Monday, April 17, 2017

බලා වැළපෙමි - නෙලා ගනු බැරි - හන්තාන සිහිනේ...

මා උසස් පෙළ කරන්නට ගත් පසු ජීවත් වූයේ ම පේරාදෙණිය සරසවිය වෙනුවෙන්. පාඩම් කොට නිදිමත වෙන මධ්‍යම රාත්‍රීන්හී මම අන්තර්ජාලයෙන් පේරාදෙණි සරසවි ගීය අසන්නට පුරුදු වුණා. පරිගණකයේ මුහුණතට සරසවියේ රොබරෝසියා තුරු ගොමුවක පින්තූරයක් යෙදුවා. ඒ දිනවල මගේ සවනේ නිරන්තරේ රැව් දුන්නෙ ම සරසවි ගීයයි. උසස් පෙළ ලියන්න අවුරුද්දකට කලින් සරසවියට ගිය වෙලේ සරසවිය ගැන මෙහෙම පද ටිකකුත් ලියැවුණා.

මුල් ම දින නුඹ බලන්නට ආ
මැවේ මට මතකෙන්
පුංචි දැරියක් වීමි එදවස
හසර නොම දැන උන්
ඒත් එදිනත් නෙත් අයා
නැරඹුවෙමි නුඹ මවිතෙන්
ඉනික්බිති නුඹ දුටුව හැම වර 
පිරුණි හද පැතුමින්

යළිත් අද නුඹ බලන්නට විත්
නුඹ තුරුළෙ රැඳෙමින්
මවුනි අහුලමි නේ පැතුම්
තුඟු නැණ එළිය විඳිමින්
පියාඹනතර යොවුන් විහඟුන්
වසත් කල විඳිමින්
දකිමි තැන තැන රතු අකුරු
නුඹෙ තුරුණු විරු දරුවන්

හරිත තුරුලිය අතු අගිස්සෙහි 
රැඳෙන පිනි අතරින්
මවුනි සරසවි ගලන සිහිලස
දැනෙයි මට නොමඳින්
වැටෙන වැහි බිඳු සොඳුරු කඳුකර
ඉම් පෙදෙස් අහසින්
වැටී මහදට පුබුදුවයි සිත
පැතුම් මල් අලුතින්

අනෙක් හැම පැතුමක් ම ගිලිහී

මහදවත ගැඹරින්
නැගෙයි පැතුමක් මවුනි නුඹට ම
හිමි වෙනා විලසින්
කලා - සිප් දරනා දයාබර
දෑත දිගු කරමින්
මා තබා ගනු මැනවි සෙනෙහෙන්
දිනෙක ඔය තුරුළින්..

ඒත් කාලය බොහෝ දේවල් වෙනස් කරනවා.

උසස් පෙළ විභාගය කෙළවර වන කාලය වන විට මගේ සරසවි සිහිනය වෙනස් ම දිශානතියක් වෙත යොමු වෙලා තිබුණා. පළවෙනි හේතුව වුණේ පවුලේ සමීපතමයන් අත හැරලා ඒ තරම් දුරකට යාම ඔවුන්ට වගේ ම මටත් අතිශයින් අසීරු කාරණයක් වීම. ඉගෙනගන්නා අවදියෙදි පේරාදෙණිය සුන්දර ඉලක්කයක් වුණත් ප්‍රායෝගික ජීවිතේට ඒක අදාළ කරගන්න එක නොකළ හැකි දෙයක් ලෙස මට ම පෙනෙන්නට පටන් ගත්තා.


තවත් කාරණයක් වුණේ මං හදාරන්න හිතාගෙන ඉන්න විෂයන් එක්ක සලකා බලද්දී පේරාදෙණියට වඩා ඊට සුදුසු සරසවි ද්විත්වයක් තිබෙන බව දැනගන්නට ලැබීම. ඒ නිසා සරසවි අයදුම්පතේ මං මුලටම යෙදුවෙ ගමනාගමනය අතින් පහසු සහ මට වඩාත් ම ගැළපෙන විෂය සංයෝජනය සහිත විශ්ව විද්‍යාලය.

බරපතළම කාරණය වුණේ ප්‍රේමය පිළිබඳ සිහින දැකීම අන්තිමේදී මං නවත්වා දැමීම යි. ප්‍රේමය යනු හන්තාන - ඩෙවෝන් - පේරාදෙණිය මල්වත්ත අසළ තිබෙන දෙයක් නොවන වග, නුවර අහස යටදී ම සන්සුන් දෑසකින් කියවාගත යුතු යමක් නොවන වග වසර ගණනාවකට පසු මට තේරුම් ගන්න පුළුවන් වුණා. 

ඒ ගැන කණගාටුවක් නැතත් සෙංකඩගලපුර සරසවි සිහිනය කොළොම්පුරයට මාරු වීම ගැන සිහින් වේදනාවක් විටින් විට හිතට දැනෙනවා. පේරාදෙණියට ගියපු මිතුරන් දුරකථන ඇමතුමක් දුන්නාම ඔවුන්ගෙන් මා පමණටත් වඩා විස්තර විමසද්දි එන්න පුළුවන්කම තිබිලත් ආවෙ නෑ කියා ඔවුන් බනින්නෙ මගේ හන්තාන සිහිනය ගැන ඔවුන් ද හොඳින් ම දැනගෙන උන් නිසයි. 

දවසක පේරාදෙණියෙන් එම්.ඒ එකක් කරන්නම්.. කියා ඒ මොහොතට මං හිත හදාගන්නවා. 

ජීවිතය අපට හැම දෙයක් ම දෙන්නේ නෑ තමයි. ඒ බව වැහි දැරිවි නොදන්නවාත් නොවෙයි. ඒත් හන්තාන සිහිනේ වදන් පෙළ ඇහෙන හැම වැහි දවසක ම සිහිනය සෙමින් විත් මතක අවුළුවමින් හිතේ නොපෙනෙනා තැනක් රිදවන්නට පටන් ගන්නවා. හරියට මේ ගීය, පේරාදෙණි සරසවිය නමැති පෙම්වතා විසින් වැසි දැරියට ගයන්නාක් බඳුයි. සරසවියට අතිශයින් ආදරය කළ යුවතියකට හන්තාන අරණට නොඑන්නැයි කියන්නට තරම් සරසවියට නපුරු විය හැකිදැයි හිතමින් මං අමරදේවයන්ගේත් - උමාරියාගේත් අපූරුව හඬ සංකලනයට මහද පිරිමදින්නට ඉඩ හරිනවා. 

වැහි පබළු යට - රඟ මඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය - ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොඑනු මැන ළඳුනේ
හන්තාන අරණේ.... 



34 comments:

  1. වැසි ඔබගේ හන්තාන සිහිනය ලිපි කිහිපයකින්ම ලස්සනට අපිත් සමඟ බෙදාගත්තා. එය කවදා හෝ සැබෑ වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ මේ ගීතයේ ඔය පද වලින් කියවෙන්නේ පේරාදෙණිය සරසවියට නො එන්න කියා නෙවෙයි. වියපත් සහ වැන්දඹු හෝ සහකාරිය හැරගිය කථිකාර්‍යතුමාගේ හදවතට පෙම් නොකරන ලෙස තරුණ සිසුවියට කීමක්.

    ReplyDelete
    Replies
    1. ෆස්ට් ඩිග්රි එක ඉවර වුණාට පස්සෙවත් බලමු හීනේ හැබෑ කරගන්න.. නේද?

      ගීතයක් ඉතින් අපිට කැමති විදියට විවරණය කරන්න පුළුවන් නොවැ.මට මේක ඇහෙන්නෙම සරසවිය කියන පෙම්වතා, තමන් වෙතට නොඑන්න කියලා වැහි දැරිවිට කියන සින්දුවක් වගෙයි.

      Delete
  2. අපූරු හීනයක් ඔයත් හරියට මම වගේමයි නුවර කියන්නේ මගේ හීන නගරය මම හීන වල ජීවත් වෙන්නේ ඒ නගරේ නුවර කොල්ලෙක්ට පෙම්වතියක් වෙන්න ඇත්තන් කියලා මම අනන්ත හීන මැව්වා. මටත් උනේ ඔයාට උන ටිකම තමයි අන්තිමට මම තේරුම් ගත්තා.ඒත් තාමත් මම කැමතිම පුරවරය නුවර

    ReplyDelete
    Replies
    1. ඊළඟ භවේක මට උපදින්න ඕනෑ නුවර.. ඒ වචන ටිකේ මට නුවර ගැන කියන්න ඕනේ දේවල් ඔක්කොම ටික තියෙනවා නේද..?

      Delete
    2. නෑ..නෑ..නෑ..ඒ ඊලඟ බවේ කතා වලින් වැඩක් නෑ.....ඔහේ ඔය ඉන්න දිහාවකම ඊලඟ පාරත් ඉපදෙනව වද නොදී..

      ආව මෙතන නුවර ඉපදෙන්ට...හුහ්...හිතුවද එහෙම බොහොම ලේසියෙන්ම මැණිකෙ කෙනෙක් වෙන්ට? එව්ව හඳේ....

      Delete
    3. හරි කෙළියක්නේ මේක.. දැන් අපි ඊළඟ භවේ උපදින්න ඕනැත් මේ මනුස්සයාට ඕනැ විදියට.. දෙයි හාමුදුරුවනේ.. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් කියලා දෙයක් නැද්ද..?

      Delete
    4. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඒකට තමයි....! උන්ට ඕනේ විදියට ඉන්නෙක... අනේ අනේ.. ලංකාවේ නෙවෙයිද ඉන්නේ?

      ( ඒ උනාට ඔය රවියා කියන විදියට නම් වැඩකරනවා හෙම නෙවෙයි ඔන්න... හුහ්)

      Delete
    5. මේ රටේ තරම් ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවද අක්කෙ ලෝකේ කිසිම රටක..???

      Delete
  3. හ්ම්ම් හ්ම්.. හීන නෙහ්. මේක අම්මටයි තාත්තටයි පෙන්නුවොත් දැන්ම ඔයාව පේරා යවයි හොඳේ.

    ReplyDelete
    Replies
    1. හපොයි... ඒ ගැන නම් වැඩි විස්වාසයක් තියාගන්න එපා..))

      Delete
  4. කාලෙන් කාලෙට ජීවිතේ අපිට තින අරමුණු හිටිහැටියේ වෙනස් වෙනවා... ඒත් ඒ මතකය විතරක් අන්තිමේ අපි ළඟ රැදෙනවානේද..

    මේ සටහන කියවනකොට මටත් අතීතයේ සිදුවීමක් මතක් උනා නංගි..
    අපේ ගමට එන්න තියෙන්නේ පෙරදෙනිය කැම්පස් එක මැදින්... දවසක් අපි කොහෙහරි ගිහින් එනකොට මගෙ අත්තම්මා මට මෙහෙම කියුව... “මේ තමයි කැම්පස් එක.. ඔයා හොඳට ඉගෙන ගෙන මේකට එන්න ඕනෙ.." ඒ ගැන මට තේරුමක් තිබුනෙ නෑ ගොඩක් කල් යනකල්.. ඒත් කැම්පස් එක දකිනකොට හැමදාම ඒක මතක් උනා... අදටත් පෙරදෙනියෙ කැම්පස් එක ළඟින් යන කොට මට ඒ සිද්ධිය මතක් වෙනවා...

    ReplyDelete
    Replies
    1. හන්තාන සිහිනේ විටින් විට හිතේ පතුලකින් මතු වෙමින් මාව රිදවන්නෙත් ඒ නිසා තමයි. නිකමට හරි නුවර ගියහම රෑට අඬපු දවසුත් තියෙනවා.

      ඒත් ඉතින් ඔයා ජපුරට ආපු එක නරකයැ දෙය්යනේ.නැත්නම් අර අහිංසක කොලුවාව හම්බ වෙනවායැ..))

      Delete
  5. ජීවිතේ හුඟක් වෙලාවට තීරණය වෙන්නේ අපිට ඕන විදිහටම නෙවේ , එත් එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. මටත් පොඩි කාලේ ඉඳන්ම තිබුනා පේරාදෙණි හීනයක්. කොහොමත් බදුල්ල කියන ගමට ලඟම සරසවිය වුනෙත් පේරාදෙණිය තමා මම තොරගතත විෂයයන් එක්ක. හීනේ හැබෑවුනා. පේරාදෙණියේ වසර පහක් ගත කලද කියලා හිතෙන තරම් ඉක්මනට කාලය ගෙවුනා , අවුරුදු හතරක් උපාධි පාඨමාලාව අවසානයේ අතිරේක කාර්යමණ්ඩලයේ තවත් අවුරුද්දක් හිටියේ පේරාදෙණිය දාලා යන්න බැරිකමට වගේ .
    ඒ කාලය ඇතුලත ජීවිතේ හැම හීනයකම සබෑවුනා කිව්වොත් නිවැරදියි. ඒ වගේම හීනෙන් වත් නොහිතපු කටුක අත්දැකීම් වලට මූණ දුන්න හැටිත් කවදාවත් අමතක වෙන්නේ නෑ.
    ප්‍රේමයේ පරිපූර්ණත්වය අත්දකින්න පේරාදෙණි යන්න කියන කියමන සහතික ඇත්ත . එතන ගහකොළ පවා හිතට ගේන්නේ හරිම ප්‍රේමනීය බවක්. වීදි නාට්‍ය කණ්ඩායමේ දී , ශිෂ්‍ය සටන් ඇතුලතදී, කලාගාරයේ චිත්‍රපටියක් බලද්දී , සරච්චන්ද්‍ර වලේ නාට්‍යයක් බලද්දී ආපු හැගීම වෙන කොහෙදිවත් හිතට දැනුනේ නැත්තේ අයි කියලා තාම හිතාගන්න් බෑ.


    අද වෙනකොට මහනුවර කියන්නේ ලංකාවේ වායු දූෂණය අතින් පලවෙනි ස්ථානය ගන්න නගරය . රථවාහන තදබදය අතින් ලංකාවේ තුන්වෙනි ස්ථානයට තියෙන නගරය . පේරාදෙණියේ සුනදරත්වයෙන් වැහෙන්නේ නැති දුක්ඛ දායක කතාව තමයි ඒ .

    හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
    දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
    අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
    අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
    මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
    ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
    සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
    ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
    නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
    ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
    ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
    බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම

    ReplyDelete
    Replies
    1. මම මගේ සරසවියට හරි ආදරෙයි.අප්‍රමාණ ව ආදරෙයි.ඒත් තාමත් පේරාදෙණි හීනේ හිතින් මැකිලා නෑ.ඔබ කියනවා වාගෙම අයිඩියල් යුනිවර්සිටි ජීවිතේ තියෙන්නේ පේරාදෙණියේ තමා..

      අපේ අම්මා මං පේරාදෙණියට යනවාට අකැමැති වුණු එක්තරා හේතුවක් වුණේ වායු දූෂණය.ඒ වගේ පරිසරයක සිව් අවුරුද්දක් ගෙවනවාට ඇය කැමති වුණේම නෑ.පේරාදෙණි ලස්සනට යටින් හැංගිච්ච කඳුළු කතාව තමා..

      Delete
  6. හන්තාන අඩවිය සෑහෙන කාලයක් ලංකාවේ හදවත් එකතු කිරීමේ කාර්යට උරදුන්නු තැනක්.මේකෙ තනිකඩයන්ට වඩා ඉන්ඩ තැන් තියන්නෙ පෙම්වතුන්ට.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් ලෝක ප්‍රසිද්ධ කාරණයක් නොවැ බක්කරේ..

      අද ම නේද මේ පැත්තේ ආවේ.ආදරෙන් පිළිගත්තා එහෙනම් වැස්සේ තෙමෙන්න..))

      Delete
  7. පේරාදෙණිය අපේ අප්පච්චි ගිය සරසවිය. මගෙත් සාමාන්‍ය පෙළ කාලේ සිහිනයක් වෙලා තිබුනා. පස්සේ උසස් පෙළ කරද්දී නම් සරසවි සිහිනය බොඳ වෙලා නැති වෙලාම ගියා. ආය ඒ ගැන හිතුවේ වත් නෑ. එත් මම තාම සරසවිය මැදින් ඉස්කෝලේ යනවා. ඒ කාලෙත් ගියා.
    බලාපොරොත්තු වූ සරසවිය නොලැබුනත්, බලාපොරොත්තු වූ විෂයයන් හැදෑරීමට ලැබීම ගැන සතුටු වෙන්න. ජීවිතය අපිට ලබාදෙන්නේ අවශ්‍ය දේවල් විතරයි. ඒත් අවශ්‍ය කාලේදී..

    ReplyDelete
    Replies
    1. ඔව්.. මං මගේ සරසවියට ගොඩක් ආදරෙයි.දවසින් දවස සරසවිය ගැන තියෙන හැඟීම වැඩි වෙනවා.ඒත් පේරාදෙණිය සිහිනයක්.කසුන්ගේ සින්දුවකුත් තියෙනවානෙ සැබෑ නොවෙනා හීන හරි මිහිරියි කියලා.. ඒ වගේ තමා පේරාදෙණිය.සැබෑ නූන මධුර සිහිනය.!!

      Delete
  8. මතකයෙ අඳුරු අහුමුලු කරමින් එළිය.....
    හන්තානට උඩින් වැහැපන් වැසි දැරිය....

    ReplyDelete
    Replies
    1. හීන දකින්නට දැන් කල් වැඩි බැවින
      කොළොම්පුරට වසිනෙමි වැස්සක් ලෙසින

      Delete
  9. මගේ තාත්තගේ සරසවිය තමයි ඒ. ඉතින් මටත් හිතේ කොනක ඒ ගැන හීනයක් තිබුනා. කියන දේවල් අහලම. ඒත් උසස් පෙළ ගණිතය කරන්න ගත්තම කාගේත් හීනෙ වෙන්නේ මොරටුව නේ. හදවතට වඩා ඔලුවට තැන දුන්නම එහෙම වෙනවා. ඉතින් මාත් මොරටු හීනෙ හැබෑ කර ගත්තා. ප්‍රේමයෙන් නම් අඩුවක් නොවුනත් ඒ පරිසරයේ ලස්සන ගැන හිතනකොට හදවතේ කොනක් හිස් කියලා හිතෙන එක වළක්වන්න බෑ

    ReplyDelete
    Replies
    1. හන්තාන හීනයක් බලාගෙන ගියාම හැමෝටම තිබිලා තියෙනවා නේද.. මටත් කැම්පස් එක කිට්ටුවෙන් ගියත් ඔය කියන හිස් හැඟීම ඉතාම තදින් දැනෙනවා.

      Delete
  10. මම නම් තීරණය කරලා තිබුනේ පේරා යන්නේ නෑ කියලමයි.

    ReplyDelete
    Replies
    1. ඇහුවමයි එහෙම කෙනෙක් ගැන...)))

      Delete
  11. හීනෙ අතාරින්න එපා වර්ෂා. තව එතෙන්ට යන්න පාරවල් ගොඩයිනෙ. මටත් ඉස්සර ඕනෙ වුණේ නුවර ගෙයක් හදාගෙන ජිවත් වෙන්න. ටික ටික ලොකුවෙද්දී ඒ හීනෙ අත ඇරුනා. ප්‍රායෝගික අපහසුකම් තේරෙන්න ගත්ත. වර්ෂාව බලන්න ආවෙ පුරුද්දට, සෑහෙන කාලෙකින් බ්ලොග් පැත්තෙ ආවෙ. මං බ්ලොග් ලෝකෙට ආපු ඉස් ඉස්සරෝම වර්ෂයි කටුස්ස අයියයි තමයි ආවේ මාව බලන්න. ඒ ආදරේට තාම ඒ බ්ලොග් දෙකට කලාතුරකින් හරි ගොඩවෙලා යන්න එනවා.

    ReplyDelete
    Replies
    1. අනේ.. මටත් සෑහෙන කාලෙකින් කියවන්න බැරි වුණා.ඒ පැත්තේ ආවෙත් නෑ.ස්තූතියි අක්කෝ මෙහේ ඇවිත් යන්න එනවට..!!

      ඇත්තටම මේ බ්ලොග් මිතුරුකම් හරි ලස්සනයි..!!

      Delete
  12. සකුරා මල් බැඳි අහස් වියන යට.
    ඉකිබිඳ හඬන නෙත.
    දහස් වර සුසුම් ලන ගිලන් වූ හදවත​.
    පෙනෙනවද දැනෙනවද ඔය නුවර අහසට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නාඳුනන මිත්‍රයා..))

      Delete
  13. kavikari... oya issara kaviyak dala thibuna mathakada.. " siduhath nubee as laga" kiyana peliya thibuna.. lassana kavi pelak..eka ko?

    ReplyDelete
    Replies
    1. විඳින සැලමුතු නුගිනුරා
      ළඟ නිවන දුර බව දැනෙනවා
      ඒත් සිදුහත් වගේ නුඹ ඇස
      සොඳුරු නිවනක් දැනෙනවා

      මේකද?

      Delete
  14. නංගී, ඔයා පද රචනයෙන් දායක වුණ, හර්ෂණ දිසානායක ගායනා කරන ගීතය ගැන මාස කීපයකට උඩදී පළවුණ පුවත්පත් ලිපිය මට ළඟදී කියවන්න ලැබුණා. ඒ වචන පුදුම ලස්සනයි, කාලෙකින් දැකපු සුන්දරම පද රචනාවක්. ඔයාගේ යාළුවා ගැන කියවද්දී මට මතක් වුණේ, මේ වාගෙම සුන්දර පද වැල් ලියන නිලාර් එන්. කාසිම් මහත්මයා. ඒ ගීතය මේ දිනවල මම නැවත නැවතත් අහන, මගේ කාර්යාලයේ මිතුරන්ටත් නිතරම අහන්න දෙන ගීතය. පද-නද-හඬ සුසංයෝගය හරිම ලස්සනයි. ඔයාලා සියලු දෙනාටම හදවතින්ම සුබ පතනවා නංගි.

    මේ අදහස ඔයාගේ මේ වියුණු සටහනට අදාළ නැති නිසා පළ නොකලාට කමක් නැහැ හොඳේ. මගේ සුබපැතුම් ඔයාට දන්වන්න වෙන විදිහක් නැති නිසායි මෙහෙම ලිව්වේ. :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අක්කේ.. ගොඩාරියක් ස්තූතියි. මේ වචන තමයි අපිට තියෙන ලොකුම සවිය.නජාත් අය්යාටත් මම මේක කියවන්න දෙන්නම්කෝ.

      ඔයාගේ මේ ආදරයට නැවතත් ස්තූතියි..!!

      Delete