Saturday, August 19, 2023

ආයෙ ආයේ වැසි වැටේ...

වැහි වැටෙන දවසක වැහි මැද්දෙ පින්තූරු අරගෙන, ආදරේම කීප දෙනෙක් මැද විවාහ දිවියට එළැඹිලා නුවර ආපු වැහි දැරිවිත්, වැහි දරුවාත් ගෙව්වේ වැහි දවස් ගණනාවක්. විවාහ උත්සවයක් නොගෙන ඒ වියදම් පුස්තකාලයක් හදන්න වැය කරන්න අප දෙන්නා තුළ තිබුණ ආරම්මණයටත්, ආසාවටත් දෙපසම නෑසියන් කැමති වුණු නිසා ඉතාම සරලව වැහි දවසක තමයි අපේ අතිනත් ගැන්ම සිදු වුණේ. 

විදේසෙකට යන්න සැලසුම් කරන් උන්නත් ඒ තීරණේ පස්සට දාලා නුවර එන්න ගත් තීරණේ ඊට වඩා සෑහෙන්න හොඳ බව වැසිබරිත හෝරාවල්, ඇවිද ගිය තැන්, මුණගැහුණු මිනිස්සු සහ නුවර ආරාණ්‍ය, ආරාම හා සිතුවම් විසින් ඒත්තු ගැන්නුවා.

⁣හරිත පැහැ තෙතබරිත වැහි සිතුවමක් මැද ගෙවිලා ගිය දවස් අතරෙ නවාතැන් ගත් ගිමන්හල් - හමු වුණ මිනිස්සුත් ඉතා විශේෂයි. ඒ අතරින් හන්තාන මුදුනේ සහ හන්තානට මුහුණලා තිබූ සුන්දර නවාතැන් සහ සහෘද නිවහනක ගෙවී ගිය දවස්, පේරාදෙණි අවන්හලේ හයිකු සාකච්ඡා වාගෙම අමතක නොවන මතකයක් සහෝදර බ්ලොග්කරුවන්-වෘත්තීය සගයන් සහ මිත්‍රයන් වන නිර්මාණි - කසුන් දෙන්නාගෙ නිවහනට ගිය දවස.

ඒ දෙන්නගෙ කතා පෙට්ටිය සවර්ෂා අපි ඉදිරියෙ සද්ද බද්ද නැතුව චිත්‍ර අදිද්දි අපි බ්ලොග් ගැන කතා කළා. හිටපු බ්ලොග්කාරයො හතර දෙනෙක් තමනුත් වග කියන්න ඕනැ බ්ලොග්වල අභාවය ගැන කතා කරද්දි අපිටම දුකත් නොහිතුණා නෙමේ. හිටපු රජවරු, හිටපු ජනාධිපතිවරු උන්නට හිටපු කවියො කියා ජාතියක් නෑ කියලා සුමින්ද අය්යා කිව්වට මොකද මේ යන විදියට අපිට හිටපු බ්ලොග්කාරයො කීවට වරදක් නෑ කියලා හිතෙනව.

අතීතේම බ්ලොග් පටන්ගත්ත කාලෙ ඒ සංවාදෙත් එක්ක වැහි දැරියට මතක් වුණා. එතකොට උන්දැ යාන්තමට දහය වසරට ගොඩ වුණා විතරයි. බූන්දියට කවියක් දෙකක් ලියාන ඉද්දි බූන්දි බ්ලොගයෙ එක් එක්කෙනාගෙ බ්ලොග්වල⁣ට මංමාවත් තියෙනව දැකල පටන්ගත්තු බ්ලොග් කියවිල්ල අවසන් වුණේ දවල් වරුව සාමානපෙළට පාඩම් කරලා රෑ දෙගොඩහරිය වෙනකං බ්ලොග් කියවන වැහි දැරියක් ඉපැද්දීමෙන්. ඒ කාලෙ පැල් බැදං, බෝඩ් වෙලා කියවපු බ්ලොග් අතරෙ රවී මාමාගෙ නිදහස් සිතුවිලි, සඳරු අය්යාගෙ හිත් අහස, නෙතූගෙ නවකතා බ්ලොග්, අයේෂාගෙ අයිස්ගෙ කොලම, හිතුවක්කාරිගෙ හිත, දිනේෂ් අය්යාගෙ වර්ණ, තනි අලියා, දිලිනි ආරියවංශ අක්කගෙ බ්ලොගය, ජනූගෙ සටහන් විතරක් නෙවෙයි ඒ කාගෙ ලීඩින් බ්ලොගර්ස්ලා එක්කහු වෙලා අමු්නාලු අන්දර මල්දම වාගෙ බ්ලොග් උඩහින්ම තිබ්බ.

ඒ දවස්වල වාගෙ බ්ලොග් අවුරුදු උත්සව, ගෙට්ටු ආදිය නැතත් ආයෙ බ්ලොග් ලියැවිල්ල හරි අප්ඩේට් වෙනවං නං කිය කියා සංවාදෙක පැටලුණු සහෘද බ්ලොග්කාරයො හතර දෙනා ආයෙ අපි තනි තනියෙං හරි ලියන්න ගත්තොත් මොකද කියලා කතා කරගත්තා විසිර යන්න කලින්..

ඉතින් ඒ හන්දා තමා ඕං මේ වැහි බින්දුව වැටුණෙ. ආයෙ කවර කලක වැහි වැටෙයිද නොදැන වුණත් වැහි වැටෙන තැන තාත්තාගෙ වියුණු නවකතාවට අමතරව වැහි දැරිවි ලියන වැහි නිතර වැටේවිය කියා බලාපොරොත්තුවකින් මේ පෝස්ටුව අවසන් කරන්න හිත කියනව!

අලුත් වැස්සක් වහින්න්නට සැරසේ.. සින්දුවත් හිත ඇතුළෙන් වාදනේ වෙනවා.. ඒත් ඒ කාලෙ ලියාපු කියවාපු ආපු ගිය සහෘද වියුණු නෑ හිතවතුන් නැතුව වැස්සක් කොහොම නම් සුන්දර වෙන්නද...?

7 comments:

  1. මේ වහින්න ඕනිම කාලයක් :))

    ReplyDelete
  2. මම 2016 පටන් ගත්ත "දුමී" බ්ලොග් එක 2020 දී තාක්ෂනික ගැටලුවක් නිසා නැතිවුනා. දැන් ආයිත් "සංචාරේ" පටන් ගත්තේ නොලියාම ඉන්න බැරි නිසා. ඉතින් අපි ඉදිරියටත් පුලුවන් වෙලාවට ලියමු නේද?
    ජයවේවා !!!

    ReplyDelete
  3. සුබපැතුම් වැසි දැරිය..
    ආයෙත් ලියමු!

    ReplyDelete
  4. වැහි පොදක සීතල ඕනම කාලේ. පොදක් දෙකක් ඇඟට වැටෙන එකත් සනීපයි.

    ReplyDelete
  5. කතාව ඇත්ත, එත් කියවන්න වටිනා බ්ලොග් නැතුවම නොවෙයි,

    පිට රටක ඉන්න බ්ලොග් කිවන්නෙක් විදියට මට ඇත්තේ හොඳ සින්ඩියක් නැතිකමේ පාඩුව. බ්ලොග් ලියන්නන් මේ ගැනත් හිතුවොත් වටිනවා. හුගක් සින්ඩි තමන්ගේ පුද්ගලික ප්‍රියතාවය අනුව පමණක් බ්ලොග් ඇතුලත් කරන ඒවානේ

    යම් කාලයක ටෝමියා මේ ගැන උනන්දු උනා, එත් දැන් ටෝමියාත් පෙන්න නැ

    මම විජේබාහු

    ReplyDelete
  6. මදැයි කොලා...

    හතරදෙනා කතාකරගත්තට ඔන්න වැසි දැරිය ඉස්සර වුනා. අපිට හාංකවිසියක් මතක නැතුව ගියා. දැං ඉතින් ලියන්නම වෙනවා අපිටත්.

    ReplyDelete
  7. මාත් මේ අවුරුදු 7 කින් විතර හදිසියේ google search එකේ මගේම බ්ලොග් එකට වැරදිලා ගිහින් මතක් වෙලා ලොග් උනේ.
    සිංහල බ්ලොග් වල golden era එක ඒ කාලේ තමයි. අඩු ගානේ කුණුහරප කොමෙන්ට් වත් දැම්මේ නැහැ ඒ කාලේ ඉන්ටර්නෙට් පාවිච්චි කරලා බ්ලොග් කියවපු මිනිස්සු. ඇනෝ කමෙන්ට් උනත් ගොඩක් වෙලාවට ජෙනුයින් discussions විදියට ආව මිසක් දැන් ෆේස්බුක් එකේ වගේ ජරා විදියට වැටුනේ නැහැ.

    කොහොම උනත් ඉස්සර බ්ලොග් වලින් රණ්ඩු වෙච්ච වැහි දරුවා ලොකු වෙලා කසාදත් බැඳලා හොඳින් ඉන්නවා අහන්න ලැබිච්ච එකත් සතුටක් <3

    ලියන්න දෙයක් නැතත්, ඉඳල හිටලා ගියපු තැනක හරි පොටෝ එකක් දන්නා ඕන මමත්, ආපහු. (කිව්වට කෙරෙයිද දන්නේ නැහැ)
    හැමෝම rat race එකක දුවනවා, අවසානයක් නැති අවසානයක් වෙනකම්.

    ReplyDelete