Tuesday, April 30, 2019

_තාරකා_

පොත මත ම නින්ද නොයන ඇතැම්  දවසක මම නිදිමත දැනෙන තුරු ඈත අහසේ තාරකා දෙස බලා ඉමි. බොහෝ දිනවල මැදියම් රැය පසු ව යන තුරු මගේ කුටියේ කවුළු වැසෙන්නේ නැත. ගෙදර තිර රෙදි දමන්නට සැලසුම් කරන හැම විටෙකම මගේ කවුළුව නිදහසේ තබන්නට නිවැසියන් පොළොඹවාගන්නා පමණට සිහිකල්පනාව හොඳ නැති මට තාරකා යනු සරතැස නිවන දිව ඔසුවකි.

කළාතුරකින් උදා වන එවන් අහස් ඉසිඹුවක් ගෙවද්දී මට කලකට පෙර කියැවූ රසික ජයකොඩිගේ කවියක් සිහිපත් වෙයි. වසර දහයකට පමණ පෙර ඔහු රිවිසරසියට තීරු ලිපි ලියූ දවස්වල ඒ කවිවලින් මත් වූ මා ඔහුගේ බ්ලොග් අඩවිය වන දවසක්දා හැන්දෑවක සොයාගෙන එක හුස්මට එහි වූ සියලු ලිපි කියවාගෙන ගියා මතකය. තාරකා නම් පුදුම කවියක් එකල හමු වුණේ ඒ බ්ලොග් අඩවියෙනි.

ඉතා දිග දවසක අවසන
ඉබාගාතේ ගිය මේ කුළක්
කළුවරේ විත් වාඩි වෙනකොට
අත තබා
ඉහ ඉද්දර මුදුන් වෙන
නිවි නිවි දිලෙන හිනැහෙන
දිග සිහිනයක කෙටි නම
තාරකා..

කාටවත් නොපෙනෙන්න වකුටුව
ඇහැ පියාගත් විට දෙදණ මත
හිස තබා
ඒ තාරකාවට යා හැක
හිතා ගන්නත් බැරි තරම් දුර
පා නගා..

සැමරුම්, මතක, සුන්බුන් මඟැර
සීරුවෙන් ඇවිදින කල අලුත්
මං සොයා
හිතක් නැති ගිරිකුළක හිස මත
අහම්බෙන් මෙන් හැපී කැබලිව
විසිර යන අපූරුව අර!
තාරකා...

ඉතා දිග දවසක අවසන
ඉබාගාතේ යන මේ කුළක්
ඇසිල්ලක් නතරව ඇස් පියන් මත
අත තබා
බලෙන්ම නතර කරලන
ඒ දිග හැඟීමට දෙන කෙටි නම
තාරකා..

සිහිනවලටත්, හැගුම්වලටත් යා කොට තාරකා ගැන ඔහු එසේ ලියා තිබියදී  වඩා වෙනස් මානයකින් තරු කියැවූ කවියක් බූන්දියේ තිබී හමු වුණ මතකය ඇතැම් තරු රැයක හදවත වෙත ඇවිද එයි. ඒ කදිම කවිය ලියා තිබුණේ දිනේශ් සිල්වා විසිනි. විසල්ගේ වට්ස්ඇප් ස්ටේට්ස්වලින් දිනේශ්ගේ කවි නිරතුරේ කියවා තිබුණත්, මේ කවිය ඒ සියල්ලට වඩා ළය රැදුණේ තාරකා ගැන මා තුළ වන උන්මාදය නිසා විය යුතුය. එකව නම් කොට තිබුණේ, 'තාරකා මග වැරදුණු අය, අප එදෙස බලා ප්‍රාර්ථනා කළ අය' යනුවෙනි.

දශක ගණනක් දිගු පථයක
මියගිය පෙම්වතෙකු හොයාගෙන
ආය ආයෙම එන පෙම්වතියකට,
'හැලීගේ ධූමකේතුව' යැ, නොගැළෙපෙන නමක් දුන්නෙන්
හැම සිසිර වියෝ කාලයක, එක් කුඩා කාල පදාසෙක
ඔරායන් පසුබිමෙන් වහින්නේ උල්කාය...
එහෙත් ඈ මුහුළසෙන් බොහෝ කල් ලෙහෙන්නේ,
ආදරේ මුමුණමින් ශතවර්ශ පුරාවට
ඔරායන් පැළැන්ඳූ හිම මල් ය..."

සොඳුර,
වැරදි කාලයක පෙම්වතිය හැර, දඩයමෙහි ආ
පෙම්වතෙකුගේ බඳ පටිය පෙන්වන
තරු තුනක් දෙස බලා හිඳ
ප්‍රාර්ථනා කළ වරද මේ!
ඉඳින්, පමණක් ම අප දෙ'අත්ළෙන්
වැළකෙන්න හැකිද, මේ උල්කා වැස්සෙන්?
මට පෙනේ මතුව එන ලේ කැටි, ඔබේ හද අගිස්සෙන්

පැතිරුණු එකම දෙය දුක- එහෙත් තව ඔබ මෙහිය
විසිරුණු එකම දෙය හිත- එහෙත් තව අප ළඟය
ප්‍රේමය ප්‍රේමයෙන් ම දැල්වෙන, දැල් වී එළිය දෙන
පෙනේද? ඒ මතත් ප්‍රේමයෙහි මහත් කඳෝකිමි එළිය

මින් මනත
ඇවිද යනු මිස, ප්‍රාර්ථනා නොකළ යුතු!
තහනම් වචනය අහස!
අකැප වස්තුව - කඩා වැටෙනා තරු!
මන්දයත්,
ඔබ මුහුලසෙහි මල්
හැලෙන්නට ඉඩ නොදී සදහටම රැකගත යුතු! !

මට දැන් තාරකා බලද්දී මාරුවෙන් මාරුවට මේ කවි යුගළය සිහිපත් වේ. කඩා වැටෙන තරු දෙස බලා ප්‍රාර්ථනා කළ විට එපැතුම් ඉටු වන බව කුඩා කල කියැවූ ඇතැම් පොත්වල තිබුණා මට මතකය. ඒත් දැන් තාරකා දෙස බලද්දී ඔවුන් ඇත්තෙන්ම මග වැරදුණු අය බව මට සිතෙයි; විප්‍රවාසී තාරකා පෙම්වතුන් දෙස බලා ප්‍රාර්ථනා කළවුන් කොපමණ නම් මේ ලෝකයේ වෙසෙන්නට ඇත්ද? ඉදිරියටත් එසේ අහස දෙස බලා ප්‍රාර්ථනා කරන්නවුන් අපමණක් මේ පොළොව මත ඇවිද යනු ඇති!

සහස් තාරකාවලින් පිරි අනත් ආකාශය පිරික්සන කල තාරකා ගැන විසල් ආලයකින්ද, කුතුහලයකින්ද මහද පිරී යයි. අපේ අටේ කල්ලියේ කුමුදිකා විසාකාවේ තාරකා විද්‍යා සංගමයේ සභාපතිනියව උන් කාලයේ ඇයට කළ සියලු නින්ද අපහාස ඉල්ලා අස් කරගන්නට සිතෙන තරම් තාරකා මනරම් යැයි සිතෙන දවස් තිබේ. ග්‍රීක මිත්‍යා කතන්දර සොයා ඒවායේ අහුමුළුවල කිමිද පැය ගණන් ගත වූ දවස්ද තිබේ.

එහෙත් ඒ ෆැන්ටසි කතා පුවත්වල සිර වනු වෙනුවට මට දැන් තාරකා පිළිබඳ වන බුද්ධ දේශනාව සිහිපත් වෙයි. තාරකා පිලිබඳ ග්‍රීක මිත්‍යා කතා නිමැවෙන්නට පළමුව, තාරකා විද්‍යාව නම් විෂයක් බිහි වන්නට පළමුව, ලෝකය ෆැන්ටසිවලින් මිදී රියැලිටියට පැමිණ සියල්ල පිටුපස වන විද්‍යාත්මක හේතුකාරක සොයන්නට පළමුව විශ්වයේ පැවතුම ගැන පැහැදිලි කළ ලෝකයේ පළමු විද්‍යාඥයා වන බුදුන් වහන්සේ සිහිපත් වෙයි. ඒත් සමගම ඒ බෞද්ධ දර්ශනය තේරුම් ගනු වෙනුවට තාරකාවලින් තමන්ගේ අනාගතයට සිදු විය හැකි බලපෑම ගැන සිහි කරමින් කේන්දරයට ජීවිතය බාර දෙන බොදුනුවන් සිහිපත් වෙයි.  

ඒ අතර තමන් වෙතින් මිත්‍යාවක් මවාගත් දනන් ද, තමන් පිලිබඳ විදු පිරික්සුම් කරන දනන් ද, තමන් ගැන මධුර කවි ලියන දනන් ද මැද ඒ කිසිත් නොදැන තාරකා අනත් අහස මත යෙහෙන් වැජඹෙයි. 

8 comments:

  1. වෙන වැඩක් කරන්න හිතක් නැති වුනහම මටත් අන්තිමට ඉතිරි වෙන්නේ තාරකා විතරයි

    ReplyDelete
  2. තාරකා..
    මාර විෂයයක් ඔයා ඔලුවට දැම්මේ. මතකෙට ආපු ඔක්කොම සටහන් කරන්න නම් පෝස්ට් එකක් ලියන්න වෙනවා.
    නිසදැස් කවි ලියන්න නම් මම එච්චර දක්ෂයෙක් නෙවේ. ඒත් තරු ගැන අනන්තවත් කියවල තියනවා මිත්‍යා කතා, ආගමික කතා, තාරකා විද්‍යා සහ විද්‍යා ප්‍රබන්ධ හරහා.
    සතුටුයි ආය ලියවෙන එක ගැන නම්.

    ReplyDelete
    Replies
    1. ඉතිං හොඳයිනේ අඟහරු! පෝස්ට් එකක්ම ලියන්න එහෙනම්!

      කැම්පස් වසා ඇති තාක් ලියනවා!

      Delete
  3. //ඒත් දැන් තාරකා දෙස බලද්දී ඔවුන් ඇත්තෙන්ම මග වැරදුණු අය බව මට සිතෙයි

    "අහස් කාන්තාරයේ
    නන්නාඳුනනා ජීවිතේ
    ආලෝක වර්ෂ ග‌ෙවා
    ආදරේ අරමුණක් සොයන්
    පොළවට වැට‌ෙන
    දේවතා එලියක්
    ගිනි ගත්ත තරු එලියක්...."

    ReplyDelete
    Replies
    1. නියමයිනේ! අලියා විද්‍යාධර කවියෙක් වෙලා!

      Delete
    2. අම්මෝ.... මග‌ෙ න‌ෙව‌ේ අනුංග‌ෙ, :O ........

      Delete