Sunday, October 12, 2014

දන්නවා නම් තෙමෙනවා ඔබ... මහා වැස්සට කල්පයක්..!!

වැසි දැරියට වැස්ස ගැන හැර අන් යමක් ගැන ලියන්නට හැකිද... හැකි විය හැකි ය.එහෙත් මෙවන් වස්සාන සමයන්හී දී මට වැස්ස හැර මුළු ලෝකය ම අමතක වී යාම ඉතා සාමාන්‍ය සංසිද්ධියකි.එපමණට බරපතළ මිනුමකින් මම වැස්සට ආදරය කරමි.ගහකොළ සෝදාගෙන නෙත් ඉදිරිපිට ඇදගෙන හැලෙන සියුම් සුකෝමළ වැසි පොදවලටත්, කළුවර සීත රාත්‍රීන් හී සිත බියපත් කරමින් කඩා වදින අනෝරා වර්ෂාවන්ටත් එක සේ ම ආදරය කරන්නට මා පුරුදු වූයේ කවදා ද කියා හරියටම මට මතක නැතත් මා උපන් දවසේ දී ම වැස්සත් මහදත් අතර පවත්නා අරුම සම්බන්ධය උපදින්නට ඇතැයි විටෙක සිතේ.. 

මා උපත ලැබ ඇත්තේ ද මහා වැස්සක් අතරතුරේ ය.අන් නමක් ගැන නොසිතා මට වැසි දැරිය යැයි නම් තබන්නට තාත්තාට සිතෙන්නට ඇත්තේ ද ඒ හින්දා ම විය යුතු ය.නමට පමණක් වැස්සක් නොවී කටුක පොළොව තෙමනා ආදරයේ වැස්සක් වෙන්න යැයි ඔහු අදටත් සෑම උපන් දිනක දී ම මතක් කර සිටියි.මේ වැහි කතන්දර අලුත් වූයේ මේ දවස් වස්සානයට අයත් වන හින්දා ම පමණක් නොවේ.ඊයේ මහ රැයේ අහම්බයකින් අහන්නට ලැබුණු මේ අපූරු ගීතය හින්දා ය...

හදන්නට වැහි බින්දුවක් - කරුණාරත්න දිවුල්ගනේ

නිශාචරයෙකු වීම නිසා මහ රැයේ පාඩම් කරන අතරේ දැනෙන නිදිමතට පිළියමක් ලෙස මා කරන්නේ අන්තර්ජාලය ඔස්සේ කරක් ගසා ලස්සන සින්දුවක් සොයා ඇහීමය.ඊයේ අහන්නට ලැබුණ මේ ගීතය හිතේ බිත්තිවල ලස්සන සිතුවම් බොහෝමයක් එක නිමේෂයකට ඇන්දේය.

හදන්නට වැහි බින්දුවක්
පොළොව ගහකොළ විඳි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සට කල්පයක්...

මෙපමණ ගැඹුරට සිතන්නට යාම විකාරයක් ලෙස ඇතැමුන්ට පෙනෙනවා විය හැකි බව දනිමි.ඒත් ගීත රචකයා ලියා ඇති පරිද්දෙන් ම මහා වැස්සේ කල්පයක් හෝ නැත්නම් ඊටත් වැඩි ප්‍රමාණයක් වුව තෙමෙන්නට මම ද ආසා කරමි.වැස්ස මසිතට එපමණට සුවදායක ය... මෙහැඟුම යට මේ මොහොතේ දී ද මම සෙනේහයෙන් තෙමෙමින් සිටිමි.



Friday, January 24, 2014

සමනළ සංධ්වනිය බැලුවෙමි...

මම සමනළ සංධ්වනිය බැලුවේ එය තිරගත වූ අවසාන දවස්වල ය.එක් එක්කෙනා විවිධ විදියේ නිර්වචන දුන්නාට මෙය බැලිය යුතු ම යැයි යන අදහසක් මහිතේ පහළ වූයේ එහි පූර්ව ප්‍රචාරක දැන්වීම් පළ වූ 2011 අවුරුද්දේමය. ඒ නිසා මෙය සංධ්වනියක් නොව සන්නියකැයි ලියා තිබුණු විචාර දුටුව ද මහිත වෙනස් වූයේ නැත.

පෞද්ගලික ව ගත් කළ මම සමනළ සංධ්වනියේ වැඩිපුර ම ආසා කරන ගීතය මගේ සිහින මැදුරේ..  ය.එහි නව යෞවනයේ පැටලිලි සහගත වූ දුක්බර බලාපොරොත්තුවල ඡායාව තැවරී තියේ.එසේ ම සිනමා පටයේ මුල් භාගයේ වටපිටාවට ද මම අතිශය ආදරය කරමි.ඒ කොහොමටත් සීතල කඳුකරයට මා තුළ පවතින විකාර ආසාව නිසා විය යුතුය... 

අනික් අතට මේ කතාන්දරයට හේතු වූ වස්තු බීජය සිදු විය නොහැක්කක් ලෙස යමෙකුට පෙනී යන්නට පුළුවන.එහෙත් ජීවිතයට කයෙහි පමණක් නොව හැගීම්වලද සම්බන්ධයක් ඇතැයි විස්වාස කරන්නවුනට - සැබෑ මිනිසුන්ට මෙවැනි දෑ අරුමයක් වන්නේ නැතැයි මම සිතමි.

අනික් අතට චිත්‍රපටයේ වාදීෂ ගේ චරිතය ලක් වන විපර්යාසය අපට අප දෙස බලන්නට ඇසක් ඇති කරවයි.මුල දී ඔහු නිහඬ මුත් හෘදයංගම කලාකරුවෙකි.ඒත් සමාජය කලාකරුවා යැයි ගසන ලේබලය පැළඳගත් විට ඔහු ව්‍යාජ පරාධීන මිනිසෙකු බවට පත් වී තමාට තමා අහිමි කොට ගෙන ඇත.අද බොහෝ කලාකරුවන්ට සිදු වී ඇත්තේ මේ ඛේදවාචකය ම නොවේ ද..?? 

ඕනාවට වඩා පණ්ඩිත කතා තවත් කිව යුතු යැයි මම නොසිතමි.මා නොලිව්වාට බ්ලොග් අවකාශයේ බොහෝ දෙනා මේ සිනමා සිත්තම ගැන බොහෝ දෑ ලියා තිබුණි.වැඩිපුර ම අප සිත ආකර්ශණය කළ දසුන් ගැන ලියා තියන්නට පමණි මට වුවමනා...

මගේ දෑසට කඳුළු ඉනූ පළමු අවස්ථාව වාදීෂ ව වට කරගෙන බෝඩිමේ නවාතැන්කාරියන් පහර දෙන්නට හදන අවස්ථාවේ පුණ්‍යා ඇයි මේ පොඩි දරුවට ගහන්නේ? යනුවෙන් විමසූ ආකාරයයි.එහි තැවරී ඇති පුණ්‍යාගේ මව්වත් ගුණය ඇගේ චරිතය පිළිබඳව සම්පූර්ණ විචාරයක් කරන්නට තරම් සෑහේ.

එවන් තවත් මොහොතකි, කුමාරි උද්‍යානයේ දී වාදීෂ මැරයන් දෙදෙනාට පහර දෙන අවස්ථාවත්,ඉන් පසු සිය සොහොයුරා වෙත ගොස් සැඟවෙන අවස්ථාවත්...! පොඩි එකාට ඒ මොහොතේ තමන් දකින අසාධාරණය වෙනුවෙන් කළ හැකි දෙය ඔහු ඉටු කරන යුරු ඉතා අපූරුවට සිත්තම් වී තිබේ.එසේ ම අනික් අතට ඔහු තවමත් පොඩි එකෙකි.ඔහුගේ රැකවරණය සහෝදරයා ය.

එවන් තවත් අවස්ථාවකි වාදීෂ ගේ සොහොයුරා ඔහුට ලිපිය පිළිබඳ සිතුවිල්ල අත හරින්නට යැයි කියන අවස්ථාව.ඒ මොහොතේ වාදීෂගේ සිරුර සුදු පැහැති පොරෝනයකින් සම්පූර්ණයෙන් ම වසා දැමීමත්, චිත්‍රපටයේ මැද භාගයේ වාදීෂගේ මුවින් පිට වන "මම ආදරයත් ආදරය මාවත් මරාගෙන මැරුණා" යන වචනත් අතර අපූර්ව සම්බන්ධයක් මට පෙනේ.

චිත්‍රපටයේ අඩුපාඩු තියෙනවා විය හැකිය.මම පිළිගනිමි.නමුත් පීටර් වන්,ඉගිල්ලෙන්න ඇයි දඟලන්නේ වැනි චිත්‍රපට නිර්මාණය වන රටක සමනළ සංධ්වනිය යනු ඉතා විශාල පිම්මකි.එතෙකුත් වීත් ජයන්ත චන්ද්‍රසිරි නම් කලාකරුවාට මීට වඩා යමක් චිත්‍රපටය තුළ කරන්නටත් හැකියාව තිබුණා ය යන්න මම තරයේ විස්වාස කරමි.