Thursday, November 24, 2016

මනරම් දවස් + ඒ බෝ සෙවණ යට..

ඊයේ පෙරේදා දවසක ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක රසවින්දන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්නට සිදු වුණා. නව යොවුන් පරම්පරාව නියෝජනය කරන පාසල් සිසුන්ගේ රසවින්දනයත් - ආකල්පත් යහපත් අතට වෙනස් කිරීම කළ යුතු දෙයක් වාගේම කරන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ කටයුතුවල නියැලෙනවා. මේ දවසත් ඒ වගේ ගාල්ලේ ගත වුණු මනරම් දවසක්..

දඟකාරයි - කටකාරයි කියන නව යොවුන් පාසල් සිසු සිසුවියන් ම මේ රසවින්දන වැඩසටහන්වලට සහභාගී වෙන්නේ පුදුමාකාර උනන්දුවකින්. අපේ පාසල් විෂය නිර්දේශවල තියෙන ඒකාකාරී බවෙන් බොහෝ වෙනස් තැනක තිබෙන සාහිත්‍ය රසවින්දනය ඔවුන්ට අලුත් දෙයක්. ඒ වාගේම රසවත් දෙයක්. පන්තියෙ උගන්නද්දි කෑ කෝ ගහලා ගුරුවරුන්ට කරදර කරන දරුවන් ම අලුත් කවි ගැන කතා කරද්දි ඒවා අහන් ඉන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා. 

මේ එක් වැඩසටහනකදී අපිට හරි අපූරු යුවතියක් මුණ ගැහුණා. ඈ අපිත් එක්ක කතා කළේ සාහිත්‍යය ගැන. පොදු කටයුතුවල තියෙන අවශ්‍යතාව ගැන. ඒ අතරෙ තමන් ලියාපු කවි කිහිපයක් ගැනත් ඈ අපිත් සමඟ දොඩමළු වුණා. ගොඩක් හිතවත් වුණාට පස්සෙ තමා කිව්වෙ ඈ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව.

"අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.."

ඈ එහෙම කිව්වා. ඇය වැනි අනාගත වෛද්‍යවරියන් රටට වාසනාවක්. රටේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් දැනෙන වෛද්‍යවරු හිඟ කාලයක ඇගේ චින්තනයෙන් යුතු වෛද්‍ය පරපුරක් බිහි විය යුතු ව පවතිනවා. 

ඉන්පස්සෙ ඇයත්, එක් රසවින්දන වැඩසටහනක් සංවිධානය කළ ඇගේ ඥාති සොහොයුරෙකුත් සමඟ අපි ගියා ඔවුන්ගෙ නිවෙස ආසන්නයේ තිබුණු පන්සලකට. මං ජීවිතයේ දැකපු සුන්දරම පන්සල ඒකයි. බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරලා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත බෝධියේ ශාඛා වටේට රන්වැටවල් බැඳපු පන්සල්, පන්සල් කියා මට නම් දැනෙන්නේ නැහැ. ඒත් මේ පන්සල එයින් වෙනස්. පන්සල වටේට කළුගල්තලාවක් තිබුණා. අදටත මිනිස්සු බණ අහන්නේ ඒ කළුගල්තලාවේ හිඳගෙන වග දැනගත්තාම මගේ හිතේ ලස්සන මනෝරූපයක් මැවුණා. ඒ කළුගල්තලාවේ වාඩි වෙලා දවසක බණ අහන්න ඇත්නම් කියලා මේ ලියන මොහොතේත් මට හිතෙනවා.

පන්සල තිබුණේ පුංචි කඳුගැටයක් මත්තේ. ඒ ඉස්සර පන්සල් තනපු විදිය. ගමේ තිබුණ උස් ම ස්ථානයේ තමා පන්සල තනන්නේ. ස්වාභාවික විපතකදී වුණත් පන්සල ඇතුළේ මුළු ගමේම මිනිස්සු ආරක්ෂිතයි - ජාති ආගම් කුල භේදයකින් තොරව. ඒ බව කතා කරද්දි මට මතක් වුණේ වසර ගණනකට පෙර සමන් සිත්තරා කළ ප්‍රකාශයක්..

"බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන් හී පැවැත්ම තහවුරු කිරීමයි. බුදුදහම මහා වෘක්ෂයකි. ඒ වෘක්ෂයෙහි සෙවණ යට හින්දු,කිතුණු,මුසල්මානු සියලු ආගම් ආරක්ෂිත ය." 

බුදුදහම සවිමත් ව පවතින තාක් අන් සියලු ආගම් ඒ වටා ආරක්ෂිතයි. මන්ද එය ආගමක් නොවන නිසා.. එය ලොව මෙතෙක් පහළ වූ සුවිශිෂ්ටතම දර්ශනය වන නිසා.. මිනිස්සු බුදුදහම ආගමක් නොවෙයි දර්ශනයක් ලෙස පිළිගෙන, ඒහි පස්සික ව විත් එය හදාරන්නට පටන් ගත් දාට මේ ලෝකය මීට වඩා බොහෝමත් ම සුන්දර තැනක් වේවි කියා ඒ මනරම් පන්සලේදී මට හිතුණා.

ගෙවී ගිය ඒ මනරම් දවසේ මතක අතරේ - තවමත් ඒ බෝ සෙවණ යට වැහි දැරියගේ හිත නිසංසලේ හුස්ම ගන්නවා.

26 comments:

  1. මේ වගේ පන්සලකට මමත් ගියා කුරුණෑගල පැත්තේ. වෙලකට මායිම් වෙලා පොඩි උස් තැනක තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. මාත් හරිම ආසයි සෙනඟ ගැවසෙන තැන්වලට වඩා ඒ වාගෙ නිස්කලංක පන්සල්වලට යන්න.. වැවයි-දාගැබයි-ගමයි-පන්සලයි සංකල්පය මතක් වෙන තැන්..!

      Delete
  2. ஃඒ කලු ගල් තලාවේ ඉදන් බණ අහන්න මේ පෝස්ටුව කියවනකොට මටත් හිතුනා:d

    ReplyDelete
    Replies
    1. ඔව් එතන හරිම නිසංසල තැනක්.. හැම පැත්තෙන් ම හුළඟ හමනවා.පුංචි කඳු ගැටයක් උඩ තියෙන්නේ.. ඔයා ගියොත් ආපහු එන එකක් නැහැ.

      Delete
  3. වැහි දැරිය ගාල්ලෙද?

    අපිත් ගාල්ලෙ තමා . . .

    ReplyDelete
    Replies
    1. නෑ මම ගාල්ලේ නෙමේ මල්ලි..

      ඒත් ගාල්ලට ආසයි.හරිම අපූරු දේශගුණයක් සහිත පැත්තක්..))

      Delete
  4. පන්සලේ පින්තූරයක් තියෙනවා නම් අපිටත් බලන්න දාන්න..

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ අවසන් මහරහතන් වහන්සේ,මලියදේව මහරහතන් වහන්සේ ඒ පන්සලේ වාසය කළා කියලා ගමේ මිනිස්සු විශ්වාස කරනවා.ඒ වගේම ආසියාවෙ විශාල ම සැතපෙන බුදු පිළිමේ තියෙන්නෙත් ඒ පන්සලේ.ඒත් ප්‍රසිද්ධ පන්සලක් නෙමේ..

      ඒ ගල්තලාවයි,ගස් ගොන්නයි,පන්සල් කන්දට මූද පේන විදියයි දැකලා මොළේ කොලොප්පන් වෙච්ච මට ෆොටෝ එකක් ගන්න කල්පනාවක් ආවෙ නෑනෙ අක්කෙ..))

      Delete
    2. ඔය යටගල රජ මහා විහාරෙ නේද? මමත් ඔතනට එකම එක පාරක් ගිහින් තියෙනවා.

      ගල් තලාවක් තිබුනා කියලා මතක නෑ. කොහෙද ඉතින් අපෙ අම්මලා එක්ක සොබාව සෞන්දර්ය බලන්න පුලුවනෑ. ගියා මල් තිබ්බා හතර වටේට පඩුරු දැම්මා ආයෙත් ඇදගෙන ආව. තත්වය බොහොම සෝචනීයයි පින්වතුනි. අන්න ඕකයි තත්වය.
      ඈ එතනට මුහුදත් පේනවද? ගාල්ලෙ මුහුදක් තියෙනවා කියලා දන්නෙත් අදයි. ඇත්තටම මුහුද කොයි වගේද? ( හැක්... හැක්... )ගාල්ලෙ ඉදලත් මේ පන්සල ඔය කියන විස්තරත් එක්ක ගලප ගත්තෙ ගූගල් දෙයියා නිසා. ගූගල් දෙයියට පින්. ජය වේ !

      වැඩි විස්තර බලන්න මෙතන බලන්න. -

      https://goo.gl/Wmrj2j

      Delete
    3. නම නම් මතක නැහැ.යටගල විහාරය නොවෙන්නත් පුළුවන්.මොකද ගූගල් දෙය්යා ගාව තියෙන යටගල විහාරේ පින්තූර මගේ මතකේ තියෙන රූපෙත් එක්ක සමපාත නැහැ.ඇල්පිටියත් අම්බලන්ගොඩත් අතර පාරෙයි මං කියන තැන තියෙන්නේ.පාර දෙපැත්තෙම පන්සල.ගූගල් දෙය්යෝ මෙන්න මෙහෙම විස්තරයක් දුන්නා.හැබැයි එතන පන්සලේ නම නම් සඳහන් වෙන්නේ නැහැ.ඒත් තැන එතැන තමයි..

      http://srilankatraditionalhomes.blogspot.com/2008/03/old-temples-by-galle-and-suburbs.html

      කරන්දෙණිය පන්සල කියලා තව තැනක සදහන් වෙනවා..
      https://1.bp.blogspot.com/-3Wr0ND4INjg/Tf4c5uYZ3FI/AAAAAAAAAQ8/yt65uJSSw7g/s320/P1110176.JPG

      මුහුද පේනවා කියන එකේ විශේෂයක් නෑ තමා.ඒත් මේ පන්සලේ උඩම ඉඳන් බලන කොට පහතින් අහසත් එක්ක මුහුද පේන විදිය හරිම ලස්සනයි.. ඒ නැතත් ඉතින් කාස්ටක කොලොම්පුරේ ජීවත් වෙන අපට මුහුද මැජික් තමා මකරෝ..

      Delete
    4. ආ එහෙමද? කොලොම්පුරේ කාස්ටක බව මග හරින්න. වැහි දැරිය වැස්සක් වස්සන්න එපායැ.

      Delete
    5. ඒකනේ වැහි වැටෙන තැන ලියන්නේ..

      Delete
  5. // "අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.." //

    කප්පිත්තා දැන් වයසයි. අපේ තරුණ කාලෙ කැප කරලා රටට සාමය උදා කරලා තියෙන්නෙ රට ඉදිරියට ගෙන යන එක ඔයාලගෙ වගකීම.

    ජය වේවා ! අදයි මේ පැත්තෙ ඇන්කරේ ගැහුවෙ.

    ReplyDelete
    Replies
    1. මේ රිලේ එක දුවන්න අපි බැටන් එක ගන්න සූදානම්.. රට ජාතිය වෙනුවෙන්,ලෝකය යහපත් කිරීම වෙනුවෙන් කළ හැකි සියල්ල අපි කරන්න උත්සාහ කරනවා..

      ජයෙන් ජය..!!

      ඒ වගේ ම, වැහි වැටෙන තැනට ඉතා ම ආදරෙන් පිළිගන්නවා..))

      Delete
  6. බෝ සෙවණ තරම් මගේ හිතන නිවන තැනක් තවම මට දැනිලා නෑ...

    ReplyDelete
    Replies
    1. මටත් එහෙමයි අක්කේ.. ඒත් ඒ නිවෙන හැඟීම ඒ විදියටම දළදා මාළිගාවෙදිත් මට දැනෙනවා..

      Delete
    2. අනිවා අළුත් වැස්සක් වැස්සොත් තෙමෙනවා.

      Delete
  7. Replies
    1. ආයෙ දකින තුරු හිටියේ.. අපේ අම්මා දැන් ළඳුන් සිංහාසනේ අහලා ඒක සෑහෙන්න අගය කළා.. මට කියන්න අමතක වුණා නෙව ඒ බව..!

      Delete
    2. ඔබේ මවට ස්තූතියි කරනවා.

      Delete
  8. ඇත්තටම එවන් තැන් වල බොහෝ සැනසීමක් තිබෙනවා. ඔබේ ලියවීමත් අගෙයි.

    ReplyDelete
  9. මගේ ජීවිතයේ අමතකම නොවන රාත්‍රීන් කීපයක් ගෙවී ගියේ ගියේ රුවන්මැලිසෑයෙ සලපතල මලුවෙදී සහ ගල් විහාරය ඉදිරිපිට මහ ගල් තලාවේදීය.

    කලා සොළස පිරි පුර සඳ අහස මුදුනත දිලෙද්දි දෑස් පියාගෙන බොහෝ වේලාවක් සිත සමාධිගතකොට හිඳ එක් වරම දෑස් පියන් හල ඇසිල්ලේ නෙත අබියස මැවෙනා දසුන ගෙන එන නිරාමිස සුවය විස්තර කිරීමට මා දන්නා වදන් කිසිසේත් ප්‍රමාණවත් නොවේමය.

    ස්තූතියි මැතිණියනි!!!!...:)

    ReplyDelete
    Replies
    1. U must spend another day near Somawathi stupa, Ravi uncle.Yesterday I went there and I was truly amazed to realize how blessed a human being could feel at a sacred place.

      I hate replying in English to your beautiful comment.But my Sinhala fonts are not working and I don't like to use Singlish..!

      Delete