Wednesday, March 7, 2018

ආදරයේ විවිධ පාට, මෘදු යොවුන් පරපුරක අපේක්ෂාව සහ ඒ ලෙවල්!

ලෝකයේ බිහි වන කලාකෘති දෙවර්ගයකි. ඇතැම් කලාකෘති සිත නිවනතර තවත් සමහර නිර්මාණ සිත දවයි. එක් අතෙකින් නිරන්තරයේ දැවෙන ලෝකයක නිවුණු නිර්මාණ බිහි කිරීමද ඉතා අසීරුය. වෙ‍සෙසින්ම සුලබ තේමාවන්ගෙන් සහ ඒකාකාරී රංග විලාසයන්ගෙන් යුත් සිංහල සිනමාවේ එවන් නිමැවුම් බිහි වන්නේ අතැඟිලි ගණනටත් අඩුවෙනි. නිර්මාණය විය යුතු සමාජය ගැන කතා කෙරෙන කලාකෘති ඒ අතුරින්ද ඉතා දුලබය. 'ඒ ලෙවල්' පමා වී හෝ යමක් ලිවිය යුතු චිත්‍රපටයක් වන්නේ එහෙයිනි; සාකච්ඡාවකට බඳුන් විය යුතුම වූ බොහෝ දේ එහි අන්තර්ගතව තිබූ හෙයිනි. 

මා ඒ ලෙවල් පිළිබඳව දුටු පළමු ප්‍රතිචාරයෙන් මේ සටහන පටන් ගැන්මට කැමැත්තෙමි. එය ලියා තිබුණේ පසුගිය වසරේ හොඳම නැගී එන කවියා ලෙස සම්මානිත වූ ප්‍රියලාල් කොග්ගලගේ සහෝදරයාය. (ඔහුගේ කවියක් සයිමන් නවගත්තේගමයන් පිළිබඳ ලියූ පෙර සටහනකද සඳහන් කළෙමි.) සාමාන්‍යයෙන් ඔහු වෙතින් සුබවාදී විචාර පළ වන්නේ ඉතා අඩුවෙනි. යමක් ගැන ඔහුගේ විවේචනය තියුණුය. බොරු වර්ණනා නැත. එහෙත් ඒ ලෙවල් යනු ''නැරඹුවායින් පසු අපරාදේ කියා නොසිතුණු අතළොස්සක් වූ සිංහල චිත්‍රපට කිහිපයෙන් එකකැයි'' ඔහු ලියා තිබුණි. 

‍ඒ ලෙවල්හී නිරූපිත යෞවනය පවිත්‍රය. එය වැඩිහිටි වියේ ආත්මාර්ථකාමී අපේක්ෂාවන්ගෙන් කිලිටී වී නැත. වෙසෙසින්ම අනුත්තර සහ අහිංසා නියෝජනය කරන්නේ නිර්මාණය විය යුතු වූත් - සබුද්ධික වූත් පාසල් සිසුවා සහ සිසුවියයි. පවතින සමාජය තුළ අත්දකින්නට ලැබෙන තාරුණ්‍යය කෙළෙසුණු එකක් වන්නට පිළිවන. මෙපමණ මෘදු පැවතුම්වලින් යුත් තරුණ තරුණියන් අල්පමාත්‍ර වන්නට පිළිවන. එහෙත්  නව යෞවනයත් තාරුණ්‍යයත් අතර වන, නොඑසේව පැවතිය යුතු වන භද්‍ර යෞවනයේ පිරිසිදු බව මෙකී යෞවන යෞවනියන් තුළ අතිශය පැහැදිලිව සටහන් වී තිබිණි. 

සිනමාපටයේ තේමාත්මක අගය පිළිබඳ තව දුරටත් කතා කරන කල සිහිපත් වන යමක් තිබේ. ඒ ළමා අපයෝජනය පිළිබඳ ගැඹුරු තේමාවකින් යුත් සිනමාපටයක් අප රට තුළ බිහි නොවන්නේ මන්ද යන්න අප නිරන්තරයෙන් සංවාදයට ලක් කළ අන්දමයි. ඒ ලෙවල් සාර්ථක ලෙස ඊට පිළිතුරු සපයයි. සියලු සිදුවීම් එකට බැඳ තබන හුය වන්නේ එකී තේමාවයි. සිහිනි පිළිබඳ සිදුවීම ප්‍රේක්ෂකයාට සිහිපත් කරවන්නේ සේයා ඇතුළු සිඟිත්තියන්ගේ නිහඬ කරවන ලද කටහඬයි. සේයාගේ මරණය සිදු වූ අලුත තාත්තා සමඟ කොහේ හෝ වැඩසටහනකට යමින් සිටියදී රියෙහි රේඩියෝවෙන් පැරණි ගීතයක් ප්‍රචාරය විය. එහි ''දෙපිය නගා යන්නට බැරි කටු අකුල් කැලේ - සසර සරන තුරු නුඹ නොපිපියන් සුදු මලේ'' යනුවෙන් දෙපදයක් විය. ඒ වදන් මට සේයා සිහි ගැන්වූයෙන් මම ඒ වග තාත්තාට සිහිපත් කළෙමි. ඊට හෝරා දෙක තුනකට පසු  පැවැත්වූ දේශනයකදී තාත්තා ඒ බව සඳහන් කොට, ඒ කටු අකුල් ඉවත් කිරීමේ කාර්යය අප සතුව පවතින බව මතක් කර සිටියේය. ඒ ලෙවල් බලන්නට තාත්තාට ඉඩක් නොතිබීම පිළිබඳව මට පසුව කණගාටු සිතුණේ මේ කටු අකුල් ඉවත් කිරීමේ කාර්යය ඒ චිත්‍රපටය හරහා කදිමට සිදු ව තිබූ බැවිනි. 

ඒ ලෙවල් ආදරයේ විවිධ පැහැයන් වර්ණ ගන්වයි. එය හුදෙක් අනුත්තර සහ අහිංසා වටා දිවෙන ප්‍රේම කථාවක් නොවේ. එය ස්ත්‍රී පුරුෂ භේදයන්ගෙන් කිළිටි වී නැති මිතුදමෙහි ඇති ආදරයේ පැහැය ගැන කථාවකි. සිය සිඟිති දියණිය වෙනුවෙන් සටන් වදින මාතෘ ප්‍රේමය පිළිබඳ කථාවකි. තමන් හා ලේ බැඳීමක් නොමැති ජීවිතවලට පවා ආදරය කිරීමට උගන්වන සහෝදර ප්‍රේමය පිළිබඳ කථාවකි.  එසේම, ආදරය වියැකුණු ලෝකයක උපදින අමනුෂ්‍යත්වයේ දුර්ගන්ධය පිළිබඳවත් - ඒ දුර්ගන්ධය පළවා හළ හැකි අසීමිත ආදරයෙහි කැපවීම පිළිබඳවත් කථාවකි. 

පාසල් සිසුන් අතර ආදරය පහළ වීම වරදක් යැයි විශ්වාස කරන්නවුන්ට ඒ ලෙවල්හි වරදක් පෙනෙන්නට ඉඩ තිබේ. පුද්ගලිකව මමද පාසල් ප්‍රේමය අනුමත නොකරමි. අාදරය යනු ආදරය වටහා ගත හැකි වයසකදී හට ගත යුත්තක් මිස පාසල් වියේ අහම්බයක් නොවිය යුතු බවද අදහමි. අනෙක් අතට ආදරයට බෙදා වෙන් කිරීම් නැත. ජීවින් දෙදෙනෙකු අතර හට ගන්නා ආදරය, ඔවුන් කුමන වයසක විසූවද - සම්මත වුවද - අසම්මත වුවද - සම්ප්‍රදායික අඩි කෝදු තබා මිණිය හැකි වුවද නොහැකි වුවද - සෑම විටකම සාධාරණ ය. එහෙයින් ආදරයක හැඩය හෝ පැහැය කෙබඳු වුවද අපට එහි නිවරද බව තීරණය කරන්නට අයිතියක් ඇතැයි නොසිතමි. 

කොහොමටත් ඒ ලෙවල් කතා කරන්නේ ඉගෙනුමෙහි අතු ඉති බිඳින - පාසල් නිල ඇඳුම් පිටින් උපත් පාලන පෙති මිළ දී ගන්නා අන්දමේ මොඩර්න් පාසල් ආලයක් ගැන නොවේ. අතිශය පිරිසිදු වූත්- සුන්දර වූත් අවිහිංසක ආදරයක් පිළිබඳවය. සම්ප්‍රදායික කතාවක වීරයා සහ අනුත්තර අහසට පොළොව සේ වෙනස්ය. ඔහු ඇවිළෙන්නේද දැවෙන්නේද නැත. තමන්ද නිවී අනුන්ද නිවන අන්දමේ වෙනස් යෞවනයෙකි. අප සමාජයට අවශ්‍යද එබඳු තරුණයන්ය. කඩු පොලු ගෙන සටනට යන්නවුන් නොවේ; මෘදු වදනින්ද - යහපත් සිතුවිලිවලින්ද සමාජය නිවන්නෝය. තමන් තනිව නොව අන් සියල්ලන් සමඟ ගමනක් යා යුතු බව සිතන්නෝය. 

අහිංසා අපයෝජනයට ලක් වූ දැරියක වීම යන කරුණ හරහා නිර්මාණකරුවා අප ගෙන යන්නේ බටහිර සිනමාවෙන් ගැඹුරින් ස්පර්ශ වූ මුත් මෙතෙක් සිංහල සිනමාව අත නොතැබූ ඉසව්වකටය. මනෝවිද්‍යානුකූලව පිරිමියෙකු අතින් කුඩා කල අපයෝජනය වූ යුවතියක තුළ පසුකලෙක සිය ජීවිතයට සම්බන්ධ වන පිරිමියෙකු පිළිබඳවද පවතින්නේ පිළිකුළ - වෛරය සහ බිය කැටි වූ හැඟීමකි. එවන් යුවතියකට ප්‍රේම කිරීම පහසු කටයුත්තක් නොවේ. සාමාන්‍ය තරුණයෙකුට එවන් දැරියක වෙත ළං වන්නටද නොහැකිය. අනුත්තරගේ මෘදු බව ඔහු අනිත් තරුණයන්ගෙන් වෙනස් කරවන අන්දම වඩාත් වැදගත් වන්නේ එතැනදීය. ඔහු අහිංසා වෙත ළං වන්නේ ඉතා මුදුවය. ඔවුන්ගේ සබඳකම තුළ ඇත්තේ චමත්කාරජනක සන්සුන් බවකි. අෑ ගැන මැවෙන කටකතා නිසා අන් සියල්ලන් ඈ අතැර යද්දී ඔහු ඈ වෙත රැඳෙයි. තමන් ප්‍රිය කරන යුවතිය ලිංගික අපයෝජනයට ලක් වූ තැනැත්තියක බව දැනගැනීමම සාමාන්‍ය තරුණයෙකුට ඈව අත හැරීමට ප්‍රමාණවත්ය. එහෙත් අනුත්තර ප්‍රථම වතාවට අහිංසාගේ අතකිනුදු ස්පර්ශ කරන්නේද - ඇයට ප්‍රේමය පිළිබඳ සංවේදනාව පළ කරන්නේද ඈ අපයෝජිත යුවතියක බව දැනගත් පසුය. අනුත්තර අසාමාන්‍ය තරුණයෙකු වන්නේද ඔහුගේ ආලය යෞවනයට පරමාදර්ශයක් වන්නේද එහෙයිනි.

චිත්‍රපටයේ සංකේත භාවිතයද කදිමය. පෙර පාසලේ ගුරුතුමිය ලිංගික අතවර පිළිබඳව සඳහන් කරද්දී දිස් වන සිහිනිගේ සමීප රූප රාමු අතිශය සංකේතානුරූපී වේ. චිත්‍රපටය අවසානයේ අනුත්තර අහිංසාගේ පැන්සල සමඟ සිය පෑන හුවමාරු කරගැනීමද ප්‍රබල සංකේතයකි. ඔහු ඇගේ දෝමනස්සයන් සියතට ගෙන ඇගේ අනාගතය තහවුරු කරන්නට සූදානම් බව ඉන් අපූරුවට පැහැදිලි කරයි.

චරිත නිරූපණයට රංගන ශිල්පීන්ගෙන් ලැබී ඇති  දායකත්වය වෙත යොමු වන කල සියලුම ශිල්පීන්ගේ පාහේ රංගනය විවාදයකින් තොරව විශිෂ්ටය. පාසල් සිසු සිසුවියන් කිසිවකු ආධුනික රංගන ශිල්පීන් යැයි ප්‍රේක්ෂකයාට නොදැනෙනා පමණ ඔවුන් නිපුණතාවෙන් පිරිපුන්ය. ජනප්‍රිය යැයි ලේබල් ගැසුණු හුදු එළිය පමණක් සහිත ඇතැම් තාරකාවනට වඩා ඔවුන්ගේ කෞශල්‍යය ඉහළ ආස්ථානයක පැවතුණි. 

ලාංකික සිනමා ප්‍රේක්ෂකයා ඉදිරියේ සිටින්නේ සිරුරු පුම්බා ගත් වීරයන්ය. - සකල ශරීරයෙන් රූප සෞන්දර්යය වෑහෙන වීරවරියන්ය. එහෙත් ඒ ලෙවල්හි පාසල් සිසු සිසුවියන් ලෙස රංගන දායකත්වය ලබා දී ඇති සියලුම යොවුන් රංගන ශිල්පීන් - ශිල්පිනියන් ඉතාමත් සාමාන්‍ය පෙනුමැති පිරිසක් වීම ඉතා ප්‍රබල ලෙස කැපී පෙනෙන කාරණයකි. බොහෝ විට සිංහල සිනමාවේ පාසල් සිසුවියෝ සකල රූප සෞන්දර්යයෙන් අනූන වන අතර ෆවුන්ඩේශන් තට්ටු විසි අටක් ආලේප කොට, ලිප්ස්ටික් උලා, ඇස අංජන තවරා පාසල් එති. පාසල් සිසුන් සික්ස් පැක් සහිත වූ, දිදුලන ඡවි වර්ණයෙන් යුත් කඩවසම් ඉලන්දාරින්‍ ය. එහෙත් ඒ ලෙවල් නියෝජනය කරන්නේ පොදු සාධකයයි. ඔවුන් සියලු දෙනා වෙතින් දිස් වන්නේ ලංකාවේ ඕනෑම පලාතක උසස් පෙල පන්තියක යෞවනයන් වෙතින් දකින්නට ලැබෙන අන්දමේ බාහිර ස්වරූපයකි;  ඔවුන් නියෝජනය කරන්නේ අපට පෙනෙන - දැනෙන යෞවනයේ හරස්කඩකි. අහසින් බට තාරුකා පන්තියේ යෞවනයක් නොවේ.

මට දැනෙන අන්දමට ඒ ලෙවල්හී අපූර්වතම හැඩතල මැවෙන්නේ උමාලි තිලකරත්න නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය වෙතිනි. ඇගේ ප්‍රබල හැඟීම් ප්‍රකාශනය හරහා මාතෘ ප්‍රේමයේ අසීමිත වාත්සල්‍යය ඉතා තියුණු අන්දමින් ප්‍රේක්ෂයා වෙත ප්‍රේරණය වේ. පාරමීගේ චරිතය හරහා පසක් වන සුවිශේෂීම කරුණ නම් ඈ සිංහල සිනමාවේ අනාගතය තීරණය කළ හැකි සාධකයක් වගය. 

වේදිකාවේ වේවා - සිනමාවේ වේවා සිය සුපුරුදු කෞශල්‍යය විශද කරවන චාන්දනී සෙනෙවිරත්න, ජයලත් මනෝරත්න, ජයනි සේනානායක ඇතුළු කලාකරුවන්ගේ රංගනයද විය යුතු පරිද්දෙන්ම සුවිශිෂ්ටය. නමුත් තුමිඳු දොඩන්තැන්න යන ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පියා  තවත් ප්‍රබල ලෙස හසුරුවන්නට හැකිව තිබිණි යන්න සිනමාපටයේ ආරම්භයේ සිටම දැනුණු හැඟුමකි. 

ඒ ලෙවල්හී සංගීතයද චිත්‍රපටය හා කදිමට ඒකාත්මික වේ. එය ඇතැම් චිත්‍රපටයක මෙන් කතා සාරයටත් -සිදුවීම්වලටත් කොහෙත්ම නොගැළපෙන අන්දමේ කැවුම් සහ චීස් වැනි සංගීත සංයෝජනයක් නොවේ. අනෙක් අතට සුරේෂ් මාලියැද්දගේ සංගීතයෙහි හැඩතල කොහොමටත් වෙනස් සජීවි බවකින් යුතුය. මල කොතැන පිපුණාම, නොරිකො සං සහ විරාග රාගය ආදී රහක් ඇති ගීතවලින් හෙළි වන ඔහුගේ සංගීතයෙහි වන සුන්දර වෙනස ඒ ලෙවල් සඳහාද සාධාරණය ඉෂ්ට කොට තිබේ. 

සිනමාපටය පුරාම මට දැනුණේ සුළු අඩුපාඩු කිහිපයක් පමණි. ඒවාද සඳහන් නොකළ යුතු පමණ ඒවා බැවින් වැඩිමනත් ඒ ගැන ලියන්නට නොයමි. නමුත් චිත්‍රපටයේ ආරම්භය ගැන කිව යුතුමය. ඒ ආරම්භය තරමක් දුරකට ඇල්මැරුණු ස්වභාවයක් දරයි. කතා සාරය පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ නොසන්සිඳෙන උනන්දුවක් දල්වන්නට ඒ ආරම්භය ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට ඒ ලෙවල් වැනි ගැඹුරක් සහිත කතා වස්තුවක ආකර්ෂණය සඳහා හුදු චිත්‍රපටයක මෙන් 'ෆයිට් කෑලි' වුවමනා නැත. එහෙයින් ඊට වඩා ප්‍රශස්ත වූ ඇරඹුමක් ඒ ලෙවල් සඳහා එක් කළ හැකිව තිබුණැයි මම පුද්ගලිකව විශ්වාස කරමි. නමුත් හොඳ දේ බොහෝ ඇති තැනක කුඩා වරදක් සොයාගෙන ඒ ඔස්සේ යා යුතු නැත. 

සමස්තයක් වශයෙන් ඒ ලෙවල් වයස් භේදයකින් තොරව යහපත සමාජගත කිරීමේ ශක්‍යතාවෙන් යුත් කදිම චිත්‍රපටයකි. චිත්‍රපටයක වේවා - කවියක - ගීතයක වේවා - ඕනෑම සාහිත්‍ය නිර්මාණකය මුඛ්‍ය අරමුණ ලෙස අප දකින්නේද එයයි; අප ජීවත් වන ලෝකය පවතිනවාට වඩා යහපත් තැනක් කිරීමයි. රොහාන් පෙරේරා  සිංහල සිනමාවේ තබන ආස්ථානය සුවිශේෂී වන්නේද, ඒ ලෙවල් හුදු සිනමා පටයක් නොවී සිනමා සිත්තමක් වන්නේද ඒ 'වෙනස්' ආරම්මණය කරණ කොට ගෙනය.

24 comments:

  1. WOW. Cant believe someone of you age wrote this. Sound very mature. Honestly I cant write something like this even at my age.

    ReplyDelete
    Replies
    1. Ian uncle, you always overpraise me. Thank you so much - but I don't deserve that much of an admiration.

      Delete
    2. Hope uni work is progressing well. Please note that anything short of a First Class will not be acceptable. I am 100% sure you will get it.

      Delete
    3. /Cant believe someone of you age wrote this./

      I second the motion...:)

      Delete
    4. @Ian Uncle - Yes uncle. It goes quiet well. Thank you for the love,always. I'll pm you - I mean I'll send you an email. Our department has a high reputation of not giving first classes though!

      Delete
    5. @Ravi Uncle - You are the other one who overpraises this little idiot. So I should say, අනේ යන්න අංකොල් චේතිය පච ගහන්නැතුව - That's how you say it neh..))

      Delete
    6. /Our department has a high reputation of not giving first classes though!/

      ඒ අනම්මනම් වැඩක් නෑ. ෆස්ට් ක්ලාස් එකක් ගහල වරෙං හන්තානෙ පී.එච්.ඩී. එකට...හොඳද?...නවාතැන් free of charge අපේ ගෙදර....:)

      Delete
    7. එහෙම නවාතැන් හම්බෙනව නම් ඉතිං බැරිය.. හැබැයි මං කට වහන් ඉඳී කියල හිතන්නෙපා - අර චුට්ටිගේ කතාව ඔක්කොම කියනවා හිටං ආන්ටි එක්ක..))

      Delete
    8. ඔන්න ඉතිං ඕකනෙ කියන්නෙ..නොමිලේ නවාතැං දෙන ගුණේවත් තියන්ට නෙවෙයිනෙ මේ ලැහැත්ති වෙන්නෙ..සික් අන්තිම නරකයි..

      හැබැයි මට බය වෙන්ට දෙයක් නෑ..ඒ පරණ විස්තර ඔක්කොම එයයි දන්නව..

      මම උන්දෙ එක්ක යාලුවෙලා සතියක් යන්ට ඉස්සර එව්ව ඔක්කොම කිව්ව..

      ඊටත් අවුරුදු දෙකකට වගෙ පස්සෙ අපි බඳින්ට සතියකට වගෙ ඉස්සර මම එයයිට මෙහෙම කිව්ව..

      "මේ අපි බඳින්ට ඉස්සර මගෙ පරණ එෆෙයාර්ස් ඔක්කොම ගැන ඔයාට කියන්ට ඕන...මම එහෙමයි ඉතාම අබංකයි..විශ්වාසනීයයි.."

      "ඉතිං අපි යාලු වෙච්චි අලුතම ඔයා ඒ විස්තර ඔක්කොම මට කිව්වනෙ.."

      "ඒ කිව්වෙ ළමයො ඊට කලින් එව්වනෙ..."

      Delete
    9. ඉන්න පොඩ්ඩක්.. මම පී.එච්.ඩී කරන්න එහේ එන්න ඉස්සරලා මුලක ඉඳන් අග වෙනකං බ්ලොග් එක කියවලා බැන්දට පස්සෙ තිබිච්ච එෆෙයාර්ස් ඔක්කොම ගැන හොයාගන්නව..

      ඊට පස්සෙ මට නොමිලේ ඉඳුංහිටුං ඔක්කොම - තමුන්නැහැට ගෙදරින් කෑමත් නෑ..!

      Delete
  2. ළමා වියේ මේ වගෙ අපචාරයකට මුහුණ දුන්නු දැරියක් එයාගෙ තරුණ වියේ මුහුණ දුන්න බරපතල මානසික ප්‍රශ්න ගැන අත්දැකීමක් මට තියෙනවා. කොටින්ම පිරිමියෙක්ග අතක් වැදෙද්දිත් එයා ගැස්සෙනවා. ඒ මානසික අවුල එළියට ආවෙ වෙන වෙන ලෙඩ විදියට. ඒව දොස්තරලටවත් හොයාගන්න බැරිවුණා. නිතරම හීනෙන් බයවෙනවා. දවසක් මම නිකමට ඇහුවා මොකද්ද දැක්ක හීනෙ කියල. එයා කිව්වෙ කවුරු හරි එයාව දූෂණය කරන්න එනවා එයා බයවෙලා කෑ ගහනවා. බේරෙන්න හදනව හීනෙන් දකින්නෙ කියල.

    මට ඉවට වගේ දැනුණා අවුල කොතැනද කියල. හරිම පරිස්සමට හැන්ඩ්ල් කරන්න ඕන තැනක්. මං ඇහුවා ඒ වගේ දෙයක් වෙලා තියෙනවද? පුංචි කාලෙ හරි එහෙම මතකයක් තියෙනවද කියල. දවස් ගාණකට පස්සෙ තමයි කිව්වෙ පුංචිම කාලෙ ආච්චිගෙ මල්ලි, ඒ කියන්නෙ සීයා අතින් කරදරයක් වුණා කියල. වුණේ මොකක්ද කියල හරියටම මතක නැහැලු. ඇස් උඩ තියන් කෑ ගැහුව මතකලු.

    පස්සෙ සෑහෙන්න උපදේශනය දෙන්න වුණා එයාව මානසිකව ගොඩනගන්න. ප්‍රේම සම්බන්ධයක් ඇති වෙද්දි ඒ මල්ලිවත් දැනුවත් කරන්න වුණා මෙයාගෙ තත්වය ගැන. ඔය කියන අනුත්තර වගේම කොල්ලෙක්. තේරුම් ගැනීම අතින් ඉහළයි. අතින් අල්ලන්නත් සෑහෙන කාලයක් බලන් ඉන්න වුණා. බඳින්න කළිනුත් කෙල්ලගෙ මනස හදන්න උපදේශනය දෙන්න වුණා. දැන් දරුවෙක් ඉන්නවා. දෙන්න හොඳින් ඉන්නවා. ඒත් අර බලපෑම් නිසා ඇතිවුණ ප්‍රශ්න තාමත් තියෙනවා.

    පුංචි කාලෙ සිද්දවෙන අපයෝජනවල බලපෑම සමස්ත ජීවිතේටම බලපානවා.

    ReplyDelete
    Replies
    1. ඒවාට මනෝවිද්‍යාත්මකව ප්‍රතිකාර කරන්නම ඕනේ.නැත්නම් ඒ අඳුරු මතක අත් අරවන්න හරිම අමාරුයි.ගොඩක් වෙලාවට ළමයා අපයෝජිතයි කියලා දැනගත්තත් ළමයට දවසක ප්‍රශ්නයක් වෙයි කියලා වැඩිහිටියෝ වෛද්‍ය ප්‍රතිකාර කරන්නෙත් නැහැනේ.ඒ වගේ සමාජමය කාරණා එක්ක තමා මේ වගේ දේවල් තව තව සංකීර්ණ වෙන්නේ.ඒ ගැන ගැඹුරින් සහ සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් යන විදියට ඒ ලෙවල් හරහා කතා කරලා තිබුණා!

      Delete
  3. First of all, it is incredibly beautiful to watch. Honestly, it was so beautiful that I felt like I was sucked into the movie.

    ReplyDelete
  4. බලන්ට හිතුනෙ නෑ ඕක නම්.

    ReplyDelete
  5. යේක ජේමා කාලී. 😆😆

    ReplyDelete
  6. චිත්‍රපටිය තාම බලන්න ලැබුනෙත් නැහැ. ඒත් ඔයාගෙ රිවීව් එක කියෙව්වා. බලන්න ආස හිතුනා. වි⁣ශේෂයෙන් ගුරුවරයෙක් සහ ඉතාමත් කෙටි කලකට කලින් උසස් පෙළ පන්තියෙ ඉඳපු කෙනෙක් විදියට.. රිවීව් එකත් මධ්‍යස්ථව ලියවිල තියනවා.
    බ්ලොග් එකත් සෑහෙන කාලෙකින් අප්ඩේට් වෙලා තියන්නෙ. දිගටම ලියන්න..

    ReplyDelete
    Replies
    1. මිශ්‍ර පාසලක උසස් පෙළ කරන්න තිබුණ නම් කියලා මටත් හිතුණා ඒ ලෙවල් බලද්දී.. ඉතින් අයියට හුඟක් දැනෙයි බැලුවා නම්..!

      ලියන්න නම් බැරි වුණා තමා.. බලමුකෝ නේද දිගටම ලියන්න..!

      Delete