Thursday, April 28, 2016

සයිමන් අපට ඇනපන් ටොක්කක් සැරට..!

මං බේබද්දන්ට කැමති ම නෑ. ඒත් සයිමන් නවගත්තේගම කියන බේබද්දට කැමති. ඒ බේබදුකමට නෙමේ.. නවකතාකාරකමට..!

අපේ අම්මා ජපුර සරසවියෙ ඉගෙනගන්න කාලෙ විජේරාමේ තිබුණ ජනප්‍රියම කෑම කඩයක් තමා ගිහාන්ස් ෆුඩ් සෙන්ටර් එක. ඉස්සර එතැනින් යන කොට අම්මා දකිනවලු නවගත්තේගම අර සුපුරුදු තොප්පියත් දාගෙන ගිහාන්ස් එකේ වාඩි වෙලා තට්ට තනියම මද්‍යසාර පානය කරන හැටි..  තමන් මේ තරම් ප්‍රිය කරන ලේඛකයා එක්ක සාහිත්‍යය ගැන සංවාද කරන්න තරම් නිරවුල් මානසිකත්වෙක ඔහු නොසිටීම නිසා එදා අම්මට ඇති වෙලා තියෙන්නෙ වේදනාවක්.. 

අද මට තියෙන්නෙත් වේදනාවක්.. අඩුම තරමේ අම්මා ඔහුව දැකලා තිබුණා. මං දැකලවත් නැහැ..

ඊටත් වඩා වේදනාවට පත් වුණා මේ ළඟකදි පොත් සාප්පුවකට ගියාම.. එතන වැඩ කරන තරුණ සේවකයෙකුගෙන් මං ඇහුවා සංසාරණ්‍ය්‍ය අසබඩ තියෙනවද කියලා.. ඔහු උඩ බිම බැලුවා. පොත කාගෙද කියා ඇහුවා. සයිමන් නවගත්තේගමගේ.. මං උත්තර දුන්නා. ඔහු බැලුවෙ නිකම් මම හන්දියෙ වින්කලේ වැඩ කරන සයිමන් මාමා ගැන ඇහුවා වගේ බැල්මකින්. ඉන් පස්සෙ ඔහු ඕනැවට එපාවට මෙහෙම කිව්වා.

ඒ නම ඇහුවෙත් අදයි මිස්..

මං වචනයක්වත් නොදොඩා පොත් රාක්ක අතරෙන් ඇවිදගෙන ගියා. අර තරුණයා ජිවිතේට අහලා නොතිබුණ නවගත්තේගම එක පොත් රාක්කෙක ඉන්නවා පෙනුණා. නමුත් සංසාරණ්‍යයේ දඩයක්කාරයාවත්, සංසාරණ්‍යය අසබඩවත් ඒ අතර තිබුණෙ නැහැ. ඒ නිසා සන්ධ්‍යා සහ වින්ධ්‍යා අතට අරගෙන මං පුංචිඅම්මත් එක්ක ආපිට ගෙදර ආවා..

අදයි සන්ධ්‍යා සහ වින්ධ්‍යා කියවා නිම කරන්න පුළුවන් වුණේ..

ඒ පොතට හරිහමන් අවසානයක් නැහැ. පොත මුද්‍රණය කොට තිබුණේ ඔහුගේ බිරිඳ විසින්, ඔහුගේ මරණයට පසුවයි. ඇතැම් විට මියෙන්නට පෙර කතාන්දරය නිම කරන්නට ඔහුට නොහැකි වෙන්නත් ඇති.. ඒ නැතත් මේ අවසානය ඔහු විසින් නිට්ටාවට ම ලියා තැබූවක් වෙන්නත් පුළුවන්. එපමණට නවගත්තේගමගේ කතා වෙනස්.. ආශා උපදවන අන්දමින් ඒ කතාන්දර අන් අය ලියන දේවල්වලින් වෙනස්.. කතා ශෛලිය, දෘෂ්ටි කෝණය, භාෂාව ඇතුළු මෙකී නොකී හැම දෙයක් ම!

ක්ෂීර සාගරය කැළඹිණ.. ඒ මං ඔහුගෙ කියවා තිබෙන කෘති අතරින් වඩාත් කැමති ම පොත. සංසාරණ්‍යෙය් පොත් ත්‍රිත්වය කියවා නිම කළා ම මං ඒවාට වැඩිපුර පෙම් බඳීවි කියලයි අම්මා නම් කියන්නේ.. 

සන්ධ්‍යා තුළ පවතින ගති ලක්ෂණ බොහෝමයක් අතරින් මට මාව ම පෙනෙනවා. මං ඈට බොහොම සමානයි. එක තැනක නවගත්තේගම ඈ ගැන මෙලෙසින් සටහනක් තබනවා,

// සොම්නස් සහගත වේවා දොම්නස් සහගත වේවා තෘප්තිය අතෘප්තිය තුළ භාවනානුයෝගී ව සිටීම ඇගේ පුරුද්ද ය. එය ඇගේ චරිත ලක්ෂණයකි. හැකි තාක් කාලයක් වේලාවක් එම මනෝභාවය භුක්ති විඳීමෙන් ඉමහත් තෘප්තියක් ලබන්නාක් මෙනි. සුව වී ගෙන එන්නා වූ තුවාලයක් වුව ද නැවත නැවත පාරමින් කසමින් නැවත මතු වෙන තුවාලයේ වේදනාවෙන් තෘප්තියක් ලැබීමකි //

මේ කොටස කියවාගෙන යද්දි මට හිනා පහළ වුණා. සන්ධ්‍යා මංමදෝ කියා හිතෙන තරමට මා තුළත් මේ වේදයිතයන් භුක්ති විඳීම අඩුවක් නැතුව ම තිබෙනවා.. ඒක වරදක් බව නොදන්නවා නොවෙයි. ඒත් ඉතිං මක් කරන්නද.. ඒ මගේ විදිය.. එක අතකට සන්ධ්‍යාත් එහෙමයි කියා හිතද්දී මං උමතුවෙන් නොවන වග මට තේරුම් යනවා..

සටහන නිමා කරන්න කලින් ප්‍රියලාල් කොග්ගලගේ සහෘදයා කලකට පෙර ලියා තිබූ කවියක් මට මතක් වුණා. කොතැනක හෝ වෙබ් අඩවියකයි මෙකව සඳහන් ව තිබුණේ. මූලාශ්‍රය මතක නැතත් මතකයේ රැඳුණ හැටියෙන් ඒ කවිය මෙහි ලියා තබන්නම්..

රුක් දෙවි තැන පැමිණ ගම්වැද විත් ළඟට
ගෙන යන තුරුම මුල්ලේගම වන රොදට
සයිමන්, ඔබ ගෙනෙන දඩයම කා රසට
බුදියන අපට ඇනපන් ටොක්කක් සැරට!

Wednesday, April 13, 2016

අරුණැල්ලක් ව ඇහැරේවා නව වසර..!!

සෙනෙහස් වැසි වැටී පොහොණි ව දිවි කතර
දුකඳුරු මැකී එළි පෙහෙළි ව මග          හසර
හද කෙත පුරා මනුදම් පීදෙන                අතර
අරුණැල්ලක් ව ඇහැරේවා නව            වසර











බ්ලොග් පවුලේ නැන්දලා - මාමලා - අය්යලා - අක්කලා - නංගිලා - මල්ලිලා ඇතුළු සියලු දුටු, නුදුටු ඥාති සනුහරේට නිදුක් නිරෝගී, සුබ ම සුබ නව වසරක් වෙන්නැයි පළමුවෙන් ම ප්‍රාර්ථනා කරනවා.. 

වැසි දැරියට වැසි වස්වන්නට ශක්තිය සපයන ගාමක බලවේගය ඔබ හැම දෙනා බව නැවත නැවතත් මතක් කළ යුතු නැතත් මේ බ්ලොග් අඩවියේ ඔබ අතින් සටහන් වුණු සෑම ප්‍රතිචාරයකට ම හද පතුළින් ම තුති පිදිය යුතුයි.. ඒ තුති පිදුමටත් නව අවුරුද්ද අවස්ථාවක් කර ගන්නවා. 

එසේ ම මේ බක් මහ ආත්මාර්ථය වගේම පරාර්ථයත් සලසන්න සිත් වෙන යහපත් සිතැත්තන්ගේ ම නව අවුරුද්දක් වේවා..  කවිකාර හිත් අගට කවි උනන, මනරම් අනුභූති පහළ වෙන, ඉතා හොඳ දේ ම සිදු වෙන ප්‍රභාෂ්වර වසරක් ම වේවා.. 

ජය! 

Thursday, April 7, 2016

තාත්තා එක්ක ගමන් බිමන් = පොත් බෑග් එක නැතුව පාසල් යාම, කවි කියැවිලි, සෝයා අයිස්ක්‍රීම් සහ විජය පත්තරේ..

වැසි දැරිය පුංචි අවදියෙ ඉඳන් ගමන් බිමන් ගියේ තාත්තා එක්කයි.. අදටත් ඉස්සර වගෙම දෙන්නා එක්ක කොහෙ හරි තනියම යද්දි කරන විප්‍රකාර වැඩවල ලොකු වෙනසක් වෙලා නෑ. ඒවා එහෙම්මයි.. අම්මා කියන්න වගේ කවදාවත් මේ දෙන්නා හැදෙන දෙන්නෙක් නම් නෙමේ...)))

එක දෙක වසරවලදි මට මතකයි තාත්තත් මාත් උදේට පාසල් යන හැටි. පැය විසි හතරෙන් පැය පහළොවක් විතර සිසු දූ දරුවන් වෙනුවෙන් කැප කරන අම්මගෙනුයි තාත්තගෙනුයි මට මඟඇරෙන වෙලාව මං අල්ලන්නෙ උදේ ඔය සිසු සැරියෙදියි.. ඒ යන අතරමග මං තාත්තගෙන් කතන්දර අහගන්නව. ඒවා ඒ මොහොතෙ හදලා කියපු කතන්දර බව මට වැටහෙන්න ගත්තෙ සෑහෙන ලොකු වුණාට පස්සෙදියි.. මාලු වේටර්ලා, පියාඹන ගල් පර්වතවලින් යුක්ත ඒ කතා නැවත නැවත අහමින් මං කොච්චර කරදර කරන්න ඇත්ද කියලා මතක් වෙද්දි දැන් තාත්තා ගැන දැනෙන්නෙ දුකක්.. ඒත් අලුතින් කෑලි එකතු කරමින් තමන් ම ගෙතූ කතා යළි යළි කිව්වා මිස තාත්තා කවදාවත් මට ඒ ගැන දොස් පැවරුවේ නම් නැහැ. 

ඒ කතා අස්සට සමහර දවසට නවකතා පොත්වල තිබුණ කතන්දරත් එකතු වුණා.අපූරු නවකතාවල සාරාංශ කොටස් තාත්තා චිත්තරූප මැවෙන විදියට වැසි දැරියට රස කර කර කියා දෙනවා.. මට මතකයි සමහර කතාවල අවසානය තාත්තට කතුවරයාගෙ කිසිදු අනුදැනුමකින් තොර ව මං නිසා වෙනස් කරන්න සිදු වුණා.ඒ වගේ එක පොතක් තමා ජිනපාලගෙ කතන්දරේ.. ඒ පොතේ දුක්බර අවසානය නිසා මං කොයි තරම් වේදනාවට පත් වුණාද කිව්වොත් තාත්තා අලුත් අවසානයක් නිර්මාණය කළා.අදටත් දුකක් දැනෙන වෙලාවට එහෙම අලුත් අවසානයක් මවන්න පුළුවන් නම් තාත්තා එහෙම කරලා දෙන බව මං දන්නවා.. ඒත් ජීවිතේ නවකතාවකට වඩා වෙනස් බව දැන් වැසි දැරිය තේරුම් ගෙනයි ඉන්නෙ.. 

තවත් දවස්වල තාත්තා කතා කළේ රත්න ශ්‍රීගෙ,මොනිකාගෙ,කුමාරගමගෙ,කුඩලිගමගෙ කවි ගැන.. දෙක වසරෙ දරුවෙක්ට ඒ කවි දරාගැනීම අපහසුයි කියා ඕනැ කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඒත් ඒවා කිසිසේත්ම බරැති දේවල් ලෙස නොව ජිවිතේ පුංචි පුංචි කොටස් ලෙස වැසි දැරියගෙ හිතට ඇතුළු කරන්න තාත්තට පුළුවන් වුණා.අද මාතින් ලියැවෙන කවිවල උල්පත එදා අපි දෙන්නා ඔහේ කියවමින් ගිය සංවාදවල සැඟවී තියෙන්නට ඇති වග මට අද හිතෙනවා..

ගංගාවක් වී ගලන්න 
උල්පත පසුකර
වැවක් වෙලා නතර වෙන්න 
නෙළුම් මලක් යට

ඔය පද පෙළ තමා තාත්තා එදා කියා දුන්න කවිවලින් වඩාත් ම තදින් වැසි දැරියගෙ හිතේ සටහන් වුණ සිතිවිල්ල...!!

මේ සංවාද අතරේ ගොඩක් වෙලාවට වැසි දැරිය මහා විචිත්‍රවත් ලෝකයක අතරමං වුණා. ඒ හින්දාම වෙන්න ඕනෑ මං සමහර දවස්වල පොත් බෑග් එක නැතුව ඉස්කෝලෙ ගියෙත්. පොඩි විමලා කඳුළු සලන හැටි,ඩෙනිස් සමනළ ආර පීනුම් තරඟෙට සහභාගි වුණ හැටි,ඈන් ඩයනා එක්ක කැලෑ පාරවල ඇවිදන් ගිය හැටි ආදී මෙකී නොකී සකලවිධ කතාන්දරවලින් ඔළුව පුරවාගෙන පාසල් යන අතරෙ මට පොත් බෑග් එක වැදගත් දෙයක් විදියට දැනෙන්නෙත් නැතුව ඇති.ශිෂ්‍යත්වය ලියන්න එපා යැයි මට උපදෙස් දුන්න අම්මට තාත්තට වුණත් වඩා වැදගත් වුණේ මගෙ ඔළුවෙ මැවිල තිබුණ ඒ සාහිත සිහින ලෝකය මිසක ඉස්කෝලෙන් බලහත්කාරෙන් කරන්න කියා දුන්න ශිෂ්‍යත්ව ප්රශ්න පත්තර නොවෙන වග ඒ කාලෙදි නැතත් පස්සෙන් පහු මං තේරුම් ගත්ත.. 

ඒ වගෙම පාසල නිම වෙලා ආපහු එන ගමන තමා වැසි දැරිය ආසම කොටස වුණේ.. හෙම්බිරිසාව හැදිලා දුක් විඳිනවා බලන්න බැරි නිසා අම්මාගෙන් අයිස්ක්‍රීම් කෙරෙහි බරපතළ තහනම් නියෝගයක් පැනවිලා තිබුණා.ඒත් ඉතින් සතිපතා තාත්තත් දුවත් පාසල ඇරිලා පාර අයිනේ නැවතිලා සෝයා අයිස්ක්‍රීම් කන බව දැනගන්න අසරණ අම්මට දිවැස් තිබුණේ නැහැ නොව..

ගහමුද වර්ෂේ අයිස්ක්‍රීම් එකක්??  

තාත්තා එහෙම අහද්දි වැසි දැරිය ඊට එකඟ වෙන්නෙ උඩ පැන පැන. හොරෙන් අයිස්ක්‍රීම් කාපු වග ඊළඟ දවසෙ උදේ වෙද්දි අම්මට අහු වෙන්නේ වැසි දැරියගෙ නොනවතින කිවිසුමෙන්.. ඒත් එදා වගෙම අදත් තාත්තත් වැසි දැරියත් පාරට බැස්සොත් සෝයා අයිස්ක්‍රීම් වලට වග කියන්න අමතක කරන්නෙ නැහැ.දැන් ඉස්කෝලෙ යන්නෙ නැතිය කියල මුල අමතක කරන්න හොඳ නැහැ නොවැ.. එහෙම නැතුව බඩජාරිකමකට එහෙම නෙමේ...))

අඟහරුවාදා හවස තාත්තා එක්ක එන ගමන වැසි දැරියට වඩාත් විශේෂයි.. එදාට නොවැ විජය පත්තරේ එන්නෙ.. ඒ දවස්වල මං අතින් කුරුටු ගෑවෙන බලි කුරුටු ආදිය තැපැල් කරලා විජය පත්තරේ
ට යවන පුරුද්දක් අම්මට තිබුණ හින්දා එව්වායින් මොනවා හරි පල වෙලා ඇතිය කියලා හිතාගෙන තමා විජය පත්තරේ අතට ගන්නෙ. අද වගේ උදාසීන හැඟීමක් නෙවෙයි පුංචි කාලෙ කවියක් පත්තරේ තියනව දැක්කම ඇති වෙන්නෙ, හිතේ උපරිම මට්ටමට පිරිල ඉතිරිල යන සතුටක්.

මේ මතක ඔක්කොම සිහියට නැඟුණෙ තාත්තා එක්ක මේ මෑතක දි ම රියැදුරු පුහුණුවට යත්දියි.. එදා මං වාඩිවෙලා ගිය අසුනෙ අද තාත්තා හිඳගෙන.. එදා තාත්තා පැදවූ රිය මං පදවනවා. දූගෙ කොට ජීවිතෙත් සැලකිය යුතු ප්‍රමාණෙකින් උස ගිිහිල්ලා.. එදා තරුණ වියේ උන් තාත්තගෙ කොණ්ඩෙ අද පැහිලා.. සිඟිත්තියක් ව උන් මං යුවතියක් වෙලා.. 

ඒ අතරෙ මට අපේ අතීත ගමන් බිමන් මැවිලා පෙනෙනවා.අද අපි කතා කරන්නෙ එදා කතා කළාට වඩා ගැඹුරු කවි පද ගැන.. ජීවිතේ බරපතළ තැන් ගැන.. 

ඒත් අද මේ ඉන්නෙත් එදා ඒ අනවරතයෙන් කතා කරමින් ගිය තාත්තයි දූයි ම තමා.. අම්මා කියන්නා වාගෙ කවදාවත් හැදෙන්නෙ නැති පිස්සු තාත්තයි දූයි ම තමා..!!