Monday, April 17, 2017

බලා වැළපෙමි - නෙලා ගනු බැරි - හන්තාන සිහිනේ...

මා උසස් පෙළ කරන්නට ගත් පසු ජීවත් වූයේ ම පේරාදෙණිය සරසවිය වෙනුවෙන්. පාඩම් කොට නිදිමත වෙන මධ්‍යම රාත්‍රීන්හී මම අන්තර්ජාලයෙන් පේරාදෙණි සරසවි ගීය අසන්නට පුරුදු වුණා. පරිගණකයේ මුහුණතට සරසවියේ රොබරෝසියා තුරු ගොමුවක පින්තූරයක් යෙදුවා. ඒ දිනවල මගේ සවනේ නිරන්තරේ රැව් දුන්නෙ ම සරසවි ගීයයි. උසස් පෙළ ලියන්න අවුරුද්දකට කලින් සරසවියට ගිය වෙලේ සරසවිය ගැන මෙහෙම පද ටිකකුත් ලියැවුණා.

මුල් ම දින නුඹ බලන්නට ආ
මැවේ මට මතකෙන්
පුංචි දැරියක් වීමි එදවස
හසර නොම දැන උන්
ඒත් එදිනත් නෙත් අයා
නැරඹුවෙමි නුඹ මවිතෙන්
ඉනික්බිති නුඹ දුටුව හැම වර 
පිරුණි හද පැතුමින්

යළිත් අද නුඹ බලන්නට විත්
නුඹ තුරුළෙ රැඳෙමින්
මවුනි අහුලමි නේ පැතුම්
තුඟු නැණ එළිය විඳිමින්
පියාඹනතර යොවුන් විහඟුන්
වසත් කල විඳිමින්
දකිමි තැන තැන රතු අකුරු
නුඹෙ තුරුණු විරු දරුවන්

හරිත තුරුලිය අතු අගිස්සෙහි 
රැඳෙන පිනි අතරින්
මවුනි සරසවි ගලන සිහිලස
දැනෙයි මට නොමඳින්
වැටෙන වැහි බිඳු සොඳුරු කඳුකර
ඉම් පෙදෙස් අහසින්
වැටී මහදට පුබුදුවයි සිත
පැතුම් මල් අලුතින්

අනෙක් හැම පැතුමක් ම ගිලිහී

මහදවත ගැඹරින්
නැගෙයි පැතුමක් මවුනි නුඹට ම
හිමි වෙනා විලසින්
කලා - සිප් දරනා දයාබර
දෑත දිගු කරමින්
මා තබා ගනු මැනවි සෙනෙහෙන්
දිනෙක ඔය තුරුළින්..

ඒත් කාලය බොහෝ දේවල් වෙනස් කරනවා.

උසස් පෙළ විභාගය කෙළවර වන කාලය වන විට මගේ සරසවි සිහිනය වෙනස් ම දිශානතියක් වෙත යොමු වෙලා තිබුණා. පළවෙනි හේතුව වුණේ පවුලේ සමීපතමයන් අත හැරලා ඒ තරම් දුරකට යාම ඔවුන්ට වගේ ම මටත් අතිශයින් අසීරු කාරණයක් වීම. ඉගෙනගන්නා අවදියෙදි පේරාදෙණිය සුන්දර ඉලක්කයක් වුණත් ප්‍රායෝගික ජීවිතේට ඒක අදාළ කරගන්න එක නොකළ හැකි දෙයක් ලෙස මට ම පෙනෙන්නට පටන් ගත්තා.


තවත් කාරණයක් වුණේ මං හදාරන්න හිතාගෙන ඉන්න විෂයන් එක්ක සලකා බලද්දී පේරාදෙණියට වඩා ඊට සුදුසු සරසවි ද්විත්වයක් තිබෙන බව දැනගන්නට ලැබීම. ඒ නිසා සරසවි අයදුම්පතේ මං මුලටම යෙදුවෙ ගමනාගමනය අතින් පහසු සහ මට වඩාත් ම ගැළපෙන විෂය සංයෝජනය සහිත විශ්ව විද්‍යාලය.

බරපතළම කාරණය වුණේ ප්‍රේමය පිළිබඳ සිහින දැකීම අන්තිමේදී මං නවත්වා දැමීම යි. ප්‍රේමය යනු හන්තාන - ඩෙවෝන් - පේරාදෙණිය මල්වත්ත අසළ තිබෙන දෙයක් නොවන වග, නුවර අහස යටදී ම සන්සුන් දෑසකින් කියවාගත යුතු යමක් නොවන වග වසර ගණනාවකට පසු මට තේරුම් ගන්න පුළුවන් වුණා. 

ඒ ගැන කණගාටුවක් නැතත් සෙංකඩගලපුර සරසවි සිහිනය කොළොම්පුරයට මාරු වීම ගැන සිහින් වේදනාවක් විටින් විට හිතට දැනෙනවා. පේරාදෙණියට ගියපු මිතුරන් දුරකථන ඇමතුමක් දුන්නාම ඔවුන්ගෙන් මා පමණටත් වඩා විස්තර විමසද්දි එන්න පුළුවන්කම තිබිලත් ආවෙ නෑ කියා ඔවුන් බනින්නෙ මගේ හන්තාන සිහිනය ගැන ඔවුන් ද හොඳින් ම දැනගෙන උන් නිසයි. 

දවසක පේරාදෙණියෙන් එම්.ඒ එකක් කරන්නම්.. කියා ඒ මොහොතට මං හිත හදාගන්නවා. 

ජීවිතය අපට හැම දෙයක් ම දෙන්නේ නෑ තමයි. ඒ බව වැහි දැරිවි නොදන්නවාත් නොවෙයි. ඒත් හන්තාන සිහිනේ වදන් පෙළ ඇහෙන හැම වැහි දවසක ම සිහිනය සෙමින් විත් මතක අවුළුවමින් හිතේ නොපෙනෙනා තැනක් රිදවන්නට පටන් ගන්නවා. හරියට මේ ගීය, පේරාදෙණි සරසවිය නමැති පෙම්වතා විසින් වැසි දැරියට ගයන්නාක් බඳුයි. සරසවියට අතිශයින් ආදරය කළ යුවතියකට හන්තාන අරණට නොඑන්නැයි කියන්නට තරම් සරසවියට නපුරු විය හැකිදැයි හිතමින් මං අමරදේවයන්ගේත් - උමාරියාගේත් අපූරුව හඬ සංකලනයට මහද පිරිමදින්නට ඉඩ හරිනවා. 

වැහි පබළු යට - රඟ මඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය - ළසෝ රඟහල
අමාවක අඳුරේ..
නොඑනු මැන ළඳුනේ
හන්තාන අරණේ....