Tuesday, January 24, 2017

උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක් ය..!

පැංචා තමා අපේ ගෙදරට ආපු පළවෙනි පූසා. පැංචාගෙ අම්මා එයාව අපේ ගෙදර මැද මිදුලේ වෙරළු ගහ ගාව ‍ගෙනත් දාලා හිටියේ. මායි සුදු අම්මයි මැජික් බලනවා වාගෙ එයා ගාවට ගිහින් බලන කොට ජිල් බෝල ඇස් දෙකයි රෝස කටයි උල් කරගෙන පුංචියට පුංචියේ එයා අපි දිහා බලා උන්නා. 

ඒ හරියට ම අවුරුදු හයකට ඉස්සර..!!

ඉපදිලා මාස දෙක තුනක් යන තුරු එයාට මැද මිදුලේ ඉඳන් ගේ ඇතුළට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. එක වැහි දවසක තමා එයා මුලින් ම ගෙදරට ගොඩ වැදුණේ. තාම මට මතකයි ගෙයි පිටිපස්සේ තිබුණ ටයර් එකක් ඇතුළේ ගුලි වෙලා බය පිරිච්ච ඇස්වලින් අපි දිහා බලන් උන්නු හැටි. පැංචා ගැන මගේ හිතේ මුලින් ම ආදරයක් ඉපදුණේ ඒ දවසෙයි..

ඒත් පැංචා ගේ ඇතුළට එනවට වැහි දැරිවිගේ අම්මා ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. වැහි දැරිවි පුංචි කාලෙ ඉඳලා තිබුණ බරපතළ සෙම් අමාරුව නිසා ගෙදර පූසෝ බල්ලෝ නොහදන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තිබීම තමා ඒ අකැමැත්තට හේතු වුණේ. ඒත් වැහි දැරිවිගේත් සුදු අම්මාගේත් බලවත් ඉල්ලීම පිට පැංචා ව නවත්වගන්න අම්මා කැමති වුණා. ඒත් එක කොන්දේසියක් තිබුණා. ඒ වැහි දැරිවිට පූසාව ඇල්ලීම - සිපගැනීම සහ කාමරයට ගැනීම යන කාරණා සියල්ල තහනම් කියන කොන්දේසිය.

ඉතින් හැමදාමත් මං පැංචාට ආදරේ කළේ දුර ඉඳන්. ඒත් ළඟ තියාගෙන ආදරේ කළාට වැඩි ගැඹුරු ආදරයක් මගේ හිතේ පැංචා ගැනත්, ඉන් පස්සෙ අපේ ගෙදර පදිංචියට ආව පැංචියෝ දෙන්නා ගැනත් තිබුණා. 

ඒත් කාමරේට එන්නෙපා කියලා අම්මා දාපු කොන්දේසිය තේරුම් ගන්න පැංචාට බැරි වුණා. මං නැගිටින්න පරක්කු වෙච්ච දවසට පැංචා කාමරේට ඇවිල්ලා මගෙ ඇඳ ගාව වාඩි වෙලා අතින් ගහමින් මාව ඇහැරවනවා. එක දවසක් මේ කම්මැලි කෙල්ලව ඇහැරවන්න බැරි ම තැන පැංචා නෙට් එකේ අත පටලවලා කකුල හූරලා තිබුණා. ඒක නම් කෙළවර වුණේ වැහි දැරිවිට පිටගැස්ම එන්නතත් විදලයි. තාත්තා එදා පැංචා ගැන කේන්ති ගත්තත් කල් ගත වෙද්දි පැංචාගෙ බහුබූත විකාර වැඩවලට තාත්තාත් පුරුදු වුණා. 

මගේ පුංචි අම්මා, එයාගෙයි මගෙයි දෙන්නාගෙම සුදු අම්මා ගැන එයාට තිබුණා මහා විසාල ආදරයක්. සමහර දවසට සුදු අම්මාගෙ ඇඳට පැනලා එයාට තුරුළු වෙලා නිදාගන්නත්, සුදුඅම්මා පුටුවක වාඩි වෙලා හිටියොත් පුටු ඇන්ද දිගේ නැගලා ඇවිත් උරහිස් වටේ අත් දෙක යවලා පිටිපස්සෙන් සුදුඅම්මාව බදාගන්නත් පැංචා පුරුදු වෙලා හිටියා.

කාලයත් එක්ක පැංචා ටිකෙන් ටික ලොකු වුණා. අවුරුද්දක් විතර පිරිලා එයා පළාතේ ම ඉන්න කඩවසම් ම පූසා වුණාට පස්සෙ එයාව ගෙදර තියාගන්න හරි ම අපහසු වුණා. අවට හැම ගෙදරක ම පැංචාට පෙම්වතියෝ උන්නා. ඒ හින්දා ගෙදර එන එක ටික ටික අඩු වුණත් අඩු ම තරමෙ සතියකට සැරයක්වත් ගෙදරට ඇවිල්ලා හැම කාමරේක ම ඇවිදලා රවුමක් ගහලා එන්න පැංචා කවදාවත් අමතක කළේ නෑ. ඉස්සර වගේ පිච්ච වැල උඩ නැගගෙන විකාර කරන්නත්, කඩදාසි බෝලවලින් අපි එක්ක සෙල්ලම් කරන්නත් කම්මැලි වුණාට ගෙදර එන හැම දවසක ම එයා අපි ගාවට ඇවිත් සද්දෙ නෑහෙන්න කතා කරලා ගියා.

මං මේ ජීවිත කාලෙදි දැක්ක වැදගත් ම පූසා තමයි පැංචා. එයා කවදාවත් හොරෙන් කෑවේ නෑ. කොයි තරම් ආස කෑමක් වුණත්-හොරෙන් කන්න පුළුවන්කම තියෙද්දිත් කිසිම දවසක ඒ වගේ වැඩ එයා ළඟ තිබුණේ නෑ. පොල් ගාන කොට ළඟට ඇවිල්ලා හිරමණේ වටේ කැරකුණා මිසක කිසිම දවසක හිරමණේ ඉව කළේවත් නෑ. අසනීපයක් වුණත් ළඟට ඇවිල්ලා මූණ දිහා බලාගෙන සද්දේ නෑහෙන්න ඇඬුවා මිස පැංචා කවදාවත් අපිට කරදරයක් කරපු පූසෙක් නෙමෙයි..

ඒ වගේ ම පැංචා ගාව තිබුණේ සමහරක් මිනිස්සු ගාවවත් නැති තරම් යහපත් ගතිගුණ. ලේඩීස් ෆස්ට් කියන තියරිය ඉතාම වගකීමෙන් පිළිපැදපු පූසෙක් තමා පැංචා. කට්ටියට ම එකට කන්න දෙද්දී පූසියෝ දෙන්නා කාලා ඉවර වෙන තුරු පැංචා කවදාවත් කෑම කෑවේ නෑ. මං දන්න සමහර ගෙවල්වල පිරිමි අය කාලා ඉවර වුණාට පස්සෙ ඉතුරු වෙන ටිකයි ගැහැණු අය කන්නෙ. එහෙම පිරිමි දැක්කාම මට පැංචා ව මතක් වෙන එක ඇත්තටම වළක්වන්න බැහැ. 

ඔව්.. ඇත්තට ම පැංචා හරි ම වැදගත් මහත්මයෙක්. මහත්මා ගතිගුණ තිබුණ පූසෙක්. සංසාරයේ කොහේ හරි අත් වැරැද්දකින් මනුසත් භාවය මග හැරුණු..!

                                 ************************

මේ ඊයේ පෙරේදා දවසක කොහෙදෝ යන්න ලෑස්ති වෙලා ඩෙනිමටත් - බ්ලවුස් එකටත් බැහැගෙන සුපුරුදු විදියට මං ගේ පුරා ම සපත්තු හොයන්න පටන් ගත්තා. මං දාන්න කැමති ම - පහසු ම සෙරෙප්පු දෙක කොහේවත් නෑ. අන්තිමට සෙරෙප්පු දෙක හොයාගත්තා. ඒත් ඒ භයානක සොයාගැනීමකුත් එක්ක. සෙරෙප්පු දෙක තිබුණේ පැංචා ලඟ. පැංචා ඒක උඩ නිදාගන උන්නා. ඒත් වෙනදා විදියට නෙවෙයි. එයාගෙ සිරුර අප්‍රාණික වෙලා. හුස්ම ගන්නෙත් හය්යෙන්. 

ඉඳලා හිටලා ලෙඩ වෙලා, තුවාල හදාගෙන අසනීප වෙන පැංචාව සනීප කරන්නේ ඩොක්ටර් රුවන්ති හෝ ඩොක්ටර් සමීර. ඒත් එදා ඒ දෙන්නා ම හිටියේ නැහැ. බලාගෙන ඉන්න බය හිතුණ නිසා සුදු අම්මයි මායි ඉක්මණට ම පැංචා ව අරගෙන ළඟ ම තිබුණ සත්ත්ව රෝහලකට ගියා. ඉන්ජෙක්ෂන්ස් කීපයක් එක්ක - පූසාට සේලයින් දුන්නත් ඒ වෛද්‍යවරයා ඒ් ටික කළේ කිසිම කරුණාවකින් නෙමෙයි. කැනියුලා එක ගහපු අත පැංචා වේදනාවෙන් හංගාගනිද්දි ඒ වෛද්‍යවරයා සතාට රිද්දවමින් අත ඇදලා අරගෙන සේලයින් දුන්නා. සත්තුන්ට බෙහෙත් කිරීම මිනිස්සුන්ට බෙහෙත් කිරීමටත් වඩා කරුණාවකින් කරන්න ඕන වග, සත්තු කියන්නේ කතා කරන්න බැරි - තමන්ගෙ වේදනාව ප්‍රකාශ කරන්න බැරි අසරණ ජීවි කොට්ටාසයක් වග ඒ වෛද්‍යවරයා ඇතැම් විට ඉගෙන ගෙන නැති ව ඇති. අසනීපෙක දී අනිත් වෛද්‍යවරියත්, වෛද්‍යවරයාත් පූසන්ට සේලයින් දෙන්නෙ උන් ව අත ගගා - හුරතල් කරමින්. කැනියුලා එක ගහපු අත සේලයින් දීලා ඉවර වෙන තුරු ඔවුන් දෙන්නා අත ගානවා. කිසිම දවසක පැංචා ඔවුන් සේලයින් දෙද්දි දඟලලා නැහැ. ඒත් එදා පැංචා ව අර වෛද්‍යවරයා ගාවට ගෙන ගිය එකෙන් මං සත්ත්ව කරුණාව ගැන විසාල පාඩමක් ඉගෙනගත්තා.

ඉන් පස්සෙ දවසෙ අහසෙන් එන්න බ්ලොග් එක ලියන නිර්මාණි අක්කා මුණ ගැහෙන්න කැම්පස් යා යුතු ව තිබුණත් පැංචා ව දාලා යන්න හිත හදාගන්න මට පුළුවන් වුණේ නෑ. සැරින් සැරේ පැංචාට කිරි හදලා දෙන්නත්, එයාගෙ මුකුත් වෙනසක් තියෙනවාද කියලත් බලන්න වුවමනා නිසා මං ගෙදර නතර වුණා. මුළු පළාතෙ ම පූසියන්ගේ සිහින කුමාරයා වෙලා හිටිය පැංචා අන්ත අසරණයෙක් වගේ පඩිපෙළ පාමුල පාපිස්නට වෙලා අප්‍රාණික ව නිදියාගෙන ඉද්දි මං කිරි එක හදලා පීරිසියට දාලා එයා ගාවින් තිබ්බා. ඒත් එයා ඒක ඉව කරලාවත් බැලුවේ නෑ. වෛද්‍යවරු අනතුරු හඟවපු විදියට ම උණ රෝගය නිසා එයාගේ ආහාර රුචිය නැති වෙලා යමින් තිබුණා. ඒත් ආයේ ටිකකින් එයා ඔළුව උස්සලා කිරි චුට්ටක් බිව්වා. වෙනදාට දොර ඇරපු ගමන් ගෙදරින් එළියට පැනලා දුවන්න දඟලන පැංචා ගේ ඇතුළෙත් අහුමුළුවලට ම රිංගන්නයි උත්සාහ කළේ. ජිල් බෝල දෙකක් වගේ ලස්සනට තිබුණ ඇස් දෙකත්, රෝස පාට කටත් කහ ගැහිලා අනිත්‍යතාව ගැන පාඩම් කියා දෙන්න පටන් ගනිද්දි අම්මත් තාත්තත් ගෙදර එන තුරු පැංචාව ඉස්පිරිතාලෙකට ගෙන නොයා ඉන්න මට බය හිතුණා. සුදුඅම්මාට කතා කරලා විස්තරේ කිව්වා විතරයි එයා ඔෆිස් එකේ වැඩ පැත්තකට දාලා පුළුවන් ඉක්මණින් ගෙදර දුවගෙන ආවා. එදා අපේ හුරුපුරුදු වෛද්‍යවරයෙක් ගාවට පැංචා ව අරන් යන්න පුළුවන් වුණා. වෙනදාට කූඩයක දාලා මිසක පැංචා ව අරගෙන යන්න බැහැ. වාහනේක දාගත්ත ගමන් එයා වාහනෙන් පැනලා දුවන්න හදනවා. ඒත් එදා එයා සුදුඅම්මාගෙ අතේ ගුලි වෙලා - ඇබින්දක්වත් දඟලන්නේ නැතුව ගිය විදිය මට කවදාවත් ම අමතක වෙන්නේ නැති වෙයි.

"ඔච්චර හොඳ වෙන්නෙපා පැංචෝ. එතකොට ඔයා පැංචා නෙමේ වගේ. ටිකක් දඟට ඉන්න කොට තමා පැංචා ගතිය තියෙන්නෙ."

එහෙම කිව්වට පැංචා ඒක ඇහුවේ නෑ. කවදාවත් නැති විදියට සන්සුන් ව සුදු අම්මාට තුරුලු වෙලා ඉස්පිරිතාලෙ ගියා.

ගියපු ගමන් පැංචා ව සැත්කම් මේසේ උඩින් තියලා ඩොක්ටර් අක්කා එයා ව පරීක්ෂා කළා. පැංචාට වැළඳිලා තියෙන්නෙ මේ දවස්වල රට පුරා ම පූසන්ට - බල්ලන්ට වැළඳිලා තියෙන උණ රෝගය. ඒ රෝගයෙන් යාලු මිත්‍රයන් කීප දෙනෙක්ගෙම හුරතල්ලු අවසන් ගමන් ගිය බව මතක් වෙලා පැංචාව අල්ලන් හිටපු මගේ අත වෙව්ලන්න පටන් ගත්තා. ඒත් ඩොක්ටර් අක්කා පැංචාව ආදරෙන් අත ගගා එයාට සේලයින් දෙද්දී එයාට ආපහු පණ ආවා. ඉන්පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා, බොන්න බෙහෙතුත් ලියා දුන්නාට පස්සෙ එයාට දියර ජාති බොන්න දීලා ආදරෙන් බලාගන්න කියපු ඩොක්ටර්ගේ ස්වරය වැහි දැරිවිට ඇහුණේ අනතුරු ඇඟවීමක් වගෙයි..

සේලයින් බලේට වෙන්න ඇති, පැංචා දවසක් හොඳින් ම උන්නා. ඒත් ආයෙත් ඊළඟ දවසෙදි නපුරු උණ රෝගය පැංචා ව තදබල විදියට දුර්වල කළා. ඒත් ඒ තරම් දුර්වලව ඉද්දිත් ගේ ඇතුළ අපිරිසිදු වෙනවට පැංචා කැමති වුණේ නෑ. වුවමනාවක් වුණ ගමන් අමාරුවෙන් වැටි වැටී එයා එළියට යන්න උත්සාහ කරන අන්දම තමයි අපි හැමෝටම දරාගන්න අපහසු ම දර්ශනය වුණේ. එයා මිදුල කියලා හිතාගෙන සිමෙන්ති පොළොව හාරන්න උත්සාහ කරන විදිය බලාගෙන ඉන්න බැරුව එක පාරක් වැහි දැරිවිට කෑ ගහලා ඇඬුණා. ඉන් පස්සෙ පැංචා.. ඔයා හාරන්න එපා.අපි අයින් කරන්නම් කියලා කිව්වාම ඒක තේරුණා වාගෙ එයා පැත්තකට ගිහින් මුල්ලක නිදියාගත්තා.

ඉන් පස්සෙ ආයෙ බය වීම්.. ඇමතීම්.. තත්පර පහක් තුළ සැරසීම්.. වෙනදට තොරතෝංචියක් නැතුව මොනවා හරි කතා කරන සුදුඅම්මාත් වැසි දැරියත් නිහඬ ව.. පැංචාත් එක්ක ත්‍රීරෝද රිය ඇතුළෙ..

"මට බොරු කියන්න බෑ. බලාපොරොත්තු තියාගන්නෙපා. දැන් එන්ඩ් ස්ටේජ් එක ඇවිල්ලා තියෙන්නෙ.."

එදා ඩොක්ටර් අය්යාගෙ වචන මට ඇහුණේ ඈත ලෝකෙකින් වගේ. පැංචාගෙ වෛද්‍ය වාර්තා පොත ඉල්ලගන්න මං දිහාට හැරුණු ඔහු මගෙ ඇස්වල තිබුණු කඳුළු දැකලා කියන්න ගියපු කතාව ආපහු ගිලගත්තා.

"දවස් පහකින් එයා වැඩේ අල්ලගත්තොත් එක්කන් එන්න නංගි."

ඒත් ඔහු එහෙම කිව්වෙ බොරුවට වග මං ඒ මොහොතෙත් දැනං හිටියා. කෙනෙක්ගේ හිත හදන්න කියන බොරුවක තිත්ත ස්වරයයි ඔහුගේ කටහඬේ තිබුණේ. 

ලේසියෙන් කඳුළක් එන්නෙ නැති වැහි දැරිවිගේ ඇස්වලින් එන මග දිගට කඳුළු කඩා හැලුණා. 

අද උදේ වෙද්දි වෙට් අය්යා දුන්න දවස් පහෙන් එක දවසක් ගෙවිලා ඉවරයි. උදා වෙන්නේ දෙවෙනි දවස. පැංචාගෙ අසරණ මුහුණ දැක දැක බලාපොරොත්තු තියාගන්න බැහැ කියලා දැනෙද්දිත් මං මෝඩයෙක් වගේ පැංචා ජීවත් වේවි කියන බලාපොරොත්තුවේ එල්ලිලා ම හිටියා. අද එයාට එළිමහන් තැනක ඉන්න ලොකු වුවමනාවක් තිබුණා. ඉතින් එයාව එළිමහනේ තියාගෙන - ඒ ළඟින් ම පුටුවක් තියාගෙන මැස්සෝ එළවමින් මං එයාට තනි රැක්කා. හවස් යාමේ පැංචාට බෙහෙතක් අරන් එන්න තාත්තා එක්ක එළියට බහින මොහොතෙත් එයාව තනියම ගෙදර දාලා යන්න මහ බයක් වගේ එකක් මගෙ හිත කොණක තිබුණා.

ආපහු එද්දී අම්මා පැංචා ව ගේ ඇතුළට අරගෙන එයා ව පුංචි බබෙක් වගේ රෙද්දකින් ඔතලා තිබුණා. දවස් පහක් තිස්සේ ඇස් ඇරගෙන ම උන්නු පැංචා ඒ වෙද්දිත් උන්නේ ඇස් ඇරගෙන. උදේ ඔළුව උස්සලා කිරි පීරිසිය ම බීපු පැංචා ඒ වෙද්දි ඔළුව උස්සලා වතුර චුට්ටක්වත් බොන්න බැරි තත්වෙකයි හිටියේ. ඒත් සුදු අම්මා සිරින්ජරයකින් එයාට වතුරත් බෙහෙතුත් පෙව්වා. ඒ වෙලාවට පැංචා සුදු අම්මා දිහා බැලුවේ පුදුමාකාර කෘතඥතා පූර්වක බැල්මකින්. 

ටිකෙන් ටික රෑ බෝ වෙද්දී එයා හුඟාක් දුර්වල වුණා. ඉන්න තැනින් නැගිටලා යන්න බැරි තරමට. අසනීපේ හැදිච්ච දවසේ ඉඳලා ම පියෙව්වේ නැති මලානික ඇස් දෙකින් එයා ගෙදර හැමෝම දිහා ආදරෙන් බලා උන්නා. මිය යන්න අඩ හෝරාවකට විතර කලින් මං එයා ගාවට ගිහින් අන්තිම වතාවට එයා එක්ක කතා කළා. එයාට තේරුණත් නොතේරුණත් මං අවුරුදු හයක් තිස්සේ එයත් එක්ක ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේ ම ඒ කතා කරපු දේවල්වලින් ඇතැම් දේවල් එයාට තේරුණ වගත් මං දන්නවා.

                                     *****************

ඇටමැස්සා පොතේ අන්තිමේ ආතර් කියන වචන ටික ඔබට මතක ඇති..

"එවිට මම ජීවත් වුවත් මිය ගියත් වාසනාවන්ත මැස්සෙක්මි.."

ඒ ටික තරමක් වෙනස් කරලා මං පැංචාට මෙහෙම කිව්වා..

"උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක්...!!"

31 comments:

  1. හපොයි දෙයියනේ! සුරතල් සත්තු බොහෝවිට මිනිස්සුන්ට වැඩිය ඉක්මනට අපේ හිතේ ඔවුන් ඇවිදගිය පා සටහන් තියල ඉක්මනටම නික්ම යනව.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි.. මං දන්න සමහර මිනිස්සුන්ට වඩා පැංචා ගාව මිනිස් ගතිගුණ තිබුණා. ඒත් අවුරුදු හයක් කියන්නේ පූසෙක්ට මැරෙන්න වයසක් නෙමෙයි.

      Delete
    2. සාමාන්‍යයෙන් පූසෙකුට අවුරුදු 12-15 අතර ආයු කාලයක් නියෙනවා අසනීපයක් වසක් විසක් කැවෙන්නේ නැතුව හිටියොත්.
      මම අහලා තියෙනවා බල්ලෙක්ගේ බළලෙකුගේ ජීවිතේ ගෙවන වසරක් මිනිස් වසර හතරකට සමාන වෙනවා කියලා

      Delete
    3. ඔව් අය්යෙ.. ජීවිතේ හැටි කියලා හිත හදාගත්තත් එයාට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා කියලා හිතෙද්දි දුකයි.ඒත් ඉක්මණට තිරිසන් ආත්මෙන් නිදහස් වුණ එකත් එක අතකට හොඳයි.

      Delete
  2. හරිම අපූරුයි නංගියෝ. ඇත්තටම සත්තුන්ට අපි පුංචි උදව්වක් කලත් මතක තියනව මිනිස්සුන්ට වඩා හොඳට. අපේ ගෙදරත් ඉන්නව පිංකි කියල බල්ලෙක්. එයා රිය අනතුරකට ලක් වෙලා කකුල කැඩිල මම තමයි මාසයක්ම බලාගත්තෙ. දැන් එයා ාව මගෙ අතින් පෑගුනත් කිසි හිරිහැරයක් කරන්නෙ නැහැ.

    ReplyDelete
    Replies
    1. මට මතකයි අක්කේ ඔයා එදා අපි හම්බවුණු දවසේ පිංකි ගැන කිව්වා..

      Delete
  3. අපේ ගෙදරත් හිටියා බළලෙකුයි බල්ලෙකුයි ඔය වගේම. දැන් නම් කිසිම සතෙක් හදන්නේ නැත්තේ උන් හදිස්සියේ මියගියාම තියෙන වේදනාව වැඩි හින්දා

    ReplyDelete
    Replies
    1. හැමදාම අපිත් හිතන්නේ එහෙම තමා අය්යේ.ඒත් සතෙක් යන්න එන්න තැනක් නැතුව අසරණ වෙලා හැම ගෙදරකින්ම ගහලා පන්නන කොට ආයෙ සත්තු හදන්නේ නෑ කියලා හිතපු හැගීම වෙනස් වෙනවා

      Delete
    2. මටත් පොඩි කාලේ ඉදලම බළල්ලු ගොඩක් විවිධ කාලවලදි හිටියා.
      අන්තිමට හිටිය පූසට අසනීප උනාම මට වෙලාවක් තිබුනේ නෑ රාජකාරියත් එක්ක. මම නැති දවසක් ගම්පහ හිටපු පිස්සු බලු දොස්තරයා දුන්න වැරදි එන්නතකින් තමයි ඒකා නැතිවුනේ.
      එදා හිතා ගත්තා ආයේ සත්තු හදන්නේ නෑ කියලා

      Delete
    3. වෛද්‍යවරුන්ගෙ නොසැලකිල්ල නිසා මිනිස්සුත් නැති වෙන රටක වෙට්ලා ගැන කවර කතාද..තමන්ගේ ලෙඩ මොකක්ද කියලා කියාගන්න බැරි සත්තු ගැන කොයි තරම් සැලකිල්ලකින්ද වෙට්ලා වැඩ කරන්න ඕන.ඒ හරිය ගැන නම් කතා කරලා වැඩක් නෑ..

      Delete
  4. අපි සතුන්ට ආදරය කරනකොට උනුත් අපිට ආදරය කරන්න පටන්ගන්නවා. ඒ ගැන මතක බොහොමයි. ඒ අතරින් අපේ කලින් හිටිය බලු තඩිය ගැන තියෙන්නෙ ඔයාගෙ පැන්චා වගේ මතකයක්.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.පැංචා අපිට පුදුම විදියට ආදරෙයි.අන්තිම මොහොතෙදිත් එයා ගේ ඇතුළේ මැරෙන්නේ නැතුව වැටි වැටි එළියට ගියා.අපිට කොච්චර ආදරේද කියලා එයාට කටින් කියාගන්න බැරිකම විතරයි තිබුණේ.

      Delete
  5. මේ පෝස්ටුව කියවනකොට මගෙ ඇස්වලට කදුලු ආවා... මොකද මගෙ සුරතලත් පූසා... එයත් මේ වගේ දඟකාරයෙක්.. ගෙදර ඉන්නෙම නෑ.. මට එයා ගනත් බය හිතුනා.. ඒ නිසා මේක කියවපු ගමන් මං අම්මට කතා කරලා එයාව බලාගන්න කියුවා...
    සමහර සතුතුන්ගෙ වැඩ දැක්කම උන් කරපු පුංචි වරදක්, පවක් නිසා ඒ වගේ තිරිසන් ආත්මකයක් ලබන්න ඉයගෙඇතී කියල මටත් හිතෙනවා..

    අපි පැංචට ඊලඟ ආත්මෙ හොඳ තැනක ඉපදෙන්න ලැබෙන්න කියලා පතමු...

    ReplyDelete
    Replies
    1. එයාගේ ඇඟේ කිනිතුල්ලෝ ඉන්නවද බලන්න කියන්න අක්කේ.මේ උණ හැදෙන්නේ චූටි ම චූටි කිනිතුල්ලෙක්ගෙන්.එක පාර බැලුවට පේන්නේ නෑ.කන් ඇතුළේ එහෙම හැංගිලා ඉන්නවා.උන් ඉන්නවා නම් ඉක්මණට අරන් දැම්මොත් පූසෝ ලෙඩ වෙන්නේ නෑ.අපේ ගෙදර ඉන්න අනිත් පැංචිව අද ඩොක්ටර් ගාවට අරන් යන්නයි ඉන්නේ කිනිතුල්ලෝ ඉන්නවද බලලා ඉන්නව නම් එයාට බෙහෙත් කරන්න පටන් ගන්න.

      ඔව්.. එයා මැරෙන වෙලාවේ සුදුඅම්මා එයාට ඇහෙන්න පිරිත් දාලා තිබුණා.වැඩිය දඟලන්නේ නැතුව - ලොකු දුකක් විඳින්නේ නැතුව එයා මැරුණේ.එයාගේ තිබුණ ගතිගුණවල හැටියට එයා මිනිස් ආත්මයක් ලබාවි.අඩුම තරමේ පැංචා අනිත් පූසෝ ගාව ලේන්නුන්ව,මීයන්ව පන්නගෙන ගිහින් දඩයම් කරපු පූසෙක්වත් නෙමේ.

      Delete
  6. මම පුංචි කාලෙම සතුන් හැදීම අත්හැරිය , එත් ඔබ කිව්වා කීප වතාවක්ම කරදර වෙලා අසරණ වෙලා එන බොහොමත් අය තාමත් එනවා යනවා. ඔබේ සංවේදී ලිවිම ඒ හැම කෙනෙක්වම ආයෙත් මතක් කලා

    ReplyDelete
    Replies
    1. මේ පාරත් හිතා ගත්තේ ආයේ කවදාවත් හදන්නේ නෑ කියලා තමයි.ඒත් අසරණ වෙච්ච සතෙක් දැක්ක ගමන් අපේ හිත් වෙනස් වෙනවා.ස්තූතියි බුද්ධි ඇවිත් ගියාට.

      Delete
  7. ස්තුති නංගි කියුවට.... මං කියන්නම්...

    ReplyDelete
    Replies
    1. හරි අක්කේ.. මං මේ සතියේ දවසක එන්නම්.

      Delete
    2. ඒක සුභ ආරංචියක්... දුඛ බෙදාගන්නත් එක්ක එන්නකෝ එහෙනම්...

      Delete
    3. එන්නං කිව්වට ලබන සතියේ තමා එන්න වෙන්නේ ඔන්න.. මේ සතියේ එන්න බැරි නම් අම්මා අතේ මගේ බබාව එවන්නම්කො.එක අතකට අක්කෙ කෝල් කරනවට වඩා මෙහෙම බ්ලොග් එකෙන් මෙසේජ් කරන එක පොකැට් එකට වාසියි...)))

      Delete
  8. අනේ හරිම දුකයි. මමත් සත්තුන්ට පුදුම තරමට ආදරේ කරන කෙනෙක්. එයාලගේ හැඟීම් තේරුම්ගන්න පුළුවන්. අදත් මං ලඟින්ම ඉන්නේ සුරතලුන් තමා. ඒත් මෙහෙම අවාසනාවන්ත විදිහට එයාලා ගියාම ඒ මතක අමතක කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.ඒත් පැංචා දුක් විඳපු හැටියට අන්තිම දවසේ මං හිතුවේ එයා ඉක්මණින් යන එක හොඳයි කියලයි..

      Delete
  9. පැංචාගේ පැංචියෝ සෙට් එක ආවද පැංචව බලන්න :D

    සත්තු හදනවා වගේ උන් හදිසියෙම යන්න ගියාම දුක හංගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. කට්ටියම ආවේ නම් නෑ.ඒත් ගෙදර ඉන්න පැංචි නම් තාම අප්සැට් එකේ ඉන්නේ.පැංචා ගාවට ගිහින් ඉව කර කර බැලුවා ගොඩක් වෙලා..

      Delete
  10. මොනා කරන්නද?

    කෙල්ලේ, මටත් ඔය දුක ඔය විදියටම දැනිලා තියෙනවා..

    කොච්චර අකමැති වුනත් ඒ දුක අපි විඳින්න වෙනවා...
    සතෙක්ට ආදරය කරන්න, ඌව රක බලා ගන්න පුළුවන් වෙනවා කියන්නේ මනුස්සයෙක් විදියට කරන්න පුළුවන් ලොකුම පිනක් මට හිතෙන විදියට.

    ReplyDelete
    Replies
    1. ඇත්ත විභිෂණ.. ඒත් ඉතින් අවුරුදු හයක මතක ලේසියෙන් අමතක කරන්න බැහැ නේ..!!

      Delete
  11. Replies
    1. පැංචා රෙස්පට්.. ආඩම්බරයි.. ගෙදරට එන අය එක්ක හුරතල් වෙන්නෙ නෑ කියලා තරහින් හිටපු කෙනෙක්ටත් ඔහොම දුක හිතෙනවා කියන්නෙ ඉතින් මට කොච්චර දුක ඇද්ද..))

      Delete
  12. මට මේක කියවනකොට මතක් වුනේම මගෙ බන්ටිව..එයා මන් පොඩි කාලෙදිමයි වාහනයකට යටවෙලා නැති වුනෙ..ඊට පස්සෙ මන් ආයෙමත් පූසෙක් හැදුවෙ නෑ...ඒ දුක දරාගන්න බැරුව..

    ReplyDelete
    Replies
    1. ගිම්මියා කාලෙකින්.. ඒකනේ දුකයි තමා ගිම්මියෝ..))

      Delete
  13. සත්තුන්ටන් නම් ඔහොම ආදරේ කරලම නැහැ. කරන්න අපේ ගෙදර සත්තු ඉඳලත් නැහ. ඒ අතින් නම් ඔයා සෑහෙන්න වාසනාවන්තයි.

    ReplyDelete