Tuesday, December 13, 2016

ඔව්.. මං ලලිතා වගෙ තමයි..!

කලකට පෙර ලියූ මල් පොකුරු, ආබරණ සහ ළඳබොළඳකම් වෙනුවට.. කියන ලිපියේ වැහි දැරිවි, ලලිතා ගැන පොඩි සඳහනක් කළා. ඈ මගේ වීරවරියක්. ඒ ලිපියට හිතවතියක් දැමූ කමෙන්ටුවකින් අසා තිබුණා වැහි දැරිවිව ලලිතා වගේ මවා ගන්නද කියලා..

ඒ ප්‍රශ්නයට පිළිතුර, ඔව්! ඒ විදියටම මවාගන්න.. ඒක මට විසල් ගෞරවයක්..!

ලලිතා කියන්නෙ තාගෝර්ගෙ මනෝ විශ්වයේ මැවුණු සුන්දර ම පහන් තාරකාවක්. ඈ ඉන්නෙ ගෝරා පොතේ. ගෝරාගෙ සහෘද මිත්‍රයා, විනයගේ හිත දිනාගන්න අපූරු යුවතියයි, ලලිතා.

ඈ මුරණ්ඩුයි. අතිශය මුරණ්ඩුයි. විප්‍රකාර සම්ප්‍රදායන්ට අනුව ජීවත් වෙන්න ඈ අසමත්. ඈ ජීවත් වෙන්නෙ නිවැරදි විදියට. ගමන් කරන්නෙ නිවැරදි මාර්ගයෙ. ඒත් ඒක මුග්ධ සම්ප්‍රදායන් අතහරින ලද ගමනක්. ඒ වගෙම යහපත් සම්ප්‍රදායන් අත් නොහරින ලද ගමනක්. 

ගෝරා පොත හරහා අපේ හිතේ මැවෙන ලලිතා බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් සුන්දර කෙල්ලක්. අභ්‍යන්තරය සුන්දර කර ගැනීම කොතෙක් අපහසු කාර්යයක් වුණත් ලලිතා වගේ වෙන්න ඇත්නම් කියා හිතෙද්දී සුපිරිසිදු ආධ්‍යාත්මයක වටිනාකම වඩ වඩාත් දැනෙන්නට පටන් ගන්නවා. 

ඒ වාගේම ලලිතා, ආදරය වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්නට සූදානම් යුවතියක්. විරළ ගණයේ පෙම්වතියක්. විනය ලලිතා වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම් වෙද්දී ලලිතාත් විනය වෙනුවෙන් ඕනෑ ම කැපකිරීමක් කරන්නට සූදානම්. ප්‍රේමය යනු කුමක්දැයි කියාවත් නොදන්නා ප්‍රාථමික පන්තිවල උන් කාලයේදී පවා ප්‍රේමය අප්‍රමාණ කැපවීමක් ලෙස කියැවූ වැසි දැරිවි ඒ අතින් ලලිතාට බොහෝම සමානයි. ඒ වගෙම කොපමණ දුකකදිවත් කඳුළු සලන්නට අකැමැති කෙල්ලක ලෙස තාගෝර් වරෙක ලලිතා ගැන සඳහන් කරනවා. ලෝකය ඉස්සරහ එක ම කඳුළක්වත් නොහෙළා ඕනෑ ම වේදනාවක දී ඉවසා දරා හිඳ කවුරුත් නැති තැනක පමණක් වැළපෙන්නටයි වැසි දැරිවියත් කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙලා ඉන්නේ.

තවත් කාරණයක්.. මේ සුන්දර කෙල්ල ස්ත්‍රීත්වය පිළිබඳ ව ආසියාවේ ඇති ඇතැම් සම්ප්‍රදායික ආකල්ප බරපතළ ලෙස ඉක්මවා යන කෙනෙක්. ගෝරා පොතේ තාගෝර් එක් තැනක සඳහන් කරන, "ගෑණු උදවිය ගෙදර දොර ඉවුම් පිහුම්, පිටි කෙටීම් වගේ දේවලට සීමා කරලා පහත් තත්ත්වයෙන් බැලීමෙන් අපි අපේ මුළු රටම පහත් තත්වයට පත් කරනවා. පුරුෂයා තමයි ශක්තියේ අනාවරණය කළ අංශය. ඒ වුණත් ඒක උසස්ම තත්වය නොවෙයි. ස්ත්‍රිය ශක්තියේ අනාවරණය නොකළ අංශය." යන ස්ත්‍රිය පිළිබඳ ආලෝක ප්‍රකාශය ඒ පොත තුළදී සිය ජීවිතයෙන් ඔප්පු කොට පෙන්වන ස්ත්‍රිය වන්නේත් ලලිතායි. ලලිතා යනු අනාවරණය නොවූ ශක්තිය සමාජගත කරනු පිණිස ම ගුරුදේව් තාගෝරයන් අතින් මැවුණු කෙල්ලක් ද කියාත් විටෙක හිතෙනවා. කතා නායිකාව වන සුචරිතා ඉක්මවා ගොස් සිය හදවත ස්පර්ශ කරන්නේ ද ලලිතා වග තාත්තාත් මා සමඟ පවසා තිබෙනවා. යහපත් සමාජයක් ගොඩ නගනු පිණිස කලාවෙන් ද - කතාවෙන් ද - ආකල්පයෙන් ද විප්ලවයක් කරන ලලිතා ඉන්දියාවෙන් අපට හිමි වන සුවිශිෂ්ට ආදර්ශ රූපයක්. ඒත් ඉන්දියාවේ ශිවන්‍යාගේ නයි නැටුම් නරඹන ලංකාවේ ළඳුන් කොතෙක් දුරට ලලිතාව ආදර්ශයට ගනීද යන්න ගැන නම් වැහි දැරිවිට සාධාරණ සැකයක් තියෙනවා..

ඒ වාගේ ම ලලිතා සමාජ වගකීම පිළිබඳ ප්‍රබල හැඟීමක් ඇත්තියක්. ඕනෑ ම කෙනෙකු අතින් තමා උපන් සමාජයට ඉටු විය යුතු මෙහෙවරක් ඇත්තේය යන්න ඇය විශ්වාස කරනවා වාගේම ඒ වෙනුවෙන් ක්‍රියා කරනවා. මෑතක දී නැරඹූ එක ම සිංහල ටෙලිනාට්‍යය වූ බොහීමියානුවා ටෙලි කතාවේ පෙම් යුවල අතර වූ දෙබසකත් මේ වග මෙසේ සඳහන් වුණා මතකයි - "මැරෙන්න කලින් මේ මහ පොළොව මත ඉපදුණු ණය ගෙවලා අවසන් කරන්න ඕනි.." ඒ වදන් හා සමපාත ව ඊට වසර ගණනකට කලින් ගෝරා නවකතාවෙන් මේ සත්තාව සමාජගත කෙරුණා. 

මං ලලිතා තරම් යහපත් යුවතියක් නොවන වග හොඳින් ම දැන උන්නත් ඔන්න ඔය වගේ කාරණා ගණනාවක් උඩ, මාව ලලිතා ලෙසින් මවාගැනීම මට මහා විසල් ගෞරවයක්..

විශාකා නූනත් විශාකාවගේ ශාකාවක්වත් වෙන්න යයි අප පාසලේ දැරියන්ට වරෙක හිමි නමක් පවසා තිබුනා.

ඉතින් ලලිතා ම නූනත් ලලිතා වගේවත් වෙන්නට උත්සාහ කරන මටත් ඒ හඳුන්වා දීම, ඇත්තමයි.. මහමෙරක් තරම් ඉස්තරම්..!

Friday, December 2, 2016

ගමේ මතක - වතුර ටැංකිය + සහෝදරකම්..

කොළඹ ක්ලෝරීන් වතුරෙන් නෑවම දැනෙන හැඟීමට වඩා සම්පූර්ණ වෙනස් හැඟීමක් එක්ක මම හීතල වතුරේ බැහැගෙන ඉන්නේ හුඟක් වෙලාවක ඉඳන්.. 

නෑනා නම් තාම වතුරට බැස්සෙ නැහැ.ෂැම්පු ගෙනෙන්න කඩේට යවපු නගා එන තුරු ඈ ටැංකියෙ ගැට්ට උඩට වෙලා ඉඳගෙන ඉන්නවා. 

අන්න එනවා.. ඈ කියන්නෙ ඇස් පියාගෙන කල්පනා කරමින් ඉන්න මට ඇහෙන්න. අම්මලාගෙ මහගෙදර බිම ඇතිරුණ සුදු වැලි මත පොඩි නෑනගේ බයිසිකලේ රෝද ඇතිල්ලෙන සද්දෙට මං ඇස් අරිනවා. කෙල්ල බයිසිකලේ එනවා නෙමේ පියාඹනවා. වැලි පොළොව දිගේ වේගෙන් ආපු බයිසිකලේ ටැංකිය ගාව නතර කරලා ඈ ෂැම්පු එක දෙන්නේ අක්කා අතට.

නාලා ඉවර වෙලා වර්ෂක්කා මට චිත්‍රයක් ඇඳලා දෙන්න ඕන..

පොඩි එකාගෙ ඉල්ලීමට මං එකඟ වෙන්නෙ හිනාවක් පාමින්. වැහි දැරිවි ගෙදරදී චිත්‍ර අඳින්නෙ කළාතුරකින්. ඉසිඹුවක් ලැබෙන වෙලාවට චිත්‍රයක් නොඇඳ අන්තර්ජාලයෙ සැරිසන්න පුරුදු වෙලා ඉන්න වග මතක් වෙද්දි හිතට දැනෙන්නෙ කණගාටුවක්. පොත්හලකට ගියත් පොත් රාක්ක අතරටම පය ඇදෙනවා මිසක පාට පෙට්ටියක් ගන්න මතක් වෙන්නේ නැහැ. පොත්හලෙන් එළියට බැහැලා ගෙදරත් ආවට පස්සෙ තමා දියසායම් හීනයක් තිබුණා නේද කියලා මතක් වෙන්නෙ. සිත්තර ජීවිතේ ගැන තිබුණ ආසාව ඒ තරමට ම හිතෙන් පළා ගිහින් කියා හිතෙද්දි දුකයි. ඒත් මාස පහ හයකට සැරයක් ගමේ ගියාම මාමාගෙ පුංචි හුරතලී මගේ සිත්තර අපේක්ෂාවන් ඔක්කෝම එළියට ඇදලා ගන්නවා. කෙල්ලටත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. පොඩි එකී මං ඇඳලා දෙන චිත්‍ර මනරම් ව පාට කරද්දි ඈ වෙතින් වැසි දැරිය දකින්නේ වැසි දැරියගේ පුංචි අවදිය. කොළඹ යන්න කලින් කෙල්ලට පාට පැන්සල්, දියසායම්, චිත්‍රපොත් අරන් දීලා යන වැසි දැරියගේ අම්මටත් මතක් වෙනවා ඇත්තෙ පාට කූරුවලින් - ෆැබ්රික් පේන්ට්වලින් පිරිච්ච වැසි දැරියගේ බාල කාලේ තමා..

චිත්‍ර අඳින්න පුළුවන් පස්සෙ.. දැන් යනවා ගිහිල්ලා පාඩමක් බලාගන්න..

ලොකු නෑනා තමුන්ගෙ ජ්‍යෙෂ්ඨ භාවයේ ආධිපත්‍යය පතුරුවමින් පොඩි නෑනාව එතනින් පන්නලා දාන්නෙ මෙතන හිටියොත් කෙල්ල හෝම්වර්ක් නොකර වතුරේ නටන්න පෙළඹෙන බව දන්න නිසයි. ඊළඟ මොහොතෙ ලොකු නෑනා කණ්ඩියෙන් මෙහා පැත්තට පැනලා වතුර ටැංකියට බහිනවා. 



මේ වතුර ටැංකියටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. මට මතක ඇති කාලෙ පටන් අම්මලාගෙ මහගෙදර මිදුලේ කොහොඹ ගස් හෙවණ යට මේ ටැංකිය තිබුණා. ඒක මධ්‍යම ප්‍රමාණයෙ සිමෙන්ති ටැංකියක්. හතරැස් හැඩයෙ මේ ටැංකිය ඇතුළෙ අඩි පහක් උස කෙනෙක් හිටගත්තම බෙල්ල ගාවට වතුර පිරෙනවා. අපේ ගෙදර කවුරුවත් මහගෙදර ආපුවාම නානකාමරයෙන් නාන්නේ ම නැහැ. හැමෝම තරඟෙට පොරකන්නේ ටැංකියෙන් නාන්න. අනිත් හැමෝම ටැංකියෙන් වතුර ඇදගෙන - එහෙම නැත්නම් ටැංකිය ළග තියෙන ෂවර් එකෙන් නෑවත්, නෑනාත් - මාත් හැමදාම නෑවේ ටැංකිය ඇතුළට බැහැලා.

එක ම අවුරුද්දෙ මාස දෙකක ඉපදිච්ච අපි දෙන්නාට දැන් අවුරුදු විස්සක් වුණත් තාම ඒ පුරුද්ද අතහැරිලා නෑ. මහගෙදර ආවාම නාන්නේ ටැංකියේ බැහැලා ම තමා. සිහින් සිරුරැති වීමේ ආනිසංස හේතුවෙන් ටැංකියට බහින්න කිසි කරදරයකුත් නැහැ. 

අඩුම වශයෙන් ටැංකියේ බැහැලා නාන්න අපිට යනවා පැය හතරක්වත්. අම්මා හරි මාමා හරි නැන්දා හරි ඇවිල්ලා දෙස් දෙවොල් තියන තුරු අපි දෙන්නා නෙමේ ටැංකියෙන් එළියට එන්නෙ. අපිට මුණ ගැහෙන්න බැරි වුණ කාලෙ දෙන්නා කියවපු අලුත් පොත්.. බලපු අලුත් චිත්‍රපටි.. ඒ චිත්‍රපටිවල හිටපු ලක්සන කොල්ලෝ.. කොච්චරක් නම් ජාති තියෙනවද අප්පා කතා කරන්න.. 

ඒ කතාබහ අතරෙ පොඩි එකා වගේ කෝප්පෙන් වතුර ඔලුවට දාගන්න වැහි දැරිවිට නින්දා අපහාස කරන්නත් නෑනා අමතක කරන්නේ නැහැ. මක් කරන්නද.. වතුර යට ඔලුව ඔබා ගත්තම හුස්ම ගන්න බැරුව යාවි කියලා වැහි දැරිවිට බයයි නෙව. ඔක්කොටම හපන් වැහි දැරිවිගේ තාත්තා බයයි වැහි දැරිවි එහෙම දිය යට ඔලුව ඔබාගන්නවට. ඇළක දොළක නාන්න ගියත් ඉතින් බාල්දියේ පිහිට තමා. එහෙමයි කියලා ඔය පිහිනුම් සූරයෝ සූරියෝ දැන් මට හිනාවෙන්න තියාගන්නවා එහෙම නෙමේ.. හරිය..

වැහි දැරිවිගෙ දණිස්ස ගාවට තරම් දිග කෙස් කළඹෙ ෂැම්පු ආලේප කරන්න වුණාම නෑනා දොස් කියන්න අමතක කරන්නෙත් නෑ.පැය දෙක තුනක් තිස්සේ වතුරේ නටන ගමන් අපි විසි අවුරුද්දක මතක - ජීවිතේ පුංචි පුංචි දේවල් ගැන දොඩමළු වෙන්නෙ නෑනාවරු නෙමේ - එක කුසේ උපන් සහෝදරියෝ දෙන්නෙක් වගේ.

හැන්දෑ කළුවරත් මෝදු වෙලා - හයහමාර හත විතර වෙද්දි වතුරෙ ඉඳලා වැඩි වෙලා ඇසුත් රිදෙන්න පටන් ගන්නවා. වැඩිහිටි ඇත්තන්ගෙ දෝසාරෝපණ සද්දෙත් ටික ටික වැඩි වෙනවා. ඒ වෙලාවට තමා ඉතින් අපේ වාර්ෂික ස්නානය අහවර වෙන්නෙ.. 

ජීවිතේ කොයි තරම් යාලුවෝ මුණ ගැහුණත්, නෑනා තරම් අපූරුවට වැහි දැරිවිගේ හිත යාලුකමින් පුරවන්න පුළුවන් කෙනෙක් නම් කිසිදවසක මුණ ගැහෙන එකක් නෑ කියලා ගමේ ගෙවෙන හැම දවසකදි ම මට හිතෙනවා.. වතුර ටැංකිය කොයි තරම් පරණ වුණත් ඒ එක්ක බැඳිලා තියෙන මතක සීත උල්පත් දිය වාගේ ම හැමදාම නැවුම්.. හිත ජීවයෙන් පුරවනවා..

Thursday, November 24, 2016

මනරම් දවස් + ඒ බෝ සෙවණ යට..

ඊයේ පෙරේදා දවසක ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක රසවින්දන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්නට සිදු වුණා. නව යොවුන් පරම්පරාව නියෝජනය කරන පාසල් සිසුන්ගේ රසවින්දනයත් - ආකල්පත් යහපත් අතට වෙනස් කිරීම කළ යුතු දෙයක් වාගේම කරන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ කටයුතුවල නියැලෙනවා. මේ දවසත් ඒ වගේ ගාල්ලේ ගත වුණු මනරම් දවසක්..

දඟකාරයි - කටකාරයි කියන නව යොවුන් පාසල් සිසු සිසුවියන් ම මේ රසවින්දන වැඩසටහන්වලට සහභාගී වෙන්නේ පුදුමාකාර උනන්දුවකින්. අපේ පාසල් විෂය නිර්දේශවල තියෙන ඒකාකාරී බවෙන් බොහෝ වෙනස් තැනක තිබෙන සාහිත්‍ය රසවින්දනය ඔවුන්ට අලුත් දෙයක්. ඒ වාගේම රසවත් දෙයක්. පන්තියෙ උගන්නද්දි කෑ කෝ ගහලා ගුරුවරුන්ට කරදර කරන දරුවන් ම අලුත් කවි ගැන කතා කරද්දි ඒවා අහන් ඉන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා. 

මේ එක් වැඩසටහනකදී අපිට හරි අපූරු යුවතියක් මුණ ගැහුණා. ඈ අපිත් එක්ක කතා කළේ සාහිත්‍යය ගැන. පොදු කටයුතුවල තියෙන අවශ්‍යතාව ගැන. ඒ අතරෙ තමන් ලියාපු කවි කිහිපයක් ගැනත් ඈ අපිත් සමඟ දොඩමළු වුණා. ගොඩක් හිතවත් වුණාට පස්සෙ තමා කිව්වෙ ඈ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව.

"අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.."

ඈ එහෙම කිව්වා. ඇය වැනි අනාගත වෛද්‍යවරියන් රටට වාසනාවක්. රටේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් දැනෙන වෛද්‍යවරු හිඟ කාලයක ඇගේ චින්තනයෙන් යුතු වෛද්‍ය පරපුරක් බිහි විය යුතු ව පවතිනවා. 

ඉන්පස්සෙ ඇයත්, එක් රසවින්දන වැඩසටහනක් සංවිධානය කළ ඇගේ ඥාති සොහොයුරෙකුත් සමඟ අපි ගියා ඔවුන්ගෙ නිවෙස ආසන්නයේ තිබුණු පන්සලකට. මං ජීවිතයේ දැකපු සුන්දරම පන්සල ඒකයි. බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරලා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත බෝධියේ ශාඛා වටේට රන්වැටවල් බැඳපු පන්සල්, පන්සල් කියා මට නම් දැනෙන්නේ නැහැ. ඒත් මේ පන්සල එයින් වෙනස්. පන්සල වටේට කළුගල්තලාවක් තිබුණා. අදටත මිනිස්සු බණ අහන්නේ ඒ කළුගල්තලාවේ හිඳගෙන වග දැනගත්තාම මගේ හිතේ ලස්සන මනෝරූපයක් මැවුණා. ඒ කළුගල්තලාවේ වාඩි වෙලා දවසක බණ අහන්න ඇත්නම් කියලා මේ ලියන මොහොතේත් මට හිතෙනවා.

පන්සල තිබුණේ පුංචි කඳුගැටයක් මත්තේ. ඒ ඉස්සර පන්සල් තනපු විදිය. ගමේ තිබුණ උස් ම ස්ථානයේ තමා පන්සල තනන්නේ. ස්වාභාවික විපතකදී වුණත් පන්සල ඇතුළේ මුළු ගමේම මිනිස්සු ආරක්ෂිතයි - ජාති ආගම් කුල භේදයකින් තොරව. ඒ බව කතා කරද්දි මට මතක් වුණේ වසර ගණනකට පෙර සමන් සිත්තරා කළ ප්‍රකාශයක්..

"බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන් හී පැවැත්ම තහවුරු කිරීමයි. බුදුදහම මහා වෘක්ෂයකි. ඒ වෘක්ෂයෙහි සෙවණ යට හින්දු,කිතුණු,මුසල්මානු සියලු ආගම් ආරක්ෂිත ය." 

බුදුදහම සවිමත් ව පවතින තාක් අන් සියලු ආගම් ඒ වටා ආරක්ෂිතයි. මන්ද එය ආගමක් නොවන නිසා.. එය ලොව මෙතෙක් පහළ වූ සුවිශිෂ්ටතම දර්ශනය වන නිසා.. මිනිස්සු බුදුදහම ආගමක් නොවෙයි දර්ශනයක් ලෙස පිළිගෙන, ඒහි පස්සික ව විත් එය හදාරන්නට පටන් ගත් දාට මේ ලෝකය මීට වඩා බොහෝමත් ම සුන්දර තැනක් වේවි කියා ඒ මනරම් පන්සලේදී මට හිතුණා.

ගෙවී ගිය ඒ මනරම් දවසේ මතක අතරේ - තවමත් ඒ බෝ සෙවණ යට වැහි දැරියගේ හිත නිසංසලේ හුස්ම ගන්නවා.

Tuesday, November 15, 2016

උසස්පෙළ කියන්නේ ආදරේ ගලන තැන...

උසස්පෙළ කියන්නේ
ආදරේ ගලන තැන
හදවතින් හදවතට
යාලුකම පිරෙන තැන

නෝට් පොත් අගිස්සේ
කවි කෑලි ලියන තැන
ඉසිඹු ලන මොහොතකට
හිස් වචන කියන තැන

පුටු ගොඩක් තියෙද්දිත්
බිමින් ඉඳගන්න තැන
විහඟ රෑනක් වගේ
ඔහේ කෑ ගහන තැන

ටයි පටිය අග රැඳුණ
පහන සේ දිලෙන තැන
පහනකින් තව පහන්
දහක් බබළවන තැන

ඇහිඳ අකුරින් අකුර
හෙට දවස තනන තැන
ලබා සරසවි වරම්
විදු මවුන් පුදන තැන

ළදළු යුත් බෝධියේ
සෙවණ යට වඳින තැන
වෙළා සෙනෙහසේ අත්
යාලුකම් රකින තැන

ප්‍රංඥාකුර ලෙසින්
නැණ නුවණ වඩන තැන
වීර දූවරු හදා
රට දැයට පුදන තැන

දහතුනේ අන්තිමේ
ඇස් දුකින් තෙමෙන තැන
වෙන් වෙලා යන්න පෙර
බදාගෙන අඬන තැන

Wednesday, October 26, 2016

Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි

දෙවෙනි ලෝක යුද්ධය කාලෙදි පෙම් හසුන් හුවමාරු වෙද්දි ලිපිවල අග සටහන් වුණ ජනප්‍රිය ම වචනයක් තමා SWAK.. පෙම්වතා ඈත යුධ බිමේ ඉඳන් පෙම්වතියට ලියා එවූ මේ කෙටි අකුරු හතරෙ අදහස වුණේ, අපි කවුරුත් දන්න විදියට "Sealed with a kiss..  - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි." කියන පණිවිඩය. උමතු අධිරාජ්‍යවාදයෙ අකාරුණික ගොදුරු බවට පත් වෙලා උන්නු - කොයි මොහොතක තමන් දෙදෙනාට එකිනෙකා අහිමි වේද යන්න නොදත් පෙම්වතුන් ලක්ෂ ගාණනකගෙ මේ ප්‍රාර්ථනය වැසි දැරියගෙ හිත උඩ අමුතු සිත්තමක් ඇඳපු වචන පෙළක්..

එ් වචන ටිකට මේ තරම් ආසා කරන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ, ජේසන් ඩොනවන්ගේ Sealed with a kiss කියන ඒ වදන් පදනම් කරගෙන ලියැවුණු සින්දුව වැසි දැරියගේ ප්‍රියතම ගීයක් වීම. එගීයෙන් හිත පත්ළෙ ඇඳෙන්නෙ පාලුවත් එක්ක මුසු වුණ අනන්තාපරිමාණ ආදරයක්. යුධ බිමේ සටන් වදින පෙම්වතා ගව් ගණන් දුරක සිටින පෙම්වතියට සිය ප්‍රේමය මුදු හාදුවකින් මුද්‍රා තබා යවන අන්දම වැසි දැරියගේ වැහි වැටෙන හිතට දරා ගත නොහැකි තරම් ප්‍රේමණීයයි. 

මතක පොදියක් අස්සේ හැඟවිලා තිබුණ ඒ ගීය වැසි දැරියට අලුතින් මතක් කරලා දුන්නෙ සිත්තමී අක්කා. ඈ මෑතක දී ලියා තිබුණ ලිපියක සටහන් ව තිබූ මේ අපූරු වචන ටික යළිත් වරක් හිතට සමීප වුණේ ඈ නිසා වග, වැහි වැටෙන තැන ලියා තබන්නේ විසල් ස්තූතියක් සමඟින්.. 

මේ වචන ටික සටහන් කරන මොහොතෙත් ජේසන් මට ඇහෙන්නට සීල්ඩ් විත් අ කිස් ගයනවා. හැකි නම් ඔබත් අහන්න..



ගෙවී යන ගිම්හානය කොතෙක් හුදෙකලා වන්නක් දැයි දැන දැන ම ඒ පාලුව තමා උහුලන බැව් ඔහු සිය පෙම්බරියට දන්වා යවනවා. ඒ දිනපතා ම සිය ප්‍රේමය, හාදුවකින් මුද්‍රා තබා ඈ වෙත යැවීමෙන්.. 

ඔහු උණුසුම් හිරුඑළිය යට ඈ ව දකීවි. හැම අතින් ම ඔහුට ඇගේ කටඅඬ ඇහේවි. ඈව වැළඳගනු රිසින් ඔහු ඇය ව සොයාවි. ඒත් ඒ සියල්ල ම මායාවක් පමණයි. ඇය කොතැනකවත් නැහැ. එය එසේ වේ යැයි දැන දැන ම ඔහු නපුරු ගිමත් කාලයේ දී ඇගෙන් සමු ගන්නවා, සමුගත යුතු වන නිසා. රණ බිමට යා යුතු වන නිසා.. 

ප්‍රේමාන්විත යුවළකට එකිනෙකාගෙන් සමුගන්නට වීම කොතෙක් දුක්බර කාරණයක් ද? සියල්ලටම වඩා, ඒ වෙන් වීම සිදු වන්නෙ තමන්ගේ වුවමනාවෙන් නොවෙයි නම්. සමාජමය කාරණයක් නිසා නම්. විශේෂයෙන් ම යුද්ධයක් නිසා නම්.. ඒක කොතරම් කණගාටුදාකද කියා අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ..

කතාවක් තියෙනවා තමයි, All is fare in love and war කියලා. ඒත් වැසි දැරිය ළදැරියක කාලේ එය පිළිගත්තේ නැහැ. ආදරයේදීවත් යුද්ධයේදීවත් සියල්ල සාධාරණ වන්නේ නැහැ. කොතැනකදීවත් අසාධාරණ දෙයක් සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ඒ පාඨය ඉගෙන ගත් බිළිඳු අවදියේ පටන් මගේ හිතට වද දුන්නු කාරණයක්..

සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. 

සාධාරණය හෝ අසාධාරණය ගැන කතා කිරීමටවත් යුද්ධ ඇති නොවෙනවා නම් කොයි තරම් අපූරුද? 
යුද්ධ හටගන්නෙ කොතෙක් පටු පරමාර්ථ මත ද.. මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රියාත්මක වෙන ආගම් අනිසි ලෙස ප්‍රචාරය කරන්නට යාමෙන්.. සියල්ලන්ටම අයිති මහපොළොවෙ කෑලි කෑලි බෙදා වෙන් කරගන්න යාමෙන්.. නිර්ධන පාන්තිකයන් අසීමිත ලෙස තලා පෙළා පොඩි කර දැමීමෙන්..

මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න.. ඇත්තටම සාධාරණ හේතුවක් මතවත් යුද්ධ ඇති වෙන්නේ නැති වෙයි..

ආදරයෙන් පිරුණු ලෝකයක සියලු දෙනා සමාන නිසා.. සියල්ලන්ට සාධාරණය ඉෂ්ට වන නිසා..

කවදාක හෝ ආදරයෙන් පිරුණු ලෝකයක් බිහි වුණොත් පෙම්වතුන්ට සිය ලිපිවල හාදු මුද්‍රා තැබීමට වුවමනා වන එකක් නැහැ. ඔවුන්ට හැකි වේවි, උනුන්ගේ ජීවිත හැබෑවට ම හාදුවලින් සහ ප්‍රේමයෙන් මුද්‍රා තබා ගන්නට..

Friday, September 30, 2016

සමහරක් දුරින් දුරු කළ යුතු..!

අප්‍රියයන් හා එක් වීම දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ තුන් කල් පිරිසිඳ බලලා බව අපි කවුරුත් දන්නවනෙ. ඒක එහෙම තමා. අපි කැමති වුණත් අකැමැති වුණත් අපිට ජීවිතේ එක එක වකවානුවලදි අප්‍රියයන් හා එක් වෙන්න වෙනවා. 

පුද්ගලික ව මට නම් අප්‍රියයන් හා එක් වීම කණගාටුදායක දෙයක් වෙන්නෙ ආශ්‍රය කරන්න ඉතා ම ප්‍රියමනාප යහපත් මිනිස්සු මේ ලෝකෙ ඇති පදම් ජීවත් වෙන වග දැනෙන කොටයි. අන්‍යයන් ගැන ඉතා ම කරුණාවෙන් පවතින, ආදරණීය මිනිස්සු ඉන්න ලෝකෙක අපිට ඔවුන් වෙනුවට අයහපත් ඇත්තන් සමඟ කෙටි කලකට හෝ ගනුදෙනු කරන්න සිද්ධ වෙන එක කණගාටුවක්. 

If you want a happy life, get rid of toxic people කියලා කතන්දරයක් තියෙනවනෙ. ඉතින් ඒ අත්මිදීම - මේ ලිපියෙ මාතෘකාවෙනුත් කියැවෙන කාරණාව දෙවිදියකට කළ හැකියි. එකක් භෞතික ව එහෙම මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක. එහෙම මඟ හරින්න  පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒත් සමහරුන් ව එහෙම භෞතික ව අත් හරින්න අපහසුයි. කොතෙක් මඟ හරින්න හැදුවත් අහේතුක ව අපිත් එක්ක පැටලෙමින් එනවා. අපි නොදන්නවා වුණාට අපේ සංසාර බන්ධන හරි බරපතළයි. පූර්වාත්මවල අමනාපකම් මේ භවයටත් බලපානවා වෙන්න පුළුවන්. 

ඒත් ඒ සම්බන්ධයෙන් වුණත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමා මේ භවයට මල්ල පුරවගන්නැතුව ඉන්න එක. මොකටද නිකං තව කෙනෙක් ගැන වෛරයක් නඩත්තු කරන්නෙ. රවනවට වඩා හිනා වෙන එක පහසුයි වාගෙ ම වෛර කරනවට වඩා මෛත්‍රී කරන එක ලේසියි. ඒ නිසා ඒ වගේ අය ගැන අපේ හිතේ තියෙන වෛරය මානසික ව අත් හරින එකයි කළ යුතු වන්නෙ. බාහිර පුද්ගලයෙක් ගැන ඇති වන වෛරයකින් දිග් ගැහෙන්නෙ අපේ සංසාරයමයි. ආගමික අරුත පැත්තකින් තියලා බැලුවත් එතැනින් කිළිටි වෙන්නෙ අපේ හදවතමයි. ඒ නිසා හොඳම වැඩේ තමා ඔවුන්ට ඔවුන්ගෙ පාරෙ යන්න දීලා අපි අපේ පාරෙ ගමන් කරන එක... 



අනිත් එක ඒ වාගෙ අය ගැන අපේ හිතේ තියෙන වෛරය පවා එක්තරා ආකාරෙක බැඳීමක්. කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන්නෙත් ඔහු හෝ ඇය ගැන හිතන නිසානෙ. ඔවුන් හා සම්බන්ධ අප්‍රසන්න මතක මතක් කරන නිසානෙ. ඉතින් අප්‍රියයන් ගැන වෛරයක් ඇති නොකරගෙන ඉන්න අපට පුළුවන් නම් ඔවුන් ගැන හිතන එකත් ඉබේටම නතර වෙනවා. එක පාරක් උත්සාහ කරලා බලන්න.. අප්‍රියයන්ට වෛර කිරීම නැවැත්තුවාම ඔවුන් ඔබේ ජීවිතයෙන් ඉබේටම ගිලිහිලා යනවා.

ඒක කියන තරම් පහසු නැහැ. වැසි දැරියටත් ආශ්‍රයට අප්‍රිය කෙනෙක් මුණ ගැහෙද්දි හරි අපහසුයි. තරමක් තරහත් යනවා. ඒත් ඒක අඩු කරගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. දවසක් වැසි දැරිය යමෙක් ගැන තරහ ගිහින් ඉන්න මොහොතක රීසිවරේ එහා පැත්තෙන් ඇහුණු සන්සුන් කටහඬකින් ඒ තරහා හොඳටම නිවිලා ගියා. 

මට නම් තරහකාරයන්ව ඈත් කරන්න කොයි තරම් වුවමනාද කිව්වොත් මං එයාලා එක්ක තරහින් ඉන්න එක අතෑරලා දානවා.. ඔයත් එහෙම කරන්නකො... 

කොයි තරම් අපහසු වුණත් එහෙම කරන්න පුළුවන් නම් හිතට සැහැල්ලුවක් දැනෙනවා. ගල් දෙකක් වුණත් එකිනෙක ගැටීමෙන් උපදින්නෙ ගින්දර ම පමණයි. ඒත් කා එක්කවත් ගැටෙන්නේ නැතුව ජීවිතයට තමා මත්තෙන් ගලා යන්න ඉඩ දුන්නාම නිවිහැනේ හුස්ම ගන්න පුළුවන්. යහපත් මානව සම්බන්ධතා ගොඩ නැගෙන කොට අයහපත් මානව සම්බන්ධතාවල නිස්සාරත්වය අපට ම වැටහෙන්න පටන් ගන්නවා.

අනෙක් අතට කොතෙක් ආශ්‍රයට අපහසු අය මුණ ගැහෙද්දිත්, ඔබට පුළුවන් නම් මනුෂ්‍යත්වය ගැන තියෙන අප්‍රමාණ විශ්වාසය නැති නොකරගන්න, අඩුම තරමෙ මිනිස්සු අපට දෙන අයහපත පෙරළා ලෝකයට එකතු නොකර ඉන්න, කොතෙක් අප්‍රියයන් ඔබේ ජීවිතේට ළං වුණත් ඔබ පැරදිලා නැහැ.

Thursday, September 15, 2016

මා කැමති ම ගී සොළොස..))

 “If music be the food of love, play on” 

අතීතයෙ දවසක ශේක්ස්පියර් පවා එහෙම කිව්වා. ප්‍රේමයත්, සංගීතයත් අතර තිබෙන සම්බන්ධය එපමණට අවියෝජනීයයි. ප්‍රේමයෙන් වියුක්ත ව ගත්තත් ගීතය පෘතග්ජන ජීවිතයත් එක්ක පුදුමාකාර විදියට බැඳී තියෙනවා. ජීවිත කාලය පුරා අපි අනන්ත සංඛ්‍යාවක් ගීත අහනවා. ඒ අතරින් ඇතැම් ගීත අපිට වෙනස් විදියටකට දැනෙන්න පටන් ගන්නවා. ඇතැම් විට ඊට හේතුව අපේ පුද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්.. අත්දැකීමක් නැතිව වුණත් මනරම් - හෘදය සංවේදී ගීත රස මනසක් ඇති ඕනෑ ම කෙනෙකුට ඉබේ ම සමීප වෙනවා.. ඒක ඔබටත් - මටත් පොදුයි..

මේ වාගෙ අනන්ත අප්‍රමාණ ගීත සංඛ්‍යාවක් අතුරින් තමන් වඩාත් ම ආශා කරන ගීත තෝරා බේරා ගැනීම ඉතා ම අපහසු කාර්යයක්. ඒත් බ්ලොග් අවකාශයෙන් මුණ ගැහුණ සුන්දර මනුස්සයෙක් වන ඉයන් මාමා, සියලු බ්ලොග්කරුවන්ගෙන් විවෘත ආරාධනයක් කරලා තිබුණා තමන් කැමති ම ගී කිහිපය ගැන සටහනක් තමන්ගේ බ්ලොග් අඩවියේ පළ කරන හැටියට. තරඟයකට හෝ රැල්ලකට එකතු වීමේ අරමුණින් ලියැවෙන ලිපියක් නම් නොවෙයි මේ. කලක සිටන් ප්‍රියතම ගී ගැන ලියන්නට අදහසක් තිබුණත් එයට ඉඩක් ලැබුණේ නෑ. ඉයන් මාමාගේ ඇරයුම ඊට සුදුසු ම මොහොත වග හිතුණ නිසා වැසි දැරියටත් තමන්ගේ කැමති ම ගීත කිහිපය ගැන සටහනක් තබන්නට හිතුණා.

පුංචි ම කාලයේ පටන් මගේ ගීත එකතුවේ මුලින් ම තියෙන ගීතය වුණේ මගෙ දුවේ නුඹ අවදියෙන් නම් ගීතය. තාත්තා, මා වෙනුවෙන් කියන ගීයක් වගෙයි මට හැමදාමත් මේ ගීය ඇහුණේ. යම් දිනයක මගේ දියණියත් ඇගේ තාත්තා ඈට කියන ගීයක් විදියට මේ ගීතය විඳිනු ඇති යැයි සිහින පැතුමක් වයසින් වැඩෙත් ම මට දැනෙන්නට පටන් ගත්තා. ඒ හේතුව උඩත්, මෙහි අවසන් කොටසේ ඇති මේ වචන ටික නිසාත් වැසි දැරිය මෙගීයට හුඟක් ම කැමතියි..

ගණ කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණයගැතියි
ලොව දුන්න දේවල් අද අපට
හෙට ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරේ නම්
මුළු ලොව ම ඔබටත් ආදරෙයි..


පද - රත්න ශ්‍රී විජේසිංහ/ සංගීතය - කරුණාරත්න විජේවර්ධන / ගායනය - කරුණාරත්න දිවුල්ගනේ

දෙවනු ව මා තෝරා ගත්තේ නන්දා මාලිනියගේ පවන ගීත එකතුවේ එන ගීතයක්. අසූව දශකයේ දේශපාලන වියවුල් පැවති කාලයේ නිර්මාණය වුණු ගීයක් මෙය. මා උපත ලබන්නටත් පෙර ලියැවුණු - ගැයුණු මේ ගීතය ගැන එදා මේ දේශපාලන අදහස් ම දරපු ඇත්තන් අද දරන්නේ වෙනත් අදහසක් වෙන්නට පුළුවන්. ඒ කෙසේ වෙතත් පළමු ව මේ ගීය අහපු දවසේ වගේ ම අදත් මේ ගීය අහද්දී මගේ සිරුරේ හිරිගඩු පිපෙනවා. නන්දා මාලිනියගේ අයෝමය ස්ත්‍රී කටහඬ මගේ සිරුරේ ඇටමිදුළු තුළ පවා ගලා යන බවකුයි ඒ අසා සිටින කල දැනෙන්නේ.

සාදු ජන ගණ මනා - සබා ගැබ හොබවනා
දැහැන්ගත නොවී මා ගීතයෙන් - හිඳින් පුටු කබල් මත සීරුවෙන්..
ලී යකඩ ගොඩවල් ය වැයෙන්නේ - කටුක පදපෙළවල් ය ගැයෙන්නේ
දාඩියයි ගත පුරා ගලන්නේ - මිනිසුන් ය ගයන්නේ වයන්නේ..

කම්හලේ බිත්තියේ අඟුරු කැටයෙන් ලියූ කුරුටු ලිපි මගේ මහ ගී පොතයි
කිවියරන් විසින් නොව දුකට පත් දන විසින් එදළ රළ පද බැඳුම් විරචිතයි
ඔබට ගී ගයන මම කෝකිලාවක නොවෙමි - මග තොටේ ඔබ දකින ගැහැණියයි..

කලා මර්යාදා බිඳින්නට වි නම් මට - බිඳ හළෙමි සැහැසි ලෙස චණ්ඩ මැරවරියක් ව
යළි කියමි නැත අපට භද්‍ර වූ දේශයක් - භද්‍ර වූ කාලයක් - රාජයක්..

අනන්ත වු දුකින් වුව අතැර කව් රස භාව
ගයන්නට ලද හඬින් කියා සැඩ පරුෂ වැකි
අප මැරුණු කල අපේ දරුවනේ,
ගයව් තෙපි වැස භද්‍ර දේශයක - රාජයක
අප වෙතින් පළා ගිය මධුර ගී..!

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න/ සංගිතය- රෝහණ වීරසිංහ / ගායනය - නන්දා මාලිනී

කැමැත්තේ අනුපිළිවෙළට ගීත නම් කිරීම අපහසු නිසා මතක් වෙන පිළිවෙළටයි මෙගී පෙළ ලියා තබන්නෙ. නිදහස් සිතිවිලි ලියන රවි මාමා කියන්නා වගේ වැසි දැරිය හැත්තෑව අසූව දශකයේ ජීවත් වෙන තලත්තෑනි බවලතියක් හින්දා ඊළඟට තෝරා ගත්තේ පැරණි රසාංගයක්.

හංසරාණී ආදරේ
මදාරා පරසතු විලේ
මීවිතේ මදිරා බොනූ
මගේ සිත උදුරා ගනූ..

පද - නිහාල් ජයසිංහ/ සංගීතය - ෂෙල්ටන් ප්‍රේමරත්න - හරූන් ලන්ත්‍රා/සුජාතා අත්තනායක

මේ ගීයේ පදවැල අතිශයින් රොමන්තිකයි. ඒ නිසාමයි මං මේ ගියට මෙපමණ ආශා කරන්නේ. හංසරාණී ආදරේ - හංසයාණෙනි ආදරේ වැනි මෘදු පෙම්වත් වදන් යොදා යුග ගී තනන්නට අද කාලේ ගීත රචකයන්ට බැරි මොකද කියා මේ ගිය අහන හැම මොහොතක ම කල්පනා වෙන්නෙ නිරායාසයෙන්. එක අතකට අඬා වැළපෙන සින්දු විතරක් බිහි වෙන යුගයක ගීතවල මේ වාගෙ සෞන්දර්යාත්මක පද දකින්න නොලැබෙන එක පුදුමයකුත් නොවෙයි.

සිව්වනු ව මෙහි සටහන් කරන ගීතය මේ ලිපියට තරමක් අදාළයි. ඒ, මේ ගීය රචනා කොට තිබෙන්නේ අපිට ගීත තෝරාගන්නට ආරාධනා කළ ඉයන් මාමා වීම නිසායි. ඔහු බ්ලොග් රචකයෙක් වීම නිසාවත්, පුද්ගලික හිතවත්කමක් නිසාවත් නොවෙයි කිසිසේත් ම මෙගීය මගේ ප්‍රියතම ගීත ලැයිස්තුවට එකතු වෙන්නේ. අඩුම තරමේ මා ඔහුව මුණ ගැසී කතාබහ කොටවත් නැහැ. මේ ගීය වැදගත් වන්නේ මෙහි ගැබ් වී තිබෙන මනුෂ්‍යත්වයත් - පුළුල් චින්තනයත් - ස්ත්‍රීත්වය පිළිබඳ යහ ආකල්පයත් හෙට ලෝකය තනනු පිණිස අතිශයින් ම අවැසි වන හෙයින්. කාන්තා දිනය උදෙසා රචනා වුණු මේ ගීය ඇසූ පළමු දිනයේ මගේ ඇසට කඳුළක් ආවා. ගැහැණිය සෙල්ලම් බඩුවක් කොට සලකන බියකරු සමාජ වකවානුවක ඇය ගැන අසීමිත ගෞරවයක් සහිත ව ලියූ මේ ගීය මා තුළ ඇති කළේ ප්‍රහර්ෂයක්. ඇතැම් පිරිමින් පමණක් නොව ගැහැණුන් පවා ගැහැණිය හෙළා දකින තත්ත්වයක් තවමත් ලංකාවේ දකින්නට ලැබෙනවා. එවන් සමයක ලාංකේය කවියකු අතින් සටහන් වන මේ පදපෙළ නිහඬ විප්ලවයක් ලෙසයි මා දකින්නේ. ඉයන් මාමේ, සමස්ත ලාංකේය කාන්තාවන් වෙනුවෙන් ඔබට ස්තූතියි..!

“ සිව් සැටක් වූ මායමින් - හැදිමිටක් දිග නුවණකින්
පින තියෙන්නේ දොර කොණේ කිවූ කාලය දැන් ගිහින්
ලේවලින් පෙව් කිරිවලින් - දරු රැකී ගෙදරැති බුදුන්
තොටිලි පැදවූ අනුහසින් - දැන් ළඳුන් සිංහාසනේ..

අකුරු කියැවූ ගුරු මවුන් - ඇදුරියන් සරසවි බිමේ
දූවරුන් රැකි මව්වරුන් - රට මුදල් සෙවු දූවරුන්
රණ බිමේ යුද සෙබළියන් - ගුවනෙ සැරිසැරු නියමුවන්
රටට බත දුන් ගෙවිලියන් - ලක ම ජය ගත් බව කියයි..

පද - ඉයන් ලින්තොට/ සංගීතය සහ ගායනය - ජගත් වික්‍රමසිංහ

ඊළඟ ගීතය පැරණි රසාංගයක්. ලංකාවේ එදා මෙදාතුර බිහි වුණ මනරම් ම යුග ගීත අතුරින් මගෙ ජීවිතයට වඩාත් ම සමීප ගීය ගැනයි මේ ලියන්නෙ.

ඒ සමීප බවට හේතු වන්නෙ පහත පදපෙළ..

ගුණ සුවඳට මත් වෙනවා
හද මල් උයනක් වෙනවා
සිත උතුරා ගලන පැයේ
ඔබ ළං වෙනවා..

පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ/ සංගීතය- ක්ලැරන්ස් විජේවර්ධන / ගායනය - ජෝති/සුජාතා

ඕනෑ ම පෙම්වතෙක්, පෙම්වතියක් මේ හිත උතුරා ගලන හැඟීම අත් විඳ ඇතුවා නිසැකයි. අනෙකා කෙරෙහි අප්‍රමාණ ප්‍රේමයකින් තමන්ගේ හදවත පිරී යන නිමේෂය හඳුන්වන්නට වඩාත් ම ගැළපෙන වචන, අපූරු ම අන්දමකට එක්තැන් කරන්නට ගේයපදරචකයා සමත් වෙලා තිබෙනවා. අනෙක් අතට ජෝතිගේ යෞවනය උතුරා හැලෙන ගැඹුරු කටහඬත්, සුජාතාගේ ළතෙත් මධුර ස්වරයත් ගීයෙහි පදවැලට උපරිම සාධාරණය ඉටු කොට තිබීමත් මේ මනරම් බවට හේතු වී ඇති වගයි මට දැනෙන්නේ. මේ කලබල ජීවන රටාව ඇතුළෙ මත් විය හැකි තරමෙ ගුණ සුවඳක් සහිත පෙම්වතුන් විරළ වෙන්න පුළුවන්. ඒත් ප්‍රේමය මනරම් වෙන්නෙ එහෙව් ගුණ සුවඳක් ඇති හදවත් දෙකක ඉපිදුණාමයි..  

මීළඟ ගීය ලංකාවේ එක්තරා සංගීතමය යුගයක් නියෝජනය කළ මධුර ස්වරයකින් ගැයුණු එකක්. රේඛා ටෙලිනාට්‍යයේ ගීත ගැන කවුරුන් හෝ මිට පෙර ලියා තිබුණත් ඒ බ්ලොග් අඩවිය කුමක්දැයි මට එකවර සිහිපත් වන්නේන නැහැ. රේඛා හී ගීත රාශියක් ම ගැයුණේ චන්ද්‍රලේඛාගේ මනෝහර හඬින්. ඇත්තටම මට මෙහි සටහන් කරන්නට වුවමනා වූයේ ඇගේ වෙනත් ගීතයක්. සුරාසොඬ සැමියෙකු වෙතින් බිරිඳක් කරන ආයාචනයක් සඳහන් වූ ඒ ගීයේ මුල පද මට මතක නැහැ. ඒත් මැද කොටසක මෙසේ සඳහන් ව තිබුණ වග මතකයි, මගේ මතකය නිවැරදි නම්..!

සඳකැළුම් අතුළ දිගු මාවතේ ඇවිදින්න
නීල පලුපත් අතර මොහොතකට තනි වෙන්න
දෙතොල් පෙති මත රැඳුණ මධු පැනින් මත්වෙන්න
මධු සැලේ දොර වසා මා වෙතට යළි එන්න

ඒත් ඒ ගීයේ මුල කොටස අමතක නිසාත්, එහි හඬපටයක් සොයාගැන්මට නොහැකි වූ නිසාත් ඒ වෙනුවට රේඛා හි ම එන වෙනත් මා ආසා කරන ගීයක් මෙහි සටහන් කරන්නට සිතුවා. මල් කිති කවන මේ ගීයටත් මං ඉතාමත් ම ආදරෙයි.

තරු එළිය ද හිරිහැර කරයි
දිලි දිලි නිවෙමින් - නිවි නිවි දිලෙමින්
මඳ සුළඟ ද කලබල කරයි
මල් කිති කවමින් - දියරළ බිඳිමින්..

පද - මහාචර්ය සුනිල් ආරියරත්න/ ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා

අමරදේවයන්ගේ ගීත අතුරින් එකක් තෝරා ගැනීමේ අන්ත අසීරු මෙහෙයුමෙන් තේරී පත් වුණේ මෙන්න මේ ගීතය. ජනකවි ආරට ටිකක් හුරු ව, ළයාන්විත බසකින් ගෙතුණු පදවැලත්, හිත උඩ අඩි තියා ඇවිදින සංගීත රටාවත් නිසා එතුමන්ගේ අනෙක් ගීත රාශියක් අතරින් මට මේ ගීය ම තෝරගන්න හිතුණ ද කොහෙද.. ඔකඳ සඳ, සඳකත්මිණි විල, වැටී මල් පොකුරු ළැම පිට, ඇළී වෙළී හමන පවන්.. වාගෙ සරල සුන්දර වචනවලින් පිරුණු මේ ගීතය මාව පිස්සු වට්ටන තරමට මනරම්.. මට නම්..!

පද - මහගමසේකර/ ගායනය - පණ්ඩිත් අමරදේව  
                                                          
ඒ වාගේ ම වැසි දැරිය ආදරය කරන ගීතයක්, නන්දා මාලිනියගේ නවාතැන්පොළ. මා මේකට ආසා කරන්නෙ පුද්ගලික හැඟීම් මත වුණත් ඕනෑ ම හිතකට අහු වෙන චමත්කාරයක් මේ ගීතයෙ හැම අහුමුල්ලක ම හැංගිලා තියෙනවා. ජීවිතය වන්දනාවක් නම් එහි නවාතැන්පොළ පෙම්වතාගේ සිනහව වගයි, පෙම්වතිය කියන්නේ.. ප්‍රේමයට ඊටත් වඩා අපූරු නිර්වචන කොතැනින් සොයන්න ද..?

"දයාවේ සඳ සිහිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ.."

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න/ සංගීතය - රෝහණ විරසිංහ/ ගායනය-නන්දා මාලිනී

මෑතක දී ම අහන්නට ලැබුණ ගීයකුත් මේ ගී පෙළට එක් කරගන්නට සිතුණා. වික්ටර් රත්නායක - සුජීව ප්‍රසන්න ආරච්චි සුසංයෝගයෙන් බිහි වුණ ගීත ඇල්බමයෙනුයි මා පළමු වරට මේ ගීතය ඇසුවේ. එහි තිබුණ ගීත සියල්ල ම වාගෙ මනහර වුණත් මේ ගීයේ පැවතුණ වෙනස මාව මේ ගීය ම තෝරාගන්නට පෙළැඹුවා. ආධ්‍යාත්මික ප්‍රේමයක තිබෙන පවිත්‍ර සුන්දරත්වය මේ ගීයෙන් ගලා හැලෙනවා. බෞද්ධ සංස්කෘතිය තුළ අපට හමු වන ශුද්ධ භූමි ගේහසිත ප්‍රේමයට සම්බන්ධ කිරීම තුළ ඇත්තේ අලෞකික මිහිරක්. මේ ගීය අසන කෙනෙක් තුළ ලෞකික හැඟීම් වෙනුවට උපදින්නේ ප්‍රේමය පිළිබඳ භක්තිපූර්ණ හැඟීමක්.

බෝ කොළයක් වෙන්නම්
මම මහ බෝ මළුවේ
ඔබ නළමුදු සුවඳ වෙන්න
මහමෙව්නාවේ.."

පද - සුජීව ප්‍රසන්න ආරච්චි/ සංගීතය සහ ගායනය - වික්ටර් රත්නායක

තවත් ගීයක් මේ මොහොතේ අහම්බෙන් සිහිපත් වෙනවා. එහි වචන පෙළත්, ගායක දෙපළගේ තියුණු ගීතවත් හඬ මාධූර්යයත් වචනින් විස්තර කළ නොහැකි තරමට අපූරුයි. එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි අවියෝජනීය පෙම් යුවළකගේ ප්‍රේමයක් ගැනයි මින් කියැවෙන්නේ.. පදවැල සඳහා යොදා ගෙන ඇති වචනවල තැවරුණු අනුරාගය අතිශය සියුම්.. ඒ වාගේ ම රසවත්..

පුෂ්ප මකරන්දය මාගේ
භෘංග මදිරා රස ඕගේ
බොන්න තව මන්ද ප්‍රමාදේ
වෑහේ රසේ..

පෙම්වතා එසේ අසද්දී පෙම්වතිය මෙසේ පිළිතුරු දෙනවා..

භෘංග හිමි හංස විමානේ
පුෂ්ප රේණු රන් ගුලාවේ
බැන්ද කිංකිණි අනුරාගේ
වෑහේ රසේ..

ගායනය - නාරද දිසාසේකර/ සුජාතා අත්තනායක

ආධ්‍යාත්මික ප්‍රේමයක් ගැන මනරම් හද සිත්තමක් අඳින නිරෝෂාගේ මේ ගීයත් කොතෙකුත් ඇහුවත් එපා නොවෙන්නක්.. අනුරාගය මුල් කොට ගෙන ලියැවුණු ගීත කොතෙකුත් තිබුණත් මානසික ප්‍රේමය හෙවත් ප්ලේටෝනියානු ආදරය පිළිබඳ ව ලියැවුණු පදවැල් හරි අඩුයි. ඒ අතරේ මේ ගීය මන්ද මාරුතයක් ව හිතේ තන්ත්‍ර පිරිමදිනවා. 

බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනක වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැතිබර වී..

පද - බන්දුල නානායක්කාරවසම්/ ගායනය - නිරෝෂා විරාජිනී

වැසි දැරියගේ හිත බැඳි, මිල්ටන් පෙරේරාගේ තවත් පැරණි රසාංගයක් මේ. පෙම්වතිය වෙනුවෙන් දෑවැදි ඉල්ලන පෙම්වතුන් සහ පෙම්වතාට වෙනුවට පෙම්වතාගේ කාර් එකට පෙම් කරන පෙම්වතියන් දකින කල මට නිරායාසයෙන් ම මේ ගීතය සිහිපත් වෙනවා.

හද පියුම මගෙ නෙළාලා - ඔබෙ දෙපා ළඟ පුදාලා
හිස් දෑතිනි අද ඉන්නේ..
පිදු පියුම පර නොවේවා - මතු මතු ද පුබුදු වේවා
මා එපමණයි පතන්නේ..

 ගායනය - මිල්ටන් පෙරේරා

ප්‍රේමකීර්තිගේ ගණන් කළ නොහැකි ගීත සමුච්චයෙන් මා වඩාත් ම ආශා කරන එක් ගීතයක් මෙහි ලියා තැබිය යුතු යි. ප්‍රේම් අතින් ලියැවුණු හැම වචනයකට ම වාගේ ආසා කරන පිස්සුවක් මට තිබුණත් එක් ගීයකින් පමණක් මෙතැනදී සෑහීමකට පත් වෙනවා..

මේ පෙම් හසුන කන වැකෙන වාරයක් වාරයක් පාසා ම මට හිතෙන්නෙ දුරකථන කියා යමක් නොතිබුණා නම් කොච්චර අපූරුද කියලයි..

කල් ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැන ම පිය කතේ
කල්පනා කළ පමණ මට කල්පනාවක් නැතේ
ඇඳිරිය ද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවණක එක ම පැල්පතේ

පද - ප්‍රේමකීර්ති ද අල්විස්/ සංගීතය සහ  ගායනය - වික්ටර් රත්නායක

ඊළඟ ගීයත් ඉතාම අසීරුවෙන් තෝරා ගත් ගීයක්.. ශබ්ද මාධූර්යයත් - අර්ථ මාධූර්යයත් බොහෝ ම අපූරුවට එක්තැන් වෙච්ච නිමේෂයන් ගණනාවක් මේ ගීයේ එක පිට අත් විඳින්නට ලැබෙනවා.

“නෙළා ගන්න ඔබ සිත් බඳී නම්
  පරවෙන්න සුපිපී ඉමී..

  ගලා යන්නෙ ඟඟුලක් වගේ නම්
  ළතැවෙන්න ඉවුරේ ඉමී.."

පද- / ගායනය- මිල්ටන් මල්ලවආරච්චි

අපේ පරපුරේ ගීත නම් තෝරා ගත්තේම නැති තරම්.. උඩුබුරන සහ වැළපෙන ගීතවලට ආසා උපදවාගන්නට අසීරුයි. ඒත් අනූව දශකයේ උපන් අපේ පරම්පරාව ගැන ආඩම්බර විය හැකි අන්දමේ ගීතත් ඉඳහිට බිහි වෙනවා. ශානිකා සුමනසේකර, හර්ෂණ දිසානායක, ලක්ෂණා ලක්මිණී ආදී ශාස්ත්‍රීය සංගිතය වෙනුවෙන් ඇපකැප වෙන යහපත් තරුණ පරම්පරාවක් සිටින බව මේ මොහොතේ මතක් කළ යුතුමයි. අහම්බයෙන් කන වැකුණු මේ අපූරු ගීය තෝරා ගන්නේ අපේ පරපුරේ දිගු ගමනක් යන්නට ඔවුන්ට සුබ පතන අතරේමයි.. 

පැතුම් මල් නෙළා පැසකට 
අතින් අත අරන්
ගොසින් ජීවිතේ සමනොළ 
වඳිමු අත් බැඳන්

පද - බුද්ධිකා නිශාන්ති සෙනරත් යාපා/ සංගීතය-දර්ශන රුවන් දිසානායක/ ගායනය - හර්ෂණ දිසානායක/ලක්ෂණා ලක්මිනී

මෙගී පෙළ අවසන් කරන්නට තෝරා ගත්තේ නන්දා මාලිනියගේ ගීතයක්. වැසි දැරියගේ හද තන්ත්‍ර වඩාත් ම අපූරුවට පිරිමදින කටහඬ හිමි ඈට නිසා, ඇගේ ගී වැඩිපුර තෝරා ගැනෙන්නටත් ඇති. තවත් ගීත රාශියක් එක පෙළට මතකයට නැගුණත් මේ මොහොතේ වඩාත් ම දැනෙන ගීයෙන් ලිපිය නිමැවීම සුදුසු යැයි හිතෙනවා..

දැන් මැදියම් රෑ.. මේ මොහොතේ නිවසින් ම අවදි ව ඉන්නෙ මා විතරයි.. අවට නිවෙස්වලත් විදුලි පහන් නිවිලා. බොහෝ දෙනා නිදි ඇති. ඉතින් මට මේ මොහොතේ මේ ගීය ලෝකේ තියෙන අපූරු ම ගීයක් ලෙස හැඟී යාම වරදක් ද..?

මුළු නුවර ම නිදිගත් මේ මොහොතේ
ඔබ පමණක් අවදි ව ඇත යහනේ..
එක ම සඳක් එක තරුවක් යට
ඔබ ඔබේ පැලේ - මම මගේ පැලේ..

වන උයන් පුරා මල් සමය උදා වී
දියදම් දිනිතිය යොවුන් වියේ..
අප මධුර මිලනයේ තියු ගී රාවේ
ප්‍රාර්ථනා කරන්නී...
කවදාද අප හමු වන්නේ..?
කවදාද අප හමු වන්නේ..?
ඔබ ඔබ පැලේ..
මම මගේ පැලේ..

පද - මහාචාර්ය සුනිල් ආරියරත්න/ සංගීතය - රෝහණ වීරසිංහ/ ගායනය - නන්දා මාලිනී

Monday, August 1, 2016

නන්දිතය - සතුට සහ මිනිස්සු

                                 
නන්දිතය මුණ ගැසුණේ අහම්බෙනි. පුස්තකාලයේ කොහේදෝ මුල්ලක තිබී එය සොයාගෙන ආවේ තාත්තා ය. සුනේත්‍රා රාජකරුණානායක යනු ඔහුත්, මාත් දෙදෙනා ම එක සේ ප්‍රිය කරන ලේඛිකාවක බැවින් ඇගේ පොතක් කොතැන තිබුණද අප ඇසට හසු වෙයි. බුද්ධදාසී, කවිකඳුර, සඳුන්ගිර ගිනි ගනියි, සද්ගුණාකාරය, සුබෝධාලංකාරය ඇතුළු ඇගේ පොත් හැමෙකකින් ම පාහේ මසිත මත ඇඳෙන්නේ මේ යැයි කිව නොහැකි තරමේ මනරම් සිත්තම් ය. නන්දිතය වෙනුවෙන් මෙසටහන වෙන් වන්නේ එහෙයිනි.

මෙහිදී මා වඩාත් ම අවධානය යොමු කළේ නන්දිතයෙහි තන්හි තන්හි හමු වන පැණැසි කියමන් කෙරෙහි ය. ඒ හරහා විහිදෙන ආලෝකය ඔස්සේ නන්දිතයෙහි හර අරටු ගැන යමක් ලියන්නට උත්සාහ කළෙමි.
මේ කතාව ගෙතෙන්නේ චීනයෙහි වසන ස්ත්‍රි - පුරුෂයන් කිහිප දෙනෙකු වටා ය. කතාව ඉදිරිපත් වන්නේ ඒ එකිනෙකාගේ දෘෂ්ටි කෝණවලිනි. පරිච්ඡේදයෙන් පරිච්ඡේදයට කථකයා වෙනස් වන්නේ එහෙයිනි. එකිනෙකාගේ සංකීර්ණ මනෝභාවයන් හරහා සුනේත්‍රා මනුෂ්‍ය මනසෙහි අනේකවිධ හැඩතල ද, සතුට සොයා මිනිසා කරන සංචාරය ගැන ද දිගු පුළුල් විවරණයක යෙදෙයි.

වරෙක සුනේත්‍රා මෙසේ හෙළි කරන්නේ මානුෂ මනසක සැබෑ ස්වභාවය යි.

කාටවත් කොහාටවත් පැනලා යන්න බෑ. කොහේ ගියත් මිනිස්සුන්ට අමාරු වෙන්නෙ අනුන් එක්ක නෙවෙයි, තමන් එක්ක ජීවත් වෙන්නයි. (11 පිට)

මිනිසුන් එබඳු ය. තම අභ්‍යන්තරය සකසා නොගන්නේ නම් ලොව සිටින යහපත් ම මිනිසුන් ඇසුරට ලැබුණ ද පලක් නැත.

නන්දිත නම් ශ්‍රී ලාංකිකයා චීනයට ගිය කළ ඔහුට චීන ජාතික රියැදුරෙක් හමු වෙයි. නන්දිතට චින කතා කිරීමට නොහැකි සේ ම චීන රියැදුරාට සිංහල කතා කළ නොහැකි ය. එහෙත් ඔවුන් තමන් දෙදෙනාගේ භාෂාවෙන් එකිනෙකාට නොතේරෙන දෑ කතා කරති. නන්දිතට තම ආත්මය දෝරෙ ගලා යන්නට දීමට දැඩි අවශ්‍යතාවක් ඇත. එය නන්දිතට පමණක් නොව ලෞකික ජීවිතයක නිවසන අප කාටත් පොදු ආශාවකි. සුනේත්‍රාගේ වචනවලින් ම කියන්නේ නම් ලය විරේකයකි.

මචං, මටත් ඕන වෙලා තිබුණෙ උඹ වගේ සිංහල දන්නෙම නැති එකෙක් එක්ක අමු හිංගලෙන් කතා කරන්න
 යන ප්‍රකාශය ඊට සාක්ෂ්‍ය දරයි.

චීන රියැදුරා අසන කිසිවක් තමාට නොවැටහුණ ද ඔහු අසන පැනවලින් නන්දිත තමාට රිසි පැන නිර්මාණය කරගනියි.

ලාංකිකයා කැමති වුණේ තමන් විශ්වවිද්‍යාලයක උගන්නවද කියලා ඇහුවා කියලා හිතන්නයි (12 පිට) -     

උනුන්ගේ භාෂාවන් නොදන්නා දෙදෙනෙක් කතා කරන කල දෙදෙනාම සිතා ගන්නේ තමන්ට ඕනෑ දේවල් ය. හතරබීරි කතාව වාගේය. එහෙත් හිස් උගතා සිතන්නේ තමන්ගේ ශ්‍රී විභූතිය ලෝකය ම දැන ගත යුතු බව යි. නන්දිත වෙතින් පිටතට එන්නේ ඒ පැණැසක් රහිත උගතුන්ගේ පුහු අහංකාරය යි. කතුවරිය පවසන පරිදි ම චීන රියැදුරාට ඉංග්‍රීසියෙත්, සිංහලයෙත් වෙනසක් නැති හෙයින් සිය රැකියාව ඩොක්ටර් කිව්වත්, ඇක්ටර් කිව්වත් ටයිගර් කිව්වත් වෙනසක් නැති වග නන්දිත ද නොදන්නවා නොවේ. එහෙත් ඔහු තමා ගැන තමා තුළ ම අහංකාරයක් ගොඩ නගා ගැන්මට කැමති ය. ඔහු අධ්‍යයනය කරන විෂය බෞද්ධ දර්ශනය වීම නිසා මේ හැසිරීම වඩාත් උත්ප්‍රාසවත් ව නැගේ.

කිරණ් නම් ඉන්දීය තරුණිය විටෙක කියන්නේ තමාට හිත පාලනය කර ගත නොහැක්කේ පොත් සාප්පුවක දී පමණක් බව ය. සාමාන්‍ය ජනයා සාමාන්‍ය දේ කෙරෙහි ආශා බැඳ ගනිද්දී විද්වත් බොහෝ දෙනා කියන්නේ තමන් ආශා බඳින්නේ වැදගත් දේ කෙරේ වග ය. සියල්ල ආශාවන් වග එකී විද්වත්තු නොදනිති. සුනේත්‍රාගේ කියමන්වල ඇති දිසෙන - නොදිසෙන හාස්‍යය මෙවන් අතිශය ප්‍රබල එකකි.

සුනේත්‍රාගේ භාෂාව සිත්තමක් සේ ම මනරම් ය. තෙල්මා ලියූ මාරි කොරෙලි ළඟට වචනයෙන් සිත්තම් අඳින්නට වඩාත් ම සමත්කම් දක්වන ලේඛිකාව සුනේත්‍රා යැයි හඟිමි. මතු දැක්වෙන උපුටනය නිදසුනි.

මම බංකුවක හරි පඩියක හරි ගිම්හාන මණ්ඩපයක හරි ඉඳගන්නවා. ඇල ඉවුර දිගටම විලෝ ගසුයි, පොප්ලර් ගසුයි දියට යටින් උයනක් මවලා. දිය යටිනුත් වළාකුලක හැඩයක් අඳුන ගන්න පුළුවනි.

කොළ තොප්පි දාගත්තා වගේ පෙනෙන කලු හංස පවුල් ඇල දිගේ පීනනවා. ඇල අද්දර පාරවල්වල ඇවිදින පෙම්වතුන් හිටි ගමන් නැවතිලා සිප ගන්නවා. මහලු ජෝඩු අතින් අල්ලගෙන හෙමින් ඇවිදිනව. – 50 පිට

සේ ම බොහෝ ඉංග්‍රීසි උගත් ලේඛක ලේඛිකාවන්ට වැළඳෙන ලංකාව හෙළා දැකීමේ පිස්සුව සුනේත්‍රාට නැත. ඈ බෙයිජිංහි උයනක ලස්සන දකියි. ඉක්බිති කියන්නී මුළු ලංකාව ම එක ම විචිත්‍ර උයනක් වග යි.

විවිධ ජාතී ආගම් සංස්කෘතීන්ට අයත් සාහිතකාමී ගැහැණු තිදෙනකු මෙහි වෙති. ඔවුන්ගේ සාහිත සංවාද අතිශය අපූර්ව ය. ඔවුහු බෙයිජිං හි රැකියා නියුක්ත කාර්යබහුල තැනැත්තියෝ වෙති. මුත් ඒ කාර්යබහුල බවත්, පුද්ගලික දිවියේ නේක හැලහැප්පිලි මැදත් ජීවිතය මනරම් ව විඳින්නට ඔවුන්ට අවකාශයත් වුවමනාවත් තිබේ. අන් අය මස් පුච්චා උයන්සාද පවත්වා බී නටන අතරේ ඔවුන් තීරණය කරන්නේ සාහිත්‍ය සාදයක් - කාව්‍යමය රාත්‍රියක් පවත්වන්නට ය.

එයා උයනට යන්නෙ පොතකුත් අරගෙන. හුඟ දවසට ඒක කවි පොතක්. එයා කැමති කවි අපිටත් ඇහෙන්න කියවනවා.

එක දවසක පොද වැස්සක් වැටෙද්දි කිරණ් අපිව බලෙන් නවත්ත ගත්තා.

චුට්ටක් තෙමුණට දිය වෙන්නෙ නෑ. වැස්සෙම රස විඳින්න ඕන කවියක් තියෙනවා කියලා එයා අපිව ගිම්හාන මණ්ඩපයක සෙවණට එක්කන් ගියා.

න්න අහගන්න එකොළොස් වෙනි ශත වර්ෂයෙ සු - ශී කවියගෙ කල්පනාවක්.

වැසි හැල්මෙන් හිස් අහසක් මනකල්
මීදුම් කඳු මතුවෙයි වැස්සෙන් සිහිලැල්
දුලබ සොවා මෙවිල දසුනුත් සිරිහල්
ඇතු නැතුවා සැරසුම් සිරි පිරි සැම කල්

නන්දිත ප්‍රකාශ කරන පහත ප්‍රකාශයෙහි නිදන් ව ඇති ගැඹුර කොපමණ ද?

බුදුවරු වෙන්නෙත් මිනිස්සුම නිසා ඕනම නරක කෙනෙකුට ප්‍රතිපත්ති නෙළුම් මල් එක එක පුබුදුවා ගන්න පුළුවන් වෙන්න ඕන

රොමාන්තික භාවයේ අනතුර බොහෝ දෙනා විස්තර කරන්නේ කටුක දළ වචනවලිනි. සුනේත්‍රා ඉන් එහාට ගොස් රොමාන්තික අනතුර රොමාන්තික වදන්වලින් ම විවරණය කරන්නීය.

මේ දරුවගෙ ආරක්ෂාවට බලවත් තර්ජනයක් තියෙනව. හර්ද වස්තුවට අපලයි. දෙබරෙක් අනින්න ඉඩ තියෙනව. ඒ වගේම මල් හබල්වලින් ඔරු පදින්න ගිහින් ගිලිලා මැරෙන්න පුළුවනි.

ලංකාවේ විවාහ සංස්ථාව තුළ ඇතැම් ස්ත්‍රීන් අත් විඳින පීඩාව ශ්‍රී ලාංකිකයෙකුගෙන් අසා දැනගන්නා බටහිර යුවතියක්, දෙය්යන්ට ස්තූති වෙන්න ඕන අපි ඔය ශ්‍රී ලංකාවෙ ඉපදුණේ නැති එකට යැයි පවසන්නීය. ඒ ප්‍රකාශය මුසාවක් බවට පත් කිරීමට වත්මන් ශ්‍රී ලාංකිකයන් වන ඔබ අප සැමට වගකීමක් තිබෙන වග ද සුනේත්‍රා මතක් කොට දෙයි.

ඒ හා ම, ශ්‍රී ලංකාවේ ඕනෑම ගෙදරකට ගියොත් බත් කන්න එන්නැයි තමන්ට ඇමතූ යුරු විදෙස්ගත තරුණියක පවසන්නේ ආශාවෙනි. මේ තම රටේ යහපතත් - අයහපතත් දෙක ම සුනේත්‍රා පිරිසිඳ දකින අයුරු ය.

නන්දිත යනු නරක ම නරක මිනිසෙක් නොවේ. ඔහු, ඔබ අප සියලු දෙනාගේ අභ්‍යන්තරය හෙළි කරන කැටපතක් බඳු වෙයි. අප හැම තුළ හොඳත් - නරකත් අඩු වැඩි වශයෙන් පවත්නා හෙයිනි.
කවි ලියන, ස්ත්‍රීවාදී චිත්‍ර අඳින, කෑම හදන, ප්‍රිය කතාබහට දක්ෂ මිනිහෙක්.. යනුවෙන් විටෙක විස්තර වන නන්දිත තවත් විටෙක මහා වංචාකාරයෙකු බවට පත් වේ. ඔබත් අපත් විටෙක ඉතා යහපත් වෙනවා සේ ම තවත් විටෙක නරුම ලෙස හැසිරෙන්නේ නොවේ ද? නන්දිතත් - අපත් යනු දෙදෙනෙකු නොවේ. ලිලියානා, බුන්සිරි, කිරණ්,  ශන් - ග ආදී සියල්ලන් ද අපේ ම විවිධ කොටස් ම ය. කළු සුදු චරිත නොව කළු - සුදු පැහැයන්ගේ අළු පැහැති සම්මිශ්‍රණ ය.

භාෂා උගැන්ම පිණිස තාවකාලික ව එකිනෙකාට ප්‍රේම කරනා ඇත්තන් චීනයේ දී අනන්තාප්‍රමාණ ව මුණ ගැසෙයි. ඒ ව්‍යාජයට සුනේත්‍රා පාඨක අපත් සමඟ ම සිනහසෙයි. පවිත්‍ර විය යුතු ප්‍රේමය, පිළිකුල් කටයුතු නිල සබඳතාවක් වීමේ ගැටලුවයි මේ.

බාලු නම් ඉන්දීය ජාතිකයා වරෙක සිය අත්තා තමාට දුන් සදුපදේශයක් සිහි කරයි. එය අපට ම අප ව ම පිරිසිදු කරගනු පිණිස වන පිරිසිදුකාරකයකි. සේදුම්කාරකයකි. සතුට උපදවාගන්නා විධිය පිළිබඳ යතුරකි.

තමන්ට කොයි තරම් නරක වැඩක් කළ කෙනෙක් ගැන හරි වෛරයක් හිතේ තියා ගත්තොත් තමනුත් ඉන්නෙ පිච්චි පිච්චි. නරක මිනිහෙකුට හරි නරකක් වේවා කියලා ප්‍රාර්ථනා කරොත් පිරිසිදුව තියා ගන්න පුළුවන් ළිඳකට හැමදාම අසූචි පොඩ්ඩක් දානවා වගෙයි. ඒක දාන්නෙ අල්ලපු ගෙදර තමන්ගෙ හතුරට ඒ වතුර පොවන්නයි. ඒ වුණාට තමන්ටත් ඒක පෙවෙනවනේ. එහා ගෙදර ළිඳයි මෙහා ගෙදර ළිඳයි යටින් සම්බන්ධයිනෙ.

ඉතිහාසයක් රහිත ඇමරිකානුවන්ට පවා මුල් සොයා යෑමේ වුවමනාවක් ඇති වග සුනේත්‍රා පවසන්නේ ඇමරිකානු අක්මුල් නැති චින්තනයට සිහින් පහරක් ගසමිනි.

ඇමරිකන්කාරයන්ට රජෙක් නැති වුණාට හරි ආසයි අපි චිං රජ පවුලට හරි රාජ සභාවෙ කාට හරි ගෑවිච්ච පවුලකින් පැවතෙනවද කියලා දැන ගන්න.

ශන් - ග නම් චීන යුවතියගේ සීයා අතිශය ආදරණීය වැඩිහිටියෙක් සේ නන්දිතයේ කවුළු තුළින් එබිකම් කරයි. ඔහු සිය මිණිපිරියන් වෙත ප්‍රඥාලෝකය ගෙන එන්නේ නැණසර කවි පබැඳුම් හරහා ය.

හිනා වෙන්න නිදහස තාම තියෙනවා නේද? කවදා හරි ඒක ප්‍රති විප්ලවීය බලවේගයක් කියලා ගුවන් විදුලියෙන් කිව්වොත් හෙම මට කියපල්ලා..

යි වරෙක ඔහු සෝපාහාසයෙන් පිරිසිඳ දකින්නේ චීන දේශපාලනයේ අඬුලුහුඬු තැන් ය.

අර බලපල්ලා අර පායලා තියෙන්නෙ පරණ හඳමද කියලා බලාපල්ලා. මිනිස්සු හඳටත් ගියා එහෙනං. ඒ වුණාට තාම මිනිස්සුන්ට බැරි වුණා මනුෂ්‍යත්වය ඇතුළට යන්න. ඒකට යන්න රොකට් ඕන නෑ. අපේ ඉතිහාසෙ අපේ දර්ශනේ හරියට දන්නවා නං ආයෙ ඇමරිකාවෙවත් රුසියාවෙවත් කාගෙවත් උදව් ඕන නෑ.

මේ පැණවත් වැඩිහිටියෙකුගේ නැණවත්  ප්‍රකාශයකි.
සංසාරය යනු ලෝක වෙළඳ සංවිධානය වැනි දෙයක්දැයි බුදුදහම ගැන මෙලෝ හසරක් නොදන්නා යුවතියක් අසන කල අපට සිනා පහළ වෙයි. එහෙත් සංසාරය ගැන අධ්‍යයනය කොට උපාධි ලද ඇතැම් බෞද්ධ විද්වතුන් ද සංසාරය තේරුම් ගැනීමට කිසිදු වෙහෙසක් නොදරන්නන් නොවේ ද? අප සිනහා විය යුත්තේ කාට ද?

මං ඇහුවෙ නෑ මා ගැන මොනවද කිව්වෙ කියලා. නරක මිනිහෙක් තමන් ගැන කියන දේවල් දැන ගැනීමෙන් මොහොතකට හරි හිත නරක් කර ගන්නෙ මොකටද?
ඔය ළමයා දැන් තමන් ව හොයාගෙන ඒ ඒ කාලවල පහු කරපු නින්දා පීඩා හැම දෙයක්ම කෙටි මනුස්ස ජීවිතෙක චූල සිද්ධි විතරයි කියලා හිනාවකින් ජිවිතේ දිහා බලන්න ගන්න.

මෙබඳු සන්තුෂ්ටි ගවේෂණය පිළිබඳ සදුපදේශ නන්දිතයෙහි තන්හි තන්හී හමු වෙයි.
නන්දිතයෙහි අවසාන භාගයෙහි දී කිරණ් සහ බුන්සිරි නම් ආසියාතික යුවතියන් දෙදෙන අතර ඇති වන මතු දැක්වෙන සංවාදය සමස්ත කෘතියෙහි පැණැස එකට කැටි කිරීමක් බඳු ය. සකල ලෝවැසි ස්ත්‍රී පුරුෂයන් සිය අභ්‍යන්තරය කැණ ආධ්‍යාත්මික සතුට ළඟා කරගත යුතු මඟ නම් මේ යැයි එකී වදන්වල කැටි ව ඇත්තාක් සේ ය.

අපි ව ප්‍රතික්ෂේප වීමෙන් අපිට අහිමිවෙන දෙයක් නෑනේ.
අහිමි වෙනවා නං අපේ ආඩම්බරය විතරයි.
ඒක යට කරන්න මනුෂ්‍යත්වයට ඉඩ දුන්නම එක පාරට අමාරු වුණත් පස්සෙ සඳුන් කල්කයක් ගා ගත්තා වගේ පිච්ච මල් වතුරෙන් හේදුවා වගේ දැනෙයි..

මෙබඳු පැණැසි ගමනක කෙළවර ගුවන්යින් නම් බුදුවරිය සමඟ කෙරෙන සංවාදයකිනි, නන්දිතය කෙළවර වන්නේ. මේ ලිපිය ද ඉන් කෙළවර කරන්නේ එය‍ අප හැම දෙනාගේ ජීවිතවලට අපූරු පාඩමක් යැයි සිතන බැවිනි. මන්ද බුදුවීම යනු සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් වීම පමණක් නොවේ. ඉන් මෙහා ඇති අවබෝධය ලබා ගැනීම නම් බුදුවීම ඔබටත් - මටත් පහසුවෙන් කළ හැකි දෙයක් වන හෙයිනි.

හිනාවෙන්න බැරි මිනිස්සු බුදු වෙන්නෙ නෑ.
ප්‍රතික්ෂේප වීමට බය මිනිස්සුන්ට හිනා වෙන්නත් බෑ.