Sunday, February 19, 2017

හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රහසේ.. - Romance in its peak..!!

කැතී පොත් මාලාව කියවන්න ලැබෙද්දි වැහි දැරිවි හරිම ඇබිත්තන් දැරියක්. සූසාන් කූලිජ්ගේ ඒ නවකතාව, මානෙල් ජයන්ති ගුණසේකර විසින් හරිම අපූරුවට සිංහලයට නගලා තිබුණා. ඒ කතාව විසින් ඒ දවස්වල මගේ හිත මත තැබූ තෙත් පිය සටහන් එය කියවා අවුරුදු දහයක් එකොළහක් ගියත් තවම වියැළී ගිහින් නැහැ.

"වසන්තය ගැන දන්නැතී - ඉරි තැලුණු පොළොවක අරුමැතී        

 තෙත අඩි තියන්නට බර ඇතී -  හැම වැස්සටම බෑ හිතවතී.."

කියා මුදු සුමුදු කවියක් කලකට පෙර පොකුරු වැහි අක්කා ලියා තිබුණා. මට හිතෙන හැටියට බොහෝ පොත්වලටත් - ගීතවලටත් ඒ කවිය අදාළයි. හිතක් උඩ තෙත අඩි තියන්නට හැම පොතකට ම බැහැ. පයට පෑගෙන දූවිලි, ගෝරා, ඇටමැස්සා, The Longest Ride වගේ එබඳු තෙත් පොත් අතරට එක්කහු වෙන පොතක් තමා කැතී. දහසකුත් එකක් වැඩ මැද්දේ දැන් නම් පොත් කියවන්න ලැබෙන්නේ කළාතුරකින්. තෙත් අඩි තැබූ පොත් පවා ආයේ කියවන්න වෙලාවක් නැහැ. ඒත් එබඳු පොත් ගැන මතකය පවා සුන්දරයි. කැතී තෙවැනි කොටසේ එන එක්තරා සිදුවීමක් අතිශය රොමාන්තික බවකින් යුතු ව මහද පිරිමැද්ද හැටි ඒ තෙත් මතක අස්සෙන් හීන් සීරුවේ මතක් වෙනවා. 
                             
ඒ මතකය අලුත් වෙන්නටත් හේතුවක් තියෙනවා.

ඊයේ පෙරේදා දවසක මහරැයේ ලියකියවිලි අස්සේ නිදිමත පෙරළි කරන මොහොතක මට නිකමට වගෙ හිතුණා නිකං ඉන්න එකේ සිංදුවක් අහන්න. ඉන් පස්සෙ තමයි මෑතකදි අහපු රොමාන්තික ම ගීතය මුණ ගැහුණෙ. 

"හංස බෝට්ටුවෙ නැගලා
යන්න එන්න රවුමක්
ඔබ එනකොට ඇඳන් එන්න
මල් පිරිච්ච ගවුමක්
බේරෙ වැවත් සුන්දර වී 
ඔබත් සුවඳ පියුමක්
දකින දකින සැවොම කියයි
අන්න රෝස කුසුමක්.."

හංස බෝට්ටුවෙ රවුමක් යන එක පෙම්වත් යුවළකට විඳින්න පුළුවන් ඉතාම රොමාන්තික අත්දැකීමක්. ඒත් ෆේස්බුක් - ට්විටර් - වයිබර්වලින් පෙම් කරන අපේ පරම්පරාවෙ තරුණ තරුණියො එහෙව් රොමාන්තික සුන්දරත්වයක් ගාව නතර වෙයි කියලා හිතන්න තියෙන ඉඩ අඩුයි. අධිවේගී ගමනක, අධි තාක්ෂණික මෙවලම්වලින් ආදරය හොයාගෙන යද්දි කායික බැඳීමකට එහා ගිය පිවිතුරු බන්ධනයක බැඳෙන එක ඒ තරම් පහසු කටයුත්තකුත් නොවෙයි.

ටියුෂන් ක්ලාස් එක ගාව ලාබෙට තියෙන රූම් එකකට රිංගන්න මිස මල් පිරිච්ච ගවුමක් ඇඳගෙන තමන් එක්ක හංස බෝට්ටු සවාරියක නිරත වෙන්න ආරාධනා කරන පෙම්වතෙක් මේ දශකයෙන් හොයාගන්නට අසීරු වෙයි කියා දවසක් මගේ මිතුරියක් කිව්වා මතකයි. ඒත් එහෙමත් නෑ.. මේ ගයන්නේ.. අපේ කාලයේ පෙම්වත්තු...

"බේරෙ වැවට සඳ පායන මැදියම් රෑ අහසේ
තරු මුතු කැට වෙලා පෙනේ නෙතු පැටලී පහසේ
හංස බෝට්ටුවට වෙලා අපි දොඩමළු වෙමු රිසි සේ
සුවඳ රොදට එකතු වෙලා ඔබෙ මුළු ලොවට ම රහසේ.."

විසි එක් වැනි සියවසේ ලංකාවෙ පෙම්වතෙක් එහෙම ගීයක් ලියද්දි දහනව වැනි සියවසේ දී බටහිර ලේඛිකාවක් මෙහෙම පදපේළි ටිකක් ලියා තබනවා.. ඒ පෙර සඳහන් කළ කැතී කතා මාලාවේ කථා නායිකාවත් ඇගේ පෙම්බරාත් වටා ගෙතුණු ගොන්ඩෝලා සවාරියක් ගැනයි..

"එය වැනීසියේ සුන්දරත්වය පිළිඹිබු කරන චමත්කාරජනක සැඳෑවක් විය. රෝස හා උත්පල පැහැය මිශ්‍ර වූ අහස යට රිදී වන් දිය රළ සෙලවෙමින්, නැළවෙමින් තිබූ අතර මෙය මෙම වශීකරණ බලයක් ඇති දිය මත පාව යන අන්තිම වාරය වූ බැවින් ගෙවී යන සෑම තත්පරයක් ම දෙගුණයක වටිනාකමකින් ඔවුනට දැනුණි.. හිරු බැස ගිය පසු තරු එබී බලා ග්‍රෑන්ඩ් කැනල්හි දිය මත පිළිබිඹු වූ ඔවුන්ගේ දීප්තිමත් මුහුණු දකින තුරුම ඔවුන් රැඳී සිටියේ මන්දැයි මම නොදනිමි. දෙදෙනා ම තරුණ වියේ පසුවන විට, එකිනෙකා හා සිහින් ස්වරයෙන් කතාබහේ නියැලෙන විට, ආපසු හැරීම සඳහා නියෝග කිරීමට බොහෝ පමා වන විට එහි අරුත කුමක්දැයි වැනීසියානු ඔරු කරුවන් හොඳින් ම දැන සිටියහ." (කැතී 03 - 238 වන පිටුව)

කැතී නවකතාවෙ ඒ වදන් පෙළත් මේ ගීයත් අතර අපූරු සමතාවක් හොයාගෙන වැහි කෙල්ල රොමාන්තික හීනෙක අතරමං වුණා. Api Machan සංගීත කණ්ඩායම එක්ක සුමිත් මන්දනායක ගයන මේ ගීය මෙපමණ සුන්දර වෙන්නෙ එය තුරුණු කටහඬවල් ගණනාවකින් ගැයෙන නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේ ම විදග්ධ - සාමාන්‍ය භේදයකින් තොර ව ඕනම රසිකයෙකුගෙ හදවත ස්පර්ශ කරන සරල පද පෙළත් - සුගම නාද රටාවත් - රූප රචනාවේ ඇති මධුර බවත් - ගයන්නන් තුළ වන දුලබ ගණයේ සංයමයත් හංස බෝට්ටුව තව තවත් රොමාන්තික කරන බවයි මට දැනෙන්නෙ.

බැලූ බැල්මට මේ ගීයෙ වචන හරි සරලයි.. ඒත් ඒ වචනවලින් හිත මත අඳින සිත්තම මේ යැයි කියන්නට බැරි තරම් මනරම්.. 

ඒ වගෙම වඩාත් ම මනරම් අග පද පෙළ..!!

"ජීවිත කාලෙම එන්නම් මුළු
  ඔබ ම යි, මගෙ සිහිනේ.."

මේ හංස බෝට්ටු සවාරියෙ යන්න අමතන පෙම්වතා, අද කායික සුවයක් පතා හෙට සිය පෙම්වතිය අතැර යන අන්දමේ පෙම්වතෙක් නොවෙයි. ජීවිත කාලයක් පුරා සිය ප්‍රේමවන්තිය පතා එන යෞවනයෙක්.  එහෙම නොවන ලාබ ගණයේ පෙම්වතෙක්ට කොහොමටත් මෙවැනි අහිංසක රොමාන්තික සවාරියක් රස විඳින්න හැකි යැයි සිතන්නට අපහසුයි. ජීවිත කාලයක් පුරා - සංසාරයක් පුරා ඇදෙන දීර්ඝ සුපෙම් සංචාරයක එක සුන්දර මොහොතක් ගැනයි මේ ගීයෙන් කතා කරන්නෙ. එක් අතකට සමස්ත ප්‍රේම චාරිකාවක් කියන්නෙ මේ වගේ පුංචි පුංචි රොමාන්තික සිදුවීම්වල සුවිසාල එකතුවක්.

ඉතින් මේ ගීතය ඇහුවට පස්සෙ මල් පිරිච්ච ගවුමකින් සැරසිලා හංස බෝට්ටු සවාරියක් යන්න හිතෙන එක ම කෙල්ල මම විතරක් නොවෙයි වෙන්න ඇති කියාත් ඒ නිසා මට නිකමට වගේ හිතෙනවා.


23 comments:

  1. හ්ම්... හ්ම්...


    අපි මචංලා මේ සින්දුව ලස්සනට කරල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. cover songs gana mage e tharam kamaththak nathath meyalage cover versions nam niyamai..

      Delete
  2. මාත් ගියා හන්ස බෝට්ටුවෙ.

    ReplyDelete
  3. සිංදුව ඇත්තටම ලස්සනයි... පෝස්ටුවේ මාතෘකාව දකිනකොට ඊයේ මතක් උනා...
    ඔයා කියුව වගේ බේරෙ වැවේ හන්ස බෝට්ටු සවාරියක් ඊයේ අපි ගියා... හරිම සුන්දර අද්දැකීමක්:D

    ReplyDelete
    Replies
    1. dennatama godak dewal mathak wela kiyala penawa comments dakkama...

      Delete
  4. මමත් නම් ගියා හංස බෝට්ටුවේ. පස්සේ හිතුනා විහාර මහා දේවි පාක් එකේ ගහක් යටට වෙලා ඇස් දෙක පියාගෙන ඉන්න තිබුනා නම් මීට වැඩියේ හොඳයි නේද කියලා.

    ReplyDelete
  5. හරිම රොමැන්ටික් සින්දුවක් සහ සුන්දර සටහනක්...මේ ගීතය මමත් ගොඩක් ආස කරන ගීතයක්...

    ඒ වගේම මං ලියාපු පද පේළියක් මතකයේ තියන් උන්නට ස්තුතියි වර්ෂා...

    ReplyDelete
    Replies
    1. Sthuthi akke.. godak sthuthi..

      A kaviya man blog awakashen kiyawapu lassanama kaviyak..!!

      Delete
  6. http://chef-archiect.blogspot.com/2016/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. ඒ ලිපිය මං කියවා තිබුණෙ නෑ ලිඛිතා.. ස්තූතියි ලින්ක් එකට..!

      Delete
  7. හරිම රොමැන්ටික්... හඬ, සංගීතය, අර්ථය එක්ක මුසුවෙලා මාව අතීතයට අරං ගියා... හංස බෝට්ටුවෙ නොගියාට වචනයක්වත් කතා නොකර වක්වැල්ල මහ බැම්ම දිගේ අත් පටලාගෙන ඇවිද ගිහිපු අතීතය.... ස්තූතියි වැසිදැරිය...

    ReplyDelete
  8. හරිම රොමැන්ටික්... හඬ, සංගීතය, අර්ථය එක්ක මුසුවෙලා මාව අතීතයට අරං ගියා... හංස බෝට්ටුවෙ නොගියාට වචනයක්වත් කතා නොකර වක්වැල්ල මහ බැම්ම දිගේ අත් පටලාගෙන ඇවිද ගිහිපු අතීතය.... ස්තූතියි වැසිදැරිය...

    ReplyDelete
    Replies
    1. සුන්දර අතීතයක් මතක් වුණා නම් සන්තෝසයි දිල්ෂාන්.. මෙයාලගේ අනිත් කවර් වර්ෂන්ස් අතරින් බොහොමයකුත් ලස්සනයි..

      Delete
  9. ලස්සන සින්දුවක්. අපි මචංලාත් මරු. වැසි දරිවි ඔයා අහලා තියෙනවද සුමිත් මන්දනායකගේ සින්දු, මම දවසක් ඇහුවා පෝනි ටේල් නෝනේ, ජේන් නගේ කියලා සින්දු දෙකක්. මම ඒ කටහඬට හරිම ප්‍රියයි.

    ReplyDelete
    Replies
    1. ඒවා නම් අහලා නෑ.. ඒත් ඔහුගේ නිල් උපුල් නුවන් පෙතී අහලා තියෙනවා.පබාවතී කතන්දරයෙ ගොඩක් දෙනෙක්ට මඟ හැරෙන ජයම්පතීගේ භූමිකාව ගැනයි ඒ ගීය ලියැවිලා තියෙන්නේ..

      Delete
  10. මොන හංසබෝට්ටුද නංගී :D හිතගිය එකී දැක්කම දැක්කෙ නැති ගානට මාරු වෙලා යනව :D

    ReplyDelete
    Replies
    1. හරි හරි.. අලියට මේ වගෙ ගීත අදාළ නොවේ..))

      Delete
  11. බොහොම සංවේදී කතාවක් මතක්වුනා මේ පොස්ට් එක කියවල.. සිද්දිය සිද්දවුනේ 1996 කාලේ.. මගේ මිත්‍රයෙක් මේ වගේම බොහොම විරාගිකව ආදරය කළා ගෑනු ළමයෙකුට. මම හිතන්නේ නැහැ මගේ මිත්‍රයා ඒ ගෑනු ළමයාගේ කම්මුලට හාදුවක් දීල ඇති කියල.. ඒ තරම් සිපිරිසිදු ආදරයක්. සිංහල අවුරුද්දට ගෑනු ළමය අපේ පන්තියට ඇවිත් තමුගේ පෙම්වතාගේ කකුල් දෙක අල්ලලා වඳින තරම් පිරිසිදු ආදරයක්.. හරියට පැහැදිලි ජලය වගේ.. ඒත් ඒ ආදරය දෙකට කැඩිලා ගියා.. හේතුව ගෑනු ළමයා ඊට පැරලල් තවත් සම්භන්ධයක් තිබී අනෙක් පෙම්වතා සමග කාමරයක සිට අතටම හසුවීම.

    ඉතින් මල් වැටිච්ච ගවුම ඇඳගෙන හංස බෝට්ටු පදින්න සිහින මැවීම කොයිතරම් දුරට සාධාරණද කියල සිතියයුතුයි වැසි දැරිය.. පෙම්වතිය අරගෙන කාමර ගානේ යාම සාධාරණීකරණය කළා නෙවෙයි. මල් වැටිච්ච ගවුම ඇඳගෙන හංස බෝට්ටුව පැදීමේ ආවස්ථික පිරිවැය කුමක්දැයි කියා සමහරවිට අපි කව්රුත්ම නොදන්නා දෙයක් විය හැකියි..

    දැන් කියන්න එපා මගේ මිත්‍රයාගේ පෙම්වතිය වල් පඳුරක් කියල.. නෑ ඒ ගෑනු ළමයා එහෙම කෙනෙක් නෙවෙයි. ඒත් ඒක එහෙම වුනා..:(

    ReplyDelete
    Replies
    1. ඒ මිතුරා හිටියෙත් එක අන්තයක කියලයි මං හිතන්නෙ.. ආදරයක් කියන්නෙ කායික සහ මානසික බන්ධනයක එකතුවක් විය යුතුයි.මං අදහස් කළේ ආදරය සම්පූර්ණයෙන් විරාගික විය යුතුයි කියලා නෙමේ..ආදරයක් ඇතුළේ විවාහයට පෙර යම් සංයමයක් තිබිය යුතුයි කියන එකයි.

      Delete