Tuesday, March 15, 2016

සොඳුරු අඳුර..

මේ දිනවල රැයට අන්ධකාරයි.. කළුවරින් වැහිලා. මේ විදුලි විසන්ධි වීම උස්තැන්වල මැදිහත් වීමෙන් සිදු වන්නේ නම් එය පිළිකුල් සහගතයි. නමුත් මේ කියන්න යන්නෙ ඒ ගැන නොවෙයි.. විදුලි විසන්ධියත් සමඟ ඇති වුණු සොඳුරු අඳුර ගැනයි..

විදුලි විසන්ධි වීම අපේ ගෙදර ඇත්තන්ට නම් කොහොමටත් ලොකු ගැටලුවක් නොවෙයි. ගෙදර රූපවාහිනියක් නැති නිසා ගෘහස්ත හිංසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් බඳු වස්සානේ ප්‍රේමයටවත්, අනන්තයෙන් ආ තරු කුමාරයන්ටත්, අහස පළාගෙන මතු වෙන ගායන සහ නර්තන තරුවලටත් අපේ ගෙදර කිසිම තැනක් නැහැ.. ගැටලුවක් ඇති වෙනව නම් ඇති වෙන්නෙ අඳුරේ පොත් කියවන්න අකුරු නොපෙනෙන නිසා පමණයි.. ඒත් ඒකත් ගණන් නොගත යුතු තරමට මේ අන්ධකාරය අපට එකිනෙකා හා සංවාද වෙන්න සුන්දර වටපිටාවක් තනා දෙනවා. 

ඊයෙ සුමින්ද කිත්සිරි ගුණරත්න, අපේ පරම්පරාවේ ප්‍රතිභාපූර්ණ ම කවියාගේ නව කවිපොත පිළිබඳ මිහිරි ඇගයුමක් පැවතුණා. එය නිම වී අම්මාත් - මාත් නිවසට එද්දි රෑ බෝ වෙලා. ගෙදර ඇත්තො අන්ධකාරෙ ඉටි පහන් දල්වාගෙන අපි එන තුරු බලන් ඉන්නවා. විදුලිය නැවත ලැබෙන තුරු අපි ජීවිතේ ගැන, සාහිත්‍යය ගැන කතාබහේ නියැලුණා. අ.පො.ස විභාගත් එක්ක පැටලෙමින් ගෙවුණ ජීවිතේ පහු කාලෙදී එහෙම සුන්දර සංවාදවල නිමග්න වෙන්න ලැබුණු කාලය අඩුයි.. ඒත් මේ අන්ධකාරය විසින් ඉබේම මනුස්සකම්වලට - කවි කතන්දරවලට මතු වෙන්න කාලෙ සකසලා දෙනවා.. ඒක පුදුමාකාර මිහිරක්..!! 

ඒ අතරෙ මං විභාගය සමත් වීම වෙනුවෙන් අපේ අසරණ තාත්තට ගෙවන්න වුණු දඩය අතරට එක් වෙලා තිබුණ ස්ටෙෆ්නි මේයර් කියන මැජික්කාරිගෙ ට්වයිලයිට් කෘතිය ( ඔව්.. ඔව්.. ෆිලුම් එක හැදුවෙ ඒ පොතෙන් තමා) මාව අමන්දානන්දයට පත් කරමින් තිබුණ වෙලාවක විදුලි විසන්ධි වීම කියැවීමට බාධාවක් කරගන්න හිත් දුන්නෙ නැහැ. ඒ නිසා කට්ට කළුවරේ තමා එඩ්වඩ්, බෙලාට ආදරය ප්‍රකාශ කරන අන්දම කියෙව්වෙ.. පුංචි විදුලි පන්දමක් ආධාරයෙන්. වැම්පයර් කොලුවෙකුත් - මනුස්ස කෙල්ලෙකුත් අතර ඇති වුණ මේ අසාමාන්‍ය ආදර අන්දරය තනිවම බෙදා ගැනීම වරදක් යැයි හිතුණ නිසා ඒ මොහොතෙ මගෙ සමීප ම මිතුරියකට කෙටි පණිවිඩයකුත් කෙටුවා කලුවරේ ම. ඇගෙන් හැරෙන තැපෑලෙන් ආවා තරමක් දිගු කෙටි පණිවිඩයක්..

Enjoying the bliss of darkness in the company of a glowing candle.. 

ඒ කෙටි පණිවිඩයෙ තැනක එහෙම සටහන් ව තිබුණා. අන්ධකාරය සාපයකැයි නොසිතා එය අත් විඳින්නට පුළුවන් මිතුරු සිත් සිටීම වාසනාවකැයි සිතන ගමන් ම මම තව දුරටත් ට්වයිලයිට් නමැති මන්ද්‍ර අන්ධකාරය ඇතුළෙ කරක් ගැහුවා..

රූප පෙට්ටියෙන් එහා ගිය ජීවිතයක් තමන්ට තිබෙන බව මතක් කරගන්න මේ මොහොතෙ අපිට හැකි වුණොත් ඒක අන්ධකාරයෙන් උදා කර ගත හැකි අපූර්ව ආලෝක පුංජයක් යැයි සිතෙනවා.. 

53 comments:

  1. හෙහ්..කතාව නම් ඇත්තම ඇත්ත. ලයිට් ගිහාම නිකං විදුලිබල ඇමතිගෙ අම්මගෙ ඉඳල මීටරේ කියවන්ට එන කොලුවගෙ බාප්පා දක්වා සියලු හුදී ජනයාගෙ ජාතකේ හොයා බලන්ට දඟලල නිකං ලේ රත්කර ගන්න වෙලාවෙ හොඳ තේ කෝප්ප දෙකකුත් හදාගෙන අපි දෙන්න නම් කරන්නෙසඳළුතලේ සනීප පුටු දෙකක දිග ඇදිල බොහෝ විට මෞන ව්‍රතය රකිමින් අවශ්‍යම විට වදනක් දෙකක් පමණක් කතා කරමින් විදුලි එළියට වැසී තිබී අඳුර නිසාම මතුව එන සොබා අසිරිය නැරඹීම.

    ස්තූතියි වර්ෂා....තනිකරම වියුණු සටහනක් ලිවිය යුතු මාතෘකාවක් මතක් කරල දුන්නට...

    අපූරු ලියවිල්ල..ඒක කියන්ට අතපහු වුනා නෙව..සමාවෙන්න...:)

    ReplyDelete
    Replies
    1. අන්ධකාරෙ සංවාදවලටත් වඩා සුන්දර දෙයක් තමා මඳ අඳුරේ මෞන ව්රතය රකින එක.. අත්දැකීමෙන් දන්නව.. ඒත් ට්වයිලයිට් කියැවීම පැත්තක දාලා නිහඬතාව අත් විඳින්න මොන ජගතටද පුළුවන්..??

      ස්තූති එපා.. අර ඉස්සර ලියුව වගේ අපූරු වියුණු සටහනක් දිග ඇරෙන තුරු එහෙනම් ඔන්න අපි බලන් ඉන්නව..))

      ඔහේ හිතට ආවට කුරුටු ගෑවෙ.. ඇගයුමට තුති..!!

      Delete
  2. Replies
    1. ස්තූතියි කුරුට්ටනි.. මෙහෙ ආවට..!

      Delete
  3. ඔය පාර නම් ලයිට් ගියේ හේතුවක් ඇතුව. දේශපාලන නෙවේ. ග්‍රිඩ් ඒකෙ එක තැනක ෆේල් උනාම අනික් ප්ලාන්ට්ස් ඕවර් පවර් වෙන එක වලක්වන්න තමා එහෙම කරන්නේ. ඊට පස්සේ සිස්ටම් එක ලෝඩ් කරන්න ටික වෙලාවක් යනවා.

    ඒ ලයිට් කපපු වෙලාව නම් නියමයි තමා. මෙහෙත් අප්පච්චියි මමයි නැන්දයි අපි සෙට් එක එකතු වෙලා එලියට වෙලා කයියක් දාගෙන හිටියා. පරණ කාලේ කතන්දර, අප්පච්චිලගේ පොඩි කාලේ ජීවිතේ... ඒක නම් සොඳුරු කතා බහක්ම තමයි.
    මට හිතුනෙම, ඒ කාලේ ලයිට් නැති ජීවිතේ කොයි තරම් නිදහස් ද කියලා..

    ReplyDelete
    Replies
    1. කෘතිම විදුලි ආලෝකය ඇතුළෙ අපිට ජීවිතේ කොයි තරම් දේවල් මඟෑරිලා තියෙනවද කියල හිතෙනව..))

      Delete
  4. ඔය අඳුර, තනිකම, විරහව... හැම එකටම මේ වගේ ස්වාභාවයක් තියනව. එකකට නෑ! එ් තමා දාඩිය දාන එක.

    //ගෙදර රූපවාහිනියක් නැති නිසා ගෘහස්ත හිංසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් බඳු වස්සානේ ප්‍රේමයටවත්, අනන්තයෙන් ආ තරු කුමාරයන්ටත්, අහස පළාගෙන මතු වෙන ගායන සහ නර්තන තරුවලටත් අපේ ගෙදර කිසිම තැනක් නැහැ

    පිං කල අය මළාම එන්නෙ ඔයාලගෙ ගෙදරටද? :) :D

    ReplyDelete
    Replies
    1. විදුලි පංකා භාවිතය හුරු වෙච්ච අයට නම් විදුලි විසන්ධිය සෑහෙන්න අපහසුයි තමා..))

      පිං කියල අමුතුවෙන් කරන්න දෙයක් නෑ අලියො.. ඔය යකාගෙ පෙට්ටියෙ වයර් ටික ගලවල දැම්ම නම් නිකංම බොහොමයක් ගැටලු විසඳෙනව.. ලංකාවේ බාල මහලු රසික පර්ෂදය රූප පෙට්ටියෙන් අත්මිදීම ක්‍රියාවේ යොදවන්නැතිකම නොවැ වරද!!

      Delete
    2. Fan නැතුව ඉන්න පුලුවන්ද ළමයා, වෙනදට මන්ද, මේ දවස්වල? :O ගමේ ගියානං පුලුවං ඉතිං!

      වයර් ගලවල දාන එක ම ගැටලුවක්. එතකොට පීඩාවට පත් වෙච්ච (අැත්තටම එහෙම වෙන්නෙ අපිට, හැබැයි හිතං ඉන්නෙ එ්ගොල්ලංට කියල) අය උද්ඝෝෂණ කරනව! (අකුරු හරිද බලන්න...)

      Delete
    3. අපේ ගෙදර අයට සෑහෙන්න අවුල් ෆෑන් නැතුව... මට නම් කිසි ප්‍රශ්නයක් නෑ.. සෙම්ප්‍රතිශ්‍යාවට පවතින භීතිය නිසා මං ෆෑන් පාවිච්චි කරන්නෙම නැති තරම්..))

      අකුරු හරි.. කියපු එකත් හරි..))

      Delete
  5. මතක්වෙන්නෙම ඉස්සර කරන්ට් ගියහම කට්ටිය එකතුවෙලා ගෑනු-පිරිමි- මල් - පලතුරු ,රොබින් - මැරියන්, රහස් කෝච්චිය වගේ සෙල්ලම් කරපු හැටි.ඒත් ඒ හැමෝම දැන් වෙනම ලෝකවල තමන්ගේ දරුපවුල් රකිනවා.

    කරන්ට් තිබුනත් නැතත් කලුවරේ මයිලගහ යටට වෙලා ඈතින් පේන රුවන්වැලිසෑය හරි තරුදිහා හරි බලාගන ඉන්න එක පුරුද්දකට ගිහින් දැන්නම්.රූපවාහිනියක් තිබුනට බැලෙන්නෙම නැති තරම්.ගෙදර හිටියනම් ඉතින් කරන්ට් නැති වෙලාවට කට්ටියත් එක්ක ආගිය කතා කතාකරන්න තිබුනා මටත්:(

    ReplyDelete
    Replies
    1. අපි නං ඉතින් තාම උසස් අධ්‍යාපනේ පටන් ගන්න තුරු ඔහේ පාවෙවී ඉන්න ළාබාළයෝ නෙව.ඉඳල හිටල කෙල්ලො කට්ටිය මුණ ගැහුණම අදටත් රහස් කෝච්චිය කරන්න අමතක කරන්නෑ..))

      අප්පා.. අපේ කසුටු සහෝදරයා අනුරපුරේද වාසදේස?? රුවන්වැලිසෑ මලුවෙ මහරැයේ වාඩි වෙලා ඉන්න කොට දැනෙන සැහැල්ලුව වචනවලින් කියන්න බැරි තරම් අපූරු හැඟීමක්..

      Delete
    2. අනේ අපටත් බලන් ඉන්න ඈතින් රුවන්වැලි සෑය තිබුණ නම්.. දැන් නම් අහසයි, තරුයි විතරයි... හඳ පෙත්තකුයි විතරයි..

      Delete
    3. හඳ පෙත්ත... කවියකට නියම වචනයක්..!!

      Delete
  6. වැසි , මම කාලෙකින් ..ඔහෙට වැස්සද තවම ..මෙහෙට නම් හේනට පායනවා ටිකෙන් ටික වැස්ස .. :D
    පලවෙනි දවසේ විදුලිය විසඳි උනාම නම් මම හොඳට බැනුම් ඇහුව ඒ වතුර ඉවරවෙනකන් නාල රෙදි හෝදලා වතුර මොටරේ ගහන්න අමතක උනා ගෙදර එද්දී වතුර නැහැ කරන්ට් එකත් නැහැ. අම්මගෙන් පොඩි පොඩි බැනුම් ඇහුව බලන් ඉන්නම බැරිම තැන පරණ බාල්දියක් අරන් ලිඳෙන් වතුර ගත්ත.ඒ අවුරුදු ගානකින් ලිඳෙන් වතුර ඇද්දේ වෙනදට වතුර මෝටරෙන්නෙ වතුර ගන්නේ.ලිඳට අඩන වැටෙයි කියල මොකක්දෝ බයක් එක්ක කට්ට කළුවරේ හෙමින් හෙමින් වතුර පුරෝපු අත්දැකීම නම් නියමයි. ලැපිය ෆෝන් ඔක්කොම බැටරි බැහැල තියෙද්දී ඉටිපන්දම් එළියෙන් නිහඬ බවට අහුම්කන්දුන්න විදි ගෙදර තුන්දෙනාම එකතුවෙලා පොඩි ඉටිපන්දම් එළියක් වටේට ඉඳගෙන රෑට කෑම කන ගමන් කියවපු අත්දැකීම් සුන්දරයි. නැත්නම් වෙනදට කරන්නේ තුන්දෙනාම එකතුවෙලා රූප ඒට්ටේඒ කියවිල්ලට ඇහුම්කන් දෙන එකනේ.හැබැයි අනෙක් අතට විදුලිය නැතිව වැඩත් පාඩු උනා.හැබැයි මේ විදුලිය විසන්ධිවුන එක කාට කාටත් පාඩම් ගොඩක් කියල දුන්න. :)

    ReplyDelete
    Replies
    1. මං ඉන්න කොතැනටත් සදා වැසි තමා සහෝදරී..))

      අපිට ජීවිතේ ගැන ඉගෙනගන්න විදුලි විසන්ධි වෙනතුරුම ඉන්න වෙච්ච එක තමා කණගාටුවට කාරණේ..මිනිස්සු කොයි තරම් තාක්ෂණයෙ වහල්ලු වෙලාද කියල තේරෙන්න මෙහෙම දෙයක් වෙන්නම ඕන..

      Delete
    2. හ්ම්? කලිං දැනං හිටිය කෙනෙක්ද? ...... මං කිව්වෙ blog එකක් එහෙම ලියපු?

      Delete
    3. ඔයා අදහස් කරන්නෙ හංසපිහාටු ලියපු හංසි අක්ක නම් මේ උන්දැ නෙමේලු.. මං හංසි කෙනෙක් දැක්ක ගමන් අහනව මේ එයාද කියලා.. උන්දැ මේ මෙච්චර එකට හිටපු අපිටත් ලියුමක්වත් නොතියාම අතුරුදහන් වෙලා නෙව..!!

      Delete
  7. //ඒ අතරෙ මං විභාගය සමත් වීම වෙනුවෙන්//
    සුභ පැතුම්. අපේ පරිණත (ළ ) දැරියට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අය්යෙ... ඒත් ඉතින් මං තාම අපරිණත ළදැරියක් ම තමා..!!

      Delete
    2. මගෙනුත් උණුසුම් සුබ පැතුම් විභාගය සමත්වීමට.. සමත් වන බව නම් දැනන් උන්නා.. ඉදිරියත් සුන්දර වේවා.. ජය ම වේවා..

      Delete
    3. ස්තූතියි තරු අක්කේ.. බොහොම ස්තූතියි..!

      Delete
  8. අගනා සටහනක්, කොහොමත් සරල වුඉඋ තරමට ජීවිතය සුන්දරයි කියන එක බොහෝ දෙනක් අත්විඳලා මේ ලයිට් නැති වෙච්ච එකෙන්

    ReplyDelete
    Replies
    1. ඒක තේරුම් ගන්න කරන්ට් නැති වෙනකම්ම ඉන්න වුණා.. ඒත් හෙට ඉඳල අපේ රටවැස්සො ආයෙ අර සුපුරුදු ටෙලිවිසොන් භාවනාව පටන් ගනීවි..

      Delete
  9. අපේ ගෙදරටත් ඔය ලයිට් කියන ජාතිය ලැබුනෙ 2009 මාර්තුවෙ. ඒ වෙනකල් කිසිම කරදරයක් නෑ. දැන් මේ මගුල් රූප පෙට්ටියක් නිසා රෑට මෙලෝ වැඩක් නෑ. මටත් ඔය ලයිට් නැති එකෙන් වෙන්නෙ පාඩු දෙකයි. 1 ෆෑන් නැති වීම. 2 කොම්පියුටර් සහ මගේ වෙනත් උපාංග චාජ් කිරීමට නොහැකි වීම.

    හොඳ සටහනක් වර්ෂා.

    ReplyDelete
    Replies
    1. රූප පෙට්ටිය බලන වෙලාව යම් ප්‍රමාණෙකට හරි අඩු කළොත් අපිට අහිමි වෙලා ගියපු ජීවිතේ රඳවගන්න පුළුවන්.. ඒ පුංචි පුංචි කරදර ඇතුළෙ වුණත් මේ අඳුරෙ මොකක්ද සුන්දර බවක් තිබුණා..!!

      Delete
  10. අදුර අදුර මගේ
    සොදුර සොදුර මගේ..

    මමත් කැමතිම දේවල් දෙකක් තියෙනව
    එකක් වැස්ස.. වහින වෙලාවට වැස්ස දිහ බලං ඉන්න එක තරං සැපක් නෑ
    අනික කළුවර.. කට්ට කළුවරේ ලයිට් නිමල ඉද්දි ලාවට වගේ හද පායං එනකොට
    ඒ තරං ගතියක් නෑ...

    අහ් කෑම කියල එක්කුත් තියේ නේහ්
    එක්කොත් ඕ නෑ හිහි...
    කරන්ට් ලැයිට් බයිට් ජංජාල නෝන මහත්තැංලට තමා අවුල්
    අර පට්ටංදර හෑලි බලන්න බැරි වෙන එකට නැද්ද වැසි

    ReplyDelete
    Replies
    1. කළුවරත් එක්ක ම මතක් වෙන පළවෙනි සින්දුව - අඳුර අඳුර මගේ..!!

      වැස්ස ඉතින් කොහොමත් මනරම් නොවැ.. මඳ අඳුරත් ඒ වගේ ම මනරම් දෙයක් තමයි.තරු රටා බලන්න ඕනැ නම් ඉතින් කරන්ට් තියෙන දවසටත් ලයිට් නිවා දාලයි අහස දිහා බලන්න ඕනැ..)))

      මං නං ප්‍රාර්ථනා කරන්නෙ මේ දවස් ටිකේ ටෙලි නාට්ටි නොබලා හිටිය එකෙන් ඔය නාට්ටි දිහා ඇස්ගෙඩි උලුප්පාගෙන බලා ඉන්න කැත පුරුද්ද අපේ රටවැස්සන්ගෙන් දූරිම්බූත වෙලා යන්න කියල..( එහෙම ඔය පුරුදු අතෑරෙන්නෙ නෑ කියල දැන දැනත්..)

      Delete
  11. කතාව නම් ඇත්ත. ඒත් කරන්ට් යනවත් එක්කම අපේ ගෙදර වයි ෆයි පහසුකමත් නැතිවෙන නිසා මට නම් ඒක ලොකු පාඩුවක්

    ReplyDelete
    Replies
    1. අපෙත් එහෙම තමා.. ඒත් අන්තර්ජාලෙ නැතුව ජීවිතේ හරි මිහිරි...))

      Delete
  12. Replies
    1. නේක වර්ගෙ සත්තු වැස්සෙ තෙමෙන්න එනව නොවැ.. අලි,හංසයො,මාලු,සමනල්ලු,කටුස්සෝ හෙම..

      දැන් මදි පාඩුවට කුකුළෙකුත් ඉන්නව...

      සාදරෙන් පිළිගන්නව ඔන්න එහෙනං වැස්සෙ තෙමෙන්න..!!

      Delete
  13. ඉස්සරනම් අපි ඔහොම ලයිට් කපන කාලේ හොද කයියක් දාගෙන පරණ දේවල් මතක් කර ගන්නවා.

    ReplyDelete
    Replies
    1. අපි පොඩි කාලෙත් මෙහෙම දිගු විදුලි විසන්ධියක් තිබුණලු.. හරියටම මාසයක්ද කොහෙද.. අපි අත දරුවො කාලෙත් ඉතින් දිනේෂ් අය්යලට අවුරුදු තිහක් විතර වෙනවනෙ.. ඔය ඒ කාලෙ ගැන තමා කියන්නෙ මයෙ හිතේ..!!

      Delete
  14. අපිට අවුලක් නැත, රට පිට නිසා...

    ReplyDelete
    Replies
    1. අඳුර සොඳුරු ලෙස විඳිනව නම් මෙහෙටත් අන්ධකාරය අවුලක් නෙමේ...))

      Delete
  15. ලයිට් යන එකත් මරුතමා.......ඒත් ෆෝන් එක චාජ් කරගන්ඩ ගියහමනන් හත්මුතු පරම්පරාවම මතක් වෙනව.....

    ReplyDelete
    Replies
    1. එහෙම තමා.. හැම දේකම හොඳ නරක දෙපැත්තක් තියෙනව නොව..))

      Delete
  16. විශිෂ්ඨ පොස්ට් එකක්.. ටීවී එකක් නැති ගෙදරක් මේ ගතවෙන කාලෙත් අහන්න ලැබුන එක ගැන සන්තෝසයි..තාක්ෂණයට ජීවිතේ උගස් ගන්න නොදී ජීවිතය සරලව නිදහසේ විඳින්නන ලැබෙන එක වාසනාවක්..

    විදුලිය එකපවුලේ සාමාජිකයින් තනි තනි ලෝක වලට වෙන් කරා.. රූපවාහිනිය සහ දුරකථන කොම්පියුටර් ඒ තනි තනි ජීවියෝ වෙනත් වෙනත් ලෝක වලට ඇරලුවා..

    අපේ කුඩා සන්දිය නම් රූපවාහිනිය තිබුනත් සතියකට වතාවක් යන විශේෂිත වැඩසටහනක් ඇරෙන්න රූපවාහිනිය මුනේ බැඳගෙන නැරඹුවේ නම් නැහැ.. රූපවාහිනිය තිබ්බත් මම රේඩියෝ ලෝලියෙක් නිසා වැඩි හරියක් ප්‍රේම කරේ කාමරේ තිබ්බ රේඩියෝවට තමා.. අදත් පරණ සිංදු ඇහෙද්දී ඒ කාලේ බොහම තදින් දැනෙනව.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අම්බලන්ගොඩ.. ටීවී එක උපාංගයක් විදියට පාවිච්චි කරන එකේ වරදක් නැතත් සමහර ගෙවල්වල නිවැසියො එකිනෙකා එක්ක කතාබහවත් නොකර බහුබූත ටෙලිනාට්ටිවල එල්ලිලා ඉන්න හැටි දැක්කම මට පුදුම හිතෙනවා..

      තාක්ෂණයක් එහෙම තමා.. ලෝකයත් එක්ක සම්බන්ධ වෙන්න මිස තමන්ගෙ සමීප සම්බන්ධකම් නැති කරගන්න තාක්ෂණය යොදාගැනීම අවාසනාවක්..

      Delete
  17. ආවෙමි! කියැවුවෙමි! සුබ පතමි! දැන් යමි! නැවත එමි!

    ReplyDelete
    Replies
    1. ආවාටත් කියැවූවාටත් සුපැතුමටත් බොහොම පින්..

      ඉතින් නැවත එන්න - ඇවිත් තෙමෙන්න..))

      Delete
  18. ට්වයිලයිට් කතාවෙ සිංහල පරිවර්තනයක් බ්ලොග් කතාවක් විදියට ලිව්වා පොඩි කුමාරිහාමි.. ඒ බ්ලොගයෙ ලින්කුව හොයා ගන්න බැරි වුණා මට..

    අඳුර ගැන සොඳුරු කතන්දර මටත් තියෙනවා.. වෙලාවක ලියන්න ඕනි.. 2012 නත්තලට මගේ පුංචි ගෙට පදිංචි වෙලා 2013 නත්තල් වෙනකල්ම මං උන්නෙ ලයිට් නැතිව. කුප්පි ලාම්පු දෙකක් හදාගත්තා. පස්සෙ චාර්ජ් කරල තියාගන්න විදුලි පහනක් ගත්තා රෑට පොත් කියවන්න ඕන නිසා..

    ඒ කුප්පි ලාම්පු අත්දැකීම වින්දෙ අවුරුද්දයි.. ඒත් සති අන්තයට විතරයි... පුංචිම කාලෙත් විදුලි බලය නැතිව ගෙවුණු මතකය තියෙනවා.. මට අවුරුදු 6 ක් වෙද්දි අපේ පැත්තටත් විදුලිය ආවා...

    මේ දවස්වල කරන්ට් ගියාම නම් කරන්නෙ සයනාසනාරූඪ වෙලා හිත හිත ඉන්න එක.. පැය දෙකක් එහෙම නිස්කලංකෙ ඉන්න ලැබෙන එකත් ලොකු දෙයක් කියල තමයි මටත් හිතුණෙ...

    ReplyDelete
    Replies
    1. මටත් මතකයි.. දැන් පොඩ්ඩි අක්කා බ්ලොග් නොලියන නිසා ඒ බ්ලොගය හොයාගන්න අපහසුයි.. කොහොම වෙතත් පබ්ලිෂ් වෙච්ච පරිවර්තනයක් නම් මං දන්න තරමින් නැහැ..!!

      ඒ සොඳුරු කතා ඉක්මණට බෙදා ගමු අපිත් එක්ක.. අන්ධකාර ජීවිතේ අපිට අමුතු වුණාට අම්මලා ඒ කාලෙ අන්ධකාරෙ ජීවත් වෙච්ච හැටි කියද්දි ආස හිතෙනවා.මේ වෙද්දි අපි කොයි තරම් විදුලියෙ වහල්ලු වෙලාද..

      මටත් එහෙම මුනිවත රකිමින් හිත හිතා ඉන්න ඇත්නම් කියා හිතුණා.ඒත් බෙලායි එඩ්වඩුයි මට ඒකට ඉඩ දුන්නෙ නැහැ..))

      Delete
  19. එන්න ටිකක් පරක්කු උන එකට නං සමාව බාජනෙට දන්නා හොදෙයි..
    මුලින්ම විභාගය සමත් වීමට මගේ උණුසුම් සුබ පැතුම්...!!!

    අපේ ගෙදරත් කරන්ට් ගිය හැම දවසකම උනේ මිදුලේ පුටු තියාගෙන හුලන් වැදී වැදී හද එළියේ හොද සාකච්චාවක් දාගෙන හිටපු එක..හතර දෙනාම උදේ ගිහින් හවස එන අපේ ගෙදර මෙහෙම වෙලාවල් හරිම අඩුයි,ආවත් ආපු වෙලේ ඉදන් ඊලග දවසේ වැඩ ටිකට ලෑස්ති වෙනවා,ඉරිදා හවස තමා මෙච්චර කල් අපි හතර දෙනා එකතු වෙලා කතා කරන්නේ,හැබැයි මේ විදිලි ප්‍රශ්නෙන් අපිට මාර නිදහසක් ලැබුනා..ඇත්තටම ඒ දවස් වල නං හිතුන ඉදල හිටලා හරි මෙහෙම දේවල් වෙනවනං කොච්චර හොදද කියල...:):)

    ReplyDelete
    Replies
    1. හා ඔන්න දැම්මා ඒක බාජනේකට..))

      සුබ පැතුමට ඔන්න මුලින් ම තුති ගිම්මි අක්කේ..!!

      ජීවිතේ මඟ ඇරිලා ගියපු ගොඩක් දේවල් මිිනිස්සු විදුලි විසන්ධියත් එක්ක අහුලා ගත්තා තමා.. ඒත් ආයෙ ආපහු පරණ පුරුදු යාන්ත්‍රික ජීවිතේට ගොඩක් අය පුරුදු වෙලා..

      Delete
  20. මුලින්ම සුභ නවා වසරක් කිව්වා 2016.
    බට්ටිච්චි විභාගේ පාස් උනාට සුභ පැතුම්. අවුරුදු ගානකින් මේ පැත්තේ ආවේ ඉතින්.

    මට පෙන්නම බැරි කතාවක් තමයි ඔයා ට්වයිලයිට් සාගා.. මෝඩ ගෑල්ලමයි වෙනුවෙන්ම ලියපු කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූති මැට්ටෝ... අම්මෝ අවුරුදු ගාණකින් දැක්කෙ..))

      ඔහේ ඉතින් පොත්පත් ගැන මොනා කිව්වත් මං ඒක එක කනකින් අහල අනික් කනින් පිට කරනව.. පොත් කියවන්නැති මිනිහෙක් එක්ක පොත් ගැන කවර කතාද..

      ෆිල්ම් එක නම් මටත් පෙන්නන්න බැහැ.ඒක බලලා නම් පොත ගැන තීරණය කරන්න එපා.. පොතයි ෆිල්ම් එකයි අහසට පොළොව වාගෙයි..))

      Delete
  21. aha...twilight. mata therichcha eka deyak thiyanawa. bahutharayak poth walin hadapu movies baluwata potha kiyawapu ayata eka hari yanne naha. mudritha maadyayen kiyanna puluwan daahak de rupa maadyata awama 100 ta bahinawa kiyalai mama wishwasa karanne.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක ඇත්ත.. පොත කියවද්දි දැනෙන තරම් අපූරු ගතියක් ෆිල්ම් එකෙන් දැනෙන්නේ නෑ‍.ඒත් මං ෆිල්ම් එක බලලා පොත කියවපු කෙනෙක් නිසා එඩ්වර්ඩ් සහ බෙලා විදියට මගෙ හිතේ මැවුණේ ෆිල්ම් එකේ රඟපාපු නළුනිළියන්වමයි.

      Delete