Friday, December 2, 2016

ගමේ මතක - වතුර ටැංකිය + සහෝදරකම්..

කොළඹ ක්ලෝරීන් වතුරෙන් නෑවම දැනෙන හැඟීමට වඩා සම්පූර්ණ වෙනස් හැඟීමක් එක්ක මම හීතල වතුරේ බැහැගෙන ඉන්නේ හුඟක් වෙලාවක ඉඳන්.. 

නෑනා නම් තාම වතුරට බැස්සෙ නැහැ.ෂැම්පු ගෙනෙන්න කඩේට යවපු නගා එන තුරු ඈ ටැංකියෙ ගැට්ට උඩට වෙලා ඉඳගෙන ඉන්නවා. 

අන්න එනවා.. ඈ කියන්නෙ ඇස් පියාගෙන කල්පනා කරමින් ඉන්න මට ඇහෙන්න. අම්මලාගෙ මහගෙදර බිම ඇතිරුණ සුදු වැලි මත පොඩි නෑනගේ බයිසිකලේ රෝද ඇතිල්ලෙන සද්දෙට මං ඇස් අරිනවා. කෙල්ල බයිසිකලේ එනවා නෙමේ පියාඹනවා. වැලි පොළොව දිගේ වේගෙන් ආපු බයිසිකලේ ටැංකිය ගාව නතර කරලා ඈ ෂැම්පු එක දෙන්නේ අක්කා අතට.

නාලා ඉවර වෙලා වර්ෂක්කා මට චිත්‍රයක් ඇඳලා දෙන්න ඕන..

පොඩි එකාගෙ ඉල්ලීමට මං එකඟ වෙන්නෙ හිනාවක් පාමින්. වැහි දැරිවි ගෙදරදී චිත්‍ර අඳින්නෙ කළාතුරකින්. ඉසිඹුවක් ලැබෙන වෙලාවට චිත්‍රයක් නොඇඳ අන්තර්ජාලයෙ සැරිසන්න පුරුදු වෙලා ඉන්න වග මතක් වෙද්දි හිතට දැනෙන්නෙ කණගාටුවක්. පොත්හලකට ගියත් පොත් රාක්ක අතරටම පය ඇදෙනවා මිසක පාට පෙට්ටියක් ගන්න මතක් වෙන්නේ නැහැ. පොත්හලෙන් එළියට බැහැලා ගෙදරත් ආවට පස්සෙ තමා දියසායම් හීනයක් තිබුණා නේද කියලා මතක් වෙන්නෙ. සිත්තර ජීවිතේ ගැන තිබුණ ආසාව ඒ තරමට ම හිතෙන් පළා ගිහින් කියා හිතෙද්දි දුකයි. ඒත් මාස පහ හයකට සැරයක් ගමේ ගියාම මාමාගෙ පුංචි හුරතලී මගේ සිත්තර අපේක්ෂාවන් ඔක්කෝම එළියට ඇදලා ගන්නවා. කෙල්ලටත් ලස්සනට චිත්‍ර අඳින්න පුළුවන්. පොඩි එකී මං ඇඳලා දෙන චිත්‍ර මනරම් ව පාට කරද්දි ඈ වෙතින් වැසි දැරිය දකින්නේ වැසි දැරියගේ පුංචි අවදිය. කොළඹ යන්න කලින් කෙල්ලට පාට පැන්සල්, දියසායම්, චිත්‍රපොත් අරන් දීලා යන වැසි දැරියගේ අම්මටත් මතක් වෙනවා ඇත්තෙ පාට කූරුවලින් - ෆැබ්රික් පේන්ට්වලින් පිරිච්ච වැසි දැරියගේ බාල කාලේ තමා..

චිත්‍ර අඳින්න පුළුවන් පස්සෙ.. දැන් යනවා ගිහිල්ලා පාඩමක් බලාගන්න..

ලොකු නෑනා තමුන්ගෙ ජ්‍යෙෂ්ඨ භාවයේ ආධිපත්‍යය පතුරුවමින් පොඩි නෑනාව එතනින් පන්නලා දාන්නෙ මෙතන හිටියොත් කෙල්ල හෝම්වර්ක් නොකර වතුරේ නටන්න පෙළඹෙන බව දන්න නිසයි. ඊළඟ මොහොතෙ ලොකු නෑනා කණ්ඩියෙන් මෙහා පැත්තට පැනලා වතුර ටැංකියට බහිනවා. 



මේ වතුර ටැංකියටත් ලොකු ඉතිහාසයක් තියෙනවා. මට මතක ඇති කාලෙ පටන් අම්මලාගෙ මහගෙදර මිදුලේ කොහොඹ ගස් හෙවණ යට මේ ටැංකිය තිබුණා. ඒක මධ්‍යම ප්‍රමාණයෙ සිමෙන්ති ටැංකියක්. හතරැස් හැඩයෙ මේ ටැංකිය ඇතුළෙ අඩි පහක් උස කෙනෙක් හිටගත්තම බෙල්ල ගාවට වතුර පිරෙනවා. අපේ ගෙදර කවුරුවත් මහගෙදර ආපුවාම නානකාමරයෙන් නාන්නේ ම නැහැ. හැමෝම තරඟෙට පොරකන්නේ ටැංකියෙන් නාන්න. අනිත් හැමෝම ටැංකියෙන් වතුර ඇදගෙන - එහෙම නැත්නම් ටැංකිය ළග තියෙන ෂවර් එකෙන් නෑවත්, නෑනාත් - මාත් හැමදාම නෑවේ ටැංකිය ඇතුළට බැහැලා.

එක ම අවුරුද්දෙ මාස දෙකක ඉපදිච්ච අපි දෙන්නාට දැන් අවුරුදු විස්සක් වුණත් තාම ඒ පුරුද්ද අතහැරිලා නෑ. මහගෙදර ආවාම නාන්නේ ටැංකියේ බැහැලා ම තමා. සිහින් සිරුරැති වීමේ ආනිසංස හේතුවෙන් ටැංකියට බහින්න කිසි කරදරයකුත් නැහැ. 

අඩුම වශයෙන් ටැංකියේ බැහැලා නාන්න අපිට යනවා පැය හතරක්වත්. අම්මා හරි මාමා හරි නැන්දා හරි ඇවිල්ලා දෙස් දෙවොල් තියන තුරු අපි දෙන්නා නෙමේ ටැංකියෙන් එළියට එන්නෙ. අපිට මුණ ගැහෙන්න බැරි වුණ කාලෙ දෙන්නා කියවපු අලුත් පොත්.. බලපු අලුත් චිත්‍රපටි.. ඒ චිත්‍රපටිවල හිටපු ලක්සන කොල්ලෝ.. කොච්චරක් නම් ජාති තියෙනවද අප්පා කතා කරන්න.. 

ඒ කතාබහ අතරෙ පොඩි එකා වගේ කෝප්පෙන් වතුර ඔලුවට දාගන්න වැහි දැරිවිට නින්දා අපහාස කරන්නත් නෑනා අමතක කරන්නේ නැහැ. මක් කරන්නද.. වතුර යට ඔලුව ඔබා ගත්තම හුස්ම ගන්න බැරුව යාවි කියලා වැහි දැරිවිට බයයි නෙව. ඔක්කොටම හපන් වැහි දැරිවිගේ තාත්තා බයයි වැහි දැරිවි එහෙම දිය යට ඔලුව ඔබාගන්නවට. ඇළක දොළක නාන්න ගියත් ඉතින් බාල්දියේ පිහිට තමා. එහෙමයි කියලා ඔය පිහිනුම් සූරයෝ සූරියෝ දැන් මට හිනාවෙන්න තියාගන්නවා එහෙම නෙමේ.. හරිය..

වැහි දැරිවිගෙ දණිස්ස ගාවට තරම් දිග කෙස් කළඹෙ ෂැම්පු ආලේප කරන්න වුණාම නෑනා දොස් කියන්න අමතක කරන්නෙත් නෑ.පැය දෙක තුනක් තිස්සේ වතුරේ නටන ගමන් අපි විසි අවුරුද්දක මතක - ජීවිතේ පුංචි පුංචි දේවල් ගැන දොඩමළු වෙන්නෙ නෑනාවරු නෙමේ - එක කුසේ උපන් සහෝදරියෝ දෙන්නෙක් වගේ.

හැන්දෑ කළුවරත් මෝදු වෙලා - හයහමාර හත විතර වෙද්දි වතුරෙ ඉඳලා වැඩි වෙලා ඇසුත් රිදෙන්න පටන් ගන්නවා. වැඩිහිටි ඇත්තන්ගෙ දෝසාරෝපණ සද්දෙත් ටික ටික වැඩි වෙනවා. ඒ වෙලාවට තමා ඉතින් අපේ වාර්ෂික ස්නානය අහවර වෙන්නෙ.. 

ජීවිතේ කොයි තරම් යාලුවෝ මුණ ගැහුණත්, නෑනා තරම් අපූරුවට වැහි දැරිවිගේ හිත යාලුකමින් පුරවන්න පුළුවන් කෙනෙක් නම් කිසිදවසක මුණ ගැහෙන එකක් නෑ කියලා ගමේ ගෙවෙන හැම දවසකදි ම මට හිතෙනවා.. වතුර ටැංකිය කොයි තරම් පරණ වුණත් ඒ එක්ක බැඳිලා තියෙන මතක සීත උල්පත් දිය වාගේ ම හැමදාම නැවුම්.. හිත ජීවයෙන් පුරවනවා..

Thursday, November 24, 2016

මනරම් දවස් + ඒ බෝ සෙවණ යට..

ඊයේ පෙරේදා දවසක ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක රසවින්දන වැඩසටහන් කිහිපයකට සහභාගී වෙන්නට සිදු වුණා. නව යොවුන් පරම්පරාව නියෝජනය කරන පාසල් සිසුන්ගේ රසවින්දනයත් - ආකල්පත් යහපත් අතට වෙනස් කිරීම කළ යුතු දෙයක් වාගේම කරන්නත් පුළුවන් දෙයක්. ඒ නිසා අපි අපේ ශක්ති ප්‍රමාණයෙන් ඒ වගේ කටයුතුවල නියැලෙනවා. මේ දවසත් ඒ වගේ ගාල්ලේ ගත වුණු මනරම් දවසක්..

දඟකාරයි - කටකාරයි කියන නව යොවුන් පාසල් සිසු සිසුවියන් ම මේ රසවින්දන වැඩසටහන්වලට සහභාගී වෙන්නේ පුදුමාකාර උනන්දුවකින්. අපේ පාසල් විෂය නිර්දේශවල තියෙන ඒකාකාරී බවෙන් බොහෝ වෙනස් තැනක තිබෙන සාහිත්‍ය රසවින්දනය ඔවුන්ට අලුත් දෙයක්. ඒ වාගේම රසවත් දෙයක්. පන්තියෙ උගන්නද්දි කෑ කෝ ගහලා ගුරුවරුන්ට කරදර කරන දරුවන් ම අලුත් කවි ගැන කතා කරද්දි ඒවා අහන් ඉන්න විදිය දැක්කම පුදුමත් හිතෙනවා. 

මේ එක් වැඩසටහනකදී අපිට හරි අපූරු යුවතියක් මුණ ගැහුණා. ඈ අපිත් එක්ක කතා කළේ සාහිත්‍යය ගැන. පොදු කටයුතුවල තියෙන අවශ්‍යතාව ගැන. ඒ අතරෙ තමන් ලියාපු කවි කිහිපයක් ගැනත් ඈ අපිත් සමඟ දොඩමළු වුණා. ගොඩක් හිතවත් වුණාට පස්සෙ තමා කිව්වෙ ඈ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් බව.

"අපි වැඩිම වුණොත් තව අවුරුදු හතළිහක් පනහක් ජීවත් වේවි නංගි. ඒ කාලය ඇතුළෙ මේ රට වෙනුවෙන් - අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන්න තියෙන දේ අප්‍රමාණයි. ගෙවන්න තියෙන ණය අප්‍රමාණයි.."

ඈ එහෙම කිව්වා. ඇය වැනි අනාගත වෛද්‍යවරියන් රටට වාසනාවක්. රටේ මිනිස්සුන්ගේ දුක් වේදනාවන් දැනෙන වෛද්‍යවරු හිඟ කාලයක ඇගේ චින්තනයෙන් යුතු වෛද්‍ය පරපුරක් බිහි විය යුතු ව පවතිනවා. 

ඉන්පස්සෙ ඇයත්, එක් රසවින්දන වැඩසටහනක් සංවිධානය කළ ඇගේ ඥාති සොහොයුරෙකුත් සමඟ අපි ගියා ඔවුන්ගෙ නිවෙස ආසන්නයේ තිබුණු පන්සලකට. මං ජීවිතයේ දැකපු සුන්දරම පන්සල ඒකයි. බුදුහාමුදුරුවෝ සියල්ල අතහැරලා සම්බුද්ධත්වය අවබෝධ කරගත්ත බෝධියේ ශාඛා වටේට රන්වැටවල් බැඳපු පන්සල්, පන්සල් කියා මට නම් දැනෙන්නේ නැහැ. ඒත් මේ පන්සල එයින් වෙනස්. පන්සල වටේට කළුගල්තලාවක් තිබුණා. අදටත මිනිස්සු බණ අහන්නේ ඒ කළුගල්තලාවේ හිඳගෙන වග දැනගත්තාම මගේ හිතේ ලස්සන මනෝරූපයක් මැවුණා. ඒ කළුගල්තලාවේ වාඩි වෙලා දවසක බණ අහන්න ඇත්නම් කියලා මේ ලියන මොහොතේත් මට හිතෙනවා.

පන්සල තිබුණේ පුංචි කඳුගැටයක් මත්තේ. ඒ ඉස්සර පන්සල් තනපු විදිය. ගමේ තිබුණ උස් ම ස්ථානයේ තමා පන්සල තනන්නේ. ස්වාභාවික විපතකදී වුණත් පන්සල ඇතුළේ මුළු ගමේම මිනිස්සු ආරක්ෂිතයි - ජාති ආගම් කුල භේදයකින් තොරව. ඒ බව කතා කරද්දි මට මතක් වුණේ වසර ගණනකට පෙර සමන් සිත්තරා කළ ප්‍රකාශයක්..

"බුදු සසුන සුරැකීම යනු සියලු ධාර්මික සංස්ථාවන් හී පැවැත්ම තහවුරු කිරීමයි. බුදුදහම මහා වෘක්ෂයකි. ඒ වෘක්ෂයෙහි සෙවණ යට හින්දු,කිතුණු,මුසල්මානු සියලු ආගම් ආරක්ෂිත ය." 

බුදුදහම සවිමත් ව පවතින තාක් අන් සියලු ආගම් ඒ වටා ආරක්ෂිතයි. මන්ද එය ආගමක් නොවන නිසා.. එය ලොව මෙතෙක් පහළ වූ සුවිශිෂ්ටතම දර්ශනය වන නිසා.. මිනිස්සු බුදුදහම ආගමක් නොවෙයි දර්ශනයක් ලෙස පිළිගෙන, ඒහි පස්සික ව විත් එය හදාරන්නට පටන් ගත් දාට මේ ලෝකය මීට වඩා බොහෝමත් ම සුන්දර තැනක් වේවි කියා ඒ මනරම් පන්සලේදී මට හිතුණා.

ගෙවී ගිය ඒ මනරම් දවසේ මතක අතරේ - තවමත් ඒ බෝ සෙවණ යට වැහි දැරියගේ හිත නිසංසලේ හුස්ම ගන්නවා.

Tuesday, November 15, 2016

උසස්පෙළ කියන්නේ ආදරේ ගලන තැන...

උසස්පෙළ කියන්නේ
ආදරේ ගලන තැන
හදවතින් හදවතට
යාලුකම පිරෙන තැන

නෝට් පොත් අගිස්සේ
කවි කෑලි ලියන තැන
ඉසිඹු ලන මොහොතකට
හිස් වචන කියන තැන

පුටු ගොඩක් තියෙද්දිත්
බිමින් ඉඳගන්න තැන
විහඟ රෑනක් වගේ
ඔහේ කෑ ගහන තැන

ටයි පටිය අග රැඳුණ
පහන සේ දිලෙන තැන
පහනකින් තව පහන්
දහක් බබළවන තැන

ඇහිඳ අකුරින් අකුර
හෙට දවස තනන තැන
ලබා සරසවි වරම්
විදු මවුන් පුදන තැන

ළදළු යුත් බෝධියේ
සෙවණ යට වඳින තැන
වෙළා සෙනෙහසේ අත්
යාලුකම් රකින තැන

ප්‍රංඥාකුර ලෙසින්
නැණ නුවණ වඩන තැන
වීර දූවරු හදා
රට දැයට පුදන තැන

දහතුනේ අන්තිමේ
ඇස් දුකින් තෙමෙන තැන
වෙන් වෙලා යන්න පෙර
බදාගෙන අඬන තැන

Wednesday, October 26, 2016

Sealed with a kiss - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි

දෙවෙනි ලෝක යුද්ධය කාලෙදි පෙම් හසුන් හුවමාරු වෙද්දි ලිපිවල අග සටහන් වුණ ජනප්‍රිය ම වචනයක් තමා SWAK.. පෙම්වතා ඈත යුධ බිමේ ඉඳන් පෙම්වතියට ලියා එවූ මේ කෙටි අකුරු හතරෙ අදහස වුණේ, අපි කවුරුත් දන්න විදියට "Sealed with a kiss..  - හාදුවකින් මුද්‍රා තබා ඇත්තෙමි." කියන පණිවිඩය. උමතු අධිරාජ්‍යවාදයෙ අකාරුණික ගොදුරු බවට පත් වෙලා උන්නු - කොයි මොහොතක තමන් දෙදෙනාට එකිනෙකා අහිමි වේද යන්න නොදත් පෙම්වතුන් ලක්ෂ ගාණනකගෙ මේ ප්‍රාර්ථනය වැසි දැරියගෙ හිත උඩ අමුතු සිත්තමක් ඇඳපු වචන පෙළක්..

එ් වචන ටිකට මේ තරම් ආසා කරන්නට තවත් හේතුවක් තිබෙනවා. ඒ, ජේසන් ඩොනවන්ගේ Sealed with a kiss කියන ඒ වදන් පදනම් කරගෙන ලියැවුණු සින්දුව වැසි දැරියගේ ප්‍රියතම ගීයක් වීම. එගීයෙන් හිත පත්ළෙ ඇඳෙන්නෙ පාලුවත් එක්ක මුසු වුණ අනන්තාපරිමාණ ආදරයක්. යුධ බිමේ සටන් වදින පෙම්වතා ගව් ගණන් දුරක සිටින පෙම්වතියට සිය ප්‍රේමය මුදු හාදුවකින් මුද්‍රා තබා යවන අන්දම වැසි දැරියගේ වැහි වැටෙන හිතට දරා ගත නොහැකි තරම් ප්‍රේමණීයයි. 

මතක පොදියක් අස්සේ හැඟවිලා තිබුණ ඒ ගීය වැසි දැරියට අලුතින් මතක් කරලා දුන්නෙ සිත්තමී අක්කා. ඈ මෑතක දී ලියා තිබුණ ලිපියක සටහන් ව තිබූ මේ අපූරු වචන ටික යළිත් වරක් හිතට සමීප වුණේ ඈ නිසා වග, වැහි වැටෙන තැන ලියා තබන්නේ විසල් ස්තූතියක් සමඟින්.. 

මේ වචන ටික සටහන් කරන මොහොතෙත් ජේසන් මට ඇහෙන්නට සීල්ඩ් විත් අ කිස් ගයනවා. හැකි නම් ඔබත් අහන්න..



ගෙවී යන ගිම්හානය කොතෙක් හුදෙකලා වන්නක් දැයි දැන දැන ම ඒ පාලුව තමා උහුලන බැව් ඔහු සිය පෙම්බරියට දන්වා යවනවා. ඒ දිනපතා ම සිය ප්‍රේමය, හාදුවකින් මුද්‍රා තබා ඈ වෙත යැවීමෙන්.. 

ඔහු උණුසුම් හිරුඑළිය යට ඈ ව දකීවි. හැම අතින් ම ඔහුට ඇගේ කටඅඬ ඇහේවි. ඈව වැළඳගනු රිසින් ඔහු ඇය ව සොයාවි. ඒත් ඒ සියල්ල ම මායාවක් පමණයි. ඇය කොතැනකවත් නැහැ. එය එසේ වේ යැයි දැන දැන ම ඔහු නපුරු ගිමත් කාලයේ දී ඇගෙන් සමු ගන්නවා, සමුගත යුතු වන නිසා. රණ බිමට යා යුතු වන නිසා.. 

ප්‍රේමාන්විත යුවළකට එකිනෙකාගෙන් සමුගන්නට වීම කොතෙක් දුක්බර කාරණයක් ද? සියල්ලටම වඩා, ඒ වෙන් වීම සිදු වන්නෙ තමන්ගේ වුවමනාවෙන් නොවෙයි නම්. සමාජමය කාරණයක් නිසා නම්. විශේෂයෙන් ම යුද්ධයක් නිසා නම්.. ඒක කොතරම් කණගාටුදාකද කියා අමුතුවෙන් ලියන්නට අවශ්‍ය වන්නේ නැහැ..

කතාවක් තියෙනවා තමයි, All is fare in love and war කියලා. ඒත් වැසි දැරිය ළදැරියක කාලේ එය පිළිගත්තේ නැහැ. ආදරයේදීවත් යුද්ධයේදීවත් සියල්ල සාධාරණ වන්නේ නැහැ. කොතැනකදීවත් අසාධාරණ දෙයක් සාධාරණ වෙන්නේ කොහොමද කියන එක ඒ පාඨය ඉගෙන ගත් බිළිඳු අවදියේ පටන් මගේ හිතට වද දුන්නු කාරණයක්..

සියල්ලට ම විසඳුම අප්‍රමාණ ආදරය වග අද - වයසින් වැඩුණු පසු වැසි දැරිය තේරුම් ගනිමින් ඉන්නවා. 

සාධාරණය හෝ අසාධාරණය ගැන කතා කිරීමටවත් යුද්ධ ඇති නොවෙනවා නම් කොයි තරම් අපූරුද? 
යුද්ධ හටගන්නෙ කොතෙක් පටු පරමාර්ථ මත ද.. මනුෂ්‍යත්වයේ නාමයෙන් ක්‍රියාත්මක වෙන ආගම් අනිසි ලෙස ප්‍රචාරය කරන්නට යාමෙන්.. සියල්ලන්ටම අයිති මහපොළොවෙ කෑලි කෑලි බෙදා වෙන් කරගන්න යාමෙන්.. නිර්ධන පාන්තිකයන් අසීමිත ලෙස තලා පෙළා පොඩි කර දැමීමෙන්..

මිනිස්සුන්ට පුළුවන් නම් ආගමේ නාමයෙන් - ජාතියේ නාමයෙන් - භූමියේ නාමයෙන් යුද්ධ නොකර සිටින්න. සියලු දෙනාගේ මනුෂ්‍යත්වයට ගරු කරමින් ජීවත් වෙන්න.. ඇත්තටම සාධාරණ හේතුවක් මතවත් යුද්ධ ඇති වෙන්නේ නැති වෙයි..

ආදරයෙන් පිරුණු ලෝකයක සියලු දෙනා සමාන නිසා.. සියල්ලන්ට සාධාරණය ඉෂ්ට වන නිසා..

කවදාක හෝ ආදරයෙන් පිරුණු ලෝකයක් බිහි වුණොත් පෙම්වතුන්ට සිය ලිපිවල හාදු මුද්‍රා තැබීමට වුවමනා වන එකක් නැහැ. ඔවුන්ට හැකි වේවි, උනුන්ගේ ජීවිත හැබෑවට ම හාදුවලින් සහ ප්‍රේමයෙන් මුද්‍රා තබා ගන්නට..

Sunday, October 16, 2016

සිනමාහල් ප්‍රේමය සහ ඒ අකුරු හතරේ තේරුම..

පාසල් කාලයෙන් ඉක්බිති නොඑක් සරසවිවලට බෙදී විසි වී ගිය අපට එක් වන්නට ලැබෙන්නේ කලාතුරකින් දවසක ය. එහෙයින් මාත් තාත්තාත් මගේ මිතුරියන් තිදෙනෙකු සමඟ සිනමා පටයක් නරඹන්නට තීරණය කළේ අහම්බෙන් ය. සිනමාපටය හොඳ යැයි හිතා බලන්නට ගිය ද ඉන් බලාපොරොත්තු වූ සමාජ ශෝධනය නම් කිසිසේත් ම ඉටු වී ඇත්තේ නොවේ. එහෙයින් ඒ ගැන කතා නොකර ම සිටීම වඩා හොඳ ය. සිනමා පටයක් වේවා, නවකතාවක් වේවා, මොනයම් ම අන්දමේ නිර්මාණයක් වේවා, පවතින සමාජය උසස් කිරීමට දායක විය යුතු යැයි විශ්වාස කරන වැසි දැරියට ඒ ජාතියේ නිර්මාණ දිරවන්නේ නැත. එහෙයින් ඒ ගැන කතා නොකරමි.

මට කියන්නට වුවමනා වූයේ එය නොවේ. වැහි දැරිවිගේ මිතුරියන් අතිශයින් ම කලට වේලාවට වැඩ කරන පිරිසක් වීම හේතුවෙන් තාත්තාටත් වැහි දැරිවිටත් පැය බාගයක් පමණ චිත්‍රපට ශාලාව ඉදිරිපිට රස්තියාදු වෙන්නට සිදු විය. අප එතැන සිටි ඒ මොහොතේ බොක්ස් ටිකට්පත් මිළ දී ගැනීමට පැමිණි පෙම් ජෝඩුවලින් සියයට අනූනමයයි දසම නමයක් ම අවුරුදු දාහතර - පහළව තරම් ළාබාල වයසේ ළමුන් ය. අඩුම තරමේ ඔවුන් උසස්පෙළ කරන වයසකවත් උන් පෙම්වතුන් නොවේ. දැලි රැවුලවත් මෝදු නොවූ කොල්ලන් ද - ඇඟපතවත් හරියට නොවැඩුණු කෙල්ලන් ද බොක්ස් ටිකට්ස් මිළ දී ගන්නා ආකාරය ඇත්තෙන් ම මා තුළ මවිතයක් ඇති කළේය.

වැසි දැරිය ආදරය දකින අන්දම වෙනස් ය. ඒ බව පිළිගනිමි. ඒ විදියට අවට ලෝකයා ආදරය කළ යුතු යැයි මා කිසිසේත් ම සිතන්නේ ද නැත. අපේ ලෝකය තුළ ආලය යනු අපට සංසාර බන්ධනයකි. උනුන් උදෙසා සේ ම ලෝකය උදෙසා කැප වීමකි. ප්‍රේම කරන අතරේ සමාජය ද තැනිය යුතු ය යන ආකල්පයෙන් වැඩ කරන අප මෙන් අන් අය සිතිය යුතු යැයි මා අපේක්ෂා කිරීම අතිශය අසාධාරණ ය. ඒ බව ද පිළිගනිමි. මන්ද, එක් එක් පුද්ගලයන්ගේ සමාජ වටපිටාවන් එකිනෙකට වෙනස් වන හෙයිනි. අප පවා ආල වඩන යන තේරුම බෝසත්කම කියා සිතන්නේ නැත. අපට ද ආදරය තුළ ලෞකික අපේක්ෂාවන් තිබේ. එහෙත් ඒ අපේක්ෂා සංයමයකින් තොර ව, දුවන්නන් වාලේ දුව ගොස්, මොහොතකින් සංසිඳවා ගැනීමේ පිස්සුව ආදරය යැයි මම විශ්වාස නොකරමි. 

යුවතියක විසින් තෝරා ගත යුත්තේ ඉඩ ලැබෙන පළමු මොහොතේ ම ඇගේ සලුපිලි මුදන්නට සැරසෙන තරුණයෙකු නොවේ. කිසිම කෙල්ලක් පෙම්වතා තමාට අහුමුලුවලට හෝ හෝටල් කාමරයකට හෝ රිංගන්නට කතා කරනු ඇතැයි ඇතැයි සැකමුසුව සිටිය යුතු නැත. ඇයට ඔහුගේ අතේ එල්ලී නිදහසේ ගමන් කළ හැකි විය යුතු ය. හිතේ සැකයකින් තොර ව ඔහු හා ඕනෑ තැනක යා හැකි විය යුතු ය. පෙම්වතෙක් යනු ගණිකාවක් සොයා එන කෙනෙකු නොවේ. තවත් ජීවිතයකට පෙම් කරන්නෙකි. ඒ ජීවිතය අප්‍රමාණ ආදරයකින් සුරකින්නෙකි. එසේ ම පෙම්වතියක යනු තවත් ජීවියෙකුගේ අතේ ඇති මුදලට, ඔහුගේ වාහනයට ආදරය කරන්නියක් නොවේ. ඔහුගේ හදවතට ප්‍රේම කරන්නියකි. 

ආදරය යනු අනන්තාපරිමාණ ඉවසීමකි. කැපවීමකි. ජීවිත කාලයක් පුරා ජීවීන් දෙදෙනෙකු විසින් එකිනෙකාගේ සිරුරට සහ හදවතට අවංක ව බැඳී සිටීමකි. එවන් බරපතළ සත්තාවක් දැලි රැවුලවත් නොවැඩුණ තරුණ පරපුරකට වටහා ගත හැකි ද යන්න කල්පනා කරමින් මම බියපත් ව මේ තරුණ ජෝඩු දෙස බලා උන්නෙමි. ඔවුන් මේ වියදම් කරන්නේ සිය මව්පියන් දහදුක් විඳ ටියුෂන් පන්ති ගාස්තු ලෙස අතට වඩම්මවනා මුදල ය. ෆිල්ම් එක බලන්නේ ඒ මුදලිනි. සිප්සතර හදාරා වෙහෙසතැයි උණු වූ ළයින් යුතු ව මව්වරුන් උදෑසන නැගිට සිය දියණියට හෝ පුතුට බැඳ දෙන බත් මුල ඔවුන් කන්නේ චිත්‍රපටියක් බලා ඉක්බිති කොහේ හෝ අහුමුල්ලක ඇති අවන්හලකට රිංගා ගෙන ය. සිය පාසල් නිළ ඇඳුම් පිටින් ම අවන්හල් ගානේ අත් පටලවාගෙන රස්තියාදු වෙන පෙම්වතුන් ඕනෑ තරම් මම නුගේගොඩ අවට දැක ඇත්තෙමි. 

තාත්තාත් මාත් ඔවුන් දෙස බලා උන්නේ කළකිරීමකින් නොවේ. දුකකිනි. විවාහයකින් කෙළවර වෙතැයි කිසිසේත් අපේක්ෂා කළ නොහැකි මේ ශාරීරික බන්ධන - අරටුවක් නැති ෆැන්ටසි බන්ධන ගැන කල්පනා කරමින් ඉන්නා කල වැහි දැරිවිගේ මිතුරියෝ ද සිනමාහලට ළඟා වූහ.

එතැන පොදි කකා උන් අවුරුදු පහළවක්වත් නුවූ තරම් ඉතා ළාබාළ පෙනුමැති පෙම්වතුන් යුවළක් දෙස බලා උන් මගේ මිතුරියක් සුසුමක් හෙළා මෙසේ කීවා ය.

"මගේ කොල්ලා කවදාවත් මෙහෙම තැනකට යන්න මට කතා කරලා නැහැ වැස්ස. අපි හැමදාම මුණ ගැහෙන්නෙ මිනිස්සු යන එන එළිමහන් තැන්වල. අන්ධකාර අහුමුළුවල නෙමේ. අපි කතා කරන්නෙ බරක්පතළක් සහිත දෙයක් ගැන. මේ ලෝකෙ තියෙනවට වඩා යහපත් කරන්න පුළුවන් ක්‍රමයක් ගැන. මේ ළමයි ආදරේ කියන්නෙ මොකක්ද කියලාවත් දන්නව ඇති ද වැස්ස... අඩුම තරමෙ ඒ අකුරු හතරෙ තේරුම?"

Monday, October 10, 2016

නපුරු කොළඹ, ලස්සන අතීතය සහ ඉන්න තැන හිඳ සඳ බැලීම


මං සැනසිල්ලෙ නිදහසේ වාඩි වෙලා ඉන්න ආස තැන් මහ ගොඩක් තියෙනවා. මහ කළුවර රැයක රුවන්වැලි සෑ මළුවෙ වාඩි වෙලා අහස පසුබිම් කරන් පේන සෑ රදුන් දිහා බලන් ඉන්න තමා වඩාත් ම ආස. දෙවනු ව, ශ්‍රී මහා බෝධිය ළඟ - හැබැයි සෙනඟ නැති දවසට. තෙවනුව, නුවර වැව අයිනෙ සීතල සුළඟ හමන උදා වරුවට.. තව මහ ගොඩක් දේවල් තියෙනවා. දියවන්නා රක්ෂිතය අද්දර අර පඳුරු ගැහෙන ගොහොරු බිම් ආසන්නයෙ සියක්කාරයන්ගෙ කටඅඬ අහමින්.. වැඩිය සෙනඟ නොඑන ගස්වැල්වලින් වට වුණු අවහන්හල්වල කාලෙ කමින් ඉන්න.. ගෙදර ඔක්කොම විදුලි පහන් නිවා දාලා ගෙවත්තෙ තණකොළ බිස්සෙ ඉඳගෙන හඳ දිහා බලා ඉන්නත්.. ඒ වගෙම සැන්දෑ වරුවක කොහේ හරි මනරම් වටපිටාවක බංකුවක වාඩි වෙලා ඉන්නත්... 




උපන් දා පටන් ජීවත් වෙන කොළඹ අවට නම් නිදහසේ පිරිසිදු හුස්මක් ගන්න තරමක් අපහසුයි. උස ගොඩනැගිලිත් - පාර පුරා ධාවනය වන රථවාහනත් අතරෙ කවර නම් නිදහසක් ද? ඉඳහිටක හරි ජීවිතය විඳින්න හිතාගන ගැමි පරිසරයක ඇවිදින්න යන්නෙ ඒ නිසයි. එතකොට දැනෙන සතුට සැනසිල්ල කවදාකවත් නගරයෙ කිලුටු වෙච්ච හුළඟ ආශ්වාස කරලා ලබන්න බැහැ. ඒත් ඉතින් මොනවා කරන්නද.. නාගරික ජීවිතේට කොයි තරම් අකැමැති වුණත් ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ නගරයෙ නම්..

ඉස්සර නම් වැසි දැරියගෙ ගෙදරත් වටපිටාව හරි නිස්කලංකයි. ගෙවල් ගොඩක් වෙනුවට තිබුණෙ ගස් ගොඩක්. ගෙදර වටේටම ගස් වැල් කැපිලා - හිස් ඉඩම් විකිණිලා - අලුත් ගෙවල් හැදෙන කොට වැසි දැරියට කෑ ගහලා අඬන්න තරම් හිතෙනවා. වැසි දැරියත් එක්ක කතා කරන්න පුරුදු වෙලා උන්න ගස් යෝධ දැති රෝදවලට අහුවෙලා බිමට වැටුණ දවසෙ පුංචි අම්මත් මාත් ඒ දිහා බලන් උන්නෙ අඬන්න බැරිකමට. නෑනා නිවාඩුවට ගමේ ඉඳල ආවම ඒ ගස් යට අපි දවස් කීයක් සෙල්ලම් කරන්න ඇතිද.. බට්ටො පනින්න ඇතිද.. ඒ ගස් කඳන්වල උන්න ගොලුබෙලි යාලුවො එක්ක කතා කරන්න ඇතිද.. අද ඒ ගස් යාය තියෙන තැන තියෙන්නෙ මහ විසාල ගෙවල් දෙකක්. ඒ ගෙවල්වල පදිංචිකාරයොත් ඒ තරම් සුහද සම්බන්ධතා පවත්වන්න නම් කැමැත්තක් ඇති වගක් පෙනෙන්නෙ නැහැ. ඉස්සර ඒ ගෙවල් තියෙන තැන තිබුණ ගස් ඊට වඩා ආදරණීය විදියට මිනිස්සුත් එක්ක සම්බන්ධ වුණා. ඒත් ඉතින් මොනවා කරන්නද.. අපි හැම දෙනාම අඩු වැඩි වශයෙන් යාන්ත්‍රීකරණයට ලක් වෙමින් ඉන්න කාලයක මේ විදියටවත් මිනිස්සු මානව සම්බන්ධකම් පවත්වනවා ඇති..

ඔහොම අජීවි මිනිස්සු ඉන්න අජීවි වටපිටාව ගැන වෙලාවකට වැසි දැරියට කණගාටුයි.. හරියට කෑ ගහලා සින්දුවක්වත් කියන්න බැහැ. ඒ තරම් කිට්ටුවෙන් අවට ගෙවල් දෙක තුනක් පිහිටලා තියෙන්නෙ. රොබෝ කෙනෙක් වාගෙ ගේ ඇතුළටම වැදිලා ඉඳලා එපා වෙන මොහොතක ඒ ගැන අවලාද කියන වැසි දැරියට තාත්තා නිතරම කියන කවියක් තියෙනවා. මට මතක හැටියට ඒ කවිය තිබුණෙ ලක්ෂ්මන් පියසේන කවියාගෙ නිවෙන මිහිර කියන කවි පොතේ..

නිදි නැති සිතිවිලි ලිහා
එළිමහනට විසි කළා
ඉන්න තැන ම ඉඳගෙන හරි
බලන්න ඔය සඳ දිහා..

Friday, September 30, 2016

සමහරක් දුරින් දුරු කළ යුතු..!

අප්‍රියයන් හා එක් වීම දුකක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නෙ තුන් කල් පිරිසිඳ බලලා බව අපි කවුරුත් දන්නවනෙ. ඒක එහෙම තමා. අපි කැමති වුණත් අකැමැති වුණත් අපිට ජීවිතේ එක එක වකවානුවලදි අප්‍රියයන් හා එක් වෙන්න වෙනවා. 

පුද්ගලික ව මට නම් අප්‍රියයන් හා එක් වීම කණගාටුදායක දෙයක් වෙන්නෙ ආශ්‍රය කරන්න ඉතා ම ප්‍රියමනාප යහපත් මිනිස්සු මේ ලෝකෙ ඇති පදම් ජීවත් වෙන වග දැනෙන කොටයි. අන්‍යයන් ගැන ඉතා ම කරුණාවෙන් පවතින, ආදරණීය මිනිස්සු ඉන්න ලෝකෙක අපිට ඔවුන් වෙනුවට අයහපත් ඇත්තන් සමඟ කෙටි කලකට හෝ ගනුදෙනු කරන්න සිද්ධ වෙන එක කණගාටුවක්. 

If you want a happy life, get rid of toxic people කියලා කතන්දරයක් තියෙනවනෙ. ඉතින් ඒ අත්මිදීම - මේ ලිපියෙ මාතෘකාවෙනුත් කියැවෙන කාරණාව දෙවිදියකට කළ හැකියි. එකක් භෞතික ව එහෙම මිනිස්සුන්ගෙන් ඈත් වෙන එක. එහෙම මඟ හරින්න  පුළුවන් මිනිස්සුත් ඉන්නවා. ඒත් සමහරුන් ව එහෙම භෞතික ව අත් හරින්න අපහසුයි. කොතෙක් මඟ හරින්න හැදුවත් අහේතුක ව අපිත් එක්ක පැටලෙමින් එනවා. අපි නොදන්නවා වුණාට අපේ සංසාර බන්ධන හරි බරපතළයි. පූර්වාත්මවල අමනාපකම් මේ භවයටත් බලපානවා වෙන්න පුළුවන්. 

ඒත් ඒ සම්බන්ධයෙන් වුණත් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමා මේ භවයට මල්ල පුරවගන්නැතුව ඉන්න එක. මොකටද නිකං තව කෙනෙක් ගැන වෛරයක් නඩත්තු කරන්නෙ. රවනවට වඩා හිනා වෙන එක පහසුයි වාගෙ ම වෛර කරනවට වඩා මෛත්‍රී කරන එක ලේසියි. ඒ නිසා ඒ වගේ අය ගැන අපේ හිතේ තියෙන වෛරය මානසික ව අත් හරින එකයි කළ යුතු වන්නෙ. බාහිර පුද්ගලයෙක් ගැන ඇති වන වෛරයකින් දිග් ගැහෙන්නෙ අපේ සංසාරයමයි. ආගමික අරුත පැත්තකින් තියලා බැලුවත් එතැනින් කිළිටි වෙන්නෙ අපේ හදවතමයි. ඒ නිසා හොඳම වැඩේ තමා ඔවුන්ට ඔවුන්ගෙ පාරෙ යන්න දීලා අපි අපේ පාරෙ ගමන් කරන එක... 



අනිත් එක ඒ වාගෙ අය ගැන අපේ හිතේ තියෙන වෛරය පවා එක්තරා ආකාරෙක බැඳීමක්. කෙනෙක් තව කෙනෙක්ට වෛර කරන්නෙත් ඔහු හෝ ඇය ගැන හිතන නිසානෙ. ඔවුන් හා සම්බන්ධ අප්‍රසන්න මතක මතක් කරන නිසානෙ. ඉතින් අප්‍රියයන් ගැන වෛරයක් ඇති නොකරගෙන ඉන්න අපට පුළුවන් නම් ඔවුන් ගැන හිතන එකත් ඉබේටම නතර වෙනවා. එක පාරක් උත්සාහ කරලා බලන්න.. අප්‍රියයන්ට වෛර කිරීම නැවැත්තුවාම ඔවුන් ඔබේ ජීවිතයෙන් ඉබේටම ගිලිහිලා යනවා.

ඒක කියන තරම් පහසු නැහැ. වැසි දැරියටත් ආශ්‍රයට අප්‍රිය කෙනෙක් මුණ ගැහෙද්දි හරි අපහසුයි. තරමක් තරහත් යනවා. ඒත් ඒක අඩු කරගන්න දැන් උත්සාහ කරමින් ඉන්නවා. දවසක් වැසි දැරිය යමෙක් ගැන තරහ ගිහින් ඉන්න මොහොතක රීසිවරේ එහා පැත්තෙන් ඇහුණු සන්සුන් කටහඬකින් ඒ තරහා හොඳටම නිවිලා ගියා. 

මට නම් තරහකාරයන්ව ඈත් කරන්න කොයි තරම් වුවමනාද කිව්වොත් මං එයාලා එක්ක තරහින් ඉන්න එක අතෑරලා දානවා.. ඔයත් එහෙම කරන්නකො... 

කොයි තරම් අපහසු වුණත් එහෙම කරන්න පුළුවන් නම් හිතට සැහැල්ලුවක් දැනෙනවා. ගල් දෙකක් වුණත් එකිනෙක ගැටීමෙන් උපදින්නෙ ගින්දර ම පමණයි. ඒත් කා එක්කවත් ගැටෙන්නේ නැතුව ජීවිතයට තමා මත්තෙන් ගලා යන්න ඉඩ දුන්නාම නිවිහැනේ හුස්ම ගන්න පුළුවන්. යහපත් මානව සම්බන්ධතා ගොඩ නැගෙන කොට අයහපත් මානව සම්බන්ධතාවල නිස්සාරත්වය අපට ම වැටහෙන්න පටන් ගන්නවා.

අනෙක් අතට කොතෙක් ආශ්‍රයට අපහසු අය මුණ ගැහෙද්දිත්, ඔබට පුළුවන් නම් මනුෂ්‍යත්වය ගැන තියෙන අප්‍රමාණ විශ්වාසය නැති නොකරගන්න, අඩුම තරමෙ මිනිස්සු අපට දෙන අයහපත පෙරළා ලෝකයට එකතු නොකර ඉන්න, කොතෙක් අප්‍රියයන් ඔබේ ජීවිතේට ළං වුණත් ඔබ පැරදිලා නැහැ.

Tuesday, September 27, 2016

රැය පහන් වෙලා යයි - නොවී නිදි දැහැන්..


කාලෙන් කාලට වැසි දැරියගෙ නිදි කාලසටහන වෙනස් වෙනවා. පුංචි ම කාලෙ මං නිදාගන්න පුරුදු වෙලා උන්නෙ උදේ හතට. ඒ අම්මා වෙලාව බලන්න උගන්නපු එකේ භයානක අතුරුඵලයක්.හරියට ම හත වෙන කොට ඇඳට පනින්න බලාගෙන ඉන්න මට නිදියන්න කලින් කවලා පොවලා මූණ සෝදවන්න ඒ කාලෙ අම්මලා පුදුම යුද්ධයක් කරලා තියෙන්නෙ. දැන් නම් එ්වා මතක් කර කර හිනා වෙනවා කට්ටියත් එක්ක.

උසස් පෙළ කරපු කාලෙ නම් මං රෑට වඩා නිදාගෙන ඇත්තෙ පාසල් බස් රියේ එන ගමන්. ඒ පූරුවෙ කරපු පවක් පල දීලා මුණ ගැහුණ කළ්‍යාණ මිත්‍රතුමීගෙ උරිස්සට ඔළුව තියාගෙන. ගමන් සගයාත් නින්ද යන කෙනෙක් නම් ඒක මහ භයානක වැඩක් තමා. ඒත් අපරාදෙ කියන්න බෑ මගෙ මිත්‍රතුමී රෑටවත් නින්ද නොයන ජාතියෙ එකෙක්. ඒ නිසා පන්තියෙ විභාගයක් නොතිබුණ හැම දවසකම මං බස් එකේදි හොඳට නිදා ගත්තා.

අනිත් එක තමා විවේක කාලච්ඡේදවල නිදාගැනීම.. මම කරපු විෂයන්වල නොගැළපීමක් තිබුණ නිසා සතියකට දවස් දෙකක්වත් මට හිස් කාලච්ඡේද දෙකක් අහුවෙනවාම තමයි. ඉතින් ඔය වෙලාවට මං කරන්නෙ පන්තිය පිටිපස්සෙම ෆෑන් එකක් හයි කරලා තියෙන තැනක පුටුවකට ගිහින් කාගෙ හරි බෑග් එකක් බදාගෙන සැපට නිදාගන්න එක. ළමයි අඩු ප්‍රමාණයක් ඉන්න විෂයන් උගන්වන්න ගොඩක් වෙලාවට අපේ පන්තිය තෝරා ගැනුනත් උසස්පෙළ ළමයින්ගෙ අවාසනාවන්ත ජීවන චක්කරේ ගැන දැන උන්නු ගුරුවරු වාසනාවකට වගේ ජීවිතේ කවදාවත් නිදාගෙන නෑ වගේ නිදාගන්න අපිට බාධාවක් කළේ නෑ. 

ඉස්සර එක විෂයක් ඉගෙන ගන්න ගියාම මට නින්ද යන තත්ත්වයක් තිබුණා. අපරාදෙ කියන්න බෑ හීනත් පෙනි පෙනි නින්ද යනවා. ඔන්න ඔය හේතුව නිසා ඒ පන්තියෙ හිටපු මගෙ හොඳ ම යාලුවො දෙන්නා ගාව නිතර ම තිබුණා තදින් උල් කරන ලද පැන්සල්.. දිග පැන්සල්.. ඒ නිසා උන් කොතැන වාඩි වෙලා හිටියත් මට නින්ද යාගෙන එනවා පේන කොටම කොහේ හරි ඉඳලා මට අනින්න පුරුදු වෙලා හිටියා. ඒ වගේම මං ගාවත් තිබුණා ඊටත් වඩා උල් කරන ලද පැන්සලක්. මොකද මට අනින්න ඉන්න උන් දෙන්නට හුඟක් වෙලාවට මටත් වඩා තදට නින්ද යන නිසා. ස්ලීපින් බියුටීස් කියා විරුදාවලියක් හිමි වුණත් අපි නෙමේ අපේ නින්ද අතෑරගත්තෙ. ඒක ඇත්තටම පාඩමේ ප්‍රශ්නයක් නිසා වුණ දෙයක් නෙමෙයි. පාඩම කොතෙක් රසවත් ව ඉගැන්වුවත් අපිට හැමදාම ඒ කාලච්ඡේද දෙක තිබුණේ විවේකයන් පස්සේ. ඔය වෙලාවට හිටගෙනත් නින්ද යන එකේ හොඳට හුළං හමන පන්ති කාමරේක ජනේලයක් ගාව වාඩි වෙලා ඉන්න අපිට නින්ද යන එක අරුමයක්යැ ඉතින්..

අනිත් එක ප්‍රධාන ම හේතුව තමා මං ඒ දවස්වල පාඩම් කළේ රෑ දෙගොඩහරි ජාමෙ. ඉතින් උදේට උදේට නිදිමත හැදෙන එක සාමාන්‍ය දෙයක්. ඒ පාඩම් කරපුවට හරියන්නත් එක්ක අපි සියලු දෙනා ම සරසවි වරම් ලැබුවා. ඒත් ඒ දවස්වල පටන් ගත්ත නිදිවරන පුරුද්ද මේ වෙද්දිත් අපේ යාලුවන්ගෙන් ගොඩක් දෙනෙකුට අත හැරගන්න අමාරුයි.. කම්මැලි පොතක් හරි චිත්‍රපටියක් හරි හොයාගත්තොත් නම් ඉක්මණට නිදාගන්න පුළුවන්. ඒත් පොතක් අතට ගත්තම බිම තියන්න හිත හදාගන්න බැරි අපි පොත නොකියවා නිදාගනී කියල තමා බය..))

ඉතින් නිදි වරන එක නරක පුරුද්දක් වග දැන දැනත් මං සමහර දවසට මහ රැයක් වෙන තුරු ඇහැරිලා ඉන්නවා. හදවත අවදියෙන් තියෙද්දි නිදාගන්න කොහොමටත් බැහැ. අනෙක් අතට හුඟක් තරු සහිත දවස්වලට නින්ද ගියෙ නැතත් ප්‍රශ්නයක් නැහැ..

දිගු ම දිග රාත්‍රිය හෙමින් පියවර මනිත
මලක් වී නෙත් අරින ඒ ප්‍රභාතය ඔබය..

රාත්‍රිය ගැන ලියැවුණ අපූරු ම ගීයක ඒ වදන් පෙළ ඉයර්ෆෝන් ඇතුළෙන් ඇහෙද්දි එහෙම දවසට මං නිදි නොලබා රෑ කළුවර දිහා බලන් ඉන්නවා.. මහ රෑ දෙකහමාරට ජනේලෙ ඇරන් තරු දිහා බලා ඉන්න මේ කෙල්ලට පිස්සුද කියලා හිතන්න අසල්වාසීන් ඇහැරිලා නැති එකත් ලොකු දෙයක්.. ගෙදර කවුරු හරි අහම්බෙන් ඇහැරිලා මාව බලෙන් නින්දට යවන තුරු ඇතැම් දවසට මං කවි පදයක් - කතා පොඩ්ඩක් කුරුටු ගානවා. නිදි වරන එක වැරදි වග නොදන්නවා නොවෙයි. නිදිවැරීම විවිධ ආකාර ගණනාවකින් සෞඛ්‍යයට නරක විදියට බලපාන හැටි ගැන බොහෝ තැන්වලදි කියවලා තිබුණත් ඒක එක පාරට නැති කරගන්න අපහසු පුරුද්දක්.. තවම ටිකෙන් ටික උත්සාහ කරමිනුයි ඉන්නෙ..

මෙවැනි නිදිවර්ජිත රාත්‍රීන්වලදී ඉබේටම මතක් වෙන ගී පද කිහිපයක් තියෙනවා.. 

"ලොව සැතපෙන යාමේ
ඔබෙ සෙනෙහස අවදි වෙවී
මගෙ දෙසවනට කියයි
පෙර නොඇසූ මිහිරි කවී.."

"ඔබ හමු වූ දා පටන්
මා හදවත අවදියෙන්
රැය පහන් වෙලා යයි
නොවී නිදි දැහැන්.."

"නිම් වළල්ලෙන් එපිට සඳරැස් 
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතු වී
ඔබේ පා මුදු හඬ ඇසේ.."

තරු එළිය ගෙට එන එක නවත්තන්න ජනේලෙ වහන අතරෙ ඒ චවන හෙමිහිට මගේ දුරකථන මුහුණ මත සටහන් වෙනවා..

Tuesday, September 20, 2016

කැළණි සරසවි මවුනි.... ඔබ සොයා පැමිණෙමි..... ( I got the university admission - සරසවි ප්‍රවේශය ලදිමි.)

වසර දෙකක් පුරා දුක්බර ගිම්හාන කාලයක මම ඇවිද ආවෙමි. ශේක්ස්පියර් ද, රාහුල හාමුදුරුවන් ද, එමිලි බ්‍රොන්ටේ ද, චාල්ස් ඩිකන්ස් ද, කෙළකෝටියක් වූ රජවරුන් ද ගහණ වූ ඒ දෑවුරුද්ද භයානක ස්වප්නයක් පරිදි ය. එකොළොස් වසක් පුරා සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා උසස් පෙළ පන්තියේ දී ඉංග්‍රීසි සාහිත්‍යය තෝරා ගැනීමෙන් මා කළේ සමහරුන්ට අනුව භයානක ක්‍රියාවකි. තවත් සමහරුන්ට අනුව මෝඩ වැඩකි. 

ඒත් මම එය කළෙමි. අසීමිත ව වෙහෙස වීමි. විභාගයත් ජීවිතයත් සමබර ව පවත්වා ගන්නැයි කොතෙක් දෙනා බොහෝ දේ කීවත් එය එසේ කළ නොහැකි වන තරමට බරපතළ විෂය නිර්දේශයක් මා අභියස විය. අනෙක් අතට භාර ගත් අභියෝගය මවිසින් ඉටු කළ යුතු ව තිබිණ. සුළු සුළු ඉසිඹු සහිත ව එක දිගට පැය දහඅටක් පාඩම් කළ දවස් ද විය. ඇත්ත.. ඒ දවස් අතිශය අසීරු විය. මට පමණක් නොව මගේ දෙමව්පියන්ට ද ආදරණීයයන්ට ද මා වෙනුවෙන් බොහෝ දේ දරා සිටින්නට සිදු විය. 

එය ගිම්හාන කාලයකැයි කියන්නේ එහෙයිනි.

ඒත්.. ඔන්න දැන් මල් පිපී තිබේ. 

මා කැළණිය සරසවියට තේරී ඇතැයි පණිවිඩය ආවේ අද දිවා වරුවේය. බ්ලොග් අඩවියේ ඒ ගැන යමක් ලියන්නට උන්නද අනවරතයෙන් ගලා ආ ඇමතුම් සහ පණිවිඩ නිසා එය මඳක් පමා වුණි. ඒත් මේ ස්තූතියෙන් සුවිසාල කොටසක් වියුණු ලියන්නන්ට හිමි ය.

පාඩම් කර එපා වූ මොහොතක වියුණුවක් ලිව්වොත් ඒ පිළිබඳ ව මට බැණ වදින්නට බලා උන් නුදුටු නෑදෑයෝ අනන්ත සංඛ්‍යාවක් "වැහි වැටෙන තැන" උන්හ. ඒ අතරින් දැන් බ්ලොග් නොලියන සරත් ලංකාප්‍රිය මාමා වෙසෙසින් ම සිහි කරමි. දවසක ඉහළට ම නැග තමන්ට ඒ වග කියා තම හිතේ මල් යායක් පුබුදුවන හැටියට ඇරයුම් කළ ඔහු අද බ්ලොග් නොලියතත්, නොකියවතත් එදා ආදරයෙන් ම ඔහු මගේ හිතේ උස් තැනක සිනා සී ගෙන හිඳියි. වැහි වැටෙන්නට පටන් ගත් දා පටන් අත අත් නෑර ළඟ උන් සියලු ම දෙනා නම් වශයෙන් සඳහන් නොකරන නමුත් වැසි දැරියගේ අපරිමිත ආදරයේ නිත්‍ය උරුමකරුවන් ම ය. 

වැසි දැරිය වැස්සේ තෙමී තෙත්බරිත වෙන්නේ ඔබේ අනෙක දිරි වදන් හේතුවෙනි..

සරසවි පිවිසුම ගැන ඊයේ වෙන තෙක් ම මා හිතා උන්නේ අද දැනෙන විදියට නොවේ. මා උපත ලබා පළමුව ම ආවේ ද සරසවි නේවාසිකාගාරයකට ය. පුංචි ම කාලයේ පටන් හැදී වැඩුණේ සරසවි සිසු සිසුවියන්ගේ ඇසුරේ ය. එහෙයින් මා හිතා උන්නේ සරසවිය අමුතු අත්දැකීමක් නොවනු ඇතැයි කියා ය. සරසවියට පිවිසීම සාමාන්‍ය හැඟුමක් වනු ඇතැයි කියා ය. ඒත් නැත. මා එතැන දී වැරදි ය. එය වෙනස් හැඟුමකි. අත ගා බැලිය හැකි තරමේ නැවුම් හැඟීමකි.

ඒ හැඟුම් සියල්ල කැටි කරගෙන බලා ඉමි. විටෙක සතුටක් දැනේ. තවත් විටෙක ඉදිරි ජිවිතය ගැන බයක් දැනේ. සරසවියට පිවිසෙන්නට වරම් ලද විසිහත්දාහක සහෝදර සිත්වල සතුට වාගේ ම සරසවි වරම් නොලද ලක්ෂ ගණනක සහෝදර සහෝදරියන්ගේ බලාපොරොත්තු ඒ අතර හිතට පිවිසී වේදනා ගෙන දෙයි. ඒත් ඔවුන්ට කියන්නට දෙයක් තිබේ. සරසවිය යනු සියල්ල නොවේ. ජීිවිත සරසවිය ඊට වඩා පාඩම් රැසකින් යුත් නවාතැනකි. ඒ නිසා සරසවි පිවිසුම දිනූ ඇත්තන් දිනුවේ ද, නොදිනූ අැත්තන් පැරදුණේ ද නොවේ. ජයග්‍රහණය කළ යුත්තේ ජීවිත උපාධියයි.

දිගු කලකට පෙර සමන් සිත්තරා කියූවක් මේ මොහොතේ මතකයට නැඟේ.

අධ්‍යාපනය යනු තරඟකාරී විභාගවලින් සමත් වීම පමණක් නොවේ. පිවිතුරු අධ්‍යාපනය යනු ජීවිතය නිවැරදි ව හඳුනා ගැනීමයි.

Saturday, September 3, 2016

සිංහබාහු නැරඹීමි - "ඔච්චර අදින්නෙපා හලෝ" සහ "අනේ එයාට විදින්නෙපා.."

ඊයේ පෙරේදා දිනයක බොරැල්ල වයි.එම්.බී.ඒ ශාලාවේ සිංහබාහු වේදිකාගත කෙරිණ. මට විභාග නොතිබූ සමයන්හී සිංහබාහු කොළඹ අවට ප්‍රදර්ශනය කෙරුණේ ම නැත. එහෙයින් මට වුවමනා වූයේ අහම්බෙන් කඩා වැටුණ වාසනාවෙන් ප්‍රයෝජන ගෙන නිවීහැනේ නාට්‍යය බලාගන්නට ය.

එහෙත් අප වාඩි වී සිටි පුටු පෙළට පසුපසින් ඉළන්දාරි කිහිප දෙනෙක් වාඩි වී සිටියහ. නාට්‍යය ඇරඹෙන්නට සීනුව වැදෙන තුරු ම ඔවුන් නොනවත්වා කතා කළහ. යොවුන් වයසට කටකමසිරියාවක් නැතුව කතා කිරීම ඉතා සාමාන්‍ය දෙයකි. අපිත් එහෙම ය. මා එහි කිසිදු වරදක් දකින්නේ නැත. එහෙත් ඔවුන්ගේ කතාවෙන් වැටහුණ විදියට නාට්‍යය බලන්නට කිසිදු වුවමනාවකින් ආ ගතියක් පෙනෙන්නට තිබුණේ නැත. ඔවුන්ගේ මව්පියවරු  තරමක් එහායින් වාඩි වී සිටියහ. මාපියන්ගේ පෙරැත්තය මත නාට්‍යය බලන්නට ආ වග කිහිප දෙනෙකුගේ ම කටින් කියැවිණ. අප ඇතුළු අන් අයට තම හිතවතුන් සමඟ කතා කරන්නට වුවමනාවක් තිබුණත් ඊට ඉඩක් ලැබුණේ නැත. ඔවුන් කතා කරමින් උන්නේ එපමණ උස් හඬිනි. අවට පේළිවල අසුන් ගෙන හුන් ඇතැමෙකු ඔවුන් දෙස අප්‍රසාදයෙන් බැලූ මුත් නාට්‍යය පටන් ගන්නා තුරු කතාබහ නවත්වන්නැයි කීමට ද කිසිවෙකුට හැකියාවක් නොතිබුණි.

පොතේ ගුරු වේදිකාවට පිවිසි පසු නම් ඔවුන්ගේ පරිගණක සහ දුරකථන විග්‍රහය අවසන් වනු ඇතැයි මම සිතා සිටියෙමි. එහෙත් කණගාටුවට කරුණ එය අවසන් නොවී අපට අවසන් කරන්නට සිදු වීමයි. 

පොතේ ගුරු නාට්‍යය පටන් ගත්තා පමණි. "ඔච්චර අදින්නෙපා හලෝ.. ඕක ටිකක් කෙටියෙන් කියනවා" යි එකෙක් උස් හඬින් කීවේය. අඩ හෝරාවක් පමණ ඉවසා සිටි මම එවර නම් පසුපස හැරී රවා බැලුවෙමි. ඉක්බිති මා දුටුවේ අපේ මුළු පේළියේ ම හුන් ඇත්තන් ඔවුන් දෙස රවාගෙන ඉන්නා අන්දමය. ඒ රවා බැලිල්ල සිදු වූයේ එක ම මොහොතක දී ය. ඓන්ද්‍රීය ව ය. ඒ මොහොතේ කබල්ලෑවා ගුලට රිංගා ගත් අන්දම සිහිපත් වන පරිදි අර තරුණ පිරිස ඔළු ටික හංගාගත්හ. 

එහෙත් රැවුමකින් පසු ඔළුව හංගාගත්තාට පලක් නැත. වඩා වැදගත් වන්නේ ඔළුවත් කොන්දත් කෙළින් තියාගෙන නාට්‍යය බලන්නට හැකි වූවා නම් ය.

මේ අතර ඇතැම් තරුණ පිරිස් සංයමයෙන් සහ ආශාවෙන් නාට්‍යය බැලූ වග ද මතක් කළ යුතු ය. ඔවුන් ගැන සිහිපත් කරන්නේ ගෞරවයෙන් යුතුව ය. අපේ පරපුර ගැන අප මුළුමනින් ම ලජ්ජාවට පත් විය යුතු නොවන වග ඔවුහු අපූරුවට මතක් කර දුන්හ. 

එහෙත් නාට්‍යය මැද තවත් අවාසනාවන්ත සිදුවීමක් සිදු විය. සිංහයා වේදිකාවට පැමිණි පසු අවුරුදු නවයක දහයක පොඩි එකෙක් ඔවෑක් ගෑවේය. ඉක්බිති ඔහුගේ මව ඔහුව අසීරුවෙන් නිශ්ශබ්ද කරන තුරු ම මේ නාට්‍යය බලන්නට බැරි තරම් අප්පිරිය බවත්, මෙය විකාරයක් බවත් කියා ඔහු කන්කෙඳිරි ගෑවේය. මට එවිට මතක් වූයේ අප නාට්‍යය බලන්නට එන්නට පෙර  අම්මා කියූ කතාවකි. වසර ගණනකට පෙර සරසවියේ සිංහබාහු වේදිකාගත වූ දිනෙක, එය නැරඹූ කාර්යාල කාර්ය සහායක මහතෙකුගේ දියණියක් සිංහයා හී වැදී මියෙන විට, අනේ එයාට විදින්න එපා.. කියා ඉකිබිඳ හඬා තිබිණ. අද ඒ කුඩා දරුවා විශ්ව විද්‍යාල කථිකාචාර්යවරියකි. කලාව කෙරේ සංවේදීකම උපදින්නේ ඉතා කුඩා වයසේ දී ම ය. 

සිංහබාහු යනු ලෝකයේ ඇති හොඳ ම නාට්‍යය යැයි මම නොකියමි. සරච්චන්ද්‍රයන්ට වන්දනාමාන කිරීමේ පිස්සුවක් ද මට නැත. එහෙත් ඕනෑ ම නාට්‍යයක්, කලා කෘතියක් නරඹන්නට ආත්ම සංයමයක් තිබිය යුතු ය. අපේ පරම්පරාවේ ඒ සහෝදර පිරිස තුළ නොතිබුණේ ඒ ආත්ම සංයමය යි.

කෙසේ වෙතත් ඔවුන්ට දොස් කියා පලක් නැති වග දනිමි. ඔවුන් ජීවත් වන්නේ වීඩියෝ ගේම්ස් සහ ත්‍රිමාණ චිත්‍රපටවලින් පිරුණු සෙලෝලයිඩ් ලෝකයක ය. ඒවාට හුරු වුණ මනැස්වලට වේදිකා නාට්‍ය දිරවාගන්නට අසීරු ය. එහෙත් අනෙක් අතට මගේ මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් හැදී වැඩුණේ ද ඒ සරුවපිත්තල ලෝකයේ ම ය. එහෙත් ඔවුන්ට ත්‍රිමාණ චිත්‍රපටි නරඹන ඇස්වලින් ම කිසිදු ගැටලුවක් නැතුව වේදිකා නාට්‍ය බලා ඒවා හදපතුළින් ම රස විඳින්නට පුළුවන. අපේ මව්පියන් නියොන් එළි මැද පවා පහන් දල්වාගෙන පාර හොයාගන්නට අපට ඉගැන්වූ නිසාය, අප එසේ සිතන්නේ.. 

ඒ නිසා ඒ සොයුරු පිරිසට දොස් නොපවරමි. එහෙත් මව්පියන්ට වැරදුණ තැන නිවැරදි කරගන්නට ඔවුන්ට ආලෝකය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි. නොඑසේ ව අප ඉදිරියේ ඇති ලෝකය මිහිරි එකක් කරගැන්ම පහසු කටයුත්තක් නොවනු ඇත.