Showing posts with label මතක වැහි බිංදු. Show all posts
Showing posts with label මතක වැහි බිංදු. Show all posts

Sunday, March 30, 2025

128. ශිලාටැම්-වළ-මල් පාර අස විහඟ නෙතු අතරින් : Peradeni Dream - Phase 2.0!

මං හිතන්නෙ සරසවි යන්න පුළුවන් වුණත්-බැරි වුණත්-රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ගියත්-පුද්ගලික විශ්වවිද්‍යාලයකට ගියත්-විදේශ විශ්වවිද්‍යාලයකට ගියත් ලංකාවෙ පාසල් ශිෂ්‍යයන්ගෙන් සීයට අනූනවයයි දසම නමේකට පේරාදෙණිය ගැන හීනයක් ජීවිතය‍ෙ කොයි කාලෙ හරි තිබිලා ති‍ය‍ෙනවා. 

ඒත් වැහිදැරියට ‍පේරාදෙණිය මුලින්ම දැනුණේ දුෂ්ට බලවේගයක් වග‍ෙයි . හය-හත වස‍ර දැරියක කාලෙ තාත්තා ‍පේරාදෙණි‍ය සරසවියට යන්න හදන කොට විරුද්ධතා ‍පෝළි‍ම මුලම සටන් පාඨ කියාගෙන හිටියෙ වැහිදැරිය. ඒ කා‍‍ල‍ෙ තිබු‍ණ‍ෙ තාත්තා ගිය‍ොත් වැහිදැරියටත් ඉස්කෝල‍ෙ යාලුවන්ව දාලා යන්න වෙයි කියලා බයක්. ඒ නිසා ඒ කා‍ල‍ෙ අවංකවම වැහිදැරියට පේරාද‍ෙණිය පේන්න බෑ. තාත්තග‍ෙ අදහස ව‍ෙනස් වුණාට පස්ස‍ෙ තමයි පේරාදෙණිය දිහා සතුරු ආකල්පයක් නැතුව බලන්න වැහිදැරිය හිත හදාගත්ත‍ෙ.

සියල්ල ‍ව‍ෙනස් ව‍ෙන්න ගත්ත‍ෙ නවය වසර‍ෙ එක්තරා දවසක පේරාදෙණිය සරසවිය‍ෙ දවසක් ගත කරන්න සිද්ද වුණාට පස්සෙ. ඒ වෙද්දි තව අවුරුදු කීපයකින් සරසවි යා යුතුයි කියලා හැඟීමක්වත් වැහිදැරියට තිබුණෙ නෑ. අවුරුදු ගාණක ඉඳලා හැමදාම වග‍ෙ පන්ති‍‍ය‍ෙයි ‍ස‍ෙක්ෂන් එක‍ෙයි පළවෙනියා වීම නිසා අමුතුව‍ෙන් සරසවි යන්න උත්සාහ කළ යුුතුයි කියලා හැඟීමක් තිබ්බ‍ෙත් නෑ. කවියක් ලියා‍ගෙන - පොතක් කියවග‍ෙන - ෆිල්ම් එකක් බලාගෙන - යාලුමිත්‍ර සමාගම එක්ක විකාරයක් කරග‍ෙන ඉඳලා - වාර විභා‍ග‍ෙට විතරක් පාඩම් කර‍ග‍ෙන හිටපු ජීවිතේ අංශක 360ක් අනිත් පැත්ත ගැහිලා වෙනස් වුණේ එදා. 

එදා අර සුවහසක් සිරිලාංකික දූ පුතුන්ට හැ‍දෙන බයානක රෝගය වැහිදැරියටත් හැදුණා. පේරාදෙණි ෆීවර් එක. අවුරුදු කීපෙකට කලින් පේරාදෙණිය පැත්ත බලා‍ග‍ෙන බත් කන්නෙ නැති ලෙවල් එකක හිටපු - උ‍ද‍ෙන් නැගිටින්න වුණා කියලා එදා උදේත් නහයෙන් අඬ අඬ ආපු ළමයා හවස මුණගැහුණහම කැම්පස් එක දාලා යන්න බැරි තත්ව‍ෙකට ඇවිත් ඉන්නවා දැකලා තාත්තා සෑහෙන්න පුදුම වුණා. 

එතැන් සිට වැහිදැරියගෙ ජීවිතේ සෑ‍‍හෙන්න ‍ව‍ෙනස් වුණා. හැමදාම කියවපු කතන්දර ‍පොත් ශාස්ත්‍රීය පොත් එක්ක මාරු වුණා. ස්කොලර් ක‍ෙන‍ෙක් වෙන ‍ල‍ෙවල් එකට නවය වසරේ කෝටුකිතයි ළමයා වැඩ කරන්න ගත්තා. සාමාන්‍ය ප්‍රො‍ජෙක්ට් එකක් පවා තීසිස් ලෙවල් එකට කරන්න වැසිදැරියට ඕන වුණා. බහුවරණ ප්‍රශ්නපත්තරවල සම්පූර්ණ ලකුණු ගන්නවා කියන එක සාමාන්‍ය කාරණාවක් බවට පත් වීගෙන ඇවිල්ලා රචනා ප්‍රශ්නවලත් ලකුණු කපන්න බැරි තත්ත්‍ව‍ෙකට ආවා. පාසල් ජීවි‍තය‍ෙ මුණගැහුණ සුන්දරම ගුරු තරුවක් වුණ ‍ත‍ෙන්නකෝන් සර් එක වතාවක ඉතිහාසය ප්‍රශ්න පත්තරේට ලකුණු සීයෙන් සීයක් දීලා වැහිදැරියව ඉතිහාසගත කළෙත් ඒ කාලෙදියි. 

ශිෂ්‍යත්වෙට කිසිම පන්තියකට යවන්න‍ෙ නැතුව-විභාග‍ෙ දවස‍ෙ උදේ 'ඔයා ලියන්න කැමති නම් ගිහින් දාන්නම් - නැත්තං තව ටිකක් නිදාගන්න'  කියපු අම්මයි තාත්තයි ඒ දුෂ්කර ක්‍රියා පිළි‍වතෙට අකැමැති වුණාට හිතුවක්කාර ළමයාග‍ෙ අනවරත වැඩ කිරිල්ල නතර වුණේ නෑ. ඒ පිටුපස තිබුණෙ තව අවුරුදු කීපෙකින් පේරාදෙණියට යන්න තිබුණ විප්‍රකාර ආසාව.

ඇතැම් විට ඒ කාලෙ පේරාදෙණිය‍ෙ  ශිෂ්‍යාවක, බ්ලොග්කාරිණියක සහ සමීප මිතුරියක වුණු, දැන් පේරාදෙණියෙම කථිකාචාර්යවරියක වන ආචාර්ය දිලිනි ආරියවංශ, වැහිදැරියට පරමාදර්ශයක් වුණා වෙන්නත් පුළුවන්. ඇය පළමු වසර සිසුවියක් කාලෙ පවා ඇයගෙ පර්යේෂණ ලිපි කියවලා අනිත් සරසවිවල මහාචාර්යවරු කවුද මේ අලුත් කථිකාචාර්යවරිය කියලා සිංහල අධ්‍යයනාංශයට කතා කරලා අහන තරමේ විදග්ධ බවක් තිබුණ, සද්ධර්මරත්නාවලියෙ වගේ සිංහලයි-ඒ මට්මමින්ම ඉංග්‍රීසියි-පාලියි-සංස්කෘතයි වගේ භාෂා ගණනාවක් ඉතාම ලස්සනට හසුරුවපු දිලිනි අක්කා නිසා පේරාදෙණියෙ යන්න නම් එහෙම බුලට් එකක් වෙන්න ඕන කියලා ටීනේජ් වැහිදැරිය හිතුවා වෙන්න ඇති කියලාත් දැන් අවුරුදු ගණනක් ආපස්සට හැරිලා බලද්දි  හිතෙනවා.

කොහොම හරි සා/පෙළ කාලෙට එද්දි වැහිදැරියගෙ ලැප් එකේ වෝල්පේපර් එකට පේරාදෙණිය සරසවියෙ පින්තූරයක් ඇවිත් තිබුණා. රෑට පාඩම් කරලා මහන්සි වෙද්දී වැහිදැරිය ඉයර් ෆෝන්ස් ගහගෙන පේරාදෙණියෙ සරසවි ගීතය අහන්න පුරුදු වෙලා හිටියා. ඒක සා/පෙ, උ/පෙ කාලෙ කොච්චර ඇහුවාද කිව්වොත් අදටත් වැහිදැරියට පේරාදෙණියෙ සරසවි ගීතය කටපාඩම්.

වැහිදැරියට සමීප හුඟක් අයත් මේ පේරාදෙණි ලාලසාව ගැන දැනගෙන හිටියා. පේරාදෙණිය රෝහලේ ඩොක්ට ලලිත් කැම්පස් එකට කිට්ටුවෙන් අලුතින් ගෙයක් හදද්දි වැහිදැරියට සරසවි ශිෂ්‍යාවක් වුණාම ඉන්න කාමරේකුත් වෙන් කරලා තිබ්බා. ඒ වගේ පේරාදෙණි ආවාම එයාලගෙ ගෙදර එන්න ඉන්න කියලා කියපු නෑදෑයො හිතවත්තු වැහිදැරිය ජපුරට යනවා කිව්වම නවවෙනි පුදුමෙ ගැන ඇහුවා වගේ පුදුම වෙන තරමකට පේරාදෙණි ලාලසාව වැහිදැරිවිගෙ ජීවිතේ එක්ක බැඳිලා තිබුණා. ඊයේ පේරාදෙණියෙ ගියාම වැහිදැරිවිගෙ පේරාදෙණි ලාලසාව මතක් වුණා කියලා අද උදේ ප්‍රබෝධා එවපු කෙටි පණිවිඩයත් මේ ලිපිය ලියන්න ආසන්නතම හේතුවක් වුණා.

මෑතක් වෙනකම්ම අමතක වෙලා ති⁣බුණ, පේරාදෙණි සරසවිය ගැන වැහිදැරිවි ලියපු මේ කවියත් මෙතන සටහන් කරන්න හිතුණෙ මේක ලියැවුණේ මීට අවුරුදු ගාණකට කලින් - 2011 අවුරුද්දෙ මැද කාලෙක, සුව කරන්න බැරි තරමටම පේරාදෙණි ෆීවර් හැදිලා තිබුණ කාලෙ නිසයි. 

මුල්ම දින ඔබ බලන්නට ආ,
මැවේ මට මතකෙන්
පුංචි දැරියක් වීමි එදවස
හසර නොම දැන උන්
එදවසත් පොඩි නෙත් අයා
විඳගතිමි ඔබ මවිතෙන්
ඉනික්බිති මෙහි පැමිණි වරෙකදි
පිරුණි හද පැතුමින්

යළි යළිත් විත් මේ සදාතන
වසත් කල රඳමින්
මවුනි අහුලමි නේ පැතුම්
නැණ පැණ එළිිය විඳිමින්
ශිලා ටැම්-වළ-මල් පාර අස
විහඟ නෙතු අතරින්
දකිමි තැන තැන රතු අකුරු
ඔබෙ තුරුණු විරු දරුවන් 

හරිත තුරුලිය අතු අගිස්සෙහි
රැඳෙන පිනි වතුරින්
මවුනි සරසවි ගලන සිහිලස 
දැනේ මට නොමඳින්
කලා සිප් දරනා ළයාදර 
දෝත දිගු කරමින්
මා තබාගනු මැනවි සෙනෙහෙන්
දිනෙක ඔය තුරුළින්



ආයේ මේක කියවද්දි ජීවිතේ කොච්චර වෙනස් වෙලාද කියලා වැහිදැරියට හිතුණා. පේරාදෙණියට යන්න ඕනම කියලා හිතන් හිටියා වුණත් උසස් පෙළ අවසන් වෙලා යම් කාලයක් ගත වෙද්දි වැහිදැරියගෙ සරසවි අපේක්ෂාවන් - හොඳම විශ්වවිද්‍යාලය ළඟම විශ්වවිද්‍යාලයයි කියන තැනට විතැන් වෙලා තිබුණා. දළදා මාළිගාව - වැවරවුම - පේරාදෙණිය තානායම - ගල් බංගලාව - උද්භිද උද්‍යානය ආදිය වටා එක්රැස් ව තිබුණ සිහිනත් නිතිපතා දුර යන්න වීම, ගෙදරින් ඈත් වෙන්න වීම කියන රියැලිටිය ළඟ ඉතා වේගයෙන් ඈත්ව යමින් තිබුණා. ඒ නිසා විශ්වවිද්‍යාල අයදුම්පත් පුරවද්දි වැසිදැරිය පළවෙනි තෝරාගැනීම විදියට සඳහන් කළේ ඉපදිච්ච දවසෙ ඉඳන් දණගගා ගියපු - බැචස් ගණනාවක අය්යලා අක්කලා එක්ක උස් මහත් වුණ සරසවිය වුණ ජපුර. කොහෙත්ම සිලෙක්ට් වෙයි කියලා නොහිතෙන - නැව් නෙමේ බෝට්ටුවක්වත් නොඑන හරියකින් හයවෙනියට හත්වෙනියට තමයි පේරාදෙණිය සඳහන් කළේ.

ඒත් විසාකාවෙ හොඳම යාලුවන් අට දෙනාගෙන් වැඩිපුරම පේරාදෙණියට යන්න ආසාවෙන් හිටිය මනුස්සයා - වැහිදැරිය වගේ දිව දෙකේ මනුස්සයෙක් නොවී - ඇත්තටම පේරාදෙණියට ගියා. නීති පීඨෙට- කැළණියට-කොළඹට-ජපුරට විසි වුණ අනිත් හත් දෙනා එයාව බලන්න පේරාදෙණි එනවා කිය කියා නිතර කිය කියා හිටියත් ඒ ට්‍රිප් එක අන්තිමට ගියේ අපි අට දෙනා අවසන් වසර සිසුවියන් වුණාටත් පස්සෙයි. අක්බාර් පාලම උඩ කුඩ තියාගෙනත් වැස්සට තෙමිලා - ගල්කණු මල් ගස් අස්සෙ ෆොටෝෂූට්ස් කරලා - කිලෝමීටර්ස් ගාණක් කැම්පස් එක ඇතුළෙ කෑ ගගහා පයින් ඇවිදගෙන ගිහිල්ලා හවස් වෙද්දි උණ හැදිලා කටඅඬත් අතුරුදන් වුණාට පස්සෙ පේරේ නොආ තීරණේ හොඳයි කියලා වැහිදැරියට යම් දුරකට හිතෙන්න පටන් අරන් තිබුණා. ඇතැම් විට ඒ සෞන්දර්යයත් ගම්භීර ගතියත් සෞම්‍ය හුදෙකලාවත් දිනපතා විඳින්න බර වැඩි වගේ හැඟීමකින් වෙන්නත් පුළුවන්!

කොහොම හරි ඊයෙ පෙරේදා වැහිදැරිය සම්මුඛ පරීක්ෂණයකට පේරාදෙණිය සරසවියට ගියා. ඒ ගමන මීට අවුරුදු කීපයකට කලින් යෙදුණා නම් ඒ මොහොතේ ලෝකෙ සතුටින්ම සහ බලාපොරොත්තු සහගතවම ඉන්න මනුස්සයා වැහිදැරිවි වෙන්න හොඳටම ඉඩ තිබුණා. ඒත් අන්ධකාර කාලයක අග මුණ ගැහුණ අනවරත ආලෝකයක් ප්‍රදායනය කරන තාරකා එළියක් වගේ ඇදුරුතුමියක්, භාවනාමය තෘප්තියකින් උගන්වන්න පුළුවන් විෂය නිර්දේශයක් සහ සෙන් උද්‍යානයක සන්සුන් බව සහ උද්යෝගය එකට කැටි වුණ බොන්සායි තුරු වාගෙ සිසුන් කණ්ඩායමක් මුණ ගැහුණාට පස්සෙ ඒ තීරණය - ගැනීමට ඉතාම අපහසු තීරණයක් බවට පත්වෙලා තිබුණා. සමීපතමයන්ගෙන් දුරස්ව යාම හා සමානම අසීරුවක් පෙර කී අත්හැරීම ගැන නිකමට හිතන කොට පවා වැහිදැරියට දැනුණා..

ඉතින් ඒ නිසාම වෙන්න ඇති, පේරාදෙණියෙ ලස්සන මේ වතාවේ නම් වැහිදැරියගේ ඇස් දෙකට අල්ලාගන්න අසීරු වුණා. වැව රවුමෙ ඇවිදන් යද්දි - දළදා මාළිගාව ඇතුළෙදි නම් ‍දෙනෝදාහක් මැද වුණත් දැනෙන සන්සුන් නිශ්චලතාව දශම ගණනකින්වත් වෙනස් වෙලා තිබුණෙ නැතත් මල් පාර - වළ - පොළොන්නරුව - වූස් ගෙම්බා අවන්හල් වගේ- වැහිදැරිය වෙනදාට කැම්පස් එකේ ඇවිදින්න කැමතිම තැන්වලවත් ඇවිදින්න වුවමනාවක් මේ පාර දැනුණෙ නෑ.

සමහර තැන් ලස්සනටම දැනෙන්නේ ඒ තැන්වලට අපිට අයිතියක් - හිමිවීමක් - අඩුම තරමේ හිමිවෙයි කියන බලාපොරොත්තුවවත් නැති වුණාම වෙන්න ඇති - වැවරවුම පහු කරගෙන ඇවිත් කොළඹ පැත්තට වාහනේ හැරවෙද්දි, ඉයර් ප්ලග්ස් අස්සෙන් හන්තානේ කඳු මුදුන සිසාරා සින්දුව අහගෙන හිටපු වැහිදැරියට හිතුණා..! 

Sunday, December 1, 2024

120. අනුරාධපුරේ දවසකුත් ඇති!

ග්‍රීසියෙන් පෙරදිගට පාත් වුණ දැරිවියක්ය කියලා කේන්දරේ තිබ්බට ⁣වැහිදැරියට හිතෙන්නෙම පූර්වාත්මභව හුඟක ඉන්න ඇත්තෙ අනුරාධපුරේ කියලයි. ඒ තරම් තද ආදරයක් වැහිදැරියට අනුරාධපුරේ එක්ක තියෙනවා.

මාසෙකට දෙතුන් පාරක් යන්න සැලසෙන දිගු තීර්ථ චාරිකා එකතුව පිරික්සලා බැලුවම, කොවිඩ් කාලෙ ඇරුණම ජීවිතේ අනිත් හැම අවුරුද්දෙම වැසි දැරිවිට වසරකට කීප වතාවක් අනුරාධපුර යන්න වැඩ සැලැස්වෙනව. හරියට තද ආත්මීය බන්ධනයකින් වැහිදැරිවිව රජරටට බැඳලා තියෙනවා වගෙයි.

ඉස්සර හැම අවුරුද්දෙම අනුරාධපුරේ යන්න වැහිදැරිවිට වැදෙන චාන්ස් එක තමා ජපුර සරසවියෙ භාෂා හා සංස්කෘතික අධ්‍යයනාංශයෙ බිහිවැඩ චාරිකාව. 

ඒ හැම අනුරාධපුර චාරිකාවකදිම වැහිදැරිය ගියත් නැතත් තාත්තා කුට්ටම්පොකුණ අද්දර සුට්ටං කඩේක රෙදි බෝනික්කො විකුණපු යුවතියකගෙන් බෝනික්කො අරන් ආවා. අදටත් වැහිදැරිවි ගාව මේ රෙදි බෝනික්කො රංචුවක් ඉන්නවා. එයාලාට එක එක කාලෙට නම් වැටුණේ එක එක විදියට. ලෝරා පොත් පෙළ කියවන කාලෙ ලෝරා,මේරි,කේරි. ඉන්දියානු පොත් කියවන කාලෙට රත්නා, ක්රිෂ්ණි.. ඔය විදියට නානාප්‍රකාර නම්වලින් හැඳින්වුණ බෝනික්කො එකතුව ටික ටික වැඩි වෙද්දි බෝනික්කො විකුණූ යුවතිය පුංචි යතුරුපැදියෙන් කාර් පොඩ්ඩෙක් දක්වා විතැන් වෙලා ව්‍යවසායිකාවක් වෙලා උන්නා.

වැහිදරුවා වැහිදැරිවිගෙ ජීවිතේට ආවට පස්සෙ අනුරාධපුරට ගිය හැම වතාවෙම ඔහු මේ බෝනික්කො වෙළඳසැලෙන් වැහිදැරිවිට බෝනික්කෙක් අරන් දෙන්න බලන් උන්නත් ඒ එක වතාවකවත් ඒ වෙළඳසැල තිබුණෙ නෑ. බාගෙදා වෙනත් තැනක - වෙනත් පෙදෙසක - වෙනත් දේසෙක ඒ හුරුබුහුටි රෙදි බෝනික්කියො ඈ අතින් අළෙවි වෙනවා ඇති! 

කුට්ටම්පොකුණු මතකෙත් එක්ක වැහිදැරිවිට මතක් වෙන්නෙ අනුරාධපුරේ අස්සක් මුල්ලක් නෑර සරසවි අය්යලා අක්කලා එක්ක ඇවිදපු හැටි. එදා වැහිදැරිවිගෙ අතින් අල්ලන් නැත්නම් වඩාගෙන ගල්පඩිපේළි නැගපු ශශී අක්කා, හැපී අය්යා, සරසි අක්කා, මුතු අක්කා ඇතුළු ඇතැමෙක් අදටත් මුණගැහෙන සහෝදරාත්ම. ආලෝකා, අයේෂා, මහේෂි, ජනක, සංජීව, කෛලාශි වාගෙ තවත් සහෝදර සහෝදරියන් බොහොමයක් ඔවුන්ගෙ සරසවි සමයෙන් පස්සෙ වැහිදැරිවිට හමුවෙලාම නැති තරම්. වැහිදැරිවිගෙ අම්මායි වැහිදැරිවියි එක්ක නටබුන් අතරෙ ඇවිද යන අතරෙ වැහිදැරිවි පෙරදිග සාහිත්‍යය අපරදිගට ගෙන යනවා නේද කියලා පොරොන්දු කරවාගෙන මනරම් සාහිත සංවාද කරපු අරුණ අය්යා ඇතුළු සමහර සහෝදරවරු ආයෙ නොඑන්නම ජීවිතෙන් සමුගෙන ගිහින්. ඒත් බටු ඇටේක සිට නවයොවුන් දැරියක් වන තෙක් කුඩා වැහිදැරිවිව පරිස්සමින් ගල්පඩි නග්ගවාපු ඔවුන්ගෙ අත්වල සහෝදර උණුහුම, තනියම ගල්පඩිවල පැන පැන යන්න ගත්ත වයස⁣ට ආව නමුත් වැහිදැරියට කිසිදාක අමතක වන්නෙ නෑ.

මතක ඇති කාලෙ ඉඳන් ඒ සරසවි සංචාරවලත්, නිවාඩු සමයන්හි නිවැසියන් එක්ක යෙදුණු ඉසිඹු ගමන්වලත් බොහෝ විට මාර්ගෝපදේශක භූමිකාව දැරුවෙ ශාන්ත හාමුදුරුවෝ. සරසවි ශිෂ්‍ය භික්ෂුවක්ව හාමුදුරුවෝ වැඩවිසූ ආරණ්‍ය සේනාසනය තිබුණේ විජයපුර නිසා නිතැතින්ම හාමුදුරුවෝ මග පෙන්වීමේ කාර්යය භාරගත්තා. ඉන්පස්සෙ හාමුදුරුවෝ සරසවියෙ සංස්කෘත භාෂාව පිළිබඳ කථිකාචාර්ය පදවියකට පත් වීමත් එක්ක නිරන්තරයෙ අපේ අනුරාධපුර චාරිකාවන්වලට ආරණ්‍යමය සැහැල්ලුවක් සහ සන්තුෂ්ටියක් එක් කළේ හාමුදුරුවෝ. වැහිදැරිවිගෙ ආච්චිව රෝදපුටුවෙ තියාගෙන රුවන්වැලි⁣සෑ මලුවෙ පැදකුණු කරවලා ආශිර්වාද කිරීමේ ඉඳලා ප්‍රත්‍යසම්පාදනය දක්වා හාමුදුරුවෝ අපේ අනුරාධපුර චාරිකා සුවිසාල කරුණාවකින් පුරවලා තියෙනවා.තමන්ටයි අනුන්ටයි දෙගොල්ලන්ටම වැඩක් නැති සාටෝපී විවාහ උත්සවයක් ගන්නවා වෙනුවට සරලව විවාහය ලියාපදිංචි කරලා උත්සවයක⁣ට වෙන් කරන මුදලින් පාසලකට උපකාර කරන්න තීරණය කරපු වැසි දැරියටයි වැසි දරුවාටයි ජීවිතේ මනරම්ම දවසෙ ස්වේච්ඡාවෙන්ම පිරිත් දේශනා කරන්න භාරගත්තෙත් ශාන්ත හාමුදුරුවෝ. ඉතින් අනුරාධපුර විතරක් නොවෙයි ජීවිතයේ ගොඩක් තැන් ඒ කල්‍යාණ මිත්‍ර ආශිර්වාදයෙන් වියුක්ත කරලා සිහි නංවන්න බෑ. 

කෝම හරි ඔය අනුරාධපුර ගමන්වලදි වැහිදැරිවි ආසාම රියේ පිටිපස්සෙ වීදුරුව⁣ පැත්තට මූණ යොමාගෙන පහුවෙලා යන ගස් වකාරෙන් පිරුණු ලස්සන පාරවල් දිහා බලාගෙන යන්නයි. ඉන්පස්සෙ පූජා නගරයෙ ප්‍රදක්ෂිණා පථවල, ගල් ⁣අල්ලපු පාරවල සහ තණපිඩැලි මත්තෙ, දියබෙරලියා මලක් වගේ සරල වනපස මල් අතින් අරගෙන නිස්කාංසු⁣වෙ ඇවිදගෙන යන්නයි. ඊටත්පස්සෙ නටබුන් - ගල්කණු - ආරාම සංකීර්ණ - පොකුණු - ගරාවැටුණු පුරාතන විශ්වවිද්‍යාල අතරෙ සරමින් - මුරගල්වල හුරුබුහුටි සංඛ-පද්ම රූප අතගාමින් - සමන් සිත්තරා කියපු අනුරාධපුර යුගයෙ සරල සම්භාව්‍ය බව සඳකඩපහණක ලියපෙත්තකින් විඳිමින් - දැක්මෙන් පවා තපස්වරියන්ගෙ සිල් බිඳුණාය කියන නාග මානවකයන්ගෙ සුනම්‍ය තුරුණු කොපුල් මඟඅරිමින් - ඔ⁣රලෝසු කටු ගැන වගේ වගක් නැතුව අමා රස්තියාදුවෙ යන්නයි. 

දෑවුරුද්දක⁣ට විතර ඉහතදි වැහිදැරිවිත්, වැහිදරුවාත්, සුදුඅම්මාත්, සරසවි මිතුරු ගයන්තත් අනුරාධපුර දක්වා යන්න සැලසුම් කරපු හිතුවක්කාර දුම්රිය ගමන දුම්රිය වර්ජනයක්ද කොහෙද හේතුවෙන් බස් ගමනක් බවට පෙරැලුමත් කදිම අනුරාධපුර මතකයක්.

ඒ ගමනෙදි තමා වැහිදැරිවි වැඩිපුරම වෙලාවක් නටබුන් අතර රැඳී උන්නෙ. එක ⁣කොරවක්ගලක් ගාව සෑහෙන වෙලා අපි හතර දෙනා රැඳීගෙන කැටයම් අත ගගා ඉන්න ඇති. රාත්‍රියෙ රුවන්වැලි සෑ මලුවෙ කාලය ගැන හැඟුමක් නැතුව රැඳී ඉඳලා, මහබෝධියට යන මග පහන් පූජා නරඹමින්, ගත කළ වෙලාව හෝරා ගණනක් වෙන්න ඇති. 

වෙස්සගිරියෙ ඇතුළු ගල්ගුහා වෙතටම ගිහින් මිහිඳු මහරහතන් වහන්සේ භාරත රාජ්‍යයම අත්හැරලා සැතපෙන්න තෝරාගත්ත ශිලා යහන වෙතත්, ඉන්පස්සෙ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න තෝරාගත්ත විශ්ව ශක්ති කේන්ද්‍ර වෙතත් නැගගෙන ගිය ගමන කිසිදා අමතක කරන්න බෑ. වෙස්සගිරියෙ එකිනෙක මත සමබර කරපු සුවිශිෂ්ට තාක්ෂණයකින් යුතු ශිලා කේන්ද්‍රවල විස්මයාවහ බවත් විඳගනිමින් - ගල්පර්වතයෙ ස්වභාවික ගල් ඇඳන් මත ⁣හතරදෙනා එක පෙළට වැතිරිලා - ගලින් කළ කොට්ට මත හිස හොවාගෙන භාවනා කළ මතකය අටවිසිවසක ජීවිතයේ සන්සුන්ම මතකයක්.

'ඒ අමා රස්තියාදුව' නමින් ගයන්ත, ඒ ගමන ගැන කවි හත අටකුත් ලියා තිබුණා මතකයි. 

'ලියවැල් මත වෙලී පැටලී වෙමිනි පමා...

ඇත් අස් සිහ රඳුනි මේ ලෙස දුවනු කිමා...

සඳකඩපහණ මත ඇවිදින හිස ද නමා...

හස රද පැවසුවේ නවතින අයුරු තමා...'

කියා තමයි ඒ කවි ටිකෙහි පළමු කොටස අවසන් කරලා තිබුණෙ. ඒකෙ දෙවෙනි කො⁣ටස බාගෙදා මනුස්සයා දෑවුරුද්දක් තිස්සෙ තාම ලියනවා ඇති. ඕං මේ බ්ලොග් පෝස්ටුව කියෙව්වොත් හෙම මේ තියෙන්නෙ ඒක සම්පූර්ණ කරන්න සිහි කැඳවීමක්!

මෑතක පටන් නිසැකවම අනුරාධපුරේ වාර්ෂිකව යන්න හේතුවක් සපයන්නෙ අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය. හැම වසරකම එහි බෞද්ධ අධ්‍යයන අරබයා අන්තර්ජාතික  සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා. 

මෙවර සම්මන්ත්‍රණය ශාස්ත්‍රකාමීන්ට සැණකෙළියක් බඳු එකක් වුණා. සංවාද, ප්‍රතිසංවාද, තර්ක ඛණ්ඩන මැදින් ඉතා කදිමට ගලා ගියා.වැහිදැරියගෙ ජීවිතේ ඉන්න සමීපතම-ආදරණීයම චරිතයක් වන ආචාර්යතුමියකුත්, ගුරු ජීවිතයට අත්‍යන්තයෙන්ම ආදරය කරන තාරකා එළියක් බඳු සහෝදරියකුත්, තවත් ශාස්ත්‍රකාමී භික්ෂූන් වහන්සේලා සහ සහෝදර සහෝදරියන්ගෙ හුරුපුරුදු මුහුණු රැසකුත් එක්ක වැසිදැරිගෙ කෙටි ගුරුජීවිතේ මුණගැහුණ සුවිශිෂ්ටම ශිෂ්‍යයෙකුත් සම්මන්ත්‍රණයෙදි මුණගැහුම අහඹු මිහිරක්. 

ඒ වගෙම මෙතෙක් භෞතිකව මුණගැහී නොතිබුණු සහෝදර බ්ලොග්කරුවකු වන හසිත චාමිකර ගුණසිංහ සහෝදරයා, කැළණිය සරසවියේ ඉතිහාස අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයකු ලෙස මුණ ගැහීමත් ප්‍රීතිමත් අහම්බයක්. ඔහු සරසවි සිසුවෙකු සමයෙ ලියූ ඊ අටුවාව හා ආගිය කතා ඉතිහාසමය-පුරාවිද්‍යාත්මක රසාලිප්තය කියවන්න පටන් ගනිද්දි වැහි දැරිය දහය වසරෙ දැරියක්. ඒ අතීත බ්ලොග් මතකවලින් පටන්ගෙන පර්යේෂණ සැසිය අවසන් වෙලා බ්ලොග් මතක ගැන සතරකන්මන්ත්‍රණ සැසියක් හිටගනම එතැන පවත්වපු හසිත අය්යාත් මාත් ඒ සාකච්ඡාව නැවැත්වුවෙ සංවිධායක මණ්ඩලය ශාලාව වහන්න සැරසෙන විටයි.

සැසිය අවසන් වෙලා මහැදුරු,ඇදුරු,පර්යේෂක ගිහිපැවිදි හිතවතුන්ගෙන් සමු අරන් යන අතරෙ ගිය වසරෙ සම්මන්ත්‍රණයට ගිය වතාවෙ තදින් අසනීප වී රෝහල්ගතව උන් සුමින්ද අය්යාට අපි දෙන්නා රුවන්වැලි සෑ මලුවෙදි වීඩියෝ ඇමතුමක් ගත් හැටිත් වැහි දරුවාටයි වැහි දැරිවිටයි සිහිපත් වුණා. කොහොමටත් අනුරාධපුරය හැම විටම සුමින්ද අය්යා ලියූ ලුම්බිණි ආඛ්‍යානය සමඟ ඔහුව සිහිපත් කරනවා. ඔහු ඒ ආඛ්‍යාන කාව්‍යයෙහි ප්‍රධාන චරිතය නම් කරන්නෙ අනුරාධ නමින් නිසා. ඒ රජරට ශිෂ්ටාචාරයෙහි පැවති සුවිශිෂ්ටත්වය පිළිබඳ සංකේතීය නිරූපණයක් විලසිනුයි.

'මං උඹලා දෙන්න⁣ගෙ ආදර කතාවට හෙන ආදරෙයි' කියා අප දෙන්නාට යළි කියන්නට අනුරාධ මැවූ හෘදයවාසී වැඩිමහල් සහෝදරයාගේ හඬ නැවත කිසිදාක නෑසෙන බවට දැනෙද්දි ඔහුගෙ අකල් වියෝවෙ රිදුම් අලුත් වුණා. ඒ හිස්තැන කිසිදා නොපිරවෙනු ඇති මුත්, මේ ලෝකයෙ ජීවත් වුණ සුන්දරම ආත්මයක් වුණ ඔහු මේ භවයෙ වේදනාවෙන් මිදී යාම ගැන සැහැල්ලු සැනසුමකුත් මෙවර අනුරාධපුර ගමනෙදි දැනුණා.

වෙනදා මෙන් දින ගණන් නවාතැන්ගත නූන මේ වතාවෙ අනුරාධපුර ගමන අවසන් වුණේ ඇතුගල්පුර මල්ගොමුවෙන්. ජීවිතයෙ මුණගැහුණ සුන්දරම පවුල් අතරින් එකක් වන ඔවුන් සමඟ ගෙවුණු සංවාද රාත්‍රියත් අනුරාධපුර උදා-දිවා-හවස්වරු තරම්ම මිහිරියි. නරක දේකට කියලා තිවුණෙ, මල්රේණු සහෝදරයා පළ කරපු අලුත් පොතේ පිටපතක් ඉස්සරලා ආපු කනට වඩා පස්සෙ ආපු අඟ ලොකු වෙලා, වැහිදැරිවිට අපහාස කරලා වැහිදරුවාට හොඳ මල්ලි කියලා ආමන්ත්‍රණය කරලා  අත්සන් කරලා දුන්න එක.

හැබැයි මල්රේණු සහෝදරයා එක්ක මතක ඇති කාලෙ ඉඳලා නයි මුගටි ගැටුම වාගෙ කොයි තරම් රණ්ඩු සරුවල් වුණත්, ඔහුගෙ අලුත් පොත - 'රතු කොණ්ඩකාරියගෙ කතාව' ගාව පූර්ව භවයක තරම් ඉඳලා එන රණ්ඩුව තාවකාලිකව අමතක කරලා දාන්න වැහිදැරිවි තීරණේ කළා.

ළදරු නාමකරණයේ පටන් ස්ත්‍රියගේ ස්වාධීන බව අහිමි වීමේ හා ස්ත්‍රිය වාස්තවීකරණය වීමේ අවුල, පුරුෂෝත්තමවාදයෙහි අඳුර සහ ඊට එදිරිව ස්ත්‍රී විභවතාව, ස්ත්‍රීත්වයෙහි/මනුෂ්‍යත්වයෙහි වටිනාකම් බාහිර රූපයට පමණක් සීමා කිරීමේ ඛේදය, Bullying හෙවත් අනවරත හිරිහැරකිරීම් ළමා මනසක් කෙරේ ඇති කරන බලපෑම,  සමාජදේහය පුරා දිවෙන පන්ති විෂමතාව සහ නවයොවුන් ආලයේ මිහිරි සිහිලැල්ල ආදී සොඳුරු - සුගැඹුරු සංලක්ෂයන් රැසක් රතු කොණ්ඩකාරි විසින් ස්පර්ශ කරලා තියෙනවා.

අලුත් සෙමෙස්තරය පටන් ගන්න ළඟ නිසා ඒ පොත ගැන දිගට ලියන්න වෙලාවක් තියේද සැකයි. ඒත් එය එහෙම මඟ හැරී යා යුතු නොවන මනරම් පොතක් වන නිසායි, ඒ ගැනත් මේ සටහනටම ඇතුළු කළ යුතුම යැයි හිතු⁣ණේ.

කෝම හරි අනුරාධපුර සිට ඇතුගල්පුර දක්වාත්, ඉන්පස්සෙ ඇතුගල්පුර සිට කො⁣ළොම්පුර දක්වාත් රියේ කවුළු ඇරන් එද්දි වැව් තල සිපගෙන එන සුළං පහස තමන්ව සිපගන්න කොට වැහිදැරිවිට දැනුණේ වෙනදා වගේ දින ගණන් ගත නොකළත් අනුරාධපුරේ ගත කරන මොහොතක් පවා කොතරම් නම් මිහිරිද.. සිහිලැතිද කියායි..

ඉන්ඩියන් හයි කොමිසමේ අධ්‍යක්ෂ මහාචාර්ය අන්කූරන් දත්තා නම් තරුණ විද්වතා තමාට අනුරාධපුරයේ පෞරාණික නටබුන් අතර ඇවිද යද්දී ඇඬෙන බව කී අයුරුත්, ඊනියා සාහිත්‍ය සම්මානවලට හැමදාම මඟඇරෙන ඉසුරු චාමර සෝමවීර සහෝදරයාගේ කවි අතරෙ වූ මහබෝධියට යන මග කවියත්, මහබෝධියට යන මග වෙසෙන කුමාර සේනානායක වැඩිහිටි විද්වතා තුළ වන තමාට මියෙන්නට ඕනෑ බෝ සෙවණ දැනෙන මානයක බවට වන ප්‍රාර්ථනයත්, ලබ්ධියෙන් බොදුනුවකු නොවන මහාචාර්ය වෝල්ටර් මාරසිංහ ඇදුරුතුමන් ලෝකයේ සුවැතිම සුළඟ හමන්නේ අනුරාධපුර රාජධානියෙන් බවට කළ ප්‍රකාශයත් ඒ එක්ක සිහිපත් වුණා..

ඉතින්.. ජීවිතේ මාස ගණනාවකට නිවෙන්න අනුරාධපුර ගෙවෙන එක දවසකුත් ඇති කියා වැහි දැරිවිටත් හිතෙන එක අරුමයක් නෑ නේද..)

Tuesday, November 19, 2024

119. මධුවන්තී, වැහි කියැවිලි සහ ගී මධූ!

මධුවන්ති ගී දැහැනෙ මේ සතියෙ ගී තෝරන්න එන්න කියලා ආරාධනාවක් ලැබුණා පහුගිය සතියෙ දවසක. 

ඒත් ගුවන්විදුලි මැදිරියට යන තුරුම, මේ අතීතයේ සේකර-අමරදේව සුසංයෝගයෙන් කෙරුණු මධුවන්තියෙම යළි පණගැන්වීම බව දැනගෙන හිටියෙ නෑ.

වැඩසටහන් නිෂ්පාදිකාව වූ පවිත්‍රා නානායක්කාර සහෝදරිය හෝරාවක් පුරා පැණසර පැන නගමින් සුවිශිෂ්ට සන්නිවේදිකාවකගෙ භූමිකාව ඉටු කළා.

වෙසෙසින්ම මේ ගැන වියුණු අඩවියෙ ලියන්න හිතුවෙ වියුණු හරහා මුණගැහුණු ඉයන් ලිංතොට බ්ලොග් සහෘදයාගෙ ගීතයක් වන 'දැන් ළඳුන් සිංහාසනේ' ගැනත් මේ සංවාදයෙදි කතා කළ නිසයි.

වැහි දැරිවිගෙ වැහි කියැවිල්ල ඔන්න එහෙනම් මෙතැන අමුණා තියනවා.

https://youtu.be/UvcJXpavyYo?si=dV-C8tI3M2H1McOt


Tuesday, November 12, 2024

118. සිහිල් දිය උල්පත්, උත්තර තාරකා එළි සහ සුමින්ද කිත්සිරි ගුණරත්න!


'ලෝකය අද තව හොඳ මිනිසකුගෙන් හිස් වුණා..'

සුමින්ද කිත්සිරි ගුණරත්න, සුවිශිෂ්ට මනුෂ්‍යයාගේ නික්ම යාම ගැන, වැහිදැරිවිගේ තාත්තා, අද දින පොතේ එහෙම ලියා තිවුණා. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම ඇසූ මොහොතේ පටන් හිරකරගෙන සිටි ඇස අස වැසි, ගලන්නට ඉඩ දෙමින්, වැසි දැරිය, ඒ දින සටහනින් පටන්ගෙන තාත්තා ඔහු ගැන තැබූ හෘදය සටහන කියවූවා.  

ලුම්බිණි ආඛ්‍යාන කාව්‍යයයේ සිට ප්‍රිස්මහි සංකිත කවි දක්වා ඕනෑම කාව්‍ය ආකෘතියක විස්කම් පෑ අතිදක්ෂ නිර්මාණකරුවා, වැසිදැරියගෙ ජීවිතයෙ පළමු ගුවන්විදුලි වැඩසටහන මෙහෙයවූ සුවිශිෂ්ට සන්නිවේදකයා, මානවවංශවේදී සිනමා ක්ෂේත්‍රයෙහි දුර්ලභ පර්යේෂකයා ආදී විවිධ ස්වරූපවලින් සුමින්ද අය්යාව මතක් විය යුතු වූවාට, වැසිදැරියට ඔහුව මුලින්ම මතක ඒ කිසි විදියකට නොවෙයි. 'චක්කරං' විදියටයි. ඒ ඔහුගෙ සරසවියෙ අන්වර්ථ නාමය. 'චක්කරං කොටුව' ඔහුගෙ පළවෙනි කවි පොත. සුමින්ද අය්යා අලුත් පොතක් ලියලා කියලා, පස් හැවිරිදි වැසි දැරියට අම්මා කිව්වම, 'එයා ආයෙත් චක්කරං කොටුවක් ලියලද?' කියලා අහපු අතිපණ්ඩිත ළමයාට සුමින්ද අය්යා දුන්න පළවෙනි තෑග්ග තමයි 'ඇහැළි' - ඔහුගෙ දෙවැනි කවි පොත.

ඒ පොතේ පළමු පිටුවෙ, 

'අප හද හර්ෂා-තෙමනා වර්ෂා

සිඟිත්තියට මේ ආදර වර්ෂා'

කියා විසල් අකුරින් ඇබින්දන් වැහිදැරියට අත්සන් කරලා දීලා, තමන්ගෙ ගුරුවරු වූ වැහිදැරිවිගෙ අම්මාවත් තාත්තාවත්, සුමින්ද අය්යා, වරහන් ඇතුළෙ කුඩා අකුරින් සිහිපත් කරලා තිබුණා. 

ඊට අවුරුදු දහයකට විත⁣ර පස්සෙ, ඔහුගෙ දෘශ්‍යාත්මක මානව විද්‍යාව සම්බන්ධ පර්යේෂණ කෘතියෙ පිදු⁣ම, වරහන් නැතුව, වැහිදැරිවිගෙ අම්මාටත් තාත්තාටත් පිළිගන්වමින් ඔහු ලියා තිබුණෙ මෙහෙම සටහනක්.

'ගිනිගහනා අගනගරේ කූටමහල් තෙමා

සමන් කුසුම් වර්ෂාවකි හදවත් දිය දමා

සංසාරේ විෂ රුක මත පල දුටුවෙමි අමා

ඔබ දැකුමෙන් යුගනෙතු පින සපුරාගති සැමා'

ගිනිගහනා අගනගරයෙ වැහිදැරිවිලාගෙ ගෙදර, මනරම් සංවාද විසල් ප්‍රමාණයක්, සුමින්ද අය්යා එක්ක සිද්ධ වෙලා තියෙනවා. විවෘත විශ්වවිද්‍යාලයෙ වැඩ  අවසන් කරලා හැන්දෑවරුවෙ, හිටපු ගමන් නොකියාම ඇවිත් අපි එක්ක හෝරා ගණන් ගෙවමින් සුමින්ද අය්යා කළ සංවාද, වැහිදැරිවිගෙ හදවත් පොතේ තද මතක තීන්තෙන් සටහන් වෙලා තියෙනවා.

පස්සෙ කාලෙක ඒ සංවාදවල නිත්‍ය සාමාජිකයකු වූ වැහිදරුවා, වැහිදැරිවිගෙ ජීවිතය බෙදාගන්නා ගමන් සගයා බවට පත් වෙන්න පෙරයි, වැහිදරුවාත් සුමින්ද අය්යාත් කළණ මිතුරන්-සහෝදරයන් වී තිබුණේ.

අප විවාහ වූ දවසෙ වැහිදරුවා වෙනුවෙන් අත්සන් කරන්න ඔහුව තෝරාගත්තෙත් අපි දෙන්නාගෙම ජීවිතයෙ ඔහු සුවිසල් තැනක විසූ හින්දයි. 

සුමින්ද අය්යාගෙ නික්ම යාම, ⁣හද රිදවන කාරණාවක් වන්නෙ, ඔහු එපමණ කිට්ටුවන්ත සහෝදරයකු-මිතුරකු-සංවාද සගයකු වූ නිසා පමණක් නොවෙයි. ඔහු සිය ජීවිත කාලය පුරා යහපත් සාහිත්‍යයක් සමාජගත කරන්න⁣ටත් - දැන් ⁣බොහෝ විට සිදු වන්නාක් මෙන්, කවිය ලිංගිකත්වය හා ඕපාදූප පළ කරන්නට යොදාගන්නා හුදු ප්‍රකාශන මාධ්‍යයක් නොකොට, උත්තර තලයක රඳවන්නටත් අත්‍යන්තයෙන්ම කටයුතු කළ සාහිත්‍යධරයකු නිසයි. 

ජපුර සුමංගල කියැවීම් ශාලාවෙ, ⁣ශේන්‍යා ප්‍රනාන්දු සහෝදරියගෙ පළමු පොත එළිදකින දවසෙ, සුමින්ද අය්යා, පාලුව-හුදෙකලාව-පරම හුදෙකලාව සංකල්ප මතු කරලා, නිර්වාණය එක්ක ඒ සංවාදය ගලපලා කළ කතාව ඔහුගෙ උත්තර සාහිත භාවිතාවට එක් නිදර්ශනයක් පමණයි.

සුමින්ද අය්යාට, ඡායාව අනපායිනී වෙමින්, නිරෝගී සමයේත් ගිලන් සමයේත් එක ලෙස - අනලස්ව ආදරය දුන් දර්ශි අක්කා, ඉතා වාසනාවන්ත බිරිඳක් වන්නේත්, සරිත් සහ සාධ්‍යා ඉතා වාසනාවන්ත දරුවන් වන්නේ එවන් මනුෂ්‍යයෙක් සමඟ ජීවිතය බෙදාගැනීමට ලැබීම, කලාතුරකින් ජීවිතයක⁣ට හිමි වන හිමිවීමක් නිසයි.

සුමින්ද අය්යා, වෘත්තියෙන් ඊනියා ඇකඩමික් කෙනෙක් නොවුණාට, ඇකඩමික්ස්ලා දාස් ගණනකගෙ ඇකඩමික් වැඩ කරපු ශාස්ත්‍රවන්තයෙක්. 

දේශන විසල් ප්‍රමාණයක් ස්වේච්ඡාවෙන් - සතයක් නොගෙන - පෙරළා කිසිවක් අපේක්ෂා නොකොට සිදු කළ සුවිශිෂ්ට දේශකයෙක්. 

සිය සාහිත්‍ය භාවිතාවෙ ස්වාධීන සුගැඹුරකින් නියැලුණ පරිණත සාහිත්‍යවේදියෙක්.

අවුරුදු අසූ - අනූ ගණනක් ජීවත් වෙන ඇතැමකුට කරන්න බැරි වන තරමෙ වැඩ ප්‍රමාණයක් සිය කෙටි ජීවිතකාලය ඇතුළෙ කරපු සදාකාලික තරුණයෙක්.

ලෞකිකත්වයේ සිට ආධ්‍යාත්මිකත්වය වෙත, ව්‍යාජයකින් හෝ මුලාවකින් නොව, ගැඹුරු අවබෝධයකින් විතැන් වුණ ගවේශකයෙක්.

බුදුදහමේ සුවිශිෂ්ටත්වය, අතිනව්‍යත්වය හා පරම විප්ලවීය බව ගැඹුරින්ම වටහාගන්න සමත් වුණ දාර්ශනිකයෙක්.

ඔහු තදින් ගිලන්ව සිටි අවසන් වකවානුවෙ කෙරුණු සංවාදවල තිබුණ - කවියට එහා ගිය ආධ්‍යාත්මිකත්වයකුත් කැටි වුණ ගැඹුර - සුගැඹුර - සුමිහිර ඒ සඳහා නොබිඳෙන සාක්ෂ්‍යයි.

ඒ ගැඹුර, ගැඹුරු නින්දකට හරවාගෙන, ඔහු යන්නම ගිහින් ඇති වග ආරංචි වුණ මොහොතෙ, වැහිදැරිය, රිය පදවමින් උන් වැහිදරුවාට ඒ බව කිව්වෙ නෑ. සුමින්ද අය්යා කෙරෙහි වැහිදරුවා තුළ තිබුණ ආදරයෙහි, සහෝදරත්⁣වයෙහි දිගපළල කොතෙක්ද කියා දන්නා නිසා, සන්සුන් මොහොතක් එනතුරු පොරොත්තුව ඒ බව නොකියා සිට, ඒ ගැන කියූ ඉක්බිති, වැහි දරුවා කියපු යමක්, මේ සටහන නිමවන්න සුදුසුම පසු සටහන කියා හිතෙනවා.

'සුමින්ද අය්යා නැතුව පාලුයි. ඉස්සරහට ඒ පාලුව තවත් දැනෙයි. ඒත් එයා නතර කරලා ගියපු තැනින් අපි ඉදිරියට වැඩ කරන්න ඕන..'

සුමින්ද අය්යා ජීවිත කාලය පුරා වඩා යහපත් ලෝකයක් - වඩා යහපත් කලාවක් වෙනුවෙන් කළ වැඩ, විවිධ ස්වරූපයෙන් අපේ ජීවිත කාලය පු⁣රා කෙරේවි.. ඔහුගේ කවි - සටහන් - අපි අතරේ ජීවත් වේවි.. 

ඉතින්, සුමින්ද අය්යා වගේ මිනිසුන් නික්ම යන්නේ නෑ. පරම හුදෙකලාවෙන් හෝ ඊට මෙපිටින් නිවී ගියත්, සුපැහැදිලි උල්පත් වතුර ප්‍රදායනය කරමින්, උස් කඳු මුදුනකින් ගලා එන සිහිල් දිය උල්පත් වගේ ලෝකය සුවපත් කරමින් - උත්තර තාරකා එළි වගේ ජීවිත ආලෝකවත් කරමින් ජීවත් වෙනවා..!

Sunday, November 3, 2024

115. පිං කුසුමී! 🌸

ජපුරෙ හිටපු උපකුලපතිවරයෙක් වුණ චන්දිම සර් ආයු සංස්කාරය අත්හැරියාය කියා අද උදේ පණිවිඩයක් ආවා.

වැසිදැරිවිට ඒක අහපු ගමන් පිං කුසුමී මතක් වුණා. වැසිදැරිවි  මුණගැහුණ හැම දවසකම චන්දිම සර් වැසිදැරිවිට කතා කළේ පිං කුසුමී කියලයි.

පිං කුසුමී කියන්නෙ චන්දිම සර් ලියාපු පොතක්. ළමා කතා පොතක්. ඒ පොත ලියපු දවස්වල, අවුරුදු පහක් විතර බබෙක් වුණ කුඩා වැහිදැරිවිට, චන්දිම සර් ඒකෙ පිටපතක් අත්සන් කරලා දුන්නෙ, පිං කුසුමීට කියලයි. 

⁣කොතෙක් තෑගි ලෙස පොත් ලැබිලා තිබුණත් පිං කුසුමී වෙසෙස්ව දැනෙන්න එක හේතුවක් අම්මා තාත්තාගෙන් ලැබුණ තෑගි ලෙස එතෙක් ලැබිලා තිබුණ පොත්වලට අමතරව, වෙනත් කෙනෙකුගෙන් තෑගි ලැබුණ මුල්ම පොතක් විදියට වැහිදැරියට මතක තියෙන්නෙ පිං කුසුමී වීම!

ඒ වගෙම වැහිදැරිවිගෙ නම, කුසුම්වර්ෂා නිසා සර් වැහිදැරිවි මුණගැහෙන හැම වෙලාවකම, 'ඔයාට තමා ඒ පොතේ වැඩිම අයිතිය තියෙන්නෙ' කියා මතක් කිරීමත් ඒකට හේතුවක්.

ඒක අවිහිංසාවාදය සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන පුංචි දැරියකගෙ කතාවක් වීම නිසා, පූසෙකුගෙ කෑම පිඟානක මාලු කටුවක් අඳින්න බෑ කියලා චිත්‍ර පන්තියෙදි කෑ ගහලා මීන අයිතිවාසිකම් වෙනුවෙන් විප්ලව කරපු කුඩා වැහිදැරියට ඒ ප්ලොට් එක තදින් දැනීම තවත් හේතුවක් වෙන්න පුළුවන්.

කොහොම හරි ඔය පිං කුසුමී කතාවට අමතරව චන්දිම සර්යි වැහි දැරිවිගෙ අම්මයි මුණගැහුණම හිනා වෙවී මතක් කරන තව කතාවක් තියෙනව.

වැහිදැරිවි ඉතා කුඩා බබෙක් කාලෙ, සුමංගල මන්දිරය ඉදිරිපිට සුදු වලාකුළු පිරිච්ච ආකාසෙට අත දික් කරලා, චන්දිම සර්ට කිව්වලු, තමුන් මේ ලෝකෙට එන්න කලින් උන්නෙ ඒ වලාකුළු අස්සෙ වග.

ඉතින් ඒ වලාකුළු අස්සෙ ඉඳලා ආවාය කියලා කටකමසිරියාවක් නැතුව කියවපු අතිපණ්ඩිත පොඩි එකී, ඒ සුමංගල මන්දිරයෙදිම කථිකාචාර්යවරියකව මුණගැහුණ දවසෙ චන්දිම සර් සුබ පැතුවෙ හුඟක් සන්තෝසෙන්.

ඉන් කලකට පස්සෙ වැහිදැරිවි බෞද්ධ අධ්‍යයන කටයුතු සිදු වෙන සරසවියක, උගන්වන්න ගිය වග බෞද්ධ දර්ශනය උගන්වපු සර් දැනගෙන උන්නෙ නෑ. දැනගත්තා නම් ඊටත් වඩා සතුටු වේවි කියා වැහිදැරියට, නෑ, පිං කුසුමීට හිතෙනවා.⁣ 

කුඩා ⁣බබෙක්ට තෑග්ගක් ⁣තෝරන වෙලාවක, බෝනික්කෙක්-තුවක්කුවක්-ආදී ලිංගභේදය අනුව වර්ග කරපු භයානක තෑගි මග ඇරගෙන ගිහින් පොතක් තෝරද්දි වැහිදැරිවිට තමන් බබෙකු කාලෙ තෑගි ලැබුණ පිං කුසුමීගෙ සතුටු මතකය මතක් වෙනවා.

තමන් මාර ආදරේ හරිනි සහෝදරීගෙ සාරි ජැකට්ස් ස්වේච්ඡාවෙන් මහලා දෙන්න කැමතියි කියලා සද්භාවයෙන් යුතු සහෝදරත්වෙකින් කියමින්, වැහිදැරියට සාරි ජැකට්ස් මහන අක්කාගෙ බබාට පොතක් ගෙනියන වෙලාවක, වඩා ලාභ ලැබිය හැකි සිරුර විකිණීමේ රැකියාව තෝරාගන්න හැකියාව තියෙද්දි ඒ වෙනුවට ඉතා ගෞරවණීය ලෙස ⁣පලා හෝ හඳුන්කූරු විකුණන ළඳකගෙ බබෙකු⁣ට පොතක් දෙන  වෙලාවක, ඒ බබ්බුන්ගෙ මූණු සන්තෝසෙන් පිරෙනවා දකින කොටත් පිං කුසුමී වැහිදැරිවිගෙ මතක අස්සෙන් එබිකම් කරනව.

ඉතින් ඉස්සරහටත්, චන්දිම සර් දැන් නොහිටියා වුණාට, එහෙම කුඩා බබෙක් අතින් පොතක් තියන හැම දවසකම වැහි දැරිවිට පිං කුසුමී මතක් වේවි! 



Thursday, October 31, 2024

114. අඳ වාදකයා, මනරම් ගැඹුරු සර සහ අඳුර විනිවිදින හී!

ගිය අවුරුද්දෙ මුල දවසක වැහිදැරිවිට තමුන් කුඩා දැරියකව ඉන්දැද්දි කියවපු වී.කරලෙන්කො ලියපු - දැදිගම වී රුද්‍රිගු පරිවර්තනය කරපු, අඳ වාදකයා කියන රුසියානු කතන්දර පොත මතක් කරමින්, උස හීන්දෑරි තරුණයෙක් දේශන ශාලාවෙ දොරකඩ පෙනී හිටියා.


'මැඩම්, මට පේනවා අඩුයි. ඒ නිසා පාඩම්වලදි අඩුපාඩුකම් වුණොත් සමාවෙන්න.'


යාලුවෙක්ගෙන් උදව්වෙන්, ස්ථිර පදපාතයෙන් මා වෙත ඇවිදගෙන ආපු ඒ තරුණයා පළමු හමුවීමෙදි මට කිව්ව පළමු වචන ටික ඒ. මාව පළමුව විස්මපත් කළේ ඒ ඍජු බව. දෙවනුව, අඳ වාදකයා සිහිපත් කරමින් බොහෝ දේශනවල අවසන් විනාඩි කිහිපයෙ සහෝදර සිසු සිසුවියන්ගෙ අසන්නන්ගෙ ඉල්ලීම් ඉටු කරමින් ඔහු ගී ගායනා කරපු මාධූර්යය. තෙවනුව, අධ්‍යාපන කටයුතු කෙරෙහි ඒ තරුණයා දක්වපු විශිෂ්ටත්වය. මේ ඒ වසරෙ රිච්මන්ඩ් විද්‍යාලයෙ හොඳම ප්‍රතිඵල ලබා සරසවි ආව ශිෂ්‍යයා බව මං කලින් දැන හිටියෙ නෑ. ඇස් පේන - සටහන් තබාගන්න - නැවත ඒ සටහන් කියවා පාඩම් කරන්න හැකියාව සහිත සිසුන් පනහක් මැද්දෙ, එක් වරක් අසා සිට ග්‍රහණය කරගැනීමෙන් ඒ බොහෝ දෙනාට වඩා විශිෂ්ටත්වයක් පෙන්නූ ඔහු මාව දිගින් දිගටම ආහ්ලාදයට පත් කළ සිසුවෙක් වුණා. 


ඔහු එක්තරා මධ්‍යවාර පරීක්ෂණයකට 20/20 උපයාගෙන වැඩිම ලකුණු ගත්ත සහ සම්පූර්ණ ලකුණ ගත්ත එකම ශිෂ්‍යයා බවට පත් වුණා. උපදෙස් අහගෙන ඉඳලා - අඩවන් ඇස්වලින් පේන ප්‍රමාණයත් එක්ක විසල් අකුරින් පිළිතුරු ලියන්න කල් ගත වෙන නිසා, අනිත් සිසුන් පරීක්ෂණය නිමා කරලා පැය එකහමාරක් විතර යන තුරු මං ඔහුගෙ පරීක්ෂණයට අවශ්‍ය ප්‍රශ්න ටික කි‍යෙව්වා. පරීක්ෂණය නිම වෙලා යද්දි, ඔහු, 'මං වෙනුවෙන් මෙච්චර කැපවෙනවට ස්තූතියි' කියලා වැහිදැරිවිගෙ පාවහන් දෙක මත අත තියලා වැඳලා වැසිදැරියගෙ හදවතේ ඊයම්බරුවක් වගේ බරට සමස්ත දෘශ්‍යාබාධිත ශිෂ්‍ය ප්‍රජාවේ අධ්‍යාපනය ගැන විසල් බරක් ඉතිරි කරලා පන්තියෙන් එළියට ගියා.


ඒ බර, ජපුරෙන් ඇවිත් දැන් මාස ගණනක් ගත වුණත් - දැන් උගන්වන සරසවියෙ එකදු දෘශ්‍යාබාධිත සිසුවෙක්වත් නැති වුණත්, වැසිදැරියට දැනෙනවා. ඉතින්, ඒ නිසා කොහේ කොතැනක ගියත්, කොතෙක් සිසු විහඟ පැටවුන් මුණ ගැහුණත්, වැසිදැරියට තමන්ගෙ අඩවන් සහ පියැවුණු ඇස් ඇති විහඟ පැටවුන්ව අමතක කරන්න බැහැ.


ඒ විහඟ පැටවුන්, කිචිබිචි සද්දවලින් අමතලා, වොයිස්නෝට්ස් එවලා, සෙමෙස්තරයෙ අවසාන සතියෙ පවත්වන්න නියමිත තමන්ගෙ සංගීත සන්ධ්‍යාව නරඹන්න එන්න කීවාම, දැන් වැහිදැරිවි ජපුරෙ නොහිටියා වුණත්, දෙපාරක් නොහිතා යන්න හිතුවේ ඒ නිසයි. 


සංගීත සන්ධ්‍යාව ඇරඹෙද්දි වැහිදැරියට බ්ලොග් ඉතිහාසෙත් මතක් වුණා. මොකද මීට වසර දහයකට කලින් දෘශ්‍යාබාධිත ගීත සැන්දෑවක නිවේදනය කළ සත්‍යා අක්කා මුණ ගැහුණෙ බ්ලොග් ලෝකෙන් නිසා. සත්‍යා අක්කාව නිර්මාණි විදියට දැනගෙන ඉඳලා කාලෙකට පස්සෙ වැහිදැරිවි ජපුරෙ සිසුවියක් වුණාම බ්ලොග් යාලුකම, හෘදය බන්ධනයකට කිට්ටු මිත්‍රත්වයකට හැරුණා. දෘශ්‍යාබාධිත සිසුන් සම්බන්ධ උපදේශකවරු/සම්බන්ධීකාරකවරු විදියට දැන් කටයුතු කරන සත්‍යා අක්කාගෙත් කසුන් අය්යගෙත් දියණි, සවර්ෂා, මේ ලෝකෙට එන්න කලින්, එයාට ඇහෙන්න මාත් සත්‍යා අක්කාත් ඉස්සර දෘශ්‍යාබාධිත ශිෂ්‍ය සුබසාධක සංගම් කුටියෙ කතාපොත් ගැන කියවන හැටිත් සංගීත සන්ධ්‍යාව ඇරඹෙන මොහොතෙ මතක් වුණා. 


'ප්‍රවේශපත්‍රයත් එක්ක ඔබේ අතට දුන්න කඩදාසිය දැන් කියවන්න.'


සුවිශිෂ්ට හඬින් නිවේදන කළ දෘශ්‍යාබාධිත නිවේදක තරුණයා සංගීත සන්ධ්‍යාව ඇරඹෙද්දි කිව්වා. රැඟුම්හලට පිවිසෙද්දි දැන්ම බලන්න එපා කියා අතට දුන්න කඩදාසිය අපි ඔක්කොම අතට ගත්තා. මොහොතකින් සියල්ල අන්ධකාර වුණා. 


ආසන්න පුටුවෙ වාඩි වී උන්නු වැහිදරුවාගෙ උරතලයට බර වෙලා, කියවගන්න බැරි කඩදාසිය දිහා බලා උන්නු වැහිදැරිවිගෙ ඇස් අගිස්සෙන් තෙතක් ඉනුවා.


ඉන්පස්සෙ ආයෙ ගණ අඳුර මැකිලා ගිහින්, ශාලාව ඒකාලෝක වුණා. 


කඩදාසියෙ ඉතා ලස්සන වචනවලින්, සහකම්පනය ගැන, අනුවේදනය ගැන, නොදැක දැකීම ගැන ලියැවිලා තිබුණා.  මේ සුවිශිෂ්ට විහඟ පැටවු ගැන අනුවේදනයක් මිස අනුකම්පාවක් කඳුළකින්වත් පෙන්වන්න අකැමැති නිසා වැහිදරුවාට විතරක් පෙනුණ කඳුළක් වැහිදැරිවි ඉක්මණට ඇහැ කොණින් පිහදාලා දැම්මා.


සංගීත සන්ධ්‍යාවන් සිය ගණනකට ‍මේ ‍විසිවයස් ඉක්මවු කෙටි ජීවිත කාලෙ සම්බන්ධ වෙලා තිබුණත් ඒ තරම් තදින් දැනුණ මොහොතක් තිබුණ සංගීත සන්ධ්‍යාවක් වැසිදැරියට මතක නැහැ. (හර්ෂණ දිසානායකගෙ සජීවි සන්ධ්‍යාවක - ඔහු චතුමධුරි ගීතය ගායනා කරද්දි - ඒක තමන් වෙනුවෙන් ගායනා කරනවා කියා හිතාගෙන වැසිදැරිවිගෙ අත අල්ලාගෙන ආයු සංස්කාරය අතඅරින්න ගියපු චතුමධුරිට නම් ඒක එහෙම නොවෙයි වෙන්න පුළුවන්..!) 


සංගීත සන්ධ්‍යාව ඉතා සන්සුන්ව - මනරම්ව හෝරා දෙක තුනක් ගලා ගියා. අඳ වාදකයා මතක් කර දෙන තරුණයා ඉමන්ත, ගැඹුරු, සන්සුන් තානයකින් ඉතා මනරම්ව ගායනා කළා. 'සාස්තර, පිරිත් සහ තරුඑළිය' බ්ලොග් පෝස්ටුවෙ හිටපු ඩිල්ෂාන් අඳුර විනිවිදන හීයක් බඳු හඬකින් ගී කියලා - කවි කියලා - නිවේදන කරලා සන්ධ්‍යාව තාරකා එළියෙන් පිරෙව්වා. තව දන්නා - නොදන්නා තරුණ තරුණියන් කීප දෙනෙක්ම - සිය අඩවන් සහ පියැවුණු ඇස්වලින් යුතුව වේදිකාවට ගොඩ වෙලා ප්‍රේක්ෂකාගාරයෙ උන්නු අපිව මනරම් තාරකා එළි අතර චාරිකාවක එක්කගෙන ගියා.


සංගීත සන්ධ්‍යාව නිම වුණ හැටියෙ මුලින්ම වැහිදැරිවිත් වැහිදරුවාත් ගියේ ඩිල්ෂාන් හොයාගෙන. ඩිල්ෂාන්, මම වර්ෂා කියන්න සූදානම් වුණාට, ඩිල්ෂාන් කියන්න විතරයි ඕන වුණේ, මගේ මැඩම් කියලා ඔහු නුහුරට අත දික් කරලා මගේ අතින් අල්ලාගත්තා. ඒ අත තදින් අල්ලාගෙන ඉන්පස්සෙ ඔහුගෙ කම්මුලට තද කරගෙන හිටියා. ඉරිසියාවක් කෝපයක් වෙනුවට මෛත්‍රියෙන් පිරුණු වැහි දරුවාගෙ ඇස් උතුරන කරුණාවකින් ඩිල්ෂාන් දිහා බලන් උන්නා.


'ඩිල්ෂාන්, මේ මගේ හස්බන්ඩ්.'


මං වැහිදරුවව අඳුන්නල දුන්නා.


'ඩිල්ෂාන්ගේ කටහඬ හරිම ලස්සනයිනේ.. විශේෂ අවශ්‍යතා නෙමෙයි විශේෂ දක්ෂතා තියෙන දරුවෙක් ඔයා..'


වැහිදරුවා ඩිල්ෂාන්ගෙ නිදහස් අතින් අල්ලගෙන කිව්වා.


ඩිල්ෂාන් වැහිදරුවාට 'තෑන්ක් යූ, අංකල්' කිව්වාම තමයි වැහිදැරිවිට පළමු වතාවට තේරුණේ ඩිල්ෂාන්ට වැහිදැරිවිගේ වයස ගැන කිසිදු අවබෝධයක් නැති වග. වැහිදැරිවි ඩිල්ෂාන්ට වඩා වැඩිම වුණොත් අවුරුදු පහක් වැඩිමල් ඇති. ඒත් එයා දැනගන්නෙ කොහොමද.. කටහඬින් වයස අඳුනන්න බැහැනේ. ඩිල්ෂාන් වැහිදැරිවිව මවාගෙන ඇත්තෙ හුඟක් වැඩිමහලු කෙනෙක් විදියට වෙන්නැති.


'අංකල් නෙමේ ඩිල්ෂාන්, අය්යා.. දැන් ඔයාගෙ මැඩම් සනීප නැති වුණාම පිරිත් කියලා සනීප කරන්න කෙනෙක් නෑනේ'


විනාඩි පහට කොල්ලා එක්ක යාලු වෙච්ච වැහිදරුවා කිව්වේ වැහිදැරිවි අසනීප වුණාම ඩිල්ෂාන් වැහිදැරිවි සනීප වෙන්න කියලා පිරිත් කියන බව දැන‍ගෙන උන්න නිසයි.


අපි සභාසදයෙන් පිට වෙලා එන්න පෙර, අඳ නොවන වාදකයා ඉමන්තත්, ඉතා මනරම් හඬකින් ගී ගයපු සෙව්මිණීත් හම්බවුණා. ඔවුන්ටත් සුබ පතලා, සුවිශිෂ්ට නිවේදක තරුණයාටත් සුබ පතලා යන්න යද්දී, ජීවිතය පිළිබඳ වෙනදා දැනුණාට වඩා ආලෝකී හැඟුමකින් හෘදයාභ්‍යන්තරය පිරිලා තිබුණා.


ඒ ආලෝකී හැඟුම ඇතුළෙ, මේ විහඟ පැටවුන්ගෙ විශිෂ්ටතාවන් ගැන දැල්වුණ අලුත් පහන් එළියක් එක්ක - ඊයම් බරුවක් වගේ දැනුණ බර වඩා සැහැල්ලුවක් අත්පත් කරගෙන තිබුණා!

Saturday, September 28, 2024

110. ඈත කඳු පෙළින් එහා, තිත්ත මල් සහ ටැබ්ලොයිඩ් නවකතාදරය!




මේ ඊයෙ පෙරේදා ඩොක්ට සංජීවනී මුණගැහෙන්න තාත්තා එක්කලා ගිය වෙලාවෙ කලකට පස්සෙ හමු වෙලා ආගිය කතා කරමින් ඉද්දි එතුමිය කීවා, ප්‍රියංකා අමරතුංග දුරින් නෑදෑයෙක් වෙනවාය කියලා.. එතනින් ප්‍රියංකා අමරතුංගගෙ පොත් ගැන පටන්ගත්ත සංවාදෙ ඇදිලා ඇදිලා ගිහින්, ඩොක්ටර්ගෙ ෆී එක ගන්නෙ නැතුව රීෆන්ඩ් කළා කියලා ඩොක්ට එක්ක පොඩි සණ්ඩුවකුත් අල්ලලා පරාද වෙලා, කවුන්ටර් එකෙනුත් හැමදාම අඳුනන නාඳුනන ගොඩක් දෙනෙක්ට ඩොක්ටගෙ රීෆන්ඩ් වදින හින්දා ඊට එරෙහි වෙලා වැඩක් නෑ කියලාත් අහගෙන, රට සමාජවාදී වෙන්න පෙරත් ජනතාවාදී දොස්තරවරු සිටීම ගැන ආහ්ලාදයද සහිතව ආයෙ ගෙදර බලා ආවා. ඒ එන අතරෙ තමා වැහි දැරියට අලුත් වියුණුවක් ලියන්න හිතට ආවෙ. ඒකට හේතුව ඒ සංවාදෙදි මතු වෙච්ච, ප්‍රියංකා අමරතුංගගෙ රිවිසරසි අතිරේකයෙ ගිය නවකතාවක්. ඒකෙ නම 'තිත්ත මල්!'


මට මතක හැටියට ඒ රිවිර පත්තරේ ආව මුල් කාලෙ. රිවිසරසියෙ ආසාවෙන්ම කියවලා කපලා අරන් තියාගත්තෙ, රසික ජයකොඩි ලියාපු 'දවසක්දා හැන්දෑවක' තීරුලිපි එකතුව. ඉතින් රිවිසරසි කියවන කාලෙ ඔය කතාවත් මං පත්තරේ ආව ගමන් ටැබ්ලොයිඩ් කෑල්ලෙ පැලක් අටවගෙන කියෙව්ව විත්තිය මතකයි. 


හැබැයි වැසිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතා ආලෙ පටන්ගත්තෙ, ශේක්ස්පියර්, ආයුර්වේදය, හෘදය සූත්‍රය සහ භාවනාව ආදී මනරම් හා ගැඹුරු තේමා රාසියක් එක්තැන් කළ 'තිත්ත මල්' කියවන්න හුඟ කාලෙකට කලින්. සමාජමාධ්‍ය ජනප්‍රිය වෙන්ඩ කලින් ගෙවුණ ⁣නවයොවුන් වියකට හිමිකම් කියාපු අවසාන පරම්පරාව වෙච්චි වැසි දැරියලාගෙ පරම්පරාවෙ බොහෝ ගෑණු දැරිවියො ටැබ්ලොයිඩ් කියෙව්වෙ සිනමා තරු, ගායක තරු සහ රූපලාවණ්‍ය ඔත්තු ආදිය ගැන දැනගන්න වුණත්, නිදහස් සිතිවිලි බ්ලොග් අඩවියෙ රවි මාමා කියන්නැහේ වැසිදැරිය හැත්තෑව අසූවෙ උපදින්න ඉඳලා වැරදීමකින් මේ කාලෙට ප්‍රාදූර්බූත වෙච්ච මානවිකාවක් හන්දා උන්දෑ ටැබ්⁣ලොයිඩ් කෑලිවල හිටපු නලු කෑලි දිහා ඇහැක් ඇරල⁣ නොබලා, ගෙනාව ගමං පත්තරෙන් ඩැහැගත්තෙ සාහිත්‍ය කෑලි ටික! 


ඒ කියද්දි මතක් වුණෙ, මේ ළඟදි  වැහිදැරිවිගෙ නවයෙ පන්තියෙ එකට හිටපු යාලුවෙක්, වැහිදැරිවිගෙ අම්මටයි වැහිදරුවටයි ආපිකෝ එකේදි මුණගැහිලා කිව්වලු, වැහිදැරිවි කසාද බැඳපු එක පුදුමයි, ඒ කාලෙ වැහිදැරිවිට කොල්ලො පේන්න බැරිය කියලා.. දැන් ආපහු හැරිලා බලද්දි තමා හිතෙන්නෙ, ශිහාන් මිහිරංග⁣ට යුනිෆෝම් එක ඉරලා පපුවෙ අස්සන් ගහන්න කියපු, සිහාන්ගෙ ඩේ කාඩ්ස් එක්කහු කරපු, සිහාන් පැරදුණාම අස්සයා මැරිච්ච කව්බෝයි වාගෙ අඬපු ⁣කෙල්ලො උන්න කාලෙක, සිහාන්ගෙ නවපන්නෙ කොණ්ඩෙ මෙලෝ ලස්සනක් නොදැකපු - සිහාන් අනුකාරකයෙක්ය කියා විවේචනය කරාපු, ටීනේජ් වැහිදැරිවි අමුතු ඩෑල් එකක් වගෙ පේන්න ඇතිය කියලා..)) 


ඒකෙන් මේකෙන් වැඩක් නෑ.. මං කියමින් උන්නෙ ටැබ්ලොයිඩ් නවකතා ගැන. වැහි දැරිවි ටැබ්ලොයිඩ් කතා කියවන්න පටන්ගත්තෙ සිළුමිණ පත්තරේ රසඳුන සහ දිවයින පත්තරේ මීවිත අතිරේකෙන්. රසඳුනේ කතා අතරින් නම් වැහි දැරියට මතක හිටියෙ යමුනා ⁣මාලිනී ලියූ 'සඳමාධවී' විතරයි. ඒ කතාවෙ තරුණයා අතින් ලියැවුණු කවියක්, පසුව ගීයක් වී ගැයෙනවා ඇහෙද්දි දැනුණ අතීතකාමයෙ තිවුණෙ වෙනස් සෞන්දර්යයක්.


සුදු ඇඳගෙන සඳ ඇවිදින්

දුර කඳු මුදුනට..

නිදි නැති සිත ගෙන යයි

සිතිවිලි ගං ඉවුරට..!


මේ ලියන මොහොතෙත් වැහිදැරියගෙ සවන් පත්ළෙන් ඒ ගීය වාදනය වෙනව.


වැහි දැරිවි දන්නා තරමින්, චන්දො හෙවත් චන්ද්‍රසිරි දොඩන්ගොඩ නමැති ප්‍රතිභාපූර්ණ නවකතාකරුවා ජීවිතක්ෂයට පත් වෙන තුරු මීවිත ටැබ්ලොයිඩයෙ නවකතා ලිව්වා.

ඉතින් වැහි දැරිවි මුලින්ම කියෙව්ව ටැබ්ලොයිඩ  නවකතාව ඔහු ලියූවක්. මට මතක හැටියට 'ආත්මා'. ඉන්පස්සෙ 'සතී'. ඒ හැමෙකකම චිත්‍ර ඇන්දෙ ජනක රත්නායක. ඔබේ හිතේ මේ වදන කියවද්දි ඇඳෙනවා ඇති ඔහුගෙ අවර්ණ පැන්සල් පෑන් ඉරිවලින් සිත්තම් වුණ මනරම් නූතනමය සිත්තම්. මේ සටහනේ අයිකනය ලෙස ඇමිණුවෙත් ජනක රත්නායකගෙ සිත්තමක්ම තමා. ඒ චිත්‍රකර්මවලින් අලංකෘත වෙච්ච චන්දොගෙ නවකතා ඇසුරින් වැසිදැරිවි වඩාත්ම ආසා වුණ නවකතාව වුණේ, 'ඈත කඳුපෙළින් එහා!'


ඔය ටැබ්ලොයිඩ කියවලා විතරක් සෑහීමට පත් වෙන්න බැරි වුණ වැහි දැරිවි, තාත්තාගෙත් මහප්පාගෙත් පරණ පත්තර නිධානෙ අවුස්සලා අවුස්සලා සිත්තරාදී පරණ චිත්‍රකථා පත්තරවලත්, අරලියාදී යොවුන් සඟරාවලත් කොටස් වශයෙන් පළ වී තිබූ නවකතා, සිහියක් පතක් නැතුව දූවිලි නාගෙන කියවන්න පටන්ගත්තා. ඒ අතරෙ තිබුණ නවකතා ඇසුරින් තදින්ම මතකෙ රැඳුණ නවකතාකරුවන් වූයේ මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු, ප්‍රදීප් බාලසූරිය ආදි නවකතාකරුවන්. ඒත් ඒ අතරෙ ටැබ්ලොයිඩ් නවකතාදරයෙ උඩින්ම රැඳෙන්නෙ චන්දොගෙ අමුතු නවකතා ආර..)

දැන් චන්දො නෑ. ඒත් හැමදාකම කඳු දකිද්දි චන්දොගෙ 'ඈත කඳුපෙළින් එහා' නවකතාවෙ තිබූ එක් කුඩා කවියකුත් - වැහිදැරියගෙ ටැබ්ලොයිඩ් නවකතාදරයත් මතක් වෙන්නේ නොස්ටැල්ජියාවක් සමඟින්!


ඈත කඳුපෙළින් එහා

තාරකා සිනාසිසී

එන්න,යන්න, මාත් එක්ක

කතා කරනවා..!


දැන් කියවන්න තරමෙ ලස්සන ටැබ්ලොයිඩ කතා කොහේවත් නැති වුණත් අදත්, බෙලිහුල්ඔය චාරිකාමය නැවතුමක අහස දකිද්දි ඇස ගැටුණ - කතා කරන තාරකා අස්සේ යම් තැනක වැසි දැරියගේ ටැබ්ලොයිඩ් නවකතාදරේ හැංගිලා තියෙනව!



Saturday, June 22, 2024

102. ඇස්!

වැසිදැරියට නිතර සිහිපත් වන එක සරසවි සිසුවියක් සිටිනවා.ඇය අතිදක්ෂ සිසුවියක්.නමුත් සරසවිය තුළ අතිදක්ෂයෙක් වීම පමණක් මතක හිටින චරිතයක් වන්න ප්‍රමාණවත් වන්නෙ නෑ. මන්ද සරසවියෙ අතිදක්ෂයෙක් වීම සාමාන්‍ය දෙයක් වන නිසා. දක්ෂයන් නොවී නම් ඔවුන්ට සරසවි එන්න බැහැ. ඒ නිසා මට මේ දැරිය මතක හිටියෙ ඇගේ දස්කම් නිසා නොවෙයි.

ලෝකයේ හැම ගැහැණියක්ම සුන්දරයි. එහෙත් භෞතික ලෝකයේ මිනුම්දඬුවලිවන් මනින අන්දමක බාහිර රුවක් නොවෙයි⁣ මේ සිසුවියට ඇත්තේ. ඒ නිසා ඇය සුවිශේෂී වන්නේ ඇගේ පෙනුම නිසාත් නොවෙයි.

ඇය මට ප්‍රථම වරට මුණගැහෙන්නෙ දෘශ්‍යාබාධිත සිසුන් පිරිසක් සමඟ. එක් හවස් වරුවක පැවැත්වුණු මධ්‍ය වාර සම්ප්‍රවේශන (Presentations) වාරයකට ඒ සිසුන් පිරිස සම්බන්ධ විය යුතු ව තිබුණා. එදා තදින් වැසි වැටුණ හවසක්. සිසුන් පනහකගේ පමණ කදිම සම්ප්‍රවේශනවලට සවන් දී පිරුණු හදින්ද-සවනින්ද යුතුව, ⁣මගේ කෝකටත් තෛලේ අත්බෑගයත් උරේ පටලවාගෙන, එතෙක් වේලා පුටුව යටට තල්ලු‍ කර තිබූ පාවහන් දෙකත් පයලාගෙන, දේශන ශාලාවේ විදුලි  පහන්ද වායුසමීකරණ යන්ත්‍රද නිවා දමා මා යන්නට සැරසෙන විටයි මේ සිසු පිරිස ඇතුළු වු⁣ණේ.

සිය මිතුරන්ට ඇසක් වෙමින් පෙර කී සිසුවිය ඔවුන් තුන්වන තට්ටුවේ දේශන ශාලාව වෙත කැඳවාගෙන විත් තිබුණා. දොර විවර වත්ම මා යන්නට සැරසී සිටි බව දුටුවේ ඇය පමණයි. ඇගේ මිතුරන් මා හඳුනන්නේ කටහඬින් පමණයි. ඔවුන්ට මා ⁣දිස් වන්නේ නෑ. ඇගේ ඇසේ නැගුණ අවංක ආයාචනාත්මක බැල්ම අදටත් මට එදා සේ මතක එය තමා වෙනුවෙන් නොව සිය මිතුරන් වෙනුවෙන් නැගුණක් නිසා.

කොහොමටත් මා ඒ මොහොතේ පිටව යාම තෝරාගන්නේ නෑ. විදුලි සෝපානය අක්‍රියව තිබියදී පඩිපේළි ගණනාවක් නැග ඉහළට ආ සිසුන්, ඔවුන් දෘශ්‍යාබාධිත නොවුණත් මා ඒ මොහොතේ ඔවුන්ගේ සම්ප්‍රවේශනය කරන්නට ඉඩ දෙනවා. එහෙත් ඒ මොහොතේ ඉතා කදිමට-පිළිවෙළට සැරසී උන් දෘශ්‍යාබාධිත සිසුන් දෙදෙනාටත් වඩා මේ උපකාරශීලී තරුණිය මගේ මතකයේ රැඳුණා.

අවසාන සම්ප්‍රවේශනය කළ සිසුන් ස්මාට්පුවරු-පරිගණක ආදි සියල්ල රැහැන්වලින් ගලවා දමා ගොස් තිබුණා. මේ කෙල්ල කඩියෙකු සේ දුව පැන සියල්ල නැවත සවි කර සිය මිතුරන් අතින් අල්ලාගෙන ඇවිත් ඔවුන්ව සිටගත යුතු තැන නවත්වා ස්ලයිඩ මාරු කිරීමට පටන් ගත්තා.

මධ්‍යවාර පරීක්ෂණවලදී සිසුන්ගේ අත්සන් තැබීම අනිවාර්යයි. ඉතින් ඈ ඔවුන්ගේ අතින් අල්ලා අදාළ තැන්වල අත්සන් තැබුවා. ඔවුන්ට ඇහෙන්නට ලියාපදිංචි අංක සහ විභාග අංක කියැවූවා. ඒ සියල්ල අවසානය දක්වා ඈ කළේ ඉතා පරෙස්සමින්. පිළිවෙළට. සිනාමුසු මුහුණකින්.

සම්ප්‍රවේශනය අවසන් වූ පසු ඇය ම⁣ට ස්මාට් පුවරු යළි නිවීම ඇතුළු කිසිවක් කරන්නට ඉඩ නොතබා දුව පැන ඒ සියල්ල නිවා දැමුවා. මා කළේ මගේ රාජකාරියේ කොටසක් වුණත් පමාව පැමිණි මිතුරන්ගේ සම්ප්‍රවේශන භාරගැනීම ගැන මට ස්තූති කළා. මිතුරන්ට ඇසක් වූ මේ කදිම කෙල්ල සිය මිතුරන් සමඟ පන්තියෙන් සමුගෙන යන්නට පෙර මා ඇයට කිව යුතු යමක් තිබුණා.

This world will be a more beautiful place if there were more people like you.

එය ඇසු ඈ ඇසෙහි කඳුළු ඇතිව මා දෙස බලන් උන් අන්දම මට ඉගැන්වූ පාඩම වූයේ අප සිසුවකුගේ යහපතක් දුටු කල එය අගය කරන්නට කිසිදා අමතක නොකළ යුතුයි යන්නයි.

ලෝකයට ඇසක් වන්නට - ලෝකය වඩා යහපත් - සියලු දෙනාට ජීවත් වන්නට පහසු තැනක් කරන්නට උත්සාහ කරන එවන් දරුවකු තවත් පොහොසත් කරන්නට අපට වැය වන්නේ එවන් කුඩා වචන කීපයක් විතරයි. ඒත් ඔවුන් කළ, කරන සහ කරන්නට නියමිත හොඳ 'වැඩ' ලෝකයේ වටිනාම මැණික්වලටත් වඩා වටිනවා!

Monday, June 17, 2024

101. සාස්තර, පිරිත් සහ තරුඑළිය!

මාස දෙක තුනකට වාරයක් නිසැකවම  වැහිදැරිවිගෙ දුරකථනෙට සුවදුක් විමසා එන හඬ පණිවිඩයක් තියෙනවා. එය එවන්නෙ ඩිල්ෂාන්.

මේ කදිම පණිවිඩ අහන්න වැහිදරුවා ඉතා ප්‍රියයි. ඉතින් ඩිල්ෂාන්ගෙන් පණිවිඩයක් එන විට මා ඔහු රිය පදවමින් හිටියත් එය බ්ලූටුත් වලට සම්බන්ධ කර අහන්නට දෙනවා.

මලයාලම් ෆිල්ම් එකක චරිතයක් ව⁣ගේ - ඩිල්ෂාන්ගෙ කදිම හඬ පණිවිඩයක් අහපු චරණ මාධ්‍ය ජාලයෙ දිනූෂ කුඩාගොඩගේ අය්යා වරෙක කිව්වා.

මේ කදිම ඩිල්ෂාන් මට හමු වන්නෙ ඔහුගෙ වයසෙ සිසුන් පළමු වසරෙ මැද භාගයත් ගෙවා දැමුවට පස්සෙ.

මං එක් දවසක කැම්පස් එකේදි 'අහසෙන් එන්න' බ්ලොගය ලියන සත්‍යා අක්කගෙත් - කසුන් අය්යගෙත් කුටියට වෙලා රස කතාවක පැටලිලා ඉන්න අතරෙ අක්කා කිව්වා, 'ඔන්න නංගිට පන්තිය කනපිට ගහන මරු ගෝලයෙක් හම්බ වෙන්නයි යන්නෙ.'

'අමු ගැමියෙක්, අපූරු කොල්ලෙක්. ඔන්න බලන්නකො.' කසුන් අය්යා ඒකට එකතු කළා.

කිව්වා වගේම ඩිල්ෂාන් අපේ පන්තිය ලස්සන තානයකින් කණපිට ගැහුවා. එතෙක් පන්තියෙ උන්න එකම දෘශ්‍යාබාධිත ශිෂ්‍යයා වුණ, රෑන්ක් එකක් එක්ක කැම්පස් ආව - නිවිච්ච-අහිංසක ඉමන්ත කොලු‍වාගෙ තැන්පත්-සන්සුන් තානයකින් ගලා ගෙන ගිය ජීවිතෙත් හත්අටපොළකින් කණපිට ගහමින්.

සාමාන්‍යයෙන් අපේ පන්තිය විනෝදබර පන්තියක්. විහිලු‍තහලු‍ නොකර මං උගන්නන්නෙ නෑ. ළමයිනුත් එකිනෙකා එක්ක ඉතා සුහදයි. ඒත් ඩිල්ෂාන් පන්තියෙ යම් තාප්පයක් බැම්මක් ඉතිරි වෙලා තිබ්බාද ඒ සියල්ල බිඳලා දැම්මා. මිනිහා දේශනේ ඉවර වුණාම හැමදාම සිංදු කිව්වා. කදිම තානයකින් නිවේදන කළා. කෙල්ලො වට කරගෙන උන්ගේ අත් අල්ලාන සාස්තර කිව්වා. කේන්දරවල ග්‍රහ පිහිටීම ගැන අහලා අනාගත වාක්‍ය කිව්වා. බුදුදහම ගැන මුස්ලිම් සහ කිතුණු සහෝදර සහෝදරියන්ට කියා දීලා එයාලාගෙන් ඒ ආගම් ගැන ඉගෙනගත්තා. 

හැබැයි අනිත් අයට බෝඩ් එක පාවිච්චි කරලා උගන්නලා ඉවර වෙලා, ඉමන්තත් ඩිල්ෂානුත් ළඟට ඇවිත් වැහිදැරිවි යළිත්  උගන්නද්දි අර දාංගලේ පරදන උනන්දුවකින් හොඳින් පාඩම අහං හිටියා. බ්‍රේල් ක්‍රමය නොදැන සිටීම ගැන වැහිදැරිවි දුක් වු⁣ණේ ඔවුන් ලියන පිළිතුරු ලේඛන කියවන්න බැරි වූ නිසයි. ඒත් සත්‍යා අක්කා ඔවුන් ලියපුවා මට පස්සෙ කියවලා දුන්නා. ඒ අවුරුද්ද තුළ දෘශ්‍යාබාධිත ශිෂ්‍යයන්ට සරිලන අන්දමට අපේ අධ්‍යාපන ක්‍රමයේ සැකසෙන්නට අවැසි තැන් බොහොමයක් ඔවුන් නිසා වැසිදැරියට සම්මුඛ වුණා.

සමාසික සෙමෙස්තරේ අන්තිමේ මුළු බැච් එකක් එකතු වෙලා කරන නාට්‍ය තර‍‍ඟයෙ හොඳම නාට්‍ය හතරෙන් එකක් බවට පන්තිය පත් කරන්න ඩිල්ෂාන් විසාල අත්වැලක් වුණා. නාට්‍ය කොටසට උදව් වෙන්න බාහිර කථිකාචාර්යවරියක් විදියට සම්බන්ධ වුණ උමා අසෙනිත් ඩිල්ෂාන් අගය කළ බව, අනිත් පන්තිවල ළමයින් තරඟය අමතක කරලා ඔහුගෙ රංගනය ආසාවෙන් බලා උන් බව රහ කර කර කිව්වෙ මං රිලීෆ් වෙන නාට්‍ය  දවසෙ ඕපදූප ටික ඊටපස්සෙ මට දේශන තියෙන දවසක මගෙ කනේ තියන කෙල්ලො ටික.

මා තදින් අසනීප වී උන්නු දවසක දේශනයක් තිබුණා. ළමුන්ගෙ විභාගය ළං වී තිබු නිසා ගෙදර අයගේ බලවත් විරෝධය මැද මං එදා දේශනයට ගියා. ඩිල්ෂාන්ට එදා හරියට වැඩ. පන්තියේ කොල්ලො කෙල්ලො විෂය කාරණාවක් ඇහුවත් බැනුම් කෝටියයි.

⁣‘තේරෙන්නැද්ද උඹලාට මැඩම් ලෙඩ වෙලා. මොකද වද දෙන්⁣නෙ.‘

පණ්ඩිතකමට උගන්වන්න ගත්තාට මොකද මට අන්තිම විනාඩි දහයට වගෙ එද්දි කතා කරන්න අපහසුවක් දැනෙන්න ගත්තා.

ඩිල්ෂාන් මැදට පැන පන්තිය නැවැත්තුවා.

‘මැඩම් නවත්තන්න. කෝ මං ඔබතුමියව සනීප කරන්න..‘ කියා කෙල්ලන් දෙදෙනෙක්ගේ උදව්වෙන් මා අසළට ඇවිදගෙන ආවා. ඇවිත් මගේ අත අල්ලාගෙන පිරිත් කියන්නට පටන් ගත්තා. මා ඒ වෙද්දී බෙහෙත් බී හිටියත් ඒ දරුවාගේ පිරිසිදු ආශිර්වාදය එදා හවස් වෙද්දී මා සුවපත් වෙන්න හේතු වූ වග මට දැනෙනවා.

‘කරපු උදව් ජීවිතේට අමතක වෙන්නේ නෑ. මැඩම්ට හුඟක් ස්තූතියි.'

ඩිල්ෂාන්ගෙ හැම හඬ පණිවිඩයක්ම කෙළවර වෙන්නෙ එහෙම.

වැහිදැරිය දෘශ්‍යාබාධිත දරුවන්ගෙ අවශ්‍යතා ගැන ලියන හැම පර්යේෂණ පත්රිකාවකම ඩිල්ෂාන් ඉන්නවා.  ඩිල්ෂාන්ට ඉගැන්වීමට ගොස් අසාර්ථක වුණ හා අලු‍තින් ඉගෙනගත් හැම තැනක්ම අනාගතේ එන ඩිල්ෂාන්ලාට වඩා සාර්ථක අධ්‍යාපනයක් දෙන්න යොදාගන්න පුළුවන් බවට බලාපොරොත්තුවේ කුඩා තරුඑළියක් ඒ හැමෙකකම තියෙනවා. ඉතින් ඒ මාර්ගය වෙත මාව ගෙනත් ඇරලු‍වාට ඩිල්ෂාන්, ඔයාටත් හුඟක් ස්තූතියි!

Saturday, June 15, 2024

100. මිහිරි මිහිර - මිහිරෙන් මතකයේ රැඳේ..!




මිහිර පත්තරේ අන්තිම කලාපය පිට වුණා කියලා ⁣සමවයස් මිහිර පාඨක මිත්‍රයො ෂෙයා කරලා තියෙනවා දැක්කා. හරියට කුඩා කල ඉඳලා ආස්සරේ කරපු කිට්ටුවන්ත යාලුවෙක් මිය ගියා වගෙ හැඟීමක් දැනුණා. විජය පත්තරේටත් ඔය ටික වෙන්න පුලුවන් නේද කියලාත් දැනෙද්දි හිත තව ටිකක් බර වුණා..


වැහිදැරිය තාත්තා එක්ක ඉස්කෝලෙ ගිය හැටි ලියාපු බ්ලොග් සටහනේ හැම අඟහරුවාදාම මොරවක ස්ටෝර්ස් එකෙන් විජය පත්තරේයි චොකලට් අයිස්ක්‍රිම් කප් එකයි ගන්න හැටි ගැන ලිව්වා. ඒ කාගිල්ස් මැජික් කප් එක ආ කාලෙ. ඉතින් ඒක කකා කාරෙකේ පිටිපස්සෙ සීට් එකේ පත්තර කොළ ටික වපුරගෙන ගෙදර නැත්තං තාත්ත⁣ට හවස දේශනයක් තියන දවසට කැම්පස් එකට යනකං වැහිදැරිවි පත්තරේ කියවනව. ඉන්පස්සෙ ඉස්කෝලෙ යද්දි ගෙනියනව පත්තර ගන්න අමාරු යාලුවන්ට කියවන්න. සිකුරාදා හවසට තමා විජය පත්තර ගොඩට ඒ සතියෙ පත්තරේ එකතු වෙන්නෙ. 2002 අවුරුද්දෙ ඉඳන් 2012 අවුරුද්ද වෙනකං විජය පත්තරේ හැම කලාපයක්ම කන්දක් ගහලා අරංතියාගත්ත වැහිදැරිය තාමත් නොස්ටැල්ජියාවක් මතුවෙද්දි පත්තර ඇදලා අරන් අවුරුදු දහයක පොඩිත්ත‍ෙක් වග‍ෙ කියවනවා.

වැහිදැරිය විජය පත්තර කියවන්න අරං ටික කාලෙකට පස්සෙ තමා තාත්තගෙයි මහප්පගෙයි පරණ පත්තර නිධානෙ ගොඩදාන ව්‍යාපෘතිය පටන්ගත්තෙ. කියවිය හැකි ඕනෑම කඩදහියක් ඇද ඇද කියවන සුලු වැහිදැරිවි නම් කුඩා පොත් කාවා නිසා දූවිලි සහිත පරණ පත්තර අම්මලා පරිස්සමට අරන් තියලා තිබ්බත් ඒ පොත් කාවාගෙන් මිහිර,විජය,නවයුගය පත්තර හංගලා තියන්න බැරි වුණා. අරලිය,සිත්තර,සතුට පත්තරවල⁣ට අත ගැහුවෙ ඊටපස්සෙ. ඒ කතාව වෙනම වියුණු සටහනක ලියන්න ඕනැ එකක්. කොහොම වෙතත් හැටේ දශකයේ ඉඳලා එකතු වෙලා තිබුණ ඒ මිහිර පත්තර අතරින් එබුණ යෝධයා, පඬිතුමා, බටකොළ ආච්චි විතරද.. හුන්නස්ගිරි කඳු පාමුල උන්න යාලුවො වැහිදැරිය වයසට යනතුරුම වැහිදැරියගෙ හොඳම යාලුවො වේවි.

ඉතින් ඔය පත්තර ඇද‍ගෙන කියවන ව්‍යාපෘතිවලට කුඩා කා‍ල‍ෙ දිනූ අය්යා,නවා,‍‍ඊශක්කා වා‍ගෙ නෑ පොඩිත්තො සම්බන්ධ වුණ නිවාඩුකාලත් එමටයි. වැහිදැරියට පස්සෙ කාලෙක කැම්පස් එකේදි-සංවාදවලදි-‍ හමු වුණ සමවයසෙ බොහෝ මිතුරුමිතුරියන්ට මනරම් සංවාදවලදි කතා කරන්න මිහිර-විජය ගැන රස මතකයක් තිබුණා. පෙම්වතා වෙලා පස්සෙ සැමියා වුණ වැහිදරුවාගෙන් පටන්ගෙන චතුමධුරි,පුබුදි,භාග්‍යා අක්කා,ඉනූ අක්කා.. නම් කියලා ඉවර කරන්න බැරි තරමෙ යාලුවො ගොන්නක් ඒ කාලෙ තැන් තැන්වල ඉඳන් විජය-මිහිර කියවලා තිබුණා. දේශනයක් මැද තමුන්ගෙ යොවුන් සරසවි ගෝලයො එක්ක අතරමැදි සංවාදවල ‍යෙදෙද්දි විජය-මිහිර මතක තියන කුරුලු පැටවුන් හමුවීමත් වැහි දැරිවි‍ගෙ ගුරු ජීවිතෙ ඉමිහිරි අහම්බයක්!  

ඉතින් එහෙව් පරම්පරාවකට හොඳම යාලුවෙක් අවසන් ගමන් යන එක කොයිතරම් කම්පනයක් ගේනවද.. හෙට ඉඳලා ඒ පත්තරේ ඊ-පත්තරයක්ව අන්තර්ජාලයෙන් හමුවුණා වුණත්. පත්තරේ පිටු පෙරළන හඬ ඩිජීටලීයව අහන්න පුළුවන් වුණත් පත්තරයක් අත මත පෙරළෙන චමත්කාරය කොහොම නම් ඩිජිටල් උපකරණයකින් මවන්නද..

⁣දරුවෙක්ට මිහිර පත්තරයක් අරන්දෙන්න බැරි තරමට නරක ආර්ථිකයක් රටේ දෙමාපියන්ට  උදා කරමින් තමුන්ගෙ දරුවන්ගෙ දෙපයට ලක්ෂ ගණන්වල පාවහන් පළඳන දේශපාලකයොත් - ටික්ටොක් - යූටියුබ් කැලෑවල්වල අතරමං වෙලා මිහිරක මිහිර විඳින මිහිර අහිමි වෙලා ගිය දරුවොත් - තමන්ම ⁣සමාජමාධ්‍යවල ගොදුරක් වීම නිසා දරුවන්ට තමන් විඳි මිහිර දෙන්න අමතක වුණ ටික්ටොක්මය තරුණ මව්පියොත්, අන්තිම මිහිර පත්තරේ වැළලෙන බිම ගාව හිටගෙන ඉන්නව පේනවා.

ඒත් තාමත් මිහිර හැම දේශපාලන පොරොන්දුවකටම - ටික්ටොක් වීඩියෝවකටම වඩා මිහිරියි..!

Friday, May 17, 2024

98. නිය මත පිනි..)



වැහි දැරිවිට වියුණු ලියන්න හිතෙන්නෙ වැහි දවස්වලටමනෙ.. එකාතකට ඒකෙ අරුමයකුත් නෑ. වැහි දැරිවිට වැහි දවස්වලට අලුත් පණක් එන එක සාමාන්‍ය දෙයක් වෙන්න එපැයි..

⁣කොහොම හරි අද හැන්දෑවරුවෙ ලා පොද අස්සෙ ගෙට ගොඩවැදුණු වැහි දැරිවි ගෙඋයනේ තුරු යට ඇවිද්⁣දෙ ගහේ බඳ වටේයි, වැහිදරුවා පත් තුඩු කියා කියන දළු අග්ගිස්සෙයි එතිලා තියෙන ඇබින්දන් වැහි බින්දු නිය මත තියාන සමබර කරන්න හදන අතරෙ.. නිය ආලේපන ගාලා කැත කරන්න ආසා නැති නියපොතු උඩින් වැහි බින්දු රූටලා යද්දි ඒක පෙනුණෙ හරියට දිලිසෙන නිය ආලේපනයක් ගාලා වගෙයි..

'ආභරණ ගන්නවුන්ට සිල් නමැති ආභරණයට වඩා ආභරණයක්ද නැත. සුවඳ විලවුන් ගන්නවුන්ට සිල් නමැති සුවඳට වඩා සුවඳකුත් නැත..'

කියලා අම්මා කුඩා කාලෙ වැහි දැරිවිට ඇහෙන්න සද්ධර්මරත්නාවලියෙන් කියවපු කොටසක් මතක් වෙනවා හැමදාම ඔය අලේපන, ආභරණ,විච්චූරණ ජාති ගැන කතාවක් ඇදෙද්දි. 

සමහර කාන්තාවො 'හානේ.. කන විදලා නෑනෙ' කියලා බය බිරාන්ත වෙද්දි හැමදාක ඒ කතාව මතක් වුණත් වැහිදැරිවි ඒක නොකියා කන නොවිදීමේ අතීත කතාව විතරයි කියන්නෙ. 

සද්ධර්මරත්නාවලියෙ කතාව නිතර නොකියන්නෙ ඒ කතාවෙන් ආභරණ නොලන්නන් සිල්වත්ය,අන් අය දුසිල්වත්ය කියා වැරදි වැටහීමක් ඒක අහන අබරණ ලන ඇත්තෝ ගම්‍ය කරගනීය කියා හිතලයි. මොකද වැහි දැරිවි ඒ කතාවෙ එන සීලය දකින්නෙ හුදු සිල්වත් බවක් යන තැනකින් එහා ගිහිනුයි. එහි සීලය යැයි අදහස් කරන්නෙ යහපත කියලයි දැනෙන්නෙ වැහි දැරියට. ඉතින් යහපත සියල්ලට වඩා සුන්දරයි කියන එක වැනි සරල සුන්දර සත්තාවක් විකෘතියකින් භාර ගන්නවට වැහි දැරිවිගෙ ඇති අකැමැත්ත නිසයි, දිගු සාකච්ඡාවක් කළ හැකි මොහොතක මිසක කෙටි සංවාදවලදි ඒ සද් වාක්‍යය මතු කරනොගන්නෙ..

ඉතින් අර කියන්න ගිය අතීත කතාවෙ ඉන්නෙ වැහි ළදැරියට රිදේ යැයි, කන විදීම නොකළ යුත්තක් ලෙස තීරණය කළ තරුණ තාත්තෙක්. කොල්ලන්ට නොකරන කෙල්ලන්ට පමණක් කරන ඒ චාරිත්‍රය තමන්ගේ දියණියට අවැසි නැති බවත් - ලොකුවුණාම කන බැරි නම් නහය හරි විදගනීවි යැයි හිතූ නිර්භීත මව් යුවතියක්.

අතීතයත් වර්තමානයත් යා කරන මැද  තැනක හිටගෙන ඉන්නේ, ආභරණ නයාට අඳුකොළ මෙන් වූද - කන නොවිද පැළඳිය හැකි ආභරණ ගැන අනේකවිධ යෝජනා පිළිකෙව් කළා වූද, වැහිදැරියක්.

වර්තමාන කතාවෙ ඉන්නෙ නොවිදපු කන්පෙතිවලට කොඳුරන, කන මත්තෙ රිද්දන්න කිසිවක් නැති නිසා, බයක් නැතුව කන්පෙති සිපගන්න, නිය ආලේපන නොගෑ අතැඟිලි අස්සෙ කුඩා කවි කෑලි තියන තරුණයෙක්. 

ඉතින් ඔය අතීත කථාවත් වර්තමාන කථාවත් අතරෙ ජීවත් වෙන වැහි දැරියට, ආභරණාදිය ගැන විමසුම්වලදී, සද්ධර්මරත්නාවලියේ තිබුණු ඒ  වාක්‍යය ගාථා පාඨයක්ව හදේ කොතැනකද රැඳී තිබිලා.. හද මතුපිට ඇඳී යනවා දැනීම සාමාන්‍යයක්. ඒත් පිනි බින්දු ගැන ලියන්න ගත්ත සටහන සද්ධමරත්නාවලියෙන් කෙළවර වීම නම් හිතේ කොතැනකටත් නොතිබුණ අහම්බයක්..

Saturday, August 19, 2023

87. ආයෙ ආයේ වැසි වැටේ...

වැහි වැටෙන දවසක වැහි මැද්දෙ පින්තූරු අරගෙන, ආදරේම කීප දෙනෙක් මැද විවාහ දිවියට එළැඹිලා නුවර ආපු වැහි දැරිවිත්, වැහි දරුවාත් ගෙව්වේ වැහි දවස් ගණනාවක්. විවාහ උත්සවයක් නොගෙන ඒ වියදම් පුස්තකාලයක් හදන්න වැය කරන්න අප දෙන්නා තුළ තිබුණ ආරම්මණයටත්, ආසාවටත් දෙපසම නෑසියන් කැමති වුණු නිසා ඉතාම සරලව වැහි දවසක තමයි අපේ අතිනත් ගැන්ම සිදු වුණේ. 

විදේසෙකට යන්න සැලසුම් කරන් උන්නත් ඒ තීරණේ පස්සට දාලා නුවර එන්න ගත් තීරණේ ඊට වඩා සෑහෙන්න හොඳ බව වැසිබරිත හෝරාවල්, ඇවිද ගිය තැන්, මුණගැහුණු මිනිස්සු සහ නුවර ආරාණ්‍ය, ආරාම හා සිතුවම් විසින් ඒත්තු ගැන්නුවා.

⁣හරිත පැහැ තෙතබරිත වැහි සිතුවමක් මැද ගෙවිලා ගිය දවස් අතරෙ නවාතැන් ගත් ගිමන්හල් - හමු වුණ මිනිස්සුත් ඉතා විශේෂයි. ඒ අතරින් හන්තාන මුදුනේ සහ හන්තානට මුහුණලා තිබූ සුන්දර නවාතැන් සහ සහෘද නිවහනක ගෙවී ගිය දවස්, පේරාදෙණි අවන්හලේ හයිකු සාකච්ඡා වාගෙම අමතක නොවන මතකයක් සහෝදර බ්ලොග්කරුවන්-වෘත්තීය සගයන් සහ මිත්‍රයන් වන නිර්මාණි - කසුන් දෙන්නාගෙ නිවහනට ගිය දවස.

ඒ දෙන්නගෙ කතා පෙට්ටිය සවර්ෂා අපි ඉදිරියෙ සද්ද බද්ද නැතුව චිත්‍ර අදිද්දි අපි බ්ලොග් ගැන කතා කළා. හිටපු බ්ලොග්කාරයො හතර දෙනෙක් තමනුත් වග කියන්න ඕනැ බ්ලොග්වල අභාවය ගැන කතා කරද්දි අපිටම දුකත් නොහිතුණා නෙමේ. හිටපු රජවරු, හිටපු ජනාධිපතිවරු උන්නට හිටපු කවියො කියා ජාතියක් නෑ කියලා සුමින්ද අය්යා කිව්වට මොකද මේ යන විදියට අපිට හිටපු බ්ලොග්කාරයො කීවට වරදක් නෑ කියලා හිතෙනව.

අතීතේම බ්ලොග් පටන්ගත්ත කාලෙ ඒ සංවාදෙත් එක්ක වැහි දැරියට මතක් වුණා. එතකොට උන්දැ යාන්තමට දහය වසරට ගොඩ වුණා විතරයි. බූන්දියට කවියක් දෙකක් ලියාන ඉද්දි බූන්දි බ්ලොගයෙ එක් එක්කෙනාගෙ බ්ලොග්වල⁣ට මංමාවත් තියෙනව දැකල පටන්ගත්තු බ්ලොග් කියවිල්ල අවසන් වුණේ දවල් වරුව සාමානපෙළට පාඩම් කරලා රෑ දෙගොඩහරිය වෙනකං බ්ලොග් කියවන වැහි දැරියක් ඉපැද්දීමෙන්. ඒ කාලෙ පැල් බැදං, බෝඩ් වෙලා කියවපු බ්ලොග් අතරෙ රවී මාමාගෙ නිදහස් සිතුවිලි, සඳරු අය්යාගෙ හිත් අහස, නෙතූගෙ නවකතා බ්ලොග්, අයේෂාගෙ අයිස්ගෙ කොලම, හිතුවක්කාරිගෙ හිත, දිනේෂ් අය්යාගෙ වර්ණ, තනි අලියා, දිලිනි ආරියවංශ අක්කගෙ බ්ලොගය, ජනූගෙ සටහන් විතරක් නෙවෙයි ඒ කාගෙ ලීඩින් බ්ලොගර්ස්ලා එක්කහු වෙලා අමු්නාලු අන්දර මල්දම වාගෙ බ්ලොග් උඩහින්ම තිබ්බ.

ඒ දවස්වල වාගෙ බ්ලොග් අවුරුදු උත්සව, ගෙට්ටු ආදිය නැතත් ආයෙ බ්ලොග් ලියැවිල්ල හරි අප්ඩේට් වෙනවං නං කිය කියා සංවාදෙක පැටලුණු සහෘද බ්ලොග්කාරයො හතර දෙනා ආයෙ අපි තනි තනියෙං හරි ලියන්න ගත්තොත් මොකද කියලා කතා කරගත්තා විසිර යන්න කලින්..

ඉතින් ඒ හන්දා තමා ඕං මේ වැහි බින්දුව වැටුණෙ. ආයෙ කවර කලක වැහි වැටෙයිද නොදැන වුණත් වැහි වැටෙන තැන තාත්තාගෙ වියුණු නවකතාවට අමතරව වැහි දැරිවි ලියන වැහි නිතර වැටේවිය කියා බලාපොරොත්තුවකින් මේ පෝස්ටුව අවසන් කරන්න හිත කියනව!

අලුත් වැස්සක් වහින්න්නට සැරසේ.. සින්දුවත් හිත ඇතුළෙන් වාදනේ වෙනවා.. ඒත් ඒ කාලෙ ලියාපු කියවාපු ආපු ගිය සහෘද වියුණු නෑ හිතවතුන් නැතුව වැස්සක් කොහොම නම් සුන්දර වෙන්නද...?

Friday, June 10, 2022

75. වැහි වැටෙන මතක!

'ඉස්සර වැසි දැරිය කියලා බ්ලොගර් කෙනෙක් උන්නා. පැංචා පූසාගෙ ඉඳලා අලුතින් කියවපු පොතක් වෙනකම් ලස්සන මතක බ්ලොග් එකේ ලියාපු..'

නෝක්කාඩු හඬක් දුරබණුවෙ සාවනාව අතරින් ගලාගෙන එද්දි වැසිදැරියට අතීතෙ අනවරත බ්ලොග් ලිවිල්ල මතක් වුණා.

ඉස්සර ජපුරෙ පුස්තකාලෙ රාක්ක අස්සෙ කරක් ගහලා ගහලා හොයාගන්න සිංහල නවකතා පොතක්, ඉංග්‍රීසි හොල්මන් කතා පොතක්, බාසා දෙකෙන් කොයිකෙන් හරි ලියවුණු යොවුන් නවකතා පොතක් උස්සන් එන වැහිදැරිවි සාලෙ වාඩි වෙලා පොතට මූණ ඔබාන නැත්නම් යහනෙ දිගාවෙලා පොත මූණට අල්ලගෙන එක දිගට පොත් කියවනව. 

මේ කලබල ඉවර වෙලා ජපුර පුස්තකාලෙ විවෘත වුණ දවසක යව්වනෝදයෙදි වැසි දැරිවි කියවපු නිවෙන, සනහන, ජීවිතේ ගැන බලාපොරොත්තු දල්වන හැබෑ සාහිත්‍ය කෘති හොයාගෙන, ඔහු එක්කත් බෙදාගෙන කියවන්න ආසාවකින් වැසි දැරිවිගෙ හද පිරෙනව.

දැන් කියවන්න ඇති තරං කියවල නැති පොත් ගෙදර තිබුණත් කියවන්න හිතක් නෑ. කාර්‍යබහුලකමම නෙමේ හේතුව. වැසිදැරිවිට වඩා ලස්ස පාරක් කාර්‍යබහුල තාත්තා පොත් කියවන්න වෙලාව හදාගන්න හැටියට පොතක් කියවන්න වෙලාව හොයාගන්න එක මහ දෙයක් නෙමේ. ඒත් ඒ කාලෙ වගේ නිවීමක් සැනසීමක් හොයාගන්න පුළුවන් විදියෙ පොත් දැන් හොයාගන්න අමාරුයි. 

ජීවිතේ ගැන බලාපොරොත්තු බිඳ දමන, පීඩනයන්ට විසඳුම් නොසොයා ඒවා මැද ගිලිලා යන ජීවිත ගැන කතා කරන, පවතින සමාජය තියෙනවට වඩා අසුන්දර කරන්න දායක වෙන ඒ කෘති අබියස සාහිත්‍යයෙ කාර්‍යභාරය පවතින සහ නිර්මාණය විය යුතු සමාජයෙ සුන්දරතා මතු කිරීම කියලා කියන තාත්තගෙ කතාව වැහිදැරිවිට මතක් වෙනව.

ආර්ථික අර්බුද, දේශපාලන අසික්කිතකම් මැද ගෙවෙන පීඩාකාරී ජීවිතේ නිවනවා, අලුත් කරනවා සහ අර්ථවත් ලෙසකට විප්ලවකාරී කරනව වෙනුවට ඒ ජීවිතේ වඩා අවුල් කරන කලාවක් මොකටද කියලා කියවන්න අතට ගන්න සමහර පොත් පැත්තකින් තියන වකවානුවක් ගෙවෙමින් තියෙනව.

කාර්‍යබහුලත්වය සහ සමාජ දේශපාලන වියවුල් මැද අකුරු අමුණන්න වෙලාවක් සහ හිතක් නෑ කියන තර්කයත් ඉදිරිපත් කරන්න හැකි වුණාට ඒ තර්කය ඉදිරිපත් කරන්න කිසිදු අයිතියක් පෑන් අතැති මිනිසුන්ට නෑ කියලා වැහිදැරිවි දන්නව.

ලෝකය අසුන්දර නම් අපි ඊට එරෙහිව ලියන්න ඕන. ඔහු කියනව. වැඩ කරන්න ඕන. වැසිදැරිවි කියනව. දෙන්නා එක්ක වඩා හොඳ ලෝකයක් වෙනුවෙන් අපේ කලින් පරපුරේ සත්‍ය ගුරු තාරකා එළි දැල්වුණ මාවතේ නව එළිය හොයන් යන හැටි ගැන සිහින දකිනව.

කලබල මැද සැලසුම් ක්‍රියාත්මක කරන්න අසීරු වුණත් ඒ බලාපොරොත්තු මේ දුෂ්කර කාලය ගෙවාගන්න ඉන්ධන නැති මොහොතක පවා හර්ද ඉන්ධන සපයනව.

මතක මල් හැමදාම - දවස ගාණෙ ජීවිත පාරෙ පිපෙනවා. අපිට පුළුවන් නම් ඒ මතක කාටවත් කරදරයක් - රිදිල්ලක් නැති ලස්සන මල් විදියට පුබුදවගන්න කොච්චර සුන්දරද කියා හිතෙනව. ඒ වගෙම තවත් අඩියක් ඉස්සරහට තියලා ඒ මතක මල් වචන සටහනක් ඇතුළෙ තැන්පත් කරලා තියාගන්න.. තවත් කොච්චර සුන්දරද කියාත් හිතෙනව. ඒ නිසා මේ පිළිවෙලක් නැති සටහන වැහි වැටෙන තැන අමුණලා තියන්න වැහිදැරිවිට හිතෙනව.

Saturday, November 20, 2021

59. සිහිල් සංවාද දිය උල්!

අද සුමින්ද කිත්සිරි ගුණරත්න, ඔහුම කියාගන්නා විදියට නම් 'හිටපු කවියාගේ' කව් විවරණිකාවකට සම්බන්ධ වුණා. ඒත් ඔහුගේ මනරම් විවරණ මැද ගෙවී ගිය අඩ හෝරාවෙදි මොහොතකටවත් ඔහු 'හිටපු කිවියරෙක්' කියා නම් දැනුණෙ නෑ.


ඔහු වැඩසටහනට සම්බන්ධ වී උන්නු හැම කෙනෙක් තුළම පාහේ සැංගී තිබුණ කවිකම් මතු කොටගත්තා. ගලන සිහිල් දිය පාරවල් වන් මිනිස්සු ඒ වගෙයි. ඔවුන් යන යන තැන අලුත් උල්පත් මතු වෙනවා.


සකු පන්තිය නිමා වෙලා වැඩසටහනේ ඉතිරි වී තිබූ අඩ හෝරාවට සම්බන්ධ වී ඉන්න විට වැහි දැරියට ඈත අතීතයෙ ඔහු වන් සිහිල් දියපාරවල් බඳු මිනිස්සු ගැහැණු නිතර අපේ දිහා ඇවිත් ගිය සැන්දෑවරු සිහිපත් වුණා. අපි එදවස හුරු වී උන්නා මනරම්, සංසුන් සාහිත්‍ය සංවාදවල යෙදෙන්න. 


එවන් මිනිස්සු, එවන් සංවාද පිළිබඳ මතකයන් පවා මොහොතකට ජීවිතේ සුවපහසු කරනවා. තරඟයෙන් ඈත් වී ඉන්න උත්සාහ කරද්දීත් බලහත්කාරෙන් ධාවන පථයකට ඇදගන්න ටොක්සික් කාලෙකටත්, නීරස ලොක්ඩවුන් සමයකටත් පස්සේ වැහිදැරියට හුරු වී තිබුණ ඒ පුරුදු ජීවිතේ, ඒ සංවාද කොතෙක් නම් මඟ හැරිලාද කියා දැනෙනවා. 


කවියක, සංවාදෙක, සත් බසක ඇසුර ලබමින් යෙදෙන සංසුන් ගමනක් කොපමණ ලස්සනද.. ඒ මනරම් සංවාදයට මොහොතකට සම්බන්ධ වන්නට ලැබුණු සැනසිලිදායක සැහැල්ලුවෙන් පස්සෙ කලබල හෙට දවසට අඩිය තියන්න කලින් වැහි දැරියට එහෙම හිතෙනවා.

Tuesday, October 26, 2021

56. මේ ප්‍රථම වසන්තයයි!

කාර්‍යබහුල - කම්පනකාරී ජීවිතෙන් මොහොතකට මිදිලා කලකට පස්සෙ නිවී හැනහිල්ලෙ සින්දුවක් අහන මොහොතක අහම්බෙන් 'මේ ප්‍රථම වසන්තයයි' ගීතය ස්ත්‍රී හඩකින් ඇහෙනවා. ඉතා මියුරු ස්ත්‍රී කටහඩකින්!  


රියැලිටි කලාව ගැන ඒ හැටි මනාපයක් නැතත්, එහි එකග වෙන්න බැරි තැන් කප්පරක් තිබුණත් අංජලී මෙත්සරා නම් දැරිය රියැලිටි වැඩසටහනක ගැයූ ඒ ගීය මොහොතකට මාව මත් කර තබනවා. හෝ ගානා පොකුණේ අන්ධ දැරිය ලෙස විශිෂ්ට රංගනයක් කළ ඒ යුවතිය නිසා බබලන්නේ ඈ සම්බන්ධ වන වැඩසටහන මිස ඈ වැඩසටහන නිසා බබලනවා නොවන හෙයින් එක් අතකට ඈ  රියැලිටි තරුවක් කියා ලඝු කිරීම වැරදියි. 


කොහොම වෙතත් ඇගේ හඩ මේ ප්‍රථම වසන්තයයි ගීය සම්බන්ධ මතක රාශියක් වෙත මා ගෙන යනවා. කුඩා දැරියක කාලයේ ඒ ගීය මගේ ප්‍රියතම ලැයිස්තුවේ තිබුණේ නෑ. ඒත් එක් දවසක ඊශා අක්කාත් මාත් ඔවුන්ගේ ගෙදර බිම වාඩි වී කතා කරමින් උන් දවසක මේ ගීය ගැන ඉතා තදබල කැමැත්තකින් ඇය මා සමග කතා කළා මතකයි. එතකොට ඈ සාමන්‍ය පෙළ පන්තියේ වාගෙයි. මා ඈට වඩා දෙවසරක් ලාබාලයි. මේ ගීය ගැන මා තුළ අලුත් කැමැත්තක් හටගත්තේ එදායි.


ඉන් පසු අලුතින් මේ ගීය හොයාගෙන අසද්දී ඒ ගීය පාදක කරගෙන නිර්මාණය කර තිබූ රූප රචනාවක් අහම්බෙන් මා ඇස ගැටුණේ ඒ කාලයෙදිමයි. එය සකස් වී තිබුණේ පේරාදෙණිය සරසවිය ඇසුරෙන්. අද ආපසු හැරී බලද්දී එය එපමණ විදග්ධ ගණයේ රූපරචනාවක් නූනත්, ගීත අරබයා රූපරචනා සිදු කිරීම මෙකල තරම් අවර ගණයට ලක් වී නොතිබුණු එදවස ඒ ගීය මනරම් මිහිරකින් මා පුරවන්නට සමත් වුණා. ඇතැම් විට එකල මා තුළ දලුලමින් තිබූ - පශ්චාත් උපාධියක් සම්බන්ධයෙන් හෝ සාක්ෂාත් කරගන්නට නොහැකි වූ පේරාදෙණි ස්වප්නයත් ඒ මිහිර තියුණු කරවන්නට හේතු වන්නට ඇති.


ඒ කොහොම වෙතත් වසර ගණනක් ගෙවී ගොස් ප්‍රථම වසන්තය ආයේ අලුතින් විදින මොහොතක මිහිරක් සමග දැනෙන්නේ නොස්ටැල්ජීය හැගුමක්. එහැගුමෙන් නොමිදීමයි මා ඒ ගීයේ මනරම් වචන පෙළක් කෙටි පණිවිඩයක් ලෙස දුරබණු මුහුණ මත සටහන් කරන්නේ...


සිත පවස දරා මිරිගුව අතරේ

දිය පහස පතා සිටියදි කතරේ

ඔබ සිහිල් දොළක් සේ පාවී

වසන්තයක් වී ආවේ..!

Sunday, October 17, 2021

55. සුන්දර ජපුර!

ජපුරේ මංපෙත් දිගේ ඇවිද යද්දී මෑත අතීතේ සරසවියත් - ඈත අතීතේ සරසවියත්  වැසි දැරියට සිහිපත් වෙනවා. දෙවසරකට මෙහා මෑත අතීතේ සරසවියට පා තැබූ ගමන් සුමංගලය වෙත, ඕපන් කැන්ටිම හෝ ජිම් කැන්ටිම වෙත දුව යන්නට වැසි දැරිය පුරුදුව උන්නා. යනෙන මග දිග බොහෝ දෙනා මුණ ගැහුණ, අතින් අල්ලා, වැළදගෙන කතාබස් කළ, සංවාද ගහ යට සංවාද කළ, තණබිම මත වාඩි වී බත් කටවල් හුවමාරු කළ, මනරම් මතක අද හුදෙකලා සරසවියෙ ඇවිද යද්දි මතු වෙමින් රිදුම් දෙනවා. කොතැනකින් හෝ ශේන්‍යා, සත්‍යා අක්කා, වාසනා, සොනික් අය්යා, පොඩි සමීරය්යා, කුරවි අක්කා, සචී වැනි කෙනෙක් මතු වෙතැයි හිතුණත් එසේ ප්‍රාදූර්භූත වෙන්නේ සරසවියට අරක් ගෙන සිටින - දුම්මල ගසාවත් ජපුරෙන් පන්නා දැමිය නොහැකි ලොකුසමීරය්යා නොහොත් සොනික් අය්යා පමණයි. 

මෑත අතීතේ ඒ මතකයන්ට යටින් ඊට වඩා බරපතළ නොස්ටැල්ජියාවක් මතු වෙනවා. ඒ වැසිදැරිය සරසවි මානවිකාවක් වන්නට පෙර දවස්. ඇකඩමික් සමයෙ බොහෝ බශා හැන්දෑවරු මග ඇරුණත් ඉන් පෙර නොවැරදී හැම නලමුදු සුවදක්ම, හිමිදිරියක්ම, වේදිකා නාට්‍යයක්ම අත් නෑර විඳගත් මධුර අතීතයක මතක සුණු විත් හද පැටලෙන්නට පටන් ගන්නවා. අවුරුදු දහයක දැරියක්ව ඉද්දී අය්යලා අක්කලාගෙන් සරසවි කුරුටු ගී ඉගෙන ගත්, තෙල් බැමිවල වාඩි වී හැන්දෑ ඉරු එළිය යට තෙමුණු දවස් එකින් එක පෝළිමේ සිහියට නැගෙනවා. 

දැන් සරසවිය ඔන්ලයින්. අලුතින් සරසවියට පැමිණෙනු ඇත්තේ සිය සහෝදර සමාගම සූම් සහ වට්සැප් හරහා පමණක් අදුනාගත් යොවුන් පිරිසක්. සරසවියේ අහුමුලු නොදන්නා පිරිසක්. ඒත් කවදාක හෝ ඔවුන් ජපුරේ රස තැන් එකිනෙක සොයාගෙන ඊට ආදරය කරන්නට පටන් ගනීවි. ඒ අලුත් සියොතුන් ඉක්මණින් පැමිණ සිය සරදාකාශයේ පියඹා යන තුරු ජපුර අපේක්ෂා සහගතව බලා ඉන්නවා වැනි හැගුමක් පාලුවට ගිය කසගස් පේළි අතරින් ඇවිද යද්දි වැසිදැරියට දැනෙනවා.

ඒ මතක මංපෙත ඔස්සේ ඇවිද යන කල වරින් වර වැසි දැරිය අතින් ජපුර ගැන ලියැවුණු කැත කවි ටිකක් මෙසටහන අග අමුණා තබන්නේ ජපුර කෙරේ වන ඇලීම නොමිදීම කෙළවර කොට ඇත්තක් බව දැන දැනමයි.


එකෙක් වැටුණොත් දහක් විත් සුවදුක් අහන

සහෝදර අත් වෙලී පැටලුණ රජදහන

සාර සිප් කටු මතින් සතපන මල් යහන

ජපුර නුබගැබ දුලන සුමගුල් සඳපහන


වේදිකාවෙන් මහපොළොව වෙත

බැස්සවූ බෝ දනන් දස දෙස

හමන නළමුදු සුවඳ වින්දේ

රොතු පිටින් නැග ජනෙල් පඩි අස

හිමිදිරියෙ සිට පහන් තරු තෙක්

නිමා නැති මිහිරක්ය ඇස ඇස

කොහේවත් වෙන රඟහලක් වෙද

ඉතින් සකියෙනි බ.ශා එක මිස


සංවාද නැති දවස්වලටත් 

සංවාද ගහ වටේ ඉඳගෙන 

කතා කළ හැටි කතන්දර, කවි,

සලරූප සහ හුඟක් දේ ගැන

වසර සතරෙන් අතෑරෙන මුත්

හුස්ම යන දින තෙක්ම පවතින

ජීවිතේ මිහිරිතම පාඩම් 

සෝවුරනි, මේ බිමෙන් හමුවිණ!

Friday, January 27, 2017

48. ලිට් පන්තියේ මල් මතක..

උසස්පෙළ ලියන්න ඔන්න මෙන්න තියලා ලිට් පන්තියෙන් අපි සමු අරන් ආ දවසේ මගේ මිතුරියක් අපේ ලිට් මිස් වෙනුවෙන් අපූරු කවියක් ලියා තිබුණා. ඒ සම්පූර්ණ කවිය මට මතක නැහැ. ඒත් ඒක පටන් අරන් තිබුණේ මෙහෙම..

You are our Miss. Honey..

දිල් මිස් - හැමදාමත් අපේ මිස් හනී..!

රෝල්ඩ් ඩාල් කියන මැජික්කාරයාට පෙම් බැඳගත්තු  අයට මිස් හනී අමතක වෙන්න විදියක් නෑ. විශේෂයෙන් ම මැටිල්ඩා කියන ඇබිත්තන් කෙලි පොඩිත්ති අඳුරන ඕනෑ කෙනෙක් මිස් හනීට මැටිල්ඩා තරමට ම ආදරෙයි. අපේ ඉස්කෝලේ ලිට් පන්තියේ උන්න පිස්සෝ ටිකත් මැටිල්ඩා හා සමාන ජීවිතයක් ප්‍රාර්ථනා කරපු උන් ටිකක්. ඒ නිසාමද මන්දා අපේ හදවත්වල මැටිල්ඩාගෙ මිස් හනී ජීවත් වුණු උස් බිම දිල් මිස්ට දෙන්න අපි ටිකක්වත් පැකිලුණේ නැහැ.

මිස් හනී ටිකක් සැරයි. අපිව බය කරවන සුළු ගැඹුරු ම ගැඹුරු හඬක් ඈට තිබුණා. කොටටම කපපු කැරලි කොණ්ඩෙත්, සිහින් සිරුරත්, සිනාවෙන දෑසත් ඇයටම අනන්‍ය වූ අපූරු දේවල්. ඉංග්‍රීසි කවි පදත්, කෙටිකතාත් විවරණය කරන්න ඈ තුළ තිබුණ දස්කම මට මෙතෙක් මා ඉගෙනගත් වෙනත් කිසිදු ගුරුවරයෙකුගෙන් දකින්නට ලැබුණේ නැහැ.

ගොඩක් වෙලාවට හවස පන්තියට මං ගියේ නාගෙනයි. සුපුරුදු පරිදි පරක්කු වෙලා මිස්ගේ ගෙදර පුංචි යකඩ ගේට්ටුව තල්ලු කරගෙන මං පන්තියට දුවගෙන යද්දි ඈ හැමදාමත් කියපු කතාවක් තියෙනවා.

Today Warsha has taken her annual bath.. How lucky we are..!!

පාඩම් වැඩ කරද්දි සැරවැර කරන ඇගේ කටහඬම ඒ වාගෙ විහිළුවක් කරද්දි අවුරුදු පහළවක දාසයක ළමිස්සියකගෙ හඬට හැරෙන හැටි මට තාමත් මතකයි..

බොහෝ දෙනා දන්න කාරණයක් තමා උසස් පෙළ ඉංග්‍රීසි සාහිත්‍යය විෂය සමත් කරන්නෙ ඉතාම අඩු ප්‍රතිශතයක් වග. ඒ සාමාර්ථ වුණත් ලංකාවටම ලැබෙන්නෙ අතේ ඇඟිලි ගණනට වඩා අඩු ප්‍රමාණයක්-හැම වසරකම වගේ.ඉතින් ඒ නිසා අපිට මේ විෂය ගැන සාධාරණ බයක් තිබුණා. ආයේ මිස් ගාවට එන්න වෙයි කියා දවසක් මගේ මිතුරියක් කීවා මට මතකයි. එදා මිස් ඉතාමත් තදින් අපි හැමෝටම කතා කළා.

ආයේ ඔයාලා මේ ගෙදරට එන්න ඕනේ, අපි කැම්පස් සිලෙක්ට් වුණා කියාගෙනයි. මගෙන් ආයෙත් ඉගෙනගන්න ඔයාලා මෙහේ ආ යුතු නැහැ..

ටියුෂන් මානසිකත්වයක ඉඳිමින් වැඩි සිසු පිරිසක් බඳවාගන්න දත කන ගුරුවරු ඉන්න යුගයක ඇගේ මුවින් පිට වුණ වචන ටික මම බොහෝ තැන්වල ගුරුවරු ගැන කතා කරද්දි හිතවතුන්ට මතක් කරනවා..

ඈ විශේෂයෙන් ම අපේ සෙට් එකේ කෙල්ලන්ට ඉතා ම ආදරය කළා. අැගේ පන්තියට ආපු ආදරණීය ම සිසු පිරිස වුණේ අපේ අවුරුද්දේ විශාඛාවන් වග වරෙක ඇගේ අම්මාත් එක්ක ඈ පවසා තිබුණා. ඇගේ පාසලේ ම ළමුන් පවා සහභාගී වුණ පන්තියේ ඈ අපි තුළින් දැක්ක විශේෂය කුමක් ද කියන්න මා දන්නේ නැහැ.  ඒත් අපිටවත් හිතාගන්න බැරි තරමට ඈ අපිට ආදරේ වුණා.

සමුගන්න දවසේ විභාගය කටේ තියාගෙන වුණත් ඈ වෙනුවෙන් පදවැලක් නොගොතා ඉන්න මට පුළුවන්කමක් තිබුණේ නෑ. මහා කලබලේකින් කුරුටු ගාපු ඒ කැත අකුරු ටික ඈ මහමෙරක් ලෙසිනුයි පිළිගත්තෙ. ඈ කෙරේ අපේ හදවත්වල තිබෙන මල් මතකයෙහි සුසුවඳ විඳගන්නා අතරේමයි, යළි වරක් එදා මාතින් ලියැවුණු වචන කිහිපය වැහි වැටෙන තැන සටහන් කොට තබන්නේ.. 

We were wandering here and there
not knowing the correct path to follow
then you appeared like a sun
illuminating our sky..

You were the fairy god mother
who gave Cinderellas beautiful clothes.. 
who taught them how to believe in themselves..

You were the cloud
that nourished us with your knowledge
and we are the little rain drops
eagerly waiting to serve the earth
with the freshest water of literature..

Tuesday, January 24, 2017

47. උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක් ය..!

පැංචා තමා අපේ ගෙදරට ආපු පළවෙනි පූසා. පැංචාගෙ අම්මා එයාව අපේ ගෙදර මැද මිදුලේ වෙරළු ගහ ගාව ‍ගෙනත් දාලා හිටියේ. මායි සුදු අම්මයි මැජික් බලනවා වාගෙ එයා ගාවට ගිහින් බලන කොට ජිල් බෝල ඇස් දෙකයි රෝස කටයි උල් කරගෙන පුංචියට පුංචියේ එයා අපි දිහා බලා උන්නා. 

ඒ හරියට ම අවුරුදු හයකට ඉස්සර..!!

ඉපදිලා මාස දෙක තුනක් යන තුරු එයාට මැද මිදුලේ ඉඳන් ගේ ඇතුළට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. එක වැහි දවසක තමා එයා මුලින් ම ගෙදරට ගොඩ වැදුණේ. තාම මට මතකයි ගෙයි පිටිපස්සේ තිබුණ ටයර් එකක් ඇතුළේ ගුලි වෙලා බය පිරිච්ච ඇස්වලින් අපි දිහා බලන් උන්නු හැටි. පැංචා ගැන මගේ හිතේ මුලින් ම ආදරයක් ඉපදුණේ ඒ දවසෙයි..

ඒත් පැංචා ගේ ඇතුළට එනවට වැහි දැරිවිගේ අම්මා ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. වැහි දැරිවි පුංචි කාලෙ ඉඳලා තිබුණ බරපතළ සෙම් අමාරුව නිසා ගෙදර පූසෝ බල්ලෝ නොහදන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තිබීම තමා ඒ අකැමැත්තට හේතු වුණේ. ඒත් වැහි දැරිවිගේත් සුදු අම්මාගේත් බලවත් ඉල්ලීම පිට පැංචා ව නවත්වගන්න අම්මා කැමති වුණා. ඒත් එක කොන්දේසියක් තිබුණා. ඒ වැහි දැරිවිට පූසාව ඇල්ලීම - සිපගැනීම සහ කාමරයට ගැනීම යන කාරණා සියල්ල තහනම් කියන කොන්දේසිය.

ඉතින් හැමදාමත් මං පැංචාට ආදරේ කළේ දුර ඉඳන්. ඒත් ළඟ තියාගෙන ආදරේ කළාට වැඩි ගැඹුරු ආදරයක් මගේ හිතේ පැංචා ගැනත්, ඉන් පස්සෙ අපේ ගෙදර පදිංචියට ආව පැංචියෝ දෙන්නා ගැනත් තිබුණා. 

ඒත් කාමරේට එන්නෙපා කියලා අම්මා දාපු කොන්දේසිය තේරුම් ගන්න පැංචාට බැරි වුණා. මං නැගිටින්න පරක්කු වෙච්ච දවසට පැංචා කාමරේට ඇවිල්ලා මගෙ ඇඳ ගාව වාඩි වෙලා අතින් ගහමින් මාව ඇහැරවනවා. එක දවසක් මේ කම්මැලි කෙල්ලව ඇහැරවන්න බැරි ම තැන පැංචා නෙට් එකේ අත පටලවලා කකුල හූරලා තිබුණා. ඒක නම් කෙළවර වුණේ වැහි දැරිවිට පිටගැස්ම එන්නතත් විදලයි. තාත්තා එදා පැංචා ගැන කේන්ති ගත්තත් කල් ගත වෙද්දි පැංචාගෙ බහුබූත විකාර වැඩවලට තාත්තාත් පුරුදු වුණා. 

මගේ පුංචි අම්මා, එයාගෙයි මගෙයි දෙන්නාගෙම සුදු අම්මා ගැන එයාට තිබුණා මහා විසාල ආදරයක්. සමහර දවසට සුදු අම්මාගෙ ඇඳට පැනලා එයාට තුරුළු වෙලා නිදාගන්නත්, සුදුඅම්මා පුටුවක වාඩි වෙලා හිටියොත් පුටු ඇන්ද දිගේ නැගලා ඇවිත් උරහිස් වටේ අත් දෙක යවලා පිටිපස්සෙන් සුදුඅම්මාව බදාගන්නත් පැංචා පුරුදු වෙලා හිටියා.

කාලයත් එක්ක පැංචා ටිකෙන් ටික ලොකු වුණා. අවුරුද්දක් විතර පිරිලා එයා පළාතේ ම ඉන්න කඩවසම් ම පූසා වුණාට පස්සෙ එයාව ගෙදර තියාගන්න හරි ම අපහසු වුණා. අවට හැම ගෙදරක ම පැංචාට පෙම්වතියෝ උන්නා. ඒ හින්දා ගෙදර එන එක ටික ටික අඩු වුණත් අඩු ම තරමෙ සතියකට සැරයක්වත් ගෙදරට ඇවිල්ලා හැම කාමරේක ම ඇවිදලා රවුමක් ගහලා එන්න පැංචා කවදාවත් අමතක කළේ නෑ. ඉස්සර වගේ පිච්ච වැල උඩ නැගගෙන විකාර කරන්නත්, කඩදාසි බෝලවලින් අපි එක්ක සෙල්ලම් කරන්නත් කම්මැලි වුණාට ගෙදර එන හැම දවසක ම එයා අපි ගාවට ඇවිත් සද්දෙ නෑහෙන්න කතා කරලා ගියා.

මං මේ ජීවිත කාලෙදි දැක්ක වැදගත් ම පූසා තමයි පැංචා. එයා කවදාවත් හොරෙන් කෑවේ නෑ. කොයි තරම් ආස කෑමක් වුණත්-හොරෙන් කන්න පුළුවන්කම තියෙද්දිත් කිසිම දවසක ඒ වගේ වැඩ එයා ළඟ තිබුණේ නෑ. පොල් ගාන කොට ළඟට ඇවිල්ලා හිරමණේ වටේ කැරකුණා මිසක කිසිම දවසක හිරමණේ ඉව කළේවත් නෑ. අසනීපයක් වුණත් ළඟට ඇවිල්ලා මූණ දිහා බලාගෙන සද්දේ නෑහෙන්න ඇඬුවා මිස පැංචා කවදාවත් අපිට කරදරයක් කරපු පූසෙක් නෙමෙයි..

ඒ වගේ ම පැංචා ගාව තිබුණේ සමහරක් මිනිස්සු ගාවවත් නැති තරම් යහපත් ගතිගුණ. ලේඩීස් ෆස්ට් කියන තියරිය ඉතාම වගකීමෙන් පිළිපැදපු පූසෙක් තමා පැංචා. කට්ටියට ම එකට කන්න දෙද්දී පූසියෝ දෙන්නා කාලා ඉවර වෙන තුරු පැංචා කවදාවත් කෑම කෑවේ නෑ. මං දන්න සමහර ගෙවල්වල පිරිමි අය කාලා ඉවර වුණාට පස්සෙ ඉතුරු වෙන ටිකයි ගැහැණු අය කන්නෙ. එහෙම පිරිමි දැක්කාම මට පැංචා ව මතක් වෙන එක ඇත්තටම වළක්වන්න බැහැ. 

ඔව්.. ඇත්තට ම පැංචා හරි ම වැදගත් මහත්මයෙක්. මහත්මා ගතිගුණ තිබුණ පූසෙක්. සංසාරයේ කොහේ හරි අත් වැරැද්දකින් මනුසත් භාවය මග හැරුණු..!

                                 ************************

මේ ඊයේ පෙරේදා දවසක පැංචා මගේ සපත්තු දෙකක් උඩ නිදාගන උන්නා. ඒත් වෙනදා විදියට නෙවෙයි. එයාගෙ සිරුර අප්‍රාණික වෙලා. හුස්ම ගන්නෙත් හය්යෙන්. 

ඉඳලා හිටලා ලෙඩ වෙලා, තුවාල හදාගෙන අසනීප වෙන පැංචාව සනීප කරන ඩොක්ටර්ස්ලා දෙන්නා ම හිටියේ නැහැ. බලාගෙන ඉන්න බය හිතුණ නිසා සුදු අම්මයි මායි ඉක්මණට ම පැංචා ව අරගෙන ළඟ ම තිබුණ සත්ත්ව රෝහලකට ගියා. ඉන්ජෙක්ෂන්ස් කීපයක් එක්ක - පූසාට සේලයින් දුන්නත් ඒ වෛද්‍යවරයා ඒ් ටික කළේ කිසිම කරුණාවකින් නෙමෙයි. කැනියුලා එක ගහපු අත පැංචා වේදනාවෙන් හංගාගනිද්දි ඒ වෛද්‍යවරයා සතාට රිද්දවමින් අත ඇදලා අරගෙන සේලයින් දුන්නා. සත්තුන්ට බෙහෙත් කිරීම මිනිස්සුන්ට බෙහෙත් කිරීමටත් වඩා කරුණාවකින් කරන්න ඕන වග, සත්තු කියන්නේ කතා කරන්න බැරි - තමන්ගෙ වේදනාව ප්‍රකාශ කරන්න බැරි අසරණ ජීවි කොට්ටාසයක් වග ඒ වෛද්‍යවරයා ඇතැම් විට ඉගෙන ගෙන නැති ව ඇති. අසනීපෙක දී අනිත් වෛද්‍යවරියත්, වෛද්‍යවරයාත් පූසන්ට සේලයින් දෙන්නෙ උන් ව අත ගගා - හුරතල් කරමින්. කැනියුලා එක ගහපු අත සේලයින් දීලා ඉවර වෙන තුරු ඔවුන් දෙන්නා අත ගානවා. කිසිම දවසක පැංචා ඔවුන් සේලයින් දෙද්දි දඟලලා නැහැ. ඒත් එදා පැංචා ව අර වෛද්‍යවරයා ගාවට ගෙන ගිය එකෙන් මං සත්ත්ව කරුණාව ගැන විසාල පාඩමක් ඉගෙනගත්තා. 

ඉන් පස්සේ අපේ හුරුපුරුදු වෛද්‍යවරයෙක් ගාවට පැංචා ව අරන් යන්න පුළුවන් වුණා. වෙනදාට කූඩයක දාලා මිසක පැංචා ව අරගෙන යන්න බැහැ. වාහනේට දාගත්ත ගමන් එයා වාහනෙන් පැනලා දුවන්න හදනවා. ඒත් එදා එයා සුදුඅම්මාගෙ අතේ ගුලි වෙලා - ඇබින්දක්වත් දඟලන්නේ නැතුව ගිය විදිය මට කවදාවත් ම අමතක වෙන්නේ නැති වෙයි.

"ඔච්චර හොඳ වෙන්නෙපා පැංචෝ. එතකොට ඔයා පැංචා නෙමේ වගේ. ටිකක් දඟට ඉන්න කොට තමා පැංචා ගතිය තියෙන්නෙ."

එහෙම කිව්වට පැංචා ඒක ඇහුවේ නෑ. කවදාවත් නැති විදියට සන්සුන් ව සුදු අම්මාට තුරුලු වෙලා ඉස්පිරිතාලෙ ගියා.

ගියපු ගමන් පැංචා ව සැත්කම් මේසේ උඩින් තියලා ඩොක්ටර් අක්කා එයා ව පරීක්ෂා කළා. පැංචාට වැළඳිලා තියෙන්නෙ මේ දවස්වල රට පුරා ම පූසන්ට - බල්ලන්ට වැළඳිලා තියෙන උණ රෝගය. ඒ රෝගයෙන් යාලු මිත්‍රයන් කීප දෙනෙක්ගෙම හුරතල්ලු අවසන් ගමන් ගිය බව මතක් වෙලා පැංචාව අල්ලන් හිටපු මගේ අත වෙව්ලන්න පටන් ගත්තා. ඒත් ඩොක්ටර් අක්කා පැංචාව ආදරෙන් අත ගගා එයාට සේලයින් දෙද්දී එයාට ආපහු පණ ආවා. ඉන්පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා, බොන්න බෙහෙතුත් ලියා දුන්නාට පස්සෙ එයාට දියර ජාති බොන්න දීලා ආදරෙන් බලාගන්න කියපු ඩොක්ටර්ගේ ස්වරය වැහි දැරිවිට ඇහුණේ අනතුරු ඇඟවීමක් වගෙයි..

සේලයින් බලේට වෙන්න ඇති, පැංචා දවසක් හොඳින් ම උන්නා. ඒත් ආයෙත් ඊළඟ දවසෙදි නපුරු උණ රෝගය පැංචා ව තදබල විදියට දුර්වල කළා. ඒත් ඒ තරම් දුර්වලව ඉද්දිත් ගේ ඇතුළ අපිරිසිදු වෙනවට පැංචා කැමති වුණේ නෑ. වුවමනාවක් වුණ ගමන් අමාරුවෙන් වැටි වැටී එයා එළියට යන්න උත්සාහ කරන අන්දම තමයි අපි හැමෝටම දරාගන්න අපහසු ම දර්ශනය වුණේ. එයා මිදුල කියලා හිතාගෙන සිමෙන්ති පොළොව හාරන්න උත්සාහ කරන විදිය බලාගෙන ඉන්න බැරුව එක පාරක් වැහි දැරිවිට කෑ ගහලා ඇඬුණා. ඉන් පස්සෙ පැංචා.. ඔයා හාරන්න එපා.අපි අයින් කරන්නම් කියලා කිව්වාම ඒක තේරුණා වාගෙ එයා පැත්තකට ගිහින් මුල්ලක නිදියාගත්තා.

ඉන් පස්සෙ ආයෙ බය වීම්.. ඇමතීම්.. තත්පර පහක් තුළ සැරසීම්.. වෙනදට තොරතෝංචියක් නැතුව මොනවා හරි කතා කරන සුදුඅම්මාත් වැසි දැරියත් නිහඬ ව.. පැංචාත් එක්ක ත්‍රීරෝද රියක් ඇතුළෙ..

"මට බොරු කියන්න බෑ. බලාපොරොත්තු තියාගන්නෙපා. දැන් එන්ඩ් ස්ටේජ් එක ඇවිල්ලා තියෙන්නෙ.."

එදා ඩොක්ටර් අය්යාගෙ වචන මට ඇහුණේ ඈත ලෝකෙකින් වගේ. පැංචාගෙ වෛද්‍ය වාර්තා පොත ඉල්ලගන්න මං දිහාට හැරුණු ඔහු මගෙ ඇස්වල තිබුණු කඳුළු දැකලා කියන්න ගියපු කතාව ආපහු ගිලගත්තා.

"දවස් පහකින් එයා වැඩේ අල්ලගත්තොත් එක්කන් එන්න නංගි."

ඒත් ඔහු එහෙම කිව්වෙ බොරුවට වග මං ඒ මොහොතෙත් දැනං හිටියා. කෙනෙක්ගේ හිත හදන්න කියන බොරුවක තිත්ත ස්වරයයි ඔහුගේ කටහඬේ තිබුණේ. 

ලේසියෙන් කඳුළක් එන්නෙ නැති වැහි දැරිවිගේ ඇස්වලින් එන මග දිගට කඳුළු කඩා හැලුණා. 

අද උදේ වෙද්දි වෙට් අය්යා දුන්න දවස් පහෙන් එක දවසක් ගෙවිලා ඉවරයි. උදා වෙන්නේ දෙවෙනි දවස. පැංචාගෙ අසරණ මුහුණ දැක දැක බලාපොරොත්තු තියාගන්න බැහැ කියලා දැනෙද්දිත් මං මෝඩයෙක් වගේ පැංචා ජීවත් වේවි කියන බලාපොරොත්තුවේ එල්ලිලා ම හිටියා. අද එයාට එළිමහන් තැනක ඉන්න ලොකු වුවමනාවක් තිබුණා. ඉතින් එයාව එළිමහනේ තියාගෙන - ඒ ළඟින් ම පුටුවක් තියාගෙන මැස්සෝ එළවමින් මං එයාට තනි රැක්කා. හවස් යාමේ පැංචාට බෙහෙතක් අරන් එන්න තාත්තා එක්ක එළියට බහින මොහොතෙත් එයාව තනියම ගෙදර දාලා යන්න මහ බයක් වගේ එකක් මගෙ හිත කොණක තිබුණා. 

ආපහු එද්දී අම්මා පැංචා ව ගේ ඇතුළට අරගෙන එයා ව පුංචි බබෙක් වගේ රෙද්දකින් ඔතලා තිබුණා. දවස් පහක් තිස්සේ ඇස් ඇරගෙන ම උන්නු පැංචා ඒ වෙද්දිත් උන්නේ ඇස් ඇරගෙන. උදේ ඔළුව උස්සලා කිරි පීරිසිය ම බීපු පැංචා ඒ වෙද්දි ඔළුව උස්සලා වතුර චුට්ටක්වත් බොන්න බැරි තත්වෙකයි හිටියේ. ඒත් සුදු අම්මා සිරින්ජරයකින් එයාට වතුරත් බෙහෙතුත් පෙව්වා. ඒ වෙලාවට පැංචා සුදු අම්මා දිහා බැලුවේ පුදුමාකාර කෘතඥතා පූර්වක බැල්මකින්. 

ටිකෙන් ටික රෑ බෝ වෙද්දී එයා හුඟාක් දුර්වල වුණා. ඉන්න තැනින් නැගිටලා යන්න බැරි තරමට. අසනීපේ හැදිච්ච දවසේ ඉඳලා ම පියෙව්වේ නැති මලානික ඇස් දෙකින් එයා ගෙදර හැමෝම දිහා ආදරෙන් බලා උන්නා. මිය යන්න අඩ හෝරාවකට විතර කලින් මං එයා ගාවට ගිහින් අන්තිම වතාවට එයා එක්ක කතා කළා. එයාට තේරුණත් නොතේරුණත් මං අවුරුදු හයක් තිස්සේ එයත් එක්ක ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේ ම ඒ කතා කරපු දේවල්වලින් ඇතැම් දේවල් එයාට තේරුණ වගත් මං දන්නවා.

                                     *****************

ඇටමැස්සා පොතේ අන්තිමේ ආතර් කියන වචන ටික ඔබට මතක ඇති..

"එවිට මම ජීවත් වුවත් මිය ගියත් වාසනාවන්ත මැස්සෙක්මි.."

ඒ ටික තරමක් වෙනස් කරලා මං පැංචාට මෙහෙම කිව්වා..

"උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක්...!!"

Sunday, January 15, 2017

46. සීයා.. ඔබ ළඟ නැතත් ළඟ ඉන්නවා සේ ම ය..!

සීයා ගැන මට තියෙන්නෙ ඉතා ම පුංචි මතකයක් විතරයි. ඒ මහ හය්යෙන් අකුණු ගහමින් වහින දවසට මං සීයාගෙ ඇඳ ගාවට දුවගෙන යන හැටි. ඉන්පස්සෙ අමාරුවෙන් දණිපණි ගාලා සීයාගෙ ඇඳට නගින හැටි. වැස්ස මුළුමනින් ම පායලා ඉවර වෙන තුරු සීයා අවුරුදු හතරහමාරක් වෙච්ච වැහි දැරිවි ව එක අතකින් තුරුළු කරගෙන ඉන්න හැටි. 

ඒ වෙන කොට ඔහුට මිණිපිරීව වැළඳගන්න පුළුවන් වුණේ එක අතකින් විතරයි. අනෙක් අතේ පණ තිබුණේ නෑ. ඒත් තමන්ට පණ තියෙන අතින් ඔහු වැහි දැරිවි ව බදාගෙන උන්නා. හිතුණ විටෙක ඒ අතින් කවිත් ලිව්වා. 

කවුරු හරි මගෙ කෙල්ලට මොනව හරි කළොත් මං උන් ව උස්සලා පොළොවෙ ගහනවා..

ලෙඩ ඇඳේ ඉඳගෙනත් ඒ දවස්වල ඔහු වැහි දැරිවිගෙ මාපියන්ට එහෙම කියනවලු. 

දන්නවද සීයෙ.. අදටත් කවුරු හරි මගේ හිත රිද්දන කොට මට සීයා කියපු ඒ වචන මතක් වෙනවා. කාවවත් උස්සලා පොළොවෙ ගහන්න ඕන නෑ. කිව්වට ඔබ එහෙම කරන කෙනෙකුත් නෙමේ. ලෝකය ගැන මහා කරුණාවක් - ආදරයක් තිබුණු මනුස්සයෙක්. ඒත් හිත රිදෙන මොහොතකට ඔබ ළඟ උන්නා නම් එදා වගෙම මගෙ හිස අතගාමින් සනසවයි කියන හැඟුම හිතට එද්දි පුංචි කඳුළක් නැගෙන එක වළකන්නට බැහැ.

සීයා අපි ව දාලා යද්දි මට යාන්තම් අවුරුදු පහ පිරුණා විතරයි. සීයාගෙ නික්ම යාමෙන් පස්සෙ එළැඹුණු පළමු වැනි වැහි දවසෙදි වැහි දැරිවි වෙනදා පුරුද්දට එක පාරටම සීයාගෙ කාමරේට දුවගෙන ගියාලු. ඒත් සීයා නැහැ. එහෙම බලාපොරොත්තු කඩ වුණු පෙනුමක් මගේ මුහුණෙන් දැක්කෙ පළමුවෙනි වතාවට කියලයි අම්මා කියන්නෙ. ඉන්පස්සෙ එදා වැස්ස පායන තුරු මම හාන්සි පුටුවට වෙලා තාත්තාගෙ පපුවට ගුළි වෙලා උන්නලු. අම්මා කඳුළින් යුතු ව ඒ කතාව මතක් කරන හැම දවසක ම මට මේ කවි පද පෙළ මතක් වෙනවා.

නාගලකන්දෙන් එන හඬ ඇසී අහස ගුගුරන විට
දිව ගොස් මම හනික වැළඳගතිමි තාත්තා හනිකට

විමල් දිසානායකගෙ ඒ කවියෙ තියෙන්නෙ තමන්ගෙ දියණිය අකුණු ශබ්දයට බය වී තමන් ගාවට දුවගෙන එද්දි තමන් කුඩා කාලෙදි අකුණු හඬට බයේ තම පියා ගාවට දුව ගිය හැටි කථකයා සිහි කරන අන්දම. එදා සීයාගේ අහිමි වීමෙන් මට දැනුණාට වඩා වේදනාවක් තාත්තාට දැනෙන්ට ඇති කියා අද ඒ සිදුවීම සිහිපත් කරද්දී මට හිතෙනවා.

අද අකුණු ගහද්දී වැසි දැරියට බයක් දැනෙන්නේ නෑ. අකුණු විදුලි සැරවලට දැන් වැසි දැරිය ආසයි. වැහි වහිනවට ආසයි. ඒත් ජීවිතේ ඇතුළෙන් මහ අසනි වැසි ගිගුරුම් නැගෙන කොට සීයා ව සිහිපත් වෙනවා. සීයා කෙනෙක්ගේ ආදරය අවුරුදු පහෙන් එහා පැත්තේ නොලබපු කෙනෙක් විදියට මට සීයලා ඉන්න යාලුවෝ ගැන ඒ කාලෙ පුංචි ඉරිසියාවකුත් තිබුණා. සපූ නවකතාව කියවපු අය දන්නවා ඇති, ඒකෙත් ඉන්නවා හරි අපූරු සීයෙකුයි මිණිපිරියෙකුයි. ඇත්තමයි, මගේ සීයාත් මට තේරෙන වයසක් වෙනකං උන්නා නම් ඔහුත් - මාත් හරිම දඩබ්බර රයිගමයෙකුයි - ගම්පළයෙකුයි වෙනවාට කිසිම සැකයක් නැහැ.

ඔහු උන්නා නම් මේ වැහි දවස්වල අපිට කෝපි බිබී කතා කර කර ඉන්න තිබුණා. සීයාගෙන් ඡන්දස් අලංකාරයත් - වෙදකමත් ඉගෙන ගන්නට තිබුණා. ඔහු එක කවිය තුළ පස් තැනෙක එළිසමය තියා කවි ලියූ කවියෙක්. වෙදකම කෙසේ වෙතත් ඒ කවිකමෙන් අංශුමාත්‍රයක් හරි ඉගෙනගන්නට තිබුණා නම් කියා හිතෙද්දී දුකයි. 

එදා වැහි දවසෙ සීයාගෙ අඩුවෙන් රිදිලා දවස් දෙක තුනකට පස්සෙ අම්මාත් දුවත් අතර මෙහෙම සංවාදයක් ඇති වුණාලු.

අම්මා.. සීයට මොකද වුණේ?

සීයා නැති වුණා පුතේ..

එතකොට සීයා කවදාවත් ම ආයෙ එන්නෙ නැද්ද..?

අපි ගාවට එන්නෙ නෑ. වෙන කොහේ හරි ඉපදෙනවා.

ඊට පස්සෙ වෙන කොහේ හරි ඉපදිලා ආයෙත් නැති වෙනවද?

ඔව්. 

ඉතින් ඒක හරි දුකක් නේ අම්මා.. ඒ දුක නැති කරන්න විදියක් නැද්ද?

තියෙනවා. බුදුසාදු දුක නැති කරන හැටි කියලා දුන්නා. ඔයා ලොකු වුණා ම ඒ ක්‍රමය ඉගෙන ගනීවි.

වසර ගණනකට පස්සෙ දහය වසරෙදි බුද්ධාගමට දුක්ඛ නිරෝධය ඉගෙන ගනිද්දී මට ආයේ වතාවක් සීයා මතක් වුණා. 

දුක නැති කිරීමේ මාර්ගය ඉගෙනගත්තා නම් තමයි. ඒත් ඒ මග යන හැටි කියා දෙන්න ඉසිවරයෙක් බඳු සීයා ළඟ උන්නා නම්.. 

දුක නැති කිරීමේ මග වෙනුවට මේ භවයෙදිත් ලෞකික ජීවිතය ම තෝරා ගෙන කටු කොහොල් යුත් මග දිගේ ඇවිදගෙන යද්දි වැහි දැරිවිට එහෙම හිතෙනවා..

Thursday, November 24, 2016

43. මනරම් දවස් + ඒ බෝ සෙවණ යට..

ඊයේ පෙරේදා දවසක ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක රසවින්දන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්නට සිදු වුණා. නව යොවුන් පරම්පරාව නියෝජනය කරන පාසල් සිසුන්ගේ රසවින්දනයත් - ආකල්පත් යහපත් අතට වෙනස් කිරීම කළ යුතු දෙයක් වාගේම කරන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ කටයුතුවල නියැලෙනවා. මේ දවසත් ඒ වගේ ගාල්ලේ ගත වුණු මනරම් දවසක්..

දඟකාරයි - කටකාරයි කියන නව යොවුන් පාසල් සිසු සිසුවියන් ම මේ රසවින්දන වැඩසටහන්වලට සහභාගී වෙන්නේ පුදුමාකාර උනන්දුවකින්. අපේ පාසල් විෂය නිර්දේශවල තියෙන ඒකාකාරී බවෙන් බොහෝ වෙනස් තැනක තිබෙන සාහිත්‍ය රසවින්දනය ඔවුන්ට අලුත් දෙයක්. ඒ වාගේම රසවත් දෙයක්. පන්තියෙ උගන්නද්දි කෑ කෝ ගහලා ගුරුවරුන්ට කරදර කරන දරුවන් ම අලුත් කවි ගැන කතා කරද්දි ඒවා අහන් ඉන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා. 

මේ එක් වැඩසටහනකදී අපිට හරි අපූරු යුවතියක් මුණ ගැහුණා. ඈ අපිත් එක්ක කතා කළේ සාහිත්‍යය ගැන. පොදු කටයුතුවල තියෙන අවශ්‍යතාව ගැන. ඒ අතරෙ තමන් ලියාපු කවි කිහිපයක් ගැනත් ඈ අපිත් සමඟ දොඩමළු වුණා. ගොඩක් හිතවත් වුණාට පස්සෙ තමා කිව්වෙ ඈ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව.

"අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.."

ඈ එහෙම කිව්වා. ඇය වැනි අනාගත වෛද්‍යවරියන් රටට වාසනාවක්. රටේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් දැනෙන වෛද්‍යවරු හිඟ කාලයක ඇගේ චින්තනයෙන් යුතු වෛද්‍ය පරපුරක් බිහි විය යුතු ව පවතිනවා. 

ඉන්පස්සෙ ඇයත්, එක් රසවින්දන වැඩසටහනක් සංවිධානය කළ ඇගේ ඥාති සොහොයුරෙකුත් සමඟ අපි ගියා ඔවුන්ගෙ නිවෙස ආසන්නයේ තිබුණු පන්සලකට. මං ජීවිතයේ දැකපු සුන්දරම පන්සල ඒකයි. බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරලා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත බෝධියේ ශාඛා වටේට රන්වැටවල් බැඳපු පන්සල්, පන්සල් කියා මට නම් දැනෙන්නේ නැහැ. ඒත් මේ පන්සල එයින් වෙනස්. පන්සල වටේට කළුගල්තලාවක් තිබුණා. අදටත මිනිස්සු බණ අහන්නේ ඒ කළුගල්තලාවේ හිඳගෙන වග දැනගත්තාම මගේ හිතේ ලස්සන මනෝරූපයක් මැවුණා. ඒ කළුගල්තලාවේ වාඩි වෙලා දවසක බණ අහන්න ඇත්නම් කියලා මේ ලියන මොහොතේත් මට හිතෙනවා.

පන්සල තිබුණේ පුංචි කඳුගැටයක් මත්තේ. ඒ ඉස්සර පන්සල් තනපු විදිය. ගමේ තිබුණ උස් ම ස්ථානයේ තමා පන්සල තනන්නේ. ස්වාභාවික විපතකදී වුණත් පන්සල ඇතුළේ මුළු ගමේම මිනිස්සු ආරක්ෂිතයි - ජාති ආගම් කුල භේදයකින් තොරව. ඒ බව කතා කරද්දි මට මතක් වුණේ වසර ගණනකට පෙර සමන් සිත්තරා කළ ප්‍රකාශයක්..

"බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන් හී පැවැත්ම තහවුරු කිරීමයි. බුදුදහම මහා වෘක්ෂයකි. ඒ වෘක්ෂයෙහි සෙවණ යට හින්දු,කිතුණු,මුසල්මානු සියලු ආගම් ආරක්ෂිත ය." 

බුදුදහම සවිමත් ව පවතින තාක් අන් සියලු ආගම් ඒ වටා ආරක්ෂිතයි. මන්ද එය ආගමක් නොවන නිසා.. එය ලොව මෙතෙක් පහළ වූ සුවිශිෂ්ටතම දර්ශනය වන නිසා.. මිනිස්සු බුදුදහම ආගමක් නොවෙයි දර්ශනයක් ලෙස පිළිගෙන, ඒහි පස්සික ව විත් එය හදාරන්නට පටන් ගත් දාට මේ ලෝකය මීට වඩා බොහෝමත් ම සුන්දර තැනක් වේවි කියා ඒ මනරම් පන්සලේදී මට හිතුණා.

ගෙවී ගිය ඒ මනරම් දවසේ මතක අතරේ - තවමත් ඒ බෝ සෙවණ යට වැහි දැරියගේ හිත නිසංසලේ හුස්ම ගන්නවා.