Tuesday, September 27, 2016

රැය පහන් වෙලා යයි - නොවී නිදි දැහැන්..


කාලෙන් කාලට වැසි දැරියගෙ නිදි කාලසටහන වෙනස් වෙනවා. පුංචි ම කාලෙ මං නිදාගන්න පුරුදු වෙලා උන්නෙ උදේ හතට. ඒ අම්මා වෙලාව බලන්න උගන්නපු එකේ භයානක අතුරුඵලයක්.හරියට ම හත වෙන කොට ඇඳට පනින්න බලාගෙන ඉන්න මට නිදියන්න කලින් කවලා පොවලා මූණ සෝදවන්න ඒ කාලෙ අම්මලා පුදුම යුද්ධයක් කරලා තියෙන්නෙ. දැන් නම් එ්වා මතක් කර කර හිනා වෙනවා කට්ටියත් එක්ක.

උසස් පෙළ කරපු කාලෙ නම් මං රෑට වඩා නිදාගෙන ඇත්තෙ පාසල් බස් රියේ එන ගමන්. ඒ පූරුවෙ කරපු පවක් පල දීලා මුණ ගැහුණ කළ්‍යාණ මිත්‍රතුමීගෙ උරිස්සට ඔළුව තියාගෙන. ගමන් සගයාත් නින්ද යන කෙනෙක් නම් ඒක මහ භයානක වැඩක් තමා. ඒත් අපරාදෙ කියන්න බෑ මගෙ මිත්‍රතුමී රෑටවත් නින්ද නොයන ජාතියෙ එකෙක්. ඒ නිසා පන්තියෙ විභාගයක් නොතිබුණ හැම දවසකම මං බස් එකේදි හොඳට නිදා ගත්තා.

අනිත් එක තමා විවේක කාලච්ඡේදවල නිදාගැනීම.. මම කරපු විෂයන්වල නොගැළපීමක් තිබුණ නිසා සතියකට දවස් දෙකක්වත් මට හිස් කාලච්ඡේද දෙකක් අහුවෙනවාම තමයි. ඉතින් ඔය වෙලාවට මං කරන්නෙ පන්තිය පිටිපස්සෙම ෆෑන් එකක් හයි කරලා තියෙන තැනක පුටුවකට ගිහින් කාගෙ හරි බෑග් එකක් බදාගෙන සැපට නිදාගන්න එක. ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න විෂයන් උගන්වන්න ගොඩක් වෙලාවට අපේ පන්තිය තෝරා ගැනුනත් උසස්පෙළ ළමයින්ගෙ අවාසනාවන්ත ජීවන චක්කරේ ගැන දැන උන්නු ගුරුවරු වාසනාවකට වගේ ජීවිතේ කවදාවත් නිදාගෙන නෑ වගේ නිදාගන්න අපිට බාධාවක් කළේ නෑ. 

ඉස්සර එක විෂයක් ඉගෙන ගන්න ගියාම මට නින්ද යන තත්ත්වයක් තිබුණා. අපරාදෙ කියන්න බෑ හීනත් පෙනි පෙනි නින්ද යනවා. ඔන්න ඔය හේතුව නිසා ඒ පන්තියෙ හිටපු මගෙ හොඳ ම යාලුවො දෙන්නා ගාව නිතර ම තිබුණා තදින් උල් කරන ලද පැන්සල්.. දිග පැන්සල්.. ඒ නිසා උන් කොතැන වාඩි වෙලා හිටියත් මට නින්ද යාගෙන එනවා පේන කොටම කොහේ හරි ඉඳලා මට අනින්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම මං ගාවත් තිබුණා ඊටත් වඩා උල් කරන ලද පැන්සලක්. මොකද මට අනින්න ඉන්න උන් දෙන්නට හුඟක් වෙලාවට මටත් වඩා තදට නින්ද යන නිසා. ස්ලීපින් බියුටීස් කියා විරුදාවලියක් හිමි වුණත් අපි නෙමේ අපේ නින්ද අතෑරගත්තෙ. ඒක ඇත්තටම පාඩමේ ප්‍රශ්නයක් නිසා වුණ දෙයක් නෙමෙයි. පාඩම කොතෙක් රසවත් ව ඉගැන්වුවත් අපිට හැමදාම ඒ කාලච්ඡේද දෙක තිබුණේ විවේකයන් පස්සේ. ඔය වෙලාවට හිටගෙනත් නින්ද යන එකේ හොඳට හුළං හමන පන්ති කාමරේක ජනේලයක් ගාව වාඩි වෙලා ඉන්න අපිට නින්ද යන එක අරුමයක්යැ ඉතින්..

අනිත් එක ප්‍රධාන ම හේතුව තමා මං ඒ දවස්වල පාඩම් කළේ රෑ දෙගොඩහරි ජාමෙ. ඉතින් උදේට උදේට නිදිමත හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒ පාඩම් කරපුවට හරියන්නත් එක්ක අපි සියලු දෙනා ම සරසවි වරම් ලැබුවා. ඒත් ඒ දවස්වල පටන් ගත්ත නිදිවරන පුරුද්ද මේ වෙද්දිත් අපේ යාලුවන්ගෙන් ගොඩක් දෙනෙකුට අත හැරගන්න අමාරුයි.. කම්මැලි පොතක් හරි චිත්‍රපටියක් හරි හොයාගත්තොත් නම් ඉක්මණට නිදාගන්න පුළුවන්. ඒත් පොතක් අතට ගත්තම බිම තියන්න හිත හදාගන්න බැරි අපි පොත නොකියවා නිදාගනී කියල තමා බය..))

ඉතින් නිදි වරන එක නරක පුරුද්දක් වග දැන දැනත් මං සමහර දවසට මහ රැයක් වෙන තුරු ඇහැරිලා ඉන්නවා. හදවත අවදියෙන් තියෙද්දි නිදාගන්න කොහොමටත් බැහැ. අනෙක් අතට හුඟක් තරු සහිත දවස්වලට නින්ද ගියෙ නැතත් ප්‍රශ්නයක් නැහැ..

දිගු ම දිග රාත්‍රිය හෙමින් පියවර මනිත
මලක් වී නෙත් අරින ඒ ප්‍රභාතය ඔබය..

රාත්‍රිය ගැන ලියැවුණ අපූරු ම ගීයක ඒ වදන් පෙළ ඉයර්ෆෝන් ඇතුළෙන් ඇහෙද්දි එහෙම දවසට මං නිදි නොලබා රෑ කළුවර දිහා බලන් ඉන්නවා.. මහ රෑ දෙකහමාරට ජනේලෙ ඇරන් තරු දිහා බලා ඉන්න මේ කෙල්ලට පිස්සුද කියලා හිතන්න අසල්වාසීන් ඇහැරිලා නැති එකත් ලොකු දෙයක්.. ගෙදර කවුරු හරි අහම්බෙන් ඇහැරිලා මාව බලෙන් නින්දට යවන තුරු ඇතැම් දවසට මං කවි පදයක් - කතා පොඩ්ඩක් කුරුටු ගානවා. නිදි වරන එක වැරදි වග නොදන්නවා නොවෙයි. නිදිවැරීම විවිධ ආකාර ගණනාවකින් සෞඛ්‍යයට නරක විදියට බලපාන හැටි ගැන බොහෝ තැන්වලදි කියවලා තිබුණත් ඒක එක පාරට නැති කරගන්න අපහසු පුරුද්දක්.. තවම ටිකෙන් ටික උත්සාහ කරමිනුයි ඉන්නෙ..

මෙවැනි නිදිවර්ජිත රාත්‍රීන්වලදී ඉබේටම මතක් වෙන ගී පද කිහිපයක් තියෙනවා.. 

"ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදි වෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසූ මිහිරි කවී.."

"ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්.."

"නිම් වළල්ලෙන් එපිට සඳරැස් 
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතු වී
ඔබේ පා මුදු හඬ ඇසේ.."

තරු එළිය ගෙට එන එක නවත්තන්න ජනේලෙ වහන අතරෙ ඒ චවන හෙමිහිට මගේ දුරකථන මුහුණ මත සටහන් වෙනවා..

20 comments:

  1. ඉස්සර මම නිදාගන්නේ බොට්නි පීරියඩ් එකේදී...බොට්නි මිස් නොදැක්ක වගේ යනවා...ස්කූල් වෑන් එකේ, බස් වල හොඳට නිදියපු කාලයක් තිබුනා...ඒවාට නගින්නෙම නිදියන්න බලාගෙන...

    හැබැයි ඔහොම නිදිවරන්න නම් හොඳ නැහැ...තවම පොඩි එකී නිසා හොඳයි..ඕවයේ ප්‍රථිපල එන්නේ වයසත් එක්ක...මොළේ ස්නායු පද්ධතිය අඩපනවෙනවා...මතකයට බලපානවා...


    ලස්සන සටහනක් වර්ෂා...

    ReplyDelete
    Replies
    1. දැන් ටික ටික මගෙ කැත පුරුද්ද අතහැරගන්න උත්සාහ කරමින් අක්කෙ ඉන්නෙ.ඉස්සර වගේ දෙක තුන වෙනකම් දැන් නිදිවරන්නෙ නැහැ.දොළහමාරට විතර නිදාගන්නවා.

      ස්තූතියි වැස්සෙ තෙමෙන්න ආවට.. පොකුරු වැස්ස..!

      Delete
    2. Pokuru,

      / හැබැයි ඔහොම නිදිවරන්න නම් හොඳ නැහැ...තවම පොඩි එකී නිසා හොඳයි..ඕවයේ ප්‍රථිපල එන්නේ වයසත් එක්ක...මොළේ ස්නායු පද්ධතිය අඩපනවෙනවා.. /

      ආය වයසට යන්ට දෙයක් නෑ පොකුරු, දැනටම මේ යෝදිගෙ ඉස්නායු කරවෙලා තියෙන්නෙ. නැත්තං මේ වයසෙ ඔය තවත් ඉන්නෙ කොල්ලො කෙල්ලො. ඔය යස අගේට ඉන්නෙ එන් රිකේ බලන්ට ගිහිල්ල, අර මොනවද ගලවල ඉස්ටේජ් එකට දමා ගහල, අන්න එහෙමනෙ රටේ අනාගතය බාරගන්ට ඉන්න යොවුං පරපුර උනහම. මේක එහෙමද? ලිව්වොත් ලියන්නෙ හැට පැනපු අත්තම්මෙක් ලියන එව්ව. ඉස්නායු කරවෙලයි කියල ආය අහන්ටත් දෙයක්ද?

      Delete
    3. හපොයි අම්මේ.. මේ මං ගැන විතරක් දැනගෙන.මගෙ යාලුවො ටිකත් මං ජාතියෙම හැට පැනපු ආත්තම්මලා ටිකක්.උනුත් බ්ලොග් ලිව්වා නම් හෙම තමුන්නැහේ අපිට මොනවා කියයිද මන්දා..))))

      Delete
  2. I am getting sleepy only, not falling asleep in lectures

    ReplyDelete
  3. Replies
    1. I'm not deleting them.but when my identity is revealed by some people's comments who know me personally,I hide such posts.I don't want my family to read this blog,yet.one day it will be okey. but not yet! So, I'm staying anonymous.hope u'll understand..

      Delete
  4. නිදිමරන එක දැන් නම් මගෙත් පුරුද්දක් වෙලාද මන්දා.. ඉගෙන ගන්න කාලේ මම කිසිම විදිහකින් නිදි මරලා කට්ට කාල පාඩම් කල කෙනෙක් නෙමේ.. හරි සැහැල්ලුවෙන් ජොලියේ හිටපු කාලයක්..මගෙ නිදි මැරිමේ මහා ව්‍යාමය පටන ගන්නෙ අපේ දඟ මල්ලේ සම්ප්‍රාප්තිය සමඟ.. දැන් අවුරුදු 5 යි.. දැන් නම් මට මුලු රැම නිදි මරලා ආයේ උදේට නැගිටලා වැඩත් කරලා ආයෙත් රැට නිදි මරන්නත් පුලුවන්..:)

    වර්ෂා ඔයාගේ මේ අපූරු ලිපිය කියවලා මට හිතුනේ මේ ලියන අපි එක ගෙදර හිටියොත්...

    ReplyDelete
    Replies
    1. මම දහය වසරෙ පටන් ගත්ත රෑ නිදි වරන් පාඩම් කිරිල්ල දහතුන වසර වෙන තුරු පවත්වාගෙන අාව නෙව.. ඒ් අවුරුදු පහක පුරුද්ද අතහැරගන්න බැරි කරුමේ තමා දැන් වෙලා තියෙන්නෙ.

      පුංචි පැටව් හින්දා නිදිවැරිල්ල නම් හරි සුන්දරයිනේ නේද.. අපේ අම්මට ඒ කාලෙ පුරුද්දට තාම මං නිදාගනිද්දි මදුරු දැල දාගෙනද කියලා බලන්න හිතිලා රෑ ගැස්සිලා අැහැරෙනවලු..

      Delete
    2. අම්මෝ වර්ෂා, ඒ නිදිවැරිල්ල නම් සුන්දර නැ...මාස 8ක් විතර නම් හොඳට නිදාගත්තා, ඊට පස්සේ අවුරුදු 2.5ක් විතර පාන්දර 1-2 ඇහැරිලා සෙල්ලන් කරන්න ලැස්තිය.. මොන තරන් උත්හස කලත් ආයේ නිදාගත්තේ නැ.. ඊලඟ දවසත් ඒ වගේ.. සෑහෙන උත්සහයක් දරලා අවුරුදු 4 විතර වෙද්දි පුරුදු කරගත්තා මුලු රෑම නිදාගන්න. දැන් නම් 8 ට නිදි කලාම පහුවදා 6-7 වෙනකන් නිදි..

      හැබැයි දැන් මට නිදිමැරීම පුරුදු වෙලා,මගේ අවුරුදු 13ක පාසැල් කාලය කියන්නේ හරිම නිදහසේ හිටිය කාලයක්..රෑට අපි 4දෙනාම එකට එකතු වෙලා මොකක් හරි පිස්සුවක් කරනවා, සින්දු අහනවා.

      A/L වලින් පස්සේ තමයි මට හිතුනේ මේ විදිහට හැමදාම යන්න බැනේ කියලා..ඒ සිතුවිල්ල මාව නතර කලේ මම අද ඉන්න තැන...

      Delete
    3. පාන්දර ජාමෙ තුන්දෙනා එක්ක සෙල්ලන් කරද්දි මරුවට තියෙන්න ඇති නේද.. අපේ පුංචිගේ බබාලා දෙන්නත් ඔහොමයි.ළඟ ළඟ අවුරුදු දෙකක පරතරයක් තියෙන්නෙ දෙන්නගෙ.ඉතින් හිතාගන්නකො..

      මාත් දහය වසර වෙනකම් නිදහසේ උන්නා.ඒත් ඊට පසසෙ මං මහන්සි වෙලා පාඩම් කරන්න පටන් ගත්තා.ඒත් ඒ නිසා නිදහස නැති වුණාම කියලා මට ඒ තරම් හිතිලා නෑ.මොකද මම පාඩම් කරන එක කළේ ආසාවෙන්.අද ආපස්සට හැරිලා බලන කොට ඉතින් ලොකු සතුටක් දැනෙනවා.

      Delete
    4. ඇත්තෙන්ම වර්ෂා, දෙයක් කරන්නේ ආසාවෙන් නම් එපා වෙන්නේ නැ..

      අපේ ගෙදර වර්ෂා මම තනියෙන් නෙමේ කිසිම දෙයක් කරන්නේ, මේ බබා එක්ක නිදි මැරුව මුලු කාලෙම මගේ සැමියා, මල්ලි , අම්මා, වැඩට හිටිය අය හැමෝම මාත් එක්ක හැම මොහොතකම හිටියා.. අමතක නොවෙන අත්දැකිමක් අපි හැමෝටම..

      Delete
    5. ගොඩක් අය තමන් වටේ ඉන්න එක අලුත් අම්මා කෙනෙක්ට ලොකු හය්යක් නේද.. වැඩියත්ම තමන්ගෙම කියන කෙනෙක් ඉන්න එක.. වැඩ කරන්න කී දාහක් හිටියත් තමන්ගෙම අයගෙන් ලැබෙන සහයෝගය ගොඩක් වටිනවානෙ.

      Delete
    6. ඇත්තෙන්ම වටිනවා වර්ෂා.. ඒ වගේම අනිත් පුංචි හරි උදව්වක් කල හැමෝමත් මට වටිනවා.. එයලා නැත්නම් මම අද මෙහෙම සැහැල්ලුවෙන් ඉන්නේ නැනේ..

      Delete
  5. හපොයි නංගා බැඳල ජොබ් කට්ටක් සෙට් වෙන කල් නං මාත් ඉතිං නිදා ගත්ත තමයි.දැන් මං අවුලක් නැතුව නිදා ගන්න එකම වෙලාව වැඩට යන ගමං බස් වල.කොන්දයිය ෂේප් කරං ඉන්න හංද පොර බහින තැන ලං වෙනකොට ඇහැරවනව

    ReplyDelete
    Replies
    1. මට වෙලා තියෙන්නෙ නිදාගන්න වෙලාව තියෙද්දිත් බූරුවෙක් වගෙ ඇහැරිලා ඉන්න එක නොවැ ටීචර්..

      ටීචර්වත් කල්පනා කරලා මට දඬුවමක් දුන්නා නම්..)))

      Delete
  6. රෑට නිදි නොලබා ලයන දේවල් , දවල් කාලයේ ලියන දේවල් වලට වඩා ලස්සනයි කියල මට හිතෙනවා. රෑට නිදි නොලබා අසන ගීත දවල්ට ඇසෙන ගීත වලට වඩා හිතට වදිනවා කියල හිතෙනවා.

    අර නිදි නොලබා දුරකථනය මත සටහන් කරන්න තව එකක් මතක් කරන්නද?
    "සඳ තරු නිහඬයි "

    ReplyDelete
    Replies
    1. අන්තිමට බලාගෙන ගියාම අපි කවුරුත් නිශාචර ජීවිතේට ආසයි නේද..

      මවා නුවන් ඔබ
      ඔබේ තෙපුල් සර
      සිහිනයකින් මෙන් ගලා රැයේ..

      හම්මේ ඉතින්.. ඔය වගෙ සින්දුවක් ඇහෙන කොට ඉතින් තව වෙන මොනවද..?

      Delete