Tuesday, July 6, 2021

සීතල වතුර පොද වෙත ලියා දන්වන වග නම්!

 ඇකඩමික් බරින් මිරිකී ගොසින්

වැටෙන්නට තනන කල තුරුණු පා

'නොනවතින්, තරුණ තොටිලිය' කියන කටහඩද,

පැණැසි තොටියන් වෙතට

මා ඔරුව පා කරන

අදිසි හස්තයද මා නිවන්නෙය..


ඇදුරිදුනි, බෝ වෙහෙස දවස් මේ..

එක තැනම කැකෑරෙන

නොවෙනස්ව - නොම ගලන

බරින් වෙහෙසින් තැවුල් දෙන දවස්..

ගලා යන දිවියකට පෙම්කෙරූ

යුවතියක හදට ඒ බර වැඩිය..


ඒත් ඈ ඔබව සිහි කරන්නිය

කොහේ කොතැනක වෙසෙත්

පිරිසිදුව ගලා ගිය

සීත දියවරක් වන් ඔබ දිවිය

වෙතින් ඈ කමටහන් ලබන්නිය..


නොවෙසෙනා ඔබ අසළ වෙසෙන්නිය

ආත්මය විනිර්මුක්තව නැසූ

ඔබ වෙතින් ආත්මය ලබන්නිය..

No comments:

Post a Comment