද්දි අපේ පාසල් ජීවිතේ අහවර වෙලා.. අපේ දේශපාලන සංවාද කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් අපි අදටත් පාසල් ගියාම ගුරුවරු කියනව, උඹල ලබන අවුරුද්දෙ කැම්පස් ගියාම වතුරෙන් නාන්න ඕන නෑ. කඳුළු ගෑස්වලින් ම දිනපතා ස්නානය කරයිලු..නාන්නෙම නැති එකේ ඒකත් නරක නෑ ඉතින්..))

නමුත් අපේ පාසල් බස් රථ සංවාද දේශපාලනේට විතරක් සීමා වුණේ නෑ. අලුත් කවි පොත්, හොඳ සිනමා නිර්මාණ.. මේ හැම දෙයක් ම ගැන අපි නිරන්තරයෙන් කතා කළා. පුංචි උන් ආසා කළා වට වෙලා අපි කතා කරන දේවල් අහන් ඉන්න. අනිත් ළමයින්ගෙ කතාවලට බඳුන් වෙච්ච සැලොන් ගමන්, ඇඳුම් පැළඳුම් කිසිදාක අපිට මාතෘකා වුණේ නැහැ. ඒ තර්කානුකූල, සුන්දර සංවාදයන් ජීවිතේට ලොකු ආලෝකයක් වුණා. අදටත් ඒ සංවාදවලට එක්කහු වුණු මරුමුස්, ඩ්‍රමී, ඇස්ට්‍රා ඇතුළු ආදරණීය මිතුරියන් ව සිහිපත් කරන්නේ ගෞරවයෙන්. පොතේ දැනුමට විතරක් සීමා නොවුණු, චින්තනයකින් යුත් පිරිසක් ලෙස සමාජයට අඩිය තියන්න ඒ සංවාද අසීමිත ලෙස වැදගත් වෙච්ච බව මං අදහන කාරණයක්. අනවරත සංවාදවල නියැලෙන්න අපට සොඳුරු සංවාද මණ්ඩපයක් තනා දුන් ඒ ආදරණීය පාසල් බස් රියට එදා මෙන් ම අදටත් අපි ආදරය කරනවා.. ගරු කරනවා.. 

ලෝකෙ තියෙන හොඳම වාහනේ මොකක්ද කියල ඇහුවොත් අදටත් අපි කාගෙත් කටින්, ස්කූල් බස් එක කියා කියැවෙන්නෙත් ඒ නිසා වෙන්න ඇති...))

Tuesday, February 2, 2016

මගෙ ආදරේ ඩෙනිමක් වගේ vs මල් කිති කවමින් - දිය රළ බිඳිමින්...

බස්රියේ යන කල ඇහෙන සින්දු පුදුමාකාර ය. ජීවිතය පිළිබඳ මහා පුදුමයක් ඒ ගීත ඇසෙද්දී ජනිත වෙයි. සකල කලාවට අධිපති සරස්වතී දේවියගේ විශාල කරන ලද වර්ණ පින්තූරයක් ද බස් රියේ ගසාගෙන එලොවටත් මෙලොවටත් නැති ගීත වාදනය කරමින් යද්දී මවිතයට පත් වෙමි. ගායනාව විතරක් ඇහෙනවා නම් තව කමක් නැත. බස්වල අටවා ඇති රූප පෙට්ටිවලින් අර රූප රචනා කියන ජාතිය ඇස් දෙකට පෙනෙන කල දැනෙන්නේ ඊටත් වඩා සුවයකි. මෙතෙක් කල් නරඹා ඇති රූප රචනාවලට අනුව මවිසින් ප්‍රත්‍යක්ෂ කොට ගෙන ඇති කාරණා කිහිපයකි. එනම්, හොඳම ඇඬීමේ සම්මානය අවිවාදයෙන් ම ලංකාවේ තරුණයන්ට හිමි කර ගත හැකි ය. බිත්ති දිගේ රෑරා වැටෙමින්, හිසකේ ඇද ගනිමින්, පපුවට ගසා ගනිමින් අඬන්නට නූතන ලාංකික තරුණයන්ට සිතා ගත නොහැකි අන්දමේ දක්ෂතාවක් ඇත. ඊළඟට ලංකාවේ තරුණියෝ ආදරය කරන්නට දන්නේ නැත. අහිංසක කොල්ලන්ට ඔවුහු බූට් දෙති. සිනා නොවෙති. රවති. එක වර දෙදෙනෙකුට ආදරය කරති.. ලංකාවේ දුප්පතුන් ද නැත. ඔක්කෝ ම පොහොසත් ඇත්තන් ය. එන්නේ බී.එම්.ඩබ්ලිව් රථවලිනි. කන්නේ සුපිරි අවන්හල්වලිනි. බොන්නේ ෆෘට් ජූස් ය. ලංකාවේ සියලු පෙම්වතුන් වාසය කරන්නේ ද නුගේගොඩ හා ඒ අවට ප්‍රදේශවල ය. ගම්වල තරුණ තරුණියෝ ආලය නොකරති. ඔය රූප රචනාවලින් ඉගෙනගත් ඉතා ම සුළු කාරණා කිහිපයක් පමණෙකි.

ඒ අතරේ ඉතා ම විශිෂ්ඨ ගණයේ නව ගීත ද පවත්නා බැව් අමතක නොකළ යුතු ය. ශානිකා සුමනසේකර, හර්ෂණ දිසානායක, දිස්නා අතපත්තු, ලක්ෂණා ලක්මිණී, සමන් ලෙනින් ආදී සැබෑ තරුණ තරු සුභාවිත ගීතය සඳහා සිය ශක්ති ප්‍රමාණයෙන් සිය මෙහෙවර ඉටු කරන බැව් මෙහි සටහන් කරන්නේ මහත් ගෞරවයකින් යුතුව ය.

එහෙත් අවාසනාවකට මෙන් සමන් ලෙනින්ගේ මෙවර රාජ්‍ය සම්මාන ලද ගීය යූටියුබ් හරහා තුන්දහසක් වැනි පිරිසක් නරඹන කල ශිහාන් මිහිරංගගේ ගීයක ප්‍රේක්ෂක ප්‍රමාණය හයලක්ෂය ඉක්මවයි. එය එක් අතකට ලංකවේ ගුවන් විදුලි, රූපවාහිනී ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය කලාවේ ද පරිහානිය පෙන්වන නිදසුනක් බඳු ය. චාට් ෂෝස්වලින් අවර ගණයේ ගීත ම අසන්නට සැලැස්වීම ද, සල්ලි දී තමුන්ගේ නාලිකාව අස්සවා ගැනීම ද හැරුණු කොට බොහෝ නාලිකාවලින් ලාංකේය සංගීත ක්ෂේත්‍රයට සිදු වන යහපතක් නැත. 

මට මෑතක දී ම අසන්නට ලැබුණ ගීත දෙකක් මේ ලිපිය ලියන්නට උල්පතක් වූවා යැයි කිවහොත් නිවැරදි ය. ඒ දෙක ම අහම්බෙන් කන වැකුණ ඒවා ය. පළමුවැන්න බස් රියක දී බලහත්කාරයෙන් අසන්නට සලස්වන ලදී. දෙවැන්නෙහි පද මාලාව, කොහේ හෝ පොතක සඳහන් වී තිබෙනු දැක යූ ටියුබයෙන් නරඹා එය බාගත කර ගතිමි. ගී දෙක ම අහම්බයකින් ඇසූ ඒවා ය. පළමුවැන්නෙහි ආදරය ඩෙනිමකට සම කෙරෙන අතර මං ආදරෙයි යන්න ගලකින් ඔළුවට තඩිබාන්නාක් බඳු ව අමු අමුවේ කියා දමයි. දෙවැන්නෙහි කොතැනකවත් මං ඔයාට ආදරෙයි කියා නොපැවසෙයි. කියැවෙන්නේ කතාන්දරයකි. පෙම්වතා වෙනුවෙන් තමා විසින් රචනා කරන ලද සන්දේශයක් නිස්කාන්සුවේ කියවාගන්නට නොහැකි වූ යෞවනියක විසින් පවසනු ලබන කුඩා කතාවකි. ඇය පෙම්වතියක යන්න වදනකිනුදු නොකියැවෙයි. ඒ ප්‍රේමය කොතරම් ගැඹුරු ද යැයි නොකියැවෙයි. කියැවෙන්නේ මෙපමණකි. තරු එළිය, මඳ සුළඟ, කොවුල් හඬ මතු නොව පිනි කැට වැටෙන හඬ පවා කරදරයක් වන තරමට සියුම් වූත්, ආහ්ලාදජනක වූත් ප්‍රේමයක් පිළිබඳව ය. එපමණකි..