Friday, June 22, 2018

සිහින මන්දිරය- ඈන් සහ වැසි දැරිය!

මට මතක හැටියට 'ඈන්' කතා මාලාවේ පළමුවැනි පොත මුණ ගැහෙද්දී වැහි දැරිය හය වසරේ ය. 'ඈන්' පොත් පෙළ මනරම් සිංහලයට පෙරළා තිබුණේ ප්‍රේමසිරි මාහිංගොඩ විසිනි. ජපුර සරසවියේ කථිකාචාර්යවරියක ව සිට දැන් මරේ ඩාලිං නදිය අසබඩ පදිංචියට ගොස් සිටින සාරංගි නැන්දා එහි සිංහල පරිවර්තන කියවා මුල් පොතෙහි මතකය නසා ගන්නට අකැමැති වූයේ කොතෙක් ද - එපමණට ම මම ඉංග්‍රීසි පොත කියවා සිංහල පරිවර්තනයෙන් ලද ආනන්දය නසා ගන්නට අකැමැති වීමි. එහෙයින් පළමු ව ම ඒ මධුර පරිවර්තනය වෙතින් ලද ආස්වාදය සිහිපත් කළ යුතු යැයි සිතමි. හත වසරට සමත් වීමත් සමඟම තිළිණ වූ Anne of Green Gables ඉංග්‍රීසි කතා මාලාව හත වසර ඉක්මී වසර දහයකට වඩා ගත වී ඇතත් තවමත් නොකියවී - දූවිලි වැදි වැදී තිබෙන්නේ ඒ අපූරු සිංහල වචනවල බල පරාක්‍රමය හේතුවෙනි.



කතා මාලාවේ පස් වෙනි පොත නොහොත් සිහින මන්දිරය අතට ලැබෙද්දී මතකය නිවැරදි නම් මා අට වසරේ ය. ඒ යෞවනය 'මෙහෙ වරෙන්' යැයි කියා ළමාවියේ එළිපත්ත මත සිටින කෙල්ලන්ට - කොල්ලන්ට අත වනා කතා කරන කාලයයි. ගිල්බර්ට් වසර ගණනාවක් පුරා ඈන්ට ආදරය කළ අන්දමත්, උසස් පාසලේදී සහ රිච්මන්ඩ් සරසවියේදී ඒ ආදරය ඈන්ගේ නොයෙක් රැවුම් ගෙරවුම්වලට ලක් ව අන්තිමේදී මල්ඵල දැරෑ අන්දමත් සිය වරක් කියව කියවා රස විඳ තිබුණා වූ වැසි දැරිය සහ වැසි දැරියගේ යාලු මිත්‍රාදී පිරිස සිහින මන්දිරය එන තුරු බලා උන්නේ අසීමිත නොඉවැසුමකිනි. 

සිහින මන්දිරය හිතුවාටත් වඩා රස පිරි පොතක් විය. ගිල්බර්ට්ට ඈත දුර පළාතක වෛද්‍ය සේවයට පිවිසෙන්නට සිදු වූ හෙයින් ඈන් සහ ගිල්බර්ට් ඔවුන් උපන් දා පටන් එක් ව හැදී වැඩුණු සුන්දර ගම්පියස අතැර දමා ඈත දුරක සිහින මන්දිරයක් තනා ගන්නා අන්දම ඒ කතා පොතේ ඉතා සුන්දර අන්දමකට සටහන් වී තිබිණ. 

ගිල්බර්ට් ඔවුන්ට කදිම නිවසකුත් - ඊට සරිලන ලී බඩුත් මිළට ගත් බව කී පසු ඈන් ඔහුගෙන් අසන වචන මට අද වාගේ මතක ය. 

'ඒ වුණාට ගිල්බර්ට් අපට ලී බඩු එක්ක විතරක් ජීවත් වෙන්න බෑනේ. බොහොම වැදගත් දෙයක් ගැන ඔයා තවම කතා කළේ නෑ. ගේ වටේ ගස් තියෙනව ද?'

ඈන්ගේම ජාතියේ අපූරු පෙම්වතා ඈට මෙසේ පිළිතුරු දෙයි.

'ගස් වකාරෙ. රුක් දේවතාවොත් එක්කම.. ගේ පිටිපස්සෙ දේවදාර අරඹක්. ගෙදරට යන පාර දෙපැත්තෙ පේළි දෙකට පොප්ලර් ගස්. ගෙවත්ත වටේටම බර්ච් ගස් වළල්ලක්. ලස්සන ගෙවත්ත. අපේ ඉස්සරහ දොර ඇරපු ගමං ගෙවත්ත. තවත් පැත්තකිං ඇතුල් වෙන්න පුළුවං දේවදාර ගස් දෙකක් අතරිං දාපු පුංචි ගේට්ටුවකිං. එක ගහක කඳට තමයි ගේට්ටුවේ සරනේරු අල්ලලා තියෙන්නෙ. අගුල වැටෙන්නෙ අනික් ගහේ කඳට. ඊට ඉහළිං ගස් දෙකේ අතු විහිදිලා තියෙන්නෙ ආරුක්කුවක හැඩේට..'

ඉන් පසුත් ඈන්ට අසන්නට එක ප්‍රශ්නයක් ඉතිරි වී තිබේ.

'මට හොඳටම සෑහෙනව. හරිම සතුටුයි. ගහ කොළ නැති තැනක මට ජීවත් වෙන්න බෑ. කන්න බොන්න නැති වුණත් ගහ කොළ තියෙන්නම ඕනි. ඊට පස්සෙ මම ඔයාගෙං දොළ පාරකුත් තියෙනවද කියල අැහැව්වොත් ඒක පමණ ඉක්මවා යාමක්..'

ඒත් ඔවුන් තනා ගත් සිහින මන්දිරයේ කෙළවර දොළ පාරකුත් තිබිණ. 

ඉතින් ඈන් සහ ගිල්බර්ට් අත් අල්ලා ඇවිද ගිය හැම තැනකම මායාවක් ව ඔවුන් අතරේ ඇවිද ගිය වැසි දැරියට ඈන්ටත් වඩා ඒ හැම තැනක්මත් - ඔවුනතර වූ හැම දෙබසක්මත් ඉතාමත් හොඳින් මතක ය. 

ජීවිතයේ මුණ ගැහුණු හොඳම යාලුවා වූ දඟකාර - හුරතල් කොල්ලාට ඈන් විතරක් නොව මා ද ආසා කළ කාලයක් තිබුණි. නමුත් පෙම්වතියක තුළ පවතින ඒ ආසාව වඩාත් ශක්තිමත් වූත් - බරපතළ වූත් ආදරයකට පෙරළන්නේ සිහින තනන දෑතක් හිමි කොල්ලෙකුගේ ගිල්බට්මය අධ්‍යාත්මය බව වැහි දැරිය තේරුම් ගත්තේ සිහින මන්දිරය කියවා වසර ගණනක් ඉක්ම ගියායින් පසුය.