Sunday, March 18, 2018

''නීල වර්ණ නීල කොබෙයියෝ'' හෙවත් කළු කොල්ලෙකුට ලියූ සුන්දර ම පෙම් හසුන!

මා නිල් පාට ගීතවලට ආදරය කරන්නට පටන් ගත්තේ කොයි කාලයේද කියා මට හරියටම මතක නැත. එහෙත් 'නිල් නුවන් පෙඟෙන', 'නීල වරල නිල් චාමර', 'ඔබෙ නිල් නුවන් තලාවේ' ආදී නිල් පාට ගෑවී තිබුණු ගීතවලට මම ඉස්සර සිට ම ආසා කළෙමි.

මෙතෙක් කලක් හිතට වැදී නොතිබුණු 'නීල වර්ණ නීල කොබෙයියෝ' නමැති ගීතය ගැන අහඹු විවරණයක් කන වැකුණේ නොසිතූ මොහොතකදී ය. ඒ හඬ කාගේදැයි මා අදටත් දන්නේ නැත. ඇතැම් විට ඒ නිවේදකයෙකි. නැත්නම් ගීත රස වින්දකයෙකි.

එය කොබෙයියෙකු වෙනුවෙන් ගයන ගීයක් නොවන බව දැන උන්න ද ඒ තරම් සියුම් ලෙස මා කිසිදා ඒ වචන තුළ කිමිදී බලා තිබුණේ නැත. ඒ නාඳුනන ස්වරයේ අයිතිකාරයා කිවූ පරිදි මේ ගීය ගැයෙන්නේ අඳුන්වන් තරුණයෙකු වෙනුවෙනි. ගීය ගයන ප්‍රේමවන්තියගේ හදවත සොරා ගත් ඔහු කළු කොල්ලෙකි. සුදු කොල්ලන් බොහොමයක් මැද ඇගේ හදවත දිනාගෙන ඇති තරුණයා අඳුරු ඡවි වර්ණයකින් යුතු ය. ඒ අතින් බැලූ කල මේ ගීතය පරස්පර විරෝධී ගීතයකි. එහි ඇත්තේ සම්මතයට අභියෝගී කරන පැරඩොක්සිමය භාවයකි. 

එරන් මාල - එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

වඩාත් හෘදයග්‍රාහී වන්නේ මතු සඳහන් වන ප්‍රාර්ථනාව ය. කණගාටුවකට මෙන් පෙම්වතියන්ගේ අපේක්ෂාවන් පිළිබඳ ලියැවුණු බොහෝ සිංහල ගීතවල  බංගලි වළලු ගෙන එන්න පොරෙන්දු වූ තැනේ සිට කියැවෙන්නේ පෙම්වතියන් සිය පෙම්වතාගෙන් මාල-වළලු-දුහුලැල් සළු බලාපොරොත්තු වන වග ය. එහෙත් මෙගීය ලියූ රචකයා අවංක පෙම්වතියකගේ හෘදයාභන්තරය අපූරුවට විනිවිදන්නට සමත් වී තිබේ. ප්‍රබල ආදරයක් පතන යෞවනියක තුළ රන් අබරණ පිළිබඳ අපේක්ෂාවනට වඩා එහා ගිය සුන්දර ප්‍රාර්ථනා තිබේ. එබඳු පෙම්වතියක පතන්නේ අමාව සේ නිමා නොවන සිනා බිඳක් පමණෙකි. ඒ පැතුම ඉතා සරල ය. පී. එච්. චන්ද්‍රසිරි නොහොත් මේ කදිම ගීයෙහි පද රචකයා ඒ සරල වූත් සුන්දර වූත් අපේක්ෂාව චමත්කාරජනක ලෙස ගීයකට පෙරළා තිබේ.

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

අඳුර බිඳෙන සොඳුරු සිහින රැගෙන ඈ වෙත එන තරුණයා වෙළඳ දැන්වීමක පෙනී ඉන්නා බඳු සුදු - පැහැපත් තරුණයෙකු නොවේ. ඉතා වේගයෙන් ආදරය අළෙවි වන ලෝකයක් තුළ සෙලෝලයිඩ් ලෝකයේ දකින්නට ලැබෙන පෙම්වතා පැහැපත් විය යුතු ය. උස විය යුතු ය. සික්ස් පැක් සහිත විය යුතු ය. එහෙත් ආදරය යනු එබන්දක් ද? පැහැපත් වතක් - ගතක් උදෙසා පමණක් ඇති විය යුත්තක්ද  ? එය තරුණයන්ට ද වඩා තරුණියන් කෙරේ අදාළ වන්නකි. ස්ත්‍රීත්වය පුරුෂ භාවයට වඩා ඉතා වැඩි වේගයකින් අළෙවි කළ හැකි මාතෘකාවක් බවට පත් කොට ඇති බැවිනි.

ප්‍රේමයෙහි කළු - සුදු භාවය පිළිබඳ කතා කරද්දී සිහිපත් වෙන තරුණ යුවලක් සිටියි. ජපුර සරසවිය තුළ මුණ ගැහුණු පෙම් යුවළවල් අතරේ ඔවුන් දෙදෙනා මගේ මතකයේ වැඩිමනත් ඉඩක නවාතැන් ගෙන සිටිති. ඒ පෙම්වතිය අතිශය අඳුන්වන් ය. මහත ය. ඈ සුරූපී - සිහින් යෞවනියන්ගේ කුලකයට අයත් වූයේ නැත. ඊට හාත්පසින් ම වෙනස් ලෙස ඇගේ පෙම්වතා වූයේ සුදු කෙට්ටු උස කඩවසම් කොල්ලෙකි. ඒ වකවානුවේ සරසවියේ හුන් බොහෝ කෙල්ලන් ඒ තරුණයා දෙස බැල්ම ලාගෙන උන්නා මට මතකය. එහෙත් ඔහු ආදරය කලේ ඒ කළු මහත කෙල්ලට ය. ඒ හේතුව නිසා ම මම ඒ තරුණයාට අතිශය ගරු කළෙමි. 

එහෙත් සරසවිය ප්‍රමුඛ ලෝකයට ඒ ආදරය විහිළුවක් විය. විවිධ කාරණා නිසා ඔවුන් දෙදෙනා ළඟින් ආශ්‍රය කරන්නට ඒ වකවානුවේ සිදු වූ හෙයින් ඔවුන්ගේ සරසවි සගයන් ඔවුන් පිළිබඳ ව පැවසූ දේ නිරන්තරයේ මට ද අසන්නට ලැබිණ. 'අම්මයි - පුතයි වගේ' 'චීසුයි - කළු දොදොලුයි වගේ' ආදී ලෝක පූජිත සාහිත්‍යකාරයන්ටවත් මෙතෙක් හසු නොවූ අන්දමේ නානාප්‍රකාර උපමා මිතුරන්ගේ මුවින් පිට වීම ඔවුන්ට අතිශය සාමාන්‍ය කාරණාවක් වී තිබුණද ඒ දිනවල ප්‍රේමයේ ගැඹුරක් දැන නොසිටි අවුරුදු දොළහක පමණ කෙල්ලක වූ මා ඒ වචන ඇහෙද්දී අතිශය අපහසුතාවට පත් වූවා මට මතක ය.

දැන් ඔවුන් දෙදෙනා විවාහක ය. බාහිර රුවින් ගැළපෙනවා යැයි ලෝකය විසින් සලකන බොහෝ පෙම්වතුන්ට වඩා ඔවුහු සතුටින් ද - ආදරණීය ව ද ජීවත් වෙති. කළු - සුදු ප්‍රේමය පිළිබඳ ව මා වඩාත් ම රිදවූ අත්දැකීම වූයේ එය වූ මුත් පාරේ යනෙන එබඳු පාට දෙකකට අයත් පෙම්වතුන්ට කෙරෙන අපහාස ඕනෑ තරම් මගේ කන වැකී තිබේ. පාට අඩු කොල්ලෙක් පැහැපත් කෙල්ලක සමඟ පාරේ යන විට තැඹිලි ගෙඩියට කපුටා වසා ඇති බව ද - කළු කෙල්ලක පැහැපත් කොල්ලෙකු හා මග යනු දකින කල ඒ කොල්ලා කෙල්ලගේ සල්ලි බලයට නතු ව ඇයට ආදරය කරන වග ද නොකිවහොත් සමහරුන්ට නින්ද යන්නේ නැත. 

කුඩා කාලයේ සිටම මට එය තේරුම් ගැනීමට නොහැකි වූ කාරණයක් විය. දෙදෙනෙකු අතර වන බන්ධනයක දී ගැළපිය යුතු වන්නේ හදවත් වග බරපතළ ලෙස විශ්වාස කළ මට ඡවි වර්ණයෙන් ආදරය මනින ලෝකය විහිළුවක් විය. 

අදටත් මම ඒ සමේ පැහැයට ආදරය කිරීමේ විහිළුව තේරුම් ගැනීමට අසමත් වෙමි. ඒ අසමත් බව නිසා ම මට මේ ගීතය වඩාත් දැනෙයි. ඉන්ද්‍රණි බෝගොඩ නම් ප්‍රතිභාපූර්ණ ගායනවේදිනියගේ හඬ කොල්ලෙකුගේ සමට නොව ඔහුගේ අධ්‍යාත්මයට ආදරය කරන කෙල්ලකගේ සුන්දර අපේක්ෂාවක් ලෙසින් විත් මඳ පවනක් ව හද තන්ත්‍ර පිරිමදිනු දැනෙයි. 



41 comments:

  1. දැන් මේ දැරිවිට හිතේ හැටියට වැස්ස වස්සවන්න ඉවර වෙන්නෙ කොයි වෙලේද නොදන්නා නිවාඩුවක් ලැබිලනෙ.

    බාහිර පෙනුමෙන් පිටස්තරයින්ට නොගැලපෙනවා වගේ පේන ඒත් හදවතින් අපූරුවට පෑහෙන යුවලවල් මටනම් ඔනි තරම් මුණ ගැහිලා තියෙනවා.

    මම දන්න කෙනෙක් ඉන්නවා ඔයා කියනවා වගේ සුදු සිහින් කුලකයට අයිති නැති. එයා ඉන්ජිනේරුවරියක්, පීඑච්ඩී එකත් කලා. එයාගෙ ආදරණීය සැමියත් කඩවසම් කුලකයට අයිති නැති කළු එච්චර උස මහතත් නැති අයෙක්. ඒ දෙන්නා බොහොම ආදරෙන් ජීවත් වුණ යුවලක්. මම පස්සෙ කාලෙක දැනගත්තු විදිහට ඔහු රැකියාව කලේ පුද්ගලික බස් එකක. ඒ දෙන්නගෙ පෙනුමෙන් හෝ වෙනත් කිසිම දේකින් කාටවත් කියන්න බෑ එක්කෙනෙක් අනෙකාව රවට්ටා ගත්තා කියලා

    ReplyDelete
    Replies
    1. අනධ්‍යයන කාර්ය මණ්ඩලේට පින් සිද්ද වෙන්න තමා අක්කේ.. බලමුකෝ ඉතින් නේද.. හැබැයි දැන් ඔබතුමී නම් දකින්නවත් නෑ වගෙයි..))

      ඒකනේ. ආදරේ පෙනුමෙන්වත්-රැකියාවෙන්වත්-කුලයෙන්වත්-ආගමෙන්වත් මනින එක විහිළුවක්..))

      Delete
  2. මේ නිවාඩුව මටත් එක විදිහකින් බලපාලා තියෙනවා වුණත්, ඉක්මනට නිවාඩුව ඉවරවෙනවානම් හොඳයි කියලා හිතෙනවා වුණත්, මේ මල් වැහි කෝඩෙට තෙමෙද්දී නිවාඩුව ඔහෙ තිබෙද්දෙං කියලාත් හිතෙනවා. :D

    ලස්සන ගීත විවරණයක් නංගෝ. නිල් පාට ගීතවලින් 'නිල් නුවන් පෙඟෙන' ගීතය තමයි මගේ කැමතිම ගීතය. ඒකෙන් පස්සේ 'නිල් අහස් තලේ'. ඇයි තව 'නිල්ල නගන ස්වර්ණ කිකිණි රාවේ'...

    ReplyDelete
    Replies
    1. එහෙම කමක් නෑ කියලා මට නම් හිතෙන්නෙ අර පටන් ගත්ත කතන්දරේ අවාරෙට නැතුව හරියට ලියනවා නම් තමයි.. හරිය..))

      ස්තූතී සිත්තමී අක්කා.. ඔව් ඔව් තව තියෙනවා තමයි නිල් පාට සින්දු. හැබැයි මං මේක ගාවම ආසම කුණ්ඩලකේසී සින්දුවට - නීල වරල නිල් චාමර පවන් සලන්නී!

      Delete
    2. නීල දෑස පුරා - ජෝතිපාල
      නීල නුවන් යුග - චන්ද්‍රෙල්ඛා
      සුනිල්වන් නුවන් යුග - සෝමතිලක ජයමහ

      මට මතක් වුණ කීපයක්. මේ සින්දුව කියන්නෙ කළු කොල්ලෙකුට කියල මං කවදාවත් හිතල තිබුණෙ නැහැනෙ.

      Delete
    3. ඔය එන්නේ තව සින්දු.. මගේ නීල නෙතු සඟලින් තව එකතු වෙන්න ඕන ගීතයක්.

      මේ විවරණය අහන තුරු කවදාවත් මටත් ඒ ගීය එහෙම දැනිලා තිබුණේ නැහැ තරු අක්කේ!

      Delete
  3. මාතෘකාව ගැන නොකියා මම කැමති නිල් සිංදුව ගැන කියන්නම්. මේක තමයි මගේ සිත්ගත් මුල්ම සිංහල ගීතය . අර්ථරසයට වඩා ශබ්ද රසයට වෙන්න ඕන හිත ගියේ.

    ReplyDelete
    Replies
    1. ඒක මට සටහන් කරන්නට මග හැරුණු සුන්දර නිල් පාට සිංදුවක්..!

      Delete
  4. පිටස්තරයෝ බොහොම දක්ෂයි අනුන්ගේ සපත්තුවකට බහින්නේ නැතුව නිගමන වලට එළඹෙන්න...එහෙම තමයි බහුතරයක් මිනිස්සු කුඩා කාලේ ඉඳන් පුරුදු පුහුණු වෙලා තියන විදිය...

    ප්‍රේමය සහ ඉතා දිගු කාලින බැඳීමක් ඇතිවෙන්න ඕනේ එකිනෙකාගේ මනස තුල මිසක පිටත පෙනුම තුල නෙවේ...

    සුන්දර සටහනක් වෙනදා වගේම වර්ෂා...

    ReplyDelete
    Replies
    1. ඔව් පොකුරු අක්කා..!

      ස්තුතියි වැහි වැටෙන තැනට ඇවිත් යනවට..))

      Delete
  5. නිල් පාට ගැන කිව්ව ගමන් මට මතක් වෙන්නෙ..නීල නුවන් යුග කවියක් විය ඔබගේ ... සින්දුව...මේකත් අහල තිබ්බට තේරුමක් දැනගෙන හිටියෙ නෑ... මේකටම ලගින් යන සිංදුවක් තමා මම හිතන්නෙ.. මෙන්න මේ සින්දුව

    https://www.youtube.com/watch?v=F4f8xZZuPmE

    රත්තරන් මැණික් මුතු මොකටද ඒවා.
    හිස් අතින් සිනා සිසී පැමිණේවා

    ReplyDelete
    Replies
    1. නීල නුවන් යුග නිල් පාට සින්දු අතරේ උඩින්ම තියෙන එකක් තමයි..))

      මේකත් සරල සුන්දර අපේක්ෂා පිරුණු ලස්සන ගීතයක්. ප්‍රේම් ලියපු බොහෝ ගීවල ඒ සුන්දරකම තියෙනවා මට හිතෙන්නෙ.

      Delete
    2. ප්‍රේමකීර්ති ගැන මම අහල තියන විදිහට ඔහු එහෙම සාහිත්‍ය පරිශීලනය කරපු කෙනෙක් නෙමෙයි. නමුත් ජීවිත අත්දැකීම් ඇතුලෙ මතුවෙන බොහෝම සියුම් තැන් හරි අපූරුවට වචන වලට අරගන්න පුදුම හැකියාවක් ඔහුට තිබුණා. ...

      තනි තරුවේ
      ඔබත් ඔහොම ඔතැන ඉන්න
      මමත් මෙහෙම මෙතැන ඉන්නවා..

      මේ වචන ටික ඇතුළෙ කොයි තරම් දුරක් යන්න පුළුවන්ද?

      Delete
    3. ඔහුගේ බිරිඳ දයා ද අල්විස් මැතිනිය ලියපු 'එකෝමත් එක දවසක' පොතේ ඒ ගොඩක් ගීතවල උත්පත්ති කතා තියෙනවා.. ඔබ කිව්වා වගේම ඒ බොහොමයක් හරිම සරල තැන්වලින් ඉපුදුණ ගීත..!

      Delete
    4. 'එකෝමත් එක දවසක' පොත නිර්මාණයට දායකත්වයක් දෙන්න අවස්ථාවක් ලැබුණා. එ් අතරෙදි පොත කියවගන්නත් පුළුවන් වුණා...ඒ වගේම සමන් අතාවුදහෙට්ටි මහත්මයාගේ ‘සමන් කියයි‘ පොතෙත් ප්‍රේම් සම්බන්ධ අත්දැකීම් විස්තර කරල තියනව....ඒ අය බොහොම සරලව සුන්දරව ජීවිතේ දැකපු චරිත...ගීත වලිනුත් මතුවෙන්නෙ ඒ රහ තමා....අනිත් ඒ යුගයෙ සමාජ පරිසරය ඇතුලෙත් හොද නිර්මාණ බිහිවෙන්න සුදුසු වටපිටාවක් හැදිල තිබුණ...දැන් හොද නිර්මාණ බිහිවෙන්නෙ නෑ කියන එක නෙමෙයි...නමුත් බොහොම කලාතුරකින් තමා හොද දෙයක් අහන්න දකින්න ලැබෙන්නෙ..මොකද දැන් තියෙන්නෙ බොහොම තරගතාරී වටපිටාවක්..පැත්තකට වෙලා යමක් නිදහසේ හිතන්න වෙලාව අහිමි වෙලා කාටත්.....

      Delete
    5. ඔව්. එතුමිය එක්ක පැයක් කතා කලොත් ගීත ගණනාවක උපත අහගන්න පුළුවන්. මට මතකයි දවසක් අපිත් එක්ක 'නැවුම් සුවඳින් ඔබේ මුව දුටු' ගීය ප්‍රේම් ලියූ හැටි කිව්වා. ඔවුන්ගේ අත්දැකීම් සුන්දර නිසා වෙන්න ඇති නිර්මාණත් ඒ තරම් සුන්දර..

      අපේ පරම්පරාවේ හොඳ නිර්මාණ කෙරුණත් වැඩිපුර සමාජගත වෙන්නේ එකම වචන, එකම නාද රටා සහිත විකාර ගීත. මාධ්‍ය හරහා බොහෝ විට අහන්න දකින්න සලස්වන්නෙත් හරයක් නැති දේවල්ම තමයි.

      Delete
    6. ඒ සින්දුව අහල නෑ.. හොයා බලන්න ඕන....අද කලාව ඇතුළෙ විතරක් නෙමේ රටේ ඉහළ ඉදන් පහළටම පිරිහීමක් නෙ තියෙන්නෙ..ඒ වගේ වටපිටාවක වටිනා දෙයක් බෙදාගන්න සුලු පිරිසක් හරි ඉන්න එක සතුටක්....

      Delete
    7. ඔව්.. සයිබර් අවකාශෙන් සමාන හදවත් ඇති අය මුණ ගැහෙන එක බොහොම සතුටක්..!

      Delete
  6. ඔන්න මේ පැත්තට ආවා... වැසී සින්දුව අහලා නම් තිබුනා ඒත් මේ තරම් දේ හිතුන් නෑ... "තැඹ්ළි ගෙඩියට කපුටෙක් වැසිම" අනන්තවත් අහපු විදපු අත්දැකීමක් ඒත් ඇත්තටම ආදරේ නම් කිසි දෙයක් අදාල නෑ....අපුරු සටහනක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කිඹුලී..!

      මටත් ඒ විචාරය අහන තුරු මෙහෙම දෙයක් ගැන හිතිලා තිබුණේ නැහැ..))

      Delete
  7. හොඳ සටහනක් නංගී.

    ජයවේවා!!!

    ReplyDelete
  8. මේ වැස්සට තෙමුනම මතක් උනේ ගිය සතියක මම ලියපු පොස්ටුවෙ අන්තිම හරිය,

    එදිනෙදා දිවියේ මුනගැහෙන දත් නොදත් ,නෑදෑ නොනෑදෑ ,අම මිතුරු නොම මිතුරු එකී නොකී සියලු පුද්ගලයන් සදහා දුටු පමණින් නීර්ණය කොට හරිහැටි නොදැන කොතරම්නම් ව්‍යාජ දත්ත අපවිසින් සිත තුල තැන්පත්කරගන්නවා ඇතිද එතනින් නොනැවතී සමාජ සිරස්තල කරනවා ඇතිද,.................

    සිත් ගත් අපූරු ලියවුමක්

    ReplyDelete
    Replies
    1. ඔව්. අපි හුගක් වෙලාවට මිනිස්සු මනින්නේ කිසිම වැඩකට නැති බාහිර කාරණාවලින්.. ඒ නිසා අහිමි විය හැකි දේ බොහොමයි..))

      ස්තුතියි සහෝදරයා..!

      Delete
  9. ගීතය අහන්න ඕනෙ මගේ ක්‍රමයට. ඊට පස්සෙ බලමු හිතේ ඇඳෙන චිත්‍රය මොකද්ද කියල.
    ප්‍රේමය නම් කලු- සුදු හෝ කුමන අයුරකින් හෝ මට අදාළ නැති බවක් තමා මට නම් තේරෙන්නෙ. ඉතිං මම නම් ඒ ගැන වැඩි සැළකිල්ලක් නැහැ දැන්. විවෘතව බලන්න පුරුදු වෙලා. හැබැයි අපේ පරණ ප්‍රේම ගී තියනවා මාර අර්ථයක් ඇතුලෙ තියනවා. ඉඩක් ලැබුනොත් බ්ලොග් එකේ දාන්නම්කො.

    ReplyDelete
    Replies
    1. අහලා බලන්නකො අඟහරු ලෝකෙ විදියට..!!

      Delete
  10. Replies
    1. ආන්න.. නිකං නිල් නෙමෙයි සුනිල්වන් සින්දුවක්..!!

      Delete
  11. ආදරය
    වර්ණ
    නොනගා
    දකිමු

    ආදරයට
    පාට
    දෙන්න
    බයයි

    පාට
    බොද
    වෙලා
    යද්දී

    හිතෙන්නේ
    ආදරේ
    පාට
    අවර්ණයිකියා

    ReplyDelete
    Replies
    1. අවර්ණ ආදරය වඩාත් ලස්සනයි මට දැනෙන හැටියට..!

      අපූරු පිළිතුරු කවියක්..!!

      Delete
    2. තුති වේවා !

      Delete
  12. වැසි දැරිය මැඩම්,

    මෙතන ඔබ ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් කර තිබෙන්නේ "නිල්" වචනය සහිත ගීත වලට වඩා කාලවර්ණ ඡවි වර්ණය හෝ යම් "පෙනුම" නැත්නම් වයස් සම්බන්ධ ගැටලු ආදරයට බලපාන'යුරු ගැන නේද?

    එහෙම ගත්තොත් නම් දික්තල-කාලගෝල කතාව, මනමේ කුමරි-වැදිරජු සඩන් ලව් එක සම්බන්ධ ගීත නැත්නම් "කළු කෙල්ලේ ඔබ හරිම හැඩයි"/ "ඔබ සොයනා කළු කෙල්ල මමයි" වගේ ඒව තමයි ගන්න වෙන්නේ.

    නමුත් ඔබේ "වැසි දැරිය" කියන අයිඩෙන්ටිටියත් (අනන්‍යතාවයත්) එක්ක මැච් වෙන්න කසුන් කල්හාරගෙ "නිලට නිලේ...... නිල් කැටේට කඩා හැලෙන ජල කඳකට සීත සදන උල්පත ඔබය... ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිට.. තාල නඟන රළ පෙල ඔබය.. නොසිදෙන පෙම් උල්පත ඔබය... බිඳෙනා පෙම් රළ පෙල ඔබය.." කියන ගීය නැත්නම් ඒ ළඟින් යන "නීල ජලාශේ රඟනා හංස කුමාරී" වගේ වේග රිද්ම ගීයක් වෙන්නත් ඇහැකි.

    "නිල්" පාටට සම්බන්ධ ගී ගත්තොත් "පාවෙනා නිල් වලාවේ.. රිදී ජලාශේ"/ "ඈ නීල වරල පිරලා ඈ යන ගමන හැඩවෙලා ගම්මානේ මිහිරියාව ගමම එළි කලා" / "නීල බිගු කැල කාම රස පෙල ආදරෙන් සනසාලා.. තිසර තුඩු මුදු තඹර පහසින් මෝහනය වීලා" / "නීල නුවන් සනසන්නම් රාධාවණී මා ඒන්නම්" / "නීල කඳුගැටේ"

    වගේ ඒවා මෙන්ම

    ප්‍රියාගේ "නිල් මහනෙල් මල කිම මේ සරදම්"/ නාරදගේ "ආදර නිල් දෑසේ", රූ ලේඛා ඩබලගේ "නිල් තරු නෙතු හිනැහේ", වගේම "නිල් අහාස් තලේ අගේ/ නිල් අහසේ තරු නැගිලා / නිල් නුවන් සුන්දරයි රෝස තොල් ලස්සනයි / නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී / සුනිල් වන් නුවන් නුග / ජීවන විල මැද සුනිල විලයි" වගේ කොච්චර තියෙද?

    ඇත්තටම මිල්ටන්ගේ "උපුල් නුවන් විදහා -> උපුල් = උප්පලවණ්ණ/ උත්පල (නිල්මානෙල්) වර්ණය නේද?

    "මල් මදහාස පීදෙනා නිල් නෙතු ඈගෙ වාසනා සෙනෙහස පෑවා ලංවීලා.." සිංදුවත් නිලට ආසන්න දම් පාට ගැන කියන "දම් පාටින් ලා සඳ බැස යනවා" එතකොට බස් අජ්ජගේ "බෝගන්විලා මලේ ලා දම් පාට වගේ" වගේ ලස්සන ගී ටිකක් මතකයට එනවා. කොහොම වුණත් මම ගීත ගැන එතරම් දන්න කෙනෙක් නෙවෙයි. මැත කරපු අපිට ඉතින් ආට්ස් / කලා-සාහිත්‍යය කොහොමත් ඇලජික්, නමුත් නිකන් මතක් වුණු ටිකක් ඔහේ ලියල දැම්ම. හික්ස්. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

    (මම ඇවිත් ඔබේ වටිනා බ්ලොග් පෝස්ට් එක වණ කළා නම් සමාවෙන්න)

    ReplyDelete
    Replies
    1. //මෙතන ඔබ ප්‍රධාන වශයෙන් සාකච්ඡාවට බඳුන් කර තිබෙන්නේ "නිල්" වචනය සහිත ගීත වලට වඩා කාලවර්ණ ඡවි වර්ණය හෝ යම් "පෙනුම" නැත්නම් වයස් සම්බන්ධ ගැටලු ආදරයට බලපාන'යුරු ගැන නේද?//

      පැහැදිලිවම. නිල් පාට ගීත ගැන කියා පටන් ගත්තේ ආරම්භයක් විදියට පමණයි. කතා කරන්නට වුවමනා වුණේ ඡවි වර්ණයෙන් ප්‍රේමය මැනීමේ ඇති හිස් බව ගැනයි.

      නිලට නිලේ, නීල ජලාසේ, නිල් මහනෙල් මල.. අවංකවම මාත් බොහෝම ප්‍රිය කරන ගීත.රාධාවණි ගීතයත් නිල් පාටයි කියා නම් මට මතක් වුණේ නැහැ.

      ඇනෝ හොඳ රසිකයෙක් කියලා තමයි පෙනෙන්නේ මේ වචන ටික කියෙව්වම. කලාව ඇලජික් කෙනෙක්ට ඔහොම ගීත මතකයක් තියෙන්න විදියක් නැහැ!

      ඒ හින්දාම බ්ලොග් පෝස්ට් එක ලස්සන වෙලා මිසක වණ වෙලා නම් නැහැ..))

      Delete
  13. උඩ කමෙන්ට් කරපු ගොඩක් අය සුප්‍රසිද්ධ දීනියස් ගීතරචක ප්‍රේම් (කීර්ති ද අල්විස්) ගැන ලියල තියෙන නිසා ප්‍රේම කීර්ති ද අල්විස් කිවියා ලියපු තනි තරුවේ වගේම "හෙට දවසෙ අප දෙදෙනා අද වාගෙම හමු විය යුතුවේ, අද දවසේ මවෙත ගෙනා 'මිහිර' හෙටත් ගෙන ආ යුතු වේ" වගේ ගී සම්බන්ධ නිධාන කතා ඔබ අසා ඇති.

    උඩ කියපු ශ්‍රීමතීගේ "රත්තරන් මැණික් මුතු" ගීය ලියපු එක ගැනත් රසවත් කතාවක් මා අසා තිබෙනවා. ප්‍රේම කීර්ති දවසක් ලාවට පොඩි සොට් එකක් (මත් පැන් වඩියක්) ගහන්ට විදිහක් නැතුව ලතවෙවී ඉන්නකොට දැක්කාලු ශ්‍රීමතී (තිලකරත්න) ගෙ හස්බන්ඩ් පාරෙ යනවා. ප්‍රේම් අත්පුඩියක් ගහල ගෙන්න ගත්තලු ළඟට;

    "කොහෙද බං මේ යන්නෙ, කඩාගෙන බිදගෙන?"
    "යනව බං, ශ්‍රීමතීගෙ රත්තරං බඩු වගයක් උගස් තිබ්බා, ඒව බේර ගන්ට
    "මෙහ්මයි මචං අපි මෙහෙම කරමු. හෙට මට පඩි. අපි ඕක හෙට බේරගමු"
    "හෙට! උඔ‍ගෙ පඩියෙන්! ඒ ඇයි මේ තියෙන්නෙ සල්ලි!"
    "ඒකනෙ කියන්නේ, මෙහෙමයි, දැන් අපි දෙන්න ගිහිං පොඩි (මත් පැන්) ශොට් එකක් දානව, ඔය සල්ලි වලින්, මම ඒක දෙන්නෙ හෙට, එතකොට අපි ඕක ගන්නෙ හෙට, ඒ විතරක් නෙවේ මගෙ ගානෙ වටින තෑග්කුත් දෙනව ශ්‍රීමතීට"

    කොහොම කොහොම හරි ප්‍රේම් යාළුවව පොළඔවගෙන ගිහිං ගැහුව අඩියක්, හුටා ..මදි......
    "ගෙනෙන් තව බාගයක්."
    "එතකොට......."
    "දැන් ඉතිං කොහොමටත් බෑනෙ බං, පලයන් ඇරන් වරෙන්, අපි හෙට ඕක බේර ගමු"
    යාළුව ගියා නාහෙන් අඬ, අඬා
    "යකෝ බිව්ව වගේ නෙවෙයි අද කොහොමද මං ශ්‍රීමතීට මූණ දෙන්නෙ #$%@......."

    ඒ උනාට ගිහිං බාගයක් අරන් ආව. ඒ එනකොට ප්‍රේම් අත පිහින කොළ කෑල්ලක යමක් ලියමින්
    හිටියා ඒක ඉවර කරල දුන්නලු යාළුවට;

    "මේක ගිහින් දීපං ශ්‍රීමතීට, මගෙන් තෑග්ගක්! මේක දුන්නම අද උඔ ෂේප්"

    ඒ කොළේ තිබුනෙ මෙහෙමයිලු;

    " රත්තරන් මැණික් මුතු මොකට ද ඒවා
    හිස් අතින් සිනා සිසී පැමිණේ වා
    .
    මට මල් කුමට ද මා උපන්නේ වන මල් උයනේ
    මට පැණි කුමටද මා සිටියා මී බැඳී අරණේ
    මිණිමුතු රන් සිව් සම්පත් ඇත මේ දෙරණේ
    ගෙන එනු මැන ඔබ මට සලසන රැකවරණේ
    .
    මුතුබෙල්ලෙකු මුතු රකින ලෙසින් කුසතුල සඟවා
    මතු ඔබ රැක ගමි මා සතු පිය සෙනෙහෙස හඟවා
    ඔබ පැමිනෙනු පසු සිහිලෙන් හදවත පිනවා
    මා ඉන් පසු ඔබ යන හැම තැනකම එනවා"
    .
    පද: ප්‍රේම කීර්ති ද අල්විස්
    තනුව / සංගීතය: වික්ටර් රත්නායක
    ගායනය: ශ්‍රීමතී තිලකරත්න

    ReplyDelete
    Replies
    1. හැබැයි හෙට දවසේ ගීතය ගැන තියෙන කතාවත් නිකං රසිකයෝ විනෝදෙට හදපු එකක් කියලයි කියන්නේ. මේ කතන්දරයත් එහෙම එකක් වෙන්න බැරි නැහැ..))

      ඒ කොහොම වෙතත් ඔය සින්දුව නම් බොහොම ලස්සනයි..))

      Delete
  14. අනධ්‍යන කාර්ය මණ්ඩලය දිගටම ස්ට්‍රයික් කරනු.. මීට බ්ලොග් ලෝලී පාඨක ප්‍රජාව

    ReplyDelete
    Replies
    1. හපොයි.. වැහි දැරිවිගේ ලිවීමේ වේගය ඒ තරම් පහත අඩියකට වැටිලා ද?

      Delete
  15. ම්ම්ම් කලු කොල්ලන් ලස්සනයි කියල හිතෙන්නේ මට විතරද :) :)

    ReplyDelete
    Replies
    1. අපොයි නැහැ.. කලු කොල්ලන් ලස්සනයි..!!

      Delete