Sunday, July 17, 2016

කොණ්ඩය වැවීම නම් ඒ මහා පාප කරුමය..


වලස් තෙල් ගෑවත් කොණ්ඩෙ වැවෙන්නැති සමහර කෙල්ලෝ අනන්ත අප්‍රමාණ ව හීන දකිනවා, දිග කොණ්ඩෙකට හිමිකම් කියන්න. උන් හිතාගෙන ඉන්නෙ දිග නීල වරලසක් කියන්නෙ පූරුවෙ කරන ලද පින් බලයෙන් හිමි වන මහාර්ඝ වස්තුවක් කියලයි.. 

ඒත් ඒ පුණ්‍යකර්මයෙ විපාක අත් විඳින්න කොණ්ඩෙ වවලා ම බලන්න ඕනැ..

ඇච්චා කාලෙ මං හිතුවෙත් දිගු නීල වරලසක් කියන්නෙ වටින වස්තුවක් කියලා තමා. ඒත් බෙල්ලට වඩා අඟලක් හරි උසට කොණ්ඩෙ දික් වෙන එක අම්මා සැලකුවේ මහා භයානක අපරාධයක් විදිහටයි. ආන් ඒ නිසා අනිවාර්යෙන් ම මාස තුනකට පාරක් ක්‍රියාත්මක වෙන බාබර් සාප්පුවක් තිබුණා අපේ ගෙදර. අම්මා තමා බාබර්. මහ විසාල කතුරකුයි, තඩි කණ්ණාඩියකුයි අරන් මිදුලට බැහැලා මගෙ බෙල්ල වටේට ගොරෝසු රෙද්දක් පොරවන කොට ඔන්න මං මරන්න ගෙනියන හරකෙක් වගේ මරහඬ තලන්න පටන් ගන්නවා. අල්ලපු ගෙවල්වල උන්දැලා එතකොට තමා දැනගන්නෙ ආන් අදත් වැසි දැරියගෙ හිස මුඩු කරනව කියල. අපේ අම්මා ඉස්සර නෑදෑ කෙල්ලෙක්ගෙ කොණ්ඩෙ කපන්න ගිහින් ඇගේ කන කපා දමලා වාර්තාවකුත් පිහිටුවලා තිබුණ නිසා මං ඇච්චා කාලෙ එහෙම කෑ ගහපු එක ඉතා ම සාධාරණයි.. 

උසස් පෙළ නිම වෙන තුරු ම කොල්ලෙක් වාගෙ තමුන්ගෙ කොණ්ඩෙත් කපලා උන්නු අම්මා මගේ කොණ්ඩෙත් කිසිම හිතක් පපුවක් නැතුව කපලා දාන්න හේතුව මට තේරුම් ගියේ පස්සෙන් පහුයි. පොඩි කෙල්ලෙක්ට කොණ්ඩෙ දිගට වවන එක මහා කරදරයක්. තමන්ගෙ ළමයි ලස්සනට ඉන්න ඕනෑ කියලා විස්වාස කරන ඇතැම් අම්මලා පොඩි උන්ට හතරක් නොතේරෙන කාලෙ ඉඳන් උන්ගේ කෙහෙවලුවලට තෙල් ගගා, රිබන් ගැට ගගහා අපායෙවත් නැති ජාතියෙ දණ්ඩ නීති ක්‍රියාත්මක කරනවා නොවැ. අපරාදෙ කියන්න බෑ අපේ අම්මට නම් ඕනැ වුණේ මං හිතේ හැටියට නිදහසේ ඉන්නවා දකින්නයි. ඒ හින්දා සාමාන්‍ය පෙළ නිම වෙන තුරු වැසි දැරියගේ වරලස උරහිසෙන් මෙහාට වැවුණේ නැහැ. සමාවෙන්න. වැවුණේ නැහැ නෙමෙයි නිසි බලධාරිනියගේ අණ පරිදි වැව්වේ නැහැ. ‍

දැහැමෙන් සෙමෙන් සාමාන්‍ය පෙළ විභාගයට මූණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගත කරපු සුන්දර සමයෙ තමා මට ඒ භයානක අදහස පහළ වුණේ. මට තමන්ගෙ වරලස නඩත්තු කරගන්න වෙලාවයි - ආසාවයි ඒ වෙද්දි පහළ වෙලා කියල හිතපු නිසා නිසි බලධාරිනියගෙනුත් ඒකට අවසර හම්බ වුණා. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය වැසි දැරිය ඕං එතකොට ඇගේ නීල වරලස වවන්න පටන් ගත්තා.

ඒත් ඒක කිසිසේත් ම පහසු කටයුත්තක් නම් වුණේ නෑ.

බොහොම කෙටි කොණ්ඩයක් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙලා හිටිය වැසි දැරියට ඒ වෙන තුරු කොණ්ඩෙ පීරන්න වුවමනාවක් දැනිලා තිබුණෙ නෑ. හැමදාම උදේට අම්මා එක පාරක් පීරුවාම ඇති. කොට කොණ්ඩයක් නොපිරුවාට අවුල් වෙන්නෙ නැහැ නොවැ. ඒ නිසා පනා, හෙයාර් බ්‍රෂ් ආදිය එක්ක මට තිබුණෙ ඉතා ම දුරස්ථ සම්බන්ධයක්.. හරියට ඔරායන් සහ ගෝනුස්සා වගේ. පනාවලට වැසි දැරිය කැමති නෑ. වැසි දැරියට පනා කැමතිත් නෑ. ආන්න ඒ නිසා කොණ්ඩෙ වවන කොටවත් පනා එක්ක යහපත් මිත්‍ර සන්ථවයක් ගොඩ නගා ගන්න මං මැළි වුණා. දැනුත් එහෙම තමා. තමුන් පීරන තුරු ම නොපීරෙන වැසි දැරියගේ වරලසට අම්මා කියන්නෙ වලස් තොප්පිය කියලයි.. 

ගෙදරට යන එන අය වැසි දැරියගේ වරලස කොයි තරම් සුන්දරයි,දිගයි කියලා වර්ණනා කළත් අම්මා නෙමේ වලස් තොප්පිය කියලා අපහාස මුඛයෙන් කතා කරන එක නවත්තන්නේ. ඇත්තනේ ඉතින්.. ඕක යස අපූරුවට තියෙන්නෙ අම්මා පැය කීයක් වදවේදනා විඳලා අවුල් කඩලා පීරුවට පස්සෙද කියලා ඒ වර්ණනා කරන ඇත්තෝ දන්නෙ නැහැ නොවැ.

ඒ මදිවට මේක මේන්ටේන් කොරන්න තෙල් ගාන්න ඕනෑ. ෂැම්පු - කන්ඩිෂනර් - උළුහාල් ආදී මෙකී නොකී සියලු දෑ ආලේප කරන්නත් ඕනෑ. නිවාඩු සමය නිසා නිතර නිතර ගමෙන් නගරයටත්, නගරයෙන් ගමටත් සැරිසරන හින්දා නාන වතුරත් වෙනස් වෙනවා. ඒ නිසාද කොහෙද මහතට හිටපු කොණ්ඩෙට නිතර ම මන්ද පෝෂණෙත් හැදෙනවා. එතකොට ඊ විටමින් පොවන්නත් ඕනැ. අනික් අතට කොණ්ඩෙ දික් වෙන්න දික් වෙන්න අම්මා දවසකට එක පාරක් පීරුවාම මදි. තමන්ටමත් කොණ්ඩෙ පීරගන්න සිද්ධ වෙනවා දකුණු අත රිදෙන්න පටන් ගන්න තුරු ම.

ඔන්න ඔය වෙලාවට ඉවසීමේ සීමාව පනින එක අහන්නත් දෙයක්යැ..