Friday, January 27, 2017

ලිට් පන්තියේ මල් මතක..

උසස්පෙළ ලියන්න ඔන්න මෙන්න තියලා ලිට් පන්තියෙන් අපි සමු අරන් ආ දවසේ මගේ මිතුරියක් අපේ ලිට් මිස් වෙනුවෙන් අපූරු කවියක් ලියා තිබුණා. ඒ සම්පූර්ණ කවිය මට මතක නැහැ. ඒත් ඒක පටන් අරන් තිබුණේ මෙහෙම..

You are our Miss. Honey..

දිල් මිස් - හැමදාමත් අපේ මිස් හනී..!

රෝල්ඩ් ඩාල් කියන මැජික්කාරයාට පෙම් බැඳගත්තු  අයට මිස් හනී අමතක වෙන්න විදියක් නෑ. විශේෂයෙන් ම මැටිල්ඩා කියන ඇබිත්තන් කෙලි පොඩිත්ති අඳුරන ඕනෑ කෙනෙක් මිස් හනීට මැටිල්ඩා තරමට ම ආදරෙයි. අපේ ඉස්කෝලේ ලිට් පන්තියේ උන්න පිස්සෝ ටිකත් මැටිල්ඩා හා සමාන ජීවිතයක් ප්‍රාර්ථනා කරපු උන් ටිකක්. ඒ නිසාමද මන්දා අපේ හදවත්වල මැටිල්ඩාගෙ මිස් හනී ජීවත් වුණු උස් බිම දිල් මිස්ට දෙන්න අපි ටිකක්වත් පැකිලුණේ නැහැ.

මිස් හනී ටිකක් සැරයි. අපිව බය කරවන සුළු ගැඹුරු ම ගැඹුරු හඬක් ඈට තිබුණා. කොටටම කපපු කැරලි කොණ්ඩෙත්, සිහින් සිරුරත්, සිනාවෙන දෑසත් ඇයටම අනන්‍ය වූ අපූරු දේවල්. ඉංග්‍රීසි කවි පදත්, කෙටිකතාත් විවරණය කරන්න ඈ තුළ තිබුණ දස්කම මට මෙතෙක් මා ඉගෙනගත් වෙනත් කිසිදු ගුරුවරයෙකුගෙන් දකින්නට ලැබුණේ නැහැ.

ගොඩක් වෙලාවට හවස පන්තියට මං ගියේ නාගෙනයි. මගේ කේස කල්‍යාණේ පැය දෙක තුනකටවත් වේලගන්න බැරි තරම් දිගයි. ඒ වගෙම තෙත පිටින් කොණ්ඩෙ පෝනිටේල් දාලා හෙම්බිරිස්සාව හදාගන්නවාට අම්මා තරයේ විරුද්ධයි. ඒ නිසා මං නාපු දවසට පන්ති ගියේ කොණ්ඩේ කඩා දාගෙනයි. සුපුරුදු පරිදි පරක්කු වෙලා මිස්ගේ ගෙදර පුංචි යකඩ ගේට්ටුව තල්ලු කරගෙන මං පන්තියට දුවගෙන යද්දි ඈ හැමදාමත් කියපු කතාවක් තියෙනවා.

Today Warsha has taken her annual bath.. How lucky we are..!!

අනිත් උන් ටික බල්ලෝ වගේ ෂැම්පු සුවඳ ඉව කරමින් ඒ කතාවට පෝර දානවා, හරියට ඇත්තටම වැහි දැරිවි අවුරුද්දකට එක සැරයක් නාන හඩු කෙල්ලෙක්ගෙ ගාණට ඇදල දාමින්.. 

පාඩම් වැඩ කරද්දි සැරවැර කරන ඇගේ කටහඬම ඒ වාගෙ විහිළුවක් කරද්දි අවුරුදු පහළවක දාසයක ළමිස්සියකගෙ හඬට හැරෙන හැටි මට තාමත් මතකයි..

බොහෝ දෙනා දන්න කාරණයක් තමා උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂය සමත් කරන්නෙ ඉතාම අඩු ප්‍රතිශතයක් වග. ඒ සාමාර්ථ වුණත් ලංකාවටම ලැබෙන්නෙ අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයක්-හැම වසරකම වගේ.ඉතින් ඒ නිසා අපිට මේ විෂය ගැන සාධාරණ බයක් තිබුණා. ආයේ මිස් ගාවට එන්න වෙයි කියා දවසක් මගේ මිතුරියක් කීවා මට මතකයි. එදා මිස් ඉතාමත් තදින් අපි හැමෝටම කතා කළා.

ආයේ ඔයාලා මේ ගෙදරට එන්න ඕනේ, අපි කැම්පස් සිලෙක්ට් වුණා කියාගෙනයි. මගෙන් ආයෙත් ඉගෙනගන්න ඔයාලා මෙහේ ආ යුතු නැහැ..

ටියුෂන් මානසිකත්වයක ඉඳිමින් වැඩි සිසු පිරිසක් බඳවාගන්න දත කන ගුරුවරු ඉන්න යුගයක ඇගේ මුවින් පිට වුණ වචන ටික මම බොහෝ තැන්වල ගුරුවරු ගැන කතා කරද්දි හිතවතුන්ට මතක් කරනවා..

ඈ විශේෂයෙන් ම අපේ සෙට් එකේ කෙල්ලන්ට ඉතා ම ආදරය කළා. අැගේ පන්තියට ආපු ආදරණීය ම සිසු පිරිස වුණේ අපේ අවුරුද්දේ විශාඛාවන් වග වරෙක අපේ අම්මාත් එක්ක ඈ පවසා තිබුණා. ඇගේ පාසලේ ම ළමුන් පවා සහභාගී වුණ පන්තියේ ඈ අපි තුළින් දැක්ක විශේෂය කුමක් ද කියන්න මා දන්නේ නැහැ. අපි හැසිරුණේ කොතැනදීත් අපි ඉන්නා විදියට ම තමා. ඈ තනිකඩ ව - ඒ වාගේම ඉතා සතුටින් නිදහසේ ජීවත් වන ගුරුතුමියක්. ඇගේ මව්පියන් උන්නේත් ඈ එක්ක. අපි පන්තියෙන් නික්මෙද්දි ඒ වයස්ගත මව්පිය යුවළ එක්කත් කතාබහ කරලා වැඳලා එන එක කළේ පුරුද්දක් විදියට. ඒ වාගෙ පොඩි දෙයක් ඇරුණු කොට ඇතැම් ළමයි වාගෙ ඈ වෙනුවෙන් තෑගි බෝග ගෙනයන්න අපි පුරුදු වෙලා උන්නෙ නෑ. ළමුන් වියදම් කරලා ගෙනෙන තෑගි පිළිගන්න ඈ කවරදාකවත් කැමති වුණෙත් නෑ. ඇය අපිට දුන්න ඒ විසල් ශිල්පයට ඇයට පෙරළා ආදරය කළා මිස අපි කවුරුවත් විශේෂ දෙයක් කළා කියලා මට නම් හිතෙන්නේ නැහැ. ඒත් අපිටවත් හිතාගන්න බැරි විදියට ඈත්, ඇගේ අම්මාත් අපිට ආදරේ වුණා.

සමුගන්න දවසේ විභාගය කටේ තියාගෙන වුණත් ඈ වෙනුවෙන් පදවැලක් නොගොතා ඉන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. මහා කලබලේකින් කුරුටු ගාපු ඒ කැත අකුරු ටික ඈ මහමෙරක් ලෙසිනුයි පිළිගත්තෙ. ඈ කෙරේ අපේ හදවත්වල තිබෙන මල් මතකයෙහි සුසුවඳ විඳගන්නා අතරේමයි, යළි වරක් එදා මාතින් ලියැවුණු වචන කිහිපය වැහි වැටෙන තැන සටහන් කොට තබන්නේ.. 

We were wandering here and there
not knowing the correct path to follow
then you appeared like a sun
illuminating our sky..

You were the fairy god mother
who gave Cinderellas beautiful clothes.. 
who taught them how to believe in themselves..

You were the cloud
that nourished us with your knowledge
and we are the little rain drops
eagerly waiting to serve the earth
with the freshest water of literature..

32 comments:

  1. අපි සාමාන්‍යපෙල කරපු කාලේ ගම්පහ හිටියා ප්‍ර‍සිද්ධ ව්‍යාපාර අධ්‍යනය ගුරුතුමියක්.
    ලලිතා මිස් කිව්වම ගම්පහ විතරක් නෙවෙයි ඈත පැතිවලත් හරිම ජනප්‍රියයි. මේ මිස්ට අපේ ඉස්කොලේ උදවියව පේන්න බෑ. ඒත් ඒ පන්තිය ඇතුලේ ඕනම දේකට මිස් අපේ පැත්තේ හිටියා. ඒ වගේ සහෝදර බැදීමක් වෙන පන්ති වලින් දැනිලා නෑ. අද වාණිජ විශයෙන් අපි යම් තැනක ඉන්නවානම් එහි ගෞරවය ඇයට යා යුතුමයි.
    ඒ විතරක් නෙවෙයි කොමස් වලට ඇල්මක් දක්වපු සත්තු වැඩියෙන්ම හිටියේ මේ පන්තියේ හවුල් වෆාපාර ගැන අහන් හිටපු බල්ලොයි පූසොයි වගේම හදිස්සියේ කඩා පැනපු තඩි ගැරඩියෙකුත් හිටියා.

    ReplyDelete
    Replies
    1. ඔව ඉතින් එහෙම අහන් හිටපු එක පූසෙක් බ්ලොග් එකකුත් ලියනවා නොවැ..)))

      Delete
    2. හහ් හහ් මම කිව්වේ කකුල් හතරේ ඇත්තම බිළාලයෝ ගැන

      Delete
    3. ඔව් එයා කකුල් දෙකේ බිළාලයෙක් නොවැ..

      ඒක නෙමේ.. ලේ දන් දීමේ වැඩේ හොඳට තිබුණද පූස්?

      Delete
    4. ලේ දන්දීම අපිට සාර්ථකව පවත්වන්න පුලුවන් උනා. අන්තිමට ලේ බැංකුවේ කට්ටිය 3.30 ට දැන් නවත්තමු කියලා කියනකම්ම පවත්වගෙන යන්න පුලුවන් උනා. කාමරේ සිරා අයියත් ලේ දෙන්න ඇවිල්ලා හිටියා.ඇල්බම් එක බලන්න
      https://www.facebook.com/media/set/?set=oa.722595141240914&type=1

      Delete
  2. අපූරු මතකයක් අපූරුවට ගෙත්තම් වෙලා
    අපූරුයි වර්ෂා
    ඇත්තටම අවුරුද්දකට සැරයද නාන්නෙ හිටං
    හැක්

    ReplyDelete
    Replies
    1. නැතුව.. නානවා කියලා හැමදාමත් නාන්න පුළුවන්යැ හිටං..))

      Delete
  3. මට නිකං ,..... නිර්මාලි මිස් ව මතක් උනා වගේ.......... :)

    ReplyDelete
    Replies
    1. අලියාගෙන් අලුත් පෝස්ට් එකක් බලාපොරොත්තු වන්න...)))

      Delete
  4. බොලාගෙ ඉස්කෝලෙ ශත සංවත්සරය මේ හෙට අනිද්ද තියනව නේද?

    ඒකෙ වජ්‍ර ජයන්තියට තිබ්බ දැවැන්ත සැණකෙළියක්...කිව්වට විස්වාස කරපං අපි ඒකට දිනපතා සහභාගි වුනා. හෙහ්,හෙහ්, සුවිශේෂී හේතුවකුත් තිබ්බෙ නැත්තෙම නෑ ඉතිං කිව්වම මොකද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව.. අපි ඉතා පිංබර ළමයි නොවැ.ළඟදි දානෙකුත් දුන්නා.පා ගමනත් යන්නයි හිතාගන ඉන්නෙ..!!

      හම්මේ ඉතිං.. මට ඉතුරු ටික හිතාගන්න පුළුවන්..!!

      Delete
  5. මන් සාමාන්‍ය පෙලට ඉංග්‍රීසි සාහිත්‍ය ඉගෙන ගත්තෙත් ඒ වගේ බොහොම අපූරු ගුරුවරියකගෙන්. ඈ විවෙට් උයන්ගොඩ ගුරුතුමිය. ඒ මතකයන් අලුත් වුණා මේ ලිපියෙන්.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ලිට් ටීචර්ස්ලා හරි අපූරුයි.. ඒ වගේ ම මාර සැරයි.. කවදාවත් අමතක කරන්නත් බැහැ..

      මං සාමාන්‍ය පෙළට ලිට් කළේ නෑ.ඒ නිසා උසස් පෙළ පළවෙනි අවුරුද්දෙ මාස හයක් වෙන් කරගෙන සාමාන්‍ය පෙළ සිලබස් එක පාඩම් කරලා ඒ අවුරුද්දෙ විභාගෙ ලිව්වෙ.ඒ නිසා සාමාන්‍ය පෙළට නම් මට එහෙම ගුරුවරයෙක්ගෙන් ඉගෙනගන්න ලැබුණෙ නෑ.

      Delete
  6. මට අපේ සූලොජි මිස්ව මතක් වුනා, නම ඉලෙන්ද්‍රා...වර්ෂා ඒ ලෙවල් කරද්දී උන්නද දන්නේ නැහැ..මං කලේ සයන්ස් නේ...ඒ කාලේ මිස් ගොඩක් තරුණයි...හරිම ආදරණීයයි...නමුත් දරුවන්ගේ ගෞරවය පුදුම විදියට ලබා ගත්තු කෙනෙක්...අපේ සිංහල මිස්, සෝමා හේරත් මිස්, මං කවදාවත් ඉගන දෙන නැති උනත්,මිස් හිනා වෙනවා දැක්කත් බඩ පිරෙනවා...ඒ වගේමයි සූ ක්ලාස් එකේ ශිරාණි අල්මේදා මිස්, සහ ෆිසික්ස් ක්ලාස් එකේ සිසී මිස්, දෙන්නම ඩීඑස් එකේ ඉගැන්නුවේ...එයාලට පුදුම හැකියාවක් තිබුනා දරුවන්ගේ හිත තේරුම් අරගන්න...ඒ වගේම තමයි විසාකාවේ උන්නු ආදරණීය විදුහල්පති, අපේ නාලනී එදුස්සුරිය මැඩම්...එහෙම පෞර්ෂයක් තිබුන, ඒ වගේම දරුවන්ගේ ආදරේට ගෞරවයට ලක් වුන කෙනෙක් මට හමු වෙලා නැහැ ඇත්තටම...

    ගුරුවරු කියන්නේ අම්මා තාත්ත වගේම දරුවෙකුට වැදගත් අය...මගේ එක වසරේ පන්තියේ ගුරුතුමිය සහ හතර වසරේ අනුලා ගුරුතුමිය අම්මල වගේ...මට ඒ කාලේ තිබුන කුකුල් කේන්තිය පැත්තක තියලා මගේ දක්ෂකම් ඔක්කොම මතු කළා...

    මගේ මල්ලිගේ ලොකු දුව පළමු වසරට ඇතුලත් වුනා මේ ජනවාරියේ...එයා ගිය මොන්ටිසෝරියෙන් එයාව ගොඩක් වෙනස් කළා, දරුවාගේ ඉවසීම නැත්තටම නැති කරලා, සමහර වෙලාවට වියරුවෙන් හැසිරෙන දරුවෙක් කළා...ගෙදරදී හොඳට ඉන්න දරුවා, මොන්ටිසොරියේදී පොත් පත් විසි කරන තැනටම ආවා...එයාගේ ගුරුවරු උපදෙස් දීලා තිබුනේ ගැහුවොත් ගහන්න කියලා...පොඩි එකා ගෙදර ඇවිත් තක්බීර් වෙලා වගේ ඉන්නකොට අපේ මල්ලියි, නංගියි දෙන්න හොයල බලද්දී තමයි තේරුනේ වෙන දේ...

    පස්සේ එයාව පුංචි ඉංග්‍රීසි පන්තියකට දැම්මා...ඒ ගුරුතුමා තරුණ වුනත් හොඳ අත්දැකීම් තියන කෙනෙක්...දරුවා සම්පුර්ණයෙන් වෙනස් වුනා...මොන්ටිසෝරි යන්න කලින් උන්නු සාමාන්‍ය දරුවාව නැවත මතු වුනා...ගෙදර අයත් එයාගේ හිත ගොඩක් හැදුවා...ඉන් පස්සේ ඉස්කෝලේ ගියා..අලුත් ගුරුතුමියත් බොහොම අත්දැකීම් ඇති කෙනෙක්...බොහොම මුරණ්ඩු විදියට මොන්ටිසොරියේදී හැසිරුණ දරුවා, අද පන්ති නායිකාව...ගුරුවරු, ගුරු දෙවි වරු වෙන්නේ අන්න ඒ විදියටයි...

    ලිට් ගැන නම් කතා කරලා පලක් නැහැ...ලංකාවේ නවය වසරෙන් ලිට් තෝරා ගන්න තිබුන බැච් එකේ පළමු කණ්ඩායම අපි (1992)...අට වසරේ අවසාන වාර විභාගෙට චිත්‍ර කරලා මට ලකුණු අනූ අටක් තිබුනා..එහෙම තියෙද්දී කාගේවත් බලපෑමක් නැතුව මම සාමන්‍ය පෙළට ලිට් තෝරාගත්තා...මම ලිට් පාස් වුනේ මගේම මහන්සියෙන්...ඒ කාලේ අලුත්ම සිලබස් නිසා දක්ෂ ගුරුවරයෙක් උන්නේ නැහැ ලිට් කියල දෙන්න....ඔලිවර් ට්විස්ට්, මිල් ඔන්ද ෆ්ලොස්, එක පොයට්‍රි/ඩ්‍රාම බුක් එකක් තිබුන වගේ මතකයි...ඔයාලට තිබුනද දන්නේ නැහැ එකක තිබුනා ප්ලීඩ් මර්සි කියල කවියක්, ඒක තමයි මං වැඩියෙන්ම ආදරේ කල කවිය...

    මදැයි ඔයාගේ පෝස්ට් එක මාව 1984 හෝඩියේ පන්තියටම ටම ගෙනිච්චනේ දරුවෝ...

    ReplyDelete
    Replies
    1. දැන් ඒ කාලේ උන්නු ගොඩක් ගුරුවරු අඩුයි අක්කේ.හුඟාක් ඉන්නේ අලුත් ටීචර්ස්ලා.හැබැයි සයන්ස් සෙක්ෂන් එකේ සමහර විට ඔය අක්කා කියපු මිස් ඉන්නවා ඇති.ඉන්නවා නම් දැන් ඇයත් මැදි වයසේ කෙනෙක් වෙන්න එපැයි.අපි ආට් සෙක්ෂන් එකේ නිසා වැඩිය සයන්ස් ගුරුවරු ගැන නම් දන්නේ නැහැ.සෝමා හේරත් මිස් ගැන විසාකාවේ ඉගෙනගත්තු ඕනෑ ම කෙනෙක් කතා කරන්නේ හරිම ආදරයකින්.දැන් ඉන්න විදුහල්පතිතුමියත් ඉස්කෝලෙට විසාල ආලෝකයක්.ඇගේ ඍජු බවත්,තීක්ෂණ බවත්,ළමුන් ගැන තියෙන ආදරයත් අපි ඉස්කෝලෙන් ඉවත් වෙලා ගියත් කවදාවත් අමතක වෙන්නේ නැහැ.

      පුංචි සමනල පැටවුන්ට ගුරුවරු කියන හැම දෙයක් ම දේව භාෂිත අක්කේ.මට පොඩි කාලෙ ඉගැන්නුවෙ මගේ අම්මාගෙ ශිෂ්‍යාවක්.ඒත් මං අම්මා කියන දේට වඩා පිළිගත්තෙ ඇගේ ශිෂ්‍යාව වුණු,මගේ ගුරුතුමිය කියන දේ.ඕනෑම දරුවෙක් එහෙමයි.ගුරුවරුන්ට පුළුවන් පුංචි ළමයින්ගේ හිත්වල දිව්‍ය ලෝකයක් වගෙම අපායක් මවන්නත්.

      මාත් සාමාන්‍ය පෙළ ලිට් කළේ මාස හයකින් වාගෙ කෙටි කාලෙකින්.මොකද එක පාර ම උසස් පෙළ කරනවට වඩා යම් කිසි උදව්වක් ඒකෙන් වෙයි කියා හිතපු නිසා.උසස් පෙළ ලිට්වලට නම් අපිට හරිම අපූරු ගුරුවරියක් මුණ ගැහුණා.සමහර විට ඔයාට මතකත් ඇති - මිසිස් රාජසිංහම්.අපට උගන්වද්දි ඇයට අවුරුදු හැත්තෑවටත් වැඩියි.හැබැයි අවුරුදු දහඅටක් වුණ අපිටවත් ඇයට තරම් හොඳ මතකයක් තිබුණේ නැහැ.

      මිල් ඔන් ද ෆ්ලොස් මම එක ම එක පාරයි කියෙව්වේ.ආයේ කියවන්න බැහැ.ඒ තරම් වේදනාවක් දැනෙනවා කියවද්දි.මැගී මාව හඬවාපු චරිතයක්.

      ප්ලීඩ් මර්සි කියන්නේ ඈන් රණසිංහගේ කවිය නේද.. අපිට උසස් පෙළට තිබුණේ ඈන්ගේ ඇට් වට් ඩාක් පොයින්ට්.සාමාන්‍ය පෙළට නම් ඇගේ කවියක් තිබුණෙ නෑ.ඈන් මිය ගියේ දැන් මාසෙකට විතර උඩදි,ලංකාවෙදිමයි.

      මදැයි.. මම පොකුරු අක්කා කියල මවාගෙන උන්නෙ බොහොම ලාබාල කෙනෙක් නොවැ.බලන් ගියාම ලොකු ම ලොකු ජ්‍යෙෂ්ඨ උත්තමාවියක්නෙ.

      ඒක නෙමේ.. අක්කාගෙ හවුස් එක මොකක් ද? මම නම් මොට්වානි..!

      Delete
    2. සේම් හියර්...මොට්වානි තමයි...අපේ කාලේ හැමදාම අන්තිමයා :(...

      දෙය්යන්ගේ පිහිටෙන් පෙනුම නම් තාම දාසයයි මාසයයි වගේ, ඒ හන්ද ඔයා ඒ මවා ගත්තු එක වෙනස් කරන්න එපෝ :D...ඒ උනාට ඊයේ පෙරේදා හතලිස් ඇඳිරිය වගේ නිසා කණ්ණාඩිත් ගත්තනේ අප්පා...අක්ක නෙවේ හරි නම් ඇන්ටි...:D

      ඉලේන්ද්‍ර මිස් මම හිතන්නේ පස්සේ කාලෙක එයාගේ ගම් පලාතට ට්‍රාන්ස්ෆර් එකක් ගත්ත වෙන්න ඕනේ...

      ඔව් ඈන් රණසිංහ ලියපු එක තමයි මම හිතන්නේ...මම ඒ තරම් විස්තරයක් දැනන් උන්නේ නැහැ එයා ගැන...විස්තරය කිව්වට බොහොම ස්තුතියි...

      Delete
    3. ඔයාලගෙ කාලෙ විතරක් කියලද හිතාගෙන ඉන්නෙ..හහ්..අපි වැඩේ අතෑරියා කියලද හිතං ඉන්නෙ.එහෙම ඔයාලා පිහිටුවාගන ආපු වාර්තා කැඩෙන්න දෙන්න හොඳයැ.බොහොම අබිමානෙන් කියන්නෙ-මොට්වානි අන්තිමයා වෙන්න නම් දරාපු නිවාසයක්.අනික් අතට අපි වාගෙ හීතල හොරු ඉන්න කොට එහෙම වෙන එකේ පුදුමෙකුත් නැහැ.මොකද අපි අවුට් වුණාට පස්සෙ මොට්වානි පළවෙනියා වෙලා තිබුණා..!!

      නෑ නෑ අක්කා තමයි.ඔයාට වඩා වැඩිමල් උන්දැලාටත් මං අක්කා අය්යා කියලා කතා කරනවා.. ඒ හින්දා ඒකේ ප්‍රස්නයක් නැහැ..))

      ඈන් යුදෙව් ජාතික කාන්තාවක්.දෙවෙනි ලෝක යුද්ධ කාලෙ හිට්ලර්ගේ පීඩනයට ලක් වූ පවුලක දැරියක්.ඒ කාලෙදි ඇගේ මව්පියන් ඇයව එංගලන්තයේ ඥාතිවරියක් ළඟට යැවූ නිසා තමා ජීවිතේ බේරිලා තියෙන්නේ.ඒත් ඇය අත් විඳපු යුද පීඩනය ඇගේ අතින් ලියැවුණු ගොඩාක් කවිවල තිබුණා.පසුව එංගලන්තෙදි ඇය රණසිංහ නම් සිංහල වෛද්‍යවරයෙකු සමඟ විවාහ වෙනවා.ඉන්පස්සෙයි ඈ ඈන් රණසිංහ වෙන්නේ..

      Delete
    4. අය්යෝ මොට්වානි....

      ගොඩක් ස්තුතියි නංගි, ඈන් රණසිංහ ගැන කලාට...

      Delete
    5. me paara motwani 1st place

      Delete
  7. මගේ ඉංග්‍රිසි ගුරුතුමී ෆරීලා ටීච මතකයට ආවා.අක්කගෙ ගුරුතුමි වගේම ඇයත් තෑගි බෝග වෙනුවට බලාපොරොත්තු වුණේ අපේ ආදරය.

    ReplyDelete
    Replies
    1. අතලොස්සක් ගුරුවරු ඇරුණාම හුඟක් ගුරුවරු අපෙන් බලාපොරොත්තු වෙන්නෙ ආදරෙයි අපේ සාර්ථකත්වයයි තමයි නංගා..

      Delete
  8. මමත් ඉංග්‍රීසි සාහිත්‍ය සාමාන්‍ය පෙළට උගන්වන ගුරුවරයෙක්... ඒ හින්දම වෙන්නැති මේ පෝස්ට් එක මට හුඟක් බරට දැනුනා... මගේ දරුවනුත් කොච්චර ලොකු වුණත් තාම මගේ සමීප යාළුවන් වගේ.. ඉඳලා හිටලා බස් නැවතුමකදි එහෙම හම්බවුණාම ‘සර්‘ කියලා දුවගෙන ඇවිත් කතා කළාම දැනෙන සතුට සල්ලි වලට ගන්න බෑ...
    ඔයාගෙ කවියෙ පළවෙනි පේළියේ එක අකුරක් වැරදිලා (ටයිප් කරද්දි වෙන්න ඕන) මෙහෙම නිවැරදි වුණා නම් හරිම අගෙයි
    We were wandering here and there (not wondering)

    ReplyDelete
    Replies
    1. ඒක ඕන විෂයක් උගන්වන ගුරුවරයෙකුට පොදු අත්දැකීමක් මං හිතන්නේ.. කොයි තරම් සතුටක් ද නේද..

      බොහෝම ස්තූතියි ඔබට වරද නිවැරදි කෙරුවට.ඒක අත්වැරදීමක්.කලබලේට ටයිප් කළාට පළ කරන්න කලින් ආයේ කියවන්න බැරි වුණා.ඒ නිසා ඒක දැක්කේ නැහැ.

      Delete
  9. හොඳ ගුරුවරුන්ව අමතක නොකිරීම හොඳ ගතියක් දරුවා......රසවත් සටහනක්.

    ReplyDelete
    Replies
    1. බොහෝමත් ම ස්තූතියි..

      ඒත් ඇය ගැන මෙහෙම සටහනක් ඇත්තටම ප්‍රමාණවත් මදි.. ඒ තරම් ඈ අපූරු ගුරුතුමියක්.. ජීවිතයේ තැනින් තැන හමු වුණු එහෙම ගුරු උතුමන් උතුමියන් බොහෝමයි.

      Delete
  10. මගේ ටීචර්ලාට නම් මාව පොඩ්ඩක් ඇලජික්. දන්නවනේ ඉතින් ඉස්කෝලෙ යන කාලේ කොල්ලන්ගේ හැටි. කීප සැරයක් මගේ පන්තිත් තහනම් උනා.

    ReplyDelete
    Replies
    1. හපොයි.. මට හිතාගන්න පුළුවන්..))

      Delete