Showing posts with label සිතුවිලි වැහි බිංදු. Show all posts
Showing posts with label සිතුවිලි වැහි බිංදු. Show all posts

Sunday, March 30, 2025

128. ශිලාටැම්-වළ-මල් පාර අස විහඟ නෙතු අතරින් : Peradeni Dream - Phase 2.0!

මං හිතන්නෙ සරසවි යන්න පුළුවන් වුණත්-බැරි වුණත්-රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගියත්-පුද්ගලික විශ්වවිද්‍යාලයකට ගියත්-විදේශ විශ්වවිද්‍යාලයකට ගියත් ලංකාවෙ පාසල් ශිෂ්‍යයන්ගෙන් සීයට අනූනවයයි දසම නමේකට පේරාදෙණිය ගැන හීනයක් ජීවිතය‍ෙ කොයි කාලෙ හරි තිබිලා ති‍ය‍ෙනවා. 

ඒත් වැහිදැරියට ‍පේරාදෙණිය මුලින්ම දැනුණේ දුෂ්ට බලවේගයක් වග‍ෙයි . හය-හත වස‍ර දැරියක කාලෙ තාත්තා ‍පේරාදෙණි‍ය සරසවියට යන්න හදන කොට විරුද්ධතා ‍පෝළි‍ම මුලම සටන් පාඨ කියාගෙන හිටියෙ වැහිදැරිය. ඒ කා‍‍ල‍ෙ තිබු‍ණ‍ෙ තාත්තා ගිය‍ොත් වැහිදැරියටත් ඉස්කෝල‍ෙ යාලුවන්ව දාලා යන්න වෙයි කියලා බයක්. ඒ නිසා ඒ කා‍ල‍ෙ අවංකවම වැහිදැරියට පේරාද‍ෙණිය පේන්න බෑ. තාත්තග‍ෙ අදහස ව‍ෙනස් වුණාට පස්ස‍ෙ තමයි පේරාදෙණිය දිහා සතුරු ආකල්පයක් නැතුව බලන්න වැහිදැරිය හිත හදාගත්ත‍ෙ.

සියල්ල ‍ව‍ෙනස් ව‍ෙන්න ගත්ත‍ෙ නවය වසර‍ෙ එක්තරා දවසක පේරාදෙණිය සරසවිය‍ෙ දවසක් ගත කරන්න සිද්ද වුණාට පස්සෙ. ඒ වෙද්දි තව අවුරුදු කීපයකින් සරසවි යා යුතුයි කියලා හැඟීමක්වත් වැහිදැරියට තිබුණෙ නෑ. අවුරුදු ගාණක ඉඳලා හැමදාම වග‍ෙ පන්ති‍‍ය‍ෙයි ‍ස‍ෙක්ෂන් එක‍ෙයි පළවෙනියා වීම නිසා අමුතුව‍ෙන් සරසවි යන්න උත්සාහ කළ යුුතුයි කියලා හැඟීමක් තිබ්බ‍ෙත් නෑ. කවියක් ලියා‍ගෙන - පොතක් කියවග‍ෙන - ෆිල්ම් එකක් බලාගෙන - යාලුමිත්‍ර සමාගම එක්ක විකාරයක් කරග‍ෙන ඉඳලා - වාර විභා‍ග‍ෙට විතරක් පාඩම් කර‍ග‍ෙන හිටපු ජීවිතේ අංශක 360ක් අනිත් පැත්ත ගැහිලා වෙනස් වුණේ එදා. 

එදා අර සුවහසක් සිරිලාංකික දූ පුතුන්ට හැ‍දෙන බයානක රෝගය වැහිදැරියටත් හැදුණා. පේරාදෙණි ෆීවර් එක. අවුරුදු කීපෙකට කලින් පේරාදෙණිය පැත්ත බලා‍ග‍ෙන බත් කන්නෙ නැති ලෙවල් එකක හිටපු - උ‍ද‍ෙන් නැගිටින්න වුණා කියලා එදා උදේත් නහයෙන් අඬ අඬ ආපු ළමයා හවස මුණගැහුණහම කැම්පස් එක දාලා යන්න බැරි තත්ව‍ෙකට ඇවිත් ඉන්නවා දැකලා තාත්තා සෑහෙන්න පුදුම වුණා. 

එතැන් සිට වැහිදැරියගෙ ජීවිතේ සෑ‍‍හෙන්න ‍ව‍ෙනස් වුණා. හැමදාම කියවපු කතන්දර ‍පොත් ශාස්ත්‍රීය පොත් එක්ක මාරු වුණා. ස්කොලර් ක‍ෙන‍ෙක් වෙන ‍ල‍ෙවල් එකට නවය වසරේ කෝටුකිතයි ළමයා වැඩ කරන්න ගත්තා. සාමාන්‍ය ප්‍රො‍ජෙක්ට් එකක් පවා තීසිස් ලෙවල් එකට කරන්න වැසිදැරියට ඕන වුණා. බහුවරණ ප්‍රශ්නපත්තරවල සම්පූර්ණ ලකුණු ගන්නවා කියන එක සාමාන්‍ය කාරණාවක් බවට පත් වීගෙන ඇවිල්ලා රචනා ප්‍රශ්නවලත් ලකුණු කපන්න බැරි තත්ත්‍ව‍ෙකට ආවා. පාසල් ජීවි‍තය‍ෙ මුණගැහුණ සුන්දරම ගුරු තරුවක් වුණ ‍ත‍ෙන්නකෝන් සර් එක වතාවක ඉතිහාසය ප්‍රශ්න පත්තරේට ලකුණු සීයෙන් සීයක් දීලා වැහිදැරියව ඉතිහාසගත කළෙත් ඒ කාලෙදියි. 

ශිෂ්‍යත්වෙට කිසිම පන්තියකට යවන්න‍ෙ නැතුව-විභාග‍ෙ දවස‍ෙ උදේ 'ඔයා ලියන්න කැමති නම් ගිහින් දාන්නම් - නැත්තං තව ටිකක් නිදාගන්න'  කියපු අම්මයි තාත්තයි ඒ දුෂ්කර ක්‍රියා පිළි‍වතෙට අකැමැති වුණාට හිතුවක්කාර ළමයාග‍ෙ අනවරත වැඩ කිරිල්ල නතර වුණේ නෑ. ඒ පිටුපස තිබුණෙ තව අවුරුදු කීපෙකින් පේරාදෙණියට යන්න තිබුණ විප්‍රකාර ආසාව.

ඇතැම් විට ඒ කාලෙ පේරාදෙණිය‍ෙ  ශිෂ්‍යාවක, බ්ලොග්කාරිණියක සහ සමීප මිතුරියක වුණු, දැන් පේරාදෙණියෙම කථිකාචාර්යවරියක වන ආචාර්ය දිලිනි ආරියවංශ, වැහිදැරියට පරමාදර්ශයක් වුණා වෙන්නත් පුළුවන්. ඇය පළමු වසර සිසුවියක් කාලෙ පවා ඇයගෙ පර්යේෂණ ලිපි කියවලා අනිත් සරසවිවල මහාචාර්යවරු කවුද මේ අලුත් කථිකාචාර්යවරිය කියලා සිංහල අධ්‍යයනාංශයට කතා කරලා අහන තරමේ විදග්ධ බවක් තිබුණ, සද්ධර්මරත්නාවලියෙ වගේ සිංහලයි-ඒ මට්මමින්ම ඉංග්‍රීසියි-පාලියි-සංස්කෘතයි වගේ භාෂා ගණනාවක් ඉතාම ලස්සනට හසුරුවපු දිලිනි අක්කා නිසා පේරාදෙණියෙ යන්න නම් එහෙම බුලට් එකක් වෙන්න ඕන කියලා ටීනේජ් වැහිදැරිය හිතුවා වෙන්න ඇති කියලාත් දැන් අවුරුදු ගණනක් ආපස්සට හැරිලා බලද්දි  හිතෙනවා.

කොහොම හරි සා/පෙළ කාලෙට එද්දි වැහිදැරියගෙ ලැප් එකේ වෝල්පේපර් එකට පේරාදෙණිය සරසවියෙ පින්තූරයක් ඇවිත් තිබුණා. රෑට පාඩම් කරලා මහන්සි වෙද්දී වැහිදැරිය ඉයර් ෆෝන්ස් ගහගෙන පේරාදෙණියෙ සරසවි ගීතය අහන්න පුරුදු වෙලා හිටියා. ඒක සා/පෙ, උ/පෙ කාලෙ කොච්චර ඇහුවාද කිව්වොත් අදටත් වැහිදැරියට පේරාදෙණියෙ සරසවි ගීතය කටපාඩම්.

වැහිදැරියට සමීප හුඟක් අයත් මේ පේරාදෙණි ලාලසාව ගැන දැනගෙන හිටියා. පේරාදෙණිය රෝහලේ ඩොක්ට ලලිත් කැම්පස් එකට කිට්ටුවෙන් අලුතින් ගෙයක් හදද්දි වැහිදැරියට සරසවි ශිෂ්‍යාවක් වුණාම ඉන්න කාමරේකුත් වෙන් කරලා තිබ්බා. ඒ වගේ පේරාදෙණි ආවාම එයාලගෙ ගෙදර එන්න ඉන්න කියලා කියපු නෑදෑයො හිතවත්තු වැහිදැරිය ජපුරට යනවා කිව්වම නවවෙනි පුදුමෙ ගැන ඇහුවා වගේ පුදුම වෙන තරමකට පේරාදෙණි ලාලසාව වැහිදැරිවිගෙ ජීවිතේ එක්ක බැඳිලා තිබුණා. ඊයේ පේරාදෙණියෙ ගියාම වැහිදැරිවිගෙ පේරාදෙණි ලාලසාව මතක් වුණා කියලා අද උදේ ප්‍රබෝධා එවපු කෙටි පණිවිඩයත් මේ ලිපිය ලියන්න ආසන්නතම හේතුවක් වුණා.

මෑතක් වෙනකම්ම අමතක වෙලා ති⁣බුණ, පේරාදෙණි සරසවිය ගැන වැහිදැරිවි ලියපු මේ කවියත් මෙතන සටහන් කරන්න හිතුණෙ මේක ලියැවුණේ මීට අවුරුදු ගාණකට කලින් - 2011 අවුරුද්දෙ මැද කාලෙක, සුව කරන්න බැරි තරමටම පේරාදෙණි ෆීවර් හැදිලා තිබුණ කාලෙ නිසයි. 

මුල්ම දින ඔබ බලන්නට ආ,
මැවේ මට මතකෙන්
පුංචි දැරියක් වීමි එදවස
හසර නොම දැන උන්
එදවසත් පොඩි නෙත් අයා
විඳගතිමි ඔබ මවිතෙන්
ඉනික්බිති මෙහි පැමිණි වරෙකදි
පිරුණි හද පැතුමින්

යළි යළිත් විත් මේ සදාතන
වසත් කල රඳමින්
මවුනි අහුලමි නේ පැතුම්
නැණ පැණ එළිිය විඳිමින්
ශිලා ටැම්-වළ-මල් පාර අස
විහඟ නෙතු අතරින්
දකිමි තැන තැන රතු අකුරු
ඔබෙ තුරුණු විරු දරුවන් 

හරිත තුරුලිය අතු අගිස්සෙහි
රැඳෙන පිනි වතුරින්
මවුනි සරසවි ගලන සිහිලස 
දැනේ මට නොමඳින්
කලා සිප් දරනා ළයාදර 
දෝත දිගු කරමින්
මා තබාගනු මැනවි සෙනෙහෙන්
දිනෙක ඔය තුරුළින්



ආයේ මේක කියවද්දි ජීවිතේ කොච්චර වෙනස් වෙලාද කියලා වැහිදැරියට හිතුණා. පේරාදෙණියට යන්න ඕනම කියලා හිතන් හිටියා වුණත් උසස් පෙළ අවසන් වෙලා යම් කාලයක් ගත වෙද්දි වැහිදැරියගෙ සරසවි අපේක්ෂාවන් - හොඳම විශ්වවිද්‍යාලය ළඟම විශ්වවිද්‍යාලයයි කියන තැනට විතැන් වෙලා තිබුණා. දළදා මාළිගාව - වැවරවුම - පේරාදෙණිය තානායම - ගල් බංගලාව - උද්භිද උද්‍යානය ආදිය වටා එක්රැස් ව තිබුණ සිහිනත් නිතිපතා දුර යන්න වීම, ගෙදරින් ඈත් වෙන්න වීම කියන රියැලිටිය ළඟ ඉතා වේගයෙන් ඈත්ව යමින් තිබුණා. ඒ නිසා විශ්වවිද්‍යාල අයදුම්පත් පුරවද්දි වැසිදැරිය පළවෙනි තෝරාගැනීම විදියට සඳහන් කළේ ඉපදිච්ච දවසෙ ඉඳන් දණගගා ගියපු - බැචස් ගණනාවක අය්යලා අක්කලා එක්ක උස් මහත් වුණ සරසවිය වුණ ජපුර. කොහෙත්ම සිලෙක්ට් වෙයි කියලා නොහිතෙන - නැව් නෙමේ බෝට්ටුවක්වත් නොඑන හරියකින් හයවෙනියට හත්වෙනියට තමයි පේරාදෙණිය සඳහන් කළේ.

ඒත් විසාකාවෙ හොඳම යාලුවන් අට දෙනාගෙන් වැඩිපුරම පේරාදෙණියට යන්න ආසාවෙන් හිටිය මනුස්සයා - වැහිදැරිය වගේ දිව දෙකේ මනුස්සයෙක් නොවී - ඇත්තටම පේරාදෙණියට ගියා. නීති පීඨෙට- කැළණියට-කොළඹට-ජපුරට විසි වුණ අනිත් හත් දෙනා එයාව බලන්න පේරාදෙණි එනවා කිය කියා නිතර කිය කියා හිටියත් ඒ ට්‍රිප් එක අන්තිමට ගියේ අපි අට දෙනා අවසන් වසර සිසුවියන් වුණාටත් පස්සෙයි. අක්බාර් පාලම උඩ කුඩ තියාගෙනත් වැස්සට තෙමිලා - ගල්කණු මල් ගස් අස්සෙ ෆොටෝෂූට්ස් කරලා - කිලෝමීටර්ස් ගාණක් කැම්පස් එක ඇතුළෙ කෑ ගගහා පයින් ඇවිදගෙන ගිහිල්ලා හවස් වෙද්දි උණ හැදිලා කටඅඬත් අතුරුදන් වුණාට පස්සෙ පේරේ නොආ තීරණේ හොඳයි කියලා වැහිදැරියට යම් දුරකට හිතෙන්න පටන් අරන් තිබුණා. ඇතැම් විට ඒ සෞන්දර්යයත් ගම්භීර ගතියත් සෞම්‍ය හුදෙකලාවත් දිනපතා විඳින්න බර වැඩි වගේ හැඟීමකින් වෙන්නත් පුළුවන්!

කොහොම හරි ඊයෙ පෙරේදා වැහිදැරිය සම්මුඛ පරීක්ෂණයකට පේරාදෙණිය සරසවියට ගියා. ඒ ගමන මීට අවුරුදු කීපයකට කලින් යෙදුණා නම් ඒ මොහොතේ ලෝකෙ සතුටින්ම සහ බලාපොරොත්තු සහගතවම ඉන්න මනුස්සයා වැහිදැරිවි වෙන්න හොඳටම ඉඩ තිබුණා. ඒත් අන්ධකාර කාලයක අග මුණ ගැහුණ අනවරත ආලෝකයක් ප්‍රදායනය කරන තාරකා එළියක් වගේ ඇදුරුතුමියක්, භාවනාමය තෘප්තියකින් උගන්වන්න පුළුවන් විෂය නිර්දේශයක් සහ සෙන් උද්‍යානයක සන්සුන් බව සහ උද්යෝගය එකට කැටි වුණ බොන්සායි තුරු වාගෙ සිසුන් කණ්ඩායමක් මුණ ගැහුණාට පස්සෙ ඒ තීරණය - ගැනීමට ඉතාම අපහසු තීරණයක් බවට පත්වෙලා තිබුණා. සමීපතමයන්ගෙන් දුරස්ව යාම හා සමානම අසීරුවක් පෙර කී අත්හැරීම ගැන නිකමට හිතන කොට පවා වැහිදැරියට දැනුණා..

ඉතින් ඒ නිසාම වෙන්න ඇති, පේරාදෙණියෙ ලස්සන මේ වතාවේ නම් වැහිදැරියගේ ඇස් දෙකට අල්ලාගන්න අසීරු වුණා. වැව රවුමෙ ඇවිදන් යද්දි - දළදා මාළිගාව ඇතුළෙදි නම් ‍දෙනෝදාහක් මැද වුණත් දැනෙන සන්සුන් නිශ්චලතාව දශම ගණනකින්වත් වෙනස් වෙලා තිබුණෙ නැතත් මල් පාර - වළ - පොළොන්නරුව - වූස් ගෙම්බා අවන්හල් වගේ- වැහිදැරිය වෙනදාට කැම්පස් එකේ ඇවිදින්න කැමතිම තැන්වලවත් ඇවිදින්න වුවමනාවක් මේ පාර දැනුණෙ නෑ.

සමහර තැන් ලස්සනටම දැනෙන්නේ ඒ තැන්වලට අපිට අයිතියක් - හිමිවීමක් - අඩුම තරමේ හිමිවෙයි කියන බලාපොරොත්තුවවත් නැති වුණාම වෙන්න ඇති - වැවරවුම පහු කරගෙන ඇවිත් කොළඹ පැත්තට වාහනේ හැරවෙද්දි, ඉයර් ප්ලග්ස් අස්සෙන් හන්තානේ කඳු මුදුන සිසාරා සින්දුව අහගෙන හිටපු වැහිදැරියට හිතුණා..! 

Tuesday, November 19, 2024

119. මධුවන්තී, වැහි කියැවිලි සහ ගී මධූ!

මධුවන්ති ගී දැහැනෙ මේ සතියෙ ගී තෝරන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණා පහුගිය සතියෙ දවසක. 

ඒත් ගුවන්විදුලි මැදිරියට යන තුරුම, මේ අතීතයේ සේකර-අමරදේව සුසංයෝගයෙන් කෙරුණු මධුවන්තියෙම යළි පණගැන්වීම බව දැනගෙන හිටියෙ නෑ.

වැඩසටහන් නිෂ්පාදිකාව වූ පවිත්‍රා නානායක්කාර සහෝදරිය හෝරාවක් පුරා පැණසර පැන නගමින් සුවිශිෂ්ට සන්නිවේදිකාවකගෙ භූමිකාව ඉටු කළා.

වෙසෙසින්ම මේ ගැන වියුණු අඩවියෙ ලියන්න හිතුවෙ වියුණු හරහා මුණගැහුණු ඉයන් ලිංතොට බ්ලොග් සහෘදයාගෙ ගීතයක් වන 'දැන් ළඳුන් සිංහාසනේ' ගැනත් මේ සංවාදයෙදි කතා කළ නිසයි.

වැහි දැරිවිගෙ වැහි කියැවිල්ල ඔන්න එහෙනම් මෙතැන අමුණා තියනවා.

https://youtu.be/UvcJXpavyYo?si=dV-C8tI3M2H1McOt


Monday, November 4, 2024

116. ටියැං ලූ සහ සිංහල බැරි සිංහල බබ්බු!

වැසිදැරිය දන්න ඇතැම් බබ්බු ඉන්නවා, ඒ බබ්බුන්ට සිංහල බෑ. ඇතැම් අය නෑදෑ වෙන බබ්බු. ඇතැම් අය යාලුවන්ගෙ බබ්බු. සමහරක් පිටරට පදිංචි අය. තවත් සමහරක් ලංකාවෙම ඉන්න අය. ඇතැමුන් කියන්නෙ ප්‍රායෝගිකව සිංහල භාවිත කරන්න විදියක් සහ අවශ්‍යතාවක් නැති වග. ඇතැමුන් කියන්නෙ තමන්ටත් දැන් සිංහල අමතක වෙලා වාගේ නිසා දරුවන්ට කොහොමත් අමතක වෙලා යාම සාමාන්‍ය දෙයක් වග. සිංහල ඉගෙනගත්තා කියලා වැඩකුත් නැති වග. මාතෘ භාෂාව හෙළා දැකීමේ මානසික තත්ත්වය, වාග්විද්‍යා සහ මනෝවිද්‍යා ක්ෂේත්‍රවල Schizoglossia කියන මානසික රෝගී තත්ත්වය ලෙස හඳුනා‍ගෙන තියෙන වග දන්නවා නම් එයාලා එහෙම නොකියන්නත් සමහරක් විට ඉඩ තියෙනව.

කොහොම හරි ඔය කියාපු සමහර දෙමව්පියන්ට තමුන්ගෙ බබ්බුන්ට සිංහල බැරි වීම පුදුම තරමේ ආඩම්බරයක්. ඒ අරුම පුදුම ආඩම්බරේ ඒ බබ්බුන්ට ඉංග්‍රීසි බැරි වුණොත් එහෙම්මම තියේවිද කියලා අහන්න කටට එන ප්‍රස්නේ එහෙම නරක විදියට අහන්නෙ නැතිව තමන්ගෙ භූමිකාව ඇතුළේ, ඒ ආඩම්බරය තුළ තියෙන භයානකකම ගැන නොරිදෙන සාකච්ඡාවක නිරත වෙන්න වැහිදැරිවි උත්සාහ කරනවා. වාග්විද්‍යාව (Linguistics) සහ පශ්චාත්කොලනිකරණය (Post colonialism) විෂයන් ලෙස හදාරපු බැවින්, සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ලිවීම් සහ සන්නිවේදන කටයුතු කරන බැවින් සහ ඉංග්‍රීසි භාෂාව හා සාහිත්‍යය විෂයක් ලෙස උගන්වන බැවින් වැහිදැරියට එහෙම කතා කරන්න හැකි නොනිල බලපත්‍රයක් ලැබිලා තිබීම නිසා ඒක බොහෝ වෙලාවට, යම් තාක් දුරක හෝ පලක් ඇති සංවාදෙකට ගෙනියන්න පුළුවන් වෙලා ති‍බෙනවා. හැබැයි සංවාදෙකට ඇතුළු වෙන්නවත් අකැමැති ඇතැම් අයත් එක්ක එහෙව් සංවාද කරන්න අවකාශයක් හදාගන්න අසීරුනෙ. එවන් වෙලාවට කළ හැක්කෙ, එවන් යටත්විජිතවාදයෙන් හා කොලනිකරණයෙන් නොමිදුණ මානසික තත්ත්වයන් තව දුරටත් අනිත් අය තුළ ඇති වීම වැළැක්වීම සඳහා අපේ ශක්ති ප්‍රමාණයෙන් වැඩ කරන එක කියලා හිත හදාගන්නව!

හැබැයි මේ සටහන ලිව්වෙ එහෙම බබ්බු ගැන ලියන්න නොවෙයි. එහෙම නොවන බබෙක් ගැන ලියන්න. එහෙම නොවන බබෙක් කියන්නෙම, ඔය ඉහත සඳහන් කළ ඩිස්කෝස් එකට ප්‍රතිඋත්තර සපයන නිදර්ශනයක්නෙ. ඒ නිසා ඒ බබා ගැන ලියන්න පෙර එහෙම නොවන බබ්බු ගැන ලිවිය යුතුයි කියලා හිතුණා. ඇත්තටම ලියන්න ඕනෑ ඒ බබ්බු ගැන නොවෙයි, එයාලාගෙ දෙමව්පියො ගැන තමා. මොකද බබෙක්ගෙ භාෂා පරිසරය හැදෙන්නෙ දෙමව්පියන්ගෙන්නෙ. පළමු භාෂාව අන්තර්ග්‍රහණය කරගැනීම ස්වාභාවික සිද්ධියක් වුණාට එයට ඉඩ හසර සපයන්නෙ අවට පරිසරය නිසා දෙමව්පියන්ට ඒ සම්බන්ධ සුවිසාල - අත්හළ නොහැකි වගකීමක් තියෙනවා. ඒ නිසා යම් බබෙක්ට මාතෘ භාෂාව - සිංහල වේවා, දෙමළ වේවා, තමුන්ගෙ මාතෘ භාෂාව බැරි නම්, ඒ වෙනුවට ප්‍රථම භාෂාව විදියට පුළුවන් ඉංග්‍රීසි භාෂාව විතරක් නම්, ඒ ගැන බබා තුළත් ආඩම්බරයක් වගා කරලා දෙමව්පියනුත් බොහෝම ආඩම්බර වෙනවා නම්, එතැන තියෙන්නෙ යටත්විජිතවාදයට සම්බන්ධ බරපතළ දේශපාලනික - සමාජ - සංස්කෘතික - වාග්විද්‍යාත්මක - මානවවිද්‍යාත්මක... ඔන්න ඔහොම ක්ෂේත්‍ර ගණනාවක යටතෙ කතා කළ යුතු බරපතළ ප්‍රශ්නයක්.

මං මේ සටහනේ ලියන බබාට ඉන්නෙ යටත්විජිතවාදෙන් මිදුණු, ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් හිස මත තියාන වන්දනයක නොයෙදෙන, ඉංග්‍රීසිය තවත් එක් බසක් ලෙස සලකන, දැනුම පමණක් නොව ප්‍රඥාව සහිත මව්පිය යුවළක්. ඒ නිසා ඒ බබා වාග්විද්‍යාත්මක ශක්‍යතා එකතුවක් වීමේ ගෞරවය ඔවුන්ට හිමි විය යුතු බව මේ සටහනට එක් කළ යුතුමයි.

වැහිදැරිවි ඒ බබාව මුලින්ම දැක්කෙ දවස් දෙක තුනක පුංචි බබෙක් විදියට. එයාගෙ අම්මා, වැහිදැරිවිගෙ මව්පියන්ගෙ ශිෂ්‍යාවක වීම නිසා, (වරහන් ඇතුළෙ කියන්නම ඕන - ආදරණීයම කියලා.. නැත්තං වැහිදැරිවිට ආදරණීය ශිෂ්‍යාවගෙන් බැනුං අහන්න වෙන්නත් ඉඩ තියෙනව) එයා සතියක්වත් වයස නැති පුංචි බබෙක් විදියට අපේ ගෙදර ආවා. එච්චර පොඩි වයසකින් බබෙක්ව එහෙම ගෙනියනවද කියන එක අරුම පුදුම කාරණයක් වුණාට, බබාගෙ අම්මාට ඕනෑම වුණා තමන්ගෙ ගුරුවරු දෙන්නා මුලින්ම බබාව දකින අය බවට පත් කරන්න. ඉතින් එහෙම දවස් ගාණකින් දැකපු පුංචි බබා ආපහු වැහිදැරිවි බලන්න ආවෙ, වැහිදැරිවිගෙ නමයි - වැහිදැරිවි වගේ කොණ්ඩෙ ඉස්සරහින් අපිළිවෙලට ෆ්‍රින්ජ් එකක් කපාගත්ත දැරිවියෙකුගෙ පින්තූරෙකුයි ප්‍රින්ට් කරපු ටෝට් බෑග් එකකුත් - අත්බෑග් එකකුත් - හුරුබුහුටි පර්ස් එකකුත් ආදී තෑගි ගොඩක් අරගෙන.

මේ බබාගෙ නම තරුචමා. න⁣ම වගේම තාරකාමය චමත්කාරයක් සහිත බබෙක්. හැබැයි එයාට තවත් නමක් තියෙනවා. ඒ ටියැං ලූ. එහෙම වෙන්න හේතුව එයා දැන් ජීවත් වන්නෙ චීනයෙ වීම. එයා සම්බන්ධ විශේෂ දේ රටවල් දෙකකදි  භාෂා දෙකක් නියෝජනය කරන නම් දෙකක් තිබීම නොවෙයි. එයා භාෂා තුනක් එකම විදියට හැසිරවීමේ ශක්‍යතාව සහිත අපූරු දැරිවියක් වීම. ටියැං ලූ කතා කරනවා අඩ හෝරාවක් අහං හිටියොත්, එයාගෙ මව්භාෂාව සිංහලද-චීන-ඉංග්‍රීසිද කියා හිතාගන්න අහං ඉන්න කෙනාට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ.

ඒකට හේතුව එයාගෙ ප්‍රථම භාෂාව හෙවත් ෆස්ට් ලැන්ග්වේජ් එක විදියට භාෂා තුනම අන්තර්ග්‍රහණය වී තිබීම. එයා එක්ක කතා කරද්දී මට දැනුණේ වසර ගණනක් ඉගෙනගත් වාග්විද්‍යා මූලධර්ම ගැන ප්‍රායෝගික පර්යේෂණයක නියැලෙනවා වගෙ හැඟීමක්. එයා එපමණ බුද්ධිමත් සහ සංවේදී බබෙක්. සංවාදයක් පවත්වාගෙන යන්න ආසා හිතෙන අන්දමේ බබෙක්.

කවදා හරි තරුචමා හෙවත් ටියැං ලූ මේක කියවාවි කියා මං දන්නවා. එයාගේ අම්මා එයාට මේක කියාදේවි කියන එක නොවෙයි මං කියන්නෙ. එයාගෙ ධාරිතාවෙ හැටියට එයාට සිංහල කියවන්න ඉගෙනගන්න එක සහ තව ටිකක් වැඩුණාම මේක කියවන එක කරන්න පුළුවන් දෙයක් වග පැහැදිලියි.

තරුචමා නමැති කුඩා තාරකා එළිය දවසක සුවිසාල ආලෝක ධාරාවක්ව දිලිසෙන වග විශ්වාස බව මෙතැන ලියා තියෙන්නෙ දවසක එයා ලොකු බබෙක් වුණ දවසක එයාට කියවන්නයි. ඒ වගේම එයා ‍නොදැනුවත්වම එයා විසින් ඇති කරන පූර්වාදර්ශය මව්බස අමතක නොකොට අනිත් බස් සමෝසමේ අන්තර්ග්‍රහණය කරගැනීම පිළිබඳ මනරම් වාග්විද්‍යාත්මක පාඩමක් මේ සහශ්‍රයේ ජීවත් වන බොහෝ ශ්‍රී ලාංකික වැඩිහිටියන්ට කියා දෙන බව මතක් කරන්නයි. 

ප.ලි - 
මේ මාතෘකාව ගැනම කලකට කලින් ලියාපු හදබස් දොරටු ලිපිය මෙතන පසුව ලිවීමක් ලෙස අමුණා තියනවා.

හිතා මතා අහන ගීත ගොන්නෙ නැති, ඒත් අහම්බෙන් වගෙ කන වැකුණ ගීයක් ආයෙ හොයාගෙන අහන්න හිතලා යූ නළය පැත්තෙ රවුං ගහන කොට ඒ ගීතය හමු වුණ ප්‍රීතිය නිමිති කොටගෙන කරන්න තියෙන කටයුතු විනාඩි තුනකට පැත්තකින් තියලා වැහි දැරිය ඒ ගීතය ඇහුවා.

හැමදාම වගේ ඔහොම සිංහල ගීතයක් අහද්දි සිංහල නොදන්න නූතන සිංහල පරපුර ගැන යම් වේදනා උණ්ඩයක් හදවතේ නොදන්නා ඉසව්වක් පෙළනවා දැනුණා.

සිංහල කතා කිරීම, සිංහල ගීත ඇහීම මදිකමක් යැයි හිතන භයානක දෙමව්පිය පරම්පරාවකට දාව උපදින දරුවන් ගැන ඇති වෙන්නේ වේදනාවක්. ඔවුන්ට තමන් සතු මහා පොහොසත් භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන්, ඉතිහාසයෙන් පලක් - වින්දනයක් ලැබීමේ අයිතිය අකරුණාවන්ත ලෙස අහිමි කරලා තියෙනවා.

ජපුරෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනාංශයෙ කතිකාචාර්‍යවරියක මෑතකදී කියපු කතාවක් ඒ ගැන හිතද්දි වැහි දැරියට සිහිපත් වුණා. මාතෘ භාෂාව පළමුව උගන්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගැන්වීම වෙනුවට ආගන්තුක භාෂාවක් පළමු බස ලෙස ඉගැන්වීම නිසා කැළඹීමට පත්වන දරුවන් කතා කිරීම පවා නවතා දැමීමේ අනතුර ගැනයි ඇය නිදසුන් සහිතව කතා කළේ.

ඉන් කියවෙන්නෙ නෑ මාතෘ භාෂාව පමණක් ප්‍රමාණවත් බව. අලුත් භාෂා හැකිතාක් ප්‍රමාණයක් ඉගෙනීම ඉතාම වැදගත්. අලුත් භාෂා ඉගෙනගන්න ප්‍රමාණයට අලුත් සාහිත්‍යයන්ට, සිනමාවට, දර්ශනයන්ට නව දොරටු විවර වෙනවා. 

ගැටලුව ඇත්තේ අපි ඒ දොර විවර කරගන්නා අන්දමේයි. භාෂාවන් භාෂාවන් ලෙස ඉගෙන ගන්නවා වෙනුවට ඒවා මමායනය පෙන්වීමේ, පන්තිය ලකුණු කිරීමේ, මාතෘ භාෂාවට නින්දා කිරීමේ හෝ ආභරණයක් ලෙස භාවිත කිරීමේ සාධක බවට පත් වීමයි ඛේදවාචකය. 

ප්‍රකාශ කළේ කවුද යන්න මතක නැතත් කලකට පෙර මෙවන් සටහනක් දුටුවා මතකයි.

'තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් විවර වන්නේ නව ලෝකයක දොරක් මිස ආභරණ සාප්පුවක දොරක් නොවෙයි'

ඔය ඔක්කෝම අස්සෙ මහාචාර්ය ගැරට් ෆීල්ඩ් සහභාගි වෙන මේ සම්මුඛ සාකච්ඡාව මේ දිනවල යූ නළයෙ කැරකෙනවා. 



ඔහු කතා කරන්නෙ ඉතාම ව්‍යක්ත සිංහල. ඔහුගෙ ආචාර්ය උපාධිය සිංහල ගීතය ගැන. ඔහුගෙ වචනවලින් ඉස්මතු වී පෙනෙන්නෙ පෙරදිග අපරදිග දෙපාර්ශවයෙන්ම ලබපු දිය පොහොර ලබා සවිමත් වූ අක්මුල්. 

අපිට ඉතා බංකොලොත් පරම්පරාවක් විදියට මහාචාර්ය ෆීල්ඩ්ව උත්කර්ෂයට නගලා නවතින්නත් පුළුවන්. නැත්නම් ඔහුට අහු වුණ - අපිට මග හැරුණ තැන කොතනද කියලා හොයන්නත් පුළුවන්. ඒ හෙවීම වෙත යන්න කදිම පාරක් හොයා දෙන ප්‍රකාශයක් මෑතකදී කියවපු විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් සහෝදරයාගෙ 'අවසන් අවදි කරන්නා' කෘතියෙන් හමු වුණා. ඒ ප්‍රකාශය මෙසටහන නිමවන්න තෝරාගන්නේ එය කියන්නට අවැසි බොහෝ දේ එක්තැන් කළ ප්‍රකාශයක් නිසයි.

'..පෙරදිගින් අපට උරුම වන දැනුම මෙන් ම බටහිරින් අපට උරුම වන දැනුම එක්කොට පරිපූර්ණ දැනුම් පද්ධතියක් ගොඩ නැගීමේ අවශ්‍යතාව හා අභියෝගය අප ඉදිරියේ ඇත. මේ දැනුම් කුලක දෙකටම අඩු වැඩි වශයෙන් නිරාවරණය වී ඇති අපට එම උත්සාහයේ පුරෝගාමිත්වය ගත හැකිය. මානව ඉතිහාසයේ විශිෂ්ටයන් විසින් නිමවන ලද දැනුමෙහි උපරිම ප්‍රයෝජන වර්තමානයේ ජීවත් වන අපට ලබා ගත හැකි වනු ඇත්තේ එවන් දිනකය.'


Saturday, September 28, 2024

110. ඈත කඳු පෙළින් එහා, තිත්ත මල් සහ ටැබ්ලොයිඩ් නවකතාදරය!




මේ ඊයෙ පෙරේදා ඩොක්ට සංජීවනී මුණගැහෙන්න තාත්තා එක්කලා ගිය වෙලාවෙ කලකට පස්සෙ හමු වෙලා ආගිය කතා කරමින් ඉද්දි එතුමිය කීවා, ප්‍රියංකා අමරතුංග දුරින් නෑදෑයෙක් වෙනවාය කියලා.. එතනින් ප්‍රියංකා අමරතුංගගෙ පොත් ගැන පටන්ගත්ත සංවාදෙ ඇදිලා ඇදිලා ගිහින්, ඩොක්ටර්ගෙ ෆී එක ගන්නෙ නැතුව රීෆන්ඩ් කළා කියලා ඩොක්ට එක්ක පොඩි සණ්ඩුවකුත් අල්ලලා පරාද වෙලා, කවුන්ටර් එකෙනුත් හැමදාම අඳුනන නාඳුනන ගොඩක් දෙනෙක්ට ඩොක්ටගෙ රීෆන්ඩ් වදින හින්දා ඊට එරෙහි වෙලා වැඩක් නෑ කියලාත් අහගෙන, රට සමාජවාදී වෙන්න පෙරත් ජනතාවාදී දොස්තරවරු සිටීම ගැන ආහ්ලාදයද සහිතව ආයෙ ගෙදර බලා ආවා. ඒ එන අතරෙ තමා වැහි දැරියට අලුත් වියුණුවක් ලියන්න හිතට ආවෙ. ඒකට හේතුව ඒ සංවාදෙදි මතු වෙච්ච, ප්‍රියංකා අමරතුංගගෙ රිවිසරසි අතිරේකයෙ ගිය නවකතාවක්. ඒකෙ නම 'තිත්ත මල්!'


මට මතක හැටියට ඒ රිවිර පත්තරේ ආව මුල් කාලෙ. රිවිසරසියෙ ආසාවෙන්ම කියවලා කපලා අරන් තියාගත්තෙ, රසික ජයකොඩි ලියාපු 'දවසක්දා හැන්දෑවක' තීරුලිපි එකතුව. ඉතින් රිවිසරසි කියවන කාලෙ ඔය කතාවත් මං පත්තරේ ආව ගමන් ටැබ්ලොයිඩ් කෑල්ලෙ පැලක් අටවගෙන කියෙව්ව විත්තිය මතකයි. 


හැබැයි වැසිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතා ආලෙ පටන්ගත්තෙ, ශේක්ස්පියර්, ආයුර්වේදය, හෘදය සූත්‍රය සහ භාවනාව ආදී මනරම් හා ගැඹුරු තේමා රාසියක් එක්තැන් කළ 'තිත්ත මල්' කියවන්න හුඟ කාලෙකට කලින්. සමාජමාධ්‍ය ජනප්‍රිය වෙන්ඩ කලින් ගෙවුණ ⁣නවයොවුන් වියකට හිමිකම් කියාපු අවසාන පරම්පරාව වෙච්චි වැසි දැරියලාගෙ පරම්පරාවෙ බොහෝ ගෑණු දැරිවියො ටැබ්ලොයිඩ් කියෙව්වෙ සිනමා තරු, ගායක තරු සහ රූපලාවණ්‍ය ඔත්තු ආදිය ගැන දැනගන්න වුණත්, නිදහස් සිතිවිලි බ්ලොග් අඩවියෙ රවි මාමා කියන්නැහේ වැසිදැරිය හැත්තෑව අසූවෙ උපදින්න ඉඳලා වැරදීමකින් මේ කාලෙට ප්‍රාදූර්බූත වෙච්ච මානවිකාවක් හන්දා උන්දෑ ටැබ්⁣ලොයිඩ් කෑලිවල හිටපු නලු කෑලි දිහා ඇහැක් ඇරල⁣ නොබලා, ගෙනාව ගමං පත්තරෙන් ඩැහැගත්තෙ සාහිත්‍ය කෑලි ටික! 


ඒ කියද්දි මතක් වුණෙ, මේ ළඟදි  වැහිදැරිවිගෙ නවයෙ පන්තියෙ එකට හිටපු යාලුවෙක්, වැහිදැරිවිගෙ අම්මටයි වැහිදරුවටයි ආපිකෝ එකේදි මුණගැහිලා කිව්වලු, වැහිදැරිවි කසාද බැඳපු එක පුදුමයි, ඒ කාලෙ වැහිදැරිවිට කොල්ලො පේන්න බැරිය කියලා.. දැන් ආපහු හැරිලා බලද්දි තමා හිතෙන්නෙ, ශිහාන් මිහිරංග⁣ට යුනිෆෝම් එක ඉරලා පපුවෙ අස්සන් ගහන්න කියපු, සිහාන්ගෙ ඩේ කාඩ්ස් එක්කහු කරපු, සිහාන් පැරදුණාම අස්සයා මැරිච්ච කව්බෝයි වාගෙ අඬපු ⁣කෙල්ලො උන්න කාලෙක, සිහාන්ගෙ නවපන්නෙ කොණ්ඩෙ මෙලෝ ලස්සනක් නොදැකපු - සිහාන් අනුකාරකයෙක්ය කියා විවේචනය කරාපු, ටීනේජ් වැහිදැරිවි අමුතු ඩෑල් එකක් වගෙ පේන්න ඇතිය කියලා..)) 


ඒකෙන් මේකෙන් වැඩක් නෑ.. මං කියමින් උන්නෙ ටැබ්ලොයිඩ් නවකතා ගැන. වැහි දැරිවි ටැබ්ලොයිඩ් කතා කියවන්න පටන්ගත්තෙ සිළුමිණ පත්තරේ රසඳුන සහ දිවයින පත්තරේ මීවිත අතිරේකෙන්. රසඳුනේ කතා අතරින් නම් වැහි දැරියට මතක හිටියෙ යමුනා ⁣මාලිනී ලියූ 'සඳමාධවී' විතරයි. ඒ කතාවෙ තරුණයා අතින් ලියැවුණු කවියක්, පසුව ගීයක් වී ගැයෙනවා ඇහෙද්දි දැනුණ අතීතකාමයෙ තිවුණෙ වෙනස් සෞන්දර්යයක්.


සුදු ඇඳගෙන සඳ ඇවිදින්

දුර කඳු මුදුනට..

නිදි නැති සිත ගෙන යයි

සිතිවිලි ගං ඉවුරට..!


මේ ලියන මොහොතෙත් වැහිදැරියගෙ සවන් පත්ළෙන් ඒ ගීය වාදනය වෙනව.


වැහි දැරිවි දන්නා තරමින්, චන්දො හෙවත් චන්ද්‍රසිරි දොඩන්ගොඩ නමැති ප්‍රතිභාපූර්ණ නවකතාකරුවා ජීවිතක්ෂයට පත් වෙන තුරු මීවිත ටැබ්ලොයිඩයෙ නවකතා ලිව්වා.

ඉතින් වැහි දැරිවි මුලින්ම කියෙව්ව ටැබ්ලොයිඩ  නවකතාව ඔහු ලියූවක්. මට මතක හැටියට 'ආත්මා'. ඉන්පස්සෙ 'සතී'. ඒ හැමෙකකම චිත්‍ර ඇන්දෙ ජනක රත්නායක. ඔබේ හිතේ මේ වදන කියවද්දි ඇඳෙනවා ඇති ඔහුගෙ අවර්ණ පැන්සල් පෑන් ඉරිවලින් සිත්තම් වුණ මනරම් නූතනමය සිත්තම්. මේ සටහනේ අයිකනය ලෙස ඇමිණුවෙත් ජනක රත්නායකගෙ සිත්තමක්ම තමා. ඒ චිත්‍රකර්මවලින් අලංකෘත වෙච්ච චන්දොගෙ නවකතා ඇසුරින් වැසිදැරිවි වඩාත්ම ආසා වුණ නවකතාව වුණේ, 'ඈත කඳුපෙළින් එහා!'


ඔය ටැබ්ලොයිඩ කියවලා විතරක් සෑහීමට පත් වෙන්න බැරි වුණ වැහි දැරිවි, තාත්තාගෙත් මහප්පාගෙත් පරණ පත්තර නිධානෙ අවුස්සලා අවුස්සලා සිත්තරාදී පරණ චිත්‍රකථා පත්තරවලත්, අරලියාදී යොවුන් සඟරාවලත් කොටස් වශයෙන් පළ වී තිබූ නවකතා, සිහියක් පතක් නැතුව දූවිලි නාගෙන කියවන්න පටන්ගත්තා. ඒ අතරෙ තිබුණ නවකතා ඇසුරින් තදින්ම මතකෙ රැඳුණ නවකතාකරුවන් වූයේ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු, ප්‍රදීප් බාලසූරිය ආදි නවකතාකරුවන්. ඒත් ඒ අතරෙ ටැබ්ලොයිඩ් නවකතාදරයෙ උඩින්ම රැඳෙන්නෙ චන්දොගෙ අමුතු නවකතා ආර..)

දැන් චන්දො නෑ. ඒත් හැමදාකම කඳු දකිද්දි චන්දොගෙ 'ඈත කඳුපෙළින් එහා' නවකතාවෙ තිබූ එක් කුඩා කවියකුත් - වැහිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතාදරයත් මතක් වෙන්නේ නොස්ටැල්ජියාවක් සමඟින්!


ඈත කඳුපෙළින් එහා

තාරකා සිනාසිසී

එන්න,යන්න, මාත් එක්ක

කතා කරනවා..!


දැන් කියවන්න තරමෙ ලස්සන ටැබ්ලොයිඩ කතා කොහේවත් නැති වුණත් අදත්, බෙලිහුල්ඔය චාරිකාමය නැවතුමක අහස දකිද්දි ඇස ගැටුණ - කතා කරන තාරකා අස්සේ යම් තැනක වැසි දැරියගේ ටැබ්ලොයිඩ් නවකතාදරේ හැංගිලා තියෙනව!



Thursday, July 4, 2024

105. සීතල වතුර පොද..!

සෑම ගුරුවරයෙක්ම ගුරු තරුවක් වන්නේ නැහැ වගේම සෑම මිනිස් භවයක් ලද්දෙක්ම මනුෂ්‍යයෙක් වන්නේ නැහැ. උත්තර මනුෂ්‍යයන් වන්නේ ඒ අතරිනුත් අතළොස්සක්. සමන් සිත්තරා ඒ උත්තර මනුෂ්‍ය කාණ්ඩයෙත් අත්‍යුත්තර ගුරු තරුවක්!

සමන් සිත්තරා වැසිදැරියට දකින්න ලැබුණේ නැහැ. වැසිදැරිය උපදින්නට කලින් ඔහුගේ කායික අභාවය සිදු වුණා. එහෙත් වැසිදැරිය වටා දැල්වෙන තරුඑළිවලින්, සමන් සිත්තරාගේ සෞන්දර්යවාහී සිත්තම්වලින්, ප්‍රඥාප්‍රදායී සටහන්වලින් ඇය සිය නොදුටු ඇදුරුතුමන් සමඟ සංවාද කරනවා.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ගැන තදින් විශ්වාස කරන සහ එය ක්‍රියාත්මක කෙරෙන නිවසක හැදුණු වැඩුණු, පුරුෂෝත්තමවාදය හෙළා දකින තරුණයකු හා විවාහ වුණ වැසිදැරියට අවට ලෝකයේ බොහෝ විට  මුණ ගැසෙන්නේ එසේ නොවන චරිත. එවන් විටක වැසිදැරිය සුවපත් කරන්නේත් - නැවත නැගිටීමට බලය සපයන ගාමක බලවේගය වන්නේ සමන් සිත්තරා ලියූ ස්ත්‍රී ආත්මය ස්වකීය කටහඬ අවදි කිරීම පිළිබඳ වන ආලෝක ප්‍රකාශය.

වැසිදැරියගෙ සිසු කුරුලු පැටවු දුරකථන ඇමතුමකින්, නැත්නම් භෞතික මුණගැහුමකින් හමු වෙලා, තරගකාරී අධ්‍යාපනය දරන්න අමාරු වග කියා අවලාද නගන මොහොතක ඔවුන් සනසන්නෙත් සමන් සිත්තරා ලියූ වචන.

'නිවැරදි අධ්‍යාපනය යනු තරගකාරී විභාගවලින් සමත් වීම පමණක් ම නොවේ. පිවිතුරු අධ්‍යාපනය යනු ජීවිතය නිවැරදි ව හඳුනා ගැනීම යි.'

වැසිදැරිය ගුරු ජීවිතයට එළැඹුණු දා පටන් මේ කෙටි වසර තුන තුළ සිසුන් දාහකට වැඩි ප්‍රමාණයකට උගන්වන්නට ඉඩ ලැබුණා. ඒ දරුවන්ට උගන්වද්දි වැසිදැරියගේ හද තුළ සමන් සිත්තරාගේ වචන දෝංකාර දෙනවා. වැසිදැරියගේ තාත්තාගේත් අම්මාගේත් කාර්යාල මේසයෙහි වීදුරුව යට තැන්පත් කර ඇති ඒ සටහනෙහි ඇති චිත්‍රාක්ෂර වැසිදැරිය හදවත් පොතේ සටහන් කරගෙන ඉන්නවා.

'ගුරු ජීවිතය මුළුමනින් ම සිසුන්ගේ යහපත සඳහා ය යන්න තරයේ විශ්වාස කරන ගුරුවරයකු තම ආදරණීය සිසුන්ගෙන් ඈත් ව යන මොහොතේ දී දේශයේ අධ්‍යාපනය බාර ව කටයුතු කරන සියලු ම අධ්‍යාපනවේදීන්ගෙන් ඉල්ලා සිටිනුයේ මිනිස් ජීවිතයේ විකසිත වීම වෙත අධ්‍යාපනය යොමු කරන ලෙස ය; ඒ සඳහා දරනු ලබන ප්‍රයත්නයක දී ඊට ආශිර්වාද කරන ලෙස ය; තම ඉරණම කුමක් වේ දැයි කිසිසේත් ම නොදන්නා වූ ද තමන්ගේ ඉරණම තීරණය කිරීම තම ගුරුවරුන් වෙත පවරන්නා වූ ද මුළු මහත් ශිෂ්‍ය සංහතිය වෙත අප්‍රමාණික ව දයාබරිත වන ලෙස ය.'

ඒ වචන හරහා දැල්වෙන ප්‍රඥාලෝකය අහිමි වීමේ හිස්තැන ජීවිතේ හැම තැනකදීම දැනෙනවා. එය වඩාත්ම තදින් දැනෙන්නේ අනුරපුර පොළොන්නරු බිම්වල ඇවිද යන කල මුණගැහෙන කැටයමක්, මහනුවර විහාරයක සිත්තමක්, ආනන්දයෙන් ප්‍රඥාවට යන කෘතියක හෝ සිනමාපටයක ඇති සටහනක් ආදී තරු සලකුණු ගැන ගැඹුරින්ම සංවාද කළ හැකි මාර්ගෝපදේශකයා අප අසළ නැති වග දැනෙන විටයි.

මේ සටහන 'සීතල වතුරපොද' නමින් නම් වෙන්නෙ සමන් සිත්තරා වියළි ධරණීතලය තෙමා ගලා බැසි සීතල වතුරපොදක් නිසයි. ඒ සීත දියපොදක් වන් සමන් සිත්තරා  ලියූ වචන වේශයෙන්, ඔහුගේ සහෝදරයා ඇතුළු සමීපතමයන් වේශයෙන්, ඔහු ඇසුරු නිසුරු කළ මිතුරු තරු වේශයෙන්, ඔහුගේ සිසුතරු වේශයෙන්, ඔහුගේ චරිතය පාදකව ලියැවෙන ගුරුදියවර නවකතාවෙහි විදසුන්-නිදසුන්වල වේශයෙන් ආලෝක කමටහන් මුණගැහෙනවා. ඒ කමටහන් පිංතාලි ඔස්සේ සමන් සිත්තරා සොයා යන වැසිදැරිය අතින් සමන් සිත්තරාගෙ ජන්ම සංවත්සරය යෙදෙන හැම ඇසළ පස්වැනිදාවකම සිය නුදුටු ඇදුරු ගැන කවක් ලියැවෙනවා. 

මේ සටහන නිමවෙන්නෙ මේ ඇසළ මාසෙ පස්වැනිදා - අද - ලියූ කවි කුරුටුවෙන්.


පිංතාලියක් අසළ

විහඟ දැරියකි මෙතන

පින්සලක් අහිමි ඈ ලියනවා..

විහාරෙක සිත්තමක්-කැටයමක් දකින කල

ඈ ඇස⁣ට දියත්තක් උනනවා..

ඇදුරුසඳ නැති රිදුම දැනෙනවා.. 


නැණපවස සිඳුවන්ට සියොත්සේනා දසත

පිංතාලියට නිතර වඩිනවා

කොතෙක් පැන් පහසු වෙත

තවත් සිය දහසකට

පිංතාලියෙන් වතුර උනනවා..

උල්පතක් විලාසේ එභූගත දියකඳුර

පිංතාලියට වතුර එවනවා..


සදා සීතල වතුර ගලනවා..!





Saturday, June 15, 2024

100. මිහිරි මිහිර - මිහිරෙන් මතකයේ රැඳේ..!




මිහිර පත්තරේ අන්තිම කලාපය පිට වුණා කියලා ⁣සමවයස් මිහිර පාඨක මිත්‍රයො ෂෙයා කරලා තියෙනවා දැක්කා. හරියට කුඩා කල ඉඳලා ආස්සරේ කරපු කිට්ටුවන්ත යාලුවෙක් මිය ගියා වගෙ හැඟීමක් දැනුණා. විජය පත්තරේටත් ඔය ටික වෙන්න පුලුවන් නේද කියලාත් දැනෙද්දි හිත තව ටිකක් බර වුණා..


වැහිදැරිය තාත්තා එක්ක ඉස්කෝලෙ ගිය හැටි ලියාපු බ්ලොග් සටහනේ හැම අඟහරුවාදාම මොරවක ස්ටෝර්ස් එකෙන් විජය පත්තරේයි චොකලට් අයිස්ක්‍රිම් කප් එකයි ගන්න හැටි ගැන ලිව්වා. ඒ කාගිල්ස් මැජික් කප් එක ආ කාලෙ. ඉතින් ඒක කකා කාරෙකේ පිටිපස්සෙ සීට් එකේ පත්තර කොළ ටික වපුරගෙන ගෙදර නැත්තං තාත්ත⁣ට හවස දේශනයක් තියන දවසට කැම්පස් එකට යනකං වැහිදැරිවි පත්තරේ කියවනව. ඉන්පස්සෙ ඉස්කෝලෙ යද්දි ගෙනියනව පත්තර ගන්න අමාරු යාලුවන්ට කියවන්න. සිකුරාදා හවසට තමා විජය පත්තර ගොඩට ඒ සතියෙ පත්තරේ එකතු වෙන්නෙ. 2002 අවුරුද්දෙ ඉඳන් 2012 අවුරුද්ද වෙනකං විජය පත්තරේ හැම කලාපයක්ම කන්දක් ගහලා අරංතියාගත්ත වැහිදැරිය තාමත් නොස්ටැල්ජියාවක් මතුවෙද්දි පත්තර ඇදලා අරන් අවුරුදු දහයක පොඩිත්ත‍ෙක් වග‍ෙ කියවනවා.

වැහිදැරිය විජය පත්තර කියවන්න අරං ටික කාලෙකට පස්සෙ තමා තාත්තගෙයි මහප්පගෙයි පරණ පත්තර නිධානෙ ගොඩදාන ව්‍යාපෘතිය පටන්ගත්තෙ. කියවිය හැකි ඕනෑම කඩදහියක් ඇද ඇද කියවන සුලු වැහිදැරිවි නම් කුඩා පොත් කාවා නිසා දූවිලි සහිත පරණ පත්තර අම්මලා පරිස්සමට අරන් තියලා තිබ්බත් ඒ පොත් කාවාගෙන් මිහිර,විජය,නවයුගය පත්තර හංගලා තියන්න බැරි වුණා. අරලිය,සිත්තර,සතුට පත්තරවල⁣ට අත ගැහුවෙ ඊටපස්සෙ. ඒ කතාව වෙනම වියුණු සටහනක ලියන්න ඕනැ එකක්. කොහොම වෙතත් හැටේ දශකයේ ඉඳලා එකතු වෙලා තිබුණ ඒ මිහිර පත්තර අතරින් එබුණ යෝධයා, පඬිතුමා, බටකොළ ආච්චි විතරද.. හුන්නස්ගිරි කඳු පාමුල උන්න යාලුවො වැහිදැරිය වයසට යනතුරුම වැහිදැරියගෙ හොඳම යාලුවො වේවි.

ඉතින් ඔය පත්තර ඇද‍ගෙන කියවන ව්‍යාපෘතිවලට කුඩා කා‍ල‍ෙ දිනූ අය්යා,නවා,‍‍ඊශක්කා වා‍ගෙ නෑ පොඩිත්තො සම්බන්ධ වුණ නිවාඩුකාලත් එමටයි. වැහිදැරියට පස්සෙ කාලෙක කැම්පස් එකේදි-සංවාදවලදි-‍ හමු වුණ සමවයසෙ බොහෝ මිතුරුමිතුරියන්ට මනරම් සංවාදවලදි කතා කරන්න මිහිර-විජය ගැන රස මතකයක් තිබුණා. පෙම්වතා වෙලා පස්සෙ සැමියා වුණ වැහිදරුවාගෙන් පටන්ගෙන චතුමධුරි,පුබුදි,භාග්‍යා අක්කා,ඉනූ අක්කා.. නම් කියලා ඉවර කරන්න බැරි තරමෙ යාලුවො ගොන්නක් ඒ කාලෙ තැන් තැන්වල ඉඳන් විජය-මිහිර කියවලා තිබුණා. දේශනයක් මැද තමුන්ගෙ යොවුන් සරසවි ගෝලයො එක්ක අතරමැදි සංවාදවල ‍යෙදෙද්දි විජය-මිහිර මතක තියන කුරුලු පැටවුන් හමුවීමත් වැහි දැරිවි‍ගෙ ගුරු ජීවිතෙ ඉමිහිරි අහම්බයක්!  

ඉතින් එහෙව් පරම්පරාවකට හොඳම යාලුවෙක් අවසන් ගමන් යන එක කොයිතරම් කම්පනයක් ගේනවද.. හෙට ඉඳලා ඒ පත්තරේ ඊ-පත්තරයක්ව අන්තර්ජාලයෙන් හමුවුණා වුණත්. පත්තරේ පිටු පෙරළන හඬ ඩිජීටලීයව අහන්න පුළුවන් වුණත් පත්තරයක් අත මත පෙරළෙන චමත්කාරය කොහොම නම් ඩිජිටල් උපකරණයකින් මවන්නද..

⁣දරුවෙක්ට මිහිර පත්තරයක් අරන්දෙන්න බැරි තරමට නරක ආර්ථිකයක් රටේ දෙමාපියන්ට  උදා කරමින් තමුන්ගෙ දරුවන්ගෙ දෙපයට ලක්ෂ ගණන්වල පාවහන් පළඳන දේශපාලකයොත් - ටික්ටොක් - යූටියුබ් කැලෑවල්වල අතරමං වෙලා මිහිරක මිහිර විඳින මිහිර අහිමි වෙලා ගිය දරුවොත් - තමන්ම ⁣සමාජමාධ්‍යවල ගොදුරක් වීම නිසා දරුවන්ට තමන් විඳි මිහිර දෙන්න අමතක වුණ ටික්ටොක්මය තරුණ මව්පියොත්, අන්තිම මිහිර පත්තරේ වැළලෙන බිම ගාව හිටගෙන ඉන්නව පේනවා.

ඒත් තාමත් මිහිර හැම දේශපාලන පොරොන්දුවකටම - ටික්ටොක් වීඩියෝවකටම වඩා මිහිරියි..!

Friday, May 17, 2024

98. නිය මත පිනි..)



වැහි දැරිවිට වියුණු ලියන්න හිතෙන්නෙ වැහි දවස්වලටමනෙ.. එකාතකට ඒකෙ අරුමයකුත් නෑ. වැහි දැරිවිට වැහි දවස්වලට අලුත් පණක් එන එක සාමාන්‍ය දෙයක් වෙන්න එපැයි..

⁣කොහොම හරි අද හැන්දෑවරුවෙ ලා පොද අස්සෙ ගෙට ගොඩවැදුණු වැහි දැරිවි ගෙඋයනේ තුරු යට ඇවිද්⁣දෙ ගහේ බඳ වටේයි, වැහිදරුවා පත් තුඩු කියා කියන දළු අග්ගිස්සෙයි එතිලා තියෙන ඇබින්දන් වැහි බින්දු නිය මත තියාන සමබර කරන්න හදන අතරෙ.. නිය ආලේපන ගාලා කැත කරන්න ආසා නැති නියපොතු උඩින් වැහි බින්දු රූටලා යද්දි ඒක පෙනුණෙ හරියට දිලිසෙන නිය ආලේපනයක් ගාලා වගෙයි..

'ආභරණ ගන්නවුන්ට සිල් නමැති ආභරණයට වඩා ආභරණයක්ද නැත. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නමැති සුවඳට වඩා සුවඳකුත් නැත..'

කියලා අම්මා කුඩා කාලෙ වැහි දැරිවිට ඇහෙන්න සද්ධර්මරත්නාවලියෙන් කියවපු කොටසක් මතක් වෙනවා හැමදාම ඔය අලේපන, ආභරණ,විච්චූරණ ජාති ගැන කතාවක් ඇදෙද්දි. 

සමහර කාන්තාවො 'හානේ.. කන විදලා නෑනෙ' කියලා බය බිරාන්ත වෙද්දි හැමදාක ඒ කතාව මතක් වුණත් වැහිදැරිවි ඒක නොකියා කන නොවිදීමේ අතීත කතාව විතරයි කියන්නෙ. 

සද්ධර්මරත්නාවලියෙ කතාව නිතර නොකියන්නෙ ඒ කතාවෙන් ආභරණ නොලන්නන් සිල්වත්ය,අන් අය දුසිල්වත්ය කියා වැරදි වැටහීමක් ඒක අහන අබරණ ලන ඇත්තෝ ගම්‍ය කරගනීය කියා හිතලයි. මොකද වැහි දැරිවි ඒ කතාවෙ එන සීලය දකින්නෙ හුදු සිල්වත් බවක් යන තැනකින් එහා ගිහිනුයි. එහි සීලය යැයි අදහස් කරන්නෙ යහපත කියලයි දැනෙන්නෙ වැහි දැරියට. ඉතින් යහපත සියල්ලට වඩා සුන්දරයි කියන එක වැනි සරල සුන්දර සත්තාවක් විකෘතියකින් භාර ගන්නවට වැහි දැරිවිගෙ ඇති අකැමැත්ත නිසයි, දිගු සාකච්ඡාවක් කළ හැකි මොහොතක මිසක කෙටි සංවාදවලදි ඒ සද් වාක්‍යය මතු කරනොගන්නෙ..

ඉතින් අර කියන්න ගිය අතීත කතාවෙ ඉන්නෙ වැහි ළදැරියට රිදේ යැයි, කන විදීම නොකළ යුත්තක් ලෙස තීරණය කළ තරුණ තාත්තෙක්. කොල්ලන්ට නොකරන කෙල්ලන්ට පමණක් කරන ඒ චාරිත්‍රය තමන්ගේ දියණියට අවැසි නැති බවත් - ලොකුවුණාම කන බැරි නම් නහය හරි විදගනීවි යැයි හිතූ නිර්භීත මව් යුවතියක්.

අතීතයත් වර්තමානයත් යා කරන මැද  තැනක හිටගෙන ඉන්නේ, ආභරණ නයාට අඳුකොළ මෙන් වූද - කන නොවිද පැළඳිය හැකි ආභරණ ගැන අනේකවිධ යෝජනා පිළිකෙව් කළා වූද, වැහිදැරියක්.

වර්තමාන කතාවෙ ඉන්නෙ නොවිදපු කන්පෙතිවලට කොඳුරන, කන මත්තෙ රිද්දන්න කිසිවක් නැති නිසා, බයක් නැතුව කන්පෙති සිපගන්න, නිය ආලේපන නොගෑ අතැඟිලි අස්සෙ කුඩා කවි කෑලි තියන තරුණයෙක්. 

ඉතින් ඔය අතීත කථාවත් වර්තමාන කථාවත් අතරෙ ජීවත් වෙන වැහි දැරියට, ආභරණාදිය ගැන විමසුම්වලදී, සද්ධර්මරත්නාවලියේ තිබුණු ඒ  වාක්‍යය ගාථා පාඨයක්ව හදේ කොතැනකද රැඳී තිබිලා.. හද මතුපිට ඇඳී යනවා දැනීම සාමාන්‍යයක්. ඒත් පිනි බින්දු ගැන ලියන්න ගත්ත සටහන සද්ධමරත්නාවලියෙන් කෙළවර වීම නම් හිතේ කොතැනකටත් නොතිබුණ අහම්බයක්..

Thursday, April 11, 2024

95. වැහි සීතල, උදා සක්මන් සහ කුඩා කුරුලු පැටව්!

වැහි සීතලේ තෙමිලා ලෝකෙ තෙතබරියන් වෙච්ච මේ වගේ උදා වරුවලට විතරක් නොවෙයි හැම උදාවකම දුරකථනයෙත් - පරිගණකයෙත් මුහුණ ඔබාගන්න කලින් ගෙමිදුලට බැහැලා, වැහි දරුවා අලුතින් හිටවාපු තණකොළ පාග පාගා ඇවිදින්න ඕන කියලා හැමදාම හිතනවා. ඒත් පොතක් නොකියවා මිස නින්ද නොයන හන්දා කතා පොතකිනුත් පිටුවක් දෙකක් කියවලා නින්දට ගියාට පස්සෙ ඊළඟ දවසේ හතෙන් මෙහා වැහි දැරිය ඇහැරෙනවා බොරු. උදේ දේශන තියන දවසට අහුවෙන ෂර්ට් එකක් - කුර්තාවක් මදින්නැතුව ඇඳගෙන, සුදු අම්මාත් - උදව්වට ඉන්න රාණි නැන්දාත් උයන රසමසවුළු කාලා යනවා මිස පාන්දර සක්මන් කරන්න මතක් වෙනවා අඩුයි! 

ඒත් දේශන තියෙන්නෙ මාස තුනයි.. සෙමෙස්තරේ මුල කොටහ. ඉතුරු ටිකේ ස්ටඩි ලීව්. විභාග.. කුරුලු දරුවො කැම්පස් නේන කම්මැලි කාලෙ. මේ එහෙම දවස්.. අද එහෙම දවසක උදා වරුවක්. සක්මනක් සිදු වුණ උදා වරුවක්. 

තණකොළ ගොල්ල උඩට පිනි වැටිලා තියෙද්දි තවත් සනීපයි. වටේ පිපිලා තියෙන මල් ඉලන්දාරි - තුරු අතු අස්සෙන් ගලා හැලෙන වැල් ලමිස්සියෝ දිහා බල බල වැහි දැරිය ඔහේ ඇවිදිනවා. සමහර දාක කුඩා කුරුලු පැටවු - විසේසයෙන් මල් චූටිලා (මල් චූටික්කන්ට වැහි දරුවායි වැහි දැරියයි එහෙමයි කතා කරන්නෙ) අඹ ගහේ අතු අස්සෙන් එබිකම් පානවාත් පේනවා.

ඒ කුරුලු පැටවු දැක්කාම ඔන්න වැහි දැරිවිට තමන්ගෙ කුරුලු පැටවුන්ව මතක් වෙනව! 


කඩුව මුවහත් කරන දැඟලිල්ල - අතරෙදිත් මුණුමුණුවෙ කියවිල්ල

විප්ලවේ වගේම ඉගෙනත්ගනිල්ලා කියා පාරෙදිත් නවත්තන් බැන්නට

දන්නවද පාට අඩු‍වෙන් ඉර පෑයූවේ - නුඹලාට නිවාඩු මාස තුන...


බශාව පාලුයි - වේදිකාවේ කව්නලු නෘත්‍ය ගී නෑ

එළිමහන් ගිම්හාන කුටිවල වසන්තය එන වගක් නෑ

අරගල අඩුයි - සාහිත්‍ය සංවාද වෙනදා වගේ නිතර නෑ

රතු අකුරු - ඒත් විහඟුනි නුඹලා අතින් මැකෙන්නෑ..


තුන්මාසයක් උගන්වමි - තුන්මාසයක් නිවාඩුව

අවුරුද්දෙ සයමසක්ම නුඹලා නැති නිවාඩුපාඩුව

ඇවිදිමින් - සිනමා ගී ඉසිඹු අතරේ ගත්තට නිදහසේ වාඩුව

කුරුලු පැටවුනි, නුඹලා නැතුව කොච්චරක් පාලුයිද කූඩුව! 

Saturday, August 19, 2023

87. ආයෙ ආයේ වැසි වැටේ...

වැහි වැටෙන දවසක වැහි මැද්දෙ පින්තූරු අරගෙන, ආදරේම කීප දෙනෙක් මැද විවාහ දිවියට එළැඹිලා නුවර ආපු වැහි දැරිවිත්, වැහි දරුවාත් ගෙව්වේ වැහි දවස් ගණනාවක්. විවාහ උත්සවයක් නොගෙන ඒ වියදම් පුස්තකාලයක් හදන්න වැය කරන්න අප දෙන්නා තුළ තිබුණ ආරම්මණයටත්, ආසාවටත් දෙපසම නෑසියන් කැමති වුණු නිසා ඉතාම සරලව වැහි දවසක තමයි අපේ අතිනත් ගැන්ම සිදු වුණේ. 

විදේසෙකට යන්න සැලසුම් කරන් උන්නත් ඒ තීරණේ පස්සට දාලා නුවර එන්න ගත් තීරණේ ඊට වඩා සෑහෙන්න හොඳ බව වැසිබරිත හෝරාවල්, ඇවිද ගිය තැන්, මුණගැහුණු මිනිස්සු සහ නුවර ආරාණ්‍ය, ආරාම හා සිතුවම් විසින් ඒත්තු ගැන්නුවා.

⁣හරිත පැහැ තෙතබරිත වැහි සිතුවමක් මැද ගෙවිලා ගිය දවස් අතරෙ නවාතැන් ගත් ගිමන්හල් - හමු වුණ මිනිස්සුත් ඉතා විශේෂයි. ඒ අතරින් හන්තාන මුදුනේ සහ හන්තානට මුහුණලා තිබූ සුන්දර නවාතැන් සහ සහෘද නිවහනක ගෙවී ගිය දවස්, පේරාදෙණි අවන්හලේ හයිකු සාකච්ඡා වාගෙම අමතක නොවන මතකයක් සහෝදර බ්ලොග්කරුවන්-වෘත්තීය සගයන් සහ මිත්‍රයන් වන නිර්මාණි - කසුන් දෙන්නාගෙ නිවහනට ගිය දවස.

ඒ දෙන්නගෙ කතා පෙට්ටිය සවර්ෂා අපි ඉදිරියෙ සද්ද බද්ද නැතුව චිත්‍ර අදිද්දි අපි බ්ලොග් ගැන කතා කළා. හිටපු බ්ලොග්කාරයො හතර දෙනෙක් තමනුත් වග කියන්න ඕනැ බ්ලොග්වල අභාවය ගැන කතා කරද්දි අපිටම දුකත් නොහිතුණා නෙමේ. හිටපු රජවරු, හිටපු ජනාධිපතිවරු උන්නට හිටපු කවියො කියා ජාතියක් නෑ කියලා සුමින්ද අය්යා කිව්වට මොකද මේ යන විදියට අපිට හිටපු බ්ලොග්කාරයො කීවට වරදක් නෑ කියලා හිතෙනව.

අතීතේම බ්ලොග් පටන්ගත්ත කාලෙ ඒ සංවාදෙත් එක්ක වැහි දැරියට මතක් වුණා. එතකොට උන්දැ යාන්තමට දහය වසරට ගොඩ වුණා විතරයි. බූන්දියට කවියක් දෙකක් ලියාන ඉද්දි බූන්දි බ්ලොගයෙ එක් එක්කෙනාගෙ බ්ලොග්වල⁣ට මංමාවත් තියෙනව දැකල පටන්ගත්තු බ්ලොග් කියවිල්ල අවසන් වුණේ දවල් වරුව සාමානපෙළට පාඩම් කරලා රෑ දෙගොඩහරිය වෙනකං බ්ලොග් කියවන වැහි දැරියක් ඉපැද්දීමෙන්. ඒ කාලෙ පැල් බැදං, බෝඩ් වෙලා කියවපු බ්ලොග් අතරෙ රවී මාමාගෙ නිදහස් සිතුවිලි, සඳරු අය්යාගෙ හිත් අහස, නෙතූගෙ නවකතා බ්ලොග්, අයේෂාගෙ අයිස්ගෙ කොලම, හිතුවක්කාරිගෙ හිත, දිනේෂ් අය්යාගෙ වර්ණ, තනි අලියා, දිලිනි ආරියවංශ අක්කගෙ බ්ලොගය, ජනූගෙ සටහන් විතරක් නෙවෙයි ඒ කාගෙ ලීඩින් බ්ලොගර්ස්ලා එක්කහු වෙලා අමු්නාලු අන්දර මල්දම වාගෙ බ්ලොග් උඩහින්ම තිබ්බ.

ඒ දවස්වල වාගෙ බ්ලොග් අවුරුදු උත්සව, ගෙට්ටු ආදිය නැතත් ආයෙ බ්ලොග් ලියැවිල්ල හරි අප්ඩේට් වෙනවං නං කිය කියා සංවාදෙක පැටලුණු සහෘද බ්ලොග්කාරයො හතර දෙනා ආයෙ අපි තනි තනියෙං හරි ලියන්න ගත්තොත් මොකද කියලා කතා කරගත්තා විසිර යන්න කලින්..

ඉතින් ඒ හන්දා තමා ඕං මේ වැහි බින්දුව වැටුණෙ. ආයෙ කවර කලක වැහි වැටෙයිද නොදැන වුණත් වැහි වැටෙන තැන තාත්තාගෙ වියුණු නවකතාවට අමතරව වැහි දැරිවි ලියන වැහි නිතර වැටේවිය කියා බලාපොරොත්තුවකින් මේ පෝස්ටුව අවසන් කරන්න හිත කියනව!

අලුත් වැස්සක් වහින්න්නට සැරසේ.. සින්දුවත් හිත ඇතුළෙන් වාදනේ වෙනවා.. ඒත් ඒ කාලෙ ලියාපු කියවාපු ආපු ගිය සහෘද වියුණු නෑ හිතවතුන් නැතුව වැස්සක් කොහොම නම් සුන්දර වෙන්නද...?

Friday, June 10, 2022

75. වැහි වැටෙන මතක!

'ඉස්සර වැසි දැරිය කියලා බ්ලොගර් කෙනෙක් උන්නා. පැංචා පූසාගෙ ඉඳලා අලුතින් කියවපු පොතක් වෙනකම් ලස්සන මතක බ්ලොග් එකේ ලියාපු..'

නෝක්කාඩු හඬක් දුරබණුවෙ සාවනාව අතරින් ගලාගෙන එද්දි වැසිදැරියට අතීතෙ අනවරත බ්ලොග් ලිවිල්ල මතක් වුණා.

ඉස්සර ජපුරෙ පුස්තකාලෙ රාක්ක අස්සෙ කරක් ගහලා ගහලා හොයාගන්න සිංහල නවකතා පොතක්, ඉංග්‍රීසි හොල්මන් කතා පොතක්, බාසා දෙකෙන් කොයිකෙන් හරි ලියවුණු යොවුන් නවකතා පොතක් උස්සන් එන වැහිදැරිවි සාලෙ වාඩි වෙලා පොතට මූණ ඔබාන නැත්නම් යහනෙ දිගාවෙලා පොත මූණට අල්ලගෙන එක දිගට පොත් කියවනව. 

මේ කලබල ඉවර වෙලා ජපුර පුස්තකාලෙ විවෘත වුණ දවසක යව්වනෝදයෙදි වැසි දැරිවි කියවපු නිවෙන, සනහන, ජීවිතේ ගැන බලාපොරොත්තු දල්වන හැබෑ සාහිත්‍ය කෘති හොයාගෙන, ඔහු එක්කත් බෙදාගෙන කියවන්න ආසාවකින් වැසි දැරිවිගෙ හද පිරෙනව.

දැන් කියවන්න ඇති තරං කියවල නැති පොත් ගෙදර තිබුණත් කියවන්න හිතක් නෑ. කාර්‍යබහුලකමම නෙමේ හේතුව. වැසිදැරිවිට වඩා ලස්ස පාරක් කාර්‍යබහුල තාත්තා පොත් කියවන්න වෙලාව හදාගන්න හැටියට පොතක් කියවන්න වෙලාව හොයාගන්න එක මහ දෙයක් නෙමේ. ඒත් ඒ කාලෙ වගේ නිවීමක් සැනසීමක් හොයාගන්න පුළුවන් විදියෙ පොත් දැන් හොයාගන්න අමාරුයි. 

ජීවිතේ ගැන බලාපොරොත්තු බිඳ දමන, පීඩනයන්ට විසඳුම් නොසොයා ඒවා මැද ගිලිලා යන ජීවිත ගැන කතා කරන, පවතින සමාජය තියෙනවට වඩා අසුන්දර කරන්න දායක වෙන ඒ කෘති අබියස සාහිත්‍යයෙ කාර්‍යභාරය පවතින සහ නිර්මාණය විය යුතු සමාජයෙ සුන්දරතා මතු කිරීම කියලා කියන තාත්තගෙ කතාව වැහිදැරිවිට මතක් වෙනව.

ආර්ථික අර්බුද, දේශපාලන අසික්කිතකම් මැද ගෙවෙන පීඩාකාරී ජීවිතේ නිවනවා, අලුත් කරනවා සහ අර්ථවත් ලෙසකට විප්ලවකාරී කරනව වෙනුවට ඒ ජීවිතේ වඩා අවුල් කරන කලාවක් මොකටද කියලා කියවන්න අතට ගන්න සමහර පොත් පැත්තකින් තියන වකවානුවක් ගෙවෙමින් තියෙනව.

කාර්‍යබහුලත්වය සහ සමාජ දේශපාලන වියවුල් මැද අකුරු අමුණන්න වෙලාවක් සහ හිතක් නෑ කියන තර්කයත් ඉදිරිපත් කරන්න හැකි වුණාට ඒ තර්කය ඉදිරිපත් කරන්න කිසිදු අයිතියක් පෑන් අතැති මිනිසුන්ට නෑ කියලා වැහිදැරිවි දන්නව.

ලෝකය අසුන්දර නම් අපි ඊට එරෙහිව ලියන්න ඕන. ඔහු කියනව. වැඩ කරන්න ඕන. වැසිදැරිවි කියනව. දෙන්නා එක්ක වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් අපේ කලින් පරපුරේ සත්‍ය ගුරු තාරකා එළි දැල්වුණ මාවතේ නව එළිය හොයන් යන හැටි ගැන සිහින දකිනව.

කලබල මැද සැලසුම් ක්‍රියාත්මක කරන්න අසීරු වුණත් ඒ බලාපොරොත්තු මේ දුෂ්කර කාලය ගෙවාගන්න ඉන්ධන නැති මොහොතක පවා හර්ද ඉන්ධන සපයනව.

මතක මල් හැමදාම - දවස ගාණෙ ජීවිත පාරෙ පිපෙනවා. අපිට පුළුවන් නම් ඒ මතක කාටවත් කරදරයක් - රිදිල්ලක් නැති ලස්සන මල් විදියට පුබුදවගන්න කොච්චර සුන්දරද කියා හිතෙනව. ඒ වගෙම තවත් අඩියක් ඉස්සරහට තියලා ඒ මතක මල් වචන සටහනක් ඇතුළෙ තැන්පත් කරලා තියාගන්න.. තවත් කොච්චර සුන්දරද කියාත් හිතෙනව. ඒ නිසා මේ පිළිවෙලක් නැති සටහන වැහි වැටෙන තැන අමුණලා තියන්න වැහිදැරිවිට හිතෙනව.

Saturday, January 15, 2022

66. හද බස් දොරටු!

හිතා මතා අහන ගීත ගොන්නෙ නැති, ඒත් අහම්බෙන් වගෙ කන වැකුණ ගීයක් ආයෙ හොයාගෙන අහන්න හිතලා යූ නළය පැත්තෙ රවුං ගහන කොට ඒ ගීතය හමු වුණ ප්‍රීතිය නිමිති කොටගෙන කරන්න තියෙන ආතතිමය කටයුතු විනාඩි තුනකට පැත්තකින් තියලා වැහි දැරිය ඒ ගීතය ඇහුවා.

හැමදාම වගේ ඔහොම සිංහල ගීතයක් අහද්දි සිංහල නොදන්න නූතන සිංහල පරපුර ගැන යම් වේදනා උණ්ඩයක් හදවතේ නොදන්නා ඉසව්වක් පෙළනවා දැනුණා.

සිංහල කතා කිරීම, සිංහල ගීත ඇහීම මදිකමක් යැයි හිතන භයානක දෙමව්පිය පරම්පරාවකට දාව උපදින දරුවන් ගැන ඇති වෙන්නේ වේදනාවක්. ඔවුන්ට තමන් සතු මහා පොහොසත් භාෂාවෙන්, සාහිත්‍යයෙන්, කලාවෙන්, ඉතිහාසයෙන් පලක් - වින්දනයක් ලැබීමේ අයිතිය අකරුණාවන්ත ලෙස අහිමි කරලා තියෙනවා.

ජපුරෙ ඉංග්‍රීසි ඉගැන්වීමේ අධ්‍යනාංශයෙ කතිකාචාර්‍යවරියක වන සුවිනි අක්කා මෑතකදී කියපු කතාවක් ඒ ගැන හිතද්දි වැහි දැරියට සිහිපත් වුණා. මාතෘ භාෂාව පළමුව උගන්වා දෙවන භාෂාවක් ලෙස ඉංග්‍රීසි හෝ වෙනත් භාෂාවක් ඉගැන්වීම වෙනුවට ආගන්තුක භාෂාවක් පළමු බස ලෙස ඉගැන්වීම හෝ භාෂා කීපයක් එක් වර ඉගැන්වීම නිසා හෝ කැළඹීමට පත්වන දරුවන් කතා කිරීම පවා නවතා දැමීමේ අනතුර ගැනයි ඇය කතා කළේ.

ඉන් කියවෙන්නෙ නෑ සිංහල භාෂාව පමණක් ප්‍රමාණවත් බව. අලුත් භාෂා හැකිතාක් ප්‍රමාණයක් ඉගෙනීම ඉතාම වැදගත්. අලුත් භාෂා ඉගෙනගන්න ප්‍රමාණයට අලුත් සාහිත්‍යයන්ට, සිනමාවට, දර්ශනයන්ට නව දොරටු විවර වෙනවා. 

ගැටලුව ඇත්තේ අපි ඒ දොර විවර කරගන්නා අන්දමේයි. භාෂාවන් භාෂාවන් ලෙස ඉගෙන ගන්නවා වෙනුවට ඒවා මමායනය පෙන්වීමේ, පන්තිය ලකුණු කිරීමේ, මාතෲ භාෂාවට නින්දා කිරීමේ හෝ ආභරණයක් ලෙස භාවිත කිරීමේ සාධක බවට පත් වීමයි ඛේදවාචකය.

ප්‍රකාශ කළේ කවුද යන්න මතක නැතත් කලකට පෙර මෙවන් සටහනක් දුටුවා මතකයි.

'තවත් භාෂාවක් ඉගෙන ගැනීමෙන් විවර වන්නේ නව ලෝකයක දොරක් මිස ආභරණ සාප්පුවක දොරක් නොවෙයි'

ඔය ඔක්කෝම අස්සෙ මහාචාර්ය ගැරට් ෆීල්ඩ් සහභාගි වෙන සම්මුඛ සාකච්ඡාවක් මේ දිනවල යූ නළයෙ කැරකෙනවා. ඔහු කතා කරන්නෙ ඉතාම ව්‍යක්ත සිංහල. ඔහුගෙ ආචාර්ය උපාධිය සිංහල ගීතය ගැන. ඔහුගෙ වචනවලින් ඉස්මතු වී පෙනෙන්නෙ පෙරදිග අපරදිග දෙපාර්ශවයෙන්ම ලබපු දිය පොහොර ලබා සවිමත් වූ අක්මුල්. 

අපිට ඉතා බංකොලොත් පරම්පරාවක් විදියට මහාචාර්ය ෆීල්ඩ්ව උත්කර්ෂයට නගලා නවතින්නත් පුළුවන්. නැත්නම් ඔහුට අහු වුණ - අපිට මග හැරුණ තැන කොතනද කියලා හොයන්නත් පුළුවන්. ඒ හෙවීම වෙත යන්න කදිම පාරක් හොයා දෙන ප්‍රකාශයක් මෑතකදී කියවපු විදුසර පුවත්පතේ ප්‍රධාන කර්තෘ දමිත නිපුණජිත් සහෝදරයාගෙ 'අවසන් අවදි කරන්නා' කෘතියෙන් හමු වුණා. ඒ ප්‍රකාශය මෙසටහන නිමවන්න තෝරාගන්නේ එය කියන්නට අවැසි බොහෝ දේ එක්තැන් කළ ප්‍රකාශයක් නිසයි.

'..පෙරදිගින් අපට උරුම වන දැනුම මෙන් ම බටහිරින් අපට උරුම වන දැනුම එක්කොට පරිපූර්ණ දැනුම් පද්ධතියක් ගොඩ නැගීමේ අවශ්‍යතාව හා අභියෝගය අප ඉදිරියේ ඇත. මේ දැනුම් කුලක දෙකටම අඩු වැඩි වශයෙන් නිරාවරණය වී ඇති අපට එම උත්සාහයේ පුරෝගාමිත්වය ගත හැකිය. මානව ඉතිහාසයේ විශිෂ්ටයන් විසින් නිමවන ලද දැනුමෙහි උපරිම ප්‍රයෝජන වර්තමානයේ ජීවත් වන අපට ලබා ගත හැකි වනු ඇත්තේ එවන් දිනකය.'


Sunday, December 19, 2021

63. The Forest of Rhetoric!

කදිම අලුත් වෙබ් අඩවියක් හමු වුණා. එය නම් වී තිබුණේ The Forest of Rhetoric එහෙමත් නැත්නම් අලංකාර වනන්තරේ නමින්. කාව්‍යකරණයේදීත් ගද්‍ය රචනයේදීත් හමු වන සාහිත්‍යාලංකාර - ලිවිසැරි යෙදුම් තමා එහි සටහන් වී තිබෙන්නෙ. වඩාත්ම මා ආසා කළ කාරණය වුණේ එහි සැකැසුම! එහි එක් අඩක Trees නොඑසේව තුරු නමින් පෙර වියුණු සටහන් අන්තර්ගත වී තිබූ අතර Flowers යන මැයෙන් නොඑක් අලංකාර වර්ගයන් සටහන් වී තිබුණා. 

ඇත්තෙන්ම මට ලියන්නට ඕනෑ වුණේ ඒ වියුණු අඩවිය ගැනම නොවෙයි. එය කියවද්දී දැනුණ දේ ගැන. සකලවිධ නිර්මාණාත්මක රසාංකුර අක්රීය වී තිබුණ කාලයක එය විසින් දල්වාලන ලද ආලෝකය ගැන. සාහිත්‍ය විචාරය හැදෑරීම නිසා සාහිත්‍යය රස වින්දනය කරනින බැරි තරම් වියළිි ගතියකින් යුතු වූ ඇතුළු හද ඒ වියුණු අඩවිය විසින් ක්ෂණමාත්රීයව පුබුදු කරවනු ලැබුවා.

සාහිත්‍යයට ආශා කරන්නන්, රසවින්දනයට ආසා කරන්නන් ඇතැම් විචාරමූලධර්ම නොදන්නා පමණට ඔවුන්ට වඩා මනරම්ව යමක් වින්දනය කෙරුමට ශක්‍යතාවක් ලැබෙන්නට පුළුවන්. ඒ වාගේම එසේ නොවන්නත් පුළුවන්. හරසුන් සහ හරවත් දෙය තෝරාගන්නට ඇතැමෙකුට හැකියාව ලැබෙන්නේත් ඇතැම් විට විචාරවාදය නිසයි.

අලංකාර වනන්තරයක් සහිත සාහිත්‍යයට පා තැබීම සිදු වන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව වන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් එකී වනන්තරයේ ඇවිද යාම මනරම් සහ යහපත් ගමනක් කරගන්නට හැකි පාවහන් යුවළක් ⁣අපේ මනස් පා මත පැළැන්දී තැබීම අපේ ගමන පහසු කරවනු ඇති බව ලියා තබමින් මෙසටහන මෙසේ නිම කරනවා.

62. ගැඹුරු සමනළ චරණ!

පශ්චාත් උපාධිය සම්බන්ධ ෆයිල් එකට වැහි දැරිවි යොදලා තියෙන්නෙ සමනළයෙකුගෙ අයිකන් එකක්. මොකද ඒක දකින හැම වාරයකදිම වැහි දැරිවිට ‌මතක් වෙන යම් යම් කාරණා ටිකක් තියෙනවා. 

එකක්, බරසාරය කියන පශ්චාත් උපාධිය හදාරන්න අවැසි සමනල සැහැල්ලුවකින් බව එවිට වැහි දැරිවිට මතක් වෙනවා. ඔය කටු ඔටුන්න හිස පැළඳගත්තට පස්සෙත් පියාපත් බර පමණක් ඇතිව පියාසැරියෙ යෙදෙන්න පුළුවන් සමනල චරණයක් ඉතිරි කර ගත යුතුය යන්නත් සිහිපත් වෙනවා. 

ඒ එක්කම ඊට වඩා අඩු බරක් ඇතුව වුණත් මොහොමඩ් අලී වරෙක කියාපු යමකුත් සිහිපත් වෙනවා.

සමනළයෙකු සේ පා ව යන්න. මීමැස්සෙකු සේ දෂ්ට කරන්න.

ඒක වැහි දැරිවි තේරුං අරන් ඉන්න විදියට නම්, මීමැස්සෙකු සේ දෂ්ට කරන්න හැකි වෙන්නෙ - එනම් යහපත උදෙසා බලපෑම් සහගත සමාජ වෙනසක් කරන්න හැකි වෙන්නෙ, සමනලයකු සේ සැහැල්ලුවෙන් පුද්ගලික ජීවිතය සරලව පවත්වාගෙන යන්න හැකි කෙනෙකුටයි. මහා බරපතළෙට තමාව අල්ලගත්ත කෙනෙක්ට තමන් වෙනුවෙන් හෝ අනුන් වෙනුවෙන් සංතෘප්තව යමක් කරන්ඩ අමාරුයි. 

ගැඹුරු සමනළ චරණයක් ගැන සහෘදයන් කිහිප දෙනෙක් එක්ක සංවාදෙක උන්න දවස් කීපෙකට පස්සෙ උදා වුණ ඉරිදා ඉරිමාවක වැහි දැරිවිට මහාචාර්යවරු ‌දෙන්නෙක් කතා කරපු කාරණා ටිකක් ඇහුණා. ඔවුන් දෙන්නා අතර සිදු වුණ දුරකථන සංවාදෙ වැහි දැරිවිගෙ හිත විසල් සංතෘප්ත බවකින් පිරෙව්වා.

ඔවුන් දෙන්නා විද්වත් කාරණා ගැන කතා කළෙත් මහා සැහැල්ලුවකින්. එහෙමයි කියා ඒ කාරණාවල බර - ගැඹුර අඩු වුණේ නෑ. ‌

ඒ සැහැල්ලුවෙන්මයි ඔවුන් තමන්‌ගෙ බිරින්දෑ ගැනත් දරුවො ගැනත් කතා කළේ. වෙන වෙන අසත් පැටලිලි නැති ජීවිතවලට මහා සංතෘප්තියකින් නොවළහා, නොසංගා ඒ ගැන කතා කරන්න පුළුවන්. 

ඒ එක්ක වැහි දැරිවිට සිහිපත් වුණේ පසුගිය දිනවල ජපුර සරසවියෙ පශ්චාත් උපාධි අධ්‍යයන පීඨයෙන් පවත්වපු පර්යේෂන සැසියක මහාචාර්යවරයා පවත්වපු මුඛ්‍ය දේශනය. ඔහු කතා කළේ වේගයෙන් දුවන ගමනක පරිසරය රැකගනිමින් යන හරිත චරණයක් පිළිබඳව.

වේගයෙන් සිදු වන ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, ආර්ථික,දේශපාලනික සහ සමාජ ක්‍රියාවලීන්වල තිබෙන ගැටලු ආදියට විසඳුම දරුවන් අඩුවෙන් හැදීම නොවන බවත් පෘථිවියට ආදරය කළ හැකි අන්දමට දරුවන් හරියට හැදීම වගත් ඔහු කියා සිටියා.  හරිත මාපියන් විසින් හරිත දරුවන් බිිහි කිරීමේ වැදගත්කම ගැන ‌ කී ඔහු ඔහුගේ බිරිද ගැබිණියක් බවත් තමන් දෙදෙනා හරිත දරුවෙක් තනන්නට සිය සියලු ශක්තිය යොදවන බවත් කියා සිටියා. තමන්ගේ දරුවන් සරි සිසුවියන් කෙරේ යොමු වුණ පවිටු අරමුණු නිසා තමන්ගේ පුද්ගලික ජීවිතය, පවුල ගැන දේශනයකදී සදහන් කරන්නට පවා පැකිලෙන, සිසුවියන් අවභාවිත කරමින් අපාගත වන්නට සුදුසුකම් රැස් කරන සමහරක් සරසවි ඇදුරන් මැද මේ අවංක මිනිසුන් හැබෑම විද්වතුන් වග දැනෙනවා. 

එවන් සංතෘප්ත - යහපත් විද්වත්තු හරි නිහතමානිිියි... හරි සුන්දරයි. ඔවුන්ට මවාපාන්න දෙයක් නෑ. ගොඩගනාගන්න ඉමේජ් එකක් නෑ. වහන්න බොරු නෑ. හිත්වල කුහකකම් නෑ. වඩා යහපත් ලෝකයක් උදෙසා වැඩ කරන ඔවුන්ට අන්‍යයන් ඉදිරියේ තමන්ගෙ රූපකාය ගොඩනගා නැගීමේත්, ඊට වැසැංගී දුඟද කටයුතුවල යෙදීමේවත් පටු බලාපොරොත්තු නෑ. ඒ නිසාම ඔවුන් විද්වතුන් සේ පෙනී ඉන්න සමහරුන් මෙන් සංකීර්ණ නෑ. පීඩිත නෑ. අතෘප්ත නෑ. ඔවුන්ගේ ජීවිතයත් සේවයත් යන දෙකම සංතෘප්තයි. එහෙම සංතෘප්ත මිනිස්සුන්ට පර්මනන්ට් හෙඩ් ඩැමේජ් කරගන්නව වෙනුවට අන් අයගෙ ඩැමේජ් වුණු හිත් සකස් කරන්න පුළුවන්. 

ඉරිදා ඉරිමාවෙ දුරකථන සංවාදයත් ඇසීම නිසා ලියැවුණු මේ සටහන නිමවන්න ඒ මහැදුරුවරුන් ‌දෙන්නාගෙන් කෙනෙක් නිතර කියන කතාවක් ‌‌හොඳ කමටහනක් වේවි කියා හිතුණා.

සරලකම ගැඹුරුයි - ගැඹුරුකම සරලයි!

Saturday, November 20, 2021

59. සිහිල් සංවාද දිය උල්!

අද සුමින්ද කිත්සිරි ගුණරත්න, ඔහුම කියාගන්නා විදියට නම් 'හිටපු කවියාගේ' කව් විවරණිකාවකට සම්බන්ධ වුණා. ඒත් ඔහුගේ මනරම් විවරණ මැද ගෙවී ගිය අඩ හෝරාවෙදි මොහොතකටවත් ඔහු 'හිටපු කිවියරෙක්' කියා නම් දැනුණෙ නෑ.


ඔහු වැඩසටහනට සම්බන්ධ වී උන්නු හැම කෙනෙක් තුළම පාහේ සැංගී තිබුණ කවිකම් මතු කොටගත්තා. ගලන සිහිල් දිය පාරවල් වන් මිනිස්සු ඒ වගෙයි. ඔවුන් යන යන තැන අලුත් උල්පත් මතු වෙනවා.


සකු පන්තිය නිමා වෙලා වැඩසටහනේ ඉතිරි වී තිබූ අඩ හෝරාවට සම්බන්ධ වී ඉන්න විට වැහි දැරියට ඈත අතීතයෙ ඔහු වන් සිහිල් දියපාරවල් බඳු මිනිස්සු ගැහැණු නිතර අපේ දිහා ඇවිත් ගිය සැන්දෑවරු සිහිපත් වුණා. අපි එදවස හුරු වී උන්නා මනරම්, සංසුන් සාහිත්‍ය සංවාදවල යෙදෙන්න. 


එවන් මිනිස්සු, එවන් සංවාද පිළිබඳ මතකයන් පවා මොහොතකට ජීවිතේ සුවපහසු කරනවා. තරඟයෙන් ඈත් වී ඉන්න උත්සාහ කරද්දීත් බලහත්කාරෙන් ධාවන පථයකට ඇදගන්න ටොක්සික් කාලෙකටත්, නීරස ලොක්ඩවුන් සමයකටත් පස්සේ වැහිදැරියට හුරු වී තිබුණ ඒ පුරුදු ජීවිතේ, ඒ සංවාද කොතෙක් නම් මඟ හැරිලාද කියා දැනෙනවා. 


කවියක, සංවාදෙක, සත් බසක ඇසුර ලබමින් යෙදෙන සංසුන් ගමනක් කොපමණ ලස්සනද.. ඒ මනරම් සංවාදයට මොහොතකට සම්බන්ධ වන්නට ලැබුණු සැනසිලිදායක සැහැල්ලුවෙන් පස්සෙ කලබල හෙට දවසට අඩිය තියන්න කලින් වැහි දැරියට එහෙම හිතෙනවා.

Sunday, October 17, 2021

55. සුන්දර ජපුර!

ජපුරේ මංපෙත් දිගේ ඇවිද යද්දී මෑත අතීතේ සරසවියත් - ඈත අතීතේ සරසවියත්  වැසි දැරියට සිහිපත් වෙනවා. දෙවසරකට මෙහා මෑත අතීතේ සරසවියට පා තැබූ ගමන් සුමංගලය වෙත, ඕපන් කැන්ටිම හෝ ජිම් කැන්ටිම වෙත දුව යන්නට වැසි දැරිය පුරුදුව උන්නා. යනෙන මග දිග බොහෝ දෙනා මුණ ගැහුණ, අතින් අල්ලා, වැළදගෙන කතාබස් කළ, සංවාද ගහ යට සංවාද කළ, තණබිම මත වාඩි වී බත් කටවල් හුවමාරු කළ, මනරම් මතක අද හුදෙකලා සරසවියෙ ඇවිද යද්දි මතු වෙමින් රිදුම් දෙනවා. කොතැනකින් හෝ ශේන්‍යා, සත්‍යා අක්කා, වාසනා, සොනික් අය්යා, පොඩි සමීරය්යා, කුරවි අක්කා, සචී වැනි කෙනෙක් මතු වෙතැයි හිතුණත් එසේ ප්‍රාදූර්භූත වෙන්නේ සරසවියට අරක් ගෙන සිටින - දුම්මල ගසාවත් ජපුරෙන් පන්නා දැමිය නොහැකි ලොකුසමීරය්යා නොහොත් සොනික් අය්යා පමණයි. 

මෑත අතීතේ ඒ මතකයන්ට යටින් ඊට වඩා බරපතළ නොස්ටැල්ජියාවක් මතු වෙනවා. ඒ වැසිදැරිය සරසවි මානවිකාවක් වන්නට පෙර දවස්. ඇකඩමික් සමයෙ බොහෝ බශා හැන්දෑවරු මග ඇරුණත් ඉන් පෙර නොවැරදී හැම නලමුදු සුවදක්ම, හිමිදිරියක්ම, වේදිකා නාට්‍යයක්ම අත් නෑර විඳගත් මධුර අතීතයක මතක සුණු විත් හද පැටලෙන්නට පටන් ගන්නවා. අවුරුදු දහයක දැරියක්ව ඉද්දී අය්යලා අක්කලාගෙන් සරසවි කුරුටු ගී ඉගෙන ගත්, තෙල් බැමිවල වාඩි වී හැන්දෑ ඉරු එළිය යට තෙමුණු දවස් එකින් එක පෝළිමේ සිහියට නැගෙනවා. 

දැන් සරසවිය ඔන්ලයින්. අලුතින් සරසවියට පැමිණෙනු ඇත්තේ සිය සහෝදර සමාගම සූම් සහ වට්සැප් හරහා පමණක් අදුනාගත් යොවුන් පිරිසක්. සරසවියේ අහුමුලු නොදන්නා පිරිසක්. ඒත් කවදාක හෝ ඔවුන් ජපුරේ රස තැන් එකිනෙක සොයාගෙන ඊට ආදරය කරන්නට පටන් ගනීවි. ඒ අලුත් සියොතුන් ඉක්මණින් පැමිණ සිය සරදාකාශයේ පියඹා යන තුරු ජපුර අපේක්ෂා සහගතව බලා ඉන්නවා වැනි හැගුමක් පාලුවට ගිය කසගස් පේළි අතරින් ඇවිද යද්දි වැසිදැරියට දැනෙනවා.

ඒ මතක මංපෙත ඔස්සේ ඇවිද යන කල වරින් වර වැසි දැරිය අතින් ජපුර ගැන ලියැවුණු කැත කවි ටිකක් මෙසටහන අග අමුණා තබන්නේ ජපුර කෙරේ වන ඇලීම නොමිදීම කෙළවර කොට ඇත්තක් බව දැන දැනමයි.


එකෙක් වැටුණොත් දහක් විත් සුවදුක් අහන

සහෝදර අත් වෙලී පැටලුණ රජදහන

සාර සිප් කටු මතින් සතපන මල් යහන

ජපුර නුබගැබ දුලන සුමගුල් සඳපහන


වේදිකාවෙන් මහපොළොව වෙත

බැස්සවූ බෝ දනන් දස දෙස

හමන නළමුදු සුවඳ වින්දේ

රොතු පිටින් නැග ජනෙල් පඩි අස

හිමිදිරියෙ සිට පහන් තරු තෙක්

නිමා නැති මිහිරක්ය ඇස ඇස

කොහේවත් වෙන රඟහලක් වෙද

ඉතින් සකියෙනි බ.ශා එක මිස


සංවාද නැති දවස්වලටත් 

සංවාද ගහ වටේ ඉඳගෙන 

කතා කළ හැටි කතන්දර, කවි,

සලරූප සහ හුඟක් දේ ගැන

වසර සතරෙන් අතෑරෙන මුත්

හුස්ම යන දින තෙක්ම පවතින

ජීවිතේ මිහිරිතම පාඩම් 

සෝවුරනි, මේ බිමෙන් හමුවිණ!

Saturday, April 27, 2019

53. කුඩා වැරදි සහ විසල් වැරදි!

අපේ රටේ වෙසෙන්නේ ඉතා සුන්දර මිනිසුන්ය. කොතැනක හෝ අනතුරක් සිදු විය හැකි බව දැන දැන තුවාල ලැබූවන්ට සිය රුධිරය පිරිනමන්නට ගිය තරුණ තරුණියන්ය. ත්‍රස්ත ප්‍රහාර ලක්ෂයකටවත් ඒ මනුෂ්‍යත්වය මරා දමන්නට නොහැකිය.

ඒ අපරිමිත මිනිස්කම ආගමික අන්තවාදීන් අතින් මිය නොයා යුත්තේ එහෙයිනි. නමුත් වෙන් වී සිටින පමණට අපි අනාරක්ෂිත වෙමු. ජාති වශයෙන්ද, ආගම් වශයෙන්ද අප වෙන් ව ඇත්තේ උපතේදී ලද සම්මිතියක් නිසා වීම, මේ අකාරුණික සිදුවීම්වලට හේතුව වීම කොපමණ කණගාටුදායකද?

බුදුන් වහන්සේ බුදුදහම, ආගමක් ලෙස නොව දර්ශනයක් ලෙස ගන්නැයි වදළ හේතුව වඩාත්ම හොඳින් පැහැදිලි වූයේ මේ සිදුවීමත් සමගය. දර්ශනයක් අප ආලෝකය කරා ගෙන යන්නේ කෙසේද ඒ පරිමාණයෙන්ම ආගමක් අප අන්ධකාරය කරා ගෙන යන බැවිනි. එසේම ජේසු ස්වාමි දරුවන්ටද, අන් ශාස්තෘවරුන්ටද, තමන් වදාළ දහමේ නාමයෙන් බලහත්කාරයෙන් යටත්විජිතවාදය හා ත්‍රස්තවාදය පතුරුවන අනුගාමිකයන් දකින්නට අවැසි වී යයි නොසිතමි.

මිනිස් ඝාතන සිදු කළ විට ස්වර්ගස්ථ වන්නේ යැයි අප අදහන ආගමකින් උගන්වයි නම් එය ඇදහිය යුතුද නැතිද යන්න තීරණය කිරීමට අපට වගකීමක් තිබේ. අප යමක් අදහන්නේ නම් ඒ අදහන කිසිවකින් කිසිවෙකුටත් අල්පෙනෙති තුඩක හානියක් නොවිය යුතු යයි අදහමි.

මේ අකාරුණික සිදුවීම් සිදු වන්නට පෙර සිට මුහුණුපොත් කතිකාවල අවිහිංසාව ද, යහ පැවැත්ම ද විහිළුවක් කොට ලියූ සටහන් දුටිමි. බොහෝ දෙනාට වැරදී ඇත්තේ එතැනය. කුඩා වැරදි වරද සහිත ලෙස නොදකින්නට පෙළඹෙන තාක් අපට විසල් වැරැද්දක් සිදු වීම වළකන්නට නොහැකිය. නසන්නට, සිය ආදරණීයයන්ට සහ මනුෂ්‍යත්වයට වංචා කරන්නට, අනියම් සබඳතාවල පැටලෙන්නට, වැරදි දේ කරන්නට කොන්දක් වුවමනා නැත. කොන්දක් - පෞරුෂයක් වුවමනා වරදින් වළකින්නටය. නිවැරදි දේ කරන්නටය.

යළි කියමි.

කුඩා වැරදි නොහැදෙන තාක් විසල් වැරදි නොවැළැක්විය සුළුය. 

Friday, June 22, 2018

52. සිහින මන්දිරය- ඈන් සහ වැසි දැරිය!

මට මතක හැටියට 'ඈන්' කතා මාලාවේ පළමුවැනි පොත මුණ ගැහෙද්දී වැහි දැරිය හය වසරේ ය. 'ඈන්' පොත් පෙළ මනරම් සිංහලයට පෙරළා තිබුණේ ප්‍රේමසිරි මාහිංගොඩ විසිනි. ජපුර සරසවියේ කථිකාචාර්යවරියක ව සිට දැන් මරේ ඩාලිං නදිය අසබඩ පදිංචියට ගොස් සිටින සාරංගි නැන්දා එහි සිංහල පරිවර්තන කියවා මුල් පොතෙහි මතකය නසා ගන්නට අකැමැති වූයේ කොතෙක් ද - එපමණට ම මම ඉංග්‍රීසි පොත කියවා සිංහල පරිවර්තනයෙන් ලද ආනන්දය නසා ගන්නට අකැමැති වීමි. එහෙයින් පළමු ව ම ඒ මධුර පරිවර්තනය වෙතින් ලද ආස්වාදය සිහිපත් කළ යුතු යැයි සිතමි. හත වසරට සමත් වීමත් සමඟම ලද Anne of Green Gables ඉංග්‍රීසි කතා මාලාව හත වසර ඉක්මී වසර දහයකට වඩා ගත වී ඇතත් තවමත් නොකියවී - දූවිලි වැදි වැදී තිබෙන්නේ ඒ අපූරු සිංහල වචනවල බල පරාක්‍රමය හේතුවෙනි.



කතා මාලාවේ පස් වෙනි පොත නොහොත් සිහින මන්දිරය අතට ලැබෙද්දී මතකය නිවැරදි නම් මා අට වසරේ ය. ඒ යෞවනය 'මෙහෙ වරෙන්' යැයි කියා ළමාවියේ එළිපත්ත මත සිටින කෙල්ලන්ට - කොල්ලන්ට අත වනා කතා කරන කාලයයි. ගිල්බර්ට් වසර ගණනාවක් පුරා ඈන්ට ආදරය කළ අන්දමත්, උසස් පාසලේදී සහ රිච්මන්ඩ් සරසවියේදී ඒ ආදරය ඈන්ගේ නොයෙක් රැවුම් ගෙරවුම්වලට ලක් ව අන්තිමේදී මල්ඵල දැරෑ අන්දමත් සිය වරක් කියව කියවා රස විඳ තිබුණා වූ වැසි දැරිය සහ වැසි දැරියගේ යාලු මිත්‍රාදී පිරිස සිහින මන්දිරය එන තුරු බලා උන්නේ අසීමිත නොඉවැසුමකිනි. 

සිහින මන්දිරය හිතුවාටත් වඩා රස පිරි පොතක් විය. ගිල්බර්ට්ට ඈත දුර පළාතක වෛද්‍ය සේවයට පිවිසෙන්නට සිදු වූ හෙයින් ඈන් සහ ගිල්බර්ට් ඔවුන් උපන් දා පටන් එක් ව හැදී වැඩුණු සුන්දර ගම්පියස අතැර දමා ඈත දුරක සිහින මන්දිරයක් තනා ගන්නා අන්දම ඒ කතා පොතේ ඉතා සුන්දර අන්දමකට සටහන් වී තිබිණ. 

ගිල්බර්ට් ඔවුන්ට කදිම නිවසකුත් - ඊට සරිලන ලී බඩුත් මිළට ගත් බව කී පසු ඈන් ඔහුගෙන් අසන වචන මට අද වාගේ මතක ය. 

'ඒ වුණාට ගිල්බර්ට් අපට ලී බඩු එක්ක විතරක් ජීවත් වෙන්න බෑනේ. බොහොම වැදගත් දෙයක් ගැන ඔයා තවම කතා කළේ නෑ. ගේ වටේ ගස් තියෙනව ද?'

ඈන්ගේම ජාතියේ අපූරු පෙම්වතා ඈට මෙසේ පිළිතුරු දෙයි.

'ගස් වකාරෙ. රුක් දේවතාවොත් එක්කම.. ගේ පිටිපස්සෙ දේවදාර අරඹක්. ගෙදරට යන පාර දෙපැත්තෙ පේළි දෙකට පොප්ලර් ගස්. ගෙවත්ත වටේටම බර්ච් ගස් වළල්ලක්. ලස්සන ගෙවත්ත. අපේ ඉස්සරහ දොර ඇරපු ගමං ගෙවත්ත. තවත් පැත්තකිං ඇතුල් වෙන්න පුළුවං දේවදාර ගස් දෙකක් අතරිං දාපු පුංචි ගේට්ටුවකිං. එක ගහක කඳට තමයි ගේට්ටුවේ සරනේරු අල්ලලා තියෙන්නෙ. අගුල වැටෙන්නෙ අනික් ගහේ කඳට. ඊට ඉහළිං ගස් දෙකේ අතු විහිදිලා තියෙන්නෙ ආරුක්කුවක හැඩේට..'

ඉන් පසුත් ඈන්ට අසන්නට එක ප්‍රශ්නයක් ඉතිරි වී තිබේ.

'මට හොඳටම සෑහෙනව. හරිම සතුටුයි. ගහ කොළ නැති තැනක මට ජීවත් වෙන්න බෑ. කන්න බොන්න නැති වුණත් ගහ කොළ තියෙන්නම ඕනි. ඊට පස්සෙ මම ඔයාගෙං දොළ පාරකුත් තියෙනවද කියල අැහැව්වොත් ඒක පමණ ඉක්මවා යාමක්..'

ඒත් ඔවුන් තනා ගත් සිහින මන්දිරයේ කෙළවර දොළ පාරකුත් තිබිණ. 

ඉතින් ඈන් සහ ගිල්බර්ට් අත් අල්ලා ඇවිද ගිය හැම තැනකම මායාවක් ව ඔවුන් අතරේ ඇවිද ගිය වැසි දැරියට ඈන්ටත් වඩා ඒ හැම තැනක්මත් - ඔවුනතර වූ හැම දෙබසක්මත් ඉතාමත් හොඳින් මතක ය. 

පෙම්වතියක තුළ පවතින ආදරය වඩාත් ශක්තිමත් වූත් - බරපතළ වූත් ආදරයකට පෙරළන්නේ සිහින තනන දෑතක් හිමි කොල්ලෙකුගේ ගිල්බට්මය අධ්‍යාත්මය බව වැහි දැරිය තේරුම් ගත්තේ සිහින මන්දිරය කියවා වසර ගණනක් ඉක්ම ගියායින් පසුය.

Tuesday, December 13, 2016

44. ඔව්.. මං ලලිතා වගෙ තමයි..!

කලකට පෙර ලියූ මල් පොකුරු, ආබරණ සහ ළඳබොළඳකම් වෙනුවට.. කියන ලිපියේ වැහි දැරිවි, ලලිතා ගැන පොඩි සඳහනක් කළා. ඈ මගේ වීරවරියක්. ඒ ලිපියට හිතවතියක් දැමූ කමෙන්ටුවකින් අසා තිබුණා වැහි දැරිවිව ලලිතා වගේ මවා ගන්නද කියලා..

ඒ ප්‍රශ්නයට පිළිතුර, ඔව්! ඒ විදියටම මවාගන්න.. ඒක මට විසල් ගෞරවයක්..!

ලලිතා කියන්නෙ තාගෝර්ගෙ මනෝ විශ්වයේ මැවුණු සුන්දර ම පහන් තාරකාවක්. ඈ ඉන්නෙ ගෝරා පොතේ. ගෝරාගෙ සහෘද මිත්‍රයා, විනයගේ හිත දිනාගන්න අපූරු යුවතියයි, ලලිතා.

ඈ මුරණ්ඩුයි. අතිශය මුරණ්ඩුයි. විප්‍රකාර සම්ප්‍රදායන්ට අනුව ජීවත් වෙන්න ඈ අසමත්. ඈ ජීවත් වෙන්නෙ නිවැරදි විදියට. ගමන් කරන්නෙ නිවැරදි මාර්ගයෙ. ඒත් ඒක මුග්ධ සම්ප්‍රදායන් අතහරින ලද ගමනක්. ඒ වගෙම යහපත් සම්ප්‍රදායන් අත් නොහරින ලද ගමනක්. 

ගෝරා පොත හරහා අපේ හිතේ මැවෙන ලලිතා බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් සුන්දර කෙල්ලක්. අභ්‍යන්තරය සුන්දර කර ගැනීම කොතෙක් අපහසු කාර්යයක් වුණත් ලලිතා වගේ වෙන්න ඇත්නම් කියා හිතෙද්දී සුපිරිසිදු ආධ්‍යාත්මයක වටිනාකම වඩ වඩාත් දැනෙන්නට පටන් ගන්නවා. 

ඒ වාගේම ලලිතා, ආදරය වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්නට සූදානම් යුවතියක්. විරළ ගණයේ පෙම්වතියක්. විනය ලලිතා වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම් වෙද්දී ලලිතාත් විනය වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම්. ප්‍රේමය යනු කුමක්දැයි කියාවත් නොදන්නා ප්‍රාථමික පන්තිවල උන් කාලයේදී පවා ප්‍රේමය අප්‍රමාණ කැපවීමක් ලෙස කියැවූ වැසි දැරිවි ඒ අතින් ලලිතාට බොහෝම සමානයි. ඒ වගෙම කොපමණ දුකකදිවත් කඳුළු සලන්නට අකැමැති කෙල්ලක ලෙස තාගෝර් වරෙක ලලිතා ගැන සඳහන් කරනවා. ලෝකය ඉස්සරහ එක ම කඳුළක්වත් නොහෙළා ඕනෑ ම වේදනාවක දී ඉවසා දරා හිඳ කවුරුත් නැති තැනක පමණක් වැළපෙන්නටයි වැසි දැරිවියත් කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙලා ඉන්නේ.

තවත් කාරණයක්.. මේ සුන්දර කෙල්ල ස්ත්‍රීත්වය පිළිබඳ ව ආසියාවේ ඇති ඇතැම් සම්ප්‍රදායික ආකල්ප බරපතළ ලෙස ඉක්මවා යන කෙනෙක්. ගෝරා පොතේ තාගෝර් එක් තැනක සඳහන් කරන, "ගෑණු උදවිය ගෙදර දොර ඉවුම් පිහුම්, පිටි කෙටීම් වගේ දේවලට සීමා කරලා පහත් තත්ත්වයෙන් බැලීමෙන් අපි අපේ මුළු රටම පහත් තත්වයට පත් කරනවා. පුරුෂයා තමයි ශක්තියේ අනාවරණය කළ අංශය. ඒ වුණත් ඒක උසස්ම තත්වය නොවෙයි. ස්ත්‍රිය ශක්තියේ අනාවරණය නොකළ අංශය." යන ස්ත්‍රිය පිළිබඳ ආලෝක ප්‍රකාශය ඒ පොත තුළදී සිය ජීවිතයෙන් ඔප්පු කොට පෙන්වන ස්ත්‍රිය වන්නේත් ලලිතායි. ලලිතා යනු අනාවරණය නොවූ ශක්තිය සමාජගත කරනු පිණිස ම ගුරුදේව් තාගෝරයන් අතින් මැවුණු කෙල්ලක් ද කියාත් විටෙක හිතෙනවා. කතා නායිකාව වන සුචරිතා ඉක්මවා ගොස් සිය හදවත ස්පර්ශ කරන්නේ ද ලලිතා වග තාත්තාත් මා සමඟ පවසා තිබෙනවා. යහපත් සමාජයක් ගොඩ නගනු පිණිස කලාවෙන් ද - කතාවෙන් ද - ආකල්පයෙන් ද විප්ලවයක් කරන ලලිතා ඉන්දියාවෙන් අපට හිමි වන සුවිශිෂ්ට ආදර්ශ රූපයක්. ඒත් ඉන්දියාවේ ශිවන්‍යාගේ නයි නැටුම් නරඹන ලංකාවේ ළඳුන් කොතෙක් දුරට ලලිතාව ආදර්ශයට ගනීද යන්න ගැන නම් වැහි දැරිවිට සාධාරණ සැකයක් තියෙනවා..

ඒ වාගේ ම ලලිතා සමාජ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇත්තියක්. ඕනෑ ම කෙනෙකු අතින් තමා උපන් සමාජයට ඉටු විය යුතු මෙහෙවරක් ඇත්තේය යන්න ඇය විශ්වාස කරනවා වාගේම ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. 

මං ලලිතා තරම් යහපත් යුවතියක් නොවන වග හොඳින් ම දැන උන්නත් ඔන්න ඔය වගේ කාරණා ගණනාවක් උඩ, මාව ලලිතා ලෙසින් මවාගැනීම මට මහා විසල් ගෞරවයක්..

විශාකා නූනත් විශාකාවගේ ශාකාවක්වත් වෙන්න යයි අප පාසලේ දැරියන්ට වරෙක හිමි නමක් පවසා තිබුනා.

ඉතින් ලලිතා ම නූනත් ලලිතා වගේවත් වෙන්නට උත්සාහ කරන මටත් ඒ හඳුන්වා දීම, ඇත්තමයි.. මහමෙරක් තරම් ඉස්තරම්..!

Wednesday, October 26, 2016

40. Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි

දෙවෙනි ලෝක යුද්ධය කාලෙදි පෙම් හසුන් හුවමාරු වෙද්දි ලිපිවල අග සටහන් වුණ ජනප්‍රිය ම වචනයක් තමා SWAK.. පෙම්වතා ඈත යුධ බිමේ ඉඳන් පෙම්වතියට ලියා එවූ මේ කෙටි අකුරු හතරෙ අදහස වුණේ, අපි කවුරුත් දන්න විදියට "Sealed with a kiss..  - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි." කියන පණිවිඩය. උමතු අධිරාජ්‍යවාදයෙ අකාරුණික ගොදුරු බවට පත් වෙලා උන්නු - කොයි මොහොතක තමන් දෙදෙනාට එකිනෙකා අහිමි වේද යන්න නොදත් පෙම්වතුන් ලක්ෂ ගාණනකගෙ මේ ප්‍රාර්ථනය වැසි දැරියගෙ හිත උඩ අමුතු සිත්තමක් ඇඳපු වචන පෙළක්..

එ් වචන ටිකට මේ තරම් ආසා කරන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ, ජේසන් ඩොනවන්ගේ Sealed with a kiss කියන ඒ වදන් පදනම් කරගෙන ලියැවුණු සින්දුව වැසි දැරියගේ ප්‍රියතම ගීයක් වීම. එගීයෙන් හිත පත්ළෙ ඇඳෙන්නෙ පාලුවත් එක්ක මුසු වුණ අනන්තාපරිමාණ ආදරයක්. යුධ බිමේ සටන් වදින පෙම්වතා ගව් ගණන් දුරක සිටින පෙම්වතියට සිය ප්‍රේමය මුදු හාදුවකින් මුද්‍රා තබා යවන අන්දම වැසි දැරියගේ වැහි වැටෙන හිතට දරා ගත නොහැකි තරම් ප්‍රේමණීයයි. 

මතක පොදියක් අස්සේ හැඟවිලා තිබුණ ඒ ගීය වැසි දැරියට අලුතින් මතක් කරලා දුන්නෙ සිත්තමී අක්කා. ඈ මෑතක දී ලියා තිබුණ ලිපියක සටහන් ව තිබූ මේ අපූරු වචන ටික යළිත් වරක් හිතට සමීප වුණේ ඈ නිසා වග, වැහි වැටෙන තැන ලියා තබන්නේ විසල් ස්තූතියක් සමඟින්.. 

මේ වචන ටික සටහන් කරන මොහොතෙත් ජේසන් මට ඇහෙන්නට සීල්ඩ් විත් අ කිස් ගයනවා. හැකි නම් ඔබත් අහන්න..



ගෙවී යන ගිම්හානය කොතෙක් හුදෙකලා වන්නක් දැයි දැන දැන ම ඒ පාලුව තමා උහුලන බැව් ඔහු සිය පෙම්බරියට දන්වා යවනවා. ඒ දිනපතා ම සිය ප්‍රේමය, හාදුවකින් මුද්‍රා තබා ඈ වෙත යැවීමෙන්.. 

ඔහු උණුසුම් හිරුඑළිය යට ඈ ව දකීවි. හැම අතින් ම ඔහුට ඇගේ කටඅඬ ඇහේවි. ඈව වැළඳගනු රිසින් ඔහු ඇය ව සොයාවි. ඒත් ඒ සියල්ල ම මායාවක් පමණයි. ඇය කොතැනකවත් නැහැ. එය එසේ වේ යැයි දැන දැන ම ඔහු නපුරු ගිමත් කාලයේ දී ඇගෙන් සමු ගන්නවා, සමුගත යුතු වන නිසා. රණ බිමට යා යුතු වන නිසා.. 

ප්‍රේමාන්විත යුවළකට එකිනෙකාගෙන් සමුගන්නට වීම කොතෙක් දුක්බර කාරණයක් ද? සියල්ලටම වඩා, ඒ වෙන් වීම සිදු වන්නෙ තමන්ගේ වුවමනාවෙන් නොවෙයි නම්. සමාජමය කාරණයක් නිසා නම්. විශේෂයෙන් ම යුද්ධයක් නිසා නම්.. ඒක කොතරම් කණගාටුදාකද කියා අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ..

කතාවක් තියෙනවා තමයි, All is fare in love and war කියලා. ඒත් වැසි දැරිය ළදැරියක කාලේ එය පිළිගත්තේ නැහැ. ආදරයේදීවත් යුද්ධයේදීවත් සියල්ල සාධාරණ වන්නේ නැහැ. කොතැනකදීවත් අසාධාරණ දෙයක් සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ඒ පාඨය ඉගෙන ගත් බිළිඳු අවදියේ පටන් මගේ හිතට වද දුන්නු කාරණයක්..

සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. 

සාධාරණය හෝ අසාධාරණය ගැන කතා කිරීමටවත් යුද්ධ ඇති නොවෙනවා නම් කොයි තරම් අපූරුද? 
යුද්ධ හටගන්නෙ කොතෙක් පටු පරමාර්ථ මත ද.. මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රියාත්මක වෙන ආගම් අනිසි ලෙස ප්‍රචාරය කරන්නට යාමෙන්.. සියල්ලන්ටම අයිති මහපොළොවෙ කෑලි කෑලි බෙදා වෙන් කරගන්න යාමෙන්.. නිර්ධන පාන්තිකයන් අසීමිත ලෙස තලා පෙළා පොඩි කර දැමීමෙන්..

මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න.. ඇත්තටම සාධාරණ හේතුවක් මතවත් යුද්ධ ඇති වෙන්නේ නැති වෙයි..

ආදරයෙන් පිරුණු ලෝකයක සියලු දෙනා සමාන නිසා.. සියල්ලන්ට සාධාරණය ඉෂ්ට වන නිසා..

කවදාක හෝ ආදරයෙන් පිරුණු ලෝකයක් බිහි වුණොත් පෙම්වතුන්ට සිය ලිපිවල හාදු මුද්‍රා තැබීමට වුවමනා වන එකක් නැහැ. ඔවුන්ට හැකි වේවි, උනුන්ගේ ජීවිත හැබෑවට ම හාදුවලින් සහ ප්‍රේමයෙන් මුද්‍රා තබා ගන්නට..

Friday, September 30, 2016

39. සමහරක් දුරින් දුරු කළ යුතු..!

අප්‍රියයන් හා එක් වීම දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ තුන් කල් පිරිසිඳ බලලා බව අපි කවුරුත් දන්නවනෙ. ඒක එහෙම තමා. අපි කැමති වුණත් අකැමැති වුණත් අපිට ජීවිතේ එක එක වකවානුවලදි අප්‍රියයන් හා එක් වෙන්න වෙනවා. 

පුද්ගලික ව මට නම් අප්‍රියයන් හා එක් වීම කණගාටුදායක දෙයක් වෙන්නෙ ආශ්‍රය කරන්න ඉතා ම ප්‍රියමනාප යහපත් මිනිස්සු මේ ලෝකෙ ඇති පදම් ජීවත් වෙන වග දැනෙන කොටයි. අන්‍යයන් ගැන ඉතා ම කරුණාවෙන් පවතින, ආදරණීය මිනිස්සු ඉන්න ලෝකෙක අපිට ඔවුන් වෙනුවට අයහපත් ඇත්තන් සමඟ කෙටි කලකට හෝ ගනුදෙනු කරන්න සිද්ධ වෙන එක කණගාටුවක්. 

If you want a happy life, get rid of toxic people කියලා කතන්දරයක් තියෙනවනෙ. ඉතින් ඒ අත්මිදීම - මේ ලිපියෙ මාතෘකාවෙනුත් කියැවෙන කාරණාව දෙවිදියකට කළ හැකියි. එකක් භෞතික ව එහෙම මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක. එහෙම මඟ හරින්න  පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒත් සමහරුන් ව එහෙම භෞතික ව අත් හරින්න අපහසුයි. කොතෙක් මඟ හරින්න හැදුවත් අහේතුක ව අපිත් එක්ක පැටලෙමින් එනවා. අපි නොදන්නවා වුණාට අපේ සංසාර බන්ධන හරි බරපතළයි. පූර්වාත්මවල අමනාපකම් මේ භවයටත් බලපානවා වෙන්න පුළුවන්. 

ඒත් ඒ සම්බන්ධයෙන් වුණත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමා මේ භවයට මල්ල පුරවගන්නැතුව ඉන්න එක. මොකටද නිකං තව කෙනෙක් ගැන වෛරයක් නඩත්තු කරන්නෙ. රවනවට වඩා හිනා වෙන එක පහසුයි වාගෙ ම වෛර කරනවට වඩා මෛත්‍රී කරන එක ලේසියි. ඒ නිසා ඒ වගේ අය ගැන අපේ හිතේ තියෙන වෛරය මානසික ව අත් හරින එකයි කළ යුතු වන්නෙ. බාහිර පුද්ගලයෙක් ගැන ඇති වන වෛරයකින් දිග් ගැහෙන්නෙ අපේ සංසාරයමයි. ආගමික අරුත පැත්තකින් තියලා බැලුවත් එතැනින් කිළිටි වෙන්නෙ අපේ හදවතමයි. ඒ නිසා හොඳම වැඩේ තමා ඔවුන්ට ඔවුන්ගෙ පාරෙ යන්න දීලා අපි අපේ පාරෙ ගමන් කරන එක... 



අනිත් එක ඒ වාගෙ අය ගැන අපේ හිතේ තියෙන වෛරය පවා එක්තරා ආකාරෙක බැඳීමක්. කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන්නෙත් ඔහු හෝ ඇය ගැන හිතන නිසානෙ. ඔවුන් හා සම්බන්ධ අප්‍රසන්න මතක මතක් කරන නිසානෙ. ඉතින් අප්‍රියයන් ගැන වෛරයක් ඇති නොකරගෙන ඉන්න අපට පුළුවන් නම් ඔවුන් ගැන හිතන එකත් ඉබේටම නතර වෙනවා. එක පාරක් උත්සාහ කරලා බලන්න.. අප්‍රියයන්ට වෛර කිරීම නැවැත්තුවාම ඔවුන් ඔබේ ජීවිතයෙන් ඉබේටම ගිලිහිලා යනවා.

ඒක කියන තරම් පහසු නැහැ. වැසි දැරියටත් ආශ්‍රයට අප්‍රිය කෙනෙක් මුණ ගැහෙද්දි හරි අපහසුයි. තරමක් තරහත් යනවා. ඒත් ඒක අඩු කරගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. දවසක් වැසි දැරිය යමෙක් ගැන තරහ ගිහින් ඉන්න මොහොතක රීසිවරේ එහා පැත්තෙන් ඇහුණු සන්සුන් කටහඬකින් ඒ තරහා හොඳටම නිවිලා ගියා. 

මට නම් තරහකාරයන්ව ඈත් කරන්න කොයි තරම් වුවමනාද කිව්වොත් මං එයාලා එක්ක තරහින් ඉන්න එක අතෑරලා දානවා.. ඔයත් එහෙම කරන්නකො... 

කොයි තරම් අපහසු වුණත් එහෙම කරන්න පුළුවන් නම් හිතට සැහැල්ලුවක් දැනෙනවා. ගල් දෙකක් වුණත් එකිනෙක ගැටීමෙන් උපදින්නෙ ගින්දර ම පමණයි. ඒත් කා එක්කවත් ගැටෙන්නේ නැතුව ජීවිතයට තමා මත්තෙන් ගලා යන්න ඉඩ දුන්නාම නිවිහැනේ හුස්ම ගන්න පුළුවන්. යහපත් මානව සම්බන්ධතා ගොඩ නැගෙන කොට අයහපත් මානව සම්බන්ධතාවල නිස්සාරත්වය අපට ම වැටහෙන්න පටන් ගන්නවා.

අනෙක් අතට කොතෙක් ආශ්‍රයට අපහසු අය මුණ ගැහෙද්දිත්, ඔබට පුළුවන් නම් මනුෂ්‍යත්වය ගැන තියෙන අප්‍රමාණ විශ්වාසය නැති නොකරගන්න, අඩුම තරමෙ මිනිස්සු අපට දෙන අයහපත පෙරළා ලෝකයට එකතු නොකර ඉන්න, කොතෙක් අප්‍රියයන් ඔබේ ජීවිතේට ළං වුණත් ඔබ පැරදිලා නැහැ.