Friday, August 26, 2016

මල්හාර 05


පුරා දෙහෝරාවක් අපි පුස්තකාලයේ කෙළවර ම මේසයට වාඩි වී පහත් හඬින් දොඩමළු වීමු. පාසල නිම වෙන්නට අඩ හෝරාවක් තිබිය දී මම හිත හදාගෙන ඉරණම් වාක්‍යය ප්‍රකාශ කළෙමි. 

අපි මේක කෙළින් කතා කරමු. මට බෑ ඔයාට කැමති වෙන්න. ඒක තේරුම්ගන්න. ඔයා මගෙ හොඳම යාලුවා. මං කොහොමද දෙය්යනේ ඔයා ගැන එහෙම හිතන්නෙ..? ඕක හිතින් අතෑරලා දාන්න. කවදාවත් ම මට ඔයාට ආදරය කරන්න බැහැ.

පෙර මා දක්වන දක්වන හේතුවට ප්‍රතිහේතු දැක්වූ යෞවනයා එවර ගොළු වී ගියේ ය. ඔහු මා දෙස බලා උන්නේ කුඩා ළමයෙකු සැර ගුරුවරියක දෙස බලන අන්දමේ අඩ බියපත් බැල්මකිනි.

ඔහු ගැන හද පුරා විසල් වේදනාවක් ඉපිදෙද්දී මම නොනවත්වා උමාලි සිහි කළෙමි. අප අතර වූ මතක ගොන්න.. ආපන ශාලාවේ ඉඳ එක ම බත්පත බෙදාගෙන කෑ හැටි.. නිවාස දෙකක උන් අප දෙදෙන ක්‍රීඩා උත්සව කාලයට දෙදෙනාගේ ම නිවාසවලට ජය පැතූ යුරු..

ඔහු මහා හිස් බැල්මකින් මගේ දෑස් දෙස බලා සිටියේය.

මං නරක කොල්ලෙක් ද?

මම නැතැයි කියන්නට හිස දෙපසට සෙලවීමි. එහෙත් මට වඩා හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි යන සාම්ප්‍රදායික විහිලුව නොකොට සිටියෙමි.

ඔහුගේ දෑස් අග රත් පැහැයට හැරෙන්නට විය.

කිසිදාක නොවූ තරම් තදබල ලෙස ඔහු කෙරේ මසිත බැඳෙද්දී මගේ අත කැපුණු දා උමාලි සිය සුදු ගවුමේ පටිය ඉරා ලේ නැවැත්වූ යුරු මතක් කර ගතිමි.

ඔහු යමක් කියන්නට තැත් කළේය. එහෙත් එය පවසන්නට ඔහුට නොහැකි විය. හෘදය වංචාව නවතා දමන්නට සිත් වෙද්දී උමාලි මට වසර ගණනක් තිස්සේ ගෙදරින් බත්මුල් බැඳගෙන ආ යුරු සිහි කළෙමි.

ඔහු අයිති මට නොවේ. ඇයට ය.

ආයෙ කවදාවත් මං ගැන හිතන්නෙපා.. හිත රිදුණ නම් මට සමාවෙන්න. ඔයා තමා ජිවිතේ මට මුණ ගැහුණ හොඳ ම යාලුවායි කියූ මම ඔහු තනි කොට පුස්තකාලයෙන් පිටතට දිව ගියෙමි. පිට්ටනිය හරහා දුව යන කල මා කොපුල් මත උණුසුමට කඳුළු පිපෙන්නට පටන් ගෙන තිබිණි. උගුර අස යමක් හිර ව ඇතුවාක් මෙන් දැනෙන වේදනාව අබියස මම වේගයෙන් දිව යන්නට අපොහොසත් වීමි. ඔහු මා වෙතට ළං වූයේ මා පිට්ටනිය ඔස්සේ අරමුණක් නැති ව ඇවිද යන කල ය.

මගේ මුහුණට එබී බැලූ ඔහු එහි ගලා යන කඳුළු දුටුවේය.

මට ඔච්චර අකමැති නම් අඬන්නෙ ඇයි..?’ ඔහු ඇසුවේ බිඳී ගිය ස්වරයකිනි.

හොඳ ම යාලුවෙක් මට නැති වෙන නිසා..
මා පිළිවදන් දුන්නේ ඉවත බලාගෙන ය. 

මා හොඳ ම යාලුවා යැයි එතැනදී අදහස් කළේ ඔහු ගැන ද - ඇය ගැන ද යන්න අදටත් මට සිතාගත නොහැකි ය. සමහර විට ඒ දෙදෙනා ගැන ම වන්නට ද පුළුවන.

කවදාවත් අපිට අපි නැති කර නොගෙන ඉන්න පුළුවන්.
ඔහු එසේ කියද්දී මම දෑස් පියාගෙන උමාලි සිහි කළෙමි. ඈ මට දවස් කීයක් බත් කවා ඇද්ද..

මේ බලන්න.. ඔහු එවර මගේ දෑතින් ඇද මුහුණට එබුණේය.

මං අවුරුදු කීයක් හරි බලං ඉන්නම්. අවුරුදු දහයක් පහළොවක් හරි.. මං ඔයා ගැන බලාපොරොත්තු තියාගන්න ද..

හිතට දුකක් ආ කී වරෙක මා උමාලිගේ උරහිසෙහි හිස තබා අඬා වැළපී ඇද්ද..?

එපා.. මට කවදාවත් ඔයා ගැන එහෙම හිතන්න බැහැ. ඒක මං දන්නවා..
එසේ කියාගෙන ම මම පන්තිය දෙසට දිව ගියෙමි.

අලුත් කඳුළු අනවරතයෙන් මා කොපුල් මත්තෙහි පිපෙමින් තිබිණ.
                                                 
අයිතිය ප්‍රේමයක් කර ගත් මිනිසුන් ද, ප්‍රේමය අයිතියක් කර ගත් මිනිසුන් ද, අයිතියට පමණක් ප්‍රේම කරන මිනිසුන් ද, ප්‍රේමයට පමණක් අයිතිය කියන මිනිසුන් ද, ප්‍රේමයක් නැති ව ම අයිතිය කියන මිනිසුන් ද අතර මම නුඹට අයිතියක් නොමැති ව ම  ප්‍රේම කරමි - තිළිණි ලියනාරච්චි

Wednesday, August 24, 2016

මල්හාර 04


මල්හාර 01

මල්හාර 02

මල්හාර 03

ඊළඟ දිනයේ උදාසන මා පාසලට පැමිණෙන විට ඈ පන්තියේ එහා කෙළවර වූ හිස් පුටුවකට මාරු වි සිටියාය. ඇය යළි මා අසළට ගෙන්වා ගන්නට කොතෙක් උත්සාහ දැරුවද මම අපොහොසත් වීමි. සිතග යමක් සිර ව ඇතුවාක් සේ දරුණු වේදනාවක් දැනෙද්දී එය මඟ හරවා ගැනීමට අසීරු උත්සාහයක් දරන්නට මට සිදු විය.

එදා විවේක කාලය වන තුරු ම අපට එක සීරුවට වැඩ තිබුණි. විවේක කාලයෙහි සීනුව වදිනවාත් සමඟ ම මම ඉතිහාසය ගුරුතුමියගෙන් විෂය කරුණක් දැනගන්නා නියාවෙන් ඈ පසුපස ගොස් ඔහු ව මඟ හැරියෙමි. ඒත් ජීවිතයේ අප සකසන සැලසුම් හැම විටෙක ම බාධා විරහිත ව ඉටු වන්නේ නැත. දවසේ අවසන් කාලච්ඡේද දෙක හිස් විය. එකී විෂය උගන්වන ගුරුතුමා පාසල් නොපැමිණි බැව් දැන සිටි ඔහු හත්වන කාලච්ඡේදය ඇරඹෙන්නට සීනුව වදිනවාත් සමඟ ම මා වෙත දිව ආවේය. ඒ වයසේ කොල්ලෙකුගෙන් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ ප්‍රේමණීය බවක් ඔහුගේ දෙනෙතෙහි සටහන් වී තිබිණ. ඒ බැල්ම මඟ හැරි මම ඔහුත් සමඟ පන්තියෙන් පිටතට යනු වස් අසුනින් නැගිට්ටෙමි.

පන්තියෙන් පිටතට යනතර මා උමාලි දෙස බැලූයේ නැත.

අප ඇවිද ගියේ පුස්තකාලය වෙත ය. විවේක කාලච්ඡේදවල පුස්තකාලයට යාම අප තිදෙනාගේ පුරුද්දක් වූයෙන් කිසිවෙකුටත් අප දෙදෙන තනි ව එහි යාම ගැටලුවක් වූයේ ද නැත. ඒ යන අතර මග අප දෙදෙනා උනුන් දෙස නොබැලුයෙමු. උනුන් හා කතා නොකළෙමු. ඔහු තුළ වූයේ සාමාන්‍ය ගැටවර‍යකු තුළ නොපවතින අන්දමේ සන්සුන් හැදිච්චකමකි. ඒ යන මග ඔහු මගේ අතකින්වත් ස්පර්ශ නොකළේ ය.

පුස්තකාලය කෙළවර දිගු මේසයක් විය. අප දෙදෙන එදා අසුන් ගත්තේ එහි ය. මුහුණට මුහුණ ලා ය. එදායින් පසු කිසිදාක මා අසුන් නොගත් ඒ මේසය අදටත් අහම්බෙන් පාසලට ගිය දිනෙක මම දැක බලාගෙන එමි. එදා අප වාඩි වී හුන් යුරු, අප හද ගැහෙන හඬ පවා ඇසෙන තරමට අප තුළ වූ තිගැස්ම මට අදටත් මතක ය.

කතාව පටන් ගත්තේ මා ය.

අපි තාම පොඩි ළමයි.. අඩු ගාණෙ ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් මං දන්නෙ නෑ.

ඔහු ඊට මඳ සිනහවක් පෑයේය. ඉක්බිති මෙසේ කීවේය.

ඔයා ඕක කියන බව මං දැනගෙන හිටියා. ප්‍රශ්නයක් නෑ. මට ඕන තරම් කාලයක් ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්න පුළුවන්..

මම මවිතයට පත් වීමි. නව යොවුන් ගැටවරයෙකුට මෙපමණ බරපතළ ලෙස පිළිණ දිය හැකි ද.. එහෙත් ඔහුගේ ගැටවර ඇස්වල වූයේ අතිශය විශ්වසනීය බවකි. අවංක පිරිසිදු පෙනුමකි.  

මට මතක් වූයේ උමාලිත් මාත් පළමු වරට හමු වූ දවස ය. එදා අපට චිත්‍රයක් අඳින්නට නියමිත ව තිබුණි. මා ළඟ පාට කූරු තිබුණේ නැත. උමාලි ඇගේ පාට පෙට්ටියේ වූ කූරු දෙකට කඩා මට පාට කූරු තනා දුන්නාය.

මා රෑ තිස්සේ නිදිවර්ජිත ව සකසා ගත් හේතුකාරණා ලැයිස්තුව ඉතා අසීරුවෙන් සිහිපත් කරන්නට වීමි.

මගෙ ජීවිතේ පළමුවැනි අරමුණ ඉගෙනගන්න එක.. ඔයාගෙත් අරමුණ ඒක. ඒ අරමුණ ඉෂ්ට කරගන්න අපි මෙහෙම හිතන එක බාධාවක්.. අනිත් එක ඕ ලෙවල් කරන්න තව මාස කීය ද?

ඔහු නැවත වරක් සිනාසුණේය.

හරි කෙල්ලෙ.. අපි තුන්දෙනා ඉස්සර වගෙ විභාගෙ කරන තුරු යාලුවො වගේ ආශ්‍රය කරමු..

මිතුරන් සේ ආශ්‍රය කරන්නට තව දුරටත් අප තිදෙනෙකු නැති වග මට ඒ මොහොතේ මතක් විය. ඒ මතක් වීමත් සමඟ මම ඔහුගේ දෑස් කාන්තියට හසු නොවී සිටින්නට දිරි උපදවා ගනිමින් මෙසේ කීමි.

මගේ ෆීල්ඩ් එක සාහිත්‍යය. ඉතින් මං ආදරය කරන්න ඕන ඒ කලා කටයුතු තේරුම්ගන්න කෙනෙකුට.

කෙල්ලෙ මං චිත්‍ර අඳිනවා කියල අමතක වුණාද.. එහෙනම් ඇයි මට බැරි ඔයාගෙ කවි හිත තේරුම් ගන්න..

ඔහු එවර කීවේ එසේ ය.

මා අසනීප වූ නිසා වාර විභාගය ලියන්නට නොහැකි වූ දවසක උමාලි ද විභාගය නොලියා මා ළඟට වී තනි රැකි අන්දම මට සිහිපත් විය. තාත්තා මා ගෙන යන්නට එන තුරු ම ඈ මගේ හිස අතගාමින් ද බෙහෙත් පොවමින් ද අසළට ම වී උන්නා ය.

මට ඉදිරිපත් කරන්නට තවත් හේතු ගණනාවක් තිබිණ. දැන් මට ඒවා එකින් එක මතක් කරන්නට නොහැක. එපමණට ම හේතු රාශියක් මගේ මනස් සටහනේ ලියැවී තිබිණි. ඒත් ඒ සියල්ලට ම දෙන්නට පැහැදිලි පිළිතුරු ඔහු සතු විය.

මුළු රැයක් තිස්සේ නිදිවරා කල්පනා කළ හේතු ගොන්න ඔහුගේ දිදුලන ඇස් ඉදිරිපිට බිඳ වැටෙමින් තිබිණ.

"you can close your eyes to the things you don't want to see, but you can't close your heart to the things you don't want to feel" - Jhonny Deep 

Monday, August 15, 2016

මල්හාර 03

මල්හාර 01 කොටස

මල්හාර 02 කොටස

මිත්‍රත්වයට සහ ප්‍රේමයට කැපකිරීම් කළ හැකි බව දැන උනිමි. ඒත් මා ඇගෙන් මෙබඳු වදනක් කිසිදා අපේක්ෂා කළේ නැත. අනපේක්ෂිත ව ඈ එසේ කීවත්, මට එය පිළිගන්නට ද නොහැකි ය.

නැහැ උමාලි. එයා මගෙ යාලුවෙක් විතරයි. මට කවදාවත් එහෙම එයා ගැන හිතන්න බැහැ. මං එයාට බැහැ කියලා එයාගෙන් ඈත් වෙන්නම්. ඔයා දිගටම එයාව ආශ්‍රය කරන්න. එතකොට කවදහරි එයා ඔයාගෙ හිත තේරුම් ගනීවි.

මා එසේ කියද්දී මට ම දැනෙමින් තිබුණේ අතිශය නුුහුරු හැඟීමකි. කිසිදාක අප දෙදෙන අතර ඇති වේ යැයි සිහිනෙකිනුදු සිතූ සංවාද ද මේ..?

මගේ වදන්වලට උමාලි එකඟ වූයේ නැත.

නැහැ. එයා ඔයාට ගොඩක් ආදරෙයි. ඔයා නොදැන හිටියට ඒක මට තේරිලා ගොඩක් කල්. ඒත් ඒක පිළිගන්න මේ වෙනකම් මට හිත හදාගන්න බැරි වුණා.. එසේ කියා ඈ අසීරුවෙන් මා දෙස බලා දුබල සිනාවක් මුවට නගා ගත්තාය. එහෙත් සිනාවක් වෙනුවට ඇගේ මුවේ රැඳුණේ හැඬුම්බර බැල්මකි. 

එයාට දුක් දරන්න බැරි වෙයි. කවදාවත් දුකක් දෙන්නෙපා.
එසේ කියා ඈ හිස් බැල්මකින් මා දෙස බලා සිටියාය.

මං මේ තරහ වෙනවා නෙමෙයි. ඒත් තව දුරටත් ඔයා එක්ක ආශ්‍රය කරන්න තරම් මගෙ හිත හය්ය නෑ. මෙච්චර කලක් මට දුන්න යාලුකමට පින්..

ඈ නිසංසල ව එසේ කියද්දී මා උන්නේ අකර්මණ්‍ය වී ය. එහෙත් ඇගෙන් මට ඔයා ගැන එයාට කියන්න ඉඩ දෙන්නැයි ඉල්ලා සිටීමට මම සමත් වීමි. ඈ තරයේ සිය හිස දෙපසට සෙලවූවාය.

නැහැ. මේක මගෙ ආත්ම ගෞරවය ගැන ප්‍රශ්නයක්. ඔයා එයාට මගෙ හිතේ තියෙන හැඟීම ගැන කියලා එයා ඊටපස්සෙ මගෙ ළඟට ආවත් ඇති පලේ මොකක්ද.. මගෙ ආත්ම ගෞරවයට මොකද වෙන්නෙ. එපා.. කවදාවත් ඒක කරන්නෙපා. මේක ඔයා විතරක් දැනගන්න රහසක් වුණා ම ඒ ඇති.

මට කියන්නට කිසිවක් ඉතිරි ව තිබුණේ නැත. වසර ගණනක් පුරා එක බත්පත බෙදා කෑ මිතුරිය.. නිවාඩු දිනවල අපේ නිවසට විත් මිදුල පුරා දුව පැන නැටූ යෙහෙළිය.. කතන්දර පොත් හුවමාරු කරගෙන කියැවූ සාහිත්‍ය සහායිකාව.. හැරීවත් නොබලා කොරිඩෝරය දිගේ පන්තිය වෙතට ඇවිද ගියා ය.

එක පිරිමියෙකු බෙදා ගන්නට නොහැකි වූ විට කෙහෙවලු පටලවා ගන්නා ගැහැණුන් සිටින ලෝකයක අප උනුන් වෙනුවෙන් එක පිරිමියෙකු - යුවතියකට අත හරින්නට නොසිතෙන අන්දමේ හොඳ තුරුණුවෙකු පරිත්‍යාග කරගන්නට යත්න දරන යුරු, ප්‍රේමයේ කුමන ප්‍රවර්ගයකට අයත් වන්නේ ද යන්න සිතා ගැනීම මට අපහසු විය.

එදා රාත්‍රිය ඉතා දිගු වි ය. වෙනදාට ඇඳට වැටුණු පමණින් නිදාගන්නා මට එදා එක විනාඩියකට හෝ නිදාගන්නට නොහැකි විය.මුළු රැය පුරා ම මා උන්නේ ඇහැරගෙන ය.

ප්‍රේමය ගැන මා දැන සිටියේ නවකතාවලිනි.කවිවලිනි.එය මේ තරම් අසීරු යමකැයි දැන උන්නා නම් මා අඩු ම තරමේ ප්‍රේමය ගැන ලියැවුණු ගීයකටවත් සවන් දෙන්නේ නැත.

මා සෑහෙන කාලයක සිට ඔහුට යටි සිතින් ආදරය කළ වග මා වටහා ගත්තේ එදින ය. අඩුම තරමේ උමාලි ඔහු කෙරේ තමා පෙම් බැඳ සිටින වග කියා සිටින කලවත් මසිතෙහි වේදනාවක් හට ගත්තේ නැත. එහෙත් මා වෙත ආදරය ප්‍රකාශ කර සිටින කල ඔහුගේ ඇස්වල වූ බැල්මෙන් ප්‍රථම වරට මගේ හදවත ඇදුම් කන්නට පටන් ගත්තේය. ඔහු හා ගෙවී ගිය කාලය සිනමාපටයක රාමු මෙන් මා නෙත් ඉදිරියේ පෙළින් පෙළට මැවී ගියේය.

මගේ කෙටි කොණ්ඩයෙන් ඇද දිව දික් කොට දිව යන දඟකාරයා කවදාක හෝ මගේ සෙනෙහස අයැද සිටී යැයි සිතුවේ කවුද? චිත්‍ර පන්තියේ දී මගේ දිය බඳුනට පින්සල දමා අලුත් වර්ණ තනන කලාකාරයා මහද කැන්වසය මත සිත්තමක් අඳින්නට ඉඩ ඉල්ලතැයි සිතුවේ කවුද? ශ්‍රේණියේ ම සිසුවියන්ගේ සිහිනවල හුන් කැරලි කෙසැති සිහින කුමාරයා මා අස නතර වෙතැයි සිතුවේ කවුද?

එහෙත් මට ඔහු ගැන දිගින් දිගට සිතන්නට ශක්තියක් තිබුණේ නැත. උමාලිගේ කඳුළුබර දෑස් වරින් වර ඔහු ගැන මතකයන්ට බාධා කළේය. එපමණක් නොව ඇගේත් මගේත් අට වසක් පැරණි මිතුදමෙහි මතක රැල් රැල් වරින් වර උඩට මතු වෙමින් මතකයත් - නින්දත් අවුල් කර දැම්මේ ය.

එදින රැය නිදිවර්ජිත ව පහන් කෙළෙමි.

ඔබ සඳක් තමයි පළවා හළ
අමිහිරි කළුවර
ඒ සඳ දකින්න ඇස් කීයක්
පෙරුම් පුරනවද?
ඉතින්, මට විතරක් ඇයි කියන්න
ඔබගෙන් අවසර..?

(රත්න ශ්‍රී - ආලකමන්දා - පිටුව 49 )

Saturday, August 13, 2016

මල්හාර 02


අප තිදෙන අපූර්ව මිතුදමකින් බැඳී - වෙළී ගෙවාලූ ඒ සමය මිහිරි මලින් සපිරුණු චාරුතර වසන්තයක සිරි ඉසිලීය. ඊට හේතුව අප අතර වූ සුපිරිසිදු මිත්‍ර සන්ථවය බව අද ආපස්සට කල්පනා කර බලද්දී මට නිරන්තරයෙන් ම හැඟෙයි.

ඒ මධුර මනෝහර වසන්තයට ගිනි වැදුණේ එක් භයානක දවල් වරුවක ය. 


ඒ වෙද්දී සාමාන්‍ය පෙළ විභාගයට වැඩි කලක් තිබුණේ නැත. පාසලේ විවේක සමයේ අන් බොහෝ දෙනා පිට්ටනියේත් පන්තියේ සිටියදී අප තිදෙන සුපුරුදු ලෙස පන්තියේ කොට බිත්තියේ වාඩි වී උන්නෙමු. එදවස පුරා ම ඔහු උන්නේ යම් කැළඹුමකින් වග මට දැනී තිබිණ. නිකම් ම මිතුරියක වීත් මට එය හැඟුණි නම් ඔහුට සිතින් පෙම් බඳින ඇයට එය නිසර්ගයෙන් ම හැඟී යාම ස්වභාවිකව ය. ඉතින් විය යුතු පරිද්දෙන් ම ඒ කැළඹුමට හේතුව ඔහුගෙන් විමසුවේ ඈ ය. ඇගේ අහඹු ප්‍රශ්නයෙන් තිගැස්සී ගිය ඔහු ටික වේලාවක් ඉවත බලාගෙන උන්නේය. ඉක්බිති එක් වර ම ඍජු ව මා දෙස බලා මාතින් අල්ලා ගත්තේය.

තවත් මේක හංගගෙන ඉන්න මට බැහැ.. මං ඔයාට ආදරෙයි.

එවර තිගැස්සී ගියේ මා ය. මා ඔහුගේ අත මත සිර ව තිබූ මගේ අත ඇදගත්තේ ද, ඇය වහා කෙටි බිත්තියෙන් බැස්සේ ද එක ම නිමේෂයේ දී ය. හුස්ම ගන්නා සුපුරුදු රටාව අමතක වී ගියෙන් මම මොහොතක් හුස්ම අල්ලාගෙන උනිමි. දෙවියනි, ඇයට කළ යුතු ආරාධනාව ඔහු මට කරන්නේ ඇයි? ඇයටත් මටත් දෙදෙනාට ම කිසිවක් සිතාගැන්මට ඉඩ නොදී විවේක කාලය නිම වන සීනුව නාදවන්නටත් පෙර ගුරුතුමිය පන්තියට පැමිණියා ය.  

ජීවිතයේ ප්‍රථම වතාවට ඉතිහාසය පාඩමේ දී මට හිත එකඟ කරගන්නට නොහැකි විය. එදා කියා දුන් පාඩම කුමක් ද කියාවත් මට මතක නැත. ගුරුතුමිය කියූ එකදු වදනකුදු මසිතේ සටහන් නොවීය. ඔහු වරින් වර මා දෙස බලනු ද, ඇය කිසිත් නොදොඩා මා පසෙකින් සෙල්රුවක් සේ සිටිනු ද, දැනෙද්දී මසිත් යුද පිටියෙහි තුන් වන ලෝක මහා යුද්ධය පැවැත්වෙමින් තිබිණ.

කල්පයකට වඩා දිගු වූ කාලපරිච්ජේද දෙක අවසන් වූ පසු මගේ දෙපා සීතල ව යන වගකි දැනුණේ. මේසය අද්දර දිදුලන දෑසින් ද, අවුල් වූ කැරළි හිසකෙසින් ද යුතු ව සිටගෙන සිටියේ ඔහු ය. හෙට උදේට මට පොසිටිව් උත්තරයක් ඕනෑ යි කියමින් ඔහු ක්ෂණික ව පන්තියෙන් නික්ම ගියේ ය. කාරණය තේරුම් ගත් අවට මේසවල හුන් සිසු සිසුවියෝ අතපොළොසන් දෙන්නටත්, කෑ මොර ගසන්නටත්, සුබ පතන්නටත් පටන් ගත්හ. ප්‍රහර්ෂයට පත් වනු වෙනුවට කෑ ගසා හඬන්නට තරම් පීඩනයක හුන් මම මගේ අවාසනාවත් මිතුරියත් ඇදගෙන ම පන්තියෙන් පිට වුණෙමි.

අප දෙදෙනා නැවතුණේ අපේ පන්ති කෙළවර වන තැන කොරිඩෝරයේ ය. පැය එකහමාරකට පසු ප්‍රථම වරට ඈ ඇසොසවා මා දෙස බැලුවාය. මෙතෙක් ඇගේ දෑසෙහි පිරී තිබූ කඳුළු කඩා වැටුණේ ඒ මොහොතේ ය. මා නොදැනුවත් ව යටි හිතෙක හෝ ඔහු පිළිබඳ ව යම් තෘෂ්ණාවක් මා තුළ වී නම් මේ ප්‍රාණසම මිතුරියගේ කඳුළු අස ඒ සියලු තෘෂ්ණාවන් මා වෙතින් පලා ගියේය. මම කෙදිනකවත් නොවූ තරම් ආදරයකින් ඈ වැළඳගතිමි.

මං එයාට පැහැදිලි කරල දෙන්නම් උමාලි. අඬන්නෙපා. මං එයා එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ නෑ.

මා කීවේ අටවසක් පුරා එක බත්පත බෙදාගෙන කෑ සෝවුරියගේ උරහිසෙහි හිස රඳවාගෙන ය. ඈ නිමේෂයකින් මා වෙතින් ඈත් වූවා ය.

එපා
ඇගේ වදනෙහි මෙන් ම වතෙහි ද වූයේ තිර බවකි.

එපා. මට කියලත් ආත්ම ගෞරවයක් තියෙනව. එයාට කියන්නෙපා. ඔයාලා තීරණයක් ගන්න. මං ඈත් වෙන්නම්.

මම මහා මවිතයකින් ඈ දෙස බලා උන්නෙමි.


Friendship often ends in love. But love in friendship, never! - unknown

Wednesday, August 10, 2016

මල්හාර - 01

                                                                 
අපි ඉතා ම හොඳ මිතුරන් වීමු. එවකට පාසලේ වඩාත් සවිමත් ම මිතුදම පැවතුණේ අපේ පන්තියේ ය. අප තිදෙනෙකු අතර ය. අප තිදෙනා අතරින් දෙදෙනෙකු ගැහැණු ළමුන් වීමු. අනෙකා පිරිමි ළමයෙකු විය. මිත්‍රත්වයට ලිංගභේදයක් අදාළ නොකරගත් අපි ඉතාමත් සන්තෝෂයෙන් උන්නෙමු. මගේ පාසල් ජීවිතයේ චමත්කාරජනක ම අවධිය වූයේ ද එසමය යි. අප සාමාන්‍ය පෙළ හැදැරූ අවධිය යි.

පාසල කෙළවරේ වූ කොට්ටම්බා ගස යටට වී විවේක වෙලාවට අප තිදෙනා පාඩම් කළේ එකට ය. පන්තියේ දැල් ගසා නොතිබූ බිත්ති මත වඳුරු පැටවුන් තිදෙනෙකු සේ වාඩි වී උන්නේ ද එකට ය. පුස්තකාලයට ගියේ ද, තනි කෙනෙකුට ඔසවාගෙන ආ නොහැකි පොත් ගොඩ ඔසවා ගෙන ආවේ ද එක් ව ය.

නිරතුරු ඇස් මතට කඩා වැටෙන මගේ කෙටි කොණ්ඩය සුරතින් අවුල් කරන්නට ඔහු පුරුදු වී හුන්නේ ය. එවන් මොහොතක අපේ රජ තුන් කට්ටුවේ සිඟිති නොරිස්සුම් මතු වූ බව මට සිහි වන්නේ දැන් ය. අලංකාර ව චිත්‍ර අඳින්නට දැන හුන් ඔහු මගේ වමතේ යමක් සිත්තම් කරන මොහොතක යෙහෙළියගේ දෑස්වල නැගී ආ අඳුරු පැහැය ඊර්ෂ්‍යාවක් යැයි කියවන්නට එකල මා දැන උන්නේ නැත. ඔහු බලෙන් ම මගේ පොත් ටික උස්සාගෙන යන කල ඈ බිම බලා හුන්නේ වේදනාවෙන් බව දැනගන්නට මා වැඩී උන්නේ නැත. එපමණට ම මම අභ්‍යන්තරයෙන් කුඩා දැරියක වීමි.

ඔහු නොපැමිණි එක්තරා දවසක මිතුරියත් මාත් අනෙක් සිසුන් සමඟ කොරිඩෝරය දිගේ පන්තියට යමින් සිටියෙමු.

මට දෙයක් කියන්න තියෙනවායි ඈ එවිට ඇහෙන නෑහෙන හඬකින් කොඳුරා සිටියාය. මවිතයෙන් යුතු ව ඈ දෙස බැලූ මම ඇගේ ඇස් අභ්‍යන්තරයෙහි වූ නැවුම් බව දැක යළි මවිතයට පත් වීමි.

මං කෙනෙක්ට ආදරය කරනවා.. යි ඈ රහසින් මෙන් කීවා ය. 

හොඳින් විභාග සමත් වී අප එකට සරසවි යා යුතු බව මිස අප තිදෙනා කවරදාක හෝ යම් පිටස්තරයන් තිදෙනෙකුට ආදරය කරතියි විවාහ වෙතියි වැනි හැඟීමක් කිසිදා මසිතෙහි ඒ වන තෙක් ඇති වී තිබුණේ නැත. ආලය පිළිබඳ හැඟීම් නවකතාවලින් - කවිවලින් මිස සැබෑ ලෝකය තුළ ඒකපාර්ශ්වික ව හෝ මා අත්විඳ තිබුණේ ද නැත. ඒ විමතියෙන් යුතු ව ම මුත් මිතුරියගේ ආදරය දිනා ගත්තේ කවුදැයි මම මඳසිනාවකින් යුතු ව ඇගෙන් ප්‍රශ්න කෙළෙමි.

ඈ ඉතාමත් හිමිහිට, මට හැර කොරිඩෝරයේ සිමෙන්ති පොළොවටත් නෑසෙන තරම් හිමිහිට ඔහුගේ නම තෙපළුවාය. මම සන්තෝෂයට පත් වීමි. ප්‍රේමය ගැන දැන නොසිටි මට වුවමනා වූයේ මගේ මිතුරන් සතුටින් සිටීම පමණි. අප තිදෙනා අතුරින් දෙදෙනෙකු එකිනෙකාට ප්‍රේම කිරීම මට ගැටලුවක් නොවී ය. එය ඉතා සාමාන්‍ය දෙයක් වනු ඇත. ඔවුන් දෙදෙනා එකිනෙකාට ආලය කිරීම මට ගැටලුවක් නොවේ. මට ඒ දෙදෙනා දෙස බලා සතුටු වන්නට පිළිවන. මා සිතුවේ එසේ ය. ඒත් ඒ එදා ඇය නොකියා කීවේ ඔහු වෙතින් මා ඉවත් වී සිටිය යුතු ය යන්න වග වටහාගැන්මට තරම් මම මුහුකුරා ගොස් නොසිටියෙමි.

ගැහැණු ළමයකු ප්‍රේමය සම්බන්ධයෙන් ඉස්සර වීම අසෝබන යැයි විශ්වාස කළ මිතුරිය යම් දිනෙක ඔහු ම තමන්ට ආදරය ප්‍රකාශ කරන තෙක් ඉවසා සිටින්නෙමැයි කියා මට එදින කීවා ය. මේ ගැන ඔහුට නොහඟවන වගට මා ශපථ කර ගත්තාය. ප්‍රේමය ඇගේ ය. ඉතින් සියල්ල සිදු විය යුත්තේ ඈට වුවමනා විදියට ය. මම ඈට එකඟ වීමි. එහෙත් ඔහු නොමැති තැනක ඔහු ගැන කියා ඈට විහිළුවක් කරන්නට මම අමතක නොකෙළෙමි.

එහෙත් අවාසනාවකට මෙන් ඔහු මගේ මිතුරියගේ ප්‍රේමය තේරුම් ගත්තේ නැත. අප තිදෙන එක් ව ඉන්නා කල මට වඩා ඇයට අවධානය දක්වන්නැයි වචනයෙන් කියන්නට පවා මට විටෙක සිත් විය. ඔහු වඩා රුචි කළේ මගේ ඇසුර ය. අප කතාබහේ යෙදී හුන් මොහොතක ඔහු දඟකාර දිදුළන ඇස්වලින් එක එල්ලේ මා දෙස බලා උන්නේ ය. වුවමනාවට වඩා වැඩියෙන් මා අගය කළේ ය. එවන් මොහොතක මම පීඩාවට පත් වීමි. එහෙත් ඇගේ ඒකපාර්ශ්වික ප්‍රේමය ඔහු දැනගන්නවාට ද ඈ තුළ වූයේ දැඩි අකැමැත්තකි. එහෙයින් මම ඔවුන් දෙදෙනා මැද දැඩි සේ අතරමං වී හුනිමි.


Love is like the wind. You can’t see it, but you can feel it. - Nicholas Sparks

Monday, August 1, 2016

නන්දිතය - සතුට සහ මිනිස්සු

                                 
නන්දිතය මුණ ගැසුණේ අහම්බෙනි. පුස්තකාලයේ කොහේදෝ මුල්ලක තිබී එය සොයාගෙන ආවේ තාත්තා ය. සුනේත්‍රා රාජකරුණානායක යනු ඔහුත්, මාත් දෙදෙනා ම එක සේ ප්‍රිය කරන ලේඛිකාවක බැවින් ඇගේ පොතක් කොතැන තිබුණද අප ඇසට හසු වෙයි. බුද්ධදාසී, කවිකඳුර, සඳුන්ගිර ගිනි ගනියි, සද්ගුණාකාරය, සුබෝධාලංකාරය ඇතුළු ඇගේ පොත් හැමෙකකින් ම පාහේ මසිත මත ඇඳෙන්නේ මේ යැයි කිව නොහැකි තරමේ මනරම් සිත්තම් ය. නන්දිතය වෙනුවෙන් මෙසටහන වෙන් වන්නේ එහෙයිනි.

මෙහිදී මා වඩාත් ම අවධානය යොමු කළේ නන්දිතයෙහි තන්හි තන්හි හමු වන පැණැසි කියමන් කෙරෙහි ය. ඒ හරහා විහිදෙන ආලෝකය ඔස්සේ නන්දිතයෙහි හර අරටු ගැන යමක් ලියන්නට උත්සාහ කළෙමි.
මේ කතාව ගෙතෙන්නේ චීනයෙහි වසන ස්ත්‍රි - පුරුෂයන් කිහිප දෙනෙකු වටා ය. කතාව ඉදිරිපත් වන්නේ ඒ එකිනෙකාගේ දෘෂ්ටි කෝණවලිනි. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට කථකයා වෙනස් වන්නේ එහෙයිනි. එකිනෙකාගේ සංකීර්ණ මනෝභාවයන් හරහා සුනේත්‍රා මනුෂ්‍ය මනසෙහි අනේකවිධ හැඩතල ද, සතුට සොයා මිනිසා කරන සංචාරය ගැන ද දිගු පුළුල් විවරණයක යෙදෙයි.

වරෙක සුනේත්‍රා මෙසේ හෙළි කරන්නේ මානුෂ මනසක සැබෑ ස්වභාවය යි.

කාටවත් කොහාටවත් පැනලා යන්න බෑ. කොහේ ගියත් මිනිස්සුන්ට අමාරු වෙන්නෙ අනුන් එක්ක නෙවෙයි, තමන් එක්ක ජීවත් වෙන්නයි. (11 පිට)

මිනිසුන් එබඳු ය. තම අභ්‍යන්තරය සකසා නොගන්නේ නම් ලොව සිටින යහපත් ම මිනිසුන් ඇසුරට ලැබුණ ද පලක් නැත.

නන්දිත නම් ශ්‍රී ලාංකිකයා චීනයට ගිය කළ ඔහුට චීන ජාතික රියැදුරෙක් හමු වෙයි. නන්දිතට චින කතා කිරීමට නොහැකි සේ ම චීන රියැදුරාට සිංහල කතා කළ නොහැකි ය. එහෙත් ඔවුන් තමන් දෙදෙනාගේ භාෂාවෙන් එකිනෙකාට නොතේරෙන දෑ කතා කරති. නන්දිතට තම ආත්මය දෝරෙ ගලා යන්නට දීමට දැඩි අවශ්‍යතාවක් ඇත. එය නන්දිතට පමණක් නොව ලෞකික ජීවිතයක නිවසන අප කාටත් පොදු ආශාවකි. සුනේත්‍රාගේ වචනවලින් ම කියන්නේ නම් ලය විරේකයකි.

මචං, මටත් ඕන වෙලා තිබුණෙ උඹ වගේ සිංහල දන්නෙම නැති එකෙක් එක්ක අමු හිංගලෙන් කතා කරන්න
 යන ප්‍රකාශය ඊට සාක්ෂ්‍ය දරයි.

චීන රියැදුරා අසන කිසිවක් තමාට නොවැටහුණ ද ඔහු අසන පැනවලින් නන්දිත තමාට රිසි පැන නිර්මාණය කරගනියි.

ලාංකිකයා කැමති වුණේ තමන් විශ්වවිද්‍යාලයක උගන්නවද කියලා ඇහුවා කියලා හිතන්නයි (12 පිට) -     

උනුන්ගේ භාෂාවන් නොදන්නා දෙදෙනෙක් කතා කරන කල දෙදෙනාම සිතා ගන්නේ තමන්ට ඕනෑ දේවල් ය. හතරබීරි කතාව වාගේය. එහෙත් හිස් උගතා සිතන්නේ තමන්ගේ ශ්‍රී විභූතිය ලෝකය ම දැන ගත යුතු බව යි. නන්දිත වෙතින් පිටතට එන්නේ ඒ පැණැසක් රහිත උගතුන්ගේ පුහු අහංකාරය යි. කතුවරිය පවසන පරිදි ම චීන රියැදුරාට ඉංග්‍රීසියෙත්, සිංහලයෙත් වෙනසක් නැති හෙයින් සිය රැකියාව ඩොක්ටර් කිව්වත්, ඇක්ටර් කිව්වත් ටයිගර් කිව්වත් වෙනසක් නැති වග නන්දිත ද නොදන්නවා නොවේ. එහෙත් ඔහු තමා ගැන තමා තුළ ම අහංකාරයක් ගොඩ නගා ගැන්මට කැමති ය. ඔහු අධ්‍යයනය කරන විෂය බෞද්ධ දර්ශනය වීම නිසා මේ හැසිරීම වඩාත් උත්ප්‍රාසවත් ව නැගේ.

කිරණ් නම් ඉන්දීය තරුණිය විටෙක කියන්නේ තමාට හිත පාලනය කර ගත නොහැක්කේ පොත් සාප්පුවක දී පමණක් බව ය. සාමාන්‍ය ජනයා සාමාන්‍ය දේ කෙරෙහි ආශා බැඳ ගනිද්දී විද්වත් බොහෝ දෙනා කියන්නේ තමන් ආශා බඳින්නේ වැදගත් දේ කෙරේ වග ය. සියල්ල ආශාවන් වග එකී විද්වත්තු නොදනිති. සුනේත්‍රාගේ කියමන්වල ඇති දිසෙන - නොදිසෙන හාස්‍යය මෙවන් අතිශය ප්‍රබල එකකි.

සුනේත්‍රාගේ භාෂාව සිත්තමක් සේ ම මනරම් ය. තෙල්මා ලියූ මාරි කොරෙලි ළඟට වචනයෙන් සිත්තම් අඳින්නට වඩාත් ම සමත්කම් දක්වන ලේඛිකාව සුනේත්‍රා යැයි හඟිමි. මතු දැක්වෙන උපුටනය නිදසුනි.

මම බංකුවක හරි පඩියක හරි ගිම්හාන මණ්ඩපයක හරි ඉඳගන්නවා. ඇල ඉවුර දිගටම විලෝ ගසුයි, පොප්ලර් ගසුයි දියට යටින් උයනක් මවලා. දිය යටිනුත් වළාකුලක හැඩයක් අඳුන ගන්න පුළුවනි.

කොළ තොප්පි දාගත්තා වගේ පෙනෙන කලු හංස පවුල් ඇල දිගේ පීනනවා. ඇල අද්දර පාරවල්වල ඇවිදින පෙම්වතුන් හිටි ගමන් නැවතිලා සිප ගන්නවා. මහලු ජෝඩු අතින් අල්ලගෙන හෙමින් ඇවිදිනව. – 50 පිට

සේ ම බොහෝ ඉංග්‍රීසි උගත් ලේඛක ලේඛිකාවන්ට වැළඳෙන ලංකාව හෙළා දැකීමේ පිස්සුව සුනේත්‍රාට නැත. ඈ බෙයිජිංහි උයනක ලස්සන දකියි. ඉක්බිති කියන්නී මුළු ලංකාව ම එක ම විචිත්‍ර උයනක් වග යි.

විවිධ ජාතී ආගම් සංස්කෘතීන්ට අයත් සාහිතකාමී ගැහැණු තිදෙනකු මෙහි වෙති. ඔවුන්ගේ සාහිත සංවාද අතිශය අපූර්ව ය. ඔවුහු බෙයිජිං හි රැකියා නියුක්ත කාර්යබහුල තැනැත්තියෝ වෙති. මුත් ඒ කාර්යබහුල බවත්, පුද්ගලික දිවියේ නේක හැලහැප්පිලි මැදත් ජීවිතය මනරම් ව විඳින්නට ඔවුන්ට අවකාශයත් වුවමනාවත් තිබේ. අන් අය මස් පුච්චා උයන්සාද පවත්වා බී නටන අතරේ ඔවුන් තීරණය කරන්නේ සාහිත්‍ය සාදයක් - කාව්‍යමය රාත්‍රියක් පවත්වන්නට ය.

එයා උයනට යන්නෙ පොතකුත් අරගෙන. හුඟ දවසට ඒක කවි පොතක්. එයා කැමති කවි අපිටත් ඇහෙන්න කියවනවා.

එක දවසක පොද වැස්සක් වැටෙද්දි කිරණ් අපිව බලෙන් නවත්ත ගත්තා.

චුට්ටක් තෙමුණට දිය වෙන්නෙ නෑ. වැස්සෙම රස විඳින්න ඕන කවියක් තියෙනවා කියලා එයා අපිව ගිම්හාන මණ්ඩපයක සෙවණට එක්කන් ගියා.

න්න අහගන්න එකොළොස් වෙනි ශත වර්ෂයෙ සු - ශී කවියගෙ කල්පනාවක්.

වැසි හැල්මෙන් හිස් අහසක් මනකල්
මීදුම් කඳු මතුවෙයි වැස්සෙන් සිහිලැල්
දුලබ සොවා මෙවිල දසුනුත් සිරිහල්
ඇතු නැතුවා සැරසුම් සිරි පිරි සැම කල්

නන්දිත ප්‍රකාශ කරන පහත ප්‍රකාශයෙහි නිදන් ව ඇති ගැඹුර කොපමණ ද?

බුදුවරු වෙන්නෙත් මිනිස්සුම නිසා ඕනම නරක කෙනෙකුට ප්‍රතිපත්ති නෙළුම් මල් එක එක පුබුදුවා ගන්න පුළුවන් වෙන්න ඕන

රොමාන්තික භාවයේ අනතුර බොහෝ දෙනා විස්තර කරන්නේ කටුක දළ වචනවලිනි. සුනේත්‍රා ඉන් එහාට ගොස් රොමාන්තික අනතුර රොමාන්තික වදන්වලින් ම විවරණය කරන්නීය.

මේ දරුවගෙ ආරක්ෂාවට බලවත් තර්ජනයක් තියෙනව. හර්ද වස්තුවට අපලයි. දෙබරෙක් අනින්න ඉඩ තියෙනව. ඒ වගේම මල් හබල්වලින් ඔරු පදින්න ගිහින් ගිලිලා මැරෙන්න පුළුවනි.

ලංකාවේ විවාහ සංස්ථාව තුළ ඇතැම් ස්ත්‍රීන් අත් විඳින පීඩාව ශ්‍රී ලාංකිකයෙකුගෙන් අසා දැනගන්නා බටහිර යුවතියක්, දෙය්යන්ට ස්තූති වෙන්න ඕන අපි ඔය ශ්‍රී ලංකාවෙ ඉපදුණේ නැති එකට යැයි පවසන්නීය. ඒ ප්‍රකාශය මුසාවක් බවට පත් කිරීමට වත්මන් ශ්‍රී ලාංකිකයන් වන ඔබ අප සැමට වගකීමක් තිබෙන වග ද සුනේත්‍රා මතක් කොට දෙයි.

ඒ හා ම, ශ්‍රී ලංකාවේ ඕනෑම ගෙදරකට ගියොත් බත් කන්න එන්නැයි තමන්ට ඇමතූ යුරු විදෙස්ගත තරුණියක පවසන්නේ ආශාවෙනි. මේ තම රටේ යහපතත් - අයහපතත් දෙක ම සුනේත්‍රා පිරිසිඳ දකින අයුරු ය.

නන්දිත යනු නරක ම නරක මිනිසෙක් නොවේ. ඔහු, ඔබ අප සියලු දෙනාගේ අභ්‍යන්තරය හෙළි කරන කැටපතක් බඳු වෙයි. අප හැම තුළ හොඳත් - නරකත් අඩු වැඩි වශයෙන් පවත්නා හෙයිනි.
කවි ලියන, ස්ත්‍රීවාදී චිත්‍ර අඳින, කෑම හදන, ප්‍රිය කතාබහට දක්ෂ මිනිහෙක්.. යනුවෙන් විටෙක විස්තර වන නන්දිත තවත් විටෙක මහා වංචාකාරයෙකු බවට පත් වේ. ඔබත් අපත් විටෙක ඉතා යහපත් වෙනවා සේ ම තවත් විටෙක නරුම ලෙස හැසිරෙන්නේ නොවේ ද? නන්දිතත් - අපත් යනු දෙදෙනෙකු නොවේ. ලිලියානා, බුන්සිරි, කිරණ්,  ශන් - ග ආදී සියල්ලන් ද අපේ ම විවිධ කොටස් ම ය. කළු සුදු චරිත නොව කළු - සුදු පැහැයන්ගේ අළු පැහැති සම්මිශ්‍රණ ය.

භාෂා උගැන්ම පිණිස තාවකාලික ව එකිනෙකාට ප්‍රේම කරනා ඇත්තන් චීනයේ දී අනන්තාප්‍රමාණ ව මුණ ගැසෙයි. ඒ ව්‍යාජයට සුනේත්‍රා පාඨක අපත් සමඟ ම සිනහසෙයි. පවිත්‍ර විය යුතු ප්‍රේමය, පිළිකුල් කටයුතු නිල සබඳතාවක් වීමේ ගැටලුවයි මේ.

බාලු නම් ඉන්දීය ජාතිකයා වරෙක සිය අත්තා තමාට දුන් සදුපදේශයක් සිහි කරයි. එය අපට ම අප ව ම පිරිසිදු කරගනු පිණිස වන පිරිසිදුකාරකයකි. සේදුම්කාරකයකි. සතුට උපදවාගන්නා විධිය පිළිබඳ යතුරකි.

තමන්ට කොයි තරම් නරක වැඩක් කළ කෙනෙක් ගැන හරි වෛරයක් හිතේ තියා ගත්තොත් තමනුත් ඉන්නෙ පිච්චි පිච්චි. නරක මිනිහෙකුට හරි නරකක් වේවා කියලා ප්‍රාර්ථනා කරොත් පිරිසිදුව තියා ගන්න පුළුවන් ළිඳකට හැමදාම අසූචි පොඩ්ඩක් දානවා වගෙයි. ඒක දාන්නෙ අල්ලපු ගෙදර තමන්ගෙ හතුරට ඒ වතුර පොවන්නයි. ඒ වුණාට තමන්ටත් ඒක පෙවෙනවනේ. එහා ගෙදර ළිඳයි මෙහා ගෙදර ළිඳයි යටින් සම්බන්ධයිනෙ.

ඉතිහාසයක් රහිත ඇමරිකානුවන්ට පවා මුල් සොයා යෑමේ වුවමනාවක් ඇති වග සුනේත්‍රා පවසන්නේ ඇමරිකානු අක්මුල් නැති චින්තනයට සිහින් පහරක් ගසමිනි.

ඇමරිකන්කාරයන්ට රජෙක් නැති වුණාට හරි ආසයි අපි චිං රජ පවුලට හරි රාජ සභාවෙ කාට හරි ගෑවිච්ච පවුලකින් පැවතෙනවද කියලා දැන ගන්න.

ශන් - ග නම් චීන යුවතියගේ සීයා අතිශය ආදරණීය වැඩිහිටියෙක් සේ නන්දිතයේ කවුළු තුළින් එබිකම් කරයි. ඔහු සිය මිණිපිරියන් වෙත ප්‍රඥාලෝකය ගෙන එන්නේ නැණසර කවි පබැඳුම් හරහා ය.

හිනා වෙන්න නිදහස තාම තියෙනවා නේද? කවදා හරි ඒක ප්‍රති විප්ලවීය බලවේගයක් කියලා ගුවන් විදුලියෙන් කිව්වොත් හෙම මට කියපල්ලා..

යි වරෙක ඔහු සෝපාහාසයෙන් පිරිසිඳ දකින්නේ චීන දේශපාලනයේ අඬුලුහුඬු තැන් ය.

අර බලපල්ලා අර පායලා තියෙන්නෙ පරණ හඳමද කියලා බලාපල්ලා. මිනිස්සු හඳටත් ගියා එහෙනං. ඒ වුණාට තාම මිනිස්සුන්ට බැරි වුණා මනුෂ්‍යත්වය ඇතුළට යන්න. ඒකට යන්න රොකට් ඕන නෑ. අපේ ඉතිහාසෙ අපේ දර්ශනේ හරියට දන්නවා නං ආයෙ ඇමරිකාවෙවත් රුසියාවෙවත් කාගෙවත් උදව් ඕන නෑ.

මේ පැණවත් වැඩිහිටියෙකුගේ නැණවත්  ප්‍රකාශයකි.
සංසාරය යනු ලෝක වෙළඳ සංවිධානය වැනි දෙයක්දැයි බුදුදහම ගැන මෙලෝ හසරක් නොදන්නා යුවතියක් අසන කල අපට සිනා පහළ වෙයි. එහෙත් සංසාරය ගැන අධ්‍යයනය කොට උපාධි ලද ඇතැම් බෞද්ධ විද්වතුන් ද සංසාරය තේරුම් ගැනීමට කිසිදු වෙහෙසක් නොදරන්නන් නොවේ ද? අප සිනහා විය යුත්තේ කාට ද?

මං ඇහුවෙ නෑ මා ගැන මොනවද කිව්වෙ කියලා. නරක මිනිහෙක් තමන් ගැන කියන දේවල් දැන ගැනීමෙන් මොහොතකට හරි හිත නරක් කර ගන්නෙ මොකටද?
ඔය ළමයා දැන් තමන් ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුස්ස ජීවිතෙක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජිවිතේ දිහා බලන්න ගන්න.

මෙබඳු සන්තුෂ්ටි ගවේෂණය පිළිබඳ සදුපදේශ නන්දිතයෙහි තන්හි තන්හී හමු වෙයි.
නන්දිතයෙහි අවසාන භාගයෙහි දී කිරණ් සහ බුන්සිරි නම් ආසියාතික යුවතියන් දෙදෙන අතර ඇති වන මතු දැක්වෙන සංවාදය සමස්ත කෘතියෙහි පැණැස එකට කැටි කිරීමක් බඳු ය. සකල ලෝවැසි ස්ත්‍රී පුරුෂයන් සිය අභ්‍යන්තරය කැණ ආධ්‍යාත්මික සතුට ළඟා කරගත යුතු මඟ නම් මේ යැයි එකී වදන්වල කැටි ව ඇත්තාක් සේ ය.

අපි ව ප්‍රතික්ෂේප වීමෙන් අපිට අහිමිවෙන දෙයක් නෑනේ.
අහිමි වෙනවා නං අපේ ආඩම්බරය විතරයි.
ඒක යට කරන්න මනුෂ්‍යත්වයට ඉඩ දුන්නම එක පාරට අමාරු වුණත් පස්සෙ සඳුන් කල්කයක් ගා ගත්තා වගේ පිච්ච මල් වතුරෙන් හේදුවා වගේ දැනෙයි..

මෙබඳු පැණැසි ගමනක කෙළවර ගුවන්යින් නම් බුදුවරිය සමඟ කෙරෙන සංවාදයකිනි, නන්දිතය කෙළවර වන්නේ. මේ ලිපිය ද ඉන් කෙළවර කරන්නේ එය‍ අප හැම දෙනාගේ ජීවිතවලට අපූරු පාඩමක් යැයි සිතන බැවිනි. මන්ද බුදුවීම යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් වීම පමණක් නොවේ. ඉන් මෙහා ඇති අවබෝධය ලබා ගැනීම නම් බුදුවීම ඔබටත් - මටත් පහසුවෙන් කළ හැකි දෙයක් වන හෙයිනි.

හිනාවෙන්න බැරි මිනිස්සු බුදු වෙන්නෙ නෑ.
ප්‍රතික්ෂේප වීමට බය මිනිස්සුන්ට හිනා වෙන්නත් බෑ.