Saturday, December 30, 2023

ගුරු දියවර නවකතාව - විසි හයවන කොටස - සමන් චන්ද්‍ර රණසිංහ

                                                               ගුරු දියවර 26


ලෝකය සිය වේදනාවන්ගෙන් මගේ ආත්මය වරින්වර සිප ගන්නේ ගීත ස්වරූපයෙන් ඒවා ලෝකයට ම පෙරළා දෙන්නැයි ආයාචනා කරමිනි.

පෙරළා කොළඹ බලා එන ගමනට පිටත් වීමට සැරසුණු මොහොතේ ය, මිහිදිනී රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ප්‍රකාශයකින් ආරම්භ කොට මධ්‍යම රාත්‍රියේ දී රේණුකා විසින් සිය ජංගම දූරකථනයට එවා තිබූ පණිවිඩය දුටුවේ. එම පණිවිඩය ඇය යොමු කොට තිබුණේ ගඟුල් සහ මිහිදිනී දෙදෙනා ම වෙතට ය. මිහිදිනී ගඟුල්ට ද ඇසෙන සේ ලියුමක ආකාරයෙන් ලියා තිබූ එම පණිවිඩය කියැවීමට පටන් ගත්තා ය.

මගේ ආදරණීය නංගී මිහිදිනී සහ දයාබර මල්ලී ගඟුල් වෙතට යි.

කලින් ඔබ දෙදෙනාට දැන්විය යුතු ව ම තිබූ නමුදු පවරා තිබූ වගකීම නිසා ම නොදැන් වූ, හෙට ඔය දෙන්නා ම උදෙන් කොළඹ එන නිසා ම දැන් මේ මොහොතේ දන්වන, සංවේගජනක පණිවිඩයක් තිබෙනවා. ඒ අපේ ආදරණීය තාත්තා එදා අපි කොළඹ ආ දවසේ ම රාත්‍රියේ අභාවයට පත් වූ බව යි. ඒ මොහොතේ අම්මාත් අය්යාත් විපුල් අය්යාත් නංගීත් මමත් තාත්තා ළඟ ම සිටියා. එය සිය උගත්කම නිසා ම ලද තනතුරු කිසි දිනෙක අවභාවිතයට නොගත් උත්තම පුරුෂයකුගේ නික්ම යාමක්. අය්යාත් නංගීත් දෙස ආදරණීය දෑසින් මොහොතක් බලා සිටි තාත්තා එක් අතකින් අම්මාගේ අතත් අනික් අතින් මගේ අතත් අල්ලා ගෙන මොහොතක් බලා සිටියා. වචනවලින් ප්‍රකාශයට පත් කළ නොහෙන දහසක් හැඟුම් ඔහුගේ දෑසේ ලියැවී තිබුණා. එය ආදරණීය සැමියෙක්, සිය ආදරණීය බිරිඳත් සිය ආදරණීය දරුවනුත් සදහට ම අතහැර යන මොහොතක්. 

ගඟුල් මල්ලී, ඔබගේ ආදරණීය සොහොයුරා මේ දින කීපය තුළ කළ මෙහෙය මෙපමණ යැයි කියා අපට ප්‍රමාණ කරන්නට බැහැ. හඳුනාගත් කෙටි කාලය තුළ අපේ හදවතේ විසල් ඉඩක් හිමි කොට ගත් ඒ ආදරණීයයා ඊයේ හවස තාත්තාගේ අවසන් කටයුතුවලටත් සහභාගී වි තමයි පෙරළා ගෙදර ගියේ, ඊට සහභාගි වන්නට පැමිණි ඔබගේ ආදරණීය දෙමාපියන් සමග. ඔබ දන්නවා ද මල්ලී, අපේ තාත්තා මගේ අත අතහැර සිය නික්ම යාමට පෙර අන්තිමට අල්ලා ගත් අත කාගේ ද කියා. ඔව් මගේ ළබැඳියන් වන ඔබ දෙදෙනාට ම එය අනුමානයක් නොව ප්‍රත්‍යක්ෂයක් බව මා දන්නවා. ඒ වෙන කාගේවත් නොව විපුල් අය්යාගේ අත යි. ගත ව ගිය කාලනිමේශය තුළ අපේ තාත්තාට විපුල් අය්යාගේ හදවත හඳුනා ගැනීමට හැකි වී තිබුණා. මල්ලී, ඔයා මේ මොහොතේ භෞතික ව ළඟ නැති අඩුව නොදැනුණේ ඒ නිස යි. දැන් මගේ මිහිදිනී නංගීට දුක හිතෙනවා ද, එහෙනං අක්කේ ඔයාට මන් නැති එකේ අඩුවක් දැනෙන්නේ නැද්ද කියා. එහෙම අදහසක ඡායාමාත්‍රයක් හරි තියෙනවානං මට නංගියේ උඹට කියන්නට තියෙන්නේ ගඟුල් දවසක් සරස්වතී දෙවඟන, කාලිදාස කවියාට කියූ ප්‍රකාශය කියා, අපට කියා දුන් කතාවයි. ඒ කතාව ගඟුල්ගෙන් අහගන්න. එතකොට උඹට තේරේවි නංගී, මන් උඹව තියලා තියෙන තැන.

නංගී මන් තාගෝර්තුමා නොවුණත් දැන් මට මුහුණ දීමට සිදු ව ඇත්තේ එතුමා මුහුණ දුන් අද්දැකීම්වලට තරමක් සමාන අද්දැකීම්වලට තමයි. එතුමාගේ අද්දැකීම් අපට වඩා බරපතල යි තමයි. එතුමාට තාත්තා අම්මා දෙන්නා ම අහිමි වෙන්නේ පුංචි ම කාලේ දී යි. ඊට පස්සෙ අම්මාගේ හිස්තැන පුරවපු ලොකු අය්යාගේ බිරිඳ නැති වෙනවා. ඒ වගෙම තමන්ගේ දුකේ දී සැපේ දී ළඟ හිටපු බිරිඳ මෘණාලිනීත් නැති වෙනවා. ඒ වගෙ ම අනාගත ආයෝජනයක් කියලා හිතලා දැනුමින් සන්නද්ධ කරපු ශිෂ්‍ය පරපුරේ හිටපු විශිෂ්ට ශිෂ්‍යයා සතිස් මිය යනවා. මේ අයගෙ අභාවයන් ගැන කම්පා වෙනවා වෙනුවට ඔහු කරන්නේ ඒවා නව නිර්මාණයන් බිහිකිරීම උදෙසා වන උල්පත් බවට පත් කිරීම යි. නංගී, මන් විශ්වාස කරන විදිහට හොඳ මනුස්සයෙක් හරි ගැහැනියක් හරි කියන්නේ ඒ අයගේ මරණයෙන් පසුව ලොව හද බිම් තෙමන ගංගා නිර්මාණය කරන උල්පත්වලට යි. මල්ලී ගඟුල්, ඔයා නිතර කතා කරන අදිකාරම්තුමා, සිත්තර සමන් අය්යා අයිති වන්නේ ඒ කුලකයට යි. ඊට ම ඇතුල් කළ හැකි ආදරණීය චරිතයක් තමයි අපේ තාත්තා. ඒ තාත්තා වෙනුවෙන් මගෙන් සමාජයට විය යුතු මෙහෙවර මම අවබෝධ කරගෙන සිටිනවා. මාව ගැඹුරින් ම තේරුම් ගත් ඔය දෙන්නා මාත් එක්ක ම එකම පාසලේ සේවය කිරීම මට මහා ශක්තියක්.

අපේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් වගෙම, උසස් පෙළ ළමයි සෑහෙන පිරිසක් අවමංගල්‍ය කටයුතුවලට අපට උදව් උනා. ඔය දෙන්නාට මේ මොහොතේ තාත්තාගේ අභාවය ගැන නොදැන්වීමට ගත් තීරණය විදුහල්පතිතුමාත් අනුමත කළා. අප මුහුණ දුන් මුළු සිද්ධිය ගැන ම දන්නේ විදුහල්පතිතුමා විතර යි. මන් අපේ පිරිසට ඔය දෙන්නා පමණක් ඉතිරි ආරාධනාපත්‍ර රැගෙන ගියා කියන හැඟීම ඇති නොවන පරිදි කටයුතු කළා. ඒ මගේ මල්ලීගේත් මගේ නංගීගේත් ගෞරවය රැකීම පිණිස යි. සමාජයක ජීවත් වන අප වැදගත් කොට නොසලකතත් ඇතැම් දෙනා ඉතා වැදගත් ය යන කරුණු ගැනත් අප සැලකිලිමත් විය යුතු වෙනවා. 

කියන්නට බොහෝ දේ තිබෙනවා. ඔය දෙන්නා නාගොල්ලාගම යාමට පෙර අපේ ගෙදරට ගොඩ වෙලා යන්න. ආ තව වැදගත් ම දෙයක් ලියන්නට අමතක උනා. දැන් විපුල් අය්යා අපේ අය්යාගේ අතිජාත මිත්‍රයෙක් වෙලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාටත් පේන තැනක ඇඳගත යුතු පරිසර චිත්‍රයක් ඇඳ දෙන්නැයි අපේ අය්යා විපුල් අය්යාට කියනවා මන් අහගෙන. අපේ නංගීටත් අය්යා එයාව හොඳට හිතට අල්ලලා. අපේ අම්මාට එයා ඒ දරුවා වෙලා. ඔය දෙන්නා එයා ගැන මගේ හැඟීම ගැනනං අහන්න එපා.

නංගී, මන් මේ මොන දේවල් ලිව්වත් තාත්තා නැති අඩුව මට තදින් දැනෙනවා. වෙලාවකට හිත කඩා වැටෙන බව ඇත්ත. ඒත් මන් වැටෙන්නේ නැහැ. ඒ ශිෂ්‍ය පරපුරක් නැගිට්ටවීමේ මහා වගකීම අපට තියෙන නිස යි.

මට ඔය දෙන්නා දකින්න ම අවශ්‍ය යි.

ඔය දෙන්නාට ම තෙරුවන සරණ යි.

සදා අදරැති අක්කා රේණු  

ගඟුල්ගේ ඉල්ලීම පරිදි තවත් වරක් මිහිදිනී රේණුගේ පණිවිඩය කියැවූවා ය. ඒ අවසන ගඟුල් ප්‍රකාශ කෙළේ මේ වචන කිහිපය යි.

“මිහිදිනී, අපේ රේණු අක්කා තාක්ෂණික උපකරණෙ ඇතුළට අතීත සන්නිවේදනේ හොඳම ප්‍රකාශනය වන ලියුම ගෙනල්ලා තියෙනවා.”

“රේණු අක්කා ඔයාගෙන් අහ ගන්න කියලා තියෙන කාලිදාස කවියා සරස්වතී දෙවඟනට කරපු ප්‍රකාශෙ මොකක් ද ගඟුල් සර්.”

“ඒක කවුරු හරි සාහිත්‍යකාමී සුන්දර හදවතක් තිබිච්ච අතීත භාරතීයයෙක් හදපු කතාවක්. මන් ඔයාට යන ගමන් ඒ කතාව කියන්නංකො.” 

මෙසේ කියා රථයට නැඟ එය පණ ගැන්වූ ගඟුල් මිහිදිනියට ද රියට ගොඩ වන්නැයි සංඥා කෙළේ ය. අනතුරුව කාලිදාස කවියා හා බැඳුණු කතාව ඇසීමේ මහදාශාවෙන් සිටින මිහිදිනිය දෙස බලා එය කියන්නට පටන් ගත්තේ ය.

“ඔයා දන්නවනෙ කොහොමත් කාලිදාස කවියා ගැන විස්තර. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කියවලා ඇතිනෙ.” 

“ඔව් ටිකක් දන්නවා. එතුමා නාට්‍ය තුනකුත් මහා කාව්‍ය දෙකකුත් ඛණ්ඩ කාව්‍ය දෙකකුත් ලියලා තියෙන බවත් දන්නවා. ඒ වගෙම මන් ශාකුන්තල නාට්‍යෙ ඉංග්‍රීසි පරිවර්තනයත් මේඝදූතෙ සිංහල පරිවර්තනයකුත් කියවලා තියෙනවා. හැබැයි දණ්ඩි කවියා ගැනනං දන්නෙ අපේ සියබස්ලකරට මුල් වෙච්ච සංස්කෘත පොත ලියපු ලේඛකයා කියන කාරණේ තමයි.” 

“හොඳයි මිහිදිනී මේ කියන දේවල්වලින් ඇඟෙන්නෙ වෙනත් විෂයක් කරපු ඔයාට සංස්කෘත සාහිත්‍යය ගැනත් මොන මට්ටමක හරි කියවීමක් තියෙනවා කියන එකනෙ. අපිට හැම සාහිත්‍යයකදිම හොඳ නිර්මාණ  බිහි කරපු සමහර චරිත මග හැරෙනවා. මොකක් හරි සාහිත්‍යයක් හදාරපු අය ඒ සාහිත්‍යෙට අයිති එක් චරිතයක් හරි දෙකක් හරි ගැන වැඩියෙන් කියන කොට ඒක හදාරපු නැති අයට තහවුරු වෙන්නෙත් ඒ චරිත ම තමයි, ඒ අයගෙ නිර්මාණ ම තමයි.  සංස්කෘත නාට්‍ය සාහිත්‍යෙ විශිෂ්ටයා විදිහට කාලිදාස කවියා ගැනම කියන්න ගත්තහම සංස්කෘත කරපු අය උනත් භවභූති වගෙ විශිෂ්ට නාට්‍ය රචකයකුට දුන්නේ අඩු ලන්සුවක්. ඒ වගෙම සංස්කෘත නාට්‍ය අතරට වැඩිම නාට්‍ය සංඛ්‍යාවක් එකතු කරපු භාසටත් කාලිදාසට දුන්නු තැන දුන්නෙ නැහැ. ඒ තරමටම නොවුණත් කාලිදාසට වැඩි බරක් දීපු නිසා ම ගොඩක් දෙනා දණ්ඩිට දුන්නෙත් අඩු බරක්. මන් මිහිදිනී, මෙතෙන්දි කාලිදාස කවියා පල්ලෙහාට දාලා කතා කරනවා නෙමෙයි. එතුමා අතිවිශිෂ්ටයෙක් කියන එක ගැන විවාදයක් නැහැ. මන් මෙතෙන්දි කියන්න වෑයම් කරන්නෙ කෙනෙක් ව වැඩියෙන් වර්ණනා කරන කොට අපට තවත් හොඳ අය මග ඇරෙනවා කියන කාරණේ කියන්න යි.”

“දැන්නං ගඟුල් සර් මට අර කතාව අහනවටත් වඩා වැදගත් කියලා දැනෙන්නෙ භවභූති කවියගෙ ලස්සන නිර්මාණයක් ගැන වගෙම භාස කවියගෙ හොඳ නිර්මාණයක් ගැන දැන ගෙන ම දණ්ඩි කවියා ගැනත්  එයා ලියපු දැනෙන ප්‍රකාශයක් දෙකක් ගැනත් දැන ගන්න එක. ඒක නිසා ඔයා වැඩියෙන් ම අගය කරන අර කලින් කියපු නාට්‍යකරුවන්ගෙ නිර්මාණ ගැන මට පොඩ්ඩක් ඒ කියන්නකො ඒවයෙ අර්ථත් එක්ක.”

“මන් නිර්මාණ දෙකක් ගැනම කියන්නංකො. මේවා ඒ අය ලියලා තියෙන්නෙ තමන් වැඩියෙන් ම ආදරය කරපු දෙක ආදරවන්තියන් දෙන්නා ගැන.”

“මොකක් ආදරවන්තියො දෙන්නා ගැන. ඔන්න ඉතින් මට භවභූතියි භාසයි දෙන්නම එපා වෙන්න යි යන්නෙ.” 

“කෝ මිහිදිනී, ඔයා කතාව කියන්නත් කලින් කලබල වෙනවනෙ. මන් මේ ආදරවන්තියො දෙන්නා කියලා මන් අදහස් කළේ භාසගෙ අම්මයි භවභූතිගෙ බිරිඳයි කියන දෙන්නා. ඒ අය තමන්ගෙ නාට්‍යවල චරිතවල ප්‍රකාශ හැටියට ඉදිරිපත් කළේ ඒ අයට තමන්ගෙ අම්මටයි බිරිඳටයි කියන්න ඕන දේවල්.”

“ආ එහෙමනං කමක් නෑ. මන් හිතුවෙ මේ....”

මිහිදිනී කියන්නට ගිය වාක්‍යය සම්පූර්ණ නොකොට නැවතුණා ය. ගඟුල් මඳ සිනහවක් පා පළමු ව පැවසුවේ භාස අම්මා ගැන ලියා ඇති ඔහුගේ නාට්‍යයක එන පද්‍යයකි. ඉන් කියැවෙන්නේ උපනුපන් ජන්මයක් පාසා සිය අම්මා ම සිය අම්මා වෙන්නැයි යන ප්‍රාර්ථනාව ඇයට වැඳ කරන බව ය.

නමස්කෘත්‍ය වදාමි ත්වාං  - යදි පුණ්‍යං මයා කෘතම්

අන්‍යස්‍යාමපි ජාත්‍යාං මේ - ත්වමේව ජනනී භව

“අනේ ඒක හරිම ලස්සනයිනෙ ගඟුල් සර්. එතකොට දැන් කියන්නකො භවභූති එයාගෙ බිරිඳ ගැන කියපු පද්‍යය.”

“දැන් මිහිදිනී මන් ඒකත් කියන්න ම ඕනෙ ද? ඇත්ත ම කියනවනං මේක එයා බිරිඳට කිව්වා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ බිරිඳ පෙම්වතිය වෙලා ඉන්න කාලෙ කියපු එකක් වෙන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ මිහිදිනී මට හිතෙන්නෙ ම දෙවෙනියට කියපු කාරණේ තමයි වැඩිය හරි කියලා.”

“ඉතින් අනේ කියන්ඩකො තවත් අගේ කරන්නැතුව.”

“අගේ කරන දේවල් ළඟ ඉන්න කොට ටිකක් නෙමෙයි ගොඩක් අගේ කරල යි ඒක කියන්න ඕනෙ.”

ගඟුල් මෙවදන් පැවසුවේ මිහිදිනිය දෙස එක එල්ලේ බලමිනි.

“ඔන්න එහෙනං මන් දැන් භවභුති එයාගෙ ආදරවන්තියට කියපු දේ කියනවා.”

ම්ලානස්‍ය ජීවකුසුමස්‍ය විකාසනානි - සන්තර්පණානි සකලේන්ද්‍රියමෝහනානි

ඒතාන් තේ සුවචනානි සරෝරුහාක්ෂි - කර්ණාමෘතානි මනසශ්ච රසායනානි

මෙසේ කියා ගඟුල් එහි අර්ථය නොපවසා නිහඬ විය.

“ඇයි අනේ ඔයා ඒකෙ තේරුම නොකියා මන ්දිහා බලාගෙන ඉන්නෙ. කියන්නකො අනේ තේරුම.”

“ඔයාට මේ වෙලාවෙදිම මේකෙ තේරුම මන් කියන්න ඕනෙ ද මිහිදිනී?”

“නැතුව මේ වෙලාවෙම තමයි ඔයා මට මේකෙ තේරුම කියා දෙන්න ඕනෙ.”

ගඟුල් තවත් ටිකක් මිහිදිනියට සමීප වූයේ ය. මොහොතක් ඇය දෙස ආදරයෙන් බලා සිවියේ ය. අනතුරුව භවභූතිකෘත පද්‍යයේ අර්ථය ප්‍රකාශ කෙළේ ය.

“පියුමැසිය, ඔබේ මේ සොඳුරු වදන් මගේ මැලවුණු දිවි කුසුම විකසිත කරවයි; මෝහිත ඉඳුරන් සතපවයි;

සවනට අමාවකි; මනසට රසායනයකි.” 

මිහිදිනී හැඟුම්බර දෙනෙතින් ගඟුල් දෙස බලා සිටියා මිස එඅරුත් ගැන වචනයකුදු ප්‍රකාශ නොකළා ය. ඒ අනුව මඳ නිහැඬියාවකින් පසු යළි කතාව ආරම්භ කෙළේ ගඟුල් ය.

“අපි මිහිදිනී, දණ්ඩින් ගැනනෙ කතා කරන්න ආවෙ. සියබස්ලකරට බලපාපු පොත තමයි දණ්ඩිගේ කාව්‍යාදර්ශය. ඒ වගෙම එතුමගේ වඩාත් ප්‍රසිද්ධ තවත් පොතක් තමයි දශකුමාරචරිතය. ඒක ගද්‍ය කාව්‍යයක්. අපිට සංස්කෘත පද්‍ය රචකයො ගොඩක් හිටියට ප්‍රසිද්ධ ගද්‍ය රචකයො ඉන්නෙ අතේ ඇඟිලිවලින් ගණන් කරලා පෙන්නන්න පුළුවන් තරමෙ අඩු සංඛ්‍යාවක්. ඒ රචකයන් අතරෙත් අනිවාරෙන් කියවෙන නම් තුනක් තියෙනවා. ඒ තමයි බාණ, සුබන්ධු ඒ වගෙම අපි දැන් මාතෘකා කර ගත්ත දණ්ඩින්. මන් හිතන්නෙ දණ්ඩි තමයි සංස්කෘත ගද්‍යයත් සංස්කෘත පද්‍යය තරමට ම සුන්දර යි කියන කාරණේ අපේ හිත්වල තහවුරු කළේ.”

“ගඟුල් සර්ට පුළුවන් ද ඔය කියන සුන්දර ම ගද්‍ය පාඨයක් මට දැන ගන්නත් එක්ක කියන්න.”   

“එහෙමනං ඉතින් මට වාහනේ අයිනකට කරලා නවත්තන්න වෙනවා.” 

“ඒ මොකද අප්පච්චියේ වාහනේ නවත්තන්නෙ. ඔය මතකෙ තියෙන එකක් කිව්වහම ඇති.”

“ඇයි දැන් ඔයාට ඕනෙ කිව්වෙ දශකුමාරෙ තියෙන සුන්දර ම ගද්‍ය පාඨයක් නෙමෙයි ද?”

“සුන්දර ම එකක් තමයි මහත්තයො. හෝ දැන් තමයි මට තේරුණේ. ඔයා දැන් මානව පුස්තකාලෙන් තාක්ෂණික පුස්තකාලෙට මාරු වෙන්න නේ ද හදන්නෙ.”

මිහිදිනී එවදන් පැවසුවේ ගඟුල් රථය මාවත අයිනට වන්නට නවතා අන්තර්ජාලයට පිවිසෙනු දැක ය.

“මිහිදිනී, මන් ඔන්න ලස්සන ම තැනක් තෝරලා ඒකෙ සිංහල පරිවර්තනෙත් එක්කම ඔයාට කියන්න යි හදන්නෙ. හැබැයි මට ඒකට ඉස්සෙල්ලා පොඩි ප්‍රවේශයක් ගන්නත් ඕනෙ. ඒ වගෙම අපි අමතක කරන්න නරකයි, අපි අද අනිවාරෙන් ම රේණු අක්කලගෙ ගෙදෙට්ට ගොඩ වෙන්න ඕනෙයි කියන කාරණාවත්.”

“ඇත්ත නේන්නං. ඒත් ඉතින් එක එක කතන්දර එක එක්කෙනාගෙන් අහගන්න කියන වාක්‍යය ලියලා තිබුණෙත් ඒ රේණු අක්කම තමයි.”

“හරි මට මන් හිතපු තැන හම්බ උනා. අපි දැන් අර ප්‍රවේශෙ ගමුකො ඔක්කොටම කලින්. දශකුමාරචරිතෙ තියෙන්නෙ එකට හැදිච්ච වැඩිච්ච යාලු කුමාරවරු දහදෙනෙක් තම තමන්ගෙ වචනවලින් තමුන්ගෙ කතාව කියන එක. මුලින් ම රාජහංස කියන රාජකුමාරයා තමන්ගෙ කතාව කියනවා. ඊට පස්සෙ සෝමදත්ත කියන ඇමති පුතා තමන්ගෙ කතාව කියනවා. ඔය විදිහට පුෂ්පෝද්භව, මිත්‍රගුප්ත, මන්ත්‍රගුප්ත වගෙ කුමාරවරු දහදෙනෙක් තමන්ගෙ කතා කියනවා. මේකෙ සඳහන් වෙනවා මේ කුමාරවරු දහදෙනාම විද්වතුන් ඇසුරු කරපු ඥානවන්තයන් වගෙම රණශූරයන් බව. හැබැයි අපි අමතක කරන්න නරකයි මේ රාජපුත්තු ඇමති පුත්තු නරක අයනං නෙමෙයි කියලා රචකයා කිව්වට මේ වර්තමාන සමාජෙ ඉන්න සමහර රජ ඇමති පුතාලව අපට මතක් කරලා දෙන වැඩත් මේ අය කරන බව.”

“ඒ කියන්නෙ ඔය කියන අය, කාල දේශ භේදයකින් තොර ව සමාන චරිත ලක්ෂණ තියෙන අය කියන එක ද ගඟුල් සර්.”

“ඔයා දැන් ඔය මතු කරන කාරණේ ඔයිට ටිකක් වෙනස් ව එක විදිහක ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් දක්වලා තියෙනවා දශකුමාරචරිතෙට සිංහල පරිවර්තනයක් කරපු පුස්සැල්ලාවෙ ඤාණරතන හාමුදුරුවොයි මහාචාර්ය කේ බී ජයවර්ධන මහත්තයයි ඒ පොතට ලියපු ප්‍රස්තාවනාවෙ.”

“දැන් සර්ගෙ කතා ප්‍රවේශය එහෙම එකකට එහා ගිය දිග කතාවක් වෙන්න යන බව පෙනුණත් මාත් කැමති විස්තර ඇතුව ම මේ ගැන දැනගන්න තමයි. මොකක් ද සර් ඒ ප්‍රස්තාවනාවෙ තිබුණෙ.”

“මිහිදිනී, අපේ පරිවර්තක දෙපළ කියනවා සමාජෙක බරපතල ගණයේ අපරාධවල මූලිකත්වය දරන්නෙ රාජ්‍යපාලනේටම සම්බන්ධ රජ - ඇමති - මැති පුතුන් කියන කාරණාව. ඒ අය කියන්නෙ දශකුමාරචරිතෙ එන කුමාර චරිතවල චර්යාවෙන් පැහැදිලි වෙන්නෙත් ඒ කාරණාව ම තමයි කියන එක. මන් මතකෙන් ම කියන්නං ඒ පොතේ මට හොඳින් ම දැනිලා මතක හිටිච්ච වාක්‍යයක් දැන්.

රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ පාලකයන් කිසිම හිරිකිතයකින් තොර ව දූෂිත හා දරුණු ගණයේ අපරාධවල නිරත වීම ඉදිරිපත් කොට ඇත්තේ තත්කාලීන සමාජ විද්‍යාඥයකුගේ දෘෂ්ටිකෝණයෙන්  වුව ද එය සාර්වකාලීන හා සර්වදේශජ වේ. ”

“අපේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපිටත් වඩා වෙනම මානයකින් අදහස් ඉදිරිපත් කරන කෙනා මේ වෙලාවෙ මෙතන නැති එක තමයි දුක.”

“කවුද අපේ රේණු අක්කා නේද?”

“ඔව් එයා තමයි.” 

මිහිදිනී පැවසුවේ සිය සොඳුරු විවාදිනී ළඟ නොමැති දුකිනි.

“දැන් ඒ විවාදිනී නැති උනත් තවත් බරපතල ම විවාදිනියක් ළඟ ඉන්න නිසත් මේක ප්‍රවේශයක් නොවී දිග කතාවක් උනාට කමක් නෑ කියලා කිව්ව නිසත් මේ දශකුමාරෙ එන ඔයත් දැන ගන්න කැමති වෙයි කියලා හිතෙන තැනක් මතු කරන්නං.”

“ඒ මොකක් ද ගඟුල් සර්.” 

“මේකෙ එන මිත්‍රගුප්ත කියන කුමාරයට දවසක් භයානක රකුසෙක්ගෙ තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා. උඹේ පණ බේර ගන්න ඕනෙනං මන් අහන මේ ප්‍රශ්න හතරට උත්තර දීපන් කියලා ඒ රකුසා කියනවා. මොකද කියන්න ද මිහිදිනී ඒ ප්‍රශ්න හතර.” 

“හා කියන්න කියන්න, ඒ භයානක රකුසා ගඟුල් සර් ය, ඒ රකුසාගේ ග්‍රහණයට ලක් වෙච්ච මන්ත්‍රගුප්ත මම ය කියලා හිතලා මන් අහගෙන ඉන්නංකො.”

මිහිදිනී ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමිනි.

“ඔන්න රකුසා මුලින් ම අහනවා ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලා. ඊට පස්සෙ අහනවා ගෘහස්තයාට - ගිහියාට ප්‍රිය වෙන්නෙ කවුද කියලා. ඊටත් පස්සෙ අහනවා කාමය මොකක් ද ඇති කරන්නෙ කියලා. අන්තිමට අහන ප්‍රශ්නෙ තමයි සාධනයට - ඒ කියන්නෙ ඉෂ්ට කර ගන්න දුෂ්කර ම දේ මොකක් ද කියලා.”

“හොඳයි මොනව ද ඒවට මන්ත්‍රගුප්ත මාරයාට දීපු උත්තර.” 

“නෑ එහෙම නෙමෙයි, ඉස්සෙල්ලා ඔයා කිව්වනෙ මන් අර භයානක රකුසා ය ඔයා තමයි අහිංසක මන්ත්‍රගුප්ත ය කියලා. දැන් ඉතින් ඉස්සෙල්ල ම ඔය මන්ත්‍රගුප්ත උත්තර දුන්නොත් හොඳ යි ඒ ප්‍රශ්න හතරට උත්තර.” 

“හොඳයි මට මතක තියෙන විදිහට ඔයා මුලින් ම ඇහැව්වෙ ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලනෙ. මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි දුෂ්ටකම. මොකක් ද එතකොට අර අතීත මන්ත්‍රගුප්ත දීපු උත්තරේ.”

“හැබැයි මන්ත්‍රගුප්ත දුන්න උත්තරේනං ඕක නෙමෙයි. එයා කිව්වෙ ස්ත්‍රී හදවත තමයි ලෝකෙ තියෙන කුරිරු ම දේ කියල යි.”

“මොකක් ස්ත්‍රී හදවත?”

“මේ මේ ඔහොම දරුණු විදිහට මන් දිහා බලන්න එපා. ඒ මගෙ උත්තරේ නෙමෙයි මන්ත්‍රගුප්තගෙ උත්තරේ.”

“දැන් මෙතන මන්ත්‍රගුප්ත නෑනෙ. මට දැන ගන්න ඕනෙ ඔයා මන්ත්‍රගුප්ත නං දෙන උත්තරේ ඒක ද කියන එක යි.”

“දැන් බැලුවහම භයානක රකුසා වෙලා තියෙන්නෙ ඔයානෙ. ඔන්න මමත් පැහැදිලි ව ම කියන්නෙ මන්ත්‍රගුප්තගෙ උත්තරේට මාත් එකග නැහැ කියන එක වගෙම මටත් දැනෙන්නෙ ඔයාගෙ උත්තරේ කියන එක.” 

“හා එහෙනං කමක් නෑ එහෙම නං මට පුළුවන් ඔයා නිදොස් කොට නිදහස් කරන්න. හොඳයි  දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමුකො. පොඩ්ඩක් මතක් කරන්නකො ඒක.” 

“ගිහියාට ප්‍රිය වන්නේ කවු ද?”

“ඔයා ඔය ගෘහස්ත - ගිහි ජීවිතය කියලා අදහස් කළේ ස්වාමි භාර්යා සම්බන්ධය නං ස්වාමියාට ප්‍රිය වෙන්න ඕන භාර්යාව, භාර්යාවට ප්‍රිය වෙන්න ඕන ස්වාමියාව.”

“ඔයා හරිනෙ මිහිදිනී, ඔයා තමයි දෙපැත්තට ම අදාළ කරලා සම්පූර්ණ උත්තරේ දුන්නෙ. මන්ත්‍රගුප්ත කියන්නෙ ගිහියාට ප්‍රිය වෙන්න ඕන ගුණවත් බිරිඳ කියල යි. සංස්කෘත වචනවලින් ම කියනවනං ගුණවන්ත භාර්යාව යි.”

“එතකොට මට මතක හැටියට තුන්වෙනි ප්‍රශ්නෙ තිබුණෙ කාමය මොකක් ද ඇති කරන්නෙ කියලනෙ. හැබැයි හින්දු සම්ප්‍රදායෙ තියෙනවා කියලා ඔයා කියලා දීලා තියෙන හැටියට කාමය නිසා ක්‍රෝධය තමයි ඇති වෙන්නෙ. හැබැයි එහෙම කියපු ඔයාම අපිට කියලා තියෙනවා කාම කියන වචනෙ මූලය වෙන කම් කියන ධාතුවෙන් අදහස් වෙන්නෙ කැමැත්ත, කැමති වීම ය කියලා ඔයාලගෙ සංස්කෘත සර් කියලා දීලා තියෙනව ය කියලා. එහෙම බැලුවහම නං අපේ කැමැත්ත, කාටවත් හිරිහැරයක් නොවෙන විදිහට සපුරා ගන්න එක වරදක් වෙන්න බැහැනෙ. මන් නං හිතන්නෙ ඇත්ත කාමය නිසා වෙන්නෙ යහපතක් මිස අයහපතක් නං නෙමෙයි.”

“ඉතින් මිහිදිනී, මන්ත්‍රගුප්ත කියන්නෙත් ඕකම නෙ. එයා පාවිච්චි කරන වචනෙ තමයි කාමය නිසා වෙන්නෙ ඉෂ්ටාර්ථ සිද්ධිය. ඉතින් ඉෂ්ට අර්ථ සිද්ධිය කියන්නෙත් යහපත සිද්ධ වෙන එක නේ ද? බැලුවහ ම අපේ වර්තමාන මන්ත්‍රගුප්තිත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනෙ. හැබැයි මන් ඔයාව කජංගලා භික්ෂුණීන් වහන්සේ, අමරා දේවි නියෝජනය කරන බුද්ධිමත් ස්ත්‍රී කුලකයට දාන්නෙ නං අන්තිම ප්‍රශ්නෙට දෙන උත්තරේ අනුව තමයි.”

“මේ මේ ගඟුල් සර්, මන් කජංගලා භික්ෂුණීන් වහන්සේගෙ ගොඩට දාන්න, ඒත් මන් කැමති නෑ අමරා දේවි වෙන්න.”

“ඒ මොක ද අප්පච්චියෙ අමරා දේවි වෙන්න කැමති නැහැ කියන්නෙ. අමරා දේවි කියන්නෙ අපේ බෞද්ධ සාහිත්‍යෙ එන ප්‍රඥාවන්ත ස්ත්‍රී රත්නයක්නෙ.”

“මන් ඒක පිළිගන්නවා ගඟුල් සර්. ඒ උනාට මන් ලෑස්ති නෑ මහෞෂධ පඬිතුමා නෙමෙයි කවුරු කිව්වත් ස්වාමියගෙ වචනෙට ගරු කරනවා කියලා ස්වාමි භක්තිය පෙන්නන්න කියලා උයපු බත් හරි වෙන මොනවා හරි තවරගෙන නිරපරාදෙ කාටත් පේන්න අව්වට වෙලා ඉන්න.” 

“ඔන්න ඔයාගෙ ඔය ගති හින්දනෙ මමත් ඔයාට මෙච්චර කැමති. හරි දැන් කියන්නකො සාධනයට දුෂ්කර දේ මොකක් ද කියලා.”

“ඇයි ළමයො, ප්‍රඥාවනෙ සාධනයට දුෂ්කර දෙය.”

“මිහිදිනී”

ගඟුල් මිහිදිනීගේ නම උච්චාරණය කෙළේ විස්මයෙනි.

“ඇයි ගඟුල් සර්, මේ පුදුමෙන් වගේ.”

“පුදුම වෙන්නැද්ද ළමයො එදා මන්ත්‍රගුප්ත දුන්න උත්තරේ ම ඔයා මේ දැන් දෙන කොට.”

“ඒක පුදුම වෙන්න තරන් දෙයක් නෙමෙයිනෙ සර්. ඇයි බලන්න බුදුහාමුදුරුවො ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළේ ඒ යුගේ ජීවත් වෙලා හිටපු ප්‍රඥාවන්තයො පස්දෙනෙකුට. ඒ කියන්නෙ පස්වග මහණුන් කියලා බෞද්ධ සාහිත්‍යෙ ප්‍රචලිත ඥානවන්තයො පස්දෙනා. ඔයාගෙ සංස්කෘත භාෂාවෙන් කියනවනං පඤ්චවර්ගීය භික්ෂූන් වහන්සේලා. ඒ පස් දෙනාගෙනුත් ධර්මය වහා වැටහෙන ගුණය තිබුණෙ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ටනෙ. අන්න ඒ කාරණෙත් මතක් වෙලා තමයි ළමයො මම සාධනයට දුෂ්කර ම දේ ප්‍රඥාව කියන උත්තරේ දුන්නේ. ඒක නෙමෙයි කෝ දැන් අර දශකුමාරචරිතෙ සුන්දරම තැනක් ගැන මට තාම කිව්වෙ නැහැනෙ. තැනක් කිව්වට තැන් දෙක තුනක් ගැන කිව්වත් කමක් නෑ.” 

“ඉතින් අපට පරක්කු වෙන් නැද්ද මිහිදිනී, රේණු අක්කලගෙ ගෙදර යන්න.”

“කොහොමත් ගඟුල් සර්, රේණු අක්කා මට අද අපේ ගෙදර යන්න දෙන්නෙ නැහැ. මට එහෙ ඉන්න ම වෙනවා. ඒක නිසා අපිට පුළුවන් අපේ සාකච්ඡාව දිගට ම කරගෙන යන්න. මොක ද මන් අද මේ ඉගෙන ගන්න දේවල් මන් උගන්නන භාෂාවෙන් අපේ ශිෂ්‍යයන්ට දෙනවා. මොකද ඔයා කියන්නෙත් කොයි සාහිත්‍යෙක හරි තියෙන ලස්සන දේවල් අපේ කරගෙන ලෝකයට දෙන්න කියලනෙ.”

“හරි එහෙමනං අපි ගමුකො භාෂාව ලස්සන තැනක් මුලින් ම. මේක දීර්ඝ ඡේදයක මුල් වාක්‍යය විතර යි.   මෙතෙන්දි තරුණියක් කියනවා රාජවාහන කුමාරයාට රජතුමනි, දෙන්න මට ඔබගේ කරුණාවෙන් තෙත් වූ හදවත, මම සඳරැසින් උපන් සෝමරශ්මි කියන ගන්ධර්වයාගේ දියණිය වන සුරතමඤ්ජරී කියන දෙවඟන යි කියලා. බලන්න ඒ පොඩි දේ කියන්න දණ්ඩින් වචන පාවිච්චි කරන විදිහ. 

දේව, දීයතාමනුග්‍රහාර්ද්‍රේ චිත්තම්, අහමස්මි සෝමරශ්මිසම්භවා සුරතමඤ්ජරී නාම සුරසුන්දරී.”

“හැබැයි ගඟුල් සර්, මෙතන තියෙන්නෙ වචනවල ලස්සනකම විතරක් නෙමෙයි මහ සුන්දර අර්ථෙකුත් තියෙනවනෙ. බලන්න කෙනෙකුට දෙන්න කියන්නෙ කරුණාව නමැති අනුග්‍රහයෙන් තෙත් වෙච්ච හදවතක් කියන එක ම මොන තරන් විශාල අර්ථයක් දෙන යෙදුමක් ද?”

“බැලුවහම ඔයාට සංස්කෘත දැනුමකුත් තියෙනවනෙ මිහිදින,ී මන් කිව්වෙ කරුණාවෙන් තෙත් වූ හදවතක් දෙන්න කියලා විතර යි. ඔයා මන් කියපු සංස්කෘත පාඨෙ අහගෙන ඉඳලා ඒකෙ තිබිච්ච අනුග්‍රහ කියන වචනෙත් සම්බන්ධ කරගෙන ම අර්ථ දක්වනවනෙ.”

“දැන් ගඟුල් සර් කියන්නකො පැහැදිලි ව ම දශකුමාරෙ තවත වටින අර්ථයක් ප්‍රකාශ වෙන තැනක්. ඉස්සෙල්ලා සංස්කෘත ප්‍රකාශෙ කියන්න. ඊට පස්සෙ අර්ථෙ කියන්න.”

නනු ධර්මාදෘතේ’ර්ථකාමයෝරනුත්පත්තිරේව. තදනපේක්ෂ ඒව ධර්මෝ නිවෘත්තිසුඛප්‍රසූතිහේතුරාත්මසමාධානමාත්‍රසාධ්‍යශ්ච. සෝ’ර්ථකාමවද්බාහ්‍යසාධනේෂු නාත්‍යායතතේ. තත්ත්වදර්ශිනෝපබෘංහිතශ්ච යථාකථඤ්චිදප්‍යනුෂ්ඨීයමානාභ්‍යාං නාර්ථකාමාභ්‍යාං බාධ්‍යතේ. බාධිතෝ’පි චාල්පායාසප්‍රතිසමාහිතස්තමපි දෝෂං නිර්හෘත්‍ය ශ්‍රේයසේ’නල්පාය කල්පතේ.

“මට එහෙන් මෙහෙන් තේරෙනවා වගේ දැනෙනවා. ඒ උනාට එහෙම බැහැ, මට හරියට ම මේකෙ අර්ථය දැනගන්න ඕනෙ.”

අනතුරුව ගඟුල් දූරකථන මුහුණත මත දෘශ්‍යමාන සංස්කෘත පාඨය දෙස මොහොතක් සාවධාන ව බලා සිටියේ ය. අනතුරුව මෙසේ අර්ථය ප්‍රකාශයට පත් කෙළේ ය.

ඒකාන්තයෙන් ධර්මයෙන් තොර ව අර්ථ කාම දෙකේ හට ගැන්මක් නැහැ. ඒ දෙකේ අපේක්ෂාවක් නැතුව ම ඒ ධර්මය නිවෘත්තියේ ඒ කියන්නෙ මේ සංසාර ප්‍රවෘත්තියේ නැවැත්ම කියන සැපයේ ඉපදීමට හේතුව තමන්ගෙ ඒකාග්‍රතාවෙන් පමණක් සිද්ධ කරන්න ඕන දෙයක්. මේ ධර්මය කියන දේ අර්ථ කාම දෙක වගේ බාහිර සංසාර සාධනත් එක්ක යන දෙයක් නෙමෙයි ඒක ඉක්මවා පවතින දෙයක්. තත්ත්ව දර්ශනයෙන් ඒ කියන්නෙ ඇති සැටිය දැකීමත් එක්ක වැඩෙන ධර්මය කොහොම හරි දුකසේ සේවනය කරන කොට ඒකට බාධා කරන්න අර්ථ කාම දෙකෙන් කොයි එකටවත් පුළුවන්කමක් නෑ. සමහර විටෙක ඒ දෙකෙන් යම් බලපෑමක් ආවත් අල්ප උත්සාහයකින් කෙනෙකුට පුළුවන් ඒ දෝෂයත් දුරු කරගෙන අනල්ප වූ ඒ කියන්නෙ අල්ප නොවන මෝක්ෂය ලබා ගන්න.

“ටිකක් නෙමෙයි ගොඩක් ගැඹුරු, ඒත් තේරුම් ගත්තොත් ජීවිතයට සමීප කරගන්න පුළුවන් දහමක් නේද මේ කියලා තියෙන්නෙ. ගඟුල් සර්ට ගොඩක් පින් මේ වගෙ දේවල් මට කියලා දෙනවට.”

“අනේ මට නෙමෙයි මිහිදිනී පින් දෙන්න ඕනෙ.”

“එහෙනං වෙන කාට ද?”

“ඒ අතීත සමාජෙ ජීවත් වෙච්ච දණ්ඩින් කියන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට.” 

“හරි හරි ඒ අතීත ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි වර්තමාන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි දෙන්නට ම පින්.”

“හොඳයි හොඳයි එහෙනං මාත් ප්‍රඥාවන්තයෙක් කළා ඔයා. දැන් අර රේණු ප්‍රඥාවන්ති බලන් ඉන්නවනෙ අපි එනකං. දැන් අපි පිටත් වෙමු නේ ද?”

“පිටත් වෙමු, පිටත් වෙමු. රේණු අක්කා මෙසේජ් එකක් එවලා තියෙන්නෙ හවස හතරට හරි කමක් නෑ දවල් කෑම කන්න එන්න ඕනෙ එහාට යි කියලා, අපිට අවසර තියෙන්නෙ අතරමග දි තේකක් බොන්න විතර යි.”

“හම්මෝ එහෙනං ඒක ඇවිල්ලා අනුල්ලංනීය  ඉල්ලීමක්. නෑ නෑ මට වැරදුනා අනුල්ලංඝනීය නියෝගයක්.”

ගඟුල් අතරමග දී රිය නතර කෙළේ ස්ථාන දෙකක දී පමණි. ඒ වරක් තේ බීම සඳහා පෙට්ටි කඩයක් ළඟ ද දෙවෙනි වර රියට ඉන්ධන ගසා ගැන්ම සඳහා ඉන්ධන පිරවුම් හලක් ළඟ ද වශයෙනි.

සවස තුන පමණ වන විට ඔවුහු රේණුගේ නිවසට ළඟා වූහ. රථ ශබ්දය අසා පළමු ව නිවහනින් එළියට ආවේ උපදිසාපතිවරයා ය. 

“මන් බැලුව කවු ද කියලා. මේ දෙන්නනෙ. කොච්චර දෙයක් ද ඔය දෙන්න මේ වෙලාවෙ ආපු එක.” 

රියෙන් බැස සිය වැඩිමහල් සොහොයුරකු මෙන් දැනෙන උපදිසාපතිවරයා වෙත ගිය මිහිදිනී පළමු ව ඔහුට වැඳ ආචාර කොට දෙවනු ව ඔහුගේ දෑතින් අල්ලා ගත්තා ය. ගඟුල් ද මිහිදිනීගේ ක්‍රියා පිළිවෙත ම අනුගමනය කෙළේ ය. දෙදෙනාගෙන් පළමු ව කතා කෙළේ මිහිදිනී ය.

“අය්යා, මන් දන්නවා මේ වෙලාවෙ ඔයාගෙ හිතට දැනෙන විදිහ. මන් අද මෙහෙ ඉන්නවා. ගඟුල් සර් රෑ වෙන්න ගෙදර යාවි. අපි හෙට ඉස්කෝලෙ ගිහින් හෙට යි අනිද්ද යි වැඩ කරලා ඉස්කෝලෙ ඇරිච්ච ගමන් එහෙන් පිටත් වෙන්නං මෙහෙට එන්න.”

“ඒක හොඳයි නංග,ි මේ වෙලාව කියන්නෙ මගෙ නංගිලා දෙන්නට විතරක් නෙමෙයි අපේ අම්මටත් ඔයා ඕන වෙලාව.” 

“අය්යෙ ඕනකම අනුව මට පුළුවන් වේවි. අපේ ලොකු සර්ට දන්නලා හත් දවසෙ පින්කම ඉවර වෙනකං උනත් මෙහෙ ඉන්න.”

“ඔයා නංග,ි පින්කම ඉවර වෙනකං නෙමෙයි හැමදාම උනත් මෙහෙ ඉන්නවට අපි කැමතියි. ඒ උනාට නංගි ඔයාටත් තියෙනවනෙ මේ වෙලාවෙ වෙනදටත් වැඩියෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් කරන්න යුතුකමක්. මොක ද ඔය දෙන්න ම උගන්නන්නෙ එකම සබ්ජෙක්ට් එකනෙ. මුළු ඉස්කා්ලෙ ම ඒ විෂය උගන්නන ගූරුවරු තුන් දෙන යි නේ ද ඉන්නෙ. අර මැදි වයසෙ ඉන්න ඉංග්‍රීසි උගන්නන මැඩනුත් ආවා. එයා කිව්වෙ අපේ නංගි එනකන් නංගිගෙ පන්තියෙ ළමයිනුත් එයාගෙ පන්තියට දාලා උගන්නන්නං කියල යි.”

“එහෙන ං අපේ අයිරාංගනී මැඩම්නෙ ඒ ඇවිත් ගිහින් තියෙන්නෙ. අම්මෝ ඉස්සර රේණු අක්කා ඒ ටීචර් එක්ක දාගන්න ගෝරි ඉවරයක් නැහැ.” 

“මට නං එහෙම එකක් පේන්න තිබුණෙ නැහැ. අපේ නංගිට එයා බොහොම ආදරෙන් කතා කළේ. ඒ ටීචර් යන කොට අපේ නංගි වැන්දත් එක්ක.” 

“අය්යා කියන එක හරි මේ ඇවිත් ගිහින් තියෙන්නෙ තමන්ගෙ පුද්ගලික කරදරවලින් පීඩා විඳපු නිසා ගැටුණත් පස්සෙ කාලෙකදි රේණු අක්කව තේරුන් ගත්ත අයිරාංගනී මැඩම්. අපේ රේණු අක්කා වැඳලා තියෙන්නෙ ඒ ජීවිතේ වෙනසක් කරගත්ත කෙනාට මිස එයාට මුලින් හමු වෙච්ච අයිරංගනී මැඩම්ට  නෙමෙයි.” 

එවදන් පැවසුවේ එතෙක් නිහඬ ව සිටි ගඟුල් ය.

“ඔයා හරි මල්ලි, මන් දන්නැද්ද අපේ නගා ගැන. කෝ අපි තාම එළියෙනෙ. යන් යන් ගෙට.”

“කෝ අය්යෙ අපේ රේණු අක්ක යි චූටි නංගි යි.” 

“ලොකු නංගි ඇඟ හෝද ගන්න කියලා ගියා. චූටි නංගි අම්මත් ලෑස්ති කරගෙන මේ ළඟ තියෙන පන්සලට ගියා අපේ නෑ මල්ලි කෙනෙකුත් එක්ක. යන් අපි ඉඳගෙන ම කතා කරමු නංගි.”

මොහොතකින් ලා පැහැති ගවුමකින් සැරසි රේණු ඔවුන් ඉදිරියට ආවා ය. ඔවුන් දුටුවේ වෙනදා කවට බස් තෙපළන, තැන නොතැන නොබලා ඔවුන් සමග ආදරණීය කලහයනට එළඹෙන තැනැත්තිය නොව මහත් සෝබර බවකින් යුතු කලණ මිතුරිය යි.“

මිහිදිනී වහා රේණු වෙත ගොස් ඇය වැළඳ ගත්තා ය. 

”අක්කා ළඟ හරි සුවඳ යි අක්කෙ. ඔයත් සුවඳ යි ඔයාගෙ හිතත් සුවඳ යි අක්කේ. අපේ වගෙම අපේ ශිෂ්‍යයන්ගෙ ඒ වගෙම තව අප්‍රමාණ ජීවිත සුවඳ කරන්න ඔයා ශක්තිමත් වෙන්න ඕන අක්කේ. මාත් හොඳට ම දන්නෙ අපිටත් තාත්තා කෙනෙක් වෙච්ච මේ තාත්තා වෙනුවෙන් කරන්න ඕන ලොකු ම පින්කමත් ඒකයි අක්කෙ.”

හැඟුම්බර දෙනෙතින් සිය කලණ මිතුරිය මොහොතක් වැළඳ ගෙන සිටි රේණු අනතුරුව ගඟුල් වෙත පැමිණ මහත් වූ සහෝදර ප්‍රේමයකින් යුතු ව ඔහු ද වැළඳ ගත්තා ය. අනතුරුව ඇය ගඟුල්ට පැවසුවේ මේ වචන යි. 

“විපුල් අය්යා ඇවිල්ලා උඹගෙම අය්යා තමයි මල්ලි හැම අතින් ම. මේ වෙලාවෙ උඹ ළඟ නැති අඩුව පිරෙව්වෙ එයා තමයි. අන්තිම මොහොතෙ අපේ අය්යත් එක්ක තාත්තා ළඟ ම ඉන්න සමීපතමයෙක් උනා විපුල් අය්යා. මට මේ ජීවිතේට අමතක වෙන්නෙ නැහැ මල්ලි එක වෙලාවක් උඹේ අය්යා තාත්තව එයාගෙ අත් දෙකින් උස්සලා තියා ගත්ත මොහොත.”

“අපිට හොඳට ම දැනෙනවා අක්කෙ දැන් ඔයාට තාත්තව දැනෙන විදිහ. අපේ මිහිදිනී මතක් කරපු විදිහට ඔයාගෙ සේවා ජීවිතය කියන්නෙ ම පින්කමක් අක්කෙ.”

“යන් යන් දැන් වෙලාව තුනටත් කිට්ටුයි, ඔක්කොටම ඉස්සෙල්ලා අපි කාලා ඉමු. උඹලා දෙන්නා අතරමගදි කාලා ආවෙ එහෙම නෑ නේද?”

“මොන තේකක් බොන්න නතර කළෙත් මෙයාට බොහොම කරුණු කාරණා පැහැදිලි කරලා. පුළුවන් ඉක්මණින් යමු ය, කාලා එහෙම ගියොත් රේණු අක්කගෙන් හම්බ වෙන්නෙ ගුටි ය කිය කියා මාවත් ඉක්මන් කෙරෙව්වෙ ඔයාගෙ මේ නංගි මිහිදිනී තමයි.” 

“ඔව් ඒක එහෙම තමයි වෙන්න ඕනෙ. මාත් මේ නොකා නොබී බලන් හිටියෙ උඹලා දෙන්න එනකන්නෙ.”

“අනේ රේණු අක්කෙ ඔයත් තාම කෑවෙ නැද්ද? යන් යන් මේස ඕනෙ නැහැ. තුන් දෙනාම කුස්සියට ගිහින් බෙදාගෙන කමු.”

“ඔව් එහෙම තමයි මොකෝ නැතුව උඹලා දෙන්නට මේසවලට කෑම අරින්න මට පිස්සුවක් තියේ ය.”

රේණු මොන වචන කතා කළ ද ඇය සමග සමීප ඇසුරක් තිබූ ගඟුල්ට සහ මිහිදිනීට පිතෘ වියෝගය නිසා ඈ තුළ ඇති වේදනාව තේරුම් ගැන්ම අපහසු නොවී ය. කෑම වෙලාවෙන් පසු රේණු කතා කළ වචනවල රැඳී තිබුණේ ද පියවිරහජජනිත ශෝකය යි. 

“මල්ලි, උඹට මතක ද අපි අපේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ ආරාධනපත්‍ර අරගෙන පිටත් වෙච්ච දවසෙ ටික වෙලාවක් රත්නපුරේ මහ සමන් දේවාලෙ ඉඳගෙන කතා කළා. මතක ද එදා අපි වැඩියෙන් කතා කළේ කා ගැන ද කියලා.”

“මොකෝ අක්කෙ අමතක. එදා අපි වැඩියෙන් කතා කළේ සමන් අය්යලගෙ තාත්තා ගැනනෙ. ඇයි අපේ මිහිදිනී සමන් දෙවියන්ගෙ ප්‍රතිමාව ළඟ ඉඳන් ඒ තාත්තා ලියපු කවියක් ගායනා කරපු එකනෙ මහ සාකච්ඡාවකට මග පෑදුවෙ.”

“අනේ මල්ලියෙ ඒ තාත්තා ගැන කතා කරපු වෙලාවෙ මන් කොහොමටවත් හිතුවෙ නැහැ දවසක් වත් ගත වෙන්න කලින් මට ඉන්න තාත්තා ගැන නෙමෙයි නැති වෙච්ච තාත්තා ගැන කතා කරන්න වෙයි කියලා.”

“ඕක තමයි රේණු අක්කෙ ජීවිතෙ. කවදා හරි දවසක අපිටත් සිද්ධ වේවි මේ එකට ඉන්න අපි අතරින් මුලින් ම නික්ම යන කෙනා ගැන කතා කරන්න.”

“මට මතක් වෙන්නෙ මල්ලි දවසක් උඹ කිව්ව සංස්කෘත ශ්ලෝකයක කෑල්ලක්. ඒකෙ තිබුණෙ පිතා හතා ත්‍රිභුවනමන්ධකාරං කියලා. උඹගෙ සාහිත්‍යෙ හරි මල්ලි, තාත්තා නැති උනාම මුළු ලෝකෙම අන්ධකාර උනා වගේ තමයි දැනෙන්නෙ.”    

ඔවුන් සිටි තැනට පැමිණි උපදිසාපතිවරයා ද නිහඬ ශ්‍රාවකයකු බවට පත්විය. ඒ මොහොතේ ගඟුල් කතා කෙළේ ය.

“අක්කෙ ඔයා අමතක කරන්න එපා අර කෞෂිතකී උපනිෂදය කියන විදිහට ඒ තාත්තා ගියේ තමන්ගෙ වචන, තමන්ගෙ ප්‍රාණය, ජීවිතය දකින ඇහැ, තමන්ගෙ ක්‍රියා, තමුන්ගෙ සතුට වගෙම වේදනාව ඒ වගෙම ප්‍රඥාව ඔයාටත් ඔයාගෙ මේ අය්යටත් චූටි නංගිටත් පවරා දීලනෙ. ඒ නිසා ඔය තුන් දෙනා කරන හැම වැඩක ම අක්කෙ තාත්තා ඉන්නව කියන කාරණේ මොහොතකටවත් අමතක කරන්න එපා.”

“ඇයි ගඟුල් සර් ඔයාම කියපු හැටියට ඒකෙ ලස්සන ම දේ තාත්තා කරන පවරා දීම් දරුවා බොහොම හැඟීමකින් බාර ගැනීමනෙ. අනේ සර් ඒ ප්‍රකාශෙන් අන්තිම කොටසවත් කියන්නකො දැන්. මන් හිතන්නෙ  පරිපාලන නිලධාරියෙක්  විදිහට තමන්ගෙ රටට අවංක සේවයක් කරන ඒ තාත්තගෙ ලොකු පුතා ඒ වගෙ ම සිය කැමැත්තෙන් ම ඈත දුරපළාතක ඉස්කෝලයක් ඉල්ලගෙන උගන්නන්න ආපු මගෙ මේ රේණු අක්කා  වගෙම විශ්වවිද්‍යාලෙ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගන්න චූටි නංගිත් කැමති වේවි ඒක අහන්න. නංගි මේ මොහොතෙ නැති උනාට කමක් නෑ රේණු අක්කා ඒක එයා ආවහම එයාට කියලා දේවි. අද මේ මොහොත තමයි ගඟුල් සර් ඒක කියන්න ඕන හොඳම දවස වගෙම හොඳම වෙලාව.”

මොහොතක් නිහඬ ව සිටි ගඟුල් ඒ පිතෘ දාරක සංකථනයේ අවසන් කොටස ඔවුනට ඉදිරිපත් කෙළේ ය.

මගේ ක්‍රියා ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ක්‍රියා මා තුළ තබනු මැනවි.

මගේ සතුට සහ වේදනාව ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ සතුට සහ වේදනාව මා තුළ තබනු මැනවි.

මගේ ආනන්දය, සොම්නස සහ උපත ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ආනන්දය, සොම්නස සහ උපත මා තුළ තබනු මැනවි.

මගේ සිත ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ සිත මා තුළ තබනු මැනවි.

මගේ ප්‍රඥාව ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ප්‍රඥාව මා තුළ තබනු මැනවි.

මගේ ජීවන හුස්ම ඔබ තුළ තබනු කැමැත්තෙමි.

ඔබේ ජීවන හුස්ම මා තුළ තබනු මැනවි.

මිහිදිනියගේ ඉල්ලීම පරිදි ගඟුල් කෞෂිතකී උපනිෂදයේ එන පියා ලෝකයෙන් සමු ගන්නා මොහොතේ සිදු වූ පිය පුතු සංවාදය රේණුත් ඇගේ දෙටු සොහොයුරාත් අසා සිටියේ දැහැන් ගත ව ය. සංකථනයට සාවධාන ව සිටි බැවින් ඔවුන්ගෙන් කිසිවකුට පන්සල් ගොස් පෙරළා ආ මව සහ කනිටු දියණිය ගෙට ගොඩ වන බව ඇසුණේ ද දැනුණේ ද නැත. එහි අරුත මෙය ශ්‍රවණය ම කළ යුතු තවත් දෙසවන් දෙකකට ද එවදන් ඇතුළු වී ඔවුන්ගේ හදවත්වල ගැඹුරු ම තැනටත් තදාගමික සාහිත්‍යයේ සිහිල් දිය දහර ගමන් කළ බව නොවේ ද?

එදින රේණුගේ පමණක් නොව ඇයගේ අම්මාගේත් සොහොයුරාගේත් සොයුරියගේත් ඉල්ලීම පරිදි මිහිදිනී ඔවුන්ගේ නිවසේ නැවතුණා ය. පසුදා උදාසනින් ඇය ගැන්මට එන බව දන්වා ගඟුල් සිය නිවස බලා පිටත් විය. සත් දවසේ පින්කම යොදාගෙන ඇත්තේ මෙම සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින බැවින් ගඟුල් බදාදා සවස් වන විට මිහිදිනී ද සමග පාසලට ගොස් බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් වැඩ කොට සිකුරාදා දිනයේ පාසල ඇරුණු විගස රේණුගේ නිවස බලා ඒමට තීරණය කෙළේ ය. ඒ ඉන් සිය සහෝදර ගුරුවරියගේ කාල සටහනට අයත් කාලච්ඡේද කිහිපයක් වත් මිහිදිනියට ආවරණය කළ හැකි නොවේ ද යන අදහස ඇති වූ බැවිනි. සේවා ජීවිතයට ප්‍රමුඛතාව දිය යුතු ය යන අදහස ඉහළින් ම පිළිගන්නා රේණු ද ඇගේ දෙටු සොයුරු උපදිසාපතිවරයා ද එය එක හෙළා අනුමත කළහ.

යන අතරමග දී ගඟුල්ට සිහිපත් වූයේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් ලියන ලද සිතිවිලි ග්‍රන්ථමාලාවේ දහතුන් වැන්න වන ආදරය නම් ග්‍රන්ථයේ අන්තර්ගත අයිතිවාසිකම් හා යුතුකම් නම් ශීර්ෂය යටතේ එන ලිපිය යි. එහි දී එතුමන් විසින් අවධාරණ කරනු ලැබ තිබුණේ උපන් සෑම කෙනෙකුට ම ජීවත් වීමේ අයිතිවාසිකම ඇත්තාක් මෙන් ඒ සෑම කෙනෙකුට ම ආහාර, ඇඳුම්, නිවාස සහ බෙහෙත් යන සතර උපයා ගැනීමේ මූලික අයිතිවාසිකම ද තිබිය යුතු බව ය. එතුමා පවසන්නේ අයිතිවාසිකම් ලබා ගැන්ම සඳහා කටයුතු කිරීමේ වරදක් නැති අතර ඒ සමග ම යුතුකම් ඉටු කිරීම කෙරෙහි ද අපගේ අවධානය යොමු කළ යුතු බව ය. එම ලේඛනය කියවද්දී ගඟුල්ට හැඟුණේ අයිතිවාසිකම් දිනා ගැන්මට සටන් කරන්නාක් මෙන් ම යුතුකම් ඉටු කිරීමේ සටනට ද අප දායක විය යුතු බව ය. රේණු අක්කා යනු සිය අයිතිවාසිකම්වලට වඩා අනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ගැහැනියකි. එසේ ම තමා නොපිරිහෙළා යුතුකම් ඉටු කරන අතර ඇතැම් දෙනා සිය යුතුකම් ඉටු නොකරන විට ඔවුන්ගෙන් යුතුකම් ඉටුකරවීම උදෙසා  සටන් වදින ගැහැනියකි. එහෙත් මේ සියලු සටන්වල දී තමා තුළ සිටින ආදරණීය ගැහැනිය අහිමි කොට නොගෙන කටයුතු කිරීමට ද ඇය දනියි. මිහිදිනී සිය කලණ මිතුරිය හැඳින්වීම සඳහා යොදන අඳුරට එරෙහි ආලෝක රණකාමිණිය යන යෙදුම මේ ආදරණීය ගැහැනිය සම්බන්ධයෙන් අත්‍යන්තයෙන් ගැළපෙන යෙදුමක් නොවේ දැයි ගඟුල්ට සිතිණ. මිහිදිනී විශේෂයෙන් හෙට දවසේ පාසලට යන්නේ ද තමාගේ යුතුකම මෙන් ම යුතුකම් උදෙසා සටන් වදින ඒ ආදරණීය ගැහැනියගේ යුතුකම් ද වෙනුවෙනි. එය කොන්දේසි මත පදනම් වන්නක් නොවේ. අදිකාරම්තුමන් පවසන පරිදි  ආදරය ඇති අය අතර අයිතිවාසිකම් ලබා ගැනීමක් වත් යුතුකම් ඉටු කිරීමක් වත් නැත. ඒ ආදරය යනු ගනු දෙනුවක් නොවන බැවිනි. එතුමා සිය ලේඛනය අවසන් කොට තිබූ ආකාරය    අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ නවමු දෘෂ්ටියකින් බැලීසම සඳහා වන ඇසක් නොවේ දැයි ගඟුල්ට සිතිණ.

මනුෂ්‍යයන් තුළ සැබෑ ආදරය පවතියි නම් ඔවුන් සිටින සමාජය අයිතිවාසිකම්වලින් නොමිරිකුණු වාසනාවන්ත සමාජයක් වන්නේය. ඒ සැබෑ ආදරය පිහිටන්නේ “මම” යන දෘෂ්ටිය මනුෂ්‍යයාගේ සිතින් සහමුලින් තුරන් වූ විට ය. එය මනුෂ්‍ය සමාජයෙහි සිදුවිය යුතු එකම විප්ලවය ද වේ. ඒ විප්ලවය රටක ටික දෙනෙකු තුළ හෝ සිදුවන තුරු මනුෂ්‍යයාගේ සැපය වත් රටේ සාමය වත් ඇති වේ යයි බලාපොරොත්තු වීම අනුවණකමකි.

මේ වනවිට මෙවන් අර්ථසම්පන්න සිතිවිලි සමුදායක් සමාජගත කළ උත්තම පුරුෂයාගේ අභාවයෙන් ද සැලකිය යුතු කාලයක් ඉකුත් ව ගොස් ඇත. එතුමන්ගේ අදහස් එතුමන් වැදගත් යැයි සැලකූ ක්‍රියාකාරකම් යළි යළිත් සමාජගත කිරීම සඳහා පසුගිය දිනෙක ආචාර්ය ඊ. ඩබ්ලිව්.අදිකාරම් පදනම, ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති පදනම, අනුලා නීතිගත පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා නිර්මාංසාහාර සමිතිය යන සංවිධාන චතුර්ථයේ සාමාජිකයන් එක් රැස් ව සාකච්ඡා කළ බව ගඟුල්ට දැන ගැන්මට ලැබිණ. ඒ අනුව එළැඹෙන වර්ෂයේ දී පරිසරය, නිර්මාංසික ජීවන ප්‍රතිපදාව, මත්ද්‍රව්‍ය නිවාරණය, විද්‍යාව මානවයා ඇතුළු සමස්ත ජීව ලෝකයේ සුභසිද්ධිය උදෙසා යොදා ගැනීම, ආචාර්ය අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන මෙන් ම ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන දර්ශනය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පාසල්, දහම් පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාලයන් ඇතුළු විවිධ අධ්‍යාපන නිකේතනවල දියත් කිරීමට සැලසුම් කොට ඇති දේශන, වැඩමුළු, වෛද්‍ය සායන, රසවින්දන වැඩ සටහන් ආදියට සිය සහෘදයන් ද සමග එක් ව උපරිම සහාය ලබා දීමට ගඟුල් තීරණය කෙළේ ය. එසේ ම එවන් වැඩ සටහනක් දෙකක් ක්‍රියාත්මක කරන ස්ථානය බවට නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය ද පත් කොට ගත යුතු ය යන අදහස ද සිතේ දරා ගනිමිනි, ගඟුල් මිහිදිනියගෙන් ද රේණු ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද සමු ගෙන සිය නිවෙස බලා පිටත් ව ආවේ.














  ගුරු දියවර 26 ලෝකය සිය වේදනාවන්ගෙන් මගේ ආත්මය වරින්වර සිප ගන්නේ ගීත ස්වරූපයෙන් ඒවා ලෝකයට ම පෙරළා දෙන්නැයි ආයාචනා කරමිනි. පෙරළා කොළඹ බලා එන ගමනට පිටත් වීමට සැරසුණු මොහොතේ ය, මිහිදිනී රබීන්ද්‍රනාත් තාගෝර්තුමන්ගේ ප්‍රකාශයකින් ආරම්භ කොට මධ්‍යම රාත්‍රියේ දී රේණුකා විසින් සිය ජංගම දූරකථනයට එවා තිබූ පණිවිඩය දුටුවේ. එම පණිවිඩය ඇය යොමු කොට තිබුණේ ගඟුල් සහ මිහිදිනී දෙදෙනා ම වෙතට ය. මිහිදිනී ගඟුල්ට ද ඇසෙන සේ ලියුමක ආකාරයෙන් ලියා තිබූ එම පණිවිඩය කියැවීමට පටන් ගත්තා ය. මගේ ආදරණීය නංගී මිහිදිනී සහ දයාබර මල්ලී ගඟුල් වෙතට යි. කලින් ඔබ දෙදෙනාට දැන්විය යුතු ව ම තිබූ නමුදු පවරා තිබූ වගකීම නිසා ම නොදැන් වූ, හෙට ඔය දෙන්නා ම උදෙන් කොළඹ එන නිසා ම දැන් මේ මොහොතේ දන්වන, සංවේගජනක පණිවිඩයක් තිබෙනවා. ඒ අපේ ආදරණීය තාත්තා එදා අපි කොළඹ ආ දවසේ ම රාත්‍රියේ අභාවයට පත් වූ බව යි. ඒ මොහොතේ අම්මාත් අය්යාත් විපුල් අය්යාත් නංගීත් මමත් තාත්තා ළඟ ම සිටියා. එය සිය උගත්කම නිසා ම ලද තනතුරු කිසි දිනෙක අවභාවිතයට නොගත් උත්තම පුරුෂයකුගේ නික්ම යාමක්. අය්යාත් නංගීත් දෙස ආදරණීය දෑසින් මොහොතක් බලා සිටි තාත්තා එක් අතකින් අම්මාගේ අතත් අනික් අතින් මගේ අතත් අල්ලා ගෙන මොහොතක් බලා සිටියා. වචනවලින් ප්‍රකාශයට පත් කළ නොහෙන දහසක් හැඟුම් ඔහුගේ දෑසේ ලියැවී තිබුණා. එය ආදරණීය සැමියෙක්, සිය ආදරණීය බිරිඳත් සිය ආදරණීය දරුවනුත් සදහට ම අතහැර යන මොහොතක්. ගඟුල් මල්ලී, ඔබගේ ආදරණීය සොහොයුරා මේ දින කීපය තුළ කළ මෙහෙය මෙපමණ යැයි කියා අපට ප්‍රමාණ කරන්නට බැහැ. හඳුනාගත් කෙටි කාලය තුළ අපේ හදවතේ විසල් ඉඩක් හිමි කොට ගත් ඒ ආදරණීයයා ඊයේ හවස තාත්තාගේ අවසන් කටයුතුවලටත් සහභාගී වි තමයි පෙරළා ගෙදර ගියේ, ඊට සහභාගි වන්නට පැමිණි ඔබගේ ආදරණීය දෙමාපියන් සමග. ඔබ දන්නවා ද මල්ලී, අපේ තාත්තා මගේ අත අතහැර සිය නික්ම යාමට පෙර අන්තිමට අල්ලා ගත් අත කාගේ ද කියා. ඔව් මගේ ළබැඳියන් වන ඔබ දෙදෙනාට ම එය අනුමානයක් නොව ප්‍රත්‍යක්ෂයක් බව මා දන්නවා. ඒ වෙන කාගේවත් නොව විපුල් අය්යාගේ අත යි. ගත ව ගිය කාලනිමේශය තුළ අපේ තාත්තාට විපුල් අය්යාගේ හදවත හඳුනා ගැනීමට හැකි වී තිබුණා. මල්ලී, ඔයා මේ මොහොතේ භෞතික ව ළඟ නැති අඩුව නොදැනුණේ ඒ නිස යි. දැන් මගේ මිහිදිනී නංගීට දුක හිතෙනවා ද, එහෙනං අක්කේ ඔයාට මන් නැති එකේ අඩුවක් දැනෙන්නේ නැද්ද කියා. එහෙම අදහසක ඡායාමාත්‍රයක් හරි තියෙනවානං මට නංගියේ උඹට කියන්නට තියෙන්නේ ගඟුල් දවසක් සරස්වතී දෙවඟන, කාලිදාස කවියාට කියූ ප්‍රකාශය කියා, අපට කියා දුන් කතාවයි. ඒ කතාව ගඟුල්ගෙන් අහගන්න. එතකොට උඹට තේරේවි නංගී, මන් උඹව තියලා තියෙන තැන. නංගී මන් තාගෝර්තුමා නොවුණත් දැන් මට මුහුණ දීමට සිදු ව ඇත්තේ එතුමා මුහුණ දුන් අද්දැකීම්වලට තරමක් සමාන අද්දැකීම්වලට තමයි. එතුමාගේ අද්දැකීම් අපට වඩා බරපතල යි තමයි. එතුමාට තාත්තා අම්මා දෙන්නා ම අහිමි වෙන්නේ පුංචි ම කාලේ දී යි. ඊට පස්සෙ අම්මාගේ හිස්තැන පුරවපු ලොකු අය්යාගේ බිරිඳ නැති වෙනවා. ඒ වගෙම තමන්ගේ දුකේ දී සැපේ දී ළඟ හිටපු බිරිඳ මෘණාලිනීත් නැති වෙනවා. ඒ වගෙ ම අනාගත ආයෝජනයක් කියලා හිතලා දැනුමින් සන්නද්ධ කරපු ශිෂ්‍ය පරපුරේ හිටපු විශිෂ්ට ශිෂ්‍යයා සතිස් මිය යනවා. මේ අයගෙ අභාවයන් ගැන කම්පා වෙනවා වෙනුවට ඔහු කරන්නේ ඒවා නව නිර්මාණයන් බිහිකිරීම උදෙසා වන උල්පත් බවට පත් කිරීම යි. නංගී, මන් විශ්වාස කරන විදිහට හොඳ මනුස්සයෙක් හරි ගැහැනියක් හරි කියන්නේ ඒ අයගේ මරණයෙන් පසුව ලොව හද බිම් තෙමන ගංගා නිර්මාණය කරන උල්පත්වලට යි. මල්ලී ගඟුල්, ඔයා නිතර කතා කරන අදිකාරම්තුමා, සිත්තර සමන් අය්යා අයිති වන්නේ ඒ කුලකයට යි. ඊට ම ඇතුල් කළ හැකි ආදරණීය චරිතයක් තමයි අපේ තාත්තා. ඒ තාත්තා වෙනුවෙන් මගෙන් සමාජයට විය යුතු මෙහෙවර මම අවබෝධ කරගෙන සිටිනවා. මාව ගැඹුරින් ම තේරුම් ගත් ඔය දෙන්නා මාත් එක්ක ම එකම පාසලේ සේවය කිරීම මට මහා ශක්තියක්. අපේ විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් වගෙම, උසස් පෙළ ළමයි සෑහෙන පිරිසක් අවමංගල්‍ය කටයුතුවලට අපට උදව් උනා. ඔය දෙන්නාට මේ මොහොතේ තාත්තාගේ අභාවය ගැන නොදැන්වීමට ගත් තීරණය විදුහල්පතිතුමාත් අනුමත කළා. අප මුහුණ දුන් මුළු සිද්ධිය ගැන ම දන්නේ විදුහල්පතිතුමා විතර යි. මන් අපේ පිරිසට ඔය දෙන්නා පමණක් ඉතිරි ආරාධනාපත්‍ර රැගෙන ගියා කියන හැඟීම ඇති නොවන පරිදි කටයුතු කළා. ඒ මගේ මල්ලීගේත් මගේ නංගීගේත් ගෞරවය රැකීම පිණිස යි. සමාජයක ජීවත් වන අප වැදගත් කොට නොසලකතත් ඇතැම් දෙනා ඉතා වැදගත් ය යන කරුණු ගැනත් අප සැලකිලිමත් විය යුතු වෙනවා. කියන්නට බොහෝ දේ තිබෙනවා. ඔය දෙන්නා නාගොල්ලාගම යාමට පෙර අපේ ගෙදරට ගොඩ වෙලා යන්න. ආ තව වැදගත් ම දෙයක් ලියන්නට අමතක උනා. දැන් විපුල් අය්යා අපේ අය්යාගේ අතිජාත මිත්‍රයෙක් වෙලා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාටත් පේන තැනක ඇඳගත යුතු පරිසර චිත්‍රයක් ඇඳ දෙන්නැයි අපේ අය්යා විපුල් අය්යාට කියනවා මන් අහගෙන. අපේ නංගීටත් අය්යා එයාව හොඳට හිතට අල්ලලා. අපේ අම්මාට එයා ඒ දරුවා වෙලා. ඔය දෙන්නා එයා ගැන මගේ හැඟීම ගැනනං අහන්න එපා. නංගී, මන් මේ මොන දේවල් ලිව්වත් තාත්තා නැති අඩුව මට තදින් දැනෙනවා. වෙලාවකට හිත කඩා වැටෙන බව ඇත්ත. ඒත් මන් වැටෙන්නේ නැහැ. ඒ ශිෂ්‍ය පරපුරක් නැගිට්ටවීමේ මහා වගකීම අපට තියෙන නිස යි. මට ඔය දෙන්නා දකින්න ම අවශ්‍ය යි. ඔය දෙන්නාට ම තෙරුවන සරණ යි. සදා අදරැති අක්කා රේණු ගඟුල්ගේ ඉල්ලීම පරිදි තවත් වරක් මිහිදිනී රේණුගේ පණිවිඩය කියැවූවා ය. ඒ අවසන ගඟුල් ප්‍රකාශ කෙළේ මේ වචන කිහිපය යි. “මිහිදිනී, අපේ රේණු අක්කා තාක්ෂණික උපකරණෙ ඇතුළට අතීත සන්නිවේදනේ හොඳම ප්‍රකාශනය වන ලියුම ගෙනල්ලා තියෙනවා.” “රේණු අක්කා ඔයාගෙන් අහ ගන්න කියලා තියෙන කාලිදාස කවියා සරස්වතී දෙවඟනට කරපු ප්‍රකාශෙ මොකක් ද ගඟුල් සර්.” “ඒක කවුරු හරි සාහිත්‍යකාමී සුන්දර හදවතක් තිබිච්ච අතීත භාරතීයයෙක් හදපු කතාවක්. මන් ඔයාට යන ගමන් ඒ කතාව කියන්නංකො.” මෙසේ කියා රථයට නැඟ එය පණ ගැන්වූ ගඟුල් මිහිදිනියට ද රියට ගොඩ වන්නැයි සංඥා කෙළේ ය. අනතුරුව කාලිදාස කවියා හා බැඳුණු කතාව ඇසීමේ මහදාශාවෙන් සිටින මිහිදිනිය දෙස බලා එය කියන්නට පටන් ගත්තේ ය. “ඔයා දන්නවනෙ කොහොමත් කාලිදාස කවියා ගැන විස්තර. සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කියවලා ඇතිනෙ.” “ඔව් ටිකක් දන්නවා. එතුමා නාට්‍ය තුනකුත් මහා කාව්‍ය දෙකකුත් ඛණ්ඩ කාව්‍ය දෙකකුත් ලියලා තියෙන බවත් දන්නවා. ඒ වගෙම මන් ශාකුන්තල නාට්‍යෙ ඉංග්‍රීසි පරිවර්තනයත් මේඝදූතෙ සිංහල පරිවර්තනයකුත් කියවලා තියෙනවා. හැබැයි දණ්ඩි කවියා ගැනනං දන්නෙ අපේ සියබස්ලකරට මුල් වෙච්ච සංස්කෘත පොත ලියපු ලේඛකයා කියන කාරණේ තමයි.” “හොඳයි මිහිදිනී මේ කියන දේවල්වලින් ඇඟෙන්නෙ වෙනත් විෂයක් කරපු ඔයාට සංස්කෘත සාහිත්‍යය ගැනත් මොන මට්ටමක හරි කියවීමක් තියෙනවා කියන එකනෙ. අපිට හැම සාහිත්‍යයකදිම හොඳ නිර්මාණ බිහි කරපු සමහර චරිත මග හැරෙනවා. මොකක් හරි සාහිත්‍යයක් හදාරපු අය ඒ සාහිත්‍යෙට අයිති එක් චරිතයක් හරි දෙකක් හරි ගැන වැඩියෙන් කියන කොට ඒක හදාරපු නැති අයට තහවුරු වෙන්නෙත් ඒ චරිත ම තමයි, ඒ අයගෙ නිර්මාණ ම තමයි. සංස්කෘත නාට්‍ය සාහිත්‍යෙ විශිෂ්ටයා විදිහට කාලිදාස කවියා ගැනම කියන්න ගත්තහම සංස්කෘත කරපු අය උනත් භවභූති වගෙ විශිෂ්ට නාට්‍ය රචකයකුට දුන්නේ අඩු ලන්සුවක්. ඒ වගෙම සංස්කෘත නාට්‍ය අතරට වැඩිම නාට්‍ය සංඛ්‍යාවක් එකතු කරපු භාසටත් කාලිදාසට දුන්නු තැන දුන්නෙ නැහැ. ඒ තරමටම නොවුණත් කාලිදාසට වැඩි බරක් දීපු නිසා ම ගොඩක් දෙනා දණ්ඩිට දුන්නෙත් අඩු බරක්. මන් මිහිදිනී, මෙතෙන්දි කාලිදාස කවියා පල්ලෙහාට දාලා කතා කරනවා නෙමෙයි. එතුමා අතිවිශිෂ්ටයෙක් කියන එක ගැන විවාදයක් නැහැ. මන් මෙතෙන්දි කියන්න වෑයම් කරන්නෙ කෙනෙක් ව වැඩියෙන් වර්ණනා කරන කොට අපට තවත් හොඳ අය මග ඇරෙනවා කියන කාරණේ කියන්න යි.” “දැන්නං ගඟුල් සර් මට අර කතාව අහනවටත් වඩා වැදගත් කියලා දැනෙන්නෙ භවභූති කවියගෙ ලස්සන නිර්මාණයක් ගැන වගෙම භාස කවියගෙ හොඳ නිර්මාණයක් ගැන දැන ගෙන ම දණ්ඩි කවියා ගැනත් එයා ලියපු දැනෙන ප්‍රකාශයක් දෙකක් ගැනත් දැන ගන්න එක. ඒක නිසා ඔයා වැඩියෙන් ම අගය කරන අර කලින් කියපු නාට්‍යකරුවන්ගෙ නිර්මාණ ගැන මට පොඩ්ඩක් ඒ කියන්නකො ඒවයෙ අර්ථත් එක්ක.” “මන් නිර්මාණ දෙකක් ගැනම කියන්නංකො. මේවා ඒ අය ලියලා තියෙන්නෙ තමන් වැඩියෙන් ම ආදරය කරපු දෙක ආදරවන්තියන් දෙන්නා ගැන.” “මොකක් ආදරවන්තියො දෙන්නා ගැන. ඔන්න ඉතින් මට භවභූතියි භාසයි දෙන්නම එපා වෙන්න යි යන්නෙ.” “කෝ මිහිදිනී, ඔයා කතාව කියන්නත් කලින් කලබල වෙනවනෙ. මන් මේ ආදරවන්තියො දෙන්නා කියලා මන් අදහස් කළේ භාසගෙ අම්මයි භවභූතිගෙ බිරිඳයි කියන දෙන්නා. ඒ අය තමන්ගෙ නාට්‍යවල චරිතවල ප්‍රකාශ හැටියට ඉදිරිපත් කළේ ඒ අයට තමන්ගෙ අම්මටයි බිරිඳටයි කියන්න ඕන දේවල්.” “ආ එහෙමනං කමක් නෑ. මන් හිතුවෙ මේ....” මිහිදිනී කියන්නට ගිය වාක්‍යය සම්පූර්ණ නොකොට නැවතුණා ය. ගඟුල් මඳ සිනහවක් පා පළමු ව පැවසුවේ භාස අම්මා ගැන ලියා ඇති ඔහුගේ නාට්‍යයක එන පද්‍යයකි. ඉන් කියැවෙන්නේ උපනුපන් ජන්මයක් පාසා සිය අම්මා ම සිය අම්මා වෙන්නැයි යන ප්‍රාර්ථනාව ඇයට වැඳ කරන බව ය. නමස්කෘත්‍ය වදාමි ත්වාං - යදි පුණ්‍යං මයා කෘතම් අන්‍යස්‍යාමපි ජාත්‍යාං මේ - ත්වමේව ජනනී භව “අනේ ඒක හරිම ලස්සනයිනෙ ගඟුල් සර්. එතකොට දැන් කියන්නකො භවභූති එයාගෙ බිරිඳ ගැන කියපු පද්‍යය.” “දැන් මිහිදිනී මන් ඒකත් කියන්න ම ඕනෙ ද? ඇත්ත ම කියනවනං මේක එයා බිරිඳට කිව්වා වෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ බිරිඳ පෙම්වතිය වෙලා ඉන්න කාලෙ කියපු එකක් වෙන්නත් පුළුවන්. වැඩේ කියන්නෙ මිහිදිනී මට හිතෙන්නෙ ම දෙවෙනියට කියපු කාරණේ තමයි වැඩිය හරි කියලා.” “ඉතින් අනේ කියන්ඩකො තවත් අගේ කරන්නැතුව.” “අගේ කරන දේවල් ළඟ ඉන්න කොට ටිකක් නෙමෙයි ගොඩක් අගේ කරල යි ඒක කියන්න ඕනෙ.” ගඟුල් මෙවදන් පැවසුවේ මිහිදිනිය දෙස එක එල්ලේ බලමිනි. “ඔන්න එහෙනං මන් දැන් භවභුති එයාගෙ ආදරවන්තියට කියපු දේ කියනවා.” ම්ලානස්‍ය ජීවකුසුමස්‍ය විකාසනානි - සන්තර්පණානි සකලේන්ද්‍රියමෝහනානි ඒතාන්ි තේ සුවචනානි සරෝරුහාක්ෂි - කර්ණාමෘතානි මනසශ්ච රසායනානි මෙසේ කියා ගඟුල් එහි අර්ථය නොපවසා නිහඬ විය. “ඇයි අනේ ඔයා ඒකෙ තේරුම නොකියා මන ්දිහා බලාගෙන ඉන්නෙ. කියන්නකො අනේ තේරුම.” “ඔයාට මේ වෙලාවෙදිම මේකෙ තේරුම මන් කියන්න ඕනෙ ද මිහිදිනී?” “නැතුව මේ වෙලාවෙම තමයි ඔයා මට මේකෙ තේරුම කියා දෙන්න ඕනෙ.” ගඟුල් තවත් ටිකක් මිහිදිනියට සමීප වූයේ ය. මොහොතක් ඇය දෙස ආදරයෙන් බලා සිවියේ ය. අනතුරුව භවභූතිකෘත පද්‍යයේ අර්ථය ප්‍රකාශ කෙළේ ය. “පියුමැසිය, ඔබේ මේ සොඳුරු වදන් මගේ මැලවුණු දිවි කුසුම විකසිත කරවයි; මෝහිත ඉඳුරන් සතපවයි; සවනට අමාවකි; මනසට රසායනයකි.” මිහිදිනී හැඟුම්බර දෙනෙතින් ගඟුල් දෙස බලා සිටියා මිස එඅරුත් ගැන වචනයකුදු ප්‍රකාශ නොකළා ය. ඒ අනුව මඳ නිහැඬියාවකින් පසු යළි කතාව ආරම්භ කෙළේ ගඟුල් ය. “අපි මිහිදිනී, දණ්ඩින් ගැනනෙ කතා කරන්න ආවෙ. සියබස්ලකරට බලපාපු පොත තමයි දණ්ඩිගේ කාව්‍යාදර්ශය. ඒ වගෙම එතුමගේ වඩාත් ප්‍රසිද්ධ තවත් පොතක් තමයි දශකුමාරචරිතය. ඒක ගද්‍ය කාව්‍යයක්. අපිට සංස්කෘත පද්‍ය රචකයො ගොඩක් හිටියට ප්‍රසිද්ධ ගද්‍ය රචකයො ඉන්නෙ අතේ ඇඟිලිවලින් ගණන් කරලා පෙන්නන්න පුළුවන් තරමෙ අඩු සංඛ්‍යාවක්. ඒ රචකයන් අතරෙත් අනිවාරෙන් කියවෙන නම් තුනක් තියෙනවා. ඒ තමයි බාණ, සුබන්ධු ඒ වගෙම අපි දැන් මාතෘකා කර ගත්ත දණ්ඩින්. මන් හිතන්නෙ දණ්ඩි තමයි සංස්කෘත ගද්‍යයත් සංස්කෘත පද්‍යය තරමට ම සුන්දර යි කියන කාරණේ අපේ හිත්වල තහවුරු කළේ.” “ගඟුල් සර්ට පුළුවන් ද ඔය කියන සුන්දර ම ගද්‍ය පාඨයක් මට දැන ගන්නත් එක්ක කියන්න.” “එහෙමනං ඉතින් මට වාහනේ අයිනකට කරලා නවත්තන්න වෙනවා.” “ඒ මොකද අප්පච්චියේ වාහනේ නවත්තන්නෙ. ඔය මතකෙ තියෙන එකක් කිව්වහම ඇති.” “ඇයි දැන් ඔයාට ඕනෙ කිව්වෙ දශකුමාරෙ තියෙන සුන්දර ම ගද්‍ය පාඨයක් නෙමෙයි ද?” “සුන්දර ම එකක් තමයි මහත්තයො. හෝ දැන් තමයි මට තේරුණේ. ඔයා දැන් මානව පුස්තකාලෙන් තාක්ෂණික පුස්තකාලෙට මාරු වෙන්න නේ ද හදන්නෙ.” මිහිදිනී එවදන් පැවසුවේ ගඟුල් රථය මාවත අයිනට වන්නට නවතා අන්තර්ජාලයට පිවිසෙනු දැක ය. “මිහිදිනී, මන් ඔන්න ලස්සන ම තැනක් තෝරලා ඒකෙ සිංහල පරිවර්තනෙත් එක්කම ඔයාට කියන්න යි හදන්නෙ. හැබැයි මට ඒකට ඉස්සෙල්ලා පොඩි ප්‍රවේශයක් ගන්නත් ඕනෙ. ඒ වගෙම අපි අමතක කරන්න නරකයි, අපි අද අනිවාරෙන් ම රේණු අක්කලගෙ ගෙදෙට්ට ගොඩ වෙන්න ඕනෙයි කියන කාරණාවත්.” “ඇත්ත නේන්නං. ඒත් ඉතින් එක එක කතන්දර එක එක්කෙනාගෙන් අහගන්න කියන වාක්‍යය ලියලා තිබුණෙත් ඒ රේණු අක්කම තමයි.” “හරි මට මන් හිතපු තැන හම්බ උනා. අපි දැන් අර ප්‍රවේශෙ ගමුකො ඔක්කොටම කලින්. දශකුමාරචරිතෙ තියෙන්නෙ එකට හැදිච්ච වැඩිච්ච යාලු කුමාරවරු දහදෙනෙක් තම තමන්ගෙ වචනවලින් තමුන්ගෙ කතාව කියන එක. මුලින් ම රාජහංස කියන රාජකුමාරයා තමන්ගෙ කතාව කියනවා. ඊට පස්සෙ සෝමදත්ත කියන ඇමති පුතා තමන්ගෙ කතාව කියනවා. ඔය විදිහට පුෂ්පෝද්භව, මිත්‍රගුප්ත, මන්ත්‍රගුප්ත වගෙ කුමාරවරු දහදෙනෙක් තමන්ගෙ කතා කියනවා. මේකෙ සඳහන් වෙනවා මේ කුමාරවරු දහදෙනාම විද්වතුන් ඇසුරු කරපු ඥානවන්තයන් වගෙම රණශූරයන් බව. හැබැයි අපි අමතක කරන්න නරකයි මේ රාජපුත්තු ඇමති පුත්තු නරක අයනං නෙමෙයි කියලා රචකයා කිව්වට මේ වර්තමාන සමාජෙ ඉන්න සමහර රජ ඇමති පුතාලව අපට මතක් කරලා දෙන වැඩත් මේ අය කරන බව.” “ඒ කියන්නෙ ඔය කියන අය, කාල දේශ භේදයකින් තොර ව සමාන චරිත ලක්ෂණ තියෙන අය කියන එක ද ගඟුල් සර්.” “ඔයා දැන් ඔය මතු කරන කාරණේ ඔයිට ටිකක් වෙනස් ව එක විදිහක ශාස්ත්‍රීය දෘෂ්ටි කෝණයකින් දක්වලා තියෙනවා දශකුමාරචරිතෙට සිංහල පරිවර්තනයක් කරපු පුස්සැල්ලාවෙ ඤාණරතන හාමුදුරුවොයි මහාචාර්ය කේ බී ජයවර්ධන මහත්තයයි ඒ පොතට ලියපු ප්‍රස්තාවනාවෙ.” “දැන් සර්ගෙ කතා ප්‍රවේශය එහෙම එකකට එහා ගිය දිග කතාවක් වෙන්න යන බව පෙනුණත් මාත් කැමති විස්තර ඇතුව ම මේ ගැන දැනගන්න තමයි. මොකක් ද සර් ඒ ප්‍රස්තාවනාවෙ තිබුණෙ.” “මිහිදිනී, අපේ පරිවර්තක දෙපළ කියනවා සමාජෙක බරපතල ගණයේ අපරාධවල මූලිකත්වය දරන්නෙ රාජ්‍යපාලනේටම සම්බන්ධ රජ - ඇමති - මැති පුතුන් කියන කාරණාව. ඒ අය කියන්නෙ දශකුමාරචරිතෙ එන කුමාර චරිතවල චර්යාවෙන් පැහැදිලි වෙන්නෙත් ඒ කාරණාව ම තමයි කියන එක. මන් මතකෙන් ම කියන්නං ඒ පොතේ මට හොඳින් ම දැනිලා මතක හිටිච්ච වාක්‍යයක් දැන්. රාජ්‍ය තන්ත්‍රයට සම්බන්ධ පාලකයන් කිසිම හිරිකිතයකින් තොර ව දූෂිත හා දරුණු ගණයේ අපරාධවල නිරත වීම ඉදිරිපත් කොට ඇත්තේ තත්කාලීන සමාජ විද්‍යාඥයකුගේ දෘෂ්ටිකෝණයෙන් වුව ද එය සාර්වකාලීන හා සර්වදේශජ වේ. ” “අපේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා අපිටත් වඩා වෙනම මානයකින් අදහස් ඉදිරිපත් කරන කෙනා මේ වෙලාවෙ මෙතන නැති එක තමයි දුක.” “කවුද අපේ රේණු අක්කා නේද?” “ඔව් එයා තමයි.” මිහිදිනී පැවසුවේ සිය සොඳුරු විවාදිනී ළඟ නොමැති දුකිනි. “දැන් ඒ විවාදිනී නැති උනත් තවත් බරපතල ම විවාදිනියක් ළඟ ඉන්න නිසත් මේක ප්‍රවේශයක් නොවී දිග කතාවක් උනාට කමක් නෑ කියලා කිව්ව නිසත් මේ දශකුමාරෙ එන ඔයත් දැන ගන්න කැමති වෙයි කියලා හිතෙන තැනක් මතු කරන්නං.” “ඒ මොකක් ද ගඟුල් සර්.” “මේකෙ එන මිත්‍රගුප්ත කියන කුමාරයට දවසක් භයානක රකුසෙක්ගෙ තර්ජනයකට මුහුණ දෙන්න වෙනවා. උඹේ පණ බේර ගන්න ඕනෙනං මන් අහන මේ ප්‍රශ්න හතරට උත්තර දීපන් කියලා ඒ රකුසා කියනවා. මොකද කියන්න ද මිහිදිනී ඒ ප්‍රශ්න හතර.” “හා කියන්න කියන්න, ඒ භයානක රකුසා ගඟුල් සර් ය, ඒ රකුසාගේ ග්‍රහණයට ලක් වෙච්ච මන්ත්‍රගුප්ත මම ය කියලා හිතලා මන් අහගෙන ඉන්නංකො.” මිහිදිනී ඊට පිළිතුරු දුන්නේ සිනාසෙමිනි. “ඔන්න රකුසා මුලින් ම අහනවා ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලා. ඊට පස්සෙ අහනවා ගෘහස්තයාට - ගිහියාට ප්‍රිය වෙන්නෙ කවුද කියලා. ඊටත් පස්සෙ අහනවා කාමය මොකක් ද ඇති කරන්නෙ කියලා. අන්තිමට අහන ප්‍රශ්නෙ තමයි සාධනයට - ඒ කියන්නෙ ඉෂ්ට කර ගන්න දුෂ්කර ම දේ මොකක් ද කියලා.” “හොඳයි මොනව ද ඒවට මන්ත්‍රගුප්ත මාරයාට දීපු උත්තර.” “නෑ එහෙම නෙමෙයි, ඉස්සෙල්ලා ඔයා කිව්වනෙ මන් අර භයානක රකුසා ය ඔයා තමයි අහිංසක මන්ත්‍රගුප්ත ය කියලා. දැන් ඉතින් ඉස්සෙල්ල ම ඔය මන්ත්‍රගුප්ත උත්තර දුන්නොත් හොඳ යි ඒ ප්‍රශ්න හතරට උත්තර.” “හොඳයි මට මතක තියෙන විදිහට ඔයා මුලින් ම ඇහැව්වෙ ලෝකෙ තියෙන කුරිරු ම දේ මොකක් ද කියලනෙ. මට ඒකට දෙන්න තියෙන උත්තරේ තමයි දුෂ්ටකම. මොකක් ද එතකොට අර අතීත මන්ත්‍රගුප්ත දීපු උත්තරේ.” “හැබැයි මන්ත්‍රගුප්ත දුන්න උත්තරේනං ඕක නෙමෙයි. එයා කිව්වෙ ස්ත්‍රී හදවත තමයි ලෝකෙ තියෙන කුරිරු ම දේ කියල යි.” “මොකක් ස්ත්‍රී හදවත?” “මේ මේ ඔහොම දරුණු විදිහට මන් දිහා බලන්න එපා. ඒ මගෙ උත්තරේ නෙමෙයි මන්ත්‍රගුප්තගෙ උත්තරේ.” “දැන් මෙතන මන්ත්‍රගුප්ත නෑනෙ. මට දැන ගන්න ඕනෙ ඔයා මන්ත්‍රගුප්ත නං දෙන උත්තරේ ඒක ද කියන එක යි.” “දැන් බැලුවහම භයානක රකුසා වෙලා තියෙන්නෙ ඔයානෙ. ඔන්න මමත් පැහැදිලි ව ම කියන්නෙ මන්ත්‍රගුප්තගෙ උත්තරේට මාත් එකග නැහැ කියන එක වගෙම මටත් දැනෙන්නෙ ඔයාගෙ උත්තරේ කියන එක.” “හා එහෙනං කමක් නෑ එහෙම නං මට පුළුවන් ඔයා නිදොස් කොට නිදහස් කරන්න. හොඳයි දැන් දෙවෙනි ප්‍රශ්නෙට යමුකො. පොඩ්ඩක් මතක් කරන්නකො ඒක.” “ගිහියාට ප්‍රිය වන්නේ කවු ද?” “ඔයා ඔය ගෘහස්ත - ගිහි ජීවිතය කියලා අදහස් කළේ ස්වාමි භාර්යා සම්බන්ධය නං ස්වාමියාට ප්‍රිය වෙන්න ඕන භාර්යාව, භාර්යාවට ප්‍රිය වෙන්න ඕන ස්වාමියාව.” “ඔයා හරිනෙ මිහිදිනී, ඔයා තමයි දෙපැත්තට ම අදාළ කරලා සම්පූර්ණ උත්තරේ දුන්නෙ. මන්ත්‍රගුප්ත කියන්නෙ ගිහියාට ප්‍රිය වෙන්න ඕන ගුණවත් බිරිඳ කියල යි. සංස්කෘත වචනවලින් ම කියනවනං ගුණවන්ත භාර්යාව යි.” “එතකොට මට මතක හැටියට තුන්වෙනි ප්‍රශ්නෙ තිබුණෙ කාමය මොකක් ද ඇති කරන්නෙ කියලනෙ. හැබැයි හින්දු සම්ප්‍රදායෙ තියෙනවා කියලා ඔයා කියලා දීලා තියෙන හැටියට කාමය නිසා ක්‍රෝධය තමයි ඇති වෙන්නෙ. හැබැයි එහෙම කියපු ඔයාම අපිට කියලා තියෙනවා කාම කියන වචනෙ මූලය වෙන කම් කියන ධාතුවෙන් අදහස් වෙන්නෙ කැමැත්ත, කැමති වීම ය කියලා ඔයාලගෙ සංස්කෘත සර් කියලා දීලා තියෙනව ය කියලා. එහෙම බැලුවහම නං අපේ කැමැත්ත, කාටවත් හිරිහැරයක් නොවෙන විදිහට සපුරා ගන්න එක වරදක් වෙන්න බැහැනෙ. මන් නං හිතන්නෙ ඇත්ත කාමය නිසා වෙන්නෙ යහපතක් මිස අයහපතක් නං නෙමෙයි.” “ඉතින් මිහිදිනී, මන්ත්‍රගුප්ත කියන්නෙත් ඕකම නෙ. එයා පාවිච්චි කරන වචනෙ තමයි කාමය නිසා වෙන්නෙ ඉෂ්ටාර්ථ සිද්ධිය. ඉතින් ඉෂ්ට අර්ථ සිද්ධිය කියන්නෙත් යහපත සිද්ධ වෙන එක නේ ද? බැලුවහ ම අපේ වර්තමාන මන්ත්‍රගුප්තිත් එසේ මෙසේ කෙනෙක් නෙමෙයිනෙ. හැබැයි මන් ඔයාව කජංගලා භික්ෂුණීන් වහන්සේ, අමරා දේවි නියෝජනය කරන බුද්ධිමත් ස්ත්‍රී කුලකයට දාන්නෙ නං අන්තිම ප්‍රශ්නෙට දෙන උත්තරේ අනුව තමයි.” “මේ මේ ගඟුල් සර්, මන් කජංගලා භික්ෂුණීන් වහන්සේගෙ ගොඩට දාන්න, ඒත් මන් කැමති නෑ අමරා දේවි වෙන්න.” “ඒ මොක ද අප්පච්චියෙ අමරා දේවි වෙන්න කැමති නැහැ කියන්නෙ. අමරා දේවි කියන්නෙ අපේ බෞද්ධ සාහිත්‍යෙ එන ප්‍රඥාවන්ත ස්ත්‍රී රත්නයක්නෙ.” “මන් ඒක පිළිගන්නවා ගඟුල් සර්. ඒ උනාට මන් ලෑස්ති නෑ මහෞෂධ පඬිතුමා නෙමෙයි කවුරු කිව්වත් ස්වාමියගෙ වචනෙට ගරු කරනවා කියලා ස්වාමි භක්තිය පෙන්නන්න කියලා උයපු බත් හරි වෙන මොනවා හරි තවරගෙන නිරපරාදෙ කාටත් පේන්න අව්වට වෙලා ඉන්න.” “ඔන්න ඔයාගෙ ඔය ගති හින්දනෙ මමත් ඔයාට මෙච්චර කැමති. හරි දැන් කියන්නකො සාධනයට දුෂ්කර දේ මොකක් ද කියලා.” “ඇයි ළමයො, ප්‍රඥාවනෙ සාධනයට දුෂ්කර දෙය.” “මිහිදිනී” ගඟුල් මිහිදිනීගේ නම උච්චාරණය කෙළේ විස්මයෙනි. “ඇයි ගඟුල් සර්, මේ පුදුමෙන් වගේ.” “පුදුම වෙන්නැද්ද ළමයො එදා මන්ත්‍රගුප්ත දුන්න උත්තරේ ම ඔයා මේ දැන් දෙන කොට.” “ඒක පුදුම වෙන්න තරන් දෙයක් නෙමෙයිනෙ සර්. ඇයි බලන්න බුදුහාමුදුරුවො ධම්මචක්ක පවත්තන සූත්‍රය දේශනා කළේ ඒ යුගේ ජීවත් වෙලා හිටපු ප්‍රඥාවන්තයො පස්දෙනෙකුට. ඒ කියන්නෙ පස්වග මහණුන් කියලා බෞද්ධ සාහිත්‍යෙ ප්‍රචලිත ඥානවන්තයො පස්දෙනා. ඔයාගෙ සංස්කෘත භාෂාවෙන් කියනවනං පඤ්චවර්ගීය භික්ෂූන් වහන්සේලා. ඒ පස් දෙනාගෙනුත් ධර්මය වහා වැටහෙන ගුණය තිබුණෙ කොණ්ඩඤ්ඤ හාමුදුරුවන්ටනෙ. අන්න ඒ කාරණෙත් මතක් වෙලා තමයි ළමයො මම සාධනයට දුෂ්කර ම දේ ප්‍රඥාව කියන උත්තරේ දුන්නේ. ඒක නෙමෙයි කෝ දැන් අර දශකුමාරචරිතෙ සුන්දරම තැනක් ගැන මට තාම කිව්වෙ නැහැනෙ. තැනක් කිව්වට තැන් දෙක තුනක් ගැන කිව්වත් කමක් නෑ.” “ඉතින් අපට පරක්කු වෙන් නැද්ද මිහිදිනී, රේණු අක්කලගෙ ගෙදර යන්න.” “කොහොමත් ගඟුල් සර්, රේණු අක්කා මට අද අපේ ගෙදර යන්න දෙන්නෙ නැහැ. මට එහෙ ඉන්න ම වෙනවා. ඒක නිසා අපිට පුළුවන් අපේ සාකච්ඡාව දිගට ම කරගෙන යන්න. මොක ද මන් අද මේ ඉගෙන ගන්න දේවල් මන් උගන්නන භාෂාවෙන් අපේ ශිෂ්‍යයන්ට දෙනවා. මොකද ඔයා කියන්නෙත් කොයි සාහිත්‍යෙක හරි තියෙන ලස්සන දේවල් අපේ කරගෙන ලෝකයට දෙන්න කියලනෙ.” “හරි එහෙමනං අපි ගමුකො භාෂාව ලස්සන තැනක් මුලින් ම. මේක දීර්ඝ ඡේදයක මුල් වාක්‍යය විතර යි. මෙතෙන්දි තරුණියක් කියනවා රාජවාහන කුමාරයාට රජතුමනි, දෙන්න මට ඔබගේ කරුණාවෙන් තෙත් වූ හදවත, මම සඳරැසින් උපන් සෝමරශ්මි කියන ගන්ධර්වයාගේ දියණිය වන සුරතමඤ්ජරී කියන දෙවඟන යි කියලා. බලන්න ඒ පොඩි දේ කියන්න දණ්ඩින් වචන පාවිච්චි කරන විදිහ. දේව, දීයතාමනුග්‍රහාර්ද්‍රේ චිත්තම්, අහමස්මි සෝමරශ්මිසම්භවා සුරතමඤ්ජරී නාම සුරසුන්දරී.” “හැබැයි ගඟුල් සර්, මෙතන තියෙන්නෙ වචනවල ලස්සනකම විතරක් නෙමෙයි මහ සුන්දර අර්ථෙකුත් තියෙනවනෙ. බලන්න කෙනෙකුට දෙන්න කියන්නෙ කරුණාව නමැති අනුග්‍රහයෙන් තෙත් වෙච්ච හදවතක් කියන එක ම මොන තරන් විශාල අර්ථයක් දෙන යෙදුමක් ද?” “බැලුවහම ඔයාට සංස්කෘත දැනුමකුත් තියෙනවනෙ මිහිදින,ී මන් කිව්වෙ කරුණාවෙන් තෙත් වූ හදවතක් දෙන්න කියලා විතර යි. ඔයා මන් කියපු සංස්කෘත පාඨෙ අහගෙන ඉඳලා ඒකෙ තිබිච්ච අනුග්‍රහ කියන වචනෙත් සම්බන්ධ කරගෙන ම අර්ථ දක්වනවනෙ.” “දැන් ගඟුල් සර් කියන්නකො පැහැදිලි ව ම දශකුමාරෙ තවත වටින අර්ථයක් ප්‍රකාශ වෙන තැනක්. ඉස්සෙල්ලා සංස්කෘත ප්‍රකාශෙ කියන්න. ඊට පස්සෙ අර්ථෙ කියන්න.” නනු ධර්මාදෘතේ’ර්ථකාමයෝරනුත්පත්තිරේව. තදනපේක්ෂ ඒව ධර්මෝ නිවෘත්තිසුඛප්‍රසූතිහේතුරාත්මසමාධානමාත්‍රසාධ්‍යශ්ච. සෝ’ර්ථකාමවද්බාහ්‍යසාධනේෂු නාත්‍යායතතේ. තත්ත්වදර්ශිනෝපබෘංහිතශ්ච යථාකථඤ්චිදප්‍යනුෂ්ඨීයමානාභ්‍යාං නාර්ථකාමාභ්‍යාං බාධ්‍යතේ. බාධිතෝ’පි චාල්පායාසප්‍රතිසමාහිතස්තමපි දෝෂං නිර්හෘත්‍ය ශ්‍රේයසේ’නල්පාය කල්පතේ. “මට එහෙන් මෙහෙන් තේරෙනවා වගේ දැනෙනවා. ඒ උනාට එහෙම බැහැ, මට හරියට ම මේකෙ අර්ථය දැනගන්න ඕනෙ.” අනතුරුව ගඟුල් දූරකථන මුහුණත මත දෘශ්‍යමාන සංස්කෘත පාඨය දෙස මොහොතක් සාවධාන ව බලා සිටියේ ය. අනතුරුව මෙසේ අර්ථය ප්‍රකාශයට පත් කෙළේ ය. ඒකාන්තයෙන් ධර්මයෙන් තොර ව අර්ථ කාම දෙකේ හට ගැන්මක් නැහැ. ඒ දෙකේ අපේක්ෂාවක් නැතුව ම ඒ ධර්මය නිවෘත්තියේ ඒ කියන්නෙ මේ සංසාර ප්‍රවෘත්තියේ නැවැත්ම කියන සැපයේ ඉපදීමට හේතුව තමන්ගෙ ඒකාග්‍රතාවෙන් පමණක් සිද්ධ කරන්න ඕන දෙයක්. මේ ධර්මය කියන දේ අර්ථ කාම දෙක වගේ බාහිර සංසාර සාධනත් එක්ක යන දෙයක් නෙමෙයි ඒක ඉක්මවා පවතින දෙයක්. තත්ත්ව දර්ශනයෙන් ඒ කියන්නෙ ඇති සැටිය දැකීමත් එක්ක වැඩෙන ධර්මය කොහොම හරි දුකසේ සේවනය කරන කොට ඒකට බාධා කරන්න අර්ථ කාම දෙකෙන් කොයි එකටවත් පුළුවන්කමක් නෑ. සමහර විටෙක ඒ දෙකෙන් යම් බලපෑමක් ආවත් අල්ප උත්සාහයකින් කෙනෙකුට පුළුවන් ඒ දෝෂයත් දුරු කරගෙන අනල්ප වූ ඒ කියන්නෙ අල්ප නොවන මෝක්ෂය ලබා ගන්න. “ටිකක් නෙමෙයි ගොඩක් ගැඹුරු, ඒත් තේරුම් ගත්තොත් ජීවිතයට සමීප කරගන්න පුළුවන් දහමක් නේද මේ කියලා තියෙන්නෙ. ගඟුල් සර්ට ගොඩක් පින් මේ වගෙ දේවල් මට කියලා දෙනවට.” “අනේ මට නෙමෙයි මිහිදිනී පින් දෙන්න ඕනෙ.” “එහෙනං වෙන කාට ද?” “ඒ අතීත සමාජෙ ජීවත් වෙච්ච දණ්ඩින් කියන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට.” “හරි හරි ඒ අතීත ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි වර්තමාන ප්‍රඥාවන්ත සාහිත්‍යධරයට යි දෙන්නට ම පින්.” “හොඳයි හොඳයි එහෙනං මාත් ප්‍රඥාවන්තයෙක් කළා ඔයා. දැන් අර රේණු ප්‍රඥාවන්ති බලන් ඉන්නවනෙ අපි එනකං. දැන් අපි පිටත් වෙමු නේ ද?” “පිටත් වෙමු, පිටත් වෙමු. රේණු අක්කා මෙසේජ් එකක් එවලා තියෙන්නෙ හවස හතරට හරි කමක් නෑ දවල් කෑම කන්න එන්න ඕනෙ එහාට යි කියලා, අපිට අවසර තියෙන්නෙ අතරමග දි තේකක් බොන්න විතර යි.” “හම්මෝ එහෙනං ඒක ඇවිල්ලා අනුල්ලංනීය ඉල්ලීමක්. නෑ නෑ මට වැරදුනා අනුල්ලංඝනීය නියෝගයක්.” ගඟුල් අතරමග දී රිය නතර කෙළේ ස්ථාන දෙකක දී පමණි. ඒ වරක් තේ බීම සඳහා පෙට්ටි කඩයක් ළඟ ද දෙවෙනි වර රියට ඉන්ධන ගසා ගැන්ම සඳහා ඉන්ධන පිරවුම් හලක් ළඟ ද වශයෙනි. සවස තුන පමණ වන විට ඔවුහු රේණුගේ නිවසට ළඟා වූහ. රථ ශබ්දය අසා පළමු ව නිවහනින් එළියට ආවේ උපදිසාපතිවරයා ය. “මන් බැලුව කවු ද කියලා. මේ දෙන්නනෙ. කොච්චර දෙයක් ද ඔය දෙන්න මේ වෙලාවෙ ආපු එක.” රියෙන් බැස සිය වැඩිමහල් සොහොයුරකු මෙන් දැනෙන උපදිසාපතිවරයා වෙත ගිය මිහිදිනී පළමු ව ඔහුට වැඳ ආචාර කොට දෙවනු ව ඔහුගේ දෑතින් අල්ලා ගත්තා ය. ගඟුල් ද මිහිදිනීගේ ක්‍රියා පිළිවෙත ම අනුගමනය කෙළේ ය. දෙදෙනාගෙන් පළමු ව කතා කෙළේ මිහිදිනී ය. “අය්යා, මන් දන්නවා මේ වෙලාවෙ ඔයාගෙ හිතට දැනෙන විදිහ. මන් අද මෙහෙ ඉන්නවා. ගඟුල් සර් රෑ වෙන්න ගෙදර යාවි. අපි හෙට ඉස්කෝලෙ ගිහින් හෙට යි අනිද්ද යි වැඩ කරලා ඉස්කෝලෙ ඇරිච්ච ගමන් එහෙන් පිටත් වෙන්නං මෙහෙට එන්න.” “ඒක හොඳයි නංග,ි මේ වෙලාව කියන්නෙ මගෙ නංගිලා දෙන්නට විතරක් නෙමෙයි අපේ අම්මටත් ඔයා ඕන වෙලාව.” “අය්යෙ ඕනකම අනුව මට පුළුවන් වේවි. අපේ ලොකු සර්ට දන්නලා හත් දවසෙ පින්කම ඉවර වෙනකං උනත් මෙහෙ ඉන්න.” “ඔයා නංග,ි පින්කම ඉවර වෙනකං නෙමෙයි හැමදාම උනත් මෙහෙ ඉන්නවට අපි කැමතියි. ඒ උනාට නංගි ඔයාටත් තියෙනවනෙ මේ වෙලාවෙ වෙනදටත් වැඩියෙන් ශිෂ්‍යයන් වෙනුවෙන් කරන්න යුතුකමක්. මොක ද ඔය දෙන්න ම උගන්නන්නෙ එකම සබ්ජෙක්ට් එකනෙ. මුළු ඉස්කා්ලෙ ම ඒ විෂය උගන්නන ගූරුවරු තුන් දෙන යි නේ ද ඉන්නෙ. අර මැදි වයසෙ ඉන්න ඉංග්‍රීසි උගන්නන මැඩනුත් ආවා. එයා කිව්වෙ අපේ නංගි එනකන් නංගිගෙ පන්තියෙ ළමයිනුත් එයාගෙ පන්තියට දාලා උගන්නන්නං කියල යි.” “එහෙන ං අපේ අයිරාංගනී මැඩම්නෙ ඒ ඇවිත් ගිහින් තියෙන්නෙ. අම්මෝ ඉස්සර රේණු අක්කා ඒ ටීචර් එක්ක දාගන්න ගෝරි ඉවරයක් නැහැ.” “මට නං එහෙම එකක් පේන්න තිබුණෙ නැහැ. අපේ නංගිට එයා බොහොම ආදරෙන් කතා කළේ. ඒ ටීචර් යන කොට අපේ නංගි වැන්දත් එක්ක.” “අය්යා කියන එක හරි මේ ඇවිත් ගිහින් තියෙන්නෙ තමන්ගෙ පුද්ගලික කරදරවලින් පීඩා විඳපු නිසා ගැටුණත් පස්සෙ කාලෙකදි රේණු අක්කව තේරුන් ගත්ත අයිරාංගනී මැඩම්. අපේ රේණු අක්කා වැඳලා තියෙන්නෙ ඒ ජීවිතේ වෙනසක් කරගත්ත කෙනාට මිස එයාට මුලින් හමු වෙච්ච අයිරංගනී මැඩම්ට නෙමෙයි.” එවදන් පැවසුවේ එතෙක් නිහඬ ව සිටි ගඟුල් ය. “ඔයා හරි මල්ලි, මන් දන්නැද්ද අපේ නගා ගැන. කෝ අපි තාම එළියෙනෙ. යන් යන් ගෙට.” “කෝ අය්යෙ අපේ රේණු අක්ක යි චූටි නංගි යි.” “ලොකු නංගි ඇඟ හෝද ගන්න කියලා ගියා. චූටි නංගි අම්මත් ලෑස්ති කරගෙන මේ ළඟ තියෙන පන්සලට ගියා අපේ නෑ මල්ලි කෙනෙකුත් එක්ක. යන් අපි ඉඳගෙන ම කතා කරමු නංගි.” මොහොතකින් ලා පැහැති ගවුමකින් සැරසි රේණු ඔවුන් ඉදිරියට ආවා ය. ඔවුන් දුටුවේ වෙනදා කවට බස් තෙපළන, තැන නොතැන නොබලා ඔවුන් සමග ආදරණීය කලහයනට එළඹෙන තැනැත්තිය නොව මහත් සෝබර බවකින් යුතු කලණ මිතුරිය යි.“ මිහිදිනී වහා රේණු වෙත ගොස් ඇය වැළඳ ගත්තා ය. ”අක්කා ළඟ හරි සුවඳ යි අක්කෙ. ඔයත් සුවඳ යි ඔයාගෙ හිතත් සුවඳ යි අක්කේ. අපේ වගෙම අපේ ශිෂ්‍යයන්ගෙ ඒ වගෙම තව අප්‍රමාණ ජීවිත සුවඳ කරන්න ඔයා ශක්තිමත් වෙන්න ඕන අක්කේ. මාත් හොඳට ම දන්නෙ අපිටත් තාත්තා කෙනෙක් වෙච්ච මේ තාත්තා වෙනුවෙන් කරන්න ඕන ලොකු ම පින්කමත් ඒකයි අක්කෙ.” හැඟුම්බර දෙනෙතින් සිය කලණ මිතුරිය මොහොතක් වැළඳ ගෙන සිටි රේණු අනතුරුව ගඟුල් වෙත පැමිණ මහත් වූ සහෝදර ප්‍රේමයකින් යුතු ව ඔහු ද වැළඳ ගත්තා ය. අනතුරුව ඇය ගඟුල්ට පැවසුවේ මේ වචන යි. “විපුල් අය්යා ඇවිල්ලා උඹගෙම අය්යා තමයි මල්ලි හැම අතින් ම. මේ වෙලාවෙ උඹ ළඟ නැති අඩුව පිරෙව්වෙ එයා තමයි. අන්තිම මොහොතෙ අපේ අය්යත් එක්ක තාත්තා ළඟ ම ඉන්න සමීපතමයෙක් උනා විපුල් අය්යා. මට මේ ජීවිතේට අමතක වෙන්නෙ නැහැ මල්ලි එක වෙලාවක් උඹේ අය්යා තාත්තව එයාගෙ අත් දෙකින් උස්සලා තියා ගත්ත මොහොත.” “අපිට හොඳට ම දැනෙනවා අක්කෙ දැන් ඔයාට තාත්තව දැනෙන විදිහ. අපේ මිහිදිනී මතක් කරපු විදිහට ඔයාගෙ සේවා ජීවිතය කියන්නෙ ම පින්කමක් අක්කෙ.” “යන් යන් දැන් වෙලාව තුනටත් කිට්ටුයි, ඔක්කොටම ඉස්සෙල්ලා අපි කාලා ඉමු. උඹලා දෙන්නා අතරමගදි කාලා ආවෙ එහෙම නෑ නේද?” “මොන තේකක් බොන්න නතර කළෙත් මෙයාට බොහොම කරුණු කාරණා පැහැදිලි කරලා. පුළුවන් ඉක්මණින් යමු ය, කාලා එහෙම ගියොත් රේණු අක්කගෙන් හම්බ වෙන්නෙ ගුටි ය කිය කියා මාවත් ඉක්මන් කෙරෙව්වෙ ඔයාගෙ මේ නංගි මිහිදිනී තමයි.” “ඔව් ඒක එහෙම තමයි වෙන්න ඕනෙ. මාත් මේ නොකා නොබී බලන් හිටියෙ උඹලා දෙන්න එනකන්නෙ.” “අනේ රේණු අක්කෙ ඔයත් තාම කෑවෙ නැද්ද? යන් යන් මේස ඕනෙ නැහැ. තුන් දෙනාම කුස්සියට ගිහින් බෙදාගෙන කමු.” “ඔව් එහෙම තමයි මොකෝ නැතුව උඹලා දෙන්නට මේසවලට කෑම අරින්න මට පිස්සුවක් තියේ ය.” රේණු මොන වචන කතා කළ ද ඇය සමග සමීප ඇසුරක් තිබූ ගඟුල්ට සහ මිහිදිනීට පිතෘ වියෝගය නිසා ඈ තුළ ඇති වේදනාව තේරුම් ගැන්ම අපහසු නොවී ය. කෑම වෙලාවෙන් පසු රේණු කතා කළ වචනවල රැඳී තිබුණේ ද පියවිරහජජනිත ශෝකය යි. “මල්ලි, උඹට මතක ද අපි අපේ ඉස්කෝලෙ ක්‍රීඩා උත්සවේ ආරාධනපත්‍ර අරගෙන පිටත් වෙච්ච දවසෙ ටික වෙලාවක් රත්නපුරේ මහ සමන් දේවාලෙ ඉඳගෙන කතා කළා. මතක ද එදා අපි වැඩියෙන් කතා කළේ කා ගැන ද කියලා.” “මොකෝ අක්කෙ අමතක. එදා අපි වැඩියෙන් කතා කළේ සමන් අය්යලගෙ තාත්තා ගැනනෙ. ඇයි අපේ මිහිදිනී සමන් දෙවියන්ගෙ ප්‍රතිමාව ළඟ ඉඳන් ඒ තාත්තා ලියපු කවියක් ගායනා කරපු එකනෙ මහ සාකච්ඡාවකට මග පෑදුවෙ.” “අනේ මල්ලියෙ ඒ තාත්තා ගැන කතා කරපු වෙලාවෙ මන් කොහොමටවත් හිතුවෙ නැහැ දවසක් වත් ගත වෙන්න කලින් මට ඉන්න තාත්තා ගැන නෙමෙයි නැති වෙච්ච තාත්තා ගැන කතා කරන්න වෙයි කියලා.” “ඕක තමයි රේණු අක්කෙ ජීවිතෙ. කවදා හරි දවසක අපිටත් සිද්ධ වේවි මේ එකට ඉන්න අපි අතරින් මුලින් ම නික්ම යන කෙනා ගැන කතා කරන්න.” “මට මතක් වෙන්නෙ මල්ලි දවසක් උඹ කිව්ව සංස්කෘත ශ්ලෝකයක කෑල්ලක්. ඒකෙ තිබුණෙ පිතා හතා ත්‍රිභුවනමන්ධකාරං කියලා. උඹගෙ සාහිත්‍යෙ හරි මල්ලි, තාත්තා නැති උනාම මුළු ලෝකෙම අන්ධකාර උනා වගේ තමයි දැනෙන්නෙ.” ඔවුන් සිටි තැනට පැමිණි උපදිසාපතිවරයා ද නිහඬ ශ්‍රාවකයකු බවට පත්විය. ඒ මොහොතේ ගඟුල් කතා කෙළේ ය. “අක්කෙ ඔයා අමතක කරන්න එපා අර කෞෂිතකී උපනිෂදය කියන විදිහට ඒ තාත්තා ගියේ තමන්ගෙ වචන, තමන්ගෙ ප්‍රාණය, ජීවිතය දකින ඇහැ, තමන්ගෙ ක්‍රියා, තමුන්ගෙ සතුට වගෙම වේදනාව ඒ වගෙම ප්‍රඥාව ඔයාටත් ඔයාගෙ මේ අය්යටත් චූටි නංගිටත් පවරා දීලනෙ. ඒ නිසා ඔය තුන් දෙනා කරන හැම වැඩක ම අක්කෙ තාත්තා ඉන්නව කියන කාරණේ මොහොතකටවත් අමතක කරන්න එපා.” “ඇයි ගඟුල් සර් ඔයාම කියපු හැටියට ඒකෙ ලස්සන ම දේ තාත්තා කරන පවරා දීම් දරුවා බොහොම හැඟීමකින් බාර ගැනීමනෙ. අනේ සර් ඒ ප්‍රකාශෙන් අන්තිම කොටසවත් කියන්නකො දැන්. මන් හිතන්නෙ පරිපාලන නිලධාරියෙක් විදිහට තමන්ගෙ රටට අවංක සේවයක් කරන ඒ තාත්තගෙ ලොකු පුතා ඒ වගෙ ම සිය කැමැත්තෙන් ම ඈත දුරපළාතක ඉස්කෝලයක් ඉල්ලගෙන උගන්නන්න ආපු මගෙ මේ රේණු අක්කා වගෙම විශ්වවිද්‍යාලෙ අන්තිම අවුරුද්දෙ ඉගෙන ගන්න චූටි නංගිත් කැමති වේවි ඒක අහන්න. නංගි මේ මොහොතෙ නැති උනාට කමක් නෑ රේණු අක්කා ඒක එයා ආවහම එයාට කියලා දේවි. අද මේ මොහොත තමයි ගඟුල් සර් ඒක කියන්න ඕන හොඳම දවස වගෙම හොඳම වෙලාව.” මොහොතක් නිහඬ ව සිටි ගඟුල් ඒ පිතෘ දාරක සංකථනයේ අවසන් කොටස ඔවුනට ඉදිරිපත් කෙළේ ය. මගේ ක්‍රියා ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ක්‍රියා මා තුළ තබනු මැනවි. මගේ සතුට සහ වේදනාව ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ සතුට සහ වේදනාව මා තුළ තබනු මැනවි. මගේ ආනන්දය, සොම්නස සහ උපත ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ආනන්දය, සොම්නස සහ උපත මා තුළ තබනු මැනවි. මගේ සිත ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ සිත මා තුළ තබනු මැනවි. මගේ ප්‍රඥාව ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ප්‍රඥාව මා තුළ තබනු මැනවි. මගේ ජීවන හුස්ම ඔබ තුළ තබනු කැමැත්තෙමි. ඔබේ ජීවන හුස්ම මා තුළ තබනු මැනවි. මිහිදිනියගේ ඉල්ලීම පරිදි ගඟුල් කෞෂිතකී උපනිෂදයේ එන පියා ලෝකයෙන් සමු ගන්නා මොහොතේ සිදු වූ පිය පුතු සංවාදය රේණුත් ඇගේ දෙටු සොහොයුරාත් අසා සිටියේ දැහැන් ගත ව ය. සංකථනයට සාවධාන ව සිටි බැවින් ඔවුන්ගෙන් කිසිවකුට පන්සල් ගොස් පෙරළා ආ මව සහ කනිටු දියණිය ගෙට ගොඩ වන බව ඇසුණේ ද දැනුණේ ද නැත. එහි අරුත මෙය ශ්‍රවණය ම කළ යුතු තවත් දෙසවන් දෙකකට ද එවදන් ඇතුළු වී ඔවුන්ගේ හදවත්වල ගැඹුරු ම තැනටත් තදාගමික සාහිත්‍යයේ සිහිල් දිය දහර ගමන් කළ බව නොවේ ද? එදින රේණුගේ පමණක් නොව ඇයගේ අම්මාගේත් සොහොයුරාගේත් සොයුරියගේත් ඉල්ලීම පරිදි මිහිදිනී ඔවුන්ගේ නිවසේ නැවතුණා ය. පසුදා උදාසනින් ඇය ගැන්මට එන බව දන්වා ගඟුල් සිය නිවස බලා පිටත් විය. සත් දවසේ පින්කම යොදාගෙන ඇත්තේ මෙම සිකුරාදා සහ සෙනසුරාදා යන දෙදින බැවින් ගඟුල් බදාදා සවස් වන විට මිහිදිනී ද සමග පාසලට ගොස් බ්‍රහස්පතින්දාත් සිකුරාදාත් වැඩ කොට සිකුරාදා දිනයේ පාසල ඇරුණු විගස රේණුගේ නිවස බලා ඒමට තීරණය කෙළේ ය. ඒ ඉන් සිය සහෝදර ගුරුවරියගේ කාල සටහනට අයත් කාලච්ඡේද කිහිපයක් වත් මිහිදිනියට ආවරණය කළ හැකි නොවේ ද යන අදහස ඇති වූ බැවිනි. සේවා ජීවිතයට ප්‍රමුඛතාව දිය යුතු ය යන අදහස ඉහළින් ම පිළිගන්නා රේණු ද ඇගේ දෙටු සොයුරු උපදිසාපතිවරයා ද එය එක හෙළා අනුමත කළහ. යන අතරමග දී ගඟුල්ට සිහිපත් වූයේ ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්තුමන් විසින් ලියන ලද සිතිවිලි ග්‍රන්ථමාලාවේ දහතුන් වැන්න වන ආදරය නම් ග්‍රන්ථයේ අන්තර්ගත අයිතිවාසිකම් හා යුතුකම් නම් ශීර්ෂය යටතේ එන ලිපිය යි. එහි දී එතුමන් විසින් අවධාරණ කරනු ලැබ තිබුණේ උපන් සෑම කෙනෙකුට ම ජීවත් වීමේ අයිතිවාසිකම ඇත්තාක් මෙන් ඒ සෑම කෙනෙකුට ම ආහාර, ඇඳුම්, නිවාස සහ බෙහෙත් යන සතර උපයා ගැනීමේ මූලික අයිතිවාසිකම ද තිබිය යුතු බව ය. එතුමා පවසන්නේ අයිතිවාසිකම් ලබා ගැන්ම සඳහා කටයුතු කිරීමේ වරදක් නැති අතර ඒ සමග ම යුතුකම් ඉටු කිරීම කෙරෙහි ද අපගේ අවධානය යොමු කළ යුතු බව ය. එම ලේඛනය කියවද්දී ගඟුල්ට හැඟුණේ අයිතිවාසිකම් දිනා ගැන්මට සටන් කරන්නාක් මෙන් ම යුතුකම් ඉටු කිරීමේ සටනට ද අප දායක විය යුතු බව ය. රේණු අක්කා යනු සිය අයිතිවාසිකම්වලට වඩා අනුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වදින ගැහැනියකි. එසේ ම තමා නොපිරිහෙළා යුතුකම් ඉටු කරන අතර ඇතැම් දෙනා සිය යුතුකම් ඉටු නොකරන විට ඔවුන්ගෙන් යුතුකම් ඉටුකරවීම උදෙසා සටන් වදින ගැහැනියකි. එහෙත් මේ සියලු සටන්වල දී තමා තුළ සිටින ආදරණීය ගැහැනිය අහිමි කොට නොගෙන කටයුතු කිරීමට ද ඇය දනියි. මිහිදිනී සිය කලණ මිතුරිය හැඳින්වීම සඳහා යොදන අඳුරට එරෙහි ආලෝක රණකාමිණිය යන යෙදුම මේ ආදරණීය ගැහැනිය සම්බන්ධයෙන් අත්‍යන්තයෙන් ගැළපෙන යෙදුමක් නොවේ දැයි ගඟුල්ට සිතිණ. මිහිදිනී විශේෂයෙන් හෙට දවසේ පාසලට යන්නේ ද තමාගේ යුතුකම මෙන් ම යුතුකම් උදෙසා සටන් වදින ඒ ආදරණීය ගැහැනියගේ යුතුකම් ද වෙනුවෙනි. එය කොන්දේසි මත පදනම් වන්නක් නොවේ. අදිකාරම්තුමන් පවසන පරිදි ආදරය ඇති අය අතර අයිතිවාසිකම් ලබා ගැනීමක් වත් යුතුකම් ඉටු කිරීමක් වත් නැත. ඒ ආදරය යනු ගනු දෙනුවක් නොවන බැවිනි. එතුමා සිය ලේඛනය අවසන් කොට තිබූ ආකාරය අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ නවමු දෘෂ්ටියකින් බැලීසම සඳහා වන ඇසක් නොවේ දැයි ගඟුල්ට සිතිණ. මනුෂ්‍යයන් තුළ සැබෑ ආදරය පවතියි නම් ඔවුන් සිටින සමාජය අයිතිවාසිකම්වලින් නොමිරිකුණු වාසනාවන්ත සමාජයක් වන්නේය. ඒ සැබෑ ආදරය පිහිටන්නේ “මම” යන දෘෂ්ටිය මනුෂ්‍යයාගේ සිතින් සහමුලින් තුරන් වූ විට ය. එය මනුෂ්‍ය සමාජයෙහි සිදුවිය යුතු එකම විප්ලවය ද වේ. ඒ විප්ලවය රටක ටික දෙනෙකු තුළ හෝ සිදුවන තුරු මනුෂ්‍යයාගේ සැපය වත් රටේ සාමය වත් ඇති වේ යයි බලාපොරොත්තු වීම අනුවණකමකි. මේ වනවිට මෙවන් අර්ථසම්පන්න සිතිවිලි සමුදායක් සමාජගත කළ උත්තම පුරුෂයාගේ අභාවයෙන් ද සැලකිය යුතු කාලයක් ඉකුත් ව ගොස් ඇත. එතුමන්ගේ අදහස් එතුමන් වැදගත් යැයි සැලකූ ක්‍රියාකාරකම් යළි යළිත් සමාජගත කිරීම සඳහා පසුගිය දිනෙක ආචාර්ය ඊ. ඩබ්ලිව්.අදිකාරම් පදනම, ශ්‍රී ලංකා ක්‍රිෂ්ණමූර්ති පදනම, අනුලා නීතිගත පාලක මණ්ඩලය සහ ශ්‍රී ලංකා නිර්මාංසාහාර සමිතිය යන සංවිධාන චතුර්ථයේ සාමාජිකයන් එක් රැස් ව සාකච්ඡා කළ බව ගඟුල්ට දැන ගැන්මට ලැබිණ. ඒ අනුව එළැඹෙන වර්ෂයේ දී පරිසරය, නිර්මාංසික ජීවන ප්‍රතිපදාව, මත්ද්‍රව්‍ය නිවාරණය, විද්‍යාව මානවයා ඇතුළු සමස්ත ජීව ලෝකයේ සුභසිද්ධිය උදෙසා යොදා ගැනීම, ආචාර්ය අදිකාරම් අධ්‍යාපන දර්ශනය ගැන මෙන් ම ක්‍රිෂ්ණමූර්ති අධ්‍යාපන දර්ශනය පිළිබඳ දැනුවත් කිරීම උදෙසා පාසල්, දහම් පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාලයන් ඇතුළු විවිධ අධ්‍යාපන නිකේතනවල දියත් කිරීමට සැලසුම් කොට ඇති දේශන, වැඩමුළු, වෛද්‍ය සායන, රසවින්දන වැඩ සටහන් ආදියට සිය සහෘදයන් ද සමග එක් ව උපරිම සහාය ලබා දීමට ගඟුල් තීරණය කෙළේ ය. එසේ ම එවන් වැඩ සටහනක් දෙකක් ක්‍රියාත්මක කරන ස්ථානය බවට නාගොල්ලාගම මධ්‍ය මහා විද්‍යාලය ද පත් කොට ගත යුතු ය යන අදහස ද සිතේ දරා ගනිමිනි, ගඟුල් මිහිදිනියගෙන් ද රේණු ඇතුළු ඇගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද සමු ගෙන සිය නිවෙස බලා පිටත් ව ආවේ.