Wednesday, October 3, 2018

හිත ඇවිළවූ ගී මතක - ගී පැදුරු සහ සරසවි සාද!

අප සියලු දෙනාගේ ජීවිතවල අතිශය නොගැඹුරු - වැඩකට නැති - නමුත් අපව රිදවන මතක අැතැයි සිතමි. මම කුඩා කාලයේ අනුන්ගේ වේදනාවන් මගේ ඔළුවට අරගෙන ඒවා නිසා පීඩාවට පත් වෙන්න නම් දැරූ ජීවියෙක්මි. ඒ අැතැම් විට වැහි දැරිවි ඇබිත්තං දරුවෙක් කාලයේ නිතර ඇසුණු වචන පෙළක් නිසා වෙන්නටත් පුළුවන. 

''ලෝකයේ වේදනාවන් සිය හදෙහි දරාගෙන
හිනාවෙන්නත් හිනස්සන්නත් උගන්නමු''

එය ටිකක් බරපතළට ගත් දරුවෙකු වශයෙන් මම අන් අයට දුක හිතුණ ඇතැම් වේලාවල ඒ දුක්ඛයන් පරිකල්පනය කරමින් ඒවා තුළ ඕනාවට වඩා ජීවත් වීමි. ඒ නිසාම එබඳු දුක්මුසු දිනවල ඇසුණු ඇතැම් ගී මා හද ඉතා විසල් පරිමාණයකින් රිදවයි.

මේ ලියන මොහොතේත් මට ඉයර්ෆෝන්ස් තුළින් රොහාන් ශාන්ත බුලේගොඩගේ මධුර ගීයක් ඇසේ. 

''කල් බලා ඇවිත් 
තව්තිසා දෙසින් 
ගම්දොරේ මගේ පොඩි විමානයේ
පුන් සරා සඳත්
අද අගේ නොවේ
නුඹ අරා සිටී දිවි නිශා තලේ..''

ඒ හා බැඳුණු මතකය කුමක්ද කියා මට මතක නැත. ඇතැම් විට නව යොවුන් වියේ කිසිදා ඉටු නොවුණ සහ ඉටු කරගන්නට වුවමනා නොවුණු පැටලිලි සහගත සිහිනයක කල් ගෙවද්දී අහම්බෙන් ඇසුණක් විය හැකිය. මෙගී හිත නිවනවා වෙනුවට අවුලන්නේ වචනවලවත් - සංගීතයේවත් - තනුවේවත් - ගායනයේවත් වරදක් නිසා නොවේ. නම නොදන්නා මතකවල අවුල් වියවුල් නිසාය. 

තවත් එබඳු ගීතයකි, නන්දා මාලිනියගේ, නිම් වළල්ලෙන්! සුනිල් ආරියරත්නයන්ම ලියූ ගී නොගයා ඈ තවත් ගීත ගායනා කළා නම් කියා සිතෙන්නේ මහගමසේකරයන් ලියූ ඒ ගීය අසන විටය. සාමාන්‍යයෙන් විප්ලවීය තානයක් දරන ඇගේ අයෝමය හඬිනුත් සෞම්‍ය ප්‍රේමයක් නිපදවන්නට පිළිවන් බව මා දැනගත්තේ මේ ගීය ඇසූ පළමු දවසේය. 

''පෙළ ගැහී දුර වන්දනාවක
ඉගිල යන සමනළුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ..''

මේ වචන අසමින් මට සමනළ පියාපත් පාව යන්නට පිළිවන. ඉක්බිති අහස් ගඟබඩ හිමව් කුළු මත ප්‍රේමයේ රන් මිණි විමානයේ පහන් දල්වා තබා ඇත්දැයි මව මවා නිදන්නට පිළිවන. ඒවා ගීත නොව භාවනාවන් වන්නේ එනිසාය. 

එබඳු හුඟක් ගී ජපුරේ ගී පැදුරුවල අතීතේ ගැයුණු ඒවාය. නැත්නම් සිසුන්ගේ සමුගැනීම් සාදවල ගැයුණු ඒවාය. ඒ සමු අරන් යන කොල්ලන් - කෙල්ලන් හැඬුවේ අවුරුද්දකට පාරකි. අවසන් අවුරුද්දේදී පමණි. එහෙත් වැසි දැරිය වසර ගණනක් පුරා හැම බැච් එකක් වෙනුවෙන්ම දුක් ගත්තාය. එහෙත් දැන් වසර කිහිපයක සිට සමුගැනීම් සාදවල එබඳු සංවේදනාවන් දැනෙන්නේ නැත. නොනවතින දමිළ ගී වැළකට නටා හති වැටුණු පසු ළමුන්ට එදා මෙන් සරසවියෙදි අද විතරයි හමු වන්නේ - කිමද කුමරි නෙතු කඳුළැලි පුරවන්නේ කියා අසන්නට ඉසිඹු හැඟුමක් නැත. සිව් වසරක සරසවි ජීවිතය කොතෙක් මධුර එකක් වූවාදැයි එදා සිසුන් වෙතින් කෙරුණු ආවර්ජනා - ඔවුන්ගේ ඇස්වල වූ කඳුළු - අතැර යන්නට නොහැකිව බොහෝ වෙලා කෙරුණු ගැඹුරු සිපවැළඳගැනීම් - සුමධුර තානයකට වූ ගායනා සහ නර්තන වෙනුවට උමතුවෙන් මෙන් කෙරෙන අත පය විසිකිරීම් මා මවිතයට පත් කරන්නට පටන් ගත් පසු සමුගැනීම් සාද හා බැඳුණු දුක් සහිත ගීත මගේ ජීවිතයට එකතු වූයේ නැත. ඔවුන් නර්තනයේ යෙදීම ගැන කිසිදු ගැටලුවක් නැත. මතක ඇති කාලයේ පටන්ම විනෝද චාරිකා සහ සරසවියේ විනෝද සාද යනු නර්තයෙන්ද ජවයෙන්ද පිරුණු සුන්දර ඒවාය. ගැටලුව ඇත්තේ එතැන නොවේ. සිව් වසරක සුන්දර අතීතය කෙළවර කෙරෙන දවස වෙනත් සාදයක මෙන් නොව සුන්දර සංයමයක් ඇතිව විඳ - ජීවිතයකට අමතක නොවන මතක එක් කරගෙන - ආදරණීයව නික්ම යන්නට නොහැකි වීමේ අඩුව තුළ ය. යම් දවසක අපේ සමුගැනීම් සාදද මෙබදුම හැඟීම් විරහිත විප්‍රකාර බඳු වනු ඇති බව සිතා ඔළුව කල්පනාව හොඳ නැති වී ගෙන යන මොහොතකට අන්තර්ජාලයට රිංගන මම නොස්ටැල්ජියානු ගී මතකයක ගිලී සුවපත් වෙමි.

එවිට අතීතයේ මධුර වූත් - සරසවි සමුගැනීම් සාද මෙන්ම දැන් විනාශයට පත් වී තිබෙන්නා වූත් අසංක ප්‍රියමන්තගේ හඬ විත් හද පතුළේ තැනක ලැගුම් ගනියි.

''හිරු හැපී හඬන සයුරේ
තරු කඩා වැටෙන මොහොතේ
ඔබ සොයා ගනිමි
දඟ කරන තාරුකා යුවළක් ළඟ අහසේ
ලොව නිදි ගත් මේ යාමේ!'' 

12 comments:

  1. විරහවත් සැපයක් වුණත් ඒකත් කවදාහරි එපාවෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. සැප දුක කැරකෙනවා නේද!

      ඒකයි ඉයන් අංකල්ගේ ගීතය අපේ තාත්තා දේශන කීපයක පාවිච්චි කළා!

      Delete
  2. Oya hithe godak duka thiyagena hinawela inna kenekda wasi dariwi?

    ReplyDelete
    Replies
    1. No darling. I'm trying to stay happy and to make the world a happy place for the others as well. We can't ignore sadness though.I love to enjoy music whether they refer to happy or sad feelings!

      Delete
  3. ''කල් බලා ඇවිත්
    තව්තිසා දෙසින්
    ගම්දොරේ මගේ පොඩි විමානයේ
    පුන් සරා සඳත්
    අද අගේ නොවේ
    නුඹ අරා සිටී දිවි නිශා තලේ..''

    මේ හ සම්බන්ධ අත්දැකීම් සුන්දර මතකයන් වෙනවා, කොහොමත් සතුටුදායක හෝ දුක්ඛදායක ඕනෑම අත්දැකීමක් අතීතයට එක්වෙන්නේ සුන්දර මතකයක් වෙලා

    ReplyDelete
    Replies
    1. ඔව් පවුලූශා. තව එහෙම ලියන්නට අමතක වුණ ගීයක් තමා කොළඹ කැම්පස් එකේ ඉවාන් පවුලූශා ගීතයත්! ඔයාගෙ නම දැක්කාමයි මතක් වුණේ!

      Delete
  4. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි. ඒ පැත්තට ඇවිත් කියවන්නම් අනිවාර්යෙන්ම!

      Delete
  5. ආ මෙන්න මෙයා ලියල.
    මම නම් අනුන්ගේ දුක් ගන්න ගියේ නෑ. මොකද පොඩි කාලේ ඉඳන් මට මගේ ම වෙච්ච දුක් කන්දරාවක් තිබ්බා. හැබැයි ඉතිං ඒවා එහෙමයි කියල මම නම් හිතිං විඳවන්න ගියේ නැහැ. ඒවාට තියෙන්න ඇරලා මගේ පාඩුවේ හිටියා. ඒවා හිතට ආපු වෙලාවල් නැතුවමත් නෙවේ.
    ගීත ගැන කියන්න ගියොත් කමෙන්ට් එක පෝස්ට් එකක් වෙන නිසා මෙතනින් නවතින්නම්.

    ReplyDelete
    Replies
    1. හිතින් විඳවීමක් ගැන නොවෙයි මෙතන කතා කරන්නෙ. ගීතයක් විඳින්න ඒකට අදාළ මනෝභාවය අපට අදාළ නූනත් අදාළ කර ගත හැකි බව පිළිබඳව!

      Delete