Tuesday, November 28, 2023

ගුරු දියවර නවකතාව - විසි පස්වන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                  ගුරු දියවර 25



මිහිදුම් සළුතිර පැළැඳි නමුණුකුල

සෙවණැල්ලේ 

මුළු ලොවින් සැඟ ව යමු

නිකෙලෙස් හද බැඳි විකසිත ආදර

තේමා ගීතය එක් ව ගයන්නට

සංගීතවේදී සුනිල් එදිරිසිංහයන්ගේ සහ නීලා වික්‍රමසිංහ සංගීතවේදිනියගේ මේ හෘදයහාරී ගීතය රියෙහි ඇති සංයුක්ත තැටි වාදන යන්ත්‍රයෙන් ගඟුල් අවකාශයට මුදා හළ මොහොතේ ඊට සාවධාන ව සවන් දුන් මිහිදිනී ගීතාවසානයේ ඇති වූ නිහඬ විරාමයේ දී සිය හඬ අවදි කළා ය.

“ගඟුල් සර් මන් ඔය ගීතෙට කැමති යි ඒත් ඒක අපේ ජීවිතවලට ළංකර ගන්න කැමැති එක තැනක් වෙනස් කරල යි.”

“ඉතින් මාත් මිහිදිනී එදා ඉඳල ම ඔය ගීතය අහන්න කැමැති උනේ ම මට ඕන තැන සංශෝධනේ කරල ම තම යි. විපුල් අය්යා කියන මගේ විශිෂ්ට ම ශ්‍රාවකයා ඉන්න තැන දි මන් ඔය ගීතය ගායනා කළෙත් ඒ වෙනස කරල ම තම යි.”

“ඉතින් මටත් කියන්නකො ඒ සංශෝධනේ.”

“මට මිහිදිනී කවදාවත් ඕනෙකමක් තිබුණෙ නැහැ ලොවින් සැඟ ව ගිහින් මන් ආදරේ කරන කෙනා එක්ක අනික් අයට ඇහෙන්නෙ නැති විදිහෙ තේමා ගීතයක් ගයන්න. ඒක නිසා මන් ඔය ගීතෙ කිව්වෙ මෙහෙම යි.”

එසේ කියා ගඟුල් කෙළේ මෙතෙක් සිය සොහොයුරාට පමණක් ඇසෙන්නට ගායනා කළ සංශෝධිත ගීතය සිය නව ශ්‍රාවිකාවට ඇසෙන සේ මෙසේ ගායනා කිරීම ය.

මිහිදුම් සළුතිර පැළැඳි නමුණුකුල

සෙවණැල්ලේ අපි නොම සැඟ වී යමු

නිකෙලෙස් හද බැඳි විකසිත ආදර 

තේමා ගීතය එක් ව ගයන්නට

“ගඟුල් සර් මේක වෙන්න පුළුවන් දෙයක් ද දෙය්යනේ.”

“මොකක් ද මිහිදිනී ඔයා මේ වෙන්න පුළුවන් දෙයක් ද කියලා අහන්නෙ.”    1

“නෑ එක්කෙනෙකුට හිතෙන දෙයක් එයාව හමු වෙලා තියා හමු වෙන්න හිතලාවත් නොතිබිච්ච කාලෙක හිතිලා තිබිච්ච එක.”

“ඉස්සරනං මම එහෙම හිතුවෙ නෑ. ඒත් එක්කෙනෙක් හමු උනාට පස්සෙ එහෙම දේවල් වෙන්න පුළුවන් කියන එක මන් විශ්වාස කරනවා මිහිදිනී.”

ගඟුල් ඒ ප්‍රකාශය කෙළේ මිහිදිනිය දෙස බලා තිරසර හඬකිනි. අනතුරුව යළිත් කතා කෙළේ ද ගඟුල් ම ය.

“දැන් මට කියන්න මිහිදිනී, අර ඔයාට දැන් හමු වෙලා තියෙන ඒත් එයා හමු වෙන්නත් ඉස්සෙල්ලා ඔයාටත් හිතිච්ච එකම දේ.”

මිහිදිනී ඊට පිළිතුරු වශයෙන් කෙළේ ද ගඟුල් මෙන් ම මාතෘකාගත ගීතයේ මුල් පද ගැයීම ය.

මිහිදුම් සළුතිර පැළැඳි නමුණුකුල

සෙවණැල්ලේ මුළු අපි නොම සැඟ වී යමු

නිකෙලෙස් හද බැඳි විකසිත ආදර 

තේමා ගීතය එක් ව ගයන්නට

“මන් හැමදාම ප්‍රාර්ථනා කෙළේ ලෝකය අමතක කරලා මන් ආදරය කරන කෙනත් එක්ක විතරක් ගත කරන සැප පහසු ජීවිතයක් නෙමෙයි සර්. මන් කියන්නෙ බොරුනං සර් මන් සර්ට ගෙනල්ලා පෙන්නන්නං මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා ඔය ගීතෙ සර් කියපු වෙනස ම කරලා මන් දාපු දින සටහන.”

“ ඉස්සෙල්ල ම මට කියන්න තියෙන්නෙ මිහිදිනී ඔයාට දැන්වත් බැරි ද මට සර් කියන එකෙන් මිදෙන්න කියන එක. ඊළඟට කියන්න තිනේනෙ ආදරණීය පිරිසිදු දේවල් සනාථ කරන්න සාධක දෙන්න යන්න එපා කියන එක. මිහිදිනී, ඔයාගෙ ඔය ඇස් දෙක ම තමයි මට ඒක සනාථ කරන සාධකේ.”

එසේ කියන ගමන් ගඟුල් කෙළේ සිය වමත සුක්කානමින් මුදවා මිහිදිනියගේ හිස මත තැබීම ය.

“මන් යන ගමන් ඔයාට කියන්නංකො ඔයා වගෙ දේව දූතිකාවක් ගැන ලියවෙච්ච ගීතයක්. මන් දන්න තරමින් පහුගිය කාලෙ තිබිච්ච වැඩ කන්දරාවෙ හැටියට ඔයාටවත් රේණු අක්කටවත් මේක අහන්න ලැබිලා නැහැ. ඇහැව්වනං ඔය දෙන්න තමයි ඉස්සෙල්ල මට ඒක ගැන කියන්නෙ.”

“ඒ ගීතය ගැනත් කියන්න. ඒ වගෙම මට කියන්න ඔයාට මාව දේවදූතියක් වගේ ද පේන්නෙ කියලා.” 

“දේවදූතිකාවක් වගේ නෙමෙයි ඔයා දේවදූතිකාවක් තමයි මිහිදිනී. හැබැයි ඔන්න මට විතරක් ඔයාව දේවදූතිකාවක් විදියට පේනවනං ඒක ගණන් ගත යුතු නැහැ. මොකද ඔයාට මගෙ විශේෂ කැමැත්තක් තියෙන නිසා. ඒත් උදාහරණයක් විදියට ඉස්කෝලේ දරුවන්ට පොදුවේ ආචාර්ය මණ්ඩලේට අපේ අනධ්‍යයන කාර්ය මණ්ඩලේ අයට ඒ වගෙම මේ ඉස්කෝලෙ දරුවන්ගෙ අම්ම තාත්තලාට ඒ වගෙ ම නාගොල්ලාගම ගමේ ත්‍රී වීලර් එළෝන මිත්‍රයන්ගෙ ඉඳලා කාටත් ඔයා අපේ මිස් අපේ ටීචර් අපේ ඉස්කෝලෙ හාමිනේ වෙනවනං ඒකෙ තේරුම ඔයා දේවදූතිකාවක් කියන එක ම තමයි.”   

“මන් කෙසේ වෙතත් මේ වෙන කොට මුළු නාගොල්ලාගමටම අපේ සර් - අපේ මහත්තයා වෙලා දේව දූත පදවි ලබලා  තියෙන්නෙ කවුද කියන එක අපි කවුරුත් දන්නවා. ඒක නෙමෙයි දැන් සර් නෑ ඔයා කියන්ඩකො මට අර අපිට අහන්ඩ ලැබිච්ච නැති අපි අහන්ඩ ඕනෙමයි කියලා ඔයා හිතන ගීතෙ.”

ගඟුල් මාර්ගයේ වම්පසට වන්නට රිය නතර කෙළේ ය. ඒ වූ කලී නිහඬතාවේ සංගීතය පැතිරි ගිය නිස්කලංක නිමේශයක් විය. ඒ අතිසොඳුරු විජන පරිසරයේ නිහඬතාව මැදින් ගඟුල්ගේ අව්‍යාජ කටහඬට බැතිබර ව සවන් දෙන ශ්‍රාවිකාව බවට පත් වූයේ මිහිදිනිය යි.

“දේදුන්නෙන් පාට ඉල්ලන් සාදයට ආවා

තාරකාවක් සේ ම සැන්දෑවේ රැඟුම් පෑවා

ඈ නොකියා යන්න ගිහිල්ලා 

කෝ කොහි ගියා ද සින්ඩරෙල්ලා

කෝ කොහි ගියා ද සින්ඩරෙල්ලා

                              ආලින්දේ ඈගේ රන්වන් පාවහන් තිබුණා

මා උමතු කළ ඈගේ විලවුන් සුවඳ මට දැනුණා

    පාවහන් නැති ලෝකයක් වෙත

පා අහිමි මිනිසුන් සොයාගෙන 

ඈ ගිහින් තිබුණා

සින්ඩරෙල්ලා”

මාලිගාවෙන් ඈත ලෝකය හීනයෙන් පෙනුණා

පාද නැති සිඟමන් යදින වුන් 

මා සිතේ මැවුණා

ඒ ලොවින් ආ දූතිකාවිය 

ඒ ලොවේ බර බාර දී මට

ඈ ගිහින් තිබුණා

සින්ඩරෙල්ලා”   

දැහැනකට සම වැද මෙන් එසොඳුරු ගීය අසා සිටි මිහිදිනියගේ මුවින් පිටවූයේ මෙවන් මොහොතක ඈ මුවින් පිටවන සුපුරුදු වදන් කිහිපය යි.             

“අනේ දෙය්යනේ ඒකෙ ලස්සන. කවුද ඒක ලිව්වෙ. “

”ඒක ලිව්වෙ ආචාර්ය රත්න ශ්‍රී. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහගෙ. සින්දුව කියන්නෙ අලුත් පරපුරේ මලිත් හංසක කියලා තරුණ කොල්ලෙක්.”

“ඒක හරිම ලස්සන යි. ගීතෙ වචනත් ලස්සනයි. සංගීතෙත් ලස්සනයි. ඔයා කිව්වත් ලස්සනයි.”

“ඇත්ත මිහිදිනී, ඔය විදිහට මේ වගේ ගීතයක තියෙන අර්ථ මාධුර්ය වගෙම නාද මාධුර්ය විඳ ගන්න පුළුවන් දේව දූතියකට ම තමා. හැබැයි නාද මාධුර්ය හරියට විඳින්නනං මේක අහන්න ඕනෙ මලිත්ගෙ කටහඬින්. තව දෙයක් තියෙනවා ඔයාට කියන්න. ඔව් මන් ඔයාව දැකපු පළවෙනි දවසෙම හිතපු විදිහත් හරි.”

“මන් කිව්වෙ මේ ගීතේ ලස්සන ගැනනෙ. ගඟුල් සර් වෙන වෙන දේවල් ගැනත් කියනවනෙ. හොඳයි මොකක් ද සර් ඔයා මාව දැක්ක පළවෙනි දවසෙම හිතපු විදිහත් හරි කියලා කියන්න හැදුවේ.”

“ඇත්තටම මට ඔයා දැකපු පළවෙනි දවසෙම හිතුණෙ මේ නං දේවදූතියක් නේ ද කියල යි.”

“අනේ සර් ඔයා ඉඩක් ලැබෙන හැම වෙලාවකදිම විහිලු කරනවනෙ.”

“මිහිදිනී මට ඔයා විහිලුවක් නෙමෙයි මන් කියන්නෙ සීරියස් ව.”

“අනේ සර් අපි මේ ගීතය ගැන කතා කරමු ද”

“ඔන්න ආයිත් පටන් ගත්තා සර් බර් ගාන්න. කමක් නෑ කවදා හරි දවසක ඒක නතර වෙන්නෙ නැතෑ. ඒක නෙමෙයි මට කියන්න තියෙන්නෙ මේ ගීතය ගැන මට ඔයා එක්ක කතා කරන්න දෙයක් නැහැ කියන එක තමයි. ඔයා මේ ගීතයේ උපරිම වින්දිකාවක් බවට පත් උන බව මට ඇස් පනා පිට පේන්න තියෙන කොට.”

“මොනොව ද සර් කෙනෙක්ගේ උපරිම වින්දන මට්ටම තවත් කෙනෙකුට ඔප්පු කරන සාධක වෙන්නෙ.”

“මට හිතෙන විදිහට රසිකත්වයේ ඉහළ ම වින්දනය අවාචික ව ප්‍රකාශයට පත් කරන උපරිම ප්‍රකාශන මාධ්‍යය  තමයි ඒ රසිකයගෙ හරි රසිකාවියගෙ හරි ඇස්. ඒ ඇස් අපට එයාගෙ හදවත පෙන්නනවා මිහිදිනී.”

“ඔයා වෙනදටත් වඩා අද හරි අමුතු කතා තමයි කියන්නෙ.”

“උමතු නෙමෙයි අමුතු අය ළඟ ඉන්න කොට අමුතු කතා අමුතු සිතිවිලි තමයි ඇති වෙන්නෙ.” 

මෙසේ පවසා ගඟුල් මොහොතක් බලා සිටියේ මිහිදිනියගේ වත කමල දෙස ය. ඒ මොහොතේ ඔහුට සිහිපත් වූයේ කොළඹ කවි යුගය සුවඳවත් කළ එච්. ඇම්. කුඩලිගම නම් ප්‍රේමණීය කවියාගේ මන්බැඳි දෙකවකි. මේ මොහොතේ ඔහු කෙළේ එකව් මුළු හදින් කියමින් එහද ස්වරයට සවන් දෙන නිහඬ ශ්‍රාවකයා බවට තමා ම පත් වීම ය.  

“මුහුණින් පහළ කොට සඳ කැන් ජල ගැල්ම

පුදමින් විරාගික හුදු            පිරිසිදු ඇල්ම

ඇය නෙත් කොණින් හෙලු අවිහිංසක බැල්ම

අමතක නොවේ මා         ජීවත් වන කල්ම

බෙරලිය පඳුරු නලවන දිය කඩිති දිගේ 

දුව පැන නැටූ ඒ වන මෝහිනිය  මගේ       

තවමත් සිනාසෙයි පොඩි ළදැරියක වගේ 

මුහුණට වඩා හදවත ලස්සනය    ඇගේ”

“ ඇත්තටම ඕනම කෙනෙකුගෙ ලස්සන තියෙන්නෙ බාහිර පෙනුමට එහා ගිය දෙයක කියන එක මාත් පිළිගන්නවා. සර් හිතන විදිහට ලස්සන යි කියලා බාහිරෙන් පෙනෙන සමහර දෙනාගේ මොකක්දෝ අපට පේන දැනෙන අවලස්සනක් තියෙනව නේද?”

“මන් ලස්සන අවලස්සන තේරුං අරන් ගන්නෙ කාරණා හතරක් පදනම් කරගෙන යි.”

“ඒ කියන්නෙ ඔයාට පුළුවන් ද මට ඒක පැහැදිලි කරලා දෙන්න.”

“මෙහෙමයි මිහිදිනී, සමහර දෙනා ඔය සාමාන්‍යයෙන් කියන විදිහට බැලූ බැල්මට ලස්සනයි වගේ තමා පේන්නෙ. ඒ උනාට ඒ අයගෙ අභ්‍යන්තරේ ඒ කියන්නෙ හිත ලස්සන නැත්තං ඒකත් ලෝකෙට දැනෙන්න පේන්න ගන්නවා. ඒ කියන්නෙ ඒ අය අවලස්සනයි කියන එකම තමයි. තව පිරිසක් ඉන්නව බැලූ බැල්මට බාහිරෙන් ලස්සනක් නොපෙනුණත් හිත ලස්සන අය. අන්න ඒ ලස්සනත් අපට පේන්න දැනෙන්න ගන්න දෙයක්. ඒ අය අනිවාරෙන් ම අපට අයිති කරන්න පුළුවන් වෙන්නෙ ලස්සන කියන කුලකෙට.

“දැන් ඔයා හිතන විදිහට හිතලා මට පුළුවන් ලස්සන අවලස්සන ඊළඟ දෙගොල්ල අයිති කුලක දෙක කියන්න.”

“ඔයා මිහිදිනී නං ඔයාට ඒක පුළුවන් ය කියන එක ගැන මට සැකයක් නැහැ. ඒත් මන් කැමතියි ඔයා ඒක විස්තර කරන හැටි අහන් ඉන්න.”  

“ගඟුලැල් චින්තනයට අනුව හිතනව නං මන් හිතන්නෙ තුන්වෙනි කට්ටිය තමයි බාහිරෙනුත් ලස්සන ඒ වගෙම අභ්‍යන්තරෙනුත් ලස්සන. හතරවෙනි කට්ටිය බාහිරවත් සුන්දර නැහැ. අභ්‍යන්තරවත් සුන්දර නැහැ. හරි ද මන් කිව්වා.” 

“කාරණා දෙකනං හරියට ම හරි. ඒත් අර චින්තනේට දාපු නමනං වැරදියි. ඔය විදිහට හිතන එක ඇවිල්ලා ගඟුලැල් චින්තනේ නං නෙමෙයි චතුස්කෝටික චින්තන ක්‍රමය. ඒ කියන්නෙ එකම දෙයක් දිහා හතර ආකාරයකින් බලන එක. ඔහොම බලන්න පුළුවන් විදිහෙ බුද්ධියක් තිබිච්ච නිසා තමයි මිහිඳු මහ රහතන් වහන්සෙ අහපු ප්‍රශ්නවලට පැහැදිලි උත්තර දෙන්න තිස්ස රජ්ජුරුවන්ට පුළුවන් උනේ. එදා අපි හිටියනං මුළු ලංකාවට ම හරිම වැඩේ තමයි වෙන්නෙ.”

“ඒ කියන්නෙ අපිට බැරි වෙයි කියන එක ද එදා තිස්ස රජ්ජුරුවො වෙනුවට අපි එතන හිටියනං ඒවට උත්තර දෙන්න කියන එක ද?”

“නෑ අපි කියන එක වැරදි වෙන්න පුළුවන්. මන් හිටියනං බැරි වෙයි කියන එකයි හරි.”

ඉතින් සර් ඔයා ලස්සනට ඔය විග්‍රහය පටන් ගත්තෙ. ඉතින් කොහොම ද ඔයාට බැරි වෙන්නෙ ඒකට උත්තර දෙන්න.”                                                             

“ඒ කියන්නේ මිහිදිනී, මිහිඳු මහ රහතන් වහන්සෙගෙයි තිස්ස රජ්ජුරුවන්ගෙයි කතාව දන්න හින්දා ඒ ඔස්සෙ හිතලා දැන් උත්තර දෙන්න පුළුවන්. අපි ළමයො දවසක් මේ ගැන අපේ ලොකු සර් එක්කත්  ගොඩක් දීර්ඝ විදිහට සාකච්ඡා කළා.”

“අර දවසක් ගඟුල් සර්ලා ගහකට ආවේණික සුවඳ දහයක් ගැන කතා කළා නේද?”

“මිහිදිනීට ඇයි මේ වෙලාවෙ ඒ කාරණේ මතක් උනේ.”

“නෑ සර් එදා මට මතකයි ගහක කොළ සුවඳ, රොන් සුවඳ, පොතු සුවඳ, පල සුවඳ, මල් සුවඳ, මුල් සුවඳ වගේ සුවඳවල් දහයක් ගැන කියනවා. ඒ වගෙම එදා සාකච්ඡාවෙදි කියවුණා මුල් සුවඳ අමතක නොකරන අයට විතරයි මල් සුවඳ විඳින්න පුළුවන් වෙන්නෙ කියලා. මට හිතෙනවා සර් අපිට මේ ලෝකෙ ජීවත් වෙන ගෑනු මිනිස්සුන්ගෙන් ලස්සන අය විදිහට පේන්න ගන්නෙත් මුල් සුවඳ අමතක නොකරපු අයම තමයි කියලා.”

“ඔයා හිතන විදිහ හරියට ම හරි මිහිදිනී. දැන් අපි මේ යන්නෙත් තෙන්නකෝන් සර් කියන හැටියට මුල් සුවඳ අමතක නොකරපු මිනිහෙක් හොයාගෙන තමයි.”  

“අපි යන්නෙ අපේ ඉස්කෝලෙ එක කාලයක් ඉගෙන ගත්තයි කියන දේශපාලනඥයගෙ ගෙදරට නේද?”

“ඔව් ඒ අතීත ශිෂ්‍යයා තමයි එක කාලෙක අධ්‍යාපන ඇමති විදිහටත් කාලයක් කෘෂිකර්ම ඇමති විදිහටත් තවත් කාලයක් සංස්කෘතික ඇමති විදිහටත් වැඩ කළේ. අර ඉස්සෙල්ලා ඔයා දේශපාලනඥයගෙ ගෙදරට නේද මේ අපි යන්නෙ කියලා ප්‍රශ්න කරපු තාලෙන් පවා මට දැනුණෙ පොඩි විරෝධාකල්පයක්. අර ඉස්කෝලෙන් පවරපු වගකීම නිසා යනවා මිස මේ ගමන නං කැමැත්තෙන් කරන එකක් නං නෙමෙයි කියනවා වගේ ගතියක්.”

“හරි ගඟුල් සර් මට මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න. මන් දන්න ගඟුල් සර්රුත් දේශපාලනඥයො පස්සෙ යන්න කැමති කෙනෙක් නෙමෙයි. එහෙම තිබෙද්දිත් ඇයි මේ චරිතෙත් හමු වෙන්න යන්නං කියලා කැමැත්තෙන් බාර ගත්තෙ. ඔයා නිසානෙ අපිත් ආවෙ. මගෙ දෙවෙනි ප්‍රශ්නෙ තමයි වර්තමාන දේශපාලනඥයන් අතර මුල් කපාගත්ත මිසක් මුල් රකින මුල් සුවඳ අඳුනන අය ඉන්නව ද කියන කාරණේ.”

“බැලුවහම ඔයා අපේ රේණු අක්කටත් වැඩිය රැඩිකල්නෙ. දැන් මන් ද ඔය ප්‍රශ්න දෙකට උත්තර දෙන්න ඕනෙ.”

“නැතුව මෙතන ඔයයි මමයි ඇර වෙන කෙනෙක් නෑනෙ. ඔයා කැමැති උනා නං මේ කෙනා හමු වෙන්නත් මගෙ කැමැත්ත අකැමැත්ත මොකක් උනත් මටත් ඔයත් එක්ක මෙයා හම්බ වෙන්න යන්න වෙලා තියෙන නිසත් ඔයාට සිද්ධ ම වෙනවා මට උත්තර දෙන්න.ඒ වගෙම වෙනදටත් වැඩිය මට අයිතියකුත් තියෙනව ඔයා කරන දේවල් ප්‍රශ්න කරන්න.”

“අපොයි දෙය්යනේ මට වෙච්ච දෙයක්. හොඳයි හොඳයි මගෙ ගමන් සහායිකාව විදිහට ඉතුරු උනේ අපූරු ප්‍රශ්න විචාරිකාවක් වෙච්ච අර දැන් විශේෂ අයිතියකුත් තියෙනවා කියන ඔයාමනෙ. කමක් නෑ මන් මට පුළුවන් විදිහට ඔයාගෙ ප්‍රශ්නවලට උත්තර දෙන්නං. විශේෂයෙන් මේ වගෙ කාලෙක තමන්ගෙ ලාභ ප්‍රයෝජන ගැන නොහිතන ඕනෙම අවංක මිනිහෙක් ගෑනියක් ඉන්නෙ මිහිදිනීගෙ ස්ථාවරේ තමයි. ඒත් දේශපාලනඥයන් අතර මනුෂ්‍ය ගති ඇති අය එදා සිටියේත් නැත වර්තමානයේත් නැත අනාගතයේ ඇති වන්නේත් නැත කියලා කවුරු හරි හිතනවනං ඒක වැරදියි කෙල්ලෙ. මන් දන්නව ඔයා එහෙම පටු තැනක නැහැ කියන එකත්. මොකද දේශපාලනය ගැන අපි අතර ඇති වෙච්ච විවාදෙකට පස්සෙ මහාත්මා ගාන්ධිතුමාගෙ ජීවිත කතාව, නෙල්සන් මැන්ඩෙලාගෙ ජීවිත කතාව, ශ්‍රී නේරුගෙ ජීවිත කතාව මේ පොත් තුනම එකම දවසෙ ගෙනල්ලා මගෙ අතට දීලා සර් ආයෙත් සැරයක් මේ පොත්වල සමීප කියවීමක් කරන්න කියලා කියපු කෙල්ලත් ඔයානෙ.  ඒත් මන් දන්නවා මේ රටට ඇත්තට ම ආදරේ කරන ඔයා වගෙම යෞවන චරිත මේ ජරාජීර්ණ දේශපාලනේ අනුමත කරන්නෙ නැති බව.”

“මටත් වඩා මේ සම්බන්ධයෙන් බොහොම දැඩි ස්ථාවරේක ඉන්නෙ අපේ රේණු අක්කා. ගඟුල් සර් දන්නව ද දන්නේ නැහැ ඔයා නාගොල්ලගමටට එන්න  ඉස්සර වෙලා වෙච්ච වැඩක්.”

“ඉතින් මිහිදිනී, මන් එහෙට එන්න ඉස්සර වෙලා කොච්චරක්නං දේවල් වෙන්ඩ ඇද්ද ඒ හැම දේ ම ඉතින් මන් දන්නෙ නැහැ. හැබැයි ඉතින් ඔයා ඔය කියන්ඩ යන්නෙනං අපේ රේණු අක්කගෙ රැඩිකල් වැඩක් කියනනෙක නං මට තේරෙනවා. කියන්ඩ බලන්න මන් හරිම කැමතියි අපේ රේණු සහෝදරීගෙ වීර ක්‍රියාකාරකම් ගැන අහන්ඩ.”  

“ඔන්න අපේ ආචාර්ය මණ්ඩල රැස්වීමෙදි ශිෂ්‍යයන් එක්ක යායුතු අධ්‍යාපන ගමන් ගැන කතා කරන කොට විවිධ අදහස් ආවා. ඒ මාත් ආපු අලුත. අනුරාධපුර, පොළොන්නරු, සීගිරි, යාපනේ, නුවර වගේ තැන් බලන්න යන්නත් අදහස් ආවා. මේ අතරෙ එක සර් කෙනෙක් කිව්වා අපේ දරුවන්ට රට කරවන තැන බලන්න එක්කර යාමේ තියෙන වැදගත්කම. ආචාර්ය මණ්ඩලයෙන් ඒක අනුමත කරමින් කරන අදහස් තමයි ආවේ. මෙන්න මේ වෙලාවෙ තමයි රේණු අක්කා නැගිට්ටෙ.” 

“මොකද මේ ඉදිරිපත් උනේ කල් නොයවා ක්‍රියාත්මක අදහසක් කියලා රේණු අක්කා කිව්ව ද?”

ගඟුල් ඇසුවේ සිනාසෙමිනි.

“මොන මෙයා ලොකු සර් දිහාට හැරිලා අහපි සර් අපට ඕන කරන්නෙ අපේ දරුවන් හදා ගන්න ද නසා ගන්න ද කියලා.”

“ඉතින් ඉතින් එතකොට ලොකු සර් මොකද කිව්වෙ.”

“ලොකු සර් කිව්වෙද, සර් කිව්වා රේණු මිස් විදුහල්පති හැටියට මටත් මගෙ ආචාර්ය මණ්ඩලයටත් අවශ්‍ය කරන්නෙ අපේ දරුවන් හදා ගන්න මිසක් නසාගන්න නෙමෙයි කියලා. මේ අහන්ඩකො ඒකට රේණු අක්කා දුන්න උත්තරෙත්. එයා කියනවා දරුවො හදා ගන්ඩ ඕනෙනං අර ඉස්සෙල්ලා ආපු යෝජනා ක්‍රියාත්මක කරමු. දරුවො වනසගන්න ඕනෙනං ඔය අන්තිමට ආපු යෝජනාව ක්‍රියාත්මක කරමු කියලා.“

“ඉතින් මිහිදිනී එතකොට ඒකට ලොකු සර් මොකද කිව්වෙ.”

“ලොකු සර් කතා කරන්ඩ ඉස්සෙල්ලා අර යෝජනාව ගෙනාපු වැඩිහිටි ගුරුවරයා නැගිට්ටා. ඒ සර් කතා කළේ කේන්තියෙන් වෙව්ල වෙව්ල. ඔන්න අහගන්න එයා කියපු වචන ටික.”

“මේ ඉස්කෝලෙ ජ්‍යෙෂ්ඨ ගුරුවරයෙක් හැටියට වැදගත් යෝජනාවක් ගෙනාවම මේ පැරණි ගුරුවරු ඔක්කොම දෙනා නිහඬ ව අනුමත කරද්දි ඊයෙ පෙරේදා විශ්වවිද්‍යාලෙන් එළියට ආපු ඒ වගෙම ගුරු ජීවිතය ගැන තවම හරිහමන් අද්දැකීම් නැති මේ ආධුනික ගුරුවරීට කොහොම ද හය්යක් ආවෙ මේ රටේ තියෙන උත්තරීතර සභාව බලන්න අපේ ශිෂ්‍යයන් එක්ක යමු කියලා මන් ගෙනාපු යෝජනාව ප්‍රශ්න කරන්න ඒකට විරුද්ධ වෙන්න.”

“ඉතින් ඊට පස්සෙ මොකද උනේ.”

“ එයා ලොකු සර්ගෙන් ආයෙත් වචන කීපයක් කතා කරන්න මට අවසර දෙන්න කියලා ඉල්ලීමක් කළා. සර් ඔළුව වනලා ඒකට අනුමැතිය පළ කළාට පස්සෙ ආයෙත් රේණු අක්කා කතා කළා. එයා කිව්වෙ මෙච්චරයි.”  

“ලොකු සර්, ආචාර්ය මණ්ඩලේ වැඩිහිටි ගුරුවරයෙක් හැටියට මන් මෙතුමට ගරු කරනවා. මන් අදහස් දැක්කුවෙ සර් ගෙනාපු යෝජනාව ගැන මිසක් සර් ගැන නෙමෙයිනෙ. ඒත් සර් දැන් කතා කරන්නෙ මන් සර්ට ලොකු අවමානයක් කළා ය කියන හැඟීමෙන් කේන්තියෙන් වෙව්ල වෙව්ල. සර් ඔය උත්තරීතර සභාව යි කියන තැන පැවැත්වෙච්ච රැස්වීම් වාර කීපයක් ම දැකපු කෙනෙක් මම. ඒ හැම දවසක ම මන් ආවෙ ලොකු කළකිරීමකින්. මන් දන්න විදිහට සර් උගන්නන්නෙ බුද්ධාගම. සර් අපට වඩා හොඳට දන්නවනෙ බෞද්ධ සම්ප්‍රදාය උත්තරීතර තියෙන වචනෙට දීලා තියෙන විශිෂ්ට අර්ථෙ. මන් කිව්වෙ මේ සභාවට මගෙ අදහස. ඒක පිළිගන්න නොගන්න එක වෙනම කතාවක්. බොහොම ස්තුතියි ලොකු සර් මට කතා කරන්න අවස්ථාව දුන්නට.”

“ඉතින් මිහිදිනී ඊට පස්සෙ.”

“ඊට පස්සෙ ද ආයෙත් අර පරණ කේන්තියෙන් ම කතා කරන්ඩ ගත්තෙ අර සර් ම තමයි. කෙළින් ම චෝදනාවක් එල්ල කළේ නැද්ද ලොකු සර්ට. එයා කියාපි ඇවිල්ල දවසෙන් දෙකෙන් මේ අලුත් ගුරුවරියො අපේ අදහස් විවේචනය කරනවනං බුද්ධාගම උගන්නන මට මේ ඉංග්‍රීසි උගන්නන්න ආපු ගුරුවරි බෞද්ධ සම්ප්‍රදාය උගන්නන්නත් එනවනං අපිට පුළුවන් ද මේවා ඉවසන්න. මන් අහන්නෙ අපේ විදුහල්පතිතුමාගෙන්. ඔබතුමා කියන්ඩ මේ ගුරුවරීට මෙතෙන්දිම මේ කියපු කතාවට ප්‍රසිද්ධියෙ සමාව ගන්න කියලා. එහෙම නැත්තං මට සිද්ද වෙනවා අපේ උත්තරීතර ආයතනේ විවේචනය කළා කියන කතාව සඳහන් කරල ම මේ ගැන ඉහළට වාර්තා කරන්න.”

“ඉතින් මිහිදිනී ලොකු සර් මොකද කිව්වෙ.”

“ලොකු සර් කතා කරන්ඩ ඉස්සෙල්ලා වෙච්ච සිදුවීම් ටික තමයි මෙතන  දි වැදගත්. අර සර් අරහෙම කතා කරන කොට වැඩිහිටි ගුරුවරු කිහිප දෙනෙක් ඔළු වන වන ඒක අනුමත කළා. ඒත් මන් එදා හොඳට ම දැක්කා එක් වැඩිහිටි ගුරුවරයෙකු යි වැඩිහිටි ගුරුවරියක යි අප්‍රසාදයෙන් අර ගුරුවරයා දිහා බලන් ඉන්න හැටි. ඒ දෙන්නමගෙ මේ ගැන කතා කරන්න සූදානම තිබුණ වගේ පෙනුණත් ලොකු සර් බොහොම කාරුණික විදිහට බලලා ඒ දෙන්න ව නිහඬ කරපු බවකු යි මට දැනුණෙ.”

“කවුද මිහිදිනී ඒ.”

“එක්කෙනෙක් තමයි තෙන්නකෝන් සර්. අනික් එක්කෙනා සුමනා මැඩම්. ඒත් බැල්මෙන් විතරක් නිහඬ කරන්න බැහැ කියලා හිතෙන විදිහෙ තරුණ ගුරුවරයෙක් කතා කරන්න නැගිට්ටා. එයා ලොකු සර්ටත් අර සර්ටත් වැඩිහිටි ගුරු මණ්ඩලේටත් බොහොම ගරු සරු ඇතුව යි කතාව පටන් ගත්තෙ. පස්සෙ ඒවා ඊතල වගේ වෙන්ඩ ගත්තා.” 

“මට හිතා ගන්න පුළුවන් කවුද ඒ ගුරුවරයා කියලා. කියන්ඩකො මිහිදිනී කතාවෙ ඉතුරු ටිකත්.” 

“මට සර් අවසර දෙන්න වචන කීපයක් කතා කරන්න. මට හිතෙන්නෙත් අර උත්තරීතර සභාව කියලා කියපු තැන අපේ දරුවන්ට පෙන්නන්න අහන්න සලස්සන්න තරං තැනක් නෙමෙයි කියල යි. හැබැයි අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා අපිට කියලා දීලා තියෙන හැටියට ඉස්සර නං එහෙම තැනක් තිබිලා තියෙනවා. ඒත් දැන් එහෙමනෑ කියන එක බොහොම ප්‍රසිද්ධ කාරණාවක්. අපේ ජ්‍යෙෂ්ඨම ආචාර්යතුමෙක් දක්වපු අදහසුත් ඉතාම මෑතකදි අපේ ආචාර්ය මණ්ඩලේට සම්බන්ධ වෙච්ච ගුරුතුමියකුත් දක්වපු අදහස් මන් අහගෙන හිටියා. ඇත්තට ම මන් පුද්ගලයෙක් වශයෙන් අඳුනන්නෙ ඒ වගෙම කතාබහ කරලා තියෙන්නෙ අපේ ජ්‍යෙෂ්ඨ ආචාර්යතුමා එක්කයි. දැක්කහම හිනාවෙලා යනවා මිස තවම මට වචනයක් වත් කලින් කතා කරපු තරුණ ආචාර්යවරියත් එක්ක හුවමාරු කරගෙන නැහැ. ඒත් එතුමිය කතා කළේ ඇත්ත. අපි අපේ ශිෂ්‍යයො යොමු කරන්න ඕනෙ සත්‍යවාදී මාවතට මිසක් අසත්‍යයේ මාවතට නෙමෙයි. මන් මේකෙන් කිසිසේත් අදහස් කරන්නෙ නැහැ අපේ ජ්‍යෙෂ්ඨ ආචාර්යතුමා අසත්‍යයේ මාවතකට දරුවන් යොමු කරන්න කතා කළයි කියලා. අපේ සර්ට ජීවිතය ගැන ගොඩාක් අද්දැකීම් ඇති. ඒත් අර කියපු ආයතනේ වර්තමාන තත්ත්ව ගැන නං හරිහැටි දැනගන්න ලැබිලා නැහැ කියල යි මට හිතෙන්නෙ. යම් දවසක මේ තත්ත්වය වෙනස් උනොත් එදාට අපි අපේ දරුවො එක්ක යමු. කවුරුවත් මාත් එක්ක තරහ වෙන්න එපා. මන් කතා කළේ මට පේන දේ දැනෙන දේ. අපි ප්‍රාර්ථනා කරමු අර කියපු තැනත් කවදා හරි දවසක බලන්න පුළුවන් තැනක් වේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරලා අපි පොළොන්නරු, අනුරාධපුර, සීගිරි වගේ තැනකින් දෙය්යනේ කියලා වැඩ පටන් ගම්මු.”

අතුල අය්යා නේද ඒ සර් මිහිදිනී. හැබැයි ඒ අපි දන්න අතුල සර්නං ඔය තරං සංයමේකින් තමන් විරුද්ධ දේකට තමන්ගෙ විරෝධෙ පළ කළේ කොහොම ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.”

“ඔයා හරියට ම හරි වැඩේ කියන්නෙ අපිට අද්දකින්න ලැබුණෙ ඔයිට වැඩිය රැඩිකල් චරිතයක්නෙ. හැබැයි ලස්සන වැඩේ කියන්නෙ රැස්වීම ඉවර උනාම අර වැඩිහිටි සර් අතුල සර් ළඟටම ඇවිල්ලා කතා කළා කියන එකනෙ. ඒ සර් අහපි ඇත්තටම බන් මන් මෑතක දි ඔය සභාවෙ වෙච්ච කතා ඇත්තට ම අහලා නෑ. මට තියෙන්නෙ ඒ කාලෙ පක්ෂ විපක්ෂ භේදෙකින් තොරව මැති ඇමතිවරු කරපු කතා සඳහන් වෙලා තියෙන හැන්ඩ්සාර්ඩ් වාර්තා. ඇත්තටම බන් උඹලා ඔය කියන තරමට ම නරකද අද දවසෙ ඔතන වෙන කතා කියලා කිව්වලු. ඊට පස්සෙ ටිකක් ඈතට වෙන්න හිටපු රේණු අක්කගෙ ළඟට ම ගිහිල්ලා හොඳයි හොඳයි කියලා උඹ කෙල්ලෙ ඇවිල්ලා දවසින් දෙකෙන් අපිටත් ඇටෑක් කළා නේද කියලා හිනාවෙලා එතනින් ගියාලු.”

යළිත් කතා කිරීමට ගත්තේ ගඟුල් ම ය.

“දැන් මිහිදිනීට උනත් හිතෙනවා ඇති මමත් මේ කවුරු හරි දේශපාලනඥයෙක් ව උත්කර්ෂෙට නංවලා කතා කරන්න හදනවා කියලා. මන් නං හිතන්නෙ අපි කරන්න ඕනෙ මේ අය සපුරා ප්‍රතික්ෂේප කිරීමවත් සපුරා පිළිගැනීමවත් නෙමෙයි. පවතින යථාර්ථෙ තමයි මේ අය තමයි රටේ අධ්‍යාපනේ ආර්ථිකේ  සංස්කෘතිය ඇතුළු සමස්තෙට බලපාන තීරණ ගන්නෙ කියන එක. ඒ වගෙම බහුතරයක් කරන වැරදි නිසා ඒ අය අතර සුළුතරයක් හරි ඉන්න හොඳ මිනිස්සුත් අර ගොඩටම දාලා කතා කරන එක වැරදියිනෙ. මෙහෙම හිතන්නකො මිහිදිනී, අපේ ගුරුවරු අතරේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් කරන වැරදි නිසා අපිට පුළුවන් ද මුළු ගුරු සංහතිය ම ඒ ගොඩට දාලා කතා කරන්න.”

“ගඟුල් සර් කියන ඒ කතාවෙ නං ඇත්තක් තියෙනවා. ඒත් ඔයා මට දැන් මේකට උත්තර දෙන්නකො. අපි දැන් ඉස්සෙල්ලා කතා කර කර හිටියෙ දේවදූතියො දේවදූතිකාවො ගැනනෙ. දැන් ඔයාගෙ අවසාන විග්‍රහයෙ දි ඔයා  කියන්නෙ දේශපාලනඥයො අතරත් දේවදූතයො විදිහට හඳුන්නන්න පුළුවන් අය එක් කෙනෙක් දෙන්නෙක් හරි ඉන්න පුළුවන් කියන එක ද?” 

“මන් එහෙමම කියන්නෙ නැහැ මිහිදිනී, මන් කියන්නෙ දේවදූත හරි දේවදූති කියන වචනෙ ඒ විදිහටම දෙන්න බැරි උනත් තමන්ට පැවරිච්ච මෙහෙවර අවංක ව කරන්න යම් උත්සහයක් දරන චරිත එක්කෙනෙක් දෙන්නෙක් හරි අපි මේ බටහිර ජාතීන්ගෙ උවමනාවට පක්ෂ විපක්ෂ හැටියට බෙදිලා ඉන්න දේශපාලනඥයන් අතර අදත් ඉන්න පුළුවන් කියන එකයි.” 

“දැන් ඔයාට දේවදූත කියන වචනෙන් හදවතින් ම හඳුන්නන්න පුළුවන් චරිත ඉන්නව ද කියලා ඇහැව්වොත් දෙන්න උත්තරයක් තියෙනව ද?” 

“මට නං කියන්න පුළුවන් වෙන්නෙ හිටියා කියලා කියන එක යි. ඇයි සමන් සිත්තරා. ඒ තමයි අපේ යුගේ අපි දැක්ක දේවදූතයා. අපේ සර්ගෙන් ඇහැව්වොත් අර රත්න ශ්‍රී අය්යගෙ ගීතෙ තිබිච්ච විදිහට ඒ ලොවේ බර බාර දී මට ඈ ගිහින් තිබුණා කියන තැනට ආදේශ කරන්න පුළුවන් මෑත යුගේ ජීවත් වෙච්ච දේවදූතිකාවො කවුද කියලා සර් කියන්නෙ සර්ගෙ අම්මගෙ නම.”

“ඒ කියන්නෙ සර් සමන් සිත්තරාගෙ අම්මනෙ. එතකොට සර් කියන අනික් දේවදූතිකාව කවුද?”

“මිහිදිනී, මෙතෙන්දි අපි අද ජීවත් වෙන ඒ වචනෙන් හඳුන්නන්න පුළුවන් චරිත ලෝකෙ කොතැනක හරි ඉන්නව කියන හැඟීම හිතේ තියාගෙන තමයි ඔයාගෙ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕනෙ. ඒ අනික් චරිතෙ තමයි අපේ සර්ලත් එක්ක එක ම කාලෙක සර්ලගෙ පීඨෙ නෙමෙයි විද්‍යා පීඨෙ ඉගෙන ගත්ත නිර්මලා මිස්. ඒ මිස් සාමාන්‍යයෙන් කාන්තාවො පාවිච්චි කරනවා කියන ආබරණවත් දාපු කෙනෙක් නෙමෙයි. ඒ තියා මන් දැකපු කන් විදලා නැති කාන්තා අතිඅතළොස්සෙන් එක්කෙනෙක් තමයි එයා. සර්ලගෙත් එක්ක අද දවසෙත් ආචාර්ය අදිකාරම්තුමා කරගෙන ගිය වැඩ තමන්ට පුළුවන් විදිහට කරගෙන යන රවීන්ද්‍ර පලිහවඩන මහත්තයගෙ ලොකු නංගී. මහින්ද පලිහවඩන මහාචාර්යතුමාගෙ දෙවෙනි දුව. ඒ වගෙම ක්‍රිෂ්ණමූර්ති සංවිධානෙ වර්තමාන සභාපති මහාචාර්ය නලින් වික්‍රමාරච්චි සර්ගෙ ආදරණීය බිරිඳ. අපිට එතුමිය අපේ ඇස්වලින් දැකගන්න වාසනාවක් තිබුණෙ නැහැ. රවී මහත්තෙලත් නලින් සර්ලගෙත් එක්ක ටික කාලයක් හරි වැඩ කරන්න අපිට අවස්ථාව ලැබිච්ච නිසා ඒ චරිතෙ ගැන අපට හිතා ගන්න පුළුවන්. ඒ වගෙම තමන්ගෙ විශ්වවිද්‍යාලෙ තමන්ට පැවරිච්ච සේවා කටයුතු හරිහැටි කරගෙන යන අතරෙම තමන්ගෙ බිරිඳ කරගෙන ගිය යහපත් කටයුතුත් ඒ සර් නිහඬ ව කරගෙන යන විදිහ දැක්කහම මට මතක් වෙන්නෙ ඒ ලොවේ බර බාර දී මට ඈ ගිහින් තිබුණා කියන ගීතෝක්තියෙන් කියන පණිවිඩේ අපේ නලින් සර් කොයි තරන්නං ගැඹුරකින් බාරගෙන තියෙනව ද කියන කාරණේ ම තම යි.”

“ඔයා මේ නිර්මලා මිස් කිව්වෙ ලංකාවෙ වනාන්තර ගැන පළවෙනි වතාවට සිතියමක් හදපු මිස් නේ ද?”  

“ඔයා හරි මිහිදිනී ඒ මේ නිර්මලා මිස් ම තම යි.”   

“හැබැයි ඔයා කියපු ඒ එක්කෙනෙක් වත් දේශපාලනඥයො නං නෙමෙයි.”

අනතුරුව ගඟුල් රථය හැරවූයේ වන ගහණයක් මැදින් දිවෙන මාවතකට ය. ඒ මාවත දිගේ රථය ඉදිරියට ධාවනය වද්දී සිසු හද තෙමා ගලන ගුරු දියරක් සේ මිහි හද තෙමා වැටෙන මනස්කාන්ත දිය ඇළි ද දැකගත හැකි විය. මේ දසුන්වලින් වශීකෘත ව ගිය මිහිදිනී පරිසර සෞන්දර්යයේ මිහිරියාව නොමඳ ව නිහඬ විඳගනු පෙනිණ. ඇයට වදනකින් හෝ බාධා කිරීමට නොසිතූ ගඟුල් ද නිහඬ ව රථය ඉදිරියට පදවා ගෙන යමින් සිටියේ ය. තෙන්නකෝන් ආචාර්යවරයා විසින් කියා දුන් මං සලකුණු පිළිබඳ ව සතිමත් වෙමින් ගිය ගඟුල් කඳුබිම් අතරින් දිවෙන, ඇතැම් තැනකදී පමණක් රිය දෙකකට මාරු විය හැකි තැන් තබා තිබූ පටු මාවතකට රිය ඇතුළු කෙළේ ය. එතැනදී නිහඬතාව නිමා කරන ලද්දේ මිහිදිනිය විසිනි. 

“ගඟුල් සර් අර ඔයා කියපු දේවදූතයෙක් වෙන්න උත්සාහ දරනවා කියපු දේශපාලනඥයගෙ ගෙදරට වැටෙන පාර ද මේ?”

“පොඩි සංශෝධනයක් කරල ම කිව්වොත් මිහිදිනී, එතුමගෙ ගෙදරට නෙමෙයි ගොවිපළට වැටෙන පාර තමයි මේ.”  

“එතකොට මේ වෙන කොට ඔයා තව මොනව ද මේ චරිතෙ ගැන දන්නෙ.” 

“මගෙ ළඟ නං තියෙන්නෙ තෙන්නකෝන් සර්රුයි සුමනා මැඩමු යි කියපු දේවල් නිසා හිතේ ඇඳිච්ච චිත්‍රයක් නම යි. ඒ චිත්‍රය වර්ණවත් වෙයි ද එහෙම නැත්තං දුර්වර්ණ වෙයි ද කියන එක තීරණය වෙන්නෙ මේ හමුවෙන් පස්සෙ තමයි.”

“අපේ සර්ගෙයි මැඩම්ගෙයි ශිෂ්‍යයෙක් නේ ද මේ.” 

“ඔව්නෙ. තෙන්නකෝන් සර් කැලණියෙන් අවුට් වෙලා ගුරු පත්වීමක් අරගෙන ආපු පළවෙනි ඉස්කෝලෙ ඒ කියන්නෙ අපි දෙන්නම දැන් උගන්නන ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් තමයි මේ. ඒ වගෙම සුමනා මැඩම් පේරාදෙනියෙන් අවුට් වෙලා ගුරුවරියක් හැටියට වැඩ බාර ගත්ත පළවෙනි ඉස්කෝලෙත් නාගොල්ලාගමනෙ. ඒ අපේ ඉස්කෝලෙ උසස්පෙළ කලා පන්තියක් පටන් ගත්ත අලුත ම වගේ. අන්න ඒ පන්තියෙ හිටපු එක ශිෂ්‍යයෙක් තමයි මේ.”

“මටනං ඒ ගොල්ලොත් එක්ක මෙතුමා ගැන කලින් කතා කරන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. ඇත්තම කියන්න ගඟුල් සර් මට ඒකට ඕනෙකමක් තිබුණෙත් නැහැ. මන් කළේ මොන මොන මතවාද තිබුණත් මේ ඉස්කෝලෙන් බිහිවෙච්ච ශිෂ්‍යයන්ට භේදයකින් තොර ව ආරාධනා කරමු කියන ලොකු සර්ගෙ වචනෙව ගරු කරලා ඒ වගෙම ඔයාගෙ ඉදිරිපත් වීම ගැන හිතලා මේ ගමන ආපු එක. ඉතින් අපි බලමුකො මේ හමු වීමෙන් පස්සෙ ගඟුල් සර් කියන චිත්‍රෙට මොක ද වෙන්නෙ කියලා.”

“මන් මිහිදිනී ඔයාට මේ පූර්ව නිගමන දෙන්න කතා කරනවා නෙමෙයි. ඔයයි මමයි දෙන්නම එක විදිහට ගරු කරන වැඩිහිටි ගුරු චරිත දෙකක්නෙ තෙන්නකෝන් සර්රුයි සුමනා මැඩමු යි කියන්නෙ. මේ කියන දේශපාලනඥයා ගමට ආවොත් අනිවාරෙන් ම යන එන තැන් තුනක් තියෙනවා. එකක් අපේ ඉස්කෝලෙ. දෙවෙනි තැන තෙන්නකෝන් සර්ලගෙ ගෙදර. තුන සුමනා මැඩම්ලගෙ ගෙදර. හැබැයි මේ තැන්වලට ආ ගිහින් තිබුණෙ ඒ ඒ කාලවල තමන් දරපු අමාත්‍ය ධුර උස්ණෙත් එක්කනං නෙමෙයි කියලයි මන් අහලා තියෙන්නෙ.”

“එහෙමනං ඇයි ගඟුල් සර් අපිට එක දවසක්වත් එයාව හම්බ උනේ නැත්තං. දැන් මන් ඇවිල්ලත් අවුරුදු දෙකකට වැඩියිනෙ. සර් ඇවිල්ලත් අවුරුද්දකට කිට්ටු වෙන්න ආවනෙ. කෝ ගමට ආවනං ඉස්කෝලෙටත් යන එන කෙනෙක්නං ඔය එක දවසකවත් අපි එයාව දැක්කා.”  

“තෙන්නකෝන් සර් කියන හැටියට ඒකට හේතුවක් තියෙනවා. හිටපු විදුහල්පතිතුමා එතුමා එහෙම අහම්බෙන් අහපු වෙලාවක ඉස්කෝලෙ අනිත් වැඩ ඔක්කොම තවත්තලා බෑන්ඩ් කණ්ඩායම බාර මිස්ට වහාම පිළිගනීමක් සූදානම් කරන්න කියලා හරි ජරමරයක් කරලා. හැබැයි එතුමා එදාම ඒ තමන් පිළිගන්න ලෑස්ති කරපු උත්සවේ දිම කියලා තියෙනවා මන් මේ ඉස්කෝලෙ එක ආදි ශිෂ්‍යයෙක් විතරයි. අපි එන යන සැරේට මෙහෙම පිළිගැනීම් උත්සව කරන්න ගියොත් ඉස්කෝලෙ වෙන වැඩක් කරන්න බැරි වෙනවා නේද කියලා. ඒ විතරක් නෙමෙයි තමන් නිසා යම් අපහසුවක් උනා නං මේ ඔක්කොම ගුරු මණ්ඩලේනුයි මන් වෙනුවෙන් මේ අවුවෙ හිටගෙන ඉන්න දුවලා පුතාගෙනුයි මන් සමාව ඉල්ලනවා කියලත් කිව්වලු.” 

“ඉතින් සර් දේශපාලනඥයො කියන ජාතිය ඒවට කැමතියිනෙ. ඒවා නොකළහමනෙ විදුහල්පතිටයි ඉස්කෝලෙටයි ලෙඩ දාන්නෙ.”

“ඒක නිසාමනෙ මිහිදිනී මෙයා වෙනස් දේශපාලනඥයෙක් කියන කුලකයකට දාලා අපට කතා කරන්න වෙන්නෙ. ඒ වගෙම ඔයාට කියන්න ළමයො එදා හවස ම මෙතුමා තෙන්නකෝන් සර්ගෙ ගෙදරට ගිහිල්ලා ගොඩක් රෑ වෙනකං සර්රුත් එක්ක කතා කර කර ඉඳලා තියෙනවා. අර කියපු උත්සවෙන් පස්සෙ ගමට ආවහම ඉස්කෝලෙ වෙලාවෙ නෙමෙයි හුඟක් ම හවස් වෙලා තමන්ගෙ රියදුරු මහත්තයත් එක්ක ඉස්කෝලෙ ළඟට ගිහින් ගොඩක් වෙලා ඉස්කෝලෙ දිහා බලන් ඉඳලා තියෙනවා මෙයා.”

“ඔය කියන විස්තර අනුව නං වෙනස් කෙනෙක් කියන එක මටත් පිළිගන්න වෙනවා. මෙතුමා අමාත්‍යාංශ කීපයක වැඩ බැලුව නේද?”

“ඔව් මුලින් ම අධ්‍යාපන ඇමති. ඊට පස්සෙ කෘෂිකර්ම ඇමති. අන්තිමේ දි සංස්කෘතික ඇමති. දැන් ඔය කරනවා කියල කියන්නෙත් දෙවෙනියටට හිටපු අමාත්‍යංශෙත් එක්ක එකට යන වැඩක්නෙ. මන් එන්න ඉස්සෙල්ලා තෙන්නකෝන් සර් මට කිව්වෙ මිනිහා ගොවිපළ කරන්නෙත් අපේ සංස්කෘතියට යි එයා අධ්‍යාපනේ කියලා විශ්වාස කරන දේටත් අනුගත ව යි කියලයි.”

“මේ ජරාජීර්ණ වෙච්ච ක්‍රමයක් ඇතුළෙ එහෙම අයට පැවැත්මක් තියෙනව ද සර්.”

“ඔයා කියන එක හරි මිහිදිනී, ඇත්තට ම එයාගෙ කකුළෙන් ඇද්දෙ විරුද්ධවාදීන්ට වඩා එයාගෙම පක්ෂෙ උදවිය. සංස්කෘතික අමාත්‍යාංශෙ ඉඳගෙන රට ගැන රටේ දරුවො ගැන හැඟීමක් තියෙන වෛද්‍යවරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු අල්ලගෙන මත්ද්‍රව්‍ය විරෝධි වැඩ සටහන් ක්‍රියාත්මක කරන කොට පාර්ලිමේන්තුවෙදි ඒවට විරුද්ධ ව අදහස් දැක්කුවෙ මෙයා තමන්ගෙ විෂයපථයට අදාළ කටයුතු නෙමෙයි කරන්නෙ කියලා ඒ ගොල්ලන්ගෙ පක්ෂෙම වෙනත් අමාත්‍යාංශයක් බාර ඇමතිවරයෙක්. බැලුවහම එයා බාර් ගණනාවක අයිතිකාරයෙක්. ඒ විතරක් නෙමෙයි අධ්‍යාපන ඇමතිවරයා විදිහට අපිට ගැළපෙන අධ්‍යාපනයක් වෙනුවෙන් යම් යම් වෙනස්කම් කරන්න හදන කොට ඒකට විරුද්ධ වැඩ පිළිවෙළක් බොහොම තදින් යටින් ම කරගෙන ගියේ එයාගෙම නියෝජ්‍ය ඇමතිවරයා ඒ අමාත්‍යංශෙම එයාට අවනත නිලධාරි කීපදෙනෙක් අල්ලගෙන. ඒ විතරක් නෙමෙයි මිහිදිනී කෘෂිකර්ම ඇමති විදිහට වස විස නැති ගොවිතැනක් ගැන සැලසුම් හදන කොට, අපේ වල් බිහි වෙච්ච වැව් පවා ප්‍රතිසංස්කරණය කරලා වැව් පද්ධතිය ගොඩ නගන්න වැඩ කරන කොට, ඕවත් කරන්න පුළුවන් වැඩ ද කියලා ඒවා ගැන උපහාසෙන් කතා කළෙත් එයාගෙ පිළේ අය ම තමයි.”

“ඉතින් ගඟුල් සර් ඒවා කවුරු කළත් හොඳ වැඩනෙ. ඉතින් පාර්ලිමේන්තුවෙ කවුරුවත් ම හිටියෙ නැද්ද මේවට සහය දීපු.”  

“හිටියා මිහිදිනී විපක්ෂෙ නියෝජනය කරපු තරුණ මන්ත්‍රීවරු - මන්ත්‍රීවරියො කිහිප දෙනෙක් ම ඒවට උදව් කළා. සමහරු ප්‍රසිද්ධියෙ, තවත් සමහරු අප්‍රසිද්ධියෙ. සුමනා මැඩම් එතුමියගෙ ඇස් දෙකින් ම දැකපු සිද්ධියක් ගැන මට කියලා තියෙනවා. ඒක සිද්ධ වෙලා තියෙන්නෙ අපි ඉන්න මේ කුරුණෑගල දිස්ත්‍රික්කෙ දිම තමයි.”  

“ඒ මොකක් ද සර්.”

“අපේ ගමේ වැව් ප්‍රතිසංස්කරණය කරන වැඩ සටහනේ දි තෝරගෙන තිබුණ එක වැවක් තමයි මිරිහන්පිටිගම වැව. මන් මේ කතා කරන්නෙ මීට අවුරුදු දහ පහළොවකට ඉස්සර වෙච්ච සිදුවීමක් මිහිදිනී. එදා සුමනා මැඩම්ලා කලින් ම දැනුවත් කරලා තියෙනවා ඉස්කෝලෙ ශිෂ්‍යයන්ටයි ගමේ තරුණ කණ්ඩායමටයි මේ උදව් කරන්න ඕනෙ අපේ ම වැඩක් කියලා. එදා මිස් තව දෙතුන් දෙනෙක් උදව් කරගෙන ඉඹුල් කිරිබත් එහෙම හදාගෙන වැඩ කරන තැනට ගිහින් තියෙනවා. මිස් දැක්කලු කොට කලිසමක් ගහගෙන ඔළුවෙ තලප්පාවක් බැඳගෙන වැවේ වැඩ කර කර හිටපු එක් කෙනෙක් මිස්ගෙ පැත්තට එනවා. ඒ ආපු ගමන් අර තලප්පාව ගලෝලා ඒක බිමට එළලා අපේ සුමනා මැඩම්ට වැඳලා තියෙනවා.”

“ඒ ඉතින් අපේ සුමනා මැඩම්ගෙ ආදි ශිෂ්‍යයෙක් වෙන්ඩ ඇති.”

“ඔව් ඔයා හරි ඒ ආදි ශිෂ්‍යයෙක් තමයි, ඒ තමයි අද අපි හම්බ වෙන්ඩ යන එදා කෘෂිකර්ම ඇමති විදිහට හිටපු නාගොල්ලාගම සෙන්ට්‍රල් එකේ ආදි ශිෂ්‍යයා.”

“ඉතින් ඉතින් ඒක හරි ලස්සන සිදුවීමක්නෙ.”         

“ඒක විතරක් නෙමෙයි තවත් ලස්සන සිදුවීම් වෙලා තියෙන්නෙ ඊටත් පස්සෙ යි. මැඩම් ඒ මහ අව්වෙ වැඩ කර කර හිටපු අර වැඩිහිටි ගොවියොයි තරුණ කණ්ඩායමයි ළඟට ම ගිහිල්ලා ඔක්කොම ගස් හෙවණකට එක්ක ඇවිත් තියෙනවා. එතන තරුණ අය අතර පුරුදු මුහුණු වගෙම නුපුරුදු මුහුණුත් තිබුණලු. මැඩම් කිව්වලු මේ ගොඩක් දෙනා මට පුරුදු උනත් නුපුරුදු ඒත් මොකක්දෝ දැකලා පුරුදු වගේ ගතියකුත් දැනෙන අයත් මෙතන ඉන්නවනෙ කියලා. ඒ වෙලාවෙ කෘෂිකර්ම ඇමතිතුමා කිව්වලු මැඩම් පාර්ලිමේන්තුවෙදි අපේ ආණ්ඩුව බොහොම දරුණු විදිහට විවේචනය කරන, වෙලාවකට මන් කතා කරන කොට මටත් කෝචොක් කරන රටෙත් ප්‍රසිද්ධ පාර්ලිමේන්තුවෙ තරුණ සෙට් එක තමයි ඔය දැන් බැහැලා වැඩ කරන්නෙ කියලා.”

“ඉතින් ඊට පස්සෙ මොක ද උනේ.”

“ඊට පස්සෙ ද අර විරුද්ධ පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා විදිහට හිතන්න පුළුවන් තරුණ මන්ත්‍රීවරයා හිනාවෙවී කිව්වලු. මැඩම් අපි කවුරු කළත් හොඳ වැඩක් නං ඒකට උදව් කරනවා ඒක රටට අහිතකර වැඩක්නං අපි ඒකට විරුද්ධ වෙනවා කියලා. ඒ වගෙම මැඩම් අද අපි මෙතුමත් එක්ක එකට වැඩ කළත් හෙට දවසෙදි නොගැළපෙන යෝජනාවක් ගෙනාවොත් ඒ වෙලාවෙට අපි ඔබතුමියගෙ මේ ආදි ශිෂ්‍යයට විරුද්ධ වෙනවා කියලා.”  

“ඉතින් ඒකට මොකක් ද අපේ සුමනා මැඩම් කියලා තියෙන්නෙ.”

“ඔව් ඉතින් ඒක එහෙමම තමයි වෙන්න ඕනෙ. හොඳ දේවල් කරන එක, ඒවට සැලසුම් හදන එක, නරක දේවල් හොඳ මුහුණුවරින් ඉදිරිපත් නොකරන එක. පක්ෂයක අරමුණු නෙමෙයි රටක අරමුණු මුලට හිතලා වැඩ කරන එක තමයි, ඔතන ඉන්න කාගෙත් වගකීම වගෙම වගවීම වෙන්නෙ. ඒ වෙලාවෙ අර තරුණ නායකයා කියලා තියෙනවා අපිට දැන් හිතා ගන්න පුළුවන් මැඩම් මේ ඇමති අනික් ගොඩක් ඇමතිලට වඩා වෙනස් වෙන්න හේතුව කියලා.”

“එතකොට දැන් අපි මේ යන්නෙ ඒ ආදි ශිෂ්‍යයා මුණ ගැහෙන්න කියලා හිතන කොට නං මොකක් ද සතුටක් වගේ හැඟීමකුත් එනවා. ඒත් ගඟුල් සර්, මේ ගැන මන් මගෙ සමාප්ති වාක්‍යය නං කියන්නෙ මේ හමු වීමෙන් පස්සෙ තමයි.”  

අනතුරුව ඔවුන් ගමන් කෙළේ මල් පලතුරු එළවළු උද්‍යානයක් මැදින් යැයි කීම නිවැරදි ය. අවසන ගණ සෙවණැති විසල් රුකක් යට ගඟුල් රිය නතර කෙළේ ය. රියෙන් බැස සමීප වූ දුරක ඇති ලී වැටකින් සමන්විත දිග ආලින්දයකින් යුතු ඒ නිවහන වෙත ගමන් කරන විට ඔවුන් පිළිගැනීම සඳහා පැමිණියේ මැදිවිය ද පසු කරමින් සිටින බව පෙනෙන පසන් වතැති මිනිසෙකි.” 

“ඇමතිතුමා ඉන්නව නේ ද ඇතුළෙ අද අපි එන බව එතුමා දන්නවා.”

“හිටපු ඇමති නං ඉන්නවා. ඇමති කෙනෙක් නං නෑ. එන්න එන්න අපි යමු ඇතුළට.”

“එතකොට මේ මහත්තය ද මෙතන බලා කියා ගන්නෙ.”

“බලා කියා ගන්නෙ, මෙතන අතුපතු ගාන්නේ, අර ඈතින් පේන කුඹුරු අස්වද්දන්නෙ, එළවළු - පලතුරු - මල් හිටවන්නෙ, මේ ඔක්කොම කරන්නෙ ඉතින් මායි මගෙ හාමිනෙයි තමයි. හැබැයි ඒ වැඩ වඩාත් පිළිවෙළ කර ගන්න අපි අපේ උදව්වටත් කීප දෙනෙක් ගෙන්න ගන්නවා.”

“එතකොට ඇමතිතුමා, නෑ මේ හිටපු ඇමතිතුමා දැන් ඉන්නවනෙ ඇතුළෙ නේද?”

“ඔව් අපි යමුකො ඇතුළට, ගිහින් ඉඳගනිමුකො. ඇත්තට ම අද හතර දෙනෙක් නේ ද එනවා කියලා තිබුණෙ. මයෙ හිතේ අපේ නෝනා හතර දෙනෙකුට නෙමෙයි අට දෙනෙකුට ලෑස්ති කරලයි තියෙන්නෙ.”

“අනේ මේ මහත්තයයි නෝනයි අපි වෙනුවෙන් ගොඩක් කරදර වෙලානෙ.”  

“මේ ජීවිතේ මෙතෙක් මුහුණ දුන්න දේවල්වල හැටියට මේවා අපිට කරදර නෙමෙයි. අපි හරි ම කැමැත්තකින් තමයි කෙනෙකුට සංග්‍රහ කරන්නෙ. ඔය දෙන්නට අමතර ව තවත් හොඳ ගොවියෙක් එනවා එයාගෙ නෝනත් එක්ක වැඩ කීපයක් ගැන කතා කර ගන්න. එයත් දැන් මග එනවා ඇති. කෝ තාම අපි එළියෙනෙ. මොනවා හරි බීලා ඉම්මු කෑම කන්න කලියෙන්.”  

ගඟුල් සහ මිහිදිනී සිසිල් මඳ සුළඟ, වත ගත සිප හමා යන සේ නිර්මාණය කොට තිබූ ඒ නිවහනේ පරිසරයට අනුගත ව ම ලී කොටන් භාවිතයට ගෙන සකසා තිබූ අසුන් මත හිඳ ගත්හ. වත්තෙන් ම උපයා ගෙන ඇතැයි සිතිය හැකි විසල් කෙසෙල් ඇවරියක් ලී බන්දේසියක් මත තබාගෙන ඉදිරියට පැමිණියේ ද මැදිවියේ පසන් කාන්තාවකි. ඉනික්බිති පිරිනැමුණේ දොඩම් පානයකි. තවමත් හමුවීමට අවශ්‍ය ආදි ශිෂ්‍ය ඇමතිවරයා හමු නුවූ බැවින් ගඟුල් ඇසුවේ එතුමා මේ මොහොතේ කොහේ හෝ ළඟ  පාතකටවත් ගොස් ඇද්ද යන පැනය යි. කෙටි වෙලාවකට පසු ඔවුන් හමුවට යළිත් පැමිණියේ මුලදී ම හමු වූ මැදිවියේ තැනැත්තා ය.

“මේ කෙසෙල් තවමත් එහෙම්මමනෙ. ඔහොම බෑ අලුත් පරම්පරාවෙ වැඩ කරන ගුරුවරු ඔයිට වැඩිය කෑම බීම ගන්න ඕනෙ. අපිටත් සතුටු එතකොට යි. ඔය අපි ම හිටවපු ඒවා තමයි. තව ගෙනියන්නත් දෙන්න පුළුවන්. ”

“අපොයි මේ හොඳට ම ඇති, දැන් දවල්ට කන්නත් ඕන්නෑ වගෙ. අපට ඇමතිතුමාට මේ ආරාධනා පත්‍රෙ දීගන්නත් ඕනෙ.”  

මෙසේ කියා ගඟුල් වටපිට බලනු දුටු මැදිවියේ මිතුරා සිනාසෙමින් ඔවුන් ඉදිරියේ ඇති අසුනෙහි හිඳ ගත්තේ මෙසේ කියමිනි.

“ඇත්තම කියනවනං ඔයගොල්ල හොයාගෙන ආපු නාගොල්ලගම සෙන්ට්‍රල් එකේ ඉගෙන ගත්ත ආදි ශිෂ්‍යයා මන් තමයි.” 

ගඟුල් සහ මිහිදිනී මුහුණට මුහුණ බලා ගනිද්දී හිටපු අමාත්‍යවරයා යළිත් කතා කෙළේ ය.

“ ඔයගොල්ලන්ගෙ පැමිණිම මට ලොකු සතුටක්. ගුරුවරයෙක් කියන්නෙ ශිෂ්ටාචාරයකට. ඔය දෙන්න දැක්කම මන් යන්නෙ මගෙ අතීතෙට. මොන කාරණයක් ද නිසා කියන්න බැහැ මට දැනෙන්නෙ මන් උසස් පෙළ ශිෂ්‍යයා වෙලා, තෙන්නකෝන් සර්රුයි සුමනා මැඩමු යි දෙන්න ඉස්සරහ ඉන්නව වගෙයි මට දැනෙන්නෙ.”

“ඔබතුමාට අපේ සර්රුයි මැඩමුයි හමු වෙන කොට ඒ දෙන්න දැන් අපේ මේ වයස වගේ වයසක ද හිටියෙ.”

ඒ කතා කෙළේ මෙතෙක් සිදුවීම් නිරීක්ෂණය කිරීමේ කාර්යය පමණක් කරමින් නිහඬ ව සිටිි මිහිදිනී ය.

“ඔය දරුවා හරි. ඒ උත්තම කියන වචනයෙන් විශේෂණ කරන්න පුළුවන් ගුරුවරය යි ගුරුවරිය යි මට හම්බ උන ඉතිහාසය තමයි මගෙ අනුස්මරණීය අතීතය. සුමනා මිස් කියන්නෙ අපේ බඩගින්න හිටන් දැනිච්ච කෙනෙක්. තෙන්නකෝන් සර් තමයි අපිට ඉස්කෝලෙදි හම්බ වෙච්ච තාත්තා. මන් පේරාදෙණියට තේරිච්ච වෙලාවෙ මටත් තාත්තා අම්මා භාරකරු කියන හිස්තැන් දෙක ම පිරෙව්වෙ ඒ දෙන්නා. ”

“ඒ කියන්නෙ ඒ වෙන කොට ඔබතුමාගෙ අම්මා තාත්තා හිටියෙ නැද්ද?”  

“තාත්තා නැති උනේ අපි පොඩි කාලෙදිම යි. මන් විශ්වවිද්‍යාලෙට තේරෙන කොට අම්මා ලෙඩ ඇඳේ.  අපේ උසස් පෙළ පන්තියෙන් ඒ සැරේ තුන් දෙනෙක් විශ්වවිද්‍යාලෙ ගියා. එක් කෙනෙක් ජපුරට. මාත් එක්ක එක පන්තියෙ ඉගෙන ගත්ත අයිරා කියලා ගෑනු ළමයෙකුත් පේරාදෙණියට තේරුණා. එදා අයිරගෙ අම්මත් අපිත් එක්ක ගියා.”

“මෙතුමා මේ අයිරා කියලා කියන්නෙ අපේ අයිරාංගනී මැඩම්වද්ද, මොකද එයත් පේරාදෙණියෙන් පාස් අවුට් වෙචච් කෙනෙක්නෙ.”

මිහිදිනී ගඟුල්ට ඇසෙන්නට යයි සිතා සෙමින් කී දෙය ඇමතිවරයාට ඇසිණ.

“මට මේ දරුවා කියපු දේ ඇහුණා. කොහොමත් ඔයගොල්ල එක්ක දැන් ඉන්නවා කියලා කියපු මැඩම් වෙන්න නං කොහෙත් ම විදිහක් නැහැ.”

“ඒ කිව්වෙ සර් ඒ මැඩම් දැන් රටේ නැද්ද?”  

මිහිදිනී ප්‍රථම වතාවට ය, මේ ඇමතිවරයාට සර් කියා ආමන්ත්‍රණය කෙළේ. ඇයට ඔහු වෙනුවෙන් ඔබතුමා කියා ඇමතීමට ද නොසිතිණ. එසේ ම ඇමතිතුමා කියා අමතන්නට සිතුණේ ද නැත. ඒ ඇමතිවරුන් ලෙස කටයුතු කරන බොහෝ දෙනාගේ චර්යාවෙන් ප්‍රකට නොවන කුමක්දෝ අවංක භාවයක් මෙන් ම ප්‍රසන්න භාවයක් මෙකී චරිතයෙන් විද්‍යමාන වන බැවිනි.

“දුවේ, එයා මේ රටේ විතරක් නෙමෙයි ලෝකෙ කොහේවත් රටක නැහැ. මොකද සුරංගනාවියන් ව බොහොම ඉක්මණට දිව්‍ය ලෝකෙට ගන්නවා කියලා කතාවක් තියෙනවනෙ. ”

“ඒ කියන්නෙ සර්, එතුමිය අකාලෙම ලෝකෙට අහිමි උනා කියන එක ද?”

ඇමතිවරයාගේ නෙත් තෙත් ව ගියේ හඬ බිඳී ගියේත් සිය කලණ මිතුරිය හා ඇගේ ජීවිතය හා බැඳුණු නොයෙක සංසිද්ධි සිහිපත් වූ බැවිනි.

“ඔබතුමාට  එතුමිය ඔය තරමට දැනෙන්න නං ඒ විශේෂ චරිතයක් වෙන්න ඕනෙ.”

මේ මොහොතේ ඈත සිට මෙසංවාදයට සවන් දෙමින් සිටි සිය බිරිඳට කතා කළ ඇමතිවරයා සමීප අසුනක ඇයට ඉඳගන්නට සැලැස්වීය.

“ශ්‍රියා ඔයාට ඇහුණ නේ ද අපි කතා කළේ කා ගැන ද කියලා මන් කැමතියි, ඒ කතාවෙ ඉතුරු ටික ඔයාගෙ අතින් පිරෙනවනං.”

“අපේ  අයිරා, මන් අද ජීවත් ව ඉන්නෙ ඒ සුරදූතිකාව හින්දා.”

ඇමතිවරයාගේ මෙන් ම ඔහු බිරිඳගේ දෑස ද කඳුළින් තෙත් ව තිබිණ.  

“දරුවනේ, ශ්‍රියා කියන්නෙ වෙලාවකට සිංහ ධේනුවක්. තව වෙලාවකට හරිම අහිංසක මුවදෙනක්. ශිෂ්‍යාවක් කාලෙ ලොකු ඇක්සිඩන්ට් එකකට මන් මුහුණ දුන්න වෙලාවෙ තමන්ගෙ ඇඟෙන් ලේ දීලා මාව බේර ගත්තෙ එයා. මන් හරියට ඇවිද ගන්න බැරිව ඉන්න කාලෙ සතියකට දවස් දෙක තුනක් වත් මාව බලන්ඩ ආවා. මට මගෙ අත ඇරිච්ච සටහන් හිටන් හදලා දීලා මාව ෆයිනල් ඉයර්රෙකේ විභාගෙට සූදානං කළෙත් එයාම තමයි.”  

“ඉතින් කොහොම ද මැඩම් ඒ මැඩම් මැරුණෙ.”

“මේ දුව ගෞරවය නිසා හරි වෙන ආදරයක් නිසා හරි මැඩම් කියලා කතා කරන කොටත් මට මතක් වෙන්නෙ අයිරව. එයා හිටියනං අපි දෙන්නට ම බණිනවා. මොකද කිසිම දවසක එයා තමාට මැඩම් කියනවටත් ගුරුවරියකට ඇරුණහම කොයි තරං ලොකුයි කියලා හිතන් ඉන්න ගෑනු කෙනෙකුට උනත් මැඩම් කියනවටත් විරුද්ධ නිසා. දුවේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමා නිසා අපේ මහත්තයගෙ ජීවිතේ වෙනස් උනා වගේ මගේ ජීවිතේ උඩු යටිකුරු කරපු මනුස්ස දුව තමයි අයිරා. එයා අපිට අහිමි උනේ පිළිකාවකින්. තමන්ට පිළිකාවක් තියෙන බව දැන දැනත් නිර්භීත විදියට මරණයට මුහුණ දෙන්න සූදානම් වෙච්ච ගෑනියක් තමයි අයිරා කියන්නෙ. ”

“දැන් ඔබතුමිය කිව්ව නේද අයිරා නෝනා නිසා ඔබතුමියගෙ ජීවිතේ වෙනස් උනා වගේ අදිකාරම්තුමා නිසා මහත්තයගෙ ජීවිතේ වෙනස් උනා කියලා. අපි කැමතියි ඒ ගැනත් දැනගන්න.” 

ඒ කතා කෙළේ ගඟුල් ය.  

“ඒකනං පුතා ඉතින් විස්තර කරන්න ඕනෙ එයාම තමයි.”

“ඔව් මන් කතා කරන්න ම කැමති මාතෘකාවක් තමයි පුතා අදිකාරම්තුමා කියන්නෙ. මන් පාර්ලිමේන්තුවට ආවෙත් යහපත් දේ කතා කරලම නෙමෙයනෙි. අපි වේදිකාවල දි විරුද්ධ පාක්ෂිකයන්ට විතරක් නෙමෙයි අපිට තර්ජනයක් වෙයි කියලා හිතන තමන්ගෙම පක්ෂෙ කෙනාවත් පල්ලෙහාට ඇදලා දාන්න ඕන්නං ඒකටත් වැඩ කළා. අවසානෙදි අපි සමාජෙට යහපතක් වෙනුවට කරලා තිනේනෙ අයහපතක් නේ ද කියන හැඟීම් තදින් ම දැනුණෙ අහම්බෙන් දවසක කොළඹ නගරසභා ශාලාවෙදි අදිකාරම්තුමාගෙ දේශනයක් ඇහැව්වට පස්සෙ. ඒ උත්සවෙ ප්‍රධාන ආරාධිතය උනේ මම. ආරාධිත දේශකය අදිකාරම්තුමා. ඒ තමයි මන් එතුමා දැක්ක පළවෙනි දවස. එදා එතුමා කරපු එක් ප්‍රකාශයක් තමයි එතුමගෙ චින්තනය ගැන හොයන්න - හිතන්න මාව යොමු කළේ. එතුමා එදා කිව්ව ඒ වචන ටික අදත් මගෙ හිතේ දෝංකාර දෙනවා.” 

තණ වපුරා වී ලැබීමට නුපුළුවන. මානයත් ක්‍රෝධයත් වපුරා සාමය කෙසේ ලබමු ද?

“එදා තමයි මට දැනුණෙ මමත් ඒ වෙනකම්ම කරලා තිබුණෙ මානයත් ක්‍රෝධයත් වැපිරීම නේ ද කියන එක. ඒ කාගෙ මට ලොකු මානයක් තිබුණා මන් ඇමතිවරයෙක් ඒ නිසා අනික් අය මට ගරු කරන්න ඕනෙ කියන හැඟීම. ඒ වගෙම බලයට ඒම සඳහා මන් වැඩියෙන් ම කරලා තිබුණෙ මගෙ විරුදධවාදීන් ය කියලා හිතපු අය ගැන ක්‍රෝධයෙන් කටයුතු කිරීම නේ ද කියන සිතිවිල්ලත් ආවා. මේ ගෞරවය අපේක්ෂා නොකරන කා ගැනත් මෛත්‍රීසහගත බවකින් ම කටයුතු කරන බව පැහැදිලි ව ම පේන්ඩ තිබිචච් එතුමා හමු වෙලා වචනයක් දෙකක්වත් කතා කරන්න තියෙනවනං කියන හැඟීමත් මට ඇති උනා. මන් එදා රැස්වීමෙන් පස්සෙ එතුමා ළඟට ගිහිල්ලා මට ඔබතුමාව පොඩි වෙලාවක් හම්බ වෙලා කතා කරන්න පුළුවන් ද කියලා ඇහැව්වා.  ඒ උවමනාව ඇතුව කතා කරපු තවත් අය එතන හිටියා. ඒ හැම කෙනාටම එතුමා කතා කළේ එකම කරුණාවකින්. මන් ඇමතිවරයෙක් ය කියලා මට විශේෂයක් කළේ නැහැ.”  

“ඉතින් ඊට පස්සෙ ඔබතුමා අදිකාරම්තුමා හමු වෙන්න ගියා ද?”

“ඔව් මට හොඳට මතකයි එදා ඉරිදාවක්. මගේ ජීවිතේ අනුස්මරණීය දිනේ තමයි මන් මුලින් ම ඇමතිවරයෙක් වෙච්ච දවස කියලා හිතාගෙන හිටපු මන් ඒ ආකල්පෙන් මිදුණ දවස එදා තමයි.”

“ඒ කියන්නෙ ඔබතුමාට තේරුං ගියා ද අනුස්මරණීය දින කියලා දවස් වෙන් කර ගන්න එකේ තේරුමක් නැහැ කියලා.” 

“අදිකාරම්තුමා සම්බන්ධයෙන් නං ඔයා ඔය කිව්ව කතාව හරි. එතුමට වඩා වෙනස් මානසික තලේක ඉන්න මන් සම්බන්ධයෙන් නං උනේ ඔයිට වෙනස් දෙයක්. මට උනේ අනුස්මරණ දින නැති වෙන එක නෙමෙයි, මන් එහෙම දිනය කියලා හිතාගෙන හිටපු එක වෙනුවට එතෙන්ට වෙනත් දිනයක් ආදේශ වෙන එක.”

“ඒක තව ටිකක් අපිට පැහැදිලි කරන්න පුළුවන් ද ඔබතුමාට.”  

“ඇත්තට ම ගඟුල් සිද්ධ උනේ අදිකාරම්තුමා එක්ක ජීවිතේ ගැන සාකච්ඡා කරපු දවස මගෙ ජීවිතේ අනුස්මරණීය දිනය බවට පත් වෙලා ඒ වෙනකං අනුස්මරණීය දිනේ වෙලා තිබිචිච ඇමති වෙච්ච දවස මට නොවැදගත් දිනයක් බවට පත්වෙච්ච එක. මන් ඔයගොල්ලන්ට පෙන්නන්නං එදා මට එතුමාගෙන් ලැබිච්ච තෑග්ගත්.” 

මෙසේ කියා නිවස අභ්‍යන්තරයට ගිය ඇමතිවරයා පෙරළා ඔවුන් වෙත පැමිණියේ තරමක පොතක් රැගෙන ය. ඔහු එය සිය තරුණ සහෘදයන් දෙදෙනාට බැලීමට දුන්නේ ය. ගඟුල් ඉමහත් සැලකිල්ලකින් එහි පිටු පෙරළා බැලී ය. සිතිවිලි කාණ්ඩ - 2 නම් වූ එම කෘතියේ කර්තෘ නාමය සඳහන් තැන ඇමතිවරයාගේ නම ලියා ඔහුට ආදරයෙන් පරිත්‍යාග කරන ලදී යන වාක්‍යය සටහන් කොට ඊ. ඩබ්ලිව්. අදිකාරම් යනුවෙන් යටින් අත්සන් කොට තිබිණ. එහි පිටු පෙරළා බලන ගඟුල්ට දක්නට ලැබුණේ ඇතැම් පාඨයක් යටින් ඇමතිවරයා ඉරි ගසා ඇති ආකාරය යි. මේ ගඟුල්ගේ ඇස නතර වූ එබඳු එක් තැනකි. ඒ බලවේගය නමින් එන ලිපියේ එක් තැනකි.

බල වේගය ජනිත වූවාට පස් එය සංසිඳවීමට ක්‍රියා කිරීම යහපති. එහෙත් ඊට වඩා සෑම අතින් ම යහපත් වන්නේ මිනිසුන් එකිනෙකා ඇන කොටා ගැනීමට මිනිස් සිත පොළඹවන බලවේගයක් ඇති නොවන්ට ක්‍රියා කිරීම ය. ජාති දෙකක් අතර යුද්ධයක් හෝ කැරලි කෝලාහලයක් හෝ ඇති වන්නේ එක දවසකින් හෝ දෙකකින් නොවේ. මනුෂ්‍යයා කුල වශයෙන්, ජාති වශයෙන්, ආගම් වශයෙන්, දේශපාලන පක්ෂ වශයෙන්, කොටස්වලට බෙදීමට හේතු වන සෑම ක්‍රියාවක් ම සෑම වචනයක් ම සෑම සිතිවිල්ලක් ම එම ඝට්ටනයට හේතුවක් වෙයි. එහෙයින් එසේ හැසිරෙන සියලු දෙනා ම එම යුද්ධයේ එම කැරලි කෝලාහලයේ හවුල්කාරයෝ වෙති.   

“මට පේනවා ඔය දෙන්න ම බොහොම උනන්දුවෙන් බලන්නෙ ඔය පොතේ කොයි තැන ද කියන එක. ඔය කියන ප්‍රකාශෙ වචන මට්ටමෙන් නෙමෙයි ඊට වඩා ගැඹුරු විදියට පපුවට දැනුණට පස්සෙ අපිට කලින් හිටි කෙනා ම වෙන්න බැහැ. මන් පාර්ලිමේන්තු මැතිවරණවලට තරග නොකරන්නත් හේතු උනේ ඔය ප්‍රකාශෙම තමයි.”

“ඒ කියන්නෙ ඔබතුමා දැන් මේ දේශපාලන ප්‍රවාහෙට සම්බන්ධ නැහැ කියන එක ද?”

“ඔව් ඔයා දැන් පාවිච්චි කරපු විදිහට මන් මේ මේ දේශපාලන ප්‍රවාහෙට නං නැහැ තමයි. ඒත් අර අපි ඔක්කොම දේශපාලන සත්ත්වයන් ය කියන ප්‍රසිද්ධ කියමනටත් අදිකරම්තුමා මට කියලා දුන්න ඒ වචනෙ තියෙන නිරුක්ති අර්ථෙට අනුවහම හිතුවමත් ඇත්තටම මන් දේශපාලනය කරන්න පටන් අරන් තියෙන්නෙ දැන් තමයි.”  

“දැන් ඔබතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන්නෙත් නැහැ. අපි දන්න තරමින් කිසිම දේශපාලන පක්ෂෙක මොනම තනතුරක්වත් දරන්නෙ නැහැ. දැන් අපිට මේ පැහැදිලි ව ම පේන්න තියෙන විදිහට ගොවිපළක් තමයි පවත්ත ගෙන යන්නෙ. එතකොට අපි කොහොම ද ඔබතුමා මේ කියපු දේවල් එකට ගළපා ගන්නෙ.”

ඒ ප්‍රශ්න කිරීම මිහිදිනීගෙනි.  

“මන් හරිම කැමතියි ඔහොම ප්‍රශ්න කරනවට. ඔය වගේ ප්‍රශ්න කිරීම් තමයි බොහොම ලස්සන දේවල්වලට උල්පත වෙන්නෙ. ඔය දරුවගෙ ප්‍රශ්නෙ එක්කත් මට මතක් වෙන්නෙ අදිකාරම්තුමාව. ඒ වගෙ ම එතුමා දේශපාලනේ ගැන කියපු දේවල්. එතුමගේ අර්ථ දැක්වීම අනුව දේශපාලනඥයා කියන්නෙ දේශය දැකලා ඒක පිළිවෙළකට තැබීම පිළිබඳ ඥානය ඇති කෙනාට නං මන් කෘෂිකර්මාන්තෙ හරහා මේ වෑයම් කරන්නෙ ඒකට තමයි.”

“සර් ඔහොම කියන කොට කෘෂිකර්මාන්තෙ නමින් දැන් කරන වැඩ පිළිවෙළක් නැහැය ඒ නිසා සර්ලා ඒක පිළිවෙළක් කරන්න හදනවය කියන වගේ අදහසකුත් එනවා. සර්ට ඒ සම්බන්ධයෙන් මොකක් ද කියන්න තියෙන්නෙ.”

“ගඟුල් ඔයාගෙ මේ තරුණ ගුරු සහෝදරීගෙන් ලේසියෙන් ගැළවෙන්න බැහැනෙ. හැබැයි කොහොම උනත් මන් හරි කැමති යි ඉස්සෙල්ලා කිව්ව වගෙම මේ විදියට ප්‍රශ්න කිරීමට. අපි මෙහෙම අදිකාරම්තුමාගෙන් ප්‍රශ්න අහන කොට එතුමා සමහර වෙලාවට අපෙන් ප්‍රශ්නයක් අහනවා හරියට සොක්‍රටීස්තුමා වගෙ. මන් අදිකාරම්තුමා නොවුණත් මාත් කැමතියි මේ දැරීවිගෙන් ප්‍රශ්නයක් අහන්න.”

“අහන්න අහන්න සර් මට පුළුවන් දෙයක් නං මන් උත්තර දෙන්නංකො.”

“හොඳයි එහෙමනං දුව ඔයා මට කියන්න දැන් මේ වර්තමානෙ කෙරෙන්නෙ රට, රටේ පරිසරය ඒ වගෙම රටේ අනාගතය දැකලා කරන ගොවිතැනක් ද කියන එක.”

“පැහැදිලි ව ම නැහැනෙ සර්.”   20

“අපි ගොඩක් දෙනාට මහ පොළොවට වස විස එකතු කරන්නැතුව ගොවිතැනක් කරන්න ම බැහැ. අදිකාරම්තුමාගෙ අවි ගත්තෝ අවියෙන් නැසෙති කියන ලිපියෙන් එතුමා බොහොම ගැඹුරින් කතා කරලා තිබුණෙ ඒ ගැන. රසායනික පොහොර යොදලා කරන ගොවිතැන එතුමා හඳුන්නලා තිබුණෙ පරිසරයට - මුළු සොබාදහමට විරුද්ධ ව කරන සටනක් විදිහට. හැබැයි ඒ සටනින් අවසානෙ දි පරදින්නෙත් ඒ රසායනික අවි අතට ගත්ත මනුස්සය ම තමයි කියන එකත් එතුමා බොහොම පැහැදිලි ව කාටත් තේරෙන සිංහලෙන් ලියලත් තිබුණා.”

“ඉතින් සර්, කාටත් තේරුං ගන්න පුළුවන් සිංහලෙන් නං ඒක ලියලා තිබුණෙ, කවුරුවත් ම හිටියෙ නැද්ද ඒක තේරුන් ගත්ත. ඇයි සර්රුත් කෘෂිකර්ම ඇමති වෙලා හිටියනෙ. ඒක කැබිනට් ඇමතිකමක්නෙ. අපි අහලා තියෙන්නෙ කැබිනට් ඇමතිවරයෙකුට ගොඩක් බලතල තියෙනව කියලනෙ.සර්ටත් නාගොල්ලගම ඉන්න කාලෙ ගොවිතැන ගැන ලබපු අද්දැකීමුත් තියෙන්න ඇතිනෙ. ඉතින් ඔබතුමාට තිබුණනෙ අනික් අය මොනවා කිව්වත් තමන්ගෙ වපසරිය තුළ තමන්ට පුළුවන් උපරිම මේ කරන්න.” 

“ගඟුල්, මේ කෙල්ලගෙන් නං මට ලේසියෙන් බේරෙන්න බැහැනෙ. ඔව් මන් ඔයාගෙ ඔය ප්‍රශ්න දෙකට මෙහෙම උත්තර දෙන්නංකො. තේරුන් ගත්ත අය හිටියා දුවේ. මන් කෘෂිකර්ම ඇමති වෙන කොට අදිකාරම්තුමා ජීවතුන් අතර නැහැ. ඒත් ජීවතුන් අතර හිටපු අදිකාරම්තුමාටත් වඩා ජීවතුන් අතර නැති අදිකාරම්තුමා ප්‍රබල යි කියල යි මට හිතුණෙ. අර ඔයා කියන බලතල තියෙන කැබිනට් ඇමති විදිහට මන් වස විසෙන් තොර ගොවිතැන් ක්‍රමයකට අවශ්‍ය කරන සැලසුම් සකස් කළා. මට ඒකට උදව් කළා අපේ අමාත්‍යාංශෙ අතිරේක ලේකම්තුමයි ඒ කාලෙ බදුල්ලෙ හිටපු මහ දිසාපතිතුමයි. ඒ දිසාපති ගැන තමයි මන් කිව්වෙ තව ටිකකින් අපේ ගොවි යාළුවෙක් එනවා කියලා. එයා අද දවසෙ, තනතුරේ ඉන්න කොට කරන්න කරවන්න උත්සාහ දරපු වසෙන් විසෙන් තොර ගොවිතැන අද දවසෙ බෙලි අත්තෙ පැත්තෙ ගොවිපළක් හදාගෙන කරනවා.”

“දැන් ඔබතුමාගෙ ඔය කතාවෙන් ඇඟවෙන්නෙ අදිකාරම් චින්තනය මත පදනම් වෙලා පරිසර හිතකාමී ගොවිතැනක් කරන්න ගියත් ඒක සාර්ථක උනේ නැහැ කියන එක නේ ද?”

“ඔව් දුවේ, මගෙම අමාත්‍යාංශෙ ලේකම්වරයා, මන් ඉන්න තැන්වලදි ඔව් සර්, එහෙමයි ඇමතිතුමා කියලා මන් කියපු දේවල් අනුමත කළාට එයා ක්‍රියාවෙන් හිටියෙ ඒකට සම්පූර්ණයෙන් ම විරුද්ධ පැත්තෙ. එයාට ඒකට ප්‍රබල ව උදව් කරපු ඇමතිවරයෙක් හිටියා. මේ දෙන්නට ම සල්ලිවලින් උදව් කරන, කෘෂි රසායන ලංකාවට ගෙන්නලා මහ පරිමාණෙන් ඒ ව්‍යාපාරෙ කරගෙන ගිය අය හිටියා. අපේ සැලසුම් සාර්ථක වෙන කොට මේ ඔක්කොම අය කලබල උනා. රටේ ගොවි ජනතාවගෙන් බහුතරයක් අතර ආකල්පයක් ඇති උනා මේක තමයි ගොවිතැන් කරන නිවැරදි පිළිවෙළ කියලා. ඒ වගෙම ඒ ගොඩක් දෙනෙක් තේරුන් ගත්තා අපි අපේ දරුවන්ටයි රටේ දරුවන්ටයි කන්න දෙන්නෙ වහ නේ ද කියන එක. ඒ වගෙම ඒ අය අවබෝධ කරගත්තා ගොවියන් හැටියට විනාශකාරී ගොවිතැන වෙනුවට පරිසර හිතකාමී ජීවහිතකාමී ගොවිතැන කරන්න පුළුවන් තමන්ට ම නේ ද කියන කාරණාවත්. ඒ වගෙම පක්ෂ භේදයකින් ජාති ආගම් භේදයකින් තොර ව පාර්ලිමේන්තුවෙ හිටපු මොළේ කළඳක් හරි තිබිච්ච දේශපාලනඥයො අතළොස්ස ප්‍රසිද්ධියෙ ම අපේ මේ වැඩේ අනුමත කරන්න ගත්ත විතරක් නෙමෙයි තමන් ආසන සංවිධායක වෙලා හිටපු කොට්ඨාසවල ඒවා ක්‍රියාත්මක කරන්නත් පටන් ගත්තා.”  

“අපිට අනුමානෙට හිතා ගන්න පුළුවන් සර් ඊළඟට වෙච්ච දේ.”   

“ඔව් ගඟුල්, ඊළඟට උනේ අර අනුන්ගෙ සල්ලිවලින් යැපිච්ච කට්ටිය මුලින් හොර රහසේත් පස්සෙ එළිපිටත් මට විරුද්ධ ව වැඩ කරන්න බටන්ගත්ත එක. ඒ විතරක් නෙමෙයි අර කියපු ඇමතිවරයා අපේ නායකතුමාගෙන් ඔබතුමාගෙ ඉදිරි දේශපාලන ජීවිතේටත් ලොකු බලපෑමක් වෙන දෙයක් ගැන කතා කරන්න කියලා වෙලාව ඉල්ලගෙන එතුමා හමුවෙලා තිබුණා.”

“ඒ කියන්නෙ ඔබතුමාට ම වැඩක් දෙන්න හිතාගෙන වෙන්න ඇති.”

“ඔයා හරියට ම හරි ගඟුල්, ඒකට ම තමයි එයා ඒ වෙලාව ඉල්ලලා තිබුණෙ.”

“ඉතින් ඒක සාර්ථක උනා ද? මොකක් ද ඒ සාකච්ඡාවෙ අවසන් ප්‍රතිඵලේ.”  

“සාර්ථක උනාදත් අහනවා. අවසන් ප්‍රතිඵලේ තමයි මාව කෘෂිකර්ම ඇමතිකමෙන් අහක් කරලා අර බුද්ධිමතා ඒ ඇමතිකමට පත් කරපු එක.”

“ඉතින් ඔබතුමාට ඇමතිකම නැති උනා.”  

“ඒකෙන් අහක් කළාට මට පාර්ලිමේන්තුවෙයි රටෙයි මොන මට්ටමක හරි ශක්තිමත් පදනමක් තිබිච්ච නිසා මොකක් හරි ඇමතිකමක් දුන්නැත්තං ඉස්සරහට ප්‍රශ්නයක් වෙයි කියලා හිතලා නායකතුමා මාව සංස්කෘතික ඇමති කළා. හැබැයි ඒ ගොල්ලො දැනන් හිටියෙ නැහැ මේ රටේ කෘෂිකර්මය කියන්නෙත් අපේ සංස්කෘතියත් එක්ක එකට බද්ධ වෙලා තියෙන දෙයක් ය කියන කාරණාව.”

“හරි මෝඩ මිනිස්සුනෙ. ඔබතුමාව දරපු ඇමතිකමෙන් අහක් කරන්න හිතෙන තරමට මොකක් ද අර බුද්ධිමතා නායකයට දීලා තිබිච්ච ගිනි ගෙඩිය.”

“ගිනිගෙඩිය ද මට හිතවත් ම ඇමති කෙනෙක් කියපු විදිහට එයා කියලා තියෙන්නෙ මෙහෙම රට පුරාම තියෙන වැව් හද හදා ගොවියො දිනාගෙන යන මෙයාගෙ වැඩ පිළිවෙළට ඉඩ දෙනවා කියන්නෙ නුදුරු අනාගතයෙදි මෙයා ජනාධිපතිකමට උනත් ඉල්ලන්න සුදුසු වෙන එක ය, දැනටමත් ඒ අදහස හිතේ තියාගෙන ය එයා වැඩ කරන්නෙ කියන කාරණාවත් අර ඇමතිවරයා කියලා තිබුණා.”

“ඉතින් සර්ගෙ යටි හිතේ හරි එහෙම අදහසක් තිබුණ ද?”

මිහිදිනී එසේ අසද්දී හිටපු ඇමතිවරයා ඊට ද පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. 

යටි හිතේ, උඩු හිතේ විතරක් නෙමෙයි මැද හිතේවත් එහෙම අදහසක් එක්ක ගෑවිලා යන අංශුමාත්‍ර සිතිවිල්ලක් තිබුණෙ නැහැ ළමයො.”

“එහෙනං අර ගඟුල් සර් කියපු හරිම මෝඩ මිනිස්සු කියන වචනෙ තමයි සර්ලගෙ ඒ නායකයටයි එයාට ඔය කේලම් කියපු අනුගාමික ඇමතිටයි ගැළපෙන්නෙ.”

“ඇත්තටම ළමයො මාව ඇමතිකමෙන් අස් කරපු දවසෙ රෑත් මට මතක් උනේ අදිකාරම්තුමාව. එතුමගෙ ප්‍රසිද්ධ ප්‍රකාශයක් තමයි කපටිකම නැතුව නායකයෙක් වෙන්න බැහැ මෝඩකම නැතුව අනුගාමිකයෙක් වෙන්න බැහැ කියන එක.”

“ඒ කියන්නෙ ඔබතුමා දැන් මතක් කරපු අදිකාරම්තුමා කියපු ඔය කාරණේ හැම සංවිධානෙකට ම අදාළ ද?”  

“හැම සංවිධානෙකට ම අදාළ ද නැද්ද කියන්න නං මන් දන්නෑ දුව. හැබැයි ඒකෙ තියෙන ගැඹුර මන්නං මගෙ ජීවිතෙන් ම අද්දැක්කා.”

“ඔබතුමා කියන ඔය ප්‍රකාශෙ සිතිවිලි කාණ්ඩ එකේ එන ලිපියක නේද තියෙන්නෙ?”

”ඔව් ගඟුල් හරි මට සන්තෝස යි ඔය ගොල්ල වගේ අලුත් පරපුරේ අය අදිකාරම් චින්තනය හදාරන්න මේ වගෙ යොමු වෙලා තියෙන එක ගැන. පුතේ ඔයා ගුරුවරයෙක්, දුවේ ඔයා ගුරුවරියක්. මේ අපේ යුගේ ජීවත් වෙච්ච හැම අතින් ම විශිෂ්ට මේ උත්තම මනුස්සයා කියපු දේවල් ඊළඟ පරපුරට දෙන එක තියෙන්නෙ ඔයගොල්ලන්ගෙ අතේ.”

“මන් කැමතියි, දැන් ඔබතුමයි අපේ ගඟුල් සර්රුයි දෙන්න ම කතා කරපු නායකයා අනුගාමිකයා ගැන අදිකාරම්තුමා කියපු දේවල් ගැන තව ටිකක් දැන ගන්න.”  

එයට පිළිතුරු වශයෙන් ඇමතිවරයා කෙළේ යළිත් සිය කුඩා පුස්තකාලයට ගොස් තරමක ලොකු පොතක් රැගෙන ඒම ය. ඒ සිතිවිලි ග්‍රන්ථමාලාවේ ප්‍රථම කාණ්ඩය යි. එහි අන්තර්ගත පැන්සල් ඉරි ගසා තිබු එක තැනකට අත තැබූ ඔහු මිහිදිනියට පැවසුවේ ඒ වනවිට එතැනට පැමිණ නිහඬ ශ්‍රාවිකාවක බවට පත් ව සිටි සිය බිරිඳ ඇතුළු තිදෙනාට ම ඇසෙන සේ එය කියවන ලෙස යි.

'කොයි ජාතියක හෝ වේවා කොයි ආගමක හෝ වේවා කොයි දේශපාලන පක්ෂයක හෝ වේවා නායකයාගේත් අනුගාමිකයන්ගේත් අවශ්‍යයෙන් ම පවත්නා ලක්ෂණ දෙකක් වෙයි. කපටිකම නොමැති ව නායකයකු විය නොහැකි යි. මෝඩකම නොමැති ව අනුගාමිකයකු විය නොහැකි යි.

මේ අන්‍යෝන්‍ය සම්බන්ධත්වයෙන් දෙපක්ෂය ම ආස්වාදය බලාපොරොත්තු වෙයි. ආරක්ෂාව බලාපොරොත්තු වෙයි. එහෙයින් මෙම සම්බන්ධතාව අතිශයින් ම සියුම් වූවකි. පහසුවෙන් කැඩිය නොහැක්කකි.

නායකයාගේ නායකකම ආරක්ෂා කර ගැනීමට නම් අනුගාමිකයාගේ මෝඩකම තහවුරු කළ යුතු යි.

ක්‍රම කිහිපයකින් මෙය කළයුතු වෙයි. ඇතැම් විටෙක මතු ලබත හැකි ලාභ ප්‍රයෝජනයකින් අනුගාමිකයාගේ සිත පෙළඹවිය යුතුයි. ඇතැම් විටෙක මතු ඇතිවිය හැකි අලාභයකින්, භයකින්, සිත තැති ගැන්විය යුතුයි. ඇතැම් විටෙක ඕනෑ තැනකට වටහා ගත හැකි හිස් වචන වලින් අනුගාමිකයාගේ සිත වංචා කළ යුතුයි.'

“මේක කොච්චර ගැඹුරු ප්‍රකාශයක් උනත් කෙනෙකුට පුළුවන් නේද තමන්ගෙ පටු අදහස් තහවුරු කර ගන්න මේක ම අවභාවිත කරන්නත්.”

“ගඟුල් මතු කළේ බොහොම වැදගත් දෙයක්. අද වෙන කොට සමහර දෙනා තමන් බොහොම පටු තැනක ඉඳගෙන තමන්ගෙ වංචනික අදහස් තහවුරු කරගන්න තමන් අකැමැති දේකට පහර ගහන්න, අදිකාරම්තුමාගෙ නෙමෙයි බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කියන්න තියෙන්නෙ සුභාවිත අවභාවිත කිරීම කියලා.”

“ඇත්තට ම ඇමතිතුමා, මන් කිව්වෙ එහෙම දේවල් වෙන තත්ත්වයක් පැහැදිලි ව පේන්න තියෙන නිස යි. මේ යන විදියට ගියොත් ඉස්සරහට කියන්න බැරි නෑ බුදුහාමුදුරුවො කියන නායකයා කළෙත් තමන්ගෙ අදහස් ඉස් මුදුනින් ම පිළිගන්න අනුගාමිකයන් කණ්ඩායමක් හදපු එක ය කියලා.”

“ඒ ගොල්ලන්ගෙ ප්‍රශ්නෙම වැරදියිනෙ ගඟුල්. බුදුහාමුදුරුවො ශාස්තෘාන් වහන්සේ නමක් මිස කවදාවත් මන් කියපු දේම පිළිගනිව් කියලා කියපු නායකයෙක් නෙමෙයිනෙ. උන් වහන්සෙ කිව්වෙ ඒහි පස්සිකො කියලනෙ. එව බලව. ඒ වගෙම අත්තදීපා විහරථ තමන්ට තමන් ම පහනක් වෙන්න කියලනෙ. ඉතින් එහෙම චරිතයක් කොහොමද අර නායක කියන වචනෙන් හඳුන්නන්නෙ. උන්වහන්සෙ කියපු දේ ගැඹුරින් ම අවබෝධ කරගෙන ඇවිල්ලා දැකලා තමන්ගේ ජිවිත පහන දල්වගෙන, ලෝකයේ අප්‍රමාණ ජීවිත පහන් දල්වන්න වැඩ කරපු මහා කාශ්‍යප - සැරියුත් - මුගලන් ඇතුළු මහරහතන් වහන්සේලා කවුරු හරි අනුගාමිකයන්ගෙ ගොඩට දාලා කතා කරනවනං ඒ මිනිස්සුන්ගෙ ඒ මෝඩකමට අනුකම්පා කරනව මිසක් ඒ අයත් එක්ක තර්ක විතර්ක කරන එකේ කිසිම වැදගත්කමක් නැහැ.”

“ඒ උනාට සර් ඒ අය නිසා පොදු මානව සමාජෙට ම වෙන්නෙ මහ හානියක් නං අපි නිහඬ ව ඉන්න එක වරදක්නෙ.”

“මේ දුවගෙ ඒ කතාවත් එක්ක මාත් සීයට සීයක් ම එකඟ යි. දැනට අපි කතාව නවත්තලා කෑමට යමු. අපි නාගොල්ලගම එන්නෙ අඩුම තරමින් දවස් දෙකක් වත් එහෙ ගත කරන්න බලාගෙන. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් එහෙදි සාකච්ඡා මණ්ඩපයක් ම දාගන්න.”

“අනේ ඒ කියන්නෙ අපේ මේ සර්රුත් එක්ක මැඩනුත් අපේ ඉස්කෝලෙ උත්සවේට එනවා කියන එක ද?”

“ඔන්න ආයෙත් පටන් ගත්ත මැඩම් බැඩම් ගාන්න. මට කවුරු හරි ඒ වචනෙ කියන කොට මැවිලා පේන්නෙ අයිරා මන් දිහාට තර්ජනය කරන් ඉන්න දර්ශනේ. ඔන්න දුවේ මන් එන්නෙ මාව මන් විදිහට මිසක් මැඩම් කෙනෙක් විදිහට පිළිගන්නෙ නැත්තං විතර යි.”

“හොඳයි නැන්දා, දැන් ඉඳල ම ඔයා කියපු විදිහටම වැඩ කරන්නං. දැන්නං ඇත්තට ම නැන්දෙ බඩගිනි යි. ඔන්න අපි නැන්දගෙ ආරාධනේ පිළිගත්ත කෑම කන්න එන්න කියලා කරපු.”  

බලය තිබිය දීත් ආර්යාවක නොව ගැහැනියක ලෙස පෙනී සිටීමට කවදත් කැමැති වූ හිටපු ඇමති බිරිඳ මිහිදිනිය සිය සමීපයට ගෙන මහත් වූ මාතෘ ස්නේහයකින් ඇගේ හිස සිප ගත්තා ය. මේ සුපසන් දසුන දෙස පරිණත - යෞවන පුරුෂ යුග්මය බලා සිටියේ දයාලු දෑස්වලිනි.