Tuesday, January 24, 2017

උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක් ය..!

පැංචා තමා අපේ ගෙදරට ආපු පළවෙනි පූසා. පැංචාගෙ අම්මා එයාව අපේ ගෙදර මැද මිදුලේ වෙරළු ගහ ගාව ‍ගෙනත් දාලා හිටියේ. මායි සුදු අම්මයි මැජික් බලනවා වාගෙ එයා ගාවට ගිහින් බලන කොට ජිල් බෝල ඇස් දෙකයි රෝස කටයි උල් කරගෙන පුංචියට පුංචියේ එයා අපි දිහා බලා උන්නා. 

ඒ හරියට ම අවුරුදු හයකට ඉස්සර..!!

ඉපදිලා මාස දෙක තුනක් යන තුරු එයාට මැද මිදුලේ ඉඳන් ගේ ඇතුළට හුරු වෙන්න ටිකක් අමාරු වුණා. එක වැහි දවසක තමා එයා මුලින් ම ගෙදරට ගොඩ වැදුණේ. තාම මට මතකයි ගෙයි පිටිපස්සේ තිබුණ ටයර් එකක් ඇතුළේ ගුලි වෙලා බය පිරිච්ච ඇස්වලින් අපි දිහා බලන් උන්නු හැටි. පැංචා ගැන මගේ හිතේ මුලින් ම ආදරයක් ඉපදුණේ ඒ දවසෙයි..

ඒත් පැංචා ගේ ඇතුළට එනවට වැහි දැරිවිගේ අම්මා ඒ තරම් කැමැත්තක් තිබුණේ නෑ. වැහි දැරිවි පුංචි කාලෙ ඉඳලා තිබුණ බරපතළ සෙම් අමාරුව නිසා ගෙදර පූසෝ බල්ලෝ නොහදන්න කියලා වෛද්‍ය උපදෙස් ලැබිලා තිබීම තමා ඒ අකැමැත්තට හේතු වුණේ. ඒත් වැහි දැරිවිගේත් සුදු අම්මාගේත් බලවත් ඉල්ලීම පිට පැංචා ව නවත්වගන්න අම්මා කැමති වුණා. ඒත් එක කොන්දේසියක් තිබුණා. ඒ වැහි දැරිවිට පූසාව ඇල්ලීම - සිපගැනීම සහ කාමරයට ගැනීම යන කාරණා සියල්ල තහනම් කියන කොන්දේසිය.

ඉතින් හැමදාමත් මං පැංචාට ආදරේ කළේ දුර ඉඳන්. ඒත් ළඟ තියාගෙන ආදරේ කළාට වැඩි ගැඹුරු ආදරයක් මගේ හිතේ පැංචා ගැනත්, ඉන් පස්සෙ අපේ ගෙදර පදිංචියට ආව පැංචියෝ දෙන්නා ගැනත් තිබුණා. 

ඒත් කාමරේට එන්නෙපා කියලා අම්මා දාපු කොන්දේසිය තේරුම් ගන්න පැංචාට බැරි වුණා. මං නැගිටින්න පරක්කු වෙච්ච දවසට පැංචා කාමරේට ඇවිල්ලා මගෙ ඇඳ ගාව වාඩි වෙලා අතින් ගහමින් මාව ඇහැරවනවා. එක දවසක් මේ කම්මැලි කෙල්ලව ඇහැරවන්න බැරි ම තැන පැංචා නෙට් එකේ අත පටලවලා කකුල හූරලා තිබුණා. ඒක නම් කෙළවර වුණේ වැහි දැරිවිට පිටගැස්ම එන්නතත් විදලයි. තාත්තා එදා පැංචා ගැන කේන්ති ගත්තත් කල් ගත වෙද්දි පැංචාගෙ බහුබූත විකාර වැඩවලට තාත්තාත් පුරුදු වුණා. 

මගේ පුංචි අම්මා, එයාගෙයි මගෙයි දෙන්නාගෙම සුදු අම්මා ගැන එයාට තිබුණා මහා විසාල ආදරයක්. සමහර දවසට සුදු අම්මාගෙ ඇඳට පැනලා එයාට තුරුළු වෙලා නිදාගන්නත්, සුදුඅම්මා පුටුවක වාඩි වෙලා හිටියොත් පුටු ඇන්ද දිගේ නැගලා ඇවිත් උරහිස් වටේ අත් දෙක යවලා පිටිපස්සෙන් සුදුඅම්මාව බදාගන්නත් පැංචා පුරුදු වෙලා හිටියා.

කාලයත් එක්ක පැංචා ටිකෙන් ටික ලොකු වුණා. අවුරුද්දක් විතර පිරිලා එයා පළාතේ ම ඉන්න කඩවසම් ම පූසා වුණාට පස්සෙ එයාව ගෙදර තියාගන්න හරි ම අපහසු වුණා. අවට හැම ගෙදරක ම පැංචාට පෙම්වතියෝ උන්නා. ඒ හින්දා ගෙදර එන එක ටික ටික අඩු වුණත් අඩු ම තරමෙ සතියකට සැරයක්වත් ගෙදරට ඇවිල්ලා හැම කාමරේක ම ඇවිදලා රවුමක් ගහලා එන්න පැංචා කවදාවත් අමතක කළේ නෑ. ඉස්සර වගේ පිච්ච වැල උඩ නැගගෙන විකාර කරන්නත්, කඩදාසි බෝලවලින් අපි එක්ක සෙල්ලම් කරන්නත් කම්මැලි වුණාට ගෙදර එන හැම දවසක ම එයා අපි ගාවට ඇවිත් සද්දෙ නෑහෙන්න කතා කරලා ගියා.

මං මේ ජීවිත කාලෙදි දැක්ක වැදගත් ම පූසා තමයි පැංචා. එයා කවදාවත් හොරෙන් කෑවේ නෑ. කොයි තරම් ආස කෑමක් වුණත්-හොරෙන් කන්න පුළුවන්කම තියෙද්දිත් කිසිම දවසක ඒ වගේ වැඩ එයා ළඟ තිබුණේ නෑ. පොල් ගාන කොට ළඟට ඇවිල්ලා හිරමණේ වටේ කැරකුණා මිසක කිසිම දවසක හිරමණේ ඉව කළේවත් නෑ. අසනීපයක් වුණත් ළඟට ඇවිල්ලා මූණ දිහා බලාගෙන සද්දේ නෑහෙන්න ඇඬුවා මිස පැංචා කවදාවත් අපිට කරදරයක් කරපු පූසෙක් නෙමෙයි..

ඒ වගේ ම පැංචා ගාව තිබුණේ සමහරක් මිනිස්සු ගාවවත් නැති තරම් යහපත් ගතිගුණ. ලේඩීස් ෆස්ට් කියන තියරිය ඉතාම වගකීමෙන් පිළිපැදපු පූසෙක් තමා පැංචා. කට්ටියට ම එකට කන්න දෙද්දී පූසියෝ දෙන්නා කාලා ඉවර වෙන තුරු පැංචා කවදාවත් කෑම කෑවේ නෑ. මං දන්න සමහර ගෙවල්වල පිරිමි අය කාලා ඉවර වුණාට පස්සෙ ඉතුරු වෙන ටිකයි ගැහැණු අය කන්නෙ. එහෙම පිරිමි දැක්කාම මට පැංචා ව මතක් වෙන එක ඇත්තටම වළක්වන්න බැහැ. 

ඔව්.. ඇත්තට ම පැංචා හරි ම වැදගත් මහත්මයෙක්. මහත්මා ගතිගුණ තිබුණ පූසෙක්. සංසාරයේ කොහේ හරි අත් වැරැද්දකින් මනුසත් භාවය මග හැරුණු..!

                                 ************************

මේ ඊයේ පෙරේදා දවසක පැංචා මගේ සපත්තු දෙකක් උඩ නිදාගන උන්නා. ඒත් වෙනදා විදියට නෙවෙයි. එයාගෙ සිරුර අප්‍රාණික වෙලා. හුස්ම ගන්නෙත් හය්යෙන්. 

ඉඳලා හිටලා ලෙඩ වෙලා, තුවාල හදාගෙන අසනීප වෙන පැංචාව සනීප කරන ඩොක්ටර්ස්ලා දෙන්නා ම හිටියේ නැහැ. බලාගෙන ඉන්න බය හිතුණ නිසා සුදු අම්මයි මායි ඉක්මණට ම පැංචා ව අරගෙන ළඟ ම තිබුණ සත්ත්ව රෝහලකට ගියා. ඉන්ජෙක්ෂන්ස් කීපයක් එක්ක - පූසාට සේලයින් දුන්නත් ඒ වෛද්‍යවරයා ඒ් ටික කළේ කිසිම කරුණාවකින් නෙමෙයි. කැනියුලා එක ගහපු අත පැංචා වේදනාවෙන් හංගාගනිද්දි ඒ වෛද්‍යවරයා සතාට රිද්දවමින් අත ඇදලා අරගෙන සේලයින් දුන්නා. සත්තුන්ට බෙහෙත් කිරීම මිනිස්සුන්ට බෙහෙත් කිරීමටත් වඩා කරුණාවකින් කරන්න ඕන වග, සත්තු කියන්නේ කතා කරන්න බැරි - තමන්ගෙ වේදනාව ප්‍රකාශ කරන්න බැරි අසරණ ජීවි කොට්ටාසයක් වග ඒ වෛද්‍යවරයා ඇතැම් විට ඉගෙන ගෙන නැති ව ඇති. අසනීපෙක දී අනිත් වෛද්‍යවරියත්, වෛද්‍යවරයාත් පූසන්ට සේලයින් දෙන්නෙ උන් ව අත ගගා - හුරතල් කරමින්. කැනියුලා එක ගහපු අත සේලයින් දීලා ඉවර වෙන තුරු ඔවුන් දෙන්නා අත ගානවා. කිසිම දවසක පැංචා ඔවුන් සේලයින් දෙද්දි දඟලලා නැහැ. ඒත් එදා පැංචා ව අර වෛද්‍යවරයා ගාවට ගෙන ගිය එකෙන් මං සත්ත්ව කරුණාව ගැන විසාල පාඩමක් ඉගෙනගත්තා. 

ඉන් පස්සේ අපේ හුරුපුරුදු වෛද්‍යවරයෙක් ගාවට පැංචා ව අරන් යන්න පුළුවන් වුණා. වෙනදාට කූඩයක දාලා මිසක පැංචා ව අරගෙන යන්න බැහැ. වාහනේට දාගත්ත ගමන් එයා වාහනෙන් පැනලා දුවන්න හදනවා. ඒත් එදා එයා සුදුඅම්මාගෙ අතේ ගුලි වෙලා - ඇබින්දක්වත් දඟලන්නේ නැතුව ගිය විදිය මට කවදාවත් ම අමතක වෙන්නේ නැති වෙයි.

"ඔච්චර හොඳ වෙන්නෙපා පැංචෝ. එතකොට ඔයා පැංචා නෙමේ වගේ. ටිකක් දඟට ඉන්න කොට තමා පැංචා ගතිය තියෙන්නෙ."

එහෙම කිව්වට පැංචා ඒක ඇහුවේ නෑ. කවදාවත් නැති විදියට සන්සුන් ව සුදු අම්මාට තුරුලු වෙලා ඉස්පිරිතාලෙ ගියා.

ගියපු ගමන් පැංචා ව සැත්කම් මේසේ උඩින් තියලා ඩොක්ටර් අක්කා එයා ව පරීක්ෂා කළා. පැංචාට වැළඳිලා තියෙන්නෙ මේ දවස්වල රට පුරා ම පූසන්ට - බල්ලන්ට වැළඳිලා තියෙන උණ රෝගය. ඒ රෝගයෙන් යාලු මිත්‍රයන් කීප දෙනෙක්ගෙම හුරතල්ලු අවසන් ගමන් ගිය බව මතක් වෙලා පැංචාව අල්ලන් හිටපු මගේ අත වෙව්ලන්න පටන් ගත්තා. ඒත් ඩොක්ටර් අක්කා පැංචාව ආදරෙන් අත ගගා එයාට සේලයින් දෙද්දී එයාට ආපහු පණ ආවා. ඉන්පස්සේ ඉන්ජෙක්ෂන් ගහලා, බොන්න බෙහෙතුත් ලියා දුන්නාට පස්සෙ එයාට දියර ජාති බොන්න දීලා ආදරෙන් බලාගන්න කියපු ඩොක්ටර්ගේ ස්වරය වැහි දැරිවිට ඇහුණේ අනතුරු ඇඟවීමක් වගෙයි..

සේලයින් බලේට වෙන්න ඇති, පැංචා දවසක් හොඳින් ම උන්නා. ඒත් ආයෙත් ඊළඟ දවසෙදි නපුරු උණ රෝගය පැංචා ව තදබල විදියට දුර්වල කළා. ඒත් ඒ තරම් දුර්වලව ඉද්දිත් ගේ ඇතුළ අපිරිසිදු වෙනවට පැංචා කැමති වුණේ නෑ. වුවමනාවක් වුණ ගමන් අමාරුවෙන් වැටි වැටී එයා එළියට යන්න උත්සාහ කරන අන්දම තමයි අපි හැමෝටම දරාගන්න අපහසු ම දර්ශනය වුණේ. එයා මිදුල කියලා හිතාගෙන සිමෙන්ති පොළොව හාරන්න උත්සාහ කරන විදිය බලාගෙන ඉන්න බැරුව එක පාරක් වැහි දැරිවිට කෑ ගහලා ඇඬුණා. ඉන් පස්සෙ පැංචා.. ඔයා හාරන්න එපා.අපි අයින් කරන්නම් කියලා කිව්වාම ඒක තේරුණා වාගෙ එයා පැත්තකට ගිහින් මුල්ලක නිදියාගත්තා.

ඉන් පස්සෙ ආයෙ බය වීම්.. ඇමතීම්.. තත්පර පහක් තුළ සැරසීම්.. වෙනදට තොරතෝංචියක් නැතුව මොනවා හරි කතා කරන සුදුඅම්මාත් වැසි දැරියත් නිහඬ ව.. පැංචාත් එක්ක ත්‍රීරෝද රියක් ඇතුළෙ..

"මට බොරු කියන්න බෑ. බලාපොරොත්තු තියාගන්නෙපා. දැන් එන්ඩ් ස්ටේජ් එක ඇවිල්ලා තියෙන්නෙ.."

එදා ඩොක්ටර් අය්යාගෙ වචන මට ඇහුණේ ඈත ලෝකෙකින් වගේ. පැංචාගෙ වෛද්‍ය වාර්තා පොත ඉල්ලගන්න මං දිහාට හැරුණු ඔහු මගෙ ඇස්වල තිබුණු කඳුළු දැකලා කියන්න ගියපු කතාව ආපහු ගිලගත්තා.

"දවස් පහකින් එයා වැඩේ අල්ලගත්තොත් එක්කන් එන්න නංගි."

ඒත් ඔහු එහෙම කිව්වෙ බොරුවට වග මං ඒ මොහොතෙත් දැනං හිටියා. කෙනෙක්ගේ හිත හදන්න කියන බොරුවක තිත්ත ස්වරයයි ඔහුගේ කටහඬේ තිබුණේ. 

ලේසියෙන් කඳුළක් එන්නෙ නැති වැහි දැරිවිගේ ඇස්වලින් එන මග දිගට කඳුළු කඩා හැලුණා. 

අද උදේ වෙද්දි වෙට් අය්යා දුන්න දවස් පහෙන් එක දවසක් ගෙවිලා ඉවරයි. උදා වෙන්නේ දෙවෙනි දවස. පැංචාගෙ අසරණ මුහුණ දැක දැක බලාපොරොත්තු තියාගන්න බැහැ කියලා දැනෙද්දිත් මං මෝඩයෙක් වගේ පැංචා ජීවත් වේවි කියන බලාපොරොත්තුවේ එල්ලිලා ම හිටියා. අද එයාට එළිමහන් තැනක ඉන්න ලොකු වුවමනාවක් තිබුණා. ඉතින් එයාව එළිමහනේ තියාගෙන - ඒ ළඟින් ම පුටුවක් තියාගෙන මැස්සෝ එළවමින් මං එයාට තනි රැක්කා. හවස් යාමේ පැංචාට බෙහෙතක් අරන් එන්න තාත්තා එක්ක එළියට බහින මොහොතෙත් එයාව තනියම ගෙදර දාලා යන්න මහ බයක් වගේ එකක් මගෙ හිත කොණක තිබුණා. 

ආපහු එද්දී අම්මා පැංචා ව ගේ ඇතුළට අරගෙන එයා ව පුංචි බබෙක් වගේ රෙද්දකින් ඔතලා තිබුණා. දවස් පහක් තිස්සේ ඇස් ඇරගෙන ම උන්නු පැංචා ඒ වෙද්දිත් උන්නේ ඇස් ඇරගෙන. උදේ ඔළුව උස්සලා කිරි පීරිසිය ම බීපු පැංචා ඒ වෙද්දි ඔළුව උස්සලා වතුර චුට්ටක්වත් බොන්න බැරි තත්වෙකයි හිටියේ. ඒත් සුදු අම්මා සිරින්ජරයකින් එයාට වතුරත් බෙහෙතුත් පෙව්වා. ඒ වෙලාවට පැංචා සුදු අම්මා දිහා බැලුවේ පුදුමාකාර කෘතඥතා පූර්වක බැල්මකින්. 

ටිකෙන් ටික රෑ බෝ වෙද්දී එයා හුඟාක් දුර්වල වුණා. ඉන්න තැනින් නැගිටලා යන්න බැරි තරමට. අසනීපේ හැදිච්ච දවසේ ඉඳලා ම පියෙව්වේ නැති මලානික ඇස් දෙකින් එයා ගෙදර හැමෝම දිහා ආදරෙන් බලා උන්නා. මිය යන්න අඩ හෝරාවකට විතර කලින් මං එයා ගාවට ගිහින් අන්තිම වතාවට එයා එක්ක කතා කළා. එයාට තේරුණත් නොතේරුණත් මං අවුරුදු හයක් තිස්සේ එයත් එක්ක ගොඩක් දේවල් කතා කරලා තියෙනවා. ඒ වගේ ම ඒ කතා කරපු දේවල්වලින් ඇතැම් දේවල් එයාට තේරුණ වගත් මං දන්නවා.

                                     *****************

ඇටමැස්සා පොතේ අන්තිමේ ආතර් කියන වචන ටික ඔබට මතක ඇති..

"එවිට මම ජීවත් වුවත් මිය ගියත් වාසනාවන්ත මැස්සෙක්මි.."

ඒ ටික තරමක් වෙනස් කරලා මං පැංචාට මෙහෙම කිව්වා..

"උඹ ජීවත් වුණත් මිය ගියත් ඉතා යහපත් පූසෙක්...!!"

Sunday, January 15, 2017

සීයා.. ඔබ ළඟ නැතත් ළඟ ඉන්නවා සේ ම ය..!

සීයා ගැන මට තියෙන්නෙ ඉතා ම පුංචි මතකයක් විතරයි. ඒ මහ හය්යෙන් අකුණු ගහමින් වහින දවසට මං සීයාගෙ ඇඳ ගාවට දුවගෙන යන හැටි. ඉන්පස්සෙ අමාරුවෙන් දණිපණි ගාලා සීයාගෙ ඇඳට නගින හැටි. වැස්ස මුළුමනින් ම පායලා ඉවර වෙන තුරු සීයා අවුරුදු හතරහමාරක් වෙච්ච වැහි දැරිවි ව එක අතකින් තුරුළු කරගෙන ඉන්න හැටි. 

ඒ වෙන කොට ඔහුට මිණිපිරීව වැළඳගන්න පුළුවන් වුණේ එක අතකින් විතරයි. අනෙක් අතේ පණ තිබුණේ නෑ. ඒත් තමන්ට පණ තියෙන අතින් ඔහු වැහි දැරිවි ව බදාගෙන උන්නා. හිතුණ විටෙක ඒ අතින් කවිත් ලිව්වා. 

කවුරු හරි මගෙ කෙල්ලට මොනව හරි කළොත් මං උන් ව උස්සලා පොළොවෙ ගහනවා..

ලෙඩ ඇඳේ ඉඳගෙනත් ඒ දවස්වල ඔහු වැහි දැරිවිගෙ මාපියන්ට එහෙම කියනවලු. 

දන්නවද සීයෙ.. අදටත් කවුරු හරි මගේ හිත රිද්දන කොට මට සීයා කියපු ඒ වචන මතක් වෙනවා. කාවවත් උස්සලා පොළොවෙ ගහන්න ඕන නෑ. කිව්වට ඔබ එහෙම කරන කෙනෙකුත් නෙමේ. ලෝකය ගැන මහා කරුණාවක් - ආදරයක් තිබුණු මනුස්සයෙක්. ඒත් හිත රිදෙන මොහොතකට ඔබ ළඟ උන්නා නම් එදා වගෙම මගෙ හිස අතගාමින් සනසවයි කියන හැඟුම හිතට එද්දි පුංචි කඳුළක් නැගෙන එක වළකන්නට බැහැ.

සීයා අපි ව දාලා යද්දි මට යාන්තම් අවුරුදු පහ පිරුණා විතරයි. සීයාගෙ නික්ම යාමෙන් පස්සෙ එළැඹුණු පළමු වැනි වැහි දවසෙදි වැහි දැරිවි වෙනදා පුරුද්දට එක පාරටම සීයාගෙ කාමරේට දුවගෙන ගියාලු. ඒත් සීයා නැහැ. එහෙම බලාපොරොත්තු කඩ වුණු පෙනුමක් මගේ මුහුණෙන් දැක්කෙ පළමුවෙනි වතාවට කියලයි අම්මා කියන්නෙ. ඉන්පස්සෙ එදා වැස්ස පායන තුරු මම හාන්සි පුටුවට වෙලා තාත්තාගෙ පපුවට ගුළි වෙලා උන්නලු. අම්මා කඳුළින් යුතු ව ඒ කතාව මතක් කරන හැම දවසක ම මට මේ කවි පද පෙළ මතක් වෙනවා.

නාගලකන්දෙන් එන හඬ ඇසී අහස ගුගුරන විට
දිව ගොස් මම හනික වැළඳගතිමි තාත්තා හනිකට

විමල් දිසානායකගෙ ඒ කවියෙ තියෙන්නෙ තමන්ගෙ දියණිය අකුණු ශබ්දයට බය වී තමන් ගාවට දුවගෙන එද්දි තමන් කුඩා කාලෙදි අකුණු හඬට බයේ තම පියා ගාවට දුව ගිය හැටි කථකයා සිහි කරන අන්දම. එදා සීයාගේ අහිමි වීමෙන් මට දැනුණාට වඩා වේදනාවක් තාත්තාට දැනෙන්ට ඇති කියා අද ඒ සිදුවීම සිහිපත් කරද්දී මට හිතෙනවා.

අද අකුණු ගහද්දී වැසි දැරියට බයක් දැනෙන්නේ නෑ. අකුණු විදුලි සැරවලට දැන් වැසි දැරිය ආසයි. වැහි වහිනවට ආසයි. ඒත් ජීවිතේ ඇතුළෙන් මහ අසනි වැසි ගිගුරුම් නැගෙන කොට සීයා ව සිහිපත් වෙනවා. සීයා කෙනෙක්ගේ ආදරය අවුරුදු පහෙන් එහා පැත්තේ නොලබපු කෙනෙක් විදියට මට සීයලා ඉන්න යාලුවෝ ගැන ඒ කාලෙ පුංචි ඉරිසියාවකුත් තිබුණා. සපූ නවකතාව කියවපු අය දන්නවා ඇති, ඒකෙත් ඉන්නවා හරි අපූරු සීයෙකුයි මිණිපිරියෙකුයි. ඇත්තමයි, මගේ සීයාත් මට තේරෙන වයසක් වෙනකං උන්නා නම් ඔහුත් - මාත් හරිම දඩබ්බර රයිගමයෙකුයි - ගම්පළයෙකුයි වෙනවාට කිසිම සැකයක් නැහැ.

ඔහු උන්නා නම් මේ වැහි දවස්වල අපිට කෝපි බිබී කතා කර කර ඉන්න තිබුණා. සීයාගෙන් ඡන්දස් අලංකාරයත් - වෙදකමත් ඉගෙන ගන්නට තිබුණා. ඔහු එක කවිය තුළ පස් තැනෙක එළිසමය තියා කවි ලියූ කවියෙක්. වෙදකම කෙසේ වෙතත් ඒ කවිකමෙන් අංශුමාත්‍රයක් හරි ඉගෙනගන්නට තිබුණා නම් කියා හිතෙද්දී දුකයි. 

එදා වැහි දවසෙ සීයාගෙ අඩුවෙන් රිදිලා දවස් දෙක තුනකට පස්සෙ අම්මාත් දුවත් අතර මෙහෙම සංවාදයක් ඇති වුණාලු.

අම්මා.. සීයට මොකද වුණේ?

සීයා නැති වුණා පුතේ..

එතකොට සීයා කවදාවත් ම ආයෙ එන්නෙ නැද්ද..?

අපි ගාවට එන්නෙ නෑ. වෙන කොහේ හරි ඉපදෙනවා.

ඊට පස්සෙ වෙන කොහේ හරි ඉපදිලා ආයෙත් නැති වෙනවද?

ඔව්. 

ඉතින් ඒක හරි දුකක් නේ අම්මා.. ඒ දුක නැති කරන්න විදියක් නැද්ද?

තියෙනවා. බුදුසාදු දුක නැති කරන හැටි කියලා දුන්නා. ඔයා ලොකු වුණා ම ඒ ක්‍රමය ඉගෙන ගනීවි.

වසර ගණනකට පස්සෙ දහය වසරෙදි බුද්ධාගමට දුක්ඛ නිරෝධය ඉගෙන ගනිද්දී මට ආයේ වතාවක් සීයා මතක් වුණා. 

දුක නැති කිරීමේ මාර්ගය ඉගෙනගත්තා නම් තමයි. ඒත් ඒ මග යන හැටි කියා දෙන්න ඉසිවරයෙක් බඳු සීයා ළඟ උන්නා නම්.. 

දුක නැති කිරීමේ මග වෙනුවට මේ භවයෙදිත් ලෞකික ජීවිතය ම තෝරා ගෙන කටු කොහොල් යුත් මග දිගේ ඇවිදගෙන යද්දි වැහි දැරිවිට එහෙම හිතෙනවා..

Sunday, January 1, 2017

දුරුතු හීතල යට හිඳ...

ජනේරුව කවුළුවෙන් ගෙට එබෙන
දොර පියන් විදා එන්නැයි කියන
තණපඳුරු මතින් පිය ඔසවමින
අලුත් සන්තෝසෙකට අත වනන

ගෙවුණු උඳුවප් සිසිල අතහැරෙන
උණුසුම්ම නවම් මහ මඟ හිඳින
තිත්ත පැණි එක් රසින් රස විඳින
හෙටක් හෙට පිපෙන්නට මග බලන

පවන් වැද හදග තුරුපත් සැලෙන
ලවන් පෙම් නුරා රසයෙන් තෙමෙන
කඳුළ ඇති තැනට සිනහව නැගෙන
හෙටක් වේවා පැතුම් පිරිසිඳෙන

වැහි වැටෙන තැනට යන - එන සියලු යහපත් හදැත්තන්ට, හැමදාමත් කියන්නා වාගේ ම ආත්ම අර්ථය සේ ම පරාර්ථයත් ඉටු කරන්නට සිත් වෙන මනෝරම්‍ය වසන්තයක් වේවා..