Tuesday, August 22, 2017

රස විය - සවිය විය...!

"මාස ගාණකින් බ්ලොග් එකේ මුකුත් ලියලා නෑ. කැම්පස් ගිය ගමන් හිත ඇතුළෙ උන්න කවිකාර ළමයව මරාගත්තා. අපිටත් වුණේ ඕකනෙ. ඒත් ඔයාට එහෙම වෙන්න බෑ.. තේරුණාද..?"

දවස් ගාණක ඉඳන් මධුර කතන්දර වෙනුවට දුරබණුව ඔස්සේ ගලන්නෙම නෝක්කාඩු..! 

උදේ පාන්දර ඉඳන් නැගිටගෙන දේශනවලට දුවන කොට, අපිව පණ පිටින් ගිලින්න බලාගෙන ඉන්න ජ්‍යෙෂ්ඨ උත්තම උත්තමාවියන්ගෙ ඇස්වලින් වහන් වෙන්න දහංගැට ගහන කොට, දවසින් දවස සම්පූර්ණ නොකරපු නිබන්ධන ගණන වැඩි වෙන කොට කවි හිතක් ඉතුරු වේවිද මං අහන්නෙ..?

ඒත්.. අනෙක් අතට.. හන්තාන හීනෙට පස්සෙ දැකපු ජපුර හීනෙ නොහිතපු විදියට හැබෑ වෙලා ජපුරෙ රොබරෝසියා මල් පාවඩ උඩ ඇවිදින්න ලැබෙද්දි.. නෙල්ලි ගස් යට ඉඳන් සහෝදරකම් මුහු වෙච්ච බත් කටවල් අනාගෙන කද්දි.. කැම්පස් එන්න කලින් කවදාවත් නොබිව්ව ජාතියෙ අපිරිසිදු වීදුරුවල දාපු දොඩම් බීමවලට වගකියද්දි.. කවි නොලියවුණාට ජීවිතේ කවියක්ය කියලා නම් නොහිතෙනවා නොවෙයි..

කාලෙකට කලින් කොළඹ සරසවියෙ ඉගෙන ගත්තු සහෝදරයෙක් ලියපු කවියක් හිත ඇතුළෙන් දෝංකාර දෙන්නෙ ඒ නිසා වෙන්න ඇති..

මට
සරසවිය
රස විය
සවිය විය..!

පළමු අවුරුද්දෙදි එහෙම හිතන්න අමාරුයි තමයි. ඒත් වචනෙකින් කියා ගන්න බැරි තරම් උණුහුම් සහෝදරකම් හිත වටා වෙළෙද්දි.. එක්කෙනක් ලෙඩ වෙච්ච පමාවෙන් බැච් එකෙන් බාගයක් ඉස්පිරිතාලෙට රොක් වෙද්දි.. පොදු වැඩවලදි එකා වාගෙ රළු - මුදු අත් අතින් අත පටලැවෙද්දි.. කවදාවත් නොදැනුණ තරම් හය්යක් හිතේ අගිසිවල ඉඟිබිඟි කරනවා, ලස්සනට..


ඒ වාගෙම ඉදිරියට ගෙවෙන්නට තියෙන අවුරුදු තුන/හතර ඇතුළෙ දෙවිවරුන් වාගෙම ගොර සපුන් මුණ ගැහෙන වගත් නොදන්නවා නොවෙයි. ඒත් මල් සිඹින්නට නම් කටු පොකුරුත් සිප ගත යුතුමයි. වැසි දැරිය තමන්ගෙ කෙටි ජීවිත කාලය ඇතුළෙ ඉතාම බරපතළ විදියට විස්වාස කරපු සත්තාවක් ඒක. ඒ නිසා තැනිතලා වාගෙම ගිරි දුදුළුවලටත් එක වගේ ආදරය කරන්න බැරිකමක් නැහැ..

හය හතර නොදන්නා පුංචි දැරියක කාලෙ අම්මගේ අතේ එල්ලිලා ජපුර සරසවියෙ නොයෙක් උත්සවවලට ආවාම වචන පැටලි පැටලි සරසවි ගීතය ගයපු හැටි තාම වැහි දැරිවිට මතකයි. ඒ මතක කප්පරක් එක්ක, ජපුර සරසවියෙ ශිෂ්‍යාවක විදියට ලියාපදිංචි වුණ දවසෙ සරසවි ගීතය ගයද්දි ඇස්වලට කඳුළක් ඉනුවෙ නැහැ කියනවා නම් ඒක බොරුවක්.

ඒ කඳුළුවල තියෙන්නේ වසර ගණනාවක වෙහෙස.. නිදි වර්ජිත රාත්‍රීන්වල මහන්සිය.. හිත රිදවුණු වාර - හිත නැළවුණු වාර අනන්තාපරිමාණ සංඛ්‍යාවක් එකක් ගෙවුණු අවුරුදු දහතුනක තක්සලා ජීවිතේක මතකය.. 

ඉතින් ඒ කඳුළු අතරින් පෙනෙන සරසවිය, රස විය - සවිය විය කියා කියන්න වැහි දැරිවිටත් හිතෙන්නෙ ඒ නිසා වෙන්න ඇති..! 

31 comments:

  1. ඔව් ඔව් අපිටත් මතකයි ඒ කාලෙ අම්මගෙ අතේ එල්ලිලා ජපුර ට එනව. තව මාස හතර පහකින් පස්සේ දැනෙන හැඟීමත් ලියන්නකො ඈ.

    ReplyDelete
    Replies
    1. අපොයි.. ඔව් තමා නේද.. ඒකත් ලියන්නම්කෝ..))

      Delete
  2. ආ සරසවි ජීවිතේ රහ වැටිලා වගේ.. හොඳයි හොඳයි. මෙහෙමයි. ජීවිතේ කටුකයි, ඒ වගේම රසවත්. හැබැයි සවියක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන් එක අරගන්න විදිය උඩ.
    සුභ පැතුම් ඔන්න!!
    ප/ලි- ලියවෙන්නේ නැති එක නම් ඇත්ත. අර මගේ බ්ලොග් එක පෙන්නේ නෑ.. දකුළුමලුත් බැඳිලා හොල්මන් පදිංචි වෙලා..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අඟහරුවෝ..

      අපොයි සිල්පර කොටයක් වගේ හිටපු ඔයාටත් එහෙම වුණාද.. මගේ බ්ලොග් එක අතඇරලා නම් හොල්මන් යන්නම බෑ කියනවා..))

      Delete
    2. ආ මම නම් තාම එහෙමම තමා. ඒත් වටේපිටේ අයට වෙන දේවල් පේනවා ඇහෙනවා නේ..

      Delete
  3. සරසවියටත් ඒවගේම සමාජයටත් ඉමහත් මෙහෙයක් කල යුතුම කෙනෙක් ඔබ. එම නිසාම මේ කාලය වැඩ අධික වෙන්නත් ඒ හා සමානවම අධික දැනුමක් හා වඩාත් පරිණත භාවයක් ලබන්නත් අතරින් පතර හෝ සතුටු වෙන්නත් අවස්ථාව ලැබෙන ලෙස ඉත සිතින් පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි ඉයන් මාමා.. හැමදාම වගේ මේ ආශීර්වාදයට.. ආදරයට..!!

      Delete
  4. අවුරුදු හතරක්ම තියෙනවා මතකයන් එකතුකර ගන්න.
    අධ්‍යණ කටයුතු මුලට (පෙලපාලි පිකටිං පසුවට)

    ReplyDelete
    Replies
    1. කපා කපා කෑලි කපා
      අප වළකනු සිතනු එපා..!!

      Delete
  5. ජපුරෙ සරසවි මතක අතරෙ කාලෙකින් මං අතර මං වුනා.

    ReplyDelete
  6. මමත් ගෙදරටත් වැඩිය ආසම තැන තමයි නංගි ජපුර සරසවිය. මුල් අවුරුද්දෙ නම් ගෙදර පනි්නෙ කොයිවෙලාවෙද කිය කිය සිකුරාද එනකල් බලන් හිටිය. ඉතිරි අවුරුදු දෙකේ දුම්මල ගහලවත් කැම්පස් එකෙන් යවන්න බැරි වුනා. මට නම් අදටත් ඒ මතකෙ හරිම සුන්දරයි. නංගි. ඔයා ගෙ සරසවි ජීවිතයට මම හදවතින්ම සුබපතනව.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අක්කෝ..!!

      Delete
  7. සරසවිය සවිය සරි කර ගනු දිවියට

    ReplyDelete
  8. හ්ම්ම්ම්ම්ම්ම්......... මහන්සියේ ප්‍රතිඵල

    ReplyDelete
  9. තාම පළවෙනි අවුරුද්ද නම් රස ඇති.වැඩ වැඩි වෙනකොට වහ වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. වැඩවලින් නම් දැනුත් කියන්න තරම් රහක් නෑ අප්පා..))

      Delete
  10. "ඒ කඳුළුවල තියෙන්නේ වසර ගණනාවක වෙහෙස.. නිදි වර්ජිත රාත්‍රීන්වල මහන්සිය.. හිත රිදවුණු වාර - හිත නැළවුණු වාර අනන්තාපරිමාණ සංඛ්‍යාවක් එකක් ගෙවුණු අවුරුදු දහතුනක තක්සලා ජීවිතේක මතකය"

    ඒ මතකය වගේම මගේ විශ්ව විද්‍යාල මතකය මතකයක් වෙන්න තියෙන්නේ තව මාස 4ක් වගේ කියලා දැනෙද්දී මට නම් ඊටත් වඩා දුකයි

    ReplyDelete
    Replies
    1. දුකයි.. මතක් කරන්නවත් ඒ ගැන..

      අලුත් යාලුවෙක් නේද.. එන්නම් ඒ පැත්තේ..!

      Delete
  11. මේ අවුරුදු 3/4 තුළ තවත්ත් ලස්සන කවි පබැදුම් ඔය තෙලිතුඩින් ලියෙවේවි... අද්දැකීම් මුහු වෙච්චි රසවත් කවක් වේවි...

    ReplyDelete
    Replies
    1. අපොයි.. කවි තමා ලියවෙන්නෙම නැත්තෙ..))

      Delete
  12. පෙන්ටගනේ,කලු කඩේ,කැලේ කඩේ,කුකුල් කඩේ,බොග කැන්ටිම​,හිල්ටන්,ජිම් එකේ ගතකරපු කාලය ආයෙත් මතක් උනා.ඔයාගේ තාත්ත වගේම ජපුරේ නම බබලවන්න පුලුවන් සරසවි මානවිකාවක් වෙන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා !!!!

    අයුක්තියේදී විවාදශීලී
    අසත්‍යයේදී විචාරශීලී
    වියත් සභා මැද සමාජශීලී
    වියතුන් වී දැය පොබයවු !!!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූතියි අය්යේ.. සරසවි ජීවිතය හැකි තාක් මට පමණක් නොවෙයි අනුන්ටත් ඵලවත් විදියට ගත කරන්නට උත්සාහ කරනවා.

      අය්යට වැඩිපුරම තියෙන්නේ කාපු බීපු මතක වගෙයි..!

      Delete
  13. ඒයි උඹ දැං පීඑච්ඩී එකක් එහෙම කරල මහාචාර්ය කෙනෙක්ලු ඔන්න හරී? මහාචාර්ය වර්ෂා නොහොත් ප්‍රොෆෙසර් රේන් ගර්ල්...

    දැං ඔන්න පත්තරේකින් ඇවිල්ල ...ම්ම්ම්..අපි හිතමු මව්බිම නොහොත් මදර් ඔන් ද ෆ්ලෝ කියල. දැන් මෙහෙමලු සාකච්ඡාව යන්නෙ.

    මවු බිම(මබි) - මහාචාර්ය තුමියට ඔබ තුමිය සාමාන්‍යපෙල කරපු කාලෙ එහෙම මතකයිද?

    මහාචාර්ය වර්ෂා(මචාවර්) - අපොයි ඔව් මොකද මතක නැත්තෙ? ඒ හරිම සොඳුරු යුගයක්..

    මබි - අපිට කියන්න ඒ සුන්දර මතක වලින් බිඳක්..

    මචාවර්-ඒ දවස්වල විභාගෙට පාඩම් කරල මහන්සි උනහම මම කරන්නෙ මොකක්ද දන්නවද? ඒ දවස්වල තිබ්බ බ්ලොග් එකක් කියවනව.....

    මබි- බ්ලොග් එකක්?

    මචාවර්- ඔව් ඒ බ්ලොග් එකේ ඒ දවස්වල පලවුනා "ආදර නිල් දෑසේ" කියල කථාවක්. ඒ කථාව කියවල තමයි මම පාඩම් කරන්න මගේ හිතට අවශ්‍ය ඒකාත්මික තාවය සහ භෞමික අඛණ්ඩතාවය ලබාගත්තෙ. මම සාමාන්‍ය පෙළින් උසස් ප්‍රතිඵල ලබාගත්තෙ ඇත්තටම ඒ බ්ලොග් එක හින්ද. ඒ හින්දම ඊලඟට උසස් පෙල එතකොට සරසවියට ඇතුල්වීම ප්‍රථම සහ පශ්චාත් උපාධි ලබා ගැනීම ඒ වගේම අද මම ඉන්න මේ තත්වයට ලඟාවීම මේ ඔක්කෝටම හේතුපාදක වුනේ අන්න ඒ බ්ලොග් එක. ඒ හින්ද මම මගේ ගෞරවාදර ස්තූතිය පලකරන්න කැමතියි ඒ බ්ලොග් එකට.

    මබි- ඔබ් හරිම අනුවේදනීය කතාවක්. මහාචාර්ය තුමිය අපට කියන්න ඔබගේ අනාගත බලාපොරොත්තු ගැනත්..

    මචාවර් - අනාගත බලාපොරොත්තු කියන්නෙ මගෙ තියෙන්නෙ මතු භවය ගැන බලාපොරොත්තුවක්. ඒ කියන්නෙ ලබන ආත්මෙ අඩුගානෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලෙ අර කැන්ටිම ගාව තියෙන පොකුණෙ ගෙම්බියක් වෙලා හරි ඉපදෙන්න කියලයි මම ප්‍රර්ථනා කරන්නෙ. එහෙම නැත්තං පේරාදෙණියෙ වල ගාව ගලක් යට කැරපොත්තියක් වෙලා හරි ඉපදෙන්නයි මම ප්‍රර්ථනා කරන්නෙ.ඒ මොකවත් බැරිනං කැම්පස් එක පේන මානෙ මහවැලි ගඟේ ගල් ඉබ්බියක් වෙලා හරි මම ඉපදෙන එක ඉපදෙනවාමයි..

    මබි- ඔව් බොහොම ස්තූතියි මහාචාර්ය තුමියනි. ඔබගේ ප්‍රාර්තනා එලෙසින්ම ඉටුවේවා කියල අපි සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. මචාවර්.. හා..කමක් නෑ.මං හැමදාම ඔය පැත්තෙන් මීට වඩා දරුණු අපහාසාත්මක පෙතිචාරයක් තමා බලාපොරොත්තු වෙන්නෙ.මේක ඊට වඩා හොඳයි..))

      කොහොමත් ආදර නිල් දෑසේ ගැන කියනවාම තමයි කවුරු හරි ඇහුවොත්.. ඒකෙන් ලැබුණු භෞමික අඛණ්ඩතාවය නොවෙන්න මං කොහොම විභාගේ ලියන්නද දෙය්යනේ..))

      ඒත් මචාවර්ගෙ අනාගත බලාපොරොත්තුව වැරදියි.එහෙම එකක් තිබුණා.ඒ ඉස්සර.ඔය නුවර පැත්තෙ මිනිස්සු හොඳ නෑ.විසේසයෙන්ම ඔය ආදර නිල් දෑසේ කියන කතාව ලියපු මනුස්සයා හොඳම නෑ.ඒ වාගෙ දුර්ජන ඇත්තො ඉන්න පළාතක මං වගේ පින්වන්ත ලමිස්සියෙක් උපදින්න ප්‍රාර්ථනා කරයිද මං අහන්නෙ..))

      Delete
  14. හ්ම්ම් නියමයි.. සමර් හවුස් එක දැක්කම කාපු ‍රැග මතක් උනා

    ReplyDelete
    Replies
    1. අනේ.. සරත් මාමා ආපහු ඇවිත්.මේ තියන හැම පියවරකම මාමාගෙ ආදරය, ආශීර්වාදය හැංගිලා තියෙනවා..!!

      Delete
  15. සුභ පැතුම් සරසවි දිවියට...

    ReplyDelete