Thursday, March 3, 2016

අට වසරේ දුටු සිහිනය - මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

   
මා අට වසරේ දී පමණ දුෂ්කර පළාතක ගුරුතුමියක් වන්නට ඇත්නම් යැයි සිහින මැවූයෙමි. ඉනික්බිති දිගින් දිගට ම ඒ ගැන අවදියෙන් හිඳ සිහින දකින්නට පටන් ගතිමි. එය ඉතා මිහිරි සිහිනයක් විය. ඒ හීනයේ මම යොවුන් ගුරුතුමියක් වී උනිමි. දුෂ්කර පළාතක ඉගැන්වූ ගුරුවරයෙක් මගේ අනාගත පෙම්වතා වනු ඇති යැයි මම ඒ කාලයේ කල්පනා කෙළෙමි. රජරට හැඩහුරුකම් තිබූ පෙදෙසක මා ඒ නාඳුනන පෙම්වතා සමඟින් අත්වැල් බැඳ ඇවිදින යුරු ද, පුංචි දරු දැරියන්ට උගන්වන යුරු ද ඒ හීනවල කොටස් විය. අට වසරේ කෙල්ලක ලෙස මා දුටු සුන්දර ම සීනය එය විය.

නිවසට පැමිණි මව්පියන්ගේ හිතෛෂීහු මගෙන් අනාගත බලාපොරොත්තුව විමසූහ.

මම තනි වාක්‍යයකින් ඊට පිළිතුරු දුනිමි.

මං දුෂ්කර ඉස්කෝලෙක ටීචර් කෙනෙක් වෙන්නයි ආස..!!

ප්‍රශ්නය විමසූවෝ මුහුණින් මුහුණ බලා ගත්හ. වෛද්‍යවරියක වන්නට, ගණකාධිකාරිවරියක වන්නට කිසිදාක මම සිහින නොදිටියෙමි. 

දිවුරමි! කිසිදාක මසිතේ එවන් සිහින පැන නැඟුණේ නැත.

ගුරු හීනයට මුල් වූයේ කුමක් දැ යි මම නොදනිමි. ඇතැම් විට මම මගේ දෙමව්පියන් වෙතින් දුටු පරමාදර්ශී ගුරු භූමිකාව වන්නට පිළිවන. එසේත් නැත්නම් රත්න ශ්‍රී විජේසිංහයන් මොණරාගල දුෂ්කර සේවයේ යෙදුණු කාලයේ ලියැවුණු සුන්දර කවි - ගීත ඊට උල්පත වූවා වෙන්නට පිළිවන.

බිම් තඹුරු මලයි ඔබ
මල් නැති සුදුවැලි යානේ
බිම්පලස පුරා පිනි ඉහිරෙන
රෑ ගිම්හානේ..

වැනි මිහිරි ගීත ඔහු අතින් ලියැවෙන්නට ඇත්තේ මෙසමයේ යැයි මම විශ්වාස කෙළෙමි. ඒ ගුරු ජීවිතය කොතෙක් සුන්දර වන්නට ඇත්දැයි කල්පනා කොට පිනා ගියෙමි. ඒ මිහිරි හැඟුම් මේ හීනයේ උල්පත යැයි අද මට සිතෙයි.

හීනය අලුත්වැඩියා වූයේ දහය වසරේ දී ය. සාමාන්‍ය පෙළට පාඩම් කරන්න යැයි කියා මව්පියෝ කිසිදාක මට  බල නොකළහ. මම පාඩම් ද කළෙමි. නමුත් වැඩියෙන් කියැවූයේ නවකතා ය. දියණිය පාඩම් කළ යුතු යැයි කියා තාත්තා මට පොත් ගෙනැවිත් දීම නතර කළේ ද නැත. තමා යම් සුන්දර පොතක් කියැවූවා නම් මා ද එය කියවිය යුතු යැයි විශ්වාස කළ ඔහු හදවතට දැනුණ යමක් වෙතොත් එය මාතට ද පත් කළේ ය. එසේ මා අත පත් වූ පොතකි අලුත් ඉස්කෝලෙ හාමිනේ.. යන අපූරු ප්‍රබන්ධ කතාව!

එහි පරමාදර්ශී ගුරු යුවළක් විය. ඔවුන් දෙදෙනා ළඟ ළඟ පාසල් දෙකක සේවය කළ ගුරු යුවළකි. ඔවුන් තමන් සේවය කළ දුෂ්කර පාසල් ද්වයය දාඩිය මහන්සියෙන් ගොඩ නගන්නට අත්‍යන්තයෙන් ම වෙහෙස වූ අන්දම විදහා පෑ ඒ කතාව අදටත් මගේ ප්‍රියතම කෘති අතර ඉහළින් ම පවතින්නකි. ඒ කියැවීමත් සමඟ ම දුෂ්කර සේවා හීනය වඩාත් සුන්දර ලෙස දකින්නට පටන් ගතිමි.

ඒ අතරේ මගේ පුංචිඅම්මා කෙනෙකුට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් හිමි විය. ඈ අදටත් සත් වසක් තිස්සේ නොවිඳිනා දුක් විඳියි. ඒ බව දුටිමි. දකිමින් සිටිමි. ඉදිරියටත් දකින්නට සිදු වනු ඇත. එහෙත් පුදුමයකට මෙන් ඒ සියල්ල දැක දැකත් මගේ දුෂ්කර සේවා සිහිනය බොඳ ව නොයේ..

ඒ දුක දකිද්දී මට හෝ ගානා පොකුණේ ගුරුතුමිය සිය පෙම්වතාට පවසන දෙබසක් සිහි වෙයි.

හිතුවට වඩා අමාරුයි.. 
ඒත් හිතුවට වඩා ලස්සනයි..                                                                                                                                                                                                          
ඒ අතරේ යමෙක් හෝ ගානා පොකුණ බලන්නට ගියේය. ඉනික්බිති මගේ දුරකථනයට කෙටි පණිවිඩියක් පැමිණ තිබිණි. එහි මෙසේ සඳහන් විය.

ඔයාට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් ලැබුණොත් ඒ ටීචර් වගේ ඉඳීවි..

ඔහු එසේ කියද්දී මට අට වසරේ දුටු සිහිනය සිහිපත් විය.      

58 comments:

  1. කවදා හෝ කෙටි කාලයකට හෝ ඔබේ සිහිනය සැබෑ කරගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉයන්.. ඒක හැබෑ කරගන්න හිතාගෙන ම දැකපු හීනයක්..))

      Delete
  2. මේ වැහි බිංදුව මගේ හිතට කවදාවත් පොඩි කාලේදී නම් ආවේ නෑ එත් මහියංගනේ දුෂ්කර ඉස්කෝලෙකට ගිය වෙලාවක තමයි මට ඒ හීනේ හිතට ආවේ.... කොහොමත් නගරේ ළමයි දැනුම හොයාගෙන යනවා. එත් ගමේ ළමයින්ට ඉස්කෝලෙන් හම්බවෙන දේ විතරයි... මටත් ඕනේ එයාලගේ හීන වලට පාර පෙන්නන්න විතරක් නෙමෙයි ඒ හීන හැබෑ කරගන්න එක්කගෙන යන්න. මට ඒ දේ පුළුවන් උනොත් කරනවා.... මගේ ජීවිතේ එක ප්‍රශ්නයක් එනවා ඒත්.... ඔයාගේ අට වසරේ හීනේ මට සමීපයි

    ReplyDelete
    Replies
    1. හීන පෙන්නුවට මදි ඒවා හැබෑ කරගන්න ගුරුවරු උදව් වෙන්න ඕන.. ඒක ඇත්ත.. හරියට හෝ ගාන පොකුණෙ වගේ..))

      Delete
  3. මගෙත් සුබ පැතුම්....

    සිහිනය දුටු අයුරින්ම ඉටු වේවා....
    කොළඹට වඩා දශක ගානක් පස්සෙන් කළුවරේ ඉන්න ඒ දරුවන්ට ටික කාලෙකට හරි ආලෝකයක් වෙන්න ...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විභීෂණ..

      ඒ දරුවො හැබැයි කොළඹ ළමයින්ට වඩා ගොඩක් දේවල්වලින් ආලෝකවත්..))

      Delete
    2. මනුස්ස කම අතින්....

      Delete
    3. ඔව් මේ තරඟයෙන් පිස්සු වැටිල දුවන නාගරික ළමයි ගාව නැති හුඟක් යහපත්කම් ඒ ළමයි ගාව තියෙනවා..))

      Delete
    4. ඇත්තම නාගරික ළමයි බලාගන්න ඕන නම් බිග් මැච් කාලෙට කොළඹ එන්න..

      Delete
    5. ...))

      //පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයන්//

      Delete
  4. මට නම් ගුරුවරයෙක් වෙන්න කවදාවත් උවමනා උනේ නෑ. මට කාටවත් දෙයක් උගන්නන්න පුළුවන් වෙයි කියල හිතුවෙත් නෑ. මට උවමනා උනේ මොන තනතුරට හරි දුම්රිය සේවයට බැඳෙන්න (තවමත් ඒ ආශාව තියනවා). ඒත්, ජීවිතේ අපිව අරං යන්නේ අපිට ඕනේ විදියටම නෙවේ.
    ඉතිං, ඉස්කෝලේ 11 වසරේ ඉගෙනගන්න කාලෙම, දහම් පාසලෙන් ගුරු භූමිකාවට පිවිසෙන්න ලැබුනා. පස්සේ 2011, දහම් පාසලේ ස්ථිර ගුරුවරයෙක් විදියට ආචාර්ය මණ්ඩලයට එකතු උනා. අදටත් මම එතන ඉගැන්වීම් කටයුතු කරනවා.
    අපේ දහම් පාසලත් ටිකක් විතර ගැමි දහම් පාසලක්. ගුරු ජීවිතේ හරි හොඳයි. මම නම් සේවය කරන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. රජයෙන් දෙන ඇඳුම්, පුස්තකාල දීමනා, කිසි දෙයක් භාර ගන්නේ නෑ.
    ගුරුවරයෙක්/ වරියක් වෙන එකට ආස නම්, කැපවීමෙන් කරනවා නම්, තමන් උගන්නන්න දේට වඩා සෑහෙන්න වටිනා දේවල් ළමයින්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන්. ජීවිතේට ලොකු හයියක් වෙන අත්දැකීම් ගානක් ගන්න පුළුවන්.
    කවදා හෝ ගුරු සිහිනය සැබෑ වේවා කියා ප්‍රාර්ථනා කරනවා!

    ReplyDelete
    Replies
    1. අපි කැමති දේ ම වෙන්නේ නෑ තමා ජීවිතේ.. ඒත් වෙනස් විදියකට හරි හීන ඉෂ්ට කරගන්න උත්සාහ කරනවා..))

      ඒ කැපවීම හරි වටිනවා.අඟහරුවා හොඳ ගුරුවරයෙක් වගේ..!

      පැතුමටත් බොහොම ස්තූතියි..!

      Delete
    2. අඟහරු,
      මං 2002 ලිව්ව ස්ටේෂන් මාස්ටර් විභාගෙ. පාස් උනා. රාජ්‍ය පරිපාලනේ උං පිස්සුවක් කෙළල මට දුන්න සාමාන්‍ය ලිපිකරු තනතුර...

      මං හිතන්නෙ තාම තියෙනව දුම්රිය ස්ථානාධිපති විභාගෙ වගේම, දුම්රිය කාල ගණක ලිපිකරු විභාගෙත්. ගැසට් එක නිතර බලල ලියහං. උඹට පුළුවං පාස් වෙන්න...

      Delete
    3. ස්තුතියි ඔත්තුවට!

      Delete
  5. මගෙනුත් සුබ පැතුම් ඔයාගෙ හීනයට..

    ReplyDelete
  6. ඔයාට පුළුවං. අර "සිත්තරී මං" ෂෝයි ටීචර් කෙනෙක් වෙලා ඉන්නෙ, එයා ෆේස්බුක් දාන පොටෝ වල හැටියටනං දුෂ්කර සුන්දර ගමක එයා උගන්නන්නෙ.

    ඔයාට පුළුවං. ඕනෑකම ඕනෑතරම තියෙනවනං මොනවද කරන්න බැරි?

    ReplyDelete
    Replies
    1. ඔව් ශැල්වින් අක්කා නේද.. එයා ගැන මේ ලිපියෙ වචනයක් ලියන්න බැරි වුණා..

      ජීවිතේ අපිව කොයි පැත්තකට ගෙනියයිද කියල කවුද දන්නෙ.. ඒත් ඒ හීනය ඇත්තක් කරගන්න උත්සාහ කරනවා..))

      Delete
  7. ඔව්, අර sms එක හරි, ඒවගේ ටීච කෙනෙක් වෙන්න, එහම අය තම අවශ්‍ය . හැබෑම විප්ලවය වෙන්නේ මිනිස්සු ජීවත් වෙන්න කරන අරගලයට උදව් කිරීම , හීනය සැබෑ වෙන්න magen

    ReplyDelete
    Replies
    1. මං විතරක් නොවේ ඒ එස්.එම්.එස් එක එවපු කෙනාගෙත් බලාපොරොත්තුව ඒ හැබෑ අරගලය ඇත්තක් කිරීම තමා.. වඩා හොඳ ලෝකයක් හදන පැතුමින් අපි වැඩ කරනවා..

      Delete
  8. ‘‘ඔයාට දුෂ්කර පළාතකට ගුරු පත්වීමක් ලැබුණොත් ඒ ටීචර් වගේ ඉඳීවි...‘‘

    ඔයා ඒ දුෂ්කර ඉස්කෝලෙට ගියාම මමත් එන්නම් ළමයි එක්ක ඉන්න.. දවසක.. මම සිත්තරීටත් එන්නම් එන්නම් කිව්වට තාම නම් යන්න බැරිවුණා.

    ReplyDelete
    Replies
    1. සිත්තරී අක්කට නම් අඩු ගාණේ පත්වීම ලැබුණටත් පස්සෙ කියල තියෙන්නෙ.. තාම කැම්පස්වත් ගියෙ නැති මට දැන්ම පොරොන්දු දෙනව.. අනේ මන්ද මේ ළමයා..)))

      අද දෙවෙනි වතාවටත් තරංගනී රෙසිකා ප්‍රනාන්දු කියල ගෑල්ලමයෙක්ගෙ කවි පොතක් කියෙව්වලු අම්මයි මායි..))

      Delete
  9. එහෙනම් ඒ සිහිනය සැබැ වේවා...!!!

    ReplyDelete
  10. ඇස් බොඳ වී ගියත්
    හඬනු මැලි විය සුරත්
    චක්‍ර ලේඛන වල
    හඬන්නට අවසර නැත..

    මතක් වුනා හදිසියේම "තරු ලකුණ "

    හීන පස්සේ දුවගෙන යන්න නංගි. කවද හරි ආපහු හැරිලා බලල සතුටු වෙන්න පුළුවන් එහෙම හැබෑ කරගත්තු හීන ගැන විතරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් හීන තමා දවසක හැබෑ වෙන්නෙ..))

      තරු ලකුණෙ මෙහෙමත් තිබුණා මතකයි..

      හාමත් පැටවුන්ට දුක සැපතැයි සිතන
      පහනක් වෙමින් බැබළී පාසල මුදුන‍
      නොනිමී සුළඟින් සිව් දිග සිට හමන
      අවුලා ලිය යුතු දස දහසක් නුවණ

      සමනොළ ගල වනන්තරේ මල් යහන
      සකිසඳ නුඹ එම යහනට සඳපහන
      සිඹ සනහා එහි නිදනා කිරි සිහින
      කිරි මව්දෝ නුඹ සුමිතුර කිරි පොවන

      Delete
  11. සිහින ඉටුවේවා !
    එදා කිව්වට අදයි බ්ලොග් එක පැත්‍තෙ එන්න හම්බුනේ.
    ලියවිලි එකින් එක කියවන්න පටන්ගත්තා.
    වෙලාවක
    අපේ පැත්තෙත් ඇවිල්ල යන්ඩ.

    www.sandapahana.blogspot.com

    ReplyDelete
    Replies
    1. ස්තූති වේවා ලොකු අය්යේ..!!

      මාත් ඒ පැත්තෙ එන්න හිතන් උන්නෙ.එන්න බැරි වුණා..))

      Delete
  12. මම හිතන්නෙ නෑ ඕක එච්චර අමාරු හීනයක් කියල හැබෑ කරගන්න. දුෂ්කර සේවයට යන්නට බහුතරයක් අකමැති නිසා බොහොම ලේසියෙන් පත්වීම ලැබෙයි.

    බඳිනකොට අපෙ උන්දැත් හිටියෙ දුෂ්කර සේවයෙ. ඒ කාලෙ පාසල් වර්ගීකරණයක් තිබ්බ. ප්‍රියමනාප, ප්‍රියමනාප නොවන, දුෂ්කර නොවන , දුෂ්කර, අති දුෂ්කර ..ඔන්න ඔහොම. අති දුෂ්කර එකක අවුරුදු දෙකයි, දුෂ්කර එකක නම් අවුරුදු තුනයි, දුෂ්කර නොවන එකක අවුරුදු පහයි..දුෂ්කර සේවය සම්පූර්ණ වෙන්ට ඒ අදාල කාලසීමාවන් අනිවාර්යයෙන් රාජකාරී කරන්න ඕන.

    ඒ දුෂ්කර පාසලේ සේවය කල කාලසීමාව හරිම සොඳුරු අත්දැකීම් බහුල කාලයක්. ඈ වගේම මටත්. මොකද මමත් ඇගේ පාසලේ කටයුතු වලට නිතරම සහභාගී වෙලා, අධ්‍යාපන විනෝද චාරිකා එහෙම ගිහිල්ල විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලයෙ බොහෝ දෙනෙක් මගෙත් හිතවතුන් බවට පත්වෙලා තිබුණෙ....:)

    ReplyDelete
    Replies
    1. ගුරුවරියක සමඟ මගේ ජීවිතය කියා ලියන්නෙ ඔය ඒ කාලෙ කාපු කටු නෙව.. නේද?

      Delete
  13. වැසි................

    කරන්නට හැකි නං ජීවිතයේ කළ යුතුම වැඩක් තමා ඔබේ හීනය. මටත් කුඩා කාලයේ වෛද්‍යවරයෙකු හෝ ඉංජිනේරුවෙකු වීමට අවශ්‍ය වූයේ නැත. නමුත් මොන හෝ වාසනාවකට මං අකමැති ම කොළඹට නොගිහින් ඉහ කෙලින් තියාගෙන ඉන්න හැකි රස්සාවක් කරන්නට මට පිටපලාතකට වී සිටීමට හැකියාව ලැබී ඇත. නමුත් මේ රැකියාව ගැනත් මා මහා සතුටක් ඇත්තේ නැතිබවත් කිව යුතුමයි. ඒත් මං ජීවත් වෙන රස්සාව සහ මේ තුළින් ද කළ හැක්ක කරන්නට කැපවී සිටින බැවින් මා මෙයට දොස් කියන්නේද නැත. නමුත් හැකි පමණින් මේ පැත්තේ ඇති දුෂ්කර පාසල් වලට හැකි උදව් කරමින් සතුටක් ලැබීමට මට සහ බිරිදට හැකියාව ලැබී තිබෙන්නේ වාසනාවකටැයි සිතෙයි. මොනවා වුණත් දුෂ්කර පාසලකට යෑමට ඔබට හැකිනම් ඒක ජීවිතයේ හැබෑ සතුටක් ලැබිය හැකි කාරණාවක් බව නං නොකියාම බැරිය. හැකිනං උත්සහ කරන්න. හැකි වුවොත් ඒ ජීවිතය විදින්න. එවිට ජීවත් වෙන බව දැනේවි........

    ReplyDelete
    Replies
    1. කොළඹ ජීවත් වෙන කොට තමා ඈත පළාතක ජීවත් වෙන්න තියෙනව නම් කොයි තරම් වටිනවද කියල හිතෙන්නෙ.. එහෙම පළාතක මිනිස්සුන්ට උදව් කරන්න ලැබීම ලොකු වාසනාවක් තමා..!

      Delete
  14. ඔය හීනෙ මමත් දකිනවා අක්කෙ.අක්කගෙ හීනෙ සැබෑ වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගා.. ඔයාගෙත් හීනය සැබෑ වෙන්න කියල ඔන්න මාත් ප්රාර්ථනා කරනව..!!

      Delete
  15. හීනය සැබෑවී පොඩි එවුන්ට ජීවිතය උගන්නන දෙවනි අම්මා කෙනෙක්වීමට වාසනාව ලැබේවා.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුමට කටුස්සෝ..!!

      Delete
  16. මම දැනටම ගම්බද පාසලක ගුරු වරියක්...මුල් බැහැ ගත්ත එක එක දුර්මත මැද ඒ දරුවන්ට හීන දකින්න උගන්නන එක හිතුවට චඩා අමාරුයි නංගී...ඒත් ඒ මතක හරි සුන්දරයි...මං අද ඒ සුන්දරත්වය අත් විඳිනවා...පුද්ගලික ජීවිතයටනං ටිකක් කරදරයක් තමයි
    ඔයාට සුභ පතනවා

    ReplyDelete
    Replies
    1. දැනගන්න ලැබුණු එක සතුටක්.. මං ඒ බ්ලොග් එක පැත්තේ ආවා..

      පැතුමට බොහොම ස්තූතියි අක්කේ..!!

      Delete
  17. ඔයාගේ හීනෙට මගෙන් සුබ පැතුම් වැසි කෙල්ලේ...මටත් ආසාවක් තියනවා ගුරුවරයෙක් හරි වෙනත් රැකියාවකින් හරි දුෂ්කර පැත්තක කරන්න ආසාවක් තියනවා මට...ඒ ගමේ මිනිස්සුන්ට උදව් කරන්න...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ... ගොඩක් ස්තූතියි.. අපි තමන් ගැන දකින හීනවලට වඩා අනුන් ගැන දකින හීන ලස්සනයි.

      Delete
  18. අපූරු හීන...ඒ හීන කොයිතරම් කටුක සත්යයකට අයිති වුනත්...ඒ හීන අපූරුයි

    ReplyDelete
    Replies
    1. ඔව්.. අනුන් වෙනුවෙන් දකින හීන..))

      Delete
  19. මගෙ සිහිනේ
    මගෙ සිහිනේ
    තඩි කැමරාවක් බෙල්ලේ බැදගෙනා
    ලස්සන පිංතූර ගැනුමටා......
    පිස්සෙක් වාගේ....පිස්සෙක් වාගේ....

    සුබ පතමි ඔබේ සිහිනය සැබෑ වෙන්නට...
    මහා වැස්සකින් ඔබේ සිහිනය සාර වේවා

    ReplyDelete
    Replies
    1. ටු බී අ ෆොටෝග්‍රැෆර්... ඒකත් නරක නෑ.. ඔයාගෙත් සිහිනය සැබෑ වේවා එහෙනම්..))

      Delete
    2. යා...යා....ෆොටෝග්‍රෑපර්......
      ටැංකූ...වැසී..

      Delete
    3. යූ ආ වෙල්කම් වෙන්ඩ ෆොටෝග්‍රැෆර්..))

      Delete
  20. ඕං මාත් මේ පැත්තේ ආවා . සිහිනයට සුභ පැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ආදරෙන් පිළිගන්නවා වැස්සෙ තෙමන්නෙ.. අපේ මෙත්මලී අක්කා හෙම නෙවෙයිනෙ නේද..??

      Delete
  21. මගෙත් හීනයක් තියෙනවා...ඒ හීනය ඉෂ්ට වේවා කියලා හිතාගෙන ජීවත් වෙනවා...මම කැමතියි වෛද්‍යවරයෙක් වෙන්න ලැබුනොත් පළවෙනි පත්වීම පිටිසර පලාතකට ලැබෙනවා නම්..ඒක හීනයක් වගෙ...ඒ හීනෙ ඉෂ්ට වෙන්න නම් මුළින්ම වෛදැයවරයෙක් වෙන්න එපැයි...එහෙම වෙන්න ලැබුනොත් කොහොම හරි මේ හීනෙත් ඉෂ්ට කර ගන්නවා...
    ලස්සනට ලියලා ඔයා ..හීනේ ඉෂ්ට වෙන්න පතනවා හදවතින්ම..

    ReplyDelete
    Replies
    1. දිළිඳු අහිංසක මිනිස්සුන්ට උපකාර කරනවා තරම් සතුටක් නාගරික ව කරන සේවයකින් ලබන්න අමාරුයි අමා.. ඔයාගෙත් හීනය ඉෂ්ට වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.වෛද්‍යවරයෙක් වෙන්න ලැබුණොත් නෙමේ... ඒ අරමුණ වෙනුවෙන් වැඩ කරන්න.පස්සෙ දීර්ඝකාලීන ව බ්ලොග් ලියමු.. දැන් මහන්සි වෙලා වැඩ කරන්න..))

      Delete
  22. කවද හරි ඔය හීනෙ හැබෑ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව.
    මටත් පොඩි කාලෙ ඔයවගේ හීනයක් තිබ්බා...හැබැය් ඒක හැබෑ කරගන්න මට පුලුවන් වුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුමට..

      ඉටු වෙන - නොවෙන හීන තියෙනවා තමා... ඒත් තාමත් පරක්කු නෑ..))

      Delete
  23. ලකියගේ අම්මා වගේ . අවුරුදු 30 ක් අති දුෂ්කර පාසලක . අදටත් ඒ පාසලට විදුලියවත් නෑ . අවසානයේදී විවාහ උනේ ගමේ ග්‍රාම නිලධාරියා උන මගේ පියා සමග :)
    දැන් කොලොම්පුරේ දිවි ගෙවුවට ලකියත් ශිෂ්සත්වේ වෙනකන් ගියේ ඔය පාසලට. ඔබේ හීනයට ජය . මේ සම්බන්දව ලකියාගේ සිතට තදින්ම වැදුන සින්දුවක ලින්කුවකුත් මේ ගමන් දානවා . නිකන් කහනවට වගේ :p
    https://www.youtube.com/watch?v=aGm8kx5q9I4

    ReplyDelete
    Replies
    1. අම්මටයි තාත්තටයි අපූරු අතීතයක් තියෙන්න ඇති..))

      පැතුමටත් බොහොම ස්තූතියි..))

      හය්යෙන් කෑ ගහලා කියන සින්දුවලට මගෙ වැඩි මනාපයක් නම් නෑ.මේ ගීතයෙ රූප රචනාව නම් වරදක් නැහැ.ආපසු ගමන කෙටිකතාවෙ හෙවණැල්ලකුත් රූප රචනාවෙන් පෙනුණ..))

      Delete