Saturday, September 3, 2016

සිංහබාහු නැරඹීමි - "ඔච්චර අදින්නෙපා හලෝ" සහ "අනේ එයාට විදින්නෙපා.."

ඊයේ පෙරේදා දිනයක බොරැල්ල වයි.එම්.බී.ඒ ශාලාවේ සිංහබාහු වේදිකාගත කෙරිණ. මට විභාග නොතිබූ සමයන්හී සිංහබාහු කොළඹ අවට ප්‍රදර්ශනය කෙරුණේ ම නැත. එහෙයින් මට වුවමනා වූයේ අහම්බෙන් කඩා වැටුණ වාසනාවෙන් ප්‍රයෝජන ගෙන නිවීහැනේ නාට්‍යය බලාගන්නට ය.

එහෙත් අප වාඩි වී සිටි පුටු පෙළට පසුපසින් ඉළන්දාරි කිහිප දෙනෙක් වාඩි වී සිටියහ. නාට්‍යය ඇරඹෙන්නට සීනුව වැදෙන තුරු ම ඔවුන් නොනවත්වා කතා කළහ. යොවුන් වයසට කටකමසිරියාවක් නැතුව කතා කිරීම ඉතා සාමාන්‍ය දෙයකි. අපිත් එහෙම ය. මා එහි කිසිදු වරදක් දකින්නේ නැත. එහෙත් ඔවුන්ගේ කතාවෙන් වැටහුණ විදියට නාට්‍යය බලන්නට කිසිදු වුවමනාවකින් ආ ගතියක් පෙනෙන්නට තිබුණේ නැත. ඔවුන්ගේ මව්පියවරු  තරමක් එහායින් වාඩි වී සිටියහ. මාපියන්ගේ පෙරැත්තය මත නාට්‍යය බලන්නට ආ වග කිහිප දෙනෙකුගේ ම කටින් කියැවිණ. අප ඇතුළු අන් අයට තම හිතවතුන් සමඟ කතා කරන්නට වුවමනාවක් තිබුණත් ඊට ඉඩක් ලැබුණේ නැත. ඔවුන් කතා කරමින් උන්නේ එපමණ උස් හඬිනි. අවට පේළිවල අසුන් ගෙන හුන් ඇතැමෙකු ඔවුන් දෙස අප්‍රසාදයෙන් බැලූ මුත් නාට්‍යය පටන් ගන්නා තුරු කතාබහ නවත්වන්නැයි කීමට ද කිසිවෙකුට හැකියාවක් නොතිබුණි.

පොතේ ගුරු වේදිකාවට පිවිසි පසු නම් ඔවුන්ගේ පරිගණක සහ දුරකථන විග්‍රහය අවසන් වනු ඇතැයි මම සිතා සිටියෙමි. එහෙත් කණගාටුවට කරුණ එය අවසන් නොවී අපට අවසන් කරන්නට සිදු වීමයි. 

පොතේ ගුරු නාට්‍යය පටන් ගත්තා පමණි. "ඔච්චර අදින්නෙපා හලෝ.. ඕක ටිකක් කෙටියෙන් කියනවා" යි එකෙක් උස් හඬින් කීවේය. අඩ හෝරාවක් පමණ ඉවසා සිටි මම එවර නම් පසුපස හැරී රවා බැලුවෙමි. ඉක්බිති මා දුටුවේ අපේ මුළු පේළියේ ම හුන් ඇත්තන් ඔවුන් දෙස රවාගෙන ඉන්නා අන්දමය. ඒ රවා බැලිල්ල සිදු වූයේ එක ම මොහොතක දී ය. ඓන්ද්‍රීය ව ය. ඒ මොහොතේ කබල්ලෑවා ගුලට රිංගා ගත් අන්දම සිහිපත් වන පරිදි අර තරුණ පිරිස ඔළු ටික හංගාගත්හ. 

එහෙත් රැවුමකින් පසු ඔළුව හංගාගත්තාට පලක් නැත. වඩා වැදගත් වන්නේ ඔළුවත් කොන්දත් කෙළින් තියාගෙන නාට්‍යය බලන්නට හැකි වූවා නම් ය.

මේ අතර ඇතැම් තරුණ පිරිස් සංයමයෙන් සහ ආශාවෙන් නාට්‍යය බැලූ වග ද මතක් කළ යුතු ය. ඔවුන් ගැන සිහිපත් කරන්නේ ගෞරවයෙන් යුතුව ය. අපේ පරපුර ගැන අප මුළුමනින් ම ලජ්ජාවට පත් විය යුතු නොවන වග ඔවුහු අපූරුවට මතක් කර දුන්හ. 

එහෙත් නාට්‍යය මැද තවත් අවාසනාවන්ත සිදුවීමක් සිදු විය. සිංහයා වේදිකාවට පැමිණි පසු අවුරුදු නවයක දහයක පොඩි එකෙක් ඔවෑක් ගෑවේය. ඉක්බිති ඔහුගේ මව ඔහුව අසීරුවෙන් නිශ්ශබ්ද කරන තුරු ම මේ නාට්‍යය බලන්නට බැරි තරම් අප්පිරිය බවත්, මෙය විකාරයක් බවත් කියා ඔහු කන්කෙඳිරි ගෑවේය. මට එවිට මතක් වූයේ අප නාට්‍යය බලන්නට එන්නට පෙර  අම්මා කියූ කතාවකි. වසර ගණනකට පෙර සරසවියේ සිංහබාහු වේදිකාගත වූ දිනෙක, එය නැරඹූ කාර්යාල කාර්ය සහායක මහතෙකුගේ දියණියක් සිංහයා හී වැදී මියෙන විට, අනේ එයාට විදින්න එපා.. කියා ඉකිබිඳ හඬා තිබිණ. අද ඒ කුඩා දරුවා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි. කලාව කෙරේ සංවේදීකම උපදින්නේ ඉතා කුඩා වයසේ දී ම ය. 

සිංහබාහු යනු ලෝකයේ ඇති හොඳ ම නාට්‍යය යැයි මම නොකියමි. සරච්චන්ද්‍රයන්ට වන්දනාමාන කිරීමේ පිස්සුවක් ද මට නැත. එහෙත් ඕනෑ ම නාට්‍යයක්, කලා කෘතියක් නරඹන්නට ආත්ම සංයමයක් තිබිය යුතු ය. අපේ පරම්පරාවේ ඒ සහෝදර පිරිස තුළ නොතිබුණේ ඒ ආත්ම සංයමය යි.

කෙසේ වෙතත් ඔවුන්ට දොස් කියා පලක් නැති වග දනිමි. ඔවුන් ජීවත් වන්නේ වීඩියෝ ගේම්ස් සහ ත්‍රිමාණ චිත්‍රපටවලින් පිරුණු සෙලෝලයිඩ් ලෝකයක ය. ඒවාට හුරු වුණ මනැස්වලට වේදිකා නාට්‍ය දිරවාගන්නට අසීරු ය. එහෙත් අනෙක් අතට මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් හැදී වැඩුණේ ද ඒ සරුවපිත්තල ලෝකයේ ම ය. එහෙත් ඔවුන්ට ත්‍රිමාණ චිත්‍රපටි නරඹන ඇස්වලින් ම කිසිදු ගැටලුවක් නැතුව වේදිකා නාට්‍ය බලා ඒවා හදපතුළින් ම රස විඳින්නට පුළුවන. අපේ මව්පියන් නියොන් එළි මැද පවා පහන් දල්වාගෙන පාර හොයාගන්නට අපට ඉගැන්වූ නිසාය, අප එසේ සිතන්නේ.. 

ඒ නිසා ඒ සොයුරු පිරිසට දොස් නොපවරමි. එහෙත් මව්පියන්ට වැරදුණ තැන නිවැරදි කරගන්නට ඔවුන්ට ආලෝකය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි. නොඑසේ ව අප ඉදිරියේ ඇති ලෝකය මිහිරි එකක් කරගැන්ම පහසු කටයුත්තක් නොවනු ඇත. 

40 comments:

  1. මමත් මෙය නැරඹීමට ගියෙමි. ඔබ එන බව දැනන් හිටියා නම් හමුවී කතා බහ කිරීමට තිබුණි.

    මම සිංහබාහු නැරඹුවේ දෙවැනි වතාවටයි. පලවෙනි වතාව විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ සුප්‍රසිද්ධ "වලේ" දිය. එදා සිංහබාහු වලේ පෙන්වන සෑම දිනක මෙන්ම අතුරු සිදුරු නැතුව පිරි තිබුණි. වේදිකා නාට්‍ය නැරඹීමේ බලවත් "පිස්සුවකින්, උණකින්" පෙලෙන අපි හවස 4සිට ඉඳගැනීමට ඉඩක් අල්ලාගෙන සිටියෙමු. නාට්‍යය පටන් ගන්නේ 7ට ය.
    සාමාන්‍ය පෙළට හැර අන් කිසිදු විටෙක සිංහල සාහිත්‍ය හදාරා නැති මට මෙහි දෙබස් වලින් 70% පමණ කට පාඩම් වී තිබූ බව දැන ඉමහත් චිත්ත ප්‍රීතියට පත්වීමි.

    මෙවර ගියේ දෙවැනි වතාවටයි. එදා වලේදී විඳි රසවින්දනය බිඳක්වත් අඩු නැතිව නැවත වතාවක් ලැබුණි.

    අපට නම් එතරම් බාධා ඇති නොවුනි. එකම බාධාව නම් පිටුපස සිට එකක අක්කා කෙනෙක් උස් හඬින් කල දුරකථන සංවාදයයි. එය තිබුනේ මිනිත්තු කීපයක් වුවද මගේ රැවුම් ගෙරවුම් නම් නොඅඩුව ලැබුනලු එයාට!

    පිටුපස පාසල් වයසේ පිරිමි ළමයි ටිකක් සිටියත් ඔවුන් නම් ඉතාම සංයමයෙන් නාට්‍යය බැලුවා.

    අනිත් නාට්‍ය ටික බැලුවේ නැද්ද නංගි? "රත්නාවලී" නම් හරි නැහැ මට.

    ReplyDelete
    Replies
    1. නාට්‍ය සතියේ දවස් දෙකක් සිංහබාහු තිබුණා.අපි දෙන්නා එකම දවසෙ බලන්න ගියා වෙන්නත් පුළුවන්..මට මතක හැටියට මං ගියේ බ්‍රහස්පතින්දාවකයි.

      පේරාදෙණිය සහ නාට්‍ය කියන්නෙ එකිනෙකින් වෙන් කළ නොහැකි දෙකක්නෙ.අපි නම් ඉතින් නාට්‍යයක් බලන්න කොළඹ අවට ශාලාවක ප්‍රදර්ශනය කෙරෙන තුරුම ඉන්න ඕන.අලුත් ද පරණ ද කියා නැහැ,වේදිකා නාට්‍ය බලන එක මගෙත් බරපතළ විනෝදාංශයක්.ඒත් වලේ බලනවා තරම් නම් නාට්‍ය ශාලාවක නාට්‍ය බැලීම සුන්දර නැතුව ඇති..

      රැවිල්ලෙන් පස්සෙ අපිටත් බාධා ඇති වුණේ නෑ..

      අපිට ඉදිරියෙනුත් තරුණ පිරිසක් හිටියා.විශ්වවිද්‍යාල සිසු සිසුවියන් විය යුතුයි.ඔවුන් ඉතාම ආසාවෙන් නාට්‍යය රසවින්ද වග පෙනුණා.වයස නෙමේ ප්‍රශ්නෙ.ආත්ම සංයමය ගැන ගැටලුවක් ඒක..

      අනිත් නාට්‍ය ටික නම් බැලුවෙ නැහැ.මනමේ බලන්න හිටියත් එදා වෙන වැඩක් යෙදුණා.රත්නාවලී මෙවර නොබැලුවත් උසස් පෙළට නිර්දේශිත වූ නිසා කීප වරක් බලා තිබුණා.පුද්ගලික ව එහි කතා තේමාවට මං ප්‍රිය නොකළත් විභාගයට නම් එය පාඩම් කළේ ආශාවෙන්.පියදාස නිශ්ශංකයන්ගේ අනුවර්තනයයි අපට තිබුණෙ.එහි කවි ටික හරිම ලස්සනයි.ඔටෝ පාඩම් හිටින තත්වයක් තිබුණා.ඒත් පෙළ තරම් නාට්‍යය නම් මටත් දැනුණේ නැහැ.

      Delete
    2. මමත් ගියේ බ්‍රහස්පතින්දාවක තමයි. :)

      මමත් අනෙක් නාට්‍ය බැලුවේ නැහැ. ඒ ඒවා කලින් බලල තියෙන නිසා සහ ගමනාගමන ගැටළු නිසයි. වලේ නාට්‍යයක් නැරඹීම වෙනස් අතදකිමක් වෙන්නේ ඒ පරිසරය එක්ක. ඒ අත්දැකීම විඳලම බලන්නකෝ.

      Delete
    3. එහෙනං අපි එක දවසෙ ගිහින් තියෙන්නෙ.. අපරාදෙ අප්පා..)))

      Delete
    4. වලේ සින්හබාහු නැරඹුවේ සරත්චන්ද්‍ර මහත්තයගේ අසූ වැනි ජන්ම දිනය වෙනුවෙන් සරත්චන්ද්‍ර නාට්ය නාට්ය හතක් පෙන්වූ නාට්ය උත්සවයේදී...

      සින්හබාහු පෙන්නුව දා මහ වැස්ස.... අන්තිමට නාට්ය පෙන්නන්න පටන් ගන්නකොට රෑ දහයත් පහු වුනා... සියලු ප්‍රේක්ශකයෝ එක්සිත්ව නොසැලී නැරඹුවා.... සින්හයා ව විදලා මරනකොට දෑස් තෙත් ව නොතිබූ කෙනෙක් එහි සිටියේ නැති තරම්...

      ඒ පින්න සහිත මහ රෑත් නාට්යය අවසාන වන තෙක් ම සරත්චන්ද්‍ර මහත්තයා වලේ හිටියා....

      පේරාදෙනියේ පමනයි!

      Delete
    5. සුන්දර අත්දැකීමක්..

      ඒත් මං මේ කල්පනා කළේ මේ ළමයින්ට ඒ වගෙ අත්දැකීමක් ලැබුණ නම් මොනව වෙයිද කියලා..))

      Delete
  2. වර්ෂා, ඔබේ සටහන ඉතා වැදගත් කරුණක් මතු කල වටිනා සටහනක්...

    ඒ නිසාම කමෙන්ටුව හොඳටෝම දිගු වුනා, අවසානයේදී තීරණය කළා මගේ බ්ලොග් එකේ පොස්ටුවක් හැටියට දමන්න...ඔබේ සටහනේ යොමුව ඇතුලත් කරගෙන එය පදනම් කරගෙන ලියුවක් හැටියට දම්මොතින් ඔබේ අමනාපයක් නැතැයි හිතනවා...

    ReplyDelete
    Replies
    1. අපොයි මගේ ලිපියට යොමුවක් නොදැම්මත් කමක් නෑ.. ඔබේ ලිපිය පළ කරන්න.. මේ කුඩා ලිපිය තවත් ලිපියකට මඟ පෑදුවා කියන සතුට මට හොඳටෝම ඇති..))

      Delete
    2. https://pokuruwahi.blogspot.com/2016/09/blog-post.html

      බොහොම ස්තුතියි නැවතත්...කමෙන්ටුවක් ගිය දුර...ලිපිය කුඩා වුනත් අදහස විශාලයි...ඒ වගේම ඔබේ ලියන රටාවටත් මා බොහෝ කැමතියි...

      Delete
    3. නිකං වැහි සහ පොකුරු වැහි සමාන අදහස් ඇති අය නූනොත්නේ පුදුමේ...)))

      Delete
  3. සිංහබාහු යනු ලෝකයේ ඇති හොඳ ම නාට්‍යය යැයි මම නොකියමි. සරච්චන්ද්‍රයන්ට වන්දනාමාන කිරීමේ පිස්සුවක් ද මට නැත. එහෙත් ඕනෑ ම නාට්‍යයක්, කලා කෘතියක් නරඹන්නට ආත්ම සංයමයක් තිබිය යුතු ය. අපේ පරම්පරාවේ ඒ සහෝදර පිරිස තුළ නොතිබුණේ ඒ ආත්ම සංයමය යි.///// +++++++ එසේම පේරාදෙනිය වලේ නාට්‍යක කිස් එකක් නිසා එරියස් මානසිකත්වයෙන් කෑගැසූ චීවරධාරියාටද නොතිබුණේ ඒ ආත්ම සංයමය යි.

    ReplyDelete
    Replies
    1. සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය තමන්ට හිතට ඇල්ලුවේ නැතත් හොඳයි කියන කොටසකුත් ලංකාවෙ ඉන්නවනෙ.හැබැයි සමහර නව නාට්‍යකරුවන්ගෙ නිර්මාණවල සිංහබාහු නාට්‍යයට වඩා පුළුල් ජීවන දර්ශනයක් තියෙනවා.ඒක නාට්‍ය නිර්මාණය වුණ කාලයට සාපේක්ෂවත් සිතිය යුතුයි තමා.නමුත් මෑතකදී මං බලපු විශිෂ්ටතම නාට්‍යය තමා මාරක ළිඳේ සවාරියක්.එහි නූතන සමාජ කියැවීම ඉතා ඉහළයි.ඒ වාගෙම සමහර දෙබස්වල තිබුණා මාස ගාණක් නිදිවරාගෙන කල්පනා කරන්න දේවල්.

      ඒ කෝක වෙතත්, නාට්‍යයක ගුණාත්මක බව කොතැනක තිබුණත් ඔබ කියන්නා වාගේම ප්‍රේක්ෂකයාට ආත්ම සංයමයක් තිබිය යුතුයි.

      Delete
  4. ඔය කියන දවසේ සිංහයට රඟපෑවේ ජයනාත් බණ්ඩාර මහතා. දැන් ඉන්න සිංහයෝ තුන්දෙනාගෙන් පලපුරුදුම සිංහයා. එතුමා අපේ ඉංග්‍රීසි ගුරුවරයා

    ReplyDelete
    Replies
    1. දැනගැනීම සතුටක්.. අනිත් සිංහයෝ දෙන්නා කවුරුන්ද?

      Delete
    2. ජගත් කුමාර සහ රජිත හේවාතන්ත්‍රිගේ යන දෙපල සිංහයාට ජීවය දෙන අනෙක් දෙදෙනාවේ.

      Delete
    3. ස්තූතියි.. ඒ ගැන දැන සිටියේ නෑ.. මාක් ඇන්ටනීගෙන් පසු සිංහයාගෙ චරිතය රඟපෑම ඔවුන් හැමෝටම විශාල අභියෝගයක් වෙන්න ඇති.

      Delete
    4. සිංහයෝ පිලිවෙලින්ම කිව්වොත්
      මාක් ඇන්ටනී ප්‍ර‍නාන්දු
      සමන් බොකලවෙල
      ජය ශ්‍රී චන්ද්‍ර‍ජිත්
      ජයනාත් බණ්ඩාර
      ජගත් කුමාර
      රජිත හේවාතන්ත්‍රිගේ
      නැසීගිය විජය නන්දසිරි මහතා එක දර්ශණයකට පමණක් සිංහයාට රඟපාල තියෙනවා

      Delete
    5. අපේ අම්මා බලලා තියෙනවාලු මාක් ඇන්ටනී රඟපාපු දර්ශනයක්.. ඔබේ ගුරුතුමා රඟපාපු දර්ශනයත් අපූරුයි..

      Delete
  5. //මට විභාග නොතිබූ සමයන්හී// ඔයාට විභාග නැත්නම් සමයන්ද?

    ReplyDelete
    Replies
    1. නෑ විභාග තියෙන කාලෙට තමා සමයන්..

      Delete
  6. 'අශ්වයකු ජලය තිබෙන තැනට ගෙන යා හැකිය එහෙත් ඌට ජලය පොවන්නට අපට බැරිය' කියා කියමනක් තියනවනේ. මේ සිද්ධියත් ඒ වගේ තමයි.

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. අපරාදෙ ඒ අම්මලා තාත්තලා පිපාසයක් නැති ළමයින්ව වතුර තියෙන තැනකට එක්කං ගිහිං අනිත් මිනිස්සුන්ටත් නිදහසේ වතුර බොන්න තියෙන අවස්ථාව නැති කළා..

      Delete
    2. දැනට මාස දෙකකට පමණ පෙරදී අප සුමේධ රඟහලේ සිංහබාහු දර්ශණයක් සංවිධානය කලා. 3.30 නම් හොදට ගියා. 6.30 දර්ශණේදි පිටි පස්සේ ඉදපු ඔයවගේ පිස්සෝ රැලක් කියවන්න ගත්තා භාදා වෙන විදිහටම.
      හොදින් කියලා අහන්නේ නැති හින්දා දර්ශණය මැද්දෙන් නවත්තලා අපි උන් සෙට් එකම බෙල්ලෙන් අල්ලලා දැම්මා එලියට ටිකට් එකේ සල්ලිත් දීලා

      Delete
    3. ඇත්ත ඉතින් වෙන මක් කරන්නද..

      Delete
  7. සිංහබාහු නාඩගමේ මම කැමතිම මනමේ කුමරු ලෙන්දොර බිඳ සිංහ සීවලී අතට කඩුව දෙන ජවනිකාවටය.….:)

    ඇත්තම කිව්වොත් ශෛලිගත නාට්‍ය මට අල්ලන්නේම නැත.

    /සරච්චන්ද්‍රයන්ට වන්දනාමාන කිරීමේ පිස්සුවක් ද මට නැත/

    මටද නැත. එලෙසම ඔහුගේ නවකතාවන්ට මම බොහෝ ප්‍රිය කරමි.

    ගුරු ගීතය නවකතාවෙනුත් ඔය හැමෝම කියන වින්දනය මම නොලැබුවෙමි. එහෙත් ඉතා කුඩා වයසකදී කියවූ නිසා එවකට මගේ රස වින්දනය පරිණතව නොතිබුණේයයි උපකල්පනය කොට "මොකක්ද අඩේ මේ හැමෝම කියන මේකෙ තියන සිරා කේස් එක?" කියා සොයා බලනු වස් දැනට මාසයකට පමණ ඉහත ගුරු ගීතය යලිත් මිලදි ගතිමි. එහෙත් මෙතෙක් කියවීමට නොහැකිවිය...:(

    ReplyDelete
    Replies
    1. මනමේ කුමාරයෙකුත් හිටියද ඒ සිංහබාහු වර්ෂන් එකේ.. හරි පුදුමයිනෙ...)))

      මළගිය ඇත්තෝ සහ මළවුන්ගේ අවුරුදු දා නම් මට ඒ තරම් හිතට අල්ලපු නවකතා නෙමේ.සෞන්දර්යාත්මක විදියට එව්වා හොඳ ඇති.ඒත් උහුලන්න බැරි හුදෙකලාවක්-පාළුවක් තිබුණා ඒ පොත් දෙකේම.

      පුද්ගලික ව මම නම් ගුරුගීතයට කැමතියි.අල්තීනායිව මුදවාගෙන ඇවිත් දුයිෂෙන් ඈව දොළපාර ගාවට එක්ක යන මොහොත,පොප්ලර් ගස් දෙකේ කතන්දරය,ඈ මහාචාර්යවරියක් ව නැවත ගමට එන හැටි.. ඒ දේවල් මං හරියට වින්දා පොඩි කාලෙ..

      හැබැයි ගුරු ගීතය තරම්ම හොඳ, ඇතැම් විට ඊටත් වඩා මනරම් පොත් ගණනාවක් ගුරු ජීවිතය සම්බන්ධයෙන් ලියැවී තියෙනවා.උදාහරණයක් චමිල ලියනගේ මහතාගෙ, අලුත් ඉස්කෝලෙ හාමිනේ..කණගාටුවට කාරණේ ඒවා ගැන එපමණ කතාබහට ලක් නොවීමයි.

      Delete
  8. අපේ මව්පියන් නියොන් එළි මැද පවා පහන් දල්වාගෙන පාර හොයාගන්නට අපට ඉගැන්වූ නිසාය, අප එසේ සිතන්නේ..
    ඇත්ත තමයි නංගි.අපිට නං ඉතින් නාට්ටියක් බලන්ඩ වෙන්නෙ කලාතුරකින්..ඒත් ඉතින් මක් කරන්ඩද...ලඟ පාතට ආවොත් නං ඉතින් අතඅරින්ඩ හිත නෑ..

    ReplyDelete
    Replies
    1. අපිටත් එහෙම තමා අක්කා.සමහර දවසට බලන්න යන්න වෙලාවක් නෑ.එහෙම නැත්නම් නාට්‍ය ශාලාව දුර වැඩියි.ඔය ඔක්කෝම හරි ගියපු දවසක තමා අපිත් බලන්න යන්නෙ..

      Delete
  9. නාට්‍යක් බලපු කාලයක් මතක නැහැ. මේක කියවද්දි මුලින්ම ඇතිවුනේ නාට්‍යයක් බැලිමේ දොළදුක. මම සිංහබාහු බැලුවෙ දේශපාලන විද්‍යාව පන්තිය කට් කරල බණ්ඩාරගම නව නගර ශාලාවෙදි.
    කොහොම වුනත් ඒ පිරිසට ගිය කාරණයවත් මතක නැති අනුන්ටත් ඇණයක් ලෙස හැසිරීම නම් හරිම කනගාටුයි.

    ReplyDelete
    Replies
    1. ලංකාවට ආපු දවසක බලලා දොළදුක නැති කරගන්නකො.හැබැයි සමහර සිංහල වේදිකා නාට්‍ය නම් යූටියුබ් තියෙනවා.. කැළණි පාලම,ගුරු තරුව වාගෙ ඒවා.

      Delete
    2. ලැප්ටොප් එකේ ස්ක්‍රින් එකෙන් බලද්දි ස්ටේජ් එකක් ඉස්සරහ ඉදන් බලන හැගීම නැහැ නංගා.

      Delete
    3. ඒක නම් එහෙම තමා ඉතින්..))))

      Delete
  10. මටත් මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න පුලුවන් උනා එඩ්වඩ් ජයකොඩි මහත්මයාගේ මාරම්බරී ෂෝ එක බලන්න ගිහින්. මරදානේ පැත්තේ තියෙන ජනප්‍රිය පාසැලක ඔඩිටෝරියම් එකේ ෂෝ එක තිබුනේ. ඒ පාසැලේ නේවාසිකාගාරවල ඉන්න ළමයි වගයක් වෙන්න ඕන. පුදුම කරදරයක් තිබුනේ. අන්තිමට මේ තත්වය එඩ්වඩ් ජයකොඩි මහත්තයාටත් කරදරයක් වගේ උනා. හැබැයි මැද්දෙදි ඒ ළමයි නැගිටලා ගියා.

    මම සේවය කරන ආයතනයේම තරුණ කාර්යාල කාර්ය සහායක ළමයි කට්ටියකුත් ඇවිත් හිටිය. ඒ අයගෙත් කරදරේ මීට දෙවැනි උනේ නෑ. අන්තිමට මම වෙන තැනකට ගිහින් වාඩි වෙලා ෂෝ එක බැලුවේ.

    ReplyDelete
    Replies
    1. මාරම්බරී මාත් බලන්න යන්න ඉන්නෙ.. වෙන මොකකටවත් නෙමේ.මුව මුක්තාලතා පිපි හංසාගනා සින්දුව අහන්න.ඒ තරම් මං ඒ සින්දුවට ආසයි..

      ඔය වගෙ මෙලෝ රසවින්දනයක් නැති මිනිස්සුන්ට ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු සමාජ සේවයක් තියෙනවා.ඒ තමා තමන්ට රුචි නොවන දෙයට සහභාගී නොවී සිටිම.ඒකෙන් තමන්ටත් කරදරයක් නෑ.අනුන්ටත් කරදරයක් නෑ.

      Delete
  11. නාට්‍යයක් බලන්න බැරුව ගියා කාලෙකින්...

    දෙමව්පියො එක්කගෙන ගිහින් සල්ලි ගෙවලා පෙන්නනකොට ඒකේ අගයක් සමහර ළමයි හිතන්නේ නෑ.. පහසුවෙන් දේවල් ලැබෙනකොට වටිනාකමක් නෑනේ..

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නත් බෑ අප්පා ඉතින්.. අපිත් අම්මලා තාත්තලා එක්ක ගිහින්නේ බලන්නෙ.ඒ ළමයින්ට නාට්‍ය බලන්න කිසිම වුවමනාවක් තිබුණෙ නෑ.. ඒක තමා ගැටලුව මට හිතෙන්නෙ.

      Delete