Sunday, January 15, 2017

සීයා.. ඔබ ළඟ නැතත් ළඟ ඉන්නවා සේ ම ය..!

සීයා ගැන මට තියෙන්නෙ ඉතා ම පුංචි මතකයක් විතරයි. ඒ මහ හය්යෙන් අකුණු ගහමින් වහින දවසට මං සීයාගෙ ඇඳ ගාවට දුවගෙන යන හැටි. ඉන්පස්සෙ අමාරුවෙන් දණිපණි ගාලා සීයාගෙ ඇඳට නගින හැටි. වැස්ස මුළුමනින් ම පායලා ඉවර වෙන තුරු සීයා අවුරුදු හතරහමාරක් වෙච්ච වැහි දැරිවි ව එක අතකින් තුරුළු කරගෙන ඉන්න හැටි. 

ඒ වෙන කොට ඔහුට මිණිපිරීව වැළඳගන්න පුළුවන් වුණේ එක අතකින් විතරයි. අනෙක් අතේ පණ තිබුණේ නෑ. ඒත් තමන්ට පණ තියෙන අතින් ඔහු වැහි දැරිවි ව බදාගෙන උන්නා. හිතුණ විටෙක ඒ අතින් කවිත් ලිව්වා. 

කවුරු හරි මගෙ කෙල්ලට මොනව හරි කළොත් මං උන් ව උස්සලා පොළොවෙ ගහනවා..

ලෙඩ ඇඳේ ඉඳගෙනත් ඒ දවස්වල ඔහු වැහි දැරිවිගෙ මාපියන්ට එහෙම කියනවලු. 

දන්නවද සීයෙ.. අදටත් කවුරු හරි මගේ හිත රිද්දන කොට මට සීයා කියපු ඒ වචන මතක් වෙනවා. කාවවත් උස්සලා පොළොවෙ ගහන්න ඕන නෑ. කිව්වට ඔබ එහෙම කරන කෙනෙකුත් නෙමේ. ලෝකය ගැන මහා කරුණාවක් - ආදරයක් තිබුණු මනුස්සයෙක්. ඒත් හිත රිදෙන මොහොතකට ඔබ ළඟ උන්නා නම් එදා වගෙම මගෙ හිස අතගාමින් සනසවයි කියන හැඟුම හිතට එද්දි පුංචි කඳුළක් නැගෙන එක වළකන්නට බැහැ.

සීයා අපි ව දාලා යද්දි මට යාන්තම් අවුරුදු පහ පිරුණා විතරයි. සීයාගෙ නික්ම යාමෙන් පස්සෙ එළැඹුණු පළමු වැනි වැහි දවසෙදි වැහි දැරිවි වෙනදා පුරුද්දට එක පාරටම සීයාගෙ කාමරේට දුවගෙන ගියාලු. ඒත් සීයා නැහැ. එහෙම බලාපොරොත්තු කඩ වුණු පෙනුමක් මගේ මුහුණෙන් දැක්කෙ පළමුවෙනි වතාවට කියලයි අම්මා කියන්නෙ. ඉන්පස්සෙ එදා වැස්ස පායන තුරු මම හාන්සි පුටුවට වෙලා තාත්තාගෙ පපුවට ගුළි වෙලා උන්නලු. අම්මා කඳුළින් යුතු ව ඒ කතාව මතක් කරන හැම දවසක ම මට මේ කවි පද පෙළ මතක් වෙනවා.

නාගලකන්දෙන් එන හඬ ඇසී අහස ගුගුරන විට
දිව ගොස් මම හනික වැළඳගතිමි තාත්තා හනිකට

විමල් දිසානායකගෙ ඒ කවියෙ තියෙන්නෙ තමන්ගෙ දියණිය අකුණු ශබ්දයට බය වී තමන් ගාවට දුවගෙන එද්දි තමන් කුඩා කාලෙදි අකුණු හඬට බයේ තම පියා ගාවට දුව ගිය හැටි කථකයා සිහි කරන අන්දම. එදා සීයාගේ අහිමි වීමෙන් මට දැනුණාට වඩා වේදනාවක් තාත්තාට දැනෙන්ට ඇති කියා අද ඒ සිදුවීම සිහිපත් කරද්දී මට හිතෙනවා.

අද අකුණු ගහද්දී වැසි දැරියට බයක් දැනෙන්නේ නෑ. අකුණු විදුලි සැරවලට දැන් වැසි දැරිය ආසයි. වැහි වහිනවට ආසයි. ඒත් ජීවිතේ ඇතුළෙන් මහ අසනි වැසි ගිගුරුම් නැගෙන කොට සීයා ව සිහිපත් වෙනවා. සීයා කෙනෙක්ගේ ආදරය අවුරුදු පහෙන් එහා පැත්තේ නොලබපු කෙනෙක් විදියට මට සීයලා ඉන්න යාලුවෝ ගැන ඒ කාලෙ පුංචි ඉරිසියාවකුත් තිබුණා. සපූ නවකතාව කියවපු අය දන්නවා ඇති, ඒකෙත් ඉන්නවා හරි අපූරු සීයෙකුයි මිණිපිරියෙකුයි. ඇත්තමයි, මගේ සීයාත් මට තේරෙන වයසක් වෙනකං උන්නා නම් ඔහුත් - මාත් හරිම දඩබ්බර රයිගමයෙකුයි - ගම්පළයෙකුයි වෙනවාට කිසිම සැකයක් නැහැ.

ඔහු උන්නා නම් මේ වැහි දවස්වල අපිට කෝපි බිබී කතා කර කර ඉන්න තිබුණා. සීයාගෙන් ඡන්දස් අලංකාරයත් - වෙදකමත් ඉගෙන ගන්නට තිබුණා. ඔහු එක කවිය තුළ පස් තැනෙක එළිසමය තියා කවි ලියූ කවියෙක්. වෙදකම කෙසේ වෙතත් ඒ කවිකමෙන් අංශුමාත්‍රයක් හරි ඉගෙනගන්නට තිබුණා නම් කියා හිතෙද්දී දුකයි. 

එදා වැහි දවසෙ සීයාගෙ අඩුවෙන් රිදිලා දවස් දෙක තුනකට පස්සෙ අම්මාත් දුවත් අතර මෙහෙම සංවාදයක් ඇති වුණාලු.

අම්මා.. සීයට මොකද වුණේ?

සීයා නැති වුණා පුතේ..

එතකොට සීයා කවදාවත් ම ආයෙ එන්නෙ නැද්ද..?

අපි ගාවට එන්නෙ නෑ. වෙන කොහේ හරි ඉපදෙනවා.

ඊට පස්සෙ වෙන කොහේ හරි ඉපදිලා ආයෙත් නැති වෙනවද?

ඔව්. 

ඉතින් ඒක හරි දුකක් නේ අම්මා.. ඒ දුක නැති කරන්න විදියක් නැද්ද?

තියෙනවා. බුදුසාදු දුක නැති කරන හැටි කියලා දුන්නා. ඔයා ලොකු වුණා ම ඒ ක්‍රමය ඉගෙන ගනීවි.

වසර ගණනකට පස්සෙ දහය වසරෙදි බුද්ධාගමට දුක්ඛ නිරෝධය ඉගෙන ගනිද්දී මට ආයේ වතාවක් සීයා මතක් වුණා. 

දුක නැති කිරීමේ මාර්ගය ඉගෙනගත්තා නම් තමයි. ඒත් ඒ මග යන හැටි කියා දෙන්න ඉසිවරයෙක් බඳු සීයා ළඟ උන්නා නම්.. 

දුක නැති කිරීමේ මග වෙනුවට මේ භවයෙදිත් ලෞකික ජීවිතය ම තෝරා ගෙන කටු කොහොල් යුත් මග දිගේ ඇවිදගෙන යද්දි වැහි දැරිවිට එහෙම හිතෙනවා..

30 comments:

  1. අපුරු සංවේදී සටහනක් වර්ෂා...

    මගේ සීයාත් වෙද මහත්තයෙක්...ඔහුත් එක්ක ජීවිතය විඳින්න මමයි මල්ලියි බොහෝ වාසනාවන්ත වුනා, ඔහු අපෙන් වෙන් වුනේ මගේ පියාත් අපි අතරින් වෙන් වුණායින් පස්සේ, අවුරුදු 98ක් ජීවිතය විඳලා...මගේ මල්ලි ඔහුගේ අවසාන දවසේ නිවසට ගෙනත් සේලයින් දෙමින් ඔහුව ජිවත් කරවන්න උත්සාහ ගනිද්දී, ඔහු සිනහසෙමින් කියා තිබුනා "නොපවතින කයට, පවතිනා ඖෂධ " කියලා...ඔවුන්ගේ ජිවිත කියවීම් අපට වැඩියෙන් දැනෙන්නේ අපි වැඩිහිටි වෙද්දී...

    එදා ඔයා වගේ, අද මගේ අම්මා ලඟට තුරුල් වෙන්නේ මල්ලිගේ කෙලි පැටව් දෙන්නා...ඒ සම්බන්දය අතිශය ගැඹුරුයි කියල මට දැනෙනවා...එහෙම වුණාම වෙන් වීමක් ගැන හිතාගන්න අමාරුයි ඒ වගේ කුඩා වයසකදී...

    ReplyDelete
    Replies
    1. ඔයාත් මල්ලීත් හරිම වාසනාවන්තයි ඒ වගේ ප්‍රඥාවන්ත වැඩිහිටියෙක් ගාව ජීවිතේ අත් විඳින්න.පුංචි කාලෙ වැඩිහිටි ඇසුරෙන් ලැබෙන අත්දැකීම් කවදාවත් වෙන කාගෙන්වත් ලබාගන්න පුළුවන් දේවල් නෙවෙයිනේ..

      අපේ සීයාත් මියයන්න හරියටම දවස් පහකට කලින්,තමා ජීවත් වෙන්නේ තව දවස් පහක් පමණක් බව තාත්තාට කියා තිබුණා.අදටත් ජීවිතේ ගැටලුවකදී අපි දුර්වල වෙන කොට සීයාගේ කවි ඔහු අපි ළඟ නැතුවත් මහා ශක්තියක් සපයනවා..

      Delete
  2. මට නම් මා කුඩාකල සීයා මියගිය නිසාම මගේ සීයා ගැන තියෙන්නේ ඉතා අපැහැදිලි මතකයක්
    වර්ථමාන ලෝකය දුවන විදිහට ලෞකික මාර්ගයේ යනවා හැර වෙන කුමක් කරමුද? හැකි විදිහට කුමක් හෝ පින්කම් කරනවා මිස
    https://www.facebook.com/groups/MeritFoundation/

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත පූසා.. නිවැරදි විදියට ලෞකික ජීවිතය ගත කිරීම තමා ඉතින් විසඳුම..

      මං ලින්ක් එක බැලුවා.හොඳ වැඩක්.සතුටුයි.අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් යහපත් වැඩවලට දායක වෙමු.එකිනෙකා තැන් තැන්වල කරන හොඳ දේවල් නිසා තමයි ලෝකය ලස්සන තැනක් වෙන්නේ..

      Delete
    2. ඇත්තටම ජීවිතේ අනිත්‍යබව මට තේරුම් ගියේ මහරගම අපේක්ෂා රෝහලට තැඹිලි දානයක් දෙන්න ගිය වෙලාවේ එහි රෝගීන් දැකලා.
      මේ මාසේ 28 වෙනිදා තියෙනවා ලේ දන්දීමක් අපේ මිතුරන් දෙදෙනෙකුගේ වෙන්වීම සිහි කරලා
      වැඩි විස්තර මම පෝස්ට් එකක් දාලා තියෙනවා

      Delete
    3. අපේක්ෂා රෝහලේ ළමා රෝගීන් තමා ඒ හැඟීම වඩාත්ම ඇති කරවන්නේ.ඒ වගේම සමහර විට පූසා දන්නවා ඇති,පිළිකා රෝගීන් සඳහා දුරකථන ප්‍රතිකාර මධ්‍යස්ථානයක් මේ වන විට පිහිටුවා තිබෙනවා අපේ හිතවත් වෛද්‍ය පිරිසකගේ සහයත් ඇතුව.ඒ තැන පිළිබඳවත් හැකිතාක් පිරිස දැනුවත් කරන්න.

      Delete
    4. අනිවාර්යෙන්ම අප දැනුවත් ඒ පිලිබදව. ඔබ පැවසූ පරිදිම ලමා ශල්‍ය වාට්ටුවට ගියහම තමයි ඒ හැගීම වඩාත් තදින් සිතට දැනෙන්නේ. අපේ කණ්ඩායමේ ඉන්නවා අවසන් වසරේ වෙදසිසුවෝ කිහිපදෙනෙකුම ඒ නිසා රෝහලෙනුත් අන්අයට වඩා යම් සහයෝගයක් අපිට ලැබුණා.
      පොඩිඋන් එහෙම ඉන්නවා දකින්න මම ඇත්තටම කැමති නෑ

      Delete
    5. පොඩි උන් වගේම ඒ දරුවන්ගේ මව්පියන් පුදුම විදියට අසරණයි.පිළිකා රෝගය වැළඳුණ දරුවෙකුගේ මවකට තමන්ගේ අනිත් සියලුම දරුවන් ව අත හැරලා ඒ දරුවා වෙනුවෙන් පමණක් කාලය කැප කරන්න සිද්ධ වෙනවා.ඒ වගේම ප්‍රතිකාර සිදු වෙන කාලය ඇතුළත ඔවුන් ආර්ථික වශයෙන් අතිශය දුෂ්කර කාලයක් ගෙවන්නේ.

      Delete
  3. මගෙ සීයල දෙන්නම එක්ක ආස්සරේ කරන්ට මට අවස්ථාවක් ලැබුනෙ නෑ.

    අම්මගෙ අප්පච්චි මියගියේ මම උපදින්ටත් ඉස්සර.(අම්ම උන්දැට කියන්නෙ අපුච්චා හින්ද අපි කියන්නෙත් අපුච්චා කියල)

    එතකොට අප්පච්චිගෙ තාත්තා ඒ කිව්වෙ මුත්තා මැරුනෙ මට වයස දෙකක් වගෙ වෙද්දි. මට හීනෙන් වගෙ මතකයි අකුරැස්සෙ අප්පච්චිගෙ මහගෙදර ලොකු වියං ඇඳක දිගාවෙල උන්දැ ඉන්නව. ඒ මරණාසන්න මොහොතෙ වෙන්න ඕන. ඒත් ඒ මතකය මගෙම මතකයක්ද නැත්තං පස්සෙන් පහු කාලෙක අම්මල අප්පච්චිල කියපු විස්තර අනුව මගෙ හිතේ මැවුණු දෙයක්ද කියල මට හරියටම නිච්චියක් නෑ.

    මගෙ එහෙම මගෙම අත්දැකීම්ද කියල ස්ථිර නැති මතක බොහොමයක් තියනව....:)

    ReplyDelete
    Replies
    1. අපේත් අම්මාගේ තාත්තා නැති වෙලා තියෙන්නේ අම්මා ගොඩක් පුංචි කාලෙදි.ඉතින් ඒ නිසා මාත් ගොඩක් දුරට සීයලා දෙන්නාගෙම ආදරය ලබන්න නොහැකි වුණ කෙනෙක් තමයි.

      ඔය වගේ වියවුල් මතක කීපයක් මටත් තියෙනවා.ඊටත් වඩා බයානක ඩෙජාවු තත්වෙකුත් තියෙනවා.මොකක් හරි සිදුවීමක් වුණාම ඒක කලින් වෙලා තියෙනවා වගේ දැනෙන එක..

      Delete
    2. ඒකයැ අදත් නිර්මාණි අක්කයි මායි හම්බුණා.හැබැයි ඉතින් අපි ඔය නාකි කොල්ලෝ ගැන එහෙම කතා කළාය කියලා හිතන්නෙපා.

      Delete
    3. අනේ මේ යනව හලෝ නිකං චේතිය පච ගහන්නෙ නැතුව. ගිය පාර හම්බවුන වෙලාවෙ ඔහේ කියපුව නිර්මාණි මා දැක්ක කිව්වනෙ. ඔන්න මෙහෙමලු ඉතිං කිව්වෙ හොඳද?

      "අනේ අක්කෙ ඇත්තම කිව්වොත් මගෙ ජීවිතේ අරමුණු තුනක් තියනව. එකක් මම ඉගෙන ගත්තු දෙයින් මගෙ හැකියාවෙන් මිනිස්සුන්ට යම් වැඩක් කරන්ට,ඒ කියන්නෙ මේ ලෝකෙ මීට වඩා යහපත් තැනක් කරන්ට, එතකොට දෙක මගෙ අම්ම තාත්තට මගෙ පවුලෙ අයට සලකන්ට..එතකොට ඔයා දන්නවැයි තුන්වෙනි එක මොකක්ද කියල? තුන්වෙනි එක තමයි එක දවසකට හරි අර රවි මාමව හම්බවෙලා කතාබහ කරන එක"

      හොඳයි දැං කියමු බලන්ට අවංකවම ඔහේ එහෙම කිව්වද? නැද්ද? කිව්වද? නැද්ද?කිව්වද? නැද්ද?

      Delete
    4. අනේ මන්දා.. මට අද වෙච්ච දේවල් මතක බැරි වෙලා ගොහින් වගෙයි..))

      Delete
  4. අනේ ඔවු... නැත්නම් සමහර අය එහෙම හිතාවි... අද නම් අපි මොකුත්ම කතා කලේ නෑ:D

    ReplyDelete
    Replies
    1. අනික අපිට කතා කරන්ඩ කොයි තරම් දේශපාලන-සමාජ-ආර්ථික ප්‍රශ්න තිබුණද අක්කේ.. මේ එක එක්කෙනා ගැන කතා කරන්ඩ අපිට පිස්සුයැ..))

      Delete
    2. ඉතිං හරිනෙ බොලේ... මමත් ඇවිදිල්ල හිටං මේ රටේ දේශපාලන ආර්ථික කොහොම වෙතත් සමාජ ප්‍රශ්ණයක් තමයි...:)

      Delete
    3. යාන්තං ඇති අන්තිමේදී තමුන් ගැන තමුන් ම තේරුං ගත්ත එක..)))

      Delete
  5. මගෙත් සීයා මට අවුරුදු 5 දීම තමා නැතිවුනේ... මට අදටත් ආත්තම්ම නැති උනේ මට වයස 10 දී... මට අදටත් ඉරිසියා හිතෙනවා... ඒ වගේම මගේම ආත්තම්ම කෙනෙක් සීයා කෙනෙක් නොවුනත් ඒ අයට ගොඩක් ආදරෙයි...

    ReplyDelete
    Replies
    1. ඒ ආදරේ විඳපු කෙනෙක්ට ඒක එක පාර නොලැබී ගියාම ගොඩක් දැනෙනවා තමයි..))

      Delete
  6. මගෙ සීයව මතක් උනා මට!
    අපේ තාත්ත පොඩි කාලෙ සීයා එයාට කියල දෙනවලු එක එක කතන්දර :) ම්... හොල්මං, නිධාන ... ඔය වගේ දේවල් විශේෂයි :)

    ReplyDelete
    Replies
    1. ape seeya nam mata katha kiyala deela na.. eya ehema kiyanna puluwan thathweka neme man podi kale hitiye..!!

      Delete
    2. කණගාටුයි :(
      මම ඔයාට රිද්දුවද?

      Delete
  7. මගේත් එක සීයා කෙනෙක් පොඩි කාලෙම නැති උනත් අනිත් සීයා මම කැම්පස් යනකන්ම හිටියා. මට කිව්වේ සුදු හාමිනේ කියලා :) අපි හැමෝගෙම කේන්දර හැදුවේ, පොඩි කාලේ රථ කල්කය වගේ එක එක බෙහෙත් හදලා දුන්නෙත් අඵල වලට ආරක්ෂා දැම්මෙත් ඒ සීයා තමයි. දැනට ඉතුරු වෙලා ඉන්නේ අත්තම්මා විතරයි.

    ReplyDelete
    Replies
    1. sayuri akka kaalekin.. ow hamotama lassana mathaka thiyenawa seeyala aththammala gana..!!

      Delete
  8. මට අම්මගෙ පැත්තෙවත් තාත්තගෙ පැත්තෙවත් සීයෙක් ගැන මතකයක් නැහැ. අම්මගෙ තාත්ත නම් අම්මා බදින්නත් ඉස්සර නැතිවෙලා. තාත්තගෙ තාත්තත් ඒ වගේ. ඒක නිසා අත්දැකීම් නැහැ.
    හැබැයි අපෙ අම්මගෙ අම්මා. අපේ ආච්චි. පන්සලක් වගේ. හිත නිමෙනවා. හද පිනවනවා. ඒ තරම් අපූරුයි . ඈ නම් දෙව්ලොවම ඇති කියල මට හිතෙන වාර බොහොමයි.

    ReplyDelete
    Replies
    1. mage ammage ammath ehemai..mehenin vahanse kenek vage pinbarai.dan ape ammage nangi langai achchi inne.achchiva ape gedara thiyagena balaganna mata hari asai.hamadama punchith ekka achchiva illala randu karanava ithin.

      Delete
  9. මටත් සීය ගැන පුංචි මතකයක් තියනව. ඒ කාලෙ අපි හිටියෙ බන්ඩාරවෙල. අවුරුද්දට ගමට ආවම සීය හකුරුයි ආප්පයි ගෙනත් දෙනව මට කන්න එයා කිය කිය හිටියෙ ම මැරෙන්න කලින් උඹල ගෙ ගෙදරට ඇවිත් බත් කටක් කන්න ඕන කියල. ඒත් ඒක කරන්න බැරි වුනා අපිට ඊට කලින් ගමට එන්න විදියක් තිබුන්නෙ නැහැ. එයා ඉස්සර මාව නලවන්නෙ ගජමන් නෝන ගෙ කවි කිය කිය. මට තවම මතකයි මට අවුරුදු අටක් වෙලත් මාව නැලෙව්ව ගමට ආවම.

    ReplyDelete