Wednesday, October 26, 2016

Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි

දෙවෙනි ලෝක යුද්ධය කාලෙදි පෙම් හසුන් හුවමාරු වෙද්දි ලිපිවල අග සටහන් වුණ ජනප්‍රිය ම වචනයක් තමා SWAK.. පෙම්වතා ඈත යුධ බිමේ ඉඳන් පෙම්වතියට ලියා එවූ මේ කෙටි අකුරු හතරෙ අදහස වුණේ, අපි කවුරුත් දන්න විදියට "Sealed with a kiss..  - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි." කියන පණිවිඩය. උමතු අධිරාජ්‍යවාදයෙ අකාරුණික ගොදුරු බවට පත් වෙලා උන්නු - කොයි මොහොතක තමන් දෙදෙනාට එකිනෙකා අහිමි වේද යන්න නොදත් පෙම්වතුන් ලක්ෂ ගාණනකගෙ මේ ප්‍රාර්ථනය වැසි දැරියගෙ හිත උඩ අමුතු සිත්තමක් ඇඳපු වචන පෙළක්..

එ් වචන ටිකට මේ තරම් ආසා කරන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ, ජේසන් ඩොනවන්ගේ Sealed with a kiss කියන ඒ වදන් පදනම් කරගෙන ලියැවුණු සින්දුව වැසි දැරියගේ ප්‍රියතම ගීයක් වීම. එගීයෙන් හිත පත්ළෙ ඇඳෙන්නෙ පාලුවත් එක්ක මුසු වුණ අනන්තාපරිමාණ ආදරයක්. යුධ බිමේ සටන් වදින පෙම්වතා ගව් ගණන් දුරක සිටින පෙම්වතියට සිය ප්‍රේමය මුදු හාදුවකින් මුද්‍රා තබා යවන අන්දම වැසි දැරියගේ වැහි වැටෙන හිතට දරා ගත නොහැකි තරම් ප්‍රේමණීයයි. 

මතක පොදියක් අස්සේ හැඟවිලා තිබුණ ඒ ගීය වැසි දැරියට අලුතින් මතක් කරලා දුන්නෙ සිත්තමී අක්කා. ඈ මෑතක දී ලියා තිබුණ ලිපියක සටහන් ව තිබූ මේ අපූරු වචන ටික යළිත් වරක් හිතට සමීප වුණේ ඈ නිසා වග, වැහි වැටෙන තැන ලියා තබන්නේ විසල් ස්තූතියක් සමඟින්.. 

මේ වචන ටික සටහන් කරන මොහොතෙත් ජේසන් මට ඇහෙන්නට සීල්ඩ් විත් අ කිස් ගයනවා. හැකි නම් ඔබත් අහන්න..



ගෙවී යන ගිම්හානය කොතෙක් හුදෙකලා වන්නක් දැයි දැන දැන ම ඒ පාලුව තමා උහුලන බැව් ඔහු සිය පෙම්බරියට දන්වා යවනවා. ඒ දිනපතා ම සිය ප්‍රේමය, හාදුවකින් මුද්‍රා තබා ඈ වෙත යැවීමෙන්.. 

ඔහු උණුසුම් හිරුඑළිය යට ඈ ව දකීවි. හැම අතින් ම ඔහුට ඇගේ කටඅඬ ඇහේවි. ඈව වැළඳගනු රිසින් ඔහු ඇය ව සොයාවි. ඒත් ඒ සියල්ල ම මායාවක් පමණයි. ඇය කොතැනකවත් නැහැ. එය එසේ වේ යැයි දැන දැන ම ඔහු නපුරු ගිමත් කාලයේ දී ඇගෙන් සමු ගන්නවා, සමුගත යුතු වන නිසා. රණ බිමට යා යුතු වන නිසා.. 

ප්‍රේමාන්විත යුවළකට එකිනෙකාගෙන් සමුගන්නට වීම කොතෙක් දුක්බර කාරණයක් ද? සියල්ලටම වඩා, ඒ වෙන් වීම සිදු වන්නෙ තමන්ගේ වුවමනාවෙන් නොවෙයි නම්. සමාජමය කාරණයක් නිසා නම්. විශේෂයෙන් ම යුද්ධයක් නිසා නම්.. ඒක කොතරම් කණගාටුදාකද කියා අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ..

කතාවක් තියෙනවා තමයි, All is fare in love and war කියලා. ඒත් වැසි දැරිය ළදැරියක කාලේ එය පිළිගත්තේ නැහැ. ආදරයේදීවත් යුද්ධයේදීවත් සියල්ල සාධාරණ වන්නේ නැහැ. කොතැනකදීවත් අසාධාරණ දෙයක් සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ඒ පාඨය ඉගෙන ගත් බිළිඳු අවදියේ පටන් මගේ හිතට වද දුන්නු කාරණයක්..

සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. 

සාධාරණය හෝ අසාධාරණය ගැන කතා කිරීමටවත් යුද්ධ ඇති නොවෙනවා නම් කොයි තරම් අපූරුද? 
යුද්ධ හටගන්නෙ කොතෙක් පටු පරමාර්ථ මත ද.. මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රියාත්මක වෙන ආගම් අනිසි ලෙස ප්‍රචාරය කරන්නට යාමෙන්.. සියල්ලන්ටම අයිති මහපොළොවෙ කෑලි කෑලි බෙදා වෙන් කරගන්න යාමෙන්.. නිර්ධන පාන්තිකයන් අසීමිත ලෙස තලා පෙළා පොඩි කර දැමීමෙන්..

මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න.. ඇත්තටම සාධාරණ හේතුවක් මතවත් යුද්ධ ඇති වෙන්නේ නැති වෙයි..

ආදරයෙන් පිරුණු ලෝකයක සියලු දෙනා සමාන නිසා.. සියල්ලන්ට සාධාරණය ඉෂ්ට වන නිසා..

කවදාක හෝ ආදරයෙන් පිරුණු ලෝකයක් බිහි වුණොත් පෙම්වතුන්ට සිය ලිපිවල හාදු මුද්‍රා තැබීමට වුවමනා වන එකක් නැහැ. ඔවුන්ට හැකි වේවි, උනුන්ගේ ජීවිත හැබෑවට ම හාදුවලින් සහ ප්‍රේමයෙන් මුද්‍රා තබා ගන්නට..

Sunday, October 16, 2016

සිනමාහල් ප්‍රේමය සහ ඒ අකුරු හතරේ තේරුම..

පාසල් කාලයෙන් ඉක්බිති නොඑක් සරසවිවලට බෙදී විසි වී ගිය අපට එක් වන්නට ලැබෙන්නේ කලාතුරකින් දවසක ය. එහෙයින් මාත් තාත්තාත් මගේ මිතුරියන් තිදෙනෙකු සමඟ සිනමා පටයක් නරඹන්නට තීරණය කළේ අහම්බෙන් ය. සිනමාපටය හොඳ යැයි හිතා බලන්නට ගිය ද ඉන් බලාපොරොත්තු වූ සමාජ ශෝධනය නම් කිසිසේත් ම ඉටු වී ඇත්තේ නොවේ. එහෙයින් ඒ ගැන කතා නොකර ම සිටීම වඩා හොඳ ය. සිනමා පටයක් වේවා, නවකතාවක් වේවා, මොනයම් ම අන්දමේ නිර්මාණයක් වේවා, පවතින සමාජය උසස් කිරීමට දායක විය යුතු යැයි විශ්වාස කරන වැසි දැරියට ඒ ජාතියේ නිර්මාණ දිරවන්නේ නැත. එහෙයින් ඒ ගැන කතා නොකරමි.

මට කියන්නට වුවමනා වූයේ එය නොවේ. වැහි දැරිවිගේ මිතුරියන් අතිශයින් ම කලට වේලාවට වැඩ කරන පිරිසක් වීම හේතුවෙන් තාත්තාටත් වැහි දැරිවිටත් පැය බාගයක් පමණ චිත්‍රපට ශාලාව ඉදිරිපිට රස්තියාදු වෙන්නට සිදු විය. අප එතැන සිටි ඒ මොහොතේ බොක්ස් ටිකට්පත් මිළ දී ගැනීමට පැමිණි පෙම් ජෝඩුවලින් සියයට අනූනමයයි දසම නමයක් ම අවුරුදු දොළහ - දහතුන තරම් ළාබාල වයසේ ළමුන් ය. අඩුම තරමේ ඔවුන් සාමාන්‍ය පෙළ කරන වයසකවත් උන් පෙම්වතුන් නොවේ. දැලි රැවුලවත් මෝදු නොවූ කොල්ලන් ද - ඇඟපතවත් හරියට නොවැඩුණු කෙල්ලන් ද බොක්ස් ටිකට්ස් මිළ දී ගන්නා ආකාරය ඇත්තෙන් ම මා තුළ මවිතයක් ඇති කළේය.

වැසි දැරිය ආදරය දකින අන්දම වෙනස් ය. ඒ බව පිළිගනිමි. ඒ විදියට අවට ලෝකයා ආදරය කළ යුතු යැයි මා කිසිසේත් ම සිතන්නේ ද නැත. අපේ ලෝකය තුළ ආලය යනු අපට සංසාර බන්ධනයකි. උනුන් උදෙසා සේ ම ලෝකය උදෙසා කැප වීමකි. ප්‍රේම කරන අතරේ සමාජය ද තැනිය යුතු ය යන ආකල්පයෙන් වැඩ කරන අප මෙන් අන් අය සිතිය යුතු යැයි මා අපේක්ෂා කිරීම අතිශය අසාධාරණ ය. ඒ බව ද පිළිගනිමි. මන්ද, එක් එක් පුද්ගලයන්ගේ සමාජ වටපිටාවන් එකිනෙකට වෙනස් වන හෙයිනි. අප පවා ආල වඩන යන තේරුම බෝසත්කම කියා සිතන්නේ නැත. අපට ද ආදරය තුළ ලෞකික අපේක්ෂාවන් තිබේ. එහෙත් ඒ අපේක්ෂා සංයමයකින් තොර ව, දුවන්නන් වාලේ දුව ගොස්, මොහොතකින් සංසිඳවා ගැනීමේ පිස්සුව ආදරය යැයි මම විශ්වාස නොකරමි. 

යුවතියක විසින් තෝරා ගත යුත්තේ ඉඩ ලැබෙන පළමු මොහොතේ ම ඇගේ සලුපිලි මුදන්නට සැරසෙන තරුණයෙකු නොවේ. කිසිම කෙල්ලක් පෙම්වතා තමාට අහුමුලුවලට හෝ හෝටල් කාමරයකට හෝ රිංගන්නට කතා කරනු ඇතැයි ඇතැයි සැකමුසුව සිටිය යුතු නැත. ඇයට ඔහුගේ අතේ එල්ලී නිදහසේ ගමන් කළ හැකි විය යුතු ය. හිතේ සැකයකින් තොර ව ඔහු හා ඕනෑ තැනක යා හැකි විය යුතු ය. පෙම්වතෙක් යනු ගණිකාවක් සොයා එන කෙනෙකු නොවේ. තවත් ජීවිතයකට පෙම් කරන්නෙකි. ඒ ජීවිතය අප්‍රමාණ ආදරයකින් සුරකින්නෙකි. එසේ ම පෙම්වතියක යනු තවත් ජීවියෙකුගේ අතේ ඇති මුදලට, ඔහුගේ වාහනයට ආදරය කරන්නියක් නොවේ. ඔහුගේ හදවතට ප්‍රේම කරන්නියකි. 

ආදරය යනු අනන්තාපරිමාණ ඉවසීමකි. කැපවීමකි. ජීවිත කාලයක් පුරා ජීවීන් දෙදෙනෙකු විසින් එකිනෙකාගේ සිරුරට සහ හදවතට අවංක ව බැඳී සිටීමකි. එවන් බරපතළ සත්තාවක් අට-නවය පන්තිවල ළමුන්ට වටහා ගත හැකි ද යන්න කල්පනා කරමින් අපි බියපත් ව මේ ළමා ජෝඩු දෙස බලා උන්නෙමු. ඔවුන් මේ වියදම් කරන්නේ සිය මව්පියන් දහදුක් විඳ ටියුෂන් පන්ති ගාස්තු ලෙස අතට වඩම්මවනා මුදල ය. ෆිල්ම් එක බලන්නේ ඒ මුදලිනි. සිප්සතර හදාරා වෙහෙසතැයි උණු වූ ළයින් යුතු ව මව්වරුන් උදෑසන නැගිට සිය දියණියට හෝ පුතුට බැඳ දෙන බත් මුල ඔවුන් කන්නේ චිත්‍රපටියක් බලා ඉක්බිති කොහේ හෝ අහුමුල්ලක ඇති අවන්හලකට රිංගා ගෙන ය. සිය පාසල් නිළ ඇඳුම් පිටින් ම අවන්හල් ගානේ අත් පටලවාගෙන රස්තියාදු වෙන පෙම්වතුන් ඕනෑ තරම් මම නුගේගොඩ අවට දැක ඇත්තෙමි. 

තාත්තාත් මාත් ඔවුන් දෙස බලා උන්නේ කළකිරීමකින් නොවේ. දුකකිනි. විවාහයකින් කෙළවර වෙතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකි මේ ශාරීරික බන්ධන - අරටුවක් නැති ෆැන්ටසි බන්ධන ගැන කල්පනා කරමින් ඉන්නා කල වැහි දැරිවිගේ මිතුරියෝ ද සිනමාහලට ළඟා වූහ.

එතැන පොදි කකා උන් අවුරුදු පහළවක්වත් නුවූ තරම් ඉතා ළාබාළ පෙනුමැති පෙම්වතුන් යුවළක් දෙස බලා උන් මගේ මිතුරියක් සුසුමක් හෙළා මෙසේ කීවා ය.

"මගේ කොල්ලා කවදාවත් මෙහෙම තැනකට යන්න මට කතා කරලා නැහැ වැස්ස. අපි හැමදාම මුණ ගැහෙන්නෙ මිනිස්සු යන එන එළිමහන් තැන්වල. අන්ධකාර අහුමුළුවල නෙමේ. අපි කතා කරන්නෙ බරක්පතළක් සහිත දෙයක් ගැන. මේ ලෝකෙ තියෙනවට වඩා යහපත් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ ළමයි ආදරේ කියන්නෙ මොකක්ද කියලාවත් දන්නව ඇති ද වැස්ස... අඩුම තරමෙ ඒ අකුරු හතරෙ තේරුම?"

Monday, October 10, 2016

නපුරු කොළඹ, ලස්සන අතීතය සහ ඉන්න තැන හිඳ සඳ බැලීම


මං සැනසිල්ලෙ නිදහසේ වාඩි වෙලා ඉන්න ආස තැන් මහ ගොඩක් තියෙනවා. මහ කළුවර රැයක රුවන්වැලි සෑ මළුවෙ වාඩි වෙලා අහස පසුබිම් කරන් පේන සෑ රදුන් දිහා බලන් ඉන්න තමා වඩාත් ම ආස. දෙවනු ව, ශ්‍රී මහා බෝධිය ළඟ - හැබැයි සෙනඟ නැති දවසට. තෙවනුව, නුවර වැව අයිනෙ සීතල සුළඟ හමන උදා වරුවට.. තව මහ ගොඩක් දේවල් තියෙනවා. දියවන්නා රක්ෂිතය අද්දර අර පඳුරු ගැහෙන ගොහොරු බිම් ආසන්නයෙ සියක්කාරයන්ගෙ කටඅඬ අහමින්.. වැඩිය සෙනඟ නොඑන ගස්වැල්වලින් වට වුණු අවහන්හල්වල කාලෙ කමින් ඉන්න.. ගෙදර ඔක්කොම විදුලි පහන් නිවා දාලා ගෙවත්තෙ තණකොළ බිස්සෙ ඉඳගෙන හඳ දිහා බලා ඉන්නත්.. ඒ වගෙම සැන්දෑ වරුවක කොහේ හරි මනරම් වටපිටාවක බංකුවක වාඩි වෙලා ඉන්නත්... 




උපන් දා පටන් ජීවත් වෙන කොළඹ අවට නම් නිදහසේ පිරිසිදු හුස්මක් ගන්න තරමක් අපහසුයි. උස ගොඩනැගිලිත් - පාර පුරා ධාවනය වන රථවාහනත් අතරෙ කවර නම් නිදහසක් ද? ඉඳහිටක හරි ජීවිතය විඳින්න හිතාගන ගැමි පරිසරයක ඇවිදින්න යන්නෙ ඒ නිසයි. එතකොට දැනෙන සතුට සැනසිල්ල කවදාකවත් නගරයෙ කිලුටු වෙච්ච හුළඟ ආශ්වාස කරලා ලබන්න බැහැ. ඒත් ඉතින් මොනවා කරන්නද.. නාගරික ජීවිතේට කොයි තරම් අකැමැති වුණත් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ නගරයෙ නම්..

ඉස්සර නම් වැසි දැරියගෙ ගෙදරත් වටපිටාව හරි නිස්කලංකයි. ගෙවල් ගොඩක් වෙනුවට තිබුණෙ ගස් ගොඩක්. ගෙදර වටේටම ගස් වැල් කැපිලා - හිස් ඉඩම් විකිණිලා - අලුත් ගෙවල් හැදෙන කොට වැසි දැරියට කෑ ගහලා අඬන්න තරම් හිතෙනවා. වැසි දැරියත් එක්ක කතා කරන්න පුරුදු වෙලා උන්න ගස් යෝධ දැති රෝදවලට අහුවෙලා බිමට වැටුණ දවසෙ පුංචි අම්මත් මාත් ඒ දිහා බලන් උන්නෙ අඬන්න බැරිකමට. නෑනා නිවාඩුවට ගමේ ඉඳල ආවම ඒ ගස් යට අපි දවස් කීයක් සෙල්ලම් කරන්න ඇතිද.. බට්ටො පනින්න ඇතිද.. ඒ ගස් කඳන්වල උන්න ගොලුබෙලි යාලුවො එක්ක කතා කරන්න ඇතිද.. අද ඒ ගස් යාය තියෙන තැන තියෙන්නෙ මහ විසාල ගෙවල් දෙකක්. ඒ ගෙවල්වල පදිංචිකාරයොත් ඒ තරම් සුහද සම්බන්ධතා පවත්වන්න නම් කැමැත්තක් ඇති වගක් පෙනෙන්නෙ නැහැ. ඉස්සර ඒ ගෙවල් තියෙන තැන තිබුණ ගස් ඊට වඩා ආදරණීය විදියට මිනිස්සුත් එක්ක සම්බන්ධ වුණා. ඒත් ඉතින් මොනවා කරන්නද.. අපි හැම දෙනාම අඩු වැඩි වශයෙන් යාන්ත්‍රීකරණයට ලක් වෙමින් ඉන්න කාලයක මේ විදියටවත් මිනිස්සු මානව සම්බන්ධකම් පවත්වනවා ඇති..

ඔහොම අජීවි මිනිස්සු ඉන්න අජීවි වටපිටාව ගැන වෙලාවකට වැසි දැරියට කණගාටුයි.. හරියට කෑ ගහලා සින්දුවක්වත් කියන්න බැහැ. ඒ තරම් කිට්ටුවෙන් අවට ගෙවල් දෙක තුනක් පිහිටලා තියෙන්නෙ. රොබෝ කෙනෙක් වාගෙ ගේ ඇතුළටම වැදිලා ඉඳලා එපා වෙන මොහොතක ඒ ගැන අවලාද කියන වැසි දැරියට තාත්තා නිතරම කියන කවියක් තියෙනවා. මට මතක හැටියට ඒ කවිය තිබුණෙ ලක්ෂ්මන් පියසේන කවියාගෙ නිවෙන මිහිර කියන කවි පොතේ..

නිදි නැති සිතිවිලි ලිහා
එළිමහනට විසි කළා
ඉන්න තැන ම ඉඳගෙන හරි
බලන්න ඔය සඳ දිහා..