Tuesday, December 13, 2016

ඔව්.. මං ලලිතා වගෙ තමයි..!

කලකට පෙර ලියූ මල් පොකුරු, ආබරණ සහ ළඳබොළඳකම් වෙනුවට.. කියන ලිපියේ වැහි දැරිවි, ලලිතා ගැන පොඩි සඳහනක් කළා. ඈ මගේ වීරවරියක්. ඒ ලිපියට හිතවතියක් දැමූ කමෙන්ටුවකින් අසා තිබුණා වැහි දැරිවිව ලලිතා වගේ මවා ගන්නද කියලා..

ඒ ප්‍රශ්නයට පිළිතුර, ඔව්! ඒ විදියටම මවාගන්න.. ඒක මට විසල් ගෞරවයක්..!

ලලිතා කියන්නෙ තාගෝර්ගෙ මනෝ විශ්වයේ මැවුණු සුන්දර ම පහන් තාරකාවක්. ඈ ඉන්නෙ ගෝරා පොතේ. ගෝරාගෙ සහෘද මිත්‍රයා, විනයගේ හිත දිනාගන්න අපූරු යුවතියයි, ලලිතා.

ඈ මුරණ්ඩුයි. අතිශය මුරණ්ඩුයි. විප්‍රකාර සම්ප්‍රදායන්ට අනුව ජීවත් වෙන්න ඈ අසමත්. ඈ ජීවත් වෙන්නෙ නිවැරදි විදියට. ගමන් කරන්නෙ නිවැරදි මාර්ගයෙ. ඒත් ඒක මුග්ධ සම්ප්‍රදායන් අතහරින ලද ගමනක්. ඒ වගෙම යහපත් සම්ප්‍රදායන් අත් නොහරින ලද ගමනක්. වැසි දැරිවිත් ඒ වගේ. සම්ප්‍රදාය තුළ අතහැරි යුතු දෙය අතහරිමින් මං සම්ප්‍රදායෙ ඇති සුන්දර - යහපත් ආකල්ප - හැසිරීම් රටා රැක ගන්නවා. 

ගෝරා පොත හරහා අපේ හිතේ මැවෙන ලලිතා හීන්දෑරි, කොණ්ඩෙ දිග කෙල්ලක්.. ලලිිතා විතරක් නෙමේ තාගෝර්ගේ කොයි පොතෙන් මැවෙන්නෙත් ඒ වාගෙ කෙල්ලන්ව. බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් සුන්දර කෙල්ලන්ව. අභ්‍යන්තරය සුන්දර කර ගැනීම කොතෙක් අපහසු කාර්යයක් වුණත් ලලිතා වගේ වෙන්න ඇත්නම් කියා හිතෙද්දී සුපිරිසිදු ආධ්‍යාත්මයක වටිනාකම වඩ වඩාත් දැනෙන්නට පටන් ගන්නවා. 

ඒ වාගේම ලලිතා, ආදරය වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්නට සූදානම් යුවතියක්. විරළ ගණයේ පෙම්වතියක්. විනය ලලිතා වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම් වෙද්දී ලලිතාත් විනය වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම්. ප්‍රේමය යනු කුමක්දැයි කියාවත් නොදන්නා ප්‍රාථමික පන්තිවල උන් කාලයේදී පවා ප්‍රේමය අප්‍රමාණ කැපවීමක් ලෙස කියැවූ වැසි දැරිවි ඒ අතින් ලලිතාට බොහෝම සමානයි. ඒ වගෙම කොපමණ දුකකදිවත් කඳුළු සලන්නට අකැමැති කෙල්ලක ලෙස තාගෝර් වරෙක ලලිතා ගැන සඳහන් කරනවා. ලෝකය ඉස්සරහ එක ම කඳුළක්වත් නොහෙළා ඕනෑ ම වේදනාවක දී ඉවසා දරා හිඳ කවුරුත් නැති තැනක පමණක් වැළපෙන්නටයි වැසි දැරිවියත් කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙලා ඉන්නේ.

තවත් කාරණයක්.. මේ සුන්දර කෙල්ල ස්ත්‍රීත්වය පිළිබඳ ව ආසියාවේ ඇති ඇතැම් සම්ප්‍රදායික ආකල්ප බරපතළ ලෙස ඉක්මවා යන කෙනෙක්. ගෝරා පොතේ තාගෝර් එක් තැනක සඳහන් කරන, "ගෑණු උදවිය ගෙදර දොර ඉවුම් පිහුම්, පිටි කෙටීම් වගේ දේවලට සීමා කරලා පහත් තත්ත්වයෙන් බැලීමෙන් අපි අපේ මුළු රටම පහත් තත්වයට පත් කරනවා. පුරුෂයා තමයි ශක්තියේ අනාවරණය කළ අංශය. ඒ වුණත් ඒක උසස්ම තත්වය නොවෙයි. ස්ත්‍රිය ශක්තියේ අනාවරණය නොකළ අංශය." යන ස්ත්‍රිය පිළිබඳ ආලෝක ප්‍රකාශය ඒ පොත තුළදී සිය ජීවිතයෙන් ඔප්පු කොට පෙන්වන ස්ත්‍රිය වන්නේත් ලලිතායි. ලලිතා යනු අනාවරණය නොවූ ශක්තිය සමාජගත කරනු පිණිස ම ගුරුදේව් තාගෝරයන් අතින් මැවුණු කෙල්ලක් ද කියාත් මා මගේ මිතුරියක් සමඟ වරෙක සාකච්ඡා කළා. කතා නායිකාව වන සුචරිතා ඉක්මවා ගොස් සිය හදවත ස්පර්ශ කරන්නේ ද ලලිතා වග තාත්තාත් මා සමඟ පවසා තිබෙනවා. යහපත් සමාජයක් ගොඩ නගනු පිණිස කලාවෙන් ද - කතාවෙන් ද - ආකල්පයෙන් ද විප්ලවයක් කරන ලලිතා ඉන්දියාවෙන් අපට හිමි වන සුවිශිෂ්ට ආදර්ශ රූපයක්. ඒත් ඉන්දියාවේ ශිවන්‍යාගේ නයි නැටුම් නරඹන ලංකාවේ ළඳුන් කොතෙක් දුරට ලලිතාව ආදර්ශයට ගනීද යන්න ගැන නම් වැහි දැරිවිට සාධාරණ සැකයක් තියෙනවා..

ඒ වාගේ ම ලලිතා සමාජ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇත්තියක්. ඕනෑ ම කෙනෙකු අතින් තමා උපන් සමාජයට ඉටු විය යුතු මෙහෙවරක් ඇත්තේය යන්න ඇය විශ්වාස කරනවා වාගේම ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. මෑතක දී නැරඹූ එක ම සිංහල ටෙලිනාට්‍යය වූ බොහීමියානුවා ටෙලි කතාවේදී උමාලි තිලකරත්න සහ සජිත අනුත්තර අතර වූ දෙබසකත් මේ වග මෙසේ සඳහන් වුණා මතකයි - "මැරෙන්න කලින් මේ මහ පොළොව මත ඉපදුණු ණය ගෙවලා අවසන් කරන්න ඕනි.." ඒ වදන් හා සමපාත ව ඊට වසර ගණනකට කලින් ගෝරා නවකතාවෙන් මේ සත්තාව සමාජගත කෙරුණා. තවමත් පුළුල් සමාජ කාර්යයක නිරත වන්නට තරම් වැහි දැරිවි මුහුකුරා නොගියා වුණත් ලෝකය වෙනුවෙන් යමක් කළ යුතුය යන්න අපේ වටපිටාව තුළ අපි නිරන්තරයෙන් කතා කරනා දෙයක්..

මං ලලිතා තරම් යහපත් යුවතියක් නොවන වග හොඳින් ම දැන උන්නත් ඔන්න ඔය වගේ කාරණා ගණනාවක් උඩ, මාව ලලිතා ලෙසින් මවාගැනීම මට මහා විසල් ගෞරවයක්..

ලලිතා ම නූනත් ලලිතා වගේවත් වෙන්නට උත්සාහ කරන මට ඒ හඳුන්වා දීම, ඇත්තමයි.. මහමෙරක් තරම් ඉස්තරම්..!

Friday, December 2, 2016

ගමේ මතක - වතුර ටැංකිය + සහෝදරකම්..

කොළඹ ක්ලෝරීන් වතුරෙන් නෑවම දැනෙන හැඟීමට වඩා සම්පූර්ණ වෙනස් හැඟීමක් එක්ක මම හීතල වතුරේ බැහැගෙන ඉන්නේ හුඟක් වෙලාවක ඉඳන්.. 

නෑනා නම් තාම වතුරට බැස්සෙ නැහැ.ෂැම්පු ගෙනෙන්න කඩේට යවපු නගා එන තුරු ඈ ටැංකියෙ ගැට්ට උඩට වෙලා ඉඳගෙන ඉන්නවා. 

අන්න එනවා.. ඈ කියන්නෙ ඇස් පියාගෙන කල්පනා කරමින් ඉන්න මට ඇහෙන්න. අම්මලාගෙ මහගෙදර බිම ඇතිරුණ සුදු වැලි මත පොඩි නෑනගේ බයිසිකලේ රෝද ඇතිල්ලෙන සද්දෙට මං ඇස් අරිනවා. කෙල්ල බයිසිකලේ එනවා නෙමේ පියාඹනවා. වැලි පොළොව දිගේ වේගෙන් ආපු බයිසිකලේ ටැංකිය ගාව නතර කරලා ඈ ෂැම්පු එක දෙන්නේ අක්කා අතට.

නාලා ඉවර වෙලා වර්ෂක්කා මට චිත්‍රයක් ඇඳලා දෙන්න ඕන..

පොඩි එකාගෙ ඉල්ලීමට මං එකඟ වෙන්නෙ හිනාවක් පාමින්. වැහි දැරිවි ගෙදරදී චිත්‍ර අඳින්නෙ කළාතුරකින්. ඉසිඹුවක් ලැබෙන වෙලාවට චිත්‍රයක් නොඇඳ අන්තර්ජාලයෙ සැරිසන්න පුරුදු වෙලා ඉන්න වග මතක් වෙද්දි හිතට දැනෙන්නෙ කණගාටුවක්. පොත්හලකට ගියත් පොත් රාක්ක අතරටම පය ඇදෙනවා මිසක පාට පෙට්ටියක් ගන්න මතක් වෙන්නේ නැහැ. පොත්හලෙන් එළියට බැහැලා ගෙදරත් ආවට පස්සෙ තමා දියසායම් හීනයක් තිබුණා නේද කියලා මතක් වෙන්නෙ. සිත්තර ජීවිතේ ගැන තිබුණ ආසාව ඒ තරමට ම හිතෙන් පළා ගිහින් කියා හිතෙද්දි දුකයි. ඒත් මාස පහ හයකට සැරයක් ගමේ ගියාම මාමාගෙ පුංචි හුරතලී මගේ සිත්තර අපේක්ෂාවන් ඔක්කෝම එළියට ඇදලා ගන්නවා. කෙල්ලටත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. පොඩි එකී මං ඇඳලා දෙන චිත්‍ර මනරම් ව පාට කරද්දි ඈ වෙතින් වැසි දැරිය දකින්නේ වැසි දැරියගේ පුංචි අවදිය. කොළඹ යන්න කලින් කෙල්ලට පාට පැන්සල්, දියසායම්, චිත්‍රපොත් අරන් දීලා යන වැසි දැරියගේ අම්මටත් මතක් වෙනවා ඇත්තෙ පාට කූරුවලින් - ෆැබ්රික් පේන්ට්වලින් පිරිච්ච වැසි දැරියගේ බාල කාලේ තමා..

චිත්‍ර අඳින්න පුළුවන් පස්සෙ.. දැන් යනවා ගිහිල්ලා පාඩමක් බලාගන්න..

ලොකු නෑනා තමුන්ගෙ ජ්‍යෙෂ්ඨ භාවයේ ආධිපත්‍යය පතුරුවමින් පොඩි නෑනාව එතනින් පන්නලා දාන්නෙ මෙතන හිටියොත් කෙල්ල හෝම්වර්ක් නොකර වතුරේ නටන්න පෙළඹෙන බව දන්න නිසයි. ඊළඟ මොහොතෙ ලොකු නෑනා කණ්ඩියෙන් මෙහා පැත්තට පැනලා වතුර ටැංකියට බහිනවා. 



මේ වතුර ටැංකියටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. මට මතක ඇති කාලෙ පටන් අම්මලාගෙ මහගෙදර මිදුලේ කොහොඹ ගස් හෙවණ යට මේ ටැංකිය තිබුණා. ඒක මධ්‍යම ප්‍රමාණයෙ සිමෙන්ති ටැංකියක්. හතරැස් හැඩයෙ මේ ටැංකිය ඇතුළෙ අඩි පහක් උස කෙනෙක් හිටගත්තම බෙල්ල ගාවට වතුර පිරෙනවා. අපේ ගෙදර කවුරුවත් මහගෙදර ආපුවාම නානකාමරයෙන් නාන්නේ ම නැහැ. හැමෝම තරඟෙට පොරකන්නේ ටැංකියෙන් නාන්න. අනිත් හැමෝම ටැංකියෙන් වතුර ඇදගෙන - එහෙම නැත්නම් ටැංකිය ළග තියෙන ෂවර් එකෙන් නෑවත්, නෑනාත් - මාත් හැමදාම නෑවේ ටැංකිය ඇතුළට බැහැලා.

එක ම අවුරුද්දෙ මාස දෙකක ඉපදිච්ච අපි දෙන්නාට දැන් අවුරුදු විස්සක් වුණත් තාම ඒ පුරුද්ද අතහැරිලා නෑ. මහගෙදර ආවාම නාන්නේ ටැංකියේ බැහැලා ම තමා. සිහින් සිරුරැති වීමේ ආනිසංස හේතුවෙන් ටැංකියට බහින්න කිසි කරදරයකුත් නැහැ. 

අඩුම වශයෙන් ටැංකියේ බැහැලා නාන්න අපිට යනවා පැය හතරක්වත්. අම්මා හරි මාමා හරි නැන්දා හරි ඇවිල්ලා දෙස් දෙවොල් තියන තුරු අපි දෙන්නා නෙමේ ටැංකියෙන් එළියට එන්නෙ. අපිට මුණ ගැහෙන්න බැරි වුණ කාලෙ දෙන්නා කියවපු අලුත් පොත්.. බලපු අලුත් චිත්‍රපටි.. ඒ චිත්‍රපටිවල හිටපු ලක්සන කොල්ලෝ.. කොච්චරක් නම් ජාති තියෙනවද අප්පා කතා කරන්න.. 

ඒ කතාබහ අතරෙ පොඩි එකා වගේ කෝප්පෙන් වතුර ඔලුවට දාගන්න වැහි දැරිවිට නින්දා අපහාස කරන්නත් නෑනා අමතක කරන්නේ නැහැ. මක් කරන්නද.. වතුර යට ඔලුව ඔබා ගත්තම හුස්ම ගන්න බැරුව යාවි කියලා වැහි දැරිවිට බයයි නෙව. ඔක්කොටම හපන් වැහි දැරිවිගේ තාත්තා බයයි වැහි දැරිවි එහෙම දිය යට ඔලුව ඔබාගන්නවට. ඇළක දොළක නාන්න ගියත් ඉතින් බාල්දියේ පිහිට තමා. එහෙමයි කියලා ඔය පිහිනුම් සූරයෝ සූරියෝ දැන් මට හිනාවෙන්න තියාගන්නවා එහෙම නෙමේ.. හරිය..

වැහි දැරිවිගෙ දණිස්ස ගාවට තරම් දිග කෙස් කළඹෙ ෂැම්පු ආලේප කරන්න වුණාම නෑනා දොස් කියන්න අමතක කරන්නෙත් නෑ.පැය දෙක තුනක් තිස්සේ වතුරේ නටන ගමන් අපි විසි අවුරුද්දක මතක - ජීවිතේ පුංචි පුංචි දේවල් ගැන දොඩමළු වෙන්නෙ නෑනාවරු නෙමේ - එක කුසේ උපන් සහෝදරියෝ දෙන්නෙක් වගේ.

හැන්දෑ කළුවරත් මෝදු වෙලා - හයහමාර හත විතර වෙද්දි වතුරෙ ඉඳලා වැඩි වෙලා ඇසුත් රිදෙන්න පටන් ගන්නවා. වැඩිහිටි ඇත්තන්ගෙ දෝසාරෝපණ සද්දෙත් ටික ටික වැඩි වෙනවා. ඒ වෙලාවට තමා ඉතින් අපේ වාර්ෂික ස්නානය අහවර වෙන්නෙ.. 

ජීවිතේ කොයි තරම් යාලුවෝ මුණ ගැහුණත්, නෑනා තරම් අපූරුවට වැහි දැරිවිගේ හිත යාලුකමින් පුරවන්න පුළුවන් කෙනෙක් නම් කිසිදවසක මුණ ගැහෙන එකක් නෑ කියලා ගමේ ගෙවෙන හැම දවසකදි ම මට හිතෙනවා.. වතුර ටැංකිය කොයි තරම් පරණ වුණත් ඒ එක්ක බැඳිලා තියෙන මතක සීත උල්පත් දිය වාගේ ම හැමදාම නැවුම්.. හිත ජීවයෙන් පුරවනවා..