Wednesday, April 18, 2018

ලිප්ස්ටික් කූරකින් හරි ලියන්න!

''කතාවක් ලියන්න අදහසක් එන්න පුළුවන් ඕනෑම වෙලාවක. ඔව්. ඕනෑම වෙලාවක. ඉතිං ඒ වෙලාවට අතට අහු වෙන්නෙ මොකක්ද - ඒකෙන් ලියන්න. ඔබේ අතට අහු වෙන්නෙ පෑනක් වෙන්න පුළුවන් - චෝක් කූරක් වෙන්න පුළුවන් - එහෙමත් නැත්නම් ලිප්ස්ටික් කූරක් වෙන්න පුළුවන් - මොකකින් හරි කමක් නෑ ලියන්න - නැත්නම් ඒ අදහස ඊළඟ මොහොතේ නැති වෙලා යන්න ඉඩ තියෙනවා.''

රෝල්ඩ් ඩාල් නම් මැජික්කාරයා වරෙක එසේ ලීවේය. මුත් මේ, එ් වචන මගේ මතකයේ තිබෙන අන්දම ය. අන්තර්ජාලය පීරා හෙව්වද ඒ අපූරු වදන් පෙළ සොයා ගනු නොහැකි විය. වැහි දැරිවිගේ සිහිකල්පනාව හොඳ නම් එය සටහන් ව තිබුණේ මැටිල්ඩා පොත අවසන ය. කවුරුන් හෝ පුස්තක ප්‍රේමීන් දෙදෙනෙකු විසින් මැටිල්ඩා නවකතාවත්, එහි සිංහල පරිවර්තනයත් යන දෙක ම අස්ථානගත කොට ඇති නිසා ඔහුගේ වචනවලින් ම එය මෙතැන සටහන් කරන්නට නොහැකි වීම ගැන ඇත්තේ කණගාටුවකි.

ඔහු එසේ පෑන්වලින්, චෝක්වලින් හෝ ලිප්ස්ටික්වලින් ලියූ හැම වචනයකටම දරාගන්නට නොහැකි මිනුමකින් ආදරය කළ පොඩි එකෙකු වූ මා අකුරක් ලියාගන්නට පුළුවන් වූ දවසේ සිට ඒ උපදේසය අනුගමනය කරන්නට පෙළඹුණෙමි. අදටත් අපේ ගෙදර මේසවල, පුටු ඇඳිවල පවා නොඑක් බලිකුරුටු අකුරු ඇඳී ඇත්තේ එහෙයිනි. අතට අහු වුණු දේවල් අතර ඉරටු කෑලි පවා තිබුණු කාලයක් තිබුණි. රූපලාවණ්‍ය කටයුතු සමඟ නයාට අඳුකොළ මෙන් සම්බන්ධතාවක් ඇති අමුතු ජාතියේ ස්ත්‍රී පරාණ ජීවත් වන අපේ ගෙදර එදාත් - අදත් ලිප්ස්ටික් නැති නිසා වැහි දැරිවිට කවදාවත් ලිප්ස්ටික්වලින් නම් අකුරු ලියන්නට ලැබුණේ නැත. වේදිකා නාට්‍ය අතරතුර ළඟපාතක කොළයක් නැති වීම නිසා අවැසි දේ සටහන් කර ගත් කඩල ගොටු, අත් පිස්නා ආදිය නම් සෑහෙන ප්‍රමාණයක් පසුගිය දිනවලදීත් පොත් ඇසුරුම් අතර තිබී හමු විය.

අනෙක් අතට මෙය ලියන්නට පසු ගිය දිනවල වූ බරපතළ සංවාදයක් හේතු විය. අප අතර වන ඇතැම් සාහිත්‍ය සංවාද කෙළවර වන්නේ මිනීමැරුමකට ශේෂයක් මෙහා තබා ය. සාහිත්‍යය පැවතිය යුත්තේ සමාජ ප්‍රගමනය උදෙසා බවට වැහි දැරිවි තර්ක කළ අතර ඒ පැත්තේ තර්කය ගොඩ නැගුණේ කලාව, කලාව සඳහා පැවතිය යුතු බවත්, සමාජ ශෝධනය කලාවෙන් පරිබාහිරව සිදු විය යුත්තක් බවටය. දවස් දෙකහමාරක් පුරා රණ්ඩුව ඇවිළී ගියේය. 

කලාව, කලාව සඳහා පැවතිය යුතු ය. ඒ පිළිබඳ ව විවාදයක් නැත. පිළිගනිමි. චචන සමාජ ආරම්මණ උදෙසා බලහත්කාරයෙන් පාවිච්චි කළ යුතු නොවේ. ඒවා හිතින් අතට ගලා ආ යුතු ය. අනෙක් අතට වරෙක මොනිකා රුවන්පතිරණ කිවිඳිය ලියූ එක් කවියක් එක්තරා බලධාරියෙකුට කියවන්නට ලැබීම නිසා ළමා මෙහෙකාර සේවය නැවැත්වීම උදෙසා නීතියක් සම්මත විය. ඒ අනුව ගත් කල, කලාවෙන් සමාජය වෙනස් කරන්නට ද පුළුවන. 

පසු ගිය දවස්වල කියැවූ, රසුල් ගම්සොටොව්ගේ 'මගේ දගෙස්ථානය' ලිවීම පිළිබඳ රුවන් වැකි දහසක් ගබඩා කොට ගත් නිදහනක් බඳු විය. අප රට සතු වන සුවිශිෂ්ඨතම පරිවර්තකයකු සේ ම හොඳ මිනිසකු වන මහින්ද සෙනරත් ගමගේ නම් අපූරු වදන් පින්තාරුකරුවා 'My Daghestan' කෘතියේ පරිවර්තකයා ය.

එහි තැනෙක මෙසේ තිබේ.

''මා වටහා ගත්තේ කවියකු නොවන්නන් නොපවතින බව ය. සෑම මිනිසකු ම හෘදයාභ්‍යන්තරයෙන් කිසියම් ලෙසක කවියෙකි. කෙසේ වෙතත් මිතුරකු බලන්නට ගෙදරට එන මිතුරකු ලෙසින් ම කවිය ද අප සැම කෙනෙකු ම බලන්නට එයි.''

අපි සැවොම ලියන්නෝ වෙමු. රසුල් කියන්නා සේ කවිය අපව බලන්නට එයි. ඒ මිතුරන් ආපසු හරවා නොයවා රැක ගැනීම අප සතු වැඩකි. ඉතින් අපි ලියමු - ඩාල් කියන්නා සේ ලිප්ස්ටික් කූරකින් හෝ ලියමු!

P.S _ The link to my new English blog _ The wordy melody of a pouring rain!

Sunday, March 18, 2018

''නීල වර්ණ නීල කොබෙයියෝ'' හෙවත් කළු කොල්ලෙකුට ලියූ සුන්දර ම පෙම් හසුන!

මා නිල් පාට ගීතවලට ආදරය කරන්නට පටන් ගත්තේ කොයි කාලයේද කියා මට හරියටම මතක නැත. එහෙත් 'නිල් නුවන් පෙඟෙන', 'නීල වරල නිල් චාමර', 'ඔබෙ නිල් නුවන් තලාවේ' ආදී නිල් පාට ගෑවී තිබුණු ගීතවලට මම ඉස්සර සිට ම ආසා කළෙමි.

මෙතෙක් කලක් හිතට වැදී නොතිබුණු 'නීල වර්ණ නීල කොබෙයියෝ' නමැති ගීතය ගැන අහඹු විවරණයක් කන වැකුණේ නොසිතූ මොහොතකදී ය. ඒ හඬ කාගේදැයි මා අදටත් දන්නේ නැත. ඇතැම් විට ඒ නිවේදකයෙකි. නැත්නම් ගීත රස වින්දකයෙකි.

එය කොබෙයියෙකු වෙනුවෙන් ගයන ගීයක් නොවන බව දැන උන්න ද ඒ තරම් සියුම් ලෙස මා කිසිදා ඒ වචන තුළ කිමිදී බලා තිබුණේ නැත. ඒ නාඳුනන ස්වරයේ අයිතිකාරයා කිවූ පරිදි මේ ගීය ගැයෙන්නේ අඳුන්වන් තරුණයෙකු වෙනුවෙනි. ගීය ගයන ප්‍රේමවන්තියගේ හදවත සොරා ගත් ඔහු කළු කොල්ලෙකි. සුදු කොල්ලන් බොහොමයක් මැද ඇගේ හදවත දිනාගෙන ඇති තරුණයා අඳුරු ඡවි වර්ණයකින් යුතු ය. ඒ අතින් බැලූ කල මේ ගීතය පරස්පර විරෝධී ගීතයකි. එහි ඇත්තේ සම්මතයට අභියෝගී කරන පැරඩොක්සිමය භාවයකි. 

එරන් මාල - එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

වඩාත් හෘදයග්‍රාහී වන්නේ මතු සඳහන් වන ප්‍රාර්ථනාව ය. කණගාටුවකට මෙන් පෙම්වතියන්ගේ අපේක්ෂාවන් පිළිබඳ ලියැවුණු බොහෝ සිංහල ගීතවල  බංගලි වළලු ගෙන එන්න පොරෙන්දු වූ තැනේ සිට කියැවෙන්නේ පෙම්වතියන් සිය පෙම්වතාගෙන් මාල-වළලු-දුහුලැල් සළු බලාපොරොත්තු වන වග ය. එහෙත් මෙගීය ලියූ රචකයා අවංක පෙම්වතියකගේ හෘදයාභන්තරය අපූරුවට විනිවිදන්නට සමත් වී තිබේ. ප්‍රබල ආදරයක් පතන යෞවනියක තුළ රන් අබරණ පිළිබඳ අපේක්ෂාවනට වඩා එහා ගිය සුන්දර ප්‍රාර්ථනා තිබේ. එබඳු පෙම්වතියක පතන්නේ අමාව සේ නිමා නොවන සිනා බිඳක් පමණෙකි. ඒ පැතුම ඉතා සරල ය. පී. එච්. චන්ද්‍රසිරි නොහොත් මේ කදිම ගීයෙහි පද රචකයා ඒ සරල වූත් සුන්දර වූත් අපේක්ෂාව චමත්කාරජනක ලෙස ගීයකට පෙරළා තිබේ.

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

අඳුර බිඳෙන සොඳුරු සිහින රැගෙන ඈ වෙත එන තරුණයා වෙළඳ දැන්වීමක පෙනී ඉන්නා බඳු සුදු - පැහැපත් තරුණයෙකු නොවේ. ඉතා වේගයෙන් ආදරය අළෙවි වන ලෝකයක් තුළ සෙලෝලයිඩ් ලෝකයේ දකින්නට ලැබෙන පෙම්වතා පැහැපත් විය යුතු ය. උස විය යුතු ය. සික්ස් පැක් සහිත විය යුතු ය. එහෙත් ආදරය යනු එබන්දක් ද? පැහැපත් වතක් - ගතක් උදෙසා පමණක් ඇති විය යුත්තක්ද  ? එය තරුණයන්ට ද වඩා තරුණියන් කෙරේ අදාළ වන්නකි. ස්ත්‍රීත්වය පුරුෂ භාවයට වඩා ඉතා වැඩි වේගයකින් අළෙවි කළ හැකි මාතෘකාවක් බවට පත් කොට ඇති බැවිනි.

ප්‍රේමයෙහි කළු - සුදු භාවය පිළිබඳ කතා කරද්දී සිහිපත් වෙන තරුණ යුවලක් සිටියි. ජපුර සරසවිය තුළ මුණ ගැහුණු පෙම් යුවළවල් අතරේ ඔවුන් දෙදෙනා මගේ මතකයේ වැඩිමනත් ඉඩක නවාතැන් ගෙන සිටිති. ඒ පෙම්වතිය අතිශය අඳුන්වන් ය. මහත ය. ඈ සුරූපී - සිහින් යෞවනියන්ගේ කුලකයට අයත් වූයේ නැත. ඊට හාත්පසින් ම වෙනස් ලෙස ඇගේ පෙම්වතා වූයේ සුදු කෙට්ටු උස කඩවසම් කොල්ලෙකි. ඒ වකවානුවේ සරසවියේ හුන් බොහෝ කෙල්ලන් ඒ තරුණයා දෙස බැල්ම ලාගෙන උන්නා මට මතකය. එහෙත් ඔහු ආදරය කලේ ඒ කළු මහත කෙල්ලට ය. ඒ හේතුව නිසා ම මම ඒ තරුණයාට අතිශය ගරු කළෙමි. 

එහෙත් සරසවිය ප්‍රමුඛ ලෝකයට ඒ ආදරය විහිළුවක් විය. විවිධ සාහිත්‍යයමය කාරණා නිසා ඔවුන් දෙදෙනා ළඟින් ආශ්‍රය කරන්නට ඒ වකවානුවේ සිදු වූ හෙයින් ඔවුන්ගේ සරසවි සගයන් ඔවුන් පිළිබඳ ව පැවසූ දේ නිරන්තරයේ මට ද අසන්නට ලැබිණ. 'අම්මයි - පුතයි වගේ' 'චීසුයි - කළු දොදොලුයි වගේ' ආදී ලෝක පූජිත සාහිත්‍යකාරයන්ටවත් මෙතෙක් හසු නොවූ අන්දමේ නානාප්‍රකාර උපමා මිතුරන්ගේ මුවින් පිට වීම ඔවුන්ට අතිශය සාමාන්‍ය කාරණාවක් වී තිබුණද ඒ දිනවල ප්‍රේමයේ ගැඹුරක් දැන නොසිටි අවුරුදු දොළහක පමණ කෙල්ලක වූ මා ඒ වචන ඇහෙද්දී අතිශය අපහසුතාවට පත් වූවා මට මතක ය.

දැන් ඔවුන් දෙදෙනා විවාහක ය. බාහිර රුවින් ගැළපෙනවා යැයි ලෝකය විසින් සලකන බොහෝ පෙම්වතුන්ට වඩා ඔවුහු සතුටින් ද - ආදරණීය ව ද ජීවත් වෙති. කළු - සුදු ප්‍රේමය පිළිබඳ ව මා වඩාත් ම රිදවූ අත්දැකීම වූයේ එය වූ මුත් පාරේ යනෙන එබඳු පාට දෙකකට අයත් පෙම්වතුන්ට කෙරෙන අපහාස ඕනෑ තරම් මගේ කන වැකී තිබේ. පාට අඩු කොල්ලෙක් පැහැපත් කෙල්ලක සමඟ පාරේ යන විට තැඹිලි ගෙඩියට කපුටා වසා ඇති බව ද - කළු කෙල්ලක පැහැපත් කොල්ලෙකු හා මග යනු දකින කල ඒ කොල්ලා කෙල්ලගේ සල්ලි බලයට නතු ව ඇයට ආදරය කරන වග ද නොකිවහොත් සමහරුන්ට නින්ද යන්නේ නැත. 

කුඩා කාලයේ සිටම මට එය තේරුම් ගැනීමට නොහැකි වූ කාරණයක් විය. දෙදෙනෙකු අතර වන බන්ධනයක දී ගැළපිය යුතු වන්නේ හදවත් වග බරපතළ ලෙස විශ්වාස කළ මට ඡවි වර්ණයෙන් ආදරය මනින ලෝකය විහිළුවක් විය. 

අදටත් මම ඒ සමේ පැහැයට ආදරය කිරීමේ විහිළුව තේරුම් ගැනීමට අසමත් වෙමි. ඒ අසමත් බව නිසා ම මට මේ ගීතය වඩාත් දැනෙයි. ඉන්ද්‍රණි බෝගොඩ නම් ප්‍රතිභාපූර්ණ ගායනවේදිනියගේ හඬ කොල්ලෙකුගේ සමට නොව ඔහුගේ අධ්‍යාත්මයට ආදරය කරන කෙල්ලකගේ සුන්දර අපේක්ෂාවක් ලෙසින් විත් මඳ පවනක් ව හද තන්ත්‍ර පිරිමදිනු දැනෙයි. 



Monday, March 12, 2018

සුන්දර කළු කෙල්ල - රූපී කෞවුර්ගේ අතිශය සුන්දර ආත්මය!

සමහර ගැහැණු - පිරිමි ජීවිතයේ බොහෝ මධුර දෑ සඟවාගෙන ඇවිදින පොත් බඳු ය. නැත්නම් තාලයක් ඇති කවි බඳු ය. හුදෙක් මනුස්ස සරීරය තැනී ඇති ලෙය මසට එහා ගිය යමක් ඔවුන්ගේ ජීවිතාභ්‍යන්තරයේ තිබේ. රූපී කෞවුර් නම් සුන්දර කළු කෙල්ල එබඳු පොතක් වැනි - කවියක් වැනි යෞවනියකි. 

ඈ මට මුණ ගැසුණේ අහම්බෙන් ය. ඈ අන්තර්ජාල ලියන්නියකි. ඉන්දියානු - කැනේඩියානු සම්භවයක් සහිත තරුණ චිත්‍ර ශිල්පිනියකි. මිලියන 2.5ක අළෙවි වාර්තාවක් තබමින් අතිශය ජනප්‍රිය වූ ඇගේ පළමු කෘතිය වූ Milk and Honey වැහි වැටෙන තැන කියවන ඇත්තන්ට නුපුරුදු නමක් විය නොහැකි ය. පසුගිය වසරේ එළිදැක්වූ ඇගේ දෙවැනි කෘතිය තවමත් කියවාගන්නට බැරි වූ බැවින් මෙහි සටහන් වන්නේ Milk and Honey නම් සුන්දර අක්ෂර බන්ධනයෙහි එන වඩාත්ම දැණුනු වචන පිළිබඳව ය. 

එහෙත් යමක් කිව යුතුම ය. රූපීගේ කවි යුනික් ය. ඒවායෙහි ඇති සජීවි බවත් - ලෝකයේ වෙන කිසිවෙකුගෙන් මා මෙතෙක් අත් විඳ නැති නිර්මාණශීලිත්වයත් පහසුවෙන් වෙන බසකට පෙරළන්නට නොහැකි ය. එහෙයින් මා අතින් වන සිංහල පෙරැලුම්වලින් ඇගේ අපූර්ව කාව්‍යාත්මයට හානි වනු ඇතැයි යන සාධාරණ සැකය මා තුළ තිබේ. එහෙයින් ඒ වචන පරිවර්තනය කරන්නට උත්සාහ නොකරමි. 

බොහෝ දෙනෙකුට රූපී පෙනෙන්නේ ස්ත්‍රීවාදිනියක ලෙස විය හැකි ය. විවාදයක් නැත. ඈ ඉතා ගැඹුරින් ස්ත්‍රීත්වය වචනයට පෙරළන්නීය. එහෙත් ඈ පිරිමින් හෙළා දකිමින් ගැහැණුන් පමණක් වැජඹිය යුතු යැයි සිතන අන්දමේ ඇතැම් අන්තවාදී ස්ත්‍රීවාදි කුලකයටද - ගැහැණුන් පහත් කොට සලකමින් පිරිමින් ගරු සැලකිලි ලැබිය යුතු යැයි සිතන අන්දමේ අන්තවාදී පුරුෂෝත්තමාවදී කුලකයටද අයත් නොවේ. මා විශ්වාස කරන අන්දමට ඈ මනුෂ්‍යත්වය උදෙසා ලියන්නියකි; ගැහැණුන්ටත් - පිරිමින්ටත් සියලු කාරණා පිළිබඳව සමාන අයිතියක් ඇති වග විශ්වාස කරමින් එබඳු සමානාත්මතාවෙන් පිරුණු ලෝකයක් උදෙසා ලියන්නියකි. රූපීගේ කවි ස්ත්‍රීවාදිනියකගේ සිතුවිලි ලෙස නොව මනුස්ස දුවකගේ සිතුවිලි ලෙස මට දැනෙන්නේ මාද පුරුෂෝත්තමවාදය හෝ ස්ත්‍රීඋත්තමවාදය වෙනුවට ගැහැණුන්ට - පිරිමින්ට සමානව ජීවත් විය හැකි ලෝකයක් බිහි විය යුතු යැයි විශ්වාස කරන නිසා විය හැකිය.

ඒ මනුෂ්‍යවාදී හස්තයෙන් රූපී වරෙක මෙසේ ලියයි:
අප පිළිගන්නට අකැමැති වන සත්‍යය මෙය නොවේද? රූපී මෙහි කියා ඇති පරිදිම මේ ලෝකයේ උපදින ඕනෑම ගැහැණු දැරිවියකට ඕනෑම ඉහළකට නැගීමේ සවිය තිබේ. එහෙත් උපන් දා පටන් කී වරක් කෙල්ලන් ගස් නැගිය යුතු නොවන බව, කොල්ලන් නිකං ඉද්දී කෙල්ලන් පමණක් මුළුතැන්ගෙයි වැඩට උදව් විය යුතු බව කොතෙක් නම් ඔවුන්ගේ කන වැකී ඇත්ද? 

ඈ පවසන්නේ ඒ ස්ත්‍රී පුරුෂ බෙදීම (Gender Stereo-typing) වෙනස් විය යුතු වග ය. ඉතා සරලව කියන්නේ නම් ගැහැණුන්ද පිරිමින් මෙන් ම මනුස්ස ප්‍රාණීන් බව ය. ස්ත්‍රී ශරීරයෙහි ජීව විද්‍යාත්මක කාරණාවන් රූපීගේ අතින් සාමාන්‍යකරණය වන අන්දම ඒ සඳහා වන අපූර්වතම නිදර්ශනයයි.


මේ විසි එක්වැනි සියවසේදීත් ඇතැම් ලාංකික නිවෙස්වල ඔසප් වීම යනු තාත්තා හෝ සහෝදරයා ඉදිරිපිට කතා නොකෙරෙන යමකි. තමන්ගේ මව හෝ සහෝදරිය ඔසප් දිනයක විඳින වේදනාව පිළිබඳව අවබෝධයක් නැතිව ඇති දැඩි වුණු තරුණයෙකු ඔසප් දිනයක තමන්ගේ බිරිඳගේ පිට කොන්ද තවන්නට හෝ එදිනට පමණක් හෝ ඈට යමක් උයා දෙන්නට පෙළඹෙනු ඇත්ද යන්න මම ඇතැම් විට කල්පනා කරමි. රූපීගේ කවි තුළින් පරාවර්තනය වන්නේ අපටත් පොදු එබඳු සංස්කෘතික කාරණාය. ගැහැණියකගේ දෙකලවා අතර ඇති දෙය විකුණන්ටද, අැගේ ප්‍රජනන හැකියාව වර්ණනා කරන්නටද ඉදිරිපත් වන ලෝකය එහිදීම සිදු වන ඔසප් වීම නම් අතිශය සාමාන්‍ය කාරණාව අපිරිසිදු යමක් ලෙස දැකීමේ සත්තාව ඈ අතිශය ප්‍රබල ලෙස සමාජගත කරයි.

අවුරුදු විසි පහක තරුණියක ලෙස රූපී ආදරය විවරණය කරන අන්දමට මම වඩාත් ආදරය කරමි. ඈ යොවුන් ආදරය ගැන ලියන්නීය. එහෙත් එතැනින් නොනවතින්නීය. ඇගේ කවිවල බොහෝ විට ඇත්තේ අතිශය පවිත්‍ර වූ සමාජ ආදරයකි. 



මේ වචන කියන්නේ ඉතා සුන්දර කරුණකි. ලෝකය කෙරෙහි පෙරළා කරුණාවන්ත වන්නට අපටද ලෝකයෙහි කරුණාව පමණක් ලැබී තිබිය යුතු නැත. ඇතැමුන්ගේ අකරුණාවත් බස්වලට රිදවාගෙන බුම්මාගෙන උන් ඇතැම් දවසක මගේ අභ්‍යන්තරය සුවපත් කළේ රූපීගේ මේ කවියයි. අපට ලෝකයෙන් කරුණාව නොලැබුණද ලෝකයට ආදරය කිරීමේ සුවිසාල වගකීමක් අප සතුව පවතියි. ලෝකය අපට නපුරු වන තරමට අපි ඒ නපුරුකම සෝදා හළ යුතුය. මනුෂ්‍යත්වය ද - සුන්දරත්වය ද ඒ වෙනුවට ආදේශ කළ යුතුය. මා වැඩියත්ම ආශා කරන්නේ රූපී ඒ බව ප්‍රකාශ කරන මඳ - මුදු - සියුමැලි රටාවටය.

රූපී කෞවුර් නමැති සුන්දර හදවතක් ඇති යෞවනිය ගැන කියනවා නම් කියන්නට හුඟක් දේවල් තිබේ. එහෙත් ඇගේ කවි ගැන ලියනවාට වඩා කියවන ඔබටත් ඈව සොයා ගොස් ඒ මධුර වචන විඳින්නට ඉඩක් තැබිය යුතු යැයි හඟිමි. අවුරුදු විසි පහක තරුණියකට ලෝකය වෙනස් කළ හැකි වග - තාරුණ්‍යයට ආදර්ශයක් සැපයිය හැකි වග ඈ මහපොළොවේ ඔප්පු කර පෙන්වන සුන්දර වූත් - ශක්තිමත් වූත් විලාසයට ඔබත් නොවැළැක්විය හැකි ආකාරයකට බැඳී යනු ඇති වග වැසි දැරිය දැඩිව විශ්වාස කරන බැවිනි.

Image result for Rupi Kaur

Wednesday, March 7, 2018

ආදරයේ විවිධ පාට, මෘදු යොවුන් පරපුරක අපේක්ෂාව සහ ඒ ලෙවල්!

ලෝකයේ බිහි වන කලාකෘති දෙවර්ගයකි. ඇතැම් කලාකෘති සිත නිවනතර තවත් සමහර නිර්මාණ සිත දවයි. එක් අතෙකින් නිරන්තරයේ දැවෙන ලෝකයක නිවුණු නිර්මාණ බිහි කිරීමද ඉතා අසීරුය. වෙ‍සෙසින්ම සුලබ තේමාවන්ගෙන් සහ ඒකාකාරී රංග විලාසයන්ගෙන් යුත් සිංහල සිනමාවේ එවන් නිමැවුම් බිහි වන්නේ අතැඟිලි ගණනටත් අඩුවෙනි. නිර්මාණය විය යුතු සමාජය ගැන කතා කෙරෙන කලාකෘති ඒ අතුරින්ද ඉතා දුලබය. 'ඒ ලෙවල්' පමා වී හෝ යමක් ලිවිය යුතු චිත්‍රපටයක් වන්නේ එහෙයිනි; සාකච්ඡාවකට බඳුන් විය යුතුම වූ බොහෝ දේ එහි අන්තර්ගතව තිබූ හෙයිනි. 

මා ඒ ලෙවල් පිළිබඳව දුටු පළමු ප්‍රතිචාරයෙන් මේ සටහන පටන් ගැන්මට කැමැත්තෙමි. එය ලියා තිබුණේ පසුගිය වසරේ හොඳම නැගී එන කවියා ලෙස සම්මානිත වූ ප්‍රියලාල් කොග්ගලගේ සහෝදරයාය. (ඔහුගේ කවියක් සයිමන් නවගත්තේගමයන් පිළිබඳ ලියූ පෙර සටහනකද සඳහන් කළෙමි.) සාමාන්‍යයෙන් ඔහු වෙතින් සුබවාදී විචාර පළ වන්නේ ඉතා අඩුවෙනි. යමක් ගැන ඔහුගේ විවේචනය තියුණුය. බොරු වර්ණනා නැත. එහෙත් ඒ ලෙවල් යනු ''නැරඹුවායින් පසු අපරාදේ කියා නොසිතුණු අතළොස්සක් වූ සිංහල චිත්‍රපට කිහිපයෙන් එකකැයි'' ඔහු ලියා තිබුණි. 

‍ඒ ලෙවල්හී නිරූපිත යෞවනය පවිත්‍රය. එය වැඩිහිටි වියේ ආත්මාර්ථකාමී අපේක්ෂාවන්ගෙන් කිලිටී වී නැත. වෙසෙසින්ම අනුත්තර සහ අහිංසා නියෝජනය කරන්නේ නිර්මාණය විය යුතු වූත් - සබුද්ධික වූත් පාසල් සිසුවා සහ සිසුවියයි. පවතින සමාජය තුළ අත්දකින්නට ලැබෙන තාරුණ්‍යය කෙළෙසුණු එකක් වන්නට පිළිවන. මෙපමණ මෘදු පැවතුම්වලින් යුත් තරුණ තරුණියන් අල්පමාත්‍ර වන්නට පිළිවන. එහෙත්  නව යෞවනයත් තාරුණ්‍යයත් අතර වන, නොඑසේව පැවතිය යුතු වන භද්‍ර යෞවනයේ පිරිසිදු බව මෙකී යෞවන යෞවනියන් තුළ අතිශය පැහැදිලිව සටහන් වී තිබිණි. 

සිනමාපටයේ තේමාත්මක අගය පිළිබඳ තව දුරටත් කතා කරන කල සිහිපත් වන යමක් තිබේ. ඒ ළමා අපයෝජනය පිළිබඳ ගැඹුරු තේමාවකින් යුත් සිනමාපටයක් අප රට තුළ බිහි නොවන්නේ මන්ද යන්න අප නිරන්තරයෙන් සංවාදයට ලක් කළ අන්දමයි. ඒ ලෙවල් සාර්ථක ලෙස ඊට පිළිතුරු සපයයි. සියලු සිදුවීම් එකට බැඳ තබන හුය වන්නේ එකී තේමාවයි. සිහිනි පිළිබඳ සිදුවීම ප්‍රේක්ෂකයාට සිහිපත් කරවන්නේ සේයා ඇතුළු සිඟිත්තියන්ගේ නිහඬ කරවන ලද කටහඬයි. සේයාගේ මරණය සිදු වූ අලුත තාත්තා සමඟ කොහේ හෝ වැඩසටහනකට යමින් සිටියදී රියෙහි රේඩියෝවෙන් පැරණි ගීතයක් ප්‍රචාරය විය. එහි ''දෙපිය නගා යන්නට බැරි කටු අකුල් කැලේ - සසර සරන තුරු නුඹ නොපිපියන් සුදු මලේ'' යනුවෙන් දෙපදයක් විය. ඒ වදන් මට සේයා සිහි ගැන්වූයෙන් මම ඒ වග තාත්තාට සිහිපත් කළෙමි. ඊට හෝරා දෙක තුනකට පසු  පැවැත්වූ දේශනයකදී තාත්තා ඒ බව සඳහන් කොට, ඒ කටු අකුල් ඉවත් කිරීමේ කාර්යය අප සතුව පවතින බව මතක් කර සිටියේය. ඒ ලෙවල් බලන්නට තාත්තාට ඉඩක් නොතිබීම පිළිබඳව මට පසුව කණගාටු සිතුණේ මේ කටු අකුල් ඉවත් කිරීමේ කාර්යය ඒ චිත්‍රපටය හරහා කදිමට සිදු ව තිබූ බැවිනි. 

ඒ ලෙවල් ආදරයේ විවිධ පැහැයන් වර්ණ ගන්වයි. එය හුදෙක් අනුත්තර සහ අහිංසා වටා දිවෙන ප්‍රේම කථාවක් නොවේ. එය ස්ත්‍රී පුරුෂ භේදයන්ගෙන් කිළිටි වී නැති මිතුදමෙහි ඇති ආදරයේ පැහැය ගැන කථාවකි. සිය සිඟිති දියණිය වෙනුවෙන් සටන් වදින මාතෘ ප්‍රේමය පිළිබඳ කථාවකි. තමන් හා ලේ බැඳීමක් නොමැති ජීවිතවලට පවා ආදරය කිරීමට උගන්වන සහෝදර ප්‍රේමය පිළිබඳ කථාවකි.  එසේම, ආදරය වියැකුණු ලෝකයක උපදින අමනුෂ්‍යත්වයේ දුර්ගන්ධය පිළිබඳවත් - ඒ දුර්ගන්ධය පළවා හළ හැකි අසීමිත ආදරයෙහි කැපවීම පිළිබඳවත් කථාවකි. 

පාසල් සිසුන් අතර ආදරය පහළ වීම වරදක් යැයි විශ්වාස කරන්නවුන්ට ඒ ලෙවල්හි වරදක් පෙනෙන්නට ඉඩ තිබේ. පුද්ගලිකව මමද පාසල් ප්‍රේමය අනුමත නොකරමි. අාදරය යනු ආදරය වටහා ගත හැකි වයසකදී හට ගත යුත්තක් මිස පාසල් වියේ අහම්බයක් නොවිය යුතු බවද අදහමි. අනෙක් අතට ආදරයට බෙදා වෙන් කිරීම් නැත. ජීවින් දෙදෙනෙකු අතර හට ගන්නා ආදරය, ඔවුන් කුමන වයසක විසූවද - සම්මත වුවද - අසම්මත වුවද - සම්ප්‍රදායික අඩි කෝදු තබා මිණිය හැකි වුවද නොහැකි වුවද - සෑම විටකම සාධාරණ ය. එහෙයින් ආදරයක හැඩය හෝ පැහැය කෙබඳු වුවද අපට එහි නිවරද බව තීරණය කරන්නට අයිතියක් ඇතැයි නොසිතමි. 

කොහොමටත් ඒ ලෙවල් කතා කරන්නේ ඉගෙනුමෙහි අතු ඉති බිඳින - පාසල් නිල ඇඳුම් පිටින් උපත් පාලන පෙති මිළ දී ගන්නා අන්දමේ මොඩර්න් පාසල් ආලයක් ගැන නොවේ. අතිශය පිරිසිදු වූත්- සුන්දර වූත් අවිහිංසක ආදරයක් පිළිබඳවය. සම්ප්‍රදායික කතාවක වීරයා සහ අනුත්තර අහසට පොළොව සේ වෙනස්ය. ඔහු ඇවිළෙන්නේද දැවෙන්නේද නැත. තමන්ද නිවී අනුන්ද නිවන අන්දමේ වෙනස් යෞවනයෙකි. අප සමාජයට අවශ්‍යද එබඳු තරුණයන්ය. කඩු පොලු ගෙන සටනට යන්නවුන් නොවේ; මෘදු වදනින්ද - යහපත් සිතුවිලිවලින්ද සමාජය නිවන්නෝය. තමන් තනිව නොව අන් සියල්ලන් සමඟ ගමනක් යා යුතු බව සිතන්නෝය. 

අහිංසා අපයෝජනයට ලක් වූ දැරියක වීම යන කරුණ හරහා නිර්මාණකරුවා අප ගෙන යන්නේ බටහිර සිනමාවෙන් ගැඹුරින් ස්පර්ශ වූ මුත් මෙතෙක් සිංහල සිනමාව අත නොතැබූ ඉසව්වකටය. මනෝවිද්‍යානුකූලව පිරිමියෙකු අතින් කුඩා කල අපයෝජනය වූ යුවතියක තුළ පසුකලෙක සිය ජීවිතයට සම්බන්ධ වන පිරිමියෙකු පිළිබඳවද පවතින්නේ පිළිකුළ - වෛරය සහ බිය කැටි වූ හැඟීමකි. එවන් යුවතියකට ප්‍රේම කිරීම පහසු කටයුත්තක් නොවේ. සාමාන්‍ය තරුණයෙකුට එවන් දැරියක වෙත ළං වන්නටද නොහැකිය. අනුත්තරගේ මෘදු බව ඔහු අනිත් තරුණයන්ගෙන් වෙනස් කරවන අන්දම වඩාත් වැදගත් වන්නේ එතැනදීය. ඔහු අහිංසා වෙත ළං වන්නේ ඉතා මුදුවය. ඔවුන්ගේ සබඳකම තුළ ඇත්තේ චමත්කාරජනක සන්සුන් බවකි. අෑ ගැන මැවෙන කටකතා නිසා අන් සියල්ලන් ඈ අතැර යද්දී ඔහු ඈ වෙත රැඳෙයි. තමන් ප්‍රිය කරන යුවතිය ලිංගික අපයෝජනයට ලක් වූ තැනැත්තියක බව දැනගැනීමම සාමාන්‍ය තරුණයෙකුට ඈව අත හැරීමට ප්‍රමාණවත්ය. එහෙත් අනුත්තර ප්‍රථම වතාවට අහිංසාගේ අතකිනුදු ස්පර්ශ කරන්නේද - ඇයට ප්‍රේමය පිළිබඳ සංවේදනාව පළ කරන්නේද ඈ අපයෝජිත යුවතියක බව දැනගත් පසුය. අනුත්තර අසාමාන්‍ය තරුණයෙකු වන්නේද ඔහුගේ ආලය යෞවනයට පරමාදර්ශයක් වන්නේද එහෙයිනි.

චිත්‍රපටයේ සංකේත භාවිතයද කදිමය. පෙර පාසලේ ගුරුතුමිය ලිංගික අතවර පිළිබඳව සඳහන් කරද්දී දිස් වන සිහිනිගේ සමීප රූප රාමු අතිශය සංකේතානුරූපී වේ. චිත්‍රපටය අවසානයේ අනුත්තර අහිංසාගේ පැන්සල සමඟ සිය පෑන හුවමාරු කරගැනීමද ප්‍රබල සංකේතයකි. ඔහු ඇගේ දෝමනස්සයන් සියතට ගෙන ඇගේ අනාගතය තහවුරු කරන්නට සූදානම් බව ඉන් අපූරුවට පැහැදිලි කරයි.

චරිත නිරූපණයට රංගන ශිල්පීන්ගෙන් ලැබී ඇති  දායකත්වය වෙත යොමු වන කල සියලුම ශිල්පීන්ගේ පාහේ රංගනය විවාදයකින් තොරව විශිෂ්ටය. පාසල් සිසු සිසුවියන් කිසිවකු ආධුනික රංගන ශිල්පීන් යැයි ප්‍රේක්ෂකයාට නොදැනෙනා පමණ ඔවුන් නිපුණතාවෙන් පිරිපුන්ය. ජනප්‍රිය යැයි ලේබල් ගැසුණු හුදු එළිය පමණක් සහිත ඇතැම් තාරකාවනට වඩා ඔවුන්ගේ කෞශල්‍යය ඉහළ ආස්ථානයක පැවතුණි. 

ලාංකික සිනමා ප්‍රේක්ෂකයා ඉදිරියේ සිටින්නේ සිරුරු පුම්බා ගත් වීරයන්ය. - සකල ශරීරයෙන් රූප සෞන්දර්යය වෑහෙන වීරවරියන්ය. එහෙත් ඒ ලෙවල්හි පාසල් සිසු සිසුවියන් ලෙස රංගන දායකත්වය ලබා දී ඇති සියලුම යොවුන් රංගන ශිල්පීන් - ශිල්පිනියන් ඉතාමත් සාමාන්‍ය පෙනුමැති පිරිසක් වීම ඉතා ප්‍රබල ලෙස කැපී පෙනෙන කාරණයකි. බොහෝ විට සිංහල සිනමාවේ පාසල් සිසුවියෝ සකල රූප සෞන්දර්යයෙන් අනූන වන අතර ෆවුන්ඩේශන් තට්ටු විසි අටක් ආලේප කොට, ලිප්ස්ටික් උලා, ඇස අංජන තවරා පාසල් එති. පාසල් සිසුන් සික්ස් පැක් සහිත වූ, දිදුලන ඡවි වර්ණයෙන් යුත් කඩවසම් ඉලන්දාරින්‍ ය. එහෙත් ඒ ලෙවල් නියෝජනය කරන්නේ පොදු සාධකයයි. ඔවුන් සියලු දෙනා වෙතින් දිස් වන්නේ ලංකාවේ ඕනෑම පලාතක උසස් පෙල පන්තියක යෞවනයන් වෙතින් දකින්නට ලැබෙන අන්දමේ බාහිර ස්වරූපයකි;  ඔවුන් නියෝජනය කරන්නේ අපට පෙනෙන - දැනෙන යෞවනයේ හරස්කඩකි. අහසින් බට තාරුකා පන්තියේ යෞවනයක් නොවේ.

මට දැනෙන අන්දමට ඒ ලෙවල්හී අපූර්වතම හැඩතල මැවෙන්නේ උමාලි තිලකරත්න නම් ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය වෙතිනි. ඇගේ ප්‍රබල හැඟීම් ප්‍රකාශනය හරහා මාතෘ ප්‍රේමයේ අසීමිත වාත්සල්‍යය ඉතා තියුණු අන්දමින් ප්‍රේක්ෂයා වෙත ප්‍රේරණය වේ. පාරමීගේ චරිතය හරහා පසක් වන සුවිශේෂීම කරුණ නම් ඈ සිංහල සිනමාවේ අනාගතය තීරණය කළ හැකි සාධකයක් වගය. 

වේදිකාවේ වේවා - සිනමාවේ වේවා සිය සුපුරුදු කෞශල්‍යය විශද කරවන චාන්දනී සෙනෙවිරත්න, ජයලත් මනෝරත්න, ජයනි සේනානායක ඇතුළු කලාකරුවන්ගේ රංගනයද විය යුතු පරිද්දෙන්ම සුවිශිෂ්ටය. නමුත් තුමිඳු දොඩන්තැන්න යන ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පියා  තවත් ප්‍රබල ලෙස හසුරුවන්නට හැකිව තිබිණි යන්න සිනමාපටයේ ආරම්භයේ සිටම දැනුණු හැඟුමකි. 

ඒ ලෙවල්හී සංගීතයද චිත්‍රපටය හා කදිමට ඒකාත්මික වේ. එය ඇතැම් චිත්‍රපටයක මෙන් කතා සාරයටත් -සිදුවීම්වලටත් කොහෙත්ම නොගැළපෙන අන්දමේ කැවුම් සහ චීස් වැනි සංගීත සංයෝජනයක් නොවේ. අනෙක් අතට සුරේෂ් මාලියැද්දගේ සංගීතයෙහි හැඩතල කොහොමටත් වෙනස් සජීවි බවකින් යුතුය. මල කොතැන පිපුණාම, නොරිකො සං සහ විරාග රාගය ආදී රහක් ඇති ගීතවලින් හෙළි වන ඔහුගේ සංගීතයෙහි වන සුන්දර වෙනස ඒ ලෙවල් සඳහාද සාධාරණය ඉෂ්ට කොට තිබේ. 

සිනමාපටය පුරාම මට දැනුණේ සුළු අඩුපාඩු කිහිපයක් පමණි. ඒවාද සඳහන් නොකළ යුතු පමණ ඒවා බැවින් වැඩිමනත් ඒ ගැන ලියන්නට නොයමි. නමුත් චිත්‍රපටයේ ආරම්භය ගැන කිව යුතුමය. ඒ ආරම්භය තරමක් දුරකට ඇල්මැරුණු ස්වභාවයක් දරයි. කතා සාරය පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ නොසන්සිඳෙන උනන්දුවක් දල්වන්නට ඒ ආරම්භය ප්‍රමාණවත් නොවේ. අනෙක් අතට ඒ ලෙවල් වැනි ගැඹුරක් සහිත කතා වස්තුවක ආකර්ෂණය සඳහා හුදු චිත්‍රපටයක මෙන් 'ෆයිට් කෑලි' වුවමනා නැත. එහෙයින් ඊට වඩා ප්‍රශස්ත වූ ඇරඹුමක් ඒ ලෙවල් සඳහා එක් කළ හැකිව තිබුණැයි මම පුද්ගලිකව විශ්වාස කරමි. නමුත් හොඳ දේ බොහෝ ඇති තැනක කුඩා වරදක් සොයාගෙන ඒ ඔස්සේ යා යුතු නැත. 

සමස්තයක් වශයෙන් ඒ ලෙවල් වයස් භේදයකින් තොරව යහපත සමාජගත කිරීමේ ශක්‍යතාවෙන් යුත් කදිම චිත්‍රපටයකි. චිත්‍රපටයක වේවා - කවියක - ගීතයක වේවා - ඕනෑම සාහිත්‍ය නිර්මාණකය මුඛ්‍ය අරමුණ ලෙස අප දකින්නේද එයයි; අප ජීවත් වන ලෝකය පවතිනවාට වඩා යහපත් තැනක් කිරීමයි. රොහාන් පෙරේරා  සිංහල සිනමාවේ තබන ආස්ථානය සුවිශේෂී වන්නේද, ඒ ලෙවල් හුදු සිනමා පටයක් නොවී සිනමා සිත්තමක් වන්නේද ඒ 'වෙනස්' ආරම්මණය කරණ කොට ගෙනය.