Showing posts with label සිනෙ වැහි බිංදු. Show all posts
Showing posts with label සිනෙ වැහි බිංදු. Show all posts

Thursday, March 3, 2016

24. අට වසරේ දුටු සිහිනය - මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

   
මා අට වසරේ දී පමණ දුෂ්කර පළාතක ගුරුතුමියක් වන්නට ඇත්නම් යැයි සිහින මැවූයෙමි. ඉනික්බිති දිගින් දිගට ම ඒ ගැන අවදියෙන් හිඳ සිහින දකින්නට පටන් ගතිමි. එය ඉතා මිහිරි සිහිනයක් විය. ඒ හීනයේ මම යොවුන් ගුරුතුමියක් වී උනිමි. දුෂ්කර පළාතක ඉගැන්වූ ගුරුවරයෙක් මගේ අනාගත පෙම්වතා වනු ඇති යැයි මම ඒ කාලයේ කල්පනා කෙළෙමි. රජරට හැඩහුරුකම් තිබූ පෙදෙසක මා ඒ නාඳුනන පෙම්වතා සමඟින් අත්වැල් බැඳ ඇවිදින යුරු ද, පුංචි දරු දැරියන්ට උගන්වන යුරු ද ඒ හීනවල කොටස් විය. අට වසරේ කෙල්ලක ලෙස මා දුටු සුන්දර ම සීනය එය විය.

නිවසට පැමිණි මව්පියන්ගේ හිතෛෂීහු මගෙන් අනාගත බලාපොරොත්තුව විමසූහ.

මම තනි වාක්‍යයකින් ඊට පිළිතුරු දුනිමි.

මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

ප්‍රශ්නය විමසූවෝ මුහුණින් මුහුණ බලා ගත්හ. වෛද්‍යවරියක වන්නට එසේත් නැත්නම් ගණකාධිකාරිවරියක වන්නට කිසිදාක මම සිහින නොදිටියෙමි. 

දිවුරමි! කිසිදාක මසිතේ එවන් සිහින පැන නැඟුණේ නැත.

ගුරු හීනයට මුල් වූයේ කුමක් දැ යි මම නොදනිමි. ඇතැම් විට මම මගේ දෙමව්පියන් වෙතින් දුටු පරමාදර්ශී ගුරු භූමිකාව වන්නට පිළිවන. එසේත් නැත්නම් රත්න ශ්‍රී විජේසිංහයන් මොණරාගල දුෂ්කර සේවයේ යෙදුණු කාලයේ ලියැවුණු සුන්දර කවි - ගීත ඊට උල්පත වූවා වෙන්නට පිළිවන.

බිම් තඹුරු මලයි ඔබ
මල් නැති සුදුවැලි යානේ
බිම්පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ..

වැනි මිහිරි ගීත ඔහු අතින් ලියැවෙන්නට ඇත්තේ මෙසමයේ යැයි මම විශ්වාස කෙළෙමි. ඒ ගුරු ජීවිතය කොතෙක් සුන්දර වන්නට ඇත්දැයි කල්පනා කොට පිනා ගියෙමි. ඒ මිහිරි හැඟුම් මේ හීනයේ උල්පත යැයි අද මට සිතෙයි.

හීනය අලුත්වැඩියා වූයේ දහය වසරේ දී ය. සාමාන්‍ය පෙළට පාඩම් කරන්න යැයි කියා මව්පියෝ කිසිදාක මට  බල නොකළහ. මම පාඩම් ද කළෙමි. නමුත් වැඩියෙන් කියැවූයේ නවකතා ය. දියණිය පාඩම් කළ යුතු යැයි කියා තාත්තා මට පොත් ගෙනැවිත් දීම නතර කළේ ද නැත. තමා යම් සුන්දර පොතක් කියැවූවා නම් මා ද එය කියවිය යුතු යැයි විශ්වාස කළ ඔහු හදවතට දැනුණ යමක් වෙතොත් එය මාතට ද පත් කළේ ය. එසේ මා අත පත් වූ පොතකි අලුත් ඉස්කෝලෙ හාමිනේ.. යන අපූරු ප්‍රබන්ධ කතාව!

එහි පරමාදර්ශී ගුරු යුවළක් විය. ඔවුන් දෙදෙනා ළඟ ළඟ පාසල් දෙකක සේවය කළ ගුරු යුවළකි. ඔවුන් තමන් සේවය කළ දුෂ්කර පාසල් ද්වයය දාඩිය මහන්සියෙන් ගොඩ නගන්නට අත්‍යන්තයෙන් ම වෙහෙස වූ අන්දම විදහා පෑ ඒ කතාව අදටත් මගේ ප්‍රියතම කෘති අතර ඉහළින් ම පවතින්නකි. ඒ කියැවීමත් සමඟ ම දුෂ්කර සේවා හීනය වඩාත් සුන්දර ලෙස දකින්නට පටන් ගතිමි.

ඒ අතරේ දුෂ්කර පළාතකට ගුරු පත්වීම් හිමි වූවන් විඳින නොවිඳිනා දුක්  දකිමි. ඉදිරියටත් දකින්නට සිදු වනු ඇත. එහෙත් පුදුමයකට මෙන් ඒ සියල්ල දැක දැකත් මගේ දුෂ්කර සේවා සිහිනය බොඳ ව නොයේ. ජීවිතය ඉදිරියේ කොතෙක් පහසු අවස්ථා තිබියදීත් ඒ සිහිනය දළු ලා වැඩෙයි. ඉතා කෙටි කාලයකට හෝ දුෂ්කර පාසලක ස්වේච්චාවෙන් උගන්වන්නට සිත් වෙයි.

ඒ දුක දකිද්දී මට හෝ ගානා පොකුණේ ගුරුතුමිය සිය පෙම්වතාට පවසන දෙබසක් සිහි වෙයි.

හිතුවට වඩා අමාරුයි.. 
ඒත් හිතුවට වඩා ලස්සනයි..                                                                                                                                                                                                          
ඒ අතරේ යමෙක් හෝ ගානා පොකුණ බලන්නට ගියේය. ඉනික්බිති මගේ දුරකථනයට කෙටි පණිවිඩියක් පැමිණ තිබිණි. එහි මෙසේ සඳහන් විය.

ඔයාට දුෂ්කර පළාතකට ගිහින් ඉගැන්නුවොත් ඒ ටීචර් වගේ ඉඳීවි..

ඔහු එසේ කියද්දී මට අට වසරේ දුටු සිහිනය සිහිපත් විය.