Sunday, February 19, 2017

හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රහසේ.. - Romance at its peak..!!

කැතී පොත් මාලාව කියවන්න ලැබෙද්දි වැහි දැරිවි හරිම ඇබිත්තන් දැරියක්. සූසාන් කූලිජ්ගේ ඒ නවකතාව, මානෙල් ජයන්ති ගුණසේකර විසින් හරිම අපූරුවට සිංහලයට නගලා තිබුණා. ඒ කතාව විසින් ඒ දවස්වල මගේ හිත මත තැබූ තෙත් පිය සටහන් එය කියවා අවුරුදු දහයක් එකොළහක් ගියත් තවම වියැළී ගිහින් නැහැ.

"වසන්තය ගැන දන්නැතී - ඉරි තැලුණු පොළොවක අරුමැතී        

 තෙත අඩි තියන්නට බර ඇතී -  හැම වැස්සටම බෑ හිතවතී.."

කියා මුදු සුමුදු කවියක් කලකට පෙර පොකුරු වැහි අක්කා ලියා තිබුණා. මට හිතෙන හැටියට බොහෝ පොත්වලටත් - ගීතවලටත් ඒ කවිය අදාළයි. හිතක් උඩ තෙත අඩි තියන්නට හැම පොතකට ම බැහැ. පයට පෑගෙන දූවිලි, ගෝරා, ඇටමැස්සා, The Longest Ride වගේ එබඳු තෙත් පොත් අතරට එක්කහු වෙන පොතක් තමා කැතී. දහසකුත් එකක් වැඩ මැද්දේ දැන් නම් පොත් කියවන්න ලැබෙන්නේ කළාතුරකින්. තෙත් අඩි තැබූ පොත් පවා ආයේ කියවන්න වෙලාවක් නැහැ. ඒත් එබඳු පොත් ගැන මතකය පවා සුන්දරයි. කැතී තෙවැනි කොටසේ එන එක්තරා සිදුවීමක් අතිශය රොමාන්තික බවකින් යුතු ව මහද පිරිමැද්ද හැටි ඒ තෙත් මතක අස්සෙන් හීන් සීරුවේ මතක් වෙනවා. 
                             
ඒ මතකය අලුත් වෙන්නටත් හේතුවක් තියෙනවා.

ඊයේ පෙරේදා දවසක මහරැයේ ලියකියවිලි අස්සේ නිදිමත පෙරළි කරන මොහොතක මට නිකමට වගෙ හිතුණා නිකං ඉන්න එකේ සිංදුවක් අහන්න. ඉන් පස්සෙ තමයි මෑතකදි අහපු රොමාන්තික ම ගීතය මුණ ගැහුණෙ. 

"හංස බෝට්ටුවෙ නැගලා
යන්න එන්න රවුමක්
ඔබ එනකොට ඇඳන් එන්න
මල් පිරිච්ච ගවුමක්
බේරෙ වැවත් සුන්දර වී 
ඔබත් සුවඳ පියුමක්
දකින දකින සැවොම කියයි
අන්න රෝස කුසුමක්.."

ෆේස්බුක් - ට්විටර් - වයිබර්වලින් පෙම් කරන අපේ පරම්පරාවෙ තරුණ තරුණියො එහෙව් රොමාන්තික සුන්දරත්වයක් ගාව නතර වෙයි කියලා හිතන්න තියෙන ඉඩ අඩුයි. අධිවේගී ගමනක, අධි තාක්ෂණික මෙවලම්වලින් ආදරය හොයාගෙන යද්දි කායික බැඳීමකට එහා ගිය පිවිතුරු බන්ධනයක බැඳෙන එක ඒ තරම් පහසු කටයුත්තකුත් නොවෙයි.

ඒත්  නෑ.. මේ ගයන්නෙත්.. අපේ කාලයේ පෙම්වත්තු...

"බේරෙ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ
තරු මුතු කැට වෙලා පෙනේ නෙතු පැටලී පහසේ
හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසි සේ
සුවඳ රොදට එකතු වෙලා ඔබෙ මුළු ලොවට ම රහසේ.."

විසි එක් වැනි සියවසේ ලංකාවෙ පෙම්වතෙක් එහෙම ගීයක් ලියද්දි දහනව වැනි සියවසේ දී බටහිර ලේඛිකාවක් මෙහෙම පදපේළි ටිකක් ලියා තබනවා.. ඒ පෙර සඳහන් කළ කැතී කතා මාලාවේ කථා නායිකාවත් ඇගේ පෙම්බරාත් වටා ගෙතුණු ගොන්ඩෝලා සවාරියක් ගැනයි..

"රෝස හා උත්පල පැහැය මිශ්‍ර වූ අහස යට රිදී වන් දිය රළ සෙලවෙමින්, නැළවෙමින් තිබූ අතර මෙය මෙම වශීකරණ බලයක් ඇති දිය මත පාව යන අන්තිම වාරය වූ බැවින් ගෙවී යන සෑම තත්පරයක් ම දෙගුණයක වටිනාකමකින් ඔවුනට දැනුණි.. හිරු බැස ගිය පසු තරු එබී බලා ග්‍රෑන්ඩ් කැනල්හි දිය මත පිළිබිඹු වූ ඔවුන්ගේ දීප්තිමත් මුහුණු දකින තුරුම ඔවුන් රැඳී සිටියේ මන්දැයි මම නොදනිමි. දෙදෙනා ම තරුණ වියේ පසුවන විට, එකිනෙකා හා සිහින් ස්වරයෙන් කතාබහේ නියැලෙන විට, ආපසු හැරීම සඳහා නියෝග කිරීමට බොහෝ පමා වන විට එහි අරුත කුමක්දැයි වැනීසියානු ඔරු කරුවන් හොඳින් ම දැන සිටියහ." (කැතී 03 - 238 වන පිටුව)

කැතී නවකතාවෙ ඒ වදන් පෙළත් මේ ගීයත් අතර අපූරු සමතාවක් හොයාගෙන වැහි කෙල්ල රොමාන්තික හීනෙක අතරමං වුණා. Api Machan සංගීත කණ්ඩායම එක්ක සුමිත් මන්දනායක ගයන මේ ගීය මෙපමණ සුන්දර වෙන්නෙ එය තුරුණු කටහඬවල් ගණනාවකින් ගැයෙන නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම විදග්ධ - සාමාන්‍ය භේදයකින් තොර ව ඕනම රසිකයෙකුගෙ හදවත ස්පර්ශ කරන සරල පද පෙළත් - සුගම නාද රටාවත් - රූප රචනාවේ ඇති මධුර බවත් - ගයන්නන් තුළ වන දුලබ ගණයේ සංයමයත් හංස බෝට්ටුව තව තවත් රොමාන්තික කරන බවයි මට දැනෙන්නෙ.

බැලූ බැල්මට මේ ගීයෙ වචන හරි සරලයි.. ඒත් ඒ වචනවලින් හිත මත අඳින සිත්තම මේ යැයි කියන්නට බැරි තරම් මනරම්.. 

ඒ වගෙම වඩාත් ම මනරම් අග පද පෙළ..!!

"ජීවිත කාලෙම එන්නම් මුළු
  ඔබ ම යි, මගෙ සිහිනේ.."

මේ හංස බෝට්ටු සවාරියෙ යන්න අමතන පෙම්වතා, අද කායික සුවයක් පතා හෙට සිය පෙම්වතිය අතැර යන අන්දමේ පෙම්වතෙක් නොවෙයි. ජීවිත කාලයක් පුරා සිය ප්‍රේමවන්තිය පතා එන යෞවනයෙක්.  එහෙම නොවන ලාබ ගණයේ පෙම්වතෙක්ට කොහොමටත් මෙවැනි අහිංසක රොමාන්තික සවාරියක් රස විඳින්න හැකි යැයි සිතන්නට අපහසුයි. ජීවිත කාලයක් පුරා - සංසාරයක් පුරා ඇදෙන දීර්ඝ සුපෙම් සංචාරයක එක සුන්දර මොහොතක් ගැනයි මේ ගීයෙන් කතා කරන්නෙ. 

එක් අතකට සමස්ත ප්‍රේම චාරිකාවක් කියන්නෙ මේ වගේ පුංචි පුංචි රොමාන්තික සිදුවීම්වල සුවිසාල එකතුවක්.



Tuesday, February 7, 2017

වැසි වසින හවසක - කෝපි සුවඳක දිය ව - මධුර පොතකට යට ව..

පුස්තකාලෙ.. මේ ලෝකෙ තියෙන කදිම ම තැන්වලින් එකක්. පරණ පොත් රාක්ක අස්සෙ - පොත්වල සුවඳ විඳිමින් වැහි දැරිවි කොයි තරම් වාර ගණනක් පුස්තකාලෙ එහෙ මෙහෙ ඇවිදලා ඇති ද.. අවුරුදු පහක් හයක් වෙච්ච කාලෙ අම්මගෙ අතේ එල්ලිලා පුස්තකාලෙ ආව මතකෙ ඒ පොත් සුවඳ අස්සෙන් හිත පිරිමදිනවා. කාලය කොයි තරම් දුරක් ඉගිලිලා ගිහිල්ලද කියලා දැනෙන්නෙ ඒ දවස්වල කියවාපු පොත් - ඒ පරණ මතකයත් එක්ක ආපහු අතට අහුවෙද්දියි..

ඉතින් මං කවි පොත් අස්සෙත්, සිංහල - ඉංග්‍රීසි නවකතා අස්සෙත් සිදු වෙන සුපුරුදු ගමන් චාරිකාව දිගට ම කරගෙන යනවා.

එතකොට තමා මගේ අතට පරණ මතකයක් අහුවෙන්නේ..

"වෘකයන්ගේ අඩවිය හෙවත් වයිට් ෆෑන්ග්.."

ඒ පොත ගැන මතකයක් තිබුණත් ඒ වෙද්දි වැසි දැරිය ඒක කියවලා නැහැ. ඒත් ලෝරා ඉන්ගල්ස්ගේ ජීවන වෘත්තාන්තය අළලා ලියැවුණු වන අරණක කුඩා නිවස පොත් මාලාවෙ පරිවර්තිකාවගේ වෙනත් කෘති යටතේ මේ පොතේ නම සඳහන් වුණ හැටිත් - ඒ අකුරු පේළිය දැකලා මේ පොත කියවන්න නොතිත් ආසාවකින් උන්නු හැටිත් ගැන අපැහැදිලි ඉපැරණි මතකයක් මගේ හදේ තියෙනවා. ජැක් ලන්ඩන් විසින් ලියන ලදු ව ගංගා නිරෝෂීණී අතින් සිංහලයට නැගුණු මේ පොත දුටු මතින් ම මා අතට ගත්තේ එනිසයි. මේ ලිපිය කෙළවර කරලා කරන්නට තියෙන පළමුවැනි කටයුත්තත් වයිට් ෆෑන්ග් කියවන එක යි.

ඊළඟට හිත පැහැර ගත්තේ, මැග් කැබොට්ගේ "Teen Idol" කියන තරමක් සුකුරුත්තම් පෙනුමක් තිබුණ පොතක්. සාමාන්‍යයෙන් නම් වැහි දැරිවි මේ වාගෙ පොත් කියවනවා බොහෝම අඩුයි. ඒත් පොතේ අග පිටුවෙ තිබුණු කතාවෙ සාරංශය දුටුවාම මේක මැග්ගේ සුපුරුදු මල් කතා ශෛලියෙන් බැහැර ගිය වෙනස් කතාවක් කියා මට හිතුණා. හිතුවා වාගෙ ම ඒක කදිමයි තමා. සෙම්ප්‍රතිශ්‍යාව‍ෙන් පීඩා විඳිමින් උන්නු බයංකර වැහි දවසක් එපා නොවී ගෙවා දමන්න උදව් වුණේ ඒ කදිම නවකතාව. අවුරුදු දහඅටක නව යොවුන් දැරියකට සමාජ වෙනසක් කළ හැකිය යන්න, ඉතා ම සිත් ගන්නා සුළු අන්දමින් ලියා තිබුණු - මානව දයාව පිරුණු කතන්දරයකුයි එහි අන්තර්ගත වූයේ...

තවත් අපූරු පොතක් එදා පුස්තකාලෙදි මුණ ගැහුණා. ඒ වෛද්‍ය ස්පිටල්ගේ දියණිය ක්‍රිස්ටීන් ස්පිටල්ගේ "I am the Wings" නවකතාව. මාපිය දූදරු බන්ධනය සම්බන්ධ ලෝක ප්‍රකට උදාහරණවලදී ඉදිරියෙන් ම ඉන්න මේ අපූරු තාත්තාත් - දෝණීත් ගැන තවත් ලිපියක් ලිවිය යුතු තරමින් කරුණු තිබුණත් ඇගේ කතාව ගැන ම කතා කරන්නට හිත බල කරනවා.

"අත්තටු මැවිලා" නමින් අනුලා ද සිල්වා අතින් පරිවර්තනය වුණු "I am the Wings" කුතුහලයෙන් පිරුණු නවකතාවක්. කතාවේ ඇරඹුමේ සිට අවසානය දක්වා විසල් සීතලක් තිබුණා. ලංකාවේ සේවය කළ වෛද්‍ය යුවළකට දා ව උපන් හින්දාමදෝ ක්‍රිස්ටීන් අතින් ලියැවුණු බොහෝ නවකතාවලට පාදක ව ඇත්තේ ලංකාවේ පරිසරය. මේ කතාවටත් එය පොදුයි. ප්‍රේමයෙත් - ත්‍රාසයේත් සංකලනයක් වූ මේ කතාව කියවන්නට පුරා හෝරා තුනක් සහ කෝපි බඳුනක් වැය වුණා. කඳුකරයේ ඒ හෑම තැනකම කතාවේ චරිතත් සමග මාත් ඇවිද ගියා වාගෙයි මට දැනුණේ. ඒ වාගේ ම අප රට පාලනය කළ සහ අප රටට සේවය කළ බහුතරයක් සුදු ජාතිකයන් ලාංකේය සංස්කෘතිය හෙළා දකිමින් කතා කළ යුගයක ක්‍රිස්ටීන් අප සංස්කෘතිය පිළිබඳ දක්වන ආදරය මාව විස්මයට පත් කළා. 

"I am the Wings" සහ "Teen Idol" කතාන්දර දෙක එකිනෙකට හාත්පසින් වෙනස් නවකතා දෙකක්. පරිසරයත් වෙනස්. කතා ශරීරයත් වෙනස්. සියල්ල එකිනෙකින් වෙනස්. ඒත් කතා දෙකේ ම තිබුණා සීතල ම සීතල දවසකට ඔබින සීතලක්. ඊට පරස්පර ව සීතල පරයාගෙන දැනෙන කෝපි උණුසුමකුත්. 

ඉතින් අනෝරා වැහි දවසකට ඊටත් වඩා වුවමනා වෙන මොනව ද...???