Thursday, January 22, 2026

140. ගුරු දියවර 51 - සමන් චන්ද්‍ර රණසිංහ

ඔබගේ දයාබර හඬ මට දැනුදු ඇසේ


සිය පශ්චාද් උපාධිය ලබා ගැනීමෙන් පසු දෙවන ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වශයෙන් පත්වීම ලද ගඟුල් සමරනායක වර්ෂයේ සමාරම්භක දිනය වන අද සරසවි බිමට පැමිණියේ එහි පැවති ආගමික කටයුතු පූර්වක චාම් නිල උත්සවයට සහභාගී වීම සඳහා ය. ඔහුට වරින් වර සිහිපත් වූයේ නාගොල්ලාගම හා බැඳුණු සුන්දර ගුරු ජීවිතය යි. තමා සිය පාසලින් සමුගෙන එන දවසේ සිය ප්‍රිය සහෘදයන්ගේ සේම ආදරණීය ශිෂ්‍ය ප්‍රජාවේ මුහුණුවල සටහන් ව තිබූ ශෝකී රේඛා පිළිබඳ  ස්මරණය සිය හදවතින් ඉවත් වී නොයන බව ගඟුල් දනියි. එදින සමුගැනීමේ උත්සවය අවසන් ව එන මොහොතේ පසුගමන් ආ මිහිදිනී සිය දෝතින් ම ඔහු අත පත් කෙළේ එච්. ඇම්. කුඩලිගම කවියාණන්ගේ පහත සඳහන් ඉසොඳුරු කව යි.

“මුළු ලොව කිසිවකුට කිසි දවසෙක දි මතු
 රහසක් නොවේවා යටගිය යුගයෙ    තතු
 ඔබගේ හේළි දිවි මැදුරෙහි දවල      බිතු
 තිබුණා වගේමයි වෙනසක් නොවිය  යුතු”

පියතෝ ජායතී සෝකෝ යන පාඨය නොයෙක වර අසා තිබුණත් ප්‍රිය භාවය නිසා ශෝකය ජනිත වන්නේ ය යන්න වචන මට්ටම ඉක්මවා ගිය සංවේදනීය අද්දැකීමක් බව එදින ද ඔහුට පසක් කොට දුන්නේ ය. සරසවියේ කටයුතු අවසන් කිරීමෙන් පසු ගඟුල් ගියේ සහන් ආචාර්යවරයාගේ නිවහනට යි. සහන් සිය ආදරණීය ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන මේ යෞවනයා පිළිගනිමින් පළමු ව පැවසුවේ මේ වචන කිහිපය යි.

“ගඟුල් අද අවුරුද්දෙ පළවෙනි දවස. ඒ වගෙම ඔයා අපේ ආචාර්ය මණ්ඩලයෙ ස්ථිර සාමාජිකයෙක් විදිහට වැඩ ආරම්භ කරපු පළවෙනි දවසත් අද. අද උදේ අපි කවුරුත් එකතු වෙලා දුන්න රාජ්‍ය සේවා ප්‍රතිඥාව හැම අතින් ම යථාර්ථයක් කරන්න ඔයාට ශක්තියත් ධෛර්යයත් ලැබේවා කියලා තමයි මම මුලින් ම ප්‍රාර්ථනා කරන්නෙ.”

“ඔව් සර් ඒකෙ තියෙනවනෙ දේශයේ මුළු මහත් ජනතාවගෙ අධිෂ්ඨාන පෙරදැරි කරගත් අපේක්ෂා යථාර්ථයක් බවට පත් කරන සෞභාග්‍යවත් නව වසරක සමාරම්භය තමයි මේ සලකුණු කරන්නෙ කියලා.  ඒ වගෙම එක ධජයක සෙවන ලද පිරිසක් හැටියට අපට අකම්පිත ව නැගී හිටින්න පුළුවන් වෙන්නෙ අපි කවුරුත් අවංක හැඟීමෙන් කාර්යක්ෂම ව වැඩ කළොත් විතරයි. ඒක දැනගෙන මම වැඩ කරන්නම් සර්. ඒත් කණගාටුදායක කාරණේ අපි එනකොට සර්ලගෙ සේවය අපට වගෙම අපට අලුතින් එකතු වන ශිෂ්‍ය ප්‍රජාවට අහිමි වෙන එක.”

“නැහැ ගඟුල් එහෙම හිතන්න එපා. අපේ ජීවිතවලට වගේ ම අපේ අනික් හැම දේකටමත් ආරම්භයක් වගෙම අවසානයක් තියෙනවා. එකම කාර්යයක වගකීම පැවරිච්ච පරණ අය අලුත් අයට ඉඩ දීලා යන්න ඕනෙ. අපේ ප්‍රතිඥාවෙම තියෙනවනෙ අභියෝග හමුවෙ නොසැලෙමු කියලා වාක්‍යයකුත්. අලුත් පරම්පරාව නියෝජනය කරන ඔයගොල්ල හමුවෙ තමයි දැන් ඒ අභියෝග තියෙන්නෙ. පරණ පරම්පරාවට මග හැරිච්ච තැනුත් හදාගෙන ඉස්සරහට යන්න ඕනෙ දැන් ගඟුල්ලගෙ පරම්පරාව තමයි.”

“සර් අර ප්‍රතිඥාවෙ තියෙනව වචනයක් සුසංවිධිත පාලනයක කොටස්කරුවෙක් වෙලා කාර්යක්ෂම ව සඵලදායී ව ස්ථිර අධිෂ්ඨානයෙන් යුක්ත ව උපරිම කැපවීමෙන් අවංකභාවයෙන් රටේ ජනතාවට පක්ෂපාතී ව සේවය කරන්න ප්‍රතිඥා දෙනවා කියලා. ඔතන ගොඩක් දෙනාට අර්ථය හරියට ම තේරෙන්නෙ නැති වචනෙ තමයි සුසංවිධිත පාලනයක් කියන එක. මම ඒකෙ තේරුම දැනගෙන හිටියට නිරුක්තිය දන්නෙ නැහැ. සර්ට පුළුවන් ද සුසංවිධිත කියන වචනෙ ඒකෙ නිරුක්තියත් එක්ක පැහැදිලි කරන්න.”

“ගඟුල්, ඒක ලොකු තේරුමක් තියෙන වචනයක්. ඔයා කොහොමටත් දන්නවනෙ මේක අතීත කෘදන්තයක් බව. ශෝභනාර්ථයේ යෙදෙන අපි කාටත් තේරෙන විදිහට කියනවනං යමක් හොඳ පැත්තට විශේෂ කරලා දක්වන කොට භාවිතයට ගන්න සු කියන උපසර්ගයත් සැමතින් ම එකට යහපත් ව යන අර්ථවල යෙදෙන සම් උපසර්ගයත් විශේෂාර්ථයේ යෙදෙන වි උපසර්ගයත්  පූර්වයෙන් යෙදිලා, තැන්පත් කිරීම කියන අර්ථයෙ යෙදෙන ධා ධාතුවෙන් තමයි සුසංවිධිත කියන වචනෙ හැදෙන්නෙ. අපේ පලිහවඩන සර් කියන හැටියට සුසංවිධිත කියන වචනෙටත් වඩා ඒකෙ නිවැරදි රූපෙ වෙන්නෙ සුසංවිහිත කියන එක. දැන් මම කැමතියි ගඟුල් ම මේක ඔයාගෙ වචනවලින් පැහැදිලි කරනවනං.”

“ඒ කියන්නෙ සර් සුසංවිධිත හරි සුසංවිහිත හරි කියන වචනෙ නිරුක්ති අර්ථය විදිහට අපට කියන්න පුළුවන් මැනවින් හැම පැත්තක් දිහාම බලලා, විශේෂයෙන් තැන්පත් වෙච්ච සකස් කරගත්ත තත්ත්වයක් තමයි සුසංවිධිත වෙන්නෙ කියලා. රටක තියෙන්න ඕනෙ කරන්නෙ එහෙම පාලනයක් කියන එකනෙ මේ කියන්නෙ. කවුරු රට පාලනය කළත් පුරවැසියන් හැටියට අපේ වගකීම වගෙම වගවීම වෙන්නෙ එහෙම පාලනයක් උදෙසා අපි අපේ කොටස කරන එක.”

“ඔයා හරියට ම අර්ථය විග්‍රහ කරගත්තා ගඟුල්. දැන් ගුරුවරයෙක් හැටියට මේ අර්ථෙ - රටට - ලෝකෙට කියලා දෙන එකත් ඔයාගෙ සේවයෙ කොටසක් වෙනවා. ලෝකයෙන් ඔයාට මොන රිදීම් ආවත් ඒවයින් හිත රිදවගන්නෙ නැතුව අඛණ්ඩ ව තමාගෙ කොටස කරන්න.”

“සර් මම රිදිලා ආපු සමහර දවසකට ඒ රිදීමෙන් නිදහස් උනේ සර් කරන මේ වගෙ කතා නිසයි. ඒක හරියට අර සුනිල් සර් ලියපු නන්දා මාලනී මහත්මිය ගයන ගීතෙක එන ඔබේ දයාබර එකම වදනකින් මගේ ආත්මය සුවපත් වේ කියන ප්‍රකාශෙ සිහිපත් කරලා දෙනවා.”

“දැන් ගඟුල් අද ඉඳලා ඒ සෙනෙහබර වගකීම අරන් යන්න ඕනෙ ඔයාලා තමයි. අපිට වෙන කිසිම දේකින් නෙමෙයි තමන්ගෙ ජීවිතෙන් ම ඒ පාඩම කියලා දුන්න සුවිශේෂ චරිතයකට තමයි ආචාර්ය අදිකාරම්තුමා කියලා කියන්නෙ. ඒ වගෙම පලිහවඩන සර්, මහානාම සර්, සමන් සිත්තරා වගෙ චරිතත් තමන්ගෙ කායික අභාවය සිද්ධ වෙනකන් ම කළේ ඒ දේම තමා.”

“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ සර්, අය්යා ගැන මේ බොහොම මෑතකදි ලියපු කවියක්. ඒකෙ තියෙන්නෙත් ඔය අර්ථය ම තමයි.”

“ඒ කොයි කවිය ද ගඟුල්. දැන් සමහර දේවල් මට ඉස්සර වගෙ මගෙ මතකෙට එන්නෙ නැහැ. මම කැමතියි මගෙ ශිෂ්‍යයා ඒක මට මතක් කරලා දෙනවා නම්.”  

“තිස් වසරකට පෙර දවසක     දසම මසේ
 සොයුරා ගියා දී මට        ජීවිතය මෙසේ
 ඔහු මිය ගියේ යයි පවසනු හැකි ද කෙසේ
 ඔහුගේ දයාබර හඬ මට දැනුදු      ඇසේ”

“සර් ඒ සමන් සිත්තරාට තිබ්බෙ අපේ ආත්මය සුවපත් කරන දයාබර හඬක් ම තමයි. ක්‍රිෂ්ණමූර්තිතුමා කියන හැටියට සමන් අය්යා කියන්නෙ බිංදු සේ නෙමෙයි සමුද්‍රයක් වගේ ආදරෙන් පිරිච්ච චරිතයක්. හැබෑ ආදරය කියන්නෙ මොකක් ද කියන එක අපට දකින්න පුළුවන් වෙන්නෙ අහිංසාවෙන් කියලනෙ ක්‍රිෂ්ණජී කියන්නෙ. ඒ වගෙම හිසාවෙන් පිරිච්ච මේ ලෝකෙ නිසි සේ ජීවත් වෙන්න සමත් වෙන්නෙ අහිංසක හදවතක් තියෙන මනුෂ්‍යයා විතරයි කියලත් එතුමා කියනවනෙ. සර්ට වාසනාව තිබුණා එහෙම උතුම් මනුස්සයෙක්ගෙ මල්ලි වෙලා මේ ලෝකෙට එන්න.”

“අය්යා කියන්නෙ වයසට වඩා වැඩවලින් වගෙම ප්‍රඥාවෙන් අපට වඩා ගොඩාක් පරිණත වෙච්ච කෙනෙක්. එයා අඩු කාලයක් මේ ලෝකෙ ඉඳලා වැඩි වැඩක් ලෝකෙට කරලා දීලා නික්මිලා ගිය කෙනෙක්. වැදගත් වෙන්නෙ කෙනෙක්ගෙ ආයු කාලෙ නෙමෙයි ගඟුල්. ඒ ලබපු ආයු කාලෙ තුළ එයා මේ ලෝකෙට කරපු කියපු දේවල් අනුවයි කෙනෙක්ගෙ වැදගත්කම තීරණය වෙන්නෙ. එයා තමන්ගෙ ජීවිත පැවැත්මෙන් අපට ගොඩක් පාඩම් කියලා දුන්නා. අය්යගෙන් මම ඉගෙන ගත්ත එක පාඩමක් තමයි මේ ජීවිත කාලෙ දි අපට හමු වෙන හැම කෙනාගෙන් ම අපට ඉගෙන ගන්න පාඩමක් තියෙන බව. මේක ඔයාටත් හොඳ පාඩමක්. මේ විශ්වවිද්‍යාලෙ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් විතරක් නෙමෙයි ශිෂ්‍යයන්ගෙන් වගෙම සේවක සේවිකාවන්ගෙ ජීවිත දිහා බලලා තමන්ගෙ ජීවිතය සකස් කරගන්න ඕනෙ පාඩම් ජීවිතයට එකතු කරගන්න. අයින් කරන්න ඕනෙ දේවල් අයින් කරන්න.”

“සර් කියන එක මට දැනෙනවා. මට තේරෙනවා. හොඳ ගුරුවරයෙක් වෙන්නෙ කොහොම ද කියන පාඩම මම ඉගෙන ගත්තෙ විද්‍යෝදෙන්නෙ. ඒ පාඩම අමතක කරන්නෙ නැතුව තමයි මම නාගොල්ලාගමට ගියෙ. දරුවන්ට ආදරයෙන් සහෝදර ගුරු මණ්ඩලයත් එක්ක සහජීවනයෙන් වැඩ කරපු නිසා තමයි මට මම සමුගන්න දවසෙ ඒ කිට්ටුවන්තයන්ගෙ ඇස්වල මම ආදරයේ කඳුළු දැක්කෙ. මම ඒ කඳුළට ගෞරව කරනවා වගෙම ආදරය කරනවා සර්.”

“මන් දන්නවා ගඟුල් ඔයා මෙහෙ වැඩ කරන්නෙත් ඒ හිතත් එක්කම තමා කියන එක. විෂය දැනුමට වහල් වෙන්නෙ නැතුව දැනුම තමන්ගෙ වහලෙක් කරගෙන වැඩ කරන්න. මතකනෙ සමන් අය්යා කියනවා මිනිස් සමාජය එක් පියවරක් හරි ඉදිරියට තබන්නෙ දහසක් වහල් බැමි අත්හරින එක් නිදහස් මිනිහෙක් නිසා කියලා. අන්න ඒ හිස්තැන පුරවන්න. එතකොට ඔයාට වරදින්නෙත් නැහැ. ඔයාගෙ ශිෂ්‍යයන්ට වරදින්නෙත් නෑ.”  

“ඔව් සර්, සර්ට මතක ද සර් අපට දවසක කිව්වා ගුරුවරයා කියන්නෙ කිසියම් ආකෘතියක සිර වෙන්න ඕන කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගෙම එදා සර් කිව්වා මේ තියෙන සම්මත ආකෘති උනත් නිර්මාණශීලී ගුරුවරයකුට අව්‍යාජ ජීවන අද්දැකීම් ප්‍රකාශ කිරීම සඳහා භාවිතයට ගන්න පුළුවන් කියලා.”

“ශිෂ්‍ය ප්‍රජාවට ආදරයෙන් වගෙම නිවැරදිව නිර්මාණශීලී විදිහට වැඩ කරපු ගුරුවරයෙක් හරි ගුරුවරියක් හරි ඉන්න තැනින් සමු ගන්න කොට හරි - විශ්‍රාම ලබන කොට හරි ඒ අයගෙන් ඉගෙන ගත්ත ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇතිවන හැඟීම බොහොම සුන්දර විදිහට කවියට නගනවා වසන්ත අය්යා.”
“වසන්ත අය්යා කිව්වෙ සර් කොයි වසන්ත අය්ය ද?”
“මම කියන්නෙ කොට්ටාව ආනන්දෙදි අපිට වඩා ඉහළ පන්තියක හිටපු අපේ කාලෙ ප්‍රධාන ශිෂ්‍ය නායකයත් වෙලා හිටපු පස්සෙ කාලෙක පෙරදිග දක්ෂ වෛද්‍යවරයෙක් විදිහට නමක් දිනා ගත්ත නිමල් වසන්ත කුමාර අය්යා.”

“සර්ට මතක ද ඒ කවි.”

“මට මතක හිටියට එතන කවි හතරක් පහක් තිබුණා. මට දැන් ඒ ඔක්කොම මතක නැහැ. දැනට මගෙ මතකයෙ සටහන් වෙලා තියෙන ඒ කවිවලින් තුනක් විතරක් තාලෙට නෙමී වචන මට්ටමෙන් කියන්නම්.

නෙතින් පොතට අප බඳවා අකුරු කෙරූ
නිතින් අමිල ගුණදම් කළ    අපට හුරූ
සිතින් මැකී නොම යන දිවි      තිබෙන තුරූ
බැතින් වඳිමි පද මාපියවරුනි             ගුරූ

මෙහෙවර නිසා ගුරු මාපියවරුනි       ඔබේ
වියතුන් සබා මැද අද අප යෙහෙන්   හෙබේ
සිහිවටනයක් විලසින් සිත් ගගන ගැබේ
ඔබ කළ මෙහෙය අප මිය යන තුරුම තිබේ

සුවසේ ඉසිඹු ලන මෙහෙවර      නිමා වී
ඔබ වෙත සියලු දෙවියෝ නෙත්     යොමාවී
චිර ජීවනය ලැබ මරුබල              පමා වී
නිදුකින් දිනේවා වරදට               සමා වී”

“ඒ කවි තුන හරිම ලස්සනයි. ඒ වගෙම හරිම අර්ථවත්. ඒ උනාට මට නම් හිතෙන්නෙ තමන්ගෙ කායික මරණය සිද්ද වෙනකම්ම හොඳ ගුරුවරයකුට තමන්ගෙ මෙහෙවර නිමා කරන්න බැහැ කියලයි.”

“එතෙන්දි මමත් ගඟුල් එක්ක එකග වෙනවා. ඔය කවි ලියපු වසන්ත අය්යා ඉන්නෙත් ඒ අදහසේ ම තමයි.”

“සර් කොච්චර ලස්සන අදහසක් උනත් භාෂාවෙ සම්මත ව්‍යාකරණයම තදින් ගත්ත කෙනෙකුට පොඩි අඩුපාඩුවක් දැක්කොත් ලස්සන යට ගිහින් පේන්න ගන්නෙ ඒ අඩුපාඩුව ම නේද?”

“ඔයා ගඟුල් ඒ කතාව කිව්වෙ මේ පළවෙනි කවියෙ තියෙන හුරූ තුරූ වගෙ වචන නිසා කියලයි මට හිතෙන්නෙ. ඒත් මම දන්නවා ඒක ඔයා මේ කවිය විඳ ගන්න බාදාවක් කරගන්නෙ නැති බව. ඒ දෝසයම තමා මෙතනදි කවිය ලස්සන වෙන්නෙ. ඕක භාෂාවෙ නිවැරදි ව්‍යවහාර ගැන හිතලා හුරු තුරු කරන්න ගියා නං තමයි කවියෙ ලස්සන මැරෙන්නෙ. හැබැයි අපේ ක්ෂේත්‍රෙ ව්‍යාකරණ ඉහළට ම ඉගෙන ගත්ත යාළුවෙකුට ඒක වෙන්න පුළුවන්. භාෂාවෙ ව්‍යාකරණය ගැනම හිතන කෙනා එතකොට රසවින්දනය ජීවිතයට අහිමි කරගත්ත රසවිහීන අවාසනාවන්තයෙක් බවට පත් වෙනවා.”

“සර් මේ කියන්නෙ නිර්මාණකරුවකුට තමන්ට ඕන විදිහට භාෂාව යොදන්න පුළුවන් කියන එක ද?”

“නිර්මාණකරුවා ව්‍යාකරණඥයගෙන් වෙනස් වෙන එක තැනක් තමයි ඒ. බලන්න ශ්ලෝක ලක්ෂයක් තියෙන මහාභාරත සංස්කෘත වීරකාව්‍යය ලිව්වයි කියන ව්‍යාස මහඍෂිත් එහෙනං ඒ වරදට අහුවෙනවා.”

“සර්ට පුළුවන් ද එහෙම තැනක් මට මහභාරතෙන් පෙන්නලා දෙන්න.”

“ඇයි ගඟුල් මහාභාරතෙ භීෂ්ම පර්වෙ ඇතුළත් වෙන භගවද්ගීතාවෙන් ම පුළුවන්නෙ එහෙම තැනක් මතු කරන්න. ගීතාවෙ තුන්වෙනි අධ්‍යායෙ එන අථ කේන ප්‍රයුක්තෝයං පාපං චරති පූරුෂඃ කියන ශ්ලෝකාර්ධය ම ඒකට උදාහරණ කරන්න පුළුවන්නෙ. සංස්කෘතේ පුරුෂඃ කියලා මිස පූරුෂඃ කියලා රූපයක් නැහැනෙ. ඒ නිවැරදි රූපෙ මෙතෙන්ට දාන්න ගියානං ශ්ලෝකෙ තියෙන වෘත්තය කැඩිලා ඒකෙ රිද්මයත් නැති වෙනවනෙ.”

“මට හොඳටම පැහැදිලියි සර් කාරණේ. සර් මන් මේ තව දෙයක් අහන්න යන්නෙ. ඒ ව්‍යාකරණ ගැන නෙමෙයි ජීවිතේ ගැන. අපි සර් වැඩ කරන් යන කොට සමහර බාදක එනකොට ඒවා නිසා අපේ වැඩ නතර කරන්න හිතෙන වෙලාවල් එනවනෙ මේ ගුරු මෙහෙවර කරගෙන යද්දිත්. එහෙම අවස්ථා සර්ට වෙලා නැද්ද?”

“මොකෝ නැත්තෙ, ගමනක් යනකොට අපි යන පාරෙ බාධකයක් ඒ කියන්නෙ මාර්ග බාධකයක් ආවොත් ගඟුල් මොකද කරන්නෙ.”

“ඉස්සරහට යන්න ම බැරි තරම් මාර්ග බාධකයක් නං තියෙන්නෙ ආපහු හැරිලා වෙන පාරක් හොයාගෙන හරි හිතපු තැනට යනවා සර්.”

“අන්න එහෙම තමයි ගඟුල් අපේ ජීවිතෙත්. හරියට ගංගාවක් වගෙයි. ගල්පරයක් හමු උනාම ගඟ කරන්න එතනදි ලස්සන තරංග හදලා ඒ බාදකේ තිබිච්ච තැනට තව ලස්සනකුත් එකතු කරලා බාදකේ මග හැරලා ඉස්සරහට ගලන එක. අන්න ඒවගෙ ගලන්න.”  

“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ සර්ගෙම කවියක්. මන් කියන්න ද ඒක.”

”කියන්න කියන්න කොහොමටත් මගෙ කවි මට වඩා කට පාඩමින් කියන්න දන්නෙ ඔයාගෙ වර්ගෙට අයිති මගෙ ගෝලයො ම තමයි.”

ඒ මොහෙතේ ගඟුල් විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ සහන් සරසවි සිසුවකු ව සිටියදී රචනා කරන ලද කවියකි.

“නදියක් නොනැවතී මුහුදට   ගලන වග
 දැන සිටි අය ද නවතිති ගල් පවුරු ළඟ
 යායුතු හෙයින් තව දුර   ගිරි දුදුළු නැග
 ඔබ නොනවතී වා ගමනෙහි   අතර මග”  

“ගංගාවක තියෙනවා ගඟුල් සංගීතයක්. සමහර වෙලාවට මට හිතෙනවා සංගීතය ගොඩක් දුරට ඉගෙන ගත්තත් හදවතේ සංගීතය නැති. තව කෙනෙක් ඉන්න පුළුවන් විෂයක් හැටියට සංගීතය හදාරලා නැහැ. හැබැයි එයා සමත් වෙලා තියෙනවා මුළු ජීවිතයම සංගීතයක් කර ගන්න. අපේ අදිකාරම්තුමා එහෙම චරිතයක්. ඒ වගෙම සංගීතෙ හදාරලත් තියෙන ජීවිතයත් සංගීතයක් කර ගත්ත අයත් අපට ඉඳලා හිටලා හමු වෙනවා.”

“සර් ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ ඉස්කෝලෙ සංගීතෙ උගන්නපු චාරුශශී කියන සංගීත මිස්. දැන් එයා දැන් වෙන ඉස්කෝලෙක. අපේ මිහිදිනීත් හරිම ආදරෙයි එයාට. රේණු අක්කා, නදී මිස් වගෙම තමන්ට දැනිච්ච චරිත ගැන කියන මිහිදිනී, ශශී මිස් ගැන කතා කරන්නෙත් බොහොම ආදරයකින් ගෞරවයකින්. මට මතකයි දවසක් එයා ශශීගෙ අත් දෙකින් අල්ලගෙන කිව්ව දෙයක්.”

“හිටපු ගමන් අපේ මිහිදිනී මහ අමුතු කතා කියනවා තමා. ඔයා වගෙම එයත් දැන් මගෙ ශිෂ්‍යයෙක්නෙ. මම කැමතියි එයා කියපු ඒ අමුතු කතාව දැන ගන්න.”

“ශශී අක්කෙ ඔයා ළඟ සංගීතය තියෙන්නෙ ඔයාගෙ විෂයෙ විතරක් නෙමෙයි. ඔයාගෙ ජීවිතෙත් සංගීතෙ තියෙනවා. මෙහෙම කියලා ශශීගෙ අත්දෙක අත හැරියෙ දේ කවි පද දෙකත් කියලයි.

සොයුරිය සඳ විලස ගෙන දෙන  මුදු සීතේ
උගතිමු ඔබෙන් අපි         ජීවන සංගීතේ”

“මටත් දැන් කැමැත්තක් ආවා ඔය ශශීව දකින්න. සමහර ගෑනු මිනිස්සු ඉන්නව ගඟුල් ඒ අය අමුතුවෙන් කිසිම දෙයක් කරන්න ඕන නැහැ. දැක්කත් ඇති. හිතේ ප්‍රශ්නයක් තියෙන වෙලාවට එහෙම කෙනෙක් දකින එක ම විසඳුමක් වෙන අවස්ථාත් තියෙනවා. ලොකු දුකක් හිතේ තියාගෙන කෙනෙක් ආවහම ඒ දුක නැති කරන්න තමන්ට පුළුවන් දේ කරන කෙනා ප්‍රශ්න විසර්ජකයෙක්. හොඳ ගුරුවරයෙක් කියන්නෙ එහෙම කෙනෙකුට. එහෙම චරිත අපේ මිහිදිනී කියනවා වගේ සඳක් වගේ අපේ ජීවිතවලට අරගෙන එන්නේ මුදු සිසිලසක්, ජීවිතය සුවපත් කරවන සංගීතයක්.”

“සර් මට දවසක් ඇහැලියගොඩ වැඩසටහනක දි හමු වෙච්ච වටිනාපහ දේවානන්ද හාමුදුරුවො හරි වෙනස් කතාවක් කිව්වනෙ. ඒක අපේ මේ සාකච්ඡාවටත් අදාළ කරගන්න පුළුවන් දෙයක්. උන්වහන්සෙ කියන්නෙ දුක හිතෙන් නැති එක තමා ප්‍රශ්නෙ කියලයි. සමහර දෙනාට තව කෙනෙක් ගැන දුක හිතෙන්නම ඕන වෙලාවටත් දුක හිතෙන්නෙ නැහැ. දුක නැති කරන්න නං දුක දැකලා තියෙන්න ඕන කියලයි අපේ හාමුදුරුවො කියන්නෙ. විශේෂයෙන් අනුන්ගෙ දුකත් තමන්ගෙ දුකක් වගෙම දැනෙන්න ඕනෙ කියලයි එදා උන් වහන්සෙ කිව්වෙ. අන්න එහෙම අයට තමයි අනුන්ගෙ දුක නැති කරන්න පුළුවන් කියන එක තමයි උන් වහන්සෙ තමන්ගෙ අනුශාසනාවෙදි අවධාරණේ කළෙත්. මන් හිතන්නෙ සර් සමන් සිත්තරා කියන්නෙ අන්න එහෙම අනුන්ගෙ දුක දැකලා තමන්ගෙ මරණය සිද්ධ වෙනකන් ම ඒ දුක් නැති කිරීම සඳහා ජීවත් වෙච්ච උතුම් මනුස්සයෙක්. එහෙම මිනිස්සු ජීවතුන් අතර නොඉඳත් ජීවත් වෙලා ඉන්න අපිව ජීවත් කරනවා. ඒ වගෙ මිනිස්සු ම තමයි මේ සමාජෙ ජීවත් වෙලා ඉන්න වෙනස් ගැහැනු මිනිස්සු අඳුන ගන්න අපට ඇහැක් දෙන්නෙත්.”

“එතකොට ගඟුල් ඔයා මගෙ ළඟට එක්කර ගෙන ආපු මිහිදිනී නියෝජනය කරන්නෙත් ඒ වෙනස් මානව කුලකය ද?”

සහන් සිනාසෙමින් ඇසූ ඒ ප්‍රශ්නයට ගඟුල් පිළිතුරු දුන්නේ අනිවාර්යයෙන් ම ඔව් සර් යන වදන් කිහිපය හැඟුම්බර ව පවසමිනි. ඒ මොහොතේ ඔහු සිතට පිවිසියේ මිහිදිනිය හා බැඳි සුපහන් ස්මරණාවලියකි. පාසලින් සමුගත් දවසේ ඔහු නාගොල්ලාගම දුම්රිය පළට ඇරලවීම සඳහා පැමිණියේ රේණු සහ මිහිදිනී ය. මිහිදිනී එදින ගඟුල්ට පොත් කට්ටලයක්ද ඇඳුම් කට්ටලයක් ද තිලිණ කළා ය. ඒ අවස්ථාවේ රේණු මෙසේ පැවසුවා ගඟුල්ට මතක ය.

“මිහිදිනී මේ කරන්නෙ ඔයාට භෞතික ව දෙයක් අරගෙන දෙන එක ම විතර නම් මන් ඒකෙ විශේෂයක් දකින්නෙ නැහැ. මොකද එයා කොහොමටත් හරිම ගැඹුරකින් ඔයාට ආදරය කරන නිසා. මෙතන විශේෂය වෙන්නෙ එයා ලෝකය සම්බන්ධයෙන් කටයුතු කරන්නෙත් ඒ විදිහට ම වීමයි. මේ කෙල්ල ගඟුල්, ලෝභකම - මසුරුකම කියන වචනවල තේරුමවත් දන්නෙ නැහැ. උඹට ඕන තරම් තරුණ කෙල්ලො හමුවේවි. ඒත් මේ වගෙ කෙල්ලෙක් දැක ගන්න ලැබෙන්නෙ හරිම කලාතුරකින්. එයා මල්ලි පදිංචි වෙලා ඉන්නෙ උඹේ හදවතේ විතරක් නෙමෙයි. එක දවසක් ඇසුරු කළොත් එයා ඒ ඇසුර ලබපු අයගෙ හිත්වල පදිංචියට උරුමය ලබනවා.”

“මන් දන්නවා රේණු අක්කෙ ඒක. එයා වෙනස් කෙනෙක්. එයා ඉන්න තැනටත් වඩා එයා නැති තැන මට එයා වැඩියෙන් දැනේවි.”

ඒ මොහොතේ මිහිදිනී හිස ඔසොවා තමා දෙස බැලූ ආකාරය ගඟුල්ට සිහිපත් විය. ඇගේ දෑස කඳුළින් පිරී ගොස් තිබිණ. ඒ කඳුළට හිමි සුවිශේෂ අරුතක් ද විය. ඒ අරුත වූකලී ඇය ගඟුල් හැර අන් කිසිවකු සිය සැමියා වශයෙන් නොපතන බව ය. දෙදෙනාගේ ම ආදරණීය සුමිතුරිය ජීවමාන සාක්ෂිය වශයෙන් ස්නේහපූර්වක ව ඔවුන් දෙස බලසිටින ඒ පවිත්‍ර නිමේශයේ දී මිහිදිනිය සමීපයට ගිය ගගුල් ඇය සිය ලයට තුරුළු කොට ගෙන ඉමහත් ආදරයකින් ඇගේ හිස සිප ගත්තේ ය. එතැන තිබුණේ සුපහන් දෙහදක විකසිත නොකැලැල් ආදරය මිස අන් කිසිවක් නොවීය.

“ගඟුල් ඔයා ඉන්නෙ මෙතන නම් නෙමෙයි වගේ. හැබැයි ඉන්නෙ  හිටියෙ කොහෙද කියන එක ඔයා මට කියන්න ඕනෙත් නැහැ. මොකද ඒක මන් දන්න නිසා, මට දැනෙන නිසා. හරි කැමති නම් කියන්න ඒ සමු ගන්න මොහොතේ අපේ මිහිදිනී කෙල්ල ඔයාට කියපු වචන ටික.”

ගඟුල් හිස ඔසොවා සිය ආචාර්යවරයා දෙස බැලුවේ විස්මයෙනි. අනතුරුව ඔහු කතා කෙළේ ය.

“සර් ඉන්ද්‍රජාලිකයෙක් ද එහෙම නැත්නම් මිනිස්සුන්ගෙ හිත් කියවන්න පුළුවන් කෙනෙක් ද? මන් මිහිදිනී අන්තිමට කියපු දේ ගැන හිත හිත තමයි සර් හිටියෙ. හැබැයි සර් ඒ කියපු දේ මට සර් එක්ක විතරක් නෙමෙයි මුළු ලෝකෙම ඉස්සරහදි උනත් කෑගහලා කියන්න පුළුවන් වචන ටිකක්. එයා මගෙ අත් දෙකින් තදින් අල්ලගෙන මගෙ මුහුණ දිහා බලාගෙන මෙන්න මෙහෙම කිව්වා.

මන් දැන් මේ තදින් අල්ලගෙන ඉන්න ඔයාගෙ අත් දෙක අත හරින්නෙ මගෙ ළඟ නතර වෙලා ඉන්නවට වඩා දුර ගමනක් ඔයාට යන්න තියෙන නිසයි. මට ඔයා දකින්නැතුව ඉන්න එක අමාරුයි තමයි. ඒත් මට ඔයාව තියා ගන්න බැහැ. මොකද ඔයා යන්න ඕනෙ. මේ ගමන වැඩි මෙහෙවරක් වෙනුවෙන්. ඒත් මම ඔයාව තියා ගන්නවා හැමදාමත් මගෙ මෙතන.
සර් දන්නව ද එහෙම කියලා මේ කෙල්ල අත තියා ගත්තෙ එයාගෙ පපුවට.”

“ඒ කෙල්ල වෙනස් කෙල්ලෙක් තමයි ගඟුල්. ඒක මන් තේරුම් ගත්තෙත් ඔයා එයාව මගෙ ළඟට එක්කරගෙන ආපු පළවෙනි දවසෙම. ඔයා විතරක් නෙමෙයි ඒ කෙල්ලත් ඔයත් එක්කම ඒ දුර ගමන යන්න ඕනෙ. දැන් එයත් එයාගෙ උපාධිය ඉවර කරලනෙ ඉන්නෙ. නාගානන්ද විශ්වවිද්‍යාලෙට කොන්ත්‍රාත් පදනමට ඉංග්‍රීසි අංශයට බඳව ගෙන වැඩ බාර දෙන්න බෞද්ධ පදනමක් තියෙන තරුණ කෙනෙක් හොයනවා. ඔය ගැන ඒ විශ්වවිද්‍යාලෙන් මගෙනුත් ඇහැව්වා සුදුසු කෙනෙක් ගැන. මගෙ ඔළුවට ආවෙම මේ කෙල්ල ම තමයි. අපි අපේ කෙල්ලගෙන් අහල ම වචනයක් දෙමු.”

“සර් එතකොට නාගොල්ලාගම ඉස්කෝලෙ දරුවො.”

“ගඟුල් අපි දෙයක් අත හරින්නෙ ඊට වඩා වැඩි දෙයක් කරන්න. මිහිදිනීට දේශීය භික්ෂූන් වහන්සේලා වගෙම විදේශීය භික්ෂූන් වහන්සේලා තමයි ගිහි අයට වඩා වැඩියෙන් ලැබෙන්නෙ ශිෂ්‍යයන් විදිහට. අනාගතයෙදි මේ රටේ වගෙම ලෝකය පුරා ධර්ම ප්‍රචාරක කටයුතුවලට යෙදෙන කණ්ඩායමක්නෙ එයාට ලැබෙන්නෙ උගන්වන්න. අපි නාගොල්ලාගමත් අතරමන් නොවෙන විදිහට කෙල්ල මෙහාට ගම්මු. අමතක කරන්න එපා දැන් ඔයා උගන්නපු ඉස්කෝලෙ මුල් පිටුවෙ ඉන්නෙ ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය විශේෂ උපාධියට කරපු විද්වතියක් වෙන රේණු බව. එයා කොහොමටත් ඒකට වැඩ පිළිවෙළක් යොදාවි. අනිවාරෙන්ම ඔයගොල්ල මට කියලා තියෙන විස්තර අනුවත් මන් දවසක් දෙකක් කතා කරලා ලැබිච්ච අද්දැකීම් අනුවත් මේ තීරණේ ක්‍රියාවක් කරන්න තදින් ම වැඩ කරන්නෙ එයා කියලයි මට හිතෙන්නෙ. මහව අධ්‍යාපන අධ්‍යක්ෂතුමත් අපේ ආදි ශිෂ්‍යයෙක්නෙ. අපි එයාට කියලා නාගොල්ලාගමටත් හොඳ ගුරුවරියක් යවමු. ඔයාගෙ විරුද්ධත්වයක් නැහැනෙ ගඟුල් ඒකට.”

“මන් මොකට ද සර් විරුද්ධ වෙන්නෙ. එයා අපේ කිට්ටුවෙන් ඉන්න එක හැම අතින් ම හොඳ දෙයක්නෙ. සර් කිව්වා වගෙම අපේ රේණු අක්කා උනත් මේකට ආශිර්වාද කරලා මිහිදිනීව නිදහස් කරනව මිසක් විරුද්ධ වෙන්නෙ නැහැ. සර් කතා කරන්න. එතකොට මිහිදිනිත් කැමති වේවි මෙහෙ එන්න, නාගොල්ලාගම ඉස්කෝලෙට පාඩුවක් නොවෙන විදිහට යි කාරණා සිද්ධ වෙන්නෙ කියලා කිව්වහම.”

“හරි ගඟුල්, එහෙම නම් මන් මිහිදිනීට රේණුට විතරක් නෙමෙයි මහව අධ්‍යාපන අධ්‍යක්ෂතුමාටත් කතා කරන්නම්. අපි කෙල්ලට ඉන්න සුදුසු නවාතැනක් ගැනත් බලමු, එයාගෙන් වචනෙ ලැබුණට පස්සෙ. ඊට පස්සෙ ඉතින් ගෙවල් දෙකටම දන්නලා චාමෙට ඔය දෙන්නගෙ මංගල්ලෙත් ගනිමු. කොහොමත් භෞතිකව මුහුණු දෙකක් තිබුණට ආධ්‍යාත්මික ව ඔය දෙන්නට තියෙන්නෙ එක මුහුණක්නෙ. මිහිදිනීට කියන්න පුළුවන් ඉක්මණින් දවසක කොළඹ ඇවිත් මාවත් හමු වෙන්න කියලා. ඒ හම්බ උනාම ඔය දෙන්නටම කියන්න දේකුත් තියෙනව මට.”

“එහෙනං සර් මම ගිහින් එන්නම්. මිහිදිනී ලබන සතියෙ කොහොමටත් කොළඹ එනවා. මන් ඒ ආවහම එයත් එක්ක ම සර්ව හම්බ වෙන්න ගෙදරට එන්නම්. අපි අද කතා කරපු දේවල් ගැන ප්‍රවේශය සර්ම කියන එක තමයි වැඩිය හොඳ.”
සිය ආචාර්යවරයාගෙන් සමුගෙන පෙරළා නිවහන වෙත යාමට පෙර ඔහු ගියේ පිළියන්දල නගරයෙන් තරමක් ඈතක නිස්කලංක පරිසරයක  පිහිටි සිය සොහොයුරා වන විපුල්ගේ කලාගාරයට ය. සොහොයුරා සිය වැඩ කටයුතුවල සන්ධිස්ථානයකට එන තෙක් එළිමහනේ තුරු සෙවනක ඇති ඇති අසුනකට වී කලා සඟරාවක් බලන ඔහුට දක්නට ලැබුණේ සිය ආචාර්යවරයා මෙයින් කලකට පෙර කලාව, පුද්ගල ජීවිතය සහ ලෝකය යන මාතෘකාව වටතේ ලියා තිබූ ලෝකයකි. එම ලිපියේ එක් තැනක ලේඛකයා පුද්ගල වර්ගීකරණයක් කොට තිබිණ. ඉන් පළමු කණ්ඩායම තමා විනාශ වී ලෝකය ද විනාශ කරන අය යි. ඉන් බොහෝ දෙනා කායික ව මෙන් ම ආධ්‍යාත්මික ව ද පිරිහී තමාට ඉතිරි ව ඇති ශක්තිය යොදන්නේ ලෝකයේ ජීවත් වන අන්‍යයන් පිරිහෙළීමට යි. තව සමහරෙක් තමන් සුරැකී ලෝකය පිරිහෙළති. භෞතික අතින් කිසියම් සමෘද්ධියක් අත් කරගෙන සිටියත් ඒ පිරිස ද ආධ්‍යාත්මික වශයෙන් දිළින්දෝ වෙති. මේ දෙවන කණ්ඩායම යි. තෙවන කණ්ඩායම ලෝකය සුරැක තමා විනාශ වන අය යි. ඒ ගැන කියවද්දී ඔහුට සිහිපත් වූයේ පරිසරය හද බස ගැන මහත් හැඟීමකින් කටයුතු කළ අධික ලෙස ධූමපානයටත් මත්පැනටත් ලොල් ව අකාලයේ අහිමි ව ගිය ප්‍රවීණ සාහිත්‍යධරයෙකි. ඇතැම් දෙනා මෙන් සිය ඇබ්බැහිකම් ගැන උජාරුවෙන් කතා නොකළ ඔහු ගිලන් ව සිටිය දී තමා බැලීමට ආ සාහිත්‍යධරයන්ගෙන් - කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ තමා මෙන් විනාශ නොවන ලෙස ය. විශේෂයෙන් සිය ජීවිතයේ අවසන් කාලයේ දී නව පරපුරට ඔහු සිය දුබල අතින් ඒ පණිවිඩය ලියා තැබීමට ද අමතක නොකළේ ය. මේ අතර තමාටත් ලෝකයටත් කිසිවක් නොකර ජීවත් වන අයත් සිටිති. ඒ සිවුවන කණ්ඩායම යි. අවසාන අර්ථයේ දී ඒ අය ද කවර හෝ මට්ටමකින් සමාජ මෙහෙවරක් කරන කණ්ඩායමට සිය ආචාර්යවරයා විසින් ඇතුළත් කරනු ලැබ තිබිණ. මන්ද ඒ අය සමාජය විෂයයෙහි කිසිවක් සිදු නොකළත් සමාජ අයහපත සිදු කරන කණ්ඩායමට අයත් නොවන අය බැවින් ඔවුන්ගෙන් සිදු වන්නේ ද එක්තරා ආකාරයක සමාජ මෙහෙවරක් බැවිනි. මේ අතර තමන් ගැන නොසිතා ලෝකය වෙනුවෙන් වැඩ කරන අය ද සිටිති. ඒ පස්වන කණ්ඩායම යි. සයවන එනම් අවසාන කණ්ඩායම වන්නේ තමන්ගේ ජීවිත ලස්සන කරගෙන ලෝකයේ ජීවිත ලස්සන කරන කණ්ඩායම යි.  ගඟුල්ට අනුව සමන් සිත්තරා මෙන් ම සිය සොහොයුරා අයත් වන්නේ ඒ කුලකයට යි. එහෙත් ඒ දෙදෙනා තුළ ම තමන් ගැන නොසිතා ලෝකය වෙනුවෙන් වැඩ කිරීමේ ස්වභාවය ද නොමඳ ව විද්‍යමාන විය.

“අපේ කථිකාචාර්යතුමා ඔය සඟරාව බලනව ද එහෙම නැත්නං කල්පනා කරනව ද?”

“දෙක ම අය්යෙ දෙක ම.”

ගඟුල් එසේ පිළිතුරු දුන්නේ සිය වැඩ අවසන් කොට තමා වෙත පැමිණි සිය සොහොයුරාට ය.

“මල්ලි අපි යමු ද එහෙනං ගෙදර. ඔයා ගන්නව ද වාහනේ. මෙන්න යතුර.”

ඒ යන අතරතුර දෙසොහොයුරනට කතා කිරීමට බොහෝ දේ තිබිණ.

“මල්ලි කොහොම ද ඔයාට අලුත් කාල සටහන හම්බ උනා ද?”
ඕහම්බ උනා හම්බ උනා කාල සටහන් දෙකක්.“

“මොකක්, එක අංශෙක උගන්නන කෙනෙකුට මොකට ද කාලසටහන් දෙකක්.”

“එකක් අපේ අංශෙන්. අනික අපේ සර්ගෙන්. මේ සර්ගෙ අන්තිම අවුරුද්දනෙ. සර් මාව සම්බන්ධ කරගත්තා සර්ලගෙ භාෂා අංශෙ කාව්‍ය විචාර ප්‍රවේශය කියන විෂයට යි සංස්කෘත සාහිත්‍ය ඉතිහාසය කියන විෂයට යි.”

“ඉතින් මල්ලි ඔයාගෙ විෂය සිංහලනෙ.”

“ඒ උනාට අය්යෙ මගෙ උපවිෂය සංස්කෘතනෙ. ඒ වගෙම මගෙ පශ්චාද් උපාධියටත් එක මට්ටමකට සංස්කෘත මූලාශ්‍රය සම්බන්ධ කරගත්තනෙ. ඒක නිසා සර් හිතන්න ඇති මටත් කොටසක් දුන්නොත් මම ඒක මහන්සි වෙලා කරයි කියලා.”
“මන් ඔයාගෙ සිංහලවල තත්වෙ දන්නවනෙ. හරි එහෙනං දැන් මට කියනවකො මල්ලි අර සංස්කෘත සාහිත්‍ය ඉතිහාසෙ යටතෙ මොනව ද උගන්නන්නෙ කියලා.”

“අය්යෙ ඒකට උගන්නන්න තියෙන්නෙ රාමායණය - මහාභාරතය - බුද්ධචරිතය - රඝුවංශය වගෙ ඒ ඒ යුගවල බිහිවෙච්ච කෘති ගැන. ඒවයෙ අන්තර්ගතය මිසක්  ටෙක්ස්ට් කරන්න නැති නිසා මට ඒ වැඩේ පහසුවෙන් කරන්න පුළුවන්.”
“මල්ලි බුද්ධචරිතෙ කියන්නෙ කාව්‍ය ග්‍රන්ථයක් ද?”

“ඔව් අය්යෙ ඒක අශ්වඝෝෂ හාමුදුරුවො බුද්ධචරිතය පාදක කරගෙන ලියපු බොහොම සුන්දර වගෙම අර්ථවත් මහා කාව්‍යයක්.”

“ඉතින් ඔයා මේ යන ගමන් ඔයාගෙ මතකෙ තියෙන ඒ සුන්දර අර්ථවත් තැනක් දෙකක් කියන්න. සමහර විට අපේ සමන්ගෙ අර අභිනිෂ්ක්‍රමණ චිත්‍රෙට බෞද්ධ සාහිත්‍යය උල්පත උනා වගෙ මගෙ අනාගත චිත්‍රෙකට හරි මූර්තියකට හරි ඔයා අද කතා කරන දේවල් උල්පත වෙන්න බැරි නැහැ.”

“අපේ සමන් අය්යා ඇන්දෙ සිද්ධාර්ථ - යශෝදරා චරිත එක්ක බැඳිච්ච සංසිද්ධියක්නෙ. හරි ඔයා කවද හරි ශුද්ධෝදන මහමායා රූප දෙක අඳින කොට මතක් වේවා කියලා හිතලා මම ඒ චරිත ගැන තියෙන තැනක් දෙකක් කියන්නම්. බුද්ධචරිත මහාකාව්‍යය ආරම්භ වෙන්නෙ මේ චරිත ගැන කරන වර්ණනාවලින්. මේකෙ පළවෙනි පද්‍යයෙ දි කියනවා සරාසඳ මෙන් ජනතාවට ප්‍රිය වූ ශුද්ධෝදන නම් නරපතියෙක් හිටියයි කියලා. දෙවන කවියෙදි කියන්නෙ ඒ රජතුමාට දීප්තියෙන් සඳුට සම කළ හැකි ශෝභා ඇති, රජුට සම ප්‍රභාව ඇති, සිරිකත වැනි, මහපොළොව බඳු ප්‍රඥාවන්ත මායා නමින් ප්‍රසිද්ධ වූ පතිනියක් හිටිය ආකාරය යි.”

“ඉතින් මල්ලි සංස්කෘත භාෂාවෙන් ඕක හරි ලස්සනට කියලා ඇතිනෙ.”

“ඔව් අපේ විපුල් සමරනායක සිත්තරාගෙන් අවිදූර අනාගතයෙදි මහාමායා කියන උතුම් වනිතා රත්නය ලෝකයට දෘශ්‍යමාන කරන චිත්‍රය ඇඳේවා කියන ප්‍රාර්ථනාව කරලම අර කලින් කියපු අදහස තියෙන පද්‍යයත් මම කියන්නම්කො.
නරේන්ද්‍රකල්පස්‍ය බභූව පත්නී දීප්ත්‍යා නරේන්ද්‍රස්‍ය සමප්‍රභාවා
පද්මේව ලක්ෂ්මීඃ පෘථිවීව ධීරා මායේති නාම්නානුපමේව මායා”

“මල්ලි ඔය පොතේ සිංහල හරි ඉංග්‍රීසි හරි පරිවර්තන නැද්ද?”

“මම දන්න තරමින් සිංහලට සම්පූර්ණ පොත මේ වෙනකන් පරිවර්තනය වෙලා නැහැ. ඉංග්‍රීසි පරිවර්තන නං තියෙනවා.”

“ඉතින් මල්ලි ඔයාට පුළුවන්නෙ සම්පූර්ණ සිංහල පරිවර්තනයක් කරන්න.”

“ඔය අදහස අපේ සර්ගෙ හිතෙත් තිබුණා. ඒ දවස්වල සර් පොත් දෙකක් පරිවර්තනය කරන්න මට හිතිලා තියෙනවා කියලා කිව්වා. එකක් ඒ කාලෙ අදිකාරම්තුමා සර්ට තෑගි දීලා තිබුණ අරවින්ද ඝෝෂ් ආචාර්යවරයා ලියපු The Life Divine කියන පොත. අනිත්තෙක තමා අපි දැන් මේ කතා කරන බුද්ධචරිත මහාකාව්‍යය.”

“කෙනෙකුට කොච්චර දේවල් තියෙනව ද මල්ලි මේ ජීවිත කාලෙ දි මග හැරෙන. සමහර පොත් වගෙ ම සමහර චරිතත් අපට හමු වෙලා පස්සෙ මග ඇරෙනවනෙ.”

“අය්යා ඔහොම කියන කොට මට මතක් වෙන්නෙ අපේ සර් කියපු දෙයක්. මේ කියන්නෙ පොත් ගැන නෙමෙයි චරිත ගැන. මන් දවසක් සර්ලගෙ ගෙදර යනකොට සර් හිටියෙ පරණ දිනපොත් පෙරළ පෙරළා. මන් සර්ගෙන් ඇහැව්වා පරණ දිනපොත් පෙරළ පෙරළා සර් අලුත් දිනපොතක් ලියන්න ද යන්නෙ කියලා. ඒ වෙලාවෙ සර් කිව්වෙ අලුත් දිනපොතක් ලියන්න පුළුවන උනාට පරණ දිනපොත් අමතක කරන්න බැහැ කියල යි. එදා සර් තමන්ගෙ ශිෂ්‍ය කාලෙදි සමීප ව ඇසුරු කරන යාළුවන් ගැන කියද්දි කැලණිය ඉගෙන ගත්ත සුමති කියන යාළුවව මතක් කළා. ඉස්සර අදිකාරම්තුමාගෙ ගෙදරදි නිතර මුණ ගැහිච්ච ඒ යාළුවා දැන් හමු වෙන්නෙ නැති තරමයි කියලත් කිව්වා. ඒත් ඒ මතකය නම් මැරෙන්නෙ නැහැ කියලත් කිව්වා.”

“මල්ලි මිනිස්සු හමු වෙනවා වගෙම වෙන් වෙනවා විවිධ හේතු නිසා. මේ හමුවීම් ගැන කියද්දි එකට වැඩ කරන - වැඩ කරපු අය ගැන අදිකාරම්තුමා කියපු දෙයක් ඔයාගෙ සර් මට මතක් කරලා දුන්නා.”

“ඒ මොකක් ද අය්යෙ?”

“එදා එතුමා කරලා තිබුණෙ මෙන්න මේ ප්‍රකාශය යි.
අද මාත් එක්ක මේ එකට වැඩ කරන අය අනාගතයෙදි කවදා කොතැනක කවර වෘත්තියක නිරත වේවි ද කියලා කියන්න මම දන්නෙ නැහැ. ඒත් මට පැහැදිලි ව එක දෙයක් නම් කියන්න පුළුවන්. ඒ තමයි ඒ අය කොතැන හිටියත් ලෝකයේ යහපත වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ කරන බව.”  
“අය්යෙ සමාන ආකල්ප තියෙන - දශක කිහිපයක් එකට ඇසුරු කරපු අය උනත් යම් දවසක දුරස් වෙන්න පුළුවන් කියලා දවසක් අපේ සර් කිව්වා. මන් දැන් කෙනෙක් ඇසුරු කරන්නෙ දැන් ඉතාම සමීපයෙන් ඉන්න කෙනා උනත් දවසක දුරස් වෙන්න පුළුවන් කියලා හිතලයි.”

“ඒක හරි මල්ලි, ඒක දැනගෙන වැඩ කළහම හරි. ඔයාට මතක ද අපේ සමන් ඇඳලා තිබිච්ච චිත්‍ර දෙකක්. එකක් නම් කරලා තිබුණේ දූරසමීප කියලා. අනිත් චිත්‍රෙ සමීපදූර.”

“ඔව් මට මතකයි අය්යෙ, ඒ චිත්‍ර දෙකෙන් සමන් අය්යා ලොකු අදහසක් මතු කරලා තිබුණා. අපි වචනාර්ථ ඉක්මවා ගිය කවිවලට ධ්වනි කාව්‍ය කියනවා වගේ සමන් අය්යගෙ ඒ චිත්‍ර දෙක නම් කරන්න පුළුවන් ධ්වනි චිත්‍ර කියලා අලුත් ප්‍රවර්ගයක් හදලා.”

“ඔය චිත්‍ර දෙක ම සමන් ඇන්දෙ අපි සෞන්දර්යෙ අන්තිම අවුරුද්දෙ ඉන්න කොට. මන් එයත් එක්ක ඒ චිත්‍ර දෙකෙන් මට දැනෙන හැඟීම කිව්වහම සමන් කිව්වෙ ඔව් විපුල් ඔය චිත්‍රෙ අඳිද්දිත් මගෙ හිතේ තිබුණෙ ඒ හැඟීම තමයි කියලයි.”
“ඒ හැඟීම කිව්වෙ අය්යෙ.”

“මන් එදා සමන්ට කිව්වෙ මට සමන් ඔයාගෙ දූරසමීප චිත්‍රෙ දැක්කහම දුර තියෙන දෙයක් සමීප ව දකිනවා කියන එක වගෙම කාලයක් තිස්සෙ අපට ගොඩක් දුරයි අපෙන් ඈතයි කියලා හිතාගෙන හිටපු දෙයක් - කෙනෙක් කිසියම් දවසක දි අනේ මේ දේ මේ කෙනා අපට කොච්චර සමීප ද කියලා දැනෙන්න පුළුවන් නේද කියන එක.”

“එහෙම බැලුවහම අය්යෙ සමීපදූර චිත්‍රයෙ ප්‍රකාශනය හැටියට අපට ගන්න පුළුවන්නෙ අපට ගොඩක් සමීපව හිටපු කෙනෙක් - දෙයක් පස්සෙ දවසක ගොඩක් දුරස් වීම.”

“මල්ලි බුදුන් වහන්සේ දේශනා කරපු අනිත්‍යතා දහම ම නේ ද එතැනත් තියෙන්නෙ. අපි ඒක දැනගෙන ජීවත් උනාම හරි.”

“අය්යෙ මට දැන් දීර්ඝ කාලයක් විශ්වවිද්‍යාලෙ ඉන්න වෙයිනෙ. එතකොට අර චිත්‍ර දෙකේ අර්ථය මගෙ ජීවිතයට සමීප වෙන අවස්ථා උදා වේවි. ඒක දැනගෙන මම ජීවත් වෙන්නම්.”

“ඒ විතරක් නෙමෙයි මල්ලි, ඔයාට හෘදයංගම අය වගෙම එහෙම නොවන අයත් එක්කත් වැඩ කරන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ගුප්ත විදිහට කටයුතු කරන අයත් මුණ ගැහේවි.”

“අර මුලින් කියපු හෘදයංගම සහ හෘදයංගම නොවන කියන කණ්ඩායම් දෙකනං මට පැහැදිලියි. අය්යා ගුප්ත චරිත කියලා අදහස් කළේ මොන විදිහෙ අය ද?”

“මල්ලි මට එහෙම අයට ජීවමාන සාධක වෙච්ච චරිත එක්ක වැඩ කරන්න සිද්ද වෙලා තියෙනවා. අපි කැමති උනත් අකමැති උනත් ඔය කාට උනත් ඒක කරන්න වෙනවනෙ එකම තැන වැඩ කරන කොට.”

“ඔය අය්යා කියන ගුප්ත චරිතවලට ආවේණික වෙලා තියෙන්නෙ මොන වගෙ චරිත ලක්ෂණ ද?”

“මල්ලි එහෙම අය මතුපිටින් බොහොම සුහද විදිහට කටයුතු කරනවා. අපි ළඟ ඉන්න කොට අපිව වර්ණනා කරනවා. හැබැයි නැති තැනදි ගහන්න පුළුවන් උපරිම විදිහට ගහනවා.”

“එයා එහෙමනං අර නාරායණශර්මන්ගෙ හිතෝපදේශෙ කියැවෙන ජාතියෙ කෙනෙක්නෙ.”

“ඒ කිව්වෙ මල්ලි?”

“ඇයි අය්යේ හිතෝපදේශෙ එක තැනක තියෙනවා නැති තැනදි කටයුතු නසන, ඉන්න තැන ප්‍රිය වචන කතා කරන, අයව මුව විට තෙක් පිරිලා තියෙන විෂ කළයක් වගේ වර්ජනය කරන්න කියලා. ඒකෙ සංස්කෘතෙන් තියෙන්නෙ මෙහෙම යි.
පරෝක්ෂේ කාර්යහන්තාරං ප්‍රත්‍යක්ෂේ ප්‍රියවාදිනම්
වර්ජයේත් තාදෘශං මිත්‍රං    විෂකුම්භං පයෝමුඛම්”

“අර මම කිව්වෙත් ඒ ජාතියෙ අය ගැන. හොඳ මිනිස්සු ඉන්නවා වගේ ඒ ජාතියෙ අයත් ලෝකෙ ඉන්නවා. මල්ලි, ඔයා කොතැනට ගියත් එහෙම අයත් ඉන්න පුළුවන්. නම විතරයි වෙනස් වෙන්නෙ. පුද්ගල ස්වභාව අතින් එක්කෙනයි. ඒ අය තේරුම් අරගෙන ඒ අයත් එක්ක විශේෂ යාළුකමකින් වත් - විශේෂ තරහකින් වත් තොර ව වැඩ කරන එක තමයි අපිට කරන්න තියෙන්නෙ.”

“අර අය්යා කියපු ගුප්ත චරිතවල අය්යා දැකපු තව විශේෂ ලක්ෂණ තියෙනව ද?”

“ඔව් මල්ලි එහෙම අය හරිම බරපතල දේවල් සිද්ද වෙන තැනට පාර කපනවා. ඒත් කිසිම තැනක දි යටින් ඉඳගෙන අප්‍රකට ව වැඩ කරනවා මිසක් ඒ කිසිම තැනක දි ප්‍රසිද්ධියෙ පෙනී සිටින චරිතයක් බවට පත් වෙන්නෙ නැහැ. කිසිම කෙනෙකුට ඒ චරිතෙ තමයි මේකට මුල් උනේ කියන එක හිතාගන්නවත් සාක්කි තියන්නෙ නැහැ. ඔයා ඒව ලොකුවට හිතට ගන්න ඕනෙත් නැහැ, නොතකා ඉන්න ඕනෙත් නැහැ.”

“හැබැයි අය්යෙ ඒ අයට අමතක වෙච්ච එක දෙයක් තියෙනවා. ඒ තමයි ලෝකයට හොරෙන් කරන කිසිම දෙයක් ලෝකයට රහසක් නොවන බව. ඔය අදහස දෙන පාඨයක් තියෙනවා අය්යෙ ඍග්වේදෙ.”

“ඒ මොකක් ද මල්ලි.”

“මේක තියෙන්නෙ අය්යෙ ඍග්වේදෙ වරුණ සූක්තෙ. වරුණ දෙවියො තමයි ඍග්වේදෙ කිසිම බාහිර ස්වරූපයකින් අඳුන්නලා දීලා නැත්තෙ. හැබැයි එයාගෙ හැසිරීම - චරණය ප්‍රබලයි. කොටින් ම කියනව නං ඒ වරුණ සූක්තෙ කියැවෙන විදිහට අපට කිසිම දෙයක් වරුණ දෙවියන්ට හොරෙන් කරන්න බැහැ. මොකද එයා අපි දෙන්නෙක් එකතු වෙලා කිසියම් දෙයක් රහසින් කරනව නම් රහසින් කතා කරනව නං වරුණ තෙවැන්නා ලෙස ඒක නිරීක්ෂණය කරන නිසා. වරුණස්තෘතීයඃ කියන වචන දෙකෙන් අදහස් වෙන්නෙ ඒකයි.”

“ඒ කියන්නෙ අර කුඩලිගම කවියා කියපු මුළු ලොව කිසිවකුට කිසිම දෙයක් පිළිබඳ යටගිය තතු රහසක් නොවේවා කියලා අමුතුවෙන් ප්‍රාර්ථනා නොකළට ඒක රහසක් නොවන එකනෙ.”

“මල්ලි, ඔයා වරුණ දේව සංකල්පෙ ගැන ලියන්න. මට හිතෙනවා ඒක අපි කාටත් අපේ ම ජීවිත දැක ගන්න උදව් කරන කැඩපතක් වේවි. මිනිස්සු තමන් කරන දෛනික වැඩ ගැනත් මීට වඩා සැලකිලිමත් වේවි. ඒක නෙමෙයි මල්ලි, ඔයා මට කඨෝපනිෂද් පොතක් හොයලා ගෙනත් දෙනව ද?”

“හොයලා ගෙනත් දෙන්න ඕනෙ නැහැ. කැකුළාවල සර් ලොකු පෙරවදනක් එක්ක ඒකට කරපු සිංහල පරිවර්තනේ තියෙනවනෙ ගෙදර. ඒ වගෙම ස්වාමි සර්වානන්ද කරපු ඉංග්‍රීසි පරිවර්තනෙත් තියෙනවා. ඇයි අය්යා එක පාරට ම මාතෘකාව වෙනස් කළේ උපනිෂද්වලට.”

“නෑ මල්ලි ඔයාගෙ සර් පහුගිය දවසක හමු වෙච්ච වෙලාවක පලිහවඩන සර් එයාට තෑගි දුන්න පොතක තිබිච්ච උපනිෂද් ප්‍රකාශයක් පෙන්නුවා. ඒක මට දැනිච්ච නිසා මම ඒක ලියා ගත්තා මගෙ දිනපොතේ. ඔහොම ඉන්න දැන් ම කියන්න පුළුවන් ඒක ඔයාට.”

සිය දිනපොත අතට ගත් විපුල් එම ප්‍රකාශය මෙසේ කියවීය.
“ශ්‍රේය්ශ්ච ප්‍රේයශ්ච මනුෂ්‍යමෙතත් - තෞ සම්පරීත්‍ය විවිනක්ති ධීරඃ”

“ඒ උනාට අය්යෙ ඔයා ප්‍රකාශෙ කෙනෙක් සම්බන්ධයෙන් ඇත්තක් වෙන කොට තවත් කෙනෙක් ඕකෙ අර්ථ වෙනස් කරලා ජීවිතයට සමීප කරගන්නත් පුළුවන්.”
“ඒ කියන්නෙ මල්ලි මට ඔයා කියන දේ පැහැදිලි නැහැ.”

“මේකනෙ අය්යෙ ඔය පද්‍යයෙන් කියන්නෙ හොඳ දෙයයි ප්‍රිය දෙයයි දෙකම කෙනෙක් වෙතට ළඟා වෙනවා, ප්‍රඥාවන්තයා ප්‍රිය දෙය අතහැරලා හොඳ දෙය තෝර ගන්නවා. ඉතින් අය්යෙ කෙනෙකුට හොඳ දේම ප්‍රිය වෙන තැන ඔය ප්‍රශ්නෙ ඇති වෙන්නෙ නැහැනෙ.”

“මල්ලි කියන ඒ කතාවත් ඇත්තනෙ. මල්ලි ඔන්න ඔතන නුග ගහ යට පොඩ්ඩක් නවත්තන්න කාරෙක.”

“ඇයි අය්යෙ එකපාරට ම මේ ගහ යට වාහනේ නවත්තන්න කිව්වෙ.”

“ඕක මට ලොකු ස්මරණයක් තියෙන ගහක්. සමනු යි මම යි දීපා එනකන් ඔය නුග ගහ යට ඉඳගෙන කලාව ගැන කතා කරපු තැන ඔය. අපි මල්ලි මුඩ්ලියර් අමරසේකරතුමාගෙ මරණින් පස්සෙ එතුමාට ආදරය කරන අය එකතු වෙලා කරපු චිත්‍ර ප්‍රදර්ශනයක් බලන්න කතා කරගෙන අපේ දීපා එනකන් ඔතන බලාගෙන හිටියා.”

“අය්යා දීපා කියන්නෙ චිත්‍රශිල්පිනියක් විදිහට නමක් දිනා ගත්ත දීපක්කා නේද?”

“ඔව් මල්ලි, සෞන්දර්යෙදි සමනුයි මමයි මේ ප්‍රදර්ශනේ බලන්න යන්න කතා කරගන්න වෙලාවෙ අපේ දීපත් ආවා එතෙන්ට. එයත් කැමති උනා ඒ ගමනට එක් වෙන්න. එයා කිව්වෙ ඔන්න සමන්, ඔන්න විපුල් මමත් එනවා ඔය ගමනට. මන් අපේ කාර්රෙක අරගෙන එන්නම් ඔයගොල්ල මට තැනක් කියන්න මන් එතෙන්ට එන්නම් අපි තුන්දෙනාටම පුළුවන් එකට ම යන්න කියලයි.”

“ඔය කාලෙ අපේ කාණ්ඩෙන් වාහනයක් කියලා එකක් තිබ්බෙ අපෙ දීපට විතරයි. එදා දීපා එනකම් සමනුයි මමයි කලාව ජීවිතය ගැන ගොඩක් දේවල් කතා කර හිටියෙ මල්ලි ඔය ගහ යටට වෙලා. ඒක අනුස්මරණිය අද්දැකීමක්. දීපලා ආවට පස්සෙත් අපි හතර දෙනා ටිකක් වෙලා එතන රැඳිලා කතා කර කර ඉඳලා තමයි ප්‍රදර්ශනේ බලන්න ගියේ.”

“හතර දෙනා කිව්වෙ අය්යේ. තුන්දෙනානෙ ඔය කියන විදිහට එතන ඉඳලා තියෙන්නෙ.”

“නෑ මල්ලි දීපා ආවෙ තනියම නෙමෙයි අපේ දිනසිරිත් එක්ක.”
“දිනසිරි දිසානායක, අපේ සර්ගෙ පොත්වල දහයකටත් වඩා ප්‍රමාණෙක චිත්‍ර ඇඳපු අය්යනෙ දිනසිරි කියන්නෙ.”

“ඔව් මල්ලි එයා තමයි ඒ. මේ සාකච්ඡාව මල්ලි ප්‍රදර්ශනේ බලන්න ගියාට පස්සෙ පස්දෙනෙක්ගෙ සාකච්ඡාවක් උනා. ඒ කියන්නේ එදා ඒ ප්‍රදර්ශනේ බලන්න ඇවිල්ල හිටපු චිත්‍රශිල්පි බන්ධුල කුමාරත් ඒ පුංචි සාකච්ඡා මණ්ඩපේ සාමාජිකයෙක් උනා.”

“ඒ කියන්නේ ශිඛරි - ගෝනබැද්ද වගේ චිත්‍රකතා ඇඳපු අය්යා නේද?”

“ඔව් මල්ලි, කලාව ගැන ලොකු හැඟීමක් වගෙම බොහොම අහිංසක හිතක් තියෙන කලාකාරයෙක්නෙ බන්ධුල අය්යා කියන්නෙ. අවාසනාව කියන්නෙ ඒ හමු වෙලා කෙටිකාලෙකට පස්සෙ ඒ කලාකරුවා සමන් වගෙම අපට සමාජෙට අහිමි උනා. සමහර හොඳ මිනිස්සු අපට හිතා ගන්නත් බැරි තරන් ඉක්මනට අපෙන් සදහට ම සමු අරගෙන යනවා. ඒ වගෙම අපට අකාලෙ තරුණ වයසෙ දිම අහිමි වෙච්ච කෙනෙක් තමයි මාධ්‍යවේදී කිත්සිරි සමරනායක. හැබැයි කිත්සිරිගෙ මරණය බන්ධුල අය්යගෙ වගෙ ස්වාභාවික මරණයක් නෙමෙයි, ඝාතනයක්. ඝාතකයා දැනන් හිටියනං මම මේ සමාජයට අහිමි කරන්නෙ මිනිස්සු ගැන නිතර සහකම්පනයෙන් ලියපු මනුස්සයෙක් කියලා සමහර විට මේ සිදුවීම නොවෙන්නත් ඉඩ තිබුණා.”

“අය්යෙ සමන් අය්යා කියපු වැරදීම් සිදු වන්නේ මිනිසුන්ගේ නොදැනුවත්කම නිසයි. පිළියම දැනුවත් මිනිස් සමාජයක් ඇති කිරීමයි කියන ප්‍රකාශය යථාර්ථයක් කරන්න වැඩ කරන මිනිස්සු අපට අවශ්‍ය වෙන්නෙ මේ නිසයි.”

“මල්ලි, ගුරුවරයෙක් විදිහට ඔයාගෙත් කලාකරුවෙක් විදිහට මගෙ ඉදිරියෙත් තියෙන්නෙ ඒ මෙහෙවර තමයි. අපි අර කියපු බන්ධුල අය්යට - කිත්සිරි සමරනායකට වගෙම අපේ සමන්ටත් ඇත්තට ම උපහාර දැක්වීම තියෙන්නෙ එහෙම වැඩ කරන තැනයි.”

“අය්යෙ හුඟක් හොඳ මිනිස්සු ඇයි තමන් ඝාතනය කරගන්නෙ. මම මේ අදහස් කළේ සිය දිවිනසා ගැනීම් ගැන. ප්‍රණීත් සර් දවසක් විශ්වවිද්‍යාලෙ එකට ඉගෙන ගත්ත ඒ වගෙ අහිංසක හොඳ චරිතයක් ගැන කිව්වා. මට මතක හැටියට නම සනත් ආනන්ද වීරවර්ධන. සර් කියපු හැටියට හොඳ ලේඛන හැකියාවක් තිබුණ කෙනෙක් ඒ.”

“ඔව් මල්ලි, ඒකත් හරිම අපරාධයක් තමයි. අපිට අයිතියක් නෑ මල්ලි අනුන්ගෙ ජීවිතවලට වගෙම අපේ ජීවිතවලටත් හානියක් කරගන්න. ජීවිතයේ අගය - අර්ථය වගෙම සුන්දරත්වය කියාදෙන කලාවක්, විද්‍යාවක්, මාධ්‍ය සංස්කෘතියක් එදාටත් වඩා අවශ්‍ය කරන්නෙ අදට.”

“අනුන් නසන එකත් වැරදියි - තමන් නසා ගන්න එකත් වැරදියි. ඇයි අය්යෙ මේ තරම් බෞද්ධ පදනමක් තියෙන රටක් වෙලත් අපට මෙහෙම උනේ.”

“මල්ලිට මතක ද මෙයට සෑහෙන කාලෙකට ඉස්සෙල්ලා දවසක ඉංග්‍රීසි පත්තරේකට ලිපියක් ලියලා තිබුණා පලියහඩන සර්   කියලා. සර් අන්න ඒ ලිපියෙදි මල්ලි මේ දැන් කතා කරපු කාරණෙත් මතු කරලා තිබුණා. ගුරුවරයෙක් හැටියට ඔයත් ඔයාගෙ ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක මේ කාරණා ගැන මීට වඩා කතා කරන්න. මන් හිතන්නෙ ඒක විෂය දැනුම දෙනවටත් වඩා වැදගත්.”

“අය්යෙ, අපේ සර් කිව්වා සර්ලට උගන්නන්න සර් කෙනෙක් ආවලු ප්‍රේමතිලක හඳපාන්ගොඩ කියලා. සර්ගෙ ප්‍රධාන විෂය සිංහල. සර්ලට කාලයක් ඉතිහාසයත් උගන්නල තියෙනවා ඒ සර්. ඉතිහාස පාඩම සිංහල පාඩමක් වගේ රසවත් ව උගන්නන් පුළුවන් නේද කියන හැඟීම සර්ලගෙ හිත්වලට ඇවිත් තියෙන්නෙ ඒ සර් නිසා. හැබැයි සිංහල උගන්නන්න ආවත් - ඉතිහාසය උගන්නන්න ආවත් ඒ සර් පාඩමට අමතර ව ශිෂ්‍යයන්ගෙ අනාගත ජීවිතයට වැදගත් වෙන දේවල් කතා කරලා තියෙනවා. ඒ සර් නැති උනා කියන පණිවිඩය ආවෙත් ආවෙත් සර් අපට දේශනයක්  කර කර හිටිය වෙලාවක. එදා අපේ සර් ඒ සර් සර්ලගෙ ජීවිතයට එකතු කරපු දේවල් ගැන අපිත් එක්කත් ටික වෙලාවක් කතා කළා. ජීවිතය වැටෙන කොට නැගිටවන වචන සර් කියනවලු. දවසක් අපේ සර් උසස් පෙළ පන්තියෙ ඉන්දැද්දි ලියලා දුන්න කවියක් සර් තවම මතකෙන් කියනවා. මට මතක හිටියා ඒකෙ අන්තිම පද දෙක.”

“කියන්න බලන්න මටත් ඇහෙන්න ඒක.”
“කරුණක් කියමි මගෙ ආදරණීය    සහන්
වැටුණත් පෑගුණත් නැගිටලා පෙරට යමන්”

“ඒ වගෙම තමන් ඇසුරු කරන අයත් එක්ක කරන ජීවන ගනුදෙනුවෙ දි පවා ඒ සර්ට නිරායාසයෙන් කවි කියැවෙනවලු. දවසක් අපේ සර්ලගෙ ගෙදර ඇවිත් තියෙනවා සර්ලගෙ තාත්තා කොළඹ කවි පරපුරේ පැරණි කවියෙක් කියන එක දැනගෙන. එදා තමයි සර් දැනගෙන තියෙන්නෙ සර්ලගෙ තාත්තගෙ ජ්‍යොතිෂ දැනුම ගැන. එදා යන්න ඉස්සෙල්ලා මෙන්න මේ කවිය ලියලා ඒක කියලා ලියපු කවිය සර්ලගෙ තාත්තා අතට දීලා තමයි හඳපාන්ගොඩ සර් ගිහින් තියෙන්නෙ.

දුටු සඳ මුහුණ කාගෙත් සිත    පහන් කෙරේ
පැහැනද සොඳුරු නැණ වදනින් නුවන් පිරේ
සුවිසද උපත ලද අසබඩ         සමන් ගිරේ
මැතිසඳ සදා දුන මැන        මේ කේන්දරේ

සර් එදා කිව්වා හොඳ මිනිස්සු නැති උනහම ඒක තදින් ම පපුවට දැනෙනවා කියලා. කැලණිය විශ්වවිද්‍යාලෙ උපකුලපතිවරයා විදිහට වැඩ කරපු කඨෝනිෂදය සිංහලට පරිවර්තනය කරපු කැකුළාවල සර් නැති උන දවසෙත් සර් කිව්වෙ ඒ වචන ටිකම තමයි. මිනිහෙක්ගෙ හිතේ ඇති වන ඒවගෙ හැඟීම් තමයි කවි බවට ගී බවට පත් වෙන්නෙ. එහෙම කවියක් කියවන කොට, එහෙම ගීතයක් අහන කොට ඒ කවියගෙ - ගීතරචකයගෙ අද්දැකීම අපට දැනෙන්නෙ අපේම අද්දැකීමක් විදිහට යි.”

“මන් හිතන හැටියට කලාවෙ වගෙම විද්‍යාවෙ මෙහෙවර වෙන්න ඕනත් මල්ලි කියපු ඔය කාරණේම තමයි. විද්‍යාව කලාව සේවය කරන්න ඕන අපේ තියෙන වෙනස්කම් නැතිකරලා අපේ තියෙන සමානකම් මතු කරන්න. විශ්ව සාහිත්‍යය බවට පත්වෙන්නෙ එහෙම ඒවනෙ මල්ලි.”

“ඒ වගෙම අය්යෙ, විද්‍යාවෙ මෙහෙවර ගැන කියද්දි මට අදිකාරම්තුමා මතක් වෙන්නෙ එතුමා තමන් කියවන පොතක පතක තියෙන දෙයක් ලෝකය දකින ඇහක් වෙයි කියලා හිතුවනං ලෝකයෙ අසමානකම් නැති කරනව කියලා දැනුණ නං ඒ වගෙ දේවල් සමාජගත කරන්න වහාම ක්‍රියාත්මක උනා. වෛද්‍ය ක්ෂේත්‍රයෙ ඉන්න කොයි තරම් නම් උගත්තු වෛද්‍ය විශ්වකෝශ කියවලා ඇද්ද? ඒත් අදිකාරම්තුමා ඒව කියවලා අපටත් කියවන්න සලස්සපු නිසා තමයි අපි වගෙ අයත් දැන ගත්තෙ ලෝකයෙ ඉන්න මිිනිසුන්ට තියෙන්නෙ ලේ වර්ග හතරෙන් එකක් බව. අදාළ ලේ වර්ග අද අපි ජාති වශයෙන් බෙදාගෙන ඉන්න ඕනෙම කෙනෙක්ගෙ ලේ එක්ක ගැළපෙනවා. අදිකාරම්තුමා උද්ධෘත කරලා දක්වපු වෛද්‍ය විශ්වකෝශ පාඨයට අනුව අපේ ඇඟවල්වල තියෙන්නෙ ධ හරි ් හරි ඊ හරි ්ඊ හරි කියන ලේ වර්ගවලින් එකක්. ඒ කියන්නෙ ඒ වර්ගයට අයත් ලේ තියෙන රුසියන් ජාතිකයකුට පුළුවන් ඒ ලේ වර්ගෙ ලේ ම තියෙන චීන ජාතිකයකුට ලේ දෙන්න.”

“ඒ කියන්නෙ මල්ලි සිංහල ලේ - දෙමළ ලේ - රුසියන් ලේ - චීන ලේ කියලා කරන කතා අපට ගන්න වෙන්නෙ විද්‍යාත්මක පදනමක් නැති ප්‍රකාශ විදිහට. දැන් මට ආව ප්‍රශ්නෙ තමයි විද්‍යාව දන්න අයත් විද්‍යාව ඉගෙන ගත්ත අයත් ඇයි එහෙනම් ජාතික ලෙයක් ගැන කතා කරන්නෙ.”

“ඒකට හේතු අහන්න වෙන්නෙ අය්යෙ ඒ අයගෙන් ම තමයි. ඒ විතරක් නෙමෙයි මල්ලි ඔයා කියපු අර විද්‍යාත්මක පදනමක් නැහැ කියන කාරණේට ආගමික පදනමක් නැහැ කියන කාරණෙත් එකතු කරන්න පුළුවන්. බෞද්ධ සම්ප්‍රදායෙන් දෙන උත්තරේ දැන ගන්න පුළුවන් අපට හොඳ සිහි කල්පනාවෙන් වාසෙට්ඨ සූත්‍රය කියෙව්වොත්.”

“මල්ලි, ඉස්කෝලෙදි ගෙදරින් ගෙදරට ගිහින් යහපත සමාජගත කරන වැඩ පිළිවෙළක් ඔයගොල්ලන්ගෙ තිබුණ නේද? දැන් ඒක විශ්වවිද්‍යාලෙදදි ගමින් ගමට - නගරයෙන් නගරයට යන වැඩ පිළිවෙළක් බවට පත් කරන්න.”

“කාලෙක ඉඳලා එහෙම වැඩ ජපුරෙත් කෙරෙනවා අය්යෙ. මන් දන්න තරමින් ශාස්ත්‍ර පීඨය - විද්‍යා පීඨය - වෛද්‍ය විද්‍යා පීඨය - කළමනාකරණ පීඨය කාලයක ඉඳලා එහෙම වැඩ කරගෙන යනවා. අනික් පීඨවලටත් දැන් ඒක බෝවේගනයි යන්නෙ.”
“නරක නෙමෙයි හොඳ බෝ වෙන එක කොච්චර වටිනව ද? මල්ලි, ඔයගොල්ලන්ගෙ විශ්වවිද්‍යාලෙ කියන්නෙ භික්ෂු - භික්ෂුණී - උපාසක - උපාසිකා කියන සිවුවණක් පිරිස ම ඉන්න තැනක්නෙ. ඒ වගෙම සිංහල - දෙමළ - මුස්ලිම් කියන සම්මත ජාති තුනට ම අයිති අය ඉන්න තැනක්නෙ. එච්චරක් ද විදේශ ශිෂ්‍යයොත් ඉන්නවා නේද විවිධ රටවලින් ආපු. ඒ කියන්නෙ ජාති - ආගම් භේදයකින් තොර ව හොඳ පතුරන්න පුළුවන් තැනක්. මට තේරෙන විදිහට අර බුදුහාමුදුරුවො කියන මහට්ඨ - මහාකිච්ච - මහාධිකරණ - මහාසමාරම්භ වැඩ පටන් ගන්න හොඳම තැනක් තමයි සරසවිය කියන්නෙ.”

“අය්යා මේ කතා කරන්නෙ මජ්ක්‍ධිම නිකායෙ බ්‍රාහ්මණ වර්ගයේ එන සුභ සූත්‍රයේ එන අදහසක් ගැනනෙ.”
“ඔව් මල්ලි, අපේ ධම්මජීව හාමුදුරුවන්ගෙන් තමයි මම  ඒ ගැන ඉගෙන ගත්තෙ. පාලියෙන් මහට්ඨ කියන්නෙ මහා අර්ථ තියෙනව කියන එකත් මහාකිච්ච කියන එකේ සංස්කෘත රූපය මහාකෘත්‍ය කියන එකත් මහාසමාරම්භ කියන්නෙ මහත් - මනා ආරම්භයක් තියෙන වැඩ කියන එකත් මට පැහැදිලි යි. ඇයි මල්ලි මෙතන මහාධිකරණ කියන නමත් දාලා තියෙන්නෙ.”

“අය්යෙ, මෙතන මහා කියන වචනෙ අර්ථෙ කොහොමත් පැහැදිලියිනෙ. ඒකට පස්සෙ යෙදෙන අධිකරණ කියන වචනෙටත් හොඳ ගැඹුරු අර්ථයක් තියෙනවා. අධි කියන උපසර්ගෙ තියෙනවනෙ උඩින් ඉහළින් කියන අර්ථෙ. එතකොට කිරීම යන අර්ථෙ දෙන කෘ ධාතුවෙන් හැදෙන කරණ ඒකට එකතු කළාම උසස් ලෙස කරන දේවල් කියන අර්ථෙ දෙන අධිකරණ කියන වචනෙ හැදෙනවා. ඔය ගැන කතා කරද්දි වෙන මොනවද අය්යෙ අපේ ධම්මජීව හාමුදුරුවො කිව්වෙ.”

“හාමුදුරුවො එදා කිව්වා මල්ලි, අපි මහ වැඩ කියලා හිතාගෙන කරන සමහර වැඩවලින් ලැබෙන්නෙ අල්ප පල නම් ඒවා අර කියන විශේෂණ දාලා කතා කරන්න පුළුවන් මහාකෘත්‍ය කියලා කියන්න පුළුවන් විදිහෙ වැඩ වෙන්නෙ නැහැ කියලා. ඒ වගෙම සමහර විට පුංචි වැඩක් කියලා හඳුන්වන වැඩක් මහාසමාරම්භයක් තියෙන මහාකෘත්‍යයක් වෙන්න පුළුවන් කියලත් උන් වහන්සෙ කිව්වා. ඊළඟට භෞතික වත් මහ වැඩක් වෙන සමහර වැඩක් නිසා මහ ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් කියලත් උන් වහන්සෙ කිව්වා. ඊට අමතර ව අපි කරන පොඩි වැඩක් නිසා ලැබෙන්නෙ පොඩි ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් කියන එකත් උන් වහන්සෙ කිව්වා.”

“ඔව් අය්යෙ, කෙනෙක් ලොකු දුකකින් ඉන්න වෙලාවක තව කෙනෙක් ඇත්ත හැඟීමකින් කියන එක ආදරණීය වචනයක් එයාට මහමෙරක් වෙන්න පුළුවන්නෙ. ඒ වගෙම එක වචනයක් නිසා - සමහර විට එකම එක කවියක් නිසා - ගීත ඛණ්ඩයක් නිසා කෙනෙක්ගෙ ජීවිතය සම්පූර්ණ වෙනසකට පත් වෙන්න පුළුවන්. ඒක බැලු බැල්මට පුංචි දෙයක්. ඒත් එතන තියෙන පණිවිඩය ප්‍රබල නම් ඒකෙ ප්‍රතිඵලය අපට මහාධිකරණ - මහාසමාරම්භයක් තියෙන මහාකෘත්‍යයක් විදිහට සලකන්න පුළුවන්.”

“එතකොට මල්ලි, ඕකෙ අනිත් පැත්ත ගැන අපට කියන්න පුළුවන් වෙනවා මෙහෙමත් දෙයක්. ඒ කියන්නේ පිටු සිය ගණනාවක් තියෙන නවකතාවක හරි, ශාස්ත්‍රීය යයි සම්මත ලොකු පොතක හරි තියෙන අර්ථය කුඩා වෙන්න පුළුවන් කියන එක.”

“ඒ විතරක් නෙමෙයි අය්යෙ, සමහර විට පොඩි අර්ථයක්වත් නැති විතරක් නෙමෙයි සමාජය අර්ථවිරහිත කරන දේවල් ඒවයෙ තියෙන්නත් පුළුවන්. ඒක නිසා ගුරුවරුන් හැටියට අපේ ඉදිරියේ තියෙන වගකීම තමයි හංස මෙහෙවර. අය්යගෙ සමකාලීන මිත්‍රයා කියන විදිහට අපි ඉදිරියෙ තියෙන දේවල් අධ්‍යයනය කරලා හංසයෙක් දියෙන් කිරි වෙන් කරගන්නවා වගේ හොඳ දේ සමාජගත කරන එක. බලන්න අය්යෙ, මන් දන්න තරමින් එකම කවි පොතක් ලියපු සරත්චන්ද්‍ර වල්පොල කියන කවියා මහට්ඨ කවි නැත්නං මහාර්ථ කවි කියලා කියන්න පුළුවන් දෙපද කවි පොතක් රචනා කරනවා. මන් උදාහරණ හැටියට ඒකෙන් එකම කවියක් විතරක් උදාහරණයක් විදිහට ගන්නම්. බලන්න අය්යෙ මේ කවිය.
උනද්දී ප්‍රේමයේ උල්පත්
කුමකට ද ඒවාට බිල්පත්”

“ඒකත් අමුතු මහාසමාරම්භයක් තියෙන කවියක් තමයි. දැන් ටිකෙන් ටික ගෙදරට ළංවේගෙන එන්නෙ. ඔයාට මතක් වෙන්නෙ නැද්ද මල්ලි අපේ මාතෘකාවත් එක්ක සම්බන්ධ කරන්න පුළුවන් ගීතයක් එහෙම.”

“අය්යෙ එහෙම ගීත එහෙම ගීතෝක්ති කීපයක් ම මට මතක් වෙනවා. මන් ඒවයෙන් එක ගීතෝක්තියකුයි එක ගීතෙක වචනයි කියන්නම්, පොඩි අදහස් දැක්වීමකුත් කරලා.”
“එකක් ආචාර්ය වික්ටර් රත්නායක සංගීතවේදියා ගායනා කරන ගීතයක්. මේක ලියලා තියෙන්නෙ ප්‍රේමකීර්ති ද අල්විස් කියන ප්‍රවීණ ගේයපද රචකයා. ඔහු දකිනවා බුදුන් වහන්සේගේ පාමුල පිදෙන අප්‍රමාණ මල්. මල් පින් කරලා තියෙනවා ඔබ වහන්සේ ගේ පාකමල් ළඟ පූජා වෙලා පරවෙලා යන්න. ඒත් ඒ පින මනුෂ්‍ය කුලකය නියෝජනය කරන තමන්ට නැහැ. ඒක නිසා ප්‍රේමකීර්ති මල් සිහි කරලා බුදුහිමියන්ගෙන් අහන මේ ප්‍රශ්නෙ දිහා බලන්න.

මිනිසත් බවය ලද මට නැති     ලබන්නට
මල කළ පින කිමෙක ඔබ ළඟ මියෙන්නට”

“මල්ලි, ඔන්න දැන් අපේ සාකච්ඡාව නවත්තන්න වෙන වෙලාව කිට්ටු වෙලා. දැන් අපි මේ අයිනක වාහනේ නතර කරලා හරි මේ කතාවෙ උපරිම තැනකින් කතාව අදට නවත්තමු. මන් හිතන්නෙ අර ඔයාට මතක් වෙනවා කිව්ව ගීතෙම හොඳ අවසානයක් වේවි ඒකට.”

“අය්යෙ, මට ඉන්දියාවෙදිත් නිතර මතක් වෙච්ච ගීතයක් තමයි ඒ. ඒ වගෙම අවුකන - මාලිගාවිල - බුදුරුවාගල බුද්ධ ප්‍රතිමා වහන්සේලා ළඟදි වගෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සෙ ළඟදිත් නිතර සිහි වෙන ගීතයක් තමයි ඒ. දවසක් මට හරි වැඩක් උනානෙ අය්යෙ.”

“අර ඔයගොල්ලන්ගෙ මහානාම සර් කියල තියෙන හැටියට හරි වැඩක් නං උනේ කලබල වෙන්න දෙයක් නැහැ. ඒත් වැරදි වැඩක් නං උනේ අප අතින්, එතකොට නං කලබල උනාට කමක් නැහැ.”

“මන් මේ කියන සිද්ධියට සම්බන්ධ සිදුවීම වෙන්නෙ අපේ සරසවි ජීවිතේ අධ්‍යයන චාරිකාවක දි. සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සෙ ඉදිරියෙ. ඒ වෙලාවෙ අය්යත් දන්න අනිල් - ජගත් - සුනෙත් - බිම්බා - සුදර්ශි -ඉන්දු- වීණා - ප්‍රේමා වගේ සමකාලීන මිතුරු මිතුරියොත් මාත් එක්ක හිටියා. අනිලුයි මමයි සුදර්ශියි තරමක් ඈතට වෙලා පිළිම වහන්සේ දිහා බලන් ඉන්දැද්දි අනික් හතර දෙනා අපි වැඩි දෙනා කරන විදිහට බොහොම බැතිබර ව ගාථා කියමින් බුද්ධ වන්දනාවෙ යෙදුණා. වැඩේ කියන්නෙ ඒ මොහොතේ බුදුහාමුදුරුවන් ගැන ඇති වෙච්ච අසීමිත හැඟීම මගෙන් ප්‍රකාශයට පත් උනේ අර මම කියපු ගීතය වචනවලින් වගෙම සැරින් සැරේ ඒක හදවතින් කියමින්. ඔන්න ඔය වෙලාවෙ අපේ සමකාලීන මිත්‍ර ධම්මජීව හාමුදුරුවො එතනට ආවා. ඒ වෙලාවෙ අපේ වීණා කිව්වා බලන්න අපේ හාමුදුරුවනෙ අපි හතර දෙනා වඳින වෙලාවෙ මේ හතර දෙනා අපිට එකතු උනේ නැහැ. ඒ විතරක් නෙමෙයි අපේ මේ ගඟුල් අපි එනකොටත් පිළිම වහන්සෙ දිහා බලාගෙන කිව්වෙ ගාථා නෙමෙයි ගීතයක් කියලා ආදරණීය චෝදනාවක් කළා. ඒ වෙලාවෙ ධම්මජීව හාමුදුරුවො ඇහැව්වෙ වීණා මේ ගඟුල් කිය කිය හිටියෙ හද පහන් කරන ගීයක් ද එහෙම නැත්තං හද නොපහන් කරන ගීතයක් ද කියලයි.”

“ඉතින් මොකක් ද අපේ වීණා කෙල්ල දුන්න උත්තරේ?”

“එයා ටිකක් වෙලා කල්පනා කරලා මගෙ දිහාත් බලලා කිව්වා හාමුදුරුවනේ හැබැයි ඒක හද පහන් කරන ගීතයක් මිස හද නොපහන් කරන ගීතයක් නෙමෙයි කියලා.”

“එහෙනං වීණා, ගඟුල් වෙනස් විදිහට කරලා තියෙන්නෙ ඔය ගොල්ලො කරපු දේ ම තමයි කියන එකයි ධම්මජීව හාමුදුරුවන්ගෙ උත්තරේ උනේ. කෙනෙක් යම් දෙයක් කරන්නේ ශාස්තෲන් වහන්සේ ගැන සුපහන් හැඟීමකින් නම් එතනත් පූජනය සහ භාවනය තියෙනවා කියන එකයි අපේ හාමුදුරුවන්ගෙ උත්තරේ උනේ.”

“මොන විදිහෙ අර්ථයක් තියෙන ගීතයක් ද මල්ලි ඒ.”
“ඒ ගීතයේ මුලදි බුදුන් වහන්සේගේ අසීමිත බාහිර රූප සෞන්දර්යය වර්ණනා කරන ගමන් කවියා ඉස්මතු කරන්නේ උන් වහන්සේගේ පමණ කළ නොහෙන ආධ්‍යාත්මික ගුණ. ඒ නේත්‍ර යුග්මයේ විශේෂත්වය වෙන්නෙ මහා කරුණාවෙ ගඟුලැල්ල ගලා එන නිසයි, ඉන් සත්‍යයේ ප්‍රතිබිම්බය දෘශ්‍යමාන වන නිසයි. උන් වහන්සේ පාකමල් සුවිශේෂ වන්නේ ඒ පාද යුග්මය යළි කිසිදා සංසාර ගමනේ යෙදෙන පාද යුග්මයක් නොවීම නිසයි.”

“ඒක හරිම අපේ හදවතේ ගැඹුරුම තැනට දැනෙන වෙනස් ප්‍රකාශනයක්නෙ. මට වෙනස් චිත්‍රයකට උල්පත වෙන තැනක්නෙ මල්ලි මේ.”

“ඊට පස්සෙ අය්යෙ මේ ගීතෙ කියැවෙනවා උන් වහන්සේ අමා දම් වැසි වස්සවලා අපේ ජීවිතවල ඇති වන ශෝක සන්තාප නිවනවා කියලා. ඊටත් පස්සෙ තියෙන්නෙ උන් වහන්සේගේ බාහිර රූපකාය විචිත්‍ර විදිහට විස්තර කිරීමක්. මේ ප්‍රතිමා වහන්සෙලා දකින කොට අපට කවියෙක් වෙලා - ගීතරචකයෙක් වෙලා බැති ගී ලියන්න හිතෙනවනෙ. අන්න ඒක තමයි මේ ගීතරචකයට වෙන්නෙ. ඔහු ලොවුතුරා බුදු ගුණ ප්‍රකාශ කරගන්න මාධ්‍යය වෙන්නෙ ගීතය.”
“කවුද  මල්ලි ඔයා කියන මේ ගීතරචකයා.”
“අය්යෙ, මේකෙ රචකයා ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහ. ඔයගොල්ල රත්න ශ්‍රී අය්යා කියලා ආමන්ත්‍රණය කරන වැඩිහිටි මිත්‍රයා. මේකෙ අන්තිම තමයි ගීතයට අයිති ප්‍රබලම ගීතෝක්තිය තියෙන්නෙ.”

“ඒ මොකක් ද මල්ලි.”

“මන් සම්පූර්ණ ගීතයම ඔයාට කියන හින්දා ඒ ගීතෝක්තිය මතු කරගන්න අය්යට ම ඉඩ තියලා ඒකෙ අදහස විතරක් කියන්නම්. අය්යෙ ඒකෙ කියැවෙන්නෙ අපේ ජීවිතේ වේදනා නැති කරලා - අපට සැනසීම ලබා දෙන ඔබ වහන්සේට මම මගේ ගෞරවය පුද කරන්නේ ඔබ පාමුල නටුවකින් බිඳී වැටෙන මලක් වෙලා කියලයි. රත්න ශ්‍රීගෙ මේ ගේයපද රචනය සංගීතවත් කරලා ගායනා කරන්නේ අපේ රටේ ජීවත් වෙච්ච ඒ ශ්‍රේෂ්ඨ මහා ගාන්ධර්වයා පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව.”

“මල්ලි, ඔයා නිතර සින්දු නොකිව්වට ගෙදර තනියෙන් ඉන්න කොට ඒවා කියනවනෙ. ඔයාගෙ හදවතේ හැඟීමත් එකතු කරලා දැන් කියන්න ඒ ගීතය. අපි ඒක අහලම ගෙදර යමු.”
අනතුරුව ගඟුල් සමරනායක තුරුණු ගුරු සහෘදයාගේ අව්‍යාජ හඬින් ඒ මොහොතේ අසන්නට ලැබුණේ සුන්දරාර්ථවාහී භක්කිපූර්ණ ඒ මධුර භක්ති ගීතය යි.

“රුවනාර සේ රුවිනි
 අභිනීල නෙතු අගිනි
 මහා කරුණා ගඟුල් ගලනා
 සත්‍යයේ ප්‍රතිබිම්බ පෙනෙනා

 චාමරෙනි ඡත්‍රයෙනි - විභූෂිත පා කමල
 සංසාරයේ ගමන් නොයනා
 ජීවිතේ සෝ තැවුල් නිවාලා මුව අගිනි
 අමා දම් වර්ෂාව වසිනා

 අඳුන් වන් සිරසගිනි - කේතුමාලා නැගිණි
 භවාග්‍රය තෙක් එකලු කරනා
 සුවාසක් දෙතොලගිනි ලොවුතුරා ගුණ ගැයිණි
 සාදු නද එක පැහැර නැගුණා

 වේදනා ගිනි නිවා ජීවිතය අස්වසා
 නිර්වාණ ශාන්තිය සදනා
 බුදු පියාණෙනි ඔබේ පා පියුම් සිප ගනිමි
 මලක් සේ බිඳී නටු අගිනා”





Sunday, December 28, 2025

139. ගුරු දියවර 50 - සමන් චන්ද්‍ර රණසිංහ


                                                සිංහල සිනමාවට භාරත වර්ණ



“කොතැනක හෝ තිබෙන හොඳ දෙය අපේ කලාවටත් ඒ මගින් ඔබේ අපේ රටේ ලෝකයේ ජීවිතවලටත් ආලෝකයක් කරගැනීමේ උතුම් අරමුණින්  ආරම්භ කළ අප සිනමා සංසදය විසින් සංවිධානය කරන ලද දේශන මාලාවේ තෙවැනි දේශනය අදයි. මඳ වැසි මුදු මුදු ව මිහිමතට ඇද වැටෙන මේ සෞන්දර්යාත්මක නිමේශයේ අද දේශනය සඳහා අපගේ ආරාධනය ලැබ මෙහි පැමිණ සිටින්නේ, ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය පිළිබඳ ව මෙන් ම සිංහල සාහිත්‍යය ගැනත් යම් හැදෑරීමක් මෙන් ම හැඟීමක් දැනීමක් ඇති තරුණ ගුරු මෙණෙවියක්. අද දවසේ ඇති විශේෂයක් වන්නේ මෙම දේශන මාලාවේ පළමුවැන්න සිදු කළ සහන් වීරසිංහ මහාචාර්යතුමා ද දෙවැන්න සිදුකළ මා මිත්‍ර ගඟුල් සමරනායක තරුණ සහෘදයා ද මෙහි සිවුවැනි දේශනය සඳහා අපගේ ගෞරවනීය ආරාධනය ලබා සිටින ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි හිතවතා ද ඇයගේ දේශනය ශ්‍රවණය කිරීමට මෙතැනට පැමිණ සිටීම යි. එසේ ම මේ කටයුතුවලදී මට වඩා බොහෝ කාර්ය භාරයක් ඉටු කරන අප සිනමා සංසදයේ ගරු ලේකම් මා සන්මිත්‍ර ඉසුරු නවරත්නයන් ඇතුළු අප සංසදයේ සියලු සහෘදයන්ගෙන් ද පැමිණ සිටින රසික සහෘදයන්ගෙන් ද අවසර ගෙන මම අපේ තරුණ දේශිකාව වන මිහිදිනී තරුචමා ජයසූරිය ගුරු මෙණෙවියට ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් ආරාධනය කරනවා තමන්ගේ දේශනය පවත්වන හැටියට.”

සිනමා සංසදයේ සභාපති සිනමා අධ්‍යක්ෂ ආචාර්ය සාලිය කරුණාරත්නයන් විසින් කරන ලද ආරාධනයෙන් පසු මිහිදිනී පළමු ව සිය හිස නමා සභාවට ආචාර කොට සිය ආචාර්යතුමන් ඇතුළු ප්‍රවීණ සහ නවක සිනමාවේදීන්ගෙන් සහ සිනමා රසිකයන්ගෙන් අවසර ගෙන සිය දේශනය මෙසේ ආරම්භ කළා ය.

මම සිනමාවේදිනියක් නෙමෙයි. එහෙත් සිනමාව ගැන උනන්දුවක් තියෙන සාහිත්‍යය ගැන වැඩි කැමැත්තක් තියෙන රසිකාවියක් පමණයි. එවන් තැනැත්තියක් සාහිත්‍ය දෘෂ්ටි කෝණයෙන් සිනමාව ගැන දක්වන අදහස් ගැන දැන ගැන්මට පැමිණි ඔබ සියලු දෙනාටම මගේ ගෞරවාදරයත් ස්තුතියත් පුද කරන්නට කැමතියි. අපේ ආචාර්යතුමා මහාභාරත ටෙලි වෘත්තාන්තයේ කථාංග 44 ක සාරාර්ථය දක්වමින් මෙහි පළමු දේශනය සිදු කළා. ආරාධිත කථිකාචාර්ය ගඟුල් සමරනායක සහෘදයා එතැන් සිට 60 වන කථාංගය තෙක් නිදසුන් ගෙන හැර දක්වමින් කතා කළා. 61 සිට තවත් කථාංග 34 ක් ඉදිරියට තිබෙනවා. මට ඒ සියල්ල ම විස්තර වශයෙන් ගැනීමට නොහැකි වේවි. ඒ නිසා මට පුළුවන් විදිහට මහාභාරත ටෙලි වෘත්තාන්තය බලමින් මා විඳගත් මිහිර සහ අරුත ඔබ සමග බෙදා ගැන්මට මම කැමතියි.  

61 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය කියන්නේ කවියා - නිර්මාණකරුවා කියන දෙයට එකග වන්නට හෝ නොවන්නට ඕනෑම කෙනෙකුට අයිතියක් තිබෙන බවයි. ගෞරවනීය අතීතයක් අපට තිබුණත් ඒ අතීතයේ අපට ජීවත් වන්නට බැහැ. එහෙත් ඉන් පාඩම් උගෙන අපට වර්තමානය සකසා ගත හැකි යි. පාණ්ඩවයන්ගේ වනවාසයෙන් පසුත් පෙරළා ඔවුනට හිමි රාජ්‍යය නොලැබීම සමීප යුද්ධයකට හේතු වන ආකාරය ගැනයි මේ කථාංගයේ දිගින් දිගට ම කියවෙන්නේ. මෙහි එක් තැනක තිබෙනවා අර්ජුන පුත්‍ර අභිමන්‍යුගේ විවාහය ගැන. එහි කියැවෙනවා පාණ්ඩවයන්ට දිගු කලකට පසු සතුටු වීමට නිමිත්තක් ලැබී ඇති බව. මෙය අප සිනමාවට සම්බන්ධ කරගත යුත්තේ ඒ සතුට සමග අනිවාර්යයෙන් ම ජීවිතයේ අර්ථය ද තහවුරු කළ යුතු ය යන පණිවිඩයත් ඊට මුසු කිරීමෙන් පසු යි. මෙහි තවත් තැනක තියෙනවා මවකට සිය දරුවන් දැක හඳුනාගැනීමෙහි ලා තෙවැනි ඇසක් ඇති බව. මට දැනෙන විදිහට හොඳ සිනමාකරුවෙක් සිනමාකාරියක් කියන්නේත් මවක් වගේ ම පියෙක්. ඔහුට හෝ ඇයට සිනමා ප්‍රේක්ෂකයන් නිවැරදි ව හඳුනා ගැනීමෙහි ලා වන ඇස තිබිය යුතු යි.  

62 කථාංගයේ දේශපාලනය ගැන කියවෙනවා. එහි දී කාලචක්‍රය අපට දෙන එක් පණිවිඩයකට අනුව පාලකයා වැදගත් කොට සැලකිය යුත්තේ රට මිස සිය දූ පුතුන් නොවේ. ධ්‍රැතරාෂ්ට්‍ර නමැති රාජ්‍ය පාලකයා බලයෙන් සහ ගුණයෙන් පිරිහෙන්නේ ඔහු තමාගෙන් පසු සිය පුතු රජ විය යුතු ය යන පටු කල්පනාවෙන් වැඩ කළ නිස යි. අවසානයේ ඔහුට ඒ පුතුන් වත් ඉතිරි වන්නේ නැහැ. මෙය සිනමාවටත් සාධාරණ යි. මා විශ්වාස කරන අන්දමට කෙනෙක් දීර්ඝ කාලයක් සිනමාවේ වේවා වෙනත් කලා මාධ්‍යයක නිරත ව සිටීම යන කරුණ පමණක් ඔවුන්ගේ දූ දරුවන්ට ඒ මාධ්‍ය විවෘත වීමෙහි ලා වන දොරටුවක් විය යුතු නැහැ. ඒ අයට ඒ සම්බන්ධ කිසියම් කෞශල්‍යයක් තිබෙනවා නම් ඒ දොරටු වැසිය යුතුත් නැහැ.

ධ්‍රැතරාෂ්ට රජුට සිය පුත් දුර්යෝධනගේ වැරදි පෙනෙන්නේ නැහැ. ඔහු තමාට වඩා වයසින් ගුණයෙන් මෙන් දැනුමින් ද වැඩි අයට අගරු කොට කතා කරන්නේ වරක් දෙවරක් නෙමෙයි. එවන් අවස්ථාවක ගංගාපුත්‍ර භීෂ්ම දුර්යෝධනට පවසනවා, ඔබට වඩා වයසින් මෙන් ම නුවණින් ද වැඩුණු අයට ගරු කිරීමට පුරුදු වන්නැයි කියා. වරක් එවන් දැනුමින් ගුණයෙන් මතු නොව කෞශල්‍යයෙන් ද තමාට හිතන්නටවත් බැරි තැනක සිටි වයෝවෘද්ධ ගුණවෘද්ධ කෞශල්‍යවෘද්ධ විද්වතෙකුට එක් සිනමා අධ්‍යක්ෂවරයෙක් කතා කළ - ක්‍රියා කළ ආකාරය නිසා පිරිහුණේ ඒ තමා අද්විතීය සිනමා අධ්‍යක්ෂවරයකු යයි සිතා සිටි ඒ පුද්ගලයා ම යි. මේ කථාංගයෙන් සිනමාවට ගත යුතු පාඩම ලෙස මට දැනෙන්නේ එය යි.  

63 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ තම දැනුම වරෙක සිය දෙතොලට සිනහවත් තවත් වරෙක කඳුළත් ප්‍රදානය කරන බව යි. සිනමාකරුවන් වන ඔබ විසින් කරනු ලබන්නේත් මෙය ම නොවේ ද? එහෙත් සිනහව වේවා කඳුළ වේවා එයට සමාජය පවතිනවාට වඩා අර්ථසම්පන්න කිරීමේ හැකියාව තිබිය යුතු යි. මේ කොටසේ කියවෙන පරිදි අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජුට තමා වෙත එන ඕනෑම කෙනෙක් ඔවුන්ගේ පියසටහන්වලින් හඳුනාගත හැකි වුවත් ඉතිහාසයේ පියසටහන් හඳුනා ගැන්මට ඔහු සමත් වන්නේ නැහැ. එහෙත් ඔබ ධ්‍රැතරාෂ්ට්‍ර මෙන් නොවිය යුතු යි. ඔබට සිනමාකරුවන් ලෙස ඉතිහාසයේ පියසටහන් හඳුනා ගැන්මට හැකි විය යුතු යි. මන්ද ඔබගේ වර්තමාන නිර්මාණය අනාගතයේ දී ඉතිහාසයේ පියසටහන් අතරට එක් වන නිසයි. 

මෙම ටෙලි වෘත්තාන්තයේ 64 වැනි කොටසින් අපට උකහා ගත හැකි හොඳ පාඩමක් තියෙනවා. ඔබට සහ අපට පාඩමක් වන එය ප්‍රකාශයක් වශයෙන් සිනමාකරු ඉදිරිපත් කරන්නේ ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ මුවින්.

"If you do not pass the test of truth. You will have neither a present nor a future.̎

සිනමාවේදීන් වන ඔබ මේ සත්‍යයේ පරීක්ෂණයෙන් අසමත් වුවහොත් සිනමාකරුවන් වශයෙන් ඔබටත් වර්තමානයක් හෝ අනාගතයක් හිමි වන්නේ නැහැ. එසේ ම එහි අරුත අතීතය ද අහිමි වී යාම ය යන කරුණත් අමතක කළ යුතු නැහැ. එසේ ම ගංගාපුත්‍ර භීෂ්ම, ධ්‍රැතරාෂ්ට්‍ර රජුට පවසන හස්තිනාපුරයේ අනාගතය, වර්තමානයේ ඔබ මේ කියන කරන දේ මත රඳා පවතීය යන්නත් අපගේ සිහියට ගත යුතු යි. මෙහිදී අප කළ යුත්තේ හස්තිනාපුරය යන වචනය ඇති තැනට සිනමාව යන වචනය ආදේශ කොට ඒ ගැන සිතීම යි.

සිනමාවට අමතර ව අපේ රටේ දේශපාලනයට ගත හැකි පාඩම් ද මේ කතාවේ තියෙනවා. විදුර් නම් මහාමන්ත්‍රීගේ ප්‍රකාශ සහ චර්යා ඒ සම්බන්ධයෙන් අපට කිසියම් ආලෝකයක් සපයනවා. ඔහු කියන්නේ සිය රජුට තමා ඇත්ත තත්ත්වය පහදන්නේ නැත්නම් තමාට ඇමතිවරයකු වශයෙන් කටයුතු කිරිමට ද අයිතියක් නොමැති බව යි. මන්ද ඒ හේතුවෙන් රටක විනාශය සිදුවීම දුර නොවන නිසයි. මේ කතාව අපට උගන්වන්නේ කිසියම් යුගයක සිටින නායකයන්ගේ මනස විපරීත වූ විට විනාශය සිදුවීම නියත බව යි. මෙය සිනමාවට අදාළ කරගෙන ඒ ගැන සිතන්න.

අහංකාරය එය පටන් ගන්නා මොහොතේ සිට ම අන්ධ ය යන කාලචක්‍ර ප්‍රකාශයෙන් තමයි 65 කථාංගය පටන් ගන්නේ. හොඳ සිනමාකරුවෙක් තමා කළ නිර්මාණයක් ගැන කවදාවත් අහංකාර වන්නේ නැහැ. සිය නිර්මාණය සම්බන්ධයෙන් අභිමානයක් ඇති කර ගැන්මේ වරදක් නැහැ. සමන් සිත්තරා මේ ගැන ඉතා පැහැදිලි ප්‍රකාශයක් කොට තිබෙනවා. ඔහු පවසන පරිදි අහංකාරය නොවටිනා දෙයක්. අභිමානය වටිනා ගුණාංගයක්. අහංකාරය දුර්වලතාවක්. අභිමානය ශක්තියක්. පොදුවේ අප තුළ ඇති වන අහංකාරය පරාජය කළ හැක්කේ අප අපගේ කටයුතු ගැන සිතා බලා අපේ වැරදි අපම දකින විට යි.  

මෙහි  65 වන කථාංගයේ එක් තැනක තියෙනවා ශ්‍රී ක්‍රිෂ්ණගේ එක් ප්‍රකාශයක් ඔබට සහ අපට වැදගත් වන. ඔහු කියනවා, කතා කරන එක ඔබේ වැඩක්. සවන් දෙන එක ඔවුන්ගේ වැඩක් කියා. අන්න ඒ වගේ සිනමා මාධ්‍යයෙන් ඔබට කළ හැක්කේ සිනමාවෙන් ලෝකයට කතා කිරීම යි. එයට සවන් දීම හෝ නොදීම ප්‍රේක්ෂකයන්ගේ වැඩක්. මෙහිදී ක්‍රිෂ්ණ පවසන්නාක් සේ මම මගේ මෙහෙවර කරමි යි යන ආකල්පයෙන් වැඩ කරන්න. මෙහි එන ධ්‍රැතරාෂ්ට්‍ර රජුට ක්‍රිෂ්ණ කියන තවත් ප්‍රකාශයක් වන්නේ ඔබගේ කාලය අවසන් වීමට පෙර වෙන් ව සිටින අය එකතු කිරීම සඳහා කටයුතු කරන ලෙස යි. මේ සිනමා සංසදයටත් වර්තමානයේ එහි තනතුරු දරන අයටත් කළ යුතු මෙහෙවරක් සහ ඊට අයත් කාලයක් තිබෙනවා. ඒ නිසා විවිධ හේතු නිසා විසිරී සිටින සිනමාකරුවන් සදර්ථය සඳහා එකට එකතු කොට ගැන්මට ඔබේ කාලය තුළ කටයුතු කරන්න. සිනමාවේ අනාගතය ඒ ඒ පුද්ගලයන්ගේ පෞද්ගලික රුචි අරුචිකම් සපුරාලීම උදෙසා නොව සමාජාභිවෘද්ධිය උදෙසා සහ කලාවේ සුප්‍රගතිය උදෙසා ය යන ආකල්පය මුළු හදින් දරන අය එක තැනකට එකතු වීම අත්‍යවශය යි. මන්ද සමාජය යහපත් කරන අර්ථවත් කරන - සුන්දර කරන සිනමාව නමැති දිව්‍ය අස්ත්‍රය දරන අය වන්නේ ඒ පිරිස නිස යි.

සිනමා කෘතියක් ඔස්සේ සමාජගත කළ යුතු සුවිශිෂ්ට චරිතයක් ගැනයි 66 කථාංගය අපට කියන්නේ. ඒ සූර්යපුත්‍ර අංගරාජ් කර්ණ යි. මේ චරිතයේත් දෝෂ නොතිබෙනවා නොවේ. එහෙත් කාලචක්‍රය කියා සිටින්නේ කර්ණ යනු මුළු හදින් ම එක් අරමුණක සිත රඳවා ඒ සාධනය උදෙසා අවංකවම කැප වූ චරිතයක් බව යි. මෙහි දී සිනමාවට කර්ණගේ ආදර්ශය වැදගත් වන්නේ හරි හෝ වැරදි වේවා කිසිදු ප්‍රතිලාභයකට ඔහු සිටින තැනින් දශමයකුදු සෙලවීමට නොහැකි නිසයි. සිනමාකරුවන් කර්ණගෙන් ගත යුතු ආදර්ශය එය යි. මහාභාරතයේ දෙවියන්ගේ නියෝජනය සිදු කරන ප්‍රධානම චරිතය වන ශ්‍රී ක්‍රිෂ්ණ වරෙක පවසන්නේ කර්ණ යනු සුවිශිෂ්ට පුද්ගලයකු බව යි; එසේ ම සත්‍යවාදියකු ද බව යි. මන්ද ඒ ඔහු කිසි විටෙකත් තමා සත්‍යය වශයෙන් ගත් දෙය උල්ලංඝනය නොකරන නිස යි.

Karna, You are an excellent person; a truthful man. You never violated what you accepted as truth.

කාගේවත් බලපෑමකට, වරදානයකට යටත් ව තමා තුළ ඇති සත්‍යය යටපත් කරන්නට එපා. තමාට ලැබෙන ප්‍රතිලාභ මත තමන් නිවරදි යයි සිතා කටයුතු කළ දෙයින් ඉවත් වන, තමන්ට පාර කියා දුන් ගුරුතාරකා අමතක කරන, මිතුරන් නොතකා හරින අය කොයි ක්ෂේත්‍රයේත් හිඳින්නට පුළුවන්. කාලචක්‍රය කර්ණ වෙත සිය ගෞරවය පළ කරමින් පවසන්නේ හිරු අවරින් උදා වුවත් දහවල රාත්‍රිය බවට පරිවර්තනය වුවත් කර්ණ සිය මිතුරාට විරුද්ධ ව යාම නම් සිදු නොවන බව යි.

The sun may rise in the west. The day may become night. But Karna will never betray a friend.  

හොඳ සිනමාකරුවා මහාභාරත වීරකාව්‍යයේ එන විදුර් මෙන් විය යුතු යි. ඔහු ප්‍රශ්න දෙස බලන්නේ ඇලීමෙන් සහ ගැටීමෙන් තොර ව යි. කුරු පාණ්ඩව යුද්ධයේ දී හස්තිනාපුරයේ වර්තමාන පාලකයන් හරි වුවත් වැරදි වුවත් ඔවුන්ගේ පිළ ගැන්ම සිය වගකීම වශයෙන් භීෂ්ම - ද්‍රෝණ - ක්‍රීප බඳු මහාපුරුෂ විරුදාවලි ලද චරිත කටයුතු කළත් විදුර් එයින් වෙනස් වන්නේ යුක්තිය සහ අයුක්තිය අතර ඇති වෙනස මෙන් ම සත්‍යය සහ අසත්‍යය අතර ඇති වෙනස ඔහු හඳුනා ගත් නිස යි. ඔහු හස්තිනාපුරයේ මහාමන්ත්‍රී ධුරයෙන් ද ඉවත් වන්නේ ඒ නිස යි. රජුට වුව කිව යුත්ත මුහුණට ම කීමේ හැකියාව ඔහුට තිබෙනවා. 67 කථාංගයෙන් අපට එසේ ක්‍රියා කරන විදුර් දැකගැන්මට ලැබෙනවා. අප පසුගිය කාලයේ දී දුටුවා කලා ක්ෂේත්‍රය නියෝජනය කළ ඇතැම් දෙනා බලයට පත් කවර හෝ රජයක් විසින් තමා කිසියම් වගකිව යුතු තනතුරකට පත් කළ පසු සිය සමාජ වගකීම අමතක කොට කටයුතු කරන ආකාරය. මෙතනදී විදුර්ගේ ආදර්ශය අපට වැදගත් වන්නේ රජයේ කවර හෝ කොටසක් වැරදි ලෙස කටයුතු කරන විට වෛද්‍ය විද්‍යාවට අනුව ශල්‍ය වෛද්‍යවරයෙක් සමස්ත සිරුර ගිලන් කරවන ඒ කොටස කපා ඉවත් කරන්නාක්  රාජ්‍ය දේහයට සම්බන්ධ ව සිටින ඒ කොටස් ඉවත් කරන්නැයි යන ඉල්ලීම ඔහු නොබිය ව රජුට ම මෙසේ කියා සිටින නිස යි. 

I have come to you with a permant solution. O King, medical science says that if a part of the body is diseased the surgeon should cut away that partion.

පුතුන් යුද කරන විට ඔවුන්ගේ මවුවරුන් පත් වන තත්ත්වයේ සංවේදනීය සහ වික්ෂිප්තභාවය මැනවින් ප්‍රකාශයට පත් කිරීමට මේ සිනමාකරුවන් වඩාත් සාවධාන වන්නේ 67 සහ 68 වන කථාංගවල දී යි. සමාජයක ඇති වන යුද්ධයක කොටසක් නොවී ඒ යුද්ධය ගැන ප්‍රහර්ෂාත්මක ව හෝ විවේචනාත්මක ව කතා කරන්නට අප ඕනෑම කෙනෙකුට පුළුවන්. එහෙත් යුද වදින දෙපක්ෂයත් ඔවුනට සම්බන්ධ චරිතත් විඳින කායික සහ මානසික වේදනා ගැන දන්නේ ඒ අය ම පමණයි. මේ සිනමාකරුවා ඒ වේදනාවන් ගැන අපට කියන්නේ එබඳු වේදනා ඇති නොවන අනාගත සමාජයක් නිර්මාණය කිරීම සඳහා යි. හස්තිනාපුරයේ මවුවරුන් යුද වදින සිය පුතුනට ආශිර්වාද නොකරන්නේ මේ නිසයි. යුදයෙන් ගාන්ධාරිට පුතකු අහිමි ව ගිය මොහොතේ ඒ වේදනාව මැනවින් අවබෝධ කරගන්නේ ප්‍රතිපක්ෂය නියෝජනය කරමින් සටන් කළ පිළේ මව වන කුන්තී යි. 

ඒ කෙසේ වුවත් යුක්තිය සහ අයුක්තිය, සත්‍යය සහ අසත්‍යය මෙන් ම අඳුර සහ ආලෝකය අතර ඇති වන සටනක දී අපට ගැන්මට සිදුවන පැත්ත පෙන්වා දීමට ද සිනමාකරු කටයුතු කරනවා. යුද නොකරන ශ්‍රී ක්‍රිෂ්ණ යුක්තිය, සත්‍යය සහ ආලෝකය නියෝජනය කරන පිළේ මාර්ගෝපදේශකයා බවට පත් කරන්නේ ඒ චරිත නිරූපණය ද සමාජයකට අවශ්‍ය නිසයි.

68 වන කථාංගයේ දී ව්‍යාස ඍෂිවරයා මුවින් ගස් ගැන කෙරෙන ප්‍රකාශය ද අපට දැනෙනවා. එහි කියැවෙන පරිදි ඇතැම් ගසක් අපට සෙවන දෙද්දී තවත් ගසක් දර සපයනවා. සෙවන දෙන ගස් රැකගන්නා අතර දරට ගත යුතු ගස් කපා ගත යුතු බවයි ඉන් කියැවෙන්නේ. එසේ කළ යුත්තේ සෙවන දෙන ගස්වලට ඉඩ දීම සඳහා යි. ව්‍යාස ඍෂිගේ මේ ප්‍රකාශය මහාභාරත යුද්ධයට ද අදාළ යි.

Trees not only give shade but are also for fuel. Trees which can not give shade should be cut. So that they make way for shade-giving trees.

69 කථාංගය ආරම්භයේ දී දෙපක්ෂයේ රණකාමීන් ගැන වර්ණනය කරන කාලචක්‍රය අනතුරුව  පවසන්නේ මේ ධර්මය සහ සත්‍යය උදෙසා කරන සංග්‍රාමයක් බව යි. එසේ ම මුළු මහත් විශ්වය ම මේ නිසා චංචල ව ගොස් ඇති බවත් මේ ඇරී තිබෙන්නේ විනාශයේ දොරටු බව කීමටත් සිනමාකරු අමතක කරන්නේ නැහැ.

මේ සමාජයේ ජීවත් වන විට පළිගන්නා චරිතයක ඇති ලක්ෂණ පිළිබඳ අවබෝධය ද තිබිය යුතු යි. ඒ ප්‍රවේශම් වෙමින් ජීවත් වීම සඳහා යි. සිනමාකරුවන් මේ ටෙලි වෘත්තාන්තයේ 70 වන කථාංගය ආරම්භයේ ප්‍රේක්ෂකයනට සම්මුඛ කරන්නේ එබඳු චරිතයක්. ඒ ශිඛණ්ඩින්. දින 18ක් පුරා පැවතීමට යන යුද්ධය ආරම්භ වීමට පෙර අපට ඔහු මුණ ගස්වන්නේ මේ කොටසේ දී යි. සොයුරු ධෘෂ්ට්‍රද්‍යුම්නට දක්නට ලැබෙනවා ඔහු සිය හීවල විෂ තවරමින් සිටින ආකාරය. ඒ කවර හෝ මොහොතක භීෂ්ම මරා දැමීම සඳහා යි. ඒ සඳහා ඔහුට හේතුවක් තිබෙන මුත් ඒ අප්‍රාමාණ වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයට අහිමි වන්නේ ගංගාපුත්‍ර භීෂ්ම යි. මේ වන විට ඔබ දන්නවා භීෂ්ම යනු කවරෙක් ද යන බව. ඒ සමාජයක් අර්ථවත් කරන, සුන්දර කරන, පවිත්‍ර කරන චරිතයක්. ශිඛණ්ඩින්ගේ පෞද්ගලික වෛරයේ ප්‍රතිඵලයක් වශයෙන් සමාජයට අහිමි වන්නේ ඒ උත්තුංග පුරුෂ රත්නය යි.

මේ කොටස අවසානයේ එන ගීතෝක්තියෙන් කියැවෙන්නේ ගිනිගත් ගැහැනියකගේ හද ගිනිදැල්ල සමත් වන්නේ දවාලීමට පමණක් නොවන බව යි. ඇයගේ පළිගැනීමේ හැඟීම ම තමයි, ඇයට ධෛර්යය සහ ශක්තිය දෙන්නේ. දෞපදී යනු කුරුක්ෂේත්‍ර සංග්‍රාමයේ පදනම යි. ඇය යනු හුදෙක් සන්නාහය පමණක් නොවේ; අසිපත ද ඇය යි.

May not the flame of the fiery woman, even burn down. The revenge of the firey woman has given her courage and strength.

Draupadi is the foundation of the Kurukheshetra  war. She is not only the shield, but also the sword

71 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ ජනතා ශුභසිද්ධිය අපගේ උත්තරීතර ව්‍යවස්ථාව විය යුතු බව යි. සිනමාකරුවන් වන ඔබගේ ව්‍යවස්ථාව ද ඉන් වෙනස් වන්නේ නැහැ. මන්ද ඔබගේ ප්‍රේක්ෂක රසිකයන් යනු ජනතාව ම වන නිස යි. 

මේ කථාංගයේ පසුබිමින් ඇසෙන රණකාමියකුගේ ප්‍රේම සන්දේශය අතීත, වර්තමාන සහ අනාගත සටන් දෙස වෙනස් ම ඇසකින් බැලීම වෙත අප යොමු කරනවා. සටන් බිම හිඳ සිය පෙම්වතියට ලියන මේ ගීතයෙන් කියැවෙන්නේ එය ලබන මොහොතේ තමා ජීවත් වීම හෝ නොවීම සිදු ව තිබීමට ඉඩ ඇති බව යි. ඒ හෙට දවසේ දී මේ පාරිශුද්ධ කුරු ක්ෂේත්‍රය සංග්‍රාම භූමියක් බවට පත් වන නිස යි. මේ නිසා අපට අහිමි වන්නේ ප්‍රේමය යි. මා විශ්වාස කරන්නේ සාධාරණ වේවා අසාධාරණ වේවා වන යුද්ධයන්ගේ නාමයෙන් ලෝකයට ප්‍රේමය අහිමි නොකළ යුතු බව යි. මන්ද ලෝකයේ පැවැත්ම සිදු වන්නේ ප්‍රේමය නිසා බැවින්. මා කම්පනයට නොව ප්‍රකම්පනයට පත් කළ ඒ ප්‍රේම ගීතයේ මුල් වචනවල ඉසොඳුරු පරිවර්තනය මම ඔබ සමග මෙසේ බෙදා ගැන්මට කැමතියි.

My beloved, By the time you get this letter of mine, I don´t know I may or may not live in this world. The holy land of Kurukshethra will tomorrow become a battlefield.

මෙහි 72 කථාංගය පුරා ඇත්තේ භගවද්ගීතාවේ රාවය යි. සංග්‍රාම භූමියට යන අර්ජුන දෙපක්ෂයේ සිටින නෑ - හිත මිතුරන් - ගුරුවරුන් දැක ඔවුන් සමග යුද කිරීමට මැලි වෙනවා. ධර්මයේ නාමයෙන්, සාධාරණත්වයේ නාමයෙන් මෙය කළ යුතු ම යයි කියා අර්ජුන යුද්ධයට පොළඹවන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. මේ අවස්ථාවේ ඔහු අර්ජුනට භගවද්ගීතාව දේශනා කරනවා. යුද සූදානමත් දෙපක්ෂයේ රණකාමීන් ගැනත් අර්ජුන-ක්‍රිෂ්ණ සංවාදය ගැනත් අන්ධ ධ්‍රැතරාෂ්ට්‍ර රජු දැන ගන්නේ සිය රථාචාර්ය වන සංජයගේ ඇසින්. මේ කථාංගය ම මුල සිට අගට ගීතාව කියවීමක් ම තමයි. ඒ වගෙම 73 සහ 74 කථාංග තුළ ගැබ් ව ඇත්තේ ද භගවද්ගීතාගත දර්ශනය යි. මට  ගීතාව  සම්බන්ධයෙන් ඇත්තේ අල්ප දැනුමක් නිසා මන් ඒ ගැන කතා කිරීමට යන්නේ නැහැ. ඒ නිසා ඒ කථාංගවලින් ඔබට - අපට අපේ පෞද්ගලික ජීවිතයේ මෙන් ම සිනමා ජීවිතයේ ආදර්ශ පාඨ බවට පත් කොට ගත හැකි ප්‍රකාශයක් දෙකක් උපුටා දක්වන්නට තමයි මට හැකියාවක් තියෙන්නේ.

“මහපොළොවේ ඔබට ඇති කාර්යය ඉටු කරන්න.

අනාගතය උපදින්නේ වර්තමානයෙනි.

සත්‍යය පීඩා විඳින්නේ මනුෂ්‍යයා පෙළඹීමෙන් ඉවත් නොයන නිසයි.” 

මා ඒ උපුටා දැක්වූයේ මේ විශිෂ්ට සිනමාකරුවන් 73 කථාංගය ඔස්සේ සමාජගත කරන සදුක්ති තුනක් පමණ යි.

74 කථාංගය මුලදී කාලචක්‍රය කියන්නේ ඔබගේ ක්‍රියාවන් අනුව ඔබ විනිශ්චයට ලක් වන බව යි. මෙය ද ඔබට මෙන් ම අපටත් අදාළ වන කරුණක්. මෙහි අරුත අප ක්‍රියා නොකොට නිශ්ක්‍රියව හිඳීම නම් නෙමෙයි. මෙහි කියැවෙන පරිදි ගසක වගකීම වන්නේ ලොවට පල සම්පත සහ සෙවන ප්‍රදානය කිරීම යි. ඔබේ සිනමා සිත්තම කියන්නේ ද සමාජය අබිමුව තබන පලයක්. එසේ ම ඔබේ නිමැවුම ලොවට සෙවන දෙන විසල් රුකක් වේවා යි ප්‍රාර්ථනය කිරිමට ද මම මෙය අවස්ථාව කොට ගන්නවා. ගසකට තමා වෙත වැටෙන දැඩි හිරු කිරණ දරා ගැන්මට සිදු වෙනවා. එහෙත් ඒ පීඩාව දරාගෙන ඔහු ලෝකයට දෙන්නේ සෙවන යි. ඔබ නිර්මාණයක් බිහි කිරීමට කොපමණ වෙහෙසක් විඳිනවා ද? ඒ වෙහෙස විඳින්නේ තමාගේ පෞද්ගලික සතුට, ලාභය හෝ ප්‍රසිද්ධිය සඳහා පමණක් නම් එහි අර්ථයක් නැහැ. මහාභාරතය අපට කියන්නේ අනුන්ගේ වේදනා දරාගන්නා තැනැත්තා ශ්‍රේෂ්ඨයකු බව යි. යහපත කිසිදා විනාශ නොවන බවත් කල්‍යාණකාරි ශෝකකාරි නොවන බවත් මේ සිනමා කෘතිය අප වෙත ගෙනෙන තවත් පාඩමක්.

යුද්ධය ආරම්භ වීමට පෙර සටන් බිමට ඇවිත් සිටින සියලු රණකාමීන් අමතා පාණ්ඩව පක්ෂයේ නායක යුධිෂ්ඨිර කරන ප්‍රකාශය සිනමා කෘතියක් මාධ්‍යය කොටගෙන ලොව සිටින වර්තමාන අනාගත සියලු යුද කරන්නනට දෙන මහගු පාඩමක් කියා යි මට සිතෙන්නේ. අපි දැන් ඔහුගේ ඒ ප්‍රකාශයට සාවධාන වෙමු.

“මෙහි පැමිණ සිටින සන්නද්ධ ව සිටින සියලු රණවිරුවනි, අසන්න, කුරු ක්ෂේත්‍රය යනු පවිත්‍ර පුණ්‍ය භූමියක්. මා මෙය සලකන්නේ ශුද්ධ වූ සංග්‍රාමයක් ලෙස යි. මගේ සේනාවේ සිටින කවුරුන් හෝ සිතනවා නම් සත්‍යය සහ යුක්තිය තියෙන්නේ ප්‍රතිපක්ෂයේ යයි කියා, ඔහුට දැන් අපට ඇති පක්ෂපාතිත්වය වෙනස් කොට ඒ පිළට යා හැකි යි. එසේ ම කෞරව පක්ෂයේ සිටින කවුරු හෝ සිතනවා නම් සත්‍යය ඇත්තේ අපගේ පිළේ යයි කියා, ඔවුනට අප වෙත ආ හැකි යි. මම ඔවුන් සාදරයෙන් පිළිගන්නවා.”

75 වන කථාංගයෙන් කියැවෙන්නේ සංග්‍රාමයේ ඇති අතිබිහිසුණු බව යි. ඒ විස්තර මම ඔබ සමග කතා කිරීමට යන්නේ නැහැ. 76 කථාංගයේ දී කාලචක්‍රය පවසන කරුණු වෙතයි අප අවධානය යොමු කළ යුත්තේ. එහි කියැවෙන පරිදි උපන් විට දෙමව්පියන් ඉතා ආදරයෙන් නම් තැබූ දරුවන් දෙපිරිසක් දෙපැත්තක සිට ඔවුනොවුන් මරා ගන්නවා. ඔවුන් කලින් සතුරන් ව හෝ මිතුරන් ව සිටියේ නැහැ. එහෙත් මේ යුද්ධය ඔවුන් සතුරන් බවට පත් කොට තිබුණා. ඔවුන් මේ සංග්‍රාම භූමියේ දී හමු නොවී වෙනත් පරිසරයක දී හමු වුණා නම් ඔවුනොවුනට දක්වන ප්‍රතිචාර වෙනස් විය හැකි ව තිබූ බවයි කාලචක්‍රය කියන්නේ. එසේ වූවා නම් ඔවුන් එකිනෙකා දෙස සිනහමුසු මුහුණින් බලන්නට ඉඩ තිබුණා. එසේ ම ඔබ කොහේ සිටි පැමිණ කෙනෙක් ද යන්නත් සුහද ව ඇසීමට ඉඩ තිබුණා. තම තමන්ගේ පවුල්වල තොරතුරු ද කතා කිරීමට ඉඩ තිබුණා. එය එසේ වී නම් මේ මරණයේ සලකුණ ඔවුන් වෙත ළඟා වන්නේ නැහැ. මේ එක් එක් අය කෙසේ මරණයට පත් වන්නේ දැයි කිසිවකුට කිව නොහැකි යි. ජීවත් ව සිටි නිවහනින් සැතපුම් ගණනාවක් ඈතින් තිබෙන තැනකට පැමිණ මෘත දේහ බවට පත් වන ඔවුන් දෙස බලා සිටින්නට අවශ්‍ය නැහැ. ඒ නිසා අප මෙතැන සිටීමෙන් ඵලයක් නැති බැවින් අපි වෙනත් තැනකට යමු කියා යි, කාලචක්‍රය අපට කියන්නේ.

කාලචක්‍රයමාර්ගයෙන් ඒ භාරත සිනමාවේදීන් අප අබිමුව තබන මේ කටුක යථාර්ථය අපට නොතකා හරින්නට බැහැ. මා මෙය සලකන්නේ විශිෂ්ට සිනමාකරුවන් විසින් සිනමාව මාධ්‍යය කොට ගෙන ලෝකයට දෙන ලද සුවිශේෂ පණිවිඩයක් ලෙස යි.

77 කථාංගයේ එක් තැනකදී ගංගාපුත්‍ර භීෂ්ම, දුර්යෝධන තූළ ඇති බලවත් ම දෝෂය වශයෙන් දකින්නේ නොසිතා කටයුතු කිරීම යි. එසේ ම අන්‍යයනට සවන් දීමේ ගුණය ද දුර්යෝධන තුළ අවිද්‍යමාන යි. හොඳ සිනමාකරුවකු විය හැක්කේ එකී දෝෂයන්ගෙන් වියුක්ත වන අයට පමණ යි.

වරෙක ක්‍රිෂ්ණ, අර්ජුනට පවසන්නේ අයහපතට පක්ෂ වන සියලුදෙනා තමන්ගේ සතුරන් කොට තකන ලෙස යි. මෙම කථාංගය අවසානයේ එන ගීතෝක්තිය ද අපට සිහිපත් කො දෙන්නේ ධම්මපදයේ එන යම් දෙයක් වපුළහොත් ඊට අදාළ ඵලය ලැබේ ය යන අර්ථය දෙන යාදිසං වපතේ බීජං තාදිසං ලභතේ ඵලං යන පාලි පාඨය යි. මහාභාරතය කියන්නේත් කෙනෙක් තමාගේ පව්වලට වන්දි ගෙවිය යුතු යයි කියා යි. එසේ ම යමෙක් වපුරන්නේ අයහපත් භාවයේ ඵල නම් ඔහු ඊට අදාළ ව අයහපත් භාවයේ ඵල ම ලබනු ඇත කියා යි.

One has to pay back for one´s own sins. If one has sown evil the fruit will also be evil.

සෑම කෙනෙකුට ම මේ ජීවිතයේ විවේක ලද යුතු කාලයක් එළඹෙනවා. ආදරණීය ලෙස හෝ අනාදරණීය ලෙස ඒ එළඹුම සිදු විය හැකි යි. සිය පුතු භීෂ්ම ලබන ඒ ඉසිඹුව පිළිබඳ යථාර්ථය කාටත් වඩා හොඳින් දන්නේ ඔහුගේ මව වන ගංගා යි. නිදහස් බිම් කඩක රැඳී එබිම පිරිසුදු කරන සිය මව දකින භීෂ්ම එයට හේතුව අසනවා. ගංගා පවසන්නේ මෙතන පූජනීය තැනක් බැවින් තමා එසේ කරන බව යි. මෙතන ගරුකටයුතු තැනක් වන්නේ කෙසේ ද යන්න විමසන භීෂ්මට ගංගා පවසන්නේ මේ හෙට ඔබ සැතපෙන තැන කියායි. ඇය දන්නවා හෙට දවසේ භීෂ්ම හී සර වර්ෂාවකට ලක් ව ලොවින් නික්ම යන තෙක් සැතපෙන්නේ එතන බව. ඇය පවසන්නේ පුත, දැන් විවේක ලැබුමට නුඹට දැන් අයිතියක් ඇතැයි කියායි. මේ අවස්ථාව අපගේ හදවත්වල රූපණය කරන්නේ සිනමාකරුවන් භාවිතයට ගෙන ඇති වචනයි. ඒ වචන සමග ඔවුන් ප්‍රේක්ෂකයන් අබිමුව තබන රූපරාමු ද අතිප්‍රබල යි. මෙයින් තිස්පස්වසරකට පෙර තාක්ෂණික වශයෙන් අදට සාපේක්ෂ ව නොදියුණු කාලයක සිනමාවෙන් කළ ආශ්චර්යය වර්තමානයේ සිටින අපට ආදර්ශයක්. මම කැමතියි ඒ සිනමාවේදීන්ගේ රූපරාමුවලටත් වඩා අපගේ හෘදය කම්පනය කළ ඒ වචන ඔබ සමග එක් ව විඳ ගන්නට.

What are you doing here mother?         Bhishma

Honouring this piece of land.                Ganga

What´s so special about it ?                   Bhishma

Tomorrow your bed will be placed here. You are very tired my son. So, You have a right to rest.                                                      Ganga

මහාභාරත ටෙලි වෘත්තාන්තයේ 78 කථාංගයේ මට වඩාත් දැනුණු තැන් දෙකින් එකකුයි, මා ඒ පැවසුවේ. මට දැනුණු අනික් තැනත් මම ඔබට කියන්නම්. ඒක ගංගාපුත්‍ර භීෂ්ම මෙන් ම මේ කතාවේදී අපට හමුවන ගුණවෘද්ධ බලවෘද්ධ වයෝවෘද්ධ උත්තම පුරුෂයකුගේ ප්‍රකාශයක්. ඒ ද්‍රෝණාචාර්ය යි.

“අප බැස යන හිරු වැනි යි. අප බැස නොගියහොත් නව හිරුට උදාවීමට ලැබෙන්නේ නැහැ. එහෙයින් අප ගැන නොසිතන්න. අප දැන් බැස යාමට ආසන්න යි.”

සක්‍රිය භීෂ්මට නිෂ්ක්‍රිය ව වැතිර සිටීමට සිදු වේය යනුවෙන් 78 කථාංගය දුන් ඉඟිය සත්‍යයක් බවට පත් වන්නේ 79 කථාංගයේ දී යි. මට සිනමාවට වඩා සමීප සාහිත්‍යය නිසා මගේ කතාවේ වැඩි සාහිත්‍ය නැඹුරුවක් තියෙන්නට පුළුවන්. මහාභාරත ටෙලි වෘත්තාන්තය කළ සිනමාවේදීනට සාහිත්‍යයෙන් මිදීමට නොහැකි වූවා නම් සාහිත්‍ය ගුරුවරියක වන මා ඉන් මිදී කතා කරන්නේ කෙසේ ද? ඒ නිසයි සුන්දර සාහිත්‍යෝක්ති දකින විට මා එතන නතර වන්නේ. ඒ නිසා එබඳු තැනක දෙකක දී නවතින්නට මට ඉඩ දෙන්න.

සමකාලීන මිත්‍ර කුල්ගුරු ක්‍රීපාචාර්ය, ශර යහනත සැතපෙන සිය සහෘදය මිතුරාට දෑත් එක් කොට වඳිමින් පවසන්නේ පවිත්‍ර වයසේ පවිත්‍ර ආත්මය ඔබ යි කියා යි. ඔහු තවදුරටත් කියනවා වියට ගැළපෙන සුදු වතින් සැරසුණු වෙනත් කෙනෙක් කොතැනින් අප ලබන්න දැයි කියා. ශ්‍රී ක්‍රිෂ්ණ එතැනට පැමිණ කියන්නේ ඔබගේ හස්තිනාපුර පක්ෂපාතිත්වය සහ සත්‍යවාදීභාවය කරණ කොට ගෙන ඔබ සදානුස්මරණීය වන්නේ යැයි කියා යි. එසේ ම සෑම යුගයකම සිටින මානවයන් ඔබට ආචාර කරන බව ද ඔහු කියා සිටිනවා. මහාභාරත මේ ටෙලි වෘත්තාන්තය නරඹන රසිකයන් වන අපේ වන්දනය ද දේශ භේදයකින් තොර ව ගංගාපුත්‍ර භීෂ්මයනට හිමි වීමෙන් සනාථ වන්නේ ඒ සත්‍යය යි.

ගංගාපුත්‍ර භීෂ්ම උදෙසා කාලචක්‍රය පවසන වචනවලින් හැඳින්විය හැකි ශ්‍රේෂ්ඨ මානවයන් බිහි කිරීම සඳහා ඔබට - අපට කළ හැකි දෙය වන්නේ ඒ සඳහා අපගේ මාධ්‍යයන් භාවිතයට ගැනීම යි. භීෂ්ම යනු ඉතා කලාතුරකින් බිහි වන චරිතයක්. කාලචක්‍රය, භාරතය අමතා කියන්නේ මෙවන් මිනිසකු සිය බිම ජනිත කරවීමට සමත් වීම නිසා ම ඇය ගෞරවයට පත් වන බව යි. එසේ ම ඔහුගේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කිරීමට වචන අසමත් බව යි. 

Great men like him are rare. India, you are great that, a great man such as Bhishma was born here. Words fail before his greatness.

අපි දැන් මේ වෘත්තාන්තයේ 80 වන කථාංගය වෙත යමු. මේ කොටසේ දී තමයි අපට භීෂ්මගෙන් පසුව සෙන්පති බවට පත් වන ද්‍රෝණාචාර්ය අතිප්‍රබල ව සටන් කරන ආකාරය දැකගැන්මට ලැබෙන්නේ. දුර්යෝධනගේ ඉල්ලීම පරිදි ඔහුට අවශ්‍ය වන්නේ පාණ්ඩව පක්ෂයේ නායක යුධිෂ්ඨිර ජීවග්‍රාහයෙන් අල්වා ගෙන මේ මහා සංග්‍රාමය අවසන් කිරීමට යි. මේ බව චරපුරුෂයන්ගේ මාර්ගයෙන් දැන ගන්නා පාණ්ඩව පක්ෂය, වෙනදාටත් වඩා සිය නායකයා රැකීම කෙරෙහි සාවධාන වෙනවා. ද්‍රෝණ මහා සේනා සංහාරයක නිරත වන විට යුධිෂ්ඨිර පවසන්නේ සිය සොහොයුරනට කියන්නේ තමා ළඟ රැඳී නොසිට සටන් කරන ලෙස යි. එහෙත් ඒ ගැන නොසිතන්න යි කියන භිම සහ අර්ජුන සිය දෙටු සොහොයුරා අතහැර යාමට කැමති වන්නේ ම නැහැ. මේ අවස්ථාවේ තමා ගැන බලනු වෙනුවට ප්‍රතිපක්ෂය සමග සටන් කරන්න යන නියෝගය ද යුධිෂ්ඨිර දැඩි ව කරනවා. මේ මොහොතේ නායකයා වශයෙන් ඔහු කරන ප්‍රකාශය ඉතා වැදගත්. එය ඇතැම් විට රට වෙනුවෙන් නොව සිය බලාධිපත්‍යය උදෙසා සාමාන්‍ය ජනතාව නියෝජනය කරන සෙබළුන් ඉදිරියට යවන ලොව සියලු රාජ්‍ය පාලකයන් විසින් ගැඹුරින් ම මෙනෙහි කළ යුතු පණිවිඩයක්.

“මා ඒ ගැන නොසිතන්නේ කෙසේ ද? රජුගේ යුතුකම නොවේ ද සෙබළුන් රැකීම. මේ සෙබළුන් සටන් කරන්නේ අප වෙනුවෙනු යි. ඔවුන් අපේ ම කොටසක්. ඔවුන්ගේ දේහ ද අපගේ දේහ මෙන් ම ගෞරවනීය යි. අපි සටන් කරන්නේ අපේ අයිතීන් වෙනුවෙනු යි. එහෙත් ඔවුන් සටන් කරන්නේ අප වෙනුවෙනු යි. මා ළඟ රැඳී නොසිට මේ ඍෂි ගුරුවරයා සමග සටන් කරන්න. ඔබට ඔබගේ ගුරුවරයා සමග සටන් කිරීමට ධෛර්යයක් නැත්නම් පසෙකට වන්න. මම ඔහු සමග සටන් කරන්නම්.”

සටනින් යුධිෂ්ඨිර නිරායුධ කළත් සිතූ පරිදි ද්‍රෝණට ඔහු ජීවග්‍රාහයෙන් ගැන්මට හැකි වන්නේ නැහැ. ඒ යුධිෂ්ඨිර තමා වෙතින් ඉවතට යැවූ අර්ජුන අන්‍යයන් හා සටන් කොට ඔවුන් සියලු දෙනා පරාජය කොට ඒ තීරණාත්මක නිමේෂයේ පැමිණ සිය ගුරු ද්‍රෝණ පරදවන නිසයි. ඒ මොහොතේ හිරු බැස යාම නිසා සටන අවසන් වෙනවා. එදින සිදුවූ ඒ බලවත් සංග්‍රාමයෙන් පසු රාත්‍රියේ ද්‍රෝණාචාර්ය ගංගාපුත්‍ර භීෂ්ම සැතපී සිටින තැනට යනවා. ඔහුට සිය ආචාරය පුද කරන ද්‍රෝණ පවසන්නේ සිය ජීවිත කාලය තුළ තමා දුටු අතිපරාර්ථකාමී නිෂ්කාමී පුද්ගලයා ගංගාපුත්‍ර භීෂ්ම බව යි. ද්‍රෝණට මේ මොහොතේ සිය ජීවිතයේ අවිනිශ්චිතභාවයත් දැනෙනවා. ඔහු පවසන්නේ ඔබට පෙර මට මෙලොවින් නික්ම යාමට සිදු විය හැකි බව යි. එහෙයින් සිය අවසන් ආචාරය පිළිගන්නා මෙන් ඔහු භීෂ්මගෙන් ඉල්ලා සිටිනවා. මේ විශිෂ්ටයන් දෙදෙනකුගේ අවසන් සමු ගැනීම යි. 80 වැනි කථාංගය ගැන මා අදහස් දැක්වීම නවත්වනවා ද්‍රෝණාචාර්යයන් ගංගාපුත්‍ර භීෂ්ම අමතා කළ ඒ අනුවේදනීය ප්‍රකාශයෙන්. 

̎ O Bhishma! I must leave before you. So accept my last salute."

මේ ටෙලි වෘත්තාන්තයේ 81 කථාංගය පටන් ගන්නේ කුරු කෙත රාත්‍රීන් අඳුරු යි යන ප්‍රකාශයෙන්. ඛේදවාචකවලට මුහුණ දෙන මානවයන් වෙත එළඹෙන්නේ අඳුරු රාත්‍රීන් තමයි. නොබෝදා සිදුවූ ගංවතුර නායයාම්වලින් සිදුවූ ජීවිත හානි විපත් අද්දුටු හදවත්වලින් සතුට පලාගොස් ඔවුන්ගේ හදවත් අඳුර ස්පර්ශ කිරීම ස්වාභාවික යි. අඳුර ඇති තැනට ආලෝකය ආදේශ කිරීමේ යුග මෙහෙවරින් කලාකරුවන් වන ඔබට කිසිසේත් ම මිදෙන්නට බැහැ. ඔබ කිසිවෙක් ඒ මෙහෙවර අමතක නොකරන බව ද මා දන්නවා. ඒ නිසයි එබඳු හෘදය සංවේදී මානව ප්‍රජාවක් අබිමුව අර්ථවාහී මෙන් ම හෘදයංගම නිර්මාණයක් ගැන කතා කරද්දී මා වඩාත් හැඟුම්බර වන්නේ. කලාව තුළින් උකහා ගෙන අප බෙදා ගන්නා මේ හැඟුම් නිර්මාණකරුවන් වන ඔබ වෙතින් ප්‍රබලාකාරයෙන් ප්‍රකාශයට පත් වන්නේ ය යන විශ්වාසය නිසා හදවතේ අතිමහත් සතුටක් ද උපදිනවා.

ඛේදවාචකයක් වේවා වෙන යම් හේතුවක් වේවා නිසා හෝ වේවා මියගිය අය භෞතික ව සුවපත් කිරීම සම්බන්ධයෙන් අපට කිසිවක් කරන්නට බැහැ. ඒ දැන් ඔවුන් ඒවා ලද හැකි තැනක නොසිටින නිස යි. ඔබේ ආගමික විශ්වාසයනට අනුව ඒ අය සම්බන්ධයෙන් යම් යම් පුණ්‍ය චාරිත්‍ර සිදු කළ හැකි යි. එහෙත් අපේ වැඩි අවධානය යොමු විය යුත්තේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු ව තමා සතු සියල්ල අහිමි වී ගොස් ශෝකාතුර ව ඉන්නා ජීවත් ව සිටින අය සුවපත් කිරීම ගැන යි; ජීවත් කරවීම ගැන යි. මේ කථාංගයේ එන විදුර් නම් ප්‍රඥාවන්තයා ධ්‍රැතරාෂ්ට්‍ර රජුට කරන පහත සඳහන් ප්‍රකාශය අපට වැදගත් වන්නේ ඒ අනුව යි.

̎ Those who are dead are dead, but at least let the others to live."

ධ්‍රැතරාෂ්ට, විදුර්ට ඒ මොහොතේ වත් ඇහුම්කන් දුන්නා නම් අනාගත මරණ සහ විපත් වළක්වා ගත හැකි ව තිබුණා. 

මෙම කථාංගයේ දී ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරන යුක්තිධර රණවිරු අර්ජුනපුත්‍ර අභිමන්‍යු මහා රණවිරුවන් ලෙස විරුදාවලි ලබා සිටි බොහෝ යුද වීරයන් පරාජය කරනවා. අවසන දුර්යෝධනගේ අණින් ඒ පරාජිතයන් එක් වී තනි අභිමන්‍යුට වට කොට පහර දෙනවා. මෙය ඔබ නියෝජනය කරන කලා ලෝකයේත් සිදු වන දෙයක්. වරදක් දුටු විට හුදෙකලාව හෝ සාමූහික ව හෝ එයට එරෙහි වීම විවේචනය කිරීම වරදක් නෙමෙයි. එහෙත් වරද ඇත්තේ සැබවින් ම නිර්මාණශීලී දෙයක් සමාජගත කළ මිනිසකුට හෝ ගැහැනියකට ඒ නිර්මාණශීලීත්වය නැති අය එක් වී පහර දීම යි. මරණීය තුවාල ලද අභිමන්‍යු ඒ සාමූහික පහර දීමට සම්බන්ධ නොවූ මුත් සෙන්පති වශයෙන් එය වැළැක්වීමට කිසිවක් නොකොට බලා සිටි ද්‍රෝණාචාර්යගෙන් වේදනාත්මක ව කෑ ගසා අසන්නේ මේ යුද්ධයක ආචාර ධර්ම රකින ආකාරය ද කියා යි. ගංගාපුත්‍ර භීෂ්ම ඉදිරිපත් කළ යුද සම්මුතියට අනුව කෙනෙක් එක් අයෙකු සමග සටන් කරද්දී තවත් අය ඔහුට විරුද්ධ ව එන්නේ කෙසේ ද කියා යි. අභීත රණවිරුවන් යුද ආචාර ධර්ම උල්ලංඝනය නොකරන බව කියන අභිමන්‍යු පවසන්නේ වංචනිකයන් නොවී තමා සමග වෙන වෙන ම ද්වන්ද්ව සටනකට එන ලෙස යි. එහෙත් එය නොතකා ඔබ සියලු දෙනා එක් ව සටන් කළත් තමා ස්ථිර වශයෙන් ම සටන් කරන බව කියන අභිමන්‍යු ප්‍රකාශ කරන්නේ ඉතිහාසය කෛරාටිකයන්ගේ නාමාවලියට නුඹලාගේ නම් ඇතුළත් වනු දැකීමට තමා අසතුටු බව යි. 

කලාවේ නාමයෙන් කලාව නොවන දෙය කරන, විචාරය කළ යුතු තැනට අවිචාරය ආදේශ කරන කාටත් අනාගත ඉතිහාසය උරුම කොට දෙන්නේ ඒ කෛරාටිකයන්ගේ නාමාවලියේ තැනක් මිස වෙනත් තැනක් නම් නෙමෙයි. 

දැන් අපි සංග්‍රාමභූමියේ දී මරණීය තුවාල ලබා මරණය අබියස හිඳ බ්‍රාහ්මණවංශික භරද්වාජපුත්‍ර ද්‍රෝණාචාර්ය දෙස බලා අභිමන්‍යු නම් අභීත යෞවන රණකාමියා කළ ඒ ප්‍රබල ප්‍රකාශය දැක ගනිමු; විඳ ගනිමු; ඊට සාවධාන වෙමු.

̎ O Brahmin! O son of Bharadavaj. I am Abhimanyu, son of your disciple Arjun. I want to ask you. Have you forgotten the rules of war made by Gangaputra Bhishma? Wasn’t there a rule that only one warrior is supposed to fight another? Brave warriors don’t search for escape routes. If you are not cowards duel with me.

Sage, I too am Lord Krishna’s deciple. Don’t think I can’t fight you together-I will fight. I will surely fight. I don’t want history to know you as cowards."

83 කථාරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ එදින හිරු පවා සිදුකළ ඛේදවාචකය ගැන කම්පා වන බව යි. ස්වාභාවිකව ඛේදවාචක සිදු විය හැකි යි. එහෙත් බරපතල දෙය වන්නේ සිතා මතා ඛේදවාචක සිදු කිරීම යි. සිනමාකරුවන් වන ඔබට ඔබේ ජීවිත කාලය තුළ නොයෙකුත් ඛේදවාචක දැකීමට සිදු වේවි. එහෙත් නොබෝදා අපට අහිමි වී ගිය පිරවි නම් සුවිශිෂ්ට මලයාලම් සිනමාවේදී සාජි එන්. කරූන් කීවා සේ ඔබේ වගකීම වන්නේ ඛේදවාචක සිදු නොවන සමාජයක් නිර්මාණය කිරීම යි. 

අර්ජුන පැමිණ සිය පුතු ගැන විමසන විට සියලුදෙනා ශෝකාතුර ව බලා සිටිනවා විනා ඊට පිළිතුරක් දෙන්නේ නැහැ. අනතුරුව ඔහු සිය දෙටු සොයුරු යුධිෂ්ඨිරගෙන් අසන්නේ සිය පුත් අභිමන්‍යුගේ අසුන හිස් ව ඇත්තේ ඇයි ද කියා යි. එයට ද කිසිවෙක් පිළිතුරක් දෙන්නේ නැහැ. එහෙත් හින්දු ආගමික සම්ප්‍රදායට අනුගත ව නම් ඊට දීමට පිළිතුරක් තිබෙනවා. ඒ අභිමන්‍යුගේ අසුන හිස් ව ඇත්තේ ස්වර්ගයේ අසුනක් ඔහුට හිමි වූ නිසා බව යි.

මේ අවස්ථාවේ හඬා වැලපෙන අභිමන්‍යුගේ බිරිඳ උත්තරා වෙත යන ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ නැගිට නොහඬා මහා සත්‍ය රණකාමියකුගේ බිරිඳ ලෙස ඔහුට සමු දෙන ලෙස යි. මෙහි දී ඔහු අන් සියලු රණකාමීනට ආදර්ශයක් බවත් සෑම ජීවිතයකට ම අදාළ ඒකාන්ත සත්‍යය මරණය බවත් ක්‍රිෂ්ණ කියා සිටිනවා. එහෙත් මෙබඳු අභීත මරණ අතිදුර්ලභ ය යන කරුණ ඔහු අවධාරණ කරනවා. එසේ ම ලොව සිටින සියලු රණවිරුවන් තමාගේ ස්ථානය අභිමන්‍යුගේ ස්ථානය සමග හුවමාරු කොට ගැන්මට සතුටු බව ද ක්‍රිෂ්ණ අභිමානයෙන් කියා සිටිනවා. 

අනතුරුව අපට දැක ගැන්මට ලැබෙන්නේ ඔහු ඝාතනය කළ ප්‍රතිවාදීන් ද පැමිණ එම දේහය මත මල් විසුරුවමින් ප්‍රණාමය පළ කරන ආකාරය යි. මේ අවස්ථාවේ එතැනට එන අභිමන්‍යුගේ මරණය සිදුවීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ ජයද්‍රථ දකින අර්ජුන කරන්නේ පහත සඳහන් ප්‍රතිඥාව යි.

“මහදෙවියන්ගේ නාමයෙන් දිවුරා කියන්නේ හෙට හිරු බැස යාමට පෙර මා ජයද්‍රථ මරා දමන බව යි. ජයද්‍රථ දැනගනු, නුඹ පසුදින හිරු නොදකින බව. මට මෙය කළ නොහැකි වුවහොත් මම දිවි නසා ගනිමි.”

අර්ජුනගේ මේ ප්‍රකාශය නිසා බලවත් යුදකාමියකු වුවත් ජයද්‍රථ වික්ෂිප්ත වෙනවා. ඔහු ද්‍රෝණාචාර්ය හමු වී අසන්නේ ඔබ අර්ජුනටත් මටත් එකට අවි සිප් උගන්වා ඇති මුත් ඔහු ඔබගේ දක්ෂතම ශිෂ්‍යයා වශයෙන් හඳුන්වන්නේ ඇයි ද කියා යි. එයට පිළිතුරු දෙමින් ද්‍රෝණාචාර්ය පවසන්නේ සිය දක්ෂතම ශිෂ්‍යයා බවට තමා ඔහු පත් නොකළ බව යි. ඔබටත් ඔහුටත් කියා දුන්නේ එකම අවි සිප් වුවත් අර්ජුන ඉන් සෑහීමට පත් නොවී තමාගේ ඉගැන්වීම් පදනම වශයෙන් ගෙන කටයුතු කළ බව යි. අපි දැන් ද්‍රෝණාචාර්ය මුවින් ම එවදන් අසමු.

̎ I have not made him my best pupil. I taught you both the same things. But he was not satisfied. He used my teaching as a foundation."

අද්‍යතන සිනමාවේදීන් වන ඔබ කළ යුත්තේ, ඔබට පෙර සිටි ඔබ ගුරුවරුන් වශයෙන් සලකන පූර්වගාමී සිනමාවේදීන්ගෙන් උගත් දෙය පදනමක් වශයෙන් ගෙන ඉන් ඔබ්බට ගමන් කිරීම යි.

යුද්ධය වයසක් හෝ පරම්පරාවක් ගැන නොතකන බව කියන කාලචක්‍ර ප්‍රකාශයකින් මෙහි 84 කථාංගය ආරම්භ වෙනවා. මේ යුගයේ සෑම යුදකාමියකුගේම හදවතේ ගිනිදැල්ලක් දැල්වෙන බවත් කවර පැත්තක් වුව නියෝජනය කරන ඒ රණවිරුවන්ගේ මවුවරුන්ගේ හදවත්වල දැල්වෙන ගින්න බලවත් බවත් කාලචක්‍රය කියනවා. මේ කිසිදු මවක වෙත නින්ද ළඟා වන්නේ නැහැ. යුද වදින දෙපාර්ශ්වය නියෝජනය කරන ප්‍රබල රණකාමීන්ගේ මවුවරුන් වන ගාන්ධාරී සහ කුන්තී වෙතින් ප්‍රකාශයට පත් වන්නේ ඒ සමස්ත මවුවරුන්ගේ අසීමිත වේදනාව යි. මේ මොහොතේ මගේ සිහියට නැගෙන්නේ 1989 වර්ෂයේ දී ප්‍රදීපා ලුම්බිනී ද සිල්වා කිවිඳියගේ එක් කවියක්.

බියකරු සිහින පෙනුණේ නැහැ මට    නරක

පුතුගේ සොහොන ඉඳි කළෙ කවුරු ද  රැයක

දැනුණා මල් සුවඳ නිසසල වූ           කයක

ලෝකය මොට ද නැති කළ මට මගෙ මැණික

මේ අතර අර්ජුන, ගංගාපුත්‍ර භීෂ්ම සැතපෙන තැනට ගොස් පවසන්නේ සිය පුත් අභිමන්‍යු යුද්ධයේ දී ඝාතනය කරන ලද බව යි. ඒ මොහොතේ භීෂ්ම මහත් සංවේගයෙන් අසන්නේ මේ යුද්ධය සිවුවැනි පරම්පරාවත් සිය ග්‍රහණයට ගත්තා ද කියායි. සිය නෙත නැඟි කඳුළු පිසලන්නැයි අර්ජුනට කියන භීෂ්ම වටකොට පහරදී නිරායුධ ව වැටී සිටින අභිමන්‍යු මරාදැමූවන් රණකාමීන් වශයෙන් හැඳින්වීමටවත් නුසුදුසු බව දැඩි ව කියා සිටිනවා. ඔවුන් කෛරාටිකයන් ලෙස හඳුන්වන භීෂ්ම මේ වූකලී සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකැයි පවසනවා. එයට මූලික වශයෙන් වගකිව යුතු ජයද්‍රථ අමතක නොකරන්නැයි ද ඔහු අර්ජුනට ප්‍රකාශ කරනවා.

මේ කථාවේ 85 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසනවා, ජයද්‍රථ සහ අර්ජුන යන දෙදෙනා ම හිරු දෙස බලා සිටින බව. එහෙත් ඒ බලන අරමුණු එකිනෙකට වෙනස්. ජයද්‍රථට අවශ්‍ය වන්නේ හිරු බැස යනු දැකීමට යි. මන්ද ඔහුගේ ජීවිතය රැකෙන්නේ හිරු බැස ගියහොත් පමණක් වන නිස යි. අර්ජුනට අවශ්‍ය හිරු කිරණ මහපොළොවට වැටීම නතර වීමට පෙර ජයද්‍රථ මරා දැමීමට යි. එසේ නොකළ හොත් සිය දිවි නසා ගැනීමට ඔහු පිළිණ දී තිබෙනවා. සිනමාකරුවෙක් එකම භෞතික වස්තුවක් අර්ථ සම්පන්න ලෙස සිනමාවට යොදා ගත් එක් තැනක් මේ. මෙබඳු තැන් රැසක් මේ ටෙලි වෘත්තාන්තයේ දෘශ්‍යමාන යි.

භීම-හිඩිම්බාපුත්‍ර ඝටෝත්කච සංග්‍රාමාවතීර්ණ ව සාහසික ලෙස සේනා සංහාරයේ යෙදෙනු අපට දැකගැන්මට ලැබෙන්නේ 86 කථාංගයේ දී යි. කෙනෙකුගේ වීරත්වය ගැන කීමේ දී ඔහුට ජන්මය ලබා දුන් මවගේ වීරත්වය ගැන විශේෂයෙන් සඳහන් කරන්නට මහාභාරතය අමතක කරන්නේ නැහැ. අභීත පුතෙකු ඉපදිය හැක්කේ අභීත මවකට ය යනුවෙන් වන ශ්‍රී ක්‍රිෂ්ණ ප්‍රකාශය ඊට සාක්ෂි දරනවා. එසේ ම කෙනෙකු බ්‍රාහ්මණ හෝ ක්ෂත්‍රිය වන්නේ උපතින් නොවේ ය යන ප්‍රකාශය ද ඔහු කරන්නේ ඝටෝත්කච සිය පියා ක්ෂත්‍රිය වුවත් තමා රාක්ෂස මවකගේ කුස පිළිසිඳි පුතකු බව කී නිස යි.

̎ A brave son can be born to a brave mother. No one is a brahmin or warrior by birth."

ඕනෑම කෙනෙකුට මේ ලෝකයට පැමිණීමට සහ ඉන් සමුගෙන යාමට මොහොතක් එළඹෙනවා. මේ කථාංගය අවසානයේ දී අපට දැකගැන්මට ලැබෙන්නේ අංගරාජ් කර්ණ අතින් ඝටෝත්කච මරණයට පත්වන ආකාරය යි. ඒ බව සියලු දෙනාට කලින් දැන සිටින්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. ඔහු තමාට වන්දනය කළ ඝටෝත්කචට පවසන්නේ ඔබ නිවැරදි මොහොතේ පැමිණි බව යි. ඔබට භාරතය සහ එහි රණකාමීන් සදා ගෞරවය ද පළ කරන බව යි. මේ ක්‍රිෂ්ණ නොකියා කියන්නේ ඝටෝත්කචගේ මරණය සිදු වන බව නේද?

̎ There is an appropriate time for coming and going. You have come at the right time. You will always be respected in India. Warriors will salute you."

මේ කතාවේ එක් තැනෙක ගාන්ධාරී සහ කුන්තී ගංගාපුත්‍ර ශර යහනක සැතපී සිටින තැනට ගොස් කතා කරන දර්ශනයක් දැකිය හැකි යි. එතැන දී ගාන්ධාරී පවසන්නේ තමාගේ කඳුළුත් සිය කඳුළුත් වැටෙන්නේ සිය පුතුන් උදෙසා පමණක් නොවන බව යි. මේ සටන් බිම ඇද වැටෙන සියලු දේහ තව කොතෙක් කලක් සිය මාතෘත්වයට දරාගත හැකි වේ ද කියා යි ඇය ප්‍රශ්න කරන්නේ. ගාන්ධාරී කියන්නේ සෑම මවකගේ ම ඇසින් වැටෙන කඳුළු සමාන බව යි.

̎ I weep and or Kunti does the tear will be the same."

ගාන්ධාරී, ගංගාපුත්‍ර භීෂ්මයන් අබියස මේ ප්‍රකාශය තෙවරක් කරනවා. මේ දර්ශනය මේ වචන අසද්දී මට සිහිපත් වූයේ එකම පෙදෙසක ජීවත් ව සිටින පිරිසක් අතර දෙකඩ වීමක් ඇති වූ විට ඒ දෙපිරිස ම අමතා සමන් සිත්තරා කළ ප්‍රකාශයක්.

“අපි කාටත් තියෙන්නේ දුකකදී එක විදිහට තෙත් වන කඳුළු එන ඇස්.̎

සිනමාවේදීන් ලෙස ඒ ආදරණීය කඳුළ - දයාවෙන් තෙත් වන හදවත, ඔබේ සිනමා සිත්තම ඔස්සේ සමාජගත කරන්න.

මගේ ජීවිකාව-මගේ ජීවිතය අන් සියලු දෙනාගේ ජීවන චක්‍රය සමග බැඳී පවතින්නේ ය යන අදහස දෙන පරපටිබද්ධා මේ ජීවිකා යන බුද්ධ භාෂිතය සිහිපත් කොට දෙන ප්‍රකාශ ද අපට මහාභාරතයෙන් හමු වෙනවා. අප සියලු දෙනා එකම දම්වැලක කොටස් ය යනුවෙන් කුන්තී කරන ප්‍රකාශය ඉන් එකක්.

දැන් අපි මේ ටෙලි වෘත්තාන්තයේ 87 වන කොටසට යමු. මට එහි වඩාත් ම දැනුණු තැන වන්නේ බ්‍රහ්ම - ද්‍රෝණ සංවාදය යි. මේ සංග්‍රාමයේ දී සාහසික ව සටන් කරන ද්‍රෝණාචාර්ය, අවසානයේ සේනා සංහාරය උදෙසා දිව්‍යායුධ ද අතට ගන්නවා. මේ අවස්ථාවේ පෙනී සිටින ඉන්ද්‍ර දෙවියන් පවසන්නේ දිව්‍යායුධ ඇත්තේ ජීවිත විනාශය සඳහා නොව ධර්මය සුරැකීම සඳහා බව යි. ඒ මොහොතේ ම ද්‍රෝණ හමුවේ පෙනී සිටින මහාබ්‍රහ්ම ප්‍රකාශ කරන්නේ ගුරුවරයකු වන ඔබගේ ක්‍රියාව වන්නේ ඥානය ප්‍රදානය කිරීම මිස යුද කිරීම නොවන බව යි. ඒ ප්‍රකාශය දැකීමත් සමග මට සිහිපත් වන්නේ සමන් සිත්තරාගේ ප්‍රකාශයක්. 

මේ සභාවේ එක් අසුනක හිඳ සිටින මගේ ආදරණීය ඇදුරුතුමනි, ඔබේ ආදරණීය සොහොයුරා - අපගේ සිරුරු නොව හදවත් ස්පර්ශ කළ ඒ දයාබර සෞන්දර්යවේදියා වරෙක කළ ප්‍රකාශයක් මෙතනදී සාරාංශ කොට දක්වන්නට මට ඉඩ දෙන්න. මෙය අන්තර්ගත වන්නේ රාමායණයාත්‍රා ග්‍රන්ථයේ පූර්විකාවේ යි.

සමන් සිත්තරා පවසන අන්දමට සමාජයක් යහපත් කිරීම සඳහා - පවිත්‍ර කිරීම සඳහා මානවයනට දෙයාකාර ක්‍රියාවලියක නිරත විය හැකි යි. ඉන් එකක් නම් සමාජයක් වෙත අයහපත් - අශුද්ධ දෙය කවුරුන් හෝ ගෙනැවිත් තබන විට ඒවා බැහැර කිරීම යි. එහෙත් ඒ සමාජ කුණු ඉවත් කිරීමට යන විට ඒවාට අයිතිවාසිකම් කියන අය කුණු ඉවත් කරන අයට විරුද්ධ ව නැගී සිටිනවා. ඒ ‘සංග්‍රාමිකයනට’ කුණු අයිතිකරුවන්ගේ තාඩන පීඩනවලට ලක් වීමට ද සිදු විය හැකි යි. කුමන දුෂ්කරතා පැමිණියත් සමාජයකට ඒ කුණු ඉවත් කරන පිරිසක් ද අවශ්‍ය යි.

සමන් සිත්තරා පවසන අනිත් මෙහෙවර තමයි, මේ කුණු ඇති සමාජය වෙතට යහපත් - පිවිතුරු දෙය ගෙනැවිත් තැබීම. ඔහු කියන්නේ සිංහල වේවා, පාලි වේවා, සංස්කෘත වේවා, ඉංග්‍රීසි වේවා වෙනත් භාෂා සාහිත්‍යයක් වේවා හදාළ අයට මේ මෙහෙවර එනම් ‘හංස මෙහෙවර’ සිදු කළ හැකි යි. තමා කියවූ සාහිත්‍ය කෘතිවලින් සමාජය අර්ථවත් කරවන සුන්දර කරවන දේ උකහාගෙන ඔවුනට ඒවා සමාජගත කළ හැකි යි. මෙය ගැටුමකින් තොර කාර්යයක්. ගැටුම් රුචි නොකරන අය විසින් තෝරා ගත යුතු මාර්ගය එය යි. 

සිනමාවේදීන් වන ඔබ සියලු දෙනාගේ අවධානය ද සමන් සිත්තරාගේ ඒ හෘදයසංවේදී ප්‍රකාශයට යොමු වේවා යි මම ප්‍රාර්ථනය කරනවා.

ආචාරධර්ම උල්ලංඝනය කොට පාණ්ඩව සේනාපති ධ්‍රැෂ්ටද්‍යුම්න, සිය පුතු මියගියේ යැයි පාණ්ඩවයන් විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය ප්‍රචාරය අසා අවි පසෙකට කොට ධ්‍යානයෝගී ව සිටින කෞරව සේනාපති ද්‍රෝණ මරා දමන දර්ශනය අපට දැකිය හැක්කේ ද මේ කථාංගයේ යි. අනතුරුව දුර්යෝධන විසින් අංගරාජ් කර්ණ කෞරව සේනාපති පදවියට පත් කරන බව කියැවෙන්නේ ද මේ කොටසේ දී යි. 

87 කථාංගය අවසානයේ එන ගීතෝක්තියෙන් පැවසෙන්නේ සියලු වටිනාකම් අහිමි වී ගිය, අන්ධකාර රාත්‍රීන්ගෙන් ගහන, පරමාදර්ශී කිසිදු වචනයකට සවන් නොදෙන යුගයක හිඳ වුව ප්‍රාර්ථනා කළයුත්තේ නව පරමාදර්ශ සහිත - නව ලොවක - නව යුගයක ආගමනය බව යි. එවන් යුගයක් උදෙසා කටයුතු කරන ගමනේ පෙර ගමන්කරුවන් වන ඔබ අබිමුව මම මේ කථාංගයේ සමාප්ති ගීතෝක්තිය උපුටා දක්වන්නට කැමතියි.

All values have been lost, enveloped in a dark night.

None is willing to listen to any words ideals.

Lets welcome the new world with new ideals.

Lets welcome it - Lets welcome it."

මහාභාරත ටෙලි වෘත්තාන්තයේ අපට කතා කිරීමට ඉතුරුව ඇත්තේ තවත් කථාංග හතක් පමණයි. දැන් අපි එහි 88 වැන්නට යමු. එහි ආරම්භයේ දී කාලචක්‍රය පවසන්නේ මේ මහා යුද්ධය අනාවරණය කරන්නේ මහාභාරතය පමණක් නොව සමස්ත ලෝකය ම බව යි. ලොව කොතැනක හෝ ඇතිවන කවර හෝ යුද්ධයක් නිසා ජීවත් වන සිටින එනම් සජීවී මිනිසුන් අජීවී මෘතදේහ බවට පත්වීමේ ඛේදවාදකයත් ඒ නිසා ජීවත් ව සිටින අය තුළ ඇති වන අසීමිත වේදනාවත් මින් ප්‍රකාශිත යි. යුද්ධ කරණ කොට ගෙන සමාජීය සදාචාරය බිඳ වැටී ජීවිත යුද වෙළඳ පොළේ අවම වටිනාකම ඇති දේ බවට පත් ව තිබීම ගැන කාලචක්‍රය කතා කරන්නේ සංවේගයෙන්. මේ කථාංගයේ දී සාධාරණ යුක්තිසහගත අවංක අව්‍යාජ මිනිසකුට අසත් පක්ෂය නියෝජනය කිරීමට සිදුවීමේ ඛේදවාචකය ගැන කීමට ද සිනමාකරුවන් සාවධාන වී තිබෙනවා. ඒ අංගරාජ් කර්ණ යි. අර්ජුනගේ රථාචාර්ය වශයෙන් සිටින ශ්‍රී ක්‍රිෂ්ණ ඔහු නිබඳ ශක්තිමත් කරද්දී කර්ණ තෝරාගත් රථාචාර්යවරයා වන මද්‍රී රජු කරන්නේ ප්‍රතිවාදීන්ගේ ශක්තීන් හැකිතාක් වර්ණනය කරමින් කර්ණ දුර්වල කිරීම යි. එහෙත් එදින අර්ජුන සහ කර්ණ අතර සිදු වන ද්වන්ද්ව සටනින් ජය ලබන්නේ කර්ණ යි. අර්ජුනගේ ජීවිතය ගැලවෙන්නේ ඒ මොහොතේ හිරු බැස ගිය බැවින් යුද ආචාර ධර්ම මෙනෙහි කොට කර්ණ එතැනින් නික්ම ගිය නිසයි. මේ දවසේ ම තමයි භීම විසින් දරුණු සටනකින් පසු කුරිරු ලෙස දුශ්ශාසන ඝාතනය කිරීම සිදු වන්නේත්. අනතුරුව කෞරව සේනාපති කර්ණගේ සමීප රූපයක් ප්‍රේක්ෂාභිමුඛ කරමින් සිනමාකරු පවසන්නේ කර්ණ යනු සිය සේනාපතිත්වය යටතේ යුද්ධ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමට ඉඩ නුදුන් චරිතය කියා යි. එහෙයින් මේ උදාර රණකාමියා මුළු ලෝකය ම නිබඳ ගෞරවයෙන් සිහිපත් කරන බව යි. 88 කථාංගය අවසාන වන්නේ මේ අදහස රැගත් ගීතෝක්තියකින්.

̎ When the commander is Karna no rules will be broken.

The bravery of the generous warrior will always be remembered by the world."

89 කථාංගාරම්භයේ දී කාලචක්‍රය කියන්නේ තමා කාලය නොවී වෙනත් කෙනෙකු වූවා නම් මේ යුද්ධයේ සාක්ෂිකරුවකු වීමට නොයා ඉවතට යන බව යි. එහෙත් ඔහු කාලචක්‍රය යි. ඒ නිසා ඔහුට බල කෙරෙනවා මේ අමිහිරි යුද්ධය අවලෝකනය කරමින් එහි තතු ඇති සැටියෙන් ලොවට කියන්නට. මා තේරුම් ගත් හැටියට සිනමාකරුවන් කාලචක්‍ර සංකල්පය ඉතා සාර්ථක සිනමාරූපී භාවිතයක් කොට සිය නිර්මාණයෙහි ලා යොදා ගත්තේ යුද්ධයේ නිස්සාරත්වය කීමට මිස එහි වීරත්ව වර්ණනා කිරීමට නොවෙයි. මහාභාරත ටෙලි වෘත්තාන්තයෙන් අවසානයේ දී ලෝකය උකහා ගත යුතු සදර්ථය එය යි.

ද්‍රෞපදී තමාට වූ අවමානය ගැන බලවත් කෝපයෙන් කතා කරන අවස්ථාවක දී අර්ජුන ඇයට කියන්නේ හස්තිනාපුරය සාගරයක් නම් ඔබ එහි දිය බිඳුවක් පමණක් බව යි. එහෙත් සාගරය පරිපූර්ණත්වයට පත් වීම සඳහා ඒ ජලබිඳුව ද අත්‍යවශ්‍ය යි. සාගරයේ දිය බිඳුවක් වීම නිසා ද්‍රෞපදියගේ අගය අඩු වන්නේ නැහැ. එයම තමයි ඇගේ අගය. අන්න ඒ වගේ සිනමා සාගරයේ  ඔබ දිය බිඳුවක් මිස සාගරය නෙමෙයි. ඒ දිය බිඳුව වීම ම තමයි ඔබේ වටිනාකම වන්නේ. ඒ වගෙම කර්ණ ගැන වන ප්‍රකාශයක් ද ඔබගේ ජීවිත සමග සම්බන්ධ කරන්නට සිතෙනවා. කර්ණ ප්‍රසිද්ධ ව සිටින්නේ දේවල් ගැන කතා කරමින් සිටීමට නොව ඒ ඒ දෙය ලෝකයට ප්‍රදානය කිරීමට යි. ඔහු දාන වීර කර්ණ ලෙස ලොව ප්‍රකට වන්නේ තමා නිවැරදි යයි විශ්වාස කරන අරමුණ වෙනුවෙන් ඕනෑම මොහොතක සිය ජීවිතය පවා පරිත්‍යාග කිරීමට සූදානම් නිස යි.

̎ You are not known for talking. You are known for giving."

සිනමාවේදීන් වන ඔබත් ඒ වගෙයි. ඔබ මේ ලෝකයට පැමිණ සිටින්නේ ලෝකයට කලාව ප්‍රදානය කිරීමට මිස ව්‍යාපාරිකයන් වී කලාවෙන් උපයා ගන්නට නොවේ.

මේ කථාංගය අවසන් වන්නේ පසුදින ද්වන්ද්ව සටනෙක දී ආචාර ධර්ම උල්ලංඝනය කරමින් අර්ජුන කර්ණ මරා දමන දර්ශනයකින්. මේ අවස්ථාවේ මිහිකත සිපගෙන සිටින කර්ණගේ සංවේදනීය මුත් උදාර දේහය ප්‍රේක්ෂාභිමුඛ වන විට අපට දැනෙන්නේ කර්ණ යනු සිය සේනාපතිත්වය යටතේ යුද්ධ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමට ඉඩ නුදුන් චරිතය නොවේ ද කියා යි. 

දැන් අපි ගමන් කරන්නේ මේ ටෙලි කතාවේ 90 වැන්න වෙතට යි. කාලචක්‍රය මෙහි ආරම්භයේ දී හිරු දෙවි අමතා පවසන්නේ සිය ජීවිතය උදෙසා කිසිවක් ඉල්ලා නොසිටි, තමා නිවැරදි යයි විශ්වාස කළ අරමුණ වෙනුවෙන් තම ජීවිතය ද පරිත්‍යාග කළ සූර්යපුත්‍ර කර්ණට සිය ගෞරවාචාරය පළ කරන බව යි. එතැනට එන අශ්වත්ථාමා, ක්‍රීපාචාර්ය, මද්‍රී සහ ශකුනි යන රණවිරුවන් ද ඔහුගේ නිසල දේහයට ප්‍රණාම දක්වනවා. මේ අවස්ථාවේ ගන්ධාර් නරේශ් ශකුනිගේ චරිතය නිරූපණය කර ඇති ආකාරය මෙන් ම ඒ මොහොතේ ඔහුගේ මුවට නංවන වදන් ප්‍රේක්ෂකයන් වන අපගේ හදවත්වල ගැඹුරු ම තැන ස්පර්ශ කරනවා. ශකුනි පවසන්නේ, මුළු ජීවිත කාලය පුරා ඔබට ගරු නොකළ ගන්ධාර් නරේශ් මේ ශකුනි, අද ඔබට සිය අප්‍රමාණ ගෞරවය පළ කරන බව යි. ඔහු පවසන්නේ ඔබගේ මේ අභීත මරණය ම ඔබ ගෞරවයට පත් කළ බව යි. එක් වරක් නොව දහස් වරක් මේ ශකුනි ඔබට ප්‍රණාම දක්වන බව කියමින් ඔහු කර්ණගේ දේහයට වැඳ ආචාර කරනවා.

̎ Or Radheya, Hey Angaraj Karna, The manner of your death has made me respectful. O Brave warrior, O Charitable Karna, I Shakuni, the king of Gandhar, salute you a thousand times."

මේ කොටසේ දී හස්තිනාපුර යුවරාජ් දුර්යෝධනගේ හදවතෙහි සිය කල්‍යාණමිත්‍ර කර්ණ පිළිබඳ ව ඇති ගැඹුරු මිත්‍රත්වය උපරිමාකාරයෙන් නිරූපණය කිරීමට ද සිනමාකරුවන් සමත් වෙනවා. දරුණු ද්වන්ද්ව සටන්වලින් පසු යුධිෂ්ඨිරගෙන් මද්‍රී රජු ද නකුල්ගෙන් ශකුනි ද මැරුම් කන දර්ශන දැක ගන්නට ලැබෙන්නේ ද මේ කොටසේ දී යි. අනතුරුව සිය දෙටු පුතුගේ මරණය සිදු වූ බව කීමට වේදනාපීඩිත කුන්තී, ගංගාපුත්‍ර භීෂ්ම වෙත යන දර්ශනයත් භීෂ්ම දෑත් ඔසොවා කර්ණ නාමයට වැඳීමත් ප්‍රේක්ෂකයන්ට දැක ගැන්මට ලැබෙනවා. පංච පාණ්වඩයන් ද එතැනට එන අතර තමාගෙන් මැරුම් කා ඇත්තේ සිය දෙටු සොහොයුරා බව ඔවුනට දැන ගැන්මට ලැබෙන්නේ එතැන දී යි. ඔවුන් පළමු ව මහා වික්ෂිප්ත භාවයකටත් අනතුරුව මහා සංවේගයකටත් පත් වෙනවා. 

අනතුරුව අප දකින්නේ දුර්යෝධන, සිය මව ගාන්ධාරී සමග කරන සංවාදය යි. මේ වන විට ගත වන්නේ යුද්ධයේ 17 වැනි දිනය යි. දැන්වත් සාම සම්මුතියක් ගැන සිතන්න පුත යයි කියන මව ගන්ධාරීට, දුර්යෝධන පවසන්නේ මා මිත්‍ර කර්ණ මට පෙරළා ලැබෙනවා නම්, සොයුරු දුශ්ශාසනට යළි ජීවිතය ලැබෙනවා නම්, පිතාමහ භීෂ්මයන්ගේ සිරුරෙහි ඇණී ඇති හී ගලවා දැමිය හැකි නම් තමාට සාමයක් ගැන සිතන්නට ඉඩක් තිබූ බව යි. දුර්යෝධන අවධාරණයෙන් පවසන්නේ, සිය ආදරණීය මිත්‍ර කර්ණගේ පක්ෂපාතිත්වයට - සොයුරු දුශ්ශාසනගේ ආදරයට - ගුරු ද්‍රෝණාචාර්යගේ මරණයට - පිතාමහ භීෂ්ම ලද තුවාලවලට තමාට අවමන් කළ නොහැකි බව යි. එහෙයින් සාමයක් ගැන කතා නොකරන්නැ යි ද මගේ මව වන ඔබ කෛරාටිකයකුගේ මව ලෙස ඉතිහාසය සඳහන් කරනු දැකීමට අකමැති බව ද කියන ඔහු යුද්ධය නතර කිරීම ගැන යළි කතා නොකරන්නැයි ද කියනවා.

යුද්ධය නතර කිරීමට හැකියාව තිබූ ශ්‍රී ක්‍රිෂ්ණ එසේ නොකොට පාණ්ඩවයන් යුදයට පෙළඹවීම ගැන ගාන්ධාරී, ක්‍රිෂ්ණත් ඔහුගේ යාදව වංශයත් සහමුලින් වැනසේවා යි කරන ශාපය ඇත්තේ ද මේ කොටසේ යි.

මේ කථාංගය අවසාන වන්නේ කර්ණගේ අවසාන කටයුතු සිදු වන ආකාරය දක්වන දර්ශනවලින්. පංච පාණ්ඩවයන් එතැනට පැමිණ සිය දෙටු සොහොයුරාගේ දේහයට ගිනි දැල්වීමට සැරසෙන විට එයට ඔබ කිසිවකුට අයිතියක් නැතැයි කියා වළක් වන්නේ දුර්යෝධන යි. ඒ අවස්ථාවේ දුර්යෝධන පවසන්නේ තමා මේ ඔබගේ ජ්‍යෙෂ්ඨ සහෝදරයා බව දැන ගත් බව යි. එහෙත් මෙතැන ඇත්තේ ඔබේ ඒ සොහොයුරාගේ දේහය නොව මගේ ආදරණීය මිත්‍රයාගේ දේහය බව ඔහු කියා සිටිනවා. මේ කුන්තීපුත්‍ර දේහයක් නොව මා මිත්‍ර රාධේයගේ දේහය බව කියන දුර්යෝධන එහෙයින් ඒ දේහය දවාලීමේ අයිතිය ඇත්තේ තමාට බව ද තවදුරටත් කියා සිටිනවා. මේ මොහොතේ සිනමාකරුවන් දුර්යෝධනගේ මුවට නංවන වදන් චරිත නිර්මාණයෙහි ලා ඔවුන් දක්වන විශිෂ්ට කෞශල්‍යයට හොඳ නිදසුනක්.

දුර්යෝධන අර්ජුනගෙන් අසන්නේ ඔබ හී සර එවා මරා දැම්මේ ඔබේ දෙටු සොහොයුරා ද නැත්නම් මගේ ආදරණීය මිත්‍රයා ද යන්න ප්‍රකාශ කරන ලෙස යි. මේ අවස්ථාවේ ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ කර්ණ දේහය දවාලීමට දුර්යෝධනට ඇති අයිතිය පංච පාණ්ඩවයන් වන ඔබ සියලු දෙනා ඉක්මවා පවත්නා මහා අයිතියක් බව යි. අනතුරුව යුධිෂ්ඨිර අත ඇති ගිනිහුල සිය අතට ගන්නා දුර්යෝධන පවසන්නේ මේ හුදෙකලා වූ මිතුරාගේ ප්‍රණාමය පිළිගන්නා ලෙස යි. මේ මහ පොළොව පවත්නා තෙක් ඔබ කල්‍යාණ මිත්‍රත්වයේ උපරි සංකේතය වශයෙන් විද්‍යමාන බව ඔහු කියා සිටින්නේ කඳුළු පිරි දෙනෙතින් යුතු ව යි. මේ මා සිනමා සිත්තමක මෙතෙක් දුටු හෘදය සංවේදී වදන් සිත්තමක්. 

̎ Dear friend, Please accept the respects of your lonely friend.

Dear friend, As long as there´s life on earth you´ll always be a symble of friendship.  Blessed are you, Radheya."

91 කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය, කර්ණගේ මරණය සිදු වූ අභිත ආකාරය අගය කරමින් ඔහුගේ උපතට අගයක් නොදීම ගැන චෝදනා කරන්නේ පිය සූර්ය දෙවියන්ට සහ මව කුන්තීට යි. පියා කාලය පවත්වා ගෙන යාම පිළිබඳ වන වගකීම තුළ සිර ව නොසිටියා නම්, මව සමාජ සම්මත සීමා ගැන සිතීම ළඟ නතර ව නොසිටියා නම්, කර්ණගේ ජීවිතයේ දිශානතිය වෙනස් විය හැකි ව තිබුණා. කිසිසේත් සිය උපත සිදු වූ ආකාරය ගැන පැහැදිලි ව ම කර්ණ නම් චුදිතයෙක් වන්නේ නැහැ. කාලචක්‍රය පවසන්නේ කිසිදු මව් කුසක් කුලය නොහඳුනන බව යි. ඔහු හිරුගෙන් අසන්නේ ඔබගේ පුත්‍රයාගේ ජීවිතය ප්‍රශ්නාර්ථයක් කළේ ඇයි ද කියා යි. එසේ ම සිය උපතට කර්ණ වගකිව යුතු නැත්නම් ඔහුගේ ඉපදීම ඔහුට දඬුවමක් වූයේ මන්ද කියා කාලචක්‍රය ප්‍රශ්න කරනවා. මේ ප්‍රශ්නය ම කර්ණ යන නමින් නොව වෙනත් නමකින් වෙනත් ආකෘතියකින් සමාජය අබිමුවට ආ හැකි බව ඔහු පවසනවා. ඔබ මේ නියෝජනය කරන යුගය ද එයින් වෙනස් වන්නේ නැහැ. කර්ණ බඳු දරුවන් පිළිබඳ ව සිනමාවේදීන් වන ඔබ ළඟ ඇති විසඳුම කුමක් ද? මේ ගැනත් ගැඹුරින් ම සිතා බලන්නැයි ඔබට ආයාචනා කරනවා. 

ඒ ඒ චරිත හොඳ නරක වශයෙන් මතුපිටින් බෙදීම් ඇති වුවත් ඊට වඩා ගැඹුරකින් අප ජීවිත අවලෝකනය කළ යුතු ය යන පණිවිඩය ද වරෙක මහාභාරතය ගෙන එනවා. දුර්යෝධනගේ දොස් දක්වමින් ධෘෂ්ට්‍රද්‍යුම්න කතා කළ අවස්ථාවක ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ ඔහු සතු ව දහසක් දොස් තිබිය හැකි වුවත් ඔහු රණකාමියකු මිස කෛරාටිකයකු නම් නොවන බව යි. ඔහු මේ සංග්‍රාමයේ දී ජය ලැබුවත් පරාජය ලැබුවත් අභීත රණවිරුවන් නියෝජනය කරන ඔහුට අවමන් නොකළ යුතු බව යි ක්‍රිෂ්ණ කියන්නේ.

මේ වන විට ප්‍රධාන රණකාමීන් අතුරින් දෙපක්ෂයට ම ඉතිරි ව සිටින්නේ නව දෙනෙක් පමණයි. ඒ පාණ්ඩව පිළට පංච පාණ්ඩවයන් ද කෞරව පිළට දුර්යෝධන, ක්‍රීපාචාර්ය, අශ්වත්ථාමා සහ ක්‍රිතවර්මා ද වශයෙන්. මෙයින් පෙනී යන්නේ යුද්ධයකින් පසු ජය සැමරීමට හෝ පරාජය ගැන දුක් වීමට හෝ තරම් ප්‍රමාණවත් පිරිසක් පවා ඉතුරු නොවන බව යි. මේ යුද්ධයක මාර්ගයෙන් මිනිසා යුද නොකරන තැනට කැඳවීමක් නොවේ ද?

මහාභාරතය පවසන්නේ යුද්ධය යනු අවසාන අරමුණ නොවන බව යි. අවසන් ප්‍රතිඵලය විය යුත්තේ සෞඛ්‍ය සම්පන්න දීප්තිමත් නව සමාජයක්. අප ගමන් කළ යුත්තේ සත්‍ය ගවේෂී නව මාවතක් ඔස්සේ යි. සිනමාවේදීන් වන ඔබ ඉදිරියේ ඇත්තේත් ඒ මාවත යි. ඔබ ඒ මාවතේ ගමන් කිරීම යනු සමාජය ද නිවැරදි මාවත වෙත වන කැඳවීමක් වෙනවා.

මේ කොටස අවසාන වන්නේ දුර්යෝධන සහ භීම අතර සිදුවන බිහිසුණු ද්වන්ද්ව සටනකින්. එහි විනිසුරු වන්නේ මේ දෙදෙනාගේ ගදායුධ ශිල්පය පිළිබඳ ආචාර්යවරයා වන බලරාම යි. මේ සිය අවසන් සටන බවත් මින් ජය ලබන පිළට ජයග්‍රහණය හිමි වන බවත් කියමිනු යි, දුර්යෝධන සටනට එන්නේ. මෙහි දී ජයග්‍රහණය දුර්යෝධනගේ පැත්තට බර වන විට ක්‍රිෂ්ණගේ සංඥා කිරීම් අනුව ආචාර ධර්ම උල්ලංඝනය කරමින් භීම, සිය ප්‍රතිවාදියාගේ ඉණෙන් පහළට පහර දී ඔහු පරාජය කරනවා. මේ අවස්ථාවේ මට දැනෙන විදිහට නම් යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ යුක්තියේත් ධර්මයේත් සංකේතය වශයෙන් නිරූපිත ක්‍රිෂ්ණ නොව, ඔහු දෙටු සොයුරු බලරාම යි. නුඹ අද සිය ගුරුනට අවමන් කළ බව කියන ඔහු මා නුඹට උගන්වා ඇත්තේ ගදායුදයෙන් ඉණෙන් පහළට පහර නොදිය යුතු ය කියා නොවේ දැයි අසමින්, නුඹගේ මේ ගුරුවරයාගේ තුවාල වූ ගෞරවයට නුඹ සිය ලේවලින් වන්දි ගෙවිය යුතු යයි ප්‍රකාශ කොට සිය ගදායුදය ගෙන භීම මරා දැමීමට ඉදිරියට එනවා. එහෙත් ඉන් සිය සොහොයුරා වළක්වාලන්නේ ක්‍රිෂ්ණ යි. මේ මොහොතේ දුර්යෝධන ගත ව ගිය සංග්‍රාමයේ දී යුද ආචාර ධර්ම උල්ලංඝනය කළ ආකාර සිහිපත් කරමින් ක්‍රිෂ්ණ, භීමගේ ක්‍රියාව සාධාරණීකරණය කරනවා. එසේ ම අසත්‍යය සහ සත්‍යය අතර ඇති වන යුද්ධයේ දී සංග්‍රාමිකයාට ඇත්තේ එකම වන්දනා ගමනක් බවත් එය සත්‍යයේ වන්දනාව බවත් ක්‍රිෂ්ණ ප්‍රකාශ කරනවා.

මේ අවස්ථාවේ නම් මට ඔබ සමග එකග විය නොහැකි බව කියන බලරාම එතනින් නික්ම යන්නේ ජයග්‍රාහී යයි කියන භීමගේ ගුරුවරයා වීම තමාට ලැජ්ජාවක් බවත් පරාජිත දුර්යෝධනගේ ගුරුවරයා වීම තමාට බලවත් අභිමානයක් බවත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින්. දුර්යෝධන කලින් භීමගෙන් ලද දරුණු පහරවලටත් වඩා දරුණු පහර වන්නේ ගුරුවරයාගේ ඒ වචන යි. මොන අඩුපාඩු තිබුණත් මට නම් චරිතයක් වශයෙන් ද දැනෙන්නේ දුර්යෝධන මිස භීම නෙමෙයි.

දැන් මට ඉදිරියට කතා කිරීමට තිබෙන්නේ මේ ටෙලි වෘත්තාන්තයේ තවත් කොටස් තුනක් පමණ යි. දැන් අපි එහි 92 වැනි කොටසට අපේ අවධානය යොමු කරමු. එහි ආරම්භයේ එන කාලචක්‍ර ප්‍රකාශය අපට සිහිපත් කර දෙන්නේ අද දවසේ අපගේ ආදරණීය දේශයේ ජනතාව නායයාම් නිසා පත් ව සිටින ඛේදවාචකයට යම් ආකාරයක සමානත්වයක් පෙන්වන අතීත ඛේදවාචකයක්.  එහි දී කාලචක්‍රය මෙසේ කියනවා.

“මම කවර දිසාවක් දෙස බලම් ද මට මෘත දේහ හැර අන් කිසිවක් දැකිය නොහැකි යි. මේ වූකලී ජීවිතයේ වටිනාකම් සහ බන්ධුතා යි.”

මහාභාරත යුද්ධයේ දී ජීවිතයේ වටිනාකම් සහ බන්ධුතා විනාශ කරන්නේ අයුක්තියේ පක්ෂය ලෙස මුද්‍රා තබා ඇති දුර්යෝධනගේ පිරිස පමණක් නොවේ. සංවේගජනක තත්ත්වය වන්නේ යුක්තියේ පක්ෂය නියෝජනය කරන බව කියන පාණ්ඩවයන් ද ඒ ඇගයුම් සහ බන්ධුතා විනාශනයේ කොටස්කරුවන් වීම යි. භීම විසින් අයුක්තිසහගත ලෙස පරාජය කරන ලද දුර්යෝධන මරණීය තුවාල ලැබ මිහිකත මත වැතිර හිඳ කරන පහත සඳහන් ප්‍රකාශය එය සනාථ කරන එක තැනක්. ඔහු බිම වැතිර මේ කතා කරන්නේ චන්ද්‍රයාට යි.

“අහෝ චන්ද්‍රදේව්! ඔබගේ චන්ද්‍ර වංශයේ පාණ්ඩවයන් බඳු කෛරාටිකයන් උපන්නේ කෙසේ ද? ඔබගේ වංශය සදා පැවතුණත් මේ රුධිරයට ඒ සරදම දොවාලිය හැකි ද?”

එතැනට විත් මහත් සංවේගයෙන් වැලපෙන අශ්වත්ථාමා අමතා දුර්යෝධන පවසන්නේ මේ තමාගේ ජීවිතයේ අභිමානවත් අවස්ථාව මේ වේදනාත්මක මොහොත බැවින් නොහඬන ලෙස යි; මෙසේ නොවැලප තමාට සුබ පතන ලෙස යි. දුර්යෝධන ජීවිතයෙන් සමු ගත්නේ ඉතිරි ව සිටින රණවිරුවන් තිදෙනාගෙන් එක් අයකු වන අශ්වත්ථාමා සිය ගතින් ගලා යන ලෙයින් ඔහුගේ නළල මත සලකුණක් තබා සේනාපති වශයෙන් පත් කිරීමෙන් පසු ව යි.

මේ අතර ධ්‍රැතරාෂ්ට්‍ර රජුට, සිය පුතුන් අතර ඉතිරි ව සිටි ජ්‍යෙෂ්ඨ පුත්‍රයා ද මැරුම් කෑ බව දැන ගැන්මට ලැබෙනවා. සංජය, ඔබට පෙනෙනවා ද දැන් මා වෙළාගෙන ඇති බලවත් අඳුර යනුවෙන් ඔහු පැවසූ විට සංජය කියන්නේ එය පෙනෙනු පමණක් නොව තමාට අවබෝධ කොට ගත හැකි ද බව යි. එසේ ම යුද්ධය කිසිදු ප්‍රශ්නයකට විසඳුම ද නොවන බව යි. එයට කළ හැක්කේ විනාශයේ ධ්වජයත් සමග විත් හදවත් සිදුරු කිරීම පමණක් බව යි.

̎ I can see and understand. O king, the truth of this painful moment is that war not a solution to any problem. It can only pierce the heart like the flags of destruction."

ධ්‍රැතරාෂ්ට්‍ර රජු අවසානයේ තමාගේ වරද අවබෝධ කර ගන්නවා. ඔහු සිය දරුවන් ආශාවේ විෂත් සමග පෝෂණය කිරීම හස්තිනාපුරයට මෙන් ම සිය දරුවන්ට ද කළ අසාධාරණයක් බව අවසානයේ පසුතැවි තැවී පිළිගන්නවා. කලාකරුවන් ලෙස සමාජය අබිමුව පෙනී සිටින ඇතැම් දෙනා සිතනවා, ආශාවේ විස සිය නිර්මාණය මාර්ගයෙන් සමාජගත කිරීම කළ යුතු ම දෙය යයි කියා. එහෙත් ඔවුන් මේ කාර්යය කරන්නේ විස යන වචනය ඇති තැනට රස යන වචනය ආදේශ කරලයි. බුද්ධ වචනයට සහ බෞද්ධ සම්ප්‍රදායට අනුගත ව නම් අවසානයේ දී ඔවුනට හිමි වන්නේ නිරය යි.

වෛරයේ සහ පළිගැනීමේ ඇති බිහිසුණු බව ප්‍රකට කරමින් නිදා සිටින පාණ්ඩව සේනාපති ධ්‍රැෂ්ටද්‍යුම්න සහ පාණ්ඩවයන්ගේ පුතුන් පස්දෙනා අශ්වත්ථාමා විසින් මරා දමනු ලබන ආකාරය දැක්වෙන දර්ශන අපට දැක ගැන්මට ලැබෙන්නේ ද මේ කොටසේ දී යි. අශ්වත්ථාමා මේ බිහිසුණු ක්‍රියා කරන්නේ ධ්‍රැෂ්ටද්‍යුම්න සිය නිරායුධ පියා මරා දැමූ ආකාරය සිහිපත් කරමින්. එහෙත් ආචාර ධර්ම උල්ලංඝනය කිරීම ගැන අශ්වත්ථාමා පසු තැවෙන ආකාරය ද අපට පසුව දකින්නට ලැබෙනවා.

මේ කථාංගය අවසානයේ ඔබ අප කාටත් වැදගත් තවත් ප්‍රකාශයක් දැක ගත හැකි යි. ඒ ප්‍රකාශය කරන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ යි. ඔහු පවසනවා ආලෝකය කිසිදා මරණයට පත් කළ නොහැකි බව. අන්ධකාරය සිතුවත් තමාට ආලෝකය යටපත් කළ හැකි ය කියා එය එසේ සිදු වන්නේ නැහැ.

Light can never die. Darkness feels it can swallow light, but light can not die.

මේ කතාවේ 93 වන කථාංගය ආරම්භයේ දී කාලචක්‍රය පවසනවා, මේ කතාව අතීතයට පමණක් අයිති නොවන බව. එය වර්තමානයට මෙන් ම අනාගතයට ද අයිති යි. හරියට ම ඔබගේ නිර්මාණයක් බඳු යි. ඔබ වර්තමානයේ සිට කරන නිර්මාණය ම තමයි, පසුව අතීතයට එකතු වන්නේ. එහි ඇති සාධනීය හෝ අසාධනීයතා අනුව ඉන් අනාගත පරපුර ආභාසයක් ලැබීම හෝ නොලැබීම සිදු විය හැකි යි.

මේ කථාංගයේ එක් තැනක සඳහන් වෙනවා, ධර්මය හදවත් වෙන් කරන බිත්ති ඉඳි නොකරන බව. අන්න ඒ වගේ හොඳ කලා නිර්මාණයක් මනුෂ්‍යයන් එකිනෙකාගෙන් වෙන් කරන බිත්ති හදන්නේ නැහැ. ලොව කොතැනක හෝ ලියැවෙන සාහිත්‍ය කෘතියකට - සිනමා සිත්තමකට හැකි යි, අප එකිනෙකාගෙන් වෙන් කරන බිත්ති කඩා දැමීමට. විශ්වීය නිර්මාණ වශයෙන් සදා සම්භාවනයට පත් වන්නේ එබඳු නිර්මාණ යි. මෙතන විශිෂ්ට සිනමා නිර්මාණ කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙක් හිඳගෙන සිටිනවා. ඒ අයට වර්තමාන පරපුරට මග පෙන්විය හැකි යි. මහාභාරතය ජ්‍යෙෂ්ඨයනට කියන්නේ ඔබ හස්තිනාපුරයේ අතීතය වන අතර වර්තමානයට සුබ පැතීම ඔබේ කාර්යය ද වන බව යි.

දැන් මා මගේ දේශනයේ අවසන් කොටස වශයෙන් මහාභාරතයේ අන්තිම කොටස වූ 94 කථාංගය ගැන කතා කරනවා. මෙතන දී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු කීපයක් තිබෙනවා. ඒ මහාභාරත ටෙලි වෘත්තාන්තය ලෝකය පුරා අතිමහත් ජනාදරයට පත් වීමෙන් පසු මේ සිනමා අධ්‍යක්ෂවරුන් ඊට තවත් කොටස් රාශියක් ද එක් කළ බව යි. එය සුන්දර අර්ථවාහී සමාප්තියක් සලකුණු කළ මහාභාරත ටෙලි වෘත්තාන්තයට කළ අසාධාරණයක් ලෙස යි මට නම් දැනෙන්නේ. කිසියම් සාහිත්‍ය කෘතියක් වේවා - සිනමා කෘතියක් වේවා ජනාදරය දිනාගත් පසු එයට යළි යළිත් කොටස් එකතු කිරීම දැන් විලාසිතාවක් වී තිබෙනවා. රාමායණය ද මේ ඓතිහාසික වරද කළා. අයෝධ්‍යා කාණ්ඩයේ සිය යුද්ධ කාණ්ඩය දක්වා වන කොටස් පහේ සම්පූර්ණ රාමායණ කතාව තියෙනවා. ඊට මුලින් බාල කාණ්ඩය පසුව එක් කිරීම යනු ආරම්භ කළ කතාවකට යළිත් ආරම්භයක් දීමක්. ප්‍රබල අවසානයක් පෙන් වූ යුද්ධ කාණ්ඩය අගට උත්තර කාණ්ඩය නමින් තවත් අවසානයක් ඇති කොටසක් එක් කිරීම අපට දැනෙන්නේ ද ඓතිහාසික වරදක් ලෙස යි. 

ඒ කෙසේ වෙතත් 1 සිට 94 දක්වා වන මහාභාරත කථාංග බලන හෝ මහාභාරත සංස්කෘත මූලාශ්‍රය හෝ එහි පරිවර්තන කියවා ඇති පාඨක-ප්‍රේක්ෂක සහෘදයනට ටෙලි සිනමාකරුවන් මහාභාරතයෙන් ඔබ්බට ඒ නිර්මාණය කැඳවා ඇති බව පේනවා. ඒ කාර්යය කළ අය ම නැවත අලුත් කොටස් එකතු කිරීමෙන් කර තිබෙන්නේ බලවත් වරදක්. මෙහිදී සිදු ව ඇත්තේ කලින් විශිෂ්ට දෙයක් කළ අය තමන්ට ම පැරදීම යි. ඔබ කවදා හෝ දවසක මහාභාරතය මූලාශ්‍රය කොට ගනිමින් නිර්මාණයක් කරන්නේ නම් මේ ටෙලි සිනමාකරුවන් ඉන් ඔබ්බට ගියා සේ එය ද ඉක්මවා යන සුවිශිෂ්ට නිර්මාණයක් කිරීමට ඔබට හැකි වේවා යි කියලයි මම ප්‍රාර්ථනා කරන්නේ. කිසි ම දවසක පෙර අපර දෙදිග නිර්මාණකරුවන්ගෙන් ඇතැමෙක් කළ ආකාරයට තමා කළ නිර්මාණය නැවත නැවත දිග්ගස්වමින් හදන නිෂ්පාදන බිහි කිරීමට ඔබට සිත් පහළ නොවේවා යි ද මම ප්‍රාර්ථනා කරනවා. 

අපි දැන් මෙතැන් සිට 94 කථාංගයෙන් අපට ගත හැකි සදර්ථ වෙත සාවධාන වෙමු.

වරෙක ශ්‍රී ක්‍රිෂ්ණ පවසනවා වර්තමානයට අතීතය නොතකා හැර සමෘද්ධියට පත් විය නොහැකි බව. එහෙත් උදාවන යුගයට ඉඩ දී ඉවත් ව යාමත් අතීතයට අයත් මෙහෙවරක්. අවසානයේ දී ධ්‍රැතරාෂ්ට්‍ර රජු ඒ බව තේරුම් ගන්නවා. ඔහු යුධිෂ්ඨිරට පවසන්නේ ඔබත් සමග ඇරඹෙන යුක්තියේ යුගයට ඉඩ දී හිරු ගැන නොදන්නා තමාට අඳුරේ සිටීමට ඉඩ හැර කටයුතු කරන ලෙස යි. යුධිෂ්ඨිර රාජ්‍ය පාලකයා වශයෙන් පත් වීමෙන් පසු කරන්නේ වර්තමාන අනාගත පාලකයන් විසිනුදු භාවිතයට ගත යුතු, සිය ආදර්ශ පාඨ කරගත යුතු ඓතිහාසික ප්‍රකාශයක්. අතීතයට ගරු කිරීම - වර්තමානය අවබෝධ කර ගැනීම මෙන් ම පාලකයා වන තමාගේ කාර්ය භාරය ගැන සතිමත් වීම ඉන් දෘශ්‍යමාන යි. මම කැමතියි ඒ ප්‍රකාශය මෙහි සාරාංශ කොට දක්වන්නට.

“පළමු ව මම මගේ ප්‍රණාමය මා සිය පාලකයා වශයෙන් පිළිගත් හස්තිනාපුරය වෙත පළ කර සිටිනු කැමැත්තෙමි. දෙවනු ව මට පූර්වයෙන් සිටි මී මුත්තනට වඳිමි. එසේ ම ඔවුන්ගෙන් මට උරුම වූ කිරුළ රකින බවට ප්‍රතිඥා දෙමි. එසේ ම ශ්‍රී ක්‍රිෂ්ණයන් වෙත ද ප්‍රණාමය පළ කරමි. යුක්තිය සහ අයුක්තිය අතර ඇති වෙනස හඳුනා සමාජ සුධාරකයකු ව පොදු යහපත උදෙසා කටයුතු කරන බවට ප්‍රතිඥා දෙමි. මා ඉන් ඉවත් ව අයෝග්‍ය පාලකයකු වශයෙන් කටයුතු කළහොත් මගේ ජනතාවට ඒ බව ප්‍රකාශ කිරීමට අයිතිය ඇති බව ද පවසමි. එසේ ම රාජසභාවේ  මා අසුන් තුනක් හිස් කොට තබා ඇත්තේ ඇයි ද යන කරුණ වෙතත් ඔබ සියලු දෙනාගේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. ඉන් පළමු අසුන පිතාමහ ගංගාපුත්‍ර භීෂ්මයන්ගේ නමට යි. දෙවැන්න අපගේ ගුරුවර ද්‍රෝණාචාර්යයන්ගේ නමට යි. තෙවැන්න වෙන් වන්නේ අංගරාජ් කර්ණ නමට යි. මේ හිස් අසුන් මේ සංග්‍රාමය නිසා අපට අහිමි ව ගියේ කවර නම් විශිෂ්ට චරිත ද යන්න සිහිපත් කොට දෙනු ඇත.

මා අවධාරණයෙන් ප්‍රකාශ කරන්නේ මගේ හදවතේ කිසිදු අමිහිරි දෙයකට ඉඩක් නොමැති බව යි. ඒ සියලු අමධුරතා නිමා කොට ඇත. පාලකයාගේ වගකීම වන්නේ සිය ප්‍රජාව අනාගතය වෙත කැඳවාගෙන යාම යි. රජු සිය කාලය අතීත අමධුරතා ගැන සිතීමට ගත කළ හොත් සිය ජනතාව පත් ව තිබෙන දුෂ්කරතාවලින් මුදවාලීමට අවශ්‍ය නායකත්වය දීමට ඔහු අසමත් වනු ඇත. මගේ ජනතාව මෙතෙක් විඳි හිරිහැර දුෂ්කරතා ප්‍රමාණවත් ය. දැන් ඔවුනට අවශ්‍ය සාමය සහ සමෘද්ධිය යි. අපි එක් ව නව යුගයක් බිහි කරමු. සෑම පුරවැසියෙක් ම රටෙන් මට නොව මගෙන් රටට යන දර්ශනය මත පිහිටා කටයුතු කරනු දැකීමට මම කැමැත්තෙමි.”

මෙයිනික්බිති අපට ගාන්ධාරි-කුන්තී-ද්‍රෞපදී කාන්තා ත්‍රිත්වයේ දර්ශනය දැක ගැන්මට ලැබෙනවා. සියල්ල අතහැර වනවාසී ජීවිතයක් වෙත යාමට සිය දෙටු මවුන් තීරණය කොට ඇති බව දැන ගන්නා ද්‍රෞපදී, ඇයට පවසන්නේ එසේ නොයන ලෙස යි. මන්ද ගාන්ධාරී බිසව යනු මේ මන්දිරයේ ආත්මය බැවින් එසේ නොකරන්නැයි ඇය උදක් ම ඉල්ලා සිටිනවා. ඊට පිළිතුරු දෙමින් ගාන්ධාරී කියන්නේ ආත්මයට ද සිය සිරුර අතහැර යාමට සිදු වන දිනයක් එන බව යි.

̎The soul too has to leave the body some day.

එයිනික්බිති ගාන්ධාරී සිය සැමියාට පවසන්නේ යුධිෂ්ඨිරගේ රාජ්‍යාභිෂේකයත් සමග හස්තිනාපුරය යළි සුරක්ෂිත වූ බව කියන්නට ගංගාපුත්‍ර භීෂ්මයන් වෙත යා යුතු බව යි. එහෙත් තමාගේ පාලනය හේතුවෙන් දැන් ශර යහනක සැතපෙන භීෂ්මයනට මුහුණ දිය නොහැකි බව යි, ධ්‍රැතරාෂ්ට්‍ර පවසන්නේ. අනතුරුව අපට ශරයහනත සැතපී සිටින භීෂ්ම දැක ගැන්මට ලැබෙනවා. ඔහු පවසන්නේ නවපාලනය යටතේ හස්තිනාපුරය සුරක්ෂිත බැවින් තමාට ශරීරය අතහැර යාමට අවශ්‍ය බව යි. ඊට පෙර තමාට ශ්‍රී ක්‍රිෂ්ණ දැකගැන්මට අවශ්‍ය බවත් මේ මොහොතේ මිහිකත වෙතින් තමා අපේක්ෂා කරන එකම ත්‍යාගය එය බවත් ඔහු පවසනවා. ඒ අවස්ථාවේ ශ්‍රී ක්‍රිෂ්ණ පංච පාණ්ඩවයන් සමග එතැනට එනවා. ඒ සියලු දෙනා ගංගාපුත්‍ර භීෂ්මයනට සිය ප්‍රණාමය පළ කරනවා. භීෂ්ම පවසන්නේ ක්‍රිෂ්ණගේ පැමිණීම තමාගේ සියලු වේදනාවන් දුරලන ආලේපයක් වූ බව යි. මේ මොහොතේ ක්‍රිෂ්ණ පවසන්නේ ඔබගේ මේ දෙටු මුණුබුරු යුධිෂ්ඨිරට ඔබගේ අවසන් පාඩම කියා දෙන ලෙස යි. ඔබ සිටියදී ඔහුට මා කුමන පාඩමක් උගන්වන්න දැයි කියූ විට ක්‍රිෂ්ණ පවසන්නේ තමාට දැනුම ඇති මුත් අද්දැකීම් නොමැති බව යි; ඔබගේ අද්දැකීම් ද සමග යුධිෂ්ඨිරට ආශිර්වාද කරන ලෙස යි. ඔබේත් අපේත් ජීවිතවලට ගැන්මට බොහෝ දේ ඒ කතාවේ ඇති නිසා මම කැමතියි එහි මට වඩාත් දැනුණු තැන් උපුටා දක්වන්නට. 

“විජය ශ්‍රී අධිරාජයාණෙනි, දැන් මට මෙතැන හැර ස්වර්ගය වෙත යාමට කාලය යි. මා දුටුවා මේ ජීවිත කාලය තුළ දැකිය යුතු දෙය මෙන් ම නොදැකිය යුතු දෙය. මම පරාජිත රණකාමියකු මෙන් ම පරාජිත පුරවැසියෙක්. ඔබ ඉගෙන ගන්න මගෙන් හොඳ රණකාමියකු මෙන් ම පුරවැසියකු වශයෙන් නොකළ යුත්තේ කුමක් ද යන්න. සිය දරුවනට හෝ ප්‍රතිඥාවනට වඩා දේශය වැදගත් වන බව සිතන්න. මම ප්‍රතිඥාවේ වහලකු බවට පත් වූ රණකාමියෙක්. මේ අවමානයේ පරිච්ඡේදය මගේ මරණයත් සමග අවසන් වේවි. වැඩිහිටියෙක් වේවා, අයුක්තියේ පක්ෂය ගනියි නම් තරුණයන් ඊට එරෙහි ව අනිවාර්යයෙන් ම අභියෝග කළ යුතු යි. මේ වූකලී දේශපාලනයේ මූලික දර්ශනය යි. රාජ්‍ය දේපළ ඇත්තේ දේශය උදෙසා මිස රජු උදෙසා නොවේ. රාජ්‍යය අයත් වන්නේ රජුට නොවේ. එහෙත් රජු අයත් වන්නේ රාජ්‍යයට යි. අතීතය ඔබට පිරිනමා ඇත්තේ දුර්වල ආර්ථිකයක් සහ ගිලන් වූ සමාජයක් නම් ඒ තත්ත්වය වෙනස් කිරීම සඳහා ඔබ කටයුතු කළ යුතු යි. අතීතයට වර්තමානය සමග තරග කරන්නට බැහැ. රට ඉදිරියට ගෙන යා හැක්කේ වර්තමානයට යි.

තවත් එක් වැදගත් කරුණක් තිබෙනවා. සාර්ථක සමාජයක් පිළිබඳ වන සත්‍ය පරීක්ෂණය ඇත්තේ ඒ සමාජය ගැහැනියට දක්වන ගෞරවය ළඟ යි. එසේ ම රජෙකුට ඇති වගකීම පුරවැසියාට වඩා බොහෝ සෙයින් වැඩි යි. රටක් දෙකඩ කළ යුතු ය යනුවෙන් කවර බලපෑම් පැමිණිය ද කිසි විටෙකත් එය දෙකඩ කරන්නට එපා. 

ක්‍රිෂ්ණ මට වෙනත් දෙයක් කීමට නැහැ. දැන් මට වෙහෙස යි. අර්ජුන් මාතෘභූමියේ පස් මිටක් ගෙන මගේ නළලත තවරන්න.”

මේ මොහොතේ ශ්‍රී ක්‍රිෂ්ණ ඒ කාර්යය කිරීමට ඉදිරිපත් වෙනවා. ගංගාපුත්‍ර භීෂ්ම ලොවින් නික්ම යන්නේ මිහිකත මත යෝග්‍ය ලෙස හිරු කිරණ ද වැසි දිය ද වැටේවා යන ප්‍රාර්ථනය කරමින්. එසේ ම සිය රට ඵලවැලින් සමෘද්ධ ව විල් දිය මත නෙළුම් පිපේවා යි ද ඔහු ප්‍රාර්ථනා කරනවා. පංච පාණ්ඩවයන් වේදනාභරිත ව බලා සිටින ඒ මොහොතේ ශ්‍රී ක්‍රිෂ්ණ පවසන්නේ මිය යන මිනිසෙක් අමරණීයත්වය ලබන නිමේශය දැක ගැන්මට අවකාශ ලබන්නේ ආශිර්වාද ලද අය බව යි. මේ මොහොතේ පසුබිමින් අනුවේදනීය කටහඬකින්  ඇසෙන්නේ මහාභාරත සංග්‍රාමය වන් සටනක් ලොව ඇති නොවේවා කියා යි. මහාභාරතය අප වෙත ගෙන එන්නේ සාමයේ පණිවිඩය බව ද එහි කියැවෙනවා. අවසන අපට කාලචක්‍ර ප්‍රකාශයක් ද සමස්ත කතාවේ අවසානය සලකුණු කරන ගීතයක් ද දැකිය හැකි - ඇසිය හැකි වෙනවා. අපි පළමු ව කාලචක්‍ර ප්‍රකාශය කියවා ගනිමු.

“ව්‍යාස මහ ඍෂිවරයා විසින් කියන වීරකාව්‍යය අදින් අවසන් වෙයි. මානවයනි, මේ අපේ අවසන් හමුවීම යි. භාවිතයට ගන්න, මේ කාව්‍යය ඔබේ ගැටලු විසඳා ගැන්ම උදෙසා. මේ කතාව ඔබේ සන්නාහය මෙන් ම අවිය ද වෙයි. ප්‍රයෝජනයට ගන්න, මෙය සමාජයක ජීවත් වන අසත් ජනයන් හඳුනා ගැන්ම උදෙසාත්. වර්තමානයේ පවත්නා අඳුරු අහුමුළු හඳුනා ගැන්මටත් මෙය ඔබට ආලෝකයක් වනු ඇති. ඔබට දැකගත හැකි වේවි මෙයින්, අසත්‍යය සත්‍යයේ ආකාරයෙන් එන වේශයත්.

මානවයනි, යුක්තිය සහ සත්‍යය වෙත යන ආලෝක මාර්ගයේ උරුමක්කරුවකු වන්න. ඒ වූකලී විමුක්ති දර්ශනය යි.”

මා මෙතෙක් වෙලා කතා කළේ මහාභාරත ටෙලි වෘත්තාන්තයෙන් මා උගත් පාඩම් සමුදාය යි. මෙය අධ්‍යයනය කරන ඔබ ඕනෑම කෙනෙකු ඉදිරියේ මා කී දෙයට වඩා වෙනස් තවත් අලුත් දේවල් දර්ශනය වේවි. මම අවසාන වශයෙන් කැමතියි, මෙතෙක් වේලා මට සවන් දුන් ඔබ සියලු ම දෙනාට මගේ ගෞරවපූර්වක ස්තුතිය පළ කොට, මෙහි සමාප්ති ගීතෝක්තියෙන් මා ගත් සාරාර්ථය දක්වා, එහි අවසන් සුවාක්‍ය උපුටා දක්වන්නට.

“මේ ලෝකයේ යම් දෙයක් තිබෙනවා ද මේ ලෝකය යම් ආකාරයක් ගන්නවා ද ඒ සියල්ල වේද ව්‍යාස ඍෂිවරයාගේ මේ මහාභාරතය මාර්ගයෙන් ප්‍රකාශයට පත් කරන බව යි, ඉන් පළමු ව කියැවෙන්නේ. එසේ ම ඔබ අප සියලු ම දෙනා සිහියට ගත යුතු යි; ජීවිතය යනු අපේ ක්‍රියාවල ම ප්‍රතිඵලයක් බව. අපි දැන් ඔබට සමු දෙන්නේ අපේ සුබ පැතුම් පිළිගන්න යයි ප්‍රකාශ කරමින්.“ 

මේ මහා ටෙලි වෘත්තාන්තය එතැනින් අවසන් වෙනවා.

"All of you remember, Life is the result of your actions, We now take your leave.

 Accept our greetings.̎