Tuesday, December 31, 2013

කිරි කළ ඉතිර සුබ වේවා නව වසර!

නෙත අඳ කෙරුණු දිය ඇල් සැණෙකින් පිසැර
සවිමත් වෙමින් දිවි තුරු බඳ අත්              පසුර
ලෝ මහ වෙණෙහි යහ තත් කෙරෙමින්   සුසර
කිරි කළ ඉතිර සුබ වේවා නව                  වසර

ඔන්න එහෙනම් හැමෝගෙම හිත්වල පිරුණු දුක නැතිවෙලා ගිහින්, ඇස්වල රැඳුණු කඳුළු වියළිලා ගිහින්, අලුත් අවුරුද්දේ අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙන සුන්දර ම සුන්දර අලුත් අවුරුද්දක් වේවා කියලා ඉතා ම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.... 

පල්ලෙහායින් කෑම මේසේ ලැහැස්ති කරලා ඇති.බෙදාගෙන කන්න ඕනෑ හරිද.... (පැණි වළල්ල මට ඉතුරු කරලා!!) 











තාම ප්ලේන්ටි හදනවා.. හදලා ඉවර වුණාම දෙන්නම්. එතකන් මෙව්වා කාලා වතුර බොන්න....!!!

Sunday, November 3, 2013

විහඟෙකුට...

අහම්බෙන් වගෙ ඇවිත් මගේ හදවත් බිමට
පුරන් කොට වගා කොට දිය යොදා යස රඟට
කෙතක් තැනු නුඹම නුඹෙ ආදරය පෙරටු කොට
ඉගිලෙන්ට හදයි අද ගිනි තියා ඒ කෙතට

යන්ට සැරසෙන නුඹව නවත්වා ගමි කුමට
පෙම් ගොයම් නොකන නුඹ පලක් වෙද මගෙ කෙතට
තෙරක් නැති මුළු අහස හිමි හෙයින් විහඟෙකුට
හැකිය ඉගිලී යන්න කැමති ඕනෑ තැනට

යළිත් කවදාක හරි එන්න හිතුණොත් එහෙම
සැක බියක් නැතුව නුඹ පැමිණෙන්න මා වෙතට
පැමිණ පිවිසෙන්න හද ගෙදර ඕනෑ තැනට
අඟුළු ලා නුඹව සිර කරනු බැහැ මගෙ අතට

විහඟ සිත යට සැඟව තිබෙන මනුසත්කමට
නතු වෙලා නුඹ දිනෙක ඈත ඉගිලෙන කලට
හඬා නොවැළපෙමි මම එලෙස හඬමිද කුමට?
සිනා උපදවනු මිස පුරුදු මුහණෙම රුවට...


-මේකත් අහම්බයෙන් ලියු කවියක්.මතක හැටියට ඕ ලෙවල් භූගෝල විද්‍යා පේපර් එක ඉවර වෙලා නිකං ඉන්න අතරේ ලියුවේ... බ්ලොග් එකේ දාන්න කවියකුත් නැති හින්දා මේක දාන්න හිතුණා!

Friday, October 25, 2013

පැතුම් මල් නෙළා.....!!!!

හැමදාම කවි විතරක් ලියනවා යැයි මාව කන්නට හදන පිරිසක් බ්ලොග් අවකාශයේ සිටිත්.ඉතින් උපන් ජීවිත බයෙන් යුතුව මේ පොඩි ලිපිය ලියමි.....))))))))) එය පළමුව කියා සිටිය යුතුය.

නමුත් මෙය ලියන්නට ඊට වඩා හේතුවක් තිබේ.ඒ අන්තර්ජාලයෙන් "සින්දු බලා බලා" ඉන්දැද්දී හදිසියේම අපේ පරපුර ගැන සිතට සතුටක් දැනුනු බැවිනි.අපේ පරපුරේ ගීත අපි නොඅසනවා නොවේ.අපි ඒවා අසන්නෙමු.ඒත් අවාසනාවකට මෙන් ඒවා විඳින්නට නොහැකිය.ගීතයක් විඳින්නට වුවමනා නම් අඩුම තරමේ අනූව දශකයේ මුලම හරියට යා යුතුය.ඉන් මෙහා පැත්තේ බොහෝ ගීත ඇත්තේ අසා රස විඳින්නට නොව අසා අමතක කරන්නටය.ඒත් අලුතින් පිපී එන නැවුම් හඬවලින් ගැයෙන මේ සොඳුරු ගීතය සිංහල ගීතයේ හෙට දවස ගැන ලස්සන බලාපොරොත්තුවක් ඇති කරවයි.

 පි-පැතුම් මල් නෙළා පැසකට අතින් අත අරන්
  ගොසින් ජීවිතේ සමනොළ වඳිමු අත් බැඳන්

 ගැ-නිතින් පින් පිරුණු පෙම්බර සිනහ මල් නෙළන්
 ඉතින් ආදරේ ගී පද ගයමු හිත් බැඳන්..

 පි-මැවෙයි හිත පිනයි කතරේ මිරිඟු දිය රැළී
 මුළා වනු එපා ජීවන පහන මම වෙමී

 ගැ-පිපෙයි අත වනයි මාවත බොළඳ හසරැලී
 මුළා වනු එපා ආදර කිරුළ මට හිමී

 පි-දුරයි පා රිදෙයි යන මග රුදුරු කටු ඇනී
 අඩන්නට එපා තනියට සදා ළඟ ඉමී

 ගැ-කදුළු ගණ වළා හිනැහේ රිදී ඉරි ඇඳී
 වසන්තය වෙලා ඉමු අපි ගෙවෙන තුරු දිවී

ඒ ගීතය අසන්නට යැයි කියමින් මේ ලිවුම මෙතැනින් නවතමි.


Saturday, March 30, 2013

ආයුබෝවන් ඇදුරුතුමනි..

ඇදුරුතුමනි,නුඹ මට හමු ව ඇත්තේ දෙවරකි.පළමු වර පොත් එළි දැක්මකදී දුටු නිරෝගී නුඹ නොවේ,දෙවන වතාවෙහි හමු වූයේ.එතෙකුදු වීත් නුඹ මනා සිහියෙන් සිටියා මතකය.එදා මහරගම පිළිකා රෝහල වෙත ගියේ මා ගියේ නුඹට සමු දෙන්ට සිතා ගිය ගමනක් නොවේ.නුඹ මගේ මාපියන්ට ඇදුරු වූ මුත් මට ඇදුරු වූයේ නොවේ.එහෙත් එදා මගේ නම විමසා නුඹ මට ශක්තිනී කියා ඇමතු සැටිය අමතක නොකරමි.ඉන් දින කීපයකට පසු නුඹේ පියවි සිහිය  නැති ව ගිය බව ආරංචි විය.ඊටත් දින කිහිපයකට පසු නුඹ අද යන්ටම ගොස් තියේ.පියවි සිහිය පවතිත්දී නුඹව අවසන් වරට දැකගන්ට ලැබීම ගැන තුටු වෙමි.

ඉතින් ඇදුරුතුමනි ආයුබෝවන්... 

















Saturday, March 16, 2013

ම'කිවිදි!


නිල් තාරුකා පෝළිම් සැදී
දුර අහස මත නෑගම් යතී
කිසිදාක නොබිණූ නුඹ අදත්
මා අසළ නොමවයි සුර ලොවක්

පෙන්නුවා නම් නුඹ මට යමක්
අද මතු නොවෙයි එදවස වුණත්
ඒ පෙන්නුවේ ඇත්තම මිසක්
නොව සිහින දුහුවිලි රැදි තැනක්

පෙන්නා දුකින් වැළපෙන දනන්
ජීවිත ඉරුණු සන්නාලියන්
නව ඇසක් දී මා ඉපදවූ
මගෙ කිවිදියේ මෙවදන් අසන්

කවියක්ය නුඹ හැම දෙන කියත්
කිසි දිනක නොහගිමි ඒ බවක්
මේ සසර මග නිම වන තුරුත්
හැමදාම නුඹ නම් මට මවක්

Thursday, March 7, 2013

එපා වෙන සිහින කතන්දර..

සිහින දැකීම යනු සාමාන්‍ය දෙයකි.ඒත් පොඩි අවදියේ මම සිහින දැකීම ගැන හිතා උන්නේ ඒ දවස්වල මගේ ප්‍රියතම කතුවරයා වූ රෝල්ඩ් ඩාල්ගේ ක්‍රමයටය.ඔහු සිය The BFG නම් කෘතියේ සදහන් කරන්නේ (මෙය මමියෝ-මහ මිතුරු යෝධයා නමින් උපාලි උබයසේකර වෙතින් සිංහලයට නැගී තිබේ.) බිග් ෆ්‍රෙන්ඩ්ලි ජයන්ට් නොහොත් මහ මිතුරු යෝධයා ලොකු මල්ලක සිහින පුරවා ගෙන විත් ඒවා නිදා සිටිනා අය වෙත විසල් බටයකින් පිඹිනා බවය.ඔහු ළග හොද මෙන්ම නරක සිහිනද තිබේ.හොද අයට හොද සිහිනත්,නරක අයට නරක සිහිනත් පිඹීම ඔහුගේ රාජකාරියයි.කතන්දරය අවසන් වන විට මේ සිහින පිඹීමේ හැකියාවෙන් ඔවුහු එංගලන්තය කනපිට හරවති....

..මට කියන්නට වුවමනා කළේ එය නොවේ.සිහිනයෙන් පෙනෙනා කතන්දර ගැනය.සමහර දිනකදී මට සම්පූර්ණයෙන් කතන්දර දෙක තුන පෙනේ.එහෙත් උදේ නැගිට බලද්දී සිහිනයේ තැනින් තැන මිස කතන්දරය මතක නැත.තව දවසකදී සිහින කතන්දරයේ පොඩිත්තක්වත් මතක නැත.... 
..මෙතෙක් මා එලෙස දැක ඇති සිහින ටික ගණන් කළා නම් නවකතා විසිතිස් ගණනක් ලියන්නට තිබුණි.මට ජීවිතය ලබා දී ඇති දේවලට දොස් පවරනවා නොවේ.එහෙත් අඩුම තරමේ ඒ කතන්දරවල ශේෂයන්වත් මතක තබා ගැනීමේ හැකියාව මට ලබා දුන්නා නම් මම බෝ සෙයින් සතුටු වෙමි.

ඒ දවස්වල මගේ ප්‍රියතම ලේඛකයා වූ ඩාල් මෙන්ම මේ දවස්වල මගේ ප්‍රියතම ලේඛකයා වන භද්‍රජී මහින්ද ජයතිලකද මේ හීන කතන්දරයට සම්බන්ධය.ඒ ඔහු සිහින ගැන ලියා ඇති හින්දාම නොවේ.ඔහුටත් සිහිනයෙන් කතන්දර පෙනෙන හින්දාය.තමා ලියන කතන්දරවල අනුභූතින් තමන්ට සිහිනයෙන් පෙනෙන බව දිනක් ඔහු පුවත්පත් සාකච්ඡාවකදී පවසා තිබුණි....ඒ හැරුණාම මගේ පවුලේ තව කීප දෙනෙකුටම සිහිනයෙන් කතන්දර දැකීමේ වාසනාව මෙන්ම ඒ සිහින මතක තබාගැනීමේ හැකියාවද තිබේ.මගේ අවාසනාවට පළමුවෙනි වාසනාව මට ඇතත් දෙවෙනි වාසනාව නැත.ඉතින් එහෙයින් පළමු වාසනාවෙන්ද පලක් නැති වී තිබේ... කොහොම වුණත් ජීවිතය අපට හැම දෙයක්ම එක වර ලබා දෙන්නේ නැත.එහෙයින් පළමු වාසනාව හෝ ලබා දීම වෙනුවෙන් ජීවිතයට ස්තූතිවන්ත වෙමි...